ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ලෝක පාලක ධර්ම

ලොව නිතර වෙනස් වෙයි. ලෝවැසියා ද ඒ අනුව වෙනස් වෙයි. එසේ පෙරලෙන වෙනස් වෙන ජන සමාජය ආරක්ෂා වීමට එක් සීමාවක් තිබේ. ඒ සීමාව ලෝක ධර්ම නමින් හැඳින්වේ. එයින් ලෝකයත් ජනතාවත් පාලනය වේ. “දෙව මේ භික්ඛවේ ධම්මා ලොකං පාලෙන්ති”යි තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි ලෝක පාලක ධර්ම දෙකකි. ඒවායින් මිනිස් තිරිසන් වෙනස රැකේ.

මිනිසා දෙමවුපියන්ට, ගුරුවරුන්ට, පූජ්ය පූජකවරුන්ට සලකයි. ඒ ඒ ඇත්තන් කෙරෙහි එක් එක් ආකාරයට හැසිරේ. හිතට එන හැම වචනයම නොකියයි කියන්න බැහැ. මෙතැන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා යයි සිතා නොකියයි. හිතෙන හැමදේම එලෙසින් නොකරයි. මෙය කවුරුවත් මතක් කර දී නොවෙයි. ඉබේම සිදුවන්නකි. මෙලෙසින් පාලනය වන්නේ ලෝකපාලක ධර්ම නිසයි. මෙසේම නැන්දා – මාමා , ගුරු, ශිෂ්ය, සහෝදර, සහෝදරී, ස්වාමි සේවක, අඹුසැමි ආදීන් කෙරෙහි එක් එක් විදියට පවතින්නේ මේ ලෝක පාලක ධර්ම මිනිසා තුළ රැකෙන නිසයි.

රටේ හැම කෙනෙකුන් තුළම මේ ධර්ම ආරක්ෂා වෙතොත් දුෂ්චරිත කිසිදාක ඇති නොවේ. ලෝක පාලක ධර්ම පදනම් කොට සියලු ආචාර් ධර්ම පවතී. මෙම ධර්මද්වය දේව ධර්ම නමිනුත් හැඳින්වේ. ඒවා හඳුන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

හිරිඔත්තප්ප සම්පන්නා
සුක්ක ධම්ම සමාහිතා
සන්තො සප්පුරිසාලොකෙ
දෙව ධම්මාති වුච්චරේ

මෙලොව, යමෙක් පව් කිරීමෙහි ලැජ්ජා බය දෙකෙන් යුක්ත වේද, කුසල ධර්මයෙහි ඇලුම් ඇත්තේද ශාන්ත වූ උතුම් වූ සත්පුරුෂ ගුණවලින් යුතු වූවෝ ද එසේ වූ වන්ගේ පැවැත්ම දේව ධර්ම නම් වේ.

එක්තරා සම්ප්රදායකට අනුව නරක දේ කලු පාටටත් හොඳ දේ සුදුපාටටත් ඇතුළත් කර තිබේ.ඒ අනුව ලෝක ධර්මය බෙදා දක්වන බුදුරජාණන් වහන්සේ කළු බණ දෙකකුත් සුදුබණ දෙකකුත් වදාළ සේක.

ද්වේමේ භික්ඛවේ ධම්මා, තණ්හා, අහිරිකංÀව අනොත්තප්පං ච, ද්වේ චෙ භික්ඛවෙ ධම්මා සුක්කා හිරිච ඔත්තප්පංච “ එයින් වදාළේ පව්කිරීමේ ලජ්ජා භය නැතිකම කලු බණයි. එහි ලජ්ජා භය ඇතිකම සුදුබණයි. මේ අනුව සියලුම අයහපතට ලජ්ජා භය, විළිබිය නැතිකම හේතු වේ. විලිබිය ඇතිකම සියලු යහපතට මුල් වේ.

එහෙයින් මේ ගැන හැම කෙනෙකු විසින්ම ඉතා හොඳ අවබෝධයක් ලැබිය යුතුය. බුදුදහමේ මේ ගැන නන් අයුරින් විස්තර ඇතුළත්ව තිබේ. පිරිසුදු ජලය එයට මිශ්රවන දේ අනුව වර්ණය, රසය, සුගන්ධය වෙනස් වේ. අපේ සිතත් ඒ වගෙයි. අපේ සිත ඉතා පිරිසුදුය. ඒ සමග යෙදෙන සිතුවිලි අනුව හොඳ වෙනවා නරක් වෙනවා. සිත නරක් වෙන්නේ නරක නපුරු පවිටු අකුසල් සිතිවිලි මීශ්රවීම නිසයි. වැරදි කිරීමට ලජ්ජා නැතිකම නම් වූ අහිරිත සිතිවිල්ලත් ඒ සදහා බිය නොවන අනොත්තප්ප සිතිවිල්ලත් වැටෙන්නේ අකුශල ගණයටයි. මේ හිරි ඔතප් (විලිබිය) දෙක විස්තර කරන තැන්වල

සභාව සණ්ඨිති, සමුට්ඨාන හේතු ලක්ෂණ අධිපති උපමා වශයෙන් කොටස් පහකට බෙදා විස්තර කෙරේ.

සභාව සණ්ඨිති:– සතුන් මැරීම, සොරකම් කිරීම ආදි වරදක් කිරීමට අවස්ථාවක් පැමිණි විට “මේ වරද කිරීමෙන් මගේ ආත්ම ගෞරවයට හානියක්, කැලලක් වෙනවා. ඒ නිසා මේක මට නොගැලපේ” ආදි වශයෙන් තමන් තුළ පහළවන හැඟීම පිළිකුල මේ හිරියේ ස්වභාවයයි. මල මුත්රාපහ කිරීම් වැනි දේ ආචාරශීලිව කව්රුත් රහසිගතව තනියෙන් කරති. එවැන්නක් කරන විට කවුරු හෝ කෙනෙක් දුටුවොත් එයින් පෙලීමකට, හැකිලීමකට පත්වීම ඉබේටම සිදුවෙන දෙයකි. මෙසේ ඇතුළතින් ඇති වෙන හැකිලීම ලජ්ජාව නම් වේ. එමෙන්ම දුශ්චරිතයක් කිරීමට අවස්ථාවක යෙදුන විට මේ විදියේ පහත් වැඩ කිරීම මා වැනි අචාරශීලි කෙනෙකුට නොගැලපේ යයි සිතා එයින් වැළකී සිටීම ඔත්තප්ප නම් වේ. වරදක් කිරීමට අවස්ථාවක් පැමිණි විට කර්මය,පුනර්භවය විශ්වාස කරන ප්රාණඝාතාදිය කිරීමෙන් මරණින් මතු අපාගත වී නන් වැදෑරුම් දුක් කම්කටොලු විඳින්නට සිදුවෙන බව සිතා වරදින් වළකී.

සමුට්ඨාන හේතු :- ඇතුළතින් ඇතිවෙන ලජ්ජාව කරුණු හතරක් නිසා ඇතිවේ. ස්වකීය ජාතිය, වයස, සූරබව, උගත්කම යන කරුණු මෙනෙහි කොට වරදින් මිදේ. පව්කම් වැනි වැරදි වැඩක් කිරීමට අවස්ථාවක් එළඹී විට මෙසේ සිතයි. “ පහත් වැඩ කිරීම, හීන දීන පව් කිරීම, පහත් ජාතිකයන්ට අයත් කාර්යයකි. ආර්ය සිංහල ජාතියට අයත් මට මෙවැනි වැරදි වැඩ කොහෙත්ම නොගැලපේ. මා කෙසේද අන්සතු දේ ගන්නේ,අසල්වැසියන්ට කරදර කරන්නේ, මා කොහොමද මත්ද්රව්ය පාවිච්චි කර උම්මත්තකයකු මෙන් හැසිරෙන්නේ, ප්රසිද්ධියේ අසභ්ය වචන කියන්නේ, ගතු කේලම් කියමින් ඔවුනොවුන්ගේ චරිත ඝාතනය කරමින් ඔවුනොවුන් කොටවන්නේ, මෙලෙස ස්වකීය ජාතිය ගැන සිතලා වරදින් වළකී.

පව් කරන්නේ වැරදි වැඩ කරන්නේ ලාබාලයෝය. යමක් කමක් නොතේරෙන අය කරන දේ මා වැනි වැඩිහිටියෙකුට සුදුසු නැත. අසල්වැසියන්ට කරදර වන විදියට මගේම ගෙදර වුණත් මා හැසිරීම නුසුදුසුය. මත්පැන් පානය කොට පහත් විදියට හැසිරීම් තරුණ වයසේ වැඩිහිටි වියේ වෙසෙන මා වැන්නෙකුට කොහෙත්ම නොගැලපෙතැයි තමන්ගේ වයස ගැන සිතා වරදින් වළකී.

තමන්ගේ සුරවීර භාවය සලකා වරදින් මිදීම තවත් ක්රමයකි. මා කාය ශක්තිය පුරුෂ ධෛය¸ය ඇති කෙනෙකි. මා වැනි අය ඩාදිය මහන්සියෙන් දෑතේ සවිශක්තියෙන් ජීවත් විය යුතුය. හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් , කපටිකමෙන් හම්බ කිරීම වැනි පුරුෂ ධෛර්යය ඇති කෙනෙකුට නුසුදුසුයයි සලකා වරදින් මිදේ. “ මා වැනි කෙනෙකු කාර්යාලයේ සේවා ස්ථානයේ වැඩ නොකර නිකං ඉඳීම කොහෙත්ම නොහොබිනේ යයි සලකා වරදින් මිදේ.

තවත් ස්වකිය උගත්කම ගැන සලකා වරදින් මිදීමයි. ජීවත්වීමට තරම් ශිල්ප ශාස්ත්ර උගත් මා වැනි අයට පහත් වැඩ කිරීම නුසුදුසුය. තැන්තැන්වලට වී නිෂ්ඵල කථා කරමින් කාලය කා දැමීම සුදුසු නැත. අනුන්ගේ වතු කොටුවල ඇති කෙහෙල් කැන, තැඹිලි ගෙඩිය සොරකම් කිරීම සුදුසු නොවේ යයි සලකා වරදින් මිදේ. මෙසේ වරදක් කිරීමට අවස්ථාවක් එළඹි කළ ස්වකීය ජාතිය, සූරබව, උගත්කම ගැන සිතා වරදින් මිදේ. මෙලෙසින් ලජ්ජාව උපදින්නේ තමන් තුළින්මයි. ඔත්තප්ප (පව් කිරීමේ බිය) පිටතින් ඇති වෙන එකකි. පව්කම් කරන අයට සීලාචාර අය නින්දා කරතියි පිටතින් පැමිණෙන නින්දා අපහාස ගැන සලකා එයට බියෙන් වරදින් මිදීම ඔත්තප්ප නම් වේ. ඒ බිය ඇතිවීමට හේතුවන කරුණු හතරකි. සීලය, දේශය, ප්රඥාව තත්ත්වය වශයෙනි.

“මා තිසරණ පන්සිල් රකින බෞද්ධයෙකු වශයෙන් පෙනී සිටින කෙනෙකි. අනුන්ට හිංසා කළොත් ලෝ වැසියන් මට නින්දා කරතැයි බියෙන් වරදින් මිදේ. තමන් වාසය කරන රට පළාත ගැන මෙනෙහි කරමින් පව්කම්වලින් වළකී. ලාංකිකයන්ට එලෙසින් සිතීමට කරුණූ තිබේ. අපේ රට සම්මා සම්බුද්ධ ශාසනයේ කෙළවර දක්වා බුදුසසුන පවතින රටකි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේත් දුටු රටකි. ධර්මද්වීපය යන නාමය ලැබූ රටකි. මේ රටේ ජීවත් වෙමින් ලාමක වැඩ,පව්කම් කිරීම සුදුසු නැත. මේවා කළොත් ලෝ වැස්සෝ අවමන් කරයි. ආදි වශයෙන් සලකා අවමානයට බියෙන් වරදින් මිදේ.

මේ ගමේ ශිල්පශාස්ත්ර දැන උගත් පඬිවරු, සිල්වත්, ගුණවත් පැවිදි නොපැවිදි උතුමෝ, සමාජයෙන් උසස් තනතුරු දරන ප්රභූ®වරු, සමාජ සේවකයෝ සමාජ, සෝධකයෝ වෙසෙති. මේ ගමේ වෙසෙමින් නරක නපුරු නස්පැත්ති වැඩ කළොත් ඒ උතුමන්ට නිග්රහයකියි සිතා වරදින් මිදේ.

සමාජයේ තමන්ට හිමි වී තිබෙන තත්ත්වය, තමාගේ දැන උගත්කම, පලාත්වාසීන් තමන්ට දක්වන ගරු සැලකිලි, තමන් ගැන පැතිරී තිබෙන කීර්තිය, තමන් දරන තනතුර,පදවිය, ගෞරවය ගැන සිතා මෙවැනි පහත් වැඩකිරීම, මට මගේ තත්ත්වයට කොහෙත්ම නොගලැපේ යයි සිතා වරදින් මිදේ. වරදක් කිරීමට පෙළඹෙන විට අවට තත්ත්වය ගැන සිතා වරදින් වැළකීම ඔත්තප්ප සමුට්ඨාන නමින් හැඳින්වෙනවා. එලෙසින් තමා ගැන සලකා වරදින් මිදීම හිරියයි. අවට ගැන සලකා වරදින් මිදීම ඔත්තප්පයයි.

තවද මෙහි ලක්ෂණ දෙකක්ද පවතී. “සස්සතිස්සව ලක්ඛණ, හිරි වජ්ජ භීරුක භයදස්සාවි ඔත්තප්ප” සඳහන් පරිදි තමන් ගරු කරන සලකන අය ගැන සිතා වරදින් මිදීම සප්පතිස්සච ලක්ෂණයයි. එහි ආකාර හතරක් පවතී. ජාතිය, ශාස්තෘවරයා, දායාදය, බ්රහ්මචර්යාව වශයෙනි.

සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා. ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ

තමාගේ ජාතියේ මහන්තත්වය, උත්තරීතර භාවය, උදාරත්වය ගැන සලකා වරදින් මිදීම එක් ක්රමයකි. ඒ මෙසේය. මා අයත් ආර්ය සිංහල ජාතියට සමබන්ධ නොයෙක් තරාතිරමේ උතුමන් වාසය කළා. පණ්ඩුකාභය, පරාක්රමබාහු වැනි රණ සූරයන්ද දුටුගැමුණූ සද්ධාතිස්ස වැනි සැදැහැවතුන්, සිරිසඟබෝ වැනි බෝසත් ගුණ ගරුකයන්, පණ්ඩිත පරාක්රමබාහු වැනි ධර්මශාස්ත්ර විශාරදයන් බිහි කළ උතුම් ජාතියකි.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වරම් ලත් ජාතියට අයත් මා වැනි කෙනෙකුට පව්කම් හීන දීන පහත් වැඩ කොහෙත්ම නොගැළපේ.මේවා කිරීමෙන් දෙමවුපියන්ට මුතුන් මිත්තන්ට වන අගෞරවය ගැන සිහිකොට වරදින් මිදේ.

ඇතැම් අන්යාගමිකයෝ බුදුරජාණන් වහන්සේටත් නිගා කරති’යි තම ශාස්තෘන් වහන්සේ ගැන සිතා වරදින් මිදිය හැකියි. මගේ ශාස්තෘන් වහන්සේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මා මෙලෙසින් පහත් වැඩ කළොත් උන්වහන්සේටත් අත්වන්නේ අවමානයකැයි සලකා වරදින් මිදිය හැකිය.

තවද දායාද මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නෛර්යාණික සද්ධර්මය දායාද කොට ඇති කෙනෙකි. ලොව අන් කිසිවෙකුට නැති ඒ ශාන්ත ධර්මය අයත් මට දුසිරිත් නොහොබී.ඒ නිසා මා සියලු වරදින් මිදිය යුතු යයි සලකා දුසිරිතෙන් මිදිය හැකියි.

එසේම බ්රහ්මචර්යා මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මගේ අත්යුත්තම ශාස්තෘවර බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් අතර සැරියුත් මුගලන් ආදි ආය¸ මහා සංඝරත්නයද, අනේපිඬු සිටුතුමා,විශාඛා උපාසිකා වැනි මහා උතුමෝ ද වූහ. ඒ පරපුරට ද සම්බන්ධ මා වරද කිරීමෙන් ඒ පිනැතියන්ටත් කරන්නේ අවමානයකැයි සිතා වරදින් මිදිය හැකියි.

මෙලෙසින් කල්පනා කරන සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා.ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ.

මුලින් සඳහන් කළ කරුණුවලින් සිවුවැන්න ආධිහාස්යය හෙවත් අධිපති කමයි හිරිය තමන් අධිපති කොට ඇතිවන එකකි. ඔත්තප්ප ලෝකයා හෙවත් අන්යයන් අධිපතිකොට ඇත්තකි. හිරිය සඳහා බලපාන්නේ තමාමයි.ලෝවැස්සන් ඔත්තප්ප සඳහා බලපායි.

ආත්ම ගෞරවය හැම කෙනෙකුගේම තත්වය ආරක්ෂා වීමට හේතුවේ. ඒ සඳහා තමා තුළ පිහිටි යම් යම් කරුණු බලපායි. එහෙයින් බොහෝ දෙනා තමාගේ අග හිඟකම් නැති බැරිකම් පිටතට නොපෙනෙන සේ ක්රියා කිරීමට වගබලා ගනිති. එලෙසින් සබ්රම්සරුන් වහන්සේ නමක් ‘ මම සම්බුදු සසුනේ උතුම් පැවිද්ද ලැබ ලෝවැසියන්ගේ වැඳුම් පිදුම් ගරු සැලකිලි ලබන කෙනෙකි. බුදුදහම දෙසන කෙනෙකි. එවන් මා වැනි කෙනෙකු හීනදීන පහත් වැඩ අකුසල කර්ම කිරීමට නොගැළපේ” යන සිතුවිල්ල තමා තුළ ඇති පව්කම්වලින් වැළකී ගිහියෙකු වශයෙන් බලන කල “මා සමාජයේ උසස් මට්ටමක වෙසෙන ගුරුවරයෙක්, වෛද්යවරයෙක්, නිලධාරියෙක්, සමාජ සේවකයෙක්. එවන් මා වැන්නෙකු පහත් වැඩ, දුශ්චරිත කිරීම නුසුදුසු ය”යි තමා තුළින්ම ලජ්ජාව ඇතිවී පව්කම්වලින් වළකී.

