ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුද්ධ දේශිත ආනාපාසතිය පිළිබඳ විමසුමක්‌

කිවුලදෙණියේ විජිතනන්ද හිමි,
නීග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය, මැටිකුඹුර, පොල්ගහවෙල

මේ ජීවිතයේදී ලබන ආස්‌වාද හතරක්‌ පිළිබඳ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේ විදියට විස්‌තර වේ.
'සාඛෝ ඝෝ කාලාමඅරිය සාවකෝ ඒවං අවේර චිත්තෝ ඒවං අබසාපඡ්ජ චිත්තෝ, ඒවං අසංතිලිට්‌ඨ චිත්තෝ, ඒවං විසුද්ධි චිත්තෝ තස්‌ස දිට්‌ඨෙව ධම්මේ චත්තාරෝ අස්‌සාසා අධිගතා හොන්ති'
කාලාමයෙනි, ඒ අනාර්ය ශ්‍රාවකයා මෙසේ අවෛරී වූත්, අව්‍යාපාද වූත්, නොකිලිටිවුත්, පිරිසිදු වූ සිත් ඇතියේ මේ ජීවිතය තුළම ආස්‌වාස හතරක්‌ ලබයි. ඒ හතර නම්,
1. පරලොවක්‌ වේ නම්, හොඳ නරක කර්මයන්ගේ විපාක තිබේ නම් මට ඒකාන්තයෙන් සෝභණ ගති ඇති ස්‌වර්ගයෙහි පෙළඹෙයි යන මේ පළමුවැනි ආස්‌වාසය ලබයි. (අයමස්‌ස පඨමෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
2. පරලොවක්‌ නොවේ නම් මේ පිං පව්වල විපාක නොවේ නම් මම මොලොවදී අවෛරී වූ අව්‍යාපාද වූ සැප ඇති අත්බැවක්‌ පරිහරණය කරමි යන දෙවැනි ආස්‌වාය ලබයි. (අයමස්‌ස දුතියෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
3. කරන්නාට පව් සිදුවේද මම කිසිවකුට පවක්‌ නොකරමි. පව්කම් නොකරන මම කුමන දුකක්‌ විඳින්නේදැයි තුන්වන ආස්‌වාදය ලබයි. (අයමස්‌ස තතියෝ අස්‌සාසෝ අධිගතෝ හෝති)
4. කරන්නාට පව් සිදු නොවේද,මම දෙපසින්ම පිරිසිදු අත්බැවක්‌ දකිමියි කියා ඔහු සිව්වන ආස්‌වාසය ලබයි. (අයමස්‌ස චතුත්ථෝ අස්‌සාසෝ අධිගතෝ හෝති).
මේ කාලාම සූත්‍රයේ විග්‍රහයට අනුවත් 'අස්‌සාස්‌ කියන වචනය විවරණය කර තියෙන්නේ ධර්ම මාර්ගයෙන් තමන් විසින් ලබන සැනසිලිදායක ප්‍රතිපල ගැන.
අංගුත්තර නිකායේ ඡත්ත නිපාතයේ නාග සූත්‍රය තුළ ඵල සමාපත්ති සුවය 'අස්‌සාස්‌ විදියට දක්‌වා තියෙනවා.
- යෝ ජධායී අස්‌සාස රතෝ - අඡ්ජධත්තං සුසමාහිතෝ ගච්ඡං සමාහිතෝ නාගෝ - ඨිතෝ නාතෝ සමාහිතෝ ධ්‍යාන කරණ ඒ බුද්ධ නාගයන් (තථාගතයන් වහන්සේ) ඵල සමාපත්තියෙන් යුක්‌ත ආස්‌වාසයෙහි යෙදුනේ ආධ්‍යාත්මයෙහි මනාකොට සිත සමාහිතය. බුද්ධ නාගයන් වහන්සේ වඩින්නේද සිටියේද සමාහිතය.
මේ 'නාග' කියන වචනය යොදා තියෙන්නේ බුදුන් වහන්සේට. නායකත්වයට අග්‍රම උතුමා නාග (නා+අග්ගුනාග) කියනවා. 'අහං නා ගෝව සංගමේ...' මම යුද බිමට එළඹි හස්‌ති රාජයෙක්‌ වගේ කියල ධම්ම පද ගාථාවක තියෙනවා. එතන නාග කියන්නේ ඇතාට. නයාටත් නාග කියල හඳුන්වනවා.
ආස්‌වාස නැති බ්‍රහ්මචරිය වාස හතරක්‌ පිළිබඳ සන්දක පරිබ්‍රාජකයාට වදාළ දේශනාවක්‌ මඡ්Cධිම නිකායේ සන්දක සූත්‍රයේ සඳහන් වෙනවා.
'චත්තාරෝ මේ සන්දක තේන භගවතා ජානතා පස්‌සතා, අරහතා, සම්මා සම්බුද්ධෙන අබ්‍රහ්මචරියවාසා අක්‌ඛාතා, චත්තාරිච අනස්‌සාසිකානි (න+අස්‌සාසිකානි) බ්‍රහ්මචරියානි අක්‌ඛාතානි.
සන්දකයෙනි නුවණින් දන්නා වූද, දක්‌නා වූද, තථාගතයන් වහන්සේ අබ්‍රහ්මචරියා වාස හතරක්‌ද, ආස්‌වාස රහිත බ්‍රහ්මචරියා වාස හතරක්‌ද වදාළ සේක. මේ පිළිබඳ වැඩි විස්‌තර සූත්‍රයෙන් බලාගත හැකි. මෙතනදී අවශ්‍ය වන්නේ 'අස්‌සාය' කියන වචනය. පෙළ දහමේ තෝරා තියෙන ආකාරය මතුකර ගැනීම.
බුදුරජාණන් වහන්සේ අඩමසක්‌, මසක්‌, තෙමසක්‌ ආදී වශයෙන් විවේකී සුවයෙන් හිටපු අවස්‌ථාවල තථාගතයන් වහන්සේ මේ කාලය තුළ කුමන විහරණයකින් යුතුව වාසය කළේද කියල යමෙක්‌ ඇහුවොත් ආනාපානසති විහරණයෙන් සිටි බවත්, එම ආනාපානයට 'අරිය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර කියල හඳුන්වන බවත්, බුදුහිමියන් භික්‌ෂුන්ට පැහැදිලි කළා. (සංයුත්ත නිකාය ආනාපානසති සංයුත්තය)
මේ අනුව බුදුරජාණන් වහන්සේත් ආනාපානසති විහරණයෙන් වාසය කර තියෙන බව පැහැදිලි වෙනවා. ආනාපාන කියන්නෙ හුස්‌ම රැල්ලට සිහිය පිහිටුවා කරන භාවනාවක්‌ නම් කළයුතු සියල්ල නිමා කළ තථාගතයන් වහන්සේ කළ ආනාපානය කුමක්‌ද? සර්වඥයන් වහන්සේට හුස්‌මවලට සිහිය පිහිටුවාගෙන කළ භාවනාව කුමක්‌ද? 
තථාගතයන් වහන්සේ වාසය කළ ආනාපානයට අරිය විහාරය, බ්‍රහ්ම විහාරය, තථාගත විහාරය කියා හඳුන්වා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වාසය කරන අර්ථයෙනුයි මෙහි ආනාපානය කියල හඳුන්වා තියෙන්නෙ. මෙතනදී මතුවන වැදගත් කාරණය තමයි එම ආනාපානයට කියල ඉහතින් සඳහන් කාරණය. ලෝකයේ තවත් ආනාපාන භාවනාවක්‌ තිබිච්ච හින්දයි 'එම ආනාපානය' කියල ලෝකයේ තිබිච්ච ආනාපානයෙන් වෙනස්‌ කරල පෙන්වන්න තථාගතයන් වහන්සේ මේ විදිහට වදාරලා තියෙන්නේ. අස්‌සාය තෝරලා තියෙන ආකාරය ඒ පරිවර්තකයන් දැකල නැහැ. එහෙම දැක්‌ක නම් මේ වැරැදි අර්ථකථන මේ විදිහට යොදා පරිවර්තනය කරන්නෙ නැහැ. මේ සිදුවී ඇති වැරැදි අර්ථකථන නිසා මුළු මහත් බෞද්ධ සමාජයක්‌ම ධර්මය කියල එසේ නොවන දේවල් බුද්ධ දේශනා හැටියට පිළිඅරගෙන මංමුළාවක වැටිල ඉන්නවා.
අද මේ බුද්ධ ශාසනය මගඵලලාභීන්ගෙන් මහ රහතුන් වහන්සේලාගෙන් හිස්‌වෙලා තියෙන්නෙ මොකද කියල හිතන්නවත් පැවිදි පිරිසවවත් උනන්දුවන්නේ නැහැ. මොකද ඒ අයත් සබ්බ දුක්‌ඛ නිස්‌සරණ කියල පැවිදිවෙලා ලාභ කීර්ති ප්‍රසංසාවලට ගිජුවෙලා අනාර්ය මාර්ගය වඩන පැත්ත ගිහි පිංවතුන්ටත් නොදෙවැනිව අත්හැරල මහණකම කියල අමුතුම ගමනක යන පිරිසක්‌ බවට පත්වෙලා. ඉතින් කෙසේ නම් ලොව මගඵලලාභීන් බිහිවෙන්නද? 
සංසාරය කියන්නෙ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. 'අනමතග්ගෝ (න අමත අග්ගෝ) අග අමත හෙවත් නිවන නෑ. මෙයින් කියන්නෙ අවිද්‍යාවෙන් පටන්ගන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ අග තියෙන්නේ සෝක, පරිදේව, දුක්‌ඛ, දොaමනස්‌ස, උපායාසයන් බව අග 'න-අමත' නින නෑ කියල කිව්වෙ මේකට. ඒකට හේතුව තමයි පුබ්බා කෝටි න පඤ්ඤායති. පූර්වය හෙවත් පටිච්ච සමුප්පාදයේ ආරම්භය ප්‍රඥවෙන් ආරම්භ නොවන නිසා. මේක තවත් පැහැදිලි කරනවා නම් පටිච්ච සමුප්පාදය අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටන්ගන්න නිසා අවසානයේ දුක්‌ඛස්‌ඛන්ධය පහළ වෙනවා. අග නිනව නැත්තෙ ආරම්භය තුළ ප්‍රඥව නැති නිසා (න පච්චායති) සංසාරය අනවරාග්‍රයි. එහි මුලක්‌ නෑ කියල අනමතග්ග දේශනයට දැන් අර්ථ දක්‌වා තියෙනවා. මුලක්‌ නැති දෙයකට අගක්‌ ද තියෙන්න විදිහක්‌ නෑ. ආරම්භයක්‌ අවසානයක්‌ නැත්තේ අසංකත ධර්මවල. සංසාර ගමනේ මුලත් නැතිනම් නිවන් දැක කිසි කෙනකුට සසර ගමන කෙළවර කරන්න ලැබෙන්නෙ නෑ. මොකද අසංඛතයක්‌ නැති කළ නොහැකි නිසා. වැරැදි අර්ථකථන නිසා ධර්මයේ පරස්‌පර මතුවන හැටි මෙයින්ද හොඳ හැටි පැහැදිළි වෙනවා.
සංසාර ගමනේ මුලක්‌ 'බුදුවරු න පඤ්ඤායති' නොපනවයි. එයට හේතුව තමා එය සසර දුක්‌ නිමාකරන්න උපකාරයක්‌ නොවන නිසා. අනික නම් එවැනි අති සූක්‍ෂම දෙයක්‌ වටහාගන්න සත්වයාට දත්තයක්‌ නොමැතිවීම.
සත්පුරිස සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය කරල අවිද්‍යා, තෘෂ්ණාවෙන් සිත මුදා ගැනීම සඳහා කුසලය අස්‌සාස කරමින් අකුසලය පස්‌සාස කරන්න ඕනෑ.තථාගත ධර්මය තුළ ආනාපානසතිය කියන්නෙ මේ වැඩපිළිවෙළට මිස හුස්‌ම නහය අග හෝ තොලේ ස්‌පර්ශ වෙන එකට සිහිය පිහිටුවීම නොවේ. හුස්‌ම අරමුණු කළාට ලෝකෝත්තර කුසලය වැඩීමක්‌ හෝ ප්‍රඥවේ දියුණුවක්‌ ලැබෙන්නේ නෑ.
ආස්‌වාස ප්‍රශ්වාස කියන වායුව අයිතිවන්නේ සතර මහා ධාතුවල රූප කොටසට. කුසලය අයිතිවන්නෙ සංඛාර කියන නාම ධර්මවලට. රූප ධර්ම ඇසුරු කරමින් එයට සිත පිහිටුවාගන්නට ලෝකෝත්තර කුසලයක්‌ වැඩෙන්නේ නෑ. කුසලසංඛාර කියන නාම ධර්මයන් වැඩීමෙන් තමයි අනාර්ය මාර්ගය දියුණුවෙන්නෙ. ඒ නිසා වායුම නමැති රූප ධර්¨මයකට සිත පිහිටුවීම නිවන්මඟ නොවන බව වටහාගන්න ඕන.
ආනාපානසතිය විස්‌තර කරන දේශනාවල 'නාසිකග්ගේ වා මුඛ නිමිත්තේවා' කියල විග්‍රහයක්‌ තියෙනවා. මෙතනදී පිටින් පෙනෙන ලෞකික අදහසින් අර්ථ දක්‌වා තියෙන්නෙ නාසය අග හෝ මුඛයේ තොල අග ආස්‌වාස ප්‍රශ්වාස ස්‌පර්ශ වන ආකාරය බලන්න කියල. මේ වැරැදි අර්ථකථනය නිසා තමයි බුද්ධ දේශිත ආනාපානසතිය කියල නාසයේ අග, තොල අග හුස්‌ම ස්‌පර්ශ වන ආකාරය බලමින් භාවනා කරන්න පෙළඹී තියෙන්නෙ.
මේ වචන නිරුත්ති අනුව විග්‍රහ කරද්දි මේ විදිහට වටහාගන්න ඕන. 'නාසිකග්ගේ' කියන වචනය 'න+ආසිතූඅග්ග කියල පද බෙදෙනවා. ලෝකය ප්‍රිය මධුර ස්‌වභාවයෙන් ඇසුරු කිරීම අග්‍රකර නොගෙන 'මුඛ නිමිත්තේවා' මුඛ්‍ය හෙවත් ප්‍රධාන නිමිත්ත විදිහට නිවන අග්‍ර කරගෙන කුසලල මාර්ගය වැඩීම තමයි මෙයින් කියවෙන්නෙ.
බෞද්ධයාට නිවන හැර වෙනත් අග්‍ර කළ යුතු කිසිවක්‌ නෑ. ලෝකයේ නිසරු බව දකිමින් පස්‌කම් සැප අලුයම හෙලූ කෙළ පිඩක්‌ ලෙස සලකා අප්‍රමාදීව මේ ඝෝර භයංකර අප්‍රමාණ දුක්‌වලින් පෙළෙන සසර ගමන නිමා කරගන්න කුසලය ආස්‌සාස කරමින්, අකුසලය පස්‌සාස කරමින් අරි අටඟි මඟ වැඩිය යුතුයි. ආනාපානසතිය යනු එයයි. සියලු මහ බෝසත්වරු සම්බුද්ධත්වයට පත්වෙන්නේ ආනාපානසති වැඩීමෙන් බව ධර්මයේ සඳහන් වේ. මෙයින් කියන්නේ හුස්‌ම රැල්ලට සිහිය පිහිටුවා බුදුබව ලබාගන්නා කියන කරුණ නොව, මීට පෙරද සඳහන් කළ ස්‌පර්ශ ආයතන හයේ ආස්‌වාද ආදීනව නිස්‌සරණ තතු සේ දැක ලෝකෝත්තර කුසලය වඩා සත්‍යය අවබෝධ කළා කියන එක.
ආනාපානසති නම් වූ මේ එකම ධර්මය බහුල වශයෙන් වැඩීමෙන් සතර සතිපට්‌ඨානය, සත්ත බෝජCධංග වැඩී විද්‍යා විමුක්‌තිය පූර්ණ වන බව සංයුත්ත නිකායේ ආනන්ද සූත්‍රයේ විස්‌තර වේ. ඒ වගේම ආනාපානසතිය නැවත නැවත බහුල වශයෙන් වැඩීමෙන් සංයෝජන ප්‍රහීනවීම, අනුශය කෙළෙස්‌ නැසීම, සියලු ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස පවතින බව සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තයේ සූත්‍ර දේශනාවල සඳහන් වේ. ඒ නිසා බුද්ධ දේශිත ආනාපානසතිය මොකක්‌ද කියල වටහාගෙන විමුක්‌තිය සාක්‌ෂාත් කරගන්න උත්සාහ විය යුතුයි.

