ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදුදහමෙන් අනුමත පද්මාකාර පිළිවෙත

මිනිස් වර්ගයාගේ ජීවන දර්ශකය තුළ බලපාන සන්තානගත සහ සමාජගත දුක පිළිබඳව විවරණය කිරීමේදී බුදු දහමින් අනුමත සමාජ ක්‍රමය ගැන විවරණය කිරීම ඉතා වැදගත් වේ. පද්මය යනු පියුම හෙවත් නෙළුම් මලයි, නෙළුම් විල මෙන්ම එහි සුපිපෙන පද්මයන් ගැන ඉන්දීය ආගමික සාහිත්‍ය තුළද පිවිතුරු බව හඳුනා ගන්නා සංකේතයක් ලෙස කවීන් විසින් වර්ණනා කර තිබේ. පියුම් හටගන්නේ මඩ ගොහොරුවේය. මඩෙහි නොගැටී, නොගෑවී උඩට ඉස්මතු වන්නේය. දකින්නා තුළ ආනන්ද ජනක හැඟුම් පුබුදු කරන්නේ ය.
ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරදුන් දුටු මොහොතේ නැඟූ පැනයක් වූයේ බුද්ධ යන පදය අන් දේව, මනුෂ්‍ය, යක්ෂාදීන්ගෙන් විශේෂණය කිරීමට හේතුව කුමක්ද? යනුවෙනි. සමාජය මඩ ගොහොරුවක් බවත්, ඒ සමාජය නමැති මඩ ගොහොරුවෙහි උපන් තමා එහි නොඇලී නොගැටී උඩට ඉස්මතු ප්‍රබුද්ධ මුනිවරයකු නිසා තමන් වහන්සේ බුද්ධ නම් වූ බව බුදරදුන් ද්‍රෝණ බ්‍රාහ්මණයා අමතා වදාළ පුවතක් අංගුත්තර නිකායේ එක් ද්‍රෝණ සූත්‍රයක සඳහන් වේ. මිනිසා නිරතුරුවම ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට රුචි කරති. ඒක භාර්යා ප්‍රතිපත්තිය පසෙක තබා බහු භාර්යා සේවනයට ගොදුරු වෙයි. කුසලය වෙනුවට අකුසලයත්, පින වෙනුවට පාපයත්, පංචශීලය වෙනුවට පංච දුෂ්ට ධර්මයත් සමාජය උඩු යටිකුරු කර තිබේ.
බුද්ධ කාලීන ඉන්දියාවේ බුදුරදුන් දුටුවේ කාමසුඛල්ලිකානු යෝගයට ගොදුරු වූ ජන සමාජයක් වාසය කරන බවකි. නිරර්ථක වූ යාග හෝම පුද පූජා ඔස්සේ වෛදික ජන සමාජය විසින් සමාජයට දායාද කළ එම සිතිවිලි සහ ක්‍රියාකාරකම් බ්‍රාහ්මණ සමාජය විසින් මිනිසාට අනිවාර්ය කළ ආගමික හැදියාවක් එකල තිබුණි. මේ නිසා අශ්වමේධ, පුරිසමේධ ආදී මහා පරිමාණ යාතු කර්ම ඔස්සෙ සත්ව ඝාතනය පරපීඩාව ඉහ වහා ගොස් තිබිණි. ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප ඔස්සේ අදෘශ්‍යමාන දෙවි දේවතාවුන් රැසක්ම එකල වන්දනයට පාත්‍ර විය. සූර්ය, චන්ද්‍ර, රශ්මිධාරා වර්ෂාව, මේඝ ගර්ජනා, ගංවතුර, ලැව්ගිනි, මහා පර්වත සහ මහා වෘක්ෂ අතරින් මිනිසාගේ සිත් තුළ මැවුණු භයංකාර සිතිවිලි ගුප්ත අදහස් මිනිසාගේ ක්‍රියාකාරකම් මිනිස් බුද්ධිය යටපත් කළේය.ගෞතම බුදුරදුන් නිතරම මිනිසා සතු ඓන්ද්‍රීය ක්‍රියාකාරකම් ඉස්මතු කළේය. ඒ නිසාම ස්වච්ඡන්දතාවට බුදු සමයේ ඉඩක් ලැබිණි. නිදහස් කැමැත්ත මිනිසා සතු ස්වාමිත්වය, පරාක්‍රමය, එඩිය, විශ්වාසය, නිදහස් චින්තනය, ස්වච්ඡන්දතාව ඔස්සේ විවරණය වේ. මිනිස් ක්‍රියාකාරකම් විකසිත වන්නේ සිත, කය, වචනය යන තුන්දොර මඟිනි. සිත ප්‍ර‍්‍රධාන ජවය කරගත් කායික සහ වාචසික ක්‍රියාකාරිත්වය ගැන ලොවට දේශනා කළ මහා ශාස්තෘවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ පමණි.
ගෞතම බුදුරදුන් ලොව සත්වගට පළමුව ආදර්ශය ලබා දුන්හ. පාප සිතිවිලි බැහැර කළ පුද්ගල චරිතයක වටිනාකම අමිල බවද, ඉතා ශ්‍රේෂ්ඨ ජීවිතයකට පාපයෙන් අකුසලයෙන් දුරස් වූ විට ඒ තුළින් ලද හැකි ජයග්‍රහණය ගැන බුදු සමයේ ඉගැන්වේ. ඊශ්වර නිර්මාණවාදී දේව සංකල්පනා වෙනුවට බුදු දහම අවධාරණය කරන්නේ පාරදෘශ්‍ය සිතිවිලි හා ක්‍රියාකාරකම් දෙසටය.ලොව පවත්නා සනාතනික ධර්ම සිද්ධාන්තය පිළිබඳව බෝධි මණ්ඩපයේ සිට දිවා රාත්‍රී දෙකෙහි ආවර්ජනා කළ බුදුරදුන් සත් සතියේ පළමු සතියේ අවසාන දිනය ඒ සඳහා යොදා ගත්හ. උදාන පාළි පඨම බෝදි සූත්‍රය හා දූකිය බෝධි සූත්‍රයට අනුව උන්වහන්සේ දුටුවේ ලොව සජීව අජීව පැවැත්මට දායක වන්නේ හේතු ඵල න්‍යාය සහ සිද්ධාන්තය බවකි. අවිච්ඡා පච්චයා සංඛ්‍යාරා ලෙස එහි පළමු සිද්ධාන්තය අවබෝධ කරගෙන දේශනා කිරීමේදී ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප යටපත් වී මානුෂික චින්තනය හා ගවේෂණය පදනම් කරගත් පටිච්ච සමුප්පාද සිද්ධාන්තය ලොව පැතිරී ගියේය. අවිද්‍යා (අවිජ්ජා) යනු අනවබෝධයයි. නොදැනීමයි. කවර අවබෝධයක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. ඒ නිසා පිං පව් කුසල අකුසල (සංඛාරා) රැස් කරන මිනිසා ගමනෙහි නොනැවතී ගමන් කරයි. සංසාර චක්‍රයේ අනවරත ගමනක නිරත වන්නේ අවිද්‍යාපාද නිසාය. මේ බව ගෞතම බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළ සේක. බුදුවරු පමණක් නොව සාමාන්‍ය ජනතාවද සංසාරයේ අනාදිමත් කලක සිට සැරි සරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ අනවබෝධය නිසාය. එහිදී චතුරාර්ය සත්‍ය ධර්මය තුළ සංසාරගත දුක සහ සමාජගත දුක පළමුවෙන් විවරණය කර ඇත. ජාති පි දුක්ඛා ආදී න්‍යාය තුළ ඉපදීම, දිරායෑම, ලෙඩ ව්‍යාධිවලට ගොදුරුවීම දුකක් වන්නේ එහි සංසාරගත දුක මූලිකව විවරණය වන නිසාය. මෙම දුක ජනිත වන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව නම් සත්ත්වයාගේ මෙලොව පරලොව දුක පිණිස ඉවහල් වන මහා ක්ලේෂ බන්ධනයකි. තෘෂ්ණාවට වසඟ වනුයේ පංච ඉන්ද්‍රිය පිනවීමම එකම සුඛය ලෙස දකියි. එයින් අත්මිදෙන්නේ කෙසේදැයි කල්පනා නොකරයි.
පද්මාකාර සමාජයක සාමාජිකයෝ තෘෂ්ණා බන්ධනයෙන් මිදීමට විනිර්මුක්ත වීමට කල්පනා කරති. “තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධො නිබ්බානං” යනුවෙන් දුටුවේ ගෞතම බුදුරදුන් වැනි මුනිවරු පමණි. නිර්වාණාධිගමනයට සම්ප්‍රාප්ත වූ උන්වහන්සේ සෙසු ලෝක සත්වයාටත් සංසාර දුක්ඛය නිවරණය කර ගන්නා සැටි දේශනා කළහ. එය ප්‍රායෝගික සිද්ධාන්තයකි. තමන්ට ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් වැටහීමක් ස්වයංභූ ඥානයේ දත් නිසා ඒ දහම ලෝකයාට දේශනා කළ සේක. ක්ලේශ සිතිවිලි නම් සංසාර බන්ධනයෝය. සක්කායදිට්ඨි ආදී දස සංයෝජන ධර්ම පදනම් කරගත් කෙලෙස් සිතිවිලි එක්දහස් පන්සියයක් පමණ අප වටා අපේ සංසාරය වටා ගමන් කරයි. ආත්ම දෘෂ්ටිය මම මාගේ යන සංකල්පය හෙවත් අස්මීමානය නම් පළමුව දුරු කළ යුතුය. මම, මගේ යැයි කිසිවක් මෙලොව නැත. අවම වශයෙන් අපේ ශරීරය, පංචස්ඛන්ධයද මා සතු නොවේ. පංචස්ඛන්ධය මා සතු නම් මට රිසිසේ පාලනය කරගත හැකියාව තිබිණි. එහෙත් මාගේ යයි කියාගන්නා පංචස්ඛන්ධය ද වෙනස් වේ. ගෞතම බුදුරදුන් මෙය දුටුවේ අන් සැමගේ වස්තුවකටම පොදු වූ ත්‍රිලක්ෂණ ධර්මය පදනම් කරගෙනය.
ත්‍රිලක්ෂණ ධර්මය බුදු සමයේ පමණක් ඉගැන්වෙන මහා දාර්ශනික සිද්ධාන්තයකි. ත්‍රිලක්ෂණයට අයත් වන්නේ අනිත්‍ය දුක්ඛ අනන්ත සංකල්පනාවෝය. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බුදු සමයේ පහළ වූ සමාජයේ එදා සිටි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් සිය අනුගාමිකයන්ට උගන්වද්දී බොහෝ පිරිස් ඒවා අනුමත කළහ. ඔවුන් සරණ ගියහ. ආත්මන් බ්‍රාහ්මන් සංකල්ප වටා ජනතාව ඒකරාශී වූහ. බුදු සමය ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංකල්පය ඉදිරිපත් කළහ. විශ්වයේ අපට පැහැදිලි විද්‍යාමාන වන ලක්ෂණ නම් අනිත්‍ය ලක්ෂණයි. එය මිනිසා සහ අවශේෂ පරිසරය තුළ සිදුවන ජීව විද්‍යාත්මක සාධක තුළින් අවබෝධ කරගත හැකියි. සුඛ සංකල්පනාවන් ගෙන් පිරි දුක්ඛ දෝමනස්සයන් ජනිත වීමට අදාළ එක් ප්‍රධාන කරුණක් වන්නේ අනිත්‍ය ලක්ෂණයයි. (යද නිච්ඡං තංදුක්කං) පුද්ගල බද්ධ ආත්ම සංකල්පනාවන් මුල් බැස ඇති සමාජයක ත්‍රිලක්ෂණ ධර්ම සංකල්පනාව ඉස්මතු වීම වැදගත් වේ.
බෝසතුන් වහන්සේ මෙය යථාභූත ඥානයෙන් පිරිසුදුව අවබෝධ කරගත්හ . මෙම ත්‍රිලක්ෂණ සංකල්පනාවට සියල්ලම යටත්වන බවද, ඇති තතු පරිදි සිය ඤෙය්‍ය මණ්ඩලයට වැටහුණෝය. අනන්ත සසර තුළ සදාකාලික නිත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව ලොවට දේශනා කළෝය. සසර දුක නිවාරණයට ඇති එකම පිළිවෙත සංසාර ගමන නතර කිරීම බව පසක් කරගත්හ. ඒ නිසා අප බුදුරදුන් බව දුකට වෙදාණන් වශයෙන් හඳුන්වා ඇත. මහායාන ධර්ම ග්‍රන්ථවල “භෛසජ්‍ය ගුරු” නාමයෙන් මෙම පදය විශේෂණය කර ඇත. සංසාර ගමන නතර කිරිමට නම්, සියලු කෙලෙස් සංයෝජන ප්‍රහීන කිරීමෙන් ලද හැකි නිර්වාණාවබෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.මෙය ප්‍රඥාව සමඟ බැඳී පවතී. මේ සඳහා ගමන් කළ යුතු ආර්ය මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැඳින්වේ. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත එයි. එය කිසිම දෘෂ්ටියකට අන්තවාදයකට යටත්ව නොමැති බැවින් මජ්ජිමා පටිපදා නම් වේ.
පද්මාකාර සමාජය සහ පද්මාකාර පිළිවෙත පෙන්වාදුන් ගෞතම බුදුරදුන් පෘථජ්ජන මිනිසාට දේශනා කර වදාළ පද්මාකාර සමාජයේ උත්තරීතර පිළිවෙත ගමන් මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පිළිබිඹු වේ. සමාජය නමැති මඩ ගොහොරුව මෙන්ම සංසාරය නමැති මඩ ගොහොරුවෙන්ද උත්තීර්ණ වීමට මෙම පිළිවෙත උපකාරී වේ. සංසාර නමැති සාගරයෙන් එතෙර වීමට ආර්ය ධර්මය උපකාරී වේ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් මෙම පිළිවෙත සමන්විත වේ. ශීලයෙන්් සමාධියත් ප්‍රඥාවත් කරා ගමන් කරන ලෝක සත්ත්වයාට පද්මාකාර සමාජයේ සිළුමිණ ස්පර්ශ කළ හැකිය. බුදු දහමේ ඉගැන්වෙන ආර්ය පර්යේෂණය නම් එයයි. පංච ඉන්ද්‍රියන් පිනවමින් සංසාර අගාධයේම ඇලී ගැලී ගැටී තවදුරටත් එහිම නතර වීම අනාර්ය පර්යේෂණයයි. මජ්ක්‍ධිම නිකායේ ආර්යපර්යේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට පංච ඉන්ද්‍රියන් පාලනය කර ගනිමින් කාමයෙහි ආදීනව දැක සංසාර නිස්සරණය පිණිස ඇති තතු දැන කටයුතු කිරීම ආර්ය පර්යේෂණය බව සිහිපත් කළ යුතුය.
ආර්ය පර්යේෂණය පිරිපුන් ජීවිතයක පදනම වේ. නික්ලේශී විරාගී චරණයට පිටිවහලක් වේ. බුදු දහමේ ඉගැන්වෙන පෘථග්ජන – ආරියසාවක යුග්මය වටහා ගැනීමට හැකියාවද එමඟින් ලැබේ. ත්‍රිපිටකගත බොහෝ සූත්‍රවල පෘථග්ජනය හඳුන්වා තිබෙන්නේ ඇසූ පිරූ තැන් නැති පුද්ලයෙකු ලෙසය. ගිහි හෝ පැවිදි ආර්ය ශ්‍රාවකයා ඇසූ පිරූ තැන් ඇති ධර්මය දන්නා, ධර්මය දකිනා (සුතාවා අරියසාවකො) අයකු ලෙස හඳුන්වා ඇත. එසේම පද්මාකාර සමාජයේ නිරත වන්නා “විඤ්ඤු පුරිස” යන නාමයෙන් හැඳින්වීමට පිළිවන. ගෞතම චතුරාර්ය සත්‍ය ධර්මය වටහාගත් වටහා ගැනීමට ප්‍රයත්න දරන අයකු ලෙස සැලකිය හැකිය. මේ අනුව සමාජය නිවැරැදිව තේරුම් ගැනීමටත්, මෙලොව සහ පරලොව පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තම ජීවන භූමිකාව සාධු චර්යාව වෙත යොමු කිරීමටත්. පද්මාකාර ජීවිතයට පිළිපන් අයකු විය යුතුය. සමාජය විවිධය. විෂමය. ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෝ මෙන්ම පාපකාරී මිත්‍රයෝද විරල නොවෙති. කල්‍යාණ මිත්‍ර සේවනයත්, අප්‍රමාදයත් ජීවන මාවත යහපත් මාවතට එකතු කිරීමට හේතු වේ.
එසේම මිනිසා සතු ශ්‍රද්ධාවද මෙහිලා වැදගත් සාධකයක් ලෙස පෙළ දහමේ හඳුන්වා ඇත. සද්ධා ගුණය චෛතසිකයක්ද වේ. අමූලිකා ශ්‍රද්ධාව භක්ති පූර්වක වේ. ආකාරවතී ශ්‍රද්ධාව ප්‍රඥා මූලික වේ. බුද්ධිය විකසිත වී උදාර අදහස්වලින් ප්‍රබෝධමත් වීමට ප්‍රඥා මූලික වූ ආකාරවතී ශ්‍රද්ධාව ඉවහල් වේ. පංචශීලය සුරකින සුචරිතවත් සමාජයක පදනම පද්මාකාර ජීවිතයෙන් අර්ථවත් වන බැවින් ගිහි පැවිදි අප සැවොම ඒ සඳහා අපේ බැතිබර දායකත්වය ප්‍රදානය කරමු. සිත කය වචනය තුන්දොර ආරක්ෂා කරගනිමු.

