ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුද්ධ පූජාවේ ආනිසංස


ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් කරනු ලබන පූජාවන්ගෙන් උසස්‌ම පූජාව බුද්ධ පූජාවය. බුදු දහම අනුව බුද්ධ පූජාව ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙන් කොටස්‌ දෙකකින් යුක්‌තය. මේ කොටස්‌ දෙකකින් යුක්‌ත බුද්ධ පූජාවේදී බොහෝ දෙනකු පවසන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බවය. බුද්ධ දේශනාවේද එය සඳහන් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ආමිෂ පූජාව ප්‍රතික්‌ෂේප කර නැත. එහිදී යම් වැදගත්කමක්‌ ඇත. එහි ඇති වැදගත්කම අප මැනවින් වටහාගත යුතුය.

පූජාවක්‌ පැවැත්වීම නිර්වාණ මාර්ගයේ අංගයක්‌ නොවේ. එහෙත් මෙලොව යහපත හා පරලොව සුගතිගාමී වීම සඳහා ආමිෂ පූජාව බෙහෙවින් උපකාරවේ. බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන මෙම බුද්ධ පූජාව විවිධ නාමයන් ලබා ඇත. විහාර පූජා, බෝධි පූජා හා දළදා පූජා යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ එකම බුද්ධ පූජාවක විවිධ වූ අංගයෝය.

"පූජා" යන වචනයෙන් ගෞරව දැක්‌වීම, සත්කාරය, වන්දනාව හා පරිත්‍යාගය අදහස්‌ කර ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේට කරනු ලබන වන්දනාව, ගෞරවය, සත්කාරය හා පරිත්‍යාගය "බුද්ධපූජා" යන්නෙන් අදහස්‌ කෙරේ. මෙසේ කරනු ලබන පූජාවන් බුදුන්වහන්සේ ජීවමාන සමයේ සිටම පවත්වා ඇති අතර ඒ පූජා විධීන් වඩා වර්ධනය වී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් පසුව බව ද පෙනෙන්නට තිබේ.
"පූජා" පිළිබඳව සොයා බැලීමේදී බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‌ෂු සංඝයාට කරන ලද ප්‍රථම පූජාවක්‌ ලෙස සඳහන් වන්නේ බිම්බිසාර රජතුමා විසින් කරනු ලැබූ වේළුවනාරාම පූජාවයි. මහාවග්ගපාලියෙහි සඳහන් වන එම පූජාව සඳහා "පූජා" යන වචනය සඳහන්ව ඇත. ඒ ගැන සඳහන්ව ඇත්තේ "මම වේළුවනොද්‍යානය බුදු පාමොක්‌ බික්‌සඟනට දෙන්නෙම් නම් යෙහෙකැයි ඉක්‌බිති මගධෙශ්වර වූ සේනා ඇති බිම්සර රජතෙමේ ස්‌වර්ණමය වූ කෙණ්‌ඩිය ගෙන ස්‌වාමීනි, මම වේළුවන නම් උයන බුදුපාමොක්‌ බික්‌සඟනට දෙමියි බුදුන් ඉදිරියෙහි පැන් වක්‌කළේය. මෙහි "පූජා කරමි" යන අදහස හඟවන වචනය ලෙස දක්‌වා ඇත්තේ "දෙමි" යන වචනයයි. "දීම" පූජාර්ථයෙන් සිදුවන විට එය පූජාවක්‌ වන බවට නිදසුනක්‌ ලෙස දක්‌ණ විභංග සූත්‍රයේ සඳහන් වන මහා ප්‍රජාපතී ගෞතමිය බුදුරදුන්ට පූජා කරන ලද සඟල සිවුර පිළිබඳ බුදුන්වහන්සේ කරන ලද ප්‍රකාශය උපුටා දැක්‌විය හැකිය.

"සංඝෙ ගෞතමී දෙහී, සංඝෙ දිනේන අහංෙච්ච පූජිතො හචිස්‌සාමී සංඝොවාති" (ගෞතමිය, සංඝයාට දෙන්න. සංඝයාට දුන් විට මටද පූජා කළා වන්නේය.) "දානය" හෙවත් දීම පූජා බුද්ධියෙන් හා "අනුග්‍රහ බුද්ධියෙන්" යන දෙආකාරව සිදුවිය හැකි බවට පසුකාලීනව කර ඇති බෙදීම අනුවද "දීම" එක්‌තරා අවස්‌ථාවකදී පූජාවක්‌ වන බව පෙන්වා ඇත. ශ්‍රී ලංකාවෙහිද සෙල්ලිපිවල සංඝයාට කරන ලද පූජාවලදී "සගස දිනෙ (දිති) යනුවෙන් "දිනෙ" යන වචනය යොදා ඇත.

