ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ගතට සිතට සුවය ගෙනෙන භාවනාව

කැලණිය විශ්ව විද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 

සුමනපාල ගල්මංගොඩ

බුදුදහම පරලොව ජීවිතය පමණක් නොව ප්‍රායෝගිකව මෙලොව ජීවිතය ද සුවපත් කිරීමට මහෝපකාරි වෙනු ඇත. බුදු දහමට අනුව භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම තුළින් මෙලොව ජීවිතයේදි මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න හා අසහන බොහෝ සෙයින් විසඳාගත හැකි වෙයි. ඒ තුළින් පුද්ගලයාගේ සංසාරික ජීවිතයද සුවපත් කරගත හැකිය. ක්‍රමානුකූලව එම භාවනාමය පුහුණුව නිර්වාණාවබෝධයටද ප්‍රබල සාධකයක් වන බැවින් සියලු දුක් කෙළවර කිරීමෙන් ලබාගතහැකි උතුම් වූ සැනසීමට ද හිමිකම් කීමේ භාග්‍ය උදාකරගත හැකිය.
භාවනාව පිළිබදව අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා මෙලොව ජීවිතයට භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි විමසා බැලිය යුතුයි. බෞද්ධ භාවනාව පුහුණු කරන්නන් අතර ඉතා ප්‍රචලිත වූත් එතරම් ප්‍රකට නැත්තාවූත් භාවනා ක්‍රම සමූහයක්ම සූත්‍ර දේශනා තුළ දක්නට ලැබේ. ඒවා අතරින් සමහරක් පහත සඳහන් කර ඇති අතර මෙහිලා විශේෂයෙන්ම ඒවා තෝරාගෙන ඇත්තේ මෙලොව ජීවිතයට ඒ තුළින් ලැබෙන සුවිශේෂි ප්‍රයෝජන හේතුකොටගෙනය.
1. අනුසස් භාවනාව
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති , සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදි වශයෙන් මෙම භාවනාව ප්‍රභේද ගතවේ. අනු-පිළිවෙළින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම සීලයේ සුපරිශුද්ධතාවය ගැන මෙනෙහි කිරීම, පරිත්‍යාගයේ වැදගත්කම මෙනෙහි කිරීම දෙවියන් සාක්ෂියට තබාගෙන තමාගේ ශ්‍රද්ධා ආදී ගුණයන් සිහිපත් කිරීම මෙම භාවනා ක්‍රමවලට අයත්වේ.
බොහෝ විට අප එදිනෙදා ජීවිතයේදී විවිධ වු මානසික අසහනයන්ට හේතු වන කාරණාව වනුයේ අනවශ්‍ය ලෙස අයෝග්‍ය දේවල් පිළිබඳව නිතර නිතර කල්පනා කිරීමයි. ඇතැම් අවස්ථාවන් තුළ මෙම තත්වය මානසික රෝගයන් දක්වා පුළුල් පරාසයකට විහිදී යාමේ හැකියාවක් ද ඇත. යමක් පිළිබඳව නිතර නිතර සිතීමෙන් තමාගේ සිත ඒ පැත්තටම නැඹුරුවීම වැළැක්විය නොහැකිය. එනිසාම සුභවාදීව සිතමින් යහපත් දේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කිරීමෙන් තම සිත යහපත් අතටම නැඹුරුවීමද ස්වභාවිකය. වැරැදි ලෙස කල්පනා කිරීම ‘අයෝනිසෝමනසිකාරය’ වශයෙනුත් යහපත් ලෙස කල්පනා කිරීම යෝනිසෝමනසිකාරය යනුවෙන් හඳුන්වනු ලබයි. නිදහසක් ලද සෑම අවස්ථාවකදීම කල්පනා කිරීමට යහයපත් අරමුණු තිබීම ඉතාම වැදගත්ය. උදාහරණයක් වශයෙන් රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම තුළින් රාග, ද්වේෂ, මෝහ මූලික සියලු අකුසල තත්වයන්ගෙන් තොරව පිරිසුදු සිතෙහි කිසිකලෙකත් අසන්තුෂ්ටියක් ඇති නොවේ. තමා ආරක්ෂා කරන සීලයේ නිවැරැදිතාවය පිළිබඳව සන්තෘප්තියක් ඇතිකර ගත හැකි අතර “අනවජ්ජසුඛ’ යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම තත්වයයි.
පරිත්‍යාගය පිළිබඳව මෙනෙහි කිරීම තුළින් බොහෝ දේ ලබාගැනීමටත් ඒවා ආරක්ෂා කරගැනීමටත් උත්සාහ ගැනීමෙන් ඇති වන මානසික පීඩා දුරු කරගත හැකිය. වින්දනය ලැබීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා හැම විටම යමක් පිළිබඳව සොයයි. සෙවීම නිසා ලැබේ. එය ලැබීම නිසා ඒවා ගැන තීරණ ගනියි. තීරණ ගැනීම නිසා ඒවා පිළිබඳව ඡන්දරාගය හටගනී. ඡන්දරාගය තවදුරටත්ව වර්ධනය වීම නිසා ඒවා පිළිබඳව මුසපත් වෙයි. ඒ නිසාම ඒවා තව තවත් දැඩිව මනසින් ග්‍රහණය කරගනී. මෙම ග්‍රහණය නිසා මසුරුකම හටගනී. මසුරුකම, එනම් මේවා මට පමණය. අන් අයට නොවේය යන හැඟීම නිසා දඬුමුඟුරු ආයුධ ආදිය ගැනීමෙන් විවාද කෝලාහල , යුද්ධ කිරීමටත් කේළාම් හා බොරු කීමටත් සිදුවෙයි. මේ ආකාරයෙන් යම් යම් දේ ලබාගැනීමට සිතීම නිසා විවිධාකාරයේ ගැටලු මතුවේ.
ඒනිසා පරිත්‍යාගය පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව නිතර සිතිමෙන්ද ඒ අනුව කටයුතු කිරීමෙන්ද ඉහත කී බොහෝ ගැටලු කරදරවලින් මිදීමට උපකාරි වෙයි. මෙම තත්ත්වයට අමතරව පරිත්‍යාගී සංකල්පනාවෙන් හා ඒ අනුව කටයුතු කිරීම නිසා ලෞකික වශයෙන් තවත් බොහෝ ප්‍රයෝජන රාශියක් හිමිවේ. පරිත්‍යාගශීලි පුද්ගලයා අධික සතුටක් ලබයි. සමාජය තුළ ගෞරවාදරයට පත්වේ. විශ්වාස කටයුතු පුද්ගලයකු බවට පත්වීම නිසාම මිත්‍රසම්පත්තිය ඇතිකර ගනී. දෙවියන් යනු අදෘශ්‍යමාන ව අප දෙස බලාගෙන සිටින පිරිසක් යැයි සිතමු. ඒ අයට වංචා කළ නොහැකිය. හේතුව ඔවුන් සෑම අවස්ථාවකදීම අප දෙස බලාගෙන සිටින බැවිනි. දෙවියන් සාක්ෂි වශයෙන් තබාගෙන තමාගේ ශ්‍රද්ධාදී ගුණ මෙනෙහි කිරීම තුළින් පුද්ගලයා අවංකව එම ගුණ අපේක්ෂා කරයි. එවිට ඔහු සැම විටම එම ගුණයන් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. තවදුරටත් එම ගුණ ආරක්ෂා කිරීමට පෙළඹීම නිසා දෙවියන්ගේ ආශිර්වාදය ද තමාට ලැබෙන බව මෙනෙහි කිරීමෙන් සතුටට පත්වෙයි. දෙවියන්ගේ අනුකම්පාව ලද පුද්ගලයා සඳහා යහපත දකී.
2) මෛත්‍රී භාවනාව
තමාටත් තම හිතමිත්‍රාන්දීන්ටත්, මධ්‍යස්ථ අයටත්, සතුරන්ටත්, සියලු සත්ත්වයන්ටත් යහපතක් වේවා යන ප්‍රාර්ථනාව ඒ තුළ ඇත. එයට අදාළ වන ක්‍රියාවල නිරතවීම මෛත්‍රී භාවනාවේ මූලික ලක්ෂණයයි. මෛත්‍රී භාවනාවේ යෙදීම නිසා උදාවන ලෞකික ප්‍රතිඵල රැසක්ම මෙත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත.
1.සුවසේ නිදාගැනීමට හැකිවීම (සුඛං සුපති) 
2.සුවසේ පිබිදීමට හැකිවීම (සුඛං පටිබුජ්ඣති) , 
3.නරක සිහින නොදැකීම (නපාපකං සුපිනං පස්සති) , 
4.මිනිසුන්ට පි‍්‍රය වීම (මනුස්සානං පියොහොති ), 
5.අමනුෂ්‍යයන්ට පි‍්‍රයවීම (අමනුස්සානං පියො හොති) , 
6.දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම (දෙවතා රක්ඛන්ති) , 
7.ගිනි අවි හා විෂවලින් උවදුරු නොවීම (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, 
8. මුහුණේ පෙනුම පි‍්‍රයමනාප වීම (මුඛවණ්ණො විප්ප සීදති) , 
9.වහා සිත එකඟවීම (තුවටං චිත්තං සමාධියති) , 
10. සිත අවුල් නොවී මරණයට මුහුණදීමේ හැකියාව ඇතිවීම (අසම්මුළ්හො කාලං කරොති)

මෙම ප්‍රතිඵල ලැබීමට නම් මෛත්‍රිය මේ ජීවිතයේ අංගයක් බවට පත්කර ගත යුතුය. මසකට වරක් පමණක් මෛත්‍රී භාවනාව වඩා සියලු ප්‍රතිඵල අපේක්ෂා කළනොහැකිය.
මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමද මෛත්‍රියේ කොටසක් වන අතර මිත්‍රයන්ට ද්‍රෝහී නොවී ඔවුනට කාරුණික වීම තුළින් ලෞකික වශයෙන් ප්‍රයෝජන බොහොමයක් ලබාගත හැකි වෙයි. තම නිවසින් පිටතට පැමිණි විට එම පුද්ගලයාට ආහාරපාන අඩුපාඩුවකින් තොරව ලැබෙන අතර සොර සතුරු කරදර ඇති නොවේ’. සභාවක් තුළ ඉමහත් ගෞරවයට පිළිගැනීමට ලක්වන අතරම ඥාතීන් අතර පි‍්‍රයමනාප පුද්ගලයකු වේ. තමාගේ කීර්තිය දසත පැතිරෙන අතර ඉතා පහසුවෙන් සෞභාග්‍ය කරා ළඟාවේ. විපතකට පත් වූ වහාම තමාගේ පිහිටට බොහෝ පිරිස් පැමිණෙති. මෛත්‍රී භාවනාව වැඩීම තුළින් මෙලොවදීම යහපත් ප්‍රතිඵල රාශියක්ම උදාකරගත හැකිවේ. බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් හිමිනමක් වූ මුගලන් මහ රහතන් වහන්සේද බුදුහිමියන්ගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේද දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන් දෙකකදීම එහි වැඩම කළ බුදුපියාණන් වහන්සේ සුවදුක් විචාරා මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් පිළිගෙන බොජ්ඣංග භාවනාව වඩා එම දෙදෙනා වහන්සේත් මහා චුන්ද තෙරණුවෝත් රෝගාබාධයන්ගෙන් මිදුණු බව සූත්‍ර දේශනාවල සඳහන්ව ඇත. බොජ්ඣංග යන වචනයෙන් අදහස් වන්නේ බෝධියට හෙවත් මනා අවබෝධයට අංග වන උපකාරවන කරුණු යන්නයි. එනම් සති, ධම්ම විචය වීරිය, පීති, පස්සද්ධි, සමාධී උපේක්ෂා යනුයි.
ධර්මය පිළිබඳව විමසීම, වීර්යය, සිහිය , සතුට, සන්සිඳීම, සිතෙහි එකඟබව, මධ්‍යස්ථ බව යන ගුණාංගයන් එම සත්වැදෑරුම් බොජ්ඣංගයන්ගෙන් කියැවේ. රෝගී වූ අවස්ථාවකදි කළකිරීමෙන් බියෙන් හා විපිළිසර මනැසකින් යුක්තව හා උදාසීනව කල්ගත කිරීමෙන් රෝගය උත්සන්න වීමටත් ශාරීරික වශයෙන් වඩාත් දුර්වල වීමටත් හේතුවන අතර එවැනි රෝගී වූ අවස්ථාවල ඉතාම වැදගත් වන කරුණ ලෙස සිත සතුටින් තබාගැනීම, වීර්යය, අධිෂ්ඨානය තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් බොජ්ඣංග ධර්ම තුළින් පුද්ගල මනසේ මනා සංවර්ධනයක් කරගත හැකි ඉතා වැදගත් ගුණාංග කිහිපයක්ම ඉදිරිපත් වේ. සිහිය පිහිටුවා ගත යුත්තේ මානසික විපිළිසර තත්වයන් දුරුකර සිතේ සතුට පී‍්‍රතිය ඇතිකරගෙන කළකිරීමේ ස්වභාවයන් දුරු කර ගැනීමටය. ධෛර්යය වීර්යය, ගිලන් තත්වයෙන් මිදීමට අතවශ්‍ය කාරණාය. ධර්මයට අනුකූල වන පරිදි සිත මෙහෙය වීමෙන් බොහෝ අයහපත් අරමුණුූ නිසා සිත වික්ෂිප්ත වීම වළකී. සිත සතුටින් තබා ගැනීම තුළින් කායික සැනසීමක් ඇතිවේ. කායික සන්සිඳීම හේතුකොට ගෙන මනස සමාධි ගතවේ. මෙම සත්වැදෑරුම් ගුණාංගයන් නිතර ප්‍රගුණ කරමින් පුරුදු පුහුණු කිරීමෙන් මානසික සහනය පමණක් නොව කායික සුවයද ලබාගත හැකියි. විශේෂයෙන්ම රෝගාබාධයන්ට ගොදුරු වු අවස්ථාවන් තුළදී මෙම ගුණාංග සංවර්ධනය කරගෙන තිබීමෙන් රෝගාබාධයන්ගෙන් දුරු වීම සඳහා අතිශයින්ම මහෝපකාරි වනු ඇත.
ආයුෂ්මත් ආනන්ද හිමියන් ගිරිමානන්ද හිමියන් ගිලන් වී සිටි අවස්ථාවක බුදුරදුන් හමුවෙති. මෙම දසසඤ්ඤා ඉගෙන ගිරිමානන්ද හිමියන්ට දේශනා කළ අතර එය අසා සිටි ගිරිමානන්ද හිමියෝ සුවපත් වූ බව බුදුසමයේ සඳහන් වේ. දසසඤ්ඤා මෙනෙහි කිරීමද රෝගාබාධයන්ගෙන් දුරුවීමට මනා උපකාරයක් බව බුදුසමය නිර්දිෂ්ට කර ඇති අතර එය ක්‍රමයෙන් නිර්වානාවබෝධය කරා යොමු කිරීමට හේතුවක්ද වේ.
ගිරිමානන්ද සූත්‍රයෙන් දසසඤ්ඤා ඉදිරිපත් කර ඇත.
1.සියල්ල අනිත්‍ය යන හැඟීම (අනිච්ච සඤ්ඤා) , 2.කිසිම දෙයක් මමය, මාගේ යැයි ගත යුතු හරයක් නැත යන හැගීම (අනන්ත සඤ්ඤා) , 3. මෙම ශරීරයේ කිසිවක් ශුභ වශයෙන් සැළකිය නොහැකිය යන හැගීම (අසුභසඤ්ඤා) , 4.මෙම ශරීරය විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බැවින් එය අයහපත් ප්‍රතිඵල ඇත යන හැගීම (ආදීනවසඤ්ඤා) , 5.සිත තුළ ඇතිවන අකුසල සිතිවිලි ඉවත් කිරීම සහනයක් යැයි හැගීම (පභාණසඤ්ඤා) , 6.යමකට ඇලීමට වඩා ඒ පිළිබඳව ඇලීම දුරු කිරීම වැදගත්ය යන හැගීම(විරාගසඤ්ඤා) , 7.තණ්හාව දුරුකිරීම නිසා සදාතනික සහනයක් උදාකර ගත හැකිය යන හැගීම (නිරෝධ සඤ්ඤා) , 8.ලෝකයේ කිසිවක් දැඩිලෙස ග්‍රහණය නොකිරීම සැනසීමේ මාර්ගයයි යන හැගීම (සබ්බලෝකෙ අනභිරතසඤ්ඤා) , 9. හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා සියලු සංස්කාරයන් අනිත්‍ය යන හැඟීම (සබ්බ සංඛාරෙසු අනිච්චසඤ්ඤා) , 10. සිහිය වර්ධනය කිරීමත් ශාරීරික සහනය උදාකර ගැනීමත් මනස නිදහස් කර ගැනීමත් සඳහා ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොට ගෙන සිත මෙහෙයවීම (ආනාපාන සතිය) අයථා චින්තනයෙන් බැහැරව යථාර්ථයට මුහුණ දී ඒ අනුව තම සිතිවිලි හා ක්‍රියාවන්වල නිරතවීමෙන් සිත පිරිසුදු වන අතර කායික සුවයද උදාකරගත හැකිවේ. අපගේ ශාරීරික රෝගාබාධයන්ට මානසික තත්වයන් බොහෝ විට හේතුවන බැවින් මානසික තත්වය අනුව චර්යාව මෙහෙයවන බැවින්ද දස සඤ්ඤා මෙනෙහි කිරීමෙන් ශාරීරික ආබාධයන් දුරුකර ගත හැකිය.
භාවනාවේ ලෞකික ප්‍රයෝජන සඳහා පමණක් ඉහත සඳහන් භාවනා ක්‍රම හඳුන්වා දෙනු ලැබුවද පොදුවේ ගත් විට සෑම බෞද්ධ භාවනා ක්‍රමයක්ම ලෞකික හා ලෝකෝත්තර ප්‍රයෝජන ලබාගත හැකි වේ. බෞද්ධ භාවනාව පරලොව සඳහා හෙවත් නිවන ලැබීම සඳහා පමණක්ය යන සාමාන්‍ය ජනතාව අතර පවතින වැරැදි මතයන්ය.

සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා

ගම්පහ සිරිසීවලී හිමි, 
වෙළුවනාරාමය, කන්නිමහර, වතුරුගම

'ද්වේ සච්චානි අක්‌ඛාසී
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති'

'වාද - විවාදීන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ සත්‍ය දෙකක්‌ දේශනා කරති. ඒ පරමාර්ථ සත්‍යය හා සම්මුති සත්‍යයයි. එයින් වෙන්වූ තුන්වැනි සත්‍යයක්‌ දේශනා නොකරති.'

සම්මුති සත්‍යය වරදවාගැනීම බොරුව වේ. පරමාර්ථ සත්‍ය වරදවාගැනීම මිත්‍යා දෘෂ්ටිය වේ. ශුද්ධ ධර්ම ප්‍රවර්ථනයෙන් හෙවත් පටිච්චසමුප්පන්න බව මතින් සංස්‌කාර ධර්ම ප්‍රකට වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්‌වීමත්, ශ්‍රවණය කිරීමත් තුළින් මෙහි යථාර්ථය විනිවිද දැකිය හැක. ප්‍රඥවන්තව කරුණු කාරණා තේරුම්ගන්නා විචක්‌ෂණශීලී බුද්ධියෙන් අන්තග්‍රාහී නොවී මැදහත් විමසුම් නුවණින් පරමාර්ථ දර්ශනය වෙත පියමැනිය හැක.සංකාර ධර්මවල සත්ව, පුද්ගල, ආත්මයක්‌ නැති බවත් ව්‍යවහාරයේ සම්මුතියේ සාමාන්‍ය ජනයා අතර 'පුද්ගලයෙක්‌' 'කෙනෙක්‌' තාවකාලිකව පැනවීමක්‌ සමාන්‍යයයි. ඊට හේතුව සංසාරගත සත්වයා සසරින් එතෙර කිරීම සඳහා ඊට පරිබාහිර විධියක්‌, ක්‍රමයක්‌ නොමැති නිසාය. මේ ස්‌වභාවධර්මයේ ප්‍රකෘතිය මූල ස්‌වභාවය යථාවත්ව අවබෝධ නොකර ගතහොත් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‌ෂණය වටහාදීමට නොහැක. එමෙන්ම සන්තානගත සිත තෘෂ්ණාවෙන් වෙලී කාම, රූපී, අරූපී භවයන්හි ඇලී එහි උපත් ලැබ ජාති, ජරා, මරණාදී අනන්ත දුක්‌ සමූහයකට භාජන වන්නේය.

බුදුපියාණන් වහන්සේ හැර ලොව පහළවූ සියලුම ආගම් ශෘස්‌තෘවරුන් පරමාර්ථ ධර්මය ගැන නොදැනීම නිසා දේශනා නොකරති. එමෙන්ම ගෙනහැර දැක්‌වීමටද නොහැක. ඔවුන් සම්මතය මතම සිට පුද්ගල, සත්ව, ආත්ම ප්‍රඥප්ති පිනවයි. එනිසා ශාස්‌වත - උච්ඡේද අන්ත දෙකට ගොස්‌ මුලාවෙන් මුලාවට පත්වෙති.

සම්මත ලෝකයේ ඇති දැ ලෝකයා භෞතික මෙවලම් වශයෙන් නිරන්තරයෙන්ම ඉඳුරන්ට සම්බන්ධ කරගෙන ජීවිත පැවැත්මක්‌ පවත්වයි. රූපය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ශක්‌ති හතරයි. ඒවා තනි තනිව පෙනී සිටීමට බැරි, තනි තනිව හඳුනාගන්නා බැරි, තනි තනිව ඉඳුරන්ට ගෝචර නොවන, එක හා සමාන ප්‍රතිශතයක්‌ නොමැති, ශක්‌තියක්‌ හෙවත් ධාතුවක්‌ වැඩිපුරම ප්‍රකට වන අතරක්‌ නොමැතිව ප්‍රවර්ථනය වන හෙවත් වෙනස්‌වන ස්‌වභාව ධර්මයකි.මේ ශක්‌තීන්හි යථාභූතභාවය, ඇත්ත ඇති සැටිය, මූල ස්‌වභාවය, ප්‍රකෘතිය, තත්ත්වාකාරයෙන් විදර්ශනාවෙන් නොදකින ප්‍රඥවක්‌ නොමැති අය දහම් නොඅසන පුහුදුන් අය වෙති. 'අස්‌සුතවතෝ ප්‍රථු-ජනො චත්තාරො ඛො භික්‌ඛු මහා භූතා හේතු චත්තරො ඛො භික්‌ඛු මහා භූතා පච්චයෝ රූපක්‌ඛධස්‌ස පඤ්ඤාපනාය'

හේතු ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා භූත ධර්ම රූපස්‌කන්ධ වශයෙන් ප්‍රකට වේ. පැනවේ.

- වර්ණ රූපය 

- ශබ්ද රූපය

- ගන්ධ රූපය

- රස රූපය

- පොට්‌ඨබ්බ රූපය

- ධම්ම රූප වශයෙනි.

රූපයාගේ යථාර්ථය විනිවිද නොදකින පෘතග්ජනයා යම් දෙයක්‌ ඉලක්‌ක කර මනසිකාරය කරා 'එය ඇත' සංඥව තුළ කි¹ බසී. එහි ලොල්බව ඇතිකර ගනී. එතැන පුහුදුන් මානසිකත්වයයි. ඒ භෞතික මානසිකත්වයයි. ඒ භෞතික දේට වටිනාකමක්‌, නොවටිනාකමක්‌ දීම නොදීම මත 'ලාබ - පාඩු' වශයෙන් බලයි. එය රූපය තුළ වස්‌තුව තුළ අනවබෝධය මත ඇතිවන චිත්ත පරම්පරාවකි. නොමේරූ මානසිකත්වයකි. ළදරු මානසිකත්වයකි. අවිද්‍යාවෙන් වෙලාගියා වූ ස්‌වභාවයක. මේ නිසා රූපය මත වස්‌තුව ප්‍රශ්න මාලාවක්‌ පැන නගී. 

- කුමන තත්ත්වයේ එකක්‌ද?

- කුමන ජාතියේ එකක්‌ද?

- කවර ආකාරයේ එකක්‌ද?

- කිනම් වූ වටිනාකමක්‌ තිබේද?

- කාට අයිති දෙයක්‌ද?

- හැඩ තල - පාට වර්ණ - ගඳ සුවඳ - රස කෙබඳුද?

මෙබඳු ප්‍රශ්න මාලාවක්‌ එම රූපය පාදක කරගෙන 'ඔහු විසින්ම' ඇතිකරගෙන 'ඔහුටම ප්‍රශ්නයක්‌' කරගනී. ඒ මත ගැටේ. නැතහොත් 'ඇලේ'. පෞද්ගලිකත්වය මත මෙහෙයවන මානසිකත්වය නිසා 'මම' පනවාගෙන සංකාර ගොඩනගා ගනී. සසරට යැමට සිදුවේ.

'මහණෙනි, තථාගතයාණන් වහන්සේගේ දේශනා දෙවැදැරුම්ය. එනම් 'නිතාර්ථය' හා 'නෙය්‍යාර්ථ' වශයෙනි. නිතාර්ථ යනු පරමාර්ථ දේශනාවයි. නෙය්‍යාර්ථ යනු සම්මුති දේශනාවයි'. සම්මුතියේදී 'මම' යනාදී වශයෙන් ස්‌වභාව ධර්මයට පනවා ගැනීම් කරයි. පරමාර්ථයේදී එසේ පැනවීම් නැත.

'යෝච න්‍යෙයත්ථං සුත්තන්තං නිත්ථො සුත්තං තෝ දීපේති. යෝච නීතත්ථං සුත්තන්ථං න්‍යෙයත්ථො සුත්තංතෝති දීපේති'. ඉමේ ඛො භික්‌ඛවේ දේවේ තථාගතං අබ්භාචික්‌කන්ති...'

(අ.නි. නීතක්‌කූට සූත්‍රය)

එසේම (-

'අරහත් වූ අන්තිම දේහධාරීහු වූ, කෙලෙස්‌ නැසුවා වූ යම් භික්‌ඛුවක්‌ 'මම' යෑයි කියන්නේ ලෝක ව්‍යවහාරයට අනුවය. 'මම' යන වචනය භාවිත කළත් එයින් පරමාර්ථයක්‌ අපේක්‌ෂා නොකරයි.'

'යෝ හෝති භික්‌ඛු අරහං කතාවි, ‚ණාසවෝ අන්තිම දේහධාරි 'අහං' වදාමිති පී සෝ වදෙය්ය. ලොකෙ සමඤ්ඤං කුසලො විද්‍ෙවා වෝහාර මත්තෙන සො වෝහරෙයිය...' (සං.නි. අහරත්ත සූත්‍රය)

රූපයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ රූපය ස්‌වභාවය නොදන්නා නිසාය. එනිසා

රූපේ ඛෝ රාධ මාරො

රූපේ ඛෝ රාධ වධකො...'

රූපය මාරයෙක්‌, රූපය වධකයෙක්‌, රූපය හතුරෙක්‌, වශයෙන් නුවණැසින් දකින්න බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළහ. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට 'රූපය' යන්න හරිහැටි තේරුම් ගෙන එය 'හිතෙන්' අත හැරීමට උත්සාහ කිරීම සැපයට හේතුවන බවද දහමේ දක්‌වා ඇත. රූපය තමාගේ හිතැති පරිදි පවත්වා ගැනීමට නොහැකි නම් තම වසඟයෙහි නොරැඳේ නම් එය අත්හැරීම 'හිත පිණිස - සුවය පිණිස්‌ වේ.

ඒ බව 'යං භික්‌ඛවේ නකුම්හාකං තං පජහථත. තංවො පහීනං හිතාය, සුඛාය භවිස්‌සති'.

'මහණෙනි, යමක්‌ නුඹලාගේ නොවේද, එය අත්හරිව්. එසේ අත්හැරීම හිතසුව පිණිසම වේ. 'ස්‌වාමියෙක්‌, නැති තැන අධිපති බවක්‌ නැත. අධිපතිකම, ස්‌වාමීත්වය බරකි. සියල්ල හිතෙන් අත්හැරීම නිවීමයි.

ඒදණ්‌ඩේ යන බල්ලාට තමාගේ රුව වතුරේ පෙනෙන විට 'බල්ලෙක්‌' කියා සංඥව ගත් ගමන් 'මට' පටහැනිව පෙනෙන රූපය 'මට' පටහැනිව එන බලවේගය වහා නැති කිරීමේ මානසිකත්වය මතින් ජීවිතය විනාශ කරගනී. එමෙන් රූපයේ යථාර්ථය විනිවිද හරිහැටි ඇත්ත ඇති සැටියෙන් නොදකින පුහුදුන් අයටද සිදුවන්නේ බල්ලාට උන්හරියය. බල්ලාගේ මන දුර්වල යි. මිනිසාගේ මන උසස්‌ය. එබැවින් උසස්‌ මානසිකත්වය ඇති අප සතිමත්ව, මන්වත් නොවී වන්නාවූ ව්‍යසනයන්ගෙන් මිදීමට නිතරම එළඹ සිටි සිහියෙන් සිටිය යුතුය.

සමාජගතවී භෞතික ලෝකය පරිහරනයේදී හෙවත් 'රූප' පරිහරණයේදී විශ්වාස, දැකීම, දැනීම වශයෙන් අවස්‌ථා තුනක්‌ විද්‍යමාන වේ. මෙයින් විශ්වාසය දැකීම සම්මුතියට අදාළ වේ. එය භෞතිකත්වය මතවූ මානසිකත්වයකි. 'දැනීම' පරමාර්ථයට අදාළවයි. එයම දහමේ සත්‍ය ඥනය, කෘත්‍ය ඥනය, කෘත ඥානය වශයෙන් බෙදා වෙන්කර ඇත. සම්මුති සත්‍යය ඉන්ද්‍රිය බද්ධයි. එයට බුද්ධිය කිව නොහැක ලෝක ව්‍යවහාරය ඥනයද නොවේ.

පුහුදුන් ලෝකයා රූපයේ ඇත්තට, ප්‍රකෘතියට නොව නැත්තට හෙවත් විකෘතියට රැවටී ඇත. එවිට සත්‍යය වසන්වේ. එසේ වන්නේ ඉන්ද්‍රිය මතම සත්‍ය දැකීමට උත්සාහ කිරීමයි. සතිමත් වීමෙන් ප්‍රත්‍යක්‍ෂ ඥනය විදසුන් නුවණ ඇති වනු ඇත. රූපයේ ඡායාවට රූපයේ යථාර්ථය කීම වැරැදිය. එනිසා සලායතනවලට සම්බන්ධීකරණ වෙන සියලුම රූප ප්‍රකෘතිය නොව විකෘතියයි.

- වර්ණ රූපය ඇසින් දැක්‌කා...

- ශබ්ද රූපය කනින් ඇසුණා

- ගන්ධ රූපය නාසයට දැනුණා

- රස රූපය දිවට දැනුණා

- පොට්‌ඨබ්බ රූපය කයට දැනුණා

- ධම්ම රූප (සිතුවිලි) මනට දැනුණා... හෙවත් මෙනෙහි වුණා යනුවෙන් ලෝකයාගේ ප්‍රකාශිතය සත්‍ය නොවේ.

