ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අනාගාමී උතුමා හා සමාජ සම්මතය

අනාගාමී මාර්ගඵල අවබෝධය ලබත්ම පුද්ගලයෙකු කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම මුළුමණින්ම ප්‍රහාණය කර දමනු ලබන බව ධර්මයෙහි සඳහන්ය. එබඳු පුද්ගලයෙකුගේ චිත්ත සන්තානය කෙබඳු විය හැකිද? සෝවාන් මාර්ගඵල ලාභයේදී පුද්ගලයෙකු ප්‍රහාණය කරන සක්‌කාය දිට්‌ඨී, සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම දෘෂ්ටි ගණයට අයත්ය. එබැවින් ඒවා ප්‍රහාණය කිරීම දෘෂ්ටි ප්‍රතිලාභයට පැමිණීමක්‌ ලෙස ධම්මසංගණියෙහි දක්‌වා ඇත. මූලික ආර්යභාවයට පත්වන පුද්ගලයාහට ඇත්තේ දර්ශන සම්පත්තිය හෙවත් දෘෂ්ටි ප්‍රතිලාභය පමණකි. එබඳු ආර්යශ්‍රාවකයෙකු තවම කාමරාග හා පටිඝ යන සංයෝජන ප්‍රහාණය කර නොමැති නිසා ඒවායෙහි බලපෑමට හසුවීමට යටත්ය. සකෘදාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ සංයෝජනවල තුනීවීමක්‌ හෙවත් අඩු වීමක්‌ සිදු වන බව දක්‌වා ඇතත් මුළුමනින්ම ප්‍රහාණය නොවන බව පෙන්වා දී තිබේ. ඒ නිසාම එබඳු උතුමෙකුගේ සිත තුළ එබඳු මානසික ආවේග යම් පමණකට බලපවත්වන බව මේ අනුව පැහැදිලිය. 
නමුදු විශාලම ගැටලුව ඇත්තේ ඊළඟ අවස්‌ථාව වන අනාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ යන සංයෝජන මුළුමණින්ම ප්‍රහාණය වීම ඒ උතුමාහට දැනෙන ආකාරය සාමාන්‍ය සමාජය කිනම් ලෙසකට වටහාගන්නේද යන්නයි. සාමාන්‍යයෙන් මෙහිදී ථෙරවාදී සාම්ප්‍රදායික අර්ථවිවරණවලදී නම් සිදු කරන්නේ හුදෙක්‌ එය පාලි ත්‍රිපිටකයේ දක්‌වා ඇති ආකාරයට වන පොත්කර මතක තබා ගැනීමය. යළි එය කිසිවෙකුහට අර්ථවිවරණය කරනුයේද තමන් මතක තබාගත් පොත්වල සඳහන් වන ආකාරය අනුව මිස ඒ පිළිබඳ අසන්නන් තුළ කිසිදු ප්‍රාමාණික වටිනාකමකින් යුතු අවබෝධයක්‌ ගොඩනැඟෙන ආකාරයට නොවීම බුදුදහමෙහි සජීවී බව වියෑකී යැමට ප්‍රධානතම හේතුවකි. මෙකල ධර්ම දේශනා අසා මූලික බුදු සමයෙහි සඳහන් වන ආකාරයට මෙකල එකල මෙන් මාර්ගඵල ප්‍රතිවේධය නොලැබෙන්නේ මන්දැයි සිතන්නෙකුට දිය යුතු සුදුසුම පිළිතුර ඉහත සඳහන් වැකිය තුළ ගැබ්ව ඇත. එනම් මෙකල බුදු දහම දේශනා කරනු ලබන්නේ, ශ්‍රවණය කරනු ලබන්නේ හා ඉගෙනගනු ලබන්නේ මුල් බුදුසමයෙහි එය සිදු කළ ආකාරයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට වීම මෙයට හේතුවයි. 
