ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

පස්‌වග භික්‌ෂුහු රහත්භාවයට පත් කළ අනත්ත ලක්‌ඛණ සූත්‍රය


භාවය

1) මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ''මහණෙනි'' කියා පස්‌වග භික්‌ෂූන්ට කථා කළ සේක. ඒ භික්‌ෂුහූ ''ස්‌වාමිනි''යි භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2) මහණෙනි, රූපය ආත්මය නොවේ. අනාත්මය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්මය වූයේ නම් මේ රූපය ආබාද පිණිස නොපවත්නේය. මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා''යි කියා තමා කැමති ආකාරයක්‌ ලැබෙන්නේය. එහෙත් මහණෙනි රූපය ආත්මය නොවන හෙයින් ආත්මය ආබාද පිණිස පවතී. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා යි කියා තමා කැමති ආකාරයක්‌ නොලැබෙන්නේය.

3) මහණෙනි, වේදනාව ආත්මය නොවේ..........

මහණෙනි, සංඥාව ආත්මය නොවේ.

මහණෙනි, සංස්‌කාර ආත්මය නොවේ.

මහණෙනි, විඥානය ආත්මය නොවේ. 

මගේ විඥානය මෙසේ වේවා, මගේ විඥානය මෙසේ නොවේවායි කියා තමා කැමති ආකාරයක්‌ නොලබන්නේය.

4) බුදුහූ - මහණෙනි, රූපය නිත්‍ය වෙයිද? නැතහොත් අනිත්‍ය වෙයිද? ඒ ගැන යුෂ්මතුන් කුමක්‌ සිතන්නාහුද? 

භික්‌ෂූහූ - ස්‌වාමිනි අනිත්‍යයි.

බුදුහූ - මහණෙනි යමක්‌ වනාහී අනිත්‍යද? එය දුක්‌ හෝ සැප හෝ වෙයිද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි, දුකය.

බුදුහූ- යමක්‌ අනිත්‍යය ද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි,එය මාගේ ආත්මයයි කීමට සුදුසු ද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

බුදුහූ - යමක්‌ අනිතයද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි කීමට සුදුසුද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

මහණෙනි, වේදනාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංඥාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංස්‌කාර නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

මහණෙනි, විඥානය නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

5) මහණෙනි, එසේ හෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ දුර වූ හෝ සමීප වූ හෝ අතීත වූ ද, අනාගත චූද වර්තමාන වූද, යම්කිසි රූපයක්‌ වේද ඒ සියලු රූපය ''එය මාගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි'' කියා තත්ත්වූ පරිදි මනාවූ ප්‍රඥාවෙන් දත යුතුයි.

6) දීමහණෙනි, මෙසේ දක්‌නාවූ බුද්ධිමත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව - සංඥාව - සංස්‌කාර - විඥාන කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, මිදුනු කල්හී මිදුනේය යන නුවණ පහළ වෙයි. ඔහුගේ ජාතිය ක්‌ෂය වෙයි. එකල්හී බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකුත් නැත්තේ යයි දනියි.

7) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති පස්‌වග භික්‌ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දේශනා කළ කල්හී පස්‌වග භික්‌ෂූන්ගේ සිත් කෙලෙස්‌වලින් මිදුනාහ. (රහත් ඵලයට පැමිණියහ)

භාවාර්තය

උප සරනාමර ලෝකස්‌වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ දස පාරමී ධර්මයන් සම්පූර්ණ කොට අනතුරුව වෙසක්‌ මස පුර පසළොස්‌වක දිනයක බුද්ධගයාවෙහි ජයශ්‍රීබෝධිරාජයාණන් වහන්සේගේ සෙවන යට වැඩ හිඳිමින් සකල ක්‌ලේශ මාර රාජය කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණ සත්සති ගෙවා බරණැස ඉසිපතනාරාමයේදී පස්‌වග මහණුන් ප්‍රධාන බොහෝ දෙවි බඹුන්ට දම්සක්‌ පැවතුම් සූත්‍රය වදාළ සේක. ඒ ධර්මය ඇසූ පස්‌වග තවුසන්ගේ ප්‍රධාන අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්ව පසුව එහි භික්‌ෂූ භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීය ඊට පසු දින වප්ප තවුසා ද ඊළ`ග දින භද්දිය තවුසාද, පිළිවෙලින් දිනයන්හී මහනාම, අස්‌සථියන තවුසෝද සෝවාන්ව ඒහි භික්‌ෂූභවයෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. පස්‌වන දින බුදුරජාණන් වහන්සේ පස්‌වග බමුණන් අමතා මෙම අනන්ත ලක්‌ඛණ සූත්‍රය වදාරා සියලු දෙනාම රහත්භාවයට පත්කළ සේක.

