ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ඒ අසිරිමත් මැදුම් පිළිවෙත

මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

ලෝ වැසියන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින බව බුදුදහම පෙන්වාදෙයි. බැතිමත්හු ආගමික ව අන්තවාදී වෙති. ඔවුහු තම තමන් පිළිගන්නා තම තමන් අදහන විශ්වාස කරන ආගමික මතයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නො සිතති. බොහෝ විට සාමාන්‍ය පොදුජනයා අතර මෙවැන්නෝ සුලබ වෙති. තර්ක විතර්ක වාද විවාදයෙහි දක්ෂ බුද්ධිමත්හු දාර්ශනික අන්තවාදියෝ වෙති.
අනේක විධ හේතු සාධක සහිතව සහේතුක ව සාධාරණ ව තමන් පිළිගන්නා දාර්ශනික මතවාදයෙහි නිපුණ වු උගතුන් අතර මෙවැන්නෝ නො අඩුව සිටිති. මේ හැරුණු විට සමාජ, සංස්කෘතික, කරුණු පිළිබඳව විවිධාකාර හේතු සාධක දක්වමින් අන්තවාදීව සිතන්නෝ පොදු ජන සමාජය තුළ නොමඳව සිටිති. පෞද්ගලික ව වූ ගෘහාශි‍්‍රත ජීවිතය හා බැඳුණු කරුණුවලදී මෙන්ම එම ජීවිතය ආශි‍්‍රත ප්‍රශ්නවලදී අන්තගාමී ව සිතා ක්‍රියාකරන්නෝද මෙම ගණයට අයත්වෙති. එසේම සිය වෘත්තීය ජීවිතය, බාහිර සමාජ ජීවිතය ආශි‍්‍රත කරුණු ගැටලු ආදියෙහිද එක් අන්තයකම රැඳෙමින් , එක් පක්ෂයකට ම වහල් වී එක් අදහසකම එල්බ ගැනීමද සමාජයෙහි දැකගත හැකිය. ආගමික, දාර්ශනික, ශාස්ත්‍රීය, සමාජිය හෝ පෞද්ගලික කරුණුවලදි මෙසේ එක් මතයකම එල්බ සිටීම බුදුදහම හඳුන්වන්නේ දෘෂ්ටි ග්‍රහණය කිරීමක් ලෙස ය.අන්තගාමී වීමක් ලෙසය. උපාදාන ග්‍රහණයක් ලෙසය. බුද්ධකාලීන භාරතීය ආගමික දාර්ශනික සංස්කෘතික පරිසරය තුළ එසේ දෘෂ්ටි ග්‍රහණය කළ අන්තගාමී වුවෝ නොමඳවම සිටියහ. ඔවුන්ගේ එම අන්තවාදී අදහස් මතවාද පාලි සූත්‍ර දේශනාවල නිබඳවම වාර්තා කොට තිබේ. විටෙක සූත්‍ර දේශනාවල අන්තග්‍රාහි මතවාද දෙසැටක් ගැන සඳහන් වෙයි. තවත් විටෙක එවන් අන්තවාද බොහෝ ගණනක් ඇතැයි පෙන්වා දී ඇත. සමකාලීන අන්තවාදී අදහස් දෙයාකාර යැයිද සිවු ආකාරය යැයි දක්වා ඇති අවස්ථාවන් සුලබය. ඒ ඒ අන්තවාදියෝ තම මතයම තම අදහසම සත්‍යය. සෙසු මත සෙසු අදහස් අසත්‍යය. වැරැදි යැයි සිතති. කියති. කරුණු දක්වති. අප ජීවත් වන මේ සමාජය තුළ ද මෙවැන්නවුන් දැක ගත හැකිය.
