'ද්වේ සච්චානි අක්‌ඛාසී
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති'
'වාද - විවාදීන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ සත්‍ය දෙකක් දේශනා කරති. ඒ පරමාර්ථ සත්‍යය හා සම්මුති සත්‍යයයි. එයින් වෙන්වූ තුන්වැනි සත්‍යයක් දේශනා නොකරති.'
සම්මුති සත්‍යය වරදවාගැනීම බොරුව වේ. පරමාර්ථ සත්‍ය වරදවාගැනීම මිත්‍යා දෘෂ්ටිය වේ. ශුද්ධ ධර්ම ප්‍රවර්ථනයෙන් හෙවත් පටිච්චසමුප්පන්න බව මතින් සංස්‌කාර ධර්ම ප්‍රකට වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්‌වීමත්, ශ්‍රවණය කිරීමත් තුළින් මෙහි යථාර්ථය විනිවිද දැකිය හැක. ප්‍රඥවන්තව කරුණු කාරණා තේරුම්ගන්නා විචක්‌ෂණශීලී බුද්ධියෙන් අන්තග්‍රාහී නොවී මැදහත් විමසුම් නුවණින් පරමාර්ථ දර්ශනය වෙත පියමැනිය හැක.සංකාර ධර්මවල සත්ව, පුද්ගල, ආත්මයක් නැති බවත් ව්‍යවහාරයේ සම්මුතියේ සාමාන්‍ය ජනයා අතර 'පුද්ගලයෙක්' 'කෙනෙක්' තාවකාලිකව පැනවීමක් සමාන්‍යයයි. ඊට හේතුව සංසාරගත සත්වයා සසරින් එතෙර කිරීම සඳහා ඊට පරිබාහිර විධියක්, ක්‍රමයක් නොමැති නිසාය. මේ ස්‌වභාවධර්මයේ ප්‍රකෘතිය මූල ස්‌වභාවය යථාවත්ව අවබෝධ නොකර ගතහොත් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‌ෂණය වටහාදීමට නොහැක. එමෙන්ම සන්තානගත සිත තෘෂ්ණාවෙන් වෙලී කාම, රූපී, අරූපී භවයන්හි ඇලී එහි උපත් ලැබ ජාති, ජරා, මරණාදී අනන්ත දුක් සමූහයකට භාජන වන්නේය.
බුදුපියාණන් වහන්සේ හැර ලොව පහළවූ සියලුම ආගම් ශෘස්‌තෘවරුන් පරමාර්ථ ධර්මය ගැන නොදැනීම නිසා දේශනා නොකරති. එමෙන්ම ගෙනහැර දැක්‌වීමටද නොහැක. ඔවුන් සම්මතය මතම සිට පුද්ගල, සත්ව, ආත්ම ප්‍රඥප්ති පිනවයි. එනිසා ශාස්‌වත - උච්ඡේද අන්ත දෙකට ගොස් මුලාවෙන් මුලාවට පත්වෙති.
සම්මත ලෝකයේ ඇති දැ ලෝකයා භෞතික මෙවලම් වශයෙන් නිරන්තරයෙන්ම ඉඳුරන්ට සම්බන්ධ කරගෙන ජීවිත පැවැත්මක් පවත්වයි. රූපය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ශක්‌ති හතරයි. ඒවා තනි තනිව පෙනී සිටීමට බැරි, තනි තනිව හඳුනාගන්නා බැරි, තනි තනිව ඉඳුරන්ට ගෝචර නොවන, එක හා සමාන ප්‍රතිශතයක් නොමැති, ශක්‌තියක් හෙවත් ධාතුවක් වැඩිපුරම ප්‍රකට වන අතරක් නොමැතිව ප්‍රවර්ථනය වන හෙවත් වෙනස්‌වන ස්‌වභාව ධර්මයකි.මේ ශක්‌තීන්හි යථාභූතභාවය, ඇත්ත ඇති සැටිය, මූල ස්‌වභාවය, ප්‍රකෘතිය, තත්ත්වාකාරයෙන් විදර්ශනාවෙන් නොදකින ප්‍රඥවක් නොමැති අය දහම් නොඅසන පුහුදුන් අය වෙති. 'අස්‌සුතවතෝ ප්‍රථු-ජනො චත්තාරො ඛො භික්‌ඛු මහා භූතා හේතු චත්තරො ඛො භික්‌ඛු මහා භූතා පච්චයෝ රූපක්‌ඛධස්‌ස පඤ්ඤාපනාය'
හේතු ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා භූත ධර්ම රූපස්‌කන්ධ වශයෙන් ප්‍රකට වේ. පැනවේ.
