ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අමුතු දේ හිතන උමතු මනස

කැලණිය විශ්වවිද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

" ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි."

උමතු බව, සිහි විකල් බව, සිහි මුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචන ය. මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතා මෙන්ම උග්‍ර මානසික විකෘතිතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ.

මෙම උමතු බව නිසා අමුතු අමුතු බොහෝ දේ අපගේ මනසට නැඟේ. ඒවා බොහොමයක් අපට අහිතකර වේ. බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැදින්වෙන මානසික පීඩනය, කාංසාව හෙවත් කාන්සිය තනිකම, පාලුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ.

එසේම, සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝන්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ.

මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි. එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම්, ලෝකය යනු කුමක් දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන හෙයිනි.

සබ්බෙ පුථුජ්ජනා උම්මත්තකා

යන ප්‍රකාශය බෞද්ධ අපට ඉතා හුරු පුරුදු ය. එහි ගැඹුරු හා පළල් අදහසක් ඇත. මානසික උමතුව පිළිබඳව බුදුදහමෙහි ගැඹුරු සාකච්ඡාවක් පවතින අතර, උන්මාදය අප අත්විඳීන විවිධ මානසික විකෘතිතා අතර එක් පැතිකඩක් පමණකි.

මෙහි සාකච්ඡා වනුයේ එම පෘථුල කතාවේ ඒකදේශයකි. ඉතා කෙටියෙන් කිවහොත් බුදුදහමෙහි උන්මාද අටක වර්ගීකරණයක් හමුවේ. කාම උන්මාදය, ක්‍රෝධ උන්මාදය, දර්ශන උන්මාදය, මෝහ උන්මාදය, යක්ෂ උන්මාදය, පිත්ත උන්මාදය, සුරා උන්මාදය හා ව්‍යසන උන්මාදය යනුවෙනි. බටහිර මනෝ විද්‍යාවෙහි විවිධ වර්ගීකරණයන් යටතේ විස්තර වන සියලු මානසික රෝග ඉහත දැක්වූ උන්මාද අට තුළ අන්තර්ගත වන බව නූතන මනෝ විශ්ලේශකයන්ගේ අදහසයි.

එබැවින් බුදු දහමෙහි සඳහන් මෙකී අට උමතුව පිළිබඳ අවබෝධය අපගේ මනස පිළිබඳ අවබෝධය සඳහා මෙන්ම මැනවින් පවත්වා ගෙන යෑමට උපකාරී වනු ඇත.

කාම උන්මාදය

කාම උන්මාදය යනු කාමය නිසා ඇති වන මානසික උමතුවයි. බුදුදහම ගිහියන් සඳහා නිසි කාම සේවනයක් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුට ම මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

පාලනය කොට ගත නොහැකි තරම් අධික ආශාවට හා තෘෂ්ණාවට යමෙකු වසඟ වුවහොත් ඔහුට හෝ ඇයට අතෘප්තිකර කාමාශාවකින් කල් ගෙවීමට සිදුවේ. අධික හා අතෘප්තිකර කාම ආශාව නිසා භයානක ප්‍රතිඵල අත් විඳීමට සිදුවිය හැකි ය.

අතෘප්තිකර කාමාශාව නිසා සියලු පිරිමින් මරාගෙන ගිය තරුණයකු පිළිබඳ සඳහන් වන අසනඝ ජාතකය මීට කදිම නිදසුනකි. පාලුව, තනිකම, මානසික අවපීඩනය, ඉච්ඡාභංගත්වය නැතහොත් බලාපොරොත්තු කඩවීම් වැනි තත්වයන්ට එවැනි අයට මුහුණ දීමට සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි හානිකර ගැනීමට තරම් උග්‍ර තත්වයකට තමා පත්වීමයි.

අනෙක් අතින් මෙබඳු පුද්ගලයන් ලිංගික අපචාරවලට පෙළඹේ. අස්වාභාවික ලිංගික ක්‍රියා, ලිංගික වධහිංසා කිරීම්, කුඩා ළමුන් දූෂණය කිරීම්, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම් වැනි ක්‍රියා මඟිින් තෘප්තියක් සෙවීමට පෙළඹෙන්නේ මෙබඳු පුද්ගලයෝ ය. කාමුකයකු තුළ පවතින මෙය උන්මාදයකි. එබැවින් කාමය පිළිබඳ අවබෝධය සෑම කෙනෙකුට ම තිබීම අවශ්‍යය.

