ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

මා හදාගත් ලෝකයක දුක් විඳිනවා විනා තිබෙන ලෝකයක දුක් විඳිනවා නො වේ

     
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
අනුශාසක,  පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි


මේ ලෝකය, අපි දුක් විඳින ලෝකය තියෙන එකක් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් කිව්වොත් පිළිගන්නෙ නෑ. ඒක විවර කරල පෙන්නන්න තමයි, පිළිගන්න පුළුවන් මට්ටමට පෙන්නන්න තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නෙ. නිකමට හිතන්න, ඔබට අම්ම, තාත්ත දුවා පුතා කියල ඔබට වටිනාකමට තේරෙන අය ඉන්නව ගොඩක්. ඒ අය ලෙඩ වුණොත් මැරුණොත් ඔබ දුක් වෙනව මහන්සි වෙනව. හැබැයි ඔබට වටිනාකමින් පේන ඒ වස්තු අනික් අයටත් ඒ වටිනාකමින් පේනව ද? නෑ. ඉතින් මේ ලෝකෙ වටිනාකමක් තියෙන දේවල් තියෙනව නම් ඒ වටිනාකම දැනෙනව නම් අනික් මනස්වලටත් දැනෙන්න ඕන. ඔබට විතරක් නෙමෙයි ද ඔබේ ලෝකෙ වටිනාකම දැනෙන්නෙ? මගේ අම්ම මට අම්ම වුණාට ඔබගෙ අම්ම නෙමෙයි නෙ. ඒ රූපෙ වෙනස් වන කොට මං මව මළ දුක විඳිනව. මේ මගේ ලෝකෙ. මගේ අම්ම තාත්ත මගේ සහෝදර සහෝදරියො ඔබ දන්නෙ වත් නැහැ. එහෙනම් මම හදාගත් ලෝකයක දුක් විඳිනව විනා තියෙන ලෝකයක දුක් විඳිනව නෙමෙයි. දුක්ඛ නිරෝධය සඳහා ඉස්සර වෙලා දුක තේරුම් ගන්න. මේ ලෝකෙ දුක. දුක ඇති කරපු හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් දුක නැති වෙනව. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියල ඉගෙනගත්තහම ඒ දර්ශනය තියෙන කෙනාට, පටිච්ච සමුප්පාදය දන් නකෙනාට සක්කාය දිට්ඨි විචිකිච්චා දෙක නෑ. 

මේ දර්ශනය අපි දැනගෙන ඊළඟට භාවනා කරන්න ඉගෙන ගනිමු. සමථය වඩන්නෙ කොහොම ද? විදර්ශනාව වඩන්නේ කොහොම ද? ශී ලයක පි හි ටන් නෙ කොහොම ද කියල ශීලයක පිහිටල සමථ විදර්ශනා වඩන හැටි අපි ඉගෙන ගනිමු. එතකොට අපි දන්නව අපි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි පුරන්නෙ. මොකට ද? මේ ලෝක නිරෝධයට. මේකෙ අවසානය මම ඉපදෙනව ලෙඩ වෙනව මහලු වෙනව මරණයට පත ් වෙනව කියන ජාති ජරා මරණයන් ගෙන් මම මිදිල. මේ ජරා මරණයට පත් වෙන මේ කය මම කියල පෙන්වන දර්ශනයෙන් මම මිදිල. මම දුව පුතා අම්ම තාත්ත සහෝදර සහෝදරියො ගෙවල් දොරවල් කියන බැමිවලින් මම නිදහස් වෙලා. ඒවයින් මිදිල. ඒවයෙ අවශ්‍යතාව නෑ. ඒවයෙ පිපාසය නෑ. ගෙවල් දොරවල් දුවා පුතා යාන වාහන කියන සංයෝජනයන් තිබුණ නම් ඒව ගෙවිල. ඒව නිසා එන දුකින් නිදහස් වෙලා මනස, මේ දර්ශනය නිසා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙන්නෙ. මේ වගේ දර්ශනයක් දැනගෙන භාවනා නො කරන කෙනා වටිනවා මේ වගේ දර්ශනයක් නැති ව භාවනා කරන කෙනාට වඩා. අද යමක් නො කළත් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මොකක් ද? මට උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකක්. 