එය නම් නොදැනුවත්කමේ තවත් නොදැනුවත්කමකි. ඉන්ද්‍රියන්ට රූපයාගේ ප්‍රකෘතිය, යථාර්ථය, මූල ස්‌වභාවය, ඇත්ත ඇතිසැටියෙන්, යථාභූතව ප්‍රකටවීම කිසිසේත් සිදුනොවේ. 'අනුභූතිය' ඥනයක්‌ ලෙස සැලකීම වැරැදිය. බාහිර ලෝකයේ වර්ණ රූප, ගන්ධ රූපාදිය අභ්‍යන්තර ලෝකයේ ඇස, කණ ආදී ඉන්ද්‍රිය හා පස්‌සයෙන් හෙවත් ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණයෙන් යම් නිගමනයකට පැමිණ ප්‍රකාශ නිකුත් කිරීම අර්ථ ගැන්වීම, විග්‍රහයන් කිරීම අසම්පූර්ණ බවකි. හිස්‌බවකි. ඌණ බවකි. අපරිපූර්ණයි. යථාර්ථය නොවේ. අසම්පූර්ණයි. ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ බාහිර රූපයාගේ සීමිත සීමාසහිත ඡායා මාත්‍රයක ප්‍රමාණයක්‌ පමණි. යථාර්ථයම නොවේ. යම් අදහසක්‌ ගැනීමට යම් උපකාරයක්‌ වනවා හැර වෙන දෙයක්‌ නොවේ. රූපයේ යථාර්ථය පටිච්ච සමුප්පාදයට ගලවා ගැනීම විද්‍යාත්මකව විදු ඇසින්ම සාධනය කළ යුතුය.

එමෙන්ම අධි භෞතික චිත්ත ශක්‌තිවූ ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජාණන, දිබ්බචක්‌ඛු, පුබ්බේ නිවාස, පංච අභිඥ, අෂ්ඨ සමාපත්තිලාභිකත්වයෙන්ද යථාර්ථය පසක්‌ කළ නොහැක. ඉහත චිත්ත ශක්‌ති මානසික මට්‌ටම්ය. පටිච්චසමුප්පාද දර්ශනයට අදාළ නොවේ.

සතර මහා භූත, විඤ්ඤාණ ධාතුව, ආකාශ ධාතුව යන සුද්ධ ධර්මය හෙවත් ශක්‌තීන්ගේ ප්‍රකෘතිය ධර්මයට ගලපා අවබෝධ කටයුතය. සත්ව පුද්ගල සංඥව දෙන්නා වූ පනවන්නාවූ මේ ස්‌වභාවධර්මයේ ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම් කරන්නේ විඤ්ඥණ ශක්‌තිය හටගත්තොත් පමණි. එයට සවිඤ්ඤානක හෙවත් සංචේතනික නම යෙදී ඇත. මේ සවිඤ්ඤාණකත්ව සිතුවිලි හට ගැනීමේ මූලික පදනමයි. එසේ නම් විඤ්ඤානය හට ගැනීමේ ඉඩ අහුරා තැබීමෙන් භව නිරෝධය හෙවත් භවගාමී සිත හට නොගැනීමට වගබලාගත හැක.

මේ තත්ත්වය ඇතිකර ගැනීමට මූල ශක්‌තීන්ගේ ස්‌වභාවය ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. නාම - රූප ප්‍රත්‍ය නොවේ නම් විඤ්ඤානයයාගේ පහලවීමත් හට ගැනීමක්‌ නොමැත.

'නාම රූප නිරොධො විඤ්ඤාන නිරෝධා'

ප්‍රථමයෙන් රූපයේත් රූප කලාපයේත් සංඥ ශුන්‍යත්වයට අවධානය යොමු කළ යුතුය. රූපයාගේ යම් ලක්‌ෂණයක්‌, ස්‌වභාවයක්‌, භාවමය පැනවීමක්‌, ගතියක්‌ ප්‍රකට වේද එය රූපයේ ශුන්‍යත්වයේදී මනසේ ප්‍රකටවීමට ඉඩ නැත. ඒ සංඥ ශුන්‍යත්වය නිසාය. රූප සංඥ මනසේ ශුන්‍ය වන විට 'අනිමිත්ත' වන බව හෙවත් නිමිති නොවීම වේ. එවිට රූපය ඵස්‌සය නොවීම නිසා විඤ්ඤාණ ධාතුවේ හට ගැනීම සිදුනොවේ. මේ ස්‌වභාවය 'සිතෙන් නිදහස්‌වීම' හෙවත් චේතෝ විමුක්‌තිය' නම් ධර්මතාව බව පැහැදිලිය. 'අනිමිත්ත චේතෝ' සමාධිය වේ. රූප සංඥ ශුන්‍යත්වයේ දී මනස අමනසිකාරය නම් ධර්මතාවටපත්වේ. මේ නිසාම ලෝක ධර්මයන් හෙවත් ඵස්‌ස - වේදනා, සංඥ, චේතනා මානසිකාරය නම් ස්‌වභාව ධර්ම ප්‍රකට නොවේ. එතැන 'නිමිති' නැත. ආකාරගති, පැවතුම් නැත. ප්‍රඥප්ති නැත. 'ඇත' හෝ 'නැත' නොපැනවේ. උපත-විපත නැත. ඒ විඤ්ඤානයාගේ හා නාම රූපයාගේ ප්‍රකට නොවීමයි.

'ඉධ භික්‌ඛවේ සබ්බ නිමිත්තානං අමනසිකාර අනිමිත්තං චේතෝ සමාධිං උපසම-ජ විහරති, අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධීති...චේතෝ සමාධිං උපසම-ජ විහරාමි' (සං.නි. අනිමිත්ත සූත්‍රය)

'මෙහි භික්‌ෂු තෙමේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ මෙසේ නම් එය අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වාසය කරමි'.

ලෝකෝත්තර සම්මා සතිය යනු රූපයාගෙන් හිත නිදහස්‌ වීමයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨියද මේ හා සමානය. 'නිවන' යනු රූපයාගෙන් හිත නිදහස්‌ වීමයි. 'රූපය' මොනයම් හෝ ක්‍රමයකින් අල්ලාගන්නේ නම්, 'දුක' අල්ලාගත්තා වේ. 'දුක' නිරුද්ධ කිරීමට රූපයේ යථාර්ථය දැක එය අත්හැරීමට ඉඩ සැලසීමයි.'

විඤ්ඤානයේ - සෙච්තනිකත්වයේ මූල සාධකයක්‌ වන්නේ රූපයයි. ශුද්ධ ධර්ම ප්‍රවර්තනය වීම නිසා නාමරූප, පහළවීම හටගැනීමක්‌ විද්‍යමාන වේ. ඊට සතා පුද්ගලයා, ගල් ගල් පර්වත සවිඤ්ඤාන අවිඤ්ඤාන වශයෙන් නම් ගොත් පනවාගෙන ඇත. මේ ධර්මතාව තථාගතයන් වහන්සේලා ඉපදුනද නොඉපදුනද පටිච්ච සමුප්පන බව ඉදපච්චයතාවය ධර්මතාවන්ගේ පැවැත්ම ලෝකය තුළ පවතී. 'උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාච සධාතු ධම්මට්‌ඨිතිතා ධම්ම නියාමන ඉදප්පච්චයාතා... (සං.නි. පච්චය සූත්‍රය)

මායාවෙන් රැස්‌ කළ රූපමය මනස නැති කළ විට පරම චිත්ත විවේකය ඇතිවනු ඇත. පරමා+ර්ථය උත්තමාර්ථය යනු 'සත්‍ය' සත්‍ය ලෙස දැකීමයි. ඔබට මට සමාජය විසින් පරමාර්ථය අවබෝධ කරගන්න කියා බලකරනු ඇත. ඒත්තු ගන්වනු ඇත. පරමාර්ථය පරමාර්ථයක්‌ම පමණි. පරමාර්ථය යනු අසත්‍යයෙන් වෙන්වීමයි. මනවසා ඇති වැරැදි දෘෂ්ටි ඉවත් කිරීම පමණි කළ යුත්තේ. වැරැද්ද හඳුනා එය ඉවත් කිරීමයි ඒ සඳහා සතිය පමණක්‌ සෑහේ.

මෙසේ සිතන්නෘ ඔබේ අත ප්‍රකෘතියෙන් ස්‌වභාවයෙන්ම පිsරිසිදුයි. බාහිරෙන් ආගන්තුකව 'මඩ' තැවරුණොත් 'මඩ' තැවරි ඇති බවත් 'මඩ' සේදීමෙන් ප්‍රකෘතිය වූ පිරිසිදු බව ඇතිවන බවත් ඔබට වැටහෙනු ඇත. අත පිරිසිදු කිරීම නොව 'මඩ' ඉවත් කිරීම සිදුකළ යුතුය. අමුතුවෙන් 'අත' පිරිසිදු කළ හැක්‌කක්‌ නොවේ. එමෙන් ලෝකයේ ප්‍රකෘතිය පිරිසිදුය. අප සත්‍ය සොයාගෙන යන්නේ මනසින් අසත්‍ය වඩාගෙනය.

රූප කලාපයන්ගේ පැවැත්මට, සජීවිකරණයට, අවිච්‍යන්නව පෙනී සිටීමට කම්ම, චිත්ත, සෘතු, ආහාර උපකාරී වේ. ඒ ද ධාතු හතරක අනොන්‍ය න්‍යායාත්මක ස්‌වභාවයක්‌මය. සියල්ල ධාතුන්ගේ මූල ශක්‌ති නිසාය. අෙන්‍යන්‍ය ප්‍රත්‍යයි. අනුරාශිභූත වී කලාපද, කලාප රාශි භූතයෙන් රූපද, රූප දෙකක ස්‌වභාවික එකතුවෙන් විඤ්ඤාන ශක්‌තියද හටගනී. විඤ්ඤාන ශක්‌තිය සත්වයා නම් වූ ස්‌වභාවධර්මය තුළ හයපොළක හටගැනීමත් ස්‌වභාවිකය.

මේ ස්‌වභාවිකත්වය කිසිවකුට නවතාලිය නොහැක. ශුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයෙන් විඤ්ඤාන, නාම, රූප ප්‍රකටවීම ස්‌වභාවිකය. සුළං හැමීම නවතාලිය නොහැක. වැස්‌ස ඇද හැලීම ස්‌වභාවිකයි. ගලන ගඟ නවතාලිය නොහැක. නාම රූප යම් තැනක විද්‍යමාන වේ නම් විඤ්ඤානයේ ක්‍රියාකාරීත්වය ද එතැන වේ. නල කලාප දෙකක්‌ හෙවත් බට මිටි දෙකක්‌ එකට හේත්තු කර තිබීමේදී එක මිටියක්‌ අනිත් මිටිය ප්‍රත්‍ය කරගෙන සිටින්නා සේය. රූපයාගේ මූල ශක්‌තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ වේ. නාම ධර්මවල මූල ශක්‌තිය විඤ්ඤාන ධාතුව වේ.

මේ ස්‌වභාවධර්ම ඝන හතරකින් වසා ඇත. එනම්,

1. සන්තති ඝන 2. සමූහ ඝන, 3. කෘත්‍ය ඝන 4. ආරම්මණ ඝන යනුවෙනි.

1. සන්තති ඝන - නොකඩවා පැවැත්මá ප්‍රවර්තනය, පරම්පරාව නිසා වෙන් වෙන්ව ඇති නාම ධර්ම රූප ධර්ම සම්බන්ධ වී ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම් කරයි. රූප කලාප එකතුවී පූතිකායක්‌ පෙන්නුම් කරයි.

2. සමූහ ඝන - අත්, පා, හිස, කඳ වෙන් වෙන්ව පෙන්වූ නමුත් පරමාර්ථ වශයෙන් රූප කලාපයන්ගේ එකතුවකි. අතු - කොළ - මල් - ගෙඩි - කඳ එකතුවීම මත ගස යන නම යෙදී ඇත. ඒ සමූහ ඝන නමි.

3. කෘත්‍ය ඝන - චිත්ත - චෛතසික - රූප - සාමූහික ක්‍රියාකාරීත්වයේ ක්‍රියාත්මක භාවයක්‌ පෙන්නුම් කරයි. ඒ කෘත්‍ය ඝනයි.

ආරම්මණ ඝන - බාහිරින් එන අරමුණු මත ක්‍රියාත්මක බවක්‌ පෙන්නුම් කරයි. මේ ක්‍රියාදාමයට 'මම' පනවා ගැනීම සත්ව පුද්ගල සංඥව දීම.

කයේ පැවැත්මට (රූපයේ) නාමත්, නාමයාගේ පැවැත්මට ගොරෝසු කයත් උපකාරී වේ. එහෙත් රූපයේ නාම නැත. නාමයේ රූප නැත. අෙන්‍යන්‍ය උපකාරී බවක්‌ මත සිදුවීම් මාලාවකි. 'කොරාට' ගමන් කළ නොහැක. එහෙත් අන්ධයාගේ පිහිටෙන් යයි. අන්ධයාට මග නොපෙනේ. කොරාගේ පිහිටෙන් නියමිත තැනට යා හැක. එමෙන්ම නාමයාගේ පිහිටෙන් රූපකයත්, රූප කායේ පිහිටෙන් නාමයාගේ ක්‍රියාකාරීත්වයත් පෙන්නුම් කරන මුත් සත්ව පුද්ගල පැනවීම් කළ නොහැක. 'ඡ - ධාතුයෝ අයං භික්‌ඛවේ පුරිසෝ' ධාතු විභංගයේ සූත්‍ර මගින් පෙන්වාදී ඇත්තේ මේ ස්‌වභාවධර්මයයි.