දුක ගැන බුදු වදන...

චතුරාර්ය සත්‍යයට අයත් පළමු කොටස වන දුක්‌ඛ සත්‍යය බුදුපියාණන් වහන්සේ විස්‌තර කරනු ලබන්නේ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේව - කායික දුක - මානසික දුක - දැඩි ආයාසය - පැතූ යමක්‌ නොලැබීමේ දුක - සංක්‍ෂෙපයෙන් පඤ්ච ස්‌කන්ධයම දුකක්‌ වශයෙන් බුදුපියාණන් වහන්සේ දුක්‌ඛ සත්‍යය තුළදී පෙන්වා වදාළ සේක.

දුක්‍යාර්ය සත්‍යයෙහි විස්‌තර වන දුක තුන් ආකාරයකින් පිරික්‌සා බැලිය හැකිය. එනම්,

1. දුක්‌ඛ දුක්‌ඛතා

2. විපරිනාම දුක

3. සංස්‌කාර දුක

දුක්‌ඛ දුක්‌ඛතාවෙහිදී අප ලබන අමිහිරි අත්දැකීම්වලින් ඇතිවන සාමාන්‍ය දුක ජීවිතය හා ලෝක සම්බන්ධයෙන් සලකා බලන විට මූලික අවස්‌ථා තුනක්‌ දක්‌නට ලැබෙයි. එනම් ඇතිවීම, පැවැත්ම හා විනාශයයි. මේ කොටස්‌ තුනම පුද්ගලයාට නොයෙක්‌ ගැටුම්, ගැටලු හා දුක්‌ කම්කටොලු ඇති කරයි. ජීවත්වන අප සැමටම මෙම අවස්‌ථා තුනට අනුව විවිධ කායික මානසික දුක්‌වලට මුහුණපෑමට සිදුවෙයි. අප විඳින සියලු ප්‍රශ්න අපලවලින්, සූනියම්වලින් හෝ භූතයන් නිසා නොව සිදුවන්නේ ඉහත නී අවස්‌ථාව පදනම් කරගෙනය.

අප ජීවිතයෙහි ලබන එකදු සැපතක්‌ හෝ සතුටක්‌ වෙනස්‌ නොවී සැමවිටම එකසේ පවතින්නේ නැත. මොහොතකට පෙර සැපයක්‌ සතුටක්‌ ලෙස වින්දනය කර දේ ඊළඟ මොහොතේ දුකක්‌ වන්නට ඉඩ ඇත. ඊයේ දවස තුළ සතුට පිණිස හේතුවූ වස්‌තුවක්‌ හෝ පුද්ගලයෙක්‌ අද දුකක්‌ ගෙනදෙන දෙයක්‌ වන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූත්, අධ්‍යාත්මික වූත්, සියල්ල මොහොතින් මොහොතම වෙනස්‌ වෙයි. මේ අනිත්‍ය ස්‌වභාවය විපරිනාම දුක නමින් හැඳින්වෙයි.

දුක සම්බන්ධව බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඉහත සඳහන් ආකාර දෙකම තේරුම් ගැනීම පහසුය. නමුත් දාර්ශනික, ගැඹුරු අර්ථයකින් විස්‌තර වන සංස්‌කාර දුක යන්න තේරුම් ගැනීම තරමක්‌ දුෂ්කරය. බුදුසමය සත්වයා, මම, පුද්ගලයා යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස්‌වනසුළු කායික, මානසික සංස්‌කාර සමවායකී එකතුවකි. එය පංචස්‌කන්ධය ලෙස හැඳින්වේ. පඤ්ච උපාදානස්‌කන්ධය දුකයි. 

පංචස්‌කන්ධය දුකක්‌වන්නේ ලෝභ, දොaස, මෝහ යන අරමුණු සමග ගැටීම නිමිති කරගෙන ගොඩනැගෙන සක්‌ඛාය දිට්‌ඨිය නිසාය. පෙළ දහමෙහි හඳුන්වන්නේ මෙසේ අරමුණු අල්ලා ගැනීමයි. ග්‍රහණය කිරීමයි. එයින් ඇතිවන දුක්‌ඛසහගත තත්ත්වය සංස්‌කාර දුකයි.

දුක්‌ඛ සත්‍යය වනාහී, 'ඉදං ඛො පන භික්‌ඛවේ දුක්‌ඛං අරියසච්චං ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, ව්‍යාධිපි දුක්‌ඛො, මරණම්පි දුක්‌ඛං, අප්පියෙහි සම්පයෝගො දුක්‌ඛො, පියොහි විප්පයෝගෝ දුක්‌ඛො, යම්පිච්ජිං නලභති තම්පි දුක්‌ඛං, සංත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්‌ඛා'

ජාති දුක ඉදපීමේ දුකයි. ජාතිය ස්‌වභාවයෙන්දුක්‌ නොවන්නේය. එය දුක්‌ ඉපදීමට හේතුවන බැවින් දුකයයි වදාරන ලදී. උප්පැත්ති නිමිත්තෙන් සත්වයා විඳින දුක සත් ආකාර වේ. 'ගබෙභාකකනතික මුලක දුක, ගබ්බ පරිහරණ මුලක දුක, ගබ්බ විපත්තී මුලික දුක, ගබ්බවිජායන මූලික දුක, ගබ්බ බහී නික්‌ඛමන මූලක දුක, අත්තනොක්‌කම මුලක දුක, පරොපක්‌කම මුලක දුක යන සතයි.

ගබ්භෝකක්‌නතීක මූලක දුක යනු මව් කුසේහි දස මාසයක්‌ හෝ ඉන් අඩු වැඩි කාලයක්‌ මවු කුස හටගත් හුමාලයෙන් පිටි පිඬක්‌ මෙන් පැසෙන්නේය. අත්පාආදිය හැකිලීම් දිග හැරීම් ආදියෙන් තොරව අපමණ දුකක්‌ විඳියි. මව්කුස පිළිසිඳ ගැනීම මහා දුකකි. ගම්භ පරිහරණ මූලික දුක මවගේ හැකිකීම් පැකිලීම් යාම් ඊම් ඉදීම් සිටීම් සයනය කිරීම්, පෙරලීම්, නැමීම් ආදී ක්‍රියාවලින් බලවත් වේදනාව ගබ්බ පරිහරණ මූලික දුකයි. ගබ්භ විපත්ති මූලික දුක බවට මුඪ ගර්භවූ කල්හි හිතවතුන් විසින් දැක්‌මට නොනිසි වූ දුක්‌ උපදවනා තැන්හි සිඳීම්, පැලීම්, විඳීම් ආදිය කරණකොට ගෙන ඒ කුසහොත් බිලි¹ට යම් දුකක්‌ උපනේද, එය ගර්භ විපත්ති දුකයි.

ගර්භ විජායන මූලික දුක ප්‍රශ්වාස කරන්නා වූ මවගේ කර්මජ වාතයෙන් කුසහොත් පෙරලා පිටතට නික්‌මෙන කල දොර යතුරු සිදුරකින් නික්‌මෙන හත්සි රාජයකුට මෙන් ඇතිවන බලවත් වේදනාවයි. ගර්භ බහිනිකඛමණ මූලික දුක අලුත හටගත් වනයකට මෙන් සියුමැලි සිරුර අතින් ගැනීමය, නැවීමය, සේදීමය, වස්‌ත්‍රයෙන් පිස දැමීමය යන කටයුතුවලදී යම් දුකක්‌ විඳීද එය ගර්භ බහිනික්‌කමන මූලික දුකය.

අත්තනොපක්‌කමමූලික දුක. මෙය තමාගේ උපක්‍රම මුල් කරගෙන පවතින දුකකි. මවු කුසින් බිහිවූවායින් පසු තමා ආහාර නොගැනීමෙන්, වස විෂ පානයෙන් ගෙල වැලදා ගැනීමෙන් ආදිය නිමිතිකොට විඳින දුක අත්තනොපක්‌කම දුකය. පරොක්‌කම මූලික දුක මෙය අනුන්ගේ උපක්‍රම හේතුවෙන් ලැබෙන දුකකි. අනුන්ගේ වධ බන්ධනාදිය විඳින්නා හට ඇතිවන දුක පරොපක්‍රම මූලික දුකය. මේ සියලු දුක්‌ විඳීමට එකම හේතුව ජාතිය හෙවත් ඉපදීමයි.

ජරා දුක එය 'ප්‍රකට ජරාවය, අප්‍රකට ජරාවයයි ජරාව දෙවැදැරුම් වේ. ඉන් රූප ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම ප්‍රකට ජරාවය, නාම ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම අප්‍රකට ජරාවය. අප ශරීරය දිරාගිය ගැලකට බඳු අවස්‌ථාවකට පත්වීම හෙවත් අබල දුබලව දිරායාම හිස, රැවුල් පැසීම, දත් වැටීම, ඇස්‌ නොපෙනීම, කන් නෑසීම, ඇඟ රැලි වැටීම, අවයව විකලවීම, ආයුෂ පිරිහීම යනාදිය රූප ලකුණු ජරා ලකුණුයි. ව්‍යාධි දුක, මහළුවීම, ආයුෂ පිරිහීම හේතු කරගෙන ශාරීරික වශයෙන් ඇතිවන ලෙඩ දුක්‌ පීඩා කායික, මානසික වශයෙන් ඇතිවන ව්‍යාධිය දුකකි.

මරණ දුක, එය 'චුති වචනතා' මච්චු මරණ ලෙස සඳහන් වේ. චුති නම් යම්කිසි ආත්මයකින් පහවීමයි. වචනතා යනු මරණයේ ස්‌වභාව නිරූපණයයි. මච්චු මරණ මෘත්‍යq සංඛගත මරණයයි. ඉවසිය නොහැක්‌කාවූ පිළියම් නැත්තා වූ යම්දුකක්‌ වීද, ඒ දුක්‌ සමූහයට වඩා යම් හෙයකින් මේ මරණය දුකක්‌ යෑයි වදාළ සේක.

සෝක දුක, රොගව්‍යසන භෝග්‍යව්‍යසන, සීලව්‍යසන, ඤාතිව්‍යසන, දිට්‌ඨිව්‍යසන යන මේ පඤ්ච ව්‍යසනයන්ගෙන් යමක්‌ ඇති කල ඇතුළත උපදින මේ ශෝකය ගැනය. ශෝකය සත්ව හෘදය හුලක්‌ මෙන් විදියි. ගින්නෙන් රත් කරන ලද යකඩයක්‌ මෙන් නැවත නැවත දවයි. අනේක ප්‍රකාර දුක්‌ඛයන්ට පමුණුවයි.

පරිදේව දුක හැඬීම වැලපීම ආදියට පාදක වන ඥාතිව්‍යසනාදී යමකින් දුක්‌ වූ තැනැත්තාගේද, මාගේ දියණි, මාගේ පුතණුවෝ යනාදී වශයෙන් ඒ ඒ වස්‌තුවේ, ඔවුන්ගේ ගුණ කියා නැවත නැවත හැඬීමක්‌ වේද, එය පරිදේව හෙවත් හැඬීම ආදි දුක පරිදේව දුකයි.

දුක්‌ඛ දුක කායප්‍රශාද වස්‌තුවෙහි අභිත ස්‌පර්ෂයන්ගේ වැදගැන්මෙන් ඉවසීමට දුෂ්කර හෙයින් දුක්‌ඛ නම් වූ කායේ, හටගත් යම් දුකක්‌ වේද, කයෙහි හටගන්නා යම් නොමිහිරි බවක්‌ වේද, කාය ස්‌පර්ශයෙන් හටගන්නා වූ දුක්‌ වූ නොඉවසිය හැකි යම් වේදනාවක්‌ වේද මෙය දුක්‌ඛ දුක යෑයි වදාළ සේක.

දොමස්‌ස දුක මෙය සිතෙහි හටගන්නා දුකකි. හිතෙහි දුක හටගන්නා තැනැත්තා කෙස්‌ විසුරුවාගෙන හඬයි. ළයෙහි අත්ගසමින් උඩපනිමින් බිම පෙරළෙමින් පොළොවේ හැපෙමින් බිම ඇද වැටෙමින් හඬයි. එය දොමස්‌ දුක වේ.

උපායාස දුක ඥාති ව්‍යසනාදී යම්කිසි ව්‍යසනයකින් යුක්‌ත වූවහුගේ හෝ සිරගෙයි වැටීම් ආදී එක්‌තරා ස්‌වභාවයකින් ස්‌පර්ශ කරන ලද්දහුගේ හෝ දුක්‌ පැවැති යම් ආයාශයක්‌ වේද එය උපායාස දුකයයි.

මේ අන්දමට ගත්විට මම වශයෙන් පුද්ගලයන් වශයෙන් හඳුන්වන මෙසේ නිතර වෙනස්‌වන පඤ්ඤස්‌ඛන්ධයම දුකකි. ය ද නිච්චං තං දුක්‌ඛං' යෑයි වදාරා ඇත්තේ එබැවිනි.

සසර සැඩ පහර වළකාලන්නේ කෙසේද?

ගම්පහ සිරි සීවලී හිමි

බුද්ධිමත් බෞද්ධයෝ බෝධිසත්වයෝ වෙති. සෑම බුද්ධිමත් බෞද්ධයෙක්‌ම බුදුවිය යුතුය. මේ උතුම් මනුෂ්‍ය ආත්මභාවය නම් වූ බෝධි සත්ව භූමියේ සම්බුදු සමයක උපන් අපට අර්හන්ත බුද්ධත්වය ලැබීමට අවශ්‍ය සියලුම සුදුසුකම් ඇත. ඒ පහසුකම් අතහැර පසෙකලා ලැබෙන බුදුබව මඟහැර, මාන්නක්‌කාරකම පෙරටුකරගෙන රජකම, ඇමැතිකම, අධිපතිකම, උගත්කම, ගුරුකම, වෙදකම, ගොවිකම, නීතිඥකම නොයෙකුත් කම් කරගහගෙන ලෝක ධර්මයන්ම සොයාගෙන යයි. භෞතිකත්වයට අගයදී එතැනම වැඳ වැටේ. එසේම අරහන්ත බුද්ධත්වයෙ මඟපල නිවනින් ලැබෙන ලොව්තුරු සැප නොසලකා හරියි. මුදල් මත මෙහෙයවන පහත් මානසිකත්වය හෙවත් පුහුදුන් බව තුලම ජීවිතය ගොඩනැගීමට වෙහෙසෙයි. බුදුබව ලැබීමට පුහුදුන් මානසිකත්වයේ ආදීනව දැක ලොව්තුරු මගඵල වල ආනිසංස අවබෝධයෙන් දැන අභිනිෂ්ක්‍රමණය කළ යුතුය.

සත්වයා කාමොඝ - භවෝඝ - දිට්‌ඨිඔඝ නම් වූ දරුණු සැඩ පහරට අසුවී සසරට ගහගෙන යයි. සැඩ පහර වළකාලන්නේ කෙසේද? එයට අසුනොවී සසරින් එතෙර වන්නේ කෙසේද? යන්න 'ඕඝ තරණ' සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරදෙති.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයක එක්‌තරා දිනක දේවතාවෙක්‌ පැමිණ උන්වහන්සේ වැඳ නමස්‌කාර කර මෙසේ සැළකර සිටියේය.

- 'කථන්නූ ත්වං මාරිස ඕඝමතරීති?' 

නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ කෙසේ නම්, 'ඕඝ' තරණය කළ සේක්‌ද?

- අප්පකිට්‌ඨං ක්‌වාහං ආවුසො අනායූහං ඕඝමතරීති'

ඇවැත්නි, මම නොපිහිටමින්, වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළෙමි.

