ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සැනසීමෙන් ජීවත්වන්න සැලකිල්ලෙන් ආහාර ගන්න

 කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම
මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි

බෞද්ධ ඉගැන්වීමට අනුව ආහාරය සිවු වැදෑරුම් වන බව සංයුත්ත නිකායේ ආහාර සූත්‍රය පෙන්වා දෙයි.

කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර හා විඤ්ඤාණ ආහාර යනු එම සතර ආහාරයයි. උපන් සත්වයාගේ කායිකා හා මානසික පැවැත්ම පිණිසත්, අනුග්‍රහය පිණිසත් ඉවහල් වන මෙම සතර ආහාරයෙන් අපගේ අවධානය යොමු කරන්නේ කබලිංකාර ආහාර හෙවත් මුඛයෙන් ගනු ලබන ආහාර පාන භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුදැයි විමසා බැලීමටයි.

ආහාර ගන්නා ආකාරය අනුව බුද්ධකාලීනව විසූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල දක්නට ලැබේ.

ආහාර හත්ථක යනු ආහාර ගත් පසු තවකකු විසින් අතින් අල්ලා එසවීමට තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

කාක මංසක යනු කුස පිරී තිබියදීත් කපුටකුට ඔහුගේ මුඛයේ ඇති ආහාර ගැනීමට හැකි තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

ආහාර ගත් පසු ආහාර ගත් තැනම වැටි සිටින්නා තත්‍ර වට්ටක නම් වේ.

සිය කුස පිරෙන තරම් ආහාර ගෙන ඉතිරිවන ආහාර තම සලුවෙහි ඔතාගෙන ගොස් අනුභව කරන්නා අලං සාටක නම් වෙයි.

භුත්තවමික නම් ආහාරයට ගිජු වී කුස පිරෙන තුරු ආහාර ගෙන ගිජුකම නිසා එකී ආහාර වමනය කොට නැවත අනුභව කරන්නායි.

මෙම පස් දෙනාගේ ස්වභාවය ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක් වන්නේ නමුත් බුද්ධ කාලයේ පමණක් නොව අදටත් මෙවන් අය සිටින බව අප මතක තබා ගත යුතු ය.

ආහාරයට ගිජු වී පමණ ඉක්මවා ආහාර ගැනීම කායික අපහසුතාවන්ට ඉවහල් වන බව සංයුත්ත නිකායේ එන දෝණපාක සූත්‍රය පෙන්වා දෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් මහ රජු මහත් කායික අපහසුතාවකින් පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ විමසීමේ දී තමන් ආහාර ගත් ගමන් ම බුදුන් වහන්සේ බැලීමට පැමිණි බවත්, ආහාර ගත් ගමන් ම නිසා අපහසු බවත් රජු ප්‍රකාශ කළේ ය.

එහිදී කොපමණ ආහාර ගන්නේ දැයි රජුගෙන් විමසූ බුදුන් වහන්සේට දැන ගන්නට ලැබුනේ හාල් නැලි දහසයක බත් රජු ආහාරයට ගන්නා බවයි. සාමාන්‍ය මිනිසකුට ඔරොත්තු නොදෙන මෙම ආහාර ප්‍රමාණය රෝගී වීමටත්, ඉතා ඉක්මනින් මරුවා කැන්දා ගැනීමටත් හේතු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ හැම කල්හි සිහි ඇතිව, භෝජනයෙහි පමණ දැන, ආහාර ගැනීමෙන් දුක් වේදනාවන් පහ වන බවත්, අනුභව කළ ආහාරය සෙමෙන් දිරවා, ආයුෂය රකින බවත්

මනුජස්ස සදා සතිමතෝ - මත්තං ජානතෝ ලද්ධ භොජනෙ
තනු තස්ස භවන්ති වේදනා - සනිකං ජිරති ආයු පාලනන්ති

යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එම උපදේශය පිළිබඳ අවධානය යොමු කළ රජු තමන් සමීපයෙහි සිටි සුදස්සන මානවකය අමතා එම ගාථාව ඉගෙන ගන්නා ලෙසත්, තමන් උදේ සවස ආහාර ගන්නා විට කියවන ලෙසත් පැවසී ය. ඒ අනුව ඔහු දිනපතා රජු ආහාර ගන්නා විට බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව ප්‍රකාශ කළේ ය. එම උපදේශය නම් මේ ගාථාව නැට්ටුවකු මෙන් ගිය ගිය තැන නොකිය යුතු බවත්, රජතුමා ආහාර ගන්නා විට මුල් බත් පිඬුවලදී නොකිය යුතු බවත්, අවසන් බත් පිඩුව ගන්නා කල්හිම කිව යුතු බවත් ය. එසේ ගාථාව කී විට රජු එය නොකා එම බත් පිඩෙහි බත් ඇට ප්‍රමාණය ගණන් කොට පසු දින එම ප්‍රමාණයට සහල් ඉවත් කළ යුතු බවත් මෙලෙස දිනපතා බත් පිඩෙහි පමණට සහල් ඉවත් කරමින් සහල් නැලියක ප්‍රමාණය වැඩිම ආහාරය ලෙස අනුභව කරන තෙක් ක්‍රියා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. මෙලෙස ක්‍රියා කිරීමෙන් කල්ගත වන විට රජුගේ සිරුර සැහැල්ලු විය. පැවති ශාරීරික අපහසුතා පහ වුණි. දිනක් සිය සැහැල්ලු සිරුර පිරිමදිමින් රජු ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ තමන්ට මෙලොව අභිවෘද්ධියෙන් හා පරලොව අභිවෘද්ධියෙන් ද අනුකම්පා කළ බවයි.

මෙම කතාව ආශි‍්‍රත දේශනයෙන් මතු කර ගත හැකි කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් ආහාරයෙහි පමණ නොදැන රසයට ගිජුව ආහාර ගැනීම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට ද හානිකර බවයි. ශාරීරික අපහසුතාවන්, වේදනාවන්, නිද්‍රාශීලිත්වය හා ඒ සමඟම පැන නඟින අපහසුතා මෙසේ කායික හා මානසික ව්‍යාකූලත්වයට හේතු වෙයි.

ආහාර පාලනය කළ යුතු බවට වෛද්‍ය උපදේශයක් ලද විගස බොහෝ දෙනා කරන්නේ කලක් පුරුදු වී සිටි ආහාර රටාව ඉතා සීඝ්‍රයෙන් බැහැර කරමින් ආහාර පාලනය කිරීමයි. එය ටික දිනක් කිරීමේ දී මානසික බලපෑම මත හෝ කායික හේතූන් මත ශාරීරික දුර්වලත්වයන් ඇතිවීමටත්, ආහාර පාලනය පිළිබඳ මානසික පසුබෑමක් ඇතිවීමටත් හැකි ය. එවන් අවස්ථාවක දී පියවරින් පියවර තමන්ගේ සිතටත් කයටත් නොදැනෙන අයුරින් ආහාර පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික බව සහල් නැලි දහසයක බත් කලක් මුළුල්ලේ ආහාරයට ගෙන පුරුදුව සිටි රජු සහල් නැලියක බත් ආහාරයට ගැනීමට පියවරෙන් පියවර තමන්ටත් නොදැනීම පුරුදු වීමෙන් පෙනේ.

ආහාර ගත යුත්තේ කවර අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ද යන්න භික්ෂූන් වහන්සේ දානය වැළඳීමේ දී සිදු කරන ප්‍රත්‍යවේක්ෂාවෙන් මැනවින් පැහැදිලි වේ. ජවය පිණිස, මදය පිණිස, සැරසීම පිණිස, අලංකාරය පිණිස නොව කයෙහි පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, බඹසර රැකීම පිණිසත්, පැරණි වේදනා දුරු කිරීමට හා නව වේදනා ඇති නොවීම පිණිස දානය වළඳන බව සිහියෙන් මෙනෙහි කරයි. එසේ දානය වැළඳීමේ දී රසයට ගිජු වීමකින් තොරව කුසගින්න නිවා ගැනීම ම පරමාර්ථ කොට ගෙන දානය වැළඳීමෙන් මනස සකස් වෙයි. මෙහි ඇති යම් යම් කරුණු ගිහියාගේ ස්වභාවය අනුව වෙනස් වුවත් ගිහි පැවිදි භේදයකින් තොරව කවුරුත් ආහාර ගන්නේ ශරීරයේ පැවැත්ම පිණිසත්, කුසගින්නෙන් ඇතිවන අලුත් හා පැරැණි අපහසුතාවන් මඟ හරවා ගැනීම පිණිසත් ය.

