ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්


නො සිස් වූ පිණ්ඩපාතය වැළඳීමට නම්....


භික්ෂුව යැපෙන්නේ ගිහි පින්වතුන් දෙන සිවුපසයෙනි. ගිහි පින්වතුන් හා බැඳුණු දිවි පැවැත්මක් ඇති බව පැවිද්දා විසින් නිතර සිහිපත් කළ යුතු කාරණයක් ලෙස දසධම්ම සූත්‍රයේ දී (පරපටිබද්ධා මෙ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං) වදාළහ. දුසිල්ව සිට ගිහි පින්වතුන්ගේ ආහාර වැළඳීමට වඩා රත් වූ යගුලියක් ගිලීම මැනවැයි අග්ගික්ඛෙන්‍ධීපම සූත්‍රයේ දී බුදුරදුන් වදාළහ. ගිහියන්ගේ සිවුපස ලාභයට භික්ෂුව සුදුසුවිය යුතුයි. භික්ෂුත්වයට නොගැලපෙන කටයුතු සිදුකරමින්, ශාසනය පිරිහවන දුස්ප්‍රාඥ භික්ෂුව කසාවත දැරීමටවත් සුදුසු නොවන බව ධම්මපදයේ කියැවේ.
අංගුත්තර නිකායේ ඒක නිපාතයේ එන අච්ඡරාසංඝාතවග්ගයේ දී සාර්ථක භික්ෂු ජීවිතයක් ගත කිරීමට නම් අනුගමනය කළයුතු ප්‍රතිපදාව දැක්වේ. යම් භික්ෂුවක් ඇසුරුසණක් ගසන කාලයක්වත් අවම වශයෙන්
1. ප්‍රථම ධ්‍යානය වඩයි නම්
2. ද්විතීය ධ්‍යානය වඩයි නම්
3. තෘතීය ධ්‍යානය වඩයි නම්
4. චතුර්ථ ධ්‍යානය වඩයි නම්
5. මෛත්‍රී චිත්ත විමුක්තිය වඩයි නම්
6. කරුණා චිත්ත විමුක්තිය වඩයි නම්
7. මුදිතා චිත්ත විමුක්තිය වඩයි නම්
8. උපේක්ෂා චිත්ත විමුක්තිය වඩයි නම්


එම භික්ෂුව
1. අරිත්තජිඣතො විහරති - නොසිස් වූ අත් නොහළ ධ්‍යාන ඇතිව වෙසේ.
2. සත්‍ථුසාසනකරො ඔවාදපතිකරො - ශාස්තෘ අවවාදය පිළිගෙන ඊට අනුකූලව හැසිරෙයි. සත්‍ථුශාසනය ඉටු කරයි.
3. අමොසං රට්ඨපිණ්ඩං භුඤ්ජති - රටවැසියාගේ පිණ්ඩපාතය නොසිස්ව (ණය නොවී) අනුභව කරයි.

දුසිල්ව සාසනානුලෝම නොවන ක්‍රියාවල යෙදෙමින් දායකයන්ගේ සිවුපසය භුක්ති විඳීම ණයට කැමති. ණය ගැනීමකි. ඇසුරුසණක් ගසන කාලයක් ඉහත කී සිත් වඩා මෙපමණ ආනිසංස ලැබේනම් එම සිත් බහුලව වඩන භික්ෂුවට ලැබෙන ආනිසංස පිළිබඳ කවර කතාද? (කොපන වාදො යෙ නං බහුලීකරොන්ති)

වැඩිය යුතු සිත්

අච්ඡරා සංඝාතවග්ගයේ ඉහත කී අනුසස් ලැබීමට ඇසුරුසණක් හෝ වැඩිය යුතු සිත් පිළිබඳව සූත්‍ර 180 කින් කරුණු විග්‍රහ වේ. එම දීර්ඝ විස්තරය ඉතා සංක්‍ෂිප්තව පහත දක්වා ඇත.
1. ධ්‍යාන හතර වැඩීම (ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ)
2. සිවුබඹ විහරණ වැඩීම (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා)
3. සතර සතිපට්ඨාන වැඩීම (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා)
4. සතර සම්‍යක් ප්‍රධාන වැඩීම (නූපන් අකුසල් නූපදවීම/ උපන් අකුසල් ප්‍රහාණය කිරීම/ නූපන් කුසල් ඉපදවීම/ උපන් කුසල් වැඩිදියුණු කිරීම)
5. සතර සමාධි වැඩීම (ඡන්ද සමාධි/ විරිය සමාධි/ චිත්ත සමාධි/ වීමංසා සමාධි)
6. පංච ඉන්ද්‍රිය වැඩීම (සද්ධින්‍ද්‍රිය / විරියන්ද්‍රිය/සතින්ද්‍රිය/ සමාධන්ද්‍රිය/ පඤ්ඤින්ද්‍රිය)
7. පංචබල වැඩීම (සද්ධා බල/ විරිය බල/ සති බල/ සමාධි බල/පඤ්ඤාබල
8. සප්ත බොජ්ඣංග වැඩීම (සති/ ධම්මවිචය/ විරිය/ පීති/ පස්සද්ධි/ සමාධි/ උපෙක්ඛා)
9. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ( සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි)
10. අධ්‍යාත්මයෙහි රූප, සංඥා හා අරූප සංඥා ඇතිව ස්වල්ප වූ හෝ බොහෝ වූ සුවර්‍ණ, දුර්වර්‍ණ රූපයත් දැක ඒවා මැඩ (අභිබවා) දනිමි, දකිමි යි යන සිත් වැඩීම (සංඥාව වැඩීම)
11. නීල, පීත, ලෝහිත, ඔදාත (නිල්, කහ, රතු, සුදු) වර්ණයන්ගෙන් යුතු රූප දැක අධ්‍යාත්මයෙහි අරූප සංඥාව වඩා, ඒවා අභිබවා දනිමි දකිමි යන සංඥාව වැඩීම.
12. රූප ධ්‍යාන ඇතිව රූපයත් දකියි, අධ්‍යාත්මයේ අරූප සංඥා ඇතිව බාහිර රූප දකියි, ශුභම යැයි ඇලුණු සියලු රූප සංඥා ඉක්මවා, පටිඝ (ගැටෙන) සංඥාවත් නැතිකර නානත්ව සඤ්ඤා මෙනෙහි නොකර, ආකාශය අනන්ත යැයි සිහි කරමින් ආකාසානඤ්චායතනයට ද විඤ්ඤාණය අනන්තයැයි විඤ්ඤාණඤ්චායතනයට ද කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයටද එය ද ඉක්ම වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ද ඉන්පසු සංඥා වෙදයිත නිරෝධයට ද පැමිණ වෙසේ.

(රූප, අරූප, ධ්‍යාන වැඩීම මෙහිදී අදහස් විය. සමථ භාවනා ක්‍රමයෙන් ලැබිය හැකි ඉහළ ම ආනිසංස නම් රූපාවචර හා අරූපාවචර ධ්‍යාන සමාපත්ති (පංචාභිඤ්ඤා අෂ්ට සමාපත්ති) වලට එළඹ විසීම වේ.
13. දස කසිණ වැඩීම (පඨවි, ආපෝ, තේජෝථ වායෝ, නීල, පීත, ලෝහිත, ඔදාත, ආකාස, විඤ්ඤාණ, ආලෝක)
14. දස සංඥා වැඩීම (අසුභ, මරණ ආහාරෙ පටික්කූ®ල සබ්බලෝකේ අනභිරත අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්ඛ, දුක්ඛයෙහි අනන්ත, පහාණ, විරාග, නිරෝධ යන සංඥාවන් වැඩීම මෙහිදී අදහස් වේ.
15. අනිත්‍ය සංඥාව, අනන්ත සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි ප්‍රතිකූ®ල සංඥාව (කුසේ පමණට කුසගින්න ඇතිවිට පමණක් එය නිවා ගැනීමට ආහාරයක් ගැනීම, පුත්‍රමාංස උපමාව මේ සඳහා නිර්දේශිතය. රස තෘෂ්ණාවෙන් දුරුව සැහැල්ලු නිරෝගී දිවියට මෙම සංකල්පය නූතන ජන සමාජයට බෙහෙවින් උපකාර වේ) සර්ව ප්‍රකාරයෙන් ලෝකයේ (කාම වස්තුන්හි) නො ඇලෙන සංඥාව ද අට්ඨික සංඥාව, පුලවක (පණුවන් ගැසූ) සංඥාව, විනීලක සංඥාව විච්ෂිද්‍රක සංඥාව, උද්ධ්‍රමාතක සංඥාව වැඩීම.
16. දස අනුස්සති වැඩීම (බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවනානුස්සති, ආනාපානසති, මරණසති, කායගතාසති, උපසමානුස්සති)
මෙම සමථ භාවනාවන් වැඩීමත් සප්ත බොජ්ඣංග ධර්ම පෙරටුකරගත් සත්තිෂ් (37) බෝධිපාක්ෂික ධර්ම වැඩීමත් භික්ෂුවගෙන් සමාජය (දායක පක්ෂය) අපේක්ෂා කරන කරුණකි. මෙමඟින් අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත් නිවුණු භික්ෂුවට පමණක් සමාජයට සේවය (නිසිපරිදි)) කළ හැකි වේ. අධ්‍යාත්මික සුවය නොවිඳින කිසිදු භික්ෂුවකට සාර්ථකව ආත්මාර්ථ පරාර්ථ සාධනය වන සමාජ සේවාවක් ඉටුකළ නොහැකිය. වලේ වැටී සිටිමින් අප මෙන් ම වලේ වැටුණු අනිකකු ගොඩගැනීම කොහෙත්ම කළ නොහැක. අප වලෙන් ගොඩ වී වලේ වැටුණු අනිකුත් අය ගොඩගැනීම කළ හැක්කකි.
ඉහතින් දැක් වූ ආකාරයෙන් මොහොතක් හෝ අධ්‍යාත්මික සංවර්ධනය සිදුකරගත් භික්ෂුව ම, අත්නොහළ ධ්‍යාන ඇතිව, ශාස්තෘ අනුශාසනය මැනවින් ඉටුකරන අවවාද අනුගමනය කරන, ණය නොවී දායකයන්ගේ සිවුපසය වළඳන උතුම් පුද්ගලයකු බවට පත් වේ.
ඒකක නිපාතයේ අවසානයට දැක්වෙන කායගතාසති හා අමත යන වග්ගයන්හි කියැවෙනුයේ කායගතාසතිය වැඩීමෙන් ලැබෙන ආනිසංසයන්ය. කායගතා සතියේ වැදගත්කම සූත්‍ර රාශියකින් ප්‍රකාශිත වේ.
සමථ භාවනාවේ කමටහන් සතලිහකි. (40) එහි දස විධ අනුස්සති අතුරින් එකක නාමය ‘කායගතාසති’ නම් වේ. ශරීරයේ එක් එක් කොටස වෙන් වෙන්ව ගෙන අසුභත්වය නිරතුරුව මෙනෙහි කරන මෙම භාවනාව දෙතිස් කුණුප භාවනාව (32 ක් කුණුප කොටස්) ලෙසද ප්‍රකට ය. පිරුවානා පොත්වහන්සේ තුළ ආරම්භයේ දී සාමණේරපඤ්හයට අනතුරුව ද්වත්තිංසාකාරො යනුවෙන් දැක්වෙනුයේ කායගතාසති භාවනාව වැඩීමට උපකාරී වන පාලි පාඨයයි. සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනා භාවනාව අනුව පවතින සියලු භාවනා ක්‍රම ද මේ යටතට ගැනේ. එම දෙතිස් කුණුප භාවනාව විදර්ශනා භාවනාවට ද මූලාධාර වේ.

මුහුදු උපමාව

1. යමකු විසින් මහමුහුද සිතින් ස්පර්ශකොට මැනවින් දක්නා ලද්දේ නම් ඒ මහමුහුදට ගලා බසින කුඩා නදී - ගංගාවන් ද ඔහුගේ ඒ අවබෝධයට ඇතුලත් වූයේ වේ. එලෙසින්ම යමෙක් කායගතා සති භාවනාව වඩන ලද්දේ නම්, බහුලව භාවිත කරන්නේ නම් අෂ්ට විද්‍යාවන් ඇසුරු කරගත් සියලු කුසල ධර්ම ඔහු තුළ පිහිටියේ වේ. කායගතාසතිය වැඩීමේ පළමු ආනිසංසය මෙසේ දක්වා අනතුරුව ආනිසංස රැසක් කෙටියෙන් විවරණය වේ.
2. කායගතාසති යන එකම ධර්මය බහුලව වඩන්නාට එය මහත් වූ සංවේගය (මහතො සංවෙගාය) මහත් වූ අර්ථය (මහතො අත්‍ථාය) යෝගක්‍ෂේම ය, (යොගක්ඛෙමාය) (යෝගක්‍ෂේම යනු සතර ශ්‍රමණඵල වේ. - සෝවාන් ආදී) සිහිය හා සම්‍යක් ප්‍රඥාව (සතිසම්පඡඤ්ඤාය), ඥාන දර්ශන ප්‍රතිලාභය, දිට්ඨධම්ම සුඛ විහරණය සහ විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස උපකාරී වේ.
3. කායගතා සතිය බහුලව පුරුදු කල කල්හි කය (නාම හා කරජකාය) සන්සි‍ෙඳ්. (කායො පස්සම්භති) සිත ද සන්සිෙඳ්. (චිත්තම්පි පස්සම්භති) විතක්ක විචාරයෝ ද සන්සිදෙති. (විතක්ක විචාරාපි වුපසමන්ති) සියලු විද්‍යාභාගීය ධර්ම (විද්‍යා චරණ බුදුගුණ විග්‍රහයේ එන අෂ්ට විද්‍යාවන්) භාවනාවෙන් මුහුකුරා ගියේ වේ. (කෙවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති)
4. කායගතාසතිය වැඩූ කල්හි, බහුලව පුරුදු කළවිට නූපන් අකුසල් දහම් නුපදීයි. උපන් අකුසල් දහම් ප්‍රහීණ වේ. නූපන් කුශල දහම් උපදියි. උපන් කුසල් දහම් වැඩි දියුණු වේ. විපුලත්වයට පත් වේ. (භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති)
5. කායගතාසතිය පුරුදු පුහුණු කිරීමෙන් අවිද්‍යාව (බුද්ධාදී අටතැන්හි සැකය) දුරු වේ. අර්හත්ව මාර්ග ඥානය නම් විද්‍යාව පහළ වේ. අස්මි මානය ප්‍රහීණ වේ. සත් වැදෑරුම් අනුශය ධර්ම සහ දස සංයෝජන ධර්ම ද ප්‍රහීණ වේ. (පහීයන්ති) කායගතාසතිය නිතර පුරුදු පුහුණු කළවිට ( භාවිතෙ බහුලීකතෙ) එය ප්‍රඥා ප්‍රභේදය පිණිස පවතියි. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වේ. අටළොස් ධාතුන්ගේ ලක්ෂණ අවබෝධ වෙයි. අටළොස් ධාතූන්හි නානාභාවය වැටහේ. අනේකධාතු පටිසම්භිදාව වේ.
7. කායගතාසතිය පුරුදු පුහුණු කරන්නා සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමී ඵලය, අර්හත්ඵලය (සච්ජිකිරියාය සංවත්තති) සාක්ෂාත් කර ගනියි. එමෙන්ම ඔහු ප්‍රඥාවේ වැඩිදියුණුවට පත් වේ. ඔහුගේ ප්‍රඥාව විපුලත්වයට පත් වේ. මහා ප්‍රාඥා බවට පත්වේ. ස්කන්ධාදී ධර්මවල පැතිරුණු වෙන් වෙන්ව දක්නා ප්‍රඥාව ඇතිවේ. ගැඹුරු ප්‍රඥාව ඇතිවේ. රාගාදී කෙලෙස් මැඩ පවත්වන භුරිප්‍රඥාව ඇතිවේ. මෙසේ ප්‍රඥාවේ නානා ප්‍රභේදයන් ඇතිව අවසන් සියලු සංස්කාරයන්හි කළකිරවන නිර්වේදික ප්‍රඥාව ඉපදවීමටද කායගතාසති භාවනාව උපකාරී වේ.
අමතවග්ගයේ දී - කායගතා සතිය වඩන්නාට, නිතර පුරුදු පුහුණු කරන්නාට ලැබෙන ඇගයුම් විවරණය වේ.
කායගතාසතිය පරිභෝග කරන්නාට අමෘතය නම් නිවන වළදයි. (පරිභුඤ්ජති) ඔහුගේ අමෘතය නොපිරිහිණි. ඔවුන් විසින්ම අමෘතය නිපදවා ගන්නා ලදී. කායගතාසතිය වැඩීම පමාකිරීම යනු අමෘතය ලබාගැනීම පමාකිරීමකි. අමෘතය යනු නිවනට යෙදෙන සමාන වදනකි. මෙම වග්ගයේ සූත්‍ර 24 කින් කායගතාසතිය වැඩීම යනු නිවන ලබා ගැනීමට (අවබෝධ කර ගැනීමට) වෙහෙසීමක් ලෙස දැක්වේ.
මෙම අමත වග්ගයෙන් ඒකක නිපාතයේ සූත්‍ර සියල්ල අවසන් වේ. ඒකක වග්ගයේ සූත්‍ර (ඒකක නිපාතස්ස සුත්තසහස්සං) දහසක් බව කියවුනත් සංඛ්‍යාත්මකව බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අනුව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇත්තේ සූත්‍ර 663 කි. මෙය විමසිය යුතු කරුණකි.