වචන, භාෂාව, ව්‍යාකරණ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සන්නිවේදනය කිරීමට උපයෝගී කරනු ලබන මෙවලම් මිසක ඒ මෙවලම් තුළ අවබෝධයක්‌ සෙවීමට යැම ඔබ සොයන අවබෝධයෙන් තව තවත් දුරකට ඔබ තල්ලුකර හැරීමට සමත්වන්නක්‌ බව ඔබ අවබෝධ කරගත යුතුයි. මුල් යුගයෙහි රහතුන් සුලබවීමට හා අනුක්‍රමයෙන් වියෑකී යැමට ප්‍රධානතම හේතුවද මෙයමයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟම පාලි ත්‍රිපිටකය ලේඛනගත ස්‌වරූපයකට පත්ව ආරක්‌ෂා වීම සිදුවිය. එය ඉතිහාසයට අනුව සිදුවිය යුතු අත්‍යවශ්‍ය වූ දෙයක්‌ව තිබිණ. නමුදු සිදු වූයේ ඒ තුළ බුදු දහමෙහි සජීවී ස්‌වරූපය සැඟව යැමයි. නමුදු අවශ්‍ය කෙනෙකුට වචන, භාෂාව, ව්‍යාකරණ ආදී හුදෙක්‌ භාෂා මෙවලම්වල එල්ලී නොසිට අවබෝධය කරා සෘජුව ප්‍රවේශ වීමේ හැකියාව දහම තුළ තවමත් ශේෂව පවතියි. විශේෂයෙන් ඉහළ මාර්ගඵල මට්‌ටම් බඳු අති සියුම් ගැඹුරු මනෝභාවයන්හි තත්ත්වය පිරිසිඳ දැකීමට අවශ්‍ය අවබෝධය ළඟා කරගැනීමට නම් වචන, භාෂාව, ව්‍යාකරණවලින් මුළාවට පත්වීමෙන් වැළකී අවබෝධය ඇතිවන අයුරින් එය නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ කිරීම අතිශයින්ම වැදගත්ය. මෙතැන් සිට කාමරාග සංයෝජනය විග්‍රහ කිරීමට උත්සාහ දරන අතර එම උත්සාහයේදී පටිඝ සංයෝජනයද වටහාගැනීමට ලැබෙනු ඇත. එය අනාගාමී උතුමාගේ සිත කෙසේ දැයි අවබෝධ කර ගැනීමට පහසුවකි. එය ධර්මාවබෝධයට පත්වීමට ද හේතුවකි.
කාමසුගතියට අයත්වූ මනුෂ්‍ය ලෝකයෙහි ස්‌ත්‍රී, පුරුෂ යනුවෙන් ප්‍රධාන ලිංග නිර්ණ දෙකකි. ඊට අමතරව අකුසල විපාක මත උපන් නපුංසක, පණ්‌ඩක, උභතෝබ්‍යඤ්ජන ආදී වශයෙන් නාමිකව සඳහන් මේ ප්‍රධාන ලිංග නිර්ණ දෙක අතරවූ පරාස කීපයක්‌ විද්‍යමාන බව පාරාජිකාපාලි ආදී විනය පිටකයට අයත් පොත්පත්වල සඳහන්ය. ඒ කරුණ නූතන වෛද්‍ය විද්‍යාව විසින්ද සනාථ කර තිබේ. කෙසේ හෝ ඒවා ද ලිංගික නිර්ණයන්මය. මේ හේතු නිසා ලිංගිකත්වයෙන් බැහැරව දැකීමට හෝ අවම වශයෙන් සිතීමටවත් මේ හේතු මත මනුලොව කිසිවෙකුට අවකාශ ලැබී නැත. මනුලොව ජනගහන දල ලෙස අඩ බැගින් ස්‌ත්‍රී පුරුෂ ලෙස ද්විවිධ ප්‍රධාන ලිංග නිර්ණ දෙකට බහුතරය බෙදීයයි. මේ අනුව යමෙකු මේ ලෝකය සංජානනය කරනු ලබන්නේ පුරුෂයෙකු හෝ ස්‌ත්‍රියක ලෙසය. නැතහොත් අවශේෂ අනුලිංග නිර්ණවලට අනුකූලවය. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මානවයෙකුට කිසිදු ලිංග නිර්ණයකින් පරිබාහිරව ලොව තුළ කිසිදු දෙයක්‌ සංජානනය කළ නොහැකිය. පටිඝ යනු කාම රාගයෙහිම ප්‍රතිවිරුද්ධ අංශයයි.කාමය ඇලීම, ආකර්ෂණය නම් පටිඝය ගැටීම, විකර්ෂණයයි. මෙහි විශේෂත්වය නම් ආකර්ෂණය තිබෙන විටම විකර්ශණය ද ක්‍රියාත්මක වන්නා සේ කාමරාගය ඇතිවිටම පටිඝයද හටගන්නා බවයි. එසේ නම් කාමරාග නැතිකළ පටිඝය ද නොවේ. මෙය එකම කාසියෙහි දෙපැත්ත බඳුය. එක සංයෝජනයක්‌ ප්‍රහාණයෙන්ම අනෙක්‌ සංයෝජනය ද නොවේ. මෙහි ඇත්තේ හුදෙක්‌ වචන හරඹයක්‌ පමණකි. එය අවබෝධ කර ගැනීම ධර්ම ප්‍රතිවේධයට ඉවහල් වේ. ධර්මයෙහි ප්‍රායෝගික හා ලේඛනගත ස්‌වරූප අතර ඇත්තේ මේ වෙනසයි.
මනුලොව තුළ ඕනෑම අයෙකු පුරුෂ හෝ ස්‌ත්‍රී ස්‌වරූපවලට අයත් බැවින් නිර්ලිංගිකව, වියුක්‌ත ලිංගිකව හෝ අලිංගිකව සිතීමට හුරුවක්‌ නැත. නමුදු ධර්මයෙහි සියුම්, ගැඹුරු මට්‌ටම්වලට ප්‍රවේශ වීමට නම් එබඳු හුරුවක්‌ ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබඳු මානසික හුරුවක්‌ ඇතිකර ගැනීමට විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබෙන මානසික අභ්‍යාස බොහෝ උපකාරී වේ. සැබවින්ම නිවන් කරා යාහැකි සෘජුමඟ වැටී ඇත්තේද මේ මානසික අභ්‍යාස වැඩීම හරහාය. විදර්ශනා භාවනා වැඩීම නම් සතරසතිපට්‌ඨානය වැඩීමයි. කෙනෙකු පුරුෂයෙකුව සිට ලොව සංජානනය කිරීමේදී ඒ පුද්ගලයා ලොව අවබෝධ කර ගනුයේ පුරුෂ ස්‌වරූපයෙනි. ස්‌ත්‍රියකටද මේ ධර්මතාව පොදුය. යමෙකු ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සංජානනය කරගැනීමේදී ඒ පිළිබඳව සිතතුළ අවිද්‍යාව උපදවන හැඟීම්වලට අනුකූලව ක්‌ෂර්කව මොළයේ රසායනික ප්‍රතික්‍රියාද ඊට අනුරූපව දේහතුළ හෝර්මෝන ක්‍රියාකාරිත්වයද සිදු වී ස්‌නායු ක්‍රියාකාරිත්වයද ඊට සම්බන්ධ කර ගනිමින් ඉතා සංකීර්ණ ලෙස කාමරාග සංයෝජන හටගනු ලැබේ. මේ සමස්‌ත ක්‍රියාදාමයේ වේගය අතිසීඝ්‍රව සිදු වන නිසා මූලික අවස්‌ථාවන්හිදී නොදැනේ. කෙනෙකුට මේ හැඟීම් දැනෙනුයේ එය ස්‌නායු මට්‌ටම් දක්‌වා ව්‍යාප්තවූ පසුවය. සතර සතිපට්‌ඨාන භාවනා වැඩීමේදී අනුක්‍රමිකව මූලික අවස්‌ථාවේදීම මේ සියල්ලෙහිම ක්‍රියාකාරීත්ව මැනවින් සිහියෙන් හා නුවණින් පිරිසිඳ දැකගත හැකියි. මේ ක්‍රියාකාරීත්වය සිහි නුවණින් නොදැකීම එහි වර්ධනයටත් සිහි නුවණින් දැකීම එහි ක්‍ෂයවීමටත් හේතුවයි.
