ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදුදහමෙන් අනුමත පද්මාකාර පිළිවෙත

මිනිස් වර්ගයාගේ ජීවන දර්ශකය තුළ බලපාන සන්තානගත සහ සමාජගත දුක පිළිබඳව විවරණය කිරීමේදී බුදු දහමින් අනුමත සමාජ ක්‍රමය ගැන විවරණය කිරීම ඉතා වැදගත් වේ. පද්මය යනු පියුම හෙවත් නෙළුම් මලයි, නෙළුම් විල මෙන්ම එහි සුපිපෙන පද්මයන් ගැන ඉන්දීය ආගමික සාහිත්‍ය තුළද පිවිතුරු බව හඳුනා ගන්නා සංකේතයක් ලෙස කවීන් විසින් වර්ණනා කර තිබේ. පියුම් හටගන්නේ මඩ ගොහොරුවේය. මඩෙහි නොගැටී, නොගෑවී උඩට ඉස්මතු වන්නේය. දකින්නා තුළ ආනන්ද ජනක හැඟුම් පුබුදු කරන්නේ ය.
ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරදුන් දුටු මොහොතේ නැඟූ පැනයක් වූයේ බුද්ධ යන පදය අන් දේව, මනුෂ්‍ය, යක්ෂාදීන්ගෙන් විශේෂණය කිරීමට හේතුව කුමක්ද? යනුවෙනි. සමාජය මඩ ගොහොරුවක් බවත්, ඒ සමාජය නමැති මඩ ගොහොරුවෙහි උපන් තමා එහි නොඇලී නොගැටී උඩට ඉස්මතු ප්‍රබුද්ධ මුනිවරයකු නිසා තමන් වහන්සේ බුද්ධ නම් වූ බව බුදරදුන් ද්‍රෝණ බ්‍රාහ්මණයා අමතා වදාළ පුවතක් අංගුත්තර නිකායේ එක් ද්‍රෝණ සූත්‍රයක සඳහන් වේ. මිනිසා නිරතුරුවම ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට රුචි කරති. ඒක භාර්යා ප්‍රතිපත්තිය පසෙක තබා බහු භාර්යා සේවනයට ගොදුරු වෙයි. කුසලය වෙනුවට අකුසලයත්, පින වෙනුවට පාපයත්, පංචශීලය වෙනුවට පංච දුෂ්ට ධර්මයත් සමාජය උඩු යටිකුරු කර තිබේ.
බුද්ධ කාලීන ඉන්දියාවේ බුදුරදුන් දුටුවේ කාමසුඛල්ලිකානු යෝගයට ගොදුරු වූ ජන සමාජයක් වාසය කරන බවකි. නිරර්ථක වූ යාග හෝම පුද පූජා ඔස්සේ වෛදික ජන සමාජය විසින් සමාජයට දායාද කළ එම සිතිවිලි සහ ක්‍රියාකාරකම් බ්‍රාහ්මණ සමාජය විසින් මිනිසාට අනිවාර්ය කළ ආගමික හැදියාවක් එකල තිබුණි. මේ නිසා අශ්වමේධ, පුරිසමේධ ආදී මහා පරිමාණ යාතු කර්ම ඔස්සෙ සත්ව ඝාතනය පරපීඩාව ඉහ වහා ගොස් තිබිණි. ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප ඔස්සේ අදෘශ්‍යමාන දෙවි දේවතාවුන් රැසක්ම එකල වන්දනයට පාත්‍ර විය. සූර්ය, චන්ද්‍ර, රශ්මිධාරා වර්ෂාව, මේඝ ගර්ජනා, ගංවතුර, ලැව්ගිනි, මහා පර්වත සහ මහා වෘක්ෂ අතරින් මිනිසාගේ සිත් තුළ මැවුණු භයංකාර සිතිවිලි ගුප්ත අදහස් මිනිසාගේ ක්‍රියාකාරකම් මිනිස් බුද්ධිය යටපත් කළේය.ගෞතම බුදුරදුන් නිතරම මිනිසා සතු ඓන්ද්‍රීය ක්‍රියාකාරකම් ඉස්මතු කළේය. ඒ නිසාම ස්වච්ඡන්දතාවට බුදු සමයේ ඉඩක් ලැබිණි. නිදහස් කැමැත්ත මිනිසා සතු ස්වාමිත්වය, පරාක්‍රමය, එඩිය, විශ්වාසය, නිදහස් චින්තනය, ස්වච්ඡන්දතාව ඔස්සේ විවරණය වේ. මිනිස් ක්‍රියාකාරකම් විකසිත වන්නේ සිත, කය, වචනය යන තුන්දොර මඟිනි. සිත ප්‍ර‍්‍රධාන ජවය කරගත් කායික සහ වාචසික ක්‍රියාකාරිත්වය ගැන ලොවට දේශනා කළ මහා ශාස්තෘවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ පමණි.