බුදු දහම අනුව කාම වස්තූන් සමඟ කැරනු ලබන ගණදෙනුව හුදෙක් ස්වල්ප මාත්‍ර වූ ආස්වාදය ගෙන දෙන්නකි. යථාර්ථයක් වශයෙන් එයින් ලබන තෘප්තිය සිහිනයකින් ලබන ආස්වාදයක් වැනි ය. එබැවින් ආස්වාදය, ආදීනව තේරුම් ගැනීම හා නිස්සරණය හෙවත් ඒ සම්බන්ධ මානසික පාලනයක් ඇතිකර ගැනීම යහපත් පවුල් ජීවිතයකට සහ යහපත් පුරවැසියකු වීමට හේතු වේ.

කාමයෙහි ආදීනව මෙනෙහි කිරීමත්, අශූභ සංඥාව වැඩීමත් කාම උන්මාදයෙන් වැළකීමට ඉවහල් වේ.

ක්‍රෝධ උන්මාදය

දෙවන උන්මාදය වන්නේ ක්‍රෝධ උන්මාදයයි. අධික කෝපය හේතුකොට ගෙන යම් යම් අය තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාව මෙයින් අදහස් වේ. කෝපය හෝ ක්‍රෝධය වූකලි සිතිවිල්ලකි. එය ගින්නක් හා සමාන ය. බොහෝ කාලයක් කෝපය පාලනය කර ගැනීමට අසමත් පුද්ගලයාට මෙකී ක්‍රෝධ උන්මාදය ඇතිවේ. ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැති, ආගම ධර්මය පිළිබඳ පිළිගැනීමක් නැති, යතාර්ථය පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩි ය.

බුදුදහමේ පෙන්වා දෙන පරිදි

ක්‍රෝධ උන්මාදයෙන් පෙළෙන තැනැත්තාට ඉන් සිදුවන යහපත හෝ අයහපත නො වැටහේ. හරි වැරදි නොසලකයි. ධර්මය ගැන නො සිතයි. ඔහු අන්ධකාරෙය් සිටින කෙනෙකු වැනි ය. ඔහු නිතර දැවෙන්නෙකි. ලජ්ජා බිය නැත්තෙකි. ගෞරවාන්විත ව කතා නො කරන්නෙකි.

අඩුවෙන් කතා කිරීම සහ පැහැපත් නොවන මුහුණක් තිබීම ඔහුගේ ශාරීරික හා චරිත ලක්ෂණ වේ.

ක්‍රෝධ උන්මාදයේ පදනම වන්නේ මෝහය, මුළාව නැතහොත් අඥානකම වේ. මෙබඳු පුද්ගලයන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩිය. මෙය පාලනය කර ගැනීම කුඩා කල සිටම කළ යුත්තක් වේ. තමා තුළ පවතින ක්‍රෝධය මානසික රෝගී තත්වයක් බව අවබෝධය වැඩි කර ගැනීම, ධර්මයට යොමුවීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම මෙම උන්මාදයෙන් වැළකී සිටීමේ පිළියම වේ.

දර්ශන උන්මාදය

තෙවන උන්මාදය වන්නේ දර්ශන උන්මාදයයි. බෞද්ධ ග්‍රන්ථවල මෙය දැක්වෙන්නේ දිට්ඨිවිපල්ලාස යනුවෙනි. මායා රූප පෙනීම මෙහි ලක්ෂණයයි.

ඇතැම් අය තමන් අසවල් අසවල් දෙවියන් දුටු බව හා තමන් සමඟ කතා කළ බව, අසවල් මිය ගිය තැනැත්තා හෝ ජීවත්වන තැනැත්තා තමන් දුටුබව හා කතා කළ බව කියමින් උමතුවෙන් සිටිනු ඔබ දැක ඇත. මෙය ද උන්මාදයකි. මෙය භින්නෝන්මාදය නමින් දක්වන බටහිර මනෝවිද්‍යාවෙහි එය දරුණු මානසික තත්වයක් ලෙස විග්‍රහ කෙරේ. එබඳු මායාවන් සොයා තනියම තැන්තැන්වල යන අවස්ථා ඇත. හුදෙකලාව කතා කරමින් සිටීමත් මෙහි ලක්ෂණයකි. සමථ හා විදර්ශනා භාවනාවෙන් මෙයින් වැළකී සිටිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මා හදාගත් ලෝකයක දුක් විඳිනවා විනා තිබෙන ලෝකයක දුක් විඳිනවා නො වේ

     
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
අනුශාසක,  පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි


මේ ලෝකය, අපි දුක් විඳින ලෝකය තියෙන එකක් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් කිව්වොත් පිළිගන්නෙ නෑ. ඒක විවර කරල පෙන්නන්න තමයි, පිළිගන්න පුළුවන් මට්ටමට පෙන්නන්න තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නෙ. නිකමට හිතන්න, ඔබට අම්ම, තාත්ත දුවා පුතා කියල ඔබට වටිනාකමට තේරෙන අය ඉන්නව ගොඩක්. ඒ අය ලෙඩ වුණොත් මැරුණොත් ඔබ දුක් වෙනව මහන්සි වෙනව. හැබැයි ඔබට වටිනාකමින් පේන ඒ වස්තු අනික් අයටත් ඒ වටිනාකමින් පේනව ද? නෑ. ඉතින් මේ ලෝකෙ වටිනාකමක් තියෙන දේවල් තියෙනව නම් ඒ වටිනාකම දැනෙනව නම් අනික් මනස්වලටත් දැනෙන්න ඕන. ඔබට විතරක් නෙමෙයි ද ඔබේ ලෝකෙ වටිනාකම දැනෙන්නෙ? මගේ අම්ම මට අම්ම වුණාට ඔබගෙ අම්ම නෙමෙයි නෙ. ඒ රූපෙ වෙනස් වන කොට මං මව මළ දුක විඳිනව. මේ මගේ ලෝකෙ. මගේ අම්ම තාත්ත මගේ සහෝදර සහෝදරියො ඔබ දන්නෙ වත් නැහැ. එහෙනම් මම හදාගත් ලෝකයක දුක් විඳිනව විනා තියෙන ලෝකයක දුක් විඳිනව නෙමෙයි. දුක්ඛ නිරෝධය සඳහා ඉස්සර වෙලා දුක තේරුම් ගන්න. මේ ලෝකෙ දුක. දුක ඇති කරපු හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් දුක නැති වෙනව. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියල ඉගෙනගත්තහම ඒ දර්ශනය තියෙන කෙනාට, පටිච්ච සමුප්පාදය දන් නකෙනාට සක්කාය දිට්ඨි විචිකිච්චා දෙක නෑ. 

මේ දර්ශනය අපි දැනගෙන ඊළඟට භාවනා කරන්න ඉගෙන ගනිමු. සමථය වඩන්නෙ කොහොම ද? විදර්ශනාව වඩන්නේ කොහොම ද? ශී ලයක පි හි ටන් නෙ කොහොම ද කියල ශීලයක පිහිටල සමථ විදර්ශනා වඩන හැටි අපි ඉගෙන ගනිමු. එතකොට අපි දන්නව අපි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි පුරන්නෙ. මොකට ද? මේ ලෝක නිරෝධයට. මේකෙ අවසානය මම ඉපදෙනව ලෙඩ වෙනව මහලු වෙනව මරණයට පත ් වෙනව කියන ජාති ජරා මරණයන් ගෙන් මම මිදිල. මේ ජරා මරණයට පත් වෙන මේ කය මම කියල පෙන්වන දර්ශනයෙන් මම මිදිල. මම දුව පුතා අම්ම තාත්ත සහෝදර සහෝදරියො ගෙවල් දොරවල් කියන බැමිවලින් මම නිදහස් වෙලා. ඒවයින් මිදිල. ඒවයෙ අවශ්‍යතාව නෑ. ඒවයෙ පිපාසය නෑ. ගෙවල් දොරවල් දුවා පුතා යාන වාහන කියන සංයෝජනයන් තිබුණ නම් ඒව ගෙවිල. ඒව නිසා එන දුකින් නිදහස් වෙලා මනස, මේ දර්ශනය නිසා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙන්නෙ. මේ වගේ දර්ශනයක් දැනගෙන භාවනා නො කරන කෙනා වටිනවා මේ වගේ දර්ශනයක් නැති ව භාවනා කරන කෙනාට වඩා. අද යමක් නො කළත් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මොකක් ද? මට උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකක්. 