‘ලෝකයේ බලපෑම නිසා ඔත්තප්ප ඇතිවේ’ මේ ලෝකය ඉතා විශාලයි.ලොව වෙසෙන අයත් ප්රමාණ කළ නොහැක. ඍද්ධිවන්ත පුද්ගලයන්, ශ්රමණ බ්රාහ්මණ දෙව් බඹුන් කොතෙකුත් වෙසෙති. මා කොතරම් හොරෙන් පව්කම් කළත් ඒ උතුමෝ මා කරන පහත් වැඩ දැක මට නින්දා කරති. ඒ ඇරත් මා කළ වරද දැන ගන්නා සියල්ලෝම මට අවමන් කරතැ”යි බියෙන් වරදින් මිදේ.

එලෙසින් නැතිවෙන බිය සිවු ආකාරය,අත්තානුවාද, භය, පරානුවාද භය,දණ්ඩභය, දුග්ගති භය වශයෙනි. තමන්ම තමන්ට කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම අත්තානුවාද භය නම් වේ. වෙළෙන්දෙක් පාරිභෝගිකයාට නොදැනෙන සේ හොරට කිරීම, මැනීම ,සොරකම් කිරීම කරයි. පරස්ත්රී පරපුරුෂ සේවනය කරයි.මේ ආදිය කාටත් හොරෙන් කළත් තමන්ගේ හිත දනී. ඒ සිත තමාට චෝදනා කරයි. ඔබ සමාජ සේවකයෙක්. සත්ගුණවතෙක් වගේ මහජනයා ඉදිරියේ පෙනීසිටියත් ඔබ වැඩි හරියක් කරඇත්තේ වැරදි වැඩ.පව්කම් ඔබ පිටතින් කොතරම් පැලැස්තර දැම්මත්,ලෝවැසියන් රැවටුවත් ඔබේ ඇතුළත කුණූ ගඳ ගහනවා ආදි වශයෙන් තමන්ගේ සිත තමන්ටම චෝදනා කරයි. එම චෝදනාවට බියෙන් වරදින් මිදෙයි.

අනුන් කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම පරානුවාද භය නම් වේ. වැරදි වැඩ කරන විට එය දකින සීලාචාර බුද්ධිමත් අය චෝදනා කරති.මලගෙදර, සොහොන් පිටිය වැනි තැන්වලට කවුරුත් එන්නේ ඒ දුක ශෝකය බෙදා හදා ගැනීමටය. එහි පැමිණි කවුරු හෝ වේවා එහි සිදුවෙන ආගමික කටයුතුවලට පවා බාධාවන සේ බීමත්ව අසංවරව නොමනා විහිළු තහළු කරයි නම් ශීලාචාර උදවිය ඔවුන්ට චෝදනා කරති. එයට බියෙන් වරදින් මිදේ.

දඬුවමට බියෙන් වරදින් මිදීම දණ්ඩනය නමි.අනුනගේ කොටුවලින් එළවළු, තැඹිලිවලු, කෙසෙල් කැන් සොරකම් කර අහුවුනාම අයිතිකරුවන්ගෙන් ගුටිබැට කෑමට සිදුවේ. නීතියේ රැහැණට හසුවී හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවෙනවා. දඩ ගෙවන්නට වෙනවා. එවන් දඬුවම්වලට බියෙන් වරදින් මිදේ.

මරණින් මතු අපාගත වීමට බියෙන් වරදින් මිදීම දුග්ගති භය නම් වේ.දෙමවුපියන්ට වැඩිහිටියන්ට නින්දා අපහාස කරන්නන් , ගැටිබැට දෙන්නන්,අන්සතු දේ පැහැර ගන්නන්, සඟ සතු දේ කන බොන අය ,පන්සලේ දේ සොරකම් කරන අය, නිර්දෝෂී උතුමන්ට නින්දා අපහාස කරන, චරිත ඝාතනය කරන අය, මත්ද්රව්ය විකුණන පාවිච්චි කරන අය අනුන්ට කරදර හිරිහැර කරන අය අපාගත වන බව වටහාගෙන නරක තිරිසන්, පේ්රත අසුර නිකාය යන අපාදුකට බියෙන් වරදින් මිදීම දුග්ගතිභය නම් වේ.

තවද මේ හිරි ඔතප් දෙක උපමා වශයෙන් විස්තර කෙරේ. හිරිය හරියට අසූචි තැවරුණූ සිසිල් යකඩ බෝලයක් වැනිය. එය සිසිල් නිසා ඇල්ලුවොත් ශරීරයේ අසූචි තැවරේ. ඒ පිළිකුල නිසා කිසිවෙක් එය නොඅල්ලයි.

එලෙසින් සත්පුරුෂ ශීලාචාර අය දුසිරිත් කිරීමට යොමුවුව හොත් පිළිකුල නිසා එයින් වළකී.

ඔත්තප්පය ගින්නෙන් රත් වු යකඩ බෝලයකට සමානයි. එහි අසුචි නැතත් අල්ලන අයගේ අත පිච්චෙයි. එයට බියෙන් නොඅල්ලයි. එලෙසින් පව්කම්වලට බියෙන් බුද්ධිමත් සත්පුරුෂයෝ එයින් වළකිති.

විලිබිය දෙක මුල් කරගෙන කළ යුතු සියලුම කුසල ධර්ම සුදුබණ හෙවත් ශුත්ර ධර්ම නම් වේ. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යන සියලු කුසල් “යට අයත්වේ”.සන්තො සප්පුරිසා ලොකෙ, පූර්වොක්ත ගාථාවේ තුන්වෙනි පදයයි. විලි බිය ඇති අය කය වචන සිත යන තිදොරින් කරන ක්රියාවන් සන්සුන් නිසා සන්ත යන වදනය යෙදුනි. සප්පුරිසා (සත්පුරුෂයෝ) නම් කළගුණ සලකන, කළගුණ දැනීම ආදි ගතිවලින් යුතු පුද්ගලයා සත්පුරුෂයා නම් වේ. බුදු පසේබුදු මහ රහත් උතුමෝ අපේ අග්රගණ්ය සත්පුරුෂයෝ වෙති. කවුරුත් උන්වහන්සේලා අනුගමනය කළ යුතුය. උන්වහන්සේලා තුළ දේව ධර්ම සුරක්ෂිත වේ.

දෙවිවරු තුන් කොටසකි.සම්මුතිදේව,උත්පත්තිදේව, විසුද්ධිදේව , වශයෙනි.

මහා සම්මත කාලයේ පටන් ලෝකයා විසින් සම්මත කළ රාජ රාජකුමාර, කුමාරි වැනි අය සම්මුතිදේව නම් වේ.පින්දහම් කොට දෙව්ලොව උපන්නෝ උත්පත්ති දේවයෝය. විසුද්ධි දේව නම් බුදු පසේබුදු මහරහත් යන මහෝත්තමයන් වහන්සේලාය.

මෙකී ත්රිවිධ දෙවිවරුන්ගේ ධර්මය නිසා මෙම හිරි ඔතප් දෙක දේව ධර්ම නාමයෙන් හඳුන්වනු ලැබේ. දේව ධර්මවලින් යුතු පුද්ගලයාද දේව ධර්ම නාමය ලබයි.

සමාජයට අත්යවශ්ය ආචාර් ධර්ම ආරක්ෂා වීමටත් ලෝක සභ්යත්වය,ලෝක ශිෂ්ටාචාරය සුරක්ෂිත වීමටත් මහෝපකාරි වන්නේ,දේවධර්මයෝය. මේවා සමාජයෙන් හෙවත් අපේ සන්තානයෙන් යම් දිනෙක ගිලිහී ගියොත් එදාට මේ සමාජයෙන් අනිවාර්යයෙන් තිබිය යුතු ආචාර ගති කිසිවක් ඉතුරු නොවෙයි.

ගුරු දෙගුරු වැඩිහිටියන්ට අඹුදරුවන්ට සහෝදර සහෝදරියන්ට සලකන සිරිත් මිනිසා තුළින් ඉවත් වේ.මේවා අපේ සමාජයෙන් සෝදා පාලුවට යන බවක් පෙනේ.

එහි ප්රතිඵලය වන්නේ මිනිසා තුළින් තිරිසන් ගති මතු වීමයි.

ශ්යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක
ශ්රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය මහෝපාධ්යාය
අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමි

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !තෙරුවන් සරණයි…!!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

රූපය දැඩිව ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට අනුව දුක ද වැඩිවේ

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

"රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහා ගතහොත් පමණමයි, අප රූපවලට උපාදානය වීම ඛණ්ඩනය වෙලා යන්නේ, රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි.'
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දේශනාව ඉදිරිපත්කරද්දී දුක කුමක්ද? කියලා විස්තර කර අවසානයේදී සංඛිත්තේන පංචුපාදා නක්ඛන්ධා දුක්ඛා යනුවෙන් වදාරා ඇත. සංෂිප්තව සඳහන් කරන්නේ නමි, අපගේ දුකට කාරණාව පංච උපාධානස්කන්ධය බව විභංග සූත්‍රයේදීත් දමිසක් පැවතුමි සූත්‍රයේදීත් ඒ පිළිබඳව දේශනා කර ඇත.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දුක යැයි පෙන්වා දෙනු ලබන්නේ පංචස්කන්ධය නොවන බව අප නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාධානස්කන්ධය නමින් එය වටහා ගත යුතුයි. පංච හෙවත් පහක් වූ උපාදාන හෙවත් දැඩිව අල්වා ගත් ස්කන්ධ හෙවත් ධාතු කොටස් වන ආයතන පහ අපගේ දුක නිර්මාණය කරන කාරණා ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර ඇත. පංචස්කන්ධය ඉක්මවා ගියපු මේ මානසික වටපිටාව මොකක්ද ? යනුවෙන් අප පළමුවෙන්ම අවධාරණය කරගත යුතුයි.

පළමු වන ස්කන්ධය වන රූප යනුවෙන් හඳුන්වනු ලබන පඨවි , ආපෝ තේජෝ වායෝ යන කොටස් තුළින් සැකසුණු අපට පෙනෙන්නාවූ භෞතික රූපය මෙහි සඳහන් වෙයි. මෙහි ශීතලයට උෂ්ණයට සමිබන්ධ කොටසක් තිබෙන අතර ම ඝන ද්‍රව්‍යාත්මක දෙයට සම්බන්ධ කොටසක්ද, වැගිරෙන සුළු කොටසක්ද පිමිබෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වාතයට අදාළ කොටසක්ද තිබෙනවා. මෙම කොටස් හතරේ එකතුවට දීපු සමිමුති නාමය රූපයයි. අප රූප ලෙස මතුකර හඳුනාගැනීමේදී පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් රූපය හඳුනාගනු ලබන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් පහේ එකතුව සම්මුති ලෝකය තුළ රූපය ලෙස අප හඳුනාගනු ලබයි. පඨවි පිළිබඳ හෝ මෙහි ආපෝ ලෙස වැගිරෙන සුළු දේවල් පිළිබඳව අදහසක් සාමාන්‍ය මිනිසුන්ට නැහැ.තිබෙන්නේ එම ටික වුණත් අප මූලික වශයෙන් රූප ලෙස හඳුන්වා ගනු ලබන්නේ මේ ඉන්ඳ්‍රියන් .
ඉන්ද්‍රියන් පහකින් සැදුමි ලත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් ගොඩනැඟුන මේ කය රූප යනුවෙන් හඳුන්වයි. විභංග සූත්‍රය තුළත් දමිසක් පැවතුම් සූත්‍රය තුළත් තව බොහෝ සූත්‍ර දේශනා තුළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම රූප යම් කිසි පුද්ගලයකු දැඩි ග්‍රහණය කරගත හොත් දැඩි අල්වා ගත හොත් “මම” යැයි “මගේ” යැයි මෙම රූපය ආත්ම වශයෙන් ග්‍රහණය කරගත හොත් එය තුළින් යමෙකුට දුකක් උත්පාදන විය හැකියි. එවැනි ආකාරයෙන් අල්වානොගන්නා රූප පිළිබඳ ප්‍රශ්නයක් අපට නැහැ. අප සියලු දෙනාම පංචස්කන්ධ වුණාට එකිනෙකාගේ පංචස්කන්ධ පිළිබඳ දුකක් තමන්ට දැනෙන්නේ නැහැ. මගේ රූපය නිසා තව පුද්ගලයකුට ප්‍රශ්නයක් නැතිවාසේම තව අයෙකුගෙ රූපය නිසා මටද ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ මෙම රූපය යම් පුද්ගලයකු විසින් ආලයෙන් ප්‍රේමයෙන් ආසාවෙන් තෘෂ්ණාවෙන් මගේ යැයි අල්වාගත හොත් කසාදයකින් සහතික කොට ලියා ගතහොත් එතැන් සිට ප්‍රශ්න පැන නැගීමට පටන් ගනී.රූප රූප ලෙස තිබෙනතාක් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.
රූපය මගේ කරගත් විට අර්බුද පටන් ගනී. එතැන් සිට එම රූපය තමාට අවශ්‍ය ආකාරයට පවත්වා ගැනීමට උත්සාහ කරයි. මගේ රූපය යැයි මම එය පිළිගෙන තිබෙන නිසාම එය මට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙයි. ධාතු හතරකින් සැදුණ ශරීර කොටස හෙවත් රූප කොටස නිරන්තරයෙන්ම කලින් කලට එය වෙනස් වෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි රූපය කෙතරමි ෙවිගයකින් වෙනස් වෙනවාදකියල විදර්ශනා ප්‍රඥාවෙන් රූපය දෙස බලාගෙන සිටින අයෙකුට එක ෂ්ණයකට ලක්ෂ වාරයකට වඩා වැඩි අවස්ථා ගණනක් මෙම රූපය කැඩි කැඩී සැකසෙනව දකින්න පුළුවන් බව .
රූපයට වසඟ වී සිටින නිසාම රූපයේ අනිත්‍යතාවය අපට පෙනෙන්නේ නැහැ. එය පෘතග්ජන පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවයයි. පංච කාමයේදී සත්‍ය සොයාගෙන යන අය කිං කුසල ගවේසී කුසලය කුමක්ද? කියා සොයාගෙන යන අයට හේතුඵල සම්බන්ධතාවය හම්බවෙයි. එයට අදාළ සම්පූර්ණ ඤාණය වැඩිකර ගනී. සාමාන්‍ය පෘතග්ජනයාගේ ස්වභාවය රෑපයට දැඩි ලෙස ඇලී රූපයේ පැවැත්මත් සමඟ අදාල ගණුදෙනු කාරණාව මිස රූපය උත්පාදනය වීම හෙවත් රූපය හටගන්නා ආකාරයත්,රූපයේ පැවැත්ම සිදුවන ස්වභායත් භංග හෙවත් රූපය කැඩී බිඳී විනාශ වෙන ස්වභාවයත් නුවණින් දකින්න ඤාණයට ගොදුරු කරගන්න රූපය පිළිබඳව සත්‍යයේක්ෂණයකට යාමට සාමාන්‍ය පෘතග්ජනයාට අවශ්‍යතාවයක් නැහැ.
මෙම රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහාගතහොත් පමණමයි අප රූපවලට උපාදානය වීම ඛන්ඩනයවෙලා යන්නේ රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි. මගේ රූපය යැයි සම්මුතියේ නමක් ලබාදුන්නාට සත්‍ය වශයෙන්ම මෙහි තිබෙන්නේ ආපෝ තේජෝ වායෝ සහ මතුපිටට පෙනෙන්නට තිබෙන ඉන්ද්‍රියන් පහක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් එකිනෙකට වෙන්කළහොත් පඨවි කොටස වෙන්කර පොළව පොළවට අයත් දේ ගතහොත්ජලය ජලය ට අවශ්‍ය දේ ලබාගතහොත් ඉරහඳ එයිට අයිත ි දේ ගතහොත් සුළඟ සුළඟට අයිති දේ ගතහොත් මගේ රූපය යනුවෙන් පෙන්නන්න දෙයක් නැහැ. මෙම විෂ්වයේ තිබෙන ධාතු හතරෙන් අපගේ ශරීරයට තිබෙන දේ උරාගත හොත් එතැන් සිට මගේ රූපය කියා දෙයක් නැහැ. ඉන්ද්‍රියන් හය රූපය යනුවෙන් හඳුනාගැනීමට හැකි වන්නේම එකට එක්කාසු වි තිබෙන තාක්කල් පමණයි. එය කැඩි බිඳී ගිය විට රූපය ලෙස තවදුරටත් අප එය පිළිගනු ලබන්නේ නැහැ.
ඇස් කන් නාසය කපා වෙනම තැනකට දැමුවහොත් ඇට කටු සමෙන් ගලවාගෙන වෙන තැනකට දැමුව හොත් මස් ගොඩක් ලේ ගොඩක් වෙන වෙනම තිබෙයි දත් ඇස් කෙස් ඇට කටු ටිකක් වෙන වෙනම තිබෙන අතර පුද්ගලයෙකු නැතිව ගොස් රූපයත් නැතිව යයි . අප පාවිචිචි කරනු ලබන වාහන වල රෝද ,එන්ජිම, බොඩිය යන අදාළ කාරණා සියල්ලම එකතු වී තිබෙන තාක්කල් එය වාහනයක් වෙයි. එම කොටස් වෙන වෙනම ගලවා දැමුව හොත් යකඩ ගොඩක් සහ ටයර් ගොඩක් වශයෙන් තිබෙන අතර වාහනය යන සම්මුතිය අවසන් වෙයි.
සම්මුතිය තුළ තිබෙන්නෙම එම කාරණා ටික එකට එකතු විී තිබෙන තාක් කල් පමණයි. සම්මුතිය කැඩී ගොස් වාහනය කියපු දෙයට යකඩ ගොඩක් කියලා කියන්න ගත්ත ගමන් හේතු ඵල සම්බන්ධතාවය කැඩී බිඳී යයි. අප එක එක කාරණා නමි කරගෙන තිබෙන්නේ සම්මුතිය තුළ පමණක් බවත් පරමාර්ථමය වශයෙන් එසේ නමි කළ හැකි දෙයක් නැති බව අප අවබෝධ කරගත යුතුයි. පරමාර්ථමය වශයෙන් නම් කළ යුතු දෙයක් නැහැ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපන්දා සිට කරපු පව් දුරු කළ හැකිද?

කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

‘උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යනුවෙන් අප නිතර අසා පුරුදු කවි පදයක් තිබේ. බුද්ධ දේශනාවට අනුව කෙනෙකු විසින් කළ පවක් නැති කර ගැනීමට පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්නය බොහෝ බෞද්ධයන්ට තිබෙන බව අප අමතක කළ යුතු නැත. කරපු පව් දුරු කිරීම කෙසේ වෙතත් කරපු පව් අහෝසිවීම නම් සිදු විය හැකි දෙයක් ව අභිධර්මයට අනුව පිළිගත හැකිය.
විපාක දෙන කාලය අනුව කර්මයක් සතරාකාර විය හැකි බව එහි දී ඉගැන්වේ. එම චතුර්විධ කර්මය නම්
1. දිට්ඨධම්ම වේදනීය කර්මය

2. උපපජ්ජ වේදනීය කර්මය
3. අපරාපරිය වේදනීය කර්මය
4. අහෝසි කර්මය යනුවෙනි.
මෙම කර්ම අතර මෙහිදී අපගේ මාතෘකාවට අදාළ වන්නේ “අහෝසි කර්ම” යි මන්දයත් අහෝසිකර්ම යනු අතීතයේදි විපාක නොදුන්න වූද අනාගතයේදි විපාක නොදෙන්නා වූද කුසලාකුසල කර්මයයි.මේ අනුව පැහැදිලි වන්නේ යම්කිසි පවක් කොට ඵලය අතීත ජීවිතයේදී විපාක නොදුන් පරිදිම අනාගත ජීවිතයේද විපාක නොදෙන්නේ නම් අහෝසි කර්ම බවට පත්වන බවයි.
අභිධර්මයට අනුව පැහැදිලි වන්නේ සත්ත්වයාගේ ලෞකික බලාපොරොත්තු වලට අනුව පවක් අහෝසිකර්මයක් බවට පත්කරගත නොහැකි බවයි. වඩාත් සරල ලෙස කිවහොත් කිසිම කෙනෙකුට තම අයෙකු ගේ පව් සමාකිරිමට හෝ අහෝසිකිරීමට පුළුවන්කමක් නැත. බුදුරජාණන් වහන්සේ වදාළේ. “සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමංඥේ විසෝධයේ”
“පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම තමා මත රඳා පවතී. කාටවත් තව කෙනෙකු පිරිසුදු කළ නොහැකිය”
මෙම ගැඹුරු යථාර්ථය අභිධර්මයට අනුව විස්තර කළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියෝ මෙසේ විභාග කළහ.
“කුශලවූ හෝ අකුශල වු හෝ ක්‍රියාවක් සිදුකිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇති වන්නාවූ එක් එක්චිත්තා විථියක ජවන නම් බලවත් සිත් සත බැගින් ඇතිවේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද කර්මය වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්ය වේද්‍යකර්ම නම් වේ. එක් ජාතියක දි එක් පුද්ගලයෙකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්තවීථී බොහෝ ගණනක් ඇතිවේ. ඒවායේ ඇති ඒ ජාතියේදී විපාක නොදුන් ප්‍රථම ජවන චේතනා සියල්ලම මරණින් පසු අහෝසිකර්ම භාවයට පැමිණේ. එක්ජාතියකදී ඇතිවන්නා වූ ඒ වීථිවල ඇති වු සප්තම ජවන චේතනාවලින් දෙවන ජාතියේදී විපාක දීමට අවකාශය නොලබනා සියල්ලම ද අහෝසි කර්මවේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසිකර්ම නොවෙති. කල්ප ලක්ෂ ගණනක් ගතවූවාට පසුව වුද අවකාශයක් පැමිණියහොත් ඒවා විපාක දෙන්නේය” බෞද්ධයාගේ අත්පොත – 188 පි)
දෘෂ්ට ධර්මවේද්‍ය හෙවත් දිට්ඨධම්මවේදනීය පාපකර්ම පළමුවන ජවන චිත්තයක්ම වන නිසා මේ ආත්මයේදීම විපාක දෙන නමුත් එසේ විපාක දීමට ඉඩක් නොලැබුණහොත් අහෝසි භාවයට පත්වේ. උපපද්‍යවේද්‍ය හෙවත් උපපජ්ජවේදනීය පාපකර්මද සත්වන හෙවත් අන්තිම ජවනය වන බැවින් දෙවන ආත්මයේදීම විපාක දිය යුතු වුවත් එසේ විපාක නුදුනහොත් ඒවා ද අහෝසිතාවයට පත්වේ.
මේ අනුව අභිධර්මයට අනුකූලව විමසන විට පෙනී යනුයේ මෙලොවදිම පල දෙනු දිට්ඨධම්මවේදනීය පාපකර්ම හා උපපජ්ජවේදනීය පාපකර්ම හෙවත් දෙවන ආත්මයේදි අනිවාර්යයෙන්ම විපාක දෙන පාප කර්මද එලෙස විපාක දුන්නේ නැත්නම් අහෝසි කර්ම බවට පත්වන බවය.
කරන ලද පව්කම් දුරුකිරීම හෝ දුරු වීමට හේතුවන කරුණු පිළිබඳ අපූරු විස්තරයක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයෙහි ලොණඵල වග්ගයේ පැහැදිලි කළ සේක. එහිදී උන්වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉධභික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමේනං නිරයං උපනේති. ඉධ පන භික්ඛවේ ඒකම්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඥේව අප්පමත්තකං පාපං කම්මං කතං දිට්ඨධම්මවේදනීය හෝති, නානුම්පිඛායති. කිං බහුදේව“ මෙහි තේරුම් නම්
“මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයන් අල්පමාත්‍ර වු පාපක්‍රියාවක් කළත් ඒ නිසා ඔවුන් නිරයට එළවයි. මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයන් ඒ බඳුම අල්පමාත්‍ර වු පාපක්‍රියාවක් කළත් එය මෙලොවදීම පළදෙන කර්මයක් බවට පත්වෙයි. අංශුමාත්‍රයක් වත් පරලොව විපාක බවට පත් නොවෙයි. බොහෝ සේ විපාක දෙතැයි කියනුම කවදරේද?
මෙයින් පැහැදිලි වන්නේ එකම පව්කම කළ දෙදෙනෙකු දෙවිදිහකට විපාක ලබන බවයි. ඒ කුමන හේතුවක් නිසාද? යන්න උන්වහන්සේ ඉන්පසුව මෙසේ විස්තර කළ සේක. “මහණෙනි මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් කායභාවනාව, ශීලභාවනාව, චිත්තභාවනාව හා ප්‍රඥාභාවනාව නැතිව කටයුතු කරන අතර අල්පගුණ ඇති, ඒ නිසාම කුඩා ආත්ම ඇති හෙයින් කුඩා පව්කමකිනුත් දුකසේ කටයුතු කරන අය වෙති. මහණෙනි, මෙබඳු පුද්ගලයෙකු ඉතා කුඩා පව්කමක් කළත් එයින් නිරයට යයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් කායභාවනාව, ශීලභාවනාව,චිත්තභාවනාව හා ප්‍රඥා භාවනාව මැනවින් වැඩීමෙන් උසස් ගුණ ඇති ඒ නිසාම මහාත්ම ඇති බැවින් ඉතා කුඩා පව්කමක් කළත් දුකසේ කටයුතු නොකරති. මහණෙනි, මෙබඳු පුද්ගලයන් ඉතා කුඩා පව්කමක් කළත් මෙලොවදි පමණක් පලදෙයි. අංශුමාත්‍රයක්වත් පරලොවදි පල නොදෙයි. බොහෝ සේ විපාක දෙතැයි කියනුම කවරේද?
මින් අනතුරුව බුදුරදුන් උපමාවක අනුසාරයෙන් ඉහත සඳහන් කරන ස්වභාවය භික්ෂූන් වහන්සේලාට මෙසේ විස්තර කරන ලදී. “මහණෙනි, යම් පුරෂයෙක් ලුණුකැටයක් කුඩා වතුර කෝප්පයකට දැමුවොත් මහණෙනි, ඔබලා මොනවද සිතන්නේ, ඒ කෝප්පයේ ඒ වතුර ටික මේ ලුණු කැටය නිසා ලුණුරස වෙනවාද?
එසේය ස්වාමීනි,
ඊට හේතුව කුමක්ද?
ස්වාමීනි, වතුර කෝප්පයේ වතුර ටිකක් නිසා ලුණු රස වෙයි.
මහණෙනි, යම් පුරුෂයෙක් ලුණු කැටයක් ගලන නදියෙහි දමන්නේ නම් මහණෙනි, ඔබලා මොනවාද සිතන්නේ? ඒ ගැන නදිය මේ ලුණු කැටය නිසා ලුණුරස වෙනවාද? නැත ස්වාමීනි,
ඊට හේතුව කුමක්ද?
ස්වාමීනි, ඒ ගංගා නදියේ මහජල කඳක් තිබේ. ඒ ජලය මේ ලුණුූ කැටයෙන් ලුණු රස නොවන්නේමය. (අංගුත්තර නිකාය, තික, නිපාතය, ලෝණඵල වග්ගය) මේ විස්තරයට අනුව පැහැදිලි වන්නේ උපන්දා සිට කරපු පව් දුරු කරගත හැකි සත්‍ය ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ බවයි. එම ක්‍රමවේදය නම්
1. කාය භාවනාව හෙවත් කය සංවරකර ගැනීම
2. ශීල භාවනාව හෙවත් ශීල සමාදානය
3.චිත්ත භාවනාව හෙවත් සමථ භාවනාව වැඩීම
4. ප්‍රඥා භාවනාව හෙවත් විදර්ශනා භාවනාව වැඩීම
ඉහත සඳහන් කරුණු 4 මැනවින් දියුණු කරගත් පුද්ගලයා මෙම ආත්ම භාවයේදීම තමන් උපන්දා සිට කරපු පව් දුරලා ඉතා විශාල සැනසීමකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙන් පෙනීයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්මයේ හැසිරෙන්නෝ දීර්ඝායුෂ ලබති

මාස්පොත ඓතිහාසික 
බෝධිපූජා විහාරස්ථානවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති 
ගලගෙදර රතනවංස හිමි

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලයේදී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,මස්,ලේ අඹුදරුවන් දන් දෙමින් දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සම්පූර්ණ කරමින් සොයාගත් උතුම්ම වස්තුව වන්නේ ධර්මයයි. එය ලොව ඇති පරම සත්‍යයයි.
කිසිවෙකුගේ මඟ පෙන්වීමක් කළ නොමැතිව ස්වෝත්සාහයෙන්ම සොයා ගත් ඒ උතුම් දහම අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයටම එකසේ සාධාරණ, සමාන, පොදු වූවකි. එම උතුම් දහම යමෙකුට සරණ යෑමට හැකිනම්, අනුගමනය කිරීමට හැකිනම් ඔවුනට ඒකාන්තයෙන්ම දීර්ඝායුෂ ලැබෙනු ඇත. එයට හේතුව වන්නේ “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” යන පාඨයට අනුව ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින්ම රකිනු ඇතයන සදාතනික ධර්මතාවයයි.
බුදුන් දෙසු දහම කුමක්ද ? යන්න පිළිබඳ විමසීමේදී එය විවිධ පැති කීපයක් ඔස්සේ හඹා ගොස් ඇති බව පැහැදිලි වේ. දේශනයක් තුළ වුවද යථාර්ථය කැටිකොට දේශනා කර තිබීම ධර්මයේ ඇති සුවිශේෂත්වයයි. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ නවලෝකෝත්තර ධර්මයයි. එනම්
සෝවාන් මාර්ගය – සෝවාන් ඵලය
සකෘදාගාමී මාර්ගය – සකෘදාගාමි ඵලය
අනාගාමි මාර්ගය – අනාගාමි ඵලය
අර්හත් මාර්ගය – අර්හත් ඵලය
හා නිර්වාණය යන්නයි.
ආර්ය මාර්ග හා ඵල පිළිවෙළින් පිරීම නිමිති කොටගෙන නිර්වාණය ක්ෂාත් ක්ෂාත් කර ගැනීමට පුළුවන. පළමු අංගය වු සෝවාන් මාර්ගයට පිවිසීමෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා , සීලබ්බත පරාමාස දුරුකර ගැනීමට පුළුවන. එතුලින් නිර්වාණයට යන මාර්ගයට පිවිසුනා වන්නේය. සෝවාන් වූ කෙනෙකු නැවත කිසි කලෙක අපා ගත නොවේ.
උපදින්නේ ද මතු ආත්ම භාව හතක් පමණි. ඔවුනට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලැබී බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කිරීමට ද සිදුවේ. එය වර්තමාන ආත්මය උදෙසා බොහෝ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. ඒ අතර ප්‍රධානම කාරණයක් වන්නේ දීර්ඝායුෂ ලැබීමයි. ධර්මයේ තිබෙන එක් ආනිශංසයක් නම් සන්දිට්ඨික ගුණයයි. එනම් වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වීම නොහොත් ප්‍රතිඵල ගෙන දීමයි. මිනිසෙකුට ජීවිතයක අවශ්‍යම වන පංච විධ සම්පත් අතර ප්‍රධාන අංගය වන්නේ අයුෂයයි. ආයුෂය ලබා ගැනීමට අප ධර්මය පිළිපැදිය යුතුය. ඒ සම්බන්ධව ජාතක පොතෙහි සඳහන් මහා ධර්මපාල ජාතක කතාව ඉතා වැදගත් වනු ඇත. එහි ඇතුළත් වන්නේ, ධර්මයේ හැසිරීමේ විපාක පිළිබඳවයි. එනම්,
යටගිය දවස බරණැස් රජු දවස අප මහා බෝසතාණෝ ධර්මපාල නම් බමුණෙකුට දාව ධර්මපාල නමින් ඉපිද, පන්සිල්, අටසිල් රකින දැහැමි පවුලක විසීය. ධර්මපාල කුමාරයා දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ශිල්ප උගන්නා කාලයේදී ආචාර්යවරයාගේ බාල පුතු මිය ගියේය. අන් සියලු දෙනාම හඬා වැළපෙද්දී ධර්මපාල කුමාරයා නොහඬා සිටියේය. ඒ ඇයිදැයි දිසාපාමොක් ආචාර්යවරයා ඇසූ කළ ධර්මපාල කුමාරයා පිළිතුරු දෙන්නේ “බාල අවස්ථාවේ කිසිවෙක් මිය යන බවක් නොදනිමියි” යනුවෙනි. ධර්මපාල කුමාරයාගේ පිළිතුර සත්‍යදැයි විමසා බැලීම සඳහා දිසාපාමොක් ආචාර්යවරයා ඔහුගේ ගමට ගොස් ධර්පාල කුමාරයාගේ පියාට එළුවන්ගේ ඇට කැබලි කිහිපයක්දී ඔබේ පුතා හදිසි රෝගයකින් මිය යන ලදී. යනුවෙන් පැවසීය. ධර්මපාල කුමරුගේ පියා හයියෙන් සිනාසී අපේ පවුලේ කිසිවෙකු අඩු වයසින් නොමියන බව පවසා මෙම ඇටසැකිලි ගවයෙකුගේ හෝ එළුවෙකුගේ විය යුතුයැයි පැවසීය. එයට හේතුව කුමක්දැයි දිසාපාමොක් ආචාර්යවරයා ඇසූ කල ධර්මපාල කුමරුගේ පියා පිළිතුරු දෙන්නේ දාන, සීල,භාවනාවල යෙදී දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන නිසා බවයි. එයින් සතුටට පත් දිසාපාමොක් ආචාර්යවරයා ඔබගේ පුතා මළේ නැත. ඔබ විමසනු පිණිස මෙසේ අසන ලදැයි උත්තර දුන්නේය.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි

විශාල ඡත්‍රයක් (කුඩයක් වැස්සෙන්) රැකවරණය ලබා දෙන්නේ යම්සේද ? මාගේ ධර්මපාල කුමරු ධර්මය විසින් රකිනු ලබයි. මේ අනික්කුගේ ඇටකටුය. කුමරු සුවපත් වේවා.
ඉහත කතා පුවතින් පැහැදිලි වන්නේ ධර්මයේ හැසිරීම දීර්ඝායුෂ ලැබීමට හේතුවක් වන බවයි. ධර්මයෙහි හැසිරෙන්නෝ අඩු ආයුසෙන් නොමියති. මඟමානවක කතාපුවත තුළින් වුවද මේ සඳහා කරුණුූ ගත හැකිය. මග මානවක කුමරුගේ සිල්වත් ගුනවත් බාවයත් ධර්මයේ හැසිරීමත් හේතුවෙන් තමා මරන්නට එවන ලද ඇතා පවා ආපසු හැරී ගිය බව සඳහන් වේ. තවත් ආයුවඩ්ඩන කුමරුට පිරිත් අසන්නට සැලැස්වීමෙන් දීර්ඝායුෂ ලැබුණ බවද ඉතා ප්‍රකට කතා පුවතක් වේ. ධර්මය තුළ ඇති ශක්තිය බලය වචනවලට හසු කිරීමට නොහැකි තරම්ය. නවාංග ශාස්තෘ ශාසනයට පිවිසීමේදී සම්‍යක් ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජීවිතය ධාර්මික වනු ඇත. එවිට ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්ෂා වනු නියතය.
වර්තමානය තුළ පරමායුෂ හැට හැත්තෑවකට සීමා වී ඇත්තේ ඇතැම්විට මිනිසුන් ධාර්මික ජීවිත ගත නොකරණ බැවින් විය හැකිය. නමට බෞද්ධ කීවද, උදේ සවස බණ ඇසුවද ප්‍රායෝගික ජීවිතය තුළ ධාර්මික බවක් නොමැති වීම ජීවන ගැටලු රාශියකට හේතු වී ඇත. සිත, කය, වචනය යන තිදොරින් කළ යුතු වන්නේ දස කුසල හා දස පුණ්‍ය ක්‍රියාය. ඒවා අද කොතෙක් දුරට නිවැරදිව පිරිසුදුව කරන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතුය .
යුතුකම්, වගකීම් සමාජ චාරිත්‍ර, වාරිත්‍ර, ප්‍රතිපදා, ප්‍රතිපත්ති, ගුණධර්ම වල් වැදී ඇත. භෞතික ලෝකය තුළ දුර නොපෙනෙන කණා මැදිරියන්සේ ජීවිත ගත කරති. මිරිඟුව පසු පස හඹා යන මුවපෝතකයන්සේ කාම රැල්ල පසු පස දුවති. රාගයෙන් රත් වී ද්වේෂයෙන් දූෂිත වී , මෝහයෙන් මුලාවී රොබෝවරුන් මෙන් හිතක් පපුවක් නොමැති අය සේ මිනිසුන් ජීවත්වීම ඉතා සෝචනීය තත්ත්වයකි.
ආලවක සූත්‍රය තුළ ආලවක යක්ෂයා බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන්නේ “කිංසු සුචිණ්ණෝ සුබ මාවහාති” යනුවෙනි. එයට බුදුහිමි උත්තර දෙන්නේ ධම්මෝ සුචිණ්ණෝ සුබමාවහාති යනුවෙනි. එනම් මනා කොට පුරුදු කරන ලද හෙවත් රැස් කරන ලද කවර නම් ධර්මයක් සැප ගෙනදේද මනාකොට, පුරුදු කරන ලද කුසල ධර්මය සැප ගෙන දේ.
“ධම්මං විනා නත්ථි පිතාච මාතා” යනුවෙන් ධම්ම පදය තුළ සඳහන් වන්නේ ධර්මයෙන් ලැබෙන පිහිට මවෙකුට හෝ පියෙකුටවත් කළ නොහැකි බවයි. “සද්ධම්මෝ පරම දුල්ලභෝ” ධර්මය පරම දුර්ලභ කාරණයක් බවත් සඳහන් වේ. පරාභව සූත්‍රය තුළ ධම්මකාමෝ භවංහෝති ධම්මදෙස්සි පරාභවෝ” යනුවෙන් ධර්මයට නොකැමැති වීම පිරිහීමට හේතුවක් බවයි. මේ ආදි වශයෙන් විවිධ තැන්වල සඳහන් කර ඇති කරුණු තුළින් පැහැදිලි වන්නේ ධර්මයට පිටුපෑම පිරිහීමට හේතුවක් බවත් ධර්මයෙහි හැසිරීම ආයුෂ ඇතුළු විවිධ සම්පත් ලැබීමට කාරණයක් බවත්ය.
දුර්ලභව ලැබු මිනිසත් බව තුළ ඇති වටිනාකම දැන හඳුනා ගෙන ඉන් ප්‍රයෝජනය ලබා ගත යුතුය. තමාගේ පිහිට තමා විසින්ම හදා ගත යුතුය. එය වෙනකෙකු නොහදනු ඇත. තමා තමාට ප්‍රදීපයක් කොට වැසිය යුතුය. ඒ සඳහා ධර්මය පහුරක් කර ධර්මයෙන් ලැබෙන අනුසස් ලැබීමටත් උත්සුක විය යුතුය. ධර්මානුකූල ජීවිතයකට පිවිසීමත් එතුළින් ධර්මයෙන් ලැබෙන අනුසස් ලැබීමටත්, උත්සුක විය යුතුය. “ධම්මං චරේ සුචරිතං – නතං දුච්චරිතං චරේ” ධර්මයේ හැසිරීමත් අධර්මයේ නොහැසිරීමත් කළ යුතුය. එතුළින් සත්වයාට ලෞකික – ලෝකෝත්තර දෙඅංශයම ජයගත හැකි බව සිතට ගත යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධ දේශිත ආනාපාසතිය පිළිබඳ විමසුමක්‌