එබැවින් ආහාර පරිභෝජනයේ දී ශරීරයට හිතකර හා ප්‍රමාණය හැඳින ආහාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

දියවැඩියා රෝගය තවත් බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන රෝගයකි. මෙම දියවැඩියා රෝගයට හේතු වන සාධක අතර මූලික වන්නේ ආහාර පරිභෝජනයෙහි පවතින වැරදි සහගත තත්ත්වයයි. එමෙන්ම මෙම රෝගය පාලනය කර ගැනීමට හැකි වන්නේ හෝ නොහැකි වන්නේ ආහාර ගැනීමේ පිළිවෙළ අනුව ය.

එසේම වත්මන් ලෝකය මුහුණ දෙන තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාවයි. දිව පිනවීමේ නොතිත් ආශාවෙන් ගනු ලබන ක්ෂණික හා කෘත්‍රිම ආහාර නිසා අද පිළිකාව දැඩි ලෙස හිස ඔසවමින් සිටියි. ධනය ඉපයීම එකම පරමාර්ථය කර ගත් තරගකාරී ව්‍යාපාරික ලෝකය මානව වර්ගයාගේ යහ පැවැත්ම හෝ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකොට නිෂ්පාදනය කරනු ලබන රස කාරක මිනිසාට මාරයාගේ සෙවනැලි සමීප කරවීමට සමත්ව සිටියි. ඇස දිව පිනවන, එහෙත් තම ජීවිතය බිලි ගැනීමට සමත් වන කෘත්‍රිම හා ක්ෂණික ආහාරයන්ගෙන් බැහැර වී සිටීමට තරම් ස්වයං ශික්ෂණයක් තමන්ට තිබිය යුතු ය.

ලෝකයේ එක පසෙකින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රජාවක් නිර්මාණය වෙද්දී තවත් පසකින් අධිපෝෂණය නිසා පීඩා විඳින ප්‍රජාවක් ද වාසය කරති. අධි පෝෂණයට ලක් වූවන් ඉක්මනින් මරුවා සමීපයට යෑමට මඟ පාදා ගනු ලබයි. තම පමණ ඉක්මවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් වන අතර එම දරුවන්ට දිගු කලක් නිරෝගීව හා දීර්ඝායුෂ්කව විසීමට නිවැරැදි ආහාර රටාවන් හුරු කරවීම මවුපියන්ගේ වැදගත් යුතුකමකි.

ජීවිතයට මොන තරම් සම්පත් තිබුණත් නිරෝගී බව අහිමි නම් එය මහත් අවාසනාවකි. මිනිසකුට ඇති උතුම්ම ලාභය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි. එනම් නිරෝගිබව උතුම්ම ලාභය බවයි. මෙම උතුම්ම ලාභය වන නිරෝගී බව ඇති කර ගැනීම පිණිස ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වී සැනසිලිමත් ජීවිතයකට මඟ පාදා ගැනීමට අදිටන් කර ගනිමු.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්මය හදවතින් ම පිළිගන්න

 බළංගොඩ ශ්‍රී ධර්මානන්ද

පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි

මේඝිය හිමියෝ තම සිත් ගත් අඹ උයනට වැඩමකර භාවනාව සඳහා ගසක් මුල වැඩ සිටියහ. මෙහිදී මොන තරම් උත්සාහ කළ ද සිත එකඟ කර ගැනීමට නොහැකි විය. විවිධ අරමුණු කරා සිත දුවන්නට විය.