‘දුක’ නිපාතය

අනතුරුව දුක නිපාතය (දෙකක් පිළිබඳව කියැවෙන කරුණු ඇති) ආරම්භ වේ. එහි වග්ග 17 කි. පළමු වග්ගයේ සූත්‍ර දහයට පමණක් පැහැදිලි නාමයක් දක්වා ඇත. සෙසු සූත්‍රයන්ගේ නාමයක් නොදැක් වේ. පළමු සූත්‍රය, දෙවන සූත්‍රය, තෙවන සූත්‍රය යනාදී ක්‍රමයෙන් එම සූත්‍ර නම් කර ඇත. දුක නිපාතයේ පළමු වග්ගයේ එන සූත්‍ර එකිනෙක විමසා බලමු.
1. වජ්ජ සූත්‍රය
සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් ඇමතූ තථාගතයන් වහන්සේ මහණෙනි, මෙහි වද්‍ය (අපරාධ) දෙකකි’ යි වදාළහ. (ද්වෙමානි භික්ඛවෙ වජ්ජානි) එම වජ්ජි දෙක නම්

1. දිට්ඨධම්ම වජ්ජය
2. සම්පරායික වජ්ජය යනුයි.

මෙහිදී දිට්ඨධම්මික වජ්ඡය යටතේ අපරාධ කිරීමෙන් මෙලොවදී විඳීමට සිදුවන දුක් වේදනා විවරණය වේ. වැරදි කළ සොර ආදී සමාජ අපරාධකරුවන්ට අතීතයේ පැමිණ වූ දෙතිස් වධ කවරේදැයි දැන ගැනීමට මෙම විවරණය උපකාරී වේ.
කසවලින් ගැසීම, වේවැලින් ගැසීම, මුගුරින් තැලීම, අත් සිඳීම, පා සිඳීම, අත් පා සතර ම සිඳීම, කණ් සිඳීම, නැහැය සිඳීම, කන් නාසා සිඳීම, බිලංගථාලික නම් වධය, සංඛමුණ්ඩික නම් වධය, රාහුමුඛ නම් වධය, ජෝතිමාලික නම් වධය, හත්ථ පජ්ජෝතික වධය, ඒරකවත්තික නම් වධය, චීරකවාසික නම් වධය, ඵණෙය්‍යක නම් වධය, බලිසමංසික නම් වධය, කහාපණක නම් වධය, ඛාරාපතච්ඡික නම් වධය, පලිසපරිවත්තික නම් වධය, පලාල පිට්ඨිත නම් වධය සිදු කරති. කකියන තෙල් ඉසීම, කීණ බල්ලන් ලවා කැවීම, දිවමත්ව ම හුල තැබීම, අසිපතින් ගෙල සිඳීම, ආදිය සිදුකරති.

බෙලිඅත්තේ නිහිලුව
සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි

කෙලෙසුන් ගෙන් මිදීමට තවත් කමටහන් දෙකක්‌



නිවන් දකින්න, ආස්‍රවයන් ගෙන් මිදෙන්න, කෙලෙසුන් ගෙන් මිදෙන්න, බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තව කමටහනක්‌ දේශනා කරනව. ඒ, බොජ්ජංග ධර්මයන් ගැන. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව, මහණෙනි නැවත ද අනෙකක්‌ කියමි. 

මහණ තෙම සප්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්‌සීව වාසය කරනව. කොහොම ද භික්‌ෂුව මේ බොජ්ජංග හතේ ධම්මානුපස්‌සීව වාසය කරන්නෙ?

පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව - තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව. එහෙම ඉන්නකොට තමන්ට තේරෙනව මම දැන් සිහිය අතහැරිල නේ ද ඉන්නෙ. සිහිය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට තේරෙනව දැන් සිහියෙන් ඉන්නෙ කියල. නැත්නම් මෙච්චර වෙල සිහිය නැතිකමින් හිටියෙ කියල තේරෙනව. හැම වෙලාවෙ ම තමන් සිහියෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තියෙන්න ඕන.

විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම.

ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

ඊළ`ගට සමාධි - තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා - තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.

මෙන්න මේ විදියට ඉන්න කොට තමන් තුළ සිහිය අතහැරිල ඉන්නෙ කියල කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ මොහොතෙ දි ම සති නිමිත්තකට පැමිණිල සතිමත් වෙන්නට ඕන.

විරිය, පීති, ධම්මවිච, කියන සම්බොජ්ජංග තුන හිත න`ගා සිටුවන්නයි තියෙන්නෙ. පස්‌සද්ධි, සමාධි, උපේක්‌ඛා කියන සම්බොජ්ජංග තුන අරමුණු සංසිඳුවන්නයි තියෙන්නෙ.

ගින්නක්‌ අවුළුවන්න ඕන වෙනකොට තෙත දර දාලා බෑ. වියළි දර ම දාන්න ඕන. ගින්නක්‌ නිවන්න ඕන වෙනකොට වියළි දර දාලා හරියන්නෙ නැහැ තෙතමනය තියෙන්න ඕන. අන්න ඒ වගේ හිතේ විසිරුණු ගතිය වැඩි වෙලාවෙ දි ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න එපා. එවැනි විටක වැඩිය යුත්තේ පස්‌සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්‌ඛා සම්බොජ්ජංගයයි.

නිදිබර ගතිය වැඩි වෙලාවට, සිත සැ`ගවිච්ච වෙලාවට පස්‌සද්ධි, සමාධි, උපේකඛා තුන අතහරින්න. විරිය, ධම්ම විචය, පීති කියන සම්බොජ්ජංග තුන ඇසුරු කරන්න.

මේ විදියට කරගෙන යනකොට මෙතන මෙනෙහි කරන්නෙක්‌ නැත, සත්ත්ව පුද්ගල නො වූ බොජ්ජංග ධර්ම පමණක්‌ ඇත කියන නුවණත් ඇති වෙනව. මේ ධර්මතා මගේ නැත්නම් තව කෙනෙක්‌ ගෙ කියල ගන්නෙ නැහැ.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන්ට ප්‍රීති ප්‍රමෝදය උපදිනව. ඒ නිසා ම හිත කය සන්සිඳිලා, සැපසහගත වෙලා, හිත සමාධි වෙලා, ඇත්ත ඇති සැටියෙන් දැකලා, කලකිරිලා, නො ඇලිලා, ආස්‍රවයන් ගෙන් කෙලෙසුන් ගෙන් මිදෙනව.

ඊට පස්‌සෙ බුදුරජාණන්වහන්සෙ මේ සංසාරයෙන් එතෙර වීම සඳහා චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්න කියල දේශනා කරනව. කොහොම ද චතුරාර්ය සත්‍යය අනුව බලමින් වාසය කරන්නෙ?

මේ දුකයි කියල ඇත්ත ඇති හැටියෙන් දකිනව. මේ දුක්‌ඛ නිරෝධගාමිනී පටිපදාවයි කියල දකිනව. චතුරාර්ය සත්‍යය සිහි කරන්න සිහිය යොමු කිරීමයි මෙතන දි වෙන්නෙ. දවස පුරා ම කොයි වෙලාවෙත් චතුරාර්ය සත්‍යය අවබෝධ වන විදියට තමයි නිමිත්ත හසුරුවන්නෙ. එක්‌කො කුමක කුමන ඉරියව්වක හෝ හෝ දුක්‌ඛ සත්‍යය බලමින් ඉන්නව. සමුදය සත්‍යය ප්‍රකට කරගන්න බලනව. නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ප්‍රකට කරගන්න බලනව. මේ ධර්මතා හතර අවබෝධ කරගැනීම සඳහා හිත නැඹුරු කරගෙනමයි ඉන්නෙ. චතුරාර්ය සත්‍යය සතිපට්‌ඨානය කරගෙනයි ඉන්නෙ. සිහිය පිහිටුවන්නෙ මේ සත්‍ය හතරේ.

මෙනෙහි කරන දුක මොකක්‌ ද? ඉපදීම, ලෙඩ වීම, මහලු බව, මරණය, අප්‍රියයන් හා එක්‌ වීම, ප්‍රියයන් ගෙන් වෙන් වීම, හිතන දේ නො ලැබීම වගේ මෙන්න මේව තමයි දුක්‌. මෙතන දි හොඳට තේරුම් කරගන්න ඕන මේ දුකයි කියල නුවණින් තමයි දැනගන්න ඕන. ඒ කියන්නෙ දුක කියන එක නුවණින් අවබෝධ කරගන්න දුක්‌ විඳින්න ඕනමයි කියල දෙයක්‌ නැහැ. අනුරුද්ධ මහ රහතන් වහන්සෙ කියන්නෙ ගිහි කාලෙ දි නැත කියන වචනය වත් අහල නැති කෙනෙක්‌. රජ ගෙදර හැදුණු ඒ වගේ අයත් ඒ ඔක්‌කොම සම්පත් ජරා මරණයන් ගෙන් යුක්‌තයි කියල දුක අවබෝධ කරගත්ත. සැපයි කියල හිතන බ්‍රහ්මයා කියන තැනත් දුකයි කියන නුවණ අපිට තියෙන්න ඕන.

අපේ ඉස්‌සරහ මල් වට්‌ටියක්‌ තියෙනව් නම් මෙන්න මේකත් ජාතිය, ව්‍යාධිය, මරණය ශෝක, පරිදේව, උපායාස ස්‌වභාව කොට ඇති බව අපිට තේරෙන්න ඕන. අන්න එවිටයි දුක දන්නව කියන්නෙ. මේ මල් වට්‌ටියෙ දුක නැහැ. ඒත් මල් වට්‌ටිය නිසා දුක එන්න පුළුවන්. මේ මල් වට්‌ටියට තණ්‌හා කෙරුවොත් ඒ තණ්‌හාව නිසා ආපහු අපි උපදින්න බැරි ද? පුළුවන්. ඉපදුණොත් ලෙඩ වෙනව, මහලු වෙනව, මරණයට පත් වෙනව. ඒ ඔක්‌කොම දුක්‌ ආවෙ ඉපදුණ නිසයි. ඉපදුණෙ තණ්‌හාව නිසයි. තණ්‌හාව ඇති වෙන්න හිතෛෂී වුණේ නැද්ද මල් වට්‌ටිය? එහෙනම් දුකට හිත වූවක්‌ මිස නිවනට හිත වූවක්‌ නෙමෙයි නේ ද මේ මල් වට්‌ටිය? අපිව දුකට පත් කරන්න වෙනත් විදියකට පෙනී හිටින දෙයක්‌ මේ. මෙයා දුක හැටියට ම පෙනී හිටියොත් අපි ඇලෙන්නෙ නැහැ. සැප හැටියට පෙනී ඉඳිමින් දුකට ගෙනියන එකයි කරන්නෙ. කෙළින් ම ඇති වන දුකට වඩා කපටියි. දුකයි සැපයි දෙක ම දුකයි කියල තේරෙන්න ඕන.

ඊට පස්‌සෙ දුක්‌ඛ සමුදය සත්‍යය. දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නෙ මොකක්‌ ද? කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හා කියන මෙන්න මේ තුන් තණ්‌හාවයි දුක ඇති වෙන්නට තියෙන හේතුව. ඒ තණ්‌හාව උපදින්නෙ කොහෙ ද? පවතින්නෙ කොහෙ ද? ලෝකයේ යමක්‌ ප්‍රියයි නම් මධුරයි නම් තණ්‌හාව උපදින්නෙ එහියි. තණ්‌හාව පවතින්නෙ එහියි. එතකොට ලෝකයේ මොනව ද ප්‍රිය? මොනව ද මධුර?

තණ්‌හාව උපදින තණ්‌හාව පවතින කාරණා 60ක්‌ බුදුරජාණන්වහන්සෙ දේශනා කරනව. ආධ්‍යාත්මික ආයතන හයයි - ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. බාහිර ආයතන හයයි - රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම. විඤ්ඤාණ හයයි - චක්‌ඛු, සෝත, ඝාන, ර්ව්හා, කාය, මනෝ විඤ්ඤාණ. ස්‌පර්ශ හයයි - චක්‌ඛු සම්පස්‌සය, සෝත සම්පස්‌සය, ඝාන සම්මපස්‌සය, ජිව්හා සම්පස්‌සය, කාය සම්පස්‌සය, මනෝ විඤ්ඤාණ සම්පස්‌සය. වේදනා හයයි - චක්‌ඛු සම්පස්‌සජා වේදනා, සෝත සම්පස්‌සජා වේදනා, ඝාන සම්පස්‌සජා වේදනා, ජිව්හා සම්පස්‌සජා වේදනා, කාය සම්පස්‌සජා වේදනා, මනෝ සම්පස්‌සජා වේදනා. සංඥා හයයි - රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම සංඥා. ෙච්තනා හයයි - රූප සංෙච්තනා, ශබ්ද සංෙච්තනා, ගන්ධ සංෙච්තනා, රස සංෙච්තනා, පොට්‌ඨබ්බ සංෙච්තනා, ධම්ම සංෙච්තනා. තණ්‌හා හයයි - රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, පොට්‌ඨබ්බ තණ්‌හා, ධම්ම තණ්‌හා. විතක්‌ක හයයි - රූප විතක්‌ක, ශබ්ද විතක්‌ක, ගන්ධ විතක්‌ක, රස විතක්‌ක, පොට්‌ඨබ්බ විතක්‌ක, ධම්ම විතක්‌ක. විචාර හයයි - රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්‌ඨබ්බ විචාර, ධම්ම විචාර.

මෙන්න මේ කාරණා හැටේ ම තණ්‌හාව උපදින්න පුළුවන්, පවතින්න පුළුවන්. 

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

බුදුදහම හා ධනාත්මක චින්තනය


ධනාත්මක චින්තනය පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක්‌ යොමුකරඇති බව පෙනේ. මීට දෙදහස්‌ පන්සිය වසරකට පෙර ලොව පහළවූ බුදුරජාණන් වහන්සේද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.

බුදුවීමට දස පෙරුම් දම් පිරූ බෝසතාණෝ ඒ මගින් ධනාත්මක ආකල්ප අනුව ක්‍රියාකළ සේක. උන්වහන්සේ පිරූ විර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව තුළින් ධනාත්මක චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදුවූ ආත්මයේ ඉපදුණු විගස ප්‍රකාශ කළ 'අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස්‌ යනාදී උදාන වාක්‍යය, සත් පියුම් මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර පැවිදි වීම, සත්‍ය සොයා යාම, අවුරුදු සයක්‌ දුෂ්කර ක්‍රියා කරමින් කළ උත්සාහය ආදී අවස්‌ථා විශේෂිත අවස්‌ථාවන් වේ.

තම අරමුණු ඉටු කර ගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදුවීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්‌ථාවකි.

1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4. සිරුරේ මස්‌ ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

මෙලෙස ඇතිකරගත් අධිෂ්ටානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක්‌ ලබාගැනීමට උන්වහන්සේ සමත්වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කර ගැනීමට බෝ සතුන්ට හැකිවූවා සේ ඕනෑම පුද්ගලයකු නොසැලෙන සිතින් සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක්‌ නොමැත.

යම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී 'මට පුලුවන්, මම ප්‍රතිඵල ලබාගන්නවා, මම දිනනවා' යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක්‌ ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක්‌ ඇතිකරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත නොහැකි ය. 'නැහැ බැහැ' ආදී සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක්‌ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්‌වරූපයයි. එසේ සිතන කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය නොහැකිය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. 'මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක්‌ ලැබේවි' මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යැමට නොහැකිය. සමාජයේ දියුණුව කරා පිය නගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.

'නාචින්තයන්තෝ පුරිසෝ විසේසි මධිගච්ඡති' 

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක්‌ පමණක්‌ නොව පසුතැවීමට පවා හේතු වෙයි. සෑම මිනිසකු තුළ ම නිර්මාණශීලී දක්‌ෂතා පවතී. ඒවා ඉස්‌මතු කරගත හැක්‌කේ උත්සාහය හා චිත්ත ශක්‌තිය මගිනි. සිතේ ඇතිවන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස්‌ පරිහානිය කරාම යති.

පුද්ගල අපේක්‌ෂා සාර්ථක කර ගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතුවිලි කෙසේ සකස්‌විය යුතුද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වාදී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමු 'අත්ථ කුසල' පුද්ගලයකු විය යුතුය. අත්ථ යනු අරමුණයි. කුසල යනු දක්‌ෂතාවයි. තම අරමුණ ඉටුකර ගැනීමට තමා දක්‌ක්‍ෂයකු වීම මෙහිදී අදහස්‌ කෙරෙයි. අරමුණු සාර්ථක කර ගැනීමේදී තමා විසින් ඇතිකරගත යුතු දක්‌ෂතා පහළොවක්‌ පිළිබඳ කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු පහළොව අතර 'සක්‌කෝ' යන පළමු ගුණය සුවිශේෂ වේ. පොතපත කියවීමෙන්, ලියවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණුq කරගන්නා විට දක්‌ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‌ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යැම නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම පරාජිතයෙක්‌ වෙයි.