කිවුලදෙණියේ විජිතනන්ද හිමි,
නීග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය, මැටිකුඹුර, පොල්ගහවෙල

මේ ජීවිතයේදී ලබන ආස්‌වාද හතරක්‌ පිළිබඳ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේ විදියට විස්‌තර වේ.
'සාඛෝ ඝෝ කාලාමඅරිය සාවකෝ ඒවං අවේර චිත්තෝ ඒවං අබසාපඡ්ජ චිත්තෝ, ඒවං අසංතිලිට්‌ඨ චිත්තෝ, ඒවං විසුද්ධි චිත්තෝ තස්‌ස දිට්‌ඨෙව ධම්මේ චත්තාරෝ අස්‌සාසා අධිගතා හොන්ති'
කාලාමයෙනි, ඒ අනාර්ය ශ්‍රාවකයා මෙසේ අවෛරී වූත්, අව්‍යාපාද වූත්, නොකිලිටිවුත්, පිරිසිදු වූ සිත් ඇතියේ මේ ජීවිතය තුළම ආස්‌වාස හතරක්‌ ලබයි. ඒ හතර නම්,
1. පරලොවක්‌ වේ නම්, හොඳ නරක කර්මයන්ගේ විපාක තිබේ නම් මට ඒකාන්තයෙන් සෝභණ ගති ඇති ස්‌වර්ගයෙහි පෙළඹෙයි යන මේ පළමුවැනි ආස්‌වාසය ලබයි. (අයමස්‌ස පඨමෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
2. පරලොවක්‌ නොවේ නම් මේ පිං පව්වල විපාක නොවේ නම් මම මොලොවදී අවෛරී වූ අව්‍යාපාද වූ සැප ඇති අත්බැවක්‌ පරිහරණය කරමි යන දෙවැනි ආස්‌වාය ලබයි. (අයමස්‌ස දුතියෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
3. කරන්නාට පව් සිදුවේද මම කිසිවකුට පවක්‌ නොකරමි. පව්කම් නොකරන මම කුමන දුකක්‌ විඳින්නේදැයි තුන්වන ආස්‌වාදය ලබයි. (අයමස්‌ස තතියෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
4. කරන්නාට පව් සිදු නොවේද,මම දෙපසින්ම පිරිසිදු අත්බැවක්‌ දකිමියි කියා ඔහු සිව්වන ආස්‌වාසය ලබයි. (අයමස්‌ස චතුත්ථෝ අස්‌සාසෝ අධිගතෝ හෝති).
මේ කාලාම සූත්‍රයේ විග්‍රහයට අනුවත් 'අස්‌සාස්‌ කියන වචනය විවරණය කර තියෙන්නේ ධර්ම මාර්ගයෙන් තමන් විසින් ලබන සැනසිලිදායක ප්‍රතිපල ගැන.
අංගුත්තර නිකායේ ඡත්ත නිපාතයේ නාග සූත්‍රය තුළ ඵල සමාපත්ති සුවය 'අස්‌සාස්‌ විදියට දක්‌වා තියෙනවා.
- යෝ ජධායී අස්‌සාස රතෝ - අඡ්ජධත්තං සුසමාහිතෝ ගච්ඡං සමාහිතෝ නාගෝ - ඨිතෝ නාතෝ සමාහිතෝ ධ්‍යාන කරණ ඒ බුද්ධ නාගයන් (තථාගතයන් වහන්සේ) ඵල සමාපත්තියෙන් යුක්‌ත ආස්‌වාසයෙහි යෙදුනේ ආධ්‍යාත්මයෙහි මනාකොට සිත සමාහිතය. බුද්ධ නාගයන් වහන්සේ වඩින්නේද සිටියේද සමාහිතය.
මේ 'නාග' කියන වචනය යොදා තියෙන්නේ බුදුන් වහන්සේට. නායකත්වයට අග්‍රම උතුමා නාග (නා+අග්ගුනාග) කියනවා. 'අහං නා ගෝව සංගමේ...' මම යුද බිමට එළඹි හස්‌ති රාජයෙක්‌ වගේ කියල ධම්ම පද ගාථාවක තියෙනවා. එතන නාග කියන්නේ ඇතාට. නයාටත් නාග කියල හඳුන්වනවා.
ආස්‌වාස නැති බ්‍රහ්මචරිය වාස හතරක්‌ පිළිබඳ සන්දක පරිබ්‍රාජකයාට වදාළ දේශනාවක්‌ මඡ්Cධිම නිකායේ සන්දක සූත්‍රයේ සඳහන් වෙනවා.
'චත්තාරෝ මේ සන්දක තේන භගවතා ජානතා පස්‌සතා, අරහතා, සම්මා සම්බුද්ධෙන අබ්‍රහ්මචරියවාසා අක්‌ඛාතා, චත්තාරිච අනස්‌සාසිකානි (න+අස්‌සාසිකානි) බ්‍රහ්මචරියානි අක්‌ඛාතානි.
සන්දකයෙනි නුවණින් දන්නා වූද, දක්‌නා වූද, තථාගතයන් වහන්සේ අබ්‍රහ්මචරියා වාස හතරක්‌ද, ආස්‌වාස රහිත බ්‍රහ්මචරියා වාස හතරක්‌ද වදාළ සේක. මේ පිළිබඳ වැඩි විස්‌තර සූත්‍රයෙන් බලාගත හැකි. මෙතනදී අවශ්‍ය වන්නේ 'අස්‌සාය' කියන වචනය. පෙළ දහමේ තෝරා තියෙන ආකාරය මතුකර ගැනීම.
බුදුරජාණන් වහන්සේ අඩමසක්‌, මසක්‌, තෙමසක්‌ ආදී වශයෙන් විවේකී සුවයෙන් හිටපු අවස්‌ථාවල තථාගතයන් වහන්සේ මේ කාලය තුළ කුමන විහරණයකින් යුතුව වාසය කළේද කියල යමෙක්‌ ඇහුවොත් ආනාපානසති විහරණයෙන් සිටි බවත්, එම ආනාපානයට 'අරිය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර කියල හඳුන්වන බවත්, බුදුහිමියන් භික්‌ෂුන්ට පැහැදිලි කළා. (සංයුත්ත නිකාය ආනාපානසති සංයුත්තය)
මේ අනුව බුදුරජාණන් වහන්සේත් ආනාපානසති විහරණයෙන් වාසය කර තියෙන බව පැහැදිලි වෙනවා. ආනාපාන කියන්නෙ හුස්‌ම රැල්ලට සිහිය පිහිටුවා කරන භාවනාවක්‌ නම් කළයුතු සියල්ල නිමා කළ තථාගතයන් වහන්සේ කළ ආනාපානය කුමක්‌ද? සර්වඥයන් වහන්සේට හුස්‌මවලට සිහිය පිහිටුවාගෙන කළ භාවනාව කුමක්‌ද? 
තථාගතයන් වහන්සේ වාසය කළ ආනාපානයට අරිය විහාරය, බ්‍රහ්ම විහාරය, තථාගත විහාරය කියා හඳුන්වා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වාසය කරන අර්ථයෙනුයි මෙහි ආනාපානය කියල හඳුන්වා තියෙන්නෙ. මෙතනදී මතුවන වැදගත් කාරණය තමයි එම ආනාපානයට කියල ඉහතින් සඳහන් කාරණය. ලෝකයේ තවත් ආනාපාන භාවනාවක්‌ තිබිච්ච හින්දයි 'එම ආනාපානය' කියල ලෝකයේ තිබිච්ච ආනාපානයෙන් වෙනස්‌ කරල පෙන්වන්න තථාගතයන් වහන්සේ මේ විදිහට වදාරලා තියෙන්නේ. අස්‌සාය තෝරලා තියෙන ආකාරය ඒ පරිවර්තකයන් දැකල නැහැ. එහෙම දැක්‌ක නම් මේ වැරැදි අර්ථකථන මේ විදිහට යොදා පරිවර්තනය කරන්නෙ නැහැ. මේ සිදුවී ඇති වැරැදි අර්ථකථන නිසා මුළු මහත් බෞද්ධ සමාජයක්‌ම ධර්මය කියල එසේ නොවන දේවල් බුද්ධ දේශනා හැටියට පිළිඅරගෙන මංමුළාවක වැටිල ඉන්නවා.
අද මේ බුද්ධ ශාසනය මගඵලලාභීන්ගෙන් මහ රහතුන් වහන්සේලාගෙන් හිස්‌වෙලා තියෙන්නෙ මොකද කියල හිතන්නවත් පැවිදි පිරිසවවත් උනන්දුවන්නේ නැහැ. මොකද ඒ අයත් සබ්බ දුක්‌ඛ නිස්‌සරණ කියල පැවිදිවෙලා ලාභ කීර්ති ප්‍රසංසාවලට ගිජුවෙලා අනාර්ය මාර්ගය වඩන පැත්ත ගිහි පිංවතුන්ටත් නොදෙවැනිව අත්හැරල මහණකම කියල අමුතුම ගමනක යන පිරිසක්‌ බවට පත්වෙලා. ඉතින් කෙසේ නම් ලොව මගඵලලාභීන් බිහිවෙන්නද? 
සංසාරය කියන්නෙ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. 'අනමතග්ගෝ (න අමත අග්ගෝ) අග අමත හෙවත් නිවන නෑ. මෙයින් කියන්නෙ අවිද්‍යාවෙන් පටන්ගන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ අග තියෙන්නේ සෝක, පරිදේව, දුක්‌ඛ, දොaමනස්‌ස, උපායාසයන් බව අග 'න-අමත' නින නෑ කියල කිව්වෙ මේකට. ඒකට හේතුව තමයි පුබ්බා කෝටි න පඤ්ඤායති. පූර්වය හෙවත් පටිච්ච සමුප්පාදයේ ආරම්භය ප්‍රඥවෙන් ආරම්භ නොවන නිසා. මේක තවත් පැහැදිලි කරනවා නම් පටිච්ච සමුප්පාදය අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටන්ගන්න නිසා අවසානයේ දුක්‌ඛස්‌ඛන්ධය පහළ වෙනවා. අග නිනව නැත්තෙ ආරම්භය තුළ ප්‍රඥව නැති නිසා (න පච්චායති) සංසාරය අනවරාග්‍රයි. එහි මුලක්‌ නෑ කියල අනමතග්ග දේශනයට දැන් අර්ථ දක්‌වා තියෙනවා. මුලක්‌ නැති දෙයකට අගක්‌ ද තියෙන්න විදිහක්‌ නෑ. ආරම්භයක්‌ අවසානයක්‌ නැත්තේ අසංකත ධර්මවල. සංසාර ගමනේ මුලත් නැතිනම් නිවන් දැක කිසි කෙනකුට සසර ගමන කෙළවර කරන්න ලැබෙන්නෙ නෑ. මොකද අසංඛතයක්‌ නැති කළ නොහැකි නිසා. වැරැදි අර්ථකථන නිසා ධර්මයේ පරස්‌පර මතුවන හැටි මෙයින්ද හොඳ හැටි පැහැදිළි වෙනවා.
සංසාර ගමනේ මුලක්‌ 'බුදුවරු න පඤ්ඤායති' නොපනවයි. එයට හේතුව තමා එය සසර දුක්‌ නිමාකරන්න උපකාරයක්‌ නොවන නිසා. අනික නම් එවැනි අති සූක්‍ෂම දෙයක්‌ වටහාගන්න සත්වයාට දත්තයක්‌ නොමැතිවීම.
සත්පුරිස සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය කරල අවිද්‍යා, තෘෂ්ණාවෙන් සිත මුදා ගැනීම සඳහා කුසලය අස්‌සාස කරමින් අකුසලය පස්‌සාස කරන්න ඕනෑ.තථාගත ධර්මය තුළ ආනාපානසතිය කියන්නෙ මේ වැඩපිළිවෙළට මිස හුස්‌ම නහය අග හෝ තොලේ ස්‌පර්ශ වෙන එකට සිහිය පිහිටුවීම නොවේ. හුස්‌ම අරමුණු කළාට ලෝකෝත්තර කුසලය වැඩීමක්‌ හෝ ප්‍රඥවේ දියුණුවක්‌ ලැබෙන්නේ නෑ.
ආස්‌වාස ප්‍රශ්වාස කියන වායුව අයිතිවන්නේ සතර මහා ධාතුවල රූප කොටසට. කුසලය අයිතිවන්නෙ සංඛාර කියන නාම ධර්මවලට. රූප ධර්ම ඇසුරු කරමින් එයට සිත පිහිටුවාගන්නට ලෝකෝත්තර කුසලයක්‌ වැඩෙන්නේ නෑ. කුසලසංඛාර කියන නාම ධර්මයන් වැඩීමෙන් තමයි අනාර්ය මාර්ගය දියුණුවෙන්නෙ. ඒ නිසා වායුම නමැති රූප ධර්¨මයකට සිත පිහිටුවීම නිවන්මඟ නොවන බව වටහාගන්න ඕන.
ආනාපානසතිය විස්‌තර කරන දේශනාවල 'නාසිකග්ගේ වා මුඛ නිමිත්තේවා' කියල විග්‍රහයක්‌ තියෙනවා. මෙතනදී පිටින් පෙනෙන ලෞකික අදහසින් අර්ථ දක්‌වා තියෙන්නෙ නාසය අග හෝ මුඛයේ තොල අග ආස්‌වාස ප්‍රශ්වාස ස්‌පර්ශ වන ආකාරය බලන්න කියල. මේ වැරැදි අර්ථකථනය නිසා තමයි බුද්ධ දේශිත ආනාපානසතිය කියල නාසයේ අග, තොල අග හුස්‌ම ස්‌පර්ශ වන ආකාරය බලමින් භාවනා කරන්න පෙළඹී තියෙන්නෙ.
මේ වචන නිරුත්ති අනුව විග්‍රහ කරද්දි මේ විදිහට වටහාගන්න ඕන. 'නාසිකග්ගේ' කියන වචනය 'න+ආසිතූඅග්ග කියල පද බෙදෙනවා. ලෝකය ප්‍රිය මධුර ස්‌වභාවයෙන් ඇසුරු කිරීම අග්‍රකර නොගෙන 'මුඛ නිමිත්තේවා' මුඛ්‍ය හෙවත් ප්‍රධාන නිමිත්ත විදිහට නිවන අග්‍ර කරගෙන කුසලල මාර්ගය වැඩීම තමයි මෙයින් කියවෙන්නෙ.
බෞද්ධයාට නිවන හැර වෙනත් අග්‍ර කළ යුතු කිසිවක්‌ නෑ. ලෝකයේ නිසරු බව දකිමින් පස්‌කම් සැප අලුයම හෙලූ කෙළ පිඩක්‌ ලෙස සලකා අප්‍රමාදීව මේ ඝෝර භයංකර අප්‍රමාණ දුක්‌වලින් පෙළෙන සසර ගමන නිමා කරගන්න කුසලය ආස්‌සාස කරමින්, අකුසලය පස්‌සාස කරමින් අරි අටඟි මඟ වැඩිය යුතුයි. ආනාපානසතිය යනු එයයි. සියලු මහ බෝසත්වරු සම්බුද්ධත්වයට පත්වෙන්නේ ආනාපානසති වැඩීමෙන් බව ධර්මයේ සඳහන් වේ. මෙයින් කියන්නේ හුස්‌ම රැල්ලට සිහිය පිහිටුවා බුදුබව ලබාගන්නා කියන කරුණ නොව, මීට පෙරද සඳහන් කළ ස්‌පර්ශ ආයතන හයේ ආස්‌වාද ආදීනව නිස්‌සරණ තතු සේ දැක ලෝකෝත්තර කුසලය වඩා සත්‍යය අවබෝධ කළා කියන එක.
ආනාපානසති නම් වූ මේ එකම ධර්මය බහුල වශයෙන් වැඩීමෙන් සතර සතිපට්‌ඨානය, සත්ත බෝජCධංග වැඩී විද්‍යා විමුක්‌තිය පූර්ණ වන බව සංයුත්ත නිකායේ ආනන්ද සූත්‍රයේ විස්‌තර වේ. ඒ වගේම ආනාපානසතිය නැවත නැවත බහුල වශයෙන් වැඩීමෙන් සංයෝජන ප්‍රහීනවීම, අනුශය කෙළෙස්‌ නැසීම, සියලු ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස පවතින බව සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තයේ සූත්‍ර දේශනාවල සඳහන් වේ. ඒ නිසා බුද්ධ දේශිත ආනාපානසතිය මොකක්‌ද කියල වටහාගෙන විමුක්‌තිය සාක්‌ෂාත් කරගන්න උත්සාහ විය යුතුයි.

