ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සසර සැඩ පහර වළකාලන්නේ කෙසේද?

ගම්පහ සිරි සීවලී හිමි

බුද්ධිමත් බෞද්ධයෝ බෝධිසත්වයෝ වෙති. සෑම බුද්ධිමත් බෞද්ධයෙක්‌ම බුදුවිය යුතුය. මේ උතුම් මනුෂ්‍ය ආත්මභාවය නම් වූ බෝධි සත්ව භූමියේ සම්බුදු සමයක උපන් අපට අර්හන්ත බුද්ධත්වය ලැබීමට අවශ්‍ය සියලුම සුදුසුකම් ඇත. ඒ පහසුකම් අතහැර පසෙකලා ලැබෙන බුදුබව මඟහැර, මාන්නක්‌කාරකම පෙරටුකරගෙන රජකම, ඇමැතිකම, අධිපතිකම, උගත්කම, ගුරුකම, වෙදකම, ගොවිකම, නීතිඥකම නොයෙකුත් කම් කරගහගෙන ලෝක ධර්මයන්ම සොයාගෙන යයි. භෞතිකත්වයට අගයදී එතැනම වැඳ වැටේ. එසේම අරහන්ත බුද්ධත්වයෙ මඟපල නිවනින් ලැබෙන ලොව්තුරු සැප නොසලකා හරියි. මුදල් මත මෙහෙයවන පහත් මානසිකත්වය හෙවත් පුහුදුන් බව තුලම ජීවිතය ගොඩනැගීමට වෙහෙසෙයි. බුදුබව ලැබීමට පුහුදුන් මානසිකත්වයේ ආදීනව දැක ලොව්තුරු මගඵල වල ආනිසංස අවබෝධයෙන් දැන අභිනිෂ්ක්‍රමණය කළ යුතුය.

සත්වයා කාමොඝ - භවෝඝ - දිට්‌ඨිඔඝ නම් වූ දරුණු සැඩ පහරට අසුවී සසරට ගහගෙන යයි. සැඩ පහර වළකාලන්නේ කෙසේද? එයට අසුනොවී සසරින් එතෙර වන්නේ කෙසේද? යන්න 'ඕඝ තරණ' සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරදෙති.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයක එක්‌තරා දිනක දේවතාවෙක්‌ පැමිණ උන්වහන්සේ වැඳ නමස්‌කාර කර මෙසේ සැළකර සිටියේය.

- 'කථන්නූ ත්වං මාරිස ඕඝමතරීති?' 

නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ කෙසේ නම්, 'ඕඝ' තරණය කළ සේක්‌ද?

- අප්පකිට්‌ඨං ක්‌වාහං ආවුසො අනායූහං ඕඝමතරීති'

ඇවැත්නි, මම නොපිහිටමින්, වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළෙමි.

- 'යථා කථං පන ත්වං මාරිස, අප්පතිට්‌ඨං අනායුහං ඕඝමතරීති'

නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නොපිහිටමින්, වෑයම්ද නොකරමින්, ඕඝ තරණය කළ සේක්‌ද?

- 'යදා ස්‌වාහං ආවුසො, සන්තිට්‌ඨාමි, තදාස්‌සු සංසිදාමි. යදා ස්‌වහං ආවුසො, ආයුහාමි. තදාස්‌සු නිබ්බූය්හාමි. එවං ඕවහං ආවුසො අප්පතිට්‌ඨං ආනායුහං ඕඝමතරින්ති'

ඇවැත්නි, මම යම්විටක පිහිටා සිටිම්ද, එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම්ද, එකල්හි ඉල්පයෙමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් 'ඕඝය' තරණය කළෙමි.

චිරස්‌ස වත පස්‌සාමි

බ්‍රාහ්මණං පරිනිබ්බුතං

අප්පතිට්‌ඨං ආනුයූහං

තිණ්‌ණං ලොකෙ විසත්තිකං'

නොපිහිටමින්ද

වෑයම් නොකරමින්ද

ලෝකයෙහි තෘෂ්ණාව (ඕඝ)

තරණය කළ කෙලෙස්‌ නැසූ

ක්‌ෂණාශ්‍රව බ්‍රාහ්මණයකු කලෙකින දකිමි'

ඕඝ තරණය කිරීමේ ගැටලුව විස¹ගෙන සතුටුවූ සිත් ඇති දේවතා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කර අතුරුදන් විය.