අවිහ, අතප්ප, සුදස්‌ස, සුදස්‌සි හා අකනිට්‌ඨ යන පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපන් උතුමන්ට මනුෂ්‍ය ලෝකයේ මෙන් ලිංග නිර්ණයක්‌ නැත. අනාගාමී හා අරහත් උතුමන් පමණක්‌ මේ ලොව වෙසේ. කාම රාග හා පටිඝ යන සංයෝජන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ලිංග අනන්‍යතාව ශුද්ධාවාසයේ නැත. එහි ඇත්තේ අලිංගිකවූ සියුම් ජීවී කොට්‌ඨාශයකි. ශුද්ධාවාස හැරෙන්නට සෙසු රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ලිංග අනන්‍යතාව තාවකාලිකව යටපත්ය. ලෞකික ධ්‍යාන සමාපත්ති බලයෙන් කෙළෙස්‌ යටපත් කිරීමක්‌ මිසක ප්‍රහාණය කිරීමක්‌ නොවන බැවින් යළිත් අවස්‌ථාවලද විටක ඉස්‌මතුවීමේ හැකියාව පවතී. දෙව්ලෝකද කාමසුගති ලෝකයට අයත් නිසා එහිද කාමරාග, පටිඝ පවතී. නමුදු දෙව්ලෝවල අනාගාමී මාර්ගඵලයට පහළ සෝවාන්, සකෘදාගාමී ආර්යයන් වෙසේ. කාමරාග පවතින බැවින් දෙව්ලෝවල පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණද පවතී. මින් පැහැදිලි වනුයේ ලිංග අනන්‍යතාව ගොඩනැඟීමේ හේතුව කාමරාගය බවයි. කාමරාග නැතිනම් ලිංග අනන්‍යතාවක්‌ ද නැත. එසේනම් මනුලොවදී විදර්ශනා වඩා කාමරාග ප්‍රහීණව අනාගාමීවූ උතුමාහට ලිංගික අනන්‍යතාවක්‌ නැත්තේද? එසේ කාමරාග ප්‍රහීණවූ උතුමා පුරුෂ හෝ ස්‌ත්‍රී වේවා බාහිරව කායිකව දිස්‌වන ලිංගික අනන්‍යතාව මිසක අභ්‍යන්තර මානසික ලිංගික අනන්‍යතාවයක්‌ එතුමා තුළ සැබවින්ම නැත. කිසිදු ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණයක්‌ (කාමරාග), විකර්ෂණයක්‌ (පටිඝ) අනාගාමී උතුමා තුළ යළි හට නොගනියි. මොළ සඟළ තුළ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා, සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරිත්ව හෝ ස්‌නායු උත්තේජන ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණ මත යළි කිසිදා හට නොගනියි. මේ මනුලොව අනාගාමී උතුමාගේ හා ශුද්ධාවාස අනාගාමී උතුමාගේ වෙනස හුදෙක්‌ බාහිර කායික ස්‌වරූප පමණකි. මනුලොව අනාගාමී උතුමා බාහිර පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණවලට අදාළ කයකින් පෙනී සිටියද ඊට අදාළ සංයෝජන ප්‍රහාණය කර ඇති නිසා මනුලොව දිවි ගෙවන ලිංගික අනන්‍යතාවක්‌ නැත්තෙකු ලෙස හැඳින්විය හැකිය. මේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගැනීමට මනුලොව වෙසෙන සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රජාවට නොහැකිය. ඒ ඔවුන් වචන, භාෂාව, ව්‍යාකරණවල එල්ලී හරඹ කරන නිසාය. ප්‍රධාන ලිංග දෙක යටතට නොගැනෙන නපුංසක, පණ්‌ඩක, උභතොබ්‍යඤ්ජන ආදී සෙසු අනු ලිංග වර්ගවලට අයත් අය තුළ සාමාන්‍ය පුරුෂ,ස්‌ත්‍රී අයටද වඩා කාමරාග, පටිඝ අධිකව බලපවත්වන බව ධර්මයෙහිම පෙන්වාදී ඇත. ඒ ඔවුන් කාමයෙහි වරදවා හැසිරීම් පාප කර්ම විපාක මත එලෙස උපන් බැවිනි.