ආනාපානසතී යස්‌ස - පරිපුණ්‌ණා සුභාවිතා

අනුපුබ්බා පරිචිතා - යථා බුද්ෙන දේශිතා

යෝ ඉමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා

යමෙක්‌ තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි මේ ආනාපානසතිය පුරුදු කරන ලද්දේද ඔහු වළා ගැබෙන් වෙන්වූ පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන්නේය. එනම් කෙලෙස්‌ වලාවෙන් කෙළෙස්‌ ඇඳුරෙන් මිදී ප්‍රඥාලෝකය ඇති කරගන්නේය.
මේ දේශනාව අනුව බුදුන් දේශනා කර තියෙන විදියටම (යථා බුද්ධෙන දේශිතා) වැඩුවොත් මෙසේ විමුක්‌තිය ලැබෙනා හැර හුස්‌ම ඇදීමෙන් නිවීම කිසිදා සිදු නොවන බව ස්‌ථිරය.
මෙම ලිපිය ගිහි පැවිදි බොහෝ දෙනකුට වැරැදි යෑයි හැඟේ නම් පෙළ දහමෙන් කරුණු පෙන්වා මෙම අදහස අනාථ කරන ලෙස අභියෝගයක්‌ද කරමි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනාගාමී උතුමා හා සමාජ සම්මතය