- වර්ණ රූපය
- ශබ්ද රූපය
- ගන්ධ රූපය
- රස රූපය
- පොට්‌ඨබ්බ රූපය
- ධම්ම රූප වශයෙනි.
රූපයාගේ යථාර්ථය විනිවිද නොදකින පෘතග්ජනයා යම් දෙයක් ඉලක්‌ක කර මනසිකාරය කරා 'එය ඇත' සංඥව තුළ කි¹ බසී. එහි ලොල්බව ඇතිකර ගනී. එතැන පුහුදුන් මානසිකත්වයයි. ඒ භෞතික මානසිකත්වයයි. ඒ භෞතික දේට වටිනාකමක්, නොවටිනාකමක් දීම නොදීම මත 'ලාබ - පාඩු' වශයෙන් බලයි. එය රූපය තුළ වස්‌තුව තුළ අනවබෝධය මත ඇතිවන චිත්ත පරම්පරාවකි. නොමේරූ මානසිකත්වයකි. ළදරු මානසිකත්වයකි. අවිද්‍යාවෙන් වෙලාගියා වූ ස්‌වභාවයක. මේ නිසා රූපය මත වස්‌තුව ප්‍රශ්න මාලාවක් පැන නගී.
- කුමන තත්ත්වයේ එකක්‌ද?
- කුමන ජාතියේ එකක්‌ද?
- කවර ආකාරයේ එකක්‌ද?
- කිනම් වූ වටිනාකමක් තිබේද?
- කාට අයිති දෙයක්‌ද?
- හැඩ තල - පාට වර්ණ - ගඳ සුවඳ - රස කෙබඳුද?
මෙබඳු ප්‍රශ්න මාලාවක් එම රූපය පාදක කරගෙන 'ඔහු විසින්ම' ඇතිකරගෙන 'ඔහුටම ප්‍රශ්නයක්' කරගනී. ඒ මත ගැටේ. නැතහොත් 'ඇලේ'. පෞද්ගලිකත්වය මත මෙහෙයවන මානසිකත්වය නිසා 'මම' පනවාගෙන සංකාර ගොඩනගා ගනී. සසරට යැමට සිදුවේ.
'මහණෙනි, තථාගතයාණන් වහන්සේගේ දේශනා දෙවැදැරුම්ය. එනම් 'නිතාර්ථය' හා 'නෙය්‍යාර්ථ' වශයෙනි. නිතාර්ථ යනු පරමාර්ථ දේශනාවයි. නෙය්‍යාර්ථ යනු සම්මුති දේශනාවයි'. සම්මුතියේදී 'මම' යනාදී වශයෙන් ස්‌වභාව ධර්මයට පනවා ගැනීම් කරයි. පරමාර්ථයේදී එසේ පැනවීම් නැත.
'යෝච න්‍යෙයත්ථං සුත්තන්තං නිත්ථො සුත්තං තෝ දීපේති. යෝච නීතත්ථං සුත්තන්ථං න්‍යෙයත්ථො සුත්තංතෝති දීපේති'. ඉමේ ඛො භික්‌ඛවේ දේවේ තථාගතං අබ්භාචික්‌කන්ති...'