- 'යථා කථං පන ත්වං මාරිස, අප්පතිට්‌ඨං අනායුහං ඕඝමතරීති'

නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නොපිහිටමින්, වෑයම්ද නොකරමින්, ඕඝ තරණය කළ සේක්‌ද?

- 'යදා ස්‌වාහං ආවුසො, සන්තිට්‌ඨාමි, තදාස්‌සු සංසිදාමි. යදා ස්‌වහං ආවුසො, ආයුහාමි. තදාස්‌සු නිබ්බූය්හාමි. එවං ඕවහං ආවුසො අප්පතිට්‌ඨං ආනායුහං ඕඝමතරින්ති'

ඇවැත්නි, මම යම්විටක පිහිටා සිටිම්ද, එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම්ද, එකල්හි ඉල්පයෙමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් 'ඕඝය' තරණය කළෙමි.

චිරස්‌ස වත පස්‌සාමි

බ්‍රාහ්මණං පරිනිබ්බුතං

අප්පතිට්‌ඨං ආනුයූහං

තිණ්‌ණං ලොකෙ විසත්තිකං'

නොපිහිටමින්ද

වෑයම් නොකරමින්ද

ලෝකයෙහි තෘෂ්ණාව (ඕඝ)

තරණය කළ කෙලෙස්‌ නැසූ

ක්‌ෂණාශ්‍රව බ්‍රාහ්මණයකු කලෙකින දකිමි'

ඕඝ තරණය කිරීමේ ගැටලුව විස¹ගෙන සතුටුවූ සිත් ඇති දේවතා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කර අතුරුදන් විය.

(සං.නි. දේවතා සං. ඕඝ තරණ සූත්‍රය)

ලොව්තුරා දර්ශනය මත දඟලන්නේත් නැතිව, සිටින්නේත් නැතිව යනු අන්ත දෙකට නොයාමයි. උපායශීලීව උපක්‍රමශීලීව නිසොල්මන්ව මධ්‍යම ප්‍රතිපදාවට අනුගතව රාග - ඉස - මෝහාදී කෙලෙස්‌ ධර්ම හඳුනාගෙන දුරු කිරීමයි. ප්‍රතිපදාවක යෙදීමයි. ඒ සඳහා සතිමත්ව වාසයයි.

'සියල්ල කරන්න

කිසිවක්‌ නොකරන්නෘ'

ආර්ය ශ්‍රාවකයාගේ ජීවන ප්‍රතිපදාවේ තේමා පාඨය විය යුතුය. සියල්ල කරන්න යනු 'නිසොල්මන්ව' දඟලන්නේ නැතිව සිටීමයි. 'කිසිවක්‌ නොකරන්න' යනු 'මම' පනවා නොගැනීමයි. මෙයයි 'ඕඝ' තරණයේ ක්‍රමවේදය.

අවදිමත් සංසුන් මනසකින් සතිමත්ව ක්‍රියාශීලීව ඉවසිලිමත්ව සැඩ පහරෙහි බාධක දැක මඟහැර එගොඩවීමට පනින්න. පිහිටා සිටියහොත් කි¹ බැස මරණයට පත්වේ. ඕඝයේ සැඩ පරුෂ බවට බියටපත් වූවොත් දැඟලුවොත් භයෙන් තැනිගත්තොත් දුබල වුණොත් ජල කඳෙහි වේගය දිසාව අවස්‌ථානුකූලව අවධාරණය නොකළහොත් දඟලලා වෙහෙසවී වතුර පෙවී ශරීර දුබලත්වයට පත්වී විනාශයට පත්වේ.

දරුණු සැඩ පහරෙහි වේගය, දිසාව, වහා වටහා ගැනීමේ නිසඟ හැකියාව තිබිය යුතුය. එවිට රළ පහර මතින් සීරු මාරුවෙන් එගොඩවීමට හැක. අවස්‌ථානුකූලව තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එසේ නම් එළඹ සිටි සිහියෙන් සැඩ පහර මඟහැර 'ඇඟටනොදැනී' එතෙරවීමට හැක. සසර ඕඝ තරණයේදී අන්ත දෙකක්‌ අත්හළ යුතුය.

ඕඝය තරණය කළ හැක්‌කේ ආක්‍රමණශීලීව නොවේ. උපායශීලීවය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්ය උතුමන් සසර ඕඝයෙන් එතෙරවීමට උපකාරීකරගත් උපාය මාර්ගයකි. මේ ක්‍රමවේදයේදී චෛතසික කෙලෙස්‌, රාග, දෝස, මෝහ ක්‍රමයෙන් නිදහස්‌ වේ. අමනසිකාරය වූ නිශ්ශබ්ද ගවේෂකත්වය කරා ළංවීමට නම් මධ්‍යම ප්‍රතිපදාව නම්වූ ජීවිතය විඳවන්නේ නැති - ජීවිතය විඳින්නේ නැති' අන්ත දෙකින් මුදවා ගත යුතුය. මේ අවස්‌ථා දෙකම ඉක්‌මවා යන්නේ ඕඝ තරණයෙන් පසුවයි. මාර්ගයෙන් ඉදිරියට යාමට ගමනේ අවසානය සඳහා අමුතු දුක්‌ඛ පටිපදා වෙරවීර්ය කිරීමක්‌ බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරා නැත.

ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී ලෝකයේ මූල ස්‌වභාවය හෙවත් යථාභූත ඥන දර්ශනයේදී පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ - විඤ්ඤාණ ශුද්ධ ධර්මවල ඇති තතු, ස්‌වභාවය, ප්‍රකෘතිය, ක්‍රියාකාරීත්වය මැනවින් දැනගත යුතුය. අවබෝධකටයුතුය. තත්වාකාරයෙන් අවධාරණය කළ යුතුය. එයයි පූර්වකෘත්‍යය වන්නේ.

සත්වයා යනුවෙන් සම්මුතිව - ප්‍රඥප්තිව පනවාගෙන නම්කරගෙන ව්‍යවහාරයේ ඇති මේ ස්‌වභාවධර්ම යථාර්ථය ගැඹුරින් අධ්‍යනය කරන්න. සවිඥනිකත්වය හෙවත් විඤ්ඤාණයාගේ ක්‍රියාකාරීත්වයේ ඉදප්පච්චයතාවය අවධිමත් මනසින් අධ්‍යයනය කරන්න. ශුද්ධ ධම්ම හෙවත් ශක්‌තිවල ස්‌වභාවය පටිච්චසමුප්පන බව මැනවින් හැදෑරීමෙන් මතකය අවදි කිරීමෙන් ප්‍රකෘතිය කරා මන මෙහෙයවිය හැක. මහාභූත නම් වූ පඨවි ආදී ශක්‌ති සමූහය මූල ස්‌වභාවය සාමූහිකත්වයයි. වෙන් නොවන ස්‌වභාවයයි. වෙනස්‌වීම, චලනය පටිච්චසමුපන්න භාවයේ යථාර්ථයයි. සාමූහිකත්වය පදනම්ව විද්‍යමානවන නිසා පුංජයක්‌ වශයෙන් ඝනීභූත භාවයෙන් ප්‍රකට වේ. මේ ප්‍රකට වීම 'රූප' නමින් සම්මුති නාමය ලෝක ව්‍යවහාරයේ මුලින්ම නම් කිරීම වේ.

මහා භූතයන්ගේ 'රූප' සංඥව දුරු කිරීම සඳහා පදාර්ථයන්ගේ (ශක්‌ති සමූහයේ) පටිච්ච සමුප්පන්නතාවයෙන් ශුන්‍යත්වය ස්‌වභාවයට පත්වීම ගැන අවබෝධ කටයුතුය.

1. පඨවි ධාතුව - සංඥ වශයෙන් ගත්විට තද ස්‌වභාවය දරදඬු බව - කැඩෙන ගතිය, දැනෙන ගතිය - ප්‍රකෘතියයි. පඨවි නම් ශක්‌තියේ පදනම ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතා ධර්මතාවයම වේ. එනිසා ස්‌වකීයත්වයක්‌ පැනවිය නොහැක. 'ඇත' කියා දැක්‌වීමට හෝ 'නැත' කියා දැක්‌වීමට හෝ පැනවීමට කිසිසේත් ඉඩක්‌ නැති සාධාරණ සාධක නැති භාව - අභාව නොපැනවිය හැකි ස්‌වභාවයකි. පඨවි ධාතු වශයෙන් සංඥ විරහිත භාවයට හෙවත් සංඥා නොවන තැනට මන කියාකර අමනසිකාරය නම් ධර්මතාවට පත්වී (මෙනෙහි නොවන තැනට) සඥවන්නේ නිරෝධය නම් වූ නිරෝධ සංඥ ධර්මතාව ප්‍රකට වීම සිදුවේ. ඒ අවස්‌ථාව අව්‍යාකෘතයි. පෙන්විය නොහැකි, පැනවිය නොහැකි ස්‌වභාවයකි. ෙච්තනා විරහිත බවකි. එම නිසා පඨවි ධාතුව පදාර්ථයේදී ශුන්‍යත්වයේදී සංඥ විරහිත වේ. මේ පදානුගතානුසාරයෙන් මේ ක්‍රමවේදයෙන් සියලුම ධාතුන්ගේ යථාර්ථය නුවණැසින් පැහැදිලි කරගත යුතුය. යම් කෙනෙක්‌ ගැඹුරු ස්‌කන්ධ - ධාතු ආදී පදාර්ථයන්ගේ යථාර්ථය විදර්ශනා නුවණින් ගැඹුරින් යථාවත්ව ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥවෙන් විනිවිද දකීද එවන්නන් දුර්ලභ බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. 'නිමිති' ගැනීමේදී සංඛාර වේ. අනිමිත්තයේ විසංඛාරයි.

2. ආපෝ ධාතුව - ගලායන, වැගිරෙන, දියවෙන, පාවී යන, ඉලිප්පීයන, ඔසවාගෙන යන, ඩැහැගෙන යන ස්‌වභාවයයි. පටිච්චසමුප්පාද හෙවත් ඇතිවීම, නැතිවීම මූලධර්මයට පදනම්ව ඇති බව හෝ නැති බව සංඥ ගැනීමට නොහැකි නිසා සංඥ ශුන්‍යත්වයට පත්ව අචින්තයෙන් අනිමිත්තයට පත් වේ. (පඨවි ධාතුව ගැන ගෙනහැර දැක්‌වූ කරුණු මීට අදාළ වේ.)

3. තේජෝ ධාතුව - ශක්‌තිය - උණුසුම - ශීත ස්‌වභාව - දිරවන - දවාලන - පුචච්න ගතිය ප්‍රධානයි. තේජෝ ශක්‌තියද ස්‌වයම්භූ ජනිත නිසා පටිච්ච සමුම්පන්න ධර්මතාවට යටත්ය. 'ඇති' බවත් 'නැති' බවත් සාපේක්‌ෂව වෙනස්‌වන නිසා නිත්‍ය වශයෙන් 'ඇත' හෝ 'නැත' ස්‌වභාවය පැනවිය නොහැකි බැවින් සංඥ නිරෝධයෙන් ශුන්‍ය වේ.

4. වායෝ ධාතුවේ ස්‌වභාවය හමායන බව - සෙලවෙන බව - පීඩනය - තෙරපුම - පිම්බීම හැකිලීම - ඔසවාගෙන යාම - පෙරටුකොට ඇත. මෙම ධාතුවද ඉහත දැක්‌වූ ධාතූන්ගේ ධර්මතාවට යටත් නිසා පටිච්චයේ දී ශූන්‍ය වන නිසා ඇත - නැත යනුවෙන් ගැනීමට නොහැකි නිසා නිමිති විරහිතයි. 

ධාතු හතරේ සිතිය නොහැකි, කිව නොහැකි. මැන බැලිය නොහැකි සවයම්භූ චලනයක්‌ වේගයක්‌ සාමූහිකව සිදුවන නිසා පුංජයක්‌ - ගොනුවක්‌ - පිඩක්‌ වශයෙන් විද්‍යමාන ස්‌වභාවයට 'රූප' යෑයි සම්මුතිය දී ඇත. එය එනම් 'රූපය' ආකාශ ධාතුව තුළ ස්‌ථානගත වීම වේ. සීමාමායිම් වේ. අකාශ ධාතුවද ශක්‌තියකි. පටිච්ච සමුප්පන්න ධර්මතාවට එයද යටත්ය. ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතාව ඊටද අදාළය. එහිදී ආකාශ ධාතුවද ප්‍රකට බවේ හිස්‌ ඉඩකඩ තුළ කිසිදු සංඥවක්‌ ප්‍රකට නොවේ.

විශ්ව ව්‍යාප්ත ආකාශ ධාතුව තුළ සතර මහා භූත නම් වූ ශක්‌ති සමූහය පටිච්චසමුප්පන්න වන බැවින් 'රූප' මතු වේ. එම රූප අභ්‍යන්තර බාහිර රූප වශයෙන් ඝනීභූත වී පුංජයක්‌ වශයෙන් විද්‍යමාන වේ. මේ ස්‌වභාව ධර්මතා දෙක හෙවත් අභ්‍යන්තර රූප බාහිර රූප සම්බනධීකරණය වීමේදී 'විඤ්ඤාණය' නම් ශක්‌තිය ප්‍රකට වේ. මේ සියල්ල ඉදප්පච්චයතාව හෙවත් පටිච්චසමුප්පන්න ධර්මතාවට යටත්ය.

සබ්බේ ලොකො චලිතො
සබ්බේ ලොකො ප-ජලිතො

සියලු ලෝක ධර්මතා චලිත වේ.
සියලු ලෝක ධර්මතා දිදුලයි.

ශාන්තිනායක දර්ශනය සම්මුති දේශනා - පරමාර්ථ දේශනා වශයෙන් දෙකොටසකි. ඉහත සඳහන් දහම් කරුණු පරමාර්ථ දේශනා හා සම්බන්ධ වේ. එය ප්‍රඥවට ගෝචර වේ. සියලු හටගත් දේ භෞතිකත්වයෙන් ඔබ්බට ගිය පසු ඉක්‌මවා ගිය පසු පරමාර්ථ වශයෙන් ප්‍රකාශිත වේ. ඒ ධර්මතාව 'අනිදස්‌සන විඤ්ඤානය' යනුවෙන් තථාගත භාෂිතයෙහි වේ. එය අනිමිත්ත - අප්පනිහිත සුඤ්ඤත නම් ද ව්‍යවහාර වේ. භෞතික මානසිකත්වයට ගෝචර නොවේ.

භෞතිකත්වය මත විස්‌තර කරන රූපයේ යථාර්ථය විදසුන් නුවණින් දකින ලෙස සුත්ත නිපාතයේ පරායන වග්ගයේ 'පිංගිය' සූත්‍රයෙහි මෙසේ දැක්‌වේ.

දිස්‌වාන රූපෙසු විහඤ්ඤමානෙ

රුප්පතීති රූපෙසු ජනා පමන්තා

තස්‌මා තුවං 'පිංගිය' ආපමත්තා

ජහස්‌සු රූපං අපුනබ්භවාය'

රූපය නිමිති වශයෙන් ගෙන රූපය උපාදාන කරගෙන රූපයෙහි මත්වන මිනිසා රූපයේ ධර්මතාවය හේතුකොට ගෙන වෙහෙසට පත් වේ. දුකට පත් වේ. වැනසීමට පත්වේ.

එම නිසා 'පිංගිය' ඔබ රූපයේ යථාර්ථය දැක එහි මත්නොවී අනිත්‍යතාවය - පටිච්චසමුප්පනභාවය විදසුන් නුවණින් දකිමින් පුනර්භවයට යාමට හේතුකාරක දුරුකරන්න.

රාධ සංයුත්තයේ 'සත්ත' සූත්‍රයේ මේ හා සමාන ධර්ම විවරණක්‌ ඉදිරිපත් කෙරේ.

රාධ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විචාරති. ස්‌වාමීනි, 'සත්ත', 'සත්ත' යෑයි කියනු ලැබේ. 'සත්ත' යනු කුමක්‌ද? රාධ, රූපයෙහි ඇලීමක්‌ එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌ , දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ. එමෙන්ම රාධ, වේදනාවේ ඇල්මක්‌, එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌, දැඩි අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද, ඒ 'සත්ත' නම් වේ. මේ අයුරින් සංඥ, සංඛාර, විඤ්ඤාන ස්‌කන්ධ පංචකය සම්බන්ධයෙන් සතුටක්‌ - ආශාවක්‌ - කැමැත්තක්‌ දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ.