මේ මම කියල උපාදාන වශයෙන් හසු වෙච්ච ස්කන්ධය මට දුකක් ගෙන දෙනවමයි කියල දන්නව. මේ මගේ දරුව මේ මගේ ගෙදර කියල මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධය වෙනස් වෙන දවසට මට දුක එනවා මයි කියල දන්නව. මේ රත්තරන් මේ මුතු මැණික් මේ රිදී කියල මේව වටිනව කියල මට දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මගේ කාම උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටිකට කියනව උපාදානස්කන්ධය කියල. උපාදානක්ඛන්ධා දුක්ඛා...මගේ උපාදානයට හමු වෙච්ච ස්කන්ධ ටික දුකක්. ඒ කියන්නෙ මේ කෝප්පෙ ගොඩක් වටිනව කියල මට දැනෙනව. වටිනාකම දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මට දැනෙනව. මේ රූපෙට කියනව උපාදනෙට හිත ස්කන්ධය කියල. ගොඩාක් වටිනව කියල පෙනෙනකම තියෙන්නෙ කා ගාව ද? මං ගාව. ඒකට කියනව කාම උපාදානය කියල. මගේ උපාදානය පවත්වන්න පවතින්න උපකාරක වස්තූන් මොනව ද? මේ රූපය (කෝප්පය). මේ රූපෙට කියනව මොකක් ද? උපාදානස්කන්ධය. උපාදානයට හිත ස්කන්ධය. මම මේ රූපය වටිනවා කියල හිතාගෙන ඉන්නව. දැන් මගේ උපාදානයට හිත ස්කන්ධ ටිකෙන් මට දුක එනව. ඒ කියන්නෙ මම උපාදානය වශයෙන් මේ රූපය අල්ලගෙන ඉන්නව කෝප්පෙ හොඳයි කියල. මේක කැඩුණු ගමන් ම මට දුක එනව. ඒ හින්ද එයා දන්නව උපාදානක්ඛන්ධා දුක්ඛා. පුද්ගලයො හැටියට සත්ත්වයො හැටියට වටිනාකම හැටියට මගේ මේ උපාදානයට හසු වෙච්ච මේ ස්කන්ධ ටික දුකමයි කියල දන්නව. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. දුකට හේතුව තණ්හා උපාදානයයි කියල මේව වටිනාකමට සත්ත්වභාවයට ඇති කරගෙන තියෙන අදහස් ටිකකුයි කියල හැඟීම් ටිකකුයි කියල දන්නව. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මේ ස්කන්ධ ටික වටිනාකමක් හැටියට සත්ත්ව පුද්ගලභාවයට පෙනෙනකම නැති කළොත් දුක නැති කළ හැකියි කියල නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. ශීලයක පිහිටල සමාධිය වඩල ඇත්ත ඇති හැටියෙන් බලල මේ සමුදය ප්‍රහානය කළ හැකියි කියල, නිරෝධය සාක්ෂාත් කළ හැකියි, මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකිය හැකියි කියල නුවණ තියෙනව. ඒකට කියනව මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය කියල. ඔය ටික තේරෙනකොට දිට්ඨි සම්පන්නයි. ඒ කියන්නෙ සත්‍ය ඥානය පහළ වෙලා. ඊට පස්සෙ කෘත්‍ය ඥානය. ඊට පස්සෙයි භාවනා කරන්න හම්බ වෙන්නෙ අපිට. මොකක්ද ඒ? මේ දුක එන ස්කන්ධ ටික පිරිසිඳ දකිනව. 


මෙතන රූපය සතර මහා ධාතුයි නේ ද? සමුදය ප්‍රහානය කරනව. කෝප්පෙ වටිනව කියන අදහස ගෙවනව ටික ටික. මෙතන ඇත්ත පෙන්න පෙන්න සමුදය ප්‍රහානය කරනව, ගෙවනව. මේක ගෙවෙන්න ගෙවෙන්න මේක වටිනව කියල බලනකම පෙනෙනකම නිරුද්ධ වෙනව. එතකොට මාර්ගය වඩල ඉවර වෙනකොට කෝප්පය කැඩුණම එන්න තියෙන දුකින් නිදහස්. කෘත ඥානය එනකොට මේ විදියට ලෝකයේ ජරා මරණ දුක එන සිද්ධාන්තයෙන් මිදිල. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ස්කන්ධ ටික පිරිසිඳ දැකල. මේව සත්ත්වයෝ පුද්ගලයෝ වටිනවා කියල පෙන්නපු ක්ලේශය ගෙවිල. මාර්ගය වඩල ඉවරයි. සමුදය ප්‍රහානය වෙලා. නිරෝධය සාක්ෂාත් වෙලා. ස්කන්ධ පිරිසිඳ දැකලා. ඕකට කියනවා රහත් වුණා කියල. පින්වතුනි, ඉවුරක් අද්දර ඉඳල එක පාරට වතුරට පනිනව වගේ අපි එක පාරට නිවනට වැටෙන්නෙ නෑ. අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ශිකෂාවක් තියෙන්නෙ. ආශ්‍රව ක්ෂය වෙනව කියල කියන්නෙ. ගානකොට එක පාරට ම නැති වෙනව ද? නෑ. ටික ටික නේ ද උරච්චි කරනකොට ගෙවෙන්නෙ. ඒ වගේ මේ ඇත්ත බලන්න බලන්න පුද්ගලභාවයේ වටිනාකම ටික ටික ගෙවෙනව. ක්ෂය වෙනව. 

දිවයින බොදුමඟ 2020.මැයි 7

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