කුසල් හෙවත් දක්‌ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවැතීම ලෝක ස්‌වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥව යන කුසල සිතුවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. බුදුදහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක්‌ නොකෙරේ. බුදුරදුන් දිනක්‌ බමුණකු අමතා, 'බමුණ, ඔබ කැමැති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට නොඑන්න' යනුවෙන් දේශනාකොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදුදහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරුයි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කරදෙන ලද්දේ දියුණුව කරා පියනැගීමට නම් පුද්ගල චිත්ත ශක්‌තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක්‌ කිරීමේදී,

1. ආරම්භ ධාතු (යමක්‌ ආරම්භකිරීමට)

2. නික්‌ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)

3. පරක්‌කම ධාතු (බාධා මැඩගෙන යාමට)

4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)

5. ඨිති ධාතු (ස්‌ථාවරව සිටීමට)

6. උපක්‌ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)

උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක්‌ ඉදිරියට කරගෙන යැමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකිය. තම ශක්‌තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇතිකර ගත යුතුය. තම හැකියාව තමා විසින්ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් පමණක්‌ ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය. කුසීතකමින්, පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනගාගත හැකිය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකිය.

තමන් යම් ක්‍රියාවක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇතිවිය හැකිය. බාධා ඇතිවූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නොවේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කර ගත යුතුය. ඇතැමුන් තමන්ට ඇති ශක්‌තිය හඳුනාගෙන නැත. වෙනත් අයකු දෙන උපදෙස්‌ හෝ පිළිගෙන උනන්දුවඇතිකර නොගනියි. එබඳු තැනැත්තාට දියුණුවිය නොහැකිය. සෑම ජයග්‍රහණයකටම මාවතක්‌ ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතුය. එහෙත් අනුන් දෙන උපදෙස්‌ තමන්ට ගැළපේදැයි සිතා බැලීම කළ යුතුය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්‌වකීය ශක්‌තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.

එදා බුදුරදුන් ස්‌වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවටම ශේ්‍රෂ්ඨ නායකයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි - පැවිදි දෙපිරිසද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව දෙලොව දියුණුව සලසාගන්න. එම නිසා අප ආගමික ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගෙන ක්‍රියා කිරීම, ඇහුම්කන්දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‌ෂණ හා පරීක්‌ෂණ කිරීම කළ යුතුය. එසේ කිරීමෙන් සෘණාත්මක චින්තනයෙන් මිදී ධනාත්මක චින්තනයක්‌ තුළින් සෑම ක්‍රියාවකම ජයග්‍රහණය උදාකරගත හැකිය.

ශාස්‌ත්‍රපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංස හිමි

ආයතන පිරිසිඳ දැක සසරින් මිදෙන මග


නිවන් දකින්න උපකාර පිණිස බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් කමටහනක්‌ පෙන්නනව. ආධ්‍යාත්මික, බාහිර ආයතන ධර්මානුකූලව නුවණින් බලමින් වාසය කරන්න කියල. කොහොම ද ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්මානුකූලවබලමින් වාසය කරන්නෙ?

චක්‌ඛුඤ්ච පජානාති, ඇහැ දැනගන්න, රූපෙච පජානාති, රූපය දැනගන්න. මේ දෙදෙනා නිසා යම් සංයෝජනයක්‌ උපදිනව නම් ඒකත් දැනගන්න. නූපන් සංයෝජනය උපදින හැටිත්, උපන් සංයෝජනය දුරු කරන හැටිත්, නූපන් සංයෝජනය නූපදවන හැටිත් දැනගන්න.

මෙතන දි මම එක ආයතනයක්‌ දීර්ඝ වශයෙන් විස්‌තර කරන්නම්. ඒ අනුසාරයෙන් ඉතුරු ආයතන ටික ඔක්‌කොම දැනගන්න. චක්‌ඛුඤ්ච පජානාති කියපු න්‍යාය මයි. අර්ථය ඒ සමාන මයි.

පජානාති කියන්නෙ නුවණින් දැනගන්න ඕන කියන එක. කොහොම ද අපි ඇහැ දැනගන්න ඕන? අපි දන්නා වූ, අපි දක්‌නා වූ, අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි. බුදුරජාණන්වහන්සෙ දේශනා කරනවා ඇහේ නියම ස්‌වභාවය. අන්න ඒ විදියට යම් කිසි කෙනෙක්‌ දන්නව නම් තමයි චක්‌ඛුඤ්ච පජානාති කියන්නෙ. ඇත්ත ඇති හැටියෙන් දැක්‌කමයි අපට බොරුව අහු වෙන්නෙ. මේක තමයි සංයෝජනය කියල අහුවෙන්නෙ එතකොටයි.

ඇහැ කියන්නෙ සතර මහා ධාතූන් නිසා හටගත්ත උපාදාය වූ රූපයක්‌. ඒක ආධ්‍යාත්මිකයි. අනිදස්‌සනං, කවදා වත් දකින්න බැරි එකක්‌. අතීතයෙ දි අපිට අපේ ඇහැ පෙනිලත් නැහැ. දැන් ද ඇහැ පෙනෙන්නෙ නැහැ. ඇහෙන් හැම දෙයක්‌ ම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න පුළුවන් ද? බැහැ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕන ඇහැ කියන එක කවදා වත් ම දැකල නැති බව.

ඊට පස්‌සෙ ඇහැ කියන එක පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. ඇහැ කියන එකේ ලක්‌ෂණ තමයි, ආධ්‍යාත්මිකයි, ඒ කියන්නෙ තමා තුළ පවතින එකක්‌. දකින්න බැරි එකක්‌. ගැටෙන එකක්‌, පෙර නො තිබී ම හටගන්න එකක්‌. ඉතුරු නැතු ව ම නැති වෙන එකක්‌. අවිද්‍යාවෙන් හටග්න්න, කර්මයෙන් හටගන්න, තණ්‌හාවෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න එකක්‌ කියල බුදුරජාණන්වහන්සෙ පෙන්නුව.

ඊට පස්‌සෙ රූපෙච පජානාති, බාහිර රූපය නුවණින් දකින්න. බාහිර රූපය කියන කොට සතර මහා ධාතූන් ගේ උපාදාය රූපයක්‌ වූ, සනිදස්‌සනං, දකින්න පුළුවන්. නිල් කහ රතු කොළ වගේ නොයෙක්‌ වර්ණ පෙනෙන බව උදාහරණයක්‌. ඒ රූපයෙ ස්‌වභාවයත් පෙර නො තිබී ම හටගන්නව, ඉතුරු නැතු ව ම නැති වෙනව. ඒ රූපය බාහිරයි. එය ද අවිද්‍යා, කර්ම, ආහාර කියන ප්‍රත්‍යයන් ගෙන් හටගත් එකක්‌ කියල උන්වහන්සෙ පෙන්නුව.

දැන් එතන දි පොඩි ධර්මතාවක්‌ තියෙනව බලන්න. මේ රූපය කියන එක වර්ණ සටහනක්‌. වර්ණ රූපයක්‌. රූපංච පජානාති කියනකොට රූපය වර්ණ සටහනක්‌ කියල තේරුම් ගන්න ඕන.

මෙන්න මේ ඇහැයි රූපයයි දෙදෙනා තේරුම් ගත්තහම පුළුවන් ඒ දෙදෙනා නිසා උපන්න සංයෝජනය හඳුනගන්න. ඇහැට පෙනෙන්නෙ අර කියපු විදියේ රූපයක්‌ විතර මයි. මෙතන දි රූපය කියනකොට බිත්තියක ඇඳපු මහ විශාල චිත්‍රයක්‌ වගේ. චිත්‍රයක්‌ කියන්නෙ වර්ණ සටහනක්‌. දැන් ඔය චිත්‍රය ඇතුළෙ නොයෙක්‌ නොයෙක්‌ බඩුමුට්‌ටු තියෙන්න පුළුවන් ද? ගෙවල් දොරවල්, ළිං, කළ, මුට්‌ටි, මිනිස්‌සු තියෙන්න, ඉන්න පුළුවන් ද? චිත්‍රයක්‌ ඇතුළෙ ඉන්න පුළුවන් ද බැරි ද? ඉන්න බැහැ. චිත්‍රෙ නම් චිත්‍රෙ ම නෙ?

ඔන්න බලන්න බුදුරජාණන්වහන්සෙ පෙන්නනව, මේ ලෝකෙ චිත්‍ර මිස කාමය නෙමෙයි. සංකප්ප රාගො පුරිසස්‌ස කාමො, කාමය කියල කියන්නෙ පුද්ගලය ගෙ සංකල්පනාව. සංකල්ප වශයෙන් උපදින රාගයයි කාමය. දැන් විශාල චිත්‍රයක්‌ තියෙනව නම් මේ චිත්‍රය දිහා බලාගෙන අන්න ගහක්‌, අන්න මනුස්‌සයෙක්‌ කියල අපිට හිතන්න බැරි ද? පුළුවන්. මනුස්‌සයෙක්‌ ගහක්‌ කියල හිතුවට එතන චිත්‍රයට මොකද වුණේ? චිත්‍රය චිත්‍රය මයි. චිත්‍රයට ගහක්‌ හෝ මනුස්‌යෙක්‌ ඉන්නව ද? නැහැ. චිත්‍රය ගහක්‌ හෝ මනුස්‌සයෙක්‌ හෝ කරන්නෙ කවුද? අපි. කාමය කියන්නෙ සංකප්ප රාග වශයෙන් උපදවගන්න එකක්‌.

අපි හිතමු මේ මොහොතෙ දි අපිට මේ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයකට න`ගල එල්ලුවොත්, ඔය ඡායාරූපයෙ සත්ත්වයො හෝ පුද්ගලයො හෝ ඉන්න පුළුවන් ද? බැහැ. එහෙනම් මේ දැනුත් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌. මේ ෆොටෝ එකේ ඇතුළ ඇත්ත වෙලා, සත්ත්වයෝ පුද්ගලයෝ මේ ෆොටෝ එකේ ඉන්නව කියල අපිට දැනෙන මට්‌ටමට තමයි සංයෝජන කියන්නෙ. කාම රාග සංයෝජන.

අර බිත්තියෙ ඇඳපු චිත්‍රය ඇතුළෙ මිනිස්‌සු ගෙවල් දකින්න පුළුවන් නෙ. ඒ විදිය මයි මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න ''චිත්‍රය'' ඇතුළෙත් අපි මනුස්‌සයො දකිනව, ගෙවල් දකිනව. මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න වෙලාවෙ දිත්, අර වෙලාවෙ දිත් සිද්ධිය එක මයි. එතකොට රූපෙච පජානාති කියනකොට හොඳට දැනගන්න ඕන ඇහැට පෙනෙන්නෙ වර්ණ සටහනක්‌ විතරමයි. ඒ වර්ණ සටහන පෙනෙන කොට මේ මනුස්‌සයෙක්‌, මේ ගහක්‌, මේ ගෙයක්‌ කියල ඒ ඒ හැඩ සටහන් හිතෙන් සිහි කරල, මිල කරල, බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි. චිත්‍රෙ ඇතුළෙ නොයෙක්‌ බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි නෙමෙයි ද? අපි තමයි. චිත්‍රෙ චිත්‍රෙ මයි. ඒ වගේ මේ දැනුත් චිත්‍රෙ වගේ කියල හඳුනගන්න. 

කැමරාවක්‌ අරගෙන මේ වෙලාවෙ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයට න`ගන්න බැරි ද? පුළුවන්. දැන් ඇහැට පෙනෙන මට්‌ටමයි කැමරා කාචයට අහු වුණේ. එහෙනම් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්‌ විතර මයි. ෆොටෝ එක ඇතුළෙ පුද්ගලයො, සත්ත්වයො ඉන්නව කියන හැ`ගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙල තියෙනව නම් ඇහෙන් බලන කොට සත්ත්තවයො පුද්ගලයො ඉන්නව කියල හැ`ගීමක්‌ ඇති වෙනව නම් ඇති වෙලා තියෙනව නම් අන්න ඒක දැනගන්න, මොකක්‌ කියල ද? කාම රාග සංයෝජනය. 

බුදුරජාණන්වහන්සෙ පෙන්නුව ඇහැ කවදාවත් දකින්න බැහැ. ඒ වගේ ම ඒක තමා තුළ වූවක්‌. ඒ වගේ ම පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතු ව නැති වෙනව කියල. ඇහේ ඇත්ත එහෙම පෙන්නුව ම අපිට තේරෙන්න ඕන ඇහැ බලන්න පුළුවන් කියල අපිට හිතෙන මට්‌ටමක්‌ තියෙනව නම් මෙන්න මේක තමයි සංයෝජනය කියල. ඉඳගන්න, හිටගන්න, නිදාගන්න, ඇවිදින හතර ඉරියව්වෙ දි ම ඇහැක්‌ තියෙනවා කියල දැනෙන මට්‌ටම තමයි සංයෝජනය.

ඇහැ පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්‌ වුණත්, ඇති බවට වැටහෙන එක තමයි කෙලේසය. අපේ ඇහැ බාහිරින් දකින්න පුළුවන් කියල හිතෙනව නෙ කණ්‌ණාඩියෙන් බලනකොට. එහෙම නැත්නම් ෆොටෝ එකකින් අපේ ඇහැ දකින්න පුළුවන් කියල හිතෙනව නේ. ඒ දකින්න පුළුවන් කියල හිතෙන ටික තමයි කෙලේසය. මෙන්න මේ විදියට ඇහැ ගැන තේරුම් කරගන්න ඕන.

අයොනිසො මනසිකාරය නිසා මේ සංයෝජන ඇති වෙනව. යොනිසො මනසිකාරය පැවැත්වීමෙන් සංයෝජන නැති කරන්න පුළුවන්. මේ විදියට ඇහෙන් පෙනෙන දේ වගේ ම කනට ඇහෙන දේත් සොතංච පජානාති, සද්දෙච පජානාති. සද්දයක්‌ ඇහුණොත් ඒකත් චිත්‍රයක්‌ වගේ. මේ ගිරවෙක්‌ ගෙ සද්දෙ, කපුටෙක්‌ ගෙ සද්දෙ, බල්ලෙක්‌ ගෙ සද්දෙ කියල ශබ්දය එක එක දේවලට හදන්නෙ අපි හිතෙන්. එතකොට තමයි සද්දෙ කාම වෙන්නෙ.

අපි නිකමට කියමු අපිට මොනව හරි සද්දයක්‌ ඇහෙනව. අපේ භාෂාව නො තේරෙන අන් භාෂාවක කෙනකුටත් ඒ සද්දය ඇහුණොත්? සද්දය අහෙන මට්‌ටම, සොත විඤ්ඤාණය විඤ්ඤෙයය වෙන මට්‌ටම දෙන්නට ම එකයි. ඒත් අසවලා මෙහෙම කිව්ව කියල මැවෙන්න දෙයක්‌ එයාට නැහැ. මේ සද්දය අරභයා අපි හදාගත් දේවල් තමා බල්ල ගෙ සද්දෙ, කපුට ගෙ සද්දෙ, ගිරව ගෙ සද්දෙ කියන එක. සද්දය "කෙනෙක්‌ ගෙ" කියල දැනුණොත් හොඳට දැනගන්න ඒ ශබ්දය අරභයා ඇති වූ සංයෝජනයයි.

ඒ වගේ ගන්ධය (නාසය), රසය (දිව), ස්‌පර්ශය (කය), ධර්මාරම්මණ (මනස) ඇතුළු ආයතන හය ම එහෙමයි. මෙන්න මේ විදියට ආයතන ටික ගැනත් දන්නව, ඒ නිසා ඇති වන සංයෝජන ගැනත් දන්නව. එතකොට සත්ත්ව නො වූ පුද්ගල නො වූ ආයතන ටික පමණක්‌ ඉතුරු වෙනව. මේ ආයතන හය ඇසුරු කරගෙන තමන් තුළ ඇති කරගත්තු සංයෝජන මාත්‍රයක්‌ විතරයි සත්ත්ව පුද්ගල ආත්ම කියන හැ`ගීම කියල ආයතන ටික වෙන ම පැත්තකටත් සත්ත්ව පුද්ගල ආත්ම ස්‌වභාවය වෙන ම පැත්තකටත් එනව.

මෙන්න මේ විදියට තමන් තුළත් අනුන් තුළත් ආයතන ටිකේ ආයතන ලක්‌ෂණ හොඳට දැනගන්නව. ආයතන කෙනෙක්‌ ගෙ ය, ආයතන කෙනෙක්‌ ය කියන හැ`ගීම මනස පිළිබඳ වූවක්‌. ඒක සංයෝජනයක්‌ කියල ඒ ධර්මතා ටික වෙන ම දකිනව. මේ විදියට ආයතන ටිකයි සංයෝජන ටිකයි වෙන වෙන ම දැක්‌කහම මේ ආයතන කිසිවක්‌ සත්ත්වයෙක්‌ හෝ පුද්ගලයෙක්‌ කියල ගන්නෙ නැහැ. ඇහැ මගේ රූපෙ මගේ කියල ගන්නෙ නැහැ. ඇහැ වෙනමත් මගේ කියන හැ`ගීම වෙනමත් තේරෙනව. ආයතන ටික වෙන ම දැක්‌කහම සංයෝජන වෙන ම දැක්‌කහම ඒ ස්‌කන්ධ ටිකත් කෙලෙස්‌ ටිකත් වෙන් වෙන් කරල තේරෙනව. එතතකොට කෙලෙසුන් ගෙන්, සංයෝජනයන් ගෙන්, හැ`ගීම්වලින් මේ ආයතන ටික පරාමර්ශනය කරන්නෙ නැහැ. ආයතනයන් ගේ ආයතන ලක්‌ෂණ පමණක්‌ ඉතුරු වෙලා සත්ත්ව පුද්ගල හැ`ගීම මනෝ විඤ්ඤාණ සම්පස්‌සයෙන් උපදින හැ`ගීම් මාත්‍රයක්‌ ය කියන නුවණ ඇති වුණහ ම මේ ධර්මතා දෙක වෙන් වෙනව.

ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන් ගෙ හිතට ලොකු ප්‍රීතියක්‌ ලොකු ප්‍රමෝදයක්‌ ඇති වෙනව. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා ම හිත කය දෙක සංසිඳිල, සැප සහගත වෙල, හිත සමාධිගත වෙලා, ඇත්ත දැකල කලකිරිලා, කෙලෙසුන් ගෙන් ආස්‍රවයන් ගෙන් මිදෙනව.

මෙන්න මේ විදියට ආයතනයන් පිරිසිඳ දැකලත් මේ සසරින් මිදෙන්න හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කළා. 

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
පූජ්‍ය මාන්දන්කඩවල සුදස්‌සන හිමියන්ගේ ධර්ම දේශනයක්‌ ඇසුරිණි.

ස්‌ථූප පිරිසිදු කිරීමෙන් ප්‍රිය දේ ඔබ වෙත ළංවේ


අල්ප පූජාවක්‌ කළ පුද්ගලයකුට වුවද, ගෞරවය පමණක්‌ කළ පුද්ගලයකුට වුවද, සිත පහදා ගැනීම පමණක්‌ කළ කෙනෙකුට වුවද එයින් මහත් අනුසසක්‌ දෙන, මෙසේය කියා සිතාගත නො හැකි පුදුම බලයක්‌ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය. බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිඳුම් කිරීමෙන් මෙලොවදීම බොහෝ අනුසස්‌ ලැබිය හැකි ය. මෙලොවදී බලාපොරොත්තුවන සෑම දෙයම වැඳීමෙන්ම ලබා ගත හැකිය කියා ද නොසිතියයුතු ය. මෙලොවදීම ඒ ඒ අනුසස්‌ ලැබීමට බලාපොරොත්තුවන පුද්ගලයන් විසින් ඒ ඒ අනුසස්‌ ලැබීමට හේතුවන බුදුගුණයන් මෙනෙහි කර බුදුරදුන්ට බැතියෙන් වැඳීම් කළ යුතුය.

මුදල් ඇති කෙනෙකුට මුදලින් තමා කැමැති දේ ලබා ගත හැකිවාක්‌ මෙන් පින් ඇති තැනැත්තාට ඒ පිනෙන් තමා ප්‍රාර්ථනා කළ විට තමන් කැමැති සුගතියකට යා හැකි ය. අලුත් දාගැබක්‌, ප්‍රතිමා මන්දිරයක්‌, ධර්ම ශාලාවක්‌, සංඝාවාසයක්‌ ඉදිකිරීම බොහෝ පින් සිදුවන කාර්යයකි. එහෙත් එය බොහෝ වෙහෙස විය යුත,= විය පැහැදම් කළ යුතු දෙයකි. දැනට ඉදිකොට ඇති එවැනි සිද්ධස්‌ථාන විනාශ වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීම සියලුම බෞද්ධයන්ගේ යුතුකමකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් එම පූජනීය ස්‌ථාන ආරක්‍ෂා කිරීමට හා විහාරාංග ප්‍රතිසංස්‌කරණයට දායක වියයුතුය. උත්සාහ වන්ත විය යුතුය. එය මහත් අනුසස්‌ ලැබෙන පුණ්‍යකර්මයකි.

ගෞතම බුද්ධ රාජ්‍යයේ ප්‍රථම චෛත්‍ය නිර්මාණය තපස්‌සු - භල්ලුක වෙළෙඳ සොහොයුරන් දෙදෙනා විසින් ඉදිකරන ලද චෛත්‍යයි. බුදුබව ලැබීමෙන් සත්වන සතියේ කිරිපලු ගසක්‌ යට සමවත් සුවයෙන් වැඩ වාසය කරන කල්හී වෙළෙඳ සොහොයුරන් දෙදෙනා බුදුන් වහන්සේට විළඳ හා මී පිඬු පිළිගැන්වූහ. දන් වළඳා අවසානයේ ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. අවසානයේ පුදන්නට යමක්‌ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට කේෂධාතුන් දුන් බවට සඳහන් වේ. එම කේෂධාතුන් තැන්පත් කොට ඔවුන් චෛත්‍යයක්‌ ඉදිකළේය.

දීර්ඝායුෂක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නොවිසිරී රන් කඳක්‌ සේ එකට පිහිටයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ "මම නොබෝ කලකින් පිරිනිවෙන්නෙමි. මාගේ සස්‌න තවම සැම තැන නොපතළේය. ඒ නිසා මගේ ශාරීරික ධාතුන් ගෙන පිහිටවා තම තමන්ගේ පෙදෙස්‌වල චෛත්‍ය කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්‌වර්ගපරායන වන්නාහයි" 'ධාතු විසිරී සිටිත්වායි' අධිෂ්ඨාන කළ සේක. එයින් උන්වහන්සේගේ ධාතුන් එකට නොසිට කුඩා කුඩා කැබලි වී සිටියහ. සතර දළදාව, අකු ධාතුන් දෙනම, ලලාට ධාතුව යන මේ ධාතුන් විසිර නොසිටි බව සඳහන් වේ. විසිරී ගිය ධාතුන් අබ ඇට පමණක්‌ වූහ. මධ්‍යම ධාතුන් මැදින් කැඩුනු සහල් ඇටයක්‌ පමණ වූහ. මහා ධාතුන් මුං පියලි පමණ ප්‍රමාණ වූහ.

බුද්ධවංශ පාලියේ සඳහන් ආකාරයට මහා ධාතුන් වහන්සේ රන් පැහැයෙන් ද මධ්‍යම ධාතුන් වහන්සේ මුතු පැහැයෙන් ද, කුඩා ධාතුන් වහන්සේ සමන් කැකුළු පැහැයෙන් ද වන්නාහ.

මිහිඳු නම් මහ රහතන් වහන්සේ තමන් වෙත වැඩ සිටි දළදා වහන්සේ නමක්‌ පිහිටුවා සෝමාවතී චෛත්‍ය කරවු බව සඳහන් ය. දකුණු අකු ධාතුන් වහන්සේ සක්‌දෙව් රජ වෙත තිබී මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් ලක්‌දිවට වැඩමවා ථූපාරාමයේ පිහිට වූ බවත් ලලාට ධාතුන් වහන්සේ කාවන්තිස්‌ස රජ සමයේ සේරුවාවිල චෛත්‍යයේ තැන්පත් කළ බවත් සඳහන් ය. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් තැන්පත් කර සුමන දෙව් රජ මහියංගනයේ මියුගුණ සෑය කරවූ බවත් දුටුගැමුණු රජතුමා කරවූ රුවන්මැලි මහ සෑයේ ලෝකයේ වැඩිම සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක්‌ වැඩ සිටින බවත් සඳහන් ය. බුදුන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ නමක්‌ දීඝවාපි චෛත්‍යයේ ද ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ ශේල චෛත්‍යයේ ද වැඩ සිටින බව ප්‍රකටය. අබැටක්‌ පමණ වූ සර්වඥධාතුන් වහන්සේ නමක්‌ වුවද යම්කිසි තැනක වැඩ සිටින්නේ නම් එතැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානය. සර්වඥ ධාතුන් වහන්සේ පිහිටුවා කළ ස්‌ථූප වඩාත් පූජනීය වේ. ඒවා රැක ගැනීමට අප අප්‍රමාදව කටයුතු කළ යුතුය.

සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයේ පැලී තිබු තැනක්‌ බදාම ලා සංස්‌කරණය කළ සැදැහැවතෙක්‌ ඒ පිනෙන් සිවුඅනූ කපක්‌ දෙව් මිනිස්‌ සැප විඳ අප ගෞතම බුදුරාජණන් වහන්සේගේ සසුනෙහි පැවැදිව කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණ සංසාරය කෙළෙවර කළේය. බදාම පිඩක්‌ ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ 'සුධාපිණ්‌ඩිය' යන නමින්ම හඳුන්වන ලදී. තවද ඵුස්‌ස බුදුරදුන්ගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයක්‌ මහ වනයෙහි ඇතුන් විසින් පළුදු කරන ලදුව ගස්‌ වැවී ජරපත්ව තිබිණි. එක්‌ සැදැහැවතෙක්‌ ඒ චෛත්‍යයෙහි කැඩුනුq බිදුණු තැන් ප්‍රතිසංස්‌කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා අනූ කපක්‌ මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස්‌ සැප විඳ අප බුදුන් සමයේ පැවිදිව රහත්ව දුක්‌ කෙළවර කළේය.

බුදුරදුන් කල විසු මහ රහතන් වහන්සේ නමක්‌ වන පහ¥කර තෙරුන් වහන්සේ අතීතයේ එක්‌ කපෙක මිනිස්‌ ලොව ඉපිද වනයට ගොස්‌ දර කපා ගෙන එන වන කාර්මිකයකුව සිටියේය. දිනක්‌ ඔහු වනයට පිවිස සැරිසරන විට කිසිවෙකුට ළංවිය නොහැකි තරමට වනයෙන් වැසීගිය චෛත්‍යයක්‌ දුටුවේය. එය පදුමුත්තර බුදුරජුන් උදෙසා ගොඩනංවන ලද චෛත්‍යයකි. එය දැක ඒ වන කාර්මිකයා චෛත්‍යය කෙරෙහි බැති සිත් ඇතිව 'බුදුගුණ දන්නා මා හට මේ චෛත්‍යය එළි පෙහෙලි නොකොට අන් කටයුත්තක්‌ කිරීම නුසුදුසුය" යෑයි සිතා තමා කරනට ගිය කාර්යය නවතා, අකුල් කපා, ගස්‌වැල් කපා ඉවත් කොට, සෑය අවට මළුව පිරිසිදු කොට අට කොනක සිට චෛත්‍යය වැඳ නික්‌ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුට එහි සැට යොදුන් උස, තිස්‌ යොදුන් පළල රන් විමනක්‌ පහළ විය. කල්ප ලක්‍ෂයක්‌ ඒ පිනෙන් දෙව් මිනිස්‌ දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස්‌ ලොව ඉපිද ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් විය. පහ¥කර යනු ඒ රහතන් වහන්සේ නමයි. 

උන්වහන්සේ විසින් චෛත්‍ය පිරිසිදු කිරීමෙන් අතීතයේ ලත් ඵල මෙසේ විස්‌තර කොට තිබේ.

කුට්‌ඨං ගණ්‌ඩො කිලාසොච අපමාරො විතච්äකා

දද්දු කච්ඡූ ච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

ද්වේ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

සුවණ්‌ණවණ්‌ණො සබ්බත්ථ සප්පහාසො භවාමහං

අමනාපං විවඡ්ජති මනාපං උපතිට්‌ඨති

විසුද්ධං හොති මේ චිත්තං ඒකග්ගං සුසමාහිතං

ඒකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං

(පහ¥කරත්ථෙරාපදානයෙනි)

කුෂ්ඨ, ගඩු, සුදු කබර, අපස්‌මාර, අතුල් පතුල් පැලීම් ආදී රෝගද, දද, ඇඟ කැසීමේ රෝගද මට නැත. මේ චෛත්‍ය එළිකිරීමේ ඵලයයි. බුද්ධ ස්‌ථූපය පිරිසිදු කිරීමේ තවත් මාගේ ආශ්චර්යයක්‌ නම් මගේ කයෙහි තල කැලල් හටගත් බවක්‌ නොදනිමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමෙන් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසැරුවෙමි. මම සෑම භවයකදීම ප්‍රභාවත් ශරීරයක්‌ ඇතිව රන්වන් පැහැයෙන් බැබළුනෙමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් අප්‍රිය දැ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රිය මනාප දැ මා කරා එළඹෙයි. තවද මාගේ සිත පිරිසිදු වෙයි. සිත එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් මම ඒකාශනයෙහි හිඳ අර්හත්භාවයට පැමිණියෙමි හෙවත් භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පැමිණියෙමි යනුයි.

(පොත පත ඇසුරිණි.)

හර්ෂණ අමරසිංහ

කුසලයට බාධා කිරීමේ විපාක

ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව


පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.


එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

සටහන - ධම්මික හේවාවසම්
පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි 

හැකියා නොහැකියා අත්හරින හැකියාව

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.

අද අපි ඔය අයට පොඩි කාරණාවක්‌ සිහිපත් කරල දෙන්නයි කල්පනා කළේ. මේ කාරණාව පොඩියි වගේ වුනාට ඒක ඇත්තටම පොඩි නෑ. හැබැයි බැලු බැල්මට කෙනෙක්‌ මේ කාරණාව පොඩියි කියල සලකන නිසයි මේක පොඩි කාරණාවක්‌ කියල කිව්වේ.... මොකක්‌ද ඒ කාරණාව, අපි හොඳට තේරුම් ගන්ට ඕන අපි හැම කෙනෙකුටම යම් යම් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකියාවන් තියෙනවා. හැබැයි හැමෝටම හැම දෙයක්‌මත් පුළුවන්ද...? ඒත් බෑ. ඒ වගේම හැමෝටම හැම දෙයක්‌ම නොහැකිද...? ඒත් නෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේවල් බෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේ පළුවන්. ඒ කියන්නේ සමහර අයගේ දක්‌ෂකම් වැඩියි. සමහර අයගේ අදක්‌ෂකම් අඩුයි. 

උදාහරණයක්‌ කිව්වොත් සමහරුන්ට හොඳට කට පාඩම් හිටිනවා. සමහර අයට අකුරක්‌වත් පාඩම් හිටින්නේ නෑ. අපි කවුරු ලඟත් මේ විදිහට යම් යම් දක්‌ෂකම් වගේම යම් යම් අදක්‌ෂකමුත් තියෙනවා. ඉතින් අපි දක්‍ෂ වෙන්ට ඕන මේ දෙකම පාවිච්චි කරල තමාගේ දියුණුව හදාගන්න. නමුත් බොහෝ දෙනෙක්‌ තමන්ට යම් හැකියාවක්‌ තියෙනවාද, ඒක ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ හානිය පිණිස. යම් නොහැකියාවක්‌ ඇත්ද, ඒකත් යොදාගෙන තියෙන්නෙත් හානිය පිණිසයි. 

දැන් සමහර කෙනෙක්‌ ඉන්නවා එයාට හොඳට කටපාඩම් හිටිනවා. ඒක දක්‍ෂතාවයක්‌. හැකියාවක්‌. සමහර කෙනෙක්‌ ඉන්නවා චතුර විදිහට භාෂාව හසුරවන්ට පුළුවන්. ඒක දක්‌ෂතාවයක්‌. සමහර කෙනෙක්‌ ඉන්ට පුළුවන් එයාට පිරිසගේ ආකර්ෂණය ඇතිකරගන්ට පුළුවන්. ඒක එයාගේ කුමක්‌ හෝ හැකියාවක්‌, එහෙම නැත්නම් ඒක එයාට තියෙන ලාභයක්‌. මෙන්න මේ හැකියාවන් හෝ ලාභයන් එයා පාවිච්චි කරනවා පිරිහීම පිණිස. ඒa කියන්නෙ ඒවා මුල් කරගෙන එක්‌කො එයා ඒකෙන් අධිමානය හදා ගන්නවා. එක්‌කො තව කෙනෙක්‌ එක්‌ක සසඳලා 'මමත් එයා වගේ' කියල හිතනවා. අපි හිතමු කෙනෙකුට පැය භාගයක්‌ විතර පහසුවෙන් භාවනාවේ වාඩි වෙලා ඉන්ට පුළුවන් කියල. ඉතින් එයා ඒක මුල් කරගෙන ආඩම්බරයක්‌ හදා ගන්නවා. එහෙම නැත්නම් 'මමත් අහවලා වගේ වෙන්න ඇති' කියල හිතනවා. ඒ පුංචි හැකියාව මුල් කරගෙන එයා ආඩම්බර කෙනෙක්‌ වෙලා. මානයට යනවා. එතකොට එයා නිවන් මඟින් ඈත් වෙලා. බොහෝ අයට මේක සිද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය. ඉතින් මේ සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය ඉක්‌මවා යන්ට අපි මහන්සි වෙන්ට ඕන. සාමාන්‍ය ස්‌වභාවය ඉක්‌මවා නොගියොත් අපට හැමදාම සාමාන්‍ය ලෝකයේ තමයි ඉන්ට වෙන්නේ. 

ඒ විදිහට, ධර්මය ඉගෙන ගන්න කොට, භාවනා කරන කොට පවා අපි තුළ ආඩම්බරය නම් හටගන්නේ අපි නිවන් මඟින් ඈතට ගිහිල්ලා. ඒ නිසා ඒ හැකියාවන් මුල් කරගෙන අපේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්ට උදව් වෙනවද කියල කල්පනා කරල බලන්න. එහෙම රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්න උදව් වෙන්නෙ නැත්නම්, ඒ හැකියාව ගැන කල්පනා කරල ආඩම්බරවීම වැඩක්‌ නෑ කියල කල්පනා කරන්න. ඒ වගේ හැකියාවක්‌ තිබුනොත් 'මේ හැකියාව මට කාටහරි උදව් කිරීම පිණිස තිබුනාම ඇති' කියල හිතන්න. මේ විදිහට ඒ හැකියාවන් මුල් කරගෙන අපේ හිතේ ඇතිවෙනවා නම් යම් අකුසලයක්‌ අන්න ඒක බැහැර කරල දාන්න.