අන්තවාදියා තම මතයේ ම සිර වී සිටියි. තම පක්ෂයටම ගැතිවෙයි. ඔහු තමා පිළිගත් මතයෙහි පක්ෂයෙහි සිරකරුවෙකු වැනිය. වහලෙකු වැනිය. එයම සත්‍යය. නිවැරැදි යැයි සිතන හෙතෙම එහිම එල්බගෙන සිටියි. ඔහුට නිදහසේ සිතා විමසා බැලිය නොහැකිය. මතය, අදහස පිළිගැනීම විසින් නටවන රූකඩයක තත්ත්වයට පත්වන හෙතෙම ඇති තතු ඇති සැටියෙන් නොදකියි. හෙතෙම අනුන්ට සවන් නොදෙයි. අනුන් පවසන අදහස සත්‍ය ද අසත්‍ය 
දැයි නොවිමසයි. නොසිතයි. තම මතයෙහිම ගිලෙයි. ඔහු අන්ධයෙකු වැනිය. එසේම අන්තවාදියා තුළ ඉවසීම ද නැත. තම මතයට එකඟ නොවන්නන් ගැන, ප්‍රතිපක්ෂ මත දරන්නවුන් ගැන හෙතෙම කෝපයටද පත්වෙයි. ඔවුන්ට පහර දෙයි. ඔවුන් සමඟ ගැටෙයි. වාද විවාද පවත්වයි. තම මතයම නිවැරැදි බවත් මත වැරැදි බවත් කියමින් තර්ක කරයි. හේතු සාධකද දක්වයි. කරුණු ඉදිරිපත් කරයි. එසේ වාචික කරුණු දැක්වීම් වාද විවාද තර්ක විතර්ක විටෙක කෙළවර වන්නේ කායිකවද අන්තවාදීන්ට පහර දීමෙනි.අන්තවාදීහු එක් පැත්තකින් පමණක් ගැටලු දකින්නෝය. බුදුදහම ඔවුන් හඳුන්වන්නේ ‘ඒකංග දස්සී’ යනුවෙනි. ඔහුගේ චින්තනය පටුය. ගැටලුව පුඵල් ලෙස හැම පැත්තකින්ම දැකීමට ඔවුන් අසමත්ය. මෙම තත්වයට පත් පුද්ගලයෝ විටෙක පවුල් පරිසරය තුළද,ආගමික, දාර්ශනික, ධර්ම, ශාස්ත්‍රීය පරිසරය තුළද,වෘත්තීය පරිසරය තුළද දක්නා ලැබෙත්.

කවර කරුණකදී වුවද සියලු අන්තග්‍රාහී කල්පනාවන් පසෙකින් තැබිය යුතු යැයි බුදුන් වහන්සේ වදාළ සේක. බුදුසමය තුළ එබඳු චින්තාවන් ඨපනීය (පසෙකින් තබන ලද) ගණට ඇතුළත් වෙයි. ඒවා බුදුරදුන් විසින් විසඳනු නොලැබේ. (අව්‍යාකත) බුදුරජාණන් වහන්සේ සමකාලීන දෙසැටක් වු අන්තග්‍රාහී මතවාදයන් පසෙකින් තැබූහ. ඉන් එකක හෝ එල්බ නොගත්හ. හැටතුන් වැනි අන්තවාදයක්ද ඉදිරිපත් නොකළහ. එම මතවාද සියල්ල පසෙකින් තබා උත්තරීතර වූ යථාර්ථය සත්‍යය දැන දැකගත්හ. ඒ මධ්‍යස්ථ චින්තනයෙනි. සමබර වු හේතුඵල දර්ශනයෙනි. මූලික වශයෙන්ම එකී සමකාලීන අන්තවාදයෝ දෙයාකාර වූහ. ඒ නිත්‍යාත්මයක් ඇත. යන ශාස්වත දෘෂ්ටිය හා නිත්‍යාත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටිය යනුවෙනි. බුදුසමය එම උභයාන්තයම පසෙකින් තබා සමබර මධ්‍යස්ථ චින්තනය ඉගැන්වෙන හේතුඵල දර්ශනයම ප්‍රකාශ කරයි. එකී උභයාන්තයම පාදක කොටගත් අන්තවාද සතර (චතුස්කෝටික දෘෂ්ටිය ද) පසෙකින් තබන හේතුඵල දැක්ම වූ කලි බුදුන් වදාළ මධ්‍යම දේශනාවයි. මෙසේ සියලු කරුණුවලදී මැදිහත්ව හේතුඵල දහම අනුව සිතිය යුතුය. අන්තග්‍රාහී නොවිය යුතුය. සමකාලීන