ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ස්‌ථූප පිරිසිදු කිරීමෙන් ප්‍රිය දේ ඔබ වෙත ළංවේ


අල්ප පූජාවක්‌ කළ පුද්ගලයකුට වුවද, ගෞරවය පමණක්‌ කළ පුද්ගලයකුට වුවද, සිත පහදා ගැනීම පමණක්‌ කළ කෙනෙකුට වුවද එයින් මහත් අනුසසක්‌ දෙන, මෙසේය කියා සිතාගත නො හැකි පුදුම බලයක්‌ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය. බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිඳුම් කිරීමෙන් මෙලොවදීම බොහෝ අනුසස්‌ ලැබිය හැකි ය. මෙලොවදී බලාපොරොත්තුවන සෑම දෙයම වැඳීමෙන්ම ලබා ගත හැකිය කියා ද නොසිතියයුතු ය. මෙලොවදීම ඒ ඒ අනුසස්‌ ලැබීමට බලාපොරොත්තුවන පුද්ගලයන් විසින් ඒ ඒ අනුසස්‌ ලැබීමට හේතුවන බුදුගුණයන් මෙනෙහි කර බුදුරදුන්ට බැතියෙන් වැඳීම් කළ යුතුය.

මුදල් ඇති කෙනෙකුට මුදලින් තමා කැමැති දේ ලබා ගත හැකිවාක්‌ මෙන් පින් ඇති තැනැත්තාට ඒ පිනෙන් තමා ප්‍රාර්ථනා කළ විට තමන් කැමැති සුගතියකට යා හැකි ය. අලුත් දාගැබක්‌, ප්‍රතිමා මන්දිරයක්‌, ධර්ම ශාලාවක්‌, සංඝාවාසයක්‌ ඉදිකිරීම බොහෝ පින් සිදුවන කාර්යයකි. එහෙත් එය බොහෝ වෙහෙස විය යුත,= විය පැහැදම් කළ යුතු දෙයකි. දැනට ඉදිකොට ඇති එවැනි සිද්ධස්‌ථාන විනාශ වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීම සියලුම බෞද්ධයන්ගේ යුතුකමකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් එම පූජනීය ස්‌ථාන ආරක්‍ෂා කිරීමට හා විහාරාංග ප්‍රතිසංස්‌කරණයට දායක වියයුතුය. උත්සාහ වන්ත විය යුතුය. එය මහත් අනුසස්‌ ලැබෙන පුණ්‍යකර්මයකි.

ගෞතම බුද්ධ රාජ්‍යයේ ප්‍රථම චෛත්‍ය නිර්මාණය තපස්‌සු - භල්ලුක වෙළෙඳ සොහොයුරන් දෙදෙනා විසින් ඉදිකරන ලද චෛත්‍යයි. බුදුබව ලැබීමෙන් සත්වන සතියේ කිරිපලු ගසක්‌ යට සමවත් සුවයෙන් වැඩ වාසය කරන කල්හී වෙළෙඳ සොහොයුරන් දෙදෙනා බුදුන් වහන්සේට විළඳ හා මී පිඬු පිළිගැන්වූහ. දන් වළඳා අවසානයේ ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. අවසානයේ පුදන්නට යමක්‌ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට කේෂධාතුන් දුන් බවට සඳහන් වේ. එම කේෂධාතුන් තැන්පත් කොට ඔවුන් චෛත්‍යයක්‌ ඉදිකළේය.

දීර්ඝායුෂක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නොවිසිරී රන් කඳක්‌ සේ එකට පිහිටයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ "මම නොබෝ කලකින් පිරිනිවෙන්නෙමි. මාගේ සස්‌න තවම සැම තැන නොපතළේය. ඒ නිසා මගේ ශාරීරික ධාතුන් ගෙන පිහිටවා තම තමන්ගේ පෙදෙස්‌වල චෛත්‍ය කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්‌වර්ගපරායන වන්නාහයි" 'ධාතු විසිරී සිටිත්වායි' අධිෂ්ඨාන කළ සේක. එයින් උන්වහන්සේගේ ධාතුන් එකට නොසිට කුඩා කුඩා කැබලි වී සිටියහ. සතර දළදාව, අකු ධාතුන් දෙනම, ලලාට ධාතුව යන මේ ධාතුන් විසිර නොසිටි බව සඳහන් වේ. විසිරී ගිය ධාතුන් අබ ඇට පමණක්‌ වූහ. මධ්‍යම ධාතුන් මැදින් කැඩුනු සහල් ඇටයක්‌ පමණ වූහ. මහා ධාතුන් මුං පියලි පමණ ප්‍රමාණ වූහ.

බුද්ධවංශ පාලියේ සඳහන් ආකාරයට මහා ධාතුන් වහන්සේ රන් පැහැයෙන් ද මධ්‍යම ධාතුන් වහන්සේ මුතු පැහැයෙන් ද, කුඩා ධාතුන් වහන්සේ සමන් කැකුළු පැහැයෙන් ද වන්නාහ.