මෙම අඹ උයන සංසාර ගමනෙහි ආත්ම පන්සියයක් උද්‍යාන ක්‍රීඩාවේ යෙදුණු හොඳට හුරු පුරුදු තැනකි. රජ සැප විඳිමින් නලඟනන් පිරිවරා නටමින්, විනෝදවෙමින් සැප වින්දනය කළ ස්ථානයකි. මේඝිය හිමිට මේ අඹ උයන දකින විට සිත් ගන්නා සුලු ස්ථානයක් බවට පත්වීමට හේතු වූයේ ඒ අතීත ආත්ම ගණනක වින්දනය කළ හුරු පුරුද්දයි.

මේඝිය හිමිට මෙහිදී සිත එකඟ කර ගැනීමට නොහැකි වී සිත අලවන විවිධ අරමුණු කරා ඉඳුරන් යොමුවූයේ ඒ අතීත අත්දැකීම් සම්භාරය නැවැතත් මතුවීමෙනි. මොන තරම් උත්සාහ කළ ද සිත එක්තැන් කර ගැනීමට නොහැකි විය. කෙලෙස් වර්ධනය කරන විවිධ දර්ශන හා සිතිවිලි තම සිතට ගලාගෙන ඒම වළක්වා ගැනීමට මේඝිය හිමි අසමත් විය.

තොරතෝංචියක් නොමැතිව තම සිතට ගලා ආයේ කාම සිතිවිලිය, ව්‍යාපාද සිතිවිලි ය, විහිංසා සිතිවිලි ය. තම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි බව තේරුම් ගත් මේඝිය හිමියෝ බුදුරදුන් හමුවට ගොස් අඹ උයනෙහි දී තම සිත තුළ ඇතිවූ ඒ වික්ෂිප්ත භාවය පැහැදිලි කළහ. බුදුරදුහු මේ ගමනට කැමැත්තක් ප්‍රකාශ නොකළේත්, මේඝිය හිමිගේ බලවත් ඉල්ලීමට නිහඬව සිට ඔබේ කැමැත්තක් කරන්නැයි පිළිතුරු දුන්නේත්, මේඝිය තෙරුනට මෙබඳු මානසික මට්ටමක් උදාවන බව කල් ඇතිවම දුටු නිසා ය.

අරමුණෙන් අරමුණට පැන පැන යන මේ සිතේ ස්වභාවයත්, සිතේ ඇතිවන සැලෙන ස්වභාවයත්, එක අරමුණක රඳවා තබා ගැනීමට අපහසුවන චපල ස්වභාවයත්, විවිධ අරමුණු කරා දුවන සිත එක අරමුණක තබා ගැනීමේ දුෂ්කරතාවත් පෙන්නුම් කරමින් මේඝිය හිමියනට බුදුරදුහු පහත දැක්වෙන ගාථාව දේශනා කළහ.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝච තේජනං

කරුණාවෙන් හා මෛත්‍රියෙන් තෙත් වූ හදවතක් ඇති බුදුහාමුදුරුවන් ධර්ම දේශනා කළේ මිනිසුන්ගේ හදවතට ය. ඒ ධර්මය මිනිස්සු හදවතින් ම පිළිගත්හ. බුදුරදුන් ධර්මය දේශනා කරන විට අසා සිටි හැම දෙනාම කීවේ” මේ කරුණූ කියන්නේ මට ම ය, මේ කියන්නේ මා ගැන ම ය” කියා ය. හැම කෙනකුගේ ම මනස විනිවිද දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි.

මිනිසා යනු සිතේත්, කයේත් එකතුවකි. සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා තම ශාරීරික සෞඛ්‍යය ගැන, ශරීරයේ පවිත්‍රත්වය ගැන සිතති. එය අලංකාර කර ගැනීම සඳහා අවශ්‍ය දෑ කරති. නමුත් මානසික සෞඛ්‍යය ගැන, මානසික පවිත්‍රත්වය ගැන උනන්දුවන අය ඉතා අඩු ය.