උදාන පාලියෙහිදී හා ජාතක අට්‌ඨකථා විස්‌තරවලදී දක්‌නට ලැබෙන පරිදි බුදුන්වහන්සේ බැහැදැකීමට යන අය මල් සහ සුවඳ වර්ග රැගෙන ගිය බව සඳහන් වේ. එහෙත් ප්‍රධාන නිකාය ග්‍රන්ථවලදී එබන්දක්‌ ගැන සඳහන් නොවේ. දීඝ නිකායෙහි මහා පරිනිර්වාණ සූත්‍රයේ අම්බපාලී ගණිකාව බුදුන් වහන්සේ හමුවන්නට පැමිණි අවස්‌ථාවේදීත්, එසේම එම සූත්‍රයෙහිම ලිච්ඡවි රජවරුන් බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණිවිටදී ද මේ අය පැමිණ ඇත්තේ පසුවදා දානය සඳහා බුදුන් ප්‍රමුඛ සංඝයාට ආරාධනය කිරීම සඳහා වුවත්. මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. මඡ්ක්‌ධිම නිකායේ කන්දරක සූත්‍රයේ ඇත්ගොව්වාගේ පුත්‍රයා වන පෙස්‌ස, සෙඛ සූත්‍රයෙහි කිඹුල්වත්පුර ශාඛ්‍යයෝද බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්‌ථාවලදී මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. එහෙත් ජාතක කතාවල දී බුදුවහන්සේ හමුවීමට පැමිණෙන අය මල් රැගෙන පැමිණි බව සඳහන් වේ. 

එසේම බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් නිධන් කළ චෛත්‍යයට මල් සුවඳ වර්ග පුදන්නේ නම් එය බොහෝ දෙනාට හිතසුව පිණිස වන බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී සඳහන් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත්තේ ආනන්ද හිමියන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරයට කෙසේ පිළිපැදිය යුතු දැයි නගන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. මෙහිදී ද පූජා යන වචනය භාවිත කර නැත. "පටිපඡ්ජාම" යන වචනය එහිදී යොදා ඇත. එහෙත් අට්‌ඨ කතාවෙහි තථාගතයන් වහන්සේ ගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද චෛත්‍යයට වැඳීම "ෙච්තිය පූජා" යන නාමයෙන් හඳුන්වා ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ සඳහන් කර ඇති තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කරන ලද චෛත්‍යයනට වැඳීම වැදගත් බව සඳහන් කර ඇත. එයට හේතු වී ඇත්තේ එකල සමාජයේද චෛත්‍ය වන්දනාව තිබුණ නිසාය. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිම උදෙන ෙච්තිය, ගෞතමය ෙච්තිය, සත්තම්බක ෙච්තිය, බහුපුත්ත ෙච්තිය, සාරානන්ද ෙච්තිය සහ චාපාල ෙච්තිය ආදී වශයෙන් චෛත්‍යස්‌ථාන තිබුණ බව පෙනේ. මේ සඳහා වැදගත් සාධකයක්‌ ලෙස පෙන්නුම් කිරීමට හැකිවන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක්‌ ධර්මාශෝක රජු විසින් ප්‍රතිසංස්‌කරණය කොට එයට වන්දනා මාන කළ බව නිගලීසාගර් නම් ශිලා ලේඛනයෙහි සඳහන් වීමයි. අශෝක කාලය වන විටත් කෝණාගමන බුදුන්වහන්සේගේ චෙත්‍යයට වන්දනාමාන පැවැත්වීමේ සිරිත තිබුණා නම් ගෞතම බුදුන්වහන්සේගේ කාලයේදී එම චෛත්‍යය තිබුණේ යෑයි පිළිගැනීම යුක්‌ති යුක්‌තය.

බුද්ධ පූජාවට විශේෂයෙන්ම පාදක වන්නට ඇත්තේ මහාපරි නිර්වාණ සූත්‍රයේදී භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකාවන්ගේ සිත් පහදවා ගැනීමත්. සංවේගය උපදවා ගැනීමත් කළයුතු ස්‌ථාන හතරක්‌ ලෙස තථාගතයන් වහන්සේගේ උත්පත්ති ස්‌ථානය, බුද්ධත්වය ලැබූ ස්‌ථානය, ධම්මචක්‌කය පැවැත්වූ ස්‌ථානය සහ අනුප දිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ ස්‌ථානය යන ස්‌ථාන සතර ඉදිරිපත් කිරීම නිසා විය යුතුය. මෙම ස්‌ථාන සතර මෙසේ සිත් පහදවා ගත යුත්තේ, සංවේග කළ යුත්තේ කුමන කරුණක්‌ නිසාදැයි පෙන්වන අටුවාව මෙම ස්‌ථාන සතර බුදුගුණ අරමුණු කර ගැනීමට විශේෂයෙන් අදාළ වන ස්‌ථාන සතරක්‌ ලෙස දක්‌වා ඇත. මෙසේ බුදුගුණ අරමුණු කිරීම කුසල සහගත ෙච්තනා උපදවන එම කුසලයෙන් දෙව්ලොව උප්පත්තිය සඳහා හේතු වන බවත් වැඩිදුරටත් අට්‌ඨකතාවෙහි සඳහන් කර ඇත.