සසර දුක නිවාලමු

දන්කන්දේ ධම්මරතන හිමි

මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසු නොකර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක, මේ දක්වා තමා විසින් කර නැති කුසල් දියුණුූ කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුසල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත් කුසල පැත්තෙන් දැක්වෙන කරුණු දෙකයි.
භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතුයි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම්, සිතේ සමාධිය වැඩි නැත්නම්, රූපාවචාර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම් ඒවා නූපන් කුශල ධර්ම, ධ්‍යාන සිතක් උපදවාගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම, අඩු වශයෙන් සිතේ එකඟ බවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.
විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍ය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවල්ම නිරතවනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නොකරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා . “මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම් ඔබලාගේ ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නොවෙයි ඔබලා උත්සාහ ගන්නේ. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමටයි”. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනවද, සතර අපායන්ට වැටි කොච්චර නම් දරුණු දුක් වින්දද, සෝවාන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයිද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණයි. පොළවේ පස් තරම් වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර නම් අවදානම් තත්ත්වයකද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.
දුක්ඛ සමුදය සත්‍යය (නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව) එදිනෙදා ජීවිතයේදි ක්‍රියාත්මක වන හැටිත්, සසර දුක නැතිවී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ථ සත්‍යයත් තේරුම් ගැනීමටද උත්සාහ ගන්න.පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.
රූප –වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නොවන බවත් තමන් විසින්ම අවබෝධ කර ගත යුතුයි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහ වහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා ඇති කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.
පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්) ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී පංචස්කන්ධ ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන්ම සිතින් අතහැරීයාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනෙකුට නිවන මේ ජීවිතයේදීම වුවත් අත්දකින්නට පුළුවන්.
පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ , විඥාන ධාතු වශයෙන් හරි ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස කියන ආයතන (චක්ඛායතන ආදි) වශයෙන් හරි, බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.
සම්මා සති – බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙනි. සම්මා සතිය දියුණු කර ගැනීම, සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත්ම අවශ්‍ය වනවා. සම්මා සමාධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධය ආදි ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්නට. සම්මා දිට්ඨිය තුළිනුයි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්යයෙන්ම නිවන් දැකීමට නම්.
සතර සතිපට්ඨානය ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා, පහසුවෙන් සිත එකඟ කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. සෑම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තමයි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන “බුද්ධෝ’ කියන වචනය . මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.
එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ – බුද්ධෝ කියා සිහිකරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්. ලෝභ,දෝෂ ආදි නොයෙකුත් දේවල් සිත සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින් එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ– බුද්ධෝ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේදි තරහ සිතක් ඇතිවන විටම තරහක් තරහක් තරහක්, කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වේලාවක් සිහිපත් කළ විට ඒ ඇතිවූ පාපකාරි තරහව නැති කර ගෙන සිත කෙලෙස්වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්. මේ වගේම රාගයක්,ඊර්ෂ්‍යාවක් , දැඩිලෝභයක්, අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතරක් ඇතිවූ විට රාගයක්,රාගයක්, රාගයක්, ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් දැඩි ලෝභයක්, දැඩි ලෝභයක්, දැඩි ලෝභයක් කියා සිහි කර , බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්, මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදාගෙන පිරිසුදු සිතක් ඇතිව සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට, මෙහිදී සිදුවන්නේ අකුශල විතර්ක කුශල විතර්ක තුළින් මැඬ ගැනීමක්.
දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණුූ කර ගන්නටත්, එම නිසාම සිත එකඟ කරගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනෙකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්ෂණ ප්‍රඥාවත් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවී මතුවී එමින්, බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදි කරුණු තමාගේ හදවත තුළින්ම ගැඹුරින් අවබෝධ වෙමින් විදර්ශනා භාවනාව පැත්තට නිරායාශයෙන්ම ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතුවෙනවා.
සම්මා සමාධිය – සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචාර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටමයි ඇතුළත් වන්නේ, ධ්‍යාන සිතක් උපදවාගන්නට භාවනා කළ යුතුමයි. අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින බව අවබෝධ කරගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.
ඒ සඳහා තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන කිරීමයි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්යවරයෙකුට මෙය තරමක් හෝ නිවැරැදි අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනෙකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවානා කිරිමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ ,මෛත්‍රි,අසුභ, මරණ කියන චතුරාරක්ඛ භාවනා එකිනෙක කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.
භාවනා කරන විට, හරි අත්දැකීමක් නොලබාම සම්මා සමාධිය යැයි මිච්ඡා සමාධියකට මුළා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවලදි සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ අට්ඨ මිච්ඡත්ත කියලයි. ඒ කියන්නෙ සම්මා දිට්ඨිය නොවෙයි, මිච්ඡා දිට්ඨිය, සම්මා සංකප්ප නොවෙයි, මිච්ඡා සංකප්ප, මේ ආදි වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.

මඟහැර නොගත යුතු දුර්ලභ අවස්ථාව

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ දුක් විඳින සියලුම සත්ත්වයන් ඒ දුකෙන් මුදවා ගැනීමට යි. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය තුළ යම් කෙනෙක් හික්මෙනවානම් ඔහු මේ මහ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මේ ලෝක සත්ත්වයා සසරේ දුක් විඳ විඳ ආපු දීර්ඝ ගමන ගැන බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මහණෙනි, තනි පුද්ගලයෙක් මේ මහා පෘථිවිය වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරල එක එක වෙන් කරනවා. මේ මගේ මේ ජීවිතයේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා කියලා. මහණෙනි, ඒ ගුලි ටික ඉවර වෙනවා. නමුත් අම්මල පරම්පරාව ඉවර වෙන්නේ නැහැ.
ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා මේ ලෝකයේ තිබෙන ගස් සියල්ලම අඟල් හතරේ කෑලිවලට කපලා මේ මගේ මේ ජීවිතයේ පියා. මේ ඒ පියාගේ පියා. මේ ඒ පියාගේ පියා කියලා ඒ අඟල් හතරේ ලී වෙන් කළොත් ලී කෑලි ඉවර වෙනවා. නමුත් පියවරු පරම්පරාව ඉවර වෙන්නේ නැහැ. මෙවන් සංසාරයකට අප වැටි තිබෙන්නේ, අවිද්‍යා සහගතව තෘෂ්ණාවෙන් බැඳිල අවබෝධයක් නැතිව යන වැඩපිළිවෙල නිසා බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
උන්වහන්සේ වදාළා මහණෙනි, මේ සංසාරෙයේ එක පුද්ගලයෙක් හෙළන කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. එක පුද්ගලයෙකුගේ ශරීරයෙන් ගලා ගිය ලේ සතර මහා සාගරයට වඩා වැඩියි කියලා. උන්වහන්සේගේ අවබෝධය විශ්වාස කරන පුද්ගලයා තැති ගන්නවා මෙයින් නිදහස් වෙන්නේ කවද ද කියලා. ඒ වගේම ධර්මය තුළ ඒ ශ්‍රාවකයා සමාධිය වඩනවා. ඇසට දකින රූපයෙන් ආශ්වාදය විඳ විඳ සිටි දෙහින් ගැලවෙනවා. ශබ්දය ගැන, ගඳසුවඳ ගැන, කාපු බීපු දේ ගැන, ස්පර්ශය ගැන, ආශ්වාදය විඳ විඳ සිටි කෙනා එයින් නිදහස් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකර ගන්නට වෙහෙසෙනවා. ඔහු සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, මත්වතුර භාවිතය, බොරුකීම, පරුෂවචන කීම ආදි අකුසල් සියල්ලම තිබෙන්නේ කාමය තුළ බව දැනගෙන ඔහු කාමයෙන් වෙන් වෙනවා. අකුසලයෙන් මිදෙනවා. එවිට තමන්ගේ භාවනා අරමුණට හිස හසුරුවීමට පහසුයි. කාමයෙන් වෙන් වූ නිසා සිතට විවේකයක් තිබෙනවා.
සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න ගැඹුරට සිත තැන්පත් වෙනවා. ගැඹුරට සිත සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, සිත සංසිඳෙන සමථ, (සමථය කියන්නේ සංසිඳෙනවා) භාවනාව වැඩිය යුතුයි. මහණෙනි, සමථ භාවනාව වැඩුවාම සිත වැඩෙනවා. මේ සිත පිරිහෙන ස්වභාවයෙනුත් යුක්තයි. වැඩෙන ස්වභාවයෙනුත් යුක්තයි. සිත පිරිහෙනවා කියන්නේ සිතට අකුසල් මිශ්‍රවීමයි. වැඩෙනවා කියා කියන්නේ සිතට කුසල් මිශ්‍රවීමයි. උන්වහන්සේ වදාළා මහණෙනි, සමථය වඩන විට සිත වැඩෙනවා කියා.
දැන් මේ ශ්‍රාවකයා තුළ සීලය තිබෙනවා. සමාධිය තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඇස, කන ආදී ඉපදිලා ලැබුණ දේ පිළිබඳව හොඳින් විමසා බලන්න කියලා. ඇස, කන, නාසය, දිව, කය, මනස නිත්‍යද, අනිත්‍යද කියලා හොඳින් විමසා බලන්න කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු නිත්‍යද, අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා. විඤ්ඤාණය, ස්පර්ශය, විඳීම, නිත්‍යද, අනිත්‍යද කියා හොඳින් විමසා බලන්න කිව්වා. ඒ වගේම සඤ්ඤාව, චේතනාව, තෘෂ්ණාව නිත්‍යද අනිත්‍යද කියා විමසා බලන්න කිව්වා.
දැන් ඔහුගේ සිත තැන්පත් කරගෙන ඉන්න නිසා, සීලයෙන් සංවර නිසා, ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව ඉන්න නිසා ඒකටම සුදුසු කල්‍යාණ මිත්‍රයන් ඇසුරේම ඉන්න නිසා, වීරිය ඇතිවෙන ආකාරයට නුවණින් විමසන නිසා, සතර අපායේ භය ඇතිනිසා, මේ තාවකාලික ජීවිතයේ අනතුර පේන නිසා, නිතරම නුවණින් කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹීම නිසාම ඔහු අවබෝධ කර ගන්නවා මේ ‘දුක’ කියා කියන්නේ සත්‍යයක්මයි කියලා. මේ දුක දෙවි කෙනෙක් හදපු දෙයක් නොවේ. මනුෂ්‍යයාගේ ඉපදීම, ජරා, මරණ, සෝක, වැළපීම් දුක් දොම්නස්, උපායාස දේව මැවිල්ලක් නොවේ කියා අවබෝධ කර ගන්නවා.
උන්වහන්සේ වදාළා මේ ලෝකය මවපු කෙනෙක් නැහැ. මවපු දෙයක් නැහැ. හේතුඵල දහමෙන් හටගත් දෙයක්. අවිද්‍යා, තෘෂ්ණා නිසා හටගන්නේ. අන්න ඒ නිසා අවිද්‍යාවටයි, තෘෂ්ණාවටයි දුක්ඛ සමුදය කියා වදාළේ. මේ හටගත්තේ හේතුවක් නිසා. ඒක ආර්ය සත්‍යයක්. ඊළඟට ඔහු ධර්මය තුළින් ඉගෙන ගන්නවා අවිද්‍යාවෙන් නිදහස් වුණොත් තෘෂ්ණාව නැති කළොත් දුක හැදෙන්නේ නැහැ කියලා.
දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මේ සත්ත්වයා ඉපැද්දෙව්වේ කවුද? කියා. උන්වහන්සේ වදාළා පින්වත් දෙවිය, මේ සත්වයා ඉපැද්දෙව්වේ තෘෂ්ණාවයි. අප උපද්දවපු කෙනා අප ළඟ දැන් ඉන්නවා. ආයෙ ආයෙත් එයා අප උපද්දල දේවි. නිරයේ, පෙරේත ලෝකයේ, තිරිසන් ලෝකයේ අපව උපද්දවාවි. නොයෙක් ලෝකවල උපද්දවාවි. ඒ උපද්දවන කෙනා අප ළඟයි. ඒ තෘෂ්ණාවයි.
මේ තෘෂ්ණාව නැත්නම් අප උපද්දවල දෙන කෙනා නැහැ. අප උපද්දවන කෙනා නැත්නම් උපතින් නිදහස්. තෘෂ්ණාව නමැති හේතුව නැතිවුණාම ඉපදීම නමැති ඵලය නිරුද්ධ වෙනවා. ඒ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්. එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි.
ඒ වගේම වදාළා මාර්ගයක්. සීල, සමාධි, ප්‍රඥා. මහණෙනි, මෙයයි සීලය, මෙයයි සමාධිය. මෙයයි ප්‍රඥාව කියා අංග අටකින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කරනවා. මෙන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි අපට දුකින් නිදහස් වෙන්න තිබෙන මාර්ගය. කවුරු හරි කියනවානම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වර්තමාන මනුෂ්‍යයාට ගමන් කරන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාට අහිත පිණිස, දුක් පිණිස පිළිපන් කෙනෙක්. කවුරු හරි කියනවා නම් මේ ලෝකය් මනුෂ්‍යයාට සීල, සමාධි, ප්‍රඥා වඩන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේත්, දෙවියන්ගේත් සතුරෙක්. ඒ වගේම කෙනෙක් කියනවානම් චිත්ත සමාධියක් ඇතිකරගන්න බැහැ කියා ඔහු මනුෂ්‍යයාගේ වගේම දෙවියන්ගේත් සතුරෙක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනාකොට කෙනෙකුට දියුණු කරන්න ලැබුණත් ඔහුට ආර්ය සත්‍යය අවබෝධ කරන්න බැහැ කියා කියනවානම් ඔහුත් මනුෂ්‍යයන්ට දෙවියන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන් මිනිස් කෙමනක්. ඔහුන් මේ මනුෂ්‍යයාගේ නිවන් මඟ අහුරනවා.
එනිසා අප දැනගත යුතුයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සියල්ල අපට මේ ජීවිතයේදීම කරන්න පුළුවන් දේවල්. සිල් ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය සංවරය මේ ජීවිතයේම කරන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ කොටස් වෙන් කරලා නුවණින් විමසලා බලන එක මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ආශ්වාස, ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්. ඉරියව් ගැන සිහිය පිහිටුවීම මේ ජීවිතයේ කරන්න පුළුවන් දෙයක්.
මේ ජීවිතයේම මේවා කරන්න පුළුවන් වෙන්නේ ධර්මය මනාකොට දේශනා කරපු දෙයක්. (ස්වාක්ඛාතයි) ඒ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන් දෙයක්. (සන්දිට්ඨිකයි) ඒ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිත් බලන්න කියලා පෙන්වා දෙන්න පුළුවන් දෙයක්. (ඒහිපස්සිකයි) තමා තුළම ඇති කරගත යුතු දෙයක්. (ඕපනයිකයි) බුද්ධිමත් කෙනා පමණක් තමාගේ බුද්ධියේ ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ කරගන්නා දෙයක්. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි)
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දෙව් මිනිස් ලෝකයාගේ යහපත පිණිස යි. දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිසයි. දෙව්වරුත් දිව්‍ය ලෝකයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යි. දෙවිවරුත් මාර්ගඵල ලබන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. මාර්ගය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න දෙවියොත් වෑයම් කරනවා. මිනිසුන් වන අපත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට වෑයම් නො කළ යුතු වන්නේ මක් නිසාද? අපත් තම තමන්ට හැකි පමණින් වෑයම් කළ යුතුයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම මාර්ගය යි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබෙන අවබෝධය ඵලය යි. ඒ අවබෝධය නිසා කෙලෙසුන්ගෙන් නිදහස්වීම තමා තිබෙන්නේ. මේ කරා යන්න තිබෙන දුර්ලභ අවස්ථාවක් තමා අපට මේ ලැබී තිබෙන්නේ.
එනිසා අප සියලු දෙනාටම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ අප සංසාරයේ කරපු පිනක විපාකයක් ලෙසයි. මේ පුණ්‍ය විපාකය නිසා අපට කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිවි පරදුවට තියලයි මහා සංඝරත්නය ධර්මය ආරක්ෂා කළේ. තල්පත්වල මේ ධර්මය ලිව්වේ අපේ ප්‍රයෝජනයට යි.අප මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනය අරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සද්ධානුසාරි, ධම්මානුසාරි වෙලා, සෝතාපන්න වෙලා, සතර අපායෙන් අත්මිදී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා.
නයනා නිල්මිණි

