2557 වෙනි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ
තෙමඟුල සිහි කෙරෙමි.
අද අපි ඔය අයට පොඩි කාරණාවක් සිහිපත් කරල දෙන්නයි කල්පනා කළේ. මේ කාරණාව පොඩියි වගේ වුනාට ඒක ඇත්තටම පොඩි නෑ. හැබැයි බැලු බැල්මට කෙනෙක් මේ කාරණාව පොඩියි කියල සලකන නිසයි මේක පොඩි කාරණාවක් කියල කිව්වේ.... මොකක්‌ද ඒ කාරණාව, අපි හොඳට තේරුම් ගන්ට ඕන අපි හැම කෙනෙකුටම යම් යම් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකියාවන් තියෙනවා. හැබැයි හැමෝටම හැම දෙයක්‌මත් පුළුවන්ද...? ඒත් බෑ. ඒ වගේම හැමෝටම හැම දෙයක්‌ම නොහැකිද...? ඒත් නෑ. සමහර අය ඉන්නවා ගොඩක් දේවල් බෑ. සමහර අය ඉන්නවා ගොඩක් දේ පළුවන්. ඒ කියන්නේ සමහර අයගේ දක්‌ෂකම් වැඩියි. සමහර අයගේ අදක්‌ෂකම් අඩුයි.
උදාහරණයක් කිව්වොත් සමහරුන්ට හොඳට කට පාඩම් හිටිනවා. සමහර අයට අකුරක්‌වත් පාඩම් හිටින්නේ නෑ. අපි කවුරු ලඟත් මේ විදිහට යම් යම් දක්‌ෂකම් වගේම යම් යම් අදක්‌ෂකමුත් තියෙනවා. ඉතින් අපි දක්‍ෂ වෙන්ට ඕන මේ දෙකම පාවිච්චි කරල තමාගේ දියුණුව හදාගන්න. නමුත් බොහෝ දෙනෙක් තමන්ට යම් හැකියාවක් තියෙනවාද, ඒක ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ හානිය පිණිස. යම් නොහැකියාවක් ඇත්ද, ඒකත් යොදාගෙන තියෙන්නෙත් හානිය පිණිසයි.
දැන් සමහර කෙනෙක් ඉන්නවා එයාට හොඳට කටපාඩම් හිටිනවා. ඒක දක්‍ෂතාවයක්. හැකියාවක්. සමහර කෙනෙක් ඉන්නවා චතුර විදිහට භාෂාව හසුරවන්ට පුළුවන්. ඒක දක්‌ෂතාවයක්. සමහර කෙනෙක් ඉන්ට පුළුවන් එයාට පිරිසගේ ආකර්ෂණය ඇතිකරගන්ට පුළුවන්. ඒක එයාගේ කුමක් හෝ හැකියාවක්, එහෙම නැත්නම් ඒක එයාට තියෙන ලාභයක්. මෙන්න මේ හැකියාවන් හෝ ලාභයන් එයා පාවිච්චි කරනවා පිරිහීම පිණිස. ඒa කියන්නෙ ඒවා මුල් කරගෙන එක්‌කො එයා ඒකෙන් අධිමානය හදා ගන්නවා. එක්‌කො තව කෙනෙක් එක්‌ක සසඳලා 'මමත් එයා වගේ' කියල හිතනවා. අපි හිතමු කෙනෙකුට පැය භාගයක් විතර පහසුවෙන් භාවනාවේ වාඩි වෙලා ඉන්ට පුළුවන් කියල. ඉතින් එයා ඒක මුල් කරගෙන ආඩම්බරයක් හදා ගන්නවා. එහෙම නැත්නම් 'මමත් අහවලා වගේ වෙන්න ඇති' කියල හිතනවා. ඒ පුංචි හැකියාව මුල් කරගෙන එයා ආඩම්බර කෙනෙක් වෙලා. මානයට යනවා. එතකොට එයා නිවන් මඟින් ඈත් වෙලා. බොහෝ අයට මේක සිද්ධ වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය. ඉතින් මේ සාමාන්‍ය ලෝකයේ ස්‌වභාවය ඉක්‌මවා යන්ට අපි මහන්සි වෙන්ට ඕන. සාමාන්‍ය ස්‌වභාවය ඉක්‌මවා නොගියොත් අපට හැමදාම සාමාන්‍ය ලෝකයේ තමයි ඉන්ට වෙන්නේ.