ආනාපානසතී යස්‌ස - පරිපුණ්‌ණා සුභාවිතා

අනුපුබ්බා පරිචිතා - යථා බුද්ෙන දේශිතා

යෝ ඉමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා

යමෙක්‌ තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි මේ ආනාපානසතිය පුරුදු කරන ලද්දේද ඔහු වළා ගැබෙන් වෙන්වූ පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන්නේය. එනම් කෙලෙස්‌ වලාවෙන් කෙළෙස්‌ ඇඳුරෙන් මිදී ප්‍රඥාලෝකය ඇති කරගන්නේය.
මේ දේශනාව අනුව බුදුන් දේශනා කර තියෙන විදියටම (යථා බුද්ධෙන දේශිතා) වැඩුවොත් මෙසේ විමුක්‌තිය ලැබෙනා හැර හුස්‌ම ඇදීමෙන් නිවීම කිසිදා සිදු නොවන බව ස්‌ථිරය.
මෙම ලිපිය ගිහි පැවිදි බොහෝ දෙනකුට වැරැදි යෑයි හැඟේ නම් පෙළ දහමෙන් කරුණු පෙන්වා මෙම අදහස අනාථ කරන ලෙස අභියෝගයක්‌ද කරමි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනාගාමී උතුමා හා සමාජ සම්මතය

අනාගාමී මාර්ගඵල අවබෝධය ලබත්ම පුද්ගලයෙකු කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම මුළුමණින්ම ප්‍රහාණය කර දමනු ලබන බව ධර්මයෙහි සඳහන්ය. එබඳු පුද්ගලයෙකුගේ චිත්ත සන්තානය කෙබඳු විය හැකිද? සෝවාන් මාර්ගඵල ලාභයේදී පුද්ගලයෙකු ප්‍රහාණය කරන සක්‌කාය දිට්‌ඨී, සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම දෘෂ්ටි ගණයට අයත්ය. එබැවින් ඒවා ප්‍රහාණය කිරීම දෘෂ්ටි ප්‍රතිලාභයට පැමිණීමක්‌ ලෙස ධම්මසංගණියෙහි දක්‌වා ඇත. මූලික ආර්යභාවයට පත්වන පුද්ගලයාහට ඇත්තේ දර්ශන සම්පත්තිය හෙවත් දෘෂ්ටි ප්‍රතිලාභය පමණකි. එබඳු ආර්යශ්‍රාවකයෙකු තවම කාමරාග හා පටිඝ යන සංයෝජන ප්‍රහාණය කර නොමැති නිසා ඒවායෙහි බලපෑමට හසුවීමට යටත්ය. සකෘදාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ සංයෝජනවල තුනීවීමක්‌ හෙවත් අඩු වීමක්‌ සිදු වන බව දක්‌වා ඇතත් මුළුමනින්ම ප්‍රහාණය නොවන බව පෙන්වා දී තිබේ. ඒ නිසාම එබඳු උතුමෙකුගේ සිත තුළ එබඳු මානසික ආවේග යම් පමණකට බලපවත්වන බව මේ අනුව පැහැදිලිය. 
නමුදු විශාලම ගැටලුව ඇත්තේ ඊළඟ අවස්‌ථාව වන අනාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ යන සංයෝජන මුළුමණින්ම ප්‍රහාණය වීම ඒ උතුමාහට දැනෙන ආකාරය සාමාන්‍ය සමාජය කිනම් ලෙසකට වටහාගන්නේද යන්නයි. සාමාන්‍යයෙන් මෙහිදී ථෙරවාදී සාම්ප්‍රදායික අර්ථවිවරණවලදී නම් සිදු කරන්නේ හුදෙක්‌ එය පාලි ත්‍රිපිටකයේ දක්‌වා ඇති ආකාරයට වන පොත්කර මතක තබා ගැනීමය. යළි එය කිසිවෙකුහට අර්ථවිවරණය කරනුයේද තමන් මතක තබාගත් පොත්වල සඳහන් වන ආකාරය අනුව මිස ඒ පිළිබඳ අසන්නන් තුළ කිසිදු ප්‍රාමාණික වටිනාකමකින් යුතු අවබෝධයක්‌ ගොඩනැඟෙන ආකාරයට නොවීම බුදුදහමෙහි සජීවී බව වියෑකී යැමට ප්‍රධානතම හේතුවකි. මෙකල ධර්ම දේශනා අසා මූලික බුදු සමයෙහි සඳහන් වන ආකාරයට මෙකල එකල මෙන් මාර්ගඵල ප්‍රතිවේධය නොලැබෙන්නේ මන්දැයි සිතන්නෙකුට දිය යුතු සුදුසුම පිළිතුර ඉහත සඳහන් වැකිය තුළ ගැබ්ව ඇත. එනම් මෙකල බුදු දහම දේශනා කරනු ලබන්නේ, ශ්‍රවණය කරනු ලබන්නේ හා ඉගෙනගනු ලබන්නේ මුල් බුදුසමයෙහි එය සිදු කළ ආකාරයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට වීම මෙයට හේතුවයි. 
වචන, භාෂාව, ව්‍යාකරණ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සන්නිවේදනය කිරීමට උපයෝගී කරනු ලබන මෙවලම් මිසක ඒ මෙවලම් තුළ අවබෝධයක්‌ සෙවීමට යැම ඔබ සොයන අවබෝධයෙන් තව තවත් දුරකට ඔබ තල්ලුකර හැරීමට සමත්වන්නක්‌ බව ඔබ අවබෝධ කරගත යුතුයි. මුල් යුගයෙහි රහතුන් සුලබවීමට හා අනුක්‍රමයෙන් වියෑකී යැමට ප්‍රධානතම හේතුවද මෙයමයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟම පාලි ත්‍රිපිටකය ලේඛනගත ස්‌වරූපයකට පත්ව ආරක්‌ෂා වීම සිදුවිය. එය ඉතිහාසයට අනුව සිදුවිය යුතු අත්‍යවශ්‍ය වූ දෙයක්‌ව තිබිණ. නමුදු සිදු වූයේ ඒ තුළ බුදු දහමෙහි සජීවී ස්‌වරූපය සැඟව යැමයි. නමුදු අවශ්‍ය කෙනෙකුට වචන, භාෂාව, ව්‍යාකරණ ආදී හුදෙක්‌ භාෂා මෙවලම්වල එල්ලී නොසිට අවබෝධය කරා සෘජුව ප්‍රවේශ වීමේ හැකියාව දහම තුළ තවමත් ශේෂව පවතියි. විශේෂයෙන් ඉහළ මාර්ගඵල මට්‌ටම් බඳු අති සියුම් ගැඹුරු මනෝභාවයන්හි තත්ත්වය පිරිසිඳ දැකීමට අවශ්‍ය අවබෝධය ළඟා කරගැනීමට නම් වචන, භාෂාව, ව්‍යාකරණවලින් මුළාවට පත්වීමෙන් වැළකී අවබෝධය ඇතිවන අයුරින් එය නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ කිරීම අතිශයින්ම වැදගත්ය. මෙතැන් සිට කාමරාග සංයෝජනය විග්‍රහ කිරීමට උත්සාහ දරන අතර එම උත්සාහයේදී පටිඝ සංයෝජනයද වටහාගැනීමට ලැබෙනු ඇත. එය අනාගාමී උතුමාගේ සිත කෙසේ දැයි අවබෝධ කර ගැනීමට පහසුවකි. එය ධර්මාවබෝධයට පත්වීමට ද හේතුවකි.
කාමසුගතියට අයත්වූ මනුෂ්‍ය ලෝකයෙහි ස්‌ත්‍රී, පුරුෂ යනුවෙන් ප්‍රධාන ලිංග නිර්ණ දෙකකි. ඊට අමතරව අකුසල විපාක මත උපන් නපුංසක, පණ්‌ඩක, උභතෝබ්‍යඤ්ජන ආදී වශයෙන් නාමිකව සඳහන් මේ ප්‍රධාන ලිංග නිර්ණ දෙක අතරවූ පරාස කීපයක්‌ විද්‍යමාන බව පාරාජිකාපාලි ආදී විනය පිටකයට අයත් පොත්පත්වල සඳහන්ය. ඒ කරුණ නූතන වෛද්‍ය විද්‍යාව විසින්ද සනාථ කර තිබේ. කෙසේ හෝ ඒවා ද ලිංගික නිර්ණයන්මය. මේ හේතු නිසා ලිංගිකත්වයෙන් බැහැරව දැකීමට හෝ අවම වශයෙන් සිතීමටවත් මේ හේතු මත මනුලොව කිසිවෙකුට අවකාශ ලැබී නැත. මනුලොව ජනගහන දල ලෙස අඩ බැගින් ස්‌ත්‍රී පුරුෂ ලෙස ද්විවිධ ප්‍රධාන ලිංග නිර්ණ දෙකට බහුතරය බෙදීයයි. මේ අනුව යමෙකු මේ ලෝකය සංජානනය කරනු ලබන්නේ පුරුෂයෙකු හෝ ස්‌ත්‍රියක ලෙසය. නැතහොත් අවශේෂ අනුලිංග නිර්ණවලට අනුකූලවය. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මානවයෙකුට කිසිදු ලිංග නිර්ණයකින් පරිබාහිරව ලොව තුළ කිසිදු දෙයක්‌ සංජානනය කළ නොහැකිය. පටිඝ යනු කාම රාගයෙහිම ප්‍රතිවිරුද්ධ අංශයයි.කාමය ඇලීම, ආකර්ෂණය නම් පටිඝය ගැටීම, විකර්ෂණයයි. මෙහි විශේෂත්වය නම් ආකර්ෂණය තිබෙන විටම විකර්ශණය ද ක්‍රියාත්මක වන්නා සේ කාමරාගය ඇතිවිටම පටිඝයද හටගන්නා බවයි. එසේ නම් කාමරාග නැතිකළ පටිඝය ද නොවේ. මෙය එකම කාසියෙහි දෙපැත්ත බඳුය. එක සංයෝජනයක්‌ ප්‍රහාණයෙන්ම අනෙක්‌ සංයෝජනය ද නොවේ. මෙහි ඇත්තේ හුදෙක්‌ වචන හරඹයක්‌ පමණකි. එය අවබෝධ කර ගැනීම ධර්ම ප්‍රතිවේධයට ඉවහල් වේ. ධර්මයෙහි ප්‍රායෝගික හා ලේඛනගත ස්‌වරූප අතර ඇත්තේ මේ වෙනසයි.
මනුලොව තුළ ඕනෑම අයෙකු පුරුෂ හෝ ස්‌ත්‍රී ස්‌වරූපවලට අයත් බැවින් නිර්ලිංගිකව, වියුක්‌ත ලිංගිකව හෝ අලිංගිකව සිතීමට හුරුවක්‌ නැත. නමුදු ධර්මයෙහි සියුම්, ගැඹුරු මට්‌ටම්වලට ප්‍රවේශ වීමට නම් එබඳු හුරුවක්‌ ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබඳු මානසික හුරුවක්‌ ඇතිකර ගැනීමට විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබෙන මානසික අභ්‍යාස බොහෝ උපකාරී වේ. සැබවින්ම නිවන් කරා යාහැකි සෘජුමඟ වැටී ඇත්තේද මේ මානසික අභ්‍යාස වැඩීම හරහාය. විදර්ශනා භාවනා වැඩීම නම් සතරසතිපට්‌ඨානය වැඩීමයි. කෙනෙකු පුරුෂයෙකුව සිට ලොව සංජානනය කිරීමේදී ඒ පුද්ගලයා ලොව අවබෝධ කර ගනුයේ පුරුෂ ස්‌වරූපයෙනි. ස්‌ත්‍රියකටද මේ ධර්මතාව පොදුය. යමෙකු ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සංජානනය කරගැනීමේදී ඒ පිළිබඳව සිතතුළ අවිද්‍යාව උපදවන හැඟීම්වලට අනුකූලව ක්‌ෂර්කව මොළයේ රසායනික ප්‍රතික්‍රියාද ඊට අනුරූපව දේහතුළ හෝර්මෝන ක්‍රියාකාරිත්වයද සිදු වී ස්‌නායු ක්‍රියාකාරිත්වයද ඊට සම්බන්ධ කර ගනිමින් ඉතා සංකීර්ණ ලෙස කාමරාග සංයෝජන හටගනු ලැබේ. මේ සමස්‌ත ක්‍රියාදාමයේ වේගය අතිසීඝ්‍රව සිදු වන නිසා මූලික අවස්‌ථාවන්හිදී නොදැනේ. කෙනෙකුට මේ හැඟීම් දැනෙනුයේ එය ස්‌නායු මට්‌ටම් දක්‌වා ව්‍යාප්තවූ පසුවය. සතර සතිපට්‌ඨාන භාවනා වැඩීමේදී අනුක්‍රමිකව මූලික අවස්‌ථාවේදීම මේ සියල්ලෙහිම ක්‍රියාකාරීත්ව මැනවින් සිහියෙන් හා නුවණින් පිරිසිඳ දැකගත හැකියි. මේ ක්‍රියාකාරීත්වය සිහි නුවණින් නොදැකීම එහි වර්ධනයටත් සිහි නුවණින් දැකීම එහි ක්‍ෂයවීමටත් හේතුවයි.
අවිහ, අතප්ප, සුදස්‌ස, සුදස්‌සි හා අකනිට්‌ඨ යන පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපන් උතුමන්ට මනුෂ්‍ය ලෝකයේ මෙන් ලිංග නිර්ණයක්‌ නැත. අනාගාමී හා අරහත් උතුමන් පමණක්‌ මේ ලොව වෙසේ. කාම රාග හා පටිඝ යන සංයෝජන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ලිංග අනන්‍යතාව ශුද්ධාවාසයේ නැත. එහි ඇත්තේ අලිංගිකවූ සියුම් ජීවී කොට්‌ඨාශයකි. ශුද්ධාවාස හැරෙන්නට සෙසු රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ලිංග අනන්‍යතාව තාවකාලිකව යටපත්ය. ලෞකික ධ්‍යාන සමාපත්ති බලයෙන් කෙළෙස්‌ යටපත් කිරීමක්‌ මිසක ප්‍රහාණය කිරීමක්‌ නොවන බැවින් යළිත් අවස්‌ථාවලද විටක ඉස්‌මතුවීමේ හැකියාව පවතී. දෙව්ලෝකද කාමසුගති ලෝකයට අයත් නිසා එහිද කාමරාග, පටිඝ පවතී. නමුදු දෙව්ලෝවල අනාගාමී මාර්ගඵලයට පහළ සෝවාන්, සකෘදාගාමී ආර්යයන් වෙසේ. කාමරාග පවතින බැවින් දෙව්ලෝවල පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණද පවතී. මින් පැහැදිලි වනුයේ ලිංග අනන්‍යතාව ගොඩනැඟීමේ හේතුව කාමරාගය බවයි. කාමරාග නැතිනම් ලිංග අනන්‍යතාවක්‌ ද නැත. එසේනම් මනුලොවදී විදර්ශනා වඩා කාමරාග ප්‍රහීණව අනාගාමීවූ උතුමාහට ලිංගික අනන්‍යතාවක්‌ නැත්තේද? එසේ කාමරාග ප්‍රහීණවූ උතුමා පුරුෂ හෝ ස්‌ත්‍රී වේවා බාහිරව කායිකව දිස්‌වන ලිංගික අනන්‍යතාව මිසක අභ්‍යන්තර මානසික ලිංගික අනන්‍යතාවයක්‌ එතුමා තුළ සැබවින්ම නැත. කිසිදු ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණයක්‌ (කාමරාග), විකර්ෂණයක්‌ (පටිඝ) අනාගාමී උතුමා තුළ යළි හට නොගනියි. මොළ සඟළ තුළ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා, සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරිත්ව හෝ ස්‌නායු උත්තේජන ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණ මත යළි කිසිදා හට නොගනියි. මේ මනුලොව අනාගාමී උතුමාගේ හා ශුද්ධාවාස අනාගාමී උතුමාගේ වෙනස හුදෙක්‌ බාහිර කායික ස්‌වරූප පමණකි. මනුලොව අනාගාමී උතුමා බාහිර පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණවලට අදාළ කයකින් පෙනී සිටියද ඊට අදාළ සංයෝජන ප්‍රහාණය කර ඇති නිසා මනුලොව දිවි ගෙවන ලිංගික අනන්‍යතාවක්‌ නැත්තෙකු ලෙස හැඳින්විය හැකිය. මේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගැනීමට මනුලොව වෙසෙන සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රජාවට නොහැකිය. ඒ ඔවුන් වචන, භාෂාව, ව්‍යාකරණවල එල්ලී හරඹ කරන නිසාය. ප්‍රධාන ලිංග දෙක යටතට නොගැනෙන නපුංසක, පණ්‌ඩක, උභතොබ්‍යඤ්ජන ආදී සෙසු අනු ලිංග වර්ගවලට අයත් අය තුළ සාමාන්‍ය පුරුෂ,ස්‌ත්‍රී අයටද වඩා කාමරාග, පටිඝ අධිකව බලපවත්වන බව ධර්මයෙහිම පෙන්වාදී ඇත. ඒ ඔවුන් කාමයෙහි වරදවා හැසිරීම් පාප කර්ම විපාක මත එලෙස උපන් බැවිනි.
කාමරාග, පටිඝ ක්‍රියාකාරිත්වය සමඟ ජීවත්වීමට වඩා එය ප්‍රහාණය කළවිට ජීවත්වීම පහසුය. සුවදායීය. ඒ පිළිබඳ පොදු සමාජ සම්මුතියට වඩා ධර්මාවබෝධය වෙනස්‌ය. ධර්මාවබෝධය ලද්දෙකුගේ චර්යාව මේ නිසා සාමාන්‍ය පොදුසමාජ සම්මුතියට වඩා වෙනස්‌ වීම ස්‌වභාවිකය. සමාජ සම්මුතිය තමන් ලද වැටහීමට වඩා වෙනස්‌ බව දන්නා නිසාම එබඳු උතුමෝ ලේබල් ගැසූ පුහු නිශ්ඵල සමාජ ප්‍රසිද්ධිය හඹා නොයති. මාර්ගඵල ලේබල්වලටත් ආර්ථික වටිනාකම් පිරිනැමෙන මේ යුගයෙහි නොයෙකුත් හිස්‌ පුද්ගලයෝ කුප්‍රසිද්ධිය තකා උත්තරීතර මනුස්‌සධම්ම තුට්‌ටුවට දමා සැබෑ ධර්මය අභිබවා පුද්ගල මමත්වයම ඉස්‌මතු කිරීමට වෑයම් කරති. ශුද්ධාවාසයන්හි ගිහි පැවිදි බේදයක්‌ද නැත.විවාහය නමැති ලිංගික චර්යාව පාදකවූ පවුල් දිවියක්‌ මනුලොව ඇති බැවින්ම මනුලොව තුළ ගිහි පැවිදි බේදය විද්‍යමානය. ශුද්ධාවාසී අනාගාමී රහත් උතුමෝ ගිහි පැවිදි බේද රහිතව හුදකලාව වෙසෙති. එහි මානසික පැවැත්ම මනුලොවට වඩා ප්‍රබල මට්‌ටම ඒනිසාම පවතී. නමුදු මනුලොව වඩාත් අගය කරනුයේ බාහිර පැවැත්මය. එනිසා බාහිර පැවත්මටද මූලිකත්වය ලබාදී ගිහිපැවිදි භේදය පවතී. බුදුදහමේ මූලික අභිප්‍රාය පුද්ගලයෙකුගේ මනස සකස්‌කිරීමයි. කය සකස්‌ කිරීමට වඩා මනස සකස්‌ කිරීම සාමාන්‍යයෙන් අපහසුය. කය පැවිදි කිරීමට වඩා මනස පැවිදි කිරීම අපහසු එබැවිනි. මනුලොව බොහෝ දෙනෙකු කරනුයේ බුදුදහමේ අභ්‍යන්තර හරය පසෙකලා එය වැරදි දෘෂ්ටිකෝණයෙන් අන්තවාදීව ග්‍රහණය කොට මතවාදීව පැටලීම මිසක දහමෙහි හරය සොයායැම නොවේ. ධර්මප්‍රතිවේධය පවතිනුයේ හරය සොයායැම මතය. සියලු සත්ත්වයන් හට දහම් ඇස පහළ වේවා!