අනාගාමී මාර්ගඵල අවබෝධය ලබත්ම පුද්ගලයෙකු කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම මුළුමණින්ම ප්‍රහාණය කර දමනු ලබන බව ධර්මයෙහි සඳහන්ය. එබඳු පුද්ගලයෙකුගේ චිත්ත සන්තානය කෙබඳු විය හැකිද? සෝවාන් මාර්ගඵල ලාභයේදී පුද්ගලයෙකු ප්‍රහාණය කරන සක්‌කාය දිට්‌ඨී, සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම දෘෂ්ටි ගණයට අයත්ය. එබැවින් ඒවා ප්‍රහාණය කිරීම දෘෂ්ටි ප්‍රතිලාභයට පැමිණීමක්‌ ලෙස ධම්මසංගණියෙහි දක්‌වා ඇත. මූලික ආර්යභාවයට පත්වන පුද්ගලයාහට ඇත්තේ දර්ශන සම්පත්තිය හෙවත් දෘෂ්ටි ප්‍රතිලාභය පමණකි. එබඳු ආර්යශ්‍රාවකයෙකු තවම කාමරාග හා පටිඝ යන සංයෝජන ප්‍රහාණය කර නොමැති නිසා ඒවායෙහි බලපෑමට හසුවීමට යටත්ය. සකෘදාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ සංයෝජනවල තුනීවීමක්‌ හෙවත් අඩු වීමක්‌ සිදු වන බව දක්‌වා ඇතත් මුළුමනින්ම ප්‍රහාණය නොවන බව පෙන්වා දී තිබේ. ඒ නිසාම එබඳු උතුමෙකුගේ සිත තුළ එබඳු මානසික ආවේග යම් පමණකට බලපවත්වන බව මේ අනුව පැහැදිලිය. 
නමුදු විශාලම ගැටලුව ඇත්තේ ඊළඟ අවස්‌ථාව වන අනාගාමී මාර්ගඵලයට පත්වීමේ දී කාමරාග හා පටිඝ යන සංයෝජන මුළුමණින්ම ප්‍රහාණය වීම ඒ උතුමාහට දැනෙන ආකාරය සාමාන්‍ය සමාජය කිනම් ලෙසකට වටහාගන්නේද යන්නයි. සාමාන්‍යයෙන් මෙහිදී ථෙරවාදී සාම්ප්‍රදායික අර්ථවිවරණවලදී නම් සිදු කරන්නේ හුදෙක්‌ එය පාලි ත්‍රිපිටකයේ දක්‌වා ඇති ආකාරයට වන පොත්කර මතක තබා ගැනීමය. යළි එය කිසිවෙකුහට අර්ථවිවරණය කරනුයේද තමන් මතක තබාගත් පොත්වල සඳහන් වන ආකාරය අනුව මිස ඒ පිළිබඳ අසන්නන් තුළ කිසිදු ප්‍රාමාණික වටිනාකමකින් යුතු අවබෝධයක්‌ ගොඩනැඟෙන ආකාරයට නොවීම බුදුදහමෙහි සජීවී බව වියෑකී යැමට ප්‍රධානතම හේතුවකි. මෙකල ධර්ම දේශනා අසා මූලික බුදු සමයෙහි සඳහන් වන ආකාරයට මෙකල එකල මෙන් මාර්ගඵල ප්‍රතිවේධය නොලැබෙන්නේ මන්දැයි සිතන්නෙකුට දිය යුතු සුදුසුම පිළිතුර ඉහත සඳහන් වැකිය තුළ ගැබ්ව ඇත. එනම් මෙකල බුදු දහම දේශනා කරනු ලබන්නේ, ශ්‍රවණය කරනු ලබන්නේ හා ඉගෙනගනු ලබන්නේ මුල් බුදුසමයෙහි එය සිදු කළ ආකාරයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයට වීම මෙයට හේතුවයි. 
වචන, භාෂාව, ව්‍යාකරණ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සන්නිවේදනය කිරීමට උපයෝගී කරනු ලබන මෙවලම් මිසක ඒ මෙවලම් තුළ අවබෝධයක්‌ සෙවීමට යැම ඔබ සොයන අවබෝධයෙන් තව තවත් දුරකට ඔබ තල්ලුකර හැරීමට සමත්වන්නක්‌ බව ඔබ අවබෝධ කරගත යුතුයි. මුල් යුගයෙහි රහතුන් සුලබවීමට හා අනුක්‍රමයෙන් වියෑකී යැමට ප්‍රධානතම හේතුවද මෙයමයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟම පාලි ත්‍රිපිටකය ලේඛනගත ස්‌වරූපයකට පත්ව ආරක්‌ෂා වීම සිදුවිය. එය ඉතිහාසයට අනුව සිදුවිය යුතු අත්‍යවශ්‍ය වූ දෙයක්‌ව තිබිණ. නමුදු සිදු වූයේ ඒ තුළ බුදු දහමෙහි සජීවී ස්‌වරූපය සැඟව යැමයි. නමුදු අවශ්‍ය කෙනෙකුට වචන, භාෂාව, ව්‍යාකරණ ආදී හුදෙක්‌ භාෂා මෙවලම්වල එල්ලී නොසිට අවබෝධය කරා සෘජුව ප්‍රවේශ වීමේ හැකියාව දහම තුළ තවමත් ශේෂව පවතියි. විශේෂයෙන් ඉහළ මාර්ගඵල මට්‌ටම් බඳු අති සියුම් ගැඹුරු මනෝභාවයන්හි තත්ත්වය පිරිසිඳ දැකීමට අවශ්‍ය අවබෝධය ළඟා කරගැනීමට නම් වචන, භාෂාව, ව්‍යාකරණවලින් මුළාවට පත්වීමෙන් වැළකී අවබෝධය ඇතිවන අයුරින් එය නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ කිරීම අතිශයින්ම වැදගත්ය. මෙතැන් සිට කාමරාග සංයෝජනය විග්‍රහ කිරීමට උත්සාහ දරන අතර එම උත්සාහයේදී පටිඝ සංයෝජනයද වටහාගැනීමට ලැබෙනු ඇත. එය අනාගාමී උතුමාගේ සිත කෙසේ දැයි අවබෝධ කර ගැනීමට පහසුවකි. එය ධර්මාවබෝධයට පත්වීමට ද හේතුවකි.
කාමසුගතියට අයත්වූ මනුෂ්‍ය ලෝකයෙහි ස්‌ත්‍රී, පුරුෂ යනුවෙන් ප්‍රධාන ලිංග නිර්ණ දෙකකි. ඊට අමතරව අකුසල විපාක මත උපන් නපුංසක, පණ්‌ඩක, උභතෝබ්‍යඤ්ජන ආදී වශයෙන් නාමිකව සඳහන් මේ ප්‍රධාන ලිංග නිර්ණ දෙක අතරවූ පරාස කීපයක්‌ විද්‍යමාන බව පාරාජිකාපාලි ආදී විනය පිටකයට අයත් පොත්පත්වල සඳහන්ය. ඒ කරුණ නූතන වෛද්‍ය විද්‍යාව විසින්ද සනාථ කර තිබේ. කෙසේ හෝ ඒවා ද ලිංගික නිර්ණයන්මය. මේ හේතු නිසා ලිංගිකත්වයෙන් බැහැරව දැකීමට හෝ අවම වශයෙන් සිතීමටවත් මේ හේතු මත මනුලොව කිසිවෙකුට අවකාශ ලැබී නැත. මනුලොව ජනගහන දල ලෙස අඩ බැගින් ස්‌ත්‍රී පුරුෂ ලෙස ද්විවිධ ප්‍රධාන ලිංග නිර්ණ දෙකට බහුතරය බෙදීයයි. මේ අනුව යමෙකු මේ ලෝකය සංජානනය කරනු ලබන්නේ පුරුෂයෙකු හෝ ස්‌ත්‍රියක ලෙසය. නැතහොත් අවශේෂ අනුලිංග නිර්ණවලට අනුකූලවය. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මානවයෙකුට කිසිදු ලිංග නිර්ණයකින් පරිබාහිරව ලොව තුළ කිසිදු දෙයක්‌ සංජානනය කළ නොහැකිය. පටිඝ යනු කාම රාගයෙහිම ප්‍රතිවිරුද්ධ අංශයයි.කාමය ඇලීම, ආකර්ෂණය නම් පටිඝය ගැටීම, විකර්ෂණයයි. මෙහි විශේෂත්වය නම් ආකර්ෂණය තිබෙන විටම විකර්ශණය ද ක්‍රියාත්මක වන්නා සේ කාමරාගය ඇතිවිටම පටිඝයද හටගන්නා බවයි. එසේ නම් කාමරාග නැතිකළ පටිඝය ද නොවේ. මෙය එකම කාසියෙහි දෙපැත්ත බඳුය. එක සංයෝජනයක්‌ ප්‍රහාණයෙන්ම අනෙක්‌ සංයෝජනය ද නොවේ. මෙහි ඇත්තේ හුදෙක්‌ වචන හරඹයක්‌ පමණකි. එය අවබෝධ කර ගැනීම ධර්ම ප්‍රතිවේධයට ඉවහල් වේ. ධර්මයෙහි ප්‍රායෝගික හා ලේඛනගත ස්‌වරූප අතර ඇත්තේ මේ වෙනසයි.
මනුලොව තුළ ඕනෑම අයෙකු පුරුෂ හෝ ස්‌ත්‍රී ස්‌වරූපවලට අයත් බැවින් නිර්ලිංගිකව, වියුක්‌ත ලිංගිකව හෝ අලිංගිකව සිතීමට හුරුවක්‌ නැත. නමුදු ධර්මයෙහි සියුම්, ගැඹුරු මට්‌ටම්වලට ප්‍රවේශ වීමට නම් එබඳු හුරුවක්‌ ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබඳු මානසික හුරුවක්‌ ඇතිකර ගැනීමට විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබෙන මානසික අභ්‍යාස බොහෝ උපකාරී වේ. සැබවින්ම නිවන් කරා යාහැකි සෘජුමඟ වැටී ඇත්තේද මේ මානසික අභ්‍යාස වැඩීම හරහාය. විදර්ශනා භාවනා වැඩීම නම් සතරසතිපට්‌ඨානය වැඩීමයි. කෙනෙකු පුරුෂයෙකුව සිට ලොව සංජානනය කිරීමේදී ඒ පුද්ගලයා ලොව අවබෝධ කර ගනුයේ පුරුෂ ස්‌වරූපයෙනි. ස්‌ත්‍රියකටද මේ ධර්මතාව පොදුය. යමෙකු ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සංජානනය කරගැනීමේදී ඒ පිළිබඳව සිතතුළ අවිද්‍යාව උපදවන හැඟීම්වලට අනුකූලව ක්‌ෂර්කව මොළයේ රසායනික ප්‍රතික්‍රියාද ඊට අනුරූපව දේහතුළ හෝර්මෝන ක්‍රියාකාරිත්වයද සිදු වී ස්‌නායු ක්‍රියාකාරිත්වයද ඊට සම්බන්ධ කර ගනිමින් ඉතා සංකීර්ණ ලෙස කාමරාග සංයෝජන හටගනු ලැබේ. මේ සමස්‌ත ක්‍රියාදාමයේ වේගය අතිසීඝ්‍රව සිදු වන නිසා මූලික අවස්‌ථාවන්හිදී නොදැනේ. කෙනෙකුට මේ හැඟීම් දැනෙනුයේ එය ස්‌නායු මට්‌ටම් දක්‌වා ව්‍යාප්තවූ පසුවය. සතර සතිපට්‌ඨාන භාවනා වැඩීමේදී අනුක්‍රමිකව මූලික අවස්‌ථාවේදීම මේ සියල්ලෙහිම ක්‍රියාකාරීත්ව මැනවින් සිහියෙන් හා නුවණින් පිරිසිඳ දැකගත හැකියි. මේ ක්‍රියාකාරීත්වය සිහි නුවණින් නොදැකීම එහි වර්ධනයටත් සිහි නුවණින් දැකීම එහි ක්‍ෂයවීමටත් හේතුවයි.
අවිහ, අතප්ප, සුදස්‌ස, සුදස්‌සි හා අකනිට්‌ඨ යන පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපන් උතුමන්ට මනුෂ්‍ය ලෝකයේ මෙන් ලිංග නිර්ණයක්‌ නැත. අනාගාමී හා අරහත් උතුමන් පමණක්‌ මේ ලොව වෙසේ. කාම රාග හා පටිඝ යන සංයෝජන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ලිංග අනන්‍යතාව ශුද්ධාවාසයේ නැත. එහි ඇත්තේ අලිංගිකවූ සියුම් ජීවී කොට්‌ඨාශයකි. ශුද්ධාවාස හැරෙන්නට සෙසු රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ලිංග අනන්‍යතාව තාවකාලිකව යටපත්ය. ලෞකික ධ්‍යාන සමාපත්ති බලයෙන් කෙළෙස්‌ යටපත් කිරීමක්‌ මිසක ප්‍රහාණය කිරීමක්‌ නොවන බැවින් යළිත් අවස්‌ථාවලද විටක ඉස්‌මතුවීමේ හැකියාව පවතී. දෙව්ලෝකද කාමසුගති ලෝකයට අයත් නිසා එහිද කාමරාග, පටිඝ පවතී. නමුදු දෙව්ලෝවල අනාගාමී මාර්ගඵලයට පහළ සෝවාන්, සකෘදාගාමී ආර්යයන් වෙසේ. කාමරාග පවතින බැවින් දෙව්ලෝවල පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණද පවතී. මින් පැහැදිලි වනුයේ ලිංග අනන්‍යතාව ගොඩනැඟීමේ හේතුව කාමරාගය බවයි. කාමරාග නැතිනම් ලිංග අනන්‍යතාවක්‌ ද නැත. එසේනම් මනුලොවදී විදර්ශනා වඩා කාමරාග ප්‍රහීණව අනාගාමීවූ උතුමාහට ලිංගික අනන්‍යතාවක්‌ නැත්තේද? එසේ කාමරාග ප්‍රහීණවූ උතුමා පුරුෂ හෝ ස්‌ත්‍රී වේවා බාහිරව කායිකව දිස්‌වන ලිංගික අනන්‍යතාව මිසක අභ්‍යන්තර මානසික ලිංගික අනන්‍යතාවයක්‌ එතුමා තුළ සැබවින්ම නැත. කිසිදු ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණයක්‌ (කාමරාග), විකර්ෂණයක්‌ (පටිඝ) අනාගාමී උතුමා තුළ යළි හට නොගනියි. මොළ සඟළ තුළ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා, සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරිත්ව හෝ ස්‌නායු උත්තේජන ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණ මත යළි කිසිදා හට නොගනියි. මේ මනුලොව අනාගාමී උතුමාගේ හා ශුද්ධාවාස අනාගාමී උතුමාගේ වෙනස හුදෙක්‌ බාහිර කායික ස්‌වරූප පමණකි. මනුලොව අනාගාමී උතුමා බාහිර පුරුෂ, ස්‌ත්‍රී ලිංග නිර්ණවලට අදාළ කයකින් පෙනී සිටියද ඊට අදාළ සංයෝජන ප්‍රහාණය කර ඇති නිසා මනුලොව දිවි ගෙවන ලිංගික අනන්‍යතාවක්‌ නැත්තෙකු ලෙස හැඳින්විය හැකිය. මේ තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගැනීමට මනුලොව වෙසෙන සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රජාවට නොහැකිය. ඒ ඔවුන් වචන, භාෂාව, ව්‍යාකරණවල එල්ලී හරඹ කරන නිසාය. ප්‍රධාන ලිංග දෙක යටතට නොගැනෙන නපුංසක, පණ්‌ඩක, උභතොබ්‍යඤ්ජන ආදී සෙසු අනු ලිංග වර්ගවලට අයත් අය තුළ සාමාන්‍ය පුරුෂ,ස්‌ත්‍රී අයටද වඩා කාමරාග, පටිඝ අධිකව බලපවත්වන බව ධර්මයෙහිම පෙන්වාදී ඇත. ඒ ඔවුන් කාමයෙහි වරදවා හැසිරීම් පාප කර්ම විපාක මත එලෙස උපන් බැවිනි.
කාමරාග, පටිඝ ක්‍රියාකාරිත්වය සමඟ ජීවත්වීමට වඩා එය ප්‍රහාණය කළවිට ජීවත්වීම පහසුය. සුවදායීය. ඒ පිළිබඳ පොදු සමාජ සම්මුතියට වඩා ධර්මාවබෝධය වෙනස්‌ය. ධර්මාවබෝධය ලද්දෙකුගේ චර්යාව මේ නිසා සාමාන්‍ය පොදුසමාජ සම්මුතියට වඩා වෙනස්‌ වීම ස්‌වභාවිකය. සමාජ සම්මුතිය තමන් ලද වැටහීමට වඩා වෙනස්‌ බව දන්නා නිසාම එබඳු උතුමෝ ලේබල් ගැසූ පුහු නිශ්ඵල සමාජ ප්‍රසිද්ධිය හඹා නොයති. මාර්ගඵල ලේබල්වලටත් ආර්ථික වටිනාකම් පිරිනැමෙන මේ යුගයෙහි නොයෙකුත් හිස්‌ පුද්ගලයෝ කුප්‍රසිද්ධිය තකා උත්තරීතර මනුස්‌සධම්ම තුට්‌ටුවට දමා සැබෑ ධර්මය අභිබවා පුද්ගල මමත්වයම ඉස්‌මතු කිරීමට වෑයම් කරති. ශුද්ධාවාසයන්හි ගිහි පැවිදි බේදයක්‌ද නැත.විවාහය නමැති ලිංගික චර්යාව පාදකවූ පවුල් දිවියක්‌ මනුලොව ඇති බැවින්ම මනුලොව තුළ ගිහි පැවිදි බේදය විද්‍යමානය. ශුද්ධාවාසී අනාගාමී රහත් උතුමෝ ගිහි පැවිදි බේද රහිතව හුදකලාව වෙසෙති. එහි මානසික පැවැත්ම මනුලොවට වඩා ප්‍රබල මට්‌ටම ඒනිසාම පවතී. නමුදු මනුලොව වඩාත් අගය කරනුයේ බාහිර පැවැත්මය. එනිසා බාහිර පැවත්මටද මූලිකත්වය ලබාදී ගිහිපැවිදි භේදය පවතී. බුදුදහමේ මූලික අභිප්‍රාය පුද්ගලයෙකුගේ මනස සකස්‌කිරීමයි. කය සකස්‌ කිරීමට වඩා මනස සකස්‌ කිරීම සාමාන්‍යයෙන් අපහසුය. කය පැවිදි කිරීමට වඩා මනස පැවිදි කිරීම අපහසු එබැවිනි. මනුලොව බොහෝ දෙනෙකු කරනුයේ බුදුදහමේ අභ්‍යන්තර හරය පසෙකලා එය වැරදි දෘෂ්ටිකෝණයෙන් අන්තවාදීව ග්‍රහණය කොට මතවාදීව පැටලීම මිසක දහමෙහි හරය සොයායැම නොවේ. ධර්මප්‍රතිවේධය පවතිනුයේ හරය සොයායැම මතය. සියලු සත්ත්වයන් හට දහම් ඇස පහළ වේවා!

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුක්ඛ ආර්ය සත්‍යය

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, 
රාජකීය පණ්ඩිත, 
අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, 
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
පල්ලත්තර සුමනජෝති නා හිමි

ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා ( ධම්මචක්ක සූත්‍රය)
ගෞතම බෝසතාණන් වහන්සේ ලොවුතුරා සම්බුද්ධත්වයට පත්වූයේ අදට වසර 2605 කට පෙරයි. එදා වෙසක් පුරපොහෝ දිනයකි. තමා අවබෝධ කළ ධර්මය මෙනෙහි කරන විට එය ඉතා ගැඹුරු දහමක් බවට වටහාගති. එය අවබෝධ කරගැනීමට බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයන් ලොව සිටිත් දැයි බලමින් තමන් වහන්සේ තවුස් කළ ඇසුරු කළ ආලාරකාලාම උද්දකරාමපුත්‍ර ආදීන් ගැන සිහිකළා. ඒ අය මිනිස් ලොව නැති බව දැක අවසනට පස්වග තවුසන් ගැන බැලුව. ඒ වනවිට ඔවුන් බරණැස් නුවර ඉසිපතන නම් මිගදායෙ සිටින බව දැක්ක. ඔවුන්ට ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නට අදහස් කළ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැසට පා ගමනින් ම වැඩම කර එහි ළඟා වූයේ ඇසළ පුර පොහෝ දවසේය. පස්වග තවුසන් තමා ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුනට නොයෙක් කරුණු නිසා ඔවුන් තමාට අවනත කර ගන්නට සමත් වූහ. ඉක්බිති එදින සවස් යාමයෙහි ඔවුන් අවනත කරගත් බුදුරජාණන් වහන්සේ ඔවුනට ප්‍රථම ධර්ම චක්‍රය හෙවත් ධර්ම දේශනාව පැවැත්වූහ. මේ ධර්මය අසන්නට එහි මනුෂ්‍යයන් වශයෙන් සිටියේ පස්වග තවුසන් පමණකි. ඒ හැර දසදහසක් සක්වල දෙවි බඹුහුද වූහ. බුදුරජාණන් වහන්සේ දේශනාව අරඹමින් ‘ද්වෙ මෙ භික්ඛවේ අන්තා පබ්බ ජිතෙන න සෙව් තබ්බා’ ආදී වශයෙන් වදාරනව. මහණෙනි, හීන, ග්‍රාම්‍ය, අනාර්ය්‍ය, අනර්ථකකාමසුඛල්ලිකානුයෝගය (විමුක්තිය ලැබීම සඳහා කම් සුවයෙහි ඇලී ගැලී සිටීම) හා දුක්ඛ සහගත අනාර්ය අනර්ථකර අත්තකිලමථානුයෝගය (හෙවත් දුක් නැසීම සඳහා ආත්මයට වදදීම) යන අන්තගාමී ප්‍රතිපදා දෙක අත්හැර තථාගතයන් වහන්සේ විසින් නිවනට පිහිට වන අසහාය ප්‍රතිපදාව වන මැදුම් පිළීවෙත තමා විසින් අවබෝධ කරගත් බව වදාළ.