සිත යනු පුදුමාකාර බලවේගයකි. මුළු බුදුදහම පදනම් වී ඇත්තේ සිත මත ය. බුදුදහමේ මූලික අරමුණ හිත හදා ගැනීමයි. සංයත සංවර සිත සැප ගෙන දෙයි. අසංවර අසංයත සිත දුක ගෙන දෙයි.

බුදුදහමෙහි දක්වා ඇති ආකාරයට ‘සිත’ පිළිබඳ නිවැරැදි දැක්මක් වෙතත් කිසිදු ආගමක හෝ දර්ශනයක දක්නට නැත. බෞද්ධයින් වන අපගේ මූලික ම අවධානය යොමු විය. යුත්තේ මුළු ජීවිතය ම මෙහෙයවන මේ සිත ඵලදායි අයුරින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

අපිරිසුදු සිත යනු කුමක්ද? එය පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලින් යුක්ත එකකි. අසීමිත ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා භීතිය මේ පාපකාරි සිතිවිලිවලට අයත් ය. අසීමිත ආශාව මොන ක්‍රමයකින්වත් තෘප්තිමත් කළ නොහැකි ය. එක ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් පැන නඟියි. සිතේ ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් හඳුනා ගැනීම මෙහිදී ඉතා වැදගත්වනු ඇත.

අපි ඇසින් රූප දකිමු. කනින් ශබ්ද අසමු. නාසයෙන් ගඳ සුවඳ විඳිමු. දිවෙන් රස බලමු. කයෙන් ස්පර්ශය ලබමු. මේ සියල්ලම සම්බන්ධ වන්නේ සිතටයි.

ප්‍රභාෂ්වර සිත ප්‍රසන්න සිත බාහිරින් එන කෙලෙස් දූවිලිවලින් කිලිටි වන අයුරු ධර්මයෙහි පෙන්නුම් කර ඇත. පිරිසුදු වතුර වීදුරුවකට දූවිලි ටිකක්, මඩ ටිකක් එකතු වූ විට එය මඩ වතුරක් බවට පත්වෙයි. අපේ සිතත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි. කෙලෙස්වලින් තොර සිත පිරිසුදු ය. සිත අපිරිසුදු කරන කිලිටි කරන දූවිලි වර්ග පහක් බුදු දහමෙහි පෙන්වා දී ඇත. ඒවා පංචනීවරණ ලෙස අපි හඳුන්වමු.

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය හා චිකිච්ඡාවයි.

මේ පංචනීවරණ සිතේ ඇති ප්‍රභාෂ්වර ගතිය නැති කරයි.

කාමච්ඡන්දය යනු කම් සැපයට ඇති කැමැත්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලින් අප ව පිනවීම මෙයින් අදහස් කරයි.

විවිධ පාට වර්ග මිශ්‍ර වතුර බේසමක් තුළින් ඔබගේ මුහුණෙහි නියම ස්වරූපය දැක ගත නොහැකි ය. හේතුව පිරිසුදු ජලයට විවිධ පාට මිශ්‍රවී තිබීමයි.

මේ අයුරින්ම කාමච්ඡන්දයෙන් යුක්ත සිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි ය. කුසල් – අකුසල් , පින් – පව් කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ නොවනු ඇත. මේ අනුව කාමච්ඡන්දය මිනිසා අතරමං කරයි. විනාශකාරි මං පෙතකට මිනිසා ඇද දමයි. මාරයාගේ ග්‍රහණයට ඔහු අසුවනු ඇත.

ව්‍යාපාදය – යනු වෛරී සහගත සිතිවිලි ය. කිසියම් පුද්ගලයකු ගැන හෝ කිසියම් වස්තුවක් ගැන හෝ කිසියම් ක්‍රියාවක් ගැන ඇතිවන අපි‍්‍රය ස්වභාවය, විරුද්ධ ස්වභාවය, ව්‍යාපාදයේ මූලික ලක්ෂණයයි.