බුදුදහමෙන් අනුමත පද්මාකාර පිළිවෙත

මිනිස් වර්ගයාගේ ජීවන දර්ශකය තුළ බලපාන සන්තානගත සහ සමාජගත දුක පිළිබඳව විවරණය කිරීමේදී බුදු දහමින් අනුමත සමාජ ක්‍රමය ගැන විවරණය කිරීම ඉතා වැදගත් වේ. පද්මය යනු පියුම හෙවත් නෙළුම් මලයි, නෙළුම් විල මෙන්ම එහි සුපිපෙන පද්මයන් ගැන ඉන්දීය ආගමික සාහිත්‍ය තුළද පිවිතුරු බව හඳුනා ගන්නා සංකේතයක් ලෙස කවීන් විසින් වර්ණනා කර තිබේ. පියුම් හටගන්නේ මඩ ගොහොරුවේය. මඩෙහි නොගැටී, නොගෑවී උඩට ඉස්මතු වන්නේය. දකින්නා තුළ ආනන්ද ජනක හැඟුම් පුබුදු කරන්නේ ය.
ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරදුන් දුටු මොහොතේ නැඟූ පැනයක් වූයේ බුද්ධ යන පදය අන් දේව, මනුෂ්‍ය, යක්ෂාදීන්ගෙන් විශේෂණය කිරීමට හේතුව කුමක්ද? යනුවෙනි. සමාජය මඩ ගොහොරුවක් බවත්, ඒ සමාජය නමැති මඩ ගොහොරුවෙහි උපන් තමා එහි නොඇලී නොගැටී උඩට ඉස්මතු ප්‍රබුද්ධ මුනිවරයකු නිසා තමන් වහන්සේ බුද්ධ නම් වූ බව බුදරදුන් ද්‍රෝණ බ්‍රාහ්මණයා අමතා වදාළ පුවතක් අංගුත්තර නිකායේ එක් ද්‍රෝණ සූත්‍රයක සඳහන් වේ. මිනිසා නිරතුරුවම ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට රුචි කරති. ඒක භාර්යා ප්‍රතිපත්තිය පසෙක තබා බහු භාර්යා සේවනයට ගොදුරු වෙයි. කුසලය වෙනුවට අකුසලයත්, පින වෙනුවට පාපයත්, පංචශීලය වෙනුවට පංච දුෂ්ට ධර්මයත් සමාජය උඩු යටිකුරු කර තිබේ.
බුද්ධ කාලීන ඉන්දියාවේ බුදුරදුන් දුටුවේ කාමසුඛල්ලිකානු යෝගයට ගොදුරු වූ ජන සමාජයක් වාසය කරන බවකි. නිරර්ථක වූ යාග හෝම පුද පූජා ඔස්සේ වෛදික ජන සමාජය විසින් සමාජයට දායාද කළ එම සිතිවිලි සහ ක්‍රියාකාරකම් බ්‍රාහ්මණ සමාජය විසින් මිනිසාට අනිවාර්ය කළ ආගමික හැදියාවක් එකල තිබුණි. මේ නිසා අශ්වමේධ, පුරිසමේධ ආදී මහා පරිමාණ යාතු කර්ම ඔස්සෙ සත්ව ඝාතනය පරපීඩාව ඉහ වහා ගොස් තිබිණි. ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප ඔස්සේ අදෘශ්‍යමාන දෙවි දේවතාවුන් රැසක්ම එකල වන්දනයට පාත්‍ර විය. සූර්ය, චන්ද්‍ර, රශ්මිධාරා වර්ෂාව, මේඝ ගර්ජනා, ගංවතුර, ලැව්ගිනි, මහා පර්වත සහ මහා වෘක්ෂ අතරින් මිනිසාගේ සිත් තුළ මැවුණු භයංකාර සිතිවිලි ගුප්ත අදහස් මිනිසාගේ ක්‍රියාකාරකම් මිනිස් බුද්ධිය යටපත් කළේය.ගෞතම බුදුරදුන් නිතරම මිනිසා සතු ඓන්ද්‍රීය ක්‍රියාකාරකම් ඉස්මතු කළේය. ඒ නිසාම ස්වච්ඡන්දතාවට බුදු සමයේ ඉඩක් ලැබිණි. නිදහස් කැමැත්ත මිනිසා සතු ස්වාමිත්වය, පරාක්‍රමය, එඩිය, විශ්වාසය, නිදහස් චින්තනය, ස්වච්ඡන්දතාව ඔස්සේ විවරණය වේ. මිනිස් ක්‍රියාකාරකම් විකසිත වන්නේ සිත, කය, වචනය යන තුන්දොර මඟිනි. සිත ප්‍ර‍්‍රධාන ජවය කරගත් කායික සහ වාචසික ක්‍රියාකාරිත්වය ගැන ලොවට දේශනා කළ මහා ශාස්තෘවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ පමණි.
ගෞතම බුදුරදුන් ලොව සත්වගට පළමුව ආදර්ශය ලබා දුන්හ. පාප සිතිවිලි බැහැර කළ පුද්ගල චරිතයක වටිනාකම අමිල බවද, ඉතා ශ්‍රේෂ්ඨ ජීවිතයකට පාපයෙන් අකුසලයෙන් දුරස් වූ විට ඒ තුළින් ලද හැකි ජයග්‍රහණය ගැන බුදු සමයේ ඉගැන්වේ. ඊශ්වර නිර්මාණවාදී දේව සංකල්පනා වෙනුවට බුදු දහම අවධාරණය කරන්නේ පාරදෘශ්‍ය සිතිවිලි හා ක්‍රියාකාරකම් දෙසටය.ලොව පවත්නා සනාතනික ධර්ම සිද්ධාන්තය පිළිබඳව බෝධි මණ්ඩපයේ සිට දිවා රාත්‍රී දෙකෙහි ආවර්ජනා කළ බුදුරදුන් සත් සතියේ පළමු සතියේ අවසාන දිනය ඒ සඳහා යොදා ගත්හ. උදාන පාළි පඨම බෝදි සූත්‍රය හා දූකිය බෝධි සූත්‍රයට අනුව උන්වහන්සේ දුටුවේ ලොව සජීව අජීව පැවැත්මට දායක වන්නේ හේතු ඵල න්‍යාය සහ සිද්ධාන්තය බවකි. අවිච්ඡා පච්චයා සංඛ්‍යාරා ලෙස එහි පළමු සිද්ධාන්තය අවබෝධ කරගෙන දේශනා කිරීමේදී ඊශ්වර නිර්මාණවාදී ප්‍රලාප යටපත් වී මානුෂික චින්තනය හා ගවේෂණය පදනම් කරගත් පටිච්ච සමුප්පාද සිද්ධාන්තය ලොව පැතිරී ගියේය. අවිද්‍යා (අවිජ්ජා) යනු අනවබෝධයයි. නොදැනීමයි. කවර අවබෝධයක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. ඒ නිසා පිං පව් කුසල අකුසල (සංඛාරා) රැස් කරන මිනිසා ගමනෙහි නොනැවතී ගමන් කරයි. සංසාර චක්‍රයේ අනවරත ගමනක නිරත වන්නේ අවිද්‍යාපාද නිසාය. මේ බව ගෞතම බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළ සේක. බුදුවරු පමණක් නොව සාමාන්‍ය ජනතාවද සංසාරයේ අනාදිමත් කලක සිට සැරි සරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ අනවබෝධය නිසාය. එහිදී චතුරාර්ය සත්‍ය ධර්මය තුළ සංසාරගත දුක සහ සමාජගත දුක පළමුවෙන් විවරණය කර ඇත. ජාති පි දුක්ඛා ආදී න්‍යාය තුළ ඉපදීම, දිරායෑම, ලෙඩ ව්‍යාධිවලට ගොදුරුවීම දුකක් වන්නේ එහි සංසාරගත දුක මූලිකව විවරණය වන නිසාය. මෙම දුක ජනිත වන්නේ තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාව නම් සත්ත්වයාගේ මෙලොව පරලොව දුක පිණිස ඉවහල් වන මහා ක්ලේෂ බන්ධනයකි. තෘෂ්ණාවට වසඟ වනුයේ පංච ඉන්ද්‍රිය පිනවීමම එකම සුඛය ලෙස දකියි. එයින් අත්මිදෙන්නේ කෙසේදැයි කල්පනා නොකරයි.
පද්මාකාර සමාජයක සාමාජිකයෝ තෘෂ්ණා බන්ධනයෙන් මිදීමට විනිර්මුක්ත වීමට කල්පනා කරති. “තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධො නිබ්බානං” යනුවෙන් දුටුවේ ගෞතම බුදුරදුන් වැනි මුනිවරු පමණි. නිර්වාණාධිගමනයට සම්ප්‍රාප්ත වූ උන්වහන්සේ සෙසු ලෝක සත්වයාටත් සංසාර දුක්ඛය නිවරණය කර ගන්නා සැටි දේශනා කළහ. එය ප්‍රායෝගික සිද්ධාන්තයකි. තමන්ට ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් වැටහීමක් ස්වයංභූ ඥානයේ දත් නිසා ඒ දහම ලෝකයාට දේශනා කළ සේක. ක්ලේශ සිතිවිලි නම් සංසාර බන්ධනයෝය. සක්කායදිට්ඨි ආදී දස සංයෝජන ධර්ම පදනම් කරගත් කෙලෙස් සිතිවිලි එක්දහස් පන්සියයක් පමණ අප වටා අපේ සංසාරය වටා ගමන් කරයි. ආත්ම දෘෂ්ටිය මම මාගේ යන සංකල්පය හෙවත් අස්මීමානය නම් පළමුව දුරු කළ යුතුය. මම, මගේ යැයි කිසිවක් මෙලොව නැත. අවම වශයෙන් අපේ ශරීරය, පංචස්ඛන්ධයද මා සතු නොවේ. පංචස්ඛන්ධය මා සතු නම් මට රිසිසේ පාලනය කරගත හැකියාව තිබිණි. එහෙත් මාගේ යයි කියාගන්නා පංචස්ඛන්ධය ද වෙනස් වේ. ගෞතම බුදුරදුන් මෙය දුටුවේ අන් සැමගේ වස්තුවකටම පොදු වූ ත්‍රිලක්ෂණ ධර්මය පදනම් කරගෙනය.
ත්‍රිලක්ෂණ ධර්මය බුදු සමයේ පමණක් ඉගැන්වෙන මහා දාර්ශනික සිද්ධාන්තයකි. ත්‍රිලක්ෂණයට අයත් වන්නේ අනිත්‍ය දුක්ඛ අනන්ත සංකල්පනාවෝය. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බුදු සමයේ පහළ වූ සමාජයේ එදා සිටි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් සිය අනුගාමිකයන්ට උගන්වද්දී බොහෝ පිරිස් ඒවා අනුමත කළහ. ඔවුන් සරණ ගියහ. ආත්මන් බ්‍රාහ්මන් සංකල්ප වටා ජනතාව ඒකරාශී වූහ. බුදු සමය ඒ සියල්ල නිෂ්ප්‍රභ කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ සංකල්පය ඉදිරිපත් කළහ. විශ්වයේ අපට පැහැදිලි විද්‍යාමාන වන ලක්ෂණ නම් අනිත්‍ය ලක්ෂණයි. එය මිනිසා සහ අවශේෂ පරිසරය තුළ සිදුවන ජීව විද්‍යාත්මක සාධක තුළින් අවබෝධ කරගත හැකියි. සුඛ සංකල්පනාවන් ගෙන් පිරි දුක්ඛ දෝමනස්සයන් ජනිත වීමට අදාළ එක් ප්‍රධාන කරුණක් වන්නේ අනිත්‍ය ලක්ෂණයයි. (යද නිච්ඡං තංදුක්කං) පුද්ගල බද්ධ ආත්ම සංකල්පනාවන් මුල් බැස ඇති සමාජයක ත්‍රිලක්ෂණ ධර්ම සංකල්පනාව ඉස්මතු වීම වැදගත් වේ.
බෝසතුන් වහන්සේ මෙය යථාභූත ඥානයෙන් පිරිසුදුව අවබෝධ කරගත්හ . මෙම ත්‍රිලක්ෂණ සංකල්පනාවට සියල්ලම යටත්වන බවද, ඇති තතු පරිදි සිය ඤෙය්‍ය මණ්ඩලයට වැටහුණෝය. අනන්ත සසර තුළ සදාකාලික නිත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව ලොවට දේශනා කළෝය. සසර දුක නිවාරණයට ඇති එකම පිළිවෙත සංසාර ගමන නතර කිරීම බව පසක් කරගත්හ. ඒ නිසා අප බුදුරදුන් බව දුකට වෙදාණන් වශයෙන් හඳුන්වා ඇත. මහායාන ධර්ම ග්‍රන්ථවල “භෛසජ්‍ය ගුරු” නාමයෙන් මෙම පදය විශේෂණය කර ඇත. සංසාර ගමන නතර කිරිමට නම්, සියලු කෙලෙස් සංයෝජන ප්‍රහීන කිරීමෙන් ලද හැකි නිර්වාණාවබෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුය.මෙය ප්‍රඥාව සමඟ බැඳී පවතී. මේ සඳහා ගමන් කළ යුතු ආර්ය මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැඳින්වේ. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත එයි. එය කිසිම දෘෂ්ටියකට අන්තවාදයකට යටත්ව නොමැති බැවින් මජ්ජිමා පටිපදා නම් වේ.
පද්මාකාර සමාජය සහ පද්මාකාර පිළිවෙත පෙන්වාදුන් ගෞතම බුදුරදුන් පෘථජ්ජන මිනිසාට දේශනා කර වදාළ පද්මාකාර සමාජයේ උත්තරීතර පිළිවෙත ගමන් මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පිළිබිඹු වේ. සමාජය නමැති මඩ ගොහොරුව මෙන්ම සංසාරය නමැති මඩ ගොහොරුවෙන්ද උත්තීර්ණ වීමට මෙම පිළිවෙත උපකාරී වේ. සංසාර නමැති සාගරයෙන් එතෙර වීමට ආර්ය ධර්මය උපකාරී වේ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් මෙම පිළිවෙත සමන්විත වේ. ශීලයෙන්් සමාධියත් ප්‍රඥාවත් කරා ගමන් කරන ලෝක සත්ත්වයාට පද්මාකාර සමාජයේ සිළුමිණ ස්පර්ශ කළ හැකිය. බුදු දහමේ ඉගැන්වෙන ආර්ය පර්යේෂණය නම් එයයි. පංච ඉන්ද්‍රියන් පිනවමින් සංසාර අගාධයේම ඇලී ගැලී ගැටී තවදුරටත් එහිම නතර වීම අනාර්ය පර්යේෂණයයි. මජ්ක්‍ධිම නිකායේ ආර්යපර්යේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට පංච ඉන්ද්‍රියන් පාලනය කර ගනිමින් කාමයෙහි ආදීනව දැක සංසාර නිස්සරණය පිණිස ඇති තතු දැන කටයුතු කිරීම ආර්ය පර්යේෂණය බව සිහිපත් කළ යුතුය.
ආර්ය පර්යේෂණය පිරිපුන් ජීවිතයක පදනම වේ. නික්ලේශී විරාගී චරණයට පිටිවහලක් වේ. බුදු දහමේ ඉගැන්වෙන පෘථග්ජන – ආරියසාවක යුග්මය වටහා ගැනීමට හැකියාවද එමඟින් ලැබේ. ත්‍රිපිටකගත බොහෝ සූත්‍රවල පෘථග්ජනය හඳුන්වා තිබෙන්නේ ඇසූ පිරූ තැන් නැති පුද්ලයෙකු ලෙසය. ගිහි හෝ පැවිදි ආර්ය ශ්‍රාවකයා ඇසූ පිරූ තැන් ඇති ධර්මය දන්නා, ධර්මය දකිනා (සුතාවා අරියසාවකො) අයකු ලෙස හඳුන්වා ඇත. එසේම පද්මාකාර සමාජයේ නිරත වන්නා “විඤ්ඤු පුරිස” යන නාමයෙන් හැඳින්වීමට පිළිවන. ගෞතම චතුරාර්ය සත්‍ය ධර්මය වටහාගත් වටහා ගැනීමට ප්‍රයත්න දරන අයකු ලෙස සැලකිය හැකිය. මේ අනුව සමාජය නිවැරැදිව තේරුම් ගැනීමටත්, මෙලොව සහ පරලොව පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තම ජීවන භූමිකාව සාධු චර්යාව වෙත යොමු කිරීමටත්. පද්මාකාර ජීවිතයට පිළිපන් අයකු විය යුතුය. සමාජය විවිධය. විෂමය. ඇසුරු කිරීමට සුදුසු කල්‍යාණ මිත්‍රයෝ මෙන්ම පාපකාරී මිත්‍රයෝද විරල නොවෙති. කල්‍යාණ මිත්‍ර සේවනයත්, අප්‍රමාදයත් ජීවන මාවත යහපත් මාවතට එකතු කිරීමට හේතු වේ.
එසේම මිනිසා සතු ශ්‍රද්ධාවද මෙහිලා වැදගත් සාධකයක් ලෙස පෙළ දහමේ හඳුන්වා ඇත. සද්ධා ගුණය චෛතසිකයක්ද වේ. අමූලිකා ශ්‍රද්ධාව භක්ති පූර්වක වේ. ආකාරවතී ශ්‍රද්ධාව ප්‍රඥා මූලික වේ. බුද්ධිය විකසිත වී උදාර අදහස්වලින් ප්‍රබෝධමත් වීමට ප්‍රඥා මූලික වූ ආකාරවතී ශ්‍රද්ධාව ඉවහල් වේ. පංචශීලය සුරකින සුචරිතවත් සමාජයක පදනම පද්මාකාර ජීවිතයෙන් අර්ථවත් වන බැවින් ගිහි පැවිදි අප සැවොම ඒ සඳහා අපේ බැතිබර දායකත්වය ප්‍රදානය කරමු. සිත කය වචනය තුන්දොර ආරක්ෂා කරගනිමු.