ඊළඟට සමහර ගොඩක්‌ දෙනෙකුගේ තියෙන දෙයක්‌ තමයි, 'මට අරක බෑනේ, මට අහවල් දේ බෑනේ' කියල පසුතැවෙනවා. 'මට පාඩම් නෑ, මට භාවනා කරගන්න බෑ, මට මේක නොහැකියි...' කියල තැවෙනවා. ඒ තැවෙන්නේ තව කෙනෙක්‌ එක්‌ක සසඳල නේද...? 'අහවලාට නම් මේ දේ පුළුවන්, මට බෑ' කියල කල්පනා කරල තැවෙනවා. අන්න ඒකත් අපි බැහැර කරල දාන්ට ඕන. ඒක බැහැර කරල දාගත්තේ නැත්නම් අපි හීනමානෙට වැටෙනවා. එතකොට එයා පිරිහිලා යනවා. සමහර කෙනෙකුට අධික හීනමානයක්‌ තියෙන්ට පුළුවන්. ඉතින් අපි ඒක මුල් කරගෙන පිරිහෙන්ට ඕන නෑ. ඒක මුල් කරගෙන අපි කඩාවැටෙන්න ඕනද...? නෑ... ගොඩක්‌ අයට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා යම් නොහැකියාවක්‌ තිබුනොත් 'මට පුළුවන් විදිහට ඒක මම දියුණුකරගන්ට ඕන' කියල හිතන්න. 'මම මේ පසුතැවීම දුරුකරගන්ට මහන්සි වෙන්ට ඕන, ධර්මය පුරුදු කිරීමෙන් මේක දුරු වෙලා යයි.' මේ රාග, ද්වේෂ, මෝහ තියෙන තාක්‌ මේ දුක්‌ ස්‌වභාවයට අපිට මුහුණ දෙන්ට සිද්ධ වෙනවා...' මේ විදිහට කල්පනා කරල මේ හිතේ බිද වැටෙන ස්‌වභාවය දුරු කරගන්න. එහෙම නැත්නම් අපට දියුණුවක්‌ කරා යන්ට බැරිව යනවා. 

බොහෝ අයට සිද්ධ වෙන දෙයක්‌ තමයි, තමන්ගේ හැකියාවන් මුල් කරගෙනත් නොසන්සිදීම ඇති කරගන්නවා. නොහැකියාව මුල්කර ගෙනත් නොසන්සිදීම ඇතිකරගන්නවා. සන්සිදෙන්නේ නෑ. ඉතින් යම් නොහැකියාවක්‌ තියෙනවා නම් ඒ ඔස්‌සේ හිත විසිරුවා ගන්ට එපා...! මහත් අපහසුතාවයට පත් වෙන්ට එපා...! කල්පනා කරන්න... 'මේ ලෝකේ හැම කෙනෙකුටම හැම දෙයක්‌ම බෑ. ඉතින් මගේ යම් පුණ්‍ය ශක්‌තියක්‌ ඇත්ද ඒ ප්‍රමාණයට මට යමක්‌ පුළුවන් වෙලා තියනවා. ඒ ඇති.' කියල.ඒ විදිහට අපිට යමක්‌ ලැබුන ද, ඒ දේ ගැන හිතල සතුටුවෙන්න. නොලැබුන දේ ගැන හිතල දුක්‌ වෙන්ට එපා. අපි හැමෝටම යම් ප්‍රමාණයක යමක්‌ තියෙනවා. අන්න ඒකෙන් සතුටු වෙන්න. මොකද..? මේ සාමාන්‍ය ලෝකයේ දිනන්ට තියෙන හැකියාවන්, ඒවා අපට කොච්චර තිබ්බත් මහත් ඵල නෑ. සාමාන්‍ය ලෝකයේ දිනන්ට හේතුවෙන, පරදින්ට හේතුවෙන එක දෙයක්‌වත් අපි බාර නොගත යුතුයි. ඒක බාරගෙන වැඩක්‌ නෑ. 

මේ විදිහට අපිට කොච්චර හැකියාවන් තිබුනත්, නොහැකියාවන් තිබුනත් අපේ ධර්ම මාර්ගය තුළ ජයග්‍රහණය කිරීම සඳහා අපිට එකම එක හැකියාවක්‌ තිබ්බොත් ඇති. ඒ තමයි මේක කුසලය, මේක අකුසලය කියල අඳුර ගන්ට පුළුවන්කම. ලොව සැබෑම ජයග්‍රහණය සඳහා අන්න ඒ හැකියාව පමණක්‌ තිබුණත් ඇති. අන්න ඒ හැකියාව අපට තියෙනවා නම් අපට අකුරක්‌වත් පාඩම් නැතුවට කමක්‌ නෑ. අර කණ අත්සන ගහනවා කියල කියන්නේ (ඇඟිලි අත්සන) අන්න ඒකත් ඇති. ඒකත් බැරි නම් ඒත් කමක්‌ නෑ. වුවමනා කරන එකම හැකියාව තමයි මේක කුසලය, මේක අකුසලය කියල හඳුනගන්ට පුළුවන් හැකියාව. ඒ හැකියාව නැති කෙනෙකුට අහසින් යන්ට පුළුවන් වුනත් වැඩක්‌ නෑ.

බලන්න දේවදත්තට නොයෙක්‌ ඉර්ධි තිබුනා. ක්‍ෂ්ණයකින් වෙස්‌ මාරු කරගන්ට පුළුවන් වුනා. කොච්චර ලොකු හැකියාවක්‌ද...? හැබැයි ඒ හැකියාව එයාට වැඩක්‌ වුනාද...? නෑ. ඇයි ඒ හැකියාව එයාට ප්‍රයොජනයක්‌ නොවුනේ...? එයාට මොන හැකියාව තිබුනත් අර වුවමනාම හැකියාව තිබුනේ නෑ. එයාට මේක කුසලය මේක අකුසලය කියල අඳුරගන්ට බැරිවුනා. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ පාඩම් තියෙනවාද... නැද්ද...? කියල නෙවෙයි. ඒකෙන් මම අදහස්‌ කරනවාද පාඩම් කරන්ට එපා කියල නෙවෙයි. 'මට පාඩම නෑ...' කියල වැළපෙන්ට එපා...! 'අරයට පාඩම් තියෙනවා, මට පාඩම් නෑ...' කියල හීනමානය ඇතිකරගෙන දුක සේ වාසය කරන්ට එපා...! මොකද ඒක අනිවාර්යය අවශ්‍යතාවයක්‌ නෙවෙයි. ඊලඟට පාඩම තියෙන කෙනා 'අරයට පාඩම් නෑ. මට පුළුවන්...' කියල ආඩම්බරයක්‌ ඇති කරගන්ටත් එපා. මොකද ඒකත් අනිවාර්යය වුවමනාවක්‌ නෙවෙයි. අපි බැලිය යුත්තේ අපට කුසල් අකුසල් අඳුනගන්ට පුළුවන්ද කියලයි. අන්න ඒ කුසල් අකුසල් හඳුනගන්ට යම් කෙනෙකුට නොහැකි නම් එයාට කොයිතරම් දක්‍ෂතා තිබුනත්, එයා කොයිතරම් දක්‍ෂතා උපදවා ගත්තත් සමහර විට ඒ දක්‍ෂතා එයාගෙත්, අනුන්ගෙත් නිවන් මඟ වැහෙන්ට උපකාරී වෙන්ට පුළුවන්. ඒකයි තියෙන අනතුර. ඒ මොකද අනෙකුත් දක්‍ෂතා මුල් කරගෙන එයා මාන්නයට, ආඩම්බරයට යනවා. 

මේ නිසා අපි තුළ දියුණු කරගැනීමට මහන්සි විය යුත්තේ මේ කුසලය, මේ අකුසලය කියල හඳුනා ගැනීමේ හැකියාවයි. ඒක ඉතාම අමාරු එකක්‌. මේ ලෝකේ අමාරුම දේ තමයි මේ කුසලය මේ අකුසලය කියල හඳුනා ගැනීම. යම් කෙනෙකුට මේ හඳුනා ගැනීම කරගන්ට පුළුවන් වුනොත්, ඒ දක්‍ෂතාවය ඇතිකරගත්තොත් එයා නිවන් මඟට පිවිසෙනවා. නිවන් මඟේ දිගටම කරන්නේ කුසල් උපදවා ගැනීම, අකුසල් දුරු කිරීමයි. එහෙනම් කුසල් අකුසල් හඳුනා ගන්ට පුළුවන් වීමම තමයි නිවන් මඟේ ආරම්භය. 

ඉතින් අපි ඒ දක්‍ෂතාවය ඇතිකරගන්නට මහන්සි වෙන්ට ඕන. එතන හීනමානයට යන්නෙත් නෑ. අධිමානයට යන්නෙත් නෑ. සම මානයට යන්නෙත් නෑ. එතන තියෙන්නේ සංසිදීම. එතන ආරවුල් හටගන්නේ නෑ. වාද විවාද හට ගන්නේ නෑ. එතන පිරිස බිඳිල යන්නේ නෑ. එතන තියෙන්නේ සමඟිය. මිත්‍රකම. එයාල කිරියි දියයි එකතු වුනා වගේ මිහිරි සේ වාසය කරනවා. ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ පිරිස වාසය කරනවා. 

ඒ නිසා බාහිර හැකියාවලට ලකුණු දීලා ඒ ඔස්‌සේ ඔබේ හිත පිරිහෙන්ට දෙන්ට එපා. ඒවාට ලකුණු දෙන්නම එපා. ඒවා වැඩක්‌ නැති දේවල්. රාගය ඇවිල්ලා ඒ රාග ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ.

ඒ වගේම තමයි ද්වේෂය ඇවිල්ලා ඒ ද්වේෂ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. ඒ වගේම තමයි මෝහය ඇවිල්ලා ඒ මෝහ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. හිතේ ඉරිසියාව ඉපදිලා ඒකෙන් හිත පිච්චෙන කොට, කුහකකම, එකට එක කරන ගතිය, වාද කරන ගතිය ඉපදිලා ඒවායින් හිත පිච්චෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක්‌ නෑ. ශරීරය ලෙඩ වෙලා, ඒ ලෙඩවලට හිත යටවෙලා මහා දුකෙන් තැවෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක්‌ නෑ. කෙස්‌ පැහිලා, දත් කැඩිලා, හම රැලි ගැහිල, ශරීරය විකාර වෙලා වයසට යන කොට ඒකෙන් හිත කම්පා වෙලා මහා දුකෙන් අඩන කොට ඒ දුක නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. මරණයට ළං වෙලා මරණය ඉදිරියේ භයේ ගැහි ගැහී මහා දුකෙන් අඩන කොට ඒ ගිනි නිවාගෙන සැනසෙන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ. 

ඒ නිසා මේ සාමාන්‍ය ලෝකය දිනන්ට පුළුවන් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක්‌ නෑ, ඒක අපේ දුක සන්සිදුවන්නේ නැත්නම්. නමුත් යමෙකුට මෙයයි කුසලය, මෙයයි අකුසලය කියල තමන් තුළම කුසල් අකුසල් දැනගැනීමට යම් හැකියාවක් තියෙනවා නම් දුකෙන් නිදහස්‌ වෙන්ට උපකාර වන්නේ ඒකමයි. ඒ නිසා අපි කවුරුත් අපි ලඟ යම් සාමාන්‍ය හැකියාවක්‌ තියෙනවා නම්, ඒවායින් මත් වෙන්නේ නැතිව, ඒවායින් ආඩම්බර නොවී, අන් අයට උපකාර කිරීම සඳහා පමණක්‌ ඒවා පාවිච්චි කරන්ට ඕනැ. අපි කවුරුත් අප තුළ ඇති කරගැනීමට කැමති විය යුත්තේ සියලු ගිනි නිවීමෙන් සැනසීම ලබාගන්ට උපකාර වන කුසල් අකුසල් දැනගැනීමේ හැකියාවයි. ලෝකය උතුම් වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශාන්ත වන්නේ, ලෝකය සුන්දර වන්නේ මේ හැකියාවෙන්ම යි...

සියලු දෙනාටම තෙරුවන් සරණ යි..!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

සදහම් මඟට පිවිසෙන ඔබට

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

අප යම් දවසක දුකින් සිටියේ ද, කෙදිනක හෝ සතුටින් සිටියේ ද, එසේ නම් භාවනා පුහුණුව ආරම්භ කළ යුතු වන්නේ ද එතැනය. ඒ සත්‍යය පවතින්නේ මෙතැන වන නිසාය. දුකට මෙන් ම සතුටට පත් වන්නේ මනස ම වන නිසාය. එසේ නම් දුක හෝ සතුට නැති වන්නේ ද ඒවා පහළ වූ මනසින් මයි. ළිඳට වැටුණු මිනිසා ගොඩ විය යුත්තේ ද වැටුණු ළිං කටින්ම යි. අප කොපමණ අවස්‌ථා රාශියක දී දුකට පත් වී තිබේ දැයි දන්නා නමුත් දුකට පත් වූයේ කුමන හේතුන් නිසා ද යන්නත් දුක නැති කරන මාර්ගය ගැනත් කෙදිනක හෝ සොයා දැන ගැනීමට උත්සාහ ගෙන තිබේද? ඒ ගැඹුරු දැක්‌ම අපට ලබා ගැනීමට අපොහොසත් වී තිබීම මොන තරම් අභාග්‍යයක්‌ ද?

දුකෙහි ප්‍රභේද දෙකකි. ඉන් එකක්‌ වන සංස්‌කාර ස්‌වභාවය තුළ පවත්නා දුක සාමාන්‍ය ආකාරයෙන් පවතින දුක වේ. එකම ඉරියව්වකින් ටිකවේලාවක, සිටීම දුකය. හැඳගෙන ටික වේලාවක සිට සිටගන්නේ ආදී වශයෙන් ඉරියව් මාරු කරන්නේ මේ නිසා යි. අප සැපය හැටියට ගන්නා දෙය හා දුක අවබෝධ කර ගැනීම තුළින් ඒවා, අභිබවා නැඟී සිටීමේ ක්‍රමය බුදුන් වහන්සේ දැනගත් සේක. සංස්‌කාර ගමන් කරන්නේ ඒවාටම අවේනික ගමන් මාර්ගයක ය. අප කාටවත් අවශ්‍ය ආකාරයට ඒවා ගමන් කරවිය නොහැකිය. උපතේ සිට ළදරු, ළමා, තරුණ, මහලු අවධිවලට අපව ඇදගෙන යනු ලබන්නේ සංස්‌කාර වල ක්‍රියාකාරිත්වය විසිනි. අප ගන්නා හුස්‌ම පිට කළ යුතුමය. පිටකර නැවත හුස්‌ම ඉහළට ගෙන පෙනහලු පුරවා ගත යුතුය. මෙය නොකඩවා සිදු කළ යුතුය. හුස්‌ම ඉහළට ගැනීම පමණකින් නවතාලිය නොහැක. ජීවිතය යම් කාලයකට පවත්වා ගත හැක්‌කේ හුස්‌ම ඉහළ පහළ හෙළීමේ සංස්‌කාරමය ක්‍රියාවලිය නොනැවතී පැවතීම නිසා ය. මෝටර් රථයක එන්ජිමේ එක්‌ පිස්‌ටනයක්‌ උඩට එන විට අනෙක්‌ පිස්‌ටනය පහතට යයි. මේ ක්‍රියාවලිය නොනැවතී සිද්ධ වීම නිසා එන්ජිම ක්‍රියාත්මක වේ. ඉහළ ගිය පිස්‌ටනය ඉහළට ගොස්‌ නැවතුණොත් එවිගසම එන්ජිමේ ක්‍රියා කාරිත්වය නතර වේ. අපේ ශරීර යන්ත්‍රයද එබඳුය.

දෙවැනි වර්ගයේ දුක පිටතින් පැමිණෙන දුකය. අසනීපයකදී එන්නත් හා ශල්‍ය කර්ම ආදියේදී ද දැනෙන දුක මෙන් ම සුවිශේෂ දුකක්‌ වන්නේ දේවල් තදින් ආශාවෙන් අල්ලා ගැනීම හෙවත් උපාදානය නිසා ඇතිවන දුකය. උපාදානයේ තරමට ම දුක ද වැඩි වේ. ධර්මය දැකීම යන්නෙන් අදහස්‌ වන්නේ ලෝකයේ ස්‌වභාවය හරි හැටියට දැක ගැනීමයි. සංස්‌කාරික ක්‍රියාවලිය සොබා දහමට අනුව ඒ හැටියට ම සිද්ධ වේ. එය එසේම සිද්ධ වන බව අවබෝධ කර ගැනීම තමයි ධර්මය දැකීම යන්නෙන් අදහස්‌ කරන්නේ. අනිත්‍යතාව දැකීමත් එයම වේ. ලෝකය අප දන්නා පරිදි පවතින්නේ මේ අනිත්‍යතාව මත පදනම් වූ වෙනස්‌ වීම මතය. සෑම දෙයකටම ආවේනික වන අනිත්‍යතා ධර්මය දැකීම ඒවා අතහැර දැමීමට ඇති එකම මාර්ගය වන්නේ ය.

