ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදුදහම හා ධනාත්මක චින්තනය


ධනාත්මක චින්තනය පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක්‌ යොමුකරඇති බව පෙනේ. මීට දෙදහස්‌ පන්සිය වසරකට පෙර ලොව පහළවූ බුදුරජාණන් වහන්සේද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.

බුදුවීමට දස පෙරුම් දම් පිරූ බෝසතාණෝ ඒ මගින් ධනාත්මක ආකල්ප අනුව ක්‍රියාකළ සේක. උන්වහන්සේ පිරූ විර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව තුළින් ධනාත්මක චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදුවූ ආත්මයේ ඉපදුණු විගස ප්‍රකාශ කළ 'අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස්‌ යනාදී උදාන වාක්‍යය, සත් පියුම් මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර පැවිදි වීම, සත්‍ය සොයා යාම, අවුරුදු සයක්‌ දුෂ්කර ක්‍රියා කරමින් කළ උත්සාහය ආදී අවස්‌ථා විශේෂිත අවස්‌ථාවන් වේ.

තම අරමුණු ඉටු කර ගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදුවීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්‌ථාවකි.

1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4. සිරුරේ මස්‌ ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

මෙලෙස ඇතිකරගත් අධිෂ්ටානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක්‌ ලබාගැනීමට උන්වහන්සේ සමත්වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කර ගැනීමට බෝ සතුන්ට හැකිවූවා සේ ඕනෑම පුද්ගලයකු නොසැලෙන සිතින් සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක්‌ නොමැත.

යම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී 'මට පුලුවන්, මම ප්‍රතිඵල ලබාගන්නවා, මම දිනනවා' යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක්‌ ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක්‌ ඇතිකරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත නොහැකි ය. 'නැහැ බැහැ' ආදී සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක්‌ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්‌වරූපයයි. එසේ සිතන කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය නොහැකිය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. 'මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක්‌ ලැබේවි' මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යැමට නොහැකිය. සමාජයේ දියුණුව කරා පිය නගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.

'නාචින්තයන්තෝ පුරිසෝ විසේසි මධිගච්ඡති' 

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක්‌ පමණක්‌ නොව පසුතැවීමට පවා හේතු වෙයි. සෑම මිනිසකු තුළ ම නිර්මාණශීලී දක්‌ෂතා පවතී. ඒවා ඉස්‌මතු කරගත හැක්‌කේ උත්සාහය හා චිත්ත ශක්‌තිය මගිනි. සිතේ ඇතිවන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස්‌ පරිහානිය කරාම යති.

පුද්ගල අපේක්‌ෂා සාර්ථක කර ගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතුවිලි කෙසේ සකස්‌විය යුතුද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වාදී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමු 'අත්ථ කුසල' පුද්ගලයකු විය යුතුය. අත්ථ යනු අරමුණයි. කුසල යනු දක්‌ෂතාවයි. තම අරමුණ ඉටුකර ගැනීමට තමා දක්‌ක්‍ෂයකු වීම මෙහිදී අදහස්‌ කෙරෙයි. අරමුණු සාර්ථක කර ගැනීමේදී තමා විසින් ඇතිකරගත යුතු දක්‌ෂතා පහළොවක්‌ පිළිබඳ කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු පහළොව අතර 'සක්‌කෝ' යන පළමු ගුණය සුවිශේෂ වේ. පොතපත කියවීමෙන්, ලියවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණුq කරගන්නා විට දක්‌ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‌ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යැම නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම පරාජිතයෙක්‌ වෙයි.

කුසල් හෙවත් දක්‌ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවැතීම ලෝක ස්‌වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥව යන කුසල සිතුවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. බුදුදහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක්‌ නොකෙරේ. බුදුරදුන් දිනක්‌ බමුණකු අමතා, 'බමුණ, ඔබ කැමැති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට නොඑන්න' යනුවෙන් දේශනාකොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදුදහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරුයි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කරදෙන ලද්දේ දියුණුව කරා පියනැගීමට නම් පුද්ගල චිත්ත ශක්‌තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක්‌ කිරීමේදී,

1. ආරම්භ ධාතු (යමක්‌ ආරම්භකිරීමට)

2. නික්‌ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)

3. පරක්‌කම ධාතු (බාධා මැඩගෙන යාමට)

4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)

5. ඨිති ධාතු (ස්‌ථාවරව සිටීමට)

6. උපක්‌ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)

උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක්‌ ඉදිරියට කරගෙන යැමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකිය. තම ශක්‌තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇතිකර ගත යුතුය. තම හැකියාව තමා විසින්ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් පමණක්‌ ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය. කුසීතකමින්, පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනගාගත හැකිය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකිය.

තමන් යම් ක්‍රියාවක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇතිවිය හැකිය. බාධා ඇතිවූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නොවේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කර ගත යුතුය. ඇතැමුන් තමන්ට ඇති ශක්‌තිය හඳුනාගෙන නැත. වෙනත් අයකු දෙන උපදෙස්‌ හෝ පිළිගෙන උනන්දුවඇතිකර නොගනියි. එබඳු තැනැත්තාට දියුණුවිය නොහැකිය. සෑම ජයග්‍රහණයකටම මාවතක්‌ ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතුය. එහෙත් අනුන් දෙන උපදෙස්‌ තමන්ට ගැළපේදැයි සිතා බැලීම කළ යුතුය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්‌වකීය ශක්‌තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.

එදා බුදුරදුන් ස්‌වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවටම ශේ්‍රෂ්ඨ නායකයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි - පැවිදි දෙපිරිසද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව දෙලොව දියුණුව සලසාගන්න. එම නිසා අප ආගමික ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගෙන ක්‍රියා කිරීම, ඇහුම්කන්දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‌ෂණ හා පරීක්‌ෂණ කිරීම කළ යුතුය. එසේ කිරීමෙන් සෘණාත්මක චින්තනයෙන් මිදී ධනාත්මක චින්තනයක්‌ තුළින් සෑම ක්‍රියාවකම ජයග්‍රහණය උදාකරගත හැකිය.

ශාස්‌ත්‍රපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංස හිමි