මැදුම් පිළිවෙතේ දුක්ඛාර්ය සත්‍යය, සමුදාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍ය මඟින් නිවන් දකින්නා දුක්ඛාදී ආර්ය සත්‍ය හතරක් පිළිපැදිය යුතුබව බුදුන් වහන්සේ වදාළ මේ හතරෙන් මාගේ දහම් ලිපියට පාදක වන්නේ දුක්ඛාර්ය සත්‍යයයි. සමස්ත ලෝක ප්‍රජාවටම දුකෙහි ගැළී සිටින බව දුක්ඛෙ ලොකො පතිට්ඨිතො යනුවෙන් වදාළ පරිදි මේ ලෝකේ තියෙන්නේ දුක පමණයි. අනෙක් සියල්ල දුකට යටත් දුක පදනම් කරගත් දේවලයි.
ලැබෙන්නේ දුක පමණයි. ඇත්තේත් දුක පමණයි. දුකින් තොර කිසිවක් නැත. දුකින් තොර කිසිවක් නිරුද්ධ වන්නෙත් නැතැයි බුදුන් වදාළේද ඒ බවයි. ඒ නිසා දුක යනු කුමක්ද, දුක ඇතිවන්නේ කෙසේද දුක දුරලිය යුත්තෙහි දුරලන මඟ අරි අටඟි මගයි. මේ ප්‍රතිපදාව අනුගමනය කළ පුද්ගලයාට දුකින් තොර වී නිවන් අවබෝධ කර ගැනීමෙන් සදා කාලික සැප ලැබිය හැකිය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් දුක්ඛ සත්‍ය පළමුව දේශනාකළ බුදුරජාණන් වහන්සේ ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, ආදී වශයෙන් වදාරනව මහණෙනි. දුක්ඛාර්ය සත්‍යය නම් ජාති (උපති) ජරා (දිරායම) ව්‍යාධි (රෝගීවීම) මරණ (උපන් සත්වයා උපන් භවයෙන්) මරණයට පත්වීම, ඒ හැර අපි‍්‍රය පුද්ගලයන් හා එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන් වීම, තමා කැමැති දෑ නො ලැබීම” හා පොදුවේ උපාදානස්ඛන්ධ පහම දුක්ඛ පුඤ්ජයකි. යන මේ කරුණු දුක්ඛාර්ය සත්‍යය බව වදාළහ. මේ දුක්ඛ සහගත පඤ්චස්කන්ධයෙහි අනාත්මභාවය (සදාකාලික නොවන බව) ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පුද්ගලයා සසරින් මිදෙන බවද තවදුරටත් උන්වහන්සේ වදාළහ.
ධම්මචක්ක දේශනාවෙදි සංක්ෂිප්තව දෙසූ දුක්ඛාර්යසත්‍ය ධර්මය පසු කලෙක සැරියුත් මහරහතන් වහන්සේ සච්චවිභංග සූත්‍ර දේශනාවේ දී සවිස්තරව දේශනා කර තිබේ. එම විස්තරය මෙතැන් සිට ඔබට වටහා දීමට මම උත්සාහ කරමි. ජාති නමැති සත්ත්වයාගේ උපතින් පටන් ගන්නා දුකට ඉහාත්මයේදීම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, රිසිදෑ නොලැබීම හා මුළු පඤ්චස්ඛන්ධයම අයත් බව සැරියුත් මා හිමි ප්‍රකාශ කළහ. සත්ත්වයන් උපත ලබන ඒ ඒ සත්ව නිකායවල සත්ත්වා වාසවල ඉපදීම සම්බන්ධයන්ගේ පහළවීම ජාතියයි. සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම සංසාරයේ ජරා දුක විස්තර කරමින් වදාරනව ඒ ඒ සත්ත්වයන් උපන් උපන් ලෝකවලදී පඤ්චස්කන්ධයාගේ දිරායාම, කැඩීයාම, මෝරායාම, පැසීම, සිරුර රැළි ගැසීම, ආයුෂ පිරිහීම, චක්ෂුරාදී ඉඳුරන් මුහුකුරායාම, ජරාවයි. මරණ නම් ඒ ඒ සත්ත්වයන් ඒ සත්ත්ව නිකායෙන් චුත වීම, චුතවන ලක්ෂණ, සිරුරේ බිඳී යාම, අතුරු දන්වීම, මාරයාගේ වසඟයට පත්වීම මරණය, හෙවත් ප්‍රාණය නිරුද්ධවීම, කාලක්‍රියාව, ස්කන්ධයන්ගේ බිඳීම, සිරුර බැහැර කිරීම, මරණය බව සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ශෝකය නම් ඇවැත්නි, නොයෙක් නොයෙක් විපත්වලට භාජනය වූ හා නානා දුක්වලට භාජනය වූ ඔහුගේ ශෝකය, ශෝක කිරීම, ශෝක කරන බව සිතු තුළ ඇතිවන ශෝකය වඩ වඩාත් සිතක් ඇතිවන ශෝකය උන්වහන්සේ විස්තර කළහ. පරිදේව දුක විස්තර කරමින් වදාරනව. විවිධ විපත්තිවලට පත් වූ විවිධ දුක් දොම්නස්වලින් පෙළෙන්නහුගේ විලාපකීම, විලාප දිදී හැඬීම එසේ හැඬීම පරිදේවයයි වදාළහ. දුක්ඛ යන්න විස්තර කරන සැරියුත් මා හිමියෝ ඇවැත්නි, කිසියම් කායික දුකක්, කායික අසහනයක්, නුරුස්සන බවක්, කිසියම්, වින්දනයක් අප පිළිබඳ දුකක් වේ නම්, අමිහිරි වින්දනයකි. එය දුකකි. දොම්නස නම් චෛතසික දුකයි. එනම් සිතේ හටගන්නා අමිහිරි වේදනාවයි. සිත සමඟ බැඳුණු දුකයි. නොමිහිරි වින්දනය දොම්නසයි. උපායාශය නම් විවිධ ව්‍යසනයන්ට ගොදුරු වූ විවිධ දුක් ගැහැටවලට භාජන වූ පුද්ගලයාගේ දැඩි උත්සාහය, දැඩි ජීවිත භාවය දැඩි වෙහෙසකර බව, දැඩි පීඩාකාරී බව උපායාශ යයි. ඇවැත්නි, කැමැති දෑ නො ලැබීම නම් දුක කුමක්ද උපත ස්භාවකොට ඇති සත්වයන්ට මේ බඳු ආශාවන් උපදිනව. ඒ කාන්තයෙන්ම අපට උපතක් නොවේවා. ඒකාන්තයෙන්ම අපට උපතක් නොයේවා. ඒකාන්තයෙන්ම උපතක් නොයේවා මේ ආශාවන් නො පැමිණෙනවා යයි සිතුවාට කවදාවත් නොලැබේ. දරුවන් ඉර හඳ ඉල්ලන්නාක් වැනිය මෙයද දුකකි. ඇවැත්නි, ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවන් උපදියි. එනම් අනේ! අපි ඒකාන්තයෙන්ම ජරාවෙන් පෙලෙන්නෝ නොවෙත්වා. ඒකානත්යෙන්ම අප කරා ජරාව නො පැමිණේවා. මේ ආශාවට නො පැමිණේවා. මෙය ද කැමැති දෑ නොලැබී යාම නිසා ඇතිවන දුකකි. රෝගීවීම ස්වභාව, කොට ඇති සත්ත්වයන්ට මෙබඳු ආශාවක් උපදිනවා. අනේ අපි රෝගීවීම ස්වභාව කොට ඇත්තේ නො වෙමුවා, අප කරා ව්‍යාධිය නොපැමිණේවා. මේ ආශාව මුදුන් පත් නොවීම නිසා කැමැති දෑ නො ලැබීමේ දුක හටගන්නව. මරණ ධර්මය ද එසේමය. එය දශාව ඉටු නොවීමෙන් ඇතිවන දුකකි. ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස, උපායාස බහුල කොට ඇති සත්ත්වයන්ට ඒවා අපවෙත නො පැමිණේවායි සිතුනට ඒවා අප වෙත ඒකාන්තයෙන්ම පැමිණෙන නිසා ඉච්ඡා භංගත්වයෙන් (කැමැති දෑ නො ලැබීමෙන්) උපදින දුක්ඛයෝය. අවසනට පඤ්ච උපාදානස්කන්ධය විස්තර කරන සැරියුත් හාමුදුරුවෝ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහම එකටගෙන ඒ උපාදාන පහම දුක්ඛාර්ය සත්‍යය බව සැරියුත් හාමුදුරුවො වදාළහ. මෙහිදී උපාදාන යන ධර්ම පදය සාමාන්‍යයෙන් අප වටහාගත යුතුව ඇත. උපාදාන නම් සිතටගත් අරමුණ අත් නොහැර තදින් අල්ලා ගැනීමයි. නයා මැඩියකු ඩැහැගත්තා මෙනි. එනම් රූපපාදාන වෙදනුපාදාන, සඤ්ඤාපාදාන, සංඛාරූපදාන විඤ්ඤාණුපාදාන යන ස්කන්ධ පස කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද වශයෙන් අල්ලා ගැනීම උපාදානයයි. 

මේ හතරට විෂය ව පඤ්චස්කන්ධය උපාදාන ස්ඛන්ධයයි. එනම් ස්කන්ධ පඤ්චකයයි. නාම, රූප, අරූප යන භවචක්‍රයට අයත් මේ රූප වේදනාදී පස පඤ්චුපාදානස්ඛන්ධයයි.
දුක්ඛ සත්‍යය විස්තර කරන විසුද්ධි මාර්ගය දුක්ඛ නම් පිළිකුල් කටයුතු (දූ) හිස් (ඛ) වූවකි. ඒ අනුව ධුව, ස්ථිර, සුඛ (සැප) සුබ (යහපත්) ආත්ම (ස්ථිර ජීවයක්) යන මේ කරුණුවලින් තොර හෙවත් හිස් යන තේරුම දෙයි. එනම් දුක්ඛ නම් පිළිකුල් කටයුතු හිස් (තුච්ඡ) තත්ත්වයකි. සමුදය සත්‍යය දුක් ඉපදීමට හේතුවයි. නිරෝධ සත්‍යය නම් දුක් නූපදීමට ක්‍රියා කිරීමයි. මාර්ග සත්‍යය නම් දුක් නිරුද්ධ කිරීමට හෙවත් නිර්වාණය කරා පැමිණීමට පුරණ ප්‍රතිපත්ති යයි. චතුරාර්ය සත්‍යය තුනක්ම දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තියයි. මේ සතර බුද්ධාදී ආර්යයන් ප්‍රතිවේධ කරන හෙයින් ආර්යය සත්‍යය නමින් හැඳින් වේ. අරියෙහි පටිච්ඡ්ජි තබ්බානි සච්චානි අරියසච්චානි යි කීයේ ඒ බවයි. ඉමෙසං ඛො භික්ඛවේ චතුන්නං අරිය සච්චානං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති’ යන්නෙන් කියන්නේ ද මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේට ආර්ය යයි කියති. යනුයි. දුක්ඛ සත්‍යයෙහි කෘත්‍යය සත්වයා පෙළීමයි. දුක යන ස්වභාවය ඇති දෙයකි. නො වෙනස් වන තත්ත්වයකි. ගිනි දැල්වෙන දර, තෘණ, ගොම ආදී ද්‍රව්‍යවලින් හටගත් ගින්නෙහි උෂ්ණත්වය වෙනසක් නැතිව එකසේ පවති. එමෙන් ලෝක සත්ත්වයන්ගේ ජාති, ජරා, මරණ යන ස්වභාවයක් මනුෂ්‍යන්ගේ කෙලින් ගමන් කිරීම, තිරිසනුන්ගේ හරහට ගමන් කිරීම යන මෙම ස්වභාවයන් මුළු ලොවම එක සමානව පවතින්නාක් මෙනි. අවිපරීත ස්වාභවය සථ්‍යාර්ථය එසේ මැයි. මේ ලක්ෂණ චතුරාර්ය සත්‍යයට පොදුයි.
සත්ත්වයාගේ මව්කුස උපත ගවරවල උපදින පණුවකු මෙනි. දශමසක් ඒ පිළිකුල් කුසැ වසයි. මවට මොන හිරිහැරයක් වුවත් කුස තුළ වකුටුව සිටින දරුවාද අපමණ දුකට පත්වේ. මව සිහිල් පැන් බීවොත් දරුවා සීත නරකයෙහි වැටුනා සේ දුකට පත්වෙයි. උණුපැන් බීවොත් දරුවා අඟුරු වෑස්සකින් වටවූවා සේ දුකට පත්වෙයි. උපදින්නේද ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත මහා දුකකිනි. ජරාව නම් දත් වැටීම, කෙස් පැසීම ආදිය ප්‍රකට ජරාවයි. සිරුර ඇතුළත දුර්වලවීම අප්‍රකට ජරාවයි. මරණ දුක නම් එක භවයක උපන් ජීවිතයාගේ බිඳීයාමයි.
සෝකය නම් ඥාතිව්‍යසනාදියෙන් හිතේ උපදින තැවීමයි. දැවීමයි. තමා කළ නොකළ සුසිරිත් දුසිරිත් ගැන තැවීමක් ශෝකයයි. පරිදේව නම් ඥාතී ආදී හිතවතුන්ගේ විනාශය නිසා විලාප නගා හැඬීමයි. දුක්ඛ නම් නායික දුක්ඛ, කායික ආබාධ හා මානසික නොඉවසීම් දුක්ඛයි. දොමනස්ස නම් කිසියම් කරුණක් මුල්කරගෙන සිතේ ඇතිවන දොම්නසයි. මෙහි දී හිසේ පපුවේ අත්ගසාගෙන වැළපීම, ජීවිත විනාශ කර ගැනීමාදී ව්‍යසනයකට පත්වේ. මෙය දොම්නස යනුවෙන්ද හැඳින්විය හැකියි. උපායාස නම් ඤාතිවාසනාදියෙන් ඇතිවන සීමාරහිත දුක් නිසා උපදින ද්වේශ යයි. සිතේ දැවීමක් මෙහි දී ඇතිවේ. මේ අනුව මඳ ගින්නෙන් බඳුනක් තුළ පැසීම වැනියි ශෝකය. තද ගින්නෙන් පැසෙන දෑ බඳුනෙන් පිටට උතුරා යාම මෙනි, පරිදේවය. උතුරා ගිය දැයෙන් බඳුන තුළ ඉතිරි ව බඳුන තුළ පැහී පැහී තිබෙන දෑය මෙහි උපායාශය. අපි‍්‍රය සම්ප්‍රයෝගය නම් තමාගේ සිත සතුටු නොවන අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම අපි‍්‍රය සමීපයෝග දුකයි. පි‍්‍රය විප්‍රයෝග දුක නම් තමාට මනාප වස්තූන්ගෙන් හෝ මනාප සත්ත්වයන්ගෙන් වෙන්වීම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛ යයි. ඉච්ඡා විඝාත දුක්ඛය නම් අනේ! මම නූපන්නෙමි නම් කොපමණ හොඳ ද අනේ මට අහසින් පියාඹන්න පුළුවන් නම් කොපමණ පහසුද යනාදී වශයෙන් කවරදාකවත් නොලැබිය යමක් ගැන පතනව නම් එය ඉච්ඡා විඝාත හෙවත් නොලැබියහැකි දෑ පැතීමෙන් උපදින දුකයි. අවසාන වශයෙන් පඤ්ච උපාදානස්ඛන්ධය ම එකට බැඳී තිබෙන බැවින් සංක්ෂේප වශයෙන් දුක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. දරට ගින්දර මෙන් අවි පහරට ඉලක්කය මෙන් පාත්‍යාදී දුක්වලට මුළු පඤ්චස්ඛන්ධයම ගොදුරු වේ. ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’යි බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු ම කාම රූප අරූප යන ත්‍රිවිධ ලෝකවාසී සත්වයින්ම ස්වභාවයෙන් මේ මහා දුකට හසු වී සිටින බවයි. එහෙයින් ඔබ අප හැමෝම මේ පරම සත්‍යය වටහා ගෙන සදහටම මිදීමේ බුදුන් වදාළ නිවන් මඟට යොමු වන්න අධිෂ්ඨාන කර ගනිත්වා. ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රඥා විමුක්‌තිය සහ උභතෝභාග විමුක්‌තිය