ගෞතම බුදුරදුන් ලොව සත්වගට පළමුව ආදර්ශය ලබා දුන්හ. පාප සිතිවිලි බැහැර කළ පුද්ගල චරිතයක වටිනාකම අමිල බවද, ඉතා ශ්‍රේෂ්ඨ ජීවිතයකට පාපයෙන් අකුසලයෙන් දුරස් වූ විට ඒ තුළින් ලද හැකි ජයග්‍රහණය ගැන බුදු සමයේ ඉගැන්වේ. ඊශ්වර නිර්මාණවාදී දේව සංකල්පනා වෙනුවට බුදු දහම අවධාරණය කරන්නේ පාරදෘශ්‍ය සිතිවිලි හා ක්‍රියාකාරකම් දෙසටය.ලොව පවත්නා සනාතනික ධර්ම සිද්ධාන්තය පිළිබඳව බෝධි මණ්ඩපයේ සිට දිවා රාත්‍රී දෙකෙහි ආවර්ජනා කළ බුදුරදුන් සත් සතියේ පළමු සතියේ අවසාන දිනය ඒ සඳහා යොදා ගත්හ. උදාන පාළි පඨම බෝදි සූත්‍රය හා දූකිය බෝධි සූත්‍රයට අනුව උන්වහන්සේ දුටුවේ ලොව සජීව අජීව පැවැත්මට දායක වන්නේ හේතු ඵල න්‍යාය සහ සිද්ධාන්තය බවකි. අවිච්ඡා පච්චයා සංඛ්‍යාරා ලෙස එහි පළමු සිද්ධාන්තය අවබෝධ කරගෙන දේශනා කිරීමේදී ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප යටපත් වී මානුෂික චින්තනය හා ගවේෂණය පදනම් කරගත් පටිච්ච සමුප්පාද සිද්ධාන්තය ලොව පැතිරී ගියේය. අවිද්‍යා (අවිජ්ජා) යනු අනවබෝධයයි. නොදැනීමයි. කවර අවබෝධයක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. ඒ නිසා පිං පව් කුසල අකුසල (සංඛාරා) රැස් කරන මිනිසා ගමනෙහි නොනැවතී ගමන් කරයි. සංසාර චක්‍රයේ අනවරත ගමනක නිරත වන්නේ අවිද්‍යාපාද නිසාය. මේ බව ගෞතම බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළ සේක. බුදුවරු පමණක් නොව සාමාන්‍ය ජනතාවද සංසාරයේ අනාදිමත් කලක සිට සැරි සරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ අනවබෝධය නිසාය. එහිදී චතුරාර්ය සත්‍ය ධර්මය තුළ සංසාරගත දුක සහ සමාජගත දුක පළමුවෙන් විවරණය කර ඇත. ජාති පි දුක්ඛා ආදී න්‍යාය තුළ ඉපදීම, දිරායෑම, ලෙඩ ව්‍යාධිවලට ගොදුරුවීම දුකක් වන්නේ එහි සංසාරගත දුක මූලිකව විවරණය වන නිසාය. මෙම දුක ජනිත වන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව නම් සත්ත්වයාගේ මෙලොව පරලොව දුක පිණිස ඉවහල් වන මහා ක්ලේෂ බන්ධනයකි. තෘෂ්ණාවට වසඟ වනුයේ පංච ඉන්ද්‍රිය පිනවීමම එකම සුඛය ලෙස දකියි. එයින් අත්මිදෙන්නේ කෙසේදැයි කල්පනා නොකරයි.