මහාපරිනිර්වාන සූත්‍රයෙහි, මෙම ස්‌ථානවල ඇවිද සිත් පසන් කරගෙන කලුරිය කරන තැනැත්තා ඒකාන්තයෙන්ම දෙව්ලොව උපදින බව සඳහන් කර ඇත. මේ නිසා බුද්ධ පූජාව විශේෂ වැදගත්කමක්‌ ඇති පූජාවක්‌ බවට පත්විය. මෙසේ වූ බව තවත් තහවුරු වන කාරණයක්‌ වන්නේ තථාගත ශරීරයට පිළිපැදිය යුතු අන්දම කෙසේදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසූ අවස්‌ථාවේදී "ආනන්දය ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම සඳහා උනන්දු නොවන්න" යනුවෙන් සඳහන් කර ඒ සඳහා ක්‍ෂත්‍රියත්. බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන්ද සිටින බව සඳහන් කිරීමෙන්ය. මෙයින් සඳහන් වන්නේ ප්‍රතිපත්තිය සඳහා කාලය යොමු කිරීමට අපහසු ගිහි ජනතාව සඳහා විශේෂයෙන් මෙවැනි ධාතු චෛත්‍යය වන්දනය අනුදැන වදාරා ඇති බවකි. ප්‍රතිපත්තිය සඳහා යොමුවූ ශ්‍රාවකයන් වහන්සේලා නිර්වාණ සම්පත්තිය ලැබීමට උත්සුක වූ අතර ගිහි ජනතාව මෙබඳු වන්දනාමාන ආදියෙන් හා පූජා පැවැත්වීමෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ස්‌වර්ග සම්පත්තිය ලබන බවකි. මේ බව විමානවත්ථුවෙහි "පූජෙථ නං පූජනීයස්‌ස ධාතුං

ඒවං කරා සග්ගම්තො ගම්ස්‌සථ" යනුවෙන් පූජනීය වූ ධාතුන්ට පූජා කරන්න මෙසේ කරන්නාවූ අය ස්‌වර්ගයට යන්නේය) සඳහන් වන්නේය.

බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසුකලෙක බුද්ධ පූජාව විශේෂයෙන්ම වර්ධනය වීම සඳහා මෙබඳු කරුණු හේතුවිය.

බුදුගුණ සිහිකිරීම ඉතාමත් වැගත් භාවනාවක්‌ බව පිළිගන්නා ලද්දකි. බුද්ධානුස්‌සතිය, අනුස්‌සති භාවනා කර්මස්‌ථාන සය අතුරෙන් එකක්‌ බව දීඝ නිකාය සංගීති සූත්‍රයේ දක්‌වා ඇත. 

"ඉතිපිසෝ භගවා අරහං" ආදී වශයෙන් බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්‌සතිය ලෙස විශුද්ධි මාර්ගයෙහි දක්‌වා ඇත. නව අරහාදී බුදුගුණ, දසබල, චතුර් වෛශරද්‍යාඥාන හා අට පිරිසෙහි අකම්ප්‍ය ඥාන යන බුදුගුණ පිළිබඳ විශාල විස්‌තරයක්‌ මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. මෙම බුද්ධානුස්‌සති ක්‍රියාදාමය අරමුණ කරගනිමින් චෛත්‍ය වන්දනය හෙවත් ෙච්තිය චාරිකාව " සිදුවන බව අට්‌ඨකතාවෙහි සඳහන් වේ.