දුක ගැන බුදු වදන...

චතුරාර්ය සත්‍යයට අයත් පළමු කොටස වන දුක්‌ඛ සත්‍යය බුදුපියාණන් වහන්සේ විස්‌තර කරනු ලබන්නේ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේව - කායික දුක - මානසික දුක - දැඩි ආයාසය - පැතූ යමක්‌ නොලැබීමේ දුක - සංක්‍ෂෙපයෙන් පඤ්ච ස්‌කන්ධයම දුකක්‌ වශයෙන් බුදුපියාණන් වහන්සේ දුක්‌ඛ සත්‍යය තුළදී පෙන්වා වදාළ සේක.

දුක්‍යාර්ය සත්‍යයෙහි විස්‌තර වන දුක තුන් ආකාරයකින් පිරික්‌සා බැලිය හැකිය. එනම්,

1. දුක්‌ඛ දුක්‌ඛතා

2. විපරිනාම දුක

3. සංස්‌කාර දුක

දුක්‌ඛ දුක්‌ඛතාවෙහිදී අප ලබන අමිහිරි අත්දැකීම්වලින් ඇතිවන සාමාන්‍ය දුක ජීවිතය හා ලෝක සම්බන්ධයෙන් සලකා බලන විට මූලික අවස්‌ථා තුනක්‌ දක්‌නට ලැබෙයි. එනම් ඇතිවීම, පැවැත්ම හා විනාශයයි. මේ කොටස්‌ තුනම පුද්ගලයාට නොයෙක්‌ ගැටුම්, ගැටලු හා දුක්‌ කම්කටොලු ඇති කරයි. ජීවත්වන අප සැමටම මෙම අවස්‌ථා තුනට අනුව විවිධ කායික මානසික දුක්‌වලට මුහුණපෑමට සිදුවෙයි. අප විඳින සියලු ප්‍රශ්න අපලවලින්, සූනියම්වලින් හෝ භූතයන් නිසා නොව සිදුවන්නේ ඉහත නී අවස්‌ථාව පදනම් කරගෙනය.

අප ජීවිතයෙහි ලබන එකදු සැපතක්‌ හෝ සතුටක්‌ වෙනස්‌ නොවී සැමවිටම එකසේ පවතින්නේ නැත. මොහොතකට පෙර සැපයක්‌ සතුටක්‌ ලෙස වින්දනය කර දේ ඊළඟ මොහොතේ දුකක්‌ වන්නට ඉඩ ඇත. ඊයේ දවස තුළ සතුට පිණිස හේතුවූ වස්‌තුවක්‌ හෝ පුද්ගලයෙක්‌ අද දුකක්‌ ගෙනදෙන දෙයක්‌ වන්නට ඉඩ ඇත. මේ අන්දමට බලන විට පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූත්, අධ්‍යාත්මික වූත්, සියල්ල මොහොතින් මොහොතම වෙනස්‌ වෙයි. මේ අනිත්‍ය ස්‌වභාවය විපරිනාම දුක නමින් හැඳින්වෙයි.

දුක සම්බන්ධව බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඉහත සඳහන් ආකාර දෙකම තේරුම් ගැනීම පහසුය. නමුත් දාර්ශනික, ගැඹුරු අර්ථයකින් විස්‌තර වන සංස්‌කාර දුක යන්න තේරුම් ගැනීම තරමක්‌ දුෂ්කරය. බුදුසමය සත්වයා, මම, පුද්ගලයා යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස්‌වනසුළු කායික, මානසික සංස්‌කාර සමවායකී එකතුවකි. එය පංචස්‌කන්ධය ලෙස හැඳින්වේ. පඤ්ච උපාදානස්‌කන්ධය දුකයි. 

පංචස්‌කන්ධය දුකක්‌වන්නේ ලෝභ, දොaස, මෝහ යන අරමුණු සමග ගැටීම නිමිති කරගෙන ගොඩනැගෙන සක්‌ඛාය දිට්‌ඨිය නිසාය. පෙළ දහමෙහි හඳුන්වන්නේ මෙසේ අරමුණු අල්ලා ගැනීමයි. ග්‍රහණය කිරීමයි. එයින් ඇතිවන දුක්‌ඛසහගත තත්ත්වය සංස්‌කාර දුකයි.

දුක්‌ඛ සත්‍යය වනාහී, 'ඉදං ඛො පන භික්‌ඛවේ දුක්‌ඛං අරියසච්චං ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, ව්‍යාධිපි දුක්‌ඛො, මරණම්පි දුක්‌ඛං, අප්පියෙහි සම්පයෝගො දුක්‌ඛො, පියොහි විප්පයෝගෝ දුක්‌ඛො, යම්පිච්ජිං නලභති තම්පි දුක්‌ඛං, සංත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්‌ඛා'

ජාති දුක ඉදපීමේ දුකයි. ජාතිය ස්‌වභාවයෙන්දුක්‌ නොවන්නේය. එය දුක්‌ ඉපදීමට හේතුවන බැවින් දුකයයි වදාරන ලදී. උප්පැත්ති නිමිත්තෙන් සත්වයා විඳින දුක සත් ආකාර වේ. 'ගබෙභාකකනතික මුලක දුක, ගබ්බ පරිහරණ මුලක දුක, ගබ්බ විපත්තී මුලික දුක, ගබ්බවිජායන මූලික දුක, ගබ්බ බහී නික්‌ඛමන මූලක දුක, අත්තනොක්‌කම මුලක දුක, පරොපක්‌කම මුලක දුක යන සතයි.

ගබ්භෝකක්‌නතීක මූලක දුක යනු මව් කුසේහි දස මාසයක්‌ හෝ ඉන් අඩු වැඩි කාලයක්‌ මවු කුස හටගත් හුමාලයෙන් පිටි පිඬක්‌ මෙන් පැසෙන්නේය. අත්පාආදිය හැකිලීම් දිග හැරීම් ආදියෙන් තොරව අපමණ දුකක්‌ විඳියි. මව්කුස පිළිසිඳ ගැනීම මහා දුකකි. ගම්භ පරිහරණ මූලික දුක මවගේ හැකිකීම් පැකිලීම් යාම් ඊම් ඉදීම් සිටීම් සයනය කිරීම්, පෙරලීම්, නැමීම් ආදී ක්‍රියාවලින් බලවත් වේදනාව ගබ්බ පරිහරණ මූලික දුකයි. ගබ්භ විපත්ති මූලික දුක බවට මුඪ ගර්භවූ කල්හි හිතවතුන් විසින් දැක්‌මට නොනිසි වූ දුක්‌ උපදවනා තැන්හි සිඳීම්, පැලීම්, විඳීම් ආදිය කරණකොට ගෙන ඒ කුසහොත් බිලි¹ට යම් දුකක්‌ උපනේද, එය ගර්භ විපත්ති දුකයි.

ගර්භ විජායන මූලික දුක ප්‍රශ්වාස කරන්නා වූ මවගේ කර්මජ වාතයෙන් කුසහොත් පෙරලා පිටතට නික්‌මෙන කල දොර යතුරු සිදුරකින් නික්‌මෙන හත්සි රාජයකුට මෙන් ඇතිවන බලවත් වේදනාවයි. ගර්භ බහිනිකඛමණ මූලික දුක අලුත හටගත් වනයකට මෙන් සියුමැලි සිරුර අතින් ගැනීමය, නැවීමය, සේදීමය, වස්‌ත්‍රයෙන් පිස දැමීමය යන කටයුතුවලදී යම් දුකක්‌ විඳීද එය ගර්භ බහිනික්‌කමන මූලික දුකය.

අත්තනොපක්‌කමමූලික දුක. මෙය තමාගේ උපක්‍රම මුල් කරගෙන පවතින දුකකි. මවු කුසින් බිහිවූවායින් පසු තමා ආහාර නොගැනීමෙන්, වස විෂ පානයෙන් ගෙල වැලදා ගැනීමෙන් ආදිය නිමිතිකොට විඳින දුක අත්තනොපක්‌කම දුකය. පරොක්‌කම මූලික දුක මෙය අනුන්ගේ උපක්‍රම හේතුවෙන් ලැබෙන දුකකි. අනුන්ගේ වධ බන්ධනාදිය විඳින්නා හට ඇතිවන දුක පරොපක්‍රම මූලික දුකය. මේ සියලු දුක්‌ විඳීමට එකම හේතුව ජාතිය හෙවත් ඉපදීමයි.

ජරා දුක එය 'ප්‍රකට ජරාවය, අප්‍රකට ජරාවයයි ජරාව දෙවැදැරුම් වේ. ඉන් රූප ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම ප්‍රකට ජරාවය, නාම ධර්මයන් පිළිබඳ ජරාව හෙවත් දිරීම අප්‍රකට ජරාවය. අප ශරීරය දිරාගිය ගැලකට බඳු අවස්‌ථාවකට පත්වීම හෙවත් අබල දුබලව දිරායාම හිස, රැවුල් පැසීම, දත් වැටීම, ඇස්‌ නොපෙනීම, කන් නෑසීම, ඇඟ රැලි වැටීම, අවයව විකලවීම, ආයුෂ පිරිහීම යනාදිය රූප ලකුණු ජරා ලකුණුයි. ව්‍යාධි දුක, මහළුවීම, ආයුෂ පිරිහීම හේතු කරගෙන ශාරීරික වශයෙන් ඇතිවන ලෙඩ දුක්‌ පීඩා කායික, මානසික වශයෙන් ඇතිවන ව්‍යාධිය දුකකි.

මරණ දුක, එය 'චුති වචනතා' මච්චු මරණ ලෙස සඳහන් වේ. චුති නම් යම්කිසි ආත්මයකින් පහවීමයි. වචනතා යනු මරණයේ ස්‌වභාව නිරූපණයයි. මච්චු මරණ මෘත්‍යq සංඛගත මරණයයි. ඉවසිය නොහැක්‌කාවූ පිළියම් නැත්තා වූ යම්දුකක්‌ වීද, ඒ දුක්‌ සමූහයට වඩා යම් හෙයකින් මේ මරණය දුකක්‌ යෑයි වදාළ සේක.

සෝක දුක, රොගව්‍යසන භෝග්‍යව්‍යසන, සීලව්‍යසන, ඤාතිව්‍යසන, දිට්‌ඨිව්‍යසන යන මේ පඤ්ච ව්‍යසනයන්ගෙන් යමක්‌ ඇති කල ඇතුළත උපදින මේ ශෝකය ගැනය. ශෝකය සත්ව හෘදය හුලක්‌ මෙන් විදියි. ගින්නෙන් රත් කරන ලද යකඩයක්‌ මෙන් නැවත නැවත දවයි. අනේක ප්‍රකාර දුක්‌ඛයන්ට පමුණුවයි.

පරිදේව දුක හැඬීම වැලපීම ආදියට පාදක වන ඥාතිව්‍යසනාදී යමකින් දුක්‌ වූ තැනැත්තාගේද, මාගේ දියණි, මාගේ පුතණුවෝ යනාදී වශයෙන් ඒ ඒ වස්‌තුවේ, ඔවුන්ගේ ගුණ කියා නැවත නැවත හැඬීමක්‌ වේද, එය පරිදේව හෙවත් හැඬීම ආදි දුක පරිදේව දුකයි.

දුක්‌ඛ දුක කායප්‍රශාද වස්‌තුවෙහි අභිත ස්‌පර්ෂයන්ගේ වැදගැන්මෙන් ඉවසීමට දුෂ්කර හෙයින් දුක්‌ඛ නම් වූ කායේ, හටගත් යම් දුකක්‌ වේද, කයෙහි හටගන්නා යම් නොමිහිරි බවක්‌ වේද, කාය ස්‌පර්ශයෙන් හටගන්නා වූ දුක්‌ වූ නොඉවසිය හැකි යම් වේදනාවක්‌ වේද මෙය දුක්‌ඛ දුක යෑයි වදාළ සේක.

දොමස්‌ස දුක මෙය සිතෙහි හටගන්නා දුකකි. හිතෙහි දුක හටගන්නා තැනැත්තා කෙස්‌ විසුරුවාගෙන හඬයි. ළයෙහි අත්ගසමින් උඩපනිමින් බිම පෙරළෙමින් පොළොවේ හැපෙමින් බිම ඇද වැටෙමින් හඬයි. එය දොමස්‌ දුක වේ.

උපායාස දුක ඥාති ව්‍යසනාදී යම්කිසි ව්‍යසනයකින් යුක්‌ත වූවහුගේ හෝ සිරගෙයි වැටීම් ආදී එක්‌තරා ස්‌වභාවයකින් ස්‌පර්ශ කරන ලද්දහුගේ හෝ දුක්‌ පැවැති යම් ආයාශයක්‌ වේද එය උපායාස දුකයයි.

මේ අන්දමට ගත්විට මම වශයෙන් පුද්ගලයන් වශයෙන් හඳුන්වන මෙසේ නිතර වෙනස්‌වන පඤ්ඤස්‌ඛන්ධයම දුකකි. ය ද නිච්චං තං දුක්‌ඛං' යෑයි වදාරා ඇත්තේ එබැවිනි.

සසර සැඩ පහර වළකාලන්නේ කෙසේද?

ගම්පහ සිරි සීවලී හිමි

බුද්ධිමත් බෞද්ධයෝ බෝධිසත්වයෝ වෙති. සෑම බුද්ධිමත් බෞද්ධයෙක්‌ම බුදුවිය යුතුය. මේ උතුම් මනුෂ්‍ය ආත්මභාවය නම් වූ බෝධි සත්ව භූමියේ සම්බුදු සමයක උපන් අපට අර්හන්ත බුද්ධත්වය ලැබීමට අවශ්‍ය සියලුම සුදුසුකම් ඇත. ඒ පහසුකම් අතහැර පසෙකලා ලැබෙන බුදුබව මඟහැර, මාන්නක්‌කාරකම පෙරටුකරගෙන රජකම, ඇමැතිකම, අධිපතිකම, උගත්කම, ගුරුකම, වෙදකම, ගොවිකම, නීතිඥකම නොයෙකුත් කම් කරගහගෙන ලෝක ධර්මයන්ම සොයාගෙන යයි. භෞතිකත්වයට අගයදී එතැනම වැඳ වැටේ. එසේම අරහන්ත බුද්ධත්වයෙ මඟපල නිවනින් ලැබෙන ලොව්තුරු සැප නොසලකා හරියි. මුදල් මත මෙහෙයවන පහත් මානසිකත්වය හෙවත් පුහුදුන් බව තුලම ජීවිතය ගොඩනැගීමට වෙහෙසෙයි. බුදුබව ලැබීමට පුහුදුන් මානසිකත්වයේ ආදීනව දැක ලොව්තුරු මගඵල වල ආනිසංස අවබෝධයෙන් දැන අභිනිෂ්ක්‍රමණය කළ යුතුය.

