ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ගිහිවත හා පැවිදිවත පෘතග්ජන - ශ්‍රාවක ප්‍රභේදය

ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති
ගෞරව ශාස්ත්‍රවේදී 
දරණාගම කුසලධම්ම හිමි

සෑම සමාජයකම ගිහියනුත්, පැවිද්දනුත් (ගිහි – පැවිදි) දක්නට ලැබෙන බව සමාජ ඉතිහාසයෙන් දක්නට ලැබේ. ගෝත්‍රික සමාජවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. ආගම නියෝජනය කරණ පිරිසක් පිළිබඳ අදහස කිසිදු භේදයෙන් තොර සංකල්පයකි. බුදු දහම ද මේ ප්‍රභේදය හඳුනාගෙන ඇත. ගහට්ට (ගිහියා), පබ්බජිතා (පැවිද්දා) යනුවෙන් පුද්ගල දෙවර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ දෙදෙනාට ආවේණික සදාචාර ධර්ම පද්ධතියක් ඇති බව ‘සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ’ දැක්වේ. ඒවා ‘ගිහිවත’ සහ ‘පැවිදි වත’ නමින් දැක්වේ.
ගිහිවත යනුවෙන් දක්වා ඇත්තේ පංචසීලයයි. තවදුරටත් ගිහිවත නම් ධාර්මිකව මව්පියන් රැකබලා ගැනීම, ධාර්මික වෙළෙඳාමෙහි යෙදීම, ආදි වශයෙන් දක්වා ඒ අනුව ගිහිවතෙහි අප්‍රමාදී වන්නා දෙවියන් අතරට යන බව දැක්වේ.
පැවිදිවත පිළිබඳව දීර්ඝ විස්තරයක් ධම්මික සූත්‍රයේ දැක්වෙන අතර විනය ශික්ෂා ලෙස ද භික්ෂූන් වහන්සේලාට හඳුන්වා දී ඇත. ආහාරයෙහි ද, සෙනසුනෙහිද ඇඳි වතෙහි දූලි සෝදා හරින ජලය මෙන්ද, පොකුරු පතෙහි දිය බිඳුමෙන් ද නොඇලී වාසය කිරීම භික්ෂුවගේ ස්වභාවය වේ. ගිහියාගේ ජීවිතය ආශක්තය. (බැඳී සිටී) භික්ෂුවගේ ජීවිතය අනාශක්තය. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ දී මේ කරුණු තවදුරටත් පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ සමාජයේ වසන පිරිස් දෙකක් ගැන හැඳින්වීමක් කර ඇත. එයින් එක පිරිසක සාමාජිකයෝ අඹුදරුවන් සොයති. කෙත්වතු සොයති. දැසි දස්සන් සොයති. වතුපිටි සොයති. රන්රිදී මුතුමැණික් සොයති. මේ සෙවීම හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ඇති පදය ‘පර්යේෂණ’ යන්නය.
අනෙක් පිරිසේ සාමාජිකයෝ අඹුදරුවන් හැරපියා, කෙත්වතු හැරපියා, දැසි දසුන් හැරපියා, වතුපිටි හැරපියා, රන්රිදී, මුතුමැණික් හැරපියා, අනගාරයෙහි පැවිදිවෙති. මේ පැවිද්ද හැඳින්වීම සඳහා යොදා ඇත්තේ ‘අගාරස්මා’ ‘අනගාරිය’, ‘පබ්බජිති’ යන පද තුනය. මහාචාර්ය රීස් ඩේවිස් මැතිණිය ප්‍රකාශ කොට ඇති පරිදි, මේ පද තුනෙහි අර්ථය වෙනත් බසකට පරිවර්තනය කිරීම අතිශයින් දුෂ්කර බවය.
භික්ඛු - භික්ඛුණී, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස අතුරින් උපාසක – උපාසිකා ගිහි ගණයට ද, භික්ඛු - භික්ඛුණී පැවිදි ගණයට ද, වැටෙන ප්‍රභේදයක් වූවද, ඉන් ආධ්‍යාත්මික විජයග්‍රහණය නිරූපණය නොවෙයි. මේ සිව්වනක් පිරිස ලෞකික සමාජ වර්ගීකරණයක් වූවද, බෞද්ධ අධ්‍යාත්මික සමාජය නිරූපණය වන්නේ ‘පෘථග්ජන’ සහ ශ්‍රාවක පද තුළිනි. ශ්‍රාවක තත්ත්වයට පත්වන භික්ෂූන් වහන්සේ හෝ භික්ෂුණිය, පෘථග්ජන තත්ත්වයේ පසුවන උපාසක හෝ උපාසිකාවට වඩා උසස්ය. මේ අනුව කෙනෙකුගේ ආධ්‍යාත්මික උස්මිටිකම් තීරණය වන්නේ, සිව්වනක් පිරිස ප්‍රමාණ කොටගෙන නොව, පෘථග්ජන ශ්‍රාවක ප්‍රභේදය ප්‍රමාණකොට ගෙනය.
‘පෘථග්ජන’ යන පාලි පදයේ අර්ථය ජනයාගෙන් වෙන් වූ යන්නයි. ඒ අනුව පෘථග්ජනයා තමා ගැන පමණක් කල්පනා කරයි. සමාජයක් ඇති බව නොසලකයි. පෘථග්ජනයාට කවර සුදුසුකම් තිබුණ ද ඔහු බුදුරදුන්ගේ ධර්මය නොඇසූ කෙනෙකු හැටියට පිළිගැනේ. ආර්යයන් නොදකින, ආර්ය ධර්මය නොදන්නා, ආර්ය ධර්මයෙහි හික්මීමක් නැති, සත්පුරුෂයින් නොදකින, සත්පුරුෂ ධර්මය නොදන්නා, ඒ පිළිබඳව හික්මීමක් නැති නෙකෙකු හැටියට, බුදුරජාණන් වහන්සේ පෘථග්ජනයා හඳුන්වයි.
‘ශ්‍රාවක’ යන පදයේ අර්ථය ‘ඇසූ තැනැත්තා’ යන්නයි. බුදුරදුන්ගේ ධර්මය ඇසූ තැනැත්තකු බවට පත්වන්නේ ‘ශ්‍රාවක’ තත්ත්වයේ වසන කෙනෙකු පමණි. ශ්‍රාවකයා, ආර්යයන් දක්නා, ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි විනීත, සත්පුරුෂයන් දකින, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ විනීත කෙනෙකු හැටියට නිතර හැඳින්වේ.
බෞද්ධයා ඉදිරියෙහි පවතින ගැටලුව හැටියට, බුදු දහම දකින්නේ ‘පෘතග්ජන’ භූමියෙන් ‘ශ්‍රාවක භූමියට ඇතුලු වීමය. ශ්‍රාවක භූමියට ඇතුලුවීමට සම්පූර්ණ කළ යුතු කරුණු රාශියක් සූත්‍ර දේශනාවල දැක්වේ.