මිහිඳු නම් මහ රහතන් වහන්සේ තමන් වෙත වැඩ සිටි දළදා වහන්සේ නමක්‌ පිහිටුවා සෝමාවතී චෛත්‍ය කරවු බව සඳහන් ය. දකුණු අකු ධාතුන් වහන්සේ සක්‌දෙව් රජ වෙත තිබී මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් ලක්‌දිවට වැඩමවා ථූපාරාමයේ පිහිට වූ බවත් ලලාට ධාතුන් වහන්සේ කාවන්තිස්‌ස රජ සමයේ සේරුවාවිල චෛත්‍යයේ තැන්පත් කළ බවත් සඳහන් ය. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් තැන්පත් කර සුමන දෙව් රජ මහියංගනයේ මියුගුණ සෑය කරවූ බවත් දුටුගැමුණු රජතුමා කරවූ රුවන්මැලි මහ සෑයේ ලෝකයේ වැඩිම සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක්‌ වැඩ සිටින බවත් සඳහන් ය. බුදුන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ නමක්‌ දීඝවාපි චෛත්‍යයේ ද ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ ශේල චෛත්‍යයේ ද වැඩ සිටින බව ප්‍රකටය. අබැටක්‌ පමණ වූ සර්වඥධාතුන් වහන්සේ නමක්‌ වුවද යම්කිසි තැනක වැඩ සිටින්නේ නම් එතැන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානය. සර්වඥ ධාතුන් වහන්සේ පිහිටුවා කළ ස්‌ථූප වඩාත් පූජනීය වේ. ඒවා රැක ගැනීමට අප අප්‍රමාදව කටයුතු කළ යුතුය.

සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයේ පැලී තිබු තැනක්‌ බදාම ලා සංස්‌කරණය කළ සැදැහැවතෙක්‌ ඒ පිනෙන් සිවුඅනූ කපක්‌ දෙව් මිනිස්‌ සැප විඳ අප ගෞතම බුදුරාජණන් වහන්සේගේ සසුනෙහි පැවැදිව කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණ සංසාරය කෙළෙවර කළේය. බදාම පිඩක්‌ ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ 'සුධාපිණ්‌ඩිය' යන නමින්ම හඳුන්වන ලදී. තවද ඵුස්‌ස බුදුරදුන්ගේ ධාතුන් තැන්පත් කළ චෛත්‍යයක්‌ මහ වනයෙහි ඇතුන් විසින් පළුදු කරන ලදුව ගස්‌ වැවී ජරපත්ව තිබිණි. එක්‌ සැදැහැවතෙක්‌ ඒ චෛත්‍යයෙහි කැඩුනුq බිදුණු තැන් ප්‍රතිසංස්‌කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා අනූ කපක්‌ මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස්‌ සැප විඳ අප බුදුන් සමයේ පැවිදිව රහත්ව දුක්‌ කෙළවර කළේය.

බුදුරදුන් කල විසු මහ රහතන් වහන්සේ නමක්‌ වන පහ¥කර තෙරුන් වහන්සේ අතීතයේ එක්‌ කපෙක මිනිස්‌ ලොව ඉපිද වනයට ගොස්‌ දර කපා ගෙන එන වන කාර්මිකයකුව සිටියේය. දිනක්‌ ඔහු වනයට පිවිස සැරිසරන විට කිසිවෙකුට ළංවිය නොහැකි තරමට වනයෙන් වැසීගිය චෛත්‍යයක්‌ දුටුවේය. එය පදුමුත්තර බුදුරජුන් උදෙසා ගොඩනංවන ලද චෛත්‍යයකි. එය දැක ඒ වන කාර්මිකයා චෛත්‍යය කෙරෙහි බැති සිත් ඇතිව 'බුදුගුණ දන්නා මා හට මේ චෛත්‍යය එළි පෙහෙලි නොකොට අන් කටයුත්තක්‌ කිරීම නුසුදුසුය" යෑයි සිතා තමා කරනට ගිය කාර්යය නවතා, අකුල් කපා, ගස්‌වැල් කපා ඉවත් කොට, සෑය අවට මළුව පිරිසිදු කොට අට කොනක සිට චෛත්‍යය වැඳ නික්‌ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුට එහි සැට යොදුන් උස, තිස්‌ යොදුන් පළල රන් විමනක්‌ පහළ විය. කල්ප ලක්‍ෂයක්‌ ඒ පිනෙන් දෙව් මිනිස්‌ දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස්‌ ලොව ඉපිද ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් විය. පහ¥කර යනු ඒ රහතන් වහන්සේ නමයි. 

උන්වහන්සේ විසින් චෛත්‍ය පිරිසිදු කිරීමෙන් අතීතයේ ලත් ඵල මෙසේ විස්‌තර කොට තිබේ.

කුට්‌ඨං ගණ්‌ඩො කිලාසොච අපමාරො විතච්äකා

දද්දු කච්ඡූ ච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

ද්වේ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

සුවණ්‌ණවණ්‌ණො සබ්බත්ථ සප්පහාසො භවාමහං

අමනාපං විවඡ්ජති මනාපං උපතිට්‌ඨති

විසුද්ධං හොති මේ චිත්තං ඒකග්ගං සුසමාහිතං

ඒකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං

(පහ¥කරත්ථෙරාපදානයෙනි)

කුෂ්ඨ, ගඩු, සුදු කබර, අපස්‌මාර, අතුල් පතුල් පැලීම් ආදී රෝගද, දද, ඇඟ කැසීමේ රෝගද මට නැත. මේ චෛත්‍ය එළිකිරීමේ ඵලයයි. බුද්ධ ස්‌ථූපය පිරිසිදු කිරීමේ තවත් මාගේ ආශ්චර්යයක්‌ නම් මගේ කයෙහි තල කැලල් හටගත් බවක්‌ නොදනිමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමෙන් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසැරුවෙමි. මම සෑම භවයකදීම ප්‍රභාවත් ශරීරයක්‌ ඇතිව රන්වන් පැහැයෙන් බැබළුනෙමි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් අප්‍රිය දැ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රිය මනාප දැ මා කරා එළඹෙයි. තවද මාගේ සිත පිරිසිදු වෙයි. සිත එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි. බුද්ධ ස්‌ථූප පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක්‌ නම් මම ඒකාශනයෙහි හිඳ අර්හත්භාවයට පැමිණියෙමි හෙවත් භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පැමිණියෙමි යනුයි.

(පොත පත ඇසුරිණි.)

හර්ෂණ අමරසිංහ