ඒ විදිහට, ධර්මය ඉගෙන ගන්න කොට, භාවනා කරන කොට පවා අපි තුළ ආඩම්බරය නම් හටගන්නේ අපි නිවන් මඟින් ඈතට ගිහිල්ලා. ඒ නිසා ඒ හැකියාවන් මුල් කරගෙන අපේ රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්ට උදව් වෙනවද කියල කල්පනා කරල බලන්න. එහෙම රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්න උදව් වෙන්නෙ නැත්නම්, ඒ හැකියාව ගැන කල්පනා කරල ආඩම්බරවීම වැඩක් නෑ කියල කල්පනා කරන්න. ඒ වගේ හැකියාවක් තිබුනොත් 'මේ හැකියාව මට කාටහරි උදව් කිරීම පිණිස තිබුනාම ඇති' කියල හිතන්න. මේ විදිහට ඒ හැකියාවන් මුල් කරගෙන අපේ හිතේ ඇතිවෙනවා නම් යම් අකුසලයක් අන්න ඒක බැහැර කරල දාන්න.
ඊළඟට සමහර ගොඩක් දෙනෙකුගේ තියෙන දෙයක් තමයි, 'මට අරක බෑනේ, මට අහවල් දේ බෑනේ' කියල පසුතැවෙනවා. 'මට පාඩම් නෑ, මට භාවනා කරගන්න බෑ, මට මේක නොහැකියි...' කියල තැවෙනවා. ඒ තැවෙන්නේ තව කෙනෙක් එක්‌ක සසඳල නේද...? 'අහවලාට නම් මේ දේ පුළුවන්, මට බෑ' කියල කල්පනා කරල තැවෙනවා. අන්න ඒකත් අපි බැහැර කරල දාන්ට ඕන. ඒක බැහැර කරල දාගත්තේ නැත්නම් අපි හීනමානෙට වැටෙනවා. එතකොට එයා පිරිහිලා යනවා. සමහර කෙනෙකුට අධික හීනමානයක් තියෙන්ට පුළුවන්. ඉතින් අපි ඒක මුල් කරගෙන පිරිහෙන්ට ඕන නෑ. ඒක මුල් කරගෙන අපි කඩාවැටෙන්න ඕනද...? නෑ... ගොඩක් අයට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා යම් නොහැකියාවක් තිබුනොත් 'මට පුළුවන් විදිහට ඒක මම දියුණුකරගන්ට ඕන' කියල හිතන්න. 'මම මේ පසුතැවීම දුරුකරගන්ට මහන්සි වෙන්ට ඕන, ධර්මය පුරුදු කිරීමෙන් මේක දුරු වෙලා යයි.' මේ රාග, ද්වේෂ, මෝහ තියෙන තාක් මේ දුක් ස්‌වභාවයට අපිට මුහුණ දෙන්ට සිද්ධ වෙනවා...' මේ විදිහට කල්පනා කරල මේ හිතේ බිද වැටෙන ස්‌වභාවය දුරු කරගන්න. එහෙම නැත්නම් අපට දියුණුවක් කරා යන්ට බැරිව යනවා.
බොහෝ අයට සිද්ධ වෙන දෙයක් තමයි, තමන්ගේ හැකියාවන් මුල් කරගෙනත් නොසන්සිදීම ඇති කරගන්නවා. නොහැකියාව මුල්කර ගෙනත් නොසන්සිදීම ඇතිකරගන්නවා. සන්සිදෙන්නේ නෑ. ඉතින් යම් නොහැකියාවක් තියෙනවා නම් ඒ ඔස්‌සේ හිත විසිරුවා ගන්ට එපා...! මහත් අපහසුතාවයට පත් වෙන්ට එපා...! කල්පනා කරන්න... 'මේ ලෝකේ හැම කෙනෙකුටම හැම දෙයක්‌ම බෑ. ඉතින් මගේ යම් පුණ්‍ය ශක්‌තියක් ඇත්ද ඒ ප්‍රමාණයට මට යමක් පුළුවන් වෙලා තියනවා. ඒ ඇති.' කියල.ඒ විදිහට අපිට යමක් ලැබුන ද, ඒ දේ ගැන හිතල සතුටුවෙන්න. නොලැබුන දේ ගැන හිතල දුක් වෙන්ට එපා. අපි හැමෝටම යම් ප්‍රමාණයක යමක් තියෙනවා. අන්න ඒකෙන් සතුටු වෙන්න. මොකද..? මේ සාමාන්‍ය ලෝකයේ දිනන්ට තියෙන හැකියාවන්, ඒවා අපට කොච්චර තිබ්බත් මහත් ඵල නෑ. සාමාන්‍ය ලෝකයේ දිනන්ට හේතුවෙන, පරදින්ට හේතුවෙන එක දෙයක්‌වත් අපි බාර නොගත යුතුයි. ඒක බාරගෙන වැඩක් නෑ.