ලෝකයේ එතෙක්‌ පැවති සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආත්මවාදී ආගම් වශයෙන්ද ආත්මයක්‌ නැතැයි පිළිගන්නා අනාත්මවාදී ආගම් වශයෙන්දැයි කොටස්‌ දෙකකට බෙදී ඇත. 

දඹදිව එකළ පැවති දෙසැට මිථ්‍යා දෘෂ්ඨිවලට අයත් ආගම් ඇතුලු සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආගම් වෙයි. මරණින් පසු අනිත් භවයක්‌ කරා ගමන් ගන්නා ආත්මය නමින් හඳුන්වන බලයක්‌ ශක්‌ති විශේෂයක්‌ ඇතැයිද මිනිසා සත්වයා මවන නිර්මාණය කරන ඔවුන්ගේ දෛවය හැඩගන්වන දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ හෝ වෙනත් එබඳු අදෘෂ්‍යමාන බලවේගයක්‌ ඇතැයිද ආත්මවාදීහූ විශ්වාස කෙරෙති. ඔවුහූ පුද්ගලයා මරණින් පසු ඔහුගේ ශරීරය විනාශවී යන අතර ආත්මය කෙළවර පරමාත්මන් තත්ත්වයට පැමිණෙතැයි විශ්වාස කරති. ඇතෙමෙක්‌ දෙවියන් වහන්සේගේ ආත්මයට එක්‌වන බව පිළිගනිති. බුද්ධාගම හැර අනිත් සියලුම ආගම් මේ ආත්මවාදී ආගම් ගණයට වැටෙයි.

බුදුදහම වූ කලී එබඳු ලෝකය මවන මොනම බලවේගයක්‌ ගැන විශ්වාස නොකරන අතර නිත්‍ය වූ, ධ්‍රැව වූ සදාකාලික වූ කිසිවක්‌ ඇතැයි නොපිළිගනියි. බුදු සමයෙහි අනිත්‍ය සංකල්පය හා අනාත්ම සංකල්පය ගොඩනැඟී ඇත්තේ එකී මූලික පදනම මතය. අනිත්‍ය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ ලෝකයේ පවත්නා සියලුම සජීව අජීව යන සියලු වස්‌තු කිසිවක්‌ සදාකාලික පැවැත්මක්‌ නැති නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් වෙනස්‌වන ස්‌වභාවයටය. සියලු ධර්මයන් සංඛත අසංඛත වශයෙන් දෙකොටසකට බෙදේ. කිසියම් හේතු ප්‍රත්‍යයකින් හටගන්නා සියල්ල සංඛතය. එසේ නොවන එකම දෙය එනම් නිවණ අසංඛතය. සංඛත වූ සියල්ල වෙනස්‌වන ස්‌වභාව ඇත්තේය.

''අනිච්චා වත සංඛාරා 

අප්පාදවය ධම්මිනෝ

අප්පඡ්ජිත්වා 

නිරුඡ්ජන්ති තෙසංවපසමො සුඛො''

යන ගාථා දේශනාවෙහි අනිත්‍ය ස්‌වාභාවය මැනවින් විස්‌තර වෙයි සංඛාර නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සජීවී අජීවී සියලු වස්‌තු සමූහයයි. මෙම සංඛාර ශබ්දයට හසුනොවන කිසිවක්‌ ලෝකයෙහි නැත්තේය. මක්‌ නිසාදත් ඒ සියල්ල ඇති වීමය විනාශයය යන නියමයන්ට යටත් හෙයිනි.

''යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං'' යනුවෙන් දම්සක්‌ පැවතුම් සූත්‍රයෙහි ප්‍රකාශ කොට ඇත්තේ එකී නියාම ධර්මයයි ඇතිවන සියල්ල නැතිවන ස්‌වභාව කොට ඇති බව එයින් කියවෙයි. ඒ නියමයට අයත් නැති එකම ස්‌වභාවය නිවනයි මන්දයත් නිවණ අසංඛත ධර්මයට අයත්වූවකි.

බුදු සමය අනාත්මවාදී. ධර්මයකි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ගැඹුරුම දර්ශනය මේ අනාත්ම දර්ශනයයි. එතෙක්‌ ආත්මවාදයෙන් මුලා කොට අවිදු ගණ අඳුරෙහි ගිලී සිටි ශාස්‌තෘ ප්‍රතිරූපකයෝ බුදුරජාණන් වහන්සේගේ මේ නව දර්ශනය බලවත් සේ කිපියාහුය බුදුරජාණන් වහන්සේගේ නව අනාත්ම දර්ශනය සුන් බුන් කර දමනු පිණිස තර්ක විතර්ක නැමැති අවි අමෝරා ගෙන සටනට ආ මිථ්‍යාදෘෂ්ටික ශාස්‌ත්‍රවරු බුද්ධාගම විනාශ කර දැමීමට හැම උත්සහයක්‌ම ගෙන ක්‍රියා කළහුය. ඒ කිසි ආකාරයකින් නොසෙල්වී ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් තම අනාත්ම දර්ශනයෙහි ස්‌ථිරව පිහිටා සිටි උන්වහන්සේ ලෝකයාට යථාවබෝධය ලබා දෙනු පිණිස නියම දහම් මග දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් අමතා පංචස්‌කන්ධයම අනාත්ම වන කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අයුරු මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන පංචස්‌කන්ධ වෙන් වෙන්ව ගෙන ඒ පසම තමාගේ වස`ගයෙහි නොපිහිටන, තමාගේ යටතෙහි නොපවතින, තමන් කැමත් පරිදි නොහැසිරෙන හෙයින් ඒවා තමාගේ නොවන - තමන්ට අයත් නැති වස්‌තූන් බව තීරණය කොට ඇත. තමාට අයිති දෙය තමා කැමති ආකාරයට පැවතිය යුතුය රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන ස්‌කන්ධ පස එය අයිති පුද්ගලයාගේ කැමැත්තට අනුව ක්‍රියා නොකරයි රූපය තමා සතුනම් තමා ප්‍රාර්ථනා කරණ ආකාරයට ලෙඩ නොව ආබාධවලට භාජනය නොවී, ගිලන් බවට පත් නොවී සියලු කල්හීම මනා පැවැත්මකින් යුතුව පැවතිය යුතුය. එහෙත් රූපය එසේ නොවෙයි එය ක්‍රමයෙන් දිරාපත් වෙයි. ආබාධවලට භාජනය වීමෙන් විකෘති බවට පත්වෙයි. ඒ අනුව බලන කල්හී රූපය තමාට අයිති දෙයක්‌ ලෙස ගණන් ගත නොහැකිය. අනිකුත් ස්‌කන්ධ සියල්ලෝමද එසේමය. මේ අනුව රූපාදි ස්‌කන්ධ පසම අනාත්ම බව පස්‌වග භික්‌ෂූහූ පිළිගත්හ.

ඊළ`ගට බුදුරජාණන් වහන්සේ පස්‌වග භික්‌ෂූන්ගෙන් රූපය නිත්‍යය දැයි අනිත්‍ය දැයි විමසූහ රූපය නිත්‍යය නොවේ. අනිත්‍යයයි ඔවුහු පැවසූහ වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ ඇතුලු පංචස්‌කන්ධය අනිත්‍ය බව පිළිගත් පසු අනිත්‍යය වූ දෙය දුක්‌ බවත් පිළිගත්හ. මේ වනාහී ආත්මයක්‌ ඇතැයි දැඩිව අල්වා ගෙන සිටින මන්ද බුද්ධිකයන්ට එය එසේ නොවන බව හා එය සේ නොවන්නේ කුමක්‌ නිසා දැයි අවබෝධ කරවනු පිණිස වදාළ දේශනා ක්‍රමයයි. එසේ අවබෝධ කර ගැනීම ඕලාරික බුද්ධියකින් කළ හැකි තත්ත්වයක්‌ නොවේ. ඒ ස`දහා සම්‍යක්‌ ප්‍රඥාවක්‌ තිබිය යුතුය.

