ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක ගැන බුදු වදන...

චතුරාර්ය සත්‍යයට අයත් පළමු කොටස වන දුක්‌ඛ සත්‍යය බුදුපියාණන් වහන්සේ විස්‌තර කරනු ලබන්නේ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේව - කායික දුක - මානසික දුක - දැඩි ආයාසය - පැතූ යමක්‌ නොලැබීමේ දුක - සංක්‍ෂෙපයෙන් පඤ්ච ස්‌කන්ධයම දුකක්‌ වශයෙන් බුදුපියාණන් වහන්සේ දුක්‌ඛ සත්‍යය තුළදී පෙන්වා වදාළ සේක.

දුක්‍යාර්ය සත්‍යයෙහි විස්‌තර වන දුක තුන් ආකාරයකින් පිරික්‌සා බැලිය හැකිය. එනම්,

1. දුක්‌ඛ දුක්‌ඛතා

2. විපරිනාම දුක

3. සංස්‌කාර දුක

දුක්‌ඛ දුක්‌ඛතාවෙහිදී අප ලබන අමිහිරි අත්දැකීම්වලින් ඇතිවන සාමාන්‍ය දුක ජීවිතය හා ලෝක සම්බන්ධයෙන් සලකා බලන විට මූලික අවස්‌ථා තුනක්‌ දක්‌නට ලැබෙයි. එනම් ඇතිවීම, පැවැත්ම හා විනාශයයි. මේ කොටස්‌ තුනම පුද්ගලයාට නොයෙක්‌ ගැටුම්, ගැටලු හා දුක්‌ කම්කටොලු ඇති කරයි. ජීවත්වන අප සැමටම මෙම අවස්‌ථා තුනට අනුව විවිධ කායික මානසික දුක්‌වලට මුහුණපෑමට සිදුවෙයි. අප විඳින සියලු ප්‍රශ්න අපලවලින්, සූනියම්වලින් හෝ භූතයන් නිසා නොව සිදුවන්නේ ඉහත නී අවස්‌ථාව පදනම් කරගෙනය.

අප ජීවිතයෙහි ලබන එකදු සැපතක්‌ හෝ සතුටක්‌ වෙනස්‌ නොවී සැමවිටම එකසේ පවතින්නේ නැත. මොහොතකට පෙර සැපයක්‌ සතුටක්‌ ලෙස වින්දනය කර දේ ඊළඟ මොහොතේ දුකක්‌ වන්නට ඉඩ ඇත. ඊයේ දවස තුළ සතුට පිණිස හේතුවූ වස්‌තුවක්‌ හෝ පුද්ගලයෙක්‌ අද දුකක්‌ ගෙනදෙන දෙයක්‌ වන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූත්, අධ්‍යාත්මික වූත්, සියල්ල මොහොතින් මොහොතම වෙනස්‌ වෙයි. මේ අනිත්‍ය ස්‌වභාවය විපරිනාම දුක නමින් හැඳින්වෙයි.

දුක සම්බන්ධව බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඉහත සඳහන් ආකාර දෙකම තේරුම් ගැනීම පහසුය. නමුත් දාර්ශනික, ගැඹුරු අර්ථයකින් විස්‌තර වන සංස්‌කාර දුක යන්න තේරුම් ගැනීම තරමක්‌ දුෂ්කරය. බුදුසමය සත්වයා, මම, පුද්ගලයා යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස්‌වනසුළු කායික, මානසික සංස්‌කාර සමවායකී එකතුවකි. එය පංචස්‌කන්ධය ලෙස හැඳින්වේ. පඤ්ච උපාදානස්‌කන්ධය දුකයි. 

පංචස්‌කන්ධය දුකක්‌වන්නේ ලෝභ, දොaස, මෝහ යන අරමුණු සමග ගැටීම නිමිති කරගෙන ගොඩනැගෙන සක්‌ඛාය දිට්‌ඨිය නිසාය. පෙළ දහමෙහි හඳුන්වන්නේ මෙසේ අරමුණු අල්ලා ගැනීමයි. ග්‍රහණය කිරීමයි. එයින් ඇතිවන දුක්‌ඛසහගත තත්ත්වය සංස්‌කාර දුකයි.

