2557 වෙනි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ
තෙමඟුල සිහි කෙරෙමි.
අප යම් දවසක දුකින් සිටියේ ද, කෙදිනක හෝ සතුටින් සිටියේ ද, එසේ නම් භාවනා පුහුණුව ආරම්භ කළ යුතු වන්නේ ද එතැනය. ඒ සත්‍යය පවතින්නේ මෙතැන වන නිසාය. දුකට මෙන් ම සතුටට පත් වන්නේ මනස ම වන නිසාය. එසේ නම් දුක හෝ සතුට නැති වන්නේ ද ඒවා පහළ වූ මනසින් මයි. ළිඳට වැටුණු මිනිසා ගොඩ විය යුත්තේ ද වැටුණු ළිං කටින්ම යි. අප කොපමණ අවස්‌ථා රාශියක දී දුකට පත් වී තිබේ දැයි දන්නා නමුත් දුකට පත් වූයේ කුමන හේතුන් නිසා ද යන්නත් දුක නැති කරන මාර්ගය ගැනත් කෙදිනක හෝ සොයා දැන ගැනීමට උත්සාහ ගෙන තිබේද? ඒ ගැඹුරු දැක්‌ම අපට ලබා ගැනීමට අපොහොසත් වී තිබීම මොන තරම් අභාග්‍යයක් ද?
දුකෙහි ප්‍රභේද දෙකකි. ඉන් එකක් වන සංස්‌කාර ස්‌වභාවය තුළ පවත්නා දුක සාමාන්‍ය ආකාරයෙන් පවතින දුක වේ. එකම ඉරියව්වකින් ටිකවේලාවක, සිටීම දුකය. හැඳගෙන ටික වේලාවක සිට සිටගන්නේ ආදී වශයෙන් ඉරියව් මාරු කරන්නේ මේ නිසා යි. අප සැපය හැටියට ගන්නා දෙය හා දුක අවබෝධ කර ගැනීම තුළින් ඒවා, අභිබවා නැඟී සිටීමේ ක්‍රමය බුදුන් වහන්සේ දැනගත් සේක. සංස්‌කාර ගමන් කරන්නේ ඒවාටම අවේනික ගමන් මාර්ගයක ය. අප කාටවත් අවශ්‍ය ආකාරයට ඒවා ගමන් කරවිය නොහැකිය. උපතේ සිට ළදරු, ළමා, තරුණ, මහලු අවධිවලට අපව ඇදගෙන යනු ලබන්නේ සංස්‌කාර වල ක්‍රියාකාරිත්වය විසිනි. අප ගන්නා හුස්‌ම පිට කළ යුතුමය. පිටකර නැවත හුස්‌ම ඉහළට ගෙන පෙනහලු පුරවා ගත යුතුය. මෙය නොකඩවා සිදු කළ යුතුය. හුස්‌ම ඉහළට ගැනීම පමණකින් නවතාලිය නොහැක. ජීවිතය යම් කාලයකට පවත්වා ගත හැක්‌කේ හුස්‌ම ඉහළ පහළ හෙළීමේ සංස්‌කාරමය ක්‍රියාවලිය නොනැවතී පැවතීම නිසා ය. මෝටර් රථයක එන්ජිමේ එක් පිස්‌ටනයක් උඩට එන විට අනෙක් පිස්‌ටනය පහතට යයි. මේ ක්‍රියාවලිය නොනැවතී සිද්ධ වීම නිසා එන්ජිම ක්‍රියාත්මක වේ. ඉහළ ගිය පිස්‌ටනය ඉහළට ගොස් නැවතුණොත් එවිගසම එන්ජිමේ ක්‍රියා කාරිත්වය නතර වේ. අපේ ශරීර යන්ත්‍රයද එබඳුය.