මෙහි සම්‍යක්‌ ප්‍රඥාව නම් විපස්‌සනා සම්මා දිට්‌ඨියයි. විපස්‌සනා සම්මා දිට්‌ඨිය යනු පංචස්‌කන්දය ඇතුලු ත්‍රෛයි භූමික සියලු ධර්මයන් අනිත්‍ය- දුක්‌ඛ-අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමේදී පහළවන නිවැරදි දැනීමයි.

අනිත්‍යය 

නිත්‍යය යන්නෙහි අර්ථය නිත්‍යය නොවන, වහා වෙනස්‌වන, පෙරළෙනසුලු ස්‌වභාවය යනුයි. මේ අනිත්‍ය ස්‌වභාවය සමස්‌ත ලෝකයෙහි පවත්න සජීව අජීව සියලු වස්‌තූන්ට පොදු සාධාරණ ධර්මයකි මව් කුස පිළිසි`ද ගන්නා මුල්ම කලලයේ ශෛයෝ ක්‌ෂණයකින් විනාශ භාවයට යති. ඒ වෙනුවට අලුතෙන් ශෛල හටගනියි. මේ ක්‍රියාදාමය මව්කුස තුළ වැඩෙන මුළුකාළය තුළදීත් අනතුරුව මවු කුසින් බිහිවී දරුවකු, තරුණයකු, වැඩිහිටියෙකු මහල්ලෙකු දක්‌වා අඛණ්‌ඩව සිදුවෙමින් මරණාසන්න මොහොත දක්‌වා ඇතිව නැති වීමේ ක්‍රියාවලිය අනවරතයෙන් සිදුවෙයි. මේ හැර සත්වයාගේ විඥානය අසුරුසනක්‌ ගසන කාලයටත් අඩු කාලයකදී ඇතිව නැතිව යයි. මේ නාම රූප දෙක්‌හී වෙනස්‌ වීමේ වේගය මැන බැලීමට උපමාවක්‌ පවා දැක්‌විය නොහැකි බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ සේක. ''මම'' යන අකුරු දෙක ප්‍රකාශ කිරීමේදී මුල් 'ම' යන්න කියන පුද්ගලයා එක්‌ කෙනෙකි. දෙවන 'ම' යන්න කියන පුද්ගලයා වෙනත් අයෙකි. මුල් 'ම' යන්න කියූ පුද්ගලයාගේ නාම රූප දෙකම අභාවයට ගොස්‌ සෑහෙන කාලයකට පසු කලින් සිටි පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙක්‌ දෙවන 'ම' යන්න කියයි. මෙහි දැක්‌වූයේ අනිත්‍ය ස්‌වභාවය වෙනස්‌වන ස්‌වභාවය හ`දුනා ගැනීමට ධමර්ධරයන් විසින් දක්‌වන ලද සරල උපමාවකි.

දුක්‌ඛය

යමක්‌ අනිත්‍ය නම් එය දුක්‌ සහිත වෙයි. ඇස අනිත්‍යනම්, වෙස්‌වන සුළු නම්, පෙරළෙන සුළු නමි කිසිවිටෙක එය තමන් කැමති ආකාරයකින් නො පවතිනු ඇත. ඇස ආබාධවලට ගොදුරු වෙයි නම්, ඇසේ පෙනීම දුර්වල වෙයි නම්, ඇස නොපෙනී යයි නම් එයින් ඇතිවන දුක බරපතලය ඇස අන්ධ වී ගිය කල්හී ඔහුට ඊට වඩා දුකක්‌ වේදනාවක්‌ අපහසුවක්‌ තවත් නැත. අනිත් හැම සැප සම්පතක්‌ම හිමිව ඇස අහිමිව ගිය කල්හී තමා ලැබූ කිසිම සම්පතකින් ඔහුට වැඩක්‌ නැත. වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන හැම පංචස්‌කන්ධයක්‌ම එපරිදි දුකට හේතු වෙයි. සියලු සත්වයෝම සැපට කැමති වෙති එහෙත් අනිත්‍ය වූ පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධය දැඩිව අල්ල ගන්නා පුද්ගලයා ඒ ම`ගින් දුකක්‌ මිස කිසි විටෙක සැපතක්‌ නම් නොලබයි. පුද්ගලයා සතු ඔහුගේ ලෝකය පංචස්‌කන්ධයයි. පංචස්‌කන්ධයම දුක්‌ ගොඩක්‌ වූ කල්හී ජීවිතයෙහි කවර නම් සැපක්‌ ද ''දුකෙඛ ලොකො පතිට්‌ඨිතො'' ලෝකය දුක මතුපිට පිහිටා ඇතැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ එහෙයිනි.