රාධ, කුඩා දරුවෝ වැලිවලින් ගෙවල් සාදා ක්‍රීඩා කරති. පහව නොගිය ආශාවන්ගෙන් යුක්‌ත වේ. පහව නොගිය කැමැත්ත ඇතිව සිටිති. ප්‍රේමයෙන් පිපාසිත වෙති. ලොල් වෙති. වස්‌තුකොට ගනිsති. ධනය කොට සලකති. මමත්වය ගොඩනැගේ. යම් දවසක මෙහි යථාර්ථය දැනගත් දාට සිය්ල කෙරෙහි ආශාවෝ පහවෙති. ප්‍රේමය, ආදරය, වුවමනාව, කෑදරකම, ඇල්ම, ආශාව, ගිජුකම ඉවත් වී යයි. ක්‍රීඩා කිරීමේ කැමැත්ත නැති වේ. එසේ රාධ, රූපයාගේ යථාර්ථය දැක විසුරුවා හරින්න. 'තණ්‌හක්‌ඛයෝ රාධ නිබ්බාණන්ති'

නිවන් පිළිවෙත

දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
ද්වෙ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණය සංවත්තති.
සැදැහැවත්නි,
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පස්වග මහණුන් අරභයා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වනු ලැබීම ඇසළපුර පසළොස්වක පොහෝදාවක වූ ඓතිහාසික සිදුවීම් අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා...’ යනාදී වශයෙන් ඉහත දැක්වූ මාතෘකා පාඨය දේශනා කළහ. එහි සිංහල අර්ථය මෙසේය.
මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වු අනර්ථයක්ම සිදු කරන්නා වූ යම් අත්තකිලමථානුයොගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරේ. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස හේතුවන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක පිළිබඳ ආර්ය සත්‍යය, දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය යනුවෙන් චතුරාර්ය සත්‍යය නම්කොට තිබේ. දුක පිළිබඳ ආර්ය සත්‍යයෙන් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම , ජරාව හෙවත් සත්ත්වයාගේ වයස් ගතවීම, රෝගය, මරණය අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි. එම උපාදාන ස්කන්ධ පහ නම් සත්ත්ව ශරීරය (රූප) ,සුඛ දුක්ඛ උපේක්ඛා යන වේදනාත්‍රය (වේදනා), කායික හෝ මානසික අරමුණු හඳුනා ගැනීම (සංඥා), මානසිකව කරන සකස් කරගැනීම් (සංඛාර), ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හා ධර්ම අරමුණුකරගෙන හටගන්නා අවබෝධයයි (විඤ්ඤාණ) .
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙම දුක හටගැනීමේ හේතුව පිළිබඳ වූ ආර්ය සත්‍යයි. මෙය නැවත ඉපදීමට හේතුවන ඒ ඒ තැන්හි ඇලෙනසුළු තෘෂ්ණාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමයන් රසවිඳීම, පිළිබඳ තණ්හාව, එම කාමයන් ස්ථිරය. සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව නො ඉපදීමත් නො පැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. යනුවෙන් උපදනා ආශාවයි.
දුක නැති කිරීමේ ආර්ය සත්‍යය නම් තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම, අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම ඉන් මිදීම හා එහි නො ඇලීමයි.
දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
සම්මා දිට්ඨි නම් නිවැරැදි දැකීමයි. යම් කිසිවක් ඇති පරිද්දෙන් දැකීම මින් අදහස් වෙයි. නිවැරැදි දැකීම ඇති තැනැත්තාගේ කල්පනා නිවැරැදි වෙයි. එය සම්මා සංකප්පපයයි. එනම් කාම සංකල්පයන් ගෙන් වෙන්වීම, කෝප සහගත සංකල්පනයන්ගෙන් තොරවීම හා හිංසාකාරි කල්පනාවලින් වෙන්වීමයි. මේ තුළින් හුදෙක් මනස නිවන් මගට නතුකරවීමක් සිදුවෙයි. සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඇති වෙයි. යහපත් කල්පනා ඇති විට කතා කරන වචනද යහපත් වන බැවිනි. ඒ අනුව සම්මා වාචා නම් බොරුකීම, පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය, අසමගිය ඇතිවීමට හේතුවන කේලාම් කීම, සිත් රිදවන නපුරු රළු වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම යන අහිතකර වචනවලින් වැළකී සිටීමයි. තමන්ටත්, අනුන්ටත් යහපත සැලසෙන නිවැරැදි ක්‍රියාවන් හි යෙදීම “සම්මා කම්මන්ත” නම් වේ. එනම් කාය සුචරිතය යි. ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගෙන් වැළකීම මින් අදහස් කෙරේ. ප්‍රාණින්ගේ දිවි තොරකිරීම, සොකරම ඇතුළු වංක වැඩවල යෙදීම, කාමයෙහි නොනිසි ලෙස හැසිරීම මින් කියවෙන අතර සම්මා වාචා හා සම්මා කම්මන්ත යන මාර්ගාංග දෙකම “විරති” හෙවත් “වැළකීම” වශයෙන් උගන්වා ඇත.
වැරැදි ජීවිකාව අතැහැර නිවැරැදි අන්දමින් දැහැමින් සෙමෙන් ජීවත් වේ නම් එය සම්මා ආජීවයයි. මෙමඟින් මාරක අවි ආයුධ වෙළෙඳාම මත්ද්‍රව්‍ය වෙළෙඳාම , විෂ වෙළෙඳාම, මස් පිණිස සතුන් විකිණීම , මස් වෙළෙඳාම හා කූට ව්‍යාපාර යනාදි වශයෙන් අනුන්ගේ විපතට හේතුවන රැකියාවල නොයෙදි දැහැමි නොකිලිටි රැකියාවක යෙදිය යුතු බව ඉගැන්වේ. කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ,රාජ්‍ය සේවය යනාදිය බුදුදහම අනුමත කළ දැහැමි රැකියාවන්ය.
සම්මා වායාම යනු නිවැරැදි උත්සාහයයි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මින් අදහස් කෙරේ. එනම් නූපන් අකුසල්, නො ඉපදවීමට කරන උත්සාහය, උපන් අකුසල් නැති කරනු පිණිස ගන්නා උත්සාහය , නූපන් කුසල් ඉපදීම සඳහා කරන උත්සාහය සහ උපන් කුසල් වැඩිදියුණු කරනු පිණිස ගන්නා උත්සාහයයි. සිහිය මනාකොට පිහිටුවා ගැනීම නම් වූ සතර සතිපට්ඨානය “සම්මා සති” යන්නෙන් අදහස් කෙරේ. එනම් කය හා වචනයේ පැවැත්ම අනුව සිහිය පිහිටුවා ගැනීම සුඛ, දුක්ඛ, උපේක්ඛා යන වේදනාවන් අනුව සිහිය පිහිටුවා ගැනීම, සිතේ හැසිරීම අනුව සිහිය පිහිටුවා ගැනීම හා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අනුව සිත පිහිටුවා ගැනීමයි.
රූප ධ්‍යාන සතර වඩා එමඟින් පංච නීවරණ හෙවත් නිවන් මග අවහිර කරන ධර්මයන් තාවකාලිකව යටපත්කොට සිත සමාධිගත කරගැනීම සම්මා සමාධි නම් වේ. කාමච්ඡන්ද, හෙවත් කාමරාගය, ව්‍යාපාද හෙවත් ක්‍රෝධය, ථීනමිද්ධ හෙවත් සිතේ හා කයේ මැලිබව, උද්දච්චකුක්කුච්ච හෙවත් නොසන්සුන්බව, විචිකිච්ඡා හෙවත් සැකය පංච නීවරණ ලෙස ඉගැන්වේ. රූප ධ්‍යාන අතුරින් විතර්කය. ථීනමිද්ධය ද, විචාරය විචිකිච්ඡාවද ,පී‍්‍රතිය ව්‍යාපාදය ද , සුඛය උද්දච්චකුක්කුච්චයද, ඒකග්ගතාව කාමච්ඡන්දයද යටපත් කරයි. මෙසේ අනුක්‍රමයෙන් සමාධියට පත්වීමේදී සෝවාන් ආදි නිවන් මග අවබෝධ කරගැන්මට යෝග්‍ය මානසික පසුබිම සකස් වෙයි.ඇසළ පොහෝ දිනෙක බුදුරදුන් ලෝකයාට දේශනා කළේ එම නිවන් මඟයි.

වපුරන්නේ යම් බීජයක්ද? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මය

ඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති, 
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය 

නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

කර්මය හා කර්ම ඵලය පිළිබඳ ඉගැන්වීමට දිගු ඉතිහාසයක් ඇතත් අදටත් සමහරු එය පිළිගැනීමට අකැමැත්තක් දක්වති. කර්ම විෂය අචින්ත්‍ය වුවත්, අපට දැනෙන හැඟෙන මට්ටමෙන් ඒ පිළිබඳව කතා බහ කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. බුදුරජාණන් වහන්සේ පහළවෙන අවදිය වන විට පැවැති බ්‍රාහ්මණ, හින්දු හා ජෛන වැනි ආගම් වලද කර්මය පිළිබඳ ඉගැන්වීම් තිබුණු බව පෙනෙයි. එහෙත් බුදු දහමේ ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීමකි. මෙය හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා කර්මය පිළිබඳ බෞද්ධ නොවන මතවාදවල සමහරු එල්බගෙන සිටිති.
මිනිසා සිදු කරන සෑම ක්‍රියාවක්ම කර්මයක් බව , ජෛන ආගම පිළිගනියි. එහෙත් බුදු දහම උගන්වන්නේ, ක්‍රියාවට වඩා ක්‍රියාව සිදුවීමට බලපාන සිතිවිල්ල වැදගත් බවයි. එමෙන්ම, චේතනාවකින් තොරව කෙරෙන ක්‍රියාවන්, කර්ම ගණයට ඇතුළත් නොවීමද බෞද්ධ ඉගැන්වීමයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳවද මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍ය නොවේ. ඇතැම් කර්මවලට විපාක දීමට කාලය නොමැති නිසා, විපාක නොදී ඉවත් වෙයි.
අහෝසි කම්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ එවැනි කර්මයන්ය. දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නොහැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශ වීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකටම මුල් වන්නේ, අතීතයේ කරන ලද කර්මය බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරනලද කර්මය අනුව සිදුනොවන බව, දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීමම මහ මුළාවක් බවයි වදාළේ.
මිනිසාගේ දියුණුව හෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදු සමය පිළි නොගනී. වෙනත් කරුණු රාශියක් ද තිබේ. පංචනියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය, සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටකම තමන් කරුමක්කාරයෙකු ලෙස සිතයි. මිනිසත් බවක් ලැබීමම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස බුදු දහම සලකන බැවින්, මිනිසා පව්කාරයෙකු හෝ කරුමක්කාරයෙකු ලෙස නොසැලකේ.
බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම් තුළින්, පුද්ගලයා අලසයෙකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නොදැන කරන ලද විවේචනයන්ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදු රජාණන් වහන්සේ , උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මගට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියකදී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදු දහම තුළ පුද්ගලයා අලසයෙකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයෙකු කොට ඇති බවයි.
පුද්ගල ජීවිතය මෙන්ම, පවතින සමාජ ක්‍රමයත්, වෙනස්කළ නොහැකි යැයි සිතන පිරිසක්ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි සිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුල හීනයැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය, රහතන් වහන්සේලා බවට පත්කොට, හැම දෙනාගේම ගෞරවය ලබන බවට පත්කරලීමෙන්, බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස්කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරදි මත නිවැරදි කර ගන්න තුරු, කෙනෙකුට ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුපුළුවන. දැන් අප බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳ පූර්ණ වශයෙන් නොවුණත් කරුණු ස්වල්පයක් පමණක් විමසා බලමු. අංගුත්තර නිකායට ඇතුලත් නිබ්බේධික සූත්‍රයේ එන”” චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනෙකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි. කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්‍රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙන කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත.
අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ,අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනාවන්, ශාඛා ප්‍රශාඛා වලට බෙදී චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හා වශයෙන්ද , කාම රාග, රූප රාග හා අරූප රාග වශයෙන්ද බෙදෙයි. රාගය නැවත රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම වශයෙන්ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ලද , මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින් , වචනයෙන් හා මනසිනි.
මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්, වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි.
කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකම් අයහපත් , නරක ඒවා බවත්, බුදු දහමේ පිළිගැනීමයි. හොඳ හෝ නරක කවර ක්‍රියා කාරකමකට හෝ මුල්වෙන්නේ සිතිවිල්ලයි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන්, නරක ක්‍රියාවක් සිදු නොවේ’. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල්වී, හොඳ ක්‍රියාවක්ද සිදුවිය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිළිමත් විය යුත්තේ , ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්,අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.
යාදිසං වපතෙ බීජං

තාදිසං හරතෙ ඵලං 
කල්‍යාණ කාරි කල්‍යාණං 
පාපකාරී ච පාපකං

ගොවියා වපුරන්නේ යම් බීජයක් ද ? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මයි. එමෙන්ම හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵලවිපාකත් නරක කර්මවල යෙදෙන්නා නරක ඵලවිපලාකත් ලබයි. අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීමද කරනු ලැබේ’.
මෙලෙස කර්ම රැස් කිරිම නතර කරනතුරු සසරින් ගැලවීමක්ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස්වේ. මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සදහා ඉතා ප්‍රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතුකළ විට, ජලය ලුනු රස නොවේ.
ඒ ලවණ සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණුරස දැනේ. එමෙන් කරනලද පව්කම්වල ඵලවිපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තබේ. මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නොතබන්න. යම් විදියකින් ඇතුල් වු බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කරගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබටම යහපත් කරගත හැකියි.

සීල සමාදානය හා එහි අනුසස්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ 
කථිකාචාර්ය ආචාර්ය 
පනහඩුවේ යසස්සි හිමි

සීලය යනු කුමක්ද?

බුදුදහම පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයකින් යුක්තය. මෙහිදී ප්‍රතිවේද සාසනය යනුවෙන් දක්වන්නේ සෝවාන් ආදි මාර්ගඵලවලින් යුතු නිර්වාණයයි. එය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙසින් ව්‍යාවහාර කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ බුදු,පසේබුදු , මහරහත් යන ත්‍රිවිධ මාර්ගයෙන්ම නිර්වාණය ප්‍රතිවේද කළ හැකි වීමයි. දෙවියන්, බඹුන් මැරුන් සහිත ලෝක සත්ත්වයන්ගේ හිත සුව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම පර්යාප්ති සාසනයයි. නිර්වාණ ප්‍රාප්තිය සඳහා හික්මිය යුතු අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා, ධූතාංග සහ ආචර සීල සංවර සම්පත්තිය ප්‍රතිපත්ති සාසනයයි. පර්යාප්තියෙන් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයත් සිදුවේ. කිසියම් කලෙක ප්‍රතිපත්තිය නැති වී යයිද එවිට සෙසු සාසනද්වය අතුරුදන් වේ. එබැවින් ප්‍රතිපත්තිය මත පදනම් වූ සීලය ඉතා වැදගත් අංගයක් ලෙස සඳහන් කළ හැකිය.
ප්‍රතිපත්ති ශාසනයෙහි පදනම විනයයි.විනයෝ නාම සාසනස්ස ආයු යනුවෙන් සමන්ත පාසාදිකාවෙහි ඒ බව සඳහන් වෙයි. විනය හික්මීම ලබාදෙයි. සීලයෙහි පරමාර්ථය ද හෙවත් හික්මීම පුද්ගලයා තුළ ඇති කිරීමයි. එබැවින් විනය යනු සීලයට අධිවචනයක් ලෙසද දැක්විය හැකිය.
මෙහිදී සීලය යනු කුමක්ද? යන්න පිළිබඳ නිර්වචනය කර ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාදී ධර්මයෝ සීලය යයි පටිසම්භිදාමග්ගයෙහි සඳහන් වෙයි. විසුද්ධිමග්ගයෙහි චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවීතික්කම සීලය, යනුවෙන් සීලයට අර්ථ විවරණ සපයා ඇත. චේතනා සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාවන්ය. තවද චේතනා සීලය නම් ප්‍රාණඝාතාදිය අත් හරින්නහුගේ සප්ත කර්මපථ චේතනාය, චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති චෛතසිකයයි.අභිධ්‍යාව අතහැර පහ වු අභිධ්‍යාවෙන් යුතු වූ සිතින් වාසය කිරීමයි. සංවර සීලය යනු ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ක්ෂාන්ති සංවරය හා වීර්යය, සංවරය යන පංචවිධ ආකාරයෙන් සංවර වීමයි. ප්‍රාණවධය ආදි දුශ්චරිත සමාදාන විරති, සමුච්ඡේද විරති වශයෙන් පුද්ගලයාගේ හෝ කුදු මහත් වත් පිළිවෙත් පුරන්නහුගේ සිතේ පිරිසුදු බව හෙවත් කෙලෙස් රහිතව ඇති කුශල චේතනාවේ ද සීලය වශයෙන් හඳුන්වනු ලැබේ.