පද්මාකාර සමාජයක සාමාජිකයෝ තෘෂ්ණා බන්ධනයෙන් මිදීමට විනිර්මුක්ත වීමට කල්පනා කරති. “තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධො නිබ්බානං” යනුවෙන් දුටුවේ ගෞතම බුදුරදුන් වැනි මුනිවරු පමණි. නිර්වාණාධිගමනයට සම්ප්‍රාප්ත වූ උන්වහන්සේ සෙසු ලෝක සත්වයාටත් සංසාර දුක්ඛය නිවරණය කර ගන්නා සැටි දේශනා කළහ. එය ප්‍රායෝගික සිද්ධාන්තයකි. තමන්ට ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් වැටහීමක් ස්වයංභූ ඥානයේ දත් නිසා ඒ දහම ලෝකයාට දේශනා කළ සේක. ක්ලේශ සිතිවිලි නම් සංසාර බන්ධනයෝය. සක්කායදිට්ඨි ආදී දස සංයෝජන ධර්ම පදනම් කරගත් කෙලෙස් සිතිවිලි එක්දහස් පන්සියයක් පමණ අප වටා අපේ සංසාරය වටා ගමන් කරයි. ආත්ම දෘෂ්ටිය මම මාගේ යන සංකල්පය හෙවත් අස්මීමානය නම් පළමුව දුරු කළ යුතුය. මම, මගේ යැයි කිසිවක් මෙලොව නැත. අවම වශයෙන් අපේ ශරීරය, පංචස්ඛන්ධයද මා සතු නොවේ. පංචස්ඛන්ධය මා සතු නම් මට රිසිසේ පාලනය කරගත හැකියාව තිබිණි. එහෙත් මාගේ යයි කියාගන්නා පංචස්ඛන්ධය ද වෙනස් වේ. ගෞතම බුදුරදුන් මෙය දුටුවේ අන් සැමගේ වස්තුවකටම පොදු වූ ත්‍රිලක්ෂණ ධර්මය පදනම් කරගෙනය.
ත්‍රිලක්ෂණ ධර්මය බුදු සමයේ පමණක් ඉගැන්වෙන මහා දාර්ශනික සිද්ධාන්තයකි. ත්‍රිලක්ෂණයට අයත් වන්නේ අනිත්‍ය දුක්ඛ අනන්ත සංකල්පනාවෝය. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බුදු සමයේ පහළ වූ සමාජයේ එදා සිටි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් සිය අනුගාමිකයන්ට උගන්වද්දී බොහෝ පිරිස් ඒවා අනුමත කළහ. ඔවුන් සරණ ගියහ. ආත්මන් බ්‍රාහ්මන් සංකල්ප වටා ජනතාව ඒකරාශී වූහ. බුදු සමය ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංකල්පය ඉදිරිපත් කළහ. විශ්වයේ අපට පැහැදිලි විද්‍යාමාන වන ලක්ෂණ නම් අනිත්‍ය ලක්ෂණයි. එය මිනිසා සහ අවශේෂ පරිසරය තුළ සිදුවන ජීව විද්‍යාත්මක සාධක තුළින් අවබෝධ කරගත හැකියි. සුඛ සංකල්පනාවන් ගෙන් පිරි දුක්ඛ දෝමනස්සයන් ජනිත වීමට අදාළ එක් ප්‍රධාන කරුණක් වන්නේ අනිත්‍ය ලක්ෂණයයි. (යද නිච්ඡං තංදුක්කං) පුද්ගල බද්ධ ආත්ම සංකල්පනාවන් මුල් බැස ඇති සමාජයක ත්‍රිලක්ෂණ ධර්ම සංකල්පනාව ඉස්මතු වීම වැදගත් වේ.
බෝසතුන් වහන්සේ මෙය යථාභූත ඥානයෙන් පිරිසුදුව අවබෝධ කරගත්හ . මෙම ත්‍රිලක්ෂණ සංකල්පනාවට සියල්ලම යටත්වන බවද, ඇති තතු පරිදි සිය ඤෙය්‍ය මණ්ඩලයට වැටහුණෝය. අනන්ත සසර තුළ සදාකාලික නිත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව ලොවට දේශනා කළෝය. සසර දුක නිවාරණයට ඇති එකම පිළිවෙත සංසාර ගමන නතර කිරීම බව පසක් කරගත්හ. ඒ නිසා අප බුදුරදුන් බව දුකට වෙදාණන් වශයෙන් හඳුන්වා ඇත. මහායාන ධර්ම ග්‍රන්ථවල “භෛසජ්‍ය ගුරු” නාමයෙන් මෙම පදය විශේෂණය කර ඇත. සංසාර ගමන නතර කිරිමට නම්, සියලු කෙලෙස් සංයෝජන ප්‍රහීන කිරීමෙන් ලද හැකි නිර්වාණාවබෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.මෙය ප්‍රඥාව සමඟ බැඳී පවතී. මේ සඳහා ගමන් කළ යුතු ආර්ය මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැඳින්වේ. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත එයි. එය කිසිම දෘෂ්ටියකට අන්තවාදයකට යටත්ව නොමැති බැවින් මජ්ජිමා පටිපදා නම් වේ.