(අ.නි. නීතක්‌කූට සූත්‍රය)
එසේම (-
'අරහත් වූ අන්තිම දේහධාරීහු වූ, කෙලෙස් නැසුවා වූ යම් භික්‌ඛුවක් 'මම' යෑයි කියන්නේ ලෝක ව්‍යවහාරයට අනුවය. 'මම' යන වචනය භාවිත කළත් එයින් පරමාර්ථයක් අපේක්‌ෂා නොකරයි.'
'යෝ හෝති භික්‌ඛු අරහං කතාවි, ‚ණාසවෝ අන්තිම දේහධාරි 'අහං' වදාමිති පී සෝ වදෙය්ය. ලොකෙ සමඤ්ඤං කුසලො විද්‍ෙවා වෝහාර මත්තෙන සො වෝහරෙයිය...' (සං.නි. අහරත්ත සූත්‍රය)
රූපයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ රූපය ස්‌වභාවය නොදන්නා නිසාය. එනිසා
රූපේ ඛෝ රාධ මාරො
රූපේ ඛෝ රාධ වධකො...'
රූපය මාරයෙක්, රූපය වධකයෙක්, රූපය හතුරෙක්, වශයෙන් නුවණැසින් දකින්න බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළහ. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට 'රූපය' යන්න හරිහැටි තේරුම් ගෙන එය 'හිතෙන්' අත හැරීමට උත්සාහ කිරීම සැපයට හේතුවන බවද දහමේ දක්‌වා ඇත. රූපය තමාගේ හිතැති පරිදි පවත්වා ගැනීමට නොහැකි නම් තම වසඟයෙහි නොරැඳේ නම් එය අත්හැරීම 'හිත පිණිස - සුවය පිණිස් වේ.
ඒ බව 'යං භික්‌ඛවේ නකුම්හාකං තං පජහථත. තංවො පහීනං හිතාය, සුඛාය භවිස්‌සති'.
'මහණෙනි, යමක් නුඹලාගේ නොවේද, එය අත්හරිව්. එසේ අත්හැරීම හිතසුව පිණිසම වේ. 'ස්‌වාමියෙක්, නැති තැන අධිපති බවක් නැත. අධිපතිකම, ස්‌වාමීත්වය බරකි. සියල්ල හිතෙන් අත්හැරීම නිවීමයි.
ඒදණ්‌ඩේ යන බල්ලාට තමාගේ රුව වතුරේ පෙනෙන විට 'බල්ලෙක්' කියා සංඥව ගත් ගමන් 'මට' පටහැනිව පෙනෙන රූපය 'මට' පටහැනිව එන බලවේගය වහා නැති කිරීමේ මානසිකත්වය මතින් ජීවිතය විනාශ කරගනී. එමෙන් රූපයේ යථාර්ථය විනිවිද හරිහැටි ඇත්ත ඇති සැටියෙන් නොදකින පුහුදුන් අයටද සිදුවන්නේ බල්ලාට උන්හරියය. බල්ලාගේ මන දුර්වල යි. මිනිසාගේ මන උසස්‌ය. එබැවින් උසස් මානසිකත්වය ඇති අප සතිමත්ව, මන්වත් නොවී වන්නාවූ ව්‍යසනයන්ගෙන් මිදීමට නිතරම එළඹ සිටි සිහියෙන් සිටිය යුතුය.
සමාජගතවී භෞතික ලෝකය පරිහරනයේදී හෙවත් 'රූප' පරිහරණයේදී විශ්වාස, දැකීම, දැනීම වශයෙන් අවස්‌ථා තුනක් විද්‍යමාන වේ. මෙයින් විශ්වාසය දැකීම සම්මුතියට අදාළ වේ. එය භෞතිකත්වය මතවූ මානසිකත්වයකි. 'දැනීම' පරමාර්ථයට අදාළවයි. එයම දහමේ සත්‍ය ඥනය, කෘත්‍ය ඥනය, කෘත ඥානය වශයෙන් බෙදා වෙන්කර ඇත. සම්මුති සත්‍යය ඉන්ද්‍රිය බද්ධයි. එයට බුද්ධිය කිව නොහැක ලෝක ව්‍යවහාරය ඥනයද නොවේ.