කවර අර්ථයකින් සීල නම් වේද?

සීලය කුමන අර්ථයකින් යෙදෙන්නේ ද යන්න විමසීම ද මෙහිලා වැදගත් කරුණකි. ශීලනාර්ථයෙන් ශීල නම් වේ (සීලනට්ඨෙන සීලං) ශීලය යනු කාය කර්ම ආදීන්ගේ සුසිල්වත් බව හෙවත් නොවිසිරුණු බව යන අර්ථ ගම්‍ය වේ. කය, වචනය , හා සිත යන තිදොරින් සිදුවන අකුසල්වලින් වෙන්ව පවත්නා සුසීලභාවය සහ නාම රූප,අරූප ,ලෝකෝත්තර යන කුසලයන්ට මූලාධාර වන්නේය යන අර්ථයෙන් ශීලයයි කියනු ලැබේ’. කාය කර්මාදියේ පිරිසුදුකම හා කුශල කර්මයන්ට පිහිටවන බව ශීලයෙහි ලක්ෂණයයි. පව්කිරීම පිළිබඳ ඇතිවන විලි බිය දෙක ශීලයෙහි ආසන්න කාරණයයි.

සීලයෙහි ප්‍රභේද

විසුද්ධී මග්ගයේදි සීලය විවිධාකාරයෙන් වර්ගීකරණයන්ට ලක් කර ඇත. තමාගේ හීලෑවීම යන අර්ථයෙන් සීලය එක් වැදෑරුම්ය. චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය වශයෙන් සීලය දෙවැදෑරුම්ය. ආදි බ්‍රහ්මචරියක සීල හා ආභිසමාචාරික සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද නිස්සිත සීල හා අනිස්සිත සීල වශයෙන් ද කාල පරියන්ත සීල හා ආපාණකෝටික සීල වශයෙන් ද සපරියන්ත සීල හා අපරියන්ත සීල වශයෙන් ද ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය වශයෙන් ද සීලය දෙවැදෑරුම් ය. හීන, මධ්‍යම හා ප්‍රණීත වශයෙන් සීලය තෙවැදෑරුම්ය. අත්තාධිපතෙය්‍ය සීල, ලෝකාධිපතෙය්‍ය සීල හා ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද පරාමට්ඨසීල, අපරාමට්ඨසීල හා පටිප්පස්සමද්ධි සීල වශයෙන් ද විසුද්ධ සීල, අවිසුද්ධ සීල හා වේමතික සීල වශයෙන් ද සේක සීල අසේක සීල හා සේක අසේක සීල වශයෙන් ද සීලය ත්‍රිවිධාකාරය. හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසේසභාගිය සීල හා නිබ්බේධභාගිය සීල වශයෙන් සිව් වැදෑරුම්ය. මීට අමතරව භික්ෂූ සීල, භික්ෂුණී සීල, අනුපසම්පන්න සීල හා ගහට්ඨ සීල වශයෙන් ද පකති සීල, අචාර සීල, ධම්මතා සීල හා පුබ්බහේතුක සීල වශයෙන් ද පාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ,ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් ද සිව් වැදෑරුම්ය. පරියන්තපාරිසුද්ධි සීලය අපරියන්තපාරිශුද්ධි සීලය, පරිපුණ්ණපාරිශුද්ධි සීලය, අපරාමට්ඨපාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධිපාරිශුද්ධි සීලය වශයෙන් සීලය පස් වැදෑරුම්ය.
සමස්තයක් ලෙස ගත්කළ සීලය දෙවදෑරුම්ය. එනම් ගෘහස්ථ සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්ථ සීලය යනු ගෘහ ජීවිතයක් ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංච සීලය බ්‍රහ්මචරිය පඤ්ච සීලය,උපෝෂථ අෂ්ඨාංග සීලය,ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු ගෘහස්ථයන් නිතර සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්ෂු භික්ෂුණී යන පැවිද්දන් සමාදන් වන සීලය සාමණේර දස සීලය,උපසම්පදා සීලය ආදි වශයෙන් දැක්වේ. ඒ අනුව පංචසීලය, අෂ්ටාංගසීලය, දස සීලය ආදි සියලුම සීලයන්ට වඩා චතුපාරිශුද්ධි සීලය උසස් වන බැවින් අධිසීලය වශයෙන් හදුන්වනු ලැබේ. මෙසේ සතර සංවර සීලයෙන් යුතුව අධිසීලයට පත්වීම උපසම්පදාව වශයෙන් පැහැදිලි කළ හැකිය.

සිල් රැකිය යුතු ආකාරය

සීලය ආරක්ෂා කළ යුතු ආකාරය ද පෙළ දහමෙහි පැහැදිලිව සඳහන් වේ. මහාවග්ග පාලියේ එන පහත ගාථාවෙන් ඉහත කරුණ අර්ථවත් වෙයි.
යො ගවං න විජානාති 

නසො රක්ඛති ගොගණං 
එවං සීල අජානන්තො 
කිං සො රක්ඛෙය්‍යං සංවරං

යම් ගොපල්ලෙක් තමා රකින ගවරැලේ ගවයන් නොහඳුනන්නේ නම් ඔහු ගවරැල රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ ගවරැල ක්‍රමයෙන් පිරිහී යන්නේය. එමෙන්ම සීලය හරිහැටි නොදත් භික්ෂුවට උපසම්පදා සීලය රැකීම අපහසුය. මෙයින් අදහස් කරන්නේ සෑම අයෙක්ම තමාට අයත් සීලය පිළිබඳ මනා අවබෝධයක් පැවතිය යුතුය යන්නයි.
තවදුරටත් සීලය ආරක්ෂා කළ යුතු ආකාරය විස්තර කිරීමේදී ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකිනා කිරල් දෙණක් සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රකිනා සෙමෙර මුවකු සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් සිය එකම පුත්‍රයා රකිනා මවක සේද, එක් ඇසක් ඇත්තෙකු එය රකින්නේ යම් සේ ද, ඒ අයුරින් සීලය ද ආරක්ෂා කළ යුතුය. සිල් රකින පුද්ගලයකු එම අවස්ථාවේදී මරණයට පත් වුවහොත් දෙව් ලොව උපදින බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.
කිකී ව අණ්ඩං චමරීව වාලධිං – පියං ව පුත්තං නයනං ව රක්කං 

තථෙව සීලං අනුරක්ඛමානකා – සුපේසලා හොථ සදා සගාරවා ති (විසුද්ධිමග්ග, සීල නිද්දේසය)
තවද සීලය බිඳ වැටීම සඳහා බලපානු ලබන හේතු සාධක රාශියක් ද පෙළ දහමෙහි සඳහන් වෙයි. ලාභ සත්කාර ලැබීම, කීර්ති, ප්‍රශංසා බහුලවීම, ශරීර හානි, ජීවිත හානි ආදිය නිසා සීලයට හානි සිදුවේ. මෙබඳු හේතු සාධක නිසා හෝ සීලය අපිරිසුදු වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීම තුළින් සීලය බැබළීමට ලක්වේ. මේ නිසා සිල් සමාදන් වූවන් තමා සමාදන් වූ සිල් පද නොකැඩෙන්නට, සිදුරු නොවන්නට හා දුබල නොවන්නට වගබලා ගත යුතුය. සීලය සදමාදන් වූ තැන් පටන්ම සීලයෙන් යුක්ත වුයේ ලෞකික ලෝකෝත්තර නුවණින් යුක්ත වූයේ එකි නුවණ සමඟ පැවැත්තේ මනාකොට සංසිඳුනේ අකුශල ධර්මයන් නැතිකිරීම පිණිස යොදන ලද වීර්යය ඇත්තේ නිවන් පිණිස යොදන ලද සිත් ඇති බැවින් ඒ පුද්ගලයා එතෙරවිය නොහැකි කාම ඕගාදී සතර වැදෑරුම් සංසාර නමැති මහා සැඩ පහර එතෙර කරන්නේ වෙයි. ලොව විද්‍යාමාන සෑම ආගමකම පාහේ කිසියම් වූ හෝ ශික්ෂණ ක්‍රමයක් විද්‍යමාන වේ. ඔවුන් ඒවා විවිධ නම්වලින් හඳුන්වන අතර බුදුදහමේ ශික්ෂණ මාර්ගය සීලය ලෙස අර්ථ ගන්වා ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ සීලය යනු බුදුදහමට පමණක්ම ආවේණික සංකල්පයක් බවයි.

සීලයෙහි අනුසස්

සීලයෙහි අනුසස් පහක් විසුද්ධිමාර්ගයෙහි සඳහන් වෙයි, “පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සීලවතො සීල සම්පදාය කතමේ පඤ්ච ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාධාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං වුද්ධිං ගච්ඡති...සීල සම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති..යඤ්ඤදෙව පරිසං උපසංකමති, අමංකුභූතො..අසම්මූල්හො කාලං කරොති.. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගලොකං උප්පජ්ජති...” (විසුද්ධිමග්ගය, සීල නිද්දේශය, සීලානිසංස කථා)
සිල්වත් වූ තැනැත්තා අප්‍රමාදය හේතුවෙන් මෙලොවදීම මහත් වූ භෝග සම්පත් ලබයි.
සීලවන්තයාගේ කල්‍යාණ වූ කීර්ති ඝෝෂාව උසස් ලෙස පැතිරෙයි
සීලවන්තයා ක්ෂත්‍රිය පිරිසක් වෙත හෝ බ්‍රාහ්මණ පිරිසක් කරා හෝ ගෘහපති පිරිසක් වෙත හෝ ශ්‍රමණ පිරිසක් වෙත හෝ යම්කිසි සභාවකට එළඹේ ද විශාරදවම මකු නොවූයේ වෙයි.
සිල්වත් තැනැත්තා සිහි නුමුලාව පහන් සිතින් මරණයට පත්වේ.
සිල්වත් තැනැත්තා කය බිඳීමෙන් මරණින් මතු දෙව්ලොව උපදී
මීට අමතරව සීලයෙහි තවත් අනුසස් රාශියක් ද විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. සිල් රක්නා භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට පි‍්‍රය මනාප වෙයි. ගරු කටයුතු හා සම්භාවනීය වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිර්වාණාධිගමය ලද හැකි වීම දි සීලයෙහි ආනිසංසයෝය. බුදුදහම අවධාරණය කරන්නේ සාසනයෙහි කුල පුත්‍රයන්ට සීලය හැර වෙනත් පිහිටක් නැත. මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ රාගාදී කෙලෙස් වේද ඒකාන්තයෙන්ම සීල නමැති ජලය ඒවා පිරිසුදු කෙරේ. එම කෙලෙස් පිරිසුදු කිරීමට ගංගා, යමුනා, සරභූ, සරස්වතී. අචිරවති හා මහී යන ගංගාවන්හි ජලය ප්‍රමාණවත් නොවේයැයිද සඳහන් වෙයි. යමෙක් මනාකොට සීලය ආරක්ෂා කරන්නේ නම් අතිශයින් සීතල වූ එම සීලය මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ යම් පරිදාහයක් සන්හිඳුවන්නේ ද ඒ පරිදාහය මේඝ මාරුතයෝ ද නොසන්සිදුවති. හරි චන්දන ද නොසංසිඳවයි. මුක්තාරාරයෝ නොම සන්සිඳුවත්, මාණික්‍යයෝ නොසන්සිඳුවත්, සඳ රැස්හු ද නොම සන්හිඳුවත්. යම් සිල් සුවඳක් යටි සුළඟෙහි හෝ උඩු සුළඟෙහි හමයි ද ඒ සිල් සුවඳ හා සමාන වූ සුවඳක් තවත් නැත. සර්වර්ගයට යාමට හිනිමගක් වැනි වු ද නිර්වාණය නමැති නගරයට පිවිසීමෙහිලා දොරටුවක් වැනි වූ ද සීලය හා සමාන වූවක් ලොව තවත් නැත. සිල් නමැති අබරණින් සැරසුනා වූ යතිරවරු යම් සේ බබලත් ද මෙසේ මිණිමුතුවලින් සැරසුණු රජවරු ද නො බබළති. සීලය හැම කල්හිම සිල්වතුන්ගේ අත්තානුවාදාදි භය හැම අයුරින්ම දුරලයි. කීර්තියත් සතුටත් උපදවයි.

ඇති වූ දෙයක නැති වීම සහ ඇති වන බව නැති වීම අතර වෙනස

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි


අපිට අද ඇත්තට ම ගොඩක්‌ දේවල් කරන්න නැහැ. අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාව දුරු කරන්න ඕන. ආශාව දුරු කරන්න ඕන. ඕඝ, යෝග, ග්‍රන්ථ, නීවරණ, උපාදාන, කෙලෙස්‌, අනුසය, මේ ඔක්‌කොම අයින් කරන්න ඕන. ඊට පස්‌සේ සතර සම්‍යක්‌ ප්‍රදාන වඩන්න ඕන. සතර ඉද්ධිපාද වඩන්න ඕන. සතර සතිපට්‌ඨානය වඩන්න ඕන. පඤ්චේන්ද්‍රිය වඩන්න ඕන. පඤ්චබල වඩන්න ඕන. සප්ත බොඡ්ජංග වඩන්න ඕන. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න ඕන කියල. ඊගාවට තව යම්තාක්‌ කුසල ධර්ම තියෙනවා නම් ඒවා එකින් එක කරන්න ඕන කියලා. 

ඇත්ත, නෑ නො වෙයි. නමුත් මේක අසාධාරණයි. එකින් එක කෙලෙස්‌ නැති කරන්නත්, ඔක්‌කොම කුසල ධර්ම එකින් එක ඇති කර ගන්නත් කියලා දෙයක්‌ නෑ මේ සාසනේ. අකුසල ධර්ම දුරු කරන්න කියලා වෙන ම`ගකුත් නැහැ. අකුසල ධර්ම ඔක්‌කොම දුරු වෙන්න එක දෙයක්‌ කරන කොට කුසලධර්ම කියන ඒවා ඔක්‌කොම ඉබේ ලැබෙන්නේ, නමුත් කරන්න තියෙන්නේ එකයි කියන තැනටයි මේ ශාසනයේ තියෙන්නේ. 

මේ ඔක්‌කොම දේවල් කරන්න ආර්ය ආෂ්ඨාංගික මාර්ගය කියන එක ම මඟක්‌ විතරයි තියෙන්නේ. 

මා ඔය දැන් මතක්‌ කරන්න හදන කොටස ටිකක්‌ ගැඹුරුයි. හැබැයි කෙටියි. එක දෙයක්‌ කරන කොට යම්තාක්‌ අකුසල ධර්ම තිබෙයි නම් කෙලෙස්‌ ධර්ම තිබෙයි නම් ඒ ඔක්‌කොම අත්හැරෙන්නත් යම්තාක්‌ කුසල ධර්ම තිබෙයි නම් ඒ ඔක්‌කොම වැඩෙන්නත් තියෙන ක්‍රමයක්‌. 

මුලින් මා මතක්‌ කළේ සීලය සමාධිය නැති එකෙන් තමයි මේ හිතේ කතා කරන බව තියෙන්නේ. එක තැනක ඉන්න කොට අපේ හිතේ කතා කරන බව, තනිකම, ගොඩක්‌ සිතිවිලි දුවන බව තියෙනවා. ඔන්න ඔය දුවන ගතිය නතර කරගන්න තමයි සීල සමාධි දෙක තියෙන්නේ. නතර කරගන්න කියන්නේ හොඳට ම නො වෙයි. යම් ප්‍රමාණයකට හෝ අඩු කරගන්නයි. හොඳට ම නතර වෙන්නේ නැහැ. අඩු කරගන්නවා. එහෙම අඩු කරගත්තා ම, අපට ඊට පස්‌සේ මේ මනෝ විඤ්ඤාණ සම්ඵස්‌සය හරහා සම්පූර්ණයෙන් ම, මේ මාර්ගය ම උපදවාගන්න පුළුවන්කම තියෙනවා. අපට පුළුවන් මේ ඔක්‌කොම එක ම තැනකින් ජීවිතයට ගන්න. එකින් එක, එකින් එක මේ ඔක්‌කෝ ම ඕන නැහැ. එතැන දී අප දක්‌ෂ විය යුතුයි. චිත්තුප්පාදයෙහි - හිත උපදින කරුණෙහි සිත හඳුනාගැනීමට දක්‌ෂ විය යුතුයි. හිතේ ලක්‌ෂණය අල්ලගන්න දක්‌ෂ වෙන්න ඕන. 