(සං.නි. දේවතා සං. ඕඝ තරණ සූත්‍රය)

ලොව්තුරා දර්ශනය මත දඟලන්නේත් නැතිව, සිටින්නේත් නැතිව යනු අන්ත දෙකට නොයාමයි. උපායශීලීව උපක්‍රමශීලීව නිසොල්මන්ව මධ්‍යම ප්‍රතිපදාවට අනුගතව රාග - ඉස - මෝහාදී කෙලෙස්‌ ධර්ම හඳුනාගෙන දුරු කිරීමයි. ප්‍රතිපදාවක යෙදීමයි. ඒ සඳහා සතිමත්ව වාසයයි.

'සියල්ල කරන්න

කිසිවක්‌ නොකරන්නෘ'

ආර්ය ශ්‍රාවකයාගේ ජීවන ප්‍රතිපදාවේ තේමා පාඨය විය යුතුය. සියල්ල කරන්න යනු 'නිසොල්මන්ව' දඟලන්නේ නැතිව සිටීමයි. 'කිසිවක්‌ නොකරන්න' යනු 'මම' පනවා නොගැනීමයි. මෙයයි 'ඕඝ' තරණයේ ක්‍රමවේදය.

අවදිමත් සංසුන් මනසකින් සතිමත්ව ක්‍රියාශීලීව ඉවසිලිමත්ව සැඩ පහරෙහි බාධක දැක මඟහැර එගොඩවීමට පනින්න. පිහිටා සිටියහොත් කි¹ බැස මරණයට පත්වේ. ඕඝයේ සැඩ පරුෂ බවට බියටපත් වූවොත් දැඟලුවොත් භයෙන් තැනිගත්තොත් දුබල වුණොත් ජල කඳෙහි වේගය දිසාව අවස්‌ථානුකූලව අවධාරණය නොකළහොත් දඟලලා වෙහෙසවී වතුර පෙවී ශරීර දුබලත්වයට පත්වී විනාශයට පත්වේ.

දරුණු සැඩ පහරෙහි වේගය, දිසාව, වහා වටහා ගැනීමේ නිසඟ හැකියාව තිබිය යුතුය. එවිට රළ පහර මතින් සීරු මාරුවෙන් එගොඩවීමට හැක. අවස්‌ථානුකූලව තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එසේ නම් එළඹ සිටි සිහියෙන් සැඩ පහර මඟහැර 'ඇඟටනොදැනී' එතෙරවීමට හැක. සසර ඕඝ තරණයේදී අන්ත දෙකක්‌ අත්හළ යුතුය.

ඕඝය තරණය කළ හැක්‌කේ ආක්‍රමණශීලීව නොවේ. උපායශීලීවය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්ය උතුමන් සසර ඕඝයෙන් එතෙරවීමට උපකාරීකරගත් උපාය මාර්ගයකි. මේ ක්‍රමවේදයේදී චෛතසික කෙලෙස්‌, රාග, දෝස, මෝහ ක්‍රමයෙන් නිදහස්‌ වේ. අමනසිකාරය වූ නිශ්ශබ්ද ගවේෂකත්වය කරා ළංවීමට නම් මධ්‍යම ප්‍රතිපදාව නම්වූ ජීවිතය විඳවන්නේ නැති - ජීවිතය විඳින්නේ නැති' අන්ත දෙකින් මුදවා ගත යුතුය. මේ අවස්‌ථා දෙකම ඉක්‌මවා යන්නේ ඕඝ තරණයෙන් පසුවයි. මාර්ගයෙන් ඉදිරියට යාමට ගමනේ අවසානය සඳහා අමුතු දුක්‌ඛ පටිපදා වෙරවීර්ය කිරීමක්‌ බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරා නැත.

ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී ලෝකයේ මූල ස්‌වභාවය හෙවත් යථාභූත ඥන දර්ශනයේදී පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ - විඤ්ඤාණ ශුද්ධ ධර්මවල ඇති තතු, ස්‌වභාවය, ප්‍රකෘතිය, ක්‍රියාකාරීත්වය මැනවින් දැනගත යුතුය. අවබෝධකටයුතුය. තත්වාකාරයෙන් අවධාරණය කළ යුතුය. එයයි පූර්වකෘත්‍යය වන්නේ.

සත්වයා යනුවෙන් සම්මුතිව - ප්‍රඥප්තිව පනවාගෙන නම්කරගෙන ව්‍යවහාරයේ ඇති මේ ස්‌වභාවධර්ම යථාර්ථය ගැඹුරින් අධ්‍යනය කරන්න. සවිඥනිකත්වය හෙවත් විඤ්ඤාණයාගේ ක්‍රියාකාරීත්වයේ ඉදප්පච්චයතාවය අවධිමත් මනසින් අධ්‍යයනය කරන්න. ශුද්ධ ධම්ම හෙවත් ශක්‌තිවල ස්‌වභාවය පටිච්චසමුප්පන බව මැනවින් හැදෑරීමෙන් මතකය අවදි කිරීමෙන් ප්‍රකෘතිය කරා මන මෙහෙයවිය හැක. මහාභූත නම් වූ පඨවි ආදී ශක්‌ති සමූහය මූල ස්‌වභාවය සාමූහිකත්වයයි. වෙන් නොවන ස්‌වභාවයයි. වෙනස්‌වීම, චලනය පටිච්චසමුපන්න භාවයේ යථාර්ථයයි. සාමූහිකත්වය පදනම්ව විද්‍යමානවන නිසා පුංජයක්‌ වශයෙන් ඝනීභූත භාවයෙන් ප්‍රකට වේ. මේ ප්‍රකට වීම 'රූප' නමින් සම්මුති නාමය ලෝක ව්‍යවහාරයේ මුලින්ම නම් කිරීම වේ.

මහා භූතයන්ගේ 'රූප' සංඥව දුරු කිරීම සඳහා පදාර්ථයන්ගේ (ශක්‌ති සමූහයේ) පටිච්ච සමුප්පන්නතාවයෙන් ශුන්‍යත්වය ස්‌වභාවයට පත්වීම ගැන අවබෝධ කටයුතුය.

1. පඨවි ධාතුව - සංඥ වශයෙන් ගත්විට තද ස්‌වභාවය දරදඬු බව - කැඩෙන ගතිය, දැනෙන ගතිය - ප්‍රකෘතියයි. පඨවි නම් ශක්‌තියේ පදනම ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතා ධර්මතාවයම වේ. එනිසා ස්‌වකීයත්වයක්‌ පැනවිය නොහැක. 'ඇත' කියා දැක්‌වීමට හෝ 'නැත' කියා දැක්‌වීමට හෝ පැනවීමට කිසිසේත් ඉඩක්‌ නැති සාධාරණ සාධක නැති භාව - අභාව නොපැනවිය හැකි ස්‌වභාවයකි. පඨවි ධාතු වශයෙන් සංඥ විරහිත භාවයට හෙවත් සංඥා නොවන තැනට මන කියාකර අමනසිකාරය නම් ධර්මතාවට පත්වී (මෙනෙහි නොවන තැනට) සඥවන්නේ නිරෝධය නම් වූ නිරෝධ සංඥ ධර්මතාව ප්‍රකට වීම සිදුවේ. ඒ අවස්‌ථාව අව්‍යාකෘතයි. පෙන්විය නොහැකි, පැනවිය නොහැකි ස්‌වභාවයකි. ෙච්තනා විරහිත බවකි. එම නිසා පඨවි ධාතුව පදාර්ථයේදී ශුන්‍යත්වයේදී සංඥ විරහිත වේ. මේ පදානුගතානුසාරයෙන් මේ ක්‍රමවේදයෙන් සියලුම ධාතුන්ගේ යථාර්ථය නුවණැසින් පැහැදිලි කරගත යුතුය. යම් කෙනෙක්‌ ගැඹුරු ස්‌කන්ධ - ධාතු ආදී පදාර්ථයන්ගේ යථාර්ථය විදර්ශනා නුවණින් ගැඹුරින් යථාවත්ව ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥවෙන් විනිවිද දකීද එවන්නන් දුර්ලභ බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. 'නිමිති' ගැනීමේදී සංඛාර වේ. අනිමිත්තයේ විසංඛාරයි.