මේ මම කියල උපාදාන වශයෙන් හසු වෙච්ච ස්කන්ධය මට දුකක් ගෙන දෙනවමයි කියල දන්නව. මේ මගේ දරුව මේ මගේ ගෙදර කියල මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධය වෙනස් වෙන දවසට මට දුක එනවා මයි කියල දන්නව. මේ රත්තරන් මේ මුතු මැණික් මේ රිදී කියල මේව වටිනව කියල මට දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මගේ කාම උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටිකට කියනව උපාදානස්කන්ධය කියල. උපාදානක්ඛන්ධා දුක්ඛා...මගේ උපාදානයට හමු වෙච්ච ස්කන්ධ ටික දුකක්. ඒ කියන්නෙ මේ කෝප්පෙ ගොඩක් වටිනව කියල මට දැනෙනව. වටිනාකම දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මට දැනෙනව. මේ රූපෙට කියනව උපාදනෙට හිත ස්කන්ධය කියල. ගොඩාක් වටිනව කියල පෙනෙනකම තියෙන්නෙ කා ගාව ද? මං ගාව. ඒකට කියනව කාම උපාදානය කියල. මගේ උපාදානය පවත්වන්න පවතින්න උපකාරක වස්තූන් මොනව ද? මේ රූපය (කෝප්පය). මේ රූපෙට කියනව මොකක් ද? උපාදානස්කන්ධය. උපාදානයට හිත ස්කන්ධය. මම මේ රූපය වටිනවා කියල හිතාගෙන ඉන්නව. දැන් මගේ උපාදානයට හිත ස්කන්ධ ටිකෙන් මට දුක එනව. ඒ කියන්නෙ මම උපාදානය වශයෙන් මේ රූපය අල්ලගෙන ඉන්නව කෝප්පෙ හොඳයි කියල. මේක කැඩුණු ගමන් ම මට දුක එනව. ඒ හින්ද එයා දන්නව උපාදානක්ඛන්ධා දුක්ඛා. පුද්ගලයො හැටියට සත්ත්වයො හැටියට වටිනාකම හැටියට මගේ මේ උපාදානයට හසු වෙච්ච මේ ස්කන්ධ ටික දුකමයි කියල දන්නව. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. දුකට හේතුව තණ්හා උපාදානයයි කියල මේව වටිනාකමට සත්ත්වභාවයට ඇති කරගෙන තියෙන අදහස් ටිකකුයි කියල හැඟීම් ටිකකුයි කියල දන්නව. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මේ ස්කන්ධ ටික වටිනාකමක් හැටියට සත්ත්ව පුද්ගලභාවයට පෙනෙනකම නැති කළොත් දුක නැති කළ හැකියි කියල නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. ශීලයක පිහිටල සමාධිය වඩල ඇත්ත ඇති හැටියෙන් බලල මේ සමුදය ප්‍රහානය කළ හැකියි කියල, නිරෝධය සාක්ෂාත් කළ හැකියි, මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකිය හැකියි කියල නුවණ තියෙනව. ඒකට කියනව මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය කියල. ඔය ටික තේරෙනකොට දිට්ඨි සම්පන්නයි. ඒ කියන්නෙ සත්‍ය ඥානය පහළ වෙලා. ඊට පස්සෙ කෘත්‍ය ඥානය. ඊට පස්සෙයි භාවනා කරන්න හම්බ වෙන්නෙ අපිට. මොකක්ද ඒ? මේ දුක එන ස්කන්ධ ටික පිරිසිඳ දකිනව. 


මෙතන රූපය සතර මහා ධාතුයි නේ ද? සමුදය ප්‍රහානය කරනව. කෝප්පෙ වටිනව කියන අදහස ගෙවනව ටික ටික. මෙතන ඇත්ත පෙන්න පෙන්න සමුදය ප්‍රහානය කරනව, ගෙවනව. මේක ගෙවෙන්න ගෙවෙන්න මේක වටිනව කියල බලනකම පෙනෙනකම නිරුද්ධ වෙනව. එතකොට මාර්ගය වඩල ඉවර වෙනකොට කෝප්පය කැඩුණම එන්න තියෙන දුකින් නිදහස්. කෘත ඥානය එනකොට මේ විදියට ලෝකයේ ජරා මරණ දුක එන සිද්ධාන්තයෙන් මිදිල. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ස්කන්ධ ටික පිරිසිඳ දැකල. මේව සත්ත්වයෝ පුද්ගලයෝ වටිනවා කියල පෙන්නපු ක්ලේශය ගෙවිල. මාර්ගය වඩල ඉවරයි. සමුදය ප්‍රහානය වෙලා. නිරෝධය සාක්ෂාත් වෙලා. ස්කන්ධ පිරිසිඳ දැකලා. ඕකට කියනවා රහත් වුණා කියල. පින්වතුනි, ඉවුරක් අද්දර ඉඳල එක පාරට වතුරට පනිනව වගේ අපි එක පාරට නිවනට වැටෙන්නෙ නෑ. අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ශිකෂාවක් තියෙන්නෙ. ආශ්‍රව ක්ෂය වෙනව කියල කියන්නෙ. ගානකොට එක පාරට ම නැති වෙනව ද? නෑ. ටික ටික නේ ද උරච්චි කරනකොට ගෙවෙන්නෙ. ඒ වගේ මේ ඇත්ත බලන්න බලන්න පුද්ගලභාවයේ වටිනාකම ටික ටික ගෙවෙනව. ක්ෂය වෙනව. 

දිවයින බොදුමඟ 2020.මැයි 7

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