සත්වයා කාමොඝ - භවෝඝ - දිට්‌ඨිඔඝ නම් වූ දරුණු සැඩ පහරට අසුවී සසරට ගහගෙන යයි. සැඩ පහර වළකාලන්නේ කෙසේද? එයට අසුනොවී සසරින් එතෙර වන්නේ කෙසේද? යන්න 'ඕඝ තරණ' සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරදෙති.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයක එක්‌තරා දිනක දේවතාවෙක්‌ පැමිණ උන්වහන්සේ වැඳ නමස්‌කාර කර මෙසේ සැළකර සිටියේය.

- 'කථන්නූ ත්වං මාරිස ඕඝමතරීති?' 

නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ කෙසේ නම්, 'ඕඝ' තරණය කළ සේක්‌ද?

- අප්පකිට්‌ඨං ක්‌වාහං ආවුසො අනායූහං ඕඝමතරීති'

ඇවැත්නි, මම නොපිහිටමින්, වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළෙමි.

- 'යථා කථං පන ත්වං මාරිස, අප්පතිට්‌ඨං අනායුහං ඕඝමතරීති'

නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නොපිහිටමින්, වෑයම්ද නොකරමින්, ඕඝ තරණය කළ සේක්‌ද?

- 'යදා ස්‌වාහං ආවුසො, සන්තිට්‌ඨාමි, තදාස්‌සු සංසිදාමි. යදා ස්‌වහං ආවුසො, ආයුහාමි. තදාස්‌සු නිබ්බූය්හාමි. එවං ඕවහං ආවුසො අප්පතිට්‌ඨං ආනායුහං ඕඝමතරින්ති'

ඇවැත්නි, මම යම්විටක පිහිටා සිටිම්ද, එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම්ද, එකල්හි ඉල්පයෙමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම්ද නොකරමින් 'ඕඝය' තරණය කළෙමි.

චිරස්‌ස වත පස්‌සාමි

බ්‍රාහ්මණං පරිනිබ්බුතං

අප්පතිට්‌ඨං ආනුයූහං

තිණ්‌ණං ලොකෙ විසත්තිකං'

නොපිහිටමින්ද

වෑයම් නොකරමින්ද

ලෝකයෙහි තෘෂ්ණාව (ඕඝ)

තරණය කළ කෙලෙස්‌ නැසූ

ක්‌ෂණාශ්‍රව බ්‍රාහ්මණයකු කලෙකින දකිමි'

ඕඝ තරණය කිරීමේ ගැටලුව විස¹ගෙන සතුටුවූ සිත් ඇති දේවතා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කර අතුරුදන් විය.

(සං.නි. දේවතා සං. ඕඝ තරණ සූත්‍රය)

ලොව්තුරා දර්ශනය මත දඟලන්නේත් නැතිව, සිටින්නේත් නැතිව යනු අන්ත දෙකට නොයාමයි. උපායශීලීව උපක්‍රමශීලීව නිසොල්මන්ව මධ්‍යම ප්‍රතිපදාවට අනුගතව රාග - ඉස - මෝහාදී කෙලෙස්‌ ධර්ම හඳුනාගෙන දුරු කිරීමයි. ප්‍රතිපදාවක යෙදීමයි. ඒ සඳහා සතිමත්ව වාසයයි.

'සියල්ල කරන්න

කිසිවක්‌ නොකරන්නෘ'

ආර්ය ශ්‍රාවකයාගේ ජීවන ප්‍රතිපදාවේ තේමා පාඨය විය යුතුය. සියල්ල කරන්න යනු 'නිසොල්මන්ව' දඟලන්නේ නැතිව සිටීමයි. 'කිසිවක්‌ නොකරන්න' යනු 'මම' පනවා නොගැනීමයි. මෙයයි 'ඕඝ' තරණයේ ක්‍රමවේදය.

අවදිමත් සංසුන් මනසකින් සතිමත්ව ක්‍රියාශීලීව ඉවසිලිමත්ව සැඩ පහරෙහි බාධක දැක මඟහැර එගොඩවීමට පනින්න. පිහිටා සිටියහොත් කි¹ බැස මරණයට පත්වේ. ඕඝයේ සැඩ පරුෂ බවට බියටපත් වූවොත් දැඟලුවොත් භයෙන් තැනිගත්තොත් දුබල වුණොත් ජල කඳෙහි වේගය දිසාව අවස්‌ථානුකූලව අවධාරණය නොකළහොත් දඟලලා වෙහෙසවී වතුර පෙවී ශරීර දුබලත්වයට පත්වී විනාශයට පත්වේ.

දරුණු සැඩ පහරෙහි වේගය, දිසාව, වහා වටහා ගැනීමේ නිසඟ හැකියාව තිබිය යුතුය. එවිට රළ පහර මතින් සීරු මාරුවෙන් එගොඩවීමට හැක. අවස්‌ථානුකූලව තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එසේ නම් එළඹ සිටි සිහියෙන් සැඩ පහර මඟහැර 'ඇඟටනොදැනී' එතෙරවීමට හැක. සසර ඕඝ තරණයේදී අන්ත දෙකක්‌ අත්හළ යුතුය.

ඕඝය තරණය කළ හැක්‌කේ ආක්‍රමණශීලීව නොවේ. උපායශීලීවය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්ය උතුමන් සසර ඕඝයෙන් එතෙරවීමට උපකාරීකරගත් උපාය මාර්ගයකි. මේ ක්‍රමවේදයේදී චෛතසික කෙලෙස්‌, රාග, දෝස, මෝහ ක්‍රමයෙන් නිදහස්‌ වේ. අමනසිකාරය වූ නිශ්ශබ්ද ගවේෂකත්වය කරා ළංවීමට නම් මධ්‍යම ප්‍රතිපදාව නම්වූ ජීවිතය විඳවන්නේ නැති - ජීවිතය විඳින්නේ නැති' අන්ත දෙකින් මුදවා ගත යුතුය. මේ අවස්‌ථා දෙකම ඉක්‌මවා යන්නේ ඕඝ තරණයෙන් පසුවයි. මාර්ගයෙන් ඉදිරියට යාමට ගමනේ අවසානය සඳහා අමුතු දුක්‌ඛ පටිපදා වෙරවීර්ය කිරීමක්‌ බුදුපියාණන් වහන්සේ අනුදැන වදාරා නැත.

ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී ලෝකයේ මූල ස්‌වභාවය හෙවත් යථාභූත ඥන දර්ශනයේදී පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ - විඤ්ඤාණ ශුද්ධ ධර්මවල ඇති තතු, ස්‌වභාවය, ප්‍රකෘතිය, ක්‍රියාකාරීත්වය මැනවින් දැනගත යුතුය. අවබෝධකටයුතුය. තත්වාකාරයෙන් අවධාරණය කළ යුතුය. එයයි පූර්වකෘත්‍යය වන්නේ.

සත්වයා යනුවෙන් සම්මුතිව - ප්‍රඥප්තිව පනවාගෙන නම්කරගෙන ව්‍යවහාරයේ ඇති මේ ස්‌වභාවධර්ම යථාර්ථය ගැඹුරින් අධ්‍යනය කරන්න. සවිඥනිකත්වය හෙවත් විඤ්ඤාණයාගේ ක්‍රියාකාරීත්වයේ ඉදප්පච්චයතාවය අවධිමත් මනසින් අධ්‍යයනය කරන්න. ශුද්ධ ධම්ම හෙවත් ශක්‌තිවල ස්‌වභාවය පටිච්චසමුප්පන බව මැනවින් හැදෑරීමෙන් මතකය අවදි කිරීමෙන් ප්‍රකෘතිය කරා මන මෙහෙයවිය හැක. මහාභූත නම් වූ පඨවි ආදී ශක්‌ති සමූහය මූල ස්‌වභාවය සාමූහිකත්වයයි. වෙන් නොවන ස්‌වභාවයයි. වෙනස්‌වීම, චලනය පටිච්චසමුපන්න භාවයේ යථාර්ථයයි. සාමූහිකත්වය පදනම්ව විද්‍යමානවන නිසා පුංජයක්‌ වශයෙන් ඝනීභූත භාවයෙන් ප්‍රකට වේ. මේ ප්‍රකට වීම 'රූප' නමින් සම්මුති නාමය ලෝක ව්‍යවහාරයේ මුලින්ම නම් කිරීම වේ.

මහා භූතයන්ගේ 'රූප' සංඥව දුරු කිරීම සඳහා පදාර්ථයන්ගේ (ශක්‌ති සමූහයේ) පටිච්ච සමුප්පන්නතාවයෙන් ශුන්‍යත්වය ස්‌වභාවයට පත්වීම ගැන අවබෝධ කටයුතුය.

1. පඨවි ධාතුව - සංඥ වශයෙන් ගත්විට තද ස්‌වභාවය දරදඬු බව - කැඩෙන ගතිය, දැනෙන ගතිය - ප්‍රකෘතියයි. පඨවි නම් ශක්‌තියේ පදනම ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතා ධර්මතාවයම වේ. එනිසා ස්‌වකීයත්වයක්‌ පැනවිය නොහැක. 'ඇත' කියා දැක්‌වීමට හෝ 'නැත' කියා දැක්‌වීමට හෝ පැනවීමට කිසිසේත් ඉඩක්‌ නැති සාධාරණ සාධක නැති භාව - අභාව නොපැනවිය හැකි ස්‌වභාවයකි. පඨවි ධාතු වශයෙන් සංඥ විරහිත භාවයට හෙවත් සංඥා නොවන තැනට මන කියාකර අමනසිකාරය නම් ධර්මතාවට පත්වී (මෙනෙහි නොවන තැනට) සඥවන්නේ නිරෝධය නම් වූ නිරෝධ සංඥ ධර්මතාව ප්‍රකට වීම සිදුවේ. ඒ අවස්‌ථාව අව්‍යාකෘතයි. පෙන්විය නොහැකි, පැනවිය නොහැකි ස්‌වභාවයකි. ෙච්තනා විරහිත බවකි. එම නිසා පඨවි ධාතුව පදාර්ථයේදී ශුන්‍යත්වයේදී සංඥ විරහිත වේ. මේ පදානුගතානුසාරයෙන් මේ ක්‍රමවේදයෙන් සියලුම ධාතුන්ගේ යථාර්ථය නුවණැසින් පැහැදිලි කරගත යුතුය. යම් කෙනෙක්‌ ගැඹුරු ස්‌කන්ධ - ධාතු ආදී පදාර්ථයන්ගේ යථාර්ථය විදර්ශනා නුවණින් ගැඹුරින් යථාවත්ව ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥවෙන් විනිවිද දකීද එවන්නන් දුර්ලභ බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. 'නිමිති' ගැනීමේදී සංඛාර වේ. අනිමිත්තයේ විසංඛාරයි.

2. ආපෝ ධාතුව - ගලායන, වැගිරෙන, දියවෙන, පාවී යන, ඉලිප්පීයන, ඔසවාගෙන යන, ඩැහැගෙන යන ස්‌වභාවයයි. පටිච්චසමුප්පාද හෙවත් ඇතිවීම, නැතිවීම මූලධර්මයට පදනම්ව ඇති බව හෝ නැති බව සංඥ ගැනීමට නොහැකි නිසා සංඥ ශුන්‍යත්වයට පත්ව අචින්තයෙන් අනිමිත්තයට පත් වේ. (පඨවි ධාතුව ගැන ගෙනහැර දැක්‌වූ කරුණු මීට අදාළ වේ.)

3. තේජෝ ධාතුව - ශක්‌තිය - උණුසුම - ශීත ස්‌වභාව - දිරවන - දවාලන - පුචච්න ගතිය ප්‍රධානයි. තේජෝ ශක්‌තියද ස්‌වයම්භූ ජනිත නිසා පටිච්ච සමුම්පන්න ධර්මතාවට යටත්ය. 'ඇති' බවත් 'නැති' බවත් සාපේක්‌ෂව වෙනස්‌වන නිසා නිත්‍ය වශයෙන් 'ඇත' හෝ 'නැත' ස්‌වභාවය පැනවිය නොහැකි බැවින් සංඥ නිරෝධයෙන් ශුන්‍ය වේ.

4. වායෝ ධාතුවේ ස්‌වභාවය හමායන බව - සෙලවෙන බව - පීඩනය - තෙරපුම - පිම්බීම හැකිලීම - ඔසවාගෙන යාම - පෙරටුකොට ඇත. මෙම ධාතුවද ඉහත දැක්‌වූ ධාතූන්ගේ ධර්මතාවට යටත් නිසා පටිච්චයේ දී ශූන්‍ය වන නිසා ඇත - නැත යනුවෙන් ගැනීමට නොහැකි නිසා නිමිති විරහිතයි. 

ධාතු හතරේ සිතිය නොහැකි, කිව නොහැකි. මැන බැලිය නොහැකි සවයම්භූ චලනයක්‌ වේගයක්‌ සාමූහිකව සිදුවන නිසා පුංජයක්‌ - ගොනුවක්‌ - පිඩක්‌ වශයෙන් විද්‍යමාන ස්‌වභාවයට 'රූප' යෑයි සම්මුතිය දී ඇත. එය එනම් 'රූපය' ආකාශ ධාතුව තුළ ස්‌ථානගත වීම වේ. සීමාමායිම් වේ. අකාශ ධාතුවද ශක්‌තියකි. පටිච්ච සමුප්පන්න ධර්මතාවට එයද යටත්ය. ඇතිවීම නැතිවීම සාපේක්‌ෂතාව ඊටද අදාළය. එහිදී ආකාශ ධාතුවද ප්‍රකට බවේ හිස්‌ ඉඩකඩ තුළ කිසිදු සංඥවක්‌ ප්‍රකට නොවේ.

විශ්ව ව්‍යාප්ත ආකාශ ධාතුව තුළ සතර මහා භූත නම් වූ ශක්‌ති සමූහය පටිච්චසමුප්පන්න වන බැවින් 'රූප' මතු වේ. එම රූප අභ්‍යන්තර බාහිර රූප වශයෙන් ඝනීභූත වී පුංජයක්‌ වශයෙන් විද්‍යමාන වේ. මේ ස්‌වභාව ධර්මතා දෙක හෙවත් අභ්‍යන්තර රූප බාහිර රූප සම්බනධීකරණය වීමේදී 'විඤ්ඤාණය' නම් ශක්‌තිය ප්‍රකට වේ. මේ සියල්ල ඉදප්පච්චයතාව හෙවත් පටිච්චසමුප්පන්න ධර්මතාවට යටත්ය.

සබ්බේ ලොකො චලිතො
සබ්බේ ලොකො ප-ජලිතො

සියලු ලෝක ධර්මතා චලිත වේ.
සියලු ලෝක ධර්මතා දිදුලයි.

ශාන්තිනායක දර්ශනය සම්මුති දේශනා - පරමාර්ථ දේශනා වශයෙන් දෙකොටසකි. ඉහත සඳහන් දහම් කරුණු පරමාර්ථ දේශනා හා සම්බන්ධ වේ. එය ප්‍රඥවට ගෝචර වේ. සියලු හටගත් දේ භෞතිකත්වයෙන් ඔබ්බට ගිය පසු ඉක්‌මවා ගිය පසු පරමාර්ථ වශයෙන් ප්‍රකාශිත වේ. ඒ ධර්මතාව 'අනිදස්‌සන විඤ්ඤානය' යනුවෙන් තථාගත භාෂිතයෙහි වේ. එය අනිමිත්ත - අප්පනිහිත සුඤ්ඤත නම් ද ව්‍යවහාර වේ. භෞතික මානසිකත්වයට ගෝචර නොවේ.

භෞතිකත්වය මත විස්‌තර කරන රූපයේ යථාර්ථය විදසුන් නුවණින් දකින ලෙස සුත්ත නිපාතයේ පරායන වග්ගයේ 'පිංගිය' සූත්‍රයෙහි මෙසේ දැක්‌වේ.