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුක්ඛ ආර්ය සත්‍යය

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, 
රාජකීය පණ්ඩිත, 
අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, 
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
පල්ලත්තර සුමනජෝති නා හිමි

ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා ( ධම්මචක්ක සූත්‍රය)
ගෞතම බෝසතාණන් වහන්සේ ලොවුතුරා සම්බුද්ධත්වයට පත්වූයේ අදට වසර 2605 කට පෙරයි. එදා වෙසක් පුරපොහෝ දිනයකි. තමා අවබෝධ කළ ධර්මය මෙනෙහි කරන විට එය ඉතා ගැඹුරු දහමක් බවට වටහාගති. එය අවබෝධ කරගැනීමට බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයන් ලොව සිටිත් දැයි බලමින් තමන් වහන්සේ තවුස් කළ ඇසුරු කළ ආලාරකාලාම උද්දකරාමපුත්‍ර ආදීන් ගැන සිහිකළා. ඒ අය මිනිස් ලොව නැති බව දැක අවසනට පස්වග තවුසන් ගැන බැලුව. ඒ වනවිට ඔවුන් බරණැස් නුවර ඉසිපතන නම් මිගදායෙ සිටින බව දැක්ක. ඔවුන්ට ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නට අදහස් කළ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැසට පා ගමනින් ම වැඩම කර එහි ළඟා වූයේ ඇසළ පුර පොහෝ දවසේය. පස්වග තවුසන් තමා ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුනට නොයෙක් කරුණු නිසා ඔවුන් තමාට අවනත කර ගන්නට සමත් වූහ. ඉක්බිති එදින සවස් යාමයෙහි ඔවුන් අවනත කරගත් බුදුරජාණන් වහන්සේ ඔවුනට ප්‍රථම ධර්ම චක්‍රය හෙවත් ධර්ම දේශනාව පැවැත්වූහ. මේ ධර්මය අසන්නට එහි මනුෂ්‍යයන් වශයෙන් සිටියේ පස්වග තවුසන් පමණකි. ඒ හැර දසදහසක් සක්වල දෙවි බඹුහුද වූහ. බුදුරජාණන් වහන්සේ දේශනාව අරඹමින් ‘ද්වෙ මෙ භික්ඛවේ අන්තා පබ්බ ජිතෙන න සෙව් තබ්බා’ ආදී වශයෙන් වදාරනව. මහණෙනි, හීන, ග්‍රාම්‍ය, අනාර්ය්‍ය, අනර්ථකකාමසුඛල්ලිකානුයෝගය (විමුක්තිය ලැබීම සඳහා කම් සුවයෙහි ඇලී ගැලී සිටීම) හා දුක්ඛ සහගත අනාර්ය අනර්ථකර අත්තකිලමථානුයෝගය (හෙවත් දුක් නැසීම සඳහා ආත්මයට වදදීම) යන අන්තගාමී ප්‍රතිපදා දෙක අත්හැර තථාගතයන් වහන්සේ විසින් නිවනට පිහිට වන අසහාය ප්‍රතිපදාව වන මැදුම් පිළීවෙත තමා විසින් අවබෝධ කරගත් බව වදාළ.

මැදුම් පිළිවෙතේ දුක්ඛාර්ය සත්‍යය, සමුදාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍ය මඟින් නිවන් දකින්නා දුක්ඛාදී ආර්ය සත්‍ය හතරක් පිළිපැදිය යුතුබව බුදුන් වහන්සේ වදාළ මේ හතරෙන් මාගේ දහම් ලිපියට පාදක වන්නේ දුක්ඛාර්ය සත්‍යයයි. සමස්ත ලෝක ප්‍රජාවටම දුකෙහි ගැළී සිටින බව දුක්ඛෙ ලොකො පතිට්ඨිතො යනුවෙන් වදාළ පරිදි මේ ලෝකේ තියෙන්නේ දුක පමණයි. අනෙක් සියල්ල දුකට යටත් දුක පදනම් කරගත් දේවලයි.
ලැබෙන්නේ දුක පමණයි. ඇත්තේත් දුක පමණයි. දුකින් තොර කිසිවක් නැත. දුකින් තොර කිසිවක් නිරුද්ධ වන්නෙත් නැතැයි බුදුන් වදාළේද ඒ බවයි. ඒ නිසා දුක යනු කුමක්ද, දුක ඇතිවන්නේ කෙසේද දුක දුරලිය යුත්තෙහි දුරලන මඟ අරි අටඟි මගයි. මේ ප්‍රතිපදාව අනුගමනය කළ පුද්ගලයාට දුකින් තොර වී නිවන් අවබෝධ කර ගැනීමෙන් සදා කාලික සැප ලැබිය හැකිය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් දුක්ඛ සත්‍ය පළමුව දේශනාකළ බුදුරජාණන් වහන්සේ ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, ආදී වශයෙන් වදාරනව මහණෙනි. දුක්ඛාර්ය සත්‍යය නම් ජාති (උපති) ජරා (දිරායම) ව්‍යාධි (රෝගීවීම) මරණ (උපන් සත්වයා උපන් භවයෙන්) මරණයට පත්වීම, ඒ හැර අපි‍්‍රය පුද්ගලයන් හා එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන් වීම, තමා කැමැති දෑ නො ලැබීම” හා පොදුවේ උපාදානස්ඛන්ධ පහම දුක්ඛ පුඤ්ජයකි. යන මේ කරුණු දුක්ඛාර්ය සත්‍යය බව වදාළහ. මේ දුක්ඛ සහගත පඤ්චස්කන්ධයෙහි අනාත්මභාවය (සදාකාලික නොවන බව) ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පුද්ගලයා සසරින් මිදෙන බවද තවදුරටත් උන්වහන්සේ වදාළහ.
ධම්මචක්ක දේශනාවෙදි සංක්ෂිප්තව දෙසූ දුක්ඛාර්යසත්‍ය ධර්මය පසු කලෙක සැරියුත් මහරහතන් වහන්සේ සච්චවිභංග සූත්‍ර දේශනාවේ දී සවිස්තරව දේශනා කර තිබේ. එම විස්තරය මෙතැන් සිට ඔබට වටහා දීමට මම උත්සාහ කරමි. ජාති නමැති සත්ත්වයාගේ උපතින් පටන් ගන්නා දුකට ඉහාත්මයේදීම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, රිසිදෑ නොලැබීම හා මුළු පඤ්චස්ඛන්ධයම අයත් බව සැරියුත් මා හිමි ප්‍රකාශ කළහ. සත්ත්වයන් උපත ලබන ඒ ඒ සත්ව නිකායවල සත්ත්වා වාසවල ඉපදීම සම්බන්ධයන්ගේ පහළවීම ජාතියයි. සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සංසාරයේ ජරා දුක විස්තර කරමින් වදාරනව ඒ ඒ සත්ත්වයන් උපන් උපන් ලෝකවලදී පඤ්චස්කන්ධයාගේ දිරායාම, කැඩීයාම, මෝරායාම, පැසීම, සිරුර රැළි ගැසීම, ආයුෂ පිරිහීම, චක්ෂුරාදී ඉඳුරන් මුහුකුරායාම, ජරාවයි. මරණ නම් ඒ ඒ සත්ත්වයන් ඒ සත්ත්ව නිකායෙන් චුත වීම, චුතවන ලක්ෂණ, සිරුරේ බිඳී යාම, අතුරු දන්වීම, මාරයාගේ වසඟයට පත්වීම මරණය, හෙවත් ප්‍රාණය නිරුද්ධවීම, කාලක්‍රියාව, ස්කන්ධයන්ගේ බිඳීම, සිරුර බැහැර කිරීම, මරණය බව සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ශෝකය නම් ඇවැත්නි, නොයෙක් නොයෙක් විපත්වලට භාජනය වූ හා නානා දුක්වලට භාජනය වූ ඔහුගේ ශෝකය, ශෝක කිරීම, ශෝක කරන බව සිතු තුළ ඇතිවන ශෝකය වඩ වඩාත් සිතක් ඇතිවන ශෝකය උන්වහන්සේ විස්තර කළහ. පරිදේව දුක විස්තර කරමින් වදාරනව. විවිධ විපත්තිවලට පත් වූ විවිධ දුක් දොම්නස්වලින් පෙළෙන්නහුගේ විලාපකීම, විලාප දිදී හැඬීම එසේ හැඬීම පරිදේවයයි වදාළහ. දුක්ඛ යන්න විස්තර කරන සැරියුත් මා හිමියෝ ඇවැත්නි, කිසියම් කායික දුකක්, කායික අසහනයක්, නුරුස්සන බවක්, කිසියම්, වින්දනයක් අප පිළිබඳ දුකක් වේ නම්, අමිහිරි වින්දනයකි. එය දුකකි. දොම්නස නම් චෛතසික දුකයි. එනම් සිතේ හටගන්නා අමිහිරි වේදනාවයි. සිත සමඟ බැඳුණු දුකයි. නොමිහිරි වින්දනය දොම්නසයි. උපායාශය නම් විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූ විවිධ දුක් ගැහැටවලට භාජන වූ පුද්ගලයාගේ දැඩි උත්සාහය, දැඩි ජීවිත භාවය දැඩි වෙහෙසකර බව, දැඩි පීඩාකාරී බව උපායාශ යයි. ඇවැත්නි, කැමැති දෑ නො ලැබීම නම් දුක කුමක්ද උපත ස්භාවකොට ඇති සත්වයන්ට මේ බඳු ආශාවන් උපදිනව. ඒ කාන්තයෙන්ම අපට උපතක් නොවේවා. ඒකාන්තයෙන්ම අපට උපතක් නොයේවා. ඒකාන්තයෙන්ම උපතක් නොයේවා මේ ආශාවන් නො පැමිණෙනවා යයි සිතුවාට කවදාවත් නොලැබේ. දරුවන් ඉර හඳ ඉල්ලන්නාක් වැනිය මෙයද දුකකි. ඇවැත්නි, ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවන් උපදියි. එනම් අනේ! අපි ඒකාන්තයෙන්ම ජරාවෙන් පෙලෙන්නෝ නොවෙත්වා. ඒකානත්යෙන්ම අප කරා ජරාව නො පැමිණේවා. මේ ආශාවට නො පැමිණේවා. මෙය ද කැමැති දෑ නොලැබී යාම නිසා ඇතිවන දුකකි. රෝගීවීම ස්වභාව, කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවක් උපදිනවා. අනේ අපි රෝගීවීම ස්වභාව කොට ඇත්තේ නො වෙමුවා, අප කරා ව්‍යාධිය නොපැමිණේවා. මේ ආශාව මුදුන් පත් නොවීම නිසා කැමැති දෑ නො ලැබීමේ දුක හටගන්නව. මරණ ධර්මය ද එසේමය. එය දශාව ඉටු නොවීමෙන් ඇතිවන දුකකි. ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස, උපායාස බහුල කොට ඇති සත්ත්වයන්ට ඒවා අපවෙත නො පැමිණේවායි සිතුනට ඒවා අප වෙත ඒකාන්තයෙන්ම පැමිණෙන නිසා ඉච්ඡා භංගත්වයෙන් (කැමැති දෑ නො ලැබීමෙන්) උපදින දුක්ඛයෝය. අවසනට පඤ්ච උපාදානස්කන්ධය විස්තර කරන සැරියුත් හාමුදුරුවෝ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහම එකටගෙන ඒ උපාදාන පහම දුක්ඛාර්ය සත්‍යය බව සැරියුත් හාමුදුරුවො වදාළහ. මෙහිදී උපාදාන යන ධර්ම පදය සාමාන්‍යයෙන් අප වටහාගත යුතුව ඇත. උපාදාන නම් සිතටගත් අරමුණ අත් නොහැර තදින් අල්ලා ගැනීමයි. නයා මැඩියකු ඩැහැගත්තා මෙනි. එනම් රූපපාදාන වෙදනුපාදාන, සඤ්ඤාපාදාන, සංඛාරූපදාන විඤ්ඤාණුපාදාන යන ස්කන්ධ පස කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද වශයෙන් අල්ලා ගැනීම උපාදානයයි. 

මේ හතරට විෂය ව පඤ්චස්කන්ධය උපාදාන ස්ඛන්ධයයි. එනම් ස්කන්ධ පඤ්චකයයි. නාම, රූප, අරූප යන භවචක්‍රයට අයත් මේ රූප වේදනාදී පස පඤ්චුපාදානස්ඛන්ධයයි.
දුක්ඛ සත්‍යය විස්තර කරන විසුද්ධි මාර්ගය දුක්ඛ නම් පිළිකුල් කටයුතු (දූ) හිස් (ඛ) වූවකි. ඒ අනුව ධුව, ස්ථිර, සුඛ (සැප) සුබ (යහපත්) ආත්ම (ස්ථිර ජීවයක්) යන මේ කරුණුවලින් තොර හෙවත් හිස් යන තේරුම දෙයි. එනම් දුක්ඛ නම් පිළිකුල් කටයුතු හිස් (තුච්ඡ) තත්ත්වයකි. සමුදය සත්‍යය දුක් ඉපදීමට හේතුවයි. නිරෝධ සත්‍යය නම් දුක් නූපදීමට ක්‍රියා කිරීමයි. මාර්ග සත්‍යය නම් දුක් නිරුද්ධ කිරීමට හෙවත් නිර්වාණය කරා පැමිණීමට පුරණ ප්‍රතිපත්ති යයි. චතුරාර්ය සත්‍යය තුනක්ම දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තියයි. මේ සතර බුද්ධාදී ආර්යයන් ප්‍රතිවේධ කරන හෙයින් ආර්යය සත්‍යය නමින් හැඳින් වේ. අරියෙහි පටිච්ඡ්ජි තබ්බානි සච්චානි අරියසච්චානි යි කීයේ ඒ බවයි. ඉමෙසං ඛො භික්ඛවේ චතුන්නං අරිය සච්චානං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති’ යන්නෙන් කියන්නේ ද මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේට ආර්ය යයි කියති. යනුයි. දුක්ඛ සත්‍යයෙහි කෘත්‍යය සත්වයා පෙළීමයි. දුක යන ස්වභාවය ඇති දෙයකි. නො වෙනස් වන තත්ත්වයකි. ගිනි දැල්වෙන දර, තෘණ, ගොම ආදී ද්‍රව්‍යවලින් හටගත් ගින්නෙහි උෂ්ණත්වය වෙනසක් නැතිව එකසේ පවති. එමෙන් ලෝක සත්ත්වයන්ගේ ජාති, ජරා, මරණ යන ස්වභාවයක් මනුෂ්‍යන්ගේ කෙලින් ගමන් කිරීම, තිරිසනුන්ගේ හරහට ගමන් කිරීම යන මෙම ස්වභාවයන් මුළු ලොවම එක සමානව පවතින්නාක් මෙනි. අවිපරීත ස්වාභවය සථ්‍යාර්ථය එසේ මැයි. මේ ලක්ෂණ චතුරාර්ය සත්‍යයට පොදුයි.
සත්ත්වයාගේ මව්කුස උපත ගවරවල උපදින පණුවකු මෙනි. දශමසක් ඒ පිළිකුල් කුසැ වසයි. මවට මොන හිරිහැරයක් වුවත් කුස තුළ වකුටුව සිටින දරුවාද අපමණ දුකට පත්වේ. මව සිහිල් පැන් බීවොත් දරුවා සීත නරකයෙහි වැටුනා සේ දුකට පත්වෙයි. උණුපැන් බීවොත් දරුවා අඟුරු වෑස්සකින් වටවූවා සේ දුකට පත්වෙයි. උපදින්නේද ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත මහා දුකකිනි. ජරාව නම් දත් වැටීම, කෙස් පැසීම ආදිය ප්‍රකට ජරාවයි. සිරුර ඇතුළත දුර්වලවීම අප්‍රකට ජරාවයි. මරණ දුක නම් එක භවයක උපන් ජීවිතයාගේ බිඳීයාමයි.
සෝකය නම් ඥාතිව්‍යසනාදියෙන් හිතේ උපදින තැවීමයි. දැවීමයි. තමා කළ නොකළ සුසිරිත් දුසිරිත් ගැන තැවීමක් ශෝකයයි. පරිදේව නම් ඥාතී ආදී හිතවතුන්ගේ විනාශය නිසා විලාප නගා හැඬීමයි. දුක්ඛ නම් නායික දුක්ඛ, කායික ආබාධ හා මානසික නොඉවසීම් දුක්ඛයි. දොමනස්ස නම් කිසියම් කරුණක් මුල්කරගෙන සිතේ ඇතිවන දොම්නසයි. මෙහි දී හිසේ පපුවේ අත්ගසාගෙන වැළපීම, ජීවිත විනාශ කර ගැනීමාදී ව්‍යසනයකට පත්වේ. මෙය දොම්නස යනුවෙන්ද හැඳින්විය හැකියි. උපායාස නම් ඤාතිවාසනාදියෙන් ඇතිවන සීමාරහිත දුක් නිසා උපදින ද්වේශ යයි. සිතේ දැවීමක් මෙහි දී ඇතිවේ. මේ අනුව මඳ ගින්නෙන් බඳුනක් තුළ පැසීම වැනියි ශෝකය. තද ගින්නෙන් පැසෙන දෑ බඳුනෙන් පිටට උතුරා යාම මෙනි, පරිදේවය. උතුරා ගිය දැයෙන් බඳුන තුළ ඉතිරි ව බඳුන තුළ පැහී පැහී තිබෙන දෑය මෙහි උපායාශය. අපි‍්‍රය සම්ප්‍රයෝගය නම් තමාගේ සිත සතුටු නොවන අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම අපි‍්‍රය සමීපයෝග දුකයි. පි‍්‍රය විප්‍රයෝග දුක නම් තමාට මනාප වස්තූන්ගෙන් හෝ මනාප සත්ත්වයන්ගෙන් වෙන්වීම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛ යයි. ඉච්ඡා විඝාත දුක්ඛය නම් අනේ! මම නූපන්නෙමි නම් කොපමණ හොඳ ද අනේ මට අහසින් පියාඹන්න පුළුවන් නම් කොපමණ පහසුද යනාදී වශයෙන් කවරදාකවත් නොලැබිය යමක් ගැන පතනව නම් එය ඉච්ඡා විඝාත හෙවත් නොලැබියහැකි දෑ පැතීමෙන් උපදින දුකයි. අවසාන වශයෙන් පඤ්ච උපාදානස්ඛන්ධය ම එකට බැඳී තිබෙන බැවින් සංක්ෂේප වශයෙන් දුක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. දරට ගින්දර මෙන් අවි පහරට ඉලක්කය මෙන් පාත්‍යාදී දුක්වලට මුළු පඤ්චස්ඛන්ධයම ගොදුරු වේ. ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’යි බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු ම කාම රූප අරූප යන ත්‍රිවිධ ලෝකවාසී සත්වයින්ම ස්වභාවයෙන් මේ මහා දුකට හසු වී සිටින බවයි. එහෙයින් ඔබ අප හැමෝම මේ පරම සත්‍යය වටහා ගෙන සදහටම මිදීමේ බුදුන් වදාළ නිවන් මඟට යොමු වන්න අධිෂ්ඨාන කර ගනිත්වා. ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රඥා විමුක්‌තිය සහ උභතෝභාග විමුක්‌තිය