පළමුව, බුදුරජාණන් වහන්සේ කෙරෙහිද ධර්මය කෙරෙහි ද, සංඝයා කෙරෙහි ද, අවෙච්චක් ප්‍රසාදය ඇත්තෙකු විය යුතුය. ‘අවෙච්චක්ප්‍රසාද’ යන්නෙන් අදහස් කරන්නේ කරුණු අවබෝධ කොට ගැනීමෙන් ඇතිවන ප්‍රසාදයයි. එම ප්‍රසාදය කිසිදු හේතුවක් නිසා අප්‍රසාදයක් බවට පැමිණෙන්නේ නැත.
දෙවනුව - සත්පුරුෂ සංසේවා (හොඳ අය ආශ්‍රය කිරීම) සද්ධර්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර සහ ධම්මානු ධම්ම පටිපත්ති යන කරුණු සතර සම්පූර්ණ කළ යුතුය.
තුන්වැනිව - ශ්‍රාවකයා ‘අවනිපාන ධම්ම’ (පහතට යන්නේ නැත) හා ‘නියත සම්බෝධි පරායන’ (වැඩිකල් යන්නට කලින් ධර්මය අවබෝධ වීම) යන ලක්ෂණ දෙකින් යුක්ත විය යුතුය.
සතරවෙනුව - ආයු, වර්ණ, සුඛ, අධිපති යන ලක්ෂණ හ තර ශ්‍රාවකයා අතර පිරිපුන්වේ. මේ කරුණු සෝතාපත්ත්‍යාංග හැටියට හැඳින්වේ. ශ්‍රාවකයකු වීමට නම් යටත් පිරිසෙයින් ‘සොතාපන්න’ තත්ත්වයටවත් පත්විය යුතුය. ඉන් මෙපිට සිටින සියලු දෙනා හැඳින්වෙන්නේ ‘පෘතග්ජනයා’ හැටියටය. ශ්‍රාවකයෝ කොටස් දෙකකි. ඉන් පළමුවැන්න ‘සේක’ ය. දෙවැන්න අසේක යනුවෙනි. බුදුරජාණන් වහන්සේ දිවමානකල සිටි ගිහි ශ්‍රාවකයන් පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයේ නොයෙක් තැන දක්නට ඇත. ‘ශ්‍රාවක ගිහි’ යන පදය දක්නට ලැබෙන අතර, ‘සෝතාපන්න’ තත්ත්වයට පත් වූ ගිහියන් පිළිබඳව තොරතුරු බෞද්ධයන් අතර ප්‍රකටය. අංගුත්තර නිකායේ සූත්‍රයක, බුදුරදුන් දවස පැවැති රැස්වීමක සිටි අනාගාමී ගිහියන්ගේ සංඛ්‍යාව හත්සීයක් වශයෙන් දක්නට ලැබේ.
ගිහියෙකු රහත් වුවහොත්, එක්කෝ මහණ විය යුතුය. නැතිනම් පිරිනිවන් පෑ යුතුයයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයයක් පමණ ගත වූ තැන ලියවුණු පාලි ‘මිලින්ද පඤ්ඤයේ’ සඳහන්වේ.
අංගුන්තර නිකායේ දුක්ඛ නිපාතයේ ඇති සූත්‍රයක භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් වසන බව සඳහන්වේ. එක් පිරිසකට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ පිරිසක් හැටියටත්, අනෙක් පිරිසට අයත් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළ පිරිසක් හැටියටත් දක්වා ඇත. අංගුත්තර නිකායේ අටුවාවේ දී මේ සූත්‍රයට විස්තර සපයමින් බුද්ධඝෝෂ හිමියන් කියා සිටින්නේ දෙවැනි පිරිසට අයත් අය ‘පෘතග්ජනයන්’ බවය. මේ කියන අර්ථයෙන් ‘පෘතග්ජන භික්ඛු’ යන ප්‍රයෝගය පාලි අටුවාවල නිතර දක්නට ලැබේ.
කෙනෙකුගේ ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය නිරූපණය වන්නේ සිව්වනක් පිරිස අතර, ඔහු දරන තැන අනුව නොව, පෘතග්ජන හා ශ්‍රාවක ප්‍රභේදය තුළ ඔහු දරන තැන අනුව බව ‘සක්ත පංච සූත්‍රය – දි. නි’ සඳහන්වේ. අධ්‍යාත්මික වශයෙන් සලකන කළ පුද්ගලයන් සිව් දෙනෙක් දක්නට ලැබෙයි. එනම් පෘතග්ජන, සේඛ, අසේඛ හා තථාගත වශයෙනි.
පෘතග්ජනයා තවම මගට පිවිස නැත, සේඛ තැනැත්තා - මගේ ගමන් කරයි. අසේඛ – ගමන අවසන් කොට ඇත. පෘථග්ජනයා මරණයට බියය. සේඛයා අමරණියත්වයේ දොරට තට්ටු කරමින් සිටී. අසේඛ අමරණීයත්වයට පත්ව ඇත. පෘතග්ජනයාට සද්ධා, වීර්ය, සති, සමාධි, පඥා යන ඉන්ද්‍රිය පහ නැත. ‘සේඛ තැනැත්තා එම ඉන්ද්‍රිය පහ එක්තරා ප්‍රමාණයකට දියුණු කොට සිටී. ‘අසේඛ තැනැත්තා ඒවා පරිපුර්ණත්වයට පත්කොට ඇත.
පෘථග්ජනයා දිගින් දිගට සසර සැරි සරයි. සේඛ තැනැත්තා මිනිස් ලොවට අටවැනි වාරයකට වඩා පැමිණෙන්නේ නැති බව දැක්වේ. අසේඛ නැතැත්තා යළි නූපදී.
පෘථග්ජනයාට බුදු රදුන්ගේ දහම පිළිබඳව නිවැරැදි අවබෝධයක් නැත. සේක තැනැත්තා බුදුරදුන්ගේ දහම එක්තරා ප්‍රමාණයකට අවබෝධ කොට සිටී. බුදු දහම සම්පූර්ණයෙන් ම අවබෝධ කළ තැනැත්තා ‘අසේඛ’ නම් වේ.
බෞද්ධයා ඉදිරියේ ඇති අභියෝගය, පෘතග්ජන භූමියෙන්, ශ්‍රාවක භූමියට පිවිසීමය. එය ඉතා අසීරු කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමියත්, ශ්‍රාවක භූමියත් අතර තවත් භූමියක් දක්වා ඇත. එය ‘සත්පුරුෂ’ භූමිය වශයෙන් දැක්වේ. පෘථග්ජනයා පළමුව සත්පුරුෂ භූමියටත්, ඉන් අනතුරුව ශ්‍රාවක භූමියටත් පිවිසිය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.