දුක්‌ඛ සත්‍යය වනාහී, 'ඉදං ඛො පන භික්‌ඛවේ දුක්‌ඛං අරියසච්චං ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, ව්‍යාධිපි දුක්‌ඛො, මරණම්පි දුක්‌ඛං, අප්පියෙහි සම්පයෝගො දුක්‌ඛො, පියොහි විප්පයෝගෝ දුක්‌ඛො, යම්පිච්ජිං නලභති තම්පි දුක්‌ඛං, සංත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්‌ඛා'

ජාති දුක ඉදපීමේ දුකයි. ජාතිය ස්‌වභාවයෙන්දුක්‌ නොවන්නේය. එය දුක්‌ ඉපදීමට හේතුවන බැවින් දුකයයි වදාරන ලදී. උප්පැත්ති නිමිත්තෙන් සත්වයා විඳින දුක සත් ආකාර වේ. 'ගබෙභාකකනතික මුලක දුක, ගබ්බ පරිහරණ මුලක දුක, ගබ්බ විපත්තී මුලික දුක, ගබ්බවිජායන මූලික දුක, ගබ්බ බහී නික්‌ඛමන මූලක දුක, අත්තනොක්‌කම මුලක දුක, පරොපක්‌කම මුලක දුක යන සතයි.

ගබ්භෝකක්‌නතීක මූලක දුක යනු මව් කුසේහි දස මාසයක්‌ හෝ ඉන් අඩු වැඩි කාලයක්‌ මවු කුස හටගත් හුමාලයෙන් පිටි පිඬක්‌ මෙන් පැසෙන්නේය. අත්පාආදිය හැකිලීම් දිග හැරීම් ආදියෙන් තොරව අපමණ දුකක්‌ විඳියි. මව්කුස පිළිසිඳ ගැනීම මහා දුකකි. ගම්භ පරිහරණ මූලික දුක මවගේ හැකිකීම් පැකිලීම් යාම් ඊම් ඉදීම් සිටීම් සයනය කිරීම්, පෙරලීම්, නැමීම් ආදී ක්‍රියාවලින් බලවත් වේදනාව ගබ්බ පරිහරණ මූලික දුකයි. ගබ්භ විපත්ති මූලික දුක බවට මුඪ ගර්භවූ කල්හි හිතවතුන් විසින් දැක්‌මට නොනිසි වූ දුක්‌ උපදවනා තැන්හි සිඳීම්, පැලීම්, විඳීම් ආදිය කරණකොට ගෙන ඒ කුසහොත් බිලි¹ට යම් දුකක්‌ උපනේද, එය ගර්භ විපත්ති දුකයි.

ගර්භ විජායන මූලික දුක ප්‍රශ්වාස කරන්නා වූ මවගේ කර්මජ වාතයෙන් කුසහොත් පෙරලා පිටතට නික්‌මෙන කල දොර යතුරු සිදුරකින් නික්‌මෙන හත්සි රාජයකුට මෙන් ඇතිවන බලවත් වේදනාවයි. ගර්භ බහිනිකඛමණ මූලික දුක අලුත හටගත් වනයකට මෙන් සියුමැලි සිරුර අතින් ගැනීමය, නැවීමය, සේදීමය, වස්‌ත්‍රයෙන් පිස දැමීමය යන කටයුතුවලදී යම් දුකක්‌ විඳීද එය ගර්භ බහිනික්‌කමන මූලික දුකය.

අත්තනොපක්‌කමමූලික දුක. මෙය තමාගේ උපක්‍රම මුල් කරගෙන පවතින දුකකි. මවු කුසින් බිහිවූවායින් පසු තමා ආහාර නොගැනීමෙන්, වස විෂ පානයෙන් ගෙල වැලදා ගැනීමෙන් ආදිය නිමිතිකොට විඳින දුක අත්තනොපක්‌කම දුකය. පරොක්‌කම මූලික දුක මෙය අනුන්ගේ උපක්‍රම හේතුවෙන් ලැබෙන දුකකි. අනුන්ගේ වධ බන්ධනාදිය විඳින්නා හට ඇතිවන දුක පරොපක්‍රම මූලික දුකය. මේ සියලු දුක්‌ විඳීමට එකම හේතුව ජාතිය හෙවත් ඉපදීමයි.