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි

යම් අයෙකුට මාර්ගඵල අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, ධර්මය අවබෝධ කරගත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්‌ මුණගැසී, ආර්ය මාර්ගය අසා දරාගෙන ඒ අනුව සිතා විමසා බැලිය යුතුය. එනම් මෙහි ප්‍රධාන කාරණා දෙකක්‌ අන්තර්ගතය. එනම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ යෝනිසෝ මනසිකාරයයි. අද කල්‍යාණ මිත්‍රයා කවුද? යන්න සොයාගැනීම ගැටලුවක්‌ව පවතී. යම් අයෙක්‌ ප්‍රකාශ කරන ධර්මය තුළ යෝනිසෝ මනසිකාරය යෙදවීමෙන් තමාගේ රාග, ද්වේශ මෝහ ක්‌ෂය වනවා නම්, එම දේශකයා කල්‍යාණ මිත්‍රයෙකි. කල්‍යාණ මිත්‍රයා මාර්ගඵල අවබෝධය සඳහා ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. දැනට මාර්ගඵල අවබෝධ කරගෙන ඇති ආර්යයන් වහන්සේලාට ත්, අනාගත බුද්ධ ශාසනවල ශ්‍රාවකයන් වහන්සේලාටත් සහ විශේෂ හැකියාවක්‌ ඇති ගිහි පිංවතුන්ට ත් මාර්ගඵල අවබෝධය සඳහා ධර්මය දේශනා කිරීමේ හැකියාව ඇත. කොතරම් එම ධර්මය ඇසුවත් ඒ අනුව යෝනිසෝ මනසිකාරය හැසිරවීමට අපොහොසත් නම්, කිසිවිටක මාර්ගඵල අවබෝධ කළ නොහැක. 

සද්ධානුසාරී පුද්ගලයාත් ධම්මානුසාරී පුද්ගලයාත් නිවන සාක්‌ෂාත් කරගන්නා ආකාර දෙකක්‌ ධර්මයේ දැක්‌වේ. එනම් ප්‍රඥා විමුක්‌තියෙන් නිවීම සහ උභතෝභාග විමුක්‌තියෙන් නිවීමයි. ප්‍රඥා විමුක්‌තිය යනු රූපාවචර ධ්‍යාන සතර දියුණුකර, ඇතිකරගත් උපේක්‌ෂාව පදනම් කරගෙන විදර්ශනා වඩා නිවන් දැකීමයි. උභතෝභාග විමුක්‌තිය යනු රූපාවචර මෙන්ම අරූපාවචර යන ධ්‍යාන කොටස්‌ දෙකම වඩවා නිවන් දැකීමයි. 

බඹයක්‌ පමණ උසට ඇති මනස සහිත තමන්ගේ කය පිළිබඳව හෙවත් තම ජීවන පැවැත්ම පරීක්‌ෂා කිරීමෙන්, එම පැවැත්ම තුළ ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී දුක්‌ සමූහයක්‌ බවත්, කොතන ඉපදුනත් දුක පවතින බව අවබෝධයෙන්, මෙම දුක්‌ සහිත සංසාරයෙන් එගොඩ විය යුතු බවට තීරණයක්‌ තමන්ගේ අභ්‍යන්තරයෙන් සත්‍ය වශයෙන්ම එන පුද්ගලයාට පමණක්‌ ලෝකෝත්තර නිර්වාණය කරා ගමන් කළ හැකිය. මෙහි දී එම පුද්ගලයාට ආකාරවතී සද්ධාවක්‌ ඇතිවේ. එනම් බුදු පියාණන් වහන්සේගේ ගුණ, ධර්මය තුළින් දැකගෙන ලෝකය අතහැර නිර්වාණය කරා පැහැදීමයි. ඉන්පසු මොහු සීලයක පිහිටා කටයුතු කළ යුතුය. සියලු පව් අතහරිමින් කුසල් කරමින් සිත පිරිසිදු කර ගැනීම, යන සියලු බුදුවරයන්ගේ අනුශාසනාවට අනුව ආර්ය සීලයේ කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. සියලු පව් අතහැරීම එකවර කළ නොහැක්‌කකි. මේ සඳහා වැඩපිළිවෙලක්‌ ඇත. එනම් කැළයකට, ගසක්‌ මුලකට හෝ ශුන්‍යාගාරයකට ගොස්‌ වාඩිවී නිශ්ශබ්ද වූ විට කයෙන් සිදුවන වැරදි සහ වචනයෙන් සිදු වන වැරදි යටපත් වේ. නමුත් සිතෙන් සිදුවන වැරදි ඇත. එම වැරදිත් මඟහරවා ගැනීමට රාග, දෝස, මෝහ යටපත් වන අරමුණක්‌ හෙවත් ඇලීම්-ගැටීම් නැති අරමුණක සිහිය පිහිටුවා ගත් විට සිත උපේක්‌ෂා තත්ත්වයට පත්කරගත හැකිය. එනම් ආනාපාන වැනි අරමුණක්‌ ගෙන කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් වෙන්වූ පංච නීවරණ යටපත් කරගෙන, පිළිවෙළින් පළමු, දෙවැනි, තෙවැනි සහ හතරවැනි ධ්‍යාන ඇතිකරගෙන උපේක්‌ෂාවට පත්විය හැකිය. 

උපේක්‌ඛා සිතෙන් සද්ධර්මය අවබෝධ කරගත යුතුය. සද්ධර්මය යනු සත්‍යයයි. මෙම සත්‍ය දැකීමට සාමාන්‍ය සිතකට නොහැක. එනම් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කර ගැනීමේ නුවණ හෙවත් යථාභූත ඥානය ඇතිකර ගැනීමට සිත ඇලීම් ගැටීම් අවම කර ගනිමින් ඉහත ලෙස සිත උපෙක්‌ඛා ස්‌වභාවයකට පත්කරගත යුතුය. එම උපෙක්‌ඛාව පදනම් කරගෙන ජීවන පැවැත්ම හෙවත් කයේ සහ සිතේ ක්‍රියාකාරිත්වය, එනම් නාම-රූප ක්‍රියාකාරිත්වය විමර්ශනය කළ යුතුය. මෙය විදර්ශනා කිරීම ලෙස ධර්මයේ හඳුන්වයි.

කයේ යථාර්ථය හෙවත් රූපයේ යථාර්ථය අවබෝධයෙන් රූපය ප්‍රතික්‌ෂේප කළ හැකිය. රූපය ප්‍රතික්‌ෂේප කිරීමට ධාතු මනසිකාරය, පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය , ආහාරයේ පටික්‌කූල සංඥා යනාදී කර්මස්‌ථාන භාවිත කළ හැකිය. මේ තුළින් රූපය පිළිසිඳ දැකගෙන, එය ප්‍රතික්‌ෂේප කළ හැකිය. සතිපට්‌ඨානයේ කායානුපස්‌සනාව යොදාගන්නේ ප්‍රධාන වශයෙන් රූපයට පහර ගැසීම සදහාය.

රූපය විදර්ශනා නුවණින් බැලූ පසු, සිත විනිවිද දැකිය යුතුය. එහිදී සිතක අන්තර්ගතය පිළිබද අවබෝධය ඉතා වැදගත් වේ. ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප සම්බන්ධ වන විට විඤ්ඤාණය නාම ධර්ම සමූහයක්‌ සමඟ හටගෙන ක්‍රියාත්මක වීම සිතක්‌ ලෙස හැඳින්වේ. එනම් මෙම සිත තුළ ඇත්තේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයකි. විඤ්ඤාණය යනු දැනුවත්භාවය නමැති ශක්‌තිය හෙවත් ධාතුවයි. එහි සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. නාම ධර්ම යනු චෛතසික සමූහයකි. එහිද සතෙක්‌ පුද්ගයෙක්‌ මමෙක්‌ නැත. රූප යනු ධාතු හතරකින් සෑදුණු දෙයකි. එහිද සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, කායික පහස ලබනවා, යනවා, එනවා, කනවා, බොනවා, සිතනවා යනා දී සෑම සිතකම ඇත්තේ මෙම විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරිත්වයයි. එය ස්‌වභාව ධර්මයේ සිදුවීමකි. ක්‍රියාකාරිත්වයක්‌ පැවතුණත් එය කරන්නෙක්‌ නොමැත. නමුත් පුද්ගලයාගේ අවිද්‍යාව සහ තණ්‌හාව නිසා මෙම ක්‍රියාකාරිත්වයට, තමන් කරන දෙයක්‌ ලෙස, පුද්ගලයෙක්‌ ආරෝපණය කරගැනීමෙන් සත්ත්වයා සංසාර දුක තුළ හිරවේ.

සිත තවත් පැතිකඩකින් විනිවිද දැකිය හැකිය. එනම් සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයක්‌ පවතින බවයි. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්‌කන්ධ පහයි. මේවායේ සතුට සොයමින්, එය ප්‍රකාශ කරමින්, එහි බැසගැනීමක්‌ ඇතිවන විට ඒවා උපාදානය වේ. සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරිත්වය සිදුවේ. සිතක්‌ ඇතිවන විට ස්‌පර්ශ වන ආධ්‍යාත්මික රූපත්, බාහිර රූපත් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගනී නම්, රූපය උපාදානය වේ. උපාදානය වළක්‌වා ගැනීමට නම්, ධාතු හතරකින් සෑදුණු රූපය පෙනගොඩක්‌ මෙන් බිඳෙන බව අවබෝධ කළ යුතුය. එමෙන්ම ස්‌පර්ෂයෙන් හටගන්නා මනාප සුඛ වේදනා, අමනාප දුක්‌ඛ වේදනා සහ උපේක්‌ෂා සහගත වේදනා දිය බුබුළක්‌ මෙන් ඇතිවී නැතිවී යන බව අවබෝධයෙන්, වේදනාව උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම ස්‌පර්ශයෙන් ඇතිවන සංඥා හෙවත් හදුනාගැනීම් මිරිඟුවක්‌ ලෙස දකිමින්, සංඥාව උපාදානය වළකාගත හැකිය. ස්‌පර්ෂයෙන් ඇතිවන වේදනා සහ සංඥාවලට අගයක්‌ ලබා දී ඇතිකරගන්නා සංස්‌කාර කෙසෙල් කඳක්‌ මෙන් අරටුවක්‌ නැති හිස්‌ දෙයක්‌ බව අවබෝධයෙන්, සංඛාර උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම රූප, වේදනා, සංඥා, සංඛාර යන හිස්‌ දේවල් දැනුවත් වූ ශක්‌තිය හෙවත් විඤ්ඤාණය ද මායාවක්‌ බව අවබෝධයෙන් විඤ්ඤාණය උපාදානයෙන් වළක්‌වාගත හැකිය. 

එමෙන්ම මෙසේ උපාදානය වළක්‌වා ගැනීමට පටිච්ච සමුප්පාදයට අනුව හේතු-ඵල සම්බන්ධය ද අවබෝධ කළ යුතුය. වර්තමානයේ තමන් සිදුකරන සෑම ක්‍රියාකාරිත්වයක්‌ම හේතු-ප්‍රත්‍ය අනුව සිදුවන්නකි. උදාහරණයක්‌ ලෙස සළායතන ක්‍රියාත්මක වීම ඵලයකි. එයට ප්‍රත්‍ය වන්නේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයයි. හේතුව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයක්‌ නම්, ඵලයද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයකි. මෙලෙස සෑම සිතක්‌ ළඟකදීම යෝනිසෝ මනසිකාරය පැවැත්වුවහොත් ඵස්‌ස නිරෝධයෙන්, භව නිරෝධ කළ හැකිය.

එමෙන්ම සෑම සිතකම පවත්නා පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකී නම්, එම සිත් උපාදානයෙන් වළක්‌වාගත හැකිය. තවද මෙම සිත හෙවත් පංච උපාදානස්‌කන්ධය වේගයෙන් ඇතිවන-නැතිවන ස්‌වාහාවික ක්‍රියාදාමයක්‌ බව අවබෝධයෙන්, උදය-ව්‍යය ඇතුළු නවමහ විදර්ශනා ඤාණ වැඩී යයි. එම ඤාණ පරිපූර්ණ වීම යනු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම මාර්ග ඵලයකට අවශ්‍ය ලෙස වැඩීමයි. අනුලෝම ඥානයෙන් පසුව ඇතිවන ගෝත්‍රභූ ඤාණයෙන් ලෞකික ගෝත්‍රය ඉක්‌මවා ලෝකෝත්තර ගෝත්‍රයට පත් වේ. හරියට වැවක වතුර පිරුණු පසු වාන් දමනවා සේ පුද්ගලයා නිවනට ගසාගෙන යයි. මෙහිදී ඔහුට කිසිවක්‌ කළ නොහැක. අවබෝධ වූ ධර්මයේ ශක්‌තිය සියල්ල සිදුකරයි. මෙහිදී සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශුන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි. එහි දී වැවක පිටාර ජලය පහළට ඇදී යන්නා සේ බෝධිපාක්‌ෂික ධර්මවල ශක්‌තියෙන් සිත නිවනට යොමුකරයි. මෙලෙස චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සිදුවන විඤ්ඤාණ-නාම-රූප නිරෝධය 'නිබ්බාණං පරමං සුඛං' යන ධර්මතාව ප්‍රත්‍යක්‌ෂ කළ හැකිය. මෙය සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අරහත් මාර්ගඵලයන් ලබන සෑම අවස්‌ථාවකදීම අත්විඳිය යුතුය.

සෑම කඩඉමකදීම තමන්ගේ ජීවිතය වෙනස්‌ කරයි. සංයෝජන ප්‍රහීණ කළ බව වැටහේ. හරියට ඇවිළෙන්නට දර නැති ගිනිගොඩක්‌ මෙන්, ක්‍රමයෙන් නිවෙන්නට පටන් ගනී. සෝතාපන්න උත්තමයා සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන් ප්‍රහාණය කර, සතර අපායෙන් සදහටම අතමිදී, උපරිම ආත්මභාව හතකදී නිවන් දකී. සකදාගමී උත්තමයා කාමරාග, පටිඝ අඩක්‌ ප්‍රහාණය කර එක්‌වරක්‌ කාම ලෝකයට විත් පිරිනිවෙයි. අනාගාමී උත්තමයා කාමරාග, පටිඝ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර, ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබා එහිදීම පිරිනිවෙයි. රහතන් වහන්සේ සියලු සංයෝජන බිද, මෙම ආත්මයේදීම පිරිනිවෙයි.