පුහුදුන් ලෝකයා රූපයේ ඇත්තට, ප්‍රකෘතියට නොව නැත්තට හෙවත් විකෘතියට රැවටී ඇත. එවිට සත්‍යය වසන්වේ. එසේ වන්නේ ඉන්ද්‍රිය මතම සත්‍ය දැකීමට උත්සාහ කිරීමයි. සතිමත් වීමෙන් ප්‍රත්‍යක්‍ෂ ඥනය විදසුන් නුවණ ඇති වනු ඇත. රූපයේ ඡායාවට රූපයේ යථාර්ථය කීම වැරැදිය. එනිසා සලායතනවලට සම්බන්ධීකරණ වෙන සියලුම රූප ප්‍රකෘතිය නොව විකෘතියයි.
- වර්ණ රූපය ඇසින් දැක්‌කා...
- ශබ්ද රූපය කනින් ඇසුණා
- ගන්ධ රූපය නාසයට දැනුණා
- රස රූපය දිවට දැනුණා
- පොට්‌ඨබ්බ රූපය කයට දැනුණා
- ධම්ම රූප (සිතුවිලි) මනට දැනුණා... හෙවත් මෙනෙහි වුණා යනුවෙන් ලෝකයාගේ ප්‍රකාශිතය සත්‍ය නොවේ.
එය නම් නොදැනුවත්කමේ තවත් නොදැනුවත්කමකි. ඉන්ද්‍රියන්ට රූපයාගේ ප්‍රකෘතිය, යථාර්ථය, මූල ස්‌වභාවය, ඇත්ත ඇතිසැටියෙන්, යථාභූතව ප්‍රකටවීම කිසිසේත් සිදුනොවේ. 'අනුභූතිය' ඥනයක් ලෙස සැලකීම වැරැදිය. බාහිර ලෝකයේ වර්ණ රූප, ගන්ධ රූපාදිය අභ්‍යන්තර ලෝකයේ ඇස, කණ ආදී ඉන්ද්‍රිය හා පස්‌සයෙන් හෙවත් ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණයෙන් යම් නිගමනයකට පැමිණ ප්‍රකාශ නිකුත් කිරීම අර්ථ ගැන්වීම, විග්‍රහයන් කිරීම අසම්පූර්ණ බවකි. හිස්‌බවකි. ඌණ බවකි. අපරිපූර්ණයි. යථාර්ථය නොවේ. අසම්පූර්ණයි. ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ බාහිර රූපයාගේ සීමිත සීමාසහිත ඡායා මාත්‍රයක ප්‍රමාණයක් පමණි. යථාර්ථයම නොවේ. යම් අදහසක් ගැනීමට යම් උපකාරයක් වනවා හැර වෙන දෙයක් නොවේ. රූපයේ යථාර්ථය පටිච්ච සමුප්පාදයට ගලවා ගැනීම විද්‍යාත්මකව විදු ඇසින්ම සාධනය කළ යුතුය.
එමෙන්ම අධි භෞතික චිත්ත ශක්‌තිවූ ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජාණන, දිබ්බචක්‌ඛු, පුබ්බේ නිවාස, පංච අභිඥ, අෂ්ඨ සමාපත්තිලාභිකත්වයෙන්ද යථාර්ථය පසක් කළ නොහැක. ඉහත චිත්ත ශක්‌ති මානසික මට්‌ටම්ය. පටිච්චසමුප්පාද දර්ශනයට අදාළ නොවේ.