බුද්ධ දේශනාව පරිදි ලෝකයේ යථා ස්‌වභාවය අපට අවබෝධ කළ හැකි වන්නේ ධර්මය පුහුණු කිරීම හෙවත් භාවනාව තුළිනි. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන්ම දැක ගන්නා තුරු අපි ලෝකය හා ගැටෙනු ඇත. ගැටී දුක්‌ විඳිනු ඇත. එහෙම වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට අපේ ශරීරය ඇතුළු හැම දෙයක්‌ ම පැවතිය යුතුය යන හැඟීම ඇති නිසාය. සංස්‌කාර ධර්මයන්හි සැබෑ හැසිරීම දැනගත හැකි වෙන්නේ භාවනා පුහුණුව තුළිනි. කය වයසට යත්ම වැහැරී අබල දුබල වෙත් ම අපි දුක්‌ වෙමු. එහෙත් පලක්‌ නැත. එහි හැටි එසේ ම වේ. සංස්‌කාර ස්‌වභාවය දැනගත් පුද්ගලයාට රෝගයක්‌ වැළඳුණ විට මා මරණයට පත්වන්නට එපා යෑයි නිකමට වත් කියන්නේ නැත. මැරුණොත් එසේ වූවා වේ. නොමළොත් එසේ වූවා වේ, යෑයි කියනු ඇත. එහෙම වෙන්නේ ස්‌වභාව ධර්මය හඳුනාගත් මනසක්‌ තිබීම නිසාය. මේ කාරණය අපට වචන වලින් උඩින් පල්ලෙන් තේරුම් ගත හැකි වුවත් එය සැබෑ අවබෝධය නොවේ. සැබෑ වශයෙන් අවබෝධ කර ගෙන තිබේ නම් අකුසල් කරමින් විකාර නටන්නේ නැ. ලෙඩක්‌ හැදුන විට මරණයට පත් වෙතැයි බිය වන්නේ සැබෑ අවබෝධයක්‌ නැති නිසා නේද? මේ සැබෑ අවබෝධය ලබන්නේ භාවනාව තුළින්ය. සසරින් මිදීමට භාවනා පුහුණුව අවශ්‍යම යෑයි වදාළ හේතු දැන් අපට තේරුම් ගත හැකිනේද?

බුදු දහම එදාට මෙන්ම අදටත්, ඉදිරි කාලයටත් එක සේ අදාළ වේ. සත්‍යය වන කිසිවකට කාල නියමයක්‌ නැත. සෑම දෙයකම පවතින නොවෙනස්‌ වන ධර්මතාව වූ අනිත්‍යතාව අවබෝධ කර ගැනීම බුද්ධ ස්‌වභාවය අවබෝධ කර ගැනීමක්‌ ය. එවිට මා මගේ යන වැරදි ආකල්පය දෙදරා ගොස්‌ දේවල් හෝ පුද්ගලයන් හැටියට ගත හැකි කිසිවක්‌ නැත යන අනාත්ම ධර්මය අවබෝධ වීමට පටන් ගනී.

සතුටක්‌, සැපයක්‌ ඇති වූ විට එය මට අයිති දෙයක්‌ නම් එම සතුට සැපය මට අවශ්‍ය කාලයක්‌ නැතහොත් සදහට ම මා වෙත තබා ගත හැකි විය යුතුය. එහෙත් එය එහෙම වේද? කෝපයක්‌ ද්වේෂයක්‌ පැන නැඟුණු විට, වහාම එය මට අවශ්‍ය නැත. ඉවත් වන්න කියා පන්නා හැරිය හැකිද? සතුට හෝ තරහ අප කිසිවෙකු සතු දෙයක්‌ නොවන නිසා අපේ අණසකට ඒවා යටත් නොවේ. දුක හෙවත් කණස්‌සල්ලට හේතු වන්නේ සතුට කෝපය හෝ එවන් ඕනෑම සංවේදනයක්‌ මගේ පෞද්ගලික දෙයක්‌ හැටියට අල්ලාගෙන සිටීම නිසාය. මනස තුළ පහළ වන සතුට, ද්වේෂය, ආදරය. වෛරය ආදී කිසිවක්‌ අප රිසි පරිදි නොසිටින්නේ ඒවා හුදු මිරිඟුවක්‌ ම වන නිසාය. මනස මොන තරම් මායාකාරී දේවලට රැවටේදැයි කිවහොත් අප තුළ ද්වේෂය. තරහ, කෝපය ඇතිකර මුළාවට පත්කර තිබේද? ඒ කිසිවක්‌ අපට අයත් නොවේ.

පිරිසිදු කළ යුත්තේ සිතය

ශරීරය ඇතුළු සෑම දෙයකම පිරිසිදු කම රැක ගැනීමට වෙහෙසෙන අප අපේ හිත පමණක්‌ ඔහේ තිබෙන්නට ඉඩ දී බලා සිටීම අනුවණ කමක්‌ය. හිතේ කිලුට, අපවිත්‍ර කම, සසල කම අප ගණන් ගන්නේ නැත. අපේ ජීවිත තුළ මට, මගේ, මගේ ආත්මය යයි මුල් බැස ගෙන තිබෙන වැරදි දැක්‌ම (සක්‌කාය දිට්‌ඨිය) මුලිනුපුටා දැමිය යුතුය. මේ වැරදි දැක්‌මට හේතු වී තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව ඇස කන ආදී ආයතන සයයි. මේ කඩතුරාව, පාට කණ්‌නාඩිය ඉවත් කිරීම උදෙසා භාවනා පුහුණුව අවශ්‍ය වන්නේ කුමක්‌ නිසාද? පොත පත කියවීමෙන්, බණ ඇසීමෙන් අප තුළ වැඩෙන්නේ දහම් දැනුම යි. දැන ගත් පමණින් සිත අභ්‍යන්තරයට යෝනී ප්‍රදේශයට පිවිස පරිවර්ථනයක්‌ සිද්ධ නොවේ. හිත විසින්ම හිත පිරිසිදු කරන ක්‍රමය ලවා භාවනාව නිර්දේශ කර වදාළේ ඒ නිසාය. අපේ ජීවිතයේ සමස්‌ත කාර්ය සම්භාරය තීරණය කර හදා වඩා අප වෙත ප්‍රදානය කර දී තිබෙන්නේ හිතය.

එබැවින් අපේ ජීවිත වලට බලපා අපව හැසිරවීමට වග බලා ගන්නා හිත පිරිසිදුව තබා ගැනීමේ අතිමහත් වගකීම අපට තේරුම් ගැනීම අපහසුද? සක්‌කාය දිට්‌ඨිය යන වැරදි අවේෂය මුලිනුපුටා දැමීමෙන් හැර කෝපය, ද්වේෂය ආදී ඕනෑම අවේගයක්‌ සිතින් බදාගෙන දුක්‌ විඳීමෙන් නිදහස්‌ වීමට අන් ක්‍රමයක්‌ නැත. ඒ එකම ඉගැන්වීම හිත පුහුණු කිරීමයි. ඕනෑම දෙයක්‌ ස්‌ථිරව පවත්වා ගැනීමට සිතන ඕනෑම කෙනෙක්‌ දුකට පත්වීම ඒකාන්තය. හැම දෙයක්‌ම, හැම සිතිවිල්ලක්‌ම අස්‌ථිර බව දකින විට කල කිරීමට පත් වූවත් එසේ දකින දැක්‌ම නිසා ඔහුට සැනසිලි සුවය අත්වේ. ලෝකයේ හැටි නියම ආකාරයෙන් දැක ගන්නට ලැබීම මොන තරම් භාග්‍යයක්‌ ද? එය අන්ධ වී සිටි අපට ඇස්‌ ලැබීම හා සමාන වේ.

ධර්මය සැබැවින්ම අවබෝධ කළ හැක්‌කේ තමාගේම මනස හා ශරීරය ඇසුරිනි. ශරීරයේ ධර්මතා ශරීරයෙනුත්, මනස හා සම්බන්ධ ධර්මතා මනෝනේත්‍රය තුළිනුත් දැක ගත යුතුය. ශරීරය දෙස බැලිය යුත්තේ ද මනසින් ය. එසේ නැතිව සතුට ලබාගත හැක්‌කේ ගස්‌, වැල්, ගංගා, තණපිටි, කඳු, උද්‍යාන ඇසුරින් නම් නොවේ. සතුට හෝ දුක්‌ වේදනා පහළ වන්නේ අපේම ශරීරය හා මනස තුළ විනා අන් කිසිම තැනක නොවේ. පොත පත කියවා ඒවා තුළ ධර්මය සොයන්නට වෙහෙස නොවන්න. එවායින් අපට කිසි දිනක ධර්මය හමු නොවේ. පොත පතෙහි ඇතුළත් දේවල් අපේ අභ්‍යන්තරයට යොමු කොට විමසා බැලිය යුතුය. සත්‍ය ධර්මය පවතින්නේ අපේ ශරීරය හා මනස තුළ නිසාය. ශරීරය ගැන සොයා බැලීමට මනසට භාර දෙන්න. භාවනා පුහුණුව තුළින් මනසත් ශරීරයත් දැක ගන්න.

ධර්මය දකින්නේ ප්‍රඥවෙන්ය. භාවනාව තුළින් ශරීරය ගැන සොයා බලන විට ප්‍රඥව පහළ වේ. ප්‍රඥ ඇසින් ශරීරය පමණක්‌ නොව ලොව කොතැනක බැලුවත් ධර්මය දැකගත හැකිය. මුලු ලෝකය පුරාම දක්‌නට ලැබෙන්නේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ධර්මතා හැර අන් කිසිත් නැති බව ප්‍රඥ ඇසට හසුවේ. සම්මුතිය මතම පිහිටා ජීවත්වන අපට සත්‍යය නොපෙනේ. ගස්‌ ගල්, ඇළ දොළ, මිනිසා, ගවයා ආදී වශයෙන් දකින අප මේ හැම දෙයක්‌ම සම්මුතීන් බව අවබෝධ කළ යුතුය. මිනිසුන් වෙන්කර හඳුනා ගැනීමට හැඩ රුව හා නම් ගම් දී තිබේ. මිනිසා යනු නාම රූප ධර්ම පොදියක්‌ වශයෙන් හරි දැකීම ඇති තැනැත්තා හඳුනා ගනී. රූපය සතර මහා ධාතුන්ගෙන් සෑදී තිබේ. ලොව හැම දෙයක්‌ම සිව් මහා භූතවලින් නිර්මිත වේ. නාම යනු - වේදනා (විඳීම), සංඥ (හඳුනා ගැනීම), සංස්‌කාර (සකස්‌ වීම් ෙච්තනා කුසලාකුසල) විඤ්Æණ (දැන ගැනීම) යන සතරය.

සම්මුතිය අවශ්‍ය වන්නේ යමක්‌ හඳුනා ගැනීමටයි. සැබෑ ලෙසින් නම් පුද්ගලයෙක්‌, කෙනෙක්‌ නැත. ඇත්තේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මූලධාතු සතරින් සැකසුණු රූපයකි. මේ මා නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් දැකීම උසස්‌ ම භාවනාව යයි බුදුන් වහන්සේ වදාළහ. කොයි මොහොතේ හෝ අපේ සිරුර මේ මූලධාතු සතරට බෙදී යන බවත් ඒ නිසා අනිත්‍ය බවත් මගේ නොවන බවත් අවබෝධ වනු ඇත. මෙය අවබෝධ කර ගැනීමට අපහසු විය හැක. එහෙත් දැන ගත නොහැකි දෙයක්‌ නොවේ. යම් හෙයකින් දැන ගතහොත් අපේ හදවත් තුළ නිරන්තරයෙන්ම ධර්මය පවතින නිසා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන කිසිවක්‌ පැවතිය නොහැක. මක්‌ නිසා ද යත් අප හැම කෙනෙක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූළධාතුන් ම මිස අන් විශේෂ යමක්‌ නොවන නිසාය. මෙසේ ලබන අවබෝධය තරම් උත්කෘෂ්ඨ අවබෝදයක්‌ තවත් තිබේද?

බුදුරදුන් දේශනා කළේ මෙතෙක්‌ නොවූ විරූ (පෙර බුදුවරුන් දෙසූ පරිදි හැර) දහමකි. ඒ වූ කලී සියලුම දුක්‌ඛ දොaමනස්‌සයන් සදහට ම නැති කර දැමිය හැකි දහමක්‌ය. ධර්මය ගැන යම් වැටහීමක්‌ තිබේ නම් අපකළ යුත්තේ අපට කරන්නට ඇති දෙය පමණි. අවශ්‍ය වන්නේ සිහියෙන් යුතුව විසීමයි. මිනිසුන් සුන්දරත්වයට වශී වෙයි. ඇලෙයි. සුන්දර දැයෙහි සෞන්දර්යය පවතින්නේ දින කීපයකට හෝ යම් සීමිත කලකට පමණි. වෙනස්‌ වීම, මැලවීයැම, දිරාපත් වීම එහි ධර්මතාවයි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ සුන්දරත්වය දකින්න එහෙත් ඇලෙන්න එපා කියලයි. ප්‍රසන්න, හොඳ මනස්‌කාන්ත දේවල් වල එම ස්‌වභාවයන් ස්‌ථිර නොවේ. තාවකාලික ය. ස්‌ථිර වූ කිසිවක්‌ මේ ලෝකයේ නැත. සත්‍යය එයයි. සුන්දර දේවල්වල සුන්දරත්වය වෙනස්‌ වූ විට අපේ හද කම්පා වෙයි. හඬා වැළපේ. එහෙම වෙන්නේ ඒවායේ යථා ස්‌වභාවය වූ අනිත්‍යතාව, අස්‌ථිර බව නොදන්නා නිසාය. අපගේ දැකීමේ වරද එයයි. මෙම ස්‌වභාවය දැකීම ප්‍රඥව ඇතිකර ගැනීම වේ. සම්මා දිට්‌ඨිය ප්‍රඥව ජනිත කරයි.

අනිත්‍යතාව වනාහි ලොව සත්‍ය වූ ධර්මතාව යයි දැන් අපි දනිමු. දැන ගැනීම ප්‍රමාණවත් නැත. එය අප ධර්මය තුළින් දැක ගත යුතුය. ලස්‌සන යමක්‌ දකිනවිට එහි නොඇලී එය එසේ නොවේ යෑයි අපට ම පවසා ගත යුතුය. අවලස්‌සන දෙයක්‌ දකින විටද එසේ නොවෙතැයි පවසා ගත යුතුය. දේවල් තුළින් සත්‍යය දැක ගත හැකි වන්නේ එවිට ය. එසේම සත්‍යය නොවන දේවල් තුළින් සත්‍යය දැකීමටත් අස්‌ථිර දේවල් තුළින් ස්‌ථිරතාවක්‌ දැකීමට හැකි වන්නේ එවිටයි.

මෙසේ අප විස්‌තර කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක, දුකට හේතුව, දුකෙහි සංසිඳීම හා දුක නැති කිරීමේ මග යන සත්‍ය සතරය. මනස පුහුණු කිරීම තුළින් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දැක ගත්විට දුක නැතිවේ. හැබැයි යමක්‌ ලබා ගැනීමේ ආශාවෙන් භාවනා නොකළ යුතුය. භාවනා කරන්නේ සියල්ල අත හැරීම සඳහාය. අවබෝධයට හෝ ඉගෙනීමට ආශාවක්‌ පවතින තෙක්‌ අවබෝධය නම් නොලැබේ. අප භාවනාව තුළින් කරන්නේ මෙය ආත්මයක්‌ නොවේ, යනුවෙන් දැකීමට හා මෙය මා හෝ කිසිවෙකු නොවේ යනුවෙන් දැකීමටය. ඒ වනාහි ගමනාන්තයට පැමිණ නතර වීම බඳුය. මෙසේ ශරීරය ද මනසද නැවතීමට පැමිණේ. මෙය තේරුම් ගැනීම අසීරුය. අවබෝධත්වයට පැමිණි විට සියල්ලම ධර්මය පවා අත්හැර දමනු ඇත. දුකෙහි සංසිඳීම යනු එයයි. ධර්ම පුහුණුවට වඩා තවත් ශ්‍රේෂ්ඨ දෙයක්‌ ලෝකය තුළින් නම් සොයා ගත් නොහැක. මුලු ලොවම උසුලනු ලබන්නේ ධර්මය විසින්ය. මිනිසුන්ගේ සිත් දැන් දැන් අවුල් වී ප්‍රචණ්‌ඩ වී බිහිසුනු වී තිබෙන්නේ ධර්මය කෙරෙන වඩවඩාත් ඈත් වී සිටින නිසාය. ධර්මය අප තුළ තිබේ නම් අප සෑහීමට පත්වනු ඇත.

ධර්මයෙහි ඇති සියල්ලම වාක්‍ය තුනකින් ප්‍රකාශ කළ හැකි වේ. 1. සබ්බ පාපස්‌ස අකරණං, 2. කුසලස්‌ස උපසම්පදා, 3. සචිත්ත පරියෝදපනං යනු ඒ කරුණු තුනය. බුදු වරු සියල්ලෝම මෙසේ වදාළහ. බුදු දහමේ හදවත වැනි මේ ගැන කාටවත් නිසි අවබෝධයක්‌ නැති තරම්ය. තුන් දොරින් ම සිදුවන අකුසල් වලින් වැළකිය යුතු බව සියලුම බුදුවරු දේශනා කළහ.