සාමයික ප්‍රතිපදාවෝ ද අන්තවාද දෙකකට ඇතුළත් වූහ. එනම් නිත්‍යාත්මයක් ඇතැයි ශාස්වතවාදී වෙමින් අත්තකිලමතානුයෝගීව තමා තමාටම කටුක වූ අධික දුක් පීඩා දුන් පිළිවෙත හා නිත්‍යාත්මයක් නැතැයි අශාස්තවාදීව උපරිම වශයෙන් පස්කම් සුවයෙහි ඇලීමේ පිළිවෙතයි. මෙම පළමු ප්‍රතිපදාව බුදුදහම දකින්නේ අන්තවාදි ආගමික උමතුවක් ලෙසය. දෙවැන්න ආගම් විරෝධී පිළිවෙතකි . මෙකි අත්තකිලමතානුයෝගය මෙන්ම කාමසුඛල්ලිකානු යෝගයද බැහැර කළ බුදුරජාණන් වහන්සේ එම උභයාන්තයටද නොවැටී මධ්‍යස්ථ වූහ. චින්තනයෙන් මෙන්ම චරණයෙන්ද අන්තග්‍රාහී නොවන්නට මැදිහත්ව සිතන්නට හා පිළිපදින්නට බුදුසමය ශ්‍රාවක ප්‍රජාවට මඟ පෙන්වයි. සමබර දැක්මක් මත පිහිටා සමබර පිළිවෙතක් අනුගමනය කිරීම එහිලා අපේක්ෂා කෙරේ.
අන්තග්‍රාහී අන්තවාදී නොවන මැදිහත් තැනැත්තාට නිදහස්ව විචාර පූර්වකව සිතිය හැකිය. හෙතෙම අනුන්ට සවන් දෙයි.අනුන්ගේ අදහස්වලටද ගරු කරයි. විරුද්ධ අදහසක් ඔහුට නැත. අන්තවාදිව කිසිවක් පිළිනොගන්නා ඔහු අන්තවාදිව කිසිවක් ප්‍රතික්ෂේපද නොකරයි. හෙතෙම අනුන්ගේ මතවාද අසා නොකිපෙයි. ඔහු ඉවසිලිමත් ය. නුවණැත්තේය. කවර කරුණක වුවද කවර ගැටලුවක වුවද එක් පැත්තකින් පමණක් බලා (එකංගදස්සිව) තීරණ නොගනී. වඩාත් පුඵල් ව හැම පැත්තකින්ම ගැටලු දෙස බලයි. ඇත්ත ඇති සැටියෙන් දකියි. ඔහු කඳු මුදුනකට නැඟුනෙක් වැනි ය. එවැන්නෙකුට හැම පැත්තක්ම පෙනෙයි. එබැවින් එක් පැත්තක එල්බ ගන්නේ නැත.මේ බෞද්ධ චින්තන ක්‍රමයයි. මෙසේ මැදිහත්ව, ඉවසිලිමත්ව, විචාර පූර්වකව, නිදහසේ සිතන, නිදහසේ සදාචාර මාර්ගයේ ගමන් කරන පුළුල් දැක්මක් ඇත්තෙකු වීමට බුදුරජාණන් වහන්සේ නොයෙක් විට නොයෙක් අයුරින් ශ්‍රාවකයන් දැනුවත් කළහ. මෙහිදී බුද්ධ වචනය වුවද අන්තවාදීව කරගසා ගැන්ම එල්බ ගැන්ම පිණිස නොවේ. ගැටලු විසදා ගැන්මටය. දුකින් මිදෙන්නට යැයි පෙන්වා දෙන ලදී. සිය ශ්‍රාවක ප්‍රජාව සිය දහමෙහි වුවද වහලුන් සේ මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි අන්තවාදී වීම උන්වහන්සේ අපේක්ෂා නොකළහ.එය දහම වරදවා ගැන්මකි. එලෙස බුදුදහම අන්තවාදිව ගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගැන්මක් වැනි යැයි පෙන්වා දෙන ලදී. වලිගයෙන් ඇල්ලු විට සර්පයා ඇල්ලූ තැනැත්තාට දෂ්ට කරයි. සර්පයෙකු අල්ලා ගත යුත්තේ උගේ හිසෙනි. එමෙන්ම බුදු වදනද නිවැරැදිව ගත යුතුය. බුදු වදනෙහි අරමුණ ද එහි අර්ථය ද ස්වභාවය ද නිසි පරිදි දැක ඒ වෙත එළඹීමට බුදුරදුන් විසින් උගන්වන ලද්දේය.