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි

යම් අයෙකුට මාර්ගඵල අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, ධර්මය අවබෝධ කරගත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්‌ මුණගැසී, ආර්ය මාර්ගය අසා දරාගෙන ඒ අනුව සිතා විමසා බැලිය යුතුය. එනම් මෙහි ප්‍රධාන කාරණා දෙකක්‌ අන්තර්ගතය. එනම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ යෝනිසෝ මනසිකාරයයි. අද කල්‍යාණ මිත්‍රයා කවුද? යන්න සොයාගැනීම ගැටලුවක්‌ව පවතී. යම් අයෙක්‌ ප්‍රකාශ කරන ධර්මය තුළ යෝනිසෝ මනසිකාරය යෙදවීමෙන් තමාගේ රාග, ද්වේශ මෝහ ක්‌ෂය වනවා නම්, එම දේශකයා කල්‍යාණ මිත්‍රයෙකි. කල්‍යාණ මිත්‍රයා මාර්ගඵල අවබෝධය සඳහා ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරයි. දැනට මාර්ගඵල අවබෝධ කරගෙන ඇති ආර්යයන් වහන්සේලාට ත්, අනාගත බුද්ධ ශාසනවල ශ්‍රාවකයන් වහන්සේලාටත් සහ විශේෂ හැකියාවක්‌ ඇති ගිහි පිංවතුන්ට ත් මාර්ගඵල අවබෝධය සඳහා ධර්මය දේශනා කිරීමේ හැකියාව ඇත. කොතරම් එම ධර්මය ඇසුවත් ඒ අනුව යෝනිසෝ මනසිකාරය හැසිරවීමට අපොහොසත් නම්, කිසිවිටක මාර්ගඵල අවබෝධ කළ නොහැක. 

සද්ධානුසාරී පුද්ගලයාත් ධම්මානුසාරී පුද්ගලයාත් නිවන සාක්‌ෂාත් කරගන්නා ආකාර දෙකක්‌ ධර්මයේ දැක්‌වේ. එනම් ප්‍රඥා විමුක්‌තියෙන් නිවීම සහ උභතෝභාග විමුක්‌තියෙන් නිවීමයි. ප්‍රඥා විමුක්‌තිය යනු රූපාවචර ධ්‍යාන සතර දියුණුකර, ඇතිකරගත් උපේක්‌ෂාව පදනම් කරගෙන විදර්ශනා වඩා නිවන් දැකීමයි. උභතෝභාග විමුක්‌තිය යනු රූපාවචර මෙන්ම අරූපාවචර යන ධ්‍යාන කොටස්‌ දෙකම වඩවා නිවන් දැකීමයි. 

බඹයක්‌ පමණ උසට ඇති මනස සහිත තමන්ගේ කය පිළිබඳව හෙවත් තම ජීවන පැවැත්ම පරීක්‌ෂා කිරීමෙන්, එම පැවැත්ම තුළ ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී දුක්‌ සමූහයක්‌ බවත්, කොතන ඉපදුනත් දුක පවතින බව අවබෝධයෙන්, මෙම දුක්‌ සහිත සංසාරයෙන් එගොඩ විය යුතු බවට තීරණයක්‌ තමන්ගේ අභ්‍යන්තරයෙන් සත්‍ය වශයෙන්ම එන පුද්ගලයාට පමණක්‌ ලෝකෝත්තර නිර්වාණය කරා ගමන් කළ හැකිය. මෙහි දී එම පුද්ගලයාට ආකාරවතී සද්ධාවක්‌ ඇතිවේ. එනම් බුදු පියාණන් වහන්සේගේ ගුණ, ධර්මය තුළින් දැකගෙන ලෝකය අතහැර නිර්වාණය කරා පැහැදීමයි. ඉන්පසු මොහු සීලයක පිහිටා කටයුතු කළ යුතුය. සියලු පව් අතහරිමින් කුසල් කරමින් සිත පිරිසිදු කර ගැනීම, යන සියලු බුදුවරයන්ගේ අනුශාසනාවට අනුව ආර්ය සීලයේ කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. සියලු පව් අතහැරීම එකවර කළ නොහැක්‌කකි. මේ සඳහා වැඩපිළිවෙලක්‌ ඇත. එනම් කැළයකට, ගසක්‌ මුලකට හෝ ශුන්‍යාගාරයකට ගොස්‌ වාඩිවී නිශ්ශබ්ද වූ විට කයෙන් සිදුවන වැරදි සහ වචනයෙන් සිදු වන වැරදි යටපත් වේ. නමුත් සිතෙන් සිදුවන වැරදි ඇත. එම වැරදිත් මඟහරවා ගැනීමට රාග, දෝස, මෝහ යටපත් වන අරමුණක්‌ හෙවත් ඇලීම්-ගැටීම් නැති අරමුණක සිහිය පිහිටුවා ගත් විට සිත උපේක්‌ෂා තත්ත්වයට පත්කරගත හැකිය. එනම් ආනාපාන වැනි අරමුණක්‌ ගෙන කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් වෙන්වූ පංච නීවරණ යටපත් කරගෙන, පිළිවෙළින් පළමු, දෙවැනි, තෙවැනි සහ හතරවැනි ධ්‍යාන ඇතිකරගෙන උපේක්‌ෂාවට පත්විය හැකිය. 

උපේක්‌ඛා සිතෙන් සද්ධර්මය අවබෝධ කරගත යුතුය. සද්ධර්මය යනු සත්‍යයයි. මෙම සත්‍ය දැකීමට සාමාන්‍ය සිතකට නොහැක. එනම් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කර ගැනීමේ නුවණ හෙවත් යථාභූත ඥානය ඇතිකර ගැනීමට සිත ඇලීම් ගැටීම් අවම කර ගනිමින් ඉහත ලෙස සිත උපෙක්‌ඛා ස්‌වභාවයකට පත්කරගත යුතුය. එම උපෙක්‌ඛාව පදනම් කරගෙන ජීවන පැවැත්ම හෙවත් කයේ සහ සිතේ ක්‍රියාකාරිත්වය, එනම් නාම-රූප ක්‍රියාකාරිත්වය විමර්ශනය කළ යුතුය. මෙය විදර්ශනා කිරීම ලෙස ධර්මයේ හඳුන්වයි.

කයේ යථාර්ථය හෙවත් රූපයේ යථාර්ථය අවබෝධයෙන් රූපය ප්‍රතික්‌ෂේප කළ හැකිය. රූපය ප්‍රතික්‌ෂේප කිරීමට ධාතු මනසිකාරය, පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය , ආහාරයේ පටික්‌කූල සංඥා යනාදී කර්මස්‌ථාන භාවිත කළ හැකිය. මේ තුළින් රූපය පිළිසිඳ දැකගෙන, එය ප්‍රතික්‌ෂේප කළ හැකිය. සතිපට්‌ඨානයේ කායානුපස්‌සනාව යොදාගන්නේ ප්‍රධාන වශයෙන් රූපයට පහර ගැසීම සදහාය.

රූපය විදර්ශනා නුවණින් බැලූ පසු, සිත විනිවිද දැකිය යුතුය. එහිදී සිතක අන්තර්ගතය පිළිබද අවබෝධය ඉතා වැදගත් වේ. ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප සම්බන්ධ වන විට විඤ්ඤාණය නාම ධර්ම සමූහයක්‌ සමඟ හටගෙන ක්‍රියාත්මක වීම සිතක්‌ ලෙස හැඳින්වේ. එනම් මෙම සිත තුළ ඇත්තේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයකි. විඤ්ඤාණය යනු දැනුවත්භාවය නමැති ශක්‌තිය හෙවත් ධාතුවයි. එහි සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. නාම ධර්ම යනු චෛතසික සමූහයකි. එහිද සතෙක්‌ පුද්ගයෙක්‌ මමෙක්‌ නැත. රූප යනු ධාතු හතරකින් සෑදුණු දෙයකි. එහිද සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැත. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, කායික පහස ලබනවා, යනවා, එනවා, කනවා, බොනවා, සිතනවා යනා දී සෑම සිතකම ඇත්තේ මෙම විඤ්ඤාණ නාම රූප ක්‍රියාකාරිත්වයයි. එය ස්‌වභාව ධර්මයේ සිදුවීමකි. ක්‍රියාකාරිත්වයක්‌ පැවතුණත් එය කරන්නෙක්‌ නොමැත. නමුත් පුද්ගලයාගේ අවිද්‍යාව සහ තණ්‌හාව නිසා මෙම ක්‍රියාකාරිත්වයට, තමන් කරන දෙයක්‌ ලෙස, පුද්ගලයෙක්‌ ආරෝපණය කරගැනීමෙන් සත්ත්වයා සංසාර දුක තුළ හිරවේ.

සිත තවත් පැතිකඩකින් විනිවිද දැකිය හැකිය. එනම් සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයක්‌ පවතින බවයි. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්‌කන්ධ පහයි. මේවායේ සතුට සොයමින්, එය ප්‍රකාශ කරමින්, එහි බැසගැනීමක්‌ ඇතිවන විට ඒවා උපාදානය වේ. සෑම සිතකම පංච උපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරිත්වය සිදුවේ. සිතක්‌ ඇතිවන විට ස්‌පර්ශ වන ආධ්‍යාත්මික රූපත්, බාහිර රූපත් නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගනී නම්, රූපය උපාදානය වේ. උපාදානය වළක්‌වා ගැනීමට නම්, ධාතු හතරකින් සෑදුණු රූපය පෙනගොඩක්‌ මෙන් බිඳෙන බව අවබෝධ කළ යුතුය. එමෙන්ම ස්‌පර්ෂයෙන් හටගන්නා මනාප සුඛ වේදනා, අමනාප දුක්‌ඛ වේදනා සහ උපේක්‌ෂා සහගත වේදනා දිය බුබුළක්‌ මෙන් ඇතිවී නැතිවී යන බව අවබෝධයෙන්, වේදනාව උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම ස්‌පර්ශයෙන් ඇතිවන සංඥා හෙවත් හදුනාගැනීම් මිරිඟුවක්‌ ලෙස දකිමින්, සංඥාව උපාදානය වළකාගත හැකිය. ස්‌පර්ෂයෙන් ඇතිවන වේදනා සහ සංඥාවලට අගයක්‌ ලබා දී ඇතිකරගන්නා සංස්‌කාර කෙසෙල් කඳක්‌ මෙන් අරටුවක්‌ නැති හිස්‌ දෙයක්‌ බව අවබෝධයෙන්, සංඛාර උපාදානය නොකර ගත හැකිය. එමෙන්ම රූප, වේදනා, සංඥා, සංඛාර යන හිස්‌ දේවල් දැනුවත් වූ ශක්‌තිය හෙවත් විඤ්ඤාණය ද මායාවක්‌ බව අවබෝධයෙන් විඤ්ඤාණය උපාදානයෙන් වළක්‌වාගත හැකිය. 

එමෙන්ම මෙසේ උපාදානය වළක්‌වා ගැනීමට පටිච්ච සමුප්පාදයට අනුව හේතු-ඵල සම්බන්ධය ද අවබෝධ කළ යුතුය. වර්තමානයේ තමන් සිදුකරන සෑම ක්‍රියාකාරිත්වයක්‌ම හේතු-ප්‍රත්‍ය අනුව සිදුවන්නකි. උදාහරණයක්‌ ලෙස සළායතන ක්‍රියාත්මක වීම ඵලයකි. එයට ප්‍රත්‍ය වන්නේ විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයයි. හේතුව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයක්‌ නම්, ඵලයද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම දෙයකි. මෙලෙස සෑම සිතක්‌ ළඟකදීම යෝනිසෝ මනසිකාරය පැවැත්වුවහොත් ඵස්‌ස නිරෝධයෙන්, භව නිරෝධ කළ හැකිය.