මා දැන් තේරෙන ප්‍රමාණයට කෙටියෙන් සරල ව මතක්‌ කරන්නම්.

හිතේ දුවන වේගය ටිකක්‌ හරි අඩු වෙච්චි මට්‌ටමකට ගන්න ඕනෙයි කියලා, හිතේ සමාධියෙන්, සති නිමිත්තට සිත තබා ගන්න අපට ටිකක්‌ හරි පුළුවන්කම තියෙන්න ඕනි. එහෙම කෙනාටයි මේ දේ කරන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. ඔබට ඒක කරන්න බැරි නම් තාම මේ මං කියන තැනින් අල්ලගන්න බැහැ. සීලයයි සමාධියයි දෙක මා කලින් මතක්‌ කළේ ඒ නිසයි. ලෝකය තුළ රළු වැඩි වුණොත් හිතේ වේගය ගොඩක්‌ වැඩි වෙනවා. හිතේ දුවන වේගයේ අඩු වීමක්‌ වුණහම - හොඳට ම නතර වෙලා නො වෙයි - සති නිමිත්තට - කිසි දෙයක්‌ හිතෙන්නේ නැති ව - මොහොතක්‌ හරි අපිට හිත තියාගෙන ඉන්න පුළුවන් කියන මට්‌ටමට එනවා. ආවහම ඕන ම කෙනකුට පුළුවන්. 

දැන් එක තැනක ඉඳගෙන අපි භාවනා කරන්න හදනවා කියන්න කො. දැන් මේ විදර්ශනා කරන හැටියි මා කියන්නේ. ඉස්‌සෙල්ලා සීලය කිව්වා. මැදින් සමාධිය ගැන කෙටියෙන් කිව්වා. දැන් මේ විදර්ශනා කරන හැටියි මතක්‌ කරන්නේ. දහමක්‌ නුවණින් බලන හැටි. 

සති නිමිත්තට හිත තබා ගත්තහම අපට හම්බ වෙනවා. චිර කතම්පි, චිර භාසිතම්පි, සාරිතා අනුස්‌සරිතා - බොහෝ කල් සිට කිව්වා වූ, බොහෝ කල් සිට කළා වූ දේවල් අපිට සිහි වෙනවා. මෙන්න මේ දේවල්වලට සිහිය තබන්ඩ ඕන. දැන් අපිට හම්බ වෙන ඉලක්‌කය තමයි, බැහැර අනුව මේ විඤ්ඤාණය පිහිටන්ඩ දෙන්නේ නෑ කියලා. 

මොනවා හරි දෙයක්‌ සිහි වුණා ම, මතක්‌ වුණා ම, බැහැර තියන දෙයක්‌ කියන දැනුමෙන් නම් කියනවා බාහිර විඤ්ඤාණයේ පිහිටියා කියලා. උදාහරණයක්‌ හැටියට කිව්වොත්, ඔබට මෙනැත ඉඳගෙන ගෙදර සිහි කරන්න කිව්වොත්, ඔබට තේරෙනවා නම් බාහිර තියෙන ගෙදරයි සිහි වුණේ, සිහි කළේ කියලා, ඔබ ගේ විඤ්ඤාණය බාහිරවයි පිහිටලා තියෙන්නේ. දැන් වෙන්න ඕනේ දේ තමයි විඤ්ඤාණය, අපේ දැනුම බාහිර පිහිටන්නේ නැති වෙන්න ඕන. ගෙදර සිහි කරනවා කියලා අපි සිහි කරන කොට අපි හඳුනාගන්න ඕන ගෙදර සිහි කරනවා කියලා අපි කළේ අපේ ම මතකය සිහි කරගත්ත එක නේ ද? අපේ ම සිතිවිලි සිහි කරගත්ත එක නේ ද කියලා සිහි කරගත්ත විදිහට නුවණ ගෙනියන්න ඕන. තේරුනා නේ ද?

ඊට පස්‌සේ මෙතැන අපි දක්‌ෂ වෙන්න ඕනේ ඊගාව සිතුවිල්ලේ දී ගෙදර කියලා හිතෙන කොට ම ගෙදර කියලා සිහි වුණේ අපට නේ කියලා දකින්න. මුලින් ම අපිට බැහැර කියන ගතිය එනවා. එහෙම එද්දීත් අපි හිතනවා සිහි වුණේ අපට නේ කියලා. ඒ වුණාට අපේ ගෙදර තියෙනවා නේ කියන හැඟීම ආපහු එනවා. ගෙදර තියෙන්නේ එහේ කියලා. ඒ බව හිතෙන්නේ මෙහෙට නේ ද කියලා ආපහු හිතන්න දක්‌ෂ වෙන්න ඕන. "නෑ එහෙ නේ තියන්නේ" කියලා හිතෙනකොට "දැනෙන්නේ මට නේ. මෙතෙන්ට නේ" කියලා ආපහු හිතනවා.

ඔය වගේ එක අරමුණක්‌ පන්නාගෙන පන්නාගෙන යනවා. ඒ කියන්නේ මුලින් ම "දරුවා" කියලා සිහිවෙන කොට බාහිර කෙනෙක්‌ මයි සිහි වෙන්නේ. "දරුවා" කියලා සිහි වෙන කොට "නෑ මේක හිතේ පහළ වෙච්ච විතර්කයක්‌ නේ" කියලා බලනවා. "නෑ ඒ වුණාට එහේ ඉන්නේ" කියන වචනේ නැති වුණාට හැඟීම හිතට දැනෙනවා. බාහිරේ ඉන්නේ කියන එක. එතකොට ඒ හැඟීම ම අල්ලගන්නවා. "නෑ එහේ ඉන්නේ" කියලා දැනෙන්නේ මෙතෙන්ට නේ ද? ආපහු සිහි කරනවා. - (මේක එක පාරට අත හැරෙන්නේ නැහැ). 

විදර්ශනා කරනවා කියන්නේ එක ම අරමුණ පන්නාගෙන පන්නාගෙන යනවා. තේරෙනවා නේ ද? අපට මේක ජීවිතයේ අත්විඳින්න, කරල පෙන්නන්න පුළුවන්. 

මෙතැන දී එක කාරණාවක්‌ මට මතක්‌ කරන්න තියෙනවා. අපේ ඉලක්‌කය තමයි ඇති වන බව නැති වෙනවා කියන තැනට යන එක. ඇති වෙච්ච දේ නැති වීම හා ඇති වන දේක නැති වීම නිවන නො වෙයි. "ඇති වෙන බව නැති වීම" නිවනයි. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ - ජාතිය කියන්නේ ඇති වීම නේ, ඉපදීම නේ. ඉපදීම නැති වුණොත් ජරා මරණ නෑ. ඇති වුණොත් නැති වෙනවා. උපන්නොත් මැරෙනවා. නූපන්නොත් මැරෙන්නේ නැහැ. ඒක මේ ක්‍ෂණික ව අපේ ජීවිතයට එනවා. ඇති වේච්ච දේක නැති වීම බැලීම තුළ වටිනාකමක්‌ නැහැ. හැබැයි ඇති වෙන බව නැති වෙන තැන බලන්න උපයෝගි කරගන්න ඕනේ ඇති වෙච්ච දේක නැති වීම බැලීම මයි. 

අපි මෙහෙම කියමු. අපිට "අම්මා" කියලා සිහි වෙනවා. "අම්මා" කියලා සිහි වුණේ සිතිවිල්ලක්‌ නේ ද කියලා, ඇති වෙච්ච සිතිවිල්ලේ නැති වීම අපි බලනවා. බැලුවාට "අම්මා ඉන්නවා නේ" කියලා ආයෙත් "අම්මා" කියලා සිහි වෙයි අපට. ආයෙත් "අම්මා" කියන අදහස ඇති වෙන කොට "අනේ මේක සිතිවිල්ලක්‌ නේ" කියලා අනිත්‍යය බලනවා. ඇති වෙච්ච එක නැති වීම බැලුවා කියලා ඇති වෙන බව නැති වෙන්නේ නෑ. අම්මා කියල සිහි වෙයි. යම් වෙලාවක අම්මා කියන අදහසේ සිහි වීම ම නැති වුණොත්, අදහස ඇති වෙන බව නැති වුණොත් නැති බවට බලන්න ඕනෙ නෑ - ඇති වෙන්නේ නැතිනම්. තේරුණා ද මේක? ඇති වෙච්ච දේක නැති වීම බැලුවා කියලා ඇති වෙන බව නැති වෙන්නේ නැහැ. ඇති වෙන බව නැති වුණොත් නැති බවට බලන්න ඕනෙ නෑ.

ඒ වගේ මෙතැන දි එක දෙයක්‌ තියෙන්නේ. භව පච්චයා ජාති - භවය නිසයි ඇති වීම වෙන්නේ. එක්‌ ක්‍ෂණික ව සිතිවිලිවල ඇති වීම තිබුණොත් තමයි, කර්ම භවය තිබුණොත් තමයි. එක්‌ ක්‍ෂණික සිතිවිලිවල ඇති වීම යම්තාක්‌ ද, මේ එක්‌ ක්‍ෂණික ඇති වීම ඇතිතාක්‌ තමයි ප්‍රතිසන්ධි වශයෙන්, සන්තති වශයෙන්, ජාතිය කියන එකක්‌ පෙනෙන්නේ. මරණාසන්න මොහොත වෙන කොටත් අපට සිතිවිලිවල ඉපදීම නැති වෙලා නැතිනම්, යම් සිතුවිල්ලක්‌ ඇති වුණොත් ඇති වෙච්ච එක තණ්‌හා උපාදාන වෙලා තමයි අප යන්නේ. අද අපට එක්‌ ක්‍ෂණිකව ඇති බව, ඇති වීම නැති කරන්ඩ පුළුවන් නම් ඉපදීම නැති කරන්න පුළුවන් නම්, සන්තතිය කියන එක ඉබේ මයි නැති වෙන්නේ. 

ගිනි වලල්ල නැති වුණාට ගිනි පෙනෙල්ලක්‌ තියෙන්ඩ පුළුවන්. ගිනි පෙනෙල්ල නැති වුණොත් ගිනි වළල්ල ඉබේමයි නැති වන්නේ නේ ද? ගිනි පෙනෙල්ලක්‌ කරකවන කොටයි ගිනි වළල්ලක්‌ හැදෙන්නේ. ගිනි වළල්ල අපට නැති කරන්න පුළුවන්. කොහොම ද? ගිනි පෙනෙල්ලේ වේගය නවත්තපුවහම. නමුත් ගිනි වළල්ල නැති වුණා කියලා ගිනි පෙනෙල්ලක්‌ නැති වෙනව ද? ගිනි පෙනෙල්ල නැති වුණොත් ගිනි වළල්ල නැති වෙනවා. ගිනි පෙනෙල්ල වගේ තමයි එක්‌ ක්‍ෂණික ව එක්‌ ක්‍ෂණික ව ස්‌කන්ධයන් ගේ පැවැත්ම තියෙන්නේ. ඒ පැවැත්ම තුළ තමයි බොහෝ දේ ඇති බවට, ලෝකයේ ඇති බවට වළල්ලක්‌ තියෙන්නේ අපට. එක්‌ ක්‍ෂණික ව ස්‌කන්ධයන් කියන තැනට ගත හැකියි. එතකොට මේ වළල්ලෙන් එන පීඩාව නෑ. නමුත් ගිනි පෙනෙල්ල තියෙනවා නේ. ගිනි පෙනෙල්ල ද නැති වුණොත් ඒ එක්‌ ක්‍ෂණික ධර්මයන් ගේ ඉපදීම නැති වුණොත් මෙයා මේ ගිනි වළල්ලෙන් මිදෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. ඒ වගේ මා මේ කතා කරන තැන ටිකක්‌ ගැඹුරු සිද්ධියක්‌. 

අවබෝධ කළයුතු නිරුද්ධ කළයුතු ලෝකය

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ලොවෙහි මුදුනට ම පත් වූ නිසා අපගේ බුදුරජාණන් වහන්සේව “අග්ගප්පත්ත” නමින් හඳුන්වනු ලබනවා. ඒ අනන්ත සම්බුදු නුවණින් තිලොව ම එළිය කළ නිසා “පභාස්කර” කියාත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබනවා. මේ සියලු ලෝකයන්ම ඇතැඹුලක් සේ අවබෝධ කරගෙනයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ. සියලු දිව්‍යලෝක, සියලු බ්‍රහ්මලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය උන්වහන්සේ අවබෝධ කොට වදාළා. එමෙන්ම ඒ හැම ලෝකයකින්ම නිදහස් වෙලයි සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ.
පින්වත් මහණෙනි, මුළුමහත් ලෝකයම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. එනිසාම තථාගතයන් වහන්සේ කිසිදු ලෝකයක් සමඟ එක්නොවීයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මේ ලෝකය හටගන්නා අයුරුත් තථාගතයන් වහන්සේ ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය හට ගැනීම තථාගතයන් වහන්සේ තුළ ප්‍රහාණය වෙලයි තිබෙන්නේ. පින්වත් මහණෙ- නි, ලෝකයේ නිරුද්ධවීමත් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකයේ නිරුද්ධවීම තථාගතයන් වහන්සේ සාක්ෂාත් කොට වදාළා. එමෙන්ම පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කොට වදාළා.
සම්බුදු නුවණින් මේ ලෝකය ගැන ඇතිකරගෙන තිබූ වැටහීම මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඇතිකර ගන්නට බැහැ. සම්බුදු නුවණ අසමසම යි. ඒ සම්බුදු නුවණින් ලෝකය දුටු අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දී වදාළේ ලෝකය ගැන සිතීම අචින්තනීය විෂයක් බවයි. ඒ කියන්නේ සිතා නිම කළ නොහැකි දෙයක්. ඒ කරුණ නොදන්නා නො පිළිගන්නා වර්තමාන ඇතැම් මිනිසුන්, නොයෙකුත් නවීනයැයි කියා ගන්නා යන්ත්‍රෝපකරණ උපයෝගි කරගනිමින් ජීවිත කාලය පුරාම වෙහෙසමින් ලෝකය ගැන සෙවීමට ගන්නා වෑයම කෙතරම් හරසුන් දෙයක් ද?
ලෝකය ගැන වඩාත්ම හරවත් විග්‍රහයක් මේ දෙව් මිනිසුන්හට පෙන්වා දුන්නේ සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අද අප ඉගෙන ගන්නේ එබඳු අපූරු විග්‍රහයක්. මේ දෙසුමට පසුබිම වුණේ "රෝහිතස්ස" නම් වූ දිව්‍ය පුතයෙකුගේ ප්‍රශ්නයක්. මේ දිව්‍ය පුත්‍රයා ලෝකයේ කෙළවරක් සොයා ගන්නට මහන්සි වුණ කෙනෙක්. ඔහුගේ වෑයම අසාර්ථක වූ බැවින් ඒ දිව්‍ය පුත්‍රයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා පැමිණීමට තීරණය කළා.
ඒ දිනවල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා රැය පහන් වෙන වෙලාවේ මුළුමහත් ජේතවන-යම ඒකාලෝක කරගෙන භග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණුනා. වන්දනා කොට එකත් පසෙක සිට ගත්තා.
එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
"ස්වාමිනි, යම් තැනක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම් චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් ස්වාමිනි ලෝකයේ කෙළවර වූ ඒ තැනට පයින් යන්න පුළුවන්ද?"
සියල්ල පරිපූර්ණ ලෙස අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නේ නැතිනම්, දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම්, චුතවෙන්නේ නැතිනම් යළි උපදින්නේ නැතිනම් ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ.
තමාගේ ප්‍රශ්නයට ලැබුණු සෘජු පිළිතුර ගැන රෝහිතස්ස දිව්‍යපුත්‍රයා පුදුමයටත්, සතුටටත් පත්වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
ස්වාමිනි ආශ්චර්යය යි. ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් ඇත්තක්ද වදාළේ. ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැත්නම් දිරන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් චුත වෙන්නේ නැත්නම් යළි උපදින්නේ නැත්නම් ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න් පුළුවන් කියලා. දැනගන්න පුළුවන් කියලා. පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ කියලා.
ස්වාමිනි, මේක ඉස්සර සිදු වූ දෙයක්. මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස කියන නමින්, සෘද්ධිමත් අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමිනි මට ඒ කාලේ මේ විදිහේ ශක්තියක් තිබුණා. හොඳට පුහුණුවුණ හොඳට පුරුදුවුණ තරග කරලා ජයගත්තු ශිල්ප දැක්වූ අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්චි තල් කොළයක් පලාගෙන යන ආකාරයට විඳිනවා වගේ. මටත් අන්න ඒ වගේම ශක්තිමත් බවක් තිබුණා.
එතකොට ස්වාමිනි මට පුළුවන්කම තිබුණා නැගෙනහිර මුහුදට එක පයක් තියලා අනෙක් පය බටහිර මුහුදට තියන තරමේ දුරක් පා තබා යන්න. ඉතින් ස්වාමිනි ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන කියලා. එතකොට ස්වාමිනි මට පුළුන්කම තිබුණා නැගෙනහිර මුහුදට එක පයක් තියලා අනිත් පය බටහිර මුහුදට තියෙන තරමේ දුරක් පා තබා යන්න. ඉතින් ස්වාමිනි ඒ මට මෙන්න මේ ආකාරයේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන කියලා.
ස්වාමිනි, මේ තරම් වේගයක් තිබුණු මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම අවුරුදු සියයක් ජීවත්වෙමින් කනබොන වෙලාව හැර, වැසිකිලි කැසිකිළි කරන වෙලාව හැර නිදියන හා මහන්සි අරින වෙලාව හැර අවුරුදු සීයක්ම ඇවිදලත් ලෝකයේ කෙළවරකට එන්න බැරුව, අතරමඟදීම මිය පරලොව ගියා.
ඉතින් ස්වාමිනි ආශ්චර්යයයි. ස්වාමිනි අද්භූතයි. ඔබවහන්සේ විසින් යමක් පැවසු සේක්ද ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම්, චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් අන්න ඒ ලෝකයේ කෙලවර පා ගමනින් ගිහිල්ල දැනගන්න දැකගන්න පුළුවන් බවක් පැමිණෙන්න පුළුවන් බවක් මම කියන්නේ නැහැ කියලා ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ් වදාළේ කෙතරම් සත්‍යයක් ද?
පහසුවෙන්ම කරුණු වටහා දිය හැකි මේ නුවණැති දිව්‍ය පුත්‍රයාගේ ප්‍රකාශය ගැන භාග්‍යවතුන් වහන්සේ තුළ නිරාමිස සතුටක් උපදින්නට ඇති. ඒ නිසාම උන්වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාහට තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, එසේ වුණේ ලෝකයේ කෙළවරකට එන්නේ නැතුව මේ දුක කෙළවර කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. එහෙම වුණත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමා ලෝකයත් ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධවීමත්, ලෝකය නිරුද්ධවීමේ ප්‍රතිපදාවත් තිබෙන්නේ කියලයි මම කියන්නේ.
සැබැවින්ම ලෝකය කියන්නේ කුමක්ද? කියා මේ සසර ගමනේ යන සත්ත්වයින්ට මනාව පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේම පමණයි. අපට උපතින්ම ලැබුණු ඇස, කන, නාසය, දිව හා කය සහිත මේ බඹයකට නොඅඩු ශරීරයත්, සිතත් නොවේද සැබෑම ලෝකය. අප මේ බාහිර ලෝකය ගැන කොතරම් හාරාඅවුස්සමින් සොය සොයා සිටියත් ඉතාම කෙටි කලෙකින් අයුෂ ගෙවී ගොස් අපේම ලෝකය අපට අහිමිවී යන්නේ නොවේද? වර්තමානයේ මිනිසා වගේම අතීතයේත් මේ බාහිර ලෝකය ගැනම වෙහෙසුණ අය සිටියා. නමුත් ඔවුන් නිරර්ථක වෑයමකින් පසු මරණයට පත්වී මේ ලෝකයෙන් යන්නට ගියා.
එදා මේ රෝහිතස්ස දෙවියාට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර අදටත් කොතරම් ගැලපෙනවා ද? මේ අර්ථවත් දෙසුම අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මිහිරි සරින් මේ ගාථාව වදාළා.
ගමනේන න පත්තබ්බෝ 
ලෝකස්සන්තෝ කුදාචනං
න ච අජත්වා ලෝකන්තං 
දුක්ඛා අත්ථි පමෝචනං

කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බැහැ. හැබැයි ලෝකයේ කෙළවරකට එන්නේ නැතුව දුකින් නිදහස් වීමකුත් නැහැ.
තස්මා හවේ ලෝකවිදු සුමේධෝ 
ලෝකන්තගූ වුසිත බ්‍රහ්මචරියෝ
ලෝකස්ස අන්තං සම්තාවී ඤත්වා
නාසිසෙති ලෝකම්මං පරඤ්චාති

ඒ නිසා ලෝකය දන්න ප්‍රඥාවන්ත වූ ලෝකයේ කෙළවරට ගිය බ්‍රහ්චාරී ජීවිතය සම්පූර්ණ කළ පාපය සිඳබිඳ දැමීම ඒ උතුම් පුද්ගලයා ලෝකයේ කෙළවර දැනගෙන මෙලොවත්, පරලොවත් පතන්නේ නැහැ.
අපටත් මේ ජීවිතය නම් වූ ලෝකයේ අවබෝධ කරගන්න ගෞතම බුදුරජුන්ගේ ධර්මය පිහිට කර ගැනීමේ වාසනාව ලැබේවා.
නයනා නිල්මිණි

අනිත්‍ය සංකල්පය හා නිවන් මඟ

කොළඹ මහානාම විද්‍යාලයේ, 
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති 
සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුදහමේ හරය හේතුඵල දහමයි. මෙම උතුම් න්‍යාය තේරුම් ගැනීමේ දී ත්‍රිලක්ෂණ ධර්මතාවය අත්‍යවශ්‍යය. ජීව අජීව සමස්තය තුළම පවතින යථාර්ථය මෙය බැවිනි. ලෝකයේ නිත්‍ය සුබ ආත්ම ලෙස ගත හැකි කිසිවක් නැත. කිනම් දර්ශනයක් විශ්වාස කළද ලෝක යථාර්ථය මීට වඩා වෙනස් නොවේ.
වෙනස්වන බව, ස්ථිරසාර නොවන බව, විශ්වාස කළ නොහැකි බව දුක් සහගත බව, සම්පූර්ණ නොවූ බව අනිත්‍යතාවයයි. ධර්මානුකූලව සඳහන් කරන්නේ නම් සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය නොවන ස්වභාවය ඇතිවීම නැතිවීම පෙරළීම අනිත්‍ය තත්ත්වයයි. අනිච්ච ලක්ඛණ සූත්‍රයේ දී සඳහන් වන්නේ ඇතිවීම නැතිවීම සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය නොවන ස්වභාවය අනිත්‍ය බවයි. ඇතිවීම නැතිවීම අනිත්‍ය බව ධම්මසංගනී අටුවාව විස්තර කරන අතර විභාවිනී ටීකාවට අනුව ළඟාවිය නොහැකි යමක් ඇත්ද එය අනිත්‍යතාවය බව පැහැදිලි කරයි.
අනිත්‍යය සහ නිවන අතර ඇත්තේ එකිනෙක වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. ලෝකයේ සියල්ල නිත්‍ය යැයි සිතනතාක් නිවන්මඟ ගමන් කළ නොහැකිය. යමෙක් වෙනස් වීම තේරුම් ගන්නේද එවිට නිවන් මඟ පිළිබඳ උනන්දුව ඇතිවේ. අබුද්ධෝත්පාද කාලයන් ලෙස විස්තර වන්නේද අනිත්‍යතාව එතරම් පැහැදිලි නොමැති කාලසීමාවන්ය. එනම් ආයුෂ ලක්ෂයක් පමණ ඇති වකවානුවන්හි වෙනස්වීම හෙවත් අනිත්‍යතාව පැහැදිලි කරදිය නොහැක. ආයු ලක්ෂයක් පමණ ඇති කාලයන්හි මන්දායුෂ්ක කෙනෙක් වුවද පන්දහසක් හෝ ජීවත් වෙයි. මෙම පසුබිම යටතේ යථාර්ථය වූ අනියත දහම පැහැදිලි කිරීම දුෂ්කරය.
මුල්ම බුද්ධ වචනය මෙන්ම අවසාන බුද්ධ වචනය තුළද දක්නට ඇත්තේ අනිත්‍යතාව පිළිබඳ පැහැදිලි කිරීමකි. එමෙන්ම සමස්ත දේශනාවන් තුළද සෘජු හා වක්‍ර ලෙස පැහැදිලි වන්නේ මෙම අනිත්‍යතාවයයි. තමන් වහන්සේ සසර අනිත්‍යතාව සම්පූර්ණ ලෙස නොදුටු හෙයින් ඒ සෑම විටම මාරයා ජයග්‍රහණය කළ බවත්, මේ මොහොතේ දී එය නිවැරදි වී ඇති බවත්, මින් මතුවට මාරයා ජයග්‍රහණය නොකරන බවත් උපත නැතිකළ පරම තත්ත්වය උදාකළ බව ‘අනේකජාති සංසාරං’ යන මුල්ම බුද්ධ වචනයෙන් ගෞතම බුදුරදුන් පැහැදිලි කළහ. මින් පැහැදිලි වන්නේ නිවන ලැබීමට ඇතිවූ ප්‍රධාන බාධකය අනිත්‍යතාවය නොදැනීම බවයි. තමන් වහන්සේ මෙසේ ජයග්‍රහණය කළ බව දක්වනුයේ යථාර්ථය වූ අනිත්‍යතාව තේරුම් කරගත් බැවිනි. වඩුවාට ශරිර කූඩුව නමැති ගෙය හැදීමට ඇති බාධකය මෙම අනිත්‍යතාව තේරුම් ගැනීමයි. මුල්ම බුද්ධ වචනයෙන් හැෙඟන දාර්ශනික අදහස මෙම ත්‍රිලක්ෂණයෙහි පළමු ලක්ෂණයයි.
ඇතිවීම පැවැතීම හා වෙනස්වීම මේ ලෝකයෙහි ඇති යථාර්ථයයි. ජීව අජීව සියල්ලටම මෙම තත්ත්වය පොදු වූවකි ඒ බව දේශනාවේ මෙසේ දක්වයි.
“උප්පාදෝ පඤ්ඤයති. වයෝ පඤ්ඤායති ථිතස්ස අඤ්ඤ තත්ථං පඤ්ඤායති”
බුද්ධ දේශනා කිහිපයක් පමණක් ගෙන මෙම අනිත්‍ය සංකල්පයට ධර්මයෙහි හිමි තැන සාකච්ඡා කළ හැකිය. එය වඩාත් අනිත්‍යතාවය පිළිබඳ ධර්මානුකූල පැහැදිලි කර ගැනීමක් සඳහා ප්‍රයෝජනවත්ය.
1. අ.නි. මේඝිය සූත්‍රයේ දී අනිත්‍යතාව මෙසේ විස්තර කරයි. ආර්යය තත්ත්වයට පත්වීම සඳහා කළණ මිතුරන් සිටීම, සිල්වත්වීම, හොඳ කතාවෙන් යුක්ත වීම, වීර්යය හා ආර්ය මාර්ගයේ ප්‍රඥාවෙන් ගමන් කිරීම අවශ්‍ය ය. ඒ මත පිහිට අනිවාර්යෙන්ම ධර්මතා 4 ක් වැඩිය යුතු ය. ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වුවද මෙම පහත දැක්වෙන ධර්මතා නොවඩා ආර්ය භූමීන්ට පත්වීමේ දුෂ්කරතාවය අවධාරණය කරයි. එම කරුණු 04 මෙසේ ය. රාගය නැති වීම සඳහා අසුබය වැඩිය යුතුයි. ව්‍යාපාදය දුරුවීම සඳහා මෛත්‍රිය ඇති කර ගැනීම අවශ්‍යය, චිත්ත වික්ෂිප්ත බව නැතිකොට සිරිත් එකඟතාව නිර්මාණය කරගැනීම සඳහා ආනාපානසති භාවනා වැඩිය යුතුය. ආන යනු හුස්ම ඉහළ ගැනීමයි. ආපාන යන්නෙන් පැහැදිලි වන්නේ හුස්ම පහත හෙළීමයි. සති යනු සිහියයි. ආනාපානසති යන්නෙහි අර්ථය මේ අනුව මෙසේ දැක්විය හැකිය. හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳ සිහිය පිහිටුවීමයි. මේ නිසා චිත්ත සමාධිය නිර්මාණය වේ. අවසාන වශයෙන් සූත්‍රයේ විස්තර වන්නේ අස්මිමානය හෙවත් මමය මගේය ලෙස ඇතිවන ආධානග්‍රාහීබව බව නැතිවීම සඳහා අනිත්‍යතාවය වැඩිය යුතු බවයි. අනිත්‍යතාවය මත පිහිටීම නිසා එය පදනම්කොට ගනිමින් අනාත්ම තාවයත් ඒ නිසාම නිවනට පත්වීම සිදුවන බවයි. මෙම දේශනාවට අනුව නිවනෙහි පදනම අත්තිවාරම වෙනයමක් නොව අනිත්‍ය තාවයයි.
2. ස.නි. ඵේතාපිණ්ඩූපම සූත්‍රය – පඤ්චස්කන්ධයෙහි ඇති අනිත්‍යය වෙනස්වන බව අවධාරණය කරන සූත්‍ර දේශනාවකි. ‘ඓන පිණ්ඩුපමං රූපං වේදනා බබ්බුළූපමා’ ලෙස ස්ථිර නොවන බව මෙහිදී විස්තර වේ. රූපය එහි අස්ථීර බව පෙන පිඬකට උපමා කරයි. එනම් ඇතිවී නැතිවීයාම ස්වභාවිකව හෝ අස්වාභාවිකව සිදුවිය හැක. පෙණ පිඩෙහි ස්වභාවය මේ හා සමානය. කෙසේ නමුත් මෙයින් අවධාරණය කරනුයේ රූපයෙහි පවතින නිත්‍ය නොවන ස්වභාවයයි.
වේදනාව දිය බුබුලක් ලෙස මෙහිදී උපමාකර පෙන්වා දෙයි. සාමාන්‍ය ජීවිතයේ දී පුද්ගලයාට දැනෙන වේදනා ත්‍රිවිධාකාරය. එනම්,
1. සැප වේදනා
2. දුක වේදනා
3. සැප දුක අතර පවතින වේදනා වශයෙනි. වේදනාව යනු විඳීමකි. සැප දුක යන අංශ දෙකම මේ යටතට ගැනේ. සදාකාලික සැපක් හෝ දුකක් නැති බවත් මේ දෙකම අනිත්‍ය බවත් මෙහිදී දේශිතය. පුද්ගලයා නිරන්තරවම සැප වේදනාවන්ම සෙවීමට උනන්දු වේ. නමුත් එය එසේ නොපවතී දියබුබුලේ ස්වභාවය සිහිපත් කරන්නෙකුට මේ තත්ත්වය හඳුනා ගැනීම අපහසු නොවේ.
සංඥාව හෙවත් හඳුනා ගැනීම් දැනීම් මිරිඟුවකට උපමාකර දක්වයි. එනම් දකින හෝ පෙනෙන තත්ත්වය සැබෑ තත්ත්වය නොවන බවයි. කාන්තාරයේ මුවා ජලය ලෙස දකින්නේ ජලය නොව මිරිඟුවකි. එහි ඇලීම නිසා මරණය පවා අත්විය හැකිය. සංඥාව මිරිඟුවක් ලෙස දක්වන්නේ එහෙයිනි. සම්මුතිය සම්මුතිය ලෙස නොදැකීම මිරිඟුවයි.
සංස්කාර කෙසෙල් කඳකට උපමා කරනුයේ මෙහි ඇති අස්ථීරත්වය පාදකකොට ගනිමිනි. ගතුයුතු හරයක් අරටුවක් නැති බව මෙයින් පැහැදිලි කරයි. පිළි ගලවන්න ගලවන්න ඉතිරිවිය හැකි යමක් කෙසෙල් කඳ තුළ නැත. ඇත්තේ හිස් බවකි. සංස්කාරයන්ගේ ස්වභාවය මේ හා සමානය.
විඥානය මායාවකි. එනම් සැබෑ තත්ත්වය හෙවත් යථාර්ථය පුහුදුන් මනසකින් දැකිය නොහැකිය. මතුපිටින් දකින කාරණාවෝ සත්‍ය ලෙස පිළිගනිති. එය මායාවකි. එය සරලව මෙසේ තේරුම් ගත හැකිය. උදාහරණයකින් මෙලෙස සඳහන් කළ හැකිය. සාමාන්‍ය කෙනෙකු පරිසරය දෙස බලා එය කොළපාට යැයි පවසයි. අව් කණ්ණාඩියක් පළඳින්නෙකු අඳුරු ලෙස එය දකී. කහ උණ වැළඳුන කෙනෙකුට එය කහපාටය. මින් නිවැරදි කාරණය කුමක්ද? ඔන්න සැක සහිත වේ. ඇතමෙකු සිහින දකින විට සැබෑ තත්ත්වය ලෙස සලකයි. අවධියෙන් සිටින කාලය ද සිහින දකින විට දැනෙන තත්ත්වයද වඩා නිවැරදි යන්න තේරුම් ගැනීම ප්‍රශ්නකාරීය. විඤ්ඤාණය මායාවක් ලෙස දක්වන්නේ එහෙයිනි.
විඤ්ඤාණය මායාවක්ය. වෙනස්විය හැකිය. යන්න වඩාත් පැහැදිලි කරගත හැකි ප්‍රධාන සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ ඇත. අස්තතවන්තු සූත්‍රයේදී මේ තත්ත්වය මෙසේ පැහැදිලි කරයි. එනම් මනස හා ද්‍රව්‍ය යන දෙකම අනිත්‍ය බැවින් ඒ දෙකෙහිම ආත්ම වශයෙන් ගත හැක්කක් නොමැත. ඇතැමෙක් විශ්වාස කරනුයේ ද්‍රව්‍ය වෙනස් වූවද මනස වෙනස් නොවන බවයි. ඊට කදිම පිළිතුරක් ඉහත සූත්‍ර දේශනාවෙන් ලබාදෙයි.