පෙර සිතිවිලිවලින් වන්නේ අප වඩාත් අයහපත්, අසහනකාරි මට්ටමට පත්වීමයි. තමාටත් , ගෙදරටත්, ගමටත්, රටටත් මෙයින් සිදුවන්නේ, වේදනාත්මක ප්‍රතිඵලයන් ය. නටන වතුර ඇති භාජනයක් තුළින් මුහුණෙහි නියම තත්ත්වය දැකීම දුෂ්කරයි. මේ අයුරින් ම වෛරී ද්වේෂ සහගත සිතින් බලන්නාට කිසිම දෙයක හරි වැරැදි නොපෙනේ.

ථීන යනු සිතේ ඇති අලස බවයි. මිද්ධ යනු සිතිවිලිවල ඇති රෝගී ගිලන් ස්වභාවයයි. එනම් අකර්මණ්‍ය බවයි. මෙම නීවරණය ඇති තැනැත්තා කම්මැලි ය, අලස ය, උදාසීන ය, උදේ කළ යුත්ත හවසට කල්දමයි. කිසියම් පොකුණක හෝ ජල බඳුනක පෙඳ පාසි ඇත්නම්, එයින් අප මුහුණ බැලුව ද නියම ස්වරූපය දැක ගත නොහැකි ය. ඒ අයුරින්ම ථීන මිද්ධ නීවරණය ඇති තැනැත්තාට ජීවිතයේ නියම ස්වභාවය වටහා ගැනීමට නොහැකි වනු ඇත. ගිහි ජීවිතයක් ගත්තත් පැවිදි ජීවිතයක් ගත්තත්, මේ නීවරණයෙන් යුක්ත නම් ඔහුගේ අරමුණ සිහිනයක් පමණි. දියුණුවක් නැත. විමුක්තියක් නැත.

උද්ධච්ච කුක්කුච්ච, උද්ධච්ච යනු සිතේ පවතින නොසන්සුන් බව යි. කුක්කුච්ච යනු පසුතැවීමයි. එනම් කළ වරද ගැන, නොකළ යහපත් දේ ගැන පසුතැවීමයි. මේ දෙකම සිත නොසන්සුන් කරයි. රැලි නැඟෙන සෙලවෙන වතුර බේසමකින් මුහුණ බැලීමට සමාන ය.

හරි වැරැද්ද – කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගත නොහැකි ය. කරන කියන සියලු දේ බිඳ වැටේ. මොහුගේ ජීවන ගමන අවුලකි. සිත එක්තැන් කිරීම දුෂ්කරයි.

විචිකිච්ඡාව යනු සැකයයි. කිසියම් කරුණක් පිළිබඳ නිවැරැදි අවබෝධය අඩුකමයි. විමුක්තියට , නිවනට බාධාවන ඵලක අටකි.

බුදුරදුන් පිළිබඳ, ධර්මය පිළිබඳ, සංඝයා පිළිබඳ, ත්‍රිශික්ෂාවන් පිළිබඳ, පෙරභවය පිළිබඳ, පසුභවය පිළිබඳ, පෙර පසුභවයන් පිළිබඳ, පටිච්චසමුප්පාදය පිළිබඳ යනුවෙන් මේ සැක කරන ස්ථාන අට දක්වා ඇත.

මෙය බොරවූ මඩ සහිත ජල බඳුනකින් මුහුණ බැලීමට සමාන ය. සත්‍ය දැක ගත නොහැකි ය. විචිකිච්ඡාව තියෙන තාක්කල් ඔහුට නිවන වැසී ඇත.

මේ නීවරණ තුළින් සිතේ මතකය අඩු කරයි. සතිය නැති කරයි. සිත අපවිත්‍ර කරයි. අප කළ යුත්තේ පංච නීවරණවලින් සිත රැක ගැනීමයි. එවිට අප තුළ ඇති වන්නේ නිදහස් සිතක්. නිදහස් සිත සංසාර චක්‍රයට ගමන් නොකරයි. පුනර්භවයක් ලබා නොදෙයි. සියල්ලෙන් නිදහස් වූ සිත අපට උතුම්ම සුවය ලබාදෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