එමෙන්ම සෑම සිතකම පවත්නා පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකී නම්, එම සිත් උපාදානයෙන් වළක්‌වාගත හැකිය. තවද මෙම සිත හෙවත් පංච උපාදානස්‌කන්ධය වේගයෙන් ඇතිවන-නැතිවන ස්‌වාහාවික ක්‍රියාදාමයක්‌ බව අවබෝධයෙන්, උදය-ව්‍යය ඇතුළු නවමහ විදර්ශනා ඤාණ වැඩී යයි. එම ඤාණ පරිපූර්ණ වීම යනු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම මාර්ග ඵලයකට අවශ්‍ය ලෙස වැඩීමයි. අනුලෝම ඥානයෙන් පසුව ඇතිවන ගෝත්‍රභූ ඤාණයෙන් ලෞකික ගෝත්‍රය ඉක්‌මවා ලෝකෝත්තර ගෝත්‍රයට පත් වේ. හරියට වැවක වතුර පිරුණු පසු වාන් දමනවා සේ පුද්ගලයා නිවනට ගසාගෙන යයි. මෙහිදී ඔහුට කිසිවක්‌ කළ නොහැක. අවබෝධ වූ ධර්මයේ ශක්‌තිය සියල්ල සිදුකරයි. මෙහිදී සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ පංච උපාදානස්‌කන්ධය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශුන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි. එහි දී වැවක පිටාර ජලය පහළට ඇදී යන්නා සේ බෝධිපාක්‌ෂික ධර්මවල ශක්‌තියෙන් සිත නිවනට යොමුකරයි. මෙලෙස චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සිදුවන විඤ්ඤාණ-නාම-රූප නිරෝධය 'නිබ්බාණං පරමං සුඛං' යන ධර්මතාව ප්‍රත්‍යක්‌ෂ කළ හැකිය. මෙය සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අරහත් මාර්ගඵලයන් ලබන සෑම අවස්‌ථාවකදීම අත්විඳිය යුතුය.

සෑම කඩඉමකදීම තමන්ගේ ජීවිතය වෙනස්‌ කරයි. සංයෝජන ප්‍රහීණ කළ බව වැටහේ. හරියට ඇවිළෙන්නට දර නැති ගිනිගොඩක්‌ මෙන්, ක්‍රමයෙන් නිවෙන්නට පටන් ගනී. සෝතාපන්න උත්තමයා සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සම්පූර්ණයෙන් ප්‍රහාණය කර, සතර අපායෙන් සදහටම අතමිදී, උපරිම ආත්මභාව හතකදී නිවන් දකී. සකදාගමී උත්තමයා කාමරාග, පටිඝ අඩක්‌ ප්‍රහාණය කර එක්‌වරක්‌ කාම ලෝකයට විත් පිරිනිවෙයි. අනාගාමී උත්තමයා කාමරාග, පටිඝ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කර, ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබා එහිදීම පිරිනිවෙයි. රහතන් වහන්සේ සියලු සංයෝජන බිද, මෙම ආත්මයේදීම පිරිනිවෙයි.

උභතෝභාග විමුක්‌තියේ දී සිදුවන්නේ රූපය පිළිබඳ ඇතිකරගත් නානත්ව රූප සංඥා උපෙක්‌ඛාව, ඒකත්ව සංඥා උපේක්‌ඛාවන් බවට පත්කර ගනී. එනම් රූපය සම්පූර්ණයෙන්ම අතහැරීමෙන් ඇතිවන හිස්‌ ස්‌වභාවය හෙවත් ආකාසානඤ්ඤායතනය, රූපයත් ආකාසයත් දැනුවත් වූ විඤ්ඤාණ ධාතුව තුළ හෙවත් විඤ්ඤාණඤ්චායතනය, සංඥා ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇතිවන ආකිඤ්චඤ්ඤායතනය සහ සංඥාවක්‌ නැත කියාත් සංඥාවක්‌ ඇති බැවින්, සංඥාවක්‌ ඇත්තෙත් නැත නැත්තේත් නැත යන අවබෝධයෙන් ඇතිවන නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන ඇතිකර ගනී. එහි ආකිඤ්චඤ්ඤායතනයේදී ත්‍රිලක්‌ෂණය මෙනෙහි කිරීමෙන් ඉහත ආකාරයෙන්ම නිවිය හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ අකිඤ්චඤ්ඤායතනය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පාහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශූන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී අලුතෙන් සංස්‌කාර සෑදීමක්‌ නොමැත. සාදාගත් සංස්‌කාරය පවත්වාගෙන යයි. එහි සංඥාව ඉතා සියුම්ය. අවබෝධය ඇති අය මෙම සංඥාවත් අතහැරීමට දක්‌ෂ වේ. නමුත් අතහරින වෙලාවක්‌ කිව නොහැක. එහිදී සංඥා වේදයිත නිරෝධය හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. දෙවැනි ධ්‍යානයේ දී වචී සංස්‌කාර සංසිඳී ඇත. හතරවැනි ධ්‍යානයේ දී කාය සංඛාර සංසිඳේ. ඉතිරිව ඇති වේදනා,සංඥා හෙවත් චිත්ත සංඛාරද සංඥාව අතහැරීමත් සමගම සංසිදේ. නිරෝධ සමාපත්තියේ දී වේදනා සංඥා පිළිබඳ දැනීමක්‌ නොමැත. නිරෝධ සමාපත්තිය යනු ලෝකය තුළ ඇතිකර ගත හැකි උත්තරීතර තත්ත්වයයි. එය ලෝකෝත්තර සිතක්‌ නොවේ. මාර්ගඵල සහ ඵලසමාපත්ති සිත් ලෝකෝත්තර සිත් වේ. ඵලසමාපත්ති සිතක දී වේදනා සංඥා දැනුවත් වුවද ඊට ප්‍රතිචාර නොදක්‌වයි.

බුද්ධ ශාසනය තවම බබළයි. නැවත මිය යාමට පෙර ප්‍රමාද නොවී අත්විඳින්න. තර්ක නැත, මායා නැත, නිදහස්‌ මනසකින් අවබෝධ කරගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඒ අසිරිමත් මැදුම් පිළිවෙත

මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

ලෝ වැසියන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින බව බුදුදහම පෙන්වාදෙයි. බැතිමත්හු ආගමික ව අන්තවාදී වෙති. ඔවුහු තම තමන් පිළිගන්නා තම තමන් අදහන විශ්වාස කරන ආගමික මතයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නො සිතති. බොහෝ විට සාමාන්‍ය පොදුජනයා අතර මෙවැන්නෝ සුලබ වෙති. තර්ක විතර්ක වාද විවාදයෙහි දක්ෂ බුද්ධිමත්හු දාර්ශනික අන්තවාදියෝ වෙති.
අනේක විධ හේතු සාධක සහිතව සහේතුක ව සාධාරණ ව තමන් පිළිගන්නා දාර්ශනික මතවාදයෙහි නිපුණ වු උගතුන් අතර මෙවැන්නෝ නො අඩුව සිටිති. මේ හැරුණු විට සමාජ, සංස්කෘතික, කරුණු පිළිබඳව විවිධාකාර හේතු සාධක දක්වමින් අන්තවාදීව සිතන්නෝ පොදු ජන සමාජය තුළ නොමඳව සිටිති. පෞද්ගලික ව වූ ගෘහාශි‍්‍රත ජීවිතය හා බැඳුණු කරුණුවලදී මෙන්ම එම ජීවිතය ආශි‍්‍රත ප්‍රශ්නවලදී අන්තගාමී ව සිතා ක්‍රියාකරන්නෝද මෙම ගණයට අයත්වෙති. එසේම සිය වෘත්තීය ජීවිතය, බාහිර සමාජ ජීවිතය ආශි‍්‍රත කරුණු ගැටලු ආදියෙහිද එක් අන්තයකම රැඳෙමින් , එක් පක්ෂයකට ම වහල් වී එක් අදහසකම එල්බ ගැනීමද සමාජයෙහි දැකගත හැකිය. ආගමික, දාර්ශනික, ශාස්ත්‍රීය, සමාජිය හෝ පෞද්ගලික කරුණුවලදි මෙසේ එක් මතයකම එල්බ සිටීම බුදුදහම හඳුන්වන්නේ දෘෂ්ටි ග්‍රහණය කිරීමක් ලෙස ය.අන්තගාමී වීමක් ලෙසය. උපාදාන ග්‍රහණයක් ලෙසය. බුද්ධකාලීන භාරතීය ආගමික දාර්ශනික සංස්කෘතික පරිසරය තුළ එසේ දෘෂ්ටි ග්‍රහණය කළ අන්තගාමී වුවෝ නොමඳවම සිටියහ. ඔවුන්ගේ එම අන්තවාදී අදහස් මතවාද පාලි සූත්‍ර දේශනාවල නිබඳවම වාර්තා කොට තිබේ. විටෙක සූත්‍ර දේශනාවල අන්තග්‍රාහි මතවාද දෙසැටක් ගැන සඳහන් වෙයි. තවත් විටෙක එවන් අන්තවාද බොහෝ ගණනක් ඇතැයි පෙන්වා දී ඇත. සමකාලීන අන්තවාදී අදහස් දෙයාකාර යැයිද සිවු ආකාරය යැයි දක්වා ඇති අවස්ථාවන් සුලබය. ඒ ඒ අන්තවාදියෝ තම මතයම තම අදහසම සත්‍යය. සෙසු මත සෙසු අදහස් අසත්‍යය. වැරැදි යැයි සිතති. කියති. කරුණු දක්වති. අප ජීවත් වන මේ සමාජය තුළ ද මෙවැන්නවුන් දැක ගත හැකිය.
අන්තවාදියා තම මතයේ ම සිර වී සිටියි. තම පක්ෂයටම ගැතිවෙයි. ඔහු තමා පිළිගත් මතයෙහි පක්ෂයෙහි සිරකරුවෙකු වැනිය. වහලෙකු වැනිය. එයම සත්‍යය. නිවැරැදි යැයි සිතන හෙතෙම එහිම එල්බගෙන සිටියි. ඔහුට නිදහසේ සිතා විමසා බැලිය නොහැකිය. මතය, අදහස පිළිගැනීම විසින් නටවන රූකඩයක තත්ත්වයට පත්වන හෙතෙම ඇති තතු ඇති සැටියෙන් නොදකියි. හෙතෙම අනුන්ට සවන් නොදෙයි. අනුන් පවසන අදහස සත්‍ය ද අසත්‍ය 
දැයි නොවිමසයි. නොසිතයි. තම මතයෙහිම ගිලෙයි. ඔහු අන්ධයෙකු වැනිය. එසේම අන්තවාදියා තුළ ඉවසීම ද නැත. තම මතයට එකඟ නොවන්නන් ගැන, ප්‍රතිපක්ෂ මත දරන්නවුන් ගැන හෙතෙම කෝපයටද පත්වෙයි. ඔවුන්ට පහර දෙයි. ඔවුන් සමඟ ගැටෙයි. වාද විවාද පවත්වයි. තම මතයම නිවැරැදි බවත් මත වැරැදි බවත් කියමින් තර්ක කරයි. හේතු සාධකද දක්වයි. කරුණු ඉදිරිපත් කරයි. එසේ වාචික කරුණු දැක්වීම් වාද විවාද තර්ක විතර්ක විටෙක කෙළවර වන්නේ කායිකවද අන්තවාදීන්ට පහර දීමෙනි.අන්තවාදීහු එක් පැත්තකින් පමණක් ගැටලු දකින්නෝය. බුදුදහම ඔවුන් හඳුන්වන්නේ ‘ඒකංග දස්සී’ යනුවෙනි. ඔහුගේ චින්තනය පටුය. ගැටලුව පුඵල් ලෙස හැම පැත්තකින්ම දැකීමට ඔවුන් අසමත්ය. මෙම තත්වයට පත් පුද්ගලයෝ විටෙක පවුල් පරිසරය තුළද,ආගමික, දාර්ශනික, ධර්ම, ශාස්ත්‍රීය පරිසරය තුළද,වෘත්තීය පරිසරය තුළද දක්නා ලැබෙත්.