දෙවැනි වර්ගයේ දුක පිටතින් පැමිණෙන දුකය. අසනීපයකදී එන්නත් හා ශල්‍ය කර්ම ආදියේදී ද දැනෙන දුක මෙන් ම සුවිශේෂ දුකක් වන්නේ දේවල් තදින් ආශාවෙන් අල්ලා ගැනීම හෙවත් උපාදානය නිසා ඇතිවන දුකය. උපාදානයේ තරමට ම දුක ද වැඩි වේ. ධර්මය දැකීම යන්නෙන් අදහස් වන්නේ ලෝකයේ ස්‌වභාවය හරි හැටියට දැක ගැනීමයි. සංස්‌කාරික ක්‍රියාවලිය සොබා දහමට අනුව ඒ හැටියට ම සිද්ධ වේ. එය එසේම සිද්ධ වන බව අවබෝධ කර ගැනීම තමයි ධර්මය දැකීම යන්නෙන් අදහස් කරන්නේ. අනිත්‍යතාව දැකීමත් එයම වේ. ලෝකය අප දන්නා පරිදි පවතින්නේ මේ අනිත්‍යතාව මත පදනම් වූ වෙනස් වීම මතය. සෑම දෙයකටම ආවේනික වන අනිත්‍යතා ධර්මය දැකීම ඒවා අතහැර දැමීමට ඇති එකම මාර්ගය වන්නේ ය.
බුද්ධ දේශනාව පරිදි ලෝකයේ යථා ස්‌වභාවය අපට අවබෝධ කළ හැකි වන්නේ ධර්මය පුහුණු කිරීම හෙවත් භාවනාව තුළිනි. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන්ම දැක ගන්නා තුරු අපි ලෝකය හා ගැටෙනු ඇත. ගැටී දුක් විඳිනු ඇත. එහෙම වෙන්නේ අපට අවශ්‍ය ආකාරයට අපේ ශරීරය ඇතුළු හැම දෙයක් ම පැවතිය යුතුය යන හැඟීම ඇති නිසාය. සංස්‌කාර ධර්මයන්හි සැබෑ හැසිරීම දැනගත හැකි වෙන්නේ භාවනා පුහුණුව තුළිනි. කය වයසට යත්ම වැහැරී අබල දුබල වෙත් ම අපි දුක් වෙමු. එහෙත් පලක් නැත. එහි හැටි එසේ ම වේ. සංස්‌කාර ස්‌වභාවය දැනගත් පුද්ගලයාට රෝගයක් වැළඳුණ විට මා මරණයට පත්වන්නට එපා යෑයි නිකමට වත් කියන්නේ නැත. මැරුණොත් එසේ වූවා වේ. නොමළොත් එසේ වූවා වේ, යෑයි කියනු ඇත. එහෙම වෙන්නේ ස්‌වභාව ධර්මය හඳුනාගත් මනසක් තිබීම නිසාය. මේ කාරණය අපට වචන වලින් උඩින් පල්ලෙන් තේරුම් ගත හැකි වුවත් එය සැබෑ අවබෝධය නොවේ. සැබෑ වශයෙන් අවබෝධ කර ගෙන තිබේ නම් අකුසල් කරමින් විකාර නටන්නේ නැ. ලෙඩක් හැදුන විට මරණයට පත් වෙතැයි බිය වන්නේ සැබෑ අවබෝධයක් නැති නිසා නේද? මේ සැබෑ අවබෝධය ලබන්නේ භාවනාව තුළින්ය. සසරින් මිදීමට භාවනා පුහුණුව අවශ්‍යම යෑයි වදාළ හේතු දැන් අපට තේරුම් ගත හැකිනේද?
බුදු දහම එදාට මෙන්ම අදටත්, ඉදිරි කාලයටත් එක සේ අදාළ වේ. සත්‍යය වන කිසිවකට කාල නියමයක් නැත. සෑම දෙයකම පවතින නොවෙනස් වන ධර්මතාව වූ අනිත්‍යතාව අවබෝධ කර ගැනීම බුද්ධ ස්‌වභාවය අවබෝධ කර ගැනීමක් ය. එවිට මා මගේ යන වැරදි ආකල්පය දෙදරා ගොස් දේවල් හෝ පුද්ගලයන් හැටියට ගත හැකි කිසිවක් නැත යන අනාත්ම ධර්මය අවබෝධ වීමට පටන් ගනී.