සතර අපායට පත් නොවීම
නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
නිහතමානී ගති පැවතුම් ඇතිවීම
ලෝකයාට ප්‍රියමනාප වීම
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
පාපයට ලැජ්ජ භය වීම
අධි කුසලයට සිත නැඹුරු වීම
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
ගුණ, නුවණින් පිරිපුන් වීම
පිටසක්වල නූපදීම
අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
උන්මන්තක නොවීම
මිසිදිටු නොගැන්වීම
මරණයට නොබියව මුහුණදීම
මුහුණෙ වර්ණය පැහැපත්වීම
වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
බුදුබව පවා පැතීමට සිත නැමීම
තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
සම්මා දිට්ඨියෙහි පිහිටීම
යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
නපුරු සිහින නොපෙනීම
භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම

බුදුගුණ භාවනාව වඩන හැටි 
බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.

පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නුවණැති මනුෂ්‍යයා සීලයේ පිහිටා සිත හා ප්‍රඥාව වඩයි

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

බිනර අමාවක පොහෝ දින කතා කළ ආකාරයෙන්, අද වප්පුර අටවක පෝදා ධර්ම කතාවේ මෙසේ සඳහන් කරනවා.
චක්ඛුනා රූපං දිස්වා
සුඛාය වේදනාය ඵුට්ඨෝ
සමානො අභිනන්දති අභිවදති
අජ්ඣෝසාය තිට්ඨති

ඇසෙන් රූපය දැකල ස්පර්ශ කරමින් නිමිති අනු නිමිති වශයෙන් ගනිමින්, විඳීමට හසුකරගනිමින් එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම සිත ඔසවා තබනවා කියන අදහසයි.
දැන් මේ ප්‍රිය වස්තුව සංඛතයක් නිසා එම සංඛතයේ සැබෑ ස්වභාවය අනිත්‍යතා දහමට යටත්ය. එම නිසා දුක්ඛ ලක්ෂණය එහි ඇත්තේය. අනිත්‍ය ස්වභාවය ද උරුමයි. ඒ අනුව ඒ රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වන විට මේ අභාවිත සිත එය පිළිගන්නට කැමැති නැහැ. ඒ මොකද? අභාවිත සිත බලාපොරොත්තු වුණේ රුව, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි තමා කැමැති ආකාරයෙන් ම තමා සතු කරගෙන පවත්වා ගැනීමටයි. දැකීමටයි. පරිහරණය කිරීමටයි. නමුත් ලෝක ස්වභාවය අනුව එය එසේ වන්නේ නැහැ. ඉහත සඳහන් කළ අයුරින් සෑම සංඛතයක ම හටගැනීම හා වෙනස්වීමත්, නැතිව යෑමත් උරුමව පවතිනවා. එය ධර්මයේ පැහැදිලි කළේ,

තීණිමානි භික්ඛවේ සංඛතස්ස
සංඛත ලක්ඛණානි
කතමානි තීණි?
උප්පාදෝ පඤ්ඤායති
වයො පඤ්ඤායති
ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති

සංඛත වස්තුවල ලක්ෂණ තුනක් දක්නට තිබෙනවා. එම ලක්ෂණ තුන නම් හටගැනීම, නැතිවීම, හා පවතින්නකුගේ වෙනස්වීමක් ද දකින්නට තිබේ යන අදහසයි. කෙටියෙන් සඳහන් කළොත් “උප්පාදඨිති භංග“ යනුවෙනි.
දැන් අභාවිත සිතක් ඇති පුද්ගලයාට කුමක් ද සිද්ධවන්නේ? ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මගේය මම වෙමි මගේ ආත්මය කියල එනම් මට ඕනෙ විදිහට පවතිනවා කියන අදහසින් සිතින් උපාදානය කරගත්ත රූපය, ශබ්දය, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි හෝ වේවා, වෙනස්වීමට භාජනය වන විට සිතට දරාගන්නට නොහැකි වෙනවා. එවිට කුමක් ද සිද්ධ වෙන්නෙ. මේ අභාවිත සිත් ඇති පුද්ගලයා ‘සෝචති’ - සෝක කරනවා. ‘පරිදේවති’ – හඬනගා එනම් විලාප දී හඬනවා. ‘උරත්තාලින් ඛන්දති’ – ළයේ හෙවත් පපුවේ අත්ගසා ගන්නවා. ‘ඛිලමති’ – ක්ලාන්ත වෙනවා. ‘සමූහං ආපජ්ජති’ – මුලාවෙනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ නැවතත් මතක් කරනවා නම්; ඔය ශරීරය නුඹලාගේ නොවේ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයේ ඵලයක්, සංඛතයකුයි. චේතනාවට මුල් වී තිබෙනවා. විඳීමට වස්තුවී තිබෙනවා කියන අදහසයි.
දැන් මේ ශරීරය වෙනස්වී යන විට අභාවිත සිතක් ඇති පුද්ගලයා වඩ වඩාත් හඬමින්, වැළපෙමින්, ශෝක කරමින් තමාට අයත් යැයි සිතාගෙන සිටිය දේ වෙනස්වීමේ ස්වභාවය පිළිගන්නට බැරුව මහත් සේ දුකකට පත්වෙනවා. එපමණක් නොවෙයි ඔහු විසින් හෝ ඇය විසින් වෙනත් ආකාරයකින් හෝ වෙනත් රූපයක් හඬක් ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි ලබන්නට පෙළඹෙනවා. එය අටුවාවන්හි පැහැදිලි කරන්නේ ලෝල ගති ඇති, වානරයකුගේ ස්වභාවය හැටියටයි, ලෝල ගති එනම් දැඩි ආශාවන්ගෙන් යුක්ත මේ වානරයා කිසිදු ඵලයකින්, ගෙඩියකින්, පලතුරකින් සෑහීමකට පත්වන්නේ නැහැ. පැසුණු, නොපැසුණු, මධ්‍යස්ථ ගෙඩි, මේ හැම ගෙඩියක් ම කඩා ලෑටිගා, පැත්තකට දමනවා ඔබ දැක ඇත. කිසිවක් සම්පූර්ණයෙන් ආහාරයට ගන්නෙ නැහැ. ලෝල වානරයකුගේ ස්වභාවය එයයි.
අභාවිත සිත් පවතින අශ්‍රැතවත් පෘතග්ජන සිතක ස්වභාවය ද එයයි. ආශාවෙන් ළංවෙනවා. එය තමා සතු කරගන්නට හදනවා. වෙනස්වීම පිළිගන්නට කැමැති නැහැ. වෙනස් වන විට හඬනවා, වැළපෙනවා. දුක්වෙනවා. වෙනස්වීමට හේතුව කුමක්දැයි සොයන්නට තරම්; එනම් පරමාර්ථ ධර්මය වශයෙන් මෙනෙහි කරන්න තරම් පුරුදු නොකරන ලද සිතක් ඇති නිසා, අලුත් රුවක්, හඬක්, ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක්, සිතිවිලි සොයන්නට පෙළඹෙනවා. වෙනස් වූ රුව, හඬ, වෙනස් වීම නිසා තමාට නොලැබුණ බවත් එය ශෝකයක්, දුක්ඛ වේදනාවක් හැටියටත් පමණක් හඳුනාගෙන, ඒ ශෝකය දුක්ඛවේදනාව නැති කර ගැනීමට එකම පිළියම නැති වූ වස්තුවට සමාන යමක් හෝ එයට ගැළපෙන යමක් නැවත තමා සතුකර ගැනීම බව මේ අශ්‍රැතවත්, පෘතග්ජන සිතක් ඇති එනම් අභාවිත සිතක් ඇති පුද්ගලයා කල්පනා කරනවා. ඒ නිසා නැවත කැමැති රුවක්, ප්‍රියයි කියන හඬකට, කැමැති ආඝ්‍රාණයක්, තමා කැමැති රසයක්, ස්පර්ශයක්, සිතිවිල්ලකට බැඳෙනවා. එහෙත් නැවතත් මේ පුද්ගලයාට යථාර්ථයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එනම්
යං කිඤ්චි සමුදය ධම්මං
සබ්බංතං නිරෝධ ධම්මං’ යමක් හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි, කියන මේ ධර්ම ස්වභාවය අනුව අර නැවත අරමුණු කරගත් රූපය, හඬ, ආඝ්‍රාණය, රසය, ස්පර්ශය, සිතිවිලි ද “උප්පාදථිතිභංග“ හට අරගෙන වෙනස් වී නැතිව යනවා. එවිට අභාවිත සිතක් ඇති මේ අශ්‍රැතවත් පුද්ගලයාට හිමිවන්නේ ශෝකය, පරිදේව හෙවත් විලාප දී හැඬීම, කායික හා මානසික දොම්නස්, උපායාස හෙවත් බලවත් සිත් තැවුල් මෙන් ම පරිලාහය නම් වූ ශරීරයේ ඇතිවන ඇවිලීමක්, දැවීමක්, පිළිස්සීමක් බඳු කායික පීඩාවක් පමණක්මයි. මේක කෙළවරක් නැති ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන්ගේ ගමනකුයි. අප මුලින් සඳහන් කළා සේ පරමාර්ථ ධර්මයට එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට සවිඤ්ඤාණය, අවිඤ්ඤාණක වස්තු නම් වූ සියලු සංඛත යටත්කොට දකින්නට නොහැකි වුණොත් සම්මුතිය තුළ පමණක් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අරමුණුගෙන ජීවිතය පවත්වන හැම කෙනෙකුට ම මෙවැනි වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණපාන්නට සිද්ධ වෙනවා. දැඩි වූ ලෝභය, විෂම වූ ලෝභය, තරහව, වෛරය, නොඉවසීම, ගුණමකුකම, ආදී බොහෝ උපක්ලේශයන්ට හේතු සාධක සකස්වෙන්නේ මේ අභාවිත සිතේ පවත්නා නොදැනීම නිසා බව දැන් පැහැදිලියි.
සියල්ල හටගත්තා වගේ ම නැතිව යනවා කියන මේ පරමාර්ථ, ධර්ම කතාව සිතට පුරුදු කරන්නට පුළුවනි නම් සිතට වැටහෙන්නට අවබෝධය ලබාදෙන්නට පුළුවනි නම් දැඩි වූ ලෝභය, තරහව, වෛරය, පලිගැනීම් ආදී කෙලෙස්වලින් බැහැරවීමක් සංසිඳීමක් ඇතිකර ගැනීමට පහසුයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවිටකවත් සම්මුතිය ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, මංගල, ධම්මික ආදී සූත්‍ර දේශනා කළේ විශේෂයෙන් ම ගෘහස්ත ජීවිතවල සම්මුතියේ පිහිටා එම ජීවිත දහමෙන් ලබන සංතෘෂ්ටියෙන් යුක්තව පවත්වා ගැනීමට. සම්මුතිය තුළ සීලයේ පිහිටා කටයුතු කළ යුතු බව දක්වනවා.
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං

නුවණැති මනුෂ්‍යයෝ සීලයේ පිහිටා ම සිතයි, ප්‍රඥාව වඩනවා. මෙහි සිත නම් සමථය වැඩීමයි. එනම් සිත දියුණු කිරීමයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, ආදී දස අනුස්සති භාවනාවකින් හෝ අනිකුත් සමථ භාවනාවකින් මේ සිතේ දියුණුවක් එකඟභාවයකට පත්කර ගැනීමක් කළ හැකියි. එනම් කුසලාරම්මනයක සිත පවත්වාගැනීමට පුරුදු කළ හැකියි. ප්‍රඥාව වැඩීම නම් විදර්ශනාවයි. එනම් මේ සියලු සංස්කාර, එනම් සංඛත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමට නුවණ මෙහෙයවීමයි. එය ප්‍රඥාව දියුණුව හැටියටයි දක්වන්නේ.
භාග්‍යවතුන් වහන්සේ සම්මුතියේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකළා වගේ ම එය අනුගමනය කළ යුත්තේ කායික, වාචසික සංවරය නම් වූ සීලයේ පිහිටා ම බව උන්වහන්සේ දේශනා කළේ ඒ ආකාරයෙනුයි. නිදසුනක් මේ වගෙයි ‘පත්ථකම්ම සූත්‍රදේශනාවට අනුව ගෘහස්ත ජීවිතයක් ගතකරන ඔබට ඉගෙනීම අවශ්‍යයයි. භෝග හෙවත් ධනය උපයා ගැනීම අවශ්‍යයයි. ඒ වගේ ම යුතුකම් කිරීම අවශ්‍යයයි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වූවත් ජීවිතයේ පැවැත්මට ලෝකයේ පැවැත්මට ඉගෙනීම, ධනය උපයා ගැනීම වස්ත්‍ර ආදිය සපයා ගැනීම හෝ කෙටියෙන් පැවසුවොත් මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම්පැළඳුම් නිවාස බෙහෙත් හේත් ලබාගැනීම හා ඒවා අරපරිස්සමින් පරිහරණය කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වචනය නම් ‘සම්මා’ කියන අදහසයි. එනම් නිවැරැදිව කළයුතු බවයි. සීලයේ පිහිටා කළ යුතු බවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී සම්මා දිට්ඨි ආදී වශයෙන් දක්වන්නේ මේ පිළිවෙළ නැතිනම් මාර්ග පිළිවෙල කතාවයි.
දීපා පෙරේරා