බුදුගුණ සිහිකිරීම සඳහා ශාරීරික ධාතු අඩංගු චෛත්‍යයක්‌ වන්දනා කිරීමට අමතරව බෝධිය පූජ්‍යත්වයට පත්වූ ආකාරය "කාලිවග බෝධි ජාතක අට්‌ඨකතාවේ දැක්‌වේ" එහි සඳහන් වන ආකාරයට සැවැත් නුවර වැසියන් බුදුන් වහන්සේ පිදීම සඳහා සුවඳ වර්ග සහ මල්ද රැගෙන විහාරයට ගිය වේලෙහි උන්වහන්සේ ජනපද චාරිකාවේ නියුක්‌තව සිටි නිසා වෙනත් පූජනීය ස්‌ථානයක්‌ නොමැතිකමින් ගෙන ගිය දෑ ගන්ධකුටි ද්වාරයෙහි දමා ගිය බවක්‌ සඳහන් වේ. මේ නිසා බුදුන් වහන්සේ නොමැති අවස්‌ථාවල වැඳුම් පිදුම් කිරීම සඳහා යමක්‌ අනුමත කළ යුතු බව බුදුරජාණන් වහන්සේට දක්‌වා බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී ම චෛත්‍යයක්‌ අනුමත කළ හැකිදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විචාර ඇත. ඒ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ ශාරීරික, උද්දේසික හා පාරිභෝගික වශයෙන් චෛත්‍ය තුනක්‌ ඇති බවත් එයින් ශාරීරික චෛත්‍යය බුදුන් වහන්සේ පරිනිර්වානයට පත්වන තුරු ඇති නොවන බවත්, උද්දේසික යනුවෙන් කිසිවක්‌ දැකිවිය නොහැකි නිසාත්, පාරිභෝගික වශයෙන් බුදුන් වහන්සේ පරිභෝග කරන ලද බෝධිය චෛත්‍යයක්‌ වශයෙන් ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස ගත හැක්‌කේ ජාතක අටුවා ග්‍රන්ථ පිළියෙළ වන කාලය වන විට වර්තමානයෙහිද සඳහන් කරනු ලබන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් පිළිගෙන තිබුණ බව සඳහන් වීමයි. 

බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ආනන්ද හිමියන් මුගලන් මහ රහතන් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියෙන් ඵලයක්‌ ගෙන්වා අනේපිඬු සිටුතුමා ලවා ඡේතවනාරාම ද්වාරයෙහි සිටුවා බෝධියක්‌ රෝපණය කළ බව කාලිංග බෝධි ජාතක අටුවාවෙහි සඳහන් වේ. එය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. මෙම බෝධියට කරනු ලබන පූජාව බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක්‌ හා සමානත්වයෙන් සලකා ඇත. එය බුදුන් වහන්සේ ද අනුමත කර ඇත. මෙසේ සලකා බලන විට බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව වර්තමානයේ ඇතැමුන් නගන අදහස්‌ එතරම්ම සාධාරණ නොවන බව පෙනේ. බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව අතීතයේදී ද සාකච්ඡා වෙමින් තිබුණු බව මිලින්ද ප්‍රශ්නයේ "පූජා අප්‍රතිග්‍රහණ" ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් විමසා ඇති ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. එනම් ඉදින් සර්වඥයන් වහන්සේ ලෝකයා කරන පූජාව ඉවසන්නේ නම් උන්වහන්සේගේ කෙළෙස්‌ නිවී නැත. නික්‌ලේශී නොවූ පුද්ගලයකුට කරනු ලබන පූජාව නිශ්ඵලය. ඉදින් උන්වහන්සේ නිර්වාණය ලබා ඇත්නම් පිරිනිවන් පා වදාළ සර්වඥයන් වහන්සේ පූජාවන් නොඉවසන නිසා එබඳු පුද්ගලයකුට කරනු ලබන පූජාවද නිශ්ඵල වන්නේය" යනුයි.

මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියන් ප්‍රථම බෝධිමූලයෙහිම තථාගතයන් වහන්සේ ආසාවන් ප්‍රහීණකොට ඇත. අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ උන්වහන්සේ පූජාවන් නොඉවසන බව කියනුම කවරේද? එසේ වෙතත් උන්වහන්සේගේ ධාතුන් ප්‍රතිෂ්ඨාකොට ඤාණරත්නය අරමුණකොට මනාකොට ප්‍රතිපත්ති සේවනය කරන්නෝ කුසල රැස්‌කරති යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉහත සඳහන් කරුණුම නොව "පූජාච පූජානීයානං එතං මංගලමුත්තමං" යනුවෙන් මහා මංගල සූත්‍රයෙහි පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක්‌ බව පෙන්වා ඇත. එසේම මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ ධාතු තැන්පත්කර ඇති චෛත්‍යයනට වැඳීමෙන් සිත් පහදවා ගැනීමෙන් මරණින් මතු ස්‌වර්ගයෙහි උපදින බව දක්‌වා ඇත. මිලින්ද ප්‍රශ්නයෙහි දක්‌වන පරිදි තථාගත ධාතු රත්නයට පූජා කරන අය මනුෂ්‍ය දිව්‍ය හා නිර්වාණ යන ත්‍රිවග_ සම්පත්තිය ලබන බව දක්‌වා ඇත. එසේම මේ කරුණුවලට වඩා වැදගත් වන්නේ බුද්ධ පූජාව කරනු ලබන අවස්‌ථාවේදී බුද්ධානුස්‌සති භාවනාව සිදුවන නිසා එය භාවනාමය කුසල කර්මයක්‌ වීමෙන් එහි අනිසංස තවදුරටත් වර්ධනය වීමය.

ශාස්‌ත්‍රපති කොත්මලේ 
රංජිත් එස්‌. කේ. සූරියආරච්චි