සතුටක්, සැපයක් ඇති වූ විට එය මට අයිති දෙයක් නම් එම සතුට සැපය මට අවශ්‍ය කාලයක් නැතහොත් සදහට ම මා වෙත තබා ගත හැකි විය යුතුය. එහෙත් එය එහෙම වේද? කෝපයක් ද්වේෂයක් පැන නැඟුණු විට, වහාම එය මට අවශ්‍ය නැත. ඉවත් වන්න කියා පන්නා හැරිය හැකිද? සතුට හෝ තරහ අප කිසිවෙකු සතු දෙයක් නොවන නිසා අපේ අණසකට ඒවා යටත් නොවේ. දුක හෙවත් කණස්‌සල්ලට හේතු වන්නේ සතුට කෝපය හෝ එවන් ඕනෑම සංවේදනයක් මගේ පෞද්ගලික දෙයක් හැටියට අල්ලාගෙන සිටීම නිසාය. මනස තුළ පහළ වන සතුට, ද්වේෂය, ආදරය. වෛරය ආදී කිසිවක් අප රිසි පරිදි නොසිටින්නේ ඒවා හුදු මිරිඟුවක් ම වන නිසාය. මනස මොන තරම් මායාකාරී දේවලට රැවටේදැයි කිවහොත් අප තුළ ද්වේෂය. තරහ, කෝපය ඇතිකර මුළාවට පත්කර තිබේද? ඒ කිසිවක් අපට අයත් නොවේ.
පිරිසිදු කළ යුත්තේ සිතය
ශරීරය ඇතුළු සෑම දෙයකම පිරිසිදු කම රැක ගැනීමට වෙහෙසෙන අප අපේ හිත පමණක් ඔහේ තිබෙන්නට ඉඩ දී බලා සිටීම අනුවණ කමක්‌ය. හිතේ කිලුට, අපවිත්‍ර කම, සසල කම අප ගණන් ගන්නේ නැත. අපේ ජීවිත තුළ මට, මගේ, මගේ ආත්මය යයි මුල් බැස ගෙන තිබෙන වැරදි දැක්‌ම (සක්‌කාය දිට්‌ඨිය) මුලිනුපුටා දැමිය යුතුය. මේ වැරදි දැක්‌මට හේතු වී තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව ඇස කන ආදී ආයතන සයයි. මේ කඩතුරාව, පාට කණ්‌නාඩිය ඉවත් කිරීම උදෙසා භාවනා පුහුණුව අවශ්‍ය වන්නේ කුමක් නිසාද? පොත පත කියවීමෙන්, බණ ඇසීමෙන් අප තුළ වැඩෙන්නේ දහම් දැනුම යි. දැන ගත් පමණින් සිත අභ්‍යන්තරයට යෝනී ප්‍රදේශයට පිවිස පරිවර්ථනයක් සිද්ධ නොවේ. හිත විසින්ම හිත පිරිසිදු කරන ක්‍රමය ලවා භාවනාව නිර්දේශ කර වදාළේ ඒ නිසාය. අපේ ජීවිතයේ සමස්‌ත කාර්ය සම්භාරය තීරණය කර හදා වඩා අප වෙත ප්‍රදානය කර දී තිබෙන්නේ හිතය.
එබැවින් අපේ ජීවිත වලට බලපා අපව හැසිරවීමට වග බලා ගන්නා හිත පිරිසිදුව තබා ගැනීමේ අතිමහත් වගකීම අපට තේරුම් ගැනීම අපහසුද? සක්‌කාය දිට්‌ඨිය යන වැරදි අවේෂය මුලිනුපුටා දැමීමෙන් හැර කෝපය, ද්වේෂය ආදී ඕනෑම අවේගයක් සිතින් බදාගෙන දුක් විඳීමෙන් නිදහස් වීමට අන් ක්‍රමයක් නැත. ඒ එකම ඉගැන්වීම හිත පුහුණු කිරීමයි. ඕනෑම දෙයක් ස්‌ථිරව පවත්වා ගැනීමට සිතන ඕනෑම කෙනෙක් දුකට පත්වීම ඒකාන්තය. හැම දෙයක්‌ම, හැම සිතිවිල්ලක්‌ම අස්‌ථිර බව දකින විට කල කිරීමට පත් වූවත් එසේ දකින දැක්‌ම නිසා ඔහුට සැනසිලි සුවය අත්වේ. ලෝකයේ හැටි නියම ආකාරයෙන් දැක ගන්නට ලැබීම මොන තරම් භාග්‍යයක් ද? එය අන්ධ වී සිටි අපට ඇස් ලැබීම හා සමාන වේ.
ධර්මය සැබැවින්ම අවබෝධ කළ හැක්‌කේ තමාගේම මනස හා ශරීරය ඇසුරිනි. ශරීරයේ ධර්මතා ශරීරයෙනුත්, මනස හා සම්බන්ධ ධර්මතා මනෝනේත්‍රය තුළිනුත් දැක ගත යුතුය. ශරීරය දෙස බැලිය යුත්තේ ද මනසින් ය. එසේ නැතිව සතුට ලබාගත හැක්‌කේ ගස්, වැල්, ගංගා, තණපිටි, කඳු, උද්‍යාන ඇසුරින් නම් නොවේ. සතුට හෝ දුක් වේදනා පහළ වන්නේ අපේම ශරීරය හා මනස තුළ විනා අන් කිසිම තැනක නොවේ. පොත පත කියවා ඒවා තුළ ධර්මය සොයන්නට වෙහෙස නොවන්න. එවායින් අපට කිසි දිනක ධර්මය හමු නොවේ. පොත පතෙහි ඇතුළත් දේවල් අපේ අභ්‍යන්තරයට යොමු කොට විමසා බැලිය යුතුය. සත්‍ය ධර්මය පවතින්නේ අපේ ශරීරය හා මනස තුළ නිසාය. ශරීරය ගැන සොයා බැලීමට මනසට භාර දෙන්න. භාවනා පුහුණුව තුළින් මනසත් ශරීරයත් දැක ගන්න.
ධර්මය දකින්නේ ප්‍රඥවෙන්ය. භාවනාව තුළින් ශරීරය ගැන සොයා බලන විට ප්‍රඥව පහළ වේ. ප්‍රඥ ඇසින් ශරීරය පමණක් නොව ලොව කොතැනක බැලුවත් ධර්මය දැකගත හැකිය. මුලු ලෝකය පුරාම දක්‌නට ලැබෙන්නේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ධර්මතා හැර අන් කිසිත් නැති බව ප්‍රඥ ඇසට හසුවේ. සම්මුතිය මතම පිහිටා ජීවත්වන අපට සත්‍යය නොපෙනේ. ගස් ගල්, ඇළ දොළ, මිනිසා, ගවයා ආදී වශයෙන් දකින අප මේ හැම දෙයක්‌ම සම්මුතීන් බව අවබෝධ කළ යුතුය. මිනිසුන් වෙන්කර හඳුනා ගැනීමට හැඩ රුව හා නම් ගම් දී තිබේ. මිනිසා යනු නාම රූප ධර්ම පොදියක් වශයෙන් හරි දැකීම ඇති තැනැත්තා හඳුනා ගනී. රූපය සතර මහා ධාතුන්ගෙන් සෑදී තිබේ. ලොව හැම දෙයක්‌ම සිව් මහා භූතවලින් නිර්මිත වේ. නාම යනු - වේදනා (විඳීම), සංඥ (හඳුනා ගැනීම), සංස්‌කාර (සකස් වීම් ෙච්තනා කුසලාකුසල) විඤ්Æණ (දැන ගැනීම) යන සතරය.
සම්මුතිය අවශ්‍ය වන්නේ යමක් හඳුනා ගැනීමටයි. සැබෑ ලෙසින් නම් පුද්ගලයෙක්, කෙනෙක් නැත. ඇත්තේ පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මූලධාතු සතරින් සැකසුණු රූපයකි. මේ මා නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් දැකීම උසස් ම භාවනාව යයි බුදුන් වහන්සේ වදාළහ. කොයි මොහොතේ හෝ අපේ සිරුර මේ මූලධාතු සතරට බෙදී යන බවත් ඒ නිසා අනිත්‍ය බවත් මගේ නොවන බවත් අවබෝධ වනු ඇත. මෙය අවබෝධ කර ගැනීමට අපහසු විය හැක. එහෙත් දැන ගත නොහැකි දෙයක් නොවේ. යම් හෙයකින් දැන ගතහොත් අපේ හදවත් තුළ නිරන්තරයෙන්ම ධර්මය පවතින නිසා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන කිසිවක් පැවතිය නොහැක. මක් නිසා ද යත් අප හැම කෙනෙක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මූළධාතුන් ම මිස අන් විශේෂ යමක් නොවන නිසාය. මෙසේ ලබන අවබෝධය තරම් උත්කෘෂ්ඨ අවබෝදයක් තවත් තිබේද?