අනාත්මය

න ආත්ම යන්නෙන් අනාත්ම යන්න සිදුවෙයි. 'ආත්මයක්‌ නැත' යන්න එහි අර්ථයයි. ආත්ම (පාළි - අත්ත) ශබ්දය ප්‍රධාන අර්ථ දෙකක යෙදෙයි. එයින් එක්‌ අර්ථයක්‌ නම් 'තමා' යන්නය ''අත්ත ශබ්දයෙන් තමා යෑයි කියයි'' යනුවෙන් කියවෙන්නේ මේ තමා යන අර්ථයයි. අනික්‌ අර්ථය නම් මරණයෙන් පසු ඉතිරිවන, වෙනත් භවයකට ගමන් කරන, නිත්‍ය වූ, දුවවූ, නො නසින, සදාකාලික එක්‌තරා ධමර්තාවයකට කියන ආත්ම ශබ්දයයි. මේ අර්ථ දෙකටම පාළියෙන් 'අත්ත' වශයෙන්ද සිටියි. බුදුසමයෙහි තමා යන අර්ථයෙහි අත්ත ශබ්දය පිළිගනියි. ''අත්තාහි අත්තනො නාථො'', ''අත්තාන මෙව පඨමං'' ආදී තැන්වල එය තමා යන අර්ථයෙහි වැටෙයි. එහෙත් සදාකාලික, මරණයෙන් පසු ඉතිරිවන ආත්මයක්‌ ගැන බුදුසමය විශ්වාස නොකරයි. බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලද්දේ මේ කියන ආත්ම සංකල්පයයි. මේ අර්ත දෙක එක්‌ සලකන ඇතැම් නවීන බුද්ධිමත් හූ බුදුසමය ආත්මවාදී ආගමක්‌ සේ දකිsති. එය බුදුරජාණන් වහන්සේගේ ශේ්‍රෂ්ඨ ඉගැන්වීම්වලට කරන නිග්‍රහයකි. බුදුරජාණන් වහන්සේ මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි ලෙස විග්‍රහ කොට දක්‌වන්නේ ධූව වූ, නිත්‍ය වූ, විනාශ නොවන ආත්මයක්‌ ඒකාන්තයෙන්ම නැති බවය. 

මේ සම්‍යක්‌ ප්‍රඥාවෙන් යුක්‌ත වූ පුද්ගලයා ඊළගට රූපය, වේදනාව, සංඥ්ඥාව,සංස්‌කාරය, විඥානය යන පංචස්‌කන්ධයෙහි කලකිරීමට පත් වෙයි. සියල්ල අනිත්‍ය වූ කල්හී, දුක්‌වූ කල්හී, අනාත්ම වූ කල්හී පුද්ගලයා ඒ වස්‌තූන් කෙරෙහි මහත් කලකිරීමක්‌ ඇති කොට ගනියි. එසේ කලකිරුණු හෙතෙම ඒවා පිළිබ`ද ආශාව ඇල්ම දුරුකරයි. ඇල්ම ආශාව දුරුකළ කල්හී ඔහුගේ සන්තාන ගත සියලු කෙලෙස්‌ ක්‍රමයෙන් පහවෙයි. නැවත උප්පත්තියක්‌ ගෙන දෙන භවගාමී සියලු කෙලෙස්‌ ප්‍රහීන වූ කල්හී එකී යෝගාවචරයා රහත් බවට පැමිණෙයි

පස්‌වග භික්‌ෂූහු මේ අනත්ත ලක්‌ඛණ සූත්‍රය අසා එතෙක්‌ ඔවුන් සතුව තිබූ කෙලෙස්‌ නැති කොට රහත්බවට පැමිණියාහුය.
දිනුල චන්දුල
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