සතර මහා භූත, විඤ්ඤාණ ධාතුව, ආකාශ ධාතුව යන සුද්ධ ධර්මය හෙවත් ශක්‌තීන්ගේ ප්‍රකෘතිය ධර්මයට ගලපා අවබෝධ කටයුතය. සත්ව පුද්ගල සංඥව දෙන්නා වූ පනවන්නාවූ මේ ස්‌වභාවධර්මයේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නේ විඤ්ඥණ ශක්‌තිය හටගත්තොත් පමණි. එයට සවිඤ්ඤානක හෙවත් සංචේතනික නම යෙදී ඇත. මේ සවිඤ්ඤාණකත්ව සිතුවිලි හට ගැනීමේ මූලික පදනමයි. එසේ නම් විඤ්ඤානය හට ගැනීමේ ඉඩ අහුරා තැබීමෙන් භව නිරෝධය හෙවත් භවගාමී සිත හට නොගැනීමට වගබලාගත හැක.
මේ තත්ත්වය ඇතිකර ගැනීමට මූල ශක්‌තීන්ගේ ස්‌වභාවය ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. නාම - රූප ප්‍රත්‍ය නොවේ නම් විඤ්ඤානයයාගේ පහලවීමත් හට ගැනීමක් නොමැත.
'නාම රූප නිරොධො විඤ්ඤාන නිරෝධා'
ප්‍රථමයෙන් රූපයේත් රූප කලාපයේත් සංඥ ශුන්‍යත්වයට අවධානය යොමු කළ යුතුය. රූපයාගේ යම් ලක්‌ෂණයක්, ස්‌වභාවයක්, භාවමය පැනවීමක්, ගතියක් ප්‍රකට වේද එය රූපයේ ශුන්‍යත්වයේදී මනසේ ප්‍රකටවීමට ඉඩ නැත. ඒ සංඥ ශුන්‍යත්වය නිසාය. රූප සංඥ මනසේ ශුන්‍ය වන විට 'අනිමිත්ත' වන බව හෙවත් නිමිති නොවීම වේ. එවිට රූපය ඵස්‌සය නොවීම නිසා විඤ්ඤාණ ධාතුවේ හට ගැනීම සිදුනොවේ. මේ ස්‌වභාවය 'සිතෙන් නිදහස්‌වීම' හෙවත් චේතෝ විමුක්‌තිය' නම් ධර්මතාව බව පැහැදිලිය. 'අනිමිත්ත චේතෝ' සමාධිය වේ. රූප සංඥ ශුන්‍යත්වයේ දී මනස අමනසිකාරය නම් ධර්මතාවටපත්වේ. මේ නිසාම ලෝක ධර්මයන් හෙවත් ඵස්‌ස - වේදනා, සංඥ, චේතනා මානසිකාරය නම් ස්‌වභාව ධර්ම ප්‍රකට නොවේ. එතැන 'නිමිති' නැත. ආකාරගති, පැවතුම් නැත. ප්‍රඥප්ති නැත. 'ඇත' හෝ 'නැත' නොපැනවේ. උපත-විපත නැත. ඒ විඤ්ඤානයාගේ හා නාම රූපයාගේ ප්‍රකට නොවීමයි.
'ඉධ භික්‌ඛවේ සබ්බ නිමිත්තානං අමනසිකාර අනිමිත්තං චේතෝ සමාධිං උපසම-ජ විහරති, අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධීති...චේතෝ සමාධිං උපසම-ජ විහරාමි' (සං.නි. අනිමිත්ත සූත්‍රය)
'මෙහි භික්‌ෂු තෙමේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ මෙසේ නම් එය අනිමිත්ත චේතෝ සමාධියයි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වාසය කරමි'.