බුදුරදුන් දේශනා කළේ මෙතෙක් නොවූ විරූ (පෙර බුදුවරුන් දෙසූ පරිදි හැර) දහමකි. ඒ වූ කලී සියලුම දුක්‌ඛ දොaමනස්‌සයන් සදහට ම නැති කර දැමිය හැකි දහමක්‌ය. ධර්මය ගැන යම් වැටහීමක් තිබේ නම් අපකළ යුත්තේ අපට කරන්නට ඇති දෙය පමණි. අවශ්‍ය වන්නේ සිහියෙන් යුතුව විසීමයි. මිනිසුන් සුන්දරත්වයට වශී වෙයි. ඇලෙයි. සුන්දර දැයෙහි සෞන්දර්යය පවතින්නේ දින කීපයකට හෝ යම් සීමිත කලකට පමණි. වෙනස් වීම, මැලවීයැම, දිරාපත් වීම එහි ධර්මතාවයි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ සුන්දරත්වය දකින්න එහෙත් ඇලෙන්න එපා කියලයි. ප්‍රසන්න, හොඳ මනස්‌කාන්ත දේවල් වල එම ස්‌වභාවයන් ස්‌ථිර නොවේ. තාවකාලික ය. ස්‌ථිර වූ කිසිවක් මේ ලෝකයේ නැත. සත්‍යය එයයි. සුන්දර දේවල්වල සුන්දරත්වය වෙනස් වූ විට අපේ හද කම්පා වෙයි. හඬා වැළපේ. එහෙම වෙන්නේ ඒවායේ යථා ස්‌වභාවය වූ අනිත්‍යතාව, අස්‌ථිර බව නොදන්නා නිසාය. අපගේ දැකීමේ වරද එයයි. මෙම ස්‌වභාවය දැකීම ප්‍රඥව ඇතිකර ගැනීම වේ. සම්මා දිට්‌ඨිය ප්‍රඥව ජනිත කරයි.
අනිත්‍යතාව වනාහි ලොව සත්‍ය වූ ධර්මතාව යයි දැන් අපි දනිමු. දැන ගැනීම ප්‍රමාණවත් නැත. එය අප ධර්මය තුළින් දැක ගත යුතුය. ලස්‌සන යමක් දකිනවිට එහි නොඇලී එය එසේ නොවේ යෑයි අපට ම පවසා ගත යුතුය. අවලස්‌සන දෙයක් දකින විටද එසේ නොවෙතැයි පවසා ගත යුතුය. දේවල් තුළින් සත්‍යය දැක ගත හැකි වන්නේ එවිට ය. එසේම සත්‍යය නොවන දේවල් තුළින් සත්‍යය දැකීමටත් අස්‌ථිර දේවල් තුළින් ස්‌ථිරතාවක් දැකීමට හැකි වන්නේ එවිටයි.
මෙසේ අප විස්‌තර කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක, දුකට හේතුව, දුකෙහි සංසිඳීම හා දුක නැති කිරීමේ මග යන සත්‍ය සතරය. මනස පුහුණු කිරීම තුළින් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දැක ගත්විට දුක නැතිවේ. හැබැයි යමක් ලබා ගැනීමේ ආශාවෙන් භාවනා නොකළ යුතුය. භාවනා කරන්නේ සියල්ල අත හැරීම සඳහාය. අවබෝධයට හෝ ඉගෙනීමට ආශාවක් පවතින තෙක් අවබෝධය නම් නොලැබේ. අප භාවනාව තුළින් කරන්නේ මෙය ආත්මයක් නොවේ, යනුවෙන් දැකීමට හා මෙය මා හෝ කිසිවෙකු නොවේ යනුවෙන් දැකීමටය. ඒ වනාහි ගමනාන්තයට පැමිණ නතර වීම බඳුය. මෙසේ ශරීරය ද මනසද නැවතීමට පැමිණේ. මෙය තේරුම් ගැනීම අසීරුය. අවබෝධත්වයට පැමිණි විට සියල්ලම ධර්මය පවා අත්හැර දමනු ඇත. දුකෙහි සංසිඳීම යනු එයයි. ධර්ම පුහුණුවට වඩා තවත් ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකය තුළින් නම් සොයා ගත් නොහැක. මුලු ලොවම උසුලනු ලබන්නේ ධර්මය විසින්ය. මිනිසුන්ගේ සිත් දැන් දැන් අවුල් වී ප්‍රචණ්‌ඩ වී බිහිසුනු වී තිබෙන්නේ ධර්මය කෙරෙන වඩවඩාත් ඈත් වී සිටින නිසාය. ධර්මය අප තුළ තිබේ නම් අප සෑහීමට පත්වනු ඇත.