උභතෝභාග විමුක්‌තියේ දී සිදුවන්නේ රූපය පිළිබඳ ඇතිකරගත් නානත්ව රූප සංඥා උපෙක්‌ඛාව, ඒකත්ව සංඥා උපේක්‌ඛාවන් බවට පත්කර ගනී. එනම් රූපය සම්පූර්ණයෙන්ම අතහැරීමෙන් ඇතිවන හිස්‌ ස්‌වභාවය හෙවත් ආකාසානඤ්ඤායතනය, රූපයත් ආකාසයත් දැනුවත් වූ විඤ්ඤාණ ධාතුව තුළ හෙවත් විඤ්ඤාණඤ්චායතනය, සංඥා ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇතිවන ආකිඤ්චඤ්ඤායතනය සහ සංඥාවක්‌ නැත කියාත් සංඥාවක්‌ ඇති බැවින්, සංඥාවක්‌ ඇත්තෙත් නැත නැත්තේත් නැත යන අවබෝධයෙන් ඇතිවන නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන ඇතිකර ගනී. එහි ආකිඤ්චඤ්ඤායතනයේදී ත්‍රිලක්‌ෂණය මෙනෙහි කිරීමෙන් ඉහත ආකාරයෙන්ම නිවිය හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ අකිඤ්චඤ්ඤායතනය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පාහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශූන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී අලුතෙන් සංස්‌කාර සෑදීමක්‌ නොමැත. සාදාගත් සංස්‌කාරය පවත්වාගෙන යයි. එහි සංඥාව ඉතා සියුම්ය. අවබෝධය ඇති අය මෙම සංඥාවත් අතහැරීමට දක්‌ෂ වේ. නමුත් අතහරින වෙලාවක්‌ කිව නොහැක. එහිදී සංඥා වේදයිත නිරෝධය හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. දෙවැනි ධ්‍යානයේ දී වචී සංස්‌කාර සංසිඳී ඇත. හතරවැනි ධ්‍යානයේ දී කාය සංඛාර සංසිඳේ. ඉතිරිව ඇති වේදනා,සංඥා හෙවත් චිත්ත සංඛාරද සංඥාව අතහැරීමත් සමගම සංසිදේ. නිරෝධ සමාපත්තියේ දී වේදනා සංඥා පිළිබඳ දැනීමක්‌ නොමැත. නිරෝධ සමාපත්තිය යනු ලෝකය තුළ ඇතිකර ගත හැකි උත්තරීතර තත්ත්වයයි. එය ලෝකෝත්තර සිතක්‌ නොවේ. මාර්ගඵල සහ ඵලසමාපත්ති සිත් ලෝකෝත්තර සිත් වේ. ඵලසමාපත්ති සිතක දී වේදනා සංඥා දැනුවත් වුවද ඊට ප්‍රතිචාර නොදක්‌වයි.

බුද්ධ ශාසනය තවම බබළයි. නැවත මිය යාමට පෙර ප්‍රමාද නොවී අත්විඳින්න. තර්ක නැත, මායා නැත, නිදහස්‌ මනසකින් අවබෝධ කරගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඒ අසිරිමත් මැදුම් පිළිවෙත

මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

ලෝ වැසියන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින බව බුදුදහම පෙන්වාදෙයි. බැතිමත්හු ආගමික ව අන්තවාදී වෙති. ඔවුහු තම තමන් පිළිගන්නා තම තමන් අදහන විශ්වාස කරන ආගමික මතයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නො සිතති. බොහෝ විට සාමාන්‍ය පොදුජනයා අතර මෙවැන්නෝ සුලබ වෙති. තර්ක විතර්ක වාද විවාදයෙහි දක්ෂ බුද්ධිමත්හු දාර්ශනික අන්තවාදියෝ වෙති.
අනේක විධ හේතු සාධක සහිතව සහේතුක ව සාධාරණ ව තමන් පිළිගන්නා දාර්ශනික මතවාදයෙහි නිපුණ වු උගතුන් අතර මෙවැන්නෝ නො අඩුව සිටිති. මේ හැරුණු විට සමාජ, සංස්කෘතික, කරුණු පිළිබඳව විවිධාකාර හේතු සාධක දක්වමින් අන්තවාදීව සිතන්නෝ පොදු ජන සමාජය තුළ නොමඳව සිටිති. පෞද්ගලික ව වූ ගෘහාශි‍්‍රත ජීවිතය හා බැඳුණු කරුණුවලදී මෙන්ම එම ජීවිතය ආශි‍්‍රත ප්‍රශ්නවලදී අන්තගාමී ව සිතා ක්‍රියාකරන්නෝද මෙම ගණයට අයත්වෙති. එසේම සිය වෘත්තීය ජීවිතය, බාහිර සමාජ ජීවිතය ආශි‍්‍රත කරුණු ගැටලු ආදියෙහිද එක් අන්තයකම රැඳෙමින් , එක් පක්ෂයකට ම වහල් වී එක් අදහසකම එල්බ ගැනීමද සමාජයෙහි දැකගත හැකිය. ආගමික, දාර්ශනික, ශාස්ත්‍රීය, සමාජිය හෝ පෞද්ගලික කරුණුවලදි මෙසේ එක් මතයකම එල්බ සිටීම බුදුදහම හඳුන්වන්නේ දෘෂ්ටි ග්‍රහණය කිරීමක් ලෙස ය.අන්තගාමී වීමක් ලෙසය. උපාදාන ග්‍රහණයක් ලෙසය. බුද්ධකාලීන භාරතීය ආගමික දාර්ශනික සංස්කෘතික පරිසරය තුළ එසේ දෘෂ්ටි ග්‍රහණය කළ අන්තගාමී වුවෝ නොමඳවම සිටියහ. ඔවුන්ගේ එම අන්තවාදී අදහස් මතවාද පාලි සූත්‍ර දේශනාවල නිබඳවම වාර්තා කොට තිබේ. විටෙක සූත්‍ර දේශනාවල අන්තග්‍රාහි මතවාද දෙසැටක් ගැන සඳහන් වෙයි. තවත් විටෙක එවන් අන්තවාද බොහෝ ගණනක් ඇතැයි පෙන්වා දී ඇත. සමකාලීන අන්තවාදී අදහස් දෙයාකාර යැයිද සිවු ආකාරය යැයි දක්වා ඇති අවස්ථාවන් සුලබය. ඒ ඒ අන්තවාදියෝ තම මතයම තම අදහසම සත්‍යය. සෙසු මත සෙසු අදහස් අසත්‍යය. වැරැදි යැයි සිතති. කියති. කරුණු දක්වති. අප ජීවත් වන මේ සමාජය තුළ ද මෙවැන්නවුන් දැක ගත හැකිය.
අන්තවාදියා තම මතයේ ම සිර වී සිටියි. තම පක්ෂයටම ගැතිවෙයි. ඔහු තමා පිළිගත් මතයෙහි පක්ෂයෙහි සිරකරුවෙකු වැනිය. වහලෙකු වැනිය. එයම සත්‍යය. නිවැරැදි යැයි සිතන හෙතෙම එහිම එල්බගෙන සිටියි. ඔහුට නිදහසේ සිතා විමසා බැලිය නොහැකිය. මතය, අදහස පිළිගැනීම විසින් නටවන රූකඩයක තත්ත්වයට පත්වන හෙතෙම ඇති තතු ඇති සැටියෙන් නොදකියි. හෙතෙම අනුන්ට සවන් නොදෙයි. අනුන් පවසන අදහස සත්‍ය ද අසත්‍ය 
දැයි නොවිමසයි. නොසිතයි. තම මතයෙහිම ගිලෙයි. ඔහු අන්ධයෙකු වැනිය. එසේම අන්තවාදියා තුළ ඉවසීම ද නැත. තම මතයට එකඟ නොවන්නන් ගැන, ප්‍රතිපක්ෂ මත දරන්නවුන් ගැන හෙතෙම කෝපයටද පත්වෙයි. ඔවුන්ට පහර දෙයි. ඔවුන් සමඟ ගැටෙයි. වාද විවාද පවත්වයි. තම මතයම නිවැරැදි බවත් මත වැරැදි බවත් කියමින් තර්ක කරයි. හේතු සාධකද දක්වයි. කරුණු ඉදිරිපත් කරයි. එසේ වාචික කරුණු දැක්වීම් වාද විවාද තර්ක විතර්ක විටෙක කෙළවර වන්නේ කායිකවද අන්තවාදීන්ට පහර දීමෙනි.අන්තවාදීහු එක් පැත්තකින් පමණක් ගැටලු දකින්නෝය. බුදුදහම ඔවුන් හඳුන්වන්නේ ‘ඒකංග දස්සී’ යනුවෙනි. ඔහුගේ චින්තනය පටුය. ගැටලුව පුඵල් ලෙස හැම පැත්තකින්ම දැකීමට ඔවුන් අසමත්ය. මෙම තත්වයට පත් පුද්ගලයෝ විටෙක පවුල් පරිසරය තුළද,ආගමික, දාර්ශනික, ධර්ම, ශාස්ත්‍රීය පරිසරය තුළද,වෘත්තීය පරිසරය තුළද දක්නා ලැබෙත්.

කවර කරුණකදී වුවද සියලු අන්තග්‍රාහී කල්පනාවන් පසෙකින් තැබිය යුතු යැයි බුදුන් වහන්සේ වදාළ සේක. බුදුසමය තුළ එබඳු චින්තාවන් ඨපනීය (පසෙකින් තබන ලද) ගණට ඇතුළත් වෙයි. ඒවා බුදුරදුන් විසින් විසඳනු නොලැබේ. (අව්‍යාකත) බුදුරජාණන් වහන්සේ සමකාලීන දෙසැටක් වු අන්තග්‍රාහී මතවාදයන් පසෙකින් තැබූහ. ඉන් එකක හෝ එල්බ නොගත්හ. හැටතුන් වැනි අන්තවාදයක්ද ඉදිරිපත් නොකළහ. එම මතවාද සියල්ල පසෙකින් තබා උත්තරීතර වූ යථාර්ථය සත්‍යය දැන දැකගත්හ. ඒ මධ්‍යස්ථ චින්තනයෙනි. සමබර වු හේතුඵල දර්ශනයෙනි. මූලික වශයෙන්ම එකී සමකාලීන අන්තවාදයෝ දෙයාකාර වූහ. ඒ නිත්‍යාත්මයක් ඇත. යන ශාස්වත දෘෂ්ටිය හා නිත්‍යාත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටිය යනුවෙනි. බුදුසමය එම උභයාන්තයම පසෙකින් තබා සමබර මධ්‍යස්ථ චින්තනය ඉගැන්වෙන හේතුඵල දර්ශනයම ප්‍රකාශ කරයි. එකී උභයාන්තයම පාදක කොටගත් අන්තවාද සතර (චතුස්කෝටික දෘෂ්ටිය ද) පසෙකින් තබන හේතුඵල දැක්ම වූ කලි බුදුන් වදාළ මධ්‍යම දේශනාවයි. මෙසේ සියලු කරුණුවලදී මැදිහත්ව හේතුඵල දහම අනුව සිතිය යුතුය. අන්තග්‍රාහී නොවිය යුතුය. සමකාලීන සාමයික ප්‍රතිපදාවෝ ද අන්තවාද දෙකකට ඇතුළත් වූහ. එනම් නිත්‍යාත්මයක් ඇතැයි ශාස්වතවාදී වෙමින් අත්තකිලමතානුයෝගීව තමා තමාටම කටුක වූ අධික දුක් පීඩා දුන් පිළිවෙත හා නිත්‍යාත්මයක් නැතැයි අශාස්තවාදීව උපරිම වශයෙන් පස්කම් සුවයෙහි ඇලීමේ පිළිවෙතයි. මෙම පළමු ප්‍රතිපදාව බුදුදහම දකින්නේ අන්තවාදි ආගමික උමතුවක් ලෙසය. දෙවැන්න ආගම් විරෝධී පිළිවෙතකි . මෙකි අත්තකිලමතානුයෝගය මෙන්ම කාමසුඛල්ලිකානු යෝගයද බැහැර කළ බුදුරජාණන් වහන්සේ එම උභයාන්තයටද නොවැටී මධ්‍යස්ථ වූහ. චින්තනයෙන් මෙන්ම චරණයෙන්ද අන්තග්‍රාහී නොවන්නට මැදිහත්ව සිතන්නට හා පිළිපදින්නට බුදුසමය ශ්‍රාවක ප්‍රජාවට මඟ පෙන්වයි. සමබර දැක්මක් මත පිහිටා සමබර පිළිවෙතක් අනුගමනය කිරීම එහිලා අපේක්ෂා කෙරේ.
අන්තග්‍රාහී අන්තවාදී නොවන මැදිහත් තැනැත්තාට නිදහස්ව විචාර පූර්වකව සිතිය හැකිය. හෙතෙම අනුන්ට සවන් දෙයි.අනුන්ගේ අදහස්වලටද ගරු කරයි. විරුද්ධ අදහසක් ඔහුට නැත. අන්තවාදිව කිසිවක් පිළිනොගන්නා ඔහු අන්තවාදිව කිසිවක් ප්‍රතික්ෂේපද නොකරයි. හෙතෙම අනුන්ගේ මතවාද අසා නොකිපෙයි. ඔහු ඉවසිලිමත් ය. නුවණැත්තේය. කවර කරුණක වුවද කවර ගැටලුවක වුවද එක් පැත්තකින් පමණක් බලා (එකංගදස්සිව) තීරණ නොගනී. වඩාත් පුඵල් ව හැම පැත්තකින්ම ගැටලු දෙස බලයි. ඇත්ත ඇති සැටියෙන් දකියි. ඔහු කඳු මුදුනකට නැඟුනෙක් වැනි ය. එවැන්නෙකුට හැම පැත්තක්ම පෙනෙයි. එබැවින් එක් පැත්තක එල්බ ගන්නේ නැත.මේ බෞද්ධ චින්තන ක්‍රමයයි. මෙසේ මැදිහත්ව, ඉවසිලිමත්ව, විචාර පූර්වකව, නිදහසේ සිතන, නිදහසේ සදාචාර මාර්ගයේ ගමන් කරන පුළුල් දැක්මක් ඇත්තෙකු වීමට බුදුරජාණන් වහන්සේ නොයෙක් විට නොයෙක් අයුරින් ශ්‍රාවකයන් දැනුවත් කළහ. මෙහිදී බුද්ධ වචනය වුවද අන්තවාදීව කරගසා ගැන්ම එල්බ ගැන්ම පිණිස නොවේ. ගැටලු විසදා ගැන්මටය. දුකින් මිදෙන්නට යැයි පෙන්වා දෙන ලදී. සිය ශ්‍රාවක ප්‍රජාව සිය දහමෙහි වුවද වහලුන් සේ මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි අන්තවාදී වීම උන්වහන්සේ අපේක්ෂා නොකළහ.එය දහම වරදවා ගැන්මකි. එලෙස බුදුදහම අන්තවාදිව ගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගැන්මක් වැනි යැයි පෙන්වා දෙන ලදී. වලිගයෙන් ඇල්ලු විට සර්පයා ඇල්ලූ තැනැත්තාට දෂ්ට කරයි. සර්පයෙකු අල්ලා ගත යුත්තේ උගේ හිසෙනි. එමෙන්ම බුදු වදනද නිවැරැදිව ගත යුතුය. බුදු වදනෙහි අරමුණ ද එහි අර්ථය ද ස්වභාවය ද නිසි පරිදි දැක ඒ වෙත එළඹීමට බුදුරදුන් විසින් උගන්වන ලද්දේය.
බුදුදහමෙහි පදනම වන්නේ හේතුඵල දර්ශනයයි. එනම් පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදය දැකීම නම් බුදුදහම දැකීමය. බුදුදහම දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීමයි. සිව්සස් දැක්ම මෙන්ම තිලකුණු දැක්මද ඇතුළු සියලු බෞද්ධ සිද්ධාන්තයන් ඒ හා බැඳෙයි. මෙකී මූලික බෞද්ධ ඉගැන්වීම් මැදිහත් චින්තනයද ඒ අනුව ගිය මැදිහත් පිළිවෙත ද අර්ථවත් කරයි. මිනිස් ජීවිතයේ යථාර්ථය වු සංසාරගත දුකත්, ඉන් අත්මිදීමේ මගත් මැදුම් පිළිවෙත මත පිහිටා පැහැදිලි කිරීම බුදුදහමෙහි අරමුණයි. එම අරමුණ වෙත යොමුවූ ඉහත කී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව ගිය චින්තනය මෙන්ම චරනයද ඇති තැනැත්තා වූ කලි තැන්පත්ය. සංවරශීලිය. ජයග්‍රහණයෙන් වෛරයද, පරාජයෙන් දුකද උපදනා බව දන්නා හෙතෙම තරගයට එක් නොවෙයි. එබැවින්ම ජයද, පරාජයද නොලබයි. සුවසේ වසයි. අතීතයට එක්වු ඉක්ම ගියදේ ගැන හෙතෙම ශෝක නොවෙයි. අනාගතයට අයත් නූපන් දේ ගැනද හෙතෙම අපේක්ෂා භරිතව නොතැවෙයි. වර්තමානයෙන් යැපෙන තුටුපහටු වන හෙතෙම ප්‍රසන්නය. මේ වූ කලි මැදිහත් සිතුවිලි ද, මැදිහත් පැවතුම්ද ඇතිව ඇති තතු ඇති සැටියෙන් දන්නා දක්නා තැනැත්තාගේ ස්වභාවයයි. කුඩා දියපහර අවම අත්දැකීම් ඇත්තේය. අවම හැකියාවන් ඇත්තේය. එහෙත් මහ හඬ ඇත්තේය. මහා ගංගාව වූ කලි උපරිම අත්දැකීම් සහිතය. උපරිම හැකියාවන් සහිතය. එහෙත් නිහඬය . මැදිහත්ව දිවි මඟ හැඩගසාගත් එසේ නැතිනම් බුදුදහම අනුව ජීවිතය ගොඩනඟාගත් තැනැත්තා ද මහා ගංගාවක් වැනිය. ධර්මාවබෝධිය අත්දැකීමක් කොටගත් මෙම ශ්‍රාවකයා වූ කලි අකම්ප්‍ය වූ සිත්සතන් ඇත්තෙකි. හෙතෙම අටලෝ දහමින් කම්පා නොවෙයි. පෘථිවියෙහි ගැඹුරටම සිටුවන ලද මහ ටැඹක් ඉන්ද්‍රඛීලයක් සිවුදිගින් හමන වාත වේගයෙන් කම්පා නොවන්නා සේ හෙතෙම අකම්ප්‍යය. කායික වූත්, මානසික වූත් උක්ත සංවරය ඇති බැවින්ම හෙතෙම සදාචාර සම්පන්නය.එහෙත් මානසික පාරිශුද්ධියට තුඩු නොදෙන දැඩිව එල්බගත් සදාචාර පිළිවෙතක් ඔහු තුළ නැත. ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. සිත්සතන්හි වැඩීමට උපකාරි වන පිළිවෙතයි. චරිත සංවර්ධනයට තුඩුදෙන සදාචාර මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