ලෝකෝත්තර සම්මා සතිය යනු රූපයාගෙන් හිත නිදහස් වීමයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨියද මේ හා සමානය. 'නිවන' යනු රූපයාගෙන් හිත නිදහස් වීමයි. 'රූපය' මොනයම් හෝ ක්‍රමයකින් අල්ලාගන්නේ නම්, 'දුක' අල්ලාගත්තා වේ. 'දුක' නිරුද්ධ කිරීමට රූපයේ යථාර්ථය දැක එය අත්හැරීමට ඉඩ සැලසීමයි.'
විඤ්ඤානයේ - සෙච්තනිකත්වයේ මූල සාධකයක් වන්නේ රූපයයි. ශුද්ධ ධර්ම ප්‍රවර්තනය වීම නිසා නාමරූප, පහළවීම හටගැනීමක් විද්‍යමාන වේ. ඊට සතා පුද්ගලයා, ගල් ගල් පර්වත සවිඤ්ඤාන අවිඤ්ඤාන වශයෙන් නම් ගොත් පනවාගෙන ඇත. මේ ධර්මතාව තථාගතයන් වහන්සේලා ඉපදුනද නොඉපදුනද පටිච්ච සමුප්පන බව ඉදපච්චයතාවය ධර්මතාවන්ගේ පැවැත්ම ලෝකය තුළ පවතී. 'උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාච සධාතු ධම්මට්‌ඨිතිතා ධම්ම නියාමන ඉදප්පච්චයාතා... (සං.නි. පච්චය සූත්‍රය)
මායාවෙන් රැස් කළ රූපමය මනස නැති කළ විට පරම චිත්ත විවේකය ඇතිවනු ඇත. පරමා+ර්ථය උත්තමාර්ථය යනු 'සත්‍ය' සත්‍ය ලෙස දැකීමයි. ඔබට මට සමාජය විසින් පරමාර්ථය අවබෝධ කරගන්න කියා බලකරනු ඇත. ඒත්තු ගන්වනු ඇත. පරමාර්ථය පරමාර්ථයක්‌ම පමණි. පරමාර්ථය යනු අසත්‍යයෙන් වෙන්වීමයි. මනවසා ඇති වැරැදි දෘෂ්ටි ඉවත් කිරීම පමණි කළ යුත්තේ. වැරැද්ද හඳුනා එය ඉවත් කිරීමයි ඒ සඳහා සතිය පමණක් සෑහේ.
මෙසේ සිතන්නෘ ඔබේ අත ප්‍රකෘතියෙන් ස්‌වභාවයෙන්ම පිsරිසිදුයි. බාහිරෙන් ආගන්තුකව 'මඩ' තැවරුණොත් 'මඩ' තැවරි ඇති බවත් 'මඩ' සේදීමෙන් ප්‍රකෘතිය වූ පිරිසිදු බව ඇතිවන බවත් ඔබට වැටහෙනු ඇත. අත පිරිසිදු කිරීම නොව 'මඩ' ඉවත් කිරීම සිදුකළ යුතුය. අමුතුවෙන් 'අත' පිරිසිදු කළ හැක්‌කක් නොවේ. එමෙන් ලෝකයේ ප්‍රකෘතිය පිරිසිදුය. අප සත්‍ය සොයාගෙන යන්නේ මනසින් අසත්‍ය වඩාගෙනය.
රූප කලාපයන්ගේ පැවැත්මට, සජීවිකරණයට, අවිච්‍යන්නව පෙනී සිටීමට කම්ම, චිත්ත, සෘතු, ආහාර උපකාරී වේ. ඒ ද ධාතු හතරක අනොන්‍ය න්‍යායාත්මක ස්‌වභාවයක්‌මය. සියල්ල ධාතුන්ගේ මූල ශක්‌ති නිසාය. අෙන්‍යන්‍ය ප්‍රත්‍යයි. අනුරාශිභූත වී කලාපද, කලාප රාශි භූතයෙන් රූපද, රූප දෙකක ස්‌වභාවික එකතුවෙන් විඤ්ඤාන ශක්‌තියද හටගනී. විඤ්ඤාන ශක්‌තිය සත්වයා නම් වූ ස්‌වභාවධර්මය තුළ හයපොළක හටගැනීමත් ස්‌වභාවිකය.