ධර්මයෙහි ඇති සියල්ලම වාක්‍ය තුනකින් ප්‍රකාශ කළ හැකි වේ. 1. සබ්බ පාපස්‌ස අකරණං, 2. කුසලස්‌ස උපසම්පදා, 3. සචිත්ත පරියෝදපනං යනු ඒ කරුණු තුනය. බුදු වරු සියල්ලෝම මෙසේ වදාළහ. බුදු දහමේ හදවත වැනි මේ ගැන කාටවත් නිසි අවබෝධයක් නැති තරම්ය. තුන් දොරින් ම සිදුවන අකුසල් වලින් වැළකිය යුතු බව සියලුම බුදුවරු දේශනා කළහ.
යහපත් දේවල් කිරීමට මිනිසුන්ට අවශ්‍යය. එහෙත් එය වචනයකට, සිතිවිල්ලකට පමණක් සීමා වී තිබෙන්නේ සිත, කය, වචනය පළමුව පවිත්‍රව තබාගෙන කුසලය දෙසට සිත නොනැමීමයි. කිලිටි රෙදිකඩකට සායම් පෙවිය හැකිද? අපිරිසිදු රෙදිකඩක් සායම් ගැල්වූ විට ලකයක් නැත. එය තිබුනාටත් වඩා කැත වේ. මෙසේ තම තමන් අතින් සිදුවන වැරදි අත නොහැර යහපත් දේ කිරීමට යැමෙහි අර්ථයක් තිබේද? වැරදි අතහරින්නේ කොහොමද? බොරු කීම, සොරකම, සතුන් මැරීම, මත් භාවිතය සුලභව සිදුවන අකුසල යන්ය. නිසරු දේවල් කතා කිරීම, ඉරිසියාව, මාන්නය, ලෝභ කම හා මසුරු කම, ආදී තවදුරටත් සිදු විය හැකි අකුසල් වේ. මේවායින් ඉවත් නොවී රැස්‌කරගන්නා කුසලය කෙබඳු වේද? අපිරිසිදු සිත කුසලයට නොනැමේ. රෙදිකඩ අපිරිසිදු නම් වර්ණ ගැන්වීමට පෙර හොඳින් සේදිය යුතුය.
'සබ්බ පාපස්‌ස අකරණං' යනු සියලුම පව් කම් වලින් දුරු වීමයි. පව් කර කර කුසල් සෙවීම වනාහි සෝද සෝදා මඩේ එබීමක් වැන්න. බුද්ධාවවාදය කෙරෙහි නිරතුරුව සතිය පිහිටුවා ගත යුතුය. කරන්නට අදහස් කරන දේ හා කරමින් සිටින දේ අතර පරස්‌පරය දැක ගත හැකි වන්නේ එවිටයි. අකුසල් මතට කුසල් මුසු කිරීමෙහි අර්ථයක් තිබේද?
හොඳට නරකට දෙකට කටම යයි ආප්තයක්, දැනමුතු කමක් තිබේ. මෙහිදී අප එය තවදුරටත් නිවැරැදි කරන්නේ නම් හොඳ නරක දෙකටම මුල් වන්නේ සිත කය හා වචනයයි. එය හරිදැයි සිතා බලන්න. අප අවධානය යොමු කළ යුතු තැන මෙතැනය. බොහෝ අපූරුවට ගෙය වත්ත පිටිය පිරිසිදුවට තබා ගන්නා අතරතුර අප නිකමටවත් සිත දෙස බලන්නේද? නිවස සේම සිතත් පිරිසිදු නම් පමණක් කුසලයට යොමු වෙන්න. කුසලය කියන්නේ පිරිසිදු සිතක පමණක් පහළ විය හැකි ෙච්තනාවකි.