2. ආපෝ ධාතුව - ගලායන, වැගිරෙන, දියවෙන, පාවී යන, ඉලිප්පීයන, ඔසවාගෙන යන, ඩැහැගෙන යන ස්‌වභාවයයි. පටිච්චසමුප්පාද හෙවත් ඇතිවීම, නැතිවීම මූලධර්මයට පදනම්ව ඇති බව හෝ නැති බව සංඥ ගැනීමට නොහැකි නිසා සංඥ ශුන්‍යත්වයට පත්ව අචින්තයෙන් අනිමිත්තයට පත් වේ. (පඨවි ධාතුව ගැන ගෙනහැර දැක්‌වූ කරුණු මීට අදාළ වේ.)

3. තේජෝ ධාතුව - ශක්‌තිය - උණුසුම - ශීත ස්‌වභාව - දිරවන - දවාලන - පුචච්න ගතිය ප්‍රධානයි. තේජෝ ශක්‌තියද ස්‌වයම්භූ ජනිත නිසා පටිච්ච සමුම්පන්න ධර්මතාවට යටත්ය. 'ඇති' බවත් 'නැති' බවත් සාපේක්‌ෂව වෙනස්‌වන නිසා නිත්‍ය වශයෙන් 'ඇත' හෝ 'නැත' ස්‌වභාවය පැනවිය නොහැකි බැවින් සංඥ නිරෝධයෙන් ශුන්‍ය වේ.

4. වායෝ ධාතුවේ ස්‌වභාවය හමායන බව - සෙලවෙන බව - පීඩනය - තෙරපුම - පිම්බීම හැකිලීම - ඔසවාගෙන යාම - පෙරටුකොට ඇත. මෙම ධාතුවද ඉහත දැක්‌වූ ධාතූන්ගේ ධර්මතාවට යටත් නිසා පටිච්චයේ දී ශූන්‍ය වන නිසා ඇත - නැත යනුවෙන් ගැනීමට නොහැකි නිසා නිමිති විරහිතයි. 

ධාතු හතරේ සිතිය නොහැකි, කිව නොහැකි. මැන බැලිය නොහැකි සවයම්භූ චලනයක්‌ වේගයක්‌ සාමූහිකව සිදුවන නිසා පුංජයක්‌ - ගොනුවක්‌ - පිඩක්‌ වශයෙන් විද්‍යමාන ස්‌වභාවයට 'රූප' යෑයි සම්මුතිය දී ඇත. එය එනම් 'රූපය' ආකාශ ධාතුව තුළ ස්‌ථානගත වීම වේ. සීමාමායිම් වේ. අකාශ ධාතුවද ශක්‌තියකි. පටිච්ච සමුප්පන්න ධර්මතාවට එයද යටත්ය. ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතාව ඊටද අදාළය. එහිදී ආකාශ ධාතුවද ප්‍රකට බවේ හිස්‌ ඉඩකඩ තුළ කිසිදු සංඥවක්‌ ප්‍රකට නොවේ.

විශ්ව ව්‍යාප්ත ආකාශ ධාතුව තුළ සතර මහා භූත නම් වූ ශක්‌ති සමූහය පටිච්චසමුප්පන්න වන බැවින් 'රූප' මතු වේ. එම රූප අභ්‍යන්තර බාහිර රූප වශයෙන් ඝනීභූත වී පුංජයක්‌ වශයෙන් විද්‍යමාන වේ. මේ ස්‌වභාව ධර්මතා දෙක හෙවත් අභ්‍යන්තර රූප බාහිර රූප සම්බනධීකරණය වීමේදී 'විඤ්ඤාණය' නම් ශක්‌තිය ප්‍රකට වේ. මේ සියල්ල ඉදප්පච්චයතාව හෙවත් පටිච්චසමුප්පන්න ධර්මතාවට යටත්ය.

සබ්බේ ලොකො චලිතො
සබ්බේ ලොකො ප-ජලිතො

සියලු ලෝක ධර්මතා චලිත වේ.
සියලු ලෝක ධර්මතා දිදුලයි.

