ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදු දහමේ එන කල්පය පිළිබඳ සංකල්පය

කාලය දැක්වීමේ දී වර්තමානයේ දී තත්පර, මිනිත්තු, පැය, දින, සති, පක්‍ෂ, මාස, අවුරුදු, දසක, විංශති, ෂස්ටි, ශත වර්‍ෂ, සහස්‍ර වර්‍ෂ, … ආදී ඒකක භාවිතා කරයි. සහස්‍ර වර්‍ෂයක් යනු අවුරුදු 1000 ක කාල පරාසයක් වේ. ඊටත් වඩා වැඩී විශාල කාලයන් මැනීම සඳහා වර්‍ෂ ආදිය භාවිතා කිරීම දුෂ්කර වේ. එබැවින් ඉතා දීර්ඝ කාල පරාස දැක්වීමට යුග, කල්ප ආදිය භාවිතා කරයි.


ඉතාමත් ම දීර්ඝ කාල මැනීමේ දී කල්පය ඉතා වැදගත් වේ. කල්ප වනාහි සතර වැදෑරුම්‌ වේ.
මහාකල්පය
අසංඛ්‍යකල්පය
අන්තර්කල්පය
ආයුකල්පය
.
▬▬▬▬ 1. මහාකල්පය: ▬▬▬▬
.
මහාකල්පය ඉතා දීර්ඝ කාලයකි. එය සිතා ගැනීමටත් දුෂ්කර ය. ලොව නිර්‍මාණය වීම හා නැවත විනාශ වීම චක්‍රයක් ලෙස සිදු වේ. මෙසේ ලෝකය විනාශ වී නැවත ඇතිවී විනාශ වීමට ගත වන කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මහාකල්පය විවිධ උපමාවලින් දක්වා ඇත. දිනක් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේ ය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේ ය.
.
භික්‍ෂුව : ස්වාමීනි, කල්පය වනාහි කෙතරම් දීර්ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකියි.”, “මහණ යම්සේ වනාහි දිගින්‌ යොදුනක්‌ ඇති පළලින්‌ යොදුනක්‌ ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒක ඝන වූ මහා ගල්‌ පර්‍වතයක්‌ වේද ඒ ගල්‌ පර්‍වතය පුරුෂයෙක්‌ අවුරුදු සීයකට වරක්‌ කසී සළුවකින්‌ පිරිමදින්නේ වේ ද මහණ මේ ආකාරයෙන්‌ ඒ මහා ගල්‌ පර්‍වතය ගෙවීමට කෙළවර වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\5.පබ්බතසුත්තං)
.
භික්‍ෂූන් වහන්සේ නමක් විසින් තවත් අවස්ථාවක දී කල්පය පිළිබඳ කරන ලද විමසීමක දී දෙන ලද පිළිතුර මෙසේ ය.
භික්‍ෂුව : ස්වාමීනි කල්පය වනාහි කෙතරම් දීර්‍ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය හෝ කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකිය.” මහණ යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\6.සාසපසුත්තං)
.
මේ අනුව සලකා බැලීමේ දී මහාකල්පය යනු ඉතා දීර්‍ඝ කාලයක් වේ.
.
▬▬▬▬ 2. අසංඛ්‍යකල්පය: ▬▬▬▬
.
මහා කල්පය සමාන කොටස් සතරකට බෙදූ විට එක් කොටසක් 'අසංඛ්‍යකල්පයක්' ලෙස හැඳින්වේ. මෙලොව සෑම දින ම මෙසේ නො පවතින්නාහ. මන්ද යත් අනිත්‍යය හෙයිනි. යම් කලක දී මේ ලෝකය වැනසෙන්නේ ය. එහිදී සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත්, ප්‍රථම ධ්‍යාන තලයේ බ්‍රහ්ම ලෝකත් නැසෙන්නේ ය. ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් මෙසේ ලෝක ධාතුව නැසෙන්නේ ය. ගින්නෙන් වැනසෙන විට එය තේජෝ සංවට්ටය ලෙසත්, ජලයෙන් වැනසෙන විට ආපෝ සංවට්ටය ලෙසත්, සුළඟින් වැනසෙන විට වායෝ සංවට්ටය ලෙසත් හැඳින්වේ. මෙම ක්‍රම තුනෙන් එක් ක්‍රමයකින් ලෝකය විනාශ වීමට ගත වන කාලය අසංඛ්‍යකල්පයකි.
මෙසේ ලෝකය විනාශ වෙමින් පවතිනා කාලය සංවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව හිස් අවකාශයක් ලෙස තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙය සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව නැවත ගොඩනැගේ. එසේ නැවත ලොව ගොඩනැගීමට ද තවත් අසංඛ්‍යකල්පයක් ම ගත වේ. මෙසේ ලොව ගොඩනැගෙමින් පවතිනා කාලය විවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
එලෙස සම්පූර්‍ණ ලෙස ගොඩනැගුණු ලොව තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙම කාලය තුල දී සත්වයා විද්‍යාමාන වේ. මෙසේ ලොව පවතිනා කාලය විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍ය සතරක් වෙත්. කවර සතරක් ද යත්. මහණෙනි, යම් කාලයක දී කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය නැසී සිටී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇති වේ ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇතිවී පවතී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයයෝ ය.”
(අ.නි.\4.චතුක්කනිපාත\4.චතුත්ථපණ්ණාසකං\1.ඉන්ද්‍රියවග්ගො\6.අසංඛ්‍යෙසුත්තං)
.
මේ අනුව අසංඛ්‍ය කල්ප 4ක් ඇත. එනම්;
සංවට්ට අසංඛ්‍යකල්පය (ලොව විනාශ වෙමින් පවතිනා කාලය.)
සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව විනාශ වී පවතිනා කාලය.)
විවට්ට අසංඛ්‍යකල්පය (ලොව නැවත ඇතිවෙමින් පවතිනා කාලය.)
විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව ඇතිවී පවතිනා කාලය.)
මෙම අසංඛ්‍යකල්ප සතර ම එක් වූ විට මහාකල්පය ලෙස හැඳින්වේ.
.
▬▬▬▬ 3. අන්තර කල්පය (අතුරු කප): ▬▬▬▬
.
අසංඛ්‍යකල්පයක් සමාන කොටස් 64කට (ඇතමෙක් 20කට යැයි ද කියනු ලැබේ) බෙදූ විට එක් කොටසක් අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. සංවට්ට කල්පයට නො පැමිණ (ලෝකය විනාශ නො වී), අතරතුර ලෝක විනාශය හෙවත් සත්ව විනාශ වීම් සිදු වේ. මෙසේ එක් සත්ව විනාශයක සිට ඊළඟ සත්ව විනාශයට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ.
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ දස වර්‍ෂයට අඩු වන්නේ ය. එහි දී සත්වයන්ගේ විනාශයක් වන්නේ ය. එහිදී සත්ව විනාශ ආකාර තුනකින් සිදු වේ. එහි ලෝභය උත්සන්න වූ ප්‍රජාව දුර්භීක්ෂයෙන් විනාශවේ. එය දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උත්සන්න වූ ප්‍රජාව රෝග හේතුවෙන් විනාශවේ. එය රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආයුධ හේතුවෙන් විනාශවේ. එය ශස්ත්‍ර (ආයුධ) අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයයෙහි උපදිති. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර් කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නො වේවායි මෙත් සිත උපදී. ආයුධ අන්තර කල්පයේ නැසුණෝ බොහෝ සෙයින් නිරයේ උපදිත් කුමක් නිසා ද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
(දීඝනිකායට්ඨකථා\චක්කවත්තිසුත්තවණ්ණනා)
අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. නමුත් මාන ආදී අකුසල් දහම් නැවත බෝවීම නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය සිට පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩු වන්නේ ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ දස වර්‍ෂයේ සිට අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්‍ෂය දක්වා පිරිහීමට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. (සංවට්ට විවට්ට ආදී) එක් අසංඛ්‍යය කල්පයකට අන්තර කල්ප 64ක් ඇත. ඇතමෙක් 20ක් යැයි ද කියනු ලැබේ. මේ අනුව;
අන්තර කල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්ප 01
.
මෙම අන්තර කල්ප තුල වුව ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වැඩෙන කාල වල දී බුදුවරු පහළ නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්‍ෂ ලක්ෂයකින් වැඩි වූ විට බුදුවරු පහල වන කාලය නම් නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නො වෙයි. බුදුවරුන්ගේ ධර්‍මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේ දැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නො හඟිති. එසේ ඇති කල සසුන අනෛර්‍යාණික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද බුදුවරු පහල වන කාලය නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. වර්‍ෂ සියයත් ලක්‍ෂයත් අතර ආයු කාලය තුළ පමණක් බුදුවරු පහල වේ. එසේ ම මනුෂ්‍ය ආයුෂ වර්‍ෂ සියයත් ලක්ෂයත් අතර කාලවල දී පමණක් බුදු පසේබුදු අග්‍රශ්‍රාවකයෝ පහළ වෙති.
.
▬▬▬▬ 4. ආයුකල්පය: ▬▬▬▬
.
ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය ආයුකල්පය යි. කලක දී අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. මෙකල මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ 100ක් යැයි සැලකුව හොත් ආයුකල්පය වර්‍ෂ 100ක් වේ.
මේ නයින් මහාකල්පය, අසංඛ්‍යකල්පය, අන්තර කල්පය හා ආයුකල්පය දතයුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