හොස්‌ස දික් කරගෙන, මුහුණ පුළුටු කරගෙන කිසිවක් නොකරන්න. උයන පිහන විට, ඇඳුම් අපුල්ලන විට හිත ඒ දිහාවට පමණක් යොමු කරන්න. මිදුල් අමදින විට හිත මිදුලත් ඉදලිනුත් බැහැරව නොයවන්න. අපි අතින් බොහෝ වැරදි සිදුවන්නේ තමන් දෙස නොබලන නිසාය. කාටවත් නොපෙනෙන්නට මත් දෙවල් භාවිතය වැනි දෙවල් කරන්නේ අකුසලයක් නොවේ යෑයි සිතා ගෙන ද? එයින් රැවටෙන්නේ තමාමය. සිත ඔබේ අනුවණ ක්‍රියාව දෙස උපහාසයෙන් බලා සිටින බව දැන ගන්න. හෘදය සාක්‍ෂිය ඔබට කුමක් කියාවිද? මේ පුද්ගලයන් කිසි දිනක ධර්මය නොදකිනු ඇත. ඕනෑම වැරදි දෙයක් කරන්ට යන විට ඒ දෙසට ඔබේම සිත යොමු කරන්නේ නම්, එනම් හදවතින් බලන්නේ නම් එයින් මිදීමට බැරි කමක් නැත. ධර්මය දකින්නේ එකවරම නොවේ. වැරදි අත හරිමින් ධර්මයේ පහස ලැබීමට හදවත විවෘත කර තබා ගන්න.
අයහපත හැර දමා යහපත පුහුණු කරන්නේ කොහොමද? කුසලස්‌ස උපසම්පදා යන බුද්ධෝපදේශය වරදවා තේරුම් අරගෙන කුසල් සොයමින් රට පුරා සැරිසරන්නේ මොකටද? ගත කරන ඕනෑම මොහොතක අපේ සිත් කුසලයට යොමු කළ නොහැකිද? නිකරුනේ මුදල් යහමින් වියදම් කරමින් විනෝදය යටිහිතේ තබා ගෙන රට පුරා සංචාරය කළ යුතු නොවේ. කළ යුත්තේ තම සිතම හඳුනා ගෙන කුසලය දෙසට නැඹුරු වීමයි. රට පුරා සැරි සැරූ බොහෝ දෙනෙක් කුසල් මුන ගැසෙන තුරු කොපමණ දුර ගමන් කළත් ආපසු එන බව පෙනෙන්නේ හිස් අතිනි. මේ දේවල් අප නොදන්වා නොවේ. සැබෑ වශයෙන්ම දැන ගැනීම නම් හදවතින්ම දැන ගැනීමයි. අපේ සිත් දැහැමි හා හොඳ නම් අප මොන දේවල්වලට මුහුණ පෑවත් හැම විටම සතුට පවතී. සිනාසීම ද කරන්නේ මුවින් පමණක් නොව හදවතිනි. එසේම එම සතුට හෝ සිනහව තාවකාලික එකක් නොවේ.
අපට අවශ්‍ය පරිදි යම් යම් දේවල් සිද්ධ වනවා නම් පමණක් අපි සිනහසෙමු. සතුටු වෙමු. එසේ නොවන විට දුක් වෙමු. සිතා බලන්න අපේ කැමැත්ත පරිදි ලෝකයේ දේවල් සිද්ධ වේද? මගේ කුඹුරෙන් මට වී මලු තිහක් අවශ්‍ය වේ. එහෙත් ලැබුණේ මලු දහයකි. මට හැŽමට සිදුවේ. මා දුක් වූයේ කුමක් නිසාද? දේවල් වල යථා ස්‌වභාවය හා අනිත්‍යය නොදන්නා නිසා ය. මේ සියල්ල හේතුන්ගේ ප්‍රතිඵල නිසා වේ. ධර්මය අපේ පිහිටට සිටින්නේ මේ තැන් වලදීය. මහ මගදී මට හමුවූ යම් පුද්ගලයෙකු ඔහුගේ කෙසෙල් කැන මා හොරෙන් කපා ගත්තා යෑයි මට නොසරුප් බස් පවසයි. මෙහිදී මා කලබල විය යුතු නැත. කනගාටු විය යුතු ද නැත. සැබෑ සොරා දැනගත් විට ඔහුට පසු තැවීමට සිදුවන තෙක් ඉවසනු යෑයි ධර්මය මට පවසනු ඇත. සතුටට හේතුවන දේවල් ම උරුමකර ගෙන විසීම කිසිවෙකුට කළ නොහැක. මේ විදියට සතුට සොයා යැම මුළාවකි. ධර්මය දුටු තැනැත්තා හැම විටම සතුටිනි.
