ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

නිවන් පිළිවෙත

දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
ද්වෙ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණය සංවත්තති.
සැදැහැවත්නි,
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පස්වග මහණුන් අරභයා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වනු ලැබීම ඇසළපුර පසළොස්වක පොහෝදාවක වූ ඓතිහාසික සිදුවීම් අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා...’ යනාදී වශයෙන් ඉහත දැක්වූ මාතෘකා පාඨය දේශනා කළහ. එහි සිංහල අර්ථය මෙසේය.
මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වු අනර්ථයක්ම සිදු කරන්නා වූ යම් අත්තකිලමථානුයොගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරේ. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස හේතුවන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක පිළිබඳ ආර්ය සත්‍යය, දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය යනුවෙන් චතුරාර්ය සත්‍යය නම්කොට තිබේ. දුක පිළිබඳ ආර්ය සත්‍යයෙන් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම , ජරාව හෙවත් සත්ත්වයාගේ වයස් ගතවීම, රෝගය, මරණය අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි. එම උපාදාන ස්කන්ධ පහ නම් සත්ත්ව ශරීරය (රූප) ,සුඛ දුක්ඛ උපේක්ඛා යන වේදනාත්‍රය (වේදනා), කායික හෝ මානසික අරමුණු හඳුනා ගැනීම (සංඥා), මානසිකව කරන සකස් කරගැනීම් (සංඛාර), ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හා ධර්ම අරමුණුකරගෙන හටගන්නා අවබෝධයයි (විඤ්ඤාණ) .
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙම දුක හටගැනීමේ හේතුව පිළිබඳ වූ ආර්ය සත්‍යයි. මෙය නැවත ඉපදීමට හේතුවන ඒ ඒ තැන්හි ඇලෙනසුළු තෘෂ්ණාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමයන් රසවිඳීම, පිළිබඳ තණ්හාව, එම කාමයන් ස්ථිරය. සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව නො ඉපදීමත් නො පැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. යනුවෙන් උපදනා ආශාවයි.
දුක නැති කිරීමේ ආර්ය සත්‍යය නම් තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම, අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම ඉන් මිදීම හා එහි නො ඇලීමයි.
දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
සම්මා දිට්ඨි නම් නිවැරැදි දැකීමයි. යම් කිසිවක් ඇති පරිද්දෙන් දැකීම මින් අදහස් වෙයි. නිවැරැදි දැකීම ඇති තැනැත්තාගේ කල්පනා නිවැරැදි වෙයි. එය සම්මා සංකප්පපයයි. එනම් කාම සංකල්පයන් ගෙන් වෙන්වීම, කෝප සහගත සංකල්පනයන්ගෙන් තොරවීම හා හිංසාකාරි කල්පනාවලින් වෙන්වීමයි. මේ තුළින් හුදෙක් මනස නිවන් මගට නතුකරවීමක් සිදුවෙයි. සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඇති වෙයි. යහපත් කල්පනා ඇති විට කතා කරන වචනද යහපත් වන බැවිනි. ඒ අනුව සම්මා වාචා නම් බොරුකීම, පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය, අසමගිය ඇතිවීමට හේතුවන කේලාම් කීම, සිත් රිදවන නපුරු රළු වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම යන අහිතකර වචනවලින් වැළකී සිටීමයි. තමන්ටත්, අනුන්ටත් යහපත සැලසෙන නිවැරැදි ක්‍රියාවන් හි යෙදීම “සම්මා කම්මන්ත” නම් වේ. එනම් කාය සුචරිතය යි. ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගෙන් වැළකීම මින් අදහස් කෙරේ. ප්‍රාණින්ගේ දිවි තොරකිරීම, සොකරම ඇතුළු වංක වැඩවල යෙදීම, කාමයෙහි නොනිසි ලෙස හැසිරීම මින් කියවෙන අතර සම්මා වාචා හා සම්මා කම්මන්ත යන මාර්ගාංග දෙකම “විරති” හෙවත් “වැළකීම” වශයෙන් උගන්වා ඇත.
වැරැදි ජීවිකාව අතැහැර නිවැරැදි අන්දමින් දැහැමින් සෙමෙන් ජීවත් වේ නම් එය සම්මා ආජීවයයි. මෙමඟින් මාරක අවි ආයුධ වෙළෙඳාම මත්ද්‍රව්‍ය වෙළෙඳාම , විෂ වෙළෙඳාම, මස් පිණිස සතුන් විකිණීම , මස් වෙළෙඳාම හා කූට ව්‍යාපාර යනාදි වශයෙන් අනුන්ගේ විපතට හේතුවන රැකියාවල නොයෙදි දැහැමි නොකිලිටි රැකියාවක යෙදිය යුතු බව ඉගැන්වේ. කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ,රාජ්‍ය සේවය යනාදිය බුදුදහම අනුමත කළ දැහැමි රැකියාවන්ය.
සම්මා වායාම යනු නිවැරැදි උත්සාහයයි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මින් අදහස් කෙරේ. එනම් නූපන් අකුසල්, නො ඉපදවීමට කරන උත්සාහය, උපන් අකුසල් නැති කරනු පිණිස ගන්නා උත්සාහය , නූපන් කුසල් ඉපදීම සඳහා කරන උත්සාහය සහ උපන් කුසල් වැඩිදියුණු කරනු පිණිස ගන්නා උත්සාහයයි. සිහිය මනාකොට පිහිටුවා ගැනීම නම් වූ සතර සතිපට්ඨානය “සම්මා සති” යන්නෙන් අදහස් කෙරේ. එනම් කය හා වචනයේ පැවැත්ම අනුව සිහිය පිහිටුවා ගැනීම සුඛ, දුක්ඛ, උපේක්ඛා යන වේදනාවන් අනුව සිහිය පිහිටුවා ගැනීම, සිතේ හැසිරීම අනුව සිහිය පිහිටුවා ගැනීම හා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අනුව සිත පිහිටුවා ගැනීමයි.
රූප ධ්‍යාන සතර වඩා එමඟින් පංච නීවරණ හෙවත් නිවන් මග අවහිර කරන ධර්මයන් තාවකාලිකව යටපත්කොට සිත සමාධිගත කරගැනීම සම්මා සමාධි නම් වේ. කාමච්ඡන්ද, හෙවත් කාමරාගය, ව්‍යාපාද හෙවත් ක්‍රෝධය, ථීනමිද්ධ හෙවත් සිතේ හා කයේ මැලිබව, උද්දච්චකුක්කුච්ච හෙවත් නොසන්සුන්බව, විචිකිච්ඡා හෙවත් සැකය පංච නීවරණ ලෙස ඉගැන්වේ. රූප ධ්‍යාන අතුරින් විතර්කය. ථීනමිද්ධය ද, විචාරය විචිකිච්ඡාවද ,පී‍්‍රතිය ව්‍යාපාදය ද , සුඛය උද්දච්චකුක්කුච්චයද, ඒකග්ගතාව කාමච්ඡන්දයද යටපත් කරයි. මෙසේ අනුක්‍රමයෙන් සමාධියට පත්වීමේදී සෝවාන් ආදි නිවන් මග අවබෝධ කරගැන්මට යෝග්‍ය මානසික පසුබිම සකස් වෙයි.ඇසළ පොහෝ දිනෙක බුදුරදුන් ලෝකයාට දේශනා කළේ එම නිවන් මඟයි.