මේ ස්‌වභාවිකත්වය කිසිවකුට නවතාලිය නොහැක. ශුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනයෙන් විඤ්ඤාන, නාම, රූප ප්‍රකටවීම ස්‌වභාවිකය. සුළං හැමීම නවතාලිය නොහැක. වැස්‌ස ඇද හැලීම ස්‌වභාවිකයි. ගලන ගඟ නවතාලිය නොහැක. නාම රූප යම් තැනක විද්‍යමාන වේ නම් විඤ්ඤානයේ ක්‍රියාකාරීත්වය ද එතැන වේ. නල කලාප දෙකක් හෙවත් බට මිටි දෙකක් එකට හේත්තු කර තිබීමේදී එක මිටියක් අනිත් මිටිය ප්‍රත්‍ය කරගෙන සිටින්නා සේය. රූපයාගේ මූල ශක්‌තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ වේ. නාම ධර්මවල මූල ශක්‌තිය විඤ්ඤාන ධාතුව වේ.
මේ ස්‌වභාවධර්ම ඝන හතරකින් වසා ඇත. එනම්,
1. සන්තති ඝන 2. සමූහ ඝන, 3. කෘත්‍ය ඝන 4. ආරම්මණ ඝන යනුවෙනි.
1. සන්තති ඝන - නොකඩවා පැවැත්මá ප්‍රවර්තනය, පරම්පරාව නිසා වෙන් වෙන්ව ඇති නාම ධර්ම රූප ධර්ම සම්බන්ධ වී ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි. රූප කලාප එකතුවී පූතිකායක් පෙන්නුම් කරයි.
2. සමූහ ඝන - අත්, පා, හිස, කඳ වෙන් වෙන්ව පෙන්වූ නමුත් පරමාර්ථ වශයෙන් රූප කලාපයන්ගේ එකතුවකි. අතු - කොළ - මල් - ගෙඩි - කඳ එකතුවීම මත ගස යන නම යෙදී ඇත. ඒ සමූහ ඝන නමි.
3. කෘත්‍ය ඝන - චිත්ත - චෛතසික - රූප - සාමූහික ක්‍රියාකාරීත්වයේ ක්‍රියාත්මක භාවයක් පෙන්නුම් කරයි. ඒ කෘත්‍ය ඝනයි.
ආරම්මණ ඝන - බාහිරින් එන අරමුණු මත ක්‍රියාත්මක බවක් පෙන්නුම් කරයි. මේ ක්‍රියාදාමයට 'මම' පනවා ගැනීම සත්ව පුද්ගල සංඥව දීම.
කයේ පැවැත්මට (රූපයේ) නාමත්, නාමයාගේ පැවැත්මට ගොරෝසු කයත් උපකාරී වේ. එහෙත් රූපයේ නාම නැත. නාමයේ රූප නැත. අෙන්‍යන්‍ය උපකාරී බවක් මත සිදුවීම් මාලාවකි. 'කොරාට' ගමන් කළ නොහැක. එහෙත් අන්ධයාගේ පිහිටෙන් යයි. අන්ධයාට මග නොපෙනේ. කොරාගේ පිහිටෙන් නියමිත තැනට යා හැක. එමෙන්ම නාමයාගේ පිහිටෙන් රූපකයත්, රූප කායේ පිහිටෙන් නාමයාගේ ක්‍රියාකාරීත්වයත් පෙන්නුම් කරන මුත් සත්ව පුද්ගල පැනවීම් කළ නොහැක. 'ඡ - ධාතුයෝ අයං භික්‌ඛවේ පුරිසෝ' ධාතු විභංගයේ සූත්‍ර මගින් පෙන්වාදී ඇත්තේ මේ ස්‌වභාවධර්මයයි.