සිත විඤ්ඤාණය පවා වෙනස් වන්නේ නම් එය ආත්ම වශයෙන් නිත්‍ය ලෙස ගැනීම සුදුසු නොවේ. සිතේ වෙනස්වීමේ වේගය කයේ වෙනස්වීමට වඩා වේගවත්ය. බැලූ බැල්මට මෙය තේරුම්ගැනීම පහසු නොවේ. නමුත් යථාර්ථය වන්නේද මෙයයි. උද්ධෘත සූත්‍රයේ දී ඒ බව මෙසේ පැහැදිලි කරයි. ‘කයට වඩා වේගයෙන් සිත විඤ්ඤාණය වෙනස් වේ. සිත ආත්ම වශයෙන් ගන්නවාට වඩා කය ආත්මවශයෙන් ගැනීම සුදුසු ය. මෙයින් අවධාරණය කරනුයේ සිත හෝ කය ආත්ම වශයෙන් ගත නොහැකි බවය. එහි ඇත්තේ අනිත්‍ය ස්වභාවයකි. කෙනෙකුට ආත්මවශයෙන් යමක් ගැනීමට නම් කය එසේ වෙනස් නොවේ යැයි සිතා ගැනීම සුදුසු ය. එයට හේතුව සිත කයට වඩා වේගයෙන් වෙනස් වන නිසාවෙනි. මෙයින් ගම්‍ය වන ප්‍රධාන කාරණය වන්නේ ආත්ම වශයෙන් වෙනස් නොවන කිසිවක් නැතිබවය.  
3. ස.නි නඛසිඛෝපම සූත්‍රය - මෙහිදී රූපයෙහි අනිත්‍යතාවය හෙවත් අස්ථිර බව පැහැදිලි කර දෙයි. එනම් රූපයෙහි නිත්‍ය, ධ්‍රැව ශාස්වක නොවෙනස් වන කිසිවක් නැති බවයි. රූපය යන්නෙහිම අරුත වන්නේ වෙනස් විය හැකි ය. යන්නයි. මෙහිදී සඳහන් වන්නේ මෙම වෙනස්වීම හඳුනාගන්නා ආර්යශ්‍රාවකයා නිවන හැරුණුවිට සසර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගනී. එනම් වෙනස්වන රූපයක් නිසා එය කෙසේ හෝ නඩත්තු කිරීමට ගොස් අපාගතවීම සසර දික්කර ගැනීම නුසුදුසු යැයි තීරණය කිරීමයි. මෙහිදී ආර්ය ශ්‍රාවකයා යනුවෙන් සඳහන් වන්නේ ආර්ය ප්‍රතිපදාව තේරුම් ගත් සිව්වණක් පිරිසමය. ඒ තුළ භික්ෂුව මෙන්ම ගිහියාද ඇතුළත්ය. අනන්ත ලක්ඛණ සූත්‍රයේ ද විස්තර වන්නේ සම්මුතික රූපය පිළිබඳවයි. එහිදී දක්වනුයේ පදාර්ථ 05 ක එකතුවට ආත්ම ලෙස හැඳින්වුවද එය සම්මුතිය මිස පරමාර්ථය නොවන බවයි.
ඉහත දක්වන ලද සූත්‍ර කිහිපය පමණක් සැලකිල්ලට ගත්තද නිවන් මඟ සහ අනිත්‍යතාවයේ අභේද්‍ය බව (සම්බන්ධය) හඳුනාගත හැකිය. පුද්ගලයා සසර බැඳ තැබීමට සමත් ශක්තිමත් වරපටක් ලෙස් අනිත්‍යතාව තේරුම් නොගැනීම ප්‍රබල හේතුවකි. යමෙක් කුමන හෝ හේතුවක් පදනම් කොටගෙන හෝ අනිත්‍යතාව තේරුම් ගන්නේද? එහිදී සත්‍ය වැටහේ. පටාචාරා කිසාගෝතමී චරිත මීට කදිම නිදසුන් ය.
උපතේ සිට මරණය දක්වා ඇත්තේ මෙම අනිත්‍ය ස්වභාවයයි. දරුවෙකු වර්ධනය වීම හෝ පහනක් දැල්වීම තුළ යථාර්ථය ක්ෂය වීමය. දරුවෙකුගේ නම් ආයුෂද පහනක නම් තෙල් හා තිර මේ තත්ත්වයට පත්වේ. සෑම ක්ෂණයක් පාසාම සමස්තය තුළ ඇත්තේ මේ ස්වභාවයයි. බුදු දහමට අනුව විස්තර වන්නේ එක් රූප ස්වභාවයක් පවතිනුයේ චිත්ත ක්ෂණ දාහතක් (17) වැනි ඉතා සුළු කාලයකි. විදුලියක් කොටන විට එතන චිත්තක්ෂණ (1000) දාහක් පමණ ඇත. ඒ නයින් බලනවිට චිත්තක්ෂණයක ප්‍රමාණය හඳුනාගත හැකිය.
උපත ලබන පුද්ගලයා අවස්ථා දෙකකදී මරණයට පත්වේ. එනම්
1. ක්ෂණික මරණය, 2. සම්මුතික මරණය වශයෙනි. රහතන් වහන්සේ නමක් නම් උන්වහන්සේගේ පිරිනිවීම ‘සමුච්චේදය’ නැවත උපතක් නොලබන ස්වභාවය මේ නමින් හඳුන්වනු ලබයි. ක්ෂණික මරණය යනු පවතිද්දී වෙනස් වීමයි. සම්මුතික මරණය යන්නේ පැහදිලි වන්නේ තාවකාලිකව එක භවයකින් තවත්භවයකට ගමන් කිරීමයි. ක්ෂණික මරණයන් සමූහයක එකතුව සම්මුතික මරණයට හේතු වේ. සම්මුතික මරණයද අනිත්‍යයය .එනම් නැවත කොහේ හෝ ඉපදිය යුතු බැවිනි. වේළුණු පොල්ගෙඩියක් ගසෙන් බිමට වැටුණු පසු එය සරු පොළොවක් නම් නැවත පොල් පැළයක් නිර්මාණය වේ. වෙනසකට සිදුවූයේ පොල්ගසට පොල් ගෙඩිය අහිමි වීම පමණි. පොල්ගෙඩියේ ක්‍රියාකාරීත්වය එලෙසම සිදුවේ. පුද්ගලයෙකු මිය යාමද මේ හා සමානය. වෙනස එක් නිවසකට එක් සාමාජිකයෙකු අහිමි වීමයි. සම්මුතික මරණය මෙසේ තේරුම්ගත යුතුය. නිවන් ලබනතුරුම විඤ්ඤාණය හෙවත් භවකාරක කර්ම ශක්තිය ගමන් කරයි. එය අවසන් වන්නේ සමුච්ඡේද මරණයට පත්වීම හෙවත් නිවන්ලැබ පිරිනිවන් පෑම තුළිනි.
බෞද්ධයා මෙම අනිත්‍යතාව හඳුනාගන්නවා යනු මේ පිළිබඳ දැන ගැනීම නොව අවබෝධ කරගැනීමයි. ධර්මයට වන්දනා කරන තැනදී “පච්චත්තං වේදිතබ්බෝ” ලෙස විස්තර වන්නේ ද වෙනස්වීම ප්‍රත්‍යක්ෂ බව හෙවත් තේරුම් ගත් බවය. මින් පැහැදිලි වන්නේ ද යමෙක් ධර්මය දන්නවා යනු ඔහු අනිත්‍යතාවය දන්නා බවයි.
ලෝකයේ ආරම්භ කළ ඇතැම් ආගම් ආත්ම සංකල්පයක් සඳහන් කළහ. නිත්‍ය දෙවියන් සියල්ල නිර්මාණය කරමින් පාලනය කරන බව ඔවුන්ගේ විශ්වාසය වූහ. නමුත් බුදු දහම එහි සත්‍යතාවයක් හෝ විශ්වාසයක් නොමැති බව අවධාරණය කළහ. එසේ පැහැදිලි කරමින් පොළොවෙහි යථාර්ථයට මුහුණ දීමට පුද්ගලයා හැඩගැස්වීම සඳහා බොහෝ ඉගැන්වීම් සිදුකළහ. මේ සියලු ඉගැන්වීම්වලට පදනම ලෙස භාවිත කළේ අනිත්‍ය සංකල්පයයි. ජීවිත පසක් කරන භාවනාව ලෙස දක්වන්නේ විදර්ශනාවයි. විදර්ශනාව යනු මෙම පඤ්චස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමයි. මෙයින් පැහැදිලි වන්නේ අනිත්‍යාවබෝධයෙන් තොර විදර්ශනාවක් නැති බවය.
පුද්ගලයා දෙලොව දියුණුව හා නිවන් ලැබීමට වඩාත් සාදාචාර සම්පන්න විය යුතු ය. ඒ සඳහා මේ සමස්තය තුළ ඇති අනිත්‍යතාවය තේරුම් ගත යුතු ය. උදාහරණ දෙකක් පමණක් ගෙන මේ ස්වභාවය මෙසේ විස්තර කළ හැකිය. සාමාන්‍ය ජීවිතයේ දී බොහෝවිට සතර අගතියෙන් ඉවත් විය යුත්තේ සියල්ලෙහිම ඇති අනිත්‍යතාවය නිසාවෙනි. ඡන්දය යනු කැමැත්තය. මෙම කැමැත්ත පමණක් නොව කැමැත්ත කියන චේතනාවට වඩා නිත්‍යත්වයක් නැත. එයද වහවහා වෙනස්වේ. එහෙයින් කැමැත්තෙන් අගතියට හෝ අන්තයට ගොස් තම ජීවිත අපිරිසුදු කර ගැනීම අනුවණකමකි. කෙසේ හෝ කොහොම හරි යමක් ලැබීමට යාමේ දී බොහෝ අකටයුතුකම් සිදු වීම නොවැළැක්විය හැක්කකි. මිනිසුන් එසේ සිදු කරනුයේ අනිත්‍යතාව හඳුනානොගත් බැවිනි. දිනක කැමති වන දෑ නැවත දිනක අකැමැතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය නුවණින් දැකීමට නම් අනිත්‍යතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. ද්වේශයද ඒ හා සමානය. මන්දයත් තමන්ගේකම් අනුන්ගෙකම් තාවකාලික බැවිනි. මගේ මගේ යැයි සිතා අනෙකාට වෛරකිරීම නොකළ යුත්තකි. ද්වේෂයෙන් අගතියට යාම නොකළ යුත්තේද සියල්ලෙහි පවතින මෙම අනිත්‍යතාවය නිසාවෙනි.
තනතුරු වරප්‍රසාද, ප්‍රතිලාභ නොලැබේයැයි සිත සත්‍ය පසෙක දමා අසත්‍ය අයහපත් දෙය අනුමත කිරීම භයෙන් අගතියට යාමකි. තම ජීවිතය පවා අනිත්‍ය තත්ත්වයක් තුළ තනතුරු කෙසේවත් නිත්‍ය විය නොහැකිය. එහෙයින් ඒ මත පිහිට භයෙන් අගතියට යන්නේ නම් ඔහු හෝ ඇය ලෝකයේ පවතින අස්ථීරත්වය තේරුම් ගෙන නොමැත. කර්මඵල විශ්වාස කරමින් භයෙන් අගතියට නොයා අපක්ෂපාතීව යමෙක් කටයුතු කරන්නේද? ඒ අනිත්‍යතාවය අවබෝධකරගත් ආර්ය ශ්‍රාවකයෝය. සරලවම මෝහය ලෙස විස්තර වන්නේ අනිත්‍යතාවයෙන් යුතු ලෝකය එසේ යැයි නොදැකීමයි. මෙයින් අගතියට යන්නේ දෙලොව අයහපත ඇතිකර ගනී. ලෝකයෙහි ස්ථිර කිසිවක් නැති බව තේරුම් ගනීනම් ඔවුන් කිසිවිටකත් මෝහයෙන් අගතියට නොයයි. මෙසේ පුද්ගලයා සතර අගතියෙන් ඉවත් විය යුත්තේ වෙනකිසිවක් නිසා නොව ලෝකයේ පවතින වෙනස්වෙන ස්වභාවය හඳුනාගැනීම තුළිනි.
සතර බ්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ ද අනිත්‍යතාව නිසාවෙනි. සැමදාම ලෝකය යම් නිය නිය තියකට අනුව නොවෙනස්ව පවතී නම් සතර බ්‍රහ්ම විහරණ වැඩීමේ ඵලයක් නැත. නමුත් යථාර්ථය මීට වඩා වෙනස්ය. ලෝකයේ ස්වභාවයම වෙනස්වීමයි. එහෙයින්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැඩිය යුතු ය. මනුෂ්‍යයාට මෙන්ම ගහකොළ සතා සිව්පාවාට ආදරයෙන් ලෙන්ගතුව සැලකීම උතුම්ය. වෙනස්වීම ස්වාභාවික නිසාවෙන් ජාති, ආගම්, කුල වැනි පටුභේදගෙන වෛරය වැපිරීම නොකළ යුතු ය. කරුණා මුදිතා ගුණයන්ද එසේමය.
අනන්තගාමී නොවීමත් අටලෝදහමින් කම්පා නොවීමත් උතුම් ගුණධර්මයකි. ලාභ, අලාභ ආදිය වෙනස්විය හැකිය. ඉන් කම්පාවට පත් නොවී මැදහත්ව සිතිය යුත්තේ සියල්ල අනිත්‍ය බැවිනි. අනිත්‍යතාව දරා ගැනීමට නොහැකිවීම මහා විපත් නිර්මාණය වීමට හේතුවේ. අනාගතය පිළිබඳ ඉලක්ක තිබිය යුතු වුවද? එය වෙනස්විය හැකි බව තේරුම්ගත යුතු ය. මෙලෙස සතර බ්‍රහ්ම විහරණ වැඩීම කළ යුත්තේ වෙනස්වීම සනාතන ධර්මය බැවිනි.
ථේරවාදයේ පමණක් නොව මහායානය තුළද අනිත්‍යතාව අවධාරණය කෙරේ. මහායාන ආභිධම්මිකයන්ගේ ශූන්‍යතාවයද එයට කදිම පිළිතුරකි. නාගර්ජුන පාදයන් මෙම වෙනස්වීම පැහැදිලි කරන්නේ මෙසේ ය.
න සංසාරස්‍ය නිර්වාණාත්
කිඤ්චි දස්සි විශේෂණාම්
සසර හෝ නිවනෙහි ආත්ම සංකල්පයක් නැති බවයි. පොදුවේ ගත් කල මුල් බුදු දහමේ දක්වනුයේ නිවන යනු අල්ලා ගැනීමෙන් තොර තත්ත්වයක් ලෙසය. අලගද්ධූපම සූත්‍රයේ දී පවා ධර්මය පහුරකට උපමාකරන්නේ එහෙයිනි. සංයෝජන ධර්මයන් තුළ සක්කාය දිට්ඨිය ලෙස විස්තර වන්නේද පඤ්චස්කන්ධය ආත්ම ලෙස ගැනීමය. එහෙයින් නිවන් මඟට පිවිසීමේ දී නැතිකළ යුතු පළමු සංයෝජනයෙන් පැහැදිලි වන්නේ අනිත්‍යතාව දැන ගැනීම අත්‍යවශ්‍ය බවය.