මේ විදිහට අපිට කොච්චර හැකියාවන් තිබුනත්, නොහැකියාවන් තිබුනත් අපේ ධර්ම මාර්ගය තුළ ජයග්‍රහණය කිරීම සඳහා අපිට එකම එක හැකියාවක් තිබ්බොත් ඇති. ඒ තමයි මේක කුසලය, මේක අකුසලය කියල අඳුර ගන්ට පුළුවන්කම. ලොව සැබෑම ජයග්‍රහණය සඳහා අන්න ඒ හැකියාව පමණක් තිබුණත් ඇති. අන්න ඒ හැකියාව අපට තියෙනවා නම් අපට අකුරක්‌වත් පාඩම් නැතුවට කමක් නෑ. අර කණ අත්සන ගහනවා කියල කියන්නේ (ඇඟිලි අත්සන) අන්න ඒකත් ඇති. ඒකත් බැරි නම් ඒත් කමක් නෑ. වුවමනා කරන එකම හැකියාව තමයි මේක කුසලය, මේක අකුසලය කියල හඳුනගන්ට පුළුවන් හැකියාව. ඒ හැකියාව නැති කෙනෙකුට අහසින් යන්ට පුළුවන් වුනත් වැඩක් නෑ.
බලන්න දේවදත්තට නොයෙක් ඉර්ධි තිබුනා. ක්‍ෂ්ණයකින් වෙස් මාරු කරගන්ට පුළුවන් වුනා. කොච්චර ලොකු හැකියාවක්‌ද...? හැබැයි ඒ හැකියාව එයාට වැඩක් වුනාද...? නෑ. ඇයි ඒ හැකියාව එයාට ප්‍රයොජනයක් නොවුනේ...? එයාට මොන හැකියාව තිබුනත් අර වුවමනාම හැකියාව තිබුනේ නෑ. එයාට මේක කුසලය මේක අකුසලය කියල අඳුරගන්ට බැරිවුනා. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ පාඩම් තියෙනවාද... නැද්ද...? කියල නෙවෙයි. ඒකෙන් මම අදහස් කරනවාද පාඩම් කරන්ට එපා කියල නෙවෙයි. 'මට පාඩම නෑ...' කියල වැළපෙන්ට එපා...! 'අරයට පාඩම් තියෙනවා, මට පාඩම් නෑ...' කියල හීනමානය ඇතිකරගෙන දුක සේ වාසය කරන්ට එපා...! මොකද ඒක අනිවාර්යය අවශ්‍යතාවයක් නෙවෙයි. ඊලඟට පාඩම තියෙන කෙනා 'අරයට පාඩම් නෑ. මට පුළුවන්...' කියල ආඩම්බරයක් ඇති කරගන්ටත් එපා. මොකද ඒකත් අනිවාර්යය වුවමනාවක් නෙවෙයි. අපි බැලිය යුත්තේ අපට කුසල් අකුසල් අඳුනගන්ට පුළුවන්ද කියලයි. අන්න ඒ කුසල් අකුසල් හඳුනගන්ට යම් කෙනෙකුට නොහැකි නම් එයාට කොයිතරම් දක්‍ෂතා තිබුනත්, එයා කොයිතරම් දක්‍ෂතා උපදවා ගත්තත් සමහර විට ඒ දක්‍ෂතා එයාගෙත්, අනුන්ගෙත් නිවන් මඟ වැහෙන්ට උපකාරී වෙන්ට පුළුවන්. ඒකයි තියෙන අනතුර. ඒ මොකද අනෙකුත් දක්‍ෂතා මුල් කරගෙන එයා මාන්නයට, ආඩම්බරයට යනවා.
මේ නිසා අපි තුළ දියුණු කරගැනීමට මහන්සි විය යුත්තේ මේ කුසලය, මේ අකුසලය කියල හඳුනා ගැනීමේ හැකියාවයි. ඒක ඉතාම අමාරු එකක්. මේ ලෝකේ අමාරුම දේ තමයි මේ කුසලය මේ අකුසලය කියල හඳුනා ගැනීම. යම් කෙනෙකුට මේ හඳුනා ගැනීම කරගන්ට පුළුවන් වුනොත්, ඒ දක්‍ෂතාවය ඇතිකරගත්තොත් එයා නිවන් මඟට පිවිසෙනවා. නිවන් මඟේ දිගටම කරන්නේ කුසල් උපදවා ගැනීම, අකුසල් දුරු කිරීමයි. එහෙනම් කුසල් අකුසල් හඳුනා ගන්ට පුළුවන් වීමම තමයි නිවන් මඟේ ආරම්භය.