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්‌සී හිමි
අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි” යනුයි. එහි සාමාන්‍ය අදහස ”මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි” සිල් පදයේ අදහසයි.
මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්ක්ධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ”සාලෙය්‍යක සූත්‍රය” අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ”කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා ඣ¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති”
ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
ඤාති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.
සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී
ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1) අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
2) සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
3) සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
4) සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ”සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.
ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, ක්ඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.
කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
”යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර සංවත්තනිකො හොති”
මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්
අසු කොට ගත නොතබති ආදර ය
වද කොට මැරුවත් නැත එ විචාර ය
ලගු කොට නොසිතමි පව් පරදාර ය
නිරයට ඇදගෙන යන එම පා රය
මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
”ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙක්ධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
“තෘප්තිර්නාස්‌තිධනෛරග්නෙර්
නාම්භසා ලවණාම්භසඃ
නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
තස්‌මාත් කාමාන තෘප්තයේ”
ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.
අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි “කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ “ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ ” ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.
මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ “කාමෙසුමිච්ඡාචාරා” යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු ” යන බහුවචන රූපය නිසා මෙය “කාමයන්හි” යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය “කාමෙසු” වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ”
කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
එහි තේරුම – කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.
“සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසුචාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝඅමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
පළමුවන ඉන්ද්‍රිය ධර්මය සද්ධා හෙවත් ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධා ඉන්ද්‍රීය ධර්මයක් වෙනවා වාගේ ම බල ධර්මයක්, එයින් කරන්නේ පැහැදීමයි, අවිචාරයෙන් ඇදහීම නොවෙයි. පැහැදීමටයි ශ්‍රද්ධාව කියන්නේ, ශ්‍රද්ධාව තේරුම් කිරීමට ‘මිලින්ද ප්‍රශ්නයේ හොඳ උපමාවක් දැක්වෙනවා. ශ්‍රද්ධාව සක්විති රජතුමාගේ උදකප්පසාදක මැණික වගෙයි කියනවා ඒ උපමාව. සක්විති රජ්ජුරුවන්ට පින් බලයෙන් පහළ වන මැණිකක් තිබෙනවා.
එය ඕනෑම බොර වතුරකට දැමීමෙන් ඒ වතුර පැහැදිලි වෙලා පානයට පරිභෝජනයට සුදුසු වෙනවා. ඒ වගෙයි මේ ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව හිතේ යෙදුනාම හිතේ බලපාන කෙලෙස් රජස් යටපත් වෙලා සිත නිර්මල වෙනවා. ඒ බලෙයන් සිත ශික්ෂාකාමී වැඩට යොමු කරන්නට පුළුවනි. මේක ශ්‍රද්ධාවේ තිබෙන සම්ප්‍රසාදන ලක්ෂණයයි. පහදවන ලක්ෂණයයි. තවත් විදිහයකින් බැලුවාම තොටුපළක සිටින කිඹුලන් මෝරුන් මෙල්ල කොට මගීන් එගොඩ මෙගොඩ කරවන යෝධයකු වගෙයි. හිතට වදින අයහපත් පාප සිතිවිලි මැඬ ගෙන එය යහපතට නැංවීමට ආධාර වන බලයත්, එය ශ්‍රද්ධාවේ තිබෙන සම්පක්ඛන්දන ලක්ෂණයයි. ඉදිරිපත්වීමේ ලක්ෂණයයි. ශ්‍රද්ධාව ඉබේ පහළ වන දෙයක් නොවෙයි. යථාර්ථය දැකීමෙන් ලබාගත යුත්තකි. අවෙච්චප්පසාද කියා ශ්‍රද්ධාව කියන්නේ ඒ නිසාය. දැන දැන පැහැදීම යනු එහි තේරුමයි. බුද්ධත්වය, ධර්ම තත්ත්වය, සංඝ තත්ත්වය දැකීමෙන් ඇති වන සත්‍යාවබෝධය නිසා ම පමණයි කෙනෙකුට බුදු සරණයි, දම් සරණයි, සඟ සරණයි කියා අර්ථවත් බෞද්ධයෙකු විය හැක්කේ, මේ ශ්‍රද්ධාව එතැන් පටන් එළඹීම, ඇසුරු කිරීම ආදි වශයෙන් පරම සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම තෙක් නායකත්වය දෙනවා. එහෙයින් එය ඉන්ද්‍රීය ධර්මයක් වශයෙන් ප්‍රගුණ කිරීම නිරෝධගාමිණී පටිපදාව තහවුරු කිරීමට අවශ්‍යම දෙයක්.
දෙවැන්න වීර්යයි, මෙයත් ඉන්ද්‍රීයන් වගේ ම බල ධර්මයකුත් වෙනවා. බොජ්ඣංග ධර්මයකුත් වෙනවා. පාරමිතාවකුත් වෙනවා. කෙසේ වුවත් වීර්යාරම්භය හැම ආකාර සම්පතක් සඳහා මුල් වෙනවා. ලෞකික වශයෙන් අප ලබන ආර්ථික, සාමාජික, විද්‍යාත්මක, අධ්‍යාපනික කවර අන්දමේ ජයග්‍රහණයකට වුවත් මුල වීර්යයි. මෙය වීරභාවය, වීර කර්මය කියාත් විග්‍රහ කරන්නට පුළුවන. විධියකට, ක්‍රමයකට, උපායශීලිව, පවත්වා ගැනීම එසේත් නැත්නම් පවත්වා ගත යුතු තත්ත්වය තමයි වීර්යය. උත්සාහවත්වීම එහි ලක්ෂණයයි. සහජාත ධර්මවලට උපස්ථම්භක වීමයි එයින් කෙරෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර සැප සම්පත් ලැබීම වීර්යයෙන් තොරව කිසිසේත් ම සිදු නොවන්නේ, දුක්ඛනිරෝධගාමිණී පටිපදාව පතළ වීමට වීර්යයෙන් තොර වෙනත් කිසිම පිහිටක් නෑ. මෙය සපුරාලන විමුක්තිකාමීන්ගේ පැවැත්වීම ගැන ප්‍රකාශ වන ත්‍රිපිටක දේශනාවල දැක්වෙන්නේ කාය ජීවිත නිරපේක්ෂව යන වචනයයි. කය නොතකා, දිවි නොතකා, ක්‍රියාරම්භ කරන පුද්ගලයා නියත ජයග්‍රහණය ලබා මිස පසු බසින්නේ නෑ. බෝසත් සිරිත මීට කදිම උදාහරණයකි. හමත්, ඇටත්, නහරත් පමණක් ඉතිරි වුණාවෙ මස්, ලේ සියල්ල සිඳී වියළී ගියාවේ. බෝධිය ලබා මිස මේ වෑයම අත් නොහරීමි යනු උන්වහන්සේගේ වීර්යාධිෂ්ඨානයයි. මෙයින් අපට පේනවා සම්බාධක මැඬීමට ජයග්‍රහණ සකස් කිරීමට මේ වීර්යය කොපමණ ප්‍රමුඛත්වයක්, පුරෝගාමිත්වයක්, නායකත්වයක් ගන්නවා ද? ආධිපත්‍යයක් දරනවා ද? යන බව, එනිසා තමයි එය ඉන්ද්‍රීය ධර්මයක් වන්නේ, කුසීතකම ඉහ වහා ගිය මිනිසුන් ආගමික සංකල්පනාවලින් ආගමික ඇවතුම් පැවතුම්වලින් තොරව කොච්චර ශෝභන වැඩ කරන බව පෙන්නුවත් ඔවුන් එය කරන්නේ සසරට, වරදට සැකක් බියක් නැතිව ද කියන එක බුදුහාමුදුරුවන්ට පෙන්වා ඇයි උන්වහන්සේට ඉන්ද්‍රීයපරෝපරියත්ත ඤාණය තිබෙන නිසා, කාගේ ඇස් වැහුවත් බුදු ඇස වැසීමට බැරි බව බෞද්ධ අප ඉතා හොඳින් තේරුම් ගත යුතු කරුණකි.