පද්මාකාර සමාජය සහ පද්මාකාර පිළිවෙත පෙන්වාදුන් ගෞතම බුදුරදුන් පෘථජ්ජන මිනිසාට දේශනා කර වදාළ පද්මාකාර සමාජයේ උත්තරීතර පිළිවෙත ගමන් මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පිළිබිඹු වේ. සමාජය නමැති මඩ ගොහොරුව මෙන්ම සංසාරය නමැති මඩ ගොහොරුවෙන්ද උත්තීර්ණ වීමට මෙම පිළිවෙත උපකාරී වේ. සංසාර නමැති සාගරයෙන් එතෙර වීමට ආර්ය ධර්මය උපකාරී වේ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් මෙම පිළිවෙත සමන්විත වේ. ශීලයෙන්් සමාධියත් ප්‍රඥාවත් කරා ගමන් කරන ලෝක සත්ත්වයාට පද්මාකාර සමාජයේ සිළුමිණ ස්පර්ශ කළ හැකිය. බුදු දහමේ ඉගැන්වෙන ආර්ය පර්යේෂණය නම් එයයි. පංච ඉන්ද්‍රියන් පිනවමින් සංසාර අගාධයේම ඇලී ගැලී ගැටී තවදුරටත් එහිම නතර වීම අනාර්ය පර්යේෂණයයි. මජ්ක්‍ධිම නිකායේ ආර්යපර්යේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට පංච ඉන්ද්‍රියන් පාලනය කර ගනිමින් කාමයෙහි ආදීනව දැක සංසාර නිස්සරණය පිණිස ඇති තතු දැන කටයුතු කිරීම ආර්ය පර්යේෂණය බව සිහිපත් කළ යුතුය.
ආර්ය පර්යේෂණය පිරිපුන් ජීවිතයක පදනම වේ. නික්ලේශී විරාගී චරණයට පිටිවහලක් වේ. බුදු දහමේ ඉගැන්වෙන පෘථග්ජන – ආරියසාවක යුග්මය වටහා ගැනීමට හැකියාවද එමඟින් ලැබේ. ත්‍රිපිටකගත බොහෝ සූත්‍රවල පෘථග්ජනය හඳුන්වා තිබෙන්නේ ඇසූ පිරූ තැන් නැති පුද්ලයෙකු ලෙසය. ගිහි හෝ පැවිදි ආර්ය ශ්‍රාවකයා ඇසූ පිරූ තැන් ඇති ධර්මය දන්නා, ධර්මය දකිනා (සුතාවා අරියසාවකො) අයකු ලෙස හඳුන්වා ඇත. එසේම පද්මාකාර සමාජයේ නිරත වන්නා “විඤ්ඤු පුරිස” යන නාමයෙන් හැඳින්වීමට පිළිවන. ගෞතම චතුරාර්ය සත්‍ය ධර්මය වටහාගත් වටහා ගැනීමට ප්‍රයත්න දරන අයකු ලෙස සැලකිය හැකිය. මේ අනුව සමාජය නිවැරැදිව තේරුම් ගැනීමටත්, මෙලොව සහ පරලොව පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තම ජීවන භූමිකාව සාධු චර්යාව වෙත යොමු කිරීමටත්. පද්මාකාර ජීවිතයට පිළිපන් අයකු විය යුතුය. සමාජය විවිධය. විෂමය. ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෝ මෙන්ම පාපකාරී මිත්‍රයෝද විරල නොවෙති. කල්‍යාණ මිත්‍ර සේවනයත්, අප්‍රමාදයත් ජීවන මාවත යහපත් මාවතට එකතු කිරීමට හේතු වේ.
එසේම මිනිසා සතු ශ්‍රද්ධාවද මෙහිලා වැදගත් සාධකයක් ලෙස පෙළ දහමේ හඳුන්වා ඇත. සද්ධා ගුණය චෛතසිකයක්ද වේ. අමූලිකා ශ්‍රද්ධාව භක්ති පූර්වක වේ. ආකාරවතී ශ්‍රද්ධාව ප්‍රඥා මූලික වේ. බුද්ධිය විකසිත වී උදාර අදහස්වලින් ප්‍රබෝධමත් වීමට ප්‍රඥා මූලික වූ ආකාරවතී ශ්‍රද්ධාව ඉවහල් වේ. පංචශීලය සුරකින සුචරිතවත් සමාජයක පදනම පද්මාකාර ජීවිතයෙන් අර්ථවත් වන බැවින් ගිහි පැවිදි අප සැවොම ඒ සඳහා අපේ බැතිබර දායකත්වය ප්‍රදානය කරමු. සිත කය වචනය තුන්දොර ආරක්ෂා කරගනිමු.