ධර්මය අවශ්‍ය සතුට සඳහාය. විභාගයට පෙනී සිටින දරුවා සමත් විය යුතුම යයි සිතන්නේ නම් අසමත් වුවහොත් දුකටද මුහුණ දීමට දක්‍ෂ විය යුතුය. ළමයා ධර්මය දකී නම්, අසමත් වීමද ඔහුට ප්‍රශ්නයක් නොවේ. කුඹුර පාලු වුවහොත් එසේ වූවාවේ, සරු වුවහොත් එයත් එසේ වූවා වේ යයි සිතන ගොවියා පරිද්දෙන් ළමයා ද සිතන්නේ නම් දෙදෙනාම ධර්මය දුටු අය වේ.
කසළ දුහුවිලි ඉවත් කර නිවස පවිත්‍ර කරන්නා සේ මනස පිරිසිදු කළ යුත්තේ කෙලෙස් කුණු ඉවත් කිරීමෙන්ය. "සචිත්ත පරියෝ දපනං" යන්නෙන් අදහස් කළේ එයයි. කෙලෙස් දුරු කළ සිත හැම විටම ශාන්තය. බාහිරින් එල්ල වන ප්‍රහාර ධර්මය දුටු සැනින් මනස හමුවෙහි බෙලහීණ වී යයි.
සතුට උදෙසා ධර්මයේ පිහිට හැර අන් පිහිටක් නැත. ධර්මයේ පහසින් තොර ප්‍රීතියේ ආයු කාලය ඉතා කෙටිය. හේතුන් නිසා ඇතිවන ඒ සතුට හේතුව නැතිව ගිය වහාම අහෝසි වේ. ධර්මය දුටු තැනැන්තාට හැම තැනම දිස් වන්නේ ධර්මයයි. අප බලා පොරොත්තු වන සතුට හැම විටම ලබාගත හැකිද? වෙන දෙයක් කුමටද අපේ සිතිවිලි පවා සමහර විට අපට ප්‍රිය නැත. නිවසේ බඩු මුට්‌ටු වල අතපය හැපුනත් ඒවා ඒ තැන්වල තැබූ අයට දොස් තබනු ඇත. තමාගේ ම මනසේ ඇති වරද නොපෙනේ.
ඇතැම් විට අපි දකින දකින හැම දෙයක් කෙරෙහි ද්වේෂ කරමු. මෙහිදී අප අපේ මනස දෙසම විපරම් කළ යුතුය. පිරිසිදු කළ යුත්තේ මනසම විනා බාහිර කිසිවක් හෝ කිසිවෙකු නොවේ. නුපුහුණු, මනස අයහපතට ම බර වේ. අප පුහුණු විය යුත්තේ අපේ වචන, ක්‍රියාවන් හා සිතිවිලි ඇසුරෙහි විනා අන් කිසික් නොවේ. ධර්මය දකිමින් ප්‍රඥව පහළ වන විට, අප කොතැනට ගියත් සාමය පවතී. සොබා දහම පවතින්නේ පැවතිය යුතු සුදුසුම අයුරු විනා වෙන විදියකට නොවේ. සියල්ල කැටි කර ගත් විට සියල්ල ධර්ම ස්‌වභාවය නම් වූ එකම ගණයට වැටේ. ඒ සියල්ල නිත්‍ය ලෙසම අනිත්‍යය.
කුසලයක් කළ විට එය තැන්පත් කර තබා ගත යුතු හොඳම නැත හදවතය. අපේ උත්කෘෂ්ට ස්‌වභාවය මනස තුළින් ම පුබුදුවා ගැනීමට වෙර දරන්න. හොඳ හෝ නරක බාහිර කිසිම තැනක නැත. එය පවතින්නේ අපේ මනස තුළමය. අයහපතින් වැළකී සිටින තරමට අප ගැන වඩාත් පැහැදිලිව අපටම දැනගත හැකි වන්නේය.
ශාස්‌ත්‍රවේදී පී. ඩී. ආරියරත්න
අති පූජ්‍ය අචාන් චා මාහිමියන්ගේ
සජීවි දහම (ඛසඩසබට Dය්පප්) කෘතිය ඇසුරිනි