බුදුදහමෙහි පදනම වන්නේ හේතුඵල දර්ශනයයි. එනම් පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදය දැකීම නම් බුදුදහම දැකීමය. බුදුදහම දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීමයි. සිව්සස් දැක්ම මෙන්ම තිලකුණු දැක්මද ඇතුළු සියලු බෞද්ධ සිද්ධාන්තයන් ඒ හා බැඳෙයි. මෙකී මූලික බෞද්ධ ඉගැන්වීම් මැදිහත් චින්තනයද ඒ අනුව ගිය මැදිහත් පිළිවෙත ද අර්ථවත් කරයි. මිනිස් ජීවිතයේ යථාර්ථය වු සංසාරගත දුකත්, ඉන් අත්මිදීමේ මගත් මැදුම් පිළිවෙත මත පිහිටා පැහැදිලි කිරීම බුදුදහමෙහි අරමුණයි. එම අරමුණ වෙත යොමුවූ ඉහත කී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව ගිය චින්තනය මෙන්ම චරනයද ඇති තැනැත්තා වූ කලි තැන්පත්ය. සංවරශීලිය. ජයග්‍රහණයෙන් වෛරයද, පරාජයෙන් දුකද උපදනා බව දන්නා හෙතෙම තරගයට එක් නොවෙයි. එබැවින්ම ජයද, පරාජයද නොලබයි. සුවසේ වසයි. අතීතයට එක්වු ඉක්ම ගියදේ ගැන හෙතෙම ශෝක නොවෙයි. අනාගතයට අයත් නූපන් දේ ගැනද හෙතෙම අපේක්ෂා භරිතව නොතැවෙයි. වර්තමානයෙන් යැපෙන තුටුපහටු වන හෙතෙම ප්‍රසන්නය. මේ වූ කලි මැදිහත් සිතුවිලි ද, මැදිහත් පැවතුම්ද ඇතිව ඇති තතු ඇති සැටියෙන් දන්නා දක්නා තැනැත්තාගේ ස්වභාවයයි. කුඩා දියපහර අවම අත්දැකීම් ඇත්තේය. අවම හැකියාවන් ඇත්තේය. එහෙත් මහ හඬ ඇත්තේය. මහා ගංගාව වූ කලි උපරිම අත්දැකීම් සහිතය. උපරිම හැකියාවන් සහිතය. එහෙත් නිහඬය . මැදිහත්ව දිවි මඟ හැඩගසාගත් එසේ නැතිනම් බුදුදහම අනුව ජීවිතය ගොඩනඟාගත් තැනැත්තා ද මහා ගංගාවක් වැනිය. ධර්මාවබෝධිය අත්දැකීමක් කොටගත් මෙම ශ්‍රාවකයා වූ කලි අකම්ප්‍ය වූ සිත්සතන් ඇත්තෙකි. හෙතෙම අටලෝ දහමින් කම්පා නොවෙයි. පෘථිවියෙහි ගැඹුරටම සිටුවන ලද මහ ටැඹක් ඉන්ද්‍රඛීලයක් සිවුදිගින් හමන වාත වේගයෙන් කම්පා නොවන්නා සේ හෙතෙම අකම්ප්‍යය. කායික වූත්, මානසික වූත් උක්ත සංවරය ඇති බැවින්ම හෙතෙම සදාචාර සම්පන්නය.එහෙත් මානසික පාරිශුද්ධියට තුඩු නොදෙන දැඩිව එල්බගත් සදාචාර පිළිවෙතක් ඔහු තුළ නැත. ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. සිත්සතන්හි වැඩීමට උපකාරි වන පිළිවෙතයි. චරිත සංවර්ධනයට තුඩුදෙන සදාචාර මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