කාමරාග, පටිඝ ක්‍රියාකාරිත්වය සමඟ ජීවත්වීමට වඩා එය ප්‍රහාණය කළවිට ජීවත්වීම පහසුය. සුවදායීය. ඒ පිළිබඳ පොදු සමාජ සම්මුතියට වඩා ධර්මාවබෝධය වෙනස්‌ය. ධර්මාවබෝධය ලද්දෙකුගේ චර්යාව මේ නිසා සාමාන්‍ය පොදුසමාජ සම්මුතියට වඩා වෙනස්‌ වීම ස්‌වභාවිකය. සමාජ සම්මුතිය තමන් ලද වැටහීමට වඩා වෙනස්‌ බව දන්නා නිසාම එබඳු උතුමෝ ලේබල් ගැසූ පුහු නිශ්ඵල සමාජ ප්‍රසිද්ධිය හඹා නොයති. මාර්ගඵල ලේබල්වලටත් ආර්ථික වටිනාකම් පිරිනැමෙන මේ යුගයෙහි නොයෙකුත් හිස්‌ පුද්ගලයෝ කුප්‍රසිද්ධිය තකා උත්තරීතර මනුස්‌සධම්ම තුට්‌ටුවට දමා සැබෑ ධර්මය අභිබවා පුද්ගල මමත්වයම ඉස්‌මතු කිරීමට වෑයම් කරති. ශුද්ධාවාසයන්හි ගිහි පැවිදි බේදයක්‌ද නැත.විවාහය නමැති ලිංගික චර්යාව පාදකවූ පවුල් දිවියක්‌ මනුලොව ඇති බැවින්ම මනුලොව තුළ ගිහි පැවිදි බේදය විද්‍යමානය. ශුද්ධාවාසී අනාගාමී රහත් උතුමෝ ගිහි පැවිදි බේද රහිතව හුදකලාව වෙසෙති. එහි මානසික පැවැත්ම මනුලොවට වඩා ප්‍රබල මට්‌ටම ඒනිසාම පවතී. නමුදු මනුලොව වඩාත් අගය කරනුයේ බාහිර පැවැත්මය. එනිසා බාහිර පැවත්මටද මූලිකත්වය ලබාදී ගිහිපැවිදි භේදය පවතී. බුදුදහමේ මූලික අභිප්‍රාය පුද්ගලයෙකුගේ මනස සකස්‌කිරීමයි. කය සකස්‌ කිරීමට වඩා මනස සකස්‌ කිරීම සාමාන්‍යයෙන් අපහසුය. කය පැවිදි කිරීමට වඩා මනස පැවිදි කිරීම අපහසු එබැවිනි. මනුලොව බොහෝ දෙනෙකු කරනුයේ බුදුදහමේ අභ්‍යන්තර හරය පසෙකලා එය වැරදි දෘෂ්ටිකෝණයෙන් අන්තවාදීව ග්‍රහණය කොට මතවාදීව පැටලීම මිසක දහමෙහි හරය සොයායැම නොවේ. ධර්මප්‍රතිවේධය පවතිනුයේ හරය සොයායැම මතය. සියලු සත්ත්වයන් හට දහම් ඇස පහළ වේවා!

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