කවර කරුණකදී වුවද සියලු අන්තග්‍රාහී කල්පනාවන් පසෙකින් තැබිය යුතු යැයි බුදුන් වහන්සේ වදාළ සේක. බුදුසමය තුළ එබඳු චින්තාවන් ඨපනීය (පසෙකින් තබන ලද) ගණට ඇතුළත් වෙයි. ඒවා බුදුරදුන් විසින් විසඳනු නොලැබේ. (අව්‍යාකත) බුදුරජාණන් වහන්සේ සමකාලීන දෙසැටක් වු අන්තග්‍රාහී මතවාදයන් පසෙකින් තැබූහ. ඉන් එකක හෝ එල්බ නොගත්හ. හැටතුන් වැනි අන්තවාදයක්ද ඉදිරිපත් නොකළහ. එම මතවාද සියල්ල පසෙකින් තබා උත්තරීතර වූ යථාර්ථය සත්‍යය දැන දැකගත්හ. ඒ මධ්‍යස්ථ චින්තනයෙනි. සමබර වු හේතුඵල දර්ශනයෙනි. මූලික වශයෙන්ම එකී සමකාලීන අන්තවාදයෝ දෙයාකාර වූහ. ඒ නිත්‍යාත්මයක් ඇත. යන ශාස්වත දෘෂ්ටිය හා නිත්‍යාත්මයක් නැත යන උච්ඡේද දෘෂ්ටිය යනුවෙනි. බුදුසමය එම උභයාන්තයම පසෙකින් තබා සමබර මධ්‍යස්ථ චින්තනය ඉගැන්වෙන හේතුඵල දර්ශනයම ප්‍රකාශ කරයි. එකී උභයාන්තයම පාදක කොටගත් අන්තවාද සතර (චතුස්කෝටික දෘෂ්ටිය ද) පසෙකින් තබන හේතුඵල දැක්ම වූ කලි බුදුන් වදාළ මධ්‍යම දේශනාවයි. මෙසේ සියලු කරුණුවලදී මැදිහත්ව හේතුඵල දහම අනුව සිතිය යුතුය. අන්තග්‍රාහී නොවිය යුතුය. සමකාලීන සාමයික ප්‍රතිපදාවෝ ද අන්තවාද දෙකකට ඇතුළත් වූහ. එනම් නිත්‍යාත්මයක් ඇතැයි ශාස්වතවාදී වෙමින් අත්තකිලමතානුයෝගීව තමා තමාටම කටුක වූ අධික දුක් පීඩා දුන් පිළිවෙත හා නිත්‍යාත්මයක් නැතැයි අශාස්තවාදීව උපරිම වශයෙන් පස්කම් සුවයෙහි ඇලීමේ පිළිවෙතයි. මෙම පළමු ප්‍රතිපදාව බුදුදහම දකින්නේ අන්තවාදි ආගමික උමතුවක් ලෙසය. දෙවැන්න ආගම් විරෝධී පිළිවෙතකි . මෙකි අත්තකිලමතානුයෝගය මෙන්ම කාමසුඛල්ලිකානු යෝගයද බැහැර කළ බුදුරජාණන් වහන්සේ එම උභයාන්තයටද නොවැටී මධ්‍යස්ථ වූහ. චින්තනයෙන් මෙන්ම චරණයෙන්ද අන්තග්‍රාහී නොවන්නට මැදිහත්ව සිතන්නට හා පිළිපදින්නට බුදුසමය ශ්‍රාවක ප්‍රජාවට මඟ පෙන්වයි. සමබර දැක්මක් මත පිහිටා සමබර පිළිවෙතක් අනුගමනය කිරීම එහිලා අපේක්ෂා කෙරේ.
අන්තග්‍රාහී අන්තවාදී නොවන මැදිහත් තැනැත්තාට නිදහස්ව විචාර පූර්වකව සිතිය හැකිය. හෙතෙම අනුන්ට සවන් දෙයි.අනුන්ගේ අදහස්වලටද ගරු කරයි. විරුද්ධ අදහසක් ඔහුට නැත. අන්තවාදිව කිසිවක් පිළිනොගන්නා ඔහු අන්තවාදිව කිසිවක් ප්‍රතික්ෂේපද නොකරයි. හෙතෙම අනුන්ගේ මතවාද අසා නොකිපෙයි. ඔහු ඉවසිලිමත් ය. නුවණැත්තේය. කවර කරුණක වුවද කවර ගැටලුවක වුවද එක් පැත්තකින් පමණක් බලා (එකංගදස්සිව) තීරණ නොගනී. වඩාත් පුඵල් ව හැම පැත්තකින්ම ගැටලු දෙස බලයි. ඇත්ත ඇති සැටියෙන් දකියි. ඔහු කඳු මුදුනකට නැඟුනෙක් වැනි ය. එවැන්නෙකුට හැම පැත්තක්ම පෙනෙයි. එබැවින් එක් පැත්තක එල්බ ගන්නේ නැත.මේ බෞද්ධ චින්තන ක්‍රමයයි. මෙසේ මැදිහත්ව, ඉවසිලිමත්ව, විචාර පූර්වකව, නිදහසේ සිතන, නිදහසේ සදාචාර මාර්ගයේ ගමන් කරන පුළුල් දැක්මක් ඇත්තෙකු වීමට බුදුරජාණන් වහන්සේ නොයෙක් විට නොයෙක් අයුරින් ශ්‍රාවකයන් දැනුවත් කළහ. මෙහිදී බුද්ධ වචනය වුවද අන්තවාදීව කරගසා ගැන්ම එල්බ ගැන්ම පිණිස නොවේ. ගැටලු විසදා ගැන්මටය. දුකින් මිදෙන්නට යැයි පෙන්වා දෙන ලදී. සිය ශ්‍රාවක ප්‍රජාව සිය දහමෙහි වුවද වහලුන් සේ මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි අන්තවාදී වීම උන්වහන්සේ අපේක්ෂා නොකළහ.එය දහම වරදවා ගැන්මකි. එලෙස බුදුදහම අන්තවාදිව ගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගැන්මක් වැනි යැයි පෙන්වා දෙන ලදී. වලිගයෙන් ඇල්ලු විට සර්පයා ඇල්ලූ තැනැත්තාට දෂ්ට කරයි. සර්පයෙකු අල්ලා ගත යුත්තේ උගේ හිසෙනි. එමෙන්ම බුදු වදනද නිවැරැදිව ගත යුතුය. බුදු වදනෙහි අරමුණ ද එහි අර්ථය ද ස්වභාවය ද නිසි පරිදි දැක ඒ වෙත එළඹීමට බුදුරදුන් විසින් උගන්වන ලද්දේය.
බුදුදහමෙහි පදනම වන්නේ හේතුඵල දර්ශනයයි. එනම් පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදය දැකීම නම් බුදුදහම දැකීමය. බුදුදහම දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීමයි. සිව්සස් දැක්ම මෙන්ම තිලකුණු දැක්මද ඇතුළු සියලු බෞද්ධ සිද්ධාන්තයන් ඒ හා බැඳෙයි. මෙකී මූලික බෞද්ධ ඉගැන්වීම් මැදිහත් චින්තනයද ඒ අනුව ගිය මැදිහත් පිළිවෙත ද අර්ථවත් කරයි. මිනිස් ජීවිතයේ යථාර්ථය වු සංසාරගත දුකත්, ඉන් අත්මිදීමේ මගත් මැදුම් පිළිවෙත මත පිහිටා පැහැදිලි කිරීම බුදුදහමෙහි අරමුණයි. එම අරමුණ වෙත යොමුවූ ඉහත කී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව ගිය චින්තනය මෙන්ම චරනයද ඇති තැනැත්තා වූ කලි තැන්පත්ය. සංවරශීලිය. ජයග්‍රහණයෙන් වෛරයද, පරාජයෙන් දුකද උපදනා බව දන්නා හෙතෙම තරගයට එක් නොවෙයි. එබැවින්ම ජයද, පරාජයද නොලබයි. සුවසේ වසයි. අතීතයට එක්වු ඉක්ම ගියදේ ගැන හෙතෙම ශෝක නොවෙයි. අනාගතයට අයත් නූපන් දේ ගැනද හෙතෙම අපේක්ෂා භරිතව නොතැවෙයි. වර්තමානයෙන් යැපෙන තුටුපහටු වන හෙතෙම ප්‍රසන්නය. මේ වූ කලි මැදිහත් සිතුවිලි ද, මැදිහත් පැවතුම්ද ඇතිව ඇති තතු ඇති සැටියෙන් දන්නා දක්නා තැනැත්තාගේ ස්වභාවයයි. කුඩා දියපහර අවම අත්දැකීම් ඇත්තේය. අවම හැකියාවන් ඇත්තේය. එහෙත් මහ හඬ ඇත්තේය. මහා ගංගාව වූ කලි උපරිම අත්දැකීම් සහිතය. උපරිම හැකියාවන් සහිතය. එහෙත් නිහඬය . මැදිහත්ව දිවි මඟ හැඩගසාගත් එසේ නැතිනම් බුදුදහම අනුව ජීවිතය ගොඩනඟාගත් තැනැත්තා ද මහා ගංගාවක් වැනිය. ධර්මාවබෝධිය අත්දැකීමක් කොටගත් මෙම ශ්‍රාවකයා වූ කලි අකම්ප්‍ය වූ සිත්සතන් ඇත්තෙකි. හෙතෙම අටලෝ දහමින් කම්පා නොවෙයි. පෘථිවියෙහි ගැඹුරටම සිටුවන ලද මහ ටැඹක් ඉන්ද්‍රඛීලයක් සිවුදිගින් හමන වාත වේගයෙන් කම්පා නොවන්නා සේ හෙතෙම අකම්ප්‍යය. කායික වූත්, මානසික වූත් උක්ත සංවරය ඇති බැවින්ම හෙතෙම සදාචාර සම්පන්නය.එහෙත් මානසික පාරිශුද්ධියට තුඩු නොදෙන දැඩිව එල්බගත් සදාචාර පිළිවෙතක් ඔහු තුළ නැත. ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. සිත්සතන්හි වැඩීමට උපකාරි වන පිළිවෙතයි. චරිත සංවර්ධනයට තුඩුදෙන සදාචාර මාර්ගයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තථාගත ධර්මය විනිවිද දකින පටිච්ච සමුප්පාදය

වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරාධිකාරී 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
ජ්‍යෙෂ්ඨ ආචාර්ය රාජකීය පණ්ඩිත, මහාචාර්ය, 

මකුරුප්පේ ධම්මානන්ද හිමි

“අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාර ඇතිවේ. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූප ඇතිවේ. නාමරූප ප්‍රත්‍යය කොට සළායතන ඇතිවේ. සළායතන ප්‍රත්‍ය කොට ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ප්‍රත්‍යය කොට වේදනා ඇතිවේ. වේදනා ප්‍රත්‍යය කොට තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව ප්‍රත්‍යය කොට උපාදාන ඇතිවේ. උපාදාන ප්‍රත්‍යය කොට භවය ඇතිවේ. භවය ප්‍රත්‍යය කොට ජාති හෙවත් ඉපදීම ඇතිවේ. ජාතිය ප්‍රත්‍යය කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවේ. මෙසේ සියලු දුක් රාශියේ හට ගැනීම වේ.”
ඉහත දක්වන ලද්දේ පටිච්ච සමුප්පාද දේශනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද සංක්ෂිප්ත විවරණයයි. මෙම අදහස දැක්වූ බුදුන් වහන්සේ වදාළේ යමෙකුට මෙම හේතුඵල දහම යම් දිනක වැටහේ නම් එදිනට ඔහුගේ සියලු සැක දුරුවන බවයි. එසේම මෙම පටිච්ච සමුප්පාදය වූකලී පරම ගම්භීර දහමකි. දැකීමට අපහසු මෙම ධර්මතාව යමෙක් අවබෝධ කරයි නම් ඔහු ධර්මය දකින්නෙක් බවත් එසේ ධර්මය දකින්නාට සැබෑ බුදුන් වහන්සේ කෙබඳු කෙනෙක් දැයි අවබෝධ කර ගන්නෙක් බවත් වදාළහ.
මෙම ලෝකයෙහි අපට පැමිණ තිබෙන ප්‍රධාන ගැටලුව නම් දුකකි. උපදියි. දිරයි. ලෙඩ වෙයි. මියයයි. ච්‍යුත වෙයි. නැවත උපදියි. මෙම ජරා, මරණ දෙකෙන් නිදහස් වීම නොදනියි. මෙම ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් නිදහස් වීමක් පණවන්නේ කෙසේද යන ප්‍රශ්නය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තුළ බුදුවීමට පෙර බෝසත් අවධියේදීම පැන නැගුනි. එම ප්‍රශ්නයට පිළිතුරු සොයන උන්වහන්සේ දුකෙහි පැවැත්ම පිළිබඳ ප්‍රත්‍යයන් විමසා බැලූහ. වෙනත් විධියකින් කිවහොත් දුක පැවැතීමට හේතු පරීක්ෂා කළහ. එහිදී උන්වහන්සේ ඊට බලපාන ප්‍රත්‍යයන්ගේ සම්බන්ධතාවක් විනිවිද දුටු සේක. එය වූ කලී කිසියම් විද්‍යාත්මක නිරීක්ෂණයකි. ප්‍රත්‍යය සම්බන්ධතාව පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ විසින් භාවිත කරන ලද න්‍යායක් වේ. එය මෙසේ ය,

මෙහි පැවැත්ම ඇති කල්හි මෙය වේ. (ඉමස්මිං සති ඉදං හොති) 
මෙය ඉපදීමෙන් මෙය ඉපදේ. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) 
මෙහි පැවැත්ම නැති කල්හි මෙය නොවේ. (ඉමස්මිං අසති ඉදං න හොති) 
මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. (ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති)