දිස්‌වාන රූපෙසු විහඤ්ඤමානෙ

රුප්පතීති රූපෙසු ජනා පමන්තා

තස්‌මා තුවං 'පිංගිය' ආපමත්තා

ජහස්‌සු රූපං අපුනබ්භවාය'

රූපය නිමිති වශයෙන් ගෙන රූපය උපාදාන කරගෙන රූපයෙහි මත්වන මිනිසා රූපයේ ධර්මතාවය හේතුකොට ගෙන වෙහෙසට පත් වේ. දුකට පත් වේ. වැනසීමට පත්වේ.

එම නිසා 'පිංගිය' ඔබ රූපයේ යථාර්ථය දැක එහි මත්නොවී අනිත්‍යතාවය - පටිච්චසමුප්පනභාවය විදසුන් නුවණින් දකිමින් පුනර්භවයට යාමට හේතුකාරක දුරුකරන්න.

රාධ සංයුත්තයේ 'සත්ත' සූත්‍රයේ මේ හා සමාන ධර්ම විවරණක්‌ ඉදිරිපත් කෙරේ.

රාධ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විචාරති. ස්‌වාමීනි, 'සත්ත', 'සත්ත' යෑයි කියනු ලැබේ. 'සත්ත' යනු කුමක්‌ද? රාධ, රූපයෙහි ඇලීමක්‌ එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌ , දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ. එමෙන්ම රාධ, වේදනාවේ ඇල්මක්‌, එහි සතුටක්‌, ආශාවක්‌, කැමැත්තක්‌, දැඩි අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද, ඒ 'සත්ත' නම් වේ. මේ අයුරින් සංඥ, සංඛාර, විඤ්ඤාන ස්‌කන්ධ පංචකය සම්බන්ධයෙන් සතුටක්‌ - ආශාවක්‌ - කැමැත්තක්‌ දැඩිව අල්ලාගත් බවක්‌ පෙන්නුම් කරයිද ඒ 'සත්ත' නම් වේ.

රාධ, කුඩා දරුවෝ වැලිවලින් ගෙවල් සාදා ක්‍රීඩා කරති. පහව නොගිය ආශාවන්ගෙන් යුක්‌ත වේ. පහව නොගිය කැමැත්ත ඇතිව සිටිති. ප්‍රේමයෙන් පිපාසිත වෙති. ලොල් වෙති. වස්‌තුකොට ගනිsති. ධනය කොට සලකති. මමත්වය ගොඩනැගේ. යම් දවසක මෙහි යථාර්ථය දැනගත් දාට සිය්ල කෙරෙහි ආශාවෝ පහවෙති. ප්‍රේමය, ආදරය, වුවමනාව, කෑදරකම, ඇල්ම, ආශාව, ගිජුකම ඉවත් වී යයි. ක්‍රීඩා කිරීමේ කැමැත්ත නැති වේ. එසේ රාධ, රූපයාගේ යථාර්ථය දැක විසුරුවා හරින්න. 'තණ්‌හක්‌ඛයෝ රාධ නිබ්බාණන්ති'

නිවන් පිළිවෙත

දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
ද්වෙ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණය සංවත්තති.
සැදැහැවත්නි,
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන පස්වග මහණුන් අරභයා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වනු ලැබීම ඇසළපුර පසළොස්වක පොහෝදාවක වූ ඓතිහාසික සිදුවීම් අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා...’ යනාදී වශයෙන් ඉහත දැක්වූ මාතෘකා පාඨය දේශනා කළහ. එහි සිංහල අර්ථය මෙසේය.
මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ළාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වු අනර්ථයක්ම සිදු කරන්නා වූ යම් අත්තකිලමථානුයොගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරේ. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස හේතුවන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක පිළිබඳ ආර්ය සත්‍යය, දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය යනුවෙන් චතුරාර්ය සත්‍යය නම්කොට තිබේ. දුක පිළිබඳ ආර්ය සත්‍යයෙන් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම , ජරාව හෙවත් සත්ත්වයාගේ වයස් ගතවීම, රෝගය, මරණය අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි. එම උපාදාන ස්කන්ධ පහ නම් සත්ත්ව ශරීරය (රූප) ,සුඛ දුක්ඛ උපේක්ඛා යන වේදනාත්‍රය (වේදනා), කායික හෝ මානසික අරමුණු හඳුනා ගැනීම (සංඥා), මානසිකව කරන සකස් කරගැනීම් (සංඛාර), ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හා ධර්ම අරමුණුකරගෙන හටගන්නා අවබෝධයයි (විඤ්ඤාණ) .
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙම දුක හටගැනීමේ හේතුව පිළිබඳ වූ ආර්ය සත්‍යයි. මෙය නැවත ඉපදීමට හේතුවන ඒ ඒ තැන්හි ඇලෙනසුළු තෘෂ්ණාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමයන් රසවිඳීම, පිළිබඳ තණ්හාව, එම කාමයන් ස්ථිරය. සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව නො ඉපදීමත් නො පැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. යනුවෙන් උපදනා ආශාවයි.
දුක නැති කිරීමේ ආර්ය සත්‍යය නම් තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම, අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම ඉන් මිදීම හා එහි නො ඇලීමයි.
දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.
සම්මා දිට්ඨි නම් නිවැරැදි දැකීමයි. යම් කිසිවක් ඇති පරිද්දෙන් දැකීම මින් අදහස් වෙයි. නිවැරැදි දැකීම ඇති තැනැත්තාගේ කල්පනා නිවැරැදි වෙයි. එය සම්මා සංකප්පපයයි. එනම් කාම සංකල්පයන් ගෙන් වෙන්වීම, කෝප සහගත සංකල්පනයන්ගෙන් තොරවීම හා හිංසාකාරි කල්පනාවලින් වෙන්වීමයි. මේ තුළින් හුදෙක් මනස නිවන් මගට නතුකරවීමක් සිදුවෙයි. සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඇති වෙයි. යහපත් කල්පනා ඇති විට කතා කරන වචනද යහපත් වන බැවිනි. ඒ අනුව සම්මා වාචා නම් බොරුකීම, පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය, අසමගිය ඇතිවීමට හේතුවන කේලාම් කීම, සිත් රිදවන නපුරු රළු වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම යන අහිතකර වචනවලින් වැළකී සිටීමයි. තමන්ටත්, අනුන්ටත් යහපත සැලසෙන නිවැරැදි ක්‍රියාවන් හි යෙදීම “සම්මා කම්මන්ත” නම් වේ. එනම් කාය සුචරිතය යි. ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගෙන් වැළකීම මින් අදහස් කෙරේ. ප්‍රාණින්ගේ දිවි තොරකිරීම, සොකරම ඇතුළු වංක වැඩවල යෙදීම, කාමයෙහි නොනිසි ලෙස හැසිරීම මින් කියවෙන අතර සම්මා වාචා හා සම්මා කම්මන්ත යන මාර්ගාංග දෙකම “විරති” හෙවත් “වැළකීම” වශයෙන් උගන්වා ඇත.
වැරැදි ජීවිකාව අතැහැර නිවැරැදි අන්දමින් දැහැමින් සෙමෙන් ජීවත් වේ නම් එය සම්මා ආජීවයයි. මෙමඟින් මාරක අවි ආයුධ වෙළෙඳාම මත්ද්‍රව්‍ය වෙළෙඳාම , විෂ වෙළෙඳාම, මස් පිණිස සතුන් විකිණීම , මස් වෙළෙඳාම හා කූට ව්‍යාපාර යනාදි වශයෙන් අනුන්ගේ විපතට හේතුවන රැකියාවල නොයෙදි දැහැමි නොකිලිටි රැකියාවක යෙදිය යුතු බව ඉගැන්වේ. කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ,රාජ්‍ය සේවය යනාදිය බුදුදහම අනුමත කළ දැහැමි රැකියාවන්ය.
සම්මා වායාම යනු නිවැරැදි උත්සාහයයි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මින් අදහස් කෙරේ. එනම් නූපන් අකුසල්, නො ඉපදවීමට කරන උත්සාහය, උපන් අකුසල් නැති කරනු පිණිස ගන්නා උත්සාහය , නූපන් කුසල් ඉපදීම සඳහා කරන උත්සාහය සහ උපන් කුසල් වැඩිදියුණු කරනු පිණිස ගන්නා උත්සාහයයි. සිහිය මනාකොට පිහිටුවා ගැනීම නම් වූ සතර සතිපට්ඨානය “සම්මා සති” යන්නෙන් අදහස් කෙරේ. එනම් කය හා වචනයේ පැවැත්ම අනුව සිහිය පිහිටුවා ගැනීම සුඛ, දුක්ඛ, උපේක්ඛා යන වේදනාවන් අනුව සිහිය පිහිටුවා ගැනීම, සිතේ හැසිරීම අනුව සිහිය පිහිටුවා ගැනීම හා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අනුව සිත පිහිටුවා ගැනීමයි.
රූප ධ්‍යාන සතර වඩා එමඟින් පංච නීවරණ හෙවත් නිවන් මග අවහිර කරන ධර්මයන් තාවකාලිකව යටපත්කොට සිත සමාධිගත කරගැනීම සම්මා සමාධි නම් වේ. කාමච්ඡන්ද, හෙවත් කාමරාගය, ව්‍යාපාද හෙවත් ක්‍රෝධය, ථීනමිද්ධ හෙවත් සිතේ හා කයේ මැලිබව, උද්දච්චකුක්කුච්ච හෙවත් නොසන්සුන්බව, විචිකිච්ඡා හෙවත් සැකය පංච නීවරණ ලෙස ඉගැන්වේ. රූප ධ්‍යාන අතුරින් විතර්කය. ථීනමිද්ධය ද, විචාරය විචිකිච්ඡාවද ,පී‍්‍රතිය ව්‍යාපාදය ද , සුඛය උද්දච්චකුක්කුච්චයද, ඒකග්ගතාව කාමච්ඡන්දයද යටපත් කරයි. මෙසේ අනුක්‍රමයෙන් සමාධියට පත්වීමේදී සෝවාන් ආදි නිවන් මග අවබෝධ කරගැන්මට යෝග්‍ය මානසික පසුබිම සකස් වෙයි.ඇසළ පොහෝ දිනෙක බුදුරදුන් ලෝකයාට දේශනා කළේ එම නිවන් මඟයි.

වපුරන්නේ යම් බීජයක්ද? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මය

ඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති, 
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය 

නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

කර්මය හා කර්ම ඵලය පිළිබඳ ඉගැන්වීමට දිගු ඉතිහාසයක් ඇතත් අදටත් සමහරු එය පිළිගැනීමට අකැමැත්තක් දක්වති. කර්ම විෂය අචින්ත්‍ය වුවත්, අපට දැනෙන හැඟෙන මට්ටමෙන් ඒ පිළිබඳව කතා බහ කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. බුදුරජාණන් වහන්සේ පහළවෙන අවදිය වන විට පැවැති බ්‍රාහ්මණ, හින්දු හා ජෛන වැනි ආගම් වලද කර්මය පිළිබඳ ඉගැන්වීම් තිබුණු බව පෙනෙයි. එහෙත් බුදු දහමේ ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීමකි. මෙය හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා කර්මය පිළිබඳ බෞද්ධ නොවන මතවාදවල සමහරු එල්බගෙන සිටිති.
මිනිසා සිදු කරන සෑම ක්‍රියාවක්ම කර්මයක් බව , ජෛන ආගම පිළිගනියි. එහෙත් බුදු දහම උගන්වන්නේ, ක්‍රියාවට වඩා ක්‍රියාව සිදුවීමට බලපාන සිතිවිල්ල වැදගත් බවයි. එමෙන්ම, චේතනාවකින් තොරව කෙරෙන ක්‍රියාවන්, කර්ම ගණයට ඇතුළත් නොවීමද බෞද්ධ ඉගැන්වීමයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳවද මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍ය නොවේ. ඇතැම් කර්මවලට විපාක දීමට කාලය නොමැති නිසා, විපාක නොදී ඉවත් වෙයි.
අහෝසි කම්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ එවැනි කර්මයන්ය. දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නොහැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශ වීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකටම මුල් වන්නේ, අතීතයේ කරන ලද කර්මය බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරනලද කර්මය අනුව සිදුනොවන බව, දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීමම මහ මුළාවක් බවයි වදාළේ.
මිනිසාගේ දියුණුව හෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදු සමය පිළි නොගනී. වෙනත් කරුණු රාශියක් ද තිබේ. පංචනියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය, සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටකම තමන් කරුමක්කාරයෙකු ලෙස සිතයි. මිනිසත් බවක් ලැබීමම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස බුදු දහම සලකන බැවින්, මිනිසා පව්කාරයෙකු හෝ කරුමක්කාරයෙකු ලෙස නොසැලකේ.
බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම් තුළින්, පුද්ගලයා අලසයෙකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නොදැන කරන ලද විවේචනයන්ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදු රජාණන් වහන්සේ , උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මගට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියකදී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදු දහම තුළ පුද්ගලයා අලසයෙකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයෙකු කොට ඇති බවයි.
පුද්ගල ජීවිතය මෙන්ම, පවතින සමාජ ක්‍රමයත්, වෙනස්කළ නොහැකි යැයි සිතන පිරිසක්ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි සිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුල හීනයැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය, රහතන් වහන්සේලා බවට පත්කොට, හැම දෙනාගේම ගෞරවය ලබන බවට පත්කරලීමෙන්, බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස්කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරදි මත නිවැරදි කර ගන්න තුරු, කෙනෙකුට ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුපුළුවන. දැන් අප බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳ පූර්ණ වශයෙන් නොවුණත් කරුණු ස්වල්පයක් පමණක් විමසා බලමු. අංගුත්තර නිකායට ඇතුලත් නිබ්බේධික සූත්‍රයේ එන”” චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනෙකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි. කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්‍රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙන කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත.
අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ,අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනාවන්, ශාඛා ප්‍රශාඛා වලට බෙදී චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හා වශයෙන්ද , කාම රාග, රූප රාග හා අරූප රාග වශයෙන්ද බෙදෙයි. රාගය නැවත රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම වශයෙන්ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ලද , මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින් , වචනයෙන් හා මනසිනි.
මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්, වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි.
කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකම් අයහපත් , නරක ඒවා බවත්, බුදු දහමේ පිළිගැනීමයි. හොඳ හෝ නරක කවර ක්‍රියා කාරකමකට හෝ මුල්වෙන්නේ සිතිවිල්ලයි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන්, නරක ක්‍රියාවක් සිදු නොවේ’. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල්වී, හොඳ ක්‍රියාවක්ද සිදුවිය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිළිමත් විය යුත්තේ , ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්,අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.
යාදිසං වපතෙ බීජං

තාදිසං හරතෙ ඵලං 
කල්‍යාණ කාරි කල්‍යාණං 
පාපකාරී ච පාපකං

ගොවියා වපුරන්නේ යම් බීජයක් ද ? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මයි. එමෙන්ම හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵලවිපාකත් නරක කර්මවල යෙදෙන්නා නරක ඵලවිපලාකත් ලබයි. අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීමද කරනු ලැබේ’.
මෙලෙස කර්ම රැස් කිරිම නතර කරනතුරු සසරින් ගැලවීමක්ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස්වේ. මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සදහා ඉතා ප්‍රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතුකළ විට, ජලය ලුනු රස නොවේ.
ඒ ලවණ සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණුරස දැනේ. එමෙන් කරනලද පව්කම්වල ඵලවිපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තබේ. මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නොතබන්න. යම් විදියකින් ඇතුල් වු බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කරගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබටම යහපත් කරගත හැකියි.