තුන්වන ඉන්ද්‍රීය ධර්මය සතියයි. මේකත් හොඳ ම හොඳ බලයක්, එමෙන් ම බොජ්ඣංග ධර්මයත්, බුදු දහමේ ඉගැන්වෙන උසස් භාවනාවක්, සතිපට්ඨාන භාවනාව කියන්නේ එයයි. සතියෙන් කරන්නේ සිහි කිරීමයි. ඒ නිසා සතිය උපමාකොට තිබෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරික හැටියටයි. භාණ්ඩාගාරිකගේ කාර්යය සම්පත් ප්‍රමාණය මෙච්චරයි. මෙච්චරයි කියා රජුට සිහිගැන්වීමයි. එමෙන් සතිය මේ කුසල් මේ අකුසල්, මේ දේ කළා මේ දේ කළේ නෑ කියා සිහිගැන්වීම කෙරෙන්නේ සතියෙන්. මේ සිහිපත් කිරීමට අපිලාපනය කියා කියනවා. ඒ වගේ ම සිතූ සිතූ දේ තෝරා බේරා එහි යෙදවීමට එනම් හොඳ දෙයෙහි යෙදවීමට සිහිපත් කරන්නේත් සිහියයි. මේක උපගණන ලක්ෂණය කියලයි හඳුන්වන්නේ. එක අතකින් අප කතා කරන හෘදය සාක්ෂිය තමා මේ සිහිය. අපට කළ කී දේවල් වචනයෙන් වසන් කරන්නට පුළුවන්, පැවැත්මෙන්, ධනයෙන්, බලයෙන්, තර්ජනයෙන් ඒ වගේ ම නොයෙක් ක්‍රමෝපක්‍රමවලින් වසන් කරන්නට පුළුවන්. නමුත් කවදාවත් ම සතියට වසන් කරන්නට බෑ. තමා කළ දේත්, තමා නොකළ දේත් සතියට සිහියට එනවාමයි. තමන් ගැන සාක්කි කියන්නට තමන්ට ඉහළින් කෙනෙක් නැත්තේ මේ නිසාය. අනික් අතින් තමාගේ තත්ත්වය පැවැත්ම හා ක්‍රියාදාමය මොන උපායෙන් මොන බලයෙන් හැම දෙනාට ම සඟවා තැබුවත් තමාට සඟවන්නට නොහැකි වනවා මෙන් ම බුදුරජාණන් වහන්සේට සඟවන්නටත් බැහැ. මක්නිසාද ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය උන්වහන්සේට ඇති නිසා, සසරට වරදට බියෙන් ක්‍රියාකරන කෙනෙක් ද? සසරට වරදට බියෙන් ක්‍රියා නොකරන කෙනෙක් ද? යන බව උන්වහන්සේ දකිනවාමයි. එසේ වීමට ඔහුට ඉන්ද්‍රිය ධර්මත් බලපාන අන්දමත් උන්වහන්සේ දැන ගන්නවා. හොඳ නොහොඳ දෙපැත්තට මෙහෙයවීමට මිනිසාගේ නියාමකයෙකු වශයෙන් සිහිය දරන මේ තත්ත්වය නිසා එයත් ඉන්ද්‍රීය ධර්මයකි.
හතරවැන්න සමාධියයි. සමාධියත් ඉන්ද්‍රීය ධර්මයක් වගේ ම බල ධර්මය. එනම් සිතේ කැළඹෙන ස්වභාවය මැඬ පැවැත්වීමේ බලය සමාධියට ඇති නිසා සමාධිය බලයක්, ඒ සඳහා ආධිපත්‍යය දරන නිසාය ඉන්ද්‍රිය ධර්මයක් වන්නේ, චිත්ත ලක්ෂණ දක්වන තැන්වල පෙන්වනවා ස්පන්දනයේ චපල බවත් (ඵනදනං චපලං) එහි ලක්ෂණ හැටියට සැලෙන චපල සිතකින් තිරසාර පරමාර්ථයකට පත්වීම කොහෙත් ම කළ හැකි දෙයක් නොවෙයි. හරියට කුළු හරකෙකු වැඩට යොදා ගන්නට නොහැකිවාක් වගෙයි. ඒ කියන්නෙ වළක්වන්ට අසීරු හෙයිනි. ඒ වගේ ම හිත තැලෙනවා නම් චපල නම් එබඳු හිතක් රකින්ට වළක්වන්ට අපහසු නිසා අර්ථවත් දෙයක යෙදීම ඉතාම දුෂ්කරයි. මෙය පාලනය කළ යුතුයි. පාලනය කළ හැක්කේ සමාධියෙන් පමණයි. සිත එක අරමුණක සමව ස්ථාපනය කිරීම පවත්වා ගැනීම කරන නිසයි, එයට සමාධි යයි කියන්නේ. චිතේතකග්ගතාව තමයි මින් අදහස් කරන්නේ. උද්ධච්චය නමින් හැඳින්වෙන නොසන්සුන් නොතැන්පත් බව සමනයෙන් සිත පාලනය කොට පවත්වා ගැනීමෙන් ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමට පුළුවන. උද්ධච්චය පිටුදැකීමට නියාමන තත්ත්වය දරන්නේ සමාධිය නිසා එම අර්ථයෙන් ඉන්ද්‍රීය නාමය ලබනවා. මෙය දුර්වල වන්නට වන්නට මිනිසා සසරටවත් වරදටත් බියක් නැහැ. එය දියුණු වූ තරමට සසරටත් බියයි. වරදටත් බියයි. මේ තත්ත්වය පැහැදිලිව දැකීමට දැනීමට ශක්තිය ඇත්තේ තථාගතයන් වහන්සේටයි. උන්වහන්සේට ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය ඇති නිසයි. එබැවින් ලොවට වරදට බය නැතිව අප කරන වැඩ අප කාගෙන් සඟවාගන්නේ නම් ශාස්තෘන් වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ධර්මයෙන් සැඟවීමට නුපුළුවන් බව පිළිගත යුතුයි. සඟවා තැබීමෙන් කවදාවත් වැඩක් නොසිදුවන අතර, ඉන්ද්‍රීය දියුණුවෙන් පමණක් අර්ථ සිද්ධියක් වන බව අප තේරුම් ගත යුතුයි.
අවසාන ඉන්ද්‍රිය ධර්මය ප්‍රඥාවයි. ප්‍රඥාව ද බලයක් වශයෙන් පැහැදිලිකොට ඇත. අවිද්‍යාවෙන් කම්පාවට පත් නොවන ප්‍රඥාව බල ධර්මයක් වශයෙන් සැලකේ. විමංසා ඉද්ධිපාද, ධම්මච්චය, සම්බෝජ්ඣංග, සම්මාදිට්ඨි යන නම්වලින් හැඟෙන්නේ මේ ප්‍රඥාවයි. හඳුනා ගැනීමේ ලක්ෂණ තේරුම් ගැනීමට වඩා ගැඹුරින් ප්‍රඥාව තිබෙනවා. එනිසා සඤ්ඤා විඤ්ඤාණ දෙකෙන් කෙරෙනවාට වඩා ගැඹුරු කාර්යභාරයක් ඇති බව වටහා ගත යුතුය. ලෝකුරුවෙකුට කහවනුවක් පිළිබඳ ඇති අවබෝධය මෙන් යම් දෙයක් යථා තත්ත්වය අවබෝධකොට ගත හැක්කේ ප්‍රඥාවෙනි. සත්‍ය ඤාණය, ප්‍රඥාව හැටියට විස්තර වන්නේ එහෙයිනි. ප්‍රඥාවේ ප්‍රභේද දහසයක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. මෙය සර්වඥතා ඤාණය තෙක් දියුණු කළ හැකි දෙයක්. ඒ වගේ ම ප්‍රඥා වෘද්ධියට ප්‍රඥාව දියුණු තියුණු කිරීමට උපකාර වන ප්‍රධාන කරුණු හතරක් ඇසුරු කළ යුතු බව දේශ නාවෙහි සඳහන් වෙනවා. ඒ හතර නම් සත් පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. අර්ථානර්ථ හඳුනාගෙන ආත්මාර්ථය මෙන් ම පරාර්ථය ද හඳුනාගෙන සදාචාර සම්පන්නව ක්‍රියාකරන පරහිතකාමී පුද්ගලයන් ඇසුරු කිරීමෙන් බුද්ධිමය ජීවිතයක් නොගැනීමට මං පෑදෙන බව ලෝක ජීවිත ගෙවන අපට පහසුවෙන් සිතා ගත හැකිය. ධර්මය නම් සත්‍යයි. සත්‍යය ඇසීමෙන් ප්‍රඥාව දියුණුවනු මිස අසත්‍යයෙන් අධර්මයෙන් ප්‍රඥාව ලැබෙන්නේ නැත. අයථා පරිද්දෙන් නොමඟින් මෙනෙහි කිරීමෙන් කිසිදාක ප්‍රඥාවක් ලැබෙන්නට බැරිය. ධර්මානුකූල සත්‍යයට එහා පිළිවෙත් මඟකින් පිටපැන කවදාවත් සත්‍ය දර්ශනයක් ලබා ගත නොහැකිය. එබැවින් මේ සතර කරුණු ඇසුරු කොට ගනිමින් අවිද්‍යාව අභිබවනය කිරීමට විද්‍යාවේ හෙවත් ප්‍රඥාවේ ආධිපත්‍යය ලබා ගැනීම නිරෝධගාමිණී ප්‍රතිපදාව සඵල කර ගැනීමට කළ යුතු දෙයයි. එහි දියුණු කිරීම හැකිතාක් අපට සසරට හෝ වරදට බියක් ඇති නොවන බව පිළිගත යුතුය. මිනිසාගේ මේ ඉන්ද්‍රියයන්ගේ තත්ත්වය දකින බුදු නුවණ ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ.

බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය
සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායේ පටිසම්භිදාමග්ග මහා වග්ගයට අයත් ඤාණ කතා විස්තරයෙහි තථාගතයන් වහන්සේ සතු ඤාණ හැත්තෑ තුනක් පිළිබඳ විස්තර සඳහන් වෙනවා. අප තෙසැත්තෑ බුද්ධ ඤාණ නමින් හඳුන්වන්නේ ඒවායි. ‘සොතාවධානෙ පඤ්ඤා සුත්මයෙ ඤාණං’ කියා පටන් ගන්නා පළමුවන ඤාණයෙහි පටන් ‘පටිභාණ පටිසම්භිදෙ ඤාණං’ කියන ඤාණය තෙක් වන ඤාණ හැට පහ සියලු රහතන් වහන්සේලාට ලැබෙන ඤාණයි. එනිසා ඒවා පොදුයි. සාධාරණයි, අවිශේෂයි සියලු රහතන්වහන්සේලාට පොදු සාධාරණ අවිශේෂ ඤාණ හැට පහක් බව එයින් අප තේරුම් ගත යුතුය.

ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණයේ පටන් අනාවරණ ඤාණය තෙක් ඇති ඉතිරි ඤාණ හය ලැබෙන්නේ, තිබෙන්නේ බුදු කෙනෙකුට පමණයි. එනිසා ඒවා පුද්ගලිකයි. අසාධාරණයි. සුවිශේෂයි. මේ අනුව බුදු කෙනෙකුටම ආවේණික අසාධාරණ, සුවිශේෂී ඤාණ හයක් ඇති බව අප දැන ගත යුතුයි. ෂඩ් අසාධාරණය ඤාණ නමින් ධර්ම විස්තරවල දැක්වෙන්නේ ලොව කවරම රහත් කෙනෙකුටවත් නැති තථාගත බුදුරජාණන් වහන්සේලාට ම පමණක් ඇති සුවිශේෂි බුද්ධ ඤාණ හයකි. රහතන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය කුමක් ද සිතා මතු වන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ මේ ෂඩ් අසාධාරණ ඤාණය දැන ඉගෙනීමෙනි.
බෞද්ධ සාහිත්‍යයේ තථාගතයන් වහන්සේ හැඳින්වීමට යොදා තිබෙන ගුණ පද අතර අපට අසන්නට දකින්නට ලැබෙනවා අසම, අසමසම, අප්පටිම, ඒකාතා, අදුතියෝ වැනි පද රාශියක්. මේ සියලු පදවලින් අදහස් කරන්නේ උන්වහන්සේ තුන් ලොවම කිසිවෙකුටත් සම නොවන අසම, අසාධාරණ, සුවිශේෂ බුද්ධ ලක්ෂණයෙන් හා ගුණයෙන් පිරී සිටින බවයි. බුද්ධ චරිතයත් බුද්ධ ධර්මයත් විමසා බලන විට අපට ඒත්තු ගන්නට පුළුවනි.
එය වචනයට සීමා වූ කරුණක් නොවෙයි. අර්ථයෙන් ම, සත්‍යයෙන් ම, පවත්නා නිසාම අනුරූප වූ ගැළපෙන කියමනක් බව, අසාධාරණ බුද්ධ ලක්ෂණ බුදු ගුණ එකින් එක සියල්ලක් විස්තර කිරීම හෝ ඉදිරිපත් කිරීම අප හට කළ හැකි කාර්යයක් නොවෙයි. එනිසා තමයි එබඳු අචින්ත්‍ය (සිතන්නට බැරි) අභව්‍ය (කියන්නට බැරි) අවෙද්‍ය (අවබෝධ කරගන්නට බැරි) බුදු ගුණ කල්පයක් පුරා එවැනි ම බුදු කෙනෙක් වර්ණනා කළත් කල්පය ගෙවෙනවා මිස බුදු ගුණ නොගෙවෙන බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ, එමෙන් ම ගංගා නම් ගඟේ වැලි අවසන් කළත් මහා සාගරයේ දිය බිඳු අවසන් කළත් බුදු ගුණ කියා නිම කළ නොහැකි බව කියා ඇත්තේ බුද්ධ ශක්තියෙහි ඇති අසාමාන්‍ය අසාධාරණ සුවිශේෂත්වය නිසයි. ලොව කිසිම රහතන් වහන්සේ නමකටවත් නොතිබෙන, නොලැබෙන බුදුවරයන් වහන්සේ නමකට ම පමණක් තිබෙන ලැබෙන මේ අසාධාරණ ඤාණ හය එසේ ම උන්වහන්සේගේ සුවිශේෂත්වය මූර්තිමත් කරන බුද්ධ ශක්තියකි.
ඒ නිසා බුදුන් දැන හඳුනා ගැනීමට ආශාවක් ඕනෑකමක් ඇති සැමදෙනා විසින් ම ෂඩ් අසාධාරණ ඤාණ වැනි සුවිශේෂ බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘවහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය. උන්වහන්සේ වැඩ සිටි අවධියේ ගම් නියම්ගම් දනව් සැරිසරා වඩින විට දායකයන් නොවන, හිතවතුන් නොවන නන්නාදුනන්නන් පවා උන්වහන්සේ පිළිබඳ ‘ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ’ ආදී වශයෙන් පැතිරුණු කීර්ති රාවය අස අසා කිය කියා සිත සිතා එවැනි උතුමකුගේ දැකීමත් මහ වාසනාවක් කොට සලකා රංචු රංචු වශයෙන් ඇඳී බැඳී ගිය සැටි අපේ පොත් පත්වල විස්තර වෙනවා. තත්ත්වය එසේ නම් බුදුන් සරණ පරායණ කොට ඇති කෙනෙක් උන්වහන්සේ හඳුනා ගැනීමට කෙතරම් උත්සාහක්, වෑයමක්, පරිශ්‍රමයක් දැරිය යුතු ද? බුදුරදුන් සරණ පරායණ කොට ගන්නා අපට සරණ වීමට, පිහිටවීමට, උන්වහන්සේට ඇති ශක්තිය කුමක් ද? මහිමය කුමක් ද? කියා අප විමසිය යුතුයි. සලකා බැලිය යුතුයි. පිහිටක් පිළිසරණක් ලබා ගත හැක්කේ ශක්තිමත් බලයක් ඇති තැනකින් මිස නැති තැනකින් නොවෙයි. එහෙම නම් සියලු දුකින් සතුන් මිදවීමට තථාගතයන් වහන්සේට ඇති ශක්තිය කෙබඳු ද? කවරාකාර ද? එහි සත්‍යාර්ථයේ දී තිබේ දැයි විමසා බැලීම දැන ඉගෙනනීම ඉතා වැදගත් වන කරුණක්.
මිනිස් ඉතිහාසයේ පහළ වූ මහා ප්‍රාඥයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන්ට යථාර්ථය දැක්වීමට සමත් වූයේ උන්වහන්සේ පසක් කළ තෙසැත්තෑ ඤාණ සම්භාරය නිසයි. මෙයින් ඤාණ හැට හතක් ම රහත් බව පසක් කරන කවරම ශ්‍රාවකයෙකුට වූවත් සාධාරණය. එම තත්ත්වයත් ඉක්මවා ගිය බුදුරජාණන් වහන්සේට අන් කිසිවෙකුටත් සාධාරණය නොව අසාධාරණ ඤාණ හයක් වන බව මුලින් සඳහන් කෙළෙමු. මෙම ලිපියෙන් අප අදහස් කරන්නේ එහි සියලු ඤාණ විස්තර කිරීම නොව ෂඩ් අසාධාරණ ඤාණ ඇතුළත් ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණය ගැන ගැඹුරින් විභාග කර බැලීමයි. පටිසම්භිදා මග්ගයෙහි එය විස්තර කර ඇත්තේ මෙසේයි.
“තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණය කුමක් ද? තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි අල්පරජස්ක – මහාරජස්ක ක සත්ත්වයන්, තියුණු ඉන්ද්‍රීය ඇති, මෘදු ඉන්ද්‍රීය ඇති සත්ත්වයන්, හොඳ ආකාර ඇති නරක ආකාර ඇති සත්වයන්, පහසුවෙන් කරුණු අවබෝධ කරවිය නොහැකි සත්වයන්, ලෝක වජ්ජයෙහි බිය දන්නා සුලු ලෝක වජ්ජයෙහි බිය නොදන්නා සුලු සත්වයන් දනිති. මෙම තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රීය පරොපරියත්ත ඤාණයයි”
මෙයින් පැහැදිලි කරන්නේ ඉන්ද්‍රීය පරොපරියත්ති ඤාණයයි. එම ඤාණයේ ස්වභාවයත් කාර්යයත් මෙම විස්තරයෙන් මනාව එළිදරව් කොට තිබෙනවා. ඒ අනුව තවදුරටත් එය මෙසේ විමසා බැලිය හැකි ය. බුදු දහමේ ඉන්ද්‍රීය ධර්ම විසි දෙකක් උගන්වා තිබෙනවා. එයින් මෙතැනට අදාළ වන්නේ ඉන්ද්‍රීය ධර්ම පහක් පමණයි. සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා යන පහයි. ඒ බුදු දහමේ උගන්වන ලෝකයේ යථා ස්වභාවය දුකයි. මේ පොදු දුක දුරලීමට මඟ පෙන්වීම බුද්ධ ධර්මයේ පරමාර්ථයයි. බුදු සරණින් දම් සරණින් නිවී සැනසීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වන මිනිසාට ඇසුරු කළ යුතු, වැඩිය යුතු, දියුණු කළ යුතු, ප්‍රමුඛ ප්‍රධාන ධර්ම පහක් තිබෙනවා. ඒ පහ තමයි මේ සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා කියන ධර්ම පහ. ඉන්ද්‍රීය ධර්ම යන වචනයේ තේරුම අධිපති, නායක, ප්‍රමුඛ, පුරෝගාමී කියන එකයි. නිවන නමින් හඳුන්වන දුක්ඛ නිරෝධය හෙවත් නිවන පසක් කිරීම සඳහා බුදුසරණ, දම්සරණ පතන මිනිසා විසින් ඒ සඳහා අනිවාර්යයෙන් ආධිපත්‍යය දරන, ප්‍රමුඛත්වය දරන, නායකත්වය දරන, පෙරමුණ ගන්නා පුරෝගාමී ධර්මයක් වන සද්ධා, සති, වීර්ය, සමාධි, පඤ්ඤා යන කරුණු පහ ඇසුරු කළ යුතුයි. වැඩි දියුණු කළ යුතුයි. බහුල කළ යුතුයි. එය බෞද්ධ ශික්ෂාවයි. නායකත්වයෙහි ලා සැලකෙන මේ පිළිවෙත ධර්මවලින් සිදුවන්නේ දුකට පත්කොට නිවනට පටහැනි අශ්‍රද්ධාදි විරුද්ධ ධර්ම මැඩපැවැත්වීම, යටපත් කිරීම, සහමුලින් නසා වනසා දැමීමයි. එබැවින් නිවන් පසක් කරන තුරු සතර භූමියෙහි ම මේ ආධිපත්‍යය, නායකත්වය, පුරෝගාමීත්වය තිබිය යුතුවෙයි. දැන් ඉන්ද්‍රීය යන වචනයේ තේරුමත් ඉන් අදහස් කළ දේත්, එහි කාර්යයත් පැහැදිලි වන්නට ඇතැයි සිතමි.
පරෝපරියත්ති යන වචනය තේරුම් ගැනීමට ඊළඟට සලකා බලමු. පරෝපරියත්ති කියන්නේ පරභාවය සහ අපරභාවයයි. පරභාවය කියන්නේ වෘද්ධියයි. එනම් දියුණුවයි. අපරභාවය නම් හානියකි. එනම් පිරිහීමයි. තවත් විධියකින් තේරුම් කළ හොත් ශ්‍රද්ධාදිය කෙතරම් අලාමක ද, ලාමක ද, යන යථා තත්ත්වයයි. ඇති තතුයි, තත් වූ පරිද්දයි. දැන් ඉන්ද්‍රීය පරොපරියත්ති කියන්නේ ශ්‍රද්ධාදියෙහි උසස් පහත් බව කියා අපට තේරුම් ගැනීමට පුළුවනි. ඤාණ නම් ප්‍රඥාවයි. යථා තත්ත්වයෙන් ඇති සැටියෙන් අවිපරිතව දැකීම ඤාණයයි. අවබෝධයයි. දැනීම, දැනීම ඤාණයයි. මේ අනුව ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණ කියන්නේ නිවන් පසක් කිරීමට ඇසුරු කළ යුතු, වැඩිය යුතු, පුහුණු කළ යුතු පුරෝගාමී ප්‍රමුඛ අධිපති ධර්ම වශයෙන් දැක්වූ ශ්‍රද්ධා, සති, වීර්ය, සමාධි, ප්‍රඥා යන ධර්ම කෙතරම් උසස් පහත් තත්ත්වයක පවතින්නේ ද කියා යථා තත්ත්වයෙන් ඇති සැටියෙන් තත් වූ පරිද්දෙන් දන්නා ඤාණයයි. මෙය බුදුරජාණන් වහන්සේට ම මිස ඉන් මෙපිට කිසිවෙකුටත් නොලැබෙන, නොතිබෙන අසාධාරණ ඤාණයක් ලෙස සඳහන් වෙනවා.