මෙම න්‍යායට අනුව සලකා බැලීමෙන් ලෝකයේ බොහෝ දේ පිළිබඳ විශේෂ දැක්මක් ඇතිකොට ගත හැකිය. එනම් ලෝකයේ සියල්ල තවත් දෙයක ආධාරයෙන් යැපෙන බව ඉන් පැහැදිලි වෙයි. ඉන් කියැවෙන්නේ ලෝකයේ කිසිවකට ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බවය. තනි හුදු ස්වාධීන ස්වතන්ත්‍ර කිසිදු ධර්මයක් ලෝකයේ නැති බවය. ප්‍රත්‍යය සාපේක්ෂතාව ඇති තැන සමුදය හෙවත් යමක ඇතිවීම බිහිවීම, හටගැනීම වේ. ප්‍රත්‍යය සාපේක්ෂතාව නැති තැන නිරෝධය හෙවත් අභාවය වේ. මෙම සාපේක්ෂතා න්‍යාය විශ්වයේ බොහෝ ධර්මතා සහ සිදුවීම්වල යථාර්ථ ස්වභාවය තේරුම් ගැනීමට අදාළ වේ. වෙනත් විධියකින් කිවහොත් හේතුවකින් තොරව ඵලයක් ඇති නොවේ. ඵලය අහිතකර නම් කළයුතු වන්නේ ඵලය නැති කිරීම නොව ඊට බලපෑ හේතුව නැති කිරීමය. එසේ නොවුවහොත් එකී ඵලය තව දෙයකට හේතුවක් වී වෙනත් ඵලයක් උපදවන්නේ ය. බෝසතාණන් වහන්සේ ලෝකයේ ප්‍රකට දුක වන ජරා මරණ පවතින්නේ කුමක් නිසාදැයි යෝනිසෝ මනසිකාරයෙන් විමසන කල්හි ජාතිය හෙවත් ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇති වන බව උන්වහන්සේට අවබෝධ විය. ජාති යනු කිසියම් සත්ව ජාතියක ඉපදීමයි. පඤ්චස්කන්ධයක් ලැබීමයි. ධාතු ආයතන ප්‍රතිලාභයයි. එබැවින් දුක නැති කිරීමට නම් ඉපදීම නැති කළ යුතු ය.
ජාතිය හෙවත් ඉපදීමට ප්‍රත්‍යය හෙවත් හේතුව වන්නේ භවයයි. කාම, රූප, අරූප වශයෙන් විශ්වයේ භව තුනක් පවති. මෙම භවයන්ගෙන් කවර හෝ ස්ථානයකට අප පත්වන්නේ උපාදාන හෙවත් මමත්වයෙන් යම් යම් දේ දැඩිව අල්වා ගැනීම නිසාය. කාම, දිට්ඨි, සීලබ්බත හා අත්තවාද යනුවෙන් උපාදාන හතරක් පවතී. කාම ලෝකයේ විවිධ සුඛ උසස් යැයි සිතන පුද්ගලයෝ කාමය උපාදාන කර ගන්නා (කාම උපාදාන) අතර එම සැප ලබා ගැනීම අරමුණු කොට ගෙන ආත්මවාද උපාදානයත් සීලව්‍රත උපාදානයත් පවත්වති. මමත්වය ප්‍රධාන කොට පවත්වනු ලබන දෘෂ්ටිය මෙහිදී ප්‍රධාන වේ. ඉහත කී භවය පවතින්නේ මෙම උපාදානය නිසාය. එබැවින් භවය නැති කිරීමට නම් උපාදානය නැති කළ යුතු ය. උපාදානය පවතින්නේ තණ්හාව ඇති නිසා ය. සත්වයන් තුළ ඇති වන තණ්හාව සය වැදෑරුම් වේ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා සහ ධම්ම තණ්හා පහක් වේ. මනාප දේ පිළිබඳව ඇලීමත් අමනාප දේ පිළිබඳ ගැටීමත් යන දෙකම තණ්හාවයි. මේ නිසා තණ්හාව ඇති කල්හි උපාදාන ඇතිවේ. තණ්හාව නැති කල්හි උපාදාන නැති වේ. තණ්හාව ඇති වන්නේ කුමක් නිසාද අපගේ ඉන්ද්‍රිය මගින් අප විඳින කවරාකාර වූ හෝ වේදනා නිසා ය. වේදනා ඇති වන්නේ කුමක් නිසාද ස්පර්ශය නිසාය. ඇස කන ආදී ඉන්ද්‍රියන් රූප ශබ්දාදී අරමුණුවල ගැටීම ස්පර්ශයයි. (ඵස්ස පච්චයා වෙදනා) වේදනාවක් ඇති වන්නේ කුමක් නිසාද සළායතන නිසාය. එනම් චක්ඛු, සෝත, ඝාණ ජිව්හා, කාය, මන යන සය නිසාය. සළායතන ඇති වන්නේ කුමක් නිසාද කාම රූප නිසාය.
ඉන්ද්‍රිය මඟින් අරමුණු ගැනීමේ දී විඤ්ඤාණය සමඟ ඇතිවන ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර යන චෛතසිකවලට නාම ධර්ම යැයි කියනු ලැබේ. නාම ධර්මවලින් තොරව විඤ්ඤාණයක් උපදින්නේත් පවතින්නේත් නැත. රූප ධර්ම යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතරෙන් සංවිධානය වන්නකි. රූප ධර්ම අවශ්‍ය වන්නේ ස්පර්ශය සඳහා ය. ස්පර්ශය යනු ප්‍රසාද රූපය (ඉන්ද්‍රිය), විෂය රූපය (අරමුණ) හා විඤ්ඤාණය යන තුනේ එකතුවයි. මේ නිසා විඤ්ඤාණය වූ කලී නාම රූපයන්ගේ පැවැත්මට ප්‍රත්‍යය වේ. විඤ්ඤාණය නැති කල්හි නාම රූප දෙකෙහි පැවැත්මක් නැත. මේ නිසා අපගේ මනසේ පැන නගින චිත්තවේග මෙම නාම රූප ධර්මවලට ප්‍රබල ලෙස ප්‍රත්‍යය වන බව දත යුතු ය. මෙයින් විඤ්ඤාණයට ප්‍රත්‍යය වන්නේ කුමක්ද යන්න හඳුනා ගත හැකිය.
විඤ්ඤාණය ක්‍රියාත්මක වන්නේ සංඛාර හෙවත් සංස්කාර ඇති කල්හිය. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර යනුවෙන් එය තෙවැදෑරුම් වේ. මෙයින් පෙනෙනුයේ ඉන්ද්‍රිය තුනකින් කරනු ලබන සංස්කරණයක් ඇති බවයි. මාංශ කයක් දරන කාමභවික සත්වයන්ගේ ආස්වාශ ප්‍රශ්වාස දෙක කාය සංඛාර නම් වේ. කවර භවයක වුවද සිත අරමුණුවලට නැගීම හා එහි හැසිරීම විතක්ක විචාර නම් වූ වචී සංඛාරයයි. අරමුණු ගැනීමේ දී ලබන හැඳිනීම හා වින්දනය චිත්ත සංඛාර නම් වේ. සසර සියලු භව පැවතුම් සැකසී ඇත්තේ මෙකී ඉන්ද්‍රිය හා ඉන්ද්‍රිය අත්දැකීම විඳගැනීම් ලෙස සැලකිය හැකි සංඛාර නිසා බව අමතක නොකළ යුත්තකි.
සංස්කාරවල ක්‍රියාකාරීත්වය පවතින්නේ අවිද්‍යාව (අවිජ්ජා) ඇති කල්හිය. අවිද්‍යාව යනු නොදැනීමයි. නො දැනීම යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ නො දැනීමයි. එනම් දුක නමැති අත්දැකීමේ ඇතිවීම, ඇතිවීමේ හේතුව, නැතිකිරීම හා නැති කිරීමේ ක්‍රමය පිළිබඳ අවබෝධයයි.
ඉහත විස්තර වන්නේ අංග දොළොසකින් යුක්ත පටිච්ච සමුප්පාදයයි. එහි සඳහන් කිසිවක ස්වාධීන ස්වතන්ත්‍ර පැවැත්මක් නැති බව තහවුරු වේ. එකක් අනෙකක ආධාරයෙන් පවතී.
එහෙත් සත්වයාගේ සංසාර පැවැත්මට කේන්ද්‍ර වන්නේ විඤ්ඤාණ හා නාම රූප දෙකෙහි සම්බන්ධතාවයි. එය මුල නොවේ. ප්‍රධානතම කරුණයි. ආහාරයක් පිස ගැනීමට ගින්දර අවශ්‍ය වන්නාක් මෙනි. ගින්දර දැල්වීමට ද අවශ්‍ය දේ තිබේ. එහෙත් ආහාර පිස ගැනීම නම් කාර්යයයේ දී ගින්දර ප්‍රධාන වන්නාක් මෙන් සංසාර ප්‍රවර්තන ශක්තිය කේන්ද්‍රගත වන්නේ විඤ්ඤාණය හා නාම රූප දෙකෙහි සම්බන්ධය තුළ බව බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රයෙහි දී පෙන්වා දී ඇත.
මෙම ප්‍රත්‍යය දෙකේ සම්බන්ධතාව නිසා ආත්ම සංකල්පයට පදනම වැටෙන අතර ආත්ම නොවන නාම රූප දෙක ආත්ම වශයෙන් ගෙන මිනිසා එයම සත්‍යය යැයි සලකා අනන්ත අප්‍රමාණ දුක් දොම්නස්වලට භාජනය වෙමින් සිටී.
සත්වයා යනු හුදු මාංශමය කයකට සීමා වූ සැකැස්මක් නොවන්නක් බවත් එය මනින්ද්‍රිය නම් රූපයක් විසිනු දූ සකසන්නක් බවත් ඉහත දැක්වෙන පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් අනාවරණය වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු

අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය 
සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, 
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්.
“දියුණුවේ දොරටුව” නමින් අපි කිහිප අවස්ථාවක්ම කවර කරුණුවලින් දියුණුවක් සලසාගන්න පුළුවන්ද කියලා මෙතෙක් සාකච්ඡා කළෙමු. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දියුණුවේ ක්‍රම දෙකක් බුදු දහමෙහි සඳහන් වෙනවා. ලෞකික දියුණුව ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. රැකියාවෙන්, වෙළෙඳාමෙන්, ගොවිතැනින්, තමන්ගේ බෝග සම්පතින් වන දියුණුව ලෞකික දියුණුවයි. අපට අවශ්‍යවන්නේ ලෞකික දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුවයි.
ලෝකෝත්තර දියුණුව ඇත්තේ ලෝකයෙන් එතෙරවීම සඳහායි. ලෝකෝත්තර ධර්මතාවයෝ අවබෝධ කරගන්නට ලෝකයෙන් එතෙර වන්නට මෙන්න මේ කියනු ලබන සුවය අපට අවශ්‍යයයි. ලෝකයෙන් එතෙරවීම යනු සිතට, ගතට යම් සුවයක් ලැබීමයි. එය නිර්වාණයෙහි ප්‍රධාන සැප හතරයි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලින් ලැබෙන සැපය. ඒ ලෝකෝත්තර සැපය ලබන්නට අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ කරුණු ටිකයි.

දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා, අවිවේකී කථා, සතර සබ්බ කථා, විරියාරම්භ කථා, ධීර කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුක්ති කථා සහ විමුක්ති ඥාන දස්සන කථා කියලා කථා වස්තු දහයක් තිබෙනවා. මෙන්න මේ දස කථා වස්තු අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර සැපය සඳහායි. දියුණුව අතුරෙන් ලෝකෝත්තර දියුණුව සඳහා පමණක් විශේෂයෙන් මෙය මහෝපකාරී වෙනවා.
අල්පේච්ඡකම පිළිබඳව, සීලය ගැන, ධූතාංග පිළිබඳව කතා බස් කිරීම, අල්පේච්ඡකම අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට අවශ්‍යයයි. අල්පේච්ඡකම තිබුණොත් තමන්ගේ මෙලොව , පරලොව සැපතටත් හොඳයි. මෙලොව සුගතියටත් හොඳයි. නිවන් සුවය සඳහාත් මහෝපකාරී වෙනවා. ඒ වගේම ලද දෙයින් සතුටුවීම සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා.
අල්පේච්ඡ කථා වගේම ලද දෙයින් සතුටුවීම, තමාට යමක් ල ැබෙන්නේ පින නිසයි. පිනට ලැබෙන දේ ගැන සෑහීමකට පත්විය යුතුයි. සතුටුවෙන්නට ඕන. එය සන්තුට්ඨි කථා යනුවෙන් හඳුන්වනවා. අවිවේකී කථා – කාය විවේක , චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේක තුනක් තිබෙනවා. අන්න ඒ විවේක තුන පිළිබඳව කතා කරන්නට ඕන. ඒ වගේම හික්මෙන්නට ඕන. ඒවගේම සංවරකම දියුණු කරගන්නට ඕන. සංවරකථා ආදී දුරුකරගන්නා විට එය ලෝකෝත්තර සුවය පිණිස නැඹුරු වෙනවා. එහෙමනම් විවේකය පිළිබඳ කථා කිරීම අවශ්‍යයයි. ඊළඟට නොඇලීම පිළිබඳව කථා කරන්නේ නැතිව, සාරසබ්බ කථා, එකතු වී කථා කරන්නේ නැතිව වාද භේද අසමඟිකම් නැතිව වැදගත් දෙයක් පිළිබඳව පමණක් කතා කරන්න ඕන. ඒකත් ලෝකෝත්තර ධර්මතාවයන්ට නැඹුරු වෙනවා. ඊළඟට විරියාරම්භ කථා උත්සාහය ගැන කථා කරන්නට අවශ්‍යයයි. කම්මැළි පුද්ගලයෙක් නිවන් දැක්කේ නැහැ. කම්මැළි පුද්ගලයෙක් දෙව්ලොවට , බඹලොවට ගියේ නැහැ. ඔහු දියුණුවක් ලැබුවේ නැහැ. හැම අවස්ථාවකදීම මේ උදවිය දුකට පත්වුණා. උත්සාහවන්තයා සුගතියට ගිය බවත්, දෙව්ලොවට ගිය බවත්, බඹලොවට ගිය බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බවත් ඕනතරම් සඳහන් කරන්න පුළුවන්. බුද්ධ ශාසනය ඇත්තේ උත්සාහවන්තයාටයි. “උත්සාහවන්තයා ජය ගනී කියන්නේ අන්න ඒකටයි. චතුරාර්ය සත්‍ය අවබෝධය, මාර්ගඵල ධර්මයන්ගේ ප්‍රතිභාවය නිවන් සාක්ෂාත් කරනු ලබන්නේ උත්සාහවන්ත නිසයි. උත්සාහ කිරීම පිළිබඳව කතා කිරිීම විශේෂිතයි.
ඊළඟට ශීල කථා. පංචශීලය ගැන අටසිල් ගැන, දස සිල්, සාමණේර සිල් , උප සම්පදා සිල් කියල අධිශීල ගැන කථාබස් කරන්න. එහෙම කථා කළොත් ලෝකෝත්තර පැත්තට සිත නැඹුරු වෙනවා. මා සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් කියලා හැම පැත්තටම නැඹුරු වෙනවා. ශීලය එතරම්ම වටිනවා. පංච ශීලය එකමොහොතක් රකිනවානම් ඒ ආනිසංසවාරය මෙපමණයි කියන්න බැහැ. අවුරුදු සීයක් දුසිල්වන්තව ඉන්නවාට වැඩිය වටිනවා එක මොහොතක් සිල්වන්තව වාසය කිරීම. සංසාරෙදිවත් තෙරුවන් සරණ ගිහින් පන්සිල් අටසිල් රකින්න පුළුවන් කියලා සිතන්න අමාරුයි. බුදු සසුනේ නැහැ එතරම් අසීරු දෙයක්. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම බුදුවුණේ විසිඅටනමයි. අප සිල්ගන්න වාර විසිඅටයි තිබුණේ. අපේ පෙර වාසනාවකට මේ ගෞතම බුද්ධ ශාසනයේදී තෙරුවන් සරණ ගිහින් පන්