ශාන්තිනායක දර්ශනය සම්මුති දේශනා - පරමාර්ථ දේශනා වශයෙන් දෙකොටසකි. ඉහත සඳහන් දහම් කරුණු පරමාර්ථ දේශනා හා සම්බන්ධ වේ. එය ප්‍රඥවට ගෝචර වේ. සියලු හටගත් දේ භෞතිකත්වයෙන් ඔබ්බට ගිය පසු ඉක්‌මවා ගිය පසු පරමාර්ථ වශයෙන් ප්‍රකාශිත වේ. ඒ ධර්මතාව 'අනිදස්‌සන විඤ්ඤානය' යනුවෙන් තථාගත භාෂිතයෙහි වේ. එය අනිමිත්ත - අප්පනිහිත සුඤ්ඤත නම් ද ව්‍යවහාර වේ. භෞතික මානසිකත්වයට ගෝචර නොවේ.

භෞතිකත්වය මත විස්‌තර කරන රූපයේ යථාර්ථය විදසුන් නුවණින් දකින ලෙස සුත්ත නිපාතයේ පරායන වග්ගයේ 'පිංගිය' සූත්‍රයෙහි මෙසේ දැක්‌වේ.

දිස්‌වාන රූපෙසු විහඤ්ඤමානෙ

රුප්පතීති රූපෙසු ජනා පමන්තා

තස්‌මා තුවං 'පිංගිය' ආපමත්තා

ජහස්‌සු රූපං අපුනබ්භවාය'

රූපය නිමිති වශයෙන් ගෙන රූපය උපාදාන කරගෙන රූපයෙහි මත්වන මිනිසා රූපයේ ධර්මතාවය හේතුකොට ගෙන වෙහෙසට පත් වේ. දුකට පත් වේ. වැනසීමට පත්වේ.

එම නිසා 'පිංගිය' ඔබ රූපයේ යථාර්ථය දැක එහි මත්නොවී අනිත්‍යතාවය - පටිච්චසමුප්පනභාවය විදසුන් නුවණින් දකිමින් පුනර්භවයට යාමට හේතුකාරක දුරුකරන්න.

රාධ සංයුත්තයේ 'සත්ත' සූත්‍රයේ මේ හා සමාන ධර්ම විවරණක්‌ ඉදිරිපත් කෙරේ.

රාධ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විචාරති. ස්‌වාමීනි, 'සත්ත', 'සත්ත' යෑයි කියනු ලැබේ. 'සත්ත' යනු කුමක්‌ද? රාධ, රූපයෙහි ඇලීමක්‌ එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌ , දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ. එමෙන්ම රාධ, වේදනාවේ ඇල්මක්‌, එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌, දැඩි අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද, ඒ 'සත්ත' නම් වේ. මේ අයුරින් සංඥ, සංඛාර, විඤ්ඤාන ස්‌කන්ධ පංචකය සම්බන්ධයෙන් සතුටක්‌ - ආශාවක්‌ - කැමැත්තක්‌ දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ.

රාධ, කුඩා දරුවෝ වැලිවලින් ගෙවල් සාදා ක්‍රීඩා කරති. පහව නොගිය ආශාවන්ගෙන් යුක්‌ත වේ. පහව නොගිය කැමැත්ත ඇතිව සිටිති. ප්‍රේමයෙන් පිපාසිත වෙති. ලොල් වෙති. වස්‌තුකොට ගනිsති. ධනය කොට සලකති. මමත්වය ගොඩනැගේ. යම් දවසක මෙහි යථාර්ථය දැනගත් දාට සිය්ල කෙරෙහි ආශාවෝ පහවෙති. ප්‍රේමය, ආදරය, වුවමනාව, කෑදරකම, ඇල්ම, ආශාව, ගිජුකම ඉවත් වී යයි. ක්‍රීඩා කිරීමේ කැමැත්ත නැති වේ. එසේ රාධ, රූපයාගේ යථාර්ථය දැක විසුරුවා හරින්න. 'තණ්‌හක්‌ඛයෝ රාධ නිබ්බාණන්ති'