ජරා දුක එය 'ප්‍රකට ජරාවය, අප්‍රකට ජරාවයයි ජරාව දෙවැදැරුම් වේ. ඉන් රූප ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම ප්‍රකට ජරාවය, නාම ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම අප්‍රකට ජරාවය. අප ශරීරය දිරාගිය ගැලකට බඳු අවස්‌ථාවකට පත්වීම හෙවත් අබල දුබලව දිරායාම හිස, රැවුල් පැසීම, දත් වැටීම, ඇස්‌ නොපෙනීම, කන් නෑසීම, ඇඟ රැලි වැටීම, අවයව විකලවීම, ආයුෂ පිරිහීම යනාදිය රූප ලකුණු ජරා ලකුණුයි. ව්‍යාධි දුක, මහළුවීම, ආයුෂ පිරිහීම හේතු කරගෙන ශාරීරික වශයෙන් ඇතිවන ලෙඩ දුක්‌ පීඩා කායික, මානසික වශයෙන් ඇතිවන ව්‍යාධිය දුකකි.

මරණ දුක, එය 'චුති වචනතා' මච්චු මරණ ලෙස සඳහන් වේ. චුති නම් යම්කිසි ආත්මයකින් පහවීමයි. වචනතා යනු මරණයේ ස්‌වභාව නිරූපණයයි. මච්චු මරණ මෘත්‍යq සංඛගත මරණයයි. ඉවසිය නොහැක්‌කාවූ පිළියම් නැත්තා වූ යම්දුකක්‌ වීද, ඒ දුක්‌ සමූහයට වඩා යම් හෙයකින් මේ මරණය දුකක්‌ යෑයි වදාළ සේක.

සෝක දුක, රොගව්‍යසන භෝග්‍යව්‍යසන, සීලව්‍යසන, ඤාතිව්‍යසන, දිට්‌ඨිව්‍යසන යන මේ පඤ්ච ව්‍යසනයන්ගෙන් යමක්‌ ඇති කල ඇතුළත උපදින මේ ශෝකය ගැනය. ශෝකය සත්ව හෘදය හුලක්‌ මෙන් විදියි. ගින්නෙන් රත් කරන ලද යකඩයක්‌ මෙන් නැවත නැවත දවයි. අනේක ප්‍රකාර දුක්‌ඛයන්ට පමුණුවයි.

පරිදේව දුක හැඬීම වැලපීම ආදියට පාදක වන ඥාතිව්‍යසනාදී යමකින් දුක්‌ වූ තැනැත්තාගේද, මාගේ දියණි, මාගේ පුතණුවෝ යනාදී වශයෙන් ඒ ඒ වස්‌තුවේ, ඔවුන්ගේ ගුණ කියා නැවත නැවත හැඬීමක්‌ වේද, එය පරිදේව හෙවත් හැඬීම ආදි දුක පරිදේව දුකයි.

දුක්‌ඛ දුක කායප්‍රශාද වස්‌තුවෙහි අභිත ස්‌පර්ෂයන්ගේ වැදගැන්මෙන් ඉවසීමට දුෂ්කර හෙයින් දුක්‌ඛ නම් වූ කායේ, හටගත් යම් දුකක්‌ වේද, කයෙහි හටගන්නා යම් නොමිහිරි බවක්‌ වේද, කාය ස්‌පර්ශයෙන් හටගන්නා වූ දුක්‌ වූ නොඉවසිය හැකි යම් වේදනාවක්‌ වේද මෙය දුක්‌ඛ දුක යෑයි වදාළ සේක.

දොමස්‌ස දුක මෙය සිතෙහි හටගන්නා දුකකි. හිතෙහි දුක හටගන්නා තැනැත්තා කෙස්‌ විසුරුවාගෙන හඬයි. ළයෙහි අත්ගසමින් උඩපනිමින් බිම පෙරළෙමින් පොළොවේ හැපෙමින් බිම ඇද වැටෙමින් හඬයි. එය දොමස්‌ දුක වේ.

උපායාස දුක ඥාති ව්‍යසනාදී යම්කිසි ව්‍යසනයකින් යුක්‌ත වූවහුගේ හෝ සිරගෙයි වැටීම් ආදී එක්‌තරා ස්‌වභාවයකින් ස්‌පර්ශ කරන ලද්දහුගේ හෝ දුක්‌ පැවැති යම් ආයාශයක්‌ වේද එය උපායාස දුකයයි.

මේ අන්දමට ගත්විට මම වශයෙන් පුද්ගලයන් වශයෙන් හඳුන්වන මෙසේ නිතර වෙනස්‌වන පඤ්ඤස්‌ඛන්ධයම දුකකි. ය ද නිච්චං තං දුක්‌ඛං' යෑයි වදාරා ඇත්තේ එබැවිනි.