මේ අසාධාරණ ඤාණය ඇති නිසා උන්වහන්සේට මේ මිනිසුන් අල්පරජස්ක ද? මහාරජස්ක ද? කියා බලන්නට පුළුවන්, දකින්නට පුළුවන්, දැනගන්නට පුළුවන් . “අප්පරජ්ඣෙ මහාරජ්ඣෙ සතේත පස්සති” කියා සඳහන් කළේ ඒ නිසා ය. රජස් කියන්නේ කෙලෙස්වලටයි. අල්ප රජසක කියන්නේ කෙලෙස් අඩු මහා රජස්ක කියන්නේ කෙලෙස් වැඩි, රජස් යන වචනයේ මතුපිට තේරුම දුර්වලයි. දූවිල්ලෙන් වන්නේ කිලිටිවීමයි. අපවිත්‍රවීමයි. දූවිල්ලෙන් අපිරිසුදු වන්නා වාගේ ම කෙලෙස්වලිනුත් අප අපිරිසුදු වෙනවා. එම තේරුමෙන් කෙලෙස්වලටත් රජස් නම යොදනවා. අපවිත්‍ර කාය කර්ම, වාක්කර්ම, මනෝකර්ම කෙරෙන්නේ කෙලෙස් නිසා ලෝභ, දෝස, මෝහ යන අපවිත්‍ර කර්මවල කෙලෙස් මුල් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණයෙන් කෙලෙස් හෙවත් රජස් අඩු වැඩි තත්ත්වයන් හරියට ම නියමාකාරයෙන් ම දන්නවා. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කිසියම් ප්‍රමාණයකට හෝ තිබෙන තැනැත්තා අල්ප රජස්කයි. කෙලෙස් අඩුයි. කුණු අඩුයි, අපිරිසුදුකම එමටයි. කෙලෙස් කසට කුණු වැඩි අපිරිසුදු පුද්ගලයා හරියට ම දැනීම, දැන ගැනීමට අසාධාරණ බුද්ධ ඤාණයට පුළුවනි.
ඊළඟට මේ ඤාණ බලයෙන් උන්වහන්සේට මේ මිනිසුන් ඉන්ද්‍රියයන් තියුණු වූ අය ද? මෘදු වූ අය ද කියා දැන ගන්නට දකින්නට පුළුවනි. ‘තික්බින්ද්‍රියේ මුදින්ද්‍රියේ සතේත පස්සති’කියා සඳහන් කළේ එයයි. මේ සතුන්ගේ ශ්‍රද්ධාව, වීර්යය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව තියුණු ද? දියුණු ද, නිරෝධගාමිණී පටිපදාව පිරීමට සැසදේ ද කියාත් එම ප්‍රතිපදාවට සැසඳෙන ගැළපෙන තරමට නැති ලිහිල් මොට්ට ඉන්ද්‍රීය ඇත්තෝ ද කියාත් දැනගන්නේ එයිනි. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, ප්‍රඥාව ඇති මිනිසා තික්ඛීන්ද්‍රීයයි. එනම් තියුණු දියුණු ඉඳුරන් ඇති තැනැත්තාය. අශ්‍රද්ධාව, තුසිතකම, සිහිමුළාව, නොතැන්පත්කම, දුෂ්ප්‍රඥා බව ඇත්තා මුද්‍ර ඉන්ද්‍රීයයාය. එනම් ලිහිල් මොට වූ ලාමක ඉඳුරන් ඇති තැනැත්තායි.
එසේ ම මේ ඤාණයෙන් යුත් බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන් හොඳ ස්වභාව ඇති අය ද නරක ස්වභාව ඇති අය ද කියා දැන ගැනීමටත් සමර්ථ වෙනවා. ‘ස්වාකාරේ දුවාකාරේ සත්තා පස්සති’ කියා සඳහන් කළේ එයයි. සු + ආකාර = ස්වාකාර කියන්නේ හොඳ ආකාරයයි. යහපත් ස්වරූපයයි. දු + ආකාර = ද්වාකාර කියන්නේ නරක ආකාරයයි. අයහපත් ස්වරූපයයි. මිනිසෙකුගේ ආකාරය හොඳ වන්නේ ස්වරූපය යහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් දෙගොල්ලන්ට ම හිතවත්, ඵලවත් වන තරම අනුවයි. එමෙන් ම මිනිසාගේ ආකාරය නරක්වන්නේ ස්වරූපය අයහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් අහිතවත් අපලදායක වන තරමටයි. හොඳ ආහාර ඇති යහපත් ස්වරූපය ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට ශ්‍රද්ධාව, වීර්යය ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව නායකත්වය දෙයි. පුරෝගාමී වෙයි. ආධිපත්‍යය දරයි. නරක ආකාර ඇති අයහපත් ස්වරූප ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට නායකත්වය දෙන්නේ පුරෝගාමිවන්නේ ආධිපත්‍යය දරන්නේ අශ්‍රද්ධාව, කුසීතතාව, සිහිමුළාව, වික්ෂිප්තභාවය හා දුෂ්ප්‍රාඥතාවයයි.
එමෙන් ම තථාගතයන් වහන්සේ මේ නුවණින් මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය හැකි අයෙකි. මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි අයෙකි. කියා දැන ගන්නවා, දකිනවා, ‘සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ සත්තේ පජානාති’ යන කියමනෙහි තේරුම එයයි. පහසුවෙන් කරුණු තේරුම් ගැනීමට, වටහා ගැනීමට, අවබෝධ කර ගැනීමටත්, තේරුම් ගැන්වීමටත්, වටහා දීමට, අවබෝධ කරවීමටත් ශ්‍රද්ධාව, ස්මෘතිය, වීර්යය, සමාධිය, ප්‍රඥාව යන ධර්මවල නායකත්වයෙන්, පුරෝගාමීත්වයෙන්, ආධිපත්‍යයෙන් ක්‍රියාකරන්නකු විය යුතුය. අශ්‍රද්ධාව, මුළාසිහිය, කුසීතබව, වික්ෂිප්තබව, මෝඩකම, නායකත්වයෙහි තබාගෙන පුරෝගාමී කොට ගෙන අධිපතිකොටගෙන ක්‍රියාකරන්නෙකුට හොඳ නරක වටහා දීම එසේ මෙසේ පහසු වැඩක් නොවෙයි.
මේ හැර බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණ බලයෙන් පරලොව වරදෙහි බිය දකින සුළු සමහර මිනිසුන්, පරලොව වරදෙහි බිය නොදකින සුළු සමහර මිනිසුන් දැක ගැනීමට දැන ගැනීමට සමත් වෙනවා. ‘අප්පේකච්චේ පරලොක වජ්ජ භය දස්කචිනෝ, සත්තේ පස්සති’ යන්නෙන් එය පැහැදිලි වෙයි. මෙහි ලෝක යන්නට ඇතුළත් වන්නේ ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක, ආදියයි. එනම් සසරයි. ස්කන්ධ, ධාතු ආයතන යන්නෙහි නොසිඳ පැවැත්ම සංසාරය බව විසුද්ධ මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථවල පැහැදිලිකොට තිබෙනවා. එම නිසා ලොවට බිය වීම නම් සසර බිය ඇතිකොට ගැනීමයි. වජ්ජ කියන්නේ වරදවලටයි. මෙහි සියලුම කෙලෙස්, සියලුම දුශ්චරිත, සියලුම අභිසංස්කාර, සියලුම භවගාමී කර්ම වජ්ජ යන පදයෙන් හැඟෙනවා. මේ හැම වරදකමත් සසරටත් බිය වීම නිසා බිය දන්නා සුළු බවයි. සකල විධ පීඩනවලට මුල සසරත් අපේ වරදවලුත් නිසා එය බියකරු තැනක් බව නුවණින් දැකිය යුතුය. නමුත් අප අතර සමහරු නුවණින් විමසා එසේ බිය යන නමුත් සසරට හෝ වරදට බියක් නොදක්වන අය ද අපමණ බව ඉතා ප්‍රකටයි. එසේ බිය වන්නා වූත්, බිය නොවන්නා වූත්, සත්ත්වයන් ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණය ඇති තථාගතයන් වහන්සේට නොරහසකි. ඔවුන් වෙන් වෙන් ව දැන ගැනීමට දැකීමත් උන්වහන්සේට ඉතා පහසුය. ශ්‍රද්ධා, වීර්යය, ස්මෘතිය, සමාධිය ඇති පුද්ගලයා සසරත්, වරදත් පිළිබඳ බිය දන්නා සුළු කෙනෙකි. අශ්‍රද්ධාව, කුසීත බව, සිහිමුළාව, වික්ෂිප්ත බව, මෝඩකම, අධිපති කොට ගත්, පුරෝගාමී කොටගත්, නායකත්වයට ගත්, මිනිසාට සසර බියකුත් වරදෙහි බියකුත් ඇති නොවෙයි. යථාභූත දැකීමේ ඕනෑකමක් තිබෙනවා නම් නිවී සැනසීමක් අපේක්ෂා කරනවා නම් හැබවින් ම ඔවුන්ට ලෝකයත් වරදත් පිළිබඳ තියුණු අන්දමින් දැඩි ඇසුරින් භය සංඥාව පෙරදැරි විය යුතුය. හරියට තමන් කඩුව අමෝරා ගත් වධකයෙකු ළඟ සිටින්නාක් මෙන් බිය විය යුතුයි. එසේ නොවන විට ඔවුන්ගේ තත්ත්වය හරියට ම ‘මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය’ කීවාට වඩා කිසිම වෙනසක් නැත්තේය.
මෙසේ සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ. පනස් ආකාරයකින් දන්නවා කීම තවදුරටත් පැහැදිලි කර ගත හොත් මෙසේයි. සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා, යන ඒ පහයි. ඒවා ඇති ඒවා නැති පුද්ගල ජෝඩු පහයි. කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්ද්‍රීය ඇති, මෘදු, පහසුවෙන් වටහා දිය නොහැකි, ලෝකවද්‍යයෙහි බිය දන්නා සුළු ලෝකව්‍යයෙහි බිය නොදක්නා සුළු ඒ ජෝඩු පහයි. එනම් පුද්ගලයන් දහ දෙනයි. නිරෝධගාමිණී පටිපදාවට පුරෝගාමී බව, නායකත්වය, ආධිපත්‍යය, දෙන ඉන්ද්‍රීය ධර්ම පහ මේ දහ දෙනාට බලපා තිබෙන තරම හරියට ම දැන දැන පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේට ඇති සුවිශේෂ ඤාණය ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණයයි.
දැන් අවසාන වශයෙන් මිනිසා කෙලෙස් අඩු තියුණු ඉන්ද්‍රීය යුත් හොඳ ආකාර ඇති පහසුවෙන් කරුණු වටහා දිය හැකි ලොකවජ්ජදෙකෙහි බිය දන්නා සුළු කෙනෙකු බවට පත් කිරීමටත් කෙලෙස් භරිත මොට ඉඳුරන් ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි, ලෝකවජ්ජ බිය නොදන්නා සුළු එකකු බවට පත් කිරීමටත් බලපාන නියාමකත්වය ගන්නා ආධිපත්‍යය දරන මේ ඉන්ද්‍රීය ධර්ම ගැනත් යන්තම් හෝ ඉඩගනිමින් ලබා ගැනීම ප්‍රයෝජනවත්ය. ඉන්ද්‍රීය යන්නෙහි අර්ථය අධිපති බව, ප්‍රමුඛ බව යයි මුලින් කියැවුණි. එසේ අධිපති බව කියැවෙන ඉන්ද්‍රීය පහක් මෙහි දී සලකා බැලුණි. මෙම ඉන්ද්‍රීය සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලත් ඇතුළත් වෙනවා. එහිදී එම ධර්ම පහම නැවත බල ධර්ම වශයෙනුත් දක්වා තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ ඉන්ද්‍රීය ධර්ම නිර්වාණගාමී මාර්ගයට කෙතරම් වැදගත් වෙනවාද කියලයි. එම නිසා ඉතා කෙටියෙන් එම කරුණු පහ මෙසේ පැහැදිලි කළ හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