ඉතින් අපි ඒ දක්‍ෂතාවය ඇතිකරගන්නට මහන්සි වෙන්ට ඕන. එතන හීනමානයට යන්නෙත් නෑ. අධිමානයට යන්නෙත් නෑ. සම මානයට යන්නෙත් නෑ. එතන තියෙන්නේ සංසිදීම. එතන ආරවුල් හටගන්නේ නෑ. වාද විවාද හට ගන්නේ නෑ. එතන පිරිස බිඳිල යන්නේ නෑ. එතන තියෙන්නේ සමඟිය. මිත්‍රකම. එයාල කිරියි දියයි එකතු වුනා වගේ මිහිරි සේ වාසය කරනවා. ප්‍රීති ප්‍රමෝදයෙන් ඒ පිරිස වාසය කරනවා.
ඒ නිසා බාහිර හැකියාවලට ලකුණු දීලා ඒ ඔස්‌සේ ඔබේ හිත පිරිහෙන්ට දෙන්ට එපා. ඒවාට ලකුණු දෙන්නම එපා. ඒවා වැඩක් නැති දේවල්. රාගය ඇවිල්ලා ඒ රාග ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ.
ඒ වගේම තමයි ද්වේෂය ඇවිල්ලා ඒ ද්වේෂ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ. ඒ වගේම තමයි මෝහය ඇවිල්ලා ඒ මෝහ ගින්නෙන් හිත පිච්චෙන කොට, හිත ගිනි ගන්න කොට ඒ ගිනි නිවාගෙන සැනසීම ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ. හිතේ ඉරිසියාව ඉපදිලා ඒකෙන් හිත පිච්චෙන කොට, කුහකකම, එකට එක කරන ගතිය, වාද කරන ගතිය ඉපදිලා ඒවායින් හිත පිච්චෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබාගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක් නෑ. ශරීරය ලෙඩ වෙලා, ඒ ලෙඩවලට හිත යටවෙලා මහා දුකෙන් තැවෙන කොට ඒ ගිනි නිවාගෙන සුවපහසුව ලබන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් අපට ඒකෙන් වැඩක් නෑ. කෙස් පැහිලා, දත් කැඩිලා, හම රැලි ගැහිල, ශරීරය විකාර වෙලා වයසට යන කොට ඒකෙන් හිත කම්පා වෙලා මහා දුකෙන් අඩන කොට ඒ දුක නිවාගෙන සැනසීම ලබා ගන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ. මරණයට ළං වෙලා මරණය ඉදිරියේ භයේ ගැහි ගැහී මහා දුකෙන් අඩන කොට ඒ ගිනි නිවාගෙන සැනසෙන්ට බැරි නම් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ.
ඒ නිසා මේ සාමාන්‍ය ලෝකය දිනන්ට පුළුවන් මොන හැකියාව තිබුනත් ඒකෙන් අපට වැඩක් නෑ, ඒක අපේ දුක සන්සිදුවන්නේ නැත්නම්. නමුත් යමෙකුට මෙයයි කුසලය, මෙයයි අකුසලය කියල තමන් තුළම කුසල් අකුසල් දැනගැනීමට යම් හැකියාවක් තියෙනවා නම් දුකෙන් නිදහස් වෙන්ට උපකාර වන්නේ ඒකමයි. ඒ නිසා අපි කවුරුත් අපි ලඟ යම් සාමාන්‍ය හැකියාවක් තියෙනවා නම්, ඒවායින් මත් වෙන්නේ නැතිව, ඒවායින් ආඩම්බර නොවී, අන් අයට උපකාර කිරීම සඳහා පමණක් ඒවා පාවිච්චි කරන්ට ඕනැ. අපි කවුරුත් අප තුළ ඇති කරගැනීමට කැමති විය යුත්තේ සියලු ගිනි නිවීමෙන් සැනසීම ලබාගන්ට උපකාර වන කුසල් අකුසල් දැනගැනීමේ හැකියාවයි. ලෝකය උතුම් වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ මේ හැකියාවෙන්ම යි. ලෝකය ශාන්ත වන්නේ, ලෝකය සුන්දර වන්නේ මේ හැකියාවෙන්ම යි...
සියලු දෙනාටම තෙරුවන් සරණ යි..!
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි