කර්ම යනු ක්‍රියාවයි. කර්ම යනු පව් පින් දෙකටම සාධාරණ නමකි. ‘කුක්කුරවත’ නමින් මජ්ක්‍ධිම නිකායේ එන එක් සූත්‍රයක් ඇත. එහි පුණ්ණ හා සේනිය නම් වූ මිතුරන් දෙදෙනෙක් වෙති. දිගු කාලයක සිට ඔවුහු ගෝව්‍රත හා සුනඛ ව්‍රත රකින නිගණ්ඨනාථ ශ්‍රාවක දෙපළකි. දිනක් මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ.
“පුණ්ණ, යම් පුද්ගලයෙක් මෙලොව සුනඛවත්, සුනඛසිල්, සුනඛසිත්, සුනඛ වෙස් අඩු නොකොට, නිරතුරුව වඩන්නේ ද? හේ මරණින් මතු සුනඛයන්ගේ ම සහාවයට පැමිණෙයි. යම් කෙනෙක් මෙම ව්‍රත ශීලයක්, ව්‍රතයක්, තපසක් බඹසරක් වශයෙන් ඉතා දිගු කලක් රැක ගත් හෙයින් තමන්ගේ මරණින් මතු දෙවියන් හෝ බ්‍රාහ්මණයන් හෝ අතර සහවාසයට යන්නේ යැයි සිතයි නම් පුණ්ණ එය මිථ්‍යා දෘෂ්ඨියකි.
පුණ්ණ මම මිථ්‍යාදෘෂ්ඨිකයාහට මරණින් මතු ගති දෙකක් කියමි. එනම්, නරකය හෝ තිරිසන් යෝනියයි. මේ දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් හිමි වේ.
මෙසේ වැරැදි දෘෂ්ඨී ගෙන රකින සුනඛවත ඇත්තේ සුනඛයන්ගේ ස්වභාවයටම යයි. ගවයකු මෙන් හැසිරීමේ වත (ගෝව්‍රත) ගත්තෝ ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ කල දෙදෙනාම හැඬූහ.
මේ ගෝව්‍රතය, කුක්කුරව්‍රතය අපි බොහෝ කල් සිට රකිමු. මම (පුණ්ණ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. මමත්, සේනියත් මේ ව්‍රත හැර දමන්නෙමු. අපට ගැළපෙන දහමක් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හයි කීහ. ඒ අවස්ථාව මුල් කොට මේ කර්ම දේශනාව තථාගතයන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළහ.
පුණ්ණ, මා විසින් මගේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ ලෙස දැනගෙන ඇති සතර කර්ම කෙනෙක් වෙති.
එනම්, අකුසල් වූ අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් දුක් සහිත වූ කයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ වචනයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ සිතෙන් කරන අකුසල් රැස් කරයි ද? ඔහු දුක් සහිත ලෝකයට එළඹෙයි. එහි ඇත්තා වූ දුක් සහිත ස්පර්ශ ලබමින් දුක් වේදනා විඳියි. අකුසල් කරන්නෝ නිරයේ ම උපදිති. මේ නිසා සත්වයා කර්මය දායාද කොට ඇතැයි කියමි.
කුසල් වූ, කුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් නිදුක් වූ කාය සංස්කාර රැස් කරයි. නිදුක් වූ වචී සංස්කාර රැස් කරයි. නිදුක් වූ මනක්සංස්කාර රැස්කරයි. එහෙයින් ම ඔහු නිදුක් ලොවට එළඹෙයි. මෙසේ හෙයින් සත්ත්වයා කර්ම දායාද කොට ඇතැයි කියමි.
කුසල් අකුසල් වූ කුසල් අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව කෙනෙක් දුක් සහිත වූ අකුසල් ද, සැප සහිත වූ කුසල් ද මිශ්‍රව කයින් ද, වචනයෙන් ද, මනසින් ද සිදු කරයි. ඔහු දුක් සහිතවූත්, සැප සහිත වූත් මිශ්‍ර විපාක දෙන ලෝකයට එළඹෙයි. එහි වූ ඒ ඒ ස්පර්ශයෝ සහිත වේදනා විඳී. ඒ මිනිසුන් සෙයින් ය. එසේම ඇතැම් දෙවියන් සෙයින් ය. ඇතැම් විනිපාතිකයින් සෙයින් ය. සමහර මිනිසුන් එකම ජීවිතය තුළ, දුක් විඳී. සැප ද ලබයි. දෙවියන් අතර පිනෙන් උපත ලද මූත් භූමාටු දෙවියන් සේ දුක් ද විඳී. විනිපාතකයන් අතර පේතවස්තු කතාවල දක්නට ලැබෙන ලෙස ප්‍රේත ලොව උපත ලද මුත් කලින් කළ පුණ්‍ය විපාක ලෙස විමාන ප්‍රේතයන් ව සැප ද ලබයි. කරන ලද පව් අනුව තිරිසන් ලොව උපත ලැබුව ද මංගල හස්තියකු සේ, මංගල අසකු සේ, අජානීය ගවයකු සේ සැප ද ලබයි.
අකුසල් ද නොවූ, කුසල් ද නොවූ අකුසල් කුසල් නොවූ විපාක ද ඇති කර්මය ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් ඇත. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද, ඒ කර්මය කර්මක්ෂය පිණිස පවතියි.
යම් කෙනෙක් රහත් ඵලය පිණිස දස සංයෝජන නසන්නේ ක්‍රියා සිත් පමණක් ඇත්තේ ද, ඔහු කර්මක්ෂය පුද්ගලයා වන්නේ ය. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද ඒ කර්මය, කර්මක්ෂය පිණිස පවතියි යැයි වදාළ සේක.
මෙසේ වූ සතර කර්මයෝ දායාද කොට ප්‍රතිසන්ධි ස්ථානය වන්නේ විපාක වශයෙනි. මෙහිදී විපාක දෙන්නේ කර්මයයි. මෙසේ ප්‍රතිසන්ධිය ලබා දෙන කර්ම පිළිබඳ විනිශ්චය මෙසේ ය. කර්ම කෘත්‍ය වශයෙන් සතර වැදෑරුම් ය.
ජනක කර්මය
අනාගත ප්‍රතිසන්ධිය ගෙන දීමට ප්‍රබල වූ, බලවත් වූ කර්මය මෙ නම් වේ. දුර්වල කර්ම වේ නම්, බලවත් ජනක කර්මයකින් ලැබූ ප්‍රතිසන්ධිය තුළ වරින්වර විපාක වශයෙන් සැප දුක් ලබා දෙයි. මෙය චුති චිත්තය හා බැඳේ. කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත වශයෙනි.
උපස්ථම්භක කර්මය
උපන් සත්වයාට පව් පින් වශයෙන් විඳීමට හේතුවන කර්ම මෙ නම් වේ. ජීවිත කාලය පුරා පමණක් නොව අකුසල වශයෙන් ගත්විට තව තවත් දුක් විඳීම සඳහා ජීවත් කරවීම ද, නැවත නැවත යහපත (කුසල්) කරවීමට ජිවත් කරවීම ද මෙසේ වේ. එසේ වන්නේ තමා කරන යහපත් ක්‍රියාවෙන් ඇතිවන සතුට හා පී‍්‍රතිය මත ය. කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය මෙ නම් වේ. ලැබූ ජීවිතය තුළ විශේෂ සැප හෝ දුක් විශේෂ කොට ලැබෙන්නේ මෙයින් ය.
උප පීඩක කර්මය
ඉපදුණ සත්වයාට බලවත් පීඩා කරන්නේ මෙ නම් කර්මයයි. උපත ධනවත් පවුලක වුවත් අංගවිකල බව, හදිසියේ මතුවන බලවත් රෝග, තනතුරු පහකිරීම, ධන හානිය, ගින්නෙන්, ගං වතුරෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් වන හානි මෙසේ ය. ඒ තාක් අකුසල විපාක විඳින්නේ බලවත් සේ කුසල් කරන්නේ නම් ඒ කුසල් බලයෙන් බලවත් අකුසලය දුබල වේ. උදා - ලෙඩරෝග සඳහා බෝධි පූජා, දන්දීම්, ධර්මයට නැඹුරුවීම් ආදිය සැලකිය හැකි ය.
උපඝාතක කර්මය
උපච්ඡේදක කර්මය ද මෙය ම ය. චුති චිත්තයට මතුව ආ ජනක කර්මයකින් ප්‍රතිසන්ධි වශයෙන් යම් උප්පත්තියක් ලැබූවත්, ඒ ජනක කර්ම ශක්තිය බිඳලන කර්මය මෙ නම් වේ. උපන් ආත්මයක ආයුෂ විඳීමට අවකාශ නොදී උපඝාතක කර්මයෙන් ඔහු එයින් චුත කරන්නේ ය. අකාල මරණ යැයි අපි කියන්නේ මෙවැනි අවස්ථාවකයි.