යහපත් දේවල් කිරීමට මිනිසුන්ට අවශ්‍යය. එහෙත් එය වචනයකට, සිතිවිල්ලකට පමණක්‌ සීමා වී තිබෙන්නේ සිත, කය, වචනය පළමුව පවිත්‍රව තබාගෙන කුසලය දෙසට සිත නොනැමීමයි. කිලිටි රෙදිකඩකට සායම් පෙවිය හැකිද? අපිරිසිදු රෙදිකඩක්‌ සායම් ගැල්වූ විට ලකයක්‌ නැත. එය තිබුනාටත් වඩා කැත වේ. මෙසේ තම තමන් අතින් සිදුවන වැරදි අත නොහැර යහපත් දේ කිරීමට යැමෙහි අර්ථයක්‌ තිබේද? වැරදි අතහරින්නේ කොහොමද? බොරු කීම, සොරකම, සතුන් මැරීම, මත් භාවිතය සුලභව සිදුවන අකුසල යන්ය. නිසරු දේවල් කතා කිරීම, ඉරිසියාව, මාන්නය, ලෝභ කම හා මසුරු කම, ආදී තවදුරටත් සිදු විය හැකි අකුසල් වේ. මේවායින් ඉවත් නොවී රැස්‌කරගන්නා කුසලය කෙබඳු වේද? අපිරිසිදු සිත කුසලයට නොනැමේ. රෙදිකඩ අපිරිසිදු නම් වර්ණ ගැන්වීමට පෙර හොඳින් සේදිය යුතුය.

'සබ්බ පාපස්‌ස අකරණං' යනු සියලුම පව් කම් වලින් දුරු වීමයි. පව් කර කර කුසල් සෙවීම වනාහි සෝද සෝදා මඩේ එබීමක්‌ වැන්න. බුද්ධාවවාදය කෙරෙහි නිරතුරුව සතිය පිහිටුවා ගත යුතුය. කරන්නට අදහස්‌ කරන දේ හා කරමින් සිටින දේ අතර පරස්‌පරය දැක ගත හැකි වන්නේ එවිටයි. අකුසල් මතට කුසල් මුසු කිරීමෙහි අර්ථයක්‌ තිබේද?

හොඳට නරකට දෙකට කටම යයි ආප්තයක්‌, දැනමුතු කමක්‌ තිබේ. මෙහිදී අප එය තවදුරටත් නිවැරැදි කරන්නේ නම් හොඳ නරක දෙකටම මුල් වන්නේ සිත කය හා වචනයයි. එය හරිදැයි සිතා බලන්න. අප අවධානය යොමු කළ යුතු තැන මෙතැනය. බොහෝ අපූරුවට ගෙය වත්ත පිටිය පිරිසිදුවට තබා ගන්නා අතරතුර අප නිකමටවත් සිත දෙස බලන්නේද? නිවස සේම සිතත් පිරිසිදු නම් පමණක්‌ කුසලයට යොමු වෙන්න. කුසලය කියන්නේ පිරිසිදු සිතක පමණක්‌ පහළ විය හැකි ෙච්තනාවකි.

හොස්‌ස දික්‌ කරගෙන, මුහුණ පුළුටු කරගෙන කිසිවක්‌ නොකරන්න. උයන පිහන විට, ඇඳුම් අපුල්ලන විට හිත ඒ දිහාවට පමණක්‌ යොමු කරන්න. මිදුල් අමදින විට හිත මිදුලත් ඉදලිනුත් බැහැරව නොයවන්න. අපි අතින් බොහෝ වැරදි සිදුවන්නේ තමන් දෙස නොබලන නිසාය. කාටවත් නොපෙනෙන්නට මත් දෙවල් භාවිතය වැනි දෙවල් කරන්නේ අකුසලයක්‌ නොවේ යෑයි සිතා ගෙන ද? එයින් රැවටෙන්නේ තමාමය. සිත ඔබේ අනුවණ ක්‍රියාව දෙස උපහාසයෙන් බලා සිටින බව දැන ගන්න. හෘදය සාක්‍ෂිය ඔබට කුමක්‌ කියාවිද? මේ පුද්ගලයන් කිසි දිනක ධර්මය නොදකිනු ඇත. ඕනෑම වැරදි දෙයක්‌ කරන්ට යන විට ඒ දෙසට ඔබේම සිත යොමු කරන්නේ නම්, එනම් හදවතින් බලන්නේ නම් එයින් මිදීමට බැරි කමක්‌ නැත. ධර්මය දකින්නේ එකවරම නොවේ. වැරදි අත හරිමින් ධර්මයේ පහස ලැබීමට හදවත විවෘත කර තබා ගන්න.

අයහපත හැර දමා යහපත පුහුණු කරන්නේ කොහොමද? කුසලස්‌ස උපසම්පදා යන බුද්ධෝපදේශය වරදවා තේරුම් අරගෙන කුසල් සොයමින් රට පුරා සැරිසරන්නේ මොකටද? ගත කරන ඕනෑම මොහොතක අපේ සිත් කුසලයට යොමු කළ නොහැකිද? නිකරුනේ මුදල් යහමින් වියදම් කරමින් විනෝදය යටිහිතේ තබා ගෙන රට පුරා සංචාරය කළ යුතු නොවේ. කළ යුත්තේ තම සිතම හඳුනා ගෙන කුසලය දෙසට නැඹුරු වීමයි. රට පුරා සැරි සැරූ බොහෝ දෙනෙක්‌ කුසල් මුන ගැසෙන තුරු කොපමණ දුර ගමන් කළත් ආපසු එන බව පෙනෙන්නේ හිස්‌ අතිනි. මේ දේවල් අප නොදන්වා නොවේ. සැබෑ වශයෙන්ම දැන ගැනීම නම් හදවතින්ම දැන ගැනීමයි. අපේ සිත් දැහැමි හා හොඳ නම් අප මොන දේවල්වලට මුහුණ පෑවත් හැම විටම සතුට පවතී. සිනාසීම ද කරන්නේ මුවින් පමණක්‌ නොව හදවතිනි. එසේම එම සතුට හෝ සිනහව තාවකාලික එකක්‌ නොවේ.

අපට අවශ්‍ය පරිදි යම් යම් දේවල් සිද්ධ වනවා නම් පමණක්‌ අපි සිනහසෙමු. සතුටු වෙමු. එසේ නොවන විට දුක්‌ වෙමු. සිතා බලන්න අපේ කැමැත්ත පරිදි ලෝකයේ දේවල් සිද්ධ වේද? මගේ කුඹුරෙන් මට වී මලු තිහක්‌ අවශ්‍ය වේ. එහෙත් ලැබුණේ මලු දහයකි. මට හැŽමට සිදුවේ. මා දුක්‌ වූයේ කුමක්‌ නිසාද? දේවල් වල යථා ස්‌වභාවය හා අනිත්‍යය නොදන්නා නිසා ය. මේ සියල්ල හේතුන්ගේ ප්‍රතිඵල නිසා වේ. ධර්මය අපේ පිහිටට සිටින්නේ මේ තැන් වලදීය. මහ මගදී මට හමුවූ යම් පුද්ගලයෙකු ඔහුගේ කෙසෙල් කැන මා හොරෙන් කපා ගත්තා යෑයි මට නොසරුප් බස්‌ පවසයි. මෙහිදී මා කලබල විය යුතු නැත. කනගාටු විය යුතු ද නැත. සැබෑ සොරා දැනගත් විට ඔහුට පසු තැවීමට සිදුවන තෙක්‌ ඉවසනු යෑයි ධර්මය මට පවසනු ඇත. සතුටට හේතුවන දේවල් ම උරුමකර ගෙන විසීම කිසිවෙකුට කළ නොහැක. මේ විදියට සතුට සොයා යැම මුළාවකි. ධර්මය දුටු තැනැත්තා හැම විටම සතුටිනි.

ධර්මය අවශ්‍ය සතුට සඳහාය. විභාගයට පෙනී සිටින දරුවා සමත් විය යුතුම යයි සිතන්නේ නම් අසමත් වුවහොත් දුකටද මුහුණ දීමට දක්‍ෂ විය යුතුය. ළමයා ධර්මය දකී නම්, අසමත් වීමද ඔහුට ප්‍රශ්නයක්‌ නොවේ. කුඹුර පාලු වුවහොත් එසේ වූවාවේ, සරු වුවහොත් එයත් එසේ වූවා වේ යයි සිතන ගොවියා පරිද්දෙන් ළමයා ද සිතන්නේ නම් දෙදෙනාම ධර්මය දුටු අය වේ.

කසළ දුහුවිලි ඉවත් කර නිවස පවිත්‍ර කරන්නා සේ මනස පිරිසිදු කළ යුත්තේ කෙලෙස්‌ කුණු ඉවත් කිරීමෙන්ය. "සචිත්ත පරියෝ දපනං" යන්නෙන් අදහස්‌ කළේ එයයි. කෙලෙස්‌ දුරු කළ සිත හැම විටම ශාන්තය. බාහිරින් එල්ල වන ප්‍රහාර ධර්මය දුටු සැනින් මනස හමුවෙහි බෙලහීණ වී යයි.

සතුට උදෙසා ධර්මයේ පිහිට හැර අන් පිහිටක්‌ නැත. ධර්මයේ පහසින් තොර ප්‍රීතියේ ආයු කාලය ඉතා කෙටිය. හේතුන් නිසා ඇතිවන ඒ සතුට හේතුව නැතිව ගිය වහාම අහෝසි වේ. ධර්මය දුටු තැනැන්තාට හැම තැනම දිස්‌ වන්නේ ධර්මයයි. අප බලා පොරොත්තු වන සතුට හැම විටම ලබාගත හැකිද? වෙන දෙයක්‌ කුමටද අපේ සිතිවිලි පවා සමහර විට අපට ප්‍රිය නැත. නිවසේ බඩු මුට්‌ටු වල අතපය හැපුනත් ඒවා ඒ තැන්වල තැබූ අයට දොස්‌ තබනු ඇත. තමාගේ ම මනසේ ඇති වරද නොපෙනේ.

ඇතැම් විට අපි දකින දකින හැම දෙයක්‌ කෙරෙහි ද්වේෂ කරමු. මෙහිදී අප අපේ මනස දෙසම විපරම් කළ යුතුය. පිරිසිදු කළ යුත්තේ මනසම විනා බාහිර කිසිවක්‌ හෝ කිසිවෙකු නොවේ. නුපුහුණු, මනස අයහපතට ම බර වේ. අප පුහුණු විය යුත්තේ අපේ වචන, ක්‍රියාවන් හා සිතිවිලි ඇසුරෙහි විනා අන් කිසික්‌ නොවේ. ධර්මය දකිමින් ප්‍රඥව පහළ වන විට, අප කොතැනට ගියත් සාමය පවතී. සොබා දහම පවතින්නේ පැවතිය යුතු සුදුසුම අයුරු විනා වෙන විදියකට නොවේ. සියල්ල කැටි කර ගත් විට සියල්ල ධර්ම ස්‌වභාවය නම් වූ එකම ගණයට වැටේ. ඒ සියල්ල නිත්‍ය ලෙසම අනිත්‍යය.

කුසලයක්‌ කළ විට එය තැන්පත් කර තබා ගත යුතු හොඳම නැත හදවතය. අපේ උත්කෘෂ්ට ස්‌වභාවය මනස තුළින් ම පුබුදුවා ගැනීමට වෙර දරන්න. හොඳ හෝ නරක බාහිර කිසිම තැනක නැත. එය පවතින්නේ අපේ මනස තුළමය. අයහපතින් වැළකී සිටින තරමට අප ගැන වඩාත් පැහැදිලිව අපටම දැනගත හැකි වන්නේය.

ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න
අති පූජ්‍ය අචාන් චා මාහිමියන්ගේ
සජීවි දහම (ඛසඩසබට Dය්පප්) කෘතිය ඇසුරිනි

බුදු දහමෙහි උගන්වන සමානත්මක ධර්මය

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

 තෙමඟුල සිහි කෙරෙමි.

චත්තාරි මානි භික්‌ඛවේ සංගහං වත්ථුනි කථමානි දානං පෙයායවඡ්ජං අත්ථ චරියායං සමානත්ථතා ඉමානි භික්‌ඛවේ චත්තාරි සංගහ වත්ථුනි, අංගුත්තර නිකායේ සඳහන් වන මේ සතර සංග්‍රහ වස්‌තුන්ගෙන් එකක්‌ වන සමානාත්මතාව පිළිබඳව පරීක්‍ෂා කරන්නෙකුට බුදුරදුන්ගේ තිබෙන උදාර ගුණය, පොදු සාමූහික වැදගත්කම මනාව පැහැදිලි වේ. ලෝකයේ ජීවත්වන තිබෙන, පවතින දැ හැම එකක්‌ අතුරින් ජීවත්වන මනුෂ්‍යයා පමණක්‌ මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග කිරීම අපහසු බව බුදුරදුන් වා සෙට්‌ඨ සූත්‍රයේදී දේශනා කළ සේක. නමුත් එකල ඉන්දීය සමාජයේ බ්‍රාහ්මණ සභ්‍යත්වය මත පදනම් වී තිබුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් අතරින් ක්‌ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යෑයි මනුෂයන් බෙදීමක්‌ විය.

ඒ ඒ කුලයන්ට, ඒ ඒ මනුෂ්‍යයන්ට සමාජ රැකියා හැර අසීමිත නිදහස භුක්‌ති විඳීමට ඉඩ නොලැබුණු බව පැහැදිලි කරුණකි. මෙවැනි ඒකාධිපතිsත්වය මත නැගී එන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය වැනි සංකීර්ණ හැඟීම් වලින් වෙළුණු බ්‍රාහ්මණ සමාජය කෙරෙහි බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්නට සිදුවිය. එසේම බමුණන් සමඟ වාද කරන්නටද සිදුවිය. උන්වහන්සේ අසාධාරණ අකටයුතු සමාජ බැමි සුනුවිසුණු කරමින් සමානාත්මතා තානි සමාන සුඛ දුක්‌ඛ භාවෝ චත්තාරෝ වණ්‌න සමාගමං යයි අභීතව ප්‍රකාශ කළ සේක.

මනුෂ්‍යයෙක්‌ වශයෙන් උප්පත්තිය ලැබූ සෑම පුද්ගලයකුටම සමාන සුඛ දුක්‌ඛ වන්නේය. එහෙයින් මේ වර්ග යෑයි මනුෂ්‍යයා බේදීමට තරම් ශක්‌තියක්‌ නැතැයි වදාළ බුදුරජාණන් වහන්සේ සමානාත්මතාවය පැහැදිලි කළ සේක. ජාති වශයෙන් මනුෂ්‍යයා වර්ග කරන්නට අපහසුය. කොටසක්‌ පූර්ණ නිදහස ලබන්නත් තවත් කොටසක්‌ සමාජ නීති රීතිවලින් බැඳ දමන්නටත් ඇති නියමයක්‌ නැත. එහෙයින් බුදුරජුන් ඇති කළ සංඝ සමාජයෙන් හා මෙහෙනි සස්‌නෙන් මුළු ලොවටම සමානාත්මතාවය යනු කුමක්‌දැයි පැහැදිලි කළ සේක.

කාන්තාව පිළිකුල් කොට තැකූ බ්‍රාහ්මණ සමාජය ඉදිරියට එන්නට තරම් අවකාශයක්‌ නැති කළේය. නමුත් බුදුන් වහන්සේ කාන්තාව මෙහෙනි සසුනට ඇතුළු කිරීමෙන් පුරුෂයකුට තිබෙන හැම වරප්‍රසාදයක්‌ම නිදහසක්‌ම භුක්‌ති විඳීමට ඉඩ ලබා දේශනා කළ බව අංගුත්තර නිකායේ "තික" නිපාතයේ සටහන් වී ඇත. එනම් මා අනුස්‌සවේන, මා පරම්පරාය. මා ඉතිකිරාය. මා පිටක සම්පදානෙන, මා තක්‌ක හේතු, මා ණය හේතු, මා ආකාර, පරවිතක්‌ක යෙන, මාදිත්ති, නිඡ්ජාන කත්තීය, මා භග්ග, රූපකාය, මා සමනේ නොගරුති.

අනුශ්‍රව කථාවෙන් පරම්පරා කථාවෙන් මෙය මෙසේ යෑයි සිතමින් පිටක පාලියට සමාන යෑයිද කියමින් තර්කයට ගෝචර යෑයි සිතමින් න්‍යායට ගෝචර යෑයි සිතමින්, ආකාර පිරි විතර්කයට සුදුසු යෑයි සිතමින්, දෘෂ්ටියට සම යෑයි සිතමින්, පුද්ගලාභිවාදුන්හ. බ්‍රාහ්මණයකුට කිරි වතුරෙන් මුහුණ සෝදන්නට තරම් අප්‍රිය දර්ශනයක්‌ වූ කසළ ශෝධක සුනීත සෝපාක වැන්නන් සංඝ සමාජයට සම්බන්ධ කර ගැනීමෙන්ම සමානාත්මතාවය කුමක්‌දැයි බුදුරදුන් ප්‍රකටව පැහැදිලි කළ සේක.

බුදුරදුන් මනුෂ්‍යයාගේ සමානාත්මතාව 45 අවුරුද්දක්‌ මුළුල්ලේම පැහැදිලි කළ සේක. බුද්ධ පුත්‍රයන්ට, මහජන සිතසුව පිණිස ගම් නියම් ගම් බලා හැසිරෙන්න යෑයි වදාළ උන්වහන්සේ, තම ශ්‍රාවකයන්ට ධර්මය ව්‍යාප්ත කිරීමෙහිලා සීමිත මනුෂ්‍ය සමාජයක්‌, නියම කළේ නැත. ජාති, වර්ණ, දුප්පත්, පොහොසත් වශයෙන් නොතකා සෑම මනුෂ්‍ය ප්‍රාණියෙකුටම අර්ථය සඳහා හිත සුව පිණිස සුඛය සඳහා කටයුතු කරන්න යෑයි වදාළ සේක. උන්වහන්සේද දමනය කළ නොහැකි පුද්ගලයන් මෙල්ල කර විමුක්‌තිය ලබාගැනීමේ ශක්‌තිය තිබෙන සෑම පුද්ගලයන් සොයා ගම් නියම් ගම් කරා පාගමනින් වැඩ අවිද්‍යාව නමැති අන්ධකාරයේ ගිලෙන ලෝක සත්වයාට පිහිට වූ සේක. හුදෙක්‌ ඒ උන්වහන්සේගේ සමාන දයාව සමාන අනුකම්පාව නිසාය.

උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රඥවන්තයන්ට පමණක්‌ මිස මෝඩයන්ට අවබෝධ කර ගැනීමට බැරි බව දේශනා කළත් ඔහුටත් උත්සාහ ගතහොත් උසස්‌ ප්‍රතිඵල ගත හැකි බවද දේශනා කරමින් කිසිම කෙනකුට බලෙන් අවබෝධ කරන්නට මහන්සි නොගත් සේක. මහජනයාගේ නිදහස්‌ චින්තනයට ඉඩ දී නිශේධ ධර්ම දසයක්‌ දානය නිසා යෑයි සිතමින් මේ ශ්‍රමණ අපගේ ගුරුවරයා යෑයි සිතමින් මගේ ධර්මය මේ කරුණු අනුව කිසිසේත් නොපිළිගන්නා දේ දේශනා කොට සිතිමේ නිදහස සෑම කෙනකුටම පැවරීමෙන් සමානාත්මතා ධර්මය මත ප්‍රකට වන උන්වහන්සේගේ අනුත්තර ගුණය සමාන දයාව සමාන අනුකම්පාව ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි වන්නේය.

වතුරවිල හේමාලෝක හිමි

සත්ත්වයා සසරට බැඳ තබන තණ්‌හාව

2557 වෙනි 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ

තෙමඟුල සිහි කෙරෙමි.


හේතුඵල සම්බන්ධයට බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය තුළ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ ය. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා විසින් සිදු කරන නොයෙකුත් සියලුම අපරාධ ගැන අවධානය යොමු කරන කල්හි පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ මෙම ධර්මය බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා අමතක කර ඇති අමනෝඥ ස්‌වභාවයයි. එසේ නොවන්නේ නම් ඇති අනවබෝධයයි. "ඉමස්‌මිං සති ඉදංහෝති ඉමස්‌ස උප්පාදා ඉදං උප්පඡ්ජති" " මේ මේ දේ ඇති විට මේ දේ ඇත. මේ මේ දේ උපදින විට මේ මේ දේ උපදියි" යනුවෙන් පවිච්ච සමුප්පාදය හෙවත් හේතුඵලවාදය විස්‌තර කරන්නේ තාත්වික, තාර්කික, ආනුභූතික යථාර්ථයක්‌ ලෙසිනි. ශෛලීගත වාක්‍යයක්‌ ලෙසට "අවිඡ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ " ආදී පිළිවෙළට එම පටිච්ච සමුප්පාද ධර්මය ද්වාදස අංගයක්‌ ඇතුළත් වී විස්‌තර වෙයි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේගේ අභීත ප්‍රකාශයක්‌ බව සංයුක්‌ත නිකායේ දසබල සූත්‍රයෙහි සඳහන්ය.

භවය යනු පැවැත්ම යනුවෙන් වාච්‍යාර්ථයක්‌ සැපයේ. එම පැවැත්ම සසර පුරා එන ප්‍රවාහ සංසිද්ධියකි. මුල් බුදු සමයේ ද ඒ බව පිළිගැණුන ධර්මතාවකි. පෙර සඳහන් කළ ලෙසට එය අනුභූතිවාදය පදනම් කරගත් හේතුප්‍රත්‍ය සමුදායක්‌ චක්‍රාකාරව විස්‌තර කරන්නේ ය. විශ්වයේ පැවැත්ම සිදුවන්නේ ආකර්ෂණය මතය. වස්‌තූන්ගේ (අනෙක්‌ වස්‌තු) චලනය සිදුවන්නේ එම ආකර්ෂණය හා ඇලීම නිසා ය. තණ්‌හාවද මෙම ආකාරයට සමගාමී න්‍යායකින් සිදුවෙයි. එදින බුදුහිමි බුද්ධත්වයට පත්ව මුල් සතියේ බෝ මැඬ වැඩ සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම ලෙසට මෙනෙහි කළේ එය සත්‍ය ප්‍රබල පැහැදිලි කිරීමක්‌, සොයා ගැනීමක්‌ (වටහා ගැනීමක්‌) නිසාය.

පටිච්ච සමුප්පාදයට ඇතුළත් අංග දොළොස කවර කරුණකින් ආරම්භ කළ ද එම සමගාමී එකිනෙකට බැඳුණු කරුණට ඉදිරියෙන් පසු පසින් සිටින කරුණ සමග සහසම්බන්ධතාව අඛණ්‌ඩව පවතී. අප සඳහන් කරන තණ්‌හාවට ඉදිරියෙන් ඇත්තේ උපාදානය හෙවත් අල්ලා ගැනීමයි. නැතහොත් බැදීමයි. තණ්‌හාව නිසා අප, සත්ත්වයා නිරන්තරයෙන් ජීවිත ගමනට බැඳෙයි. තණ්‌හාව පසුපසින් ඇත්තේ වේදනා හෙවත් විඳීමයි. සුඛ - දුක්‌ඛ විඳීමයි. විඳීම නිසා එයට තණ්‌හාවත්, බැඳීමත් ඇතිවේ. එවිට එම බැඳීම හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම ඇති වේ. (උපාදානය) තණ්‌හාව යන වදනට පර්යාය වදන් ලෙස ආශාව, තෘෂ්ණාව, ඇලීම, ප්‍රේaමය, ලෝභය ඉදිරිපත් වෙයි. ස්‌වභාවික වශයෙන් ම, සහජයෙන්ම අප සිත්, සන්තානය නැඹුරුවන්නේ යමකට ආශාව දක්‌වා තණ්‌හාවට ය. එම තණ්‌හාව සසර පුරා එන්නකි. තරහව, ක්‍රෝධය, ආශාව, සතුට කුඩා දරුවෙකුටවත් විශේෂයෙන් කියා දිය යුතු නැත. ඉගැන්වීමක්‌ කළ යුතු නොවන්නේ ය. දරුවා යමක්‌ ඉල්ලා අඬන්නේ, යම් භාණ්‌ඩයක්‌ විසිකරන්නේ, ආශාවෙන් අල්ලා බදාගන්නේ කාගේවත් ඉගැන්වීමකට නොවේ. සසර පුරුදු ලෙස අවිද්‍යාව හේතුවෙනි. මෙම ලක්‍ෂණය කාටත් පොදු ගුණාංගයකි.

තණ්‌හාව ලෝක සත්ත්වයාට පොදු ධර්මතාවකි. සත්ත්වයා පංචස්‌ඛන්ධයේ නිර්මිතයයි. එම නිර්මිතය නාම, රූප දෙකරුණින් සමන්විතය. පංචස්‌ඛන්ධය සතු සළායතන ඇස, කන, නාසය, දිව, කය, මනස යන අංග හයෙන් යුක්‌තය. මේවාට ලැබෙන අරමුණු ප්‍රියමනාප නම් තණ්‌හාව, ආසාව, ඇල්ම, බැඳීම, ප්‍රේමය ඇතිවන්නේ ය. එම හේතුව නිසා සසර බැඳේ. තිරිසන් සත්ත්වයා ද ආහාරයට, නින්දට, මෛථුනයට තණ්‌හාවක්‌ ආසාවක්‌ තිබේ. එහෙත් මිනිස්‌ සත්ත්වයාට ඊට වඩා දියුණු මට්‌ටමකින් ප්‍රබලව පවතී. ඇස ප්‍රිය කරන වස්‌තුවලට ඔහු බැඳෙන්නේ ය. මධුර ස්‌වර, කවි, ගීත, සංගීතය ශ්‍රවනයට ඇස රුචි කරයි. මිහිරි වූ සුවඳ ආඝ්‍රානයට නාසය ප්‍රිය වෙයි. එලෙසම රසවත් වූ විවිධ ආහාර වර්ග සොයා යයි. සුවපහසු දේවල්හි පහස ශරීරයට ලබා දෙන්නට වෙහෙසෙයි. මේ සියල්ලේම එකතුව මනසේ ක්‍රියාකාරිත්වය ඇතිවේ. පංචස්‌ඛන්ධයට ලැබෙන මෙම සියලුම විඳීම් වේදනා ලෙසට පටිච්ච සමුප්පාද විස්‌තර වන අවස්‌ථාවල දැක්‌වේ. ඉන් විස්‌තර වන සුඛ වේදනාවටම (විඳීමට) ඇලුම් කිරීම තණ්‌හාවයි. එය මිනිස්‌ ගතිලක්‍ෂණයයි. සංයුක්‌ත නිකායට ඇතුළත් වන විභංග සූත්‍රයෙහි තණ්‌හාව විග්‍රහ කරන අවස්‌ථාවේදී ඉහත සඳහන් පැහැදිලි කිරීම දක්‌වා ඇත්තේ මෙලෙසය. "කතමෙ භික්‌ඛවෙ තණ්‌හා ජයිමෙ භික්‌ඛවේ තණ්‌හා කාය රූප තණ්‌හා, සද්දකණ්‌හා" ආදී වශයෙනි. මහණෙනි, තණ්‌හාව යනු කවරේද? මහණෙනි, රූප තණ්‌හාව, ශබ්ද තණ්‌හාව, ගන්ධ තණ්‌හාව, රස තණ්‌හාව, ස්‌පුෂ්ටව්‍ය තණ්‌හාව, ධර්ම තණ්‌හාවයි. එය ෂඩ් ඉන්ද්‍රියයන්ට ගොඳුරු වන අරමුණු ඔස්‌සේ පහළ වන බැඳෙන තණ්‌හාවයි.

තණ්‌හාවේ ලක්‍ෂණ අනුව ත්‍රිවිධාකාර යෑයි සඳහන් වෙයි. එය කාම තණ්‌හාව, භව තණ්‌හාව, විභව තණ්‌හාව යනුවෙන් ගැඹුරු බෙදීමක්‌ ලෙස නම් කර තිබේ. කාම තණ්‌හාව යනු ඉතා සරලව ගතහොත් පස්‌කම් සැපතට ලොල්ව මෙලොව ජීවත්වීමට ඇති කැමැත්ත වේ. අවිද්‍යාව හෙවත් නොදැනීම, අනවබෝධය නිසා මේවාට ලොල්ව ජීවත් වන බව බුදුහිමි පවසන සේක. සමාජයේ පුද්ගලයන් කරන විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට එම කරුණ පැහැදිලි වන්නේය.

භව තණ්‌හා යනු ශාස්‌වත දෘෂ්ටි හෙවත් ධ්‍යාන ලාභීව දිව්‍ය ලෝකවල සැප විඳීම සුඛයක්‌ යෑයි අදහති. එබඳු දිව්‍යලෝක සය නම් චාතුම්මහාරාජිකය, යාමය, තුසිතය, පරනිර්මිතවසවර්ති, හාවතිංසය, නිර්මාණරතී වන්නේය. මේවා කාම සුගතීන්ද කාම දුගතීන්ද ලෙස තිබේ. දුගති නම් තිරිසන්, ප්‍රේත ඈ ලෝකයන් ය.

විභව තණ්‌හා යනු උච්ඡේද දෘෂ්ටිගතව විසීමය. එබඳු අය හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කිසිවක්‌ විශ්වාස නොකරති. නොපිළි ගනිති. එනිසා කෙසේ හෝ හොඳින් - නරකින් ධනය උපයා සුඛ විහරණය විඳ ජීවත්වීම යෝග්‍ය යෑයි එබඳු දෘෂ්ටිගත අය එකහෙළා විශ්වාස කරති. එසේ මැ ජීවත් වෙති.

මෙම විස්‌තර අනුව සලකා බලන විට නූතන ලෝකයේ දියුණුව හැටියට සිතන දර්ශකය ගෙන විග්‍රහයක යෙදෙන විට මිනිස්‌ සිතක තණ්‌හාව නම් අසීමිතය. එබැවින් මිනිස්‌ ලොව සියලුම නිමැවුම් තණ්‌හාව නිසා නිෂ්පාදනය වූ දේවල් ය. ගුවන් විදුලිය, දුරකථනය, රූපවාහිනිය, පරිගණකය, විදුලිබලය, යාන වාහන, වායු සමන යන්ත්‍ර, ගෙවල් දොරවල්, ගුවන් නැව්, නැව් මේවා යහපත් නිෂ්පාදන වුවත් පරිභෝජනයේ සීමාවක්‌ දක්‌නට නැත. තව තවත් සොයා මිනිසා ගමන් කරයි. ඒ සෑහීමකට පත් නොවන තණ්‌හාව නිසාය. තණ්‌හාවේ යථා ස්‌වරූපය එයයි. මෙම ලොල්වීම අවසානයේ සැපයක්‌ නොව දුකක්‌ ඇති කරවයි.

විද්‍යුත් උපකරණ, ඉලෙක්‌ට්‍රොනික උපකරණ, දේශදේශාන්තර බල අරගල, මතභේද, පිල්බෙදීම, යුද්ධ ආදී සියල්ල තණ්‌හාව නිසා පැන නැඟුණු ඒවාය. මේ තණ්‌හාව ඇතැම් විට මානසික උමතුවක ස්‌වරූපයක්‌ හැටියට ද ඇතැම් අවස්‌ථාවල විද්‍යමාන වෙයි. තණ්‌හාවෙන් උපාදානයට පත්ව අවසාන ප්‍රතිඵලය දුකක්‌ය.

තණ්‌හාවේ ගති ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ කදිමට විවරණය වන සරල එහෙත් ගැඹුරු දර්ශනයක්‌ ඇති කෙටි කථාවක්‌ රුසියන් ජාතික ලියෝ ටොල්ස්‌ටෝයි නම් මහා ලේඛකයාගේ නිර්මාණ අතර හමුවෙයි. විශාල ඉඩම් ප්‍රමාණයක්‌ සතු වූ ඉඩම් හිමියෙක්‌ එම ඉඩම් දුගී ජනයාට බෙදා දෙන්නට සැරැසෙයි. එක්‌ එක්‌ තැනැත්තාට ලැබෙන ඉඩම් ප්‍රමාණය ඔහු විසින් නියම කරගත යුත්තේ උදයේ හයේ සිට සවස හය වනතුරු ඔහු ඇවිදගොස්‌ සලකුණු කරගන්නා ප්‍රමාණයයි. එක්‌ මනුෂ්‍යයෙක්‌ එලෙස විශාල ඉඩමක්‌ අත් කරගන්නා අපේක්‍ෂාවෙන් (තණ්‌හාවෙන්) උදේ සිට සවස්‌වන තුරු ඉඩම වටා දුවගොස්‌ අවසන් වේලාව ළගා වෙද්දී වෙහෙස දරාගත නොහී බිම මැරී වැටුණේය. අවසාන ඔහුට හිමි වූයේ කාටත් උරුම හතර රියනක බිම් ප්‍රමාණය පමණි. තණ්‌හාවේ ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ එලෙස අත් විඳින්නට සිදු වන්නේය.

අපේ භවගාමී ගමනට මෙම ආත්ම භාවයෙන් පසු, නැවත භවයක්‌ මිය යාමෙන් පසු ලැබෙන්නේය. මෙය නොකඩවා සිදුවන්නකි. එය භවගාමී ලෙසට නම් කර තිබෙන්නේ ඒ හේතුවෙනි. මෙම ගමනට හේතුව නම් තණ්‌හාවයි. සත්ත්වයා සසරට බැඳෙන හුයක්‌ ලෙසට මෙම තණ්‌හාව පැහැදිලි කරන්නේ ඒ නිසාය. තණ්‌හාව අපේ ආත්මයෙන් දුරුවන තුරු සසර ගමන නොනවතී. තණ්‌හාව ප්‍රහානය කිරීම, දුරු කිරීම, නැති කිරීම පිළිබඳ බොහෝ පැහැදිලි කිරීම් සංයුක්‌ත නිකාය ඉගැන්වීම් කරන්නේය. " එවං එස්‌ස භික්‌ඛවේ සුතවා" ආදී පිළිවෙළට මහණෙනි, මෙසේ දක්‌නා, ඇසූපිරූ තැන් ඇති අරිය සච්චතෙමේ ඇසෙහිත් කළකිරෙයි. මෙලෙස පසිඳුරන්ට ගොඳුරු වන දේ පිළිබඳව අවබෝධය ඇතිවෙන් මැ ඔහු තෘෂ්ණාවෙන් (තණ්‌හාවෙන්) ඈත්වීමට සමත් වෙයි.

"තණ්‌හාය ජායති සොකො - තණ්‌හාය ජායති භවං"

"නත්ථි සෝකෝ කුතො භයංතණ්‌හාවෙන් දුරු වු තැනැත්තාට කවර නම් ශෝකයක්‌ ද? භයක්‌ද? යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ එබැවිනි. මෙම පැහැදිලි කිරීම් අනුව සත්ත්වයා සසර බැඳ තබන තණ්‌හාවේ යථා ස්‌වරූපය හැකි තරමින් හෝ අවබෝධ කරගත හොත් හිතේ සැනසිල්ල උදාවන්නේ ය. එය සසර ගමනේ දී වඩ වඩාත් හුරුකරන්නේ නම් නිවන් අවබෝධයට හේතුවන්නේය.

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි
2013 මැයි 24 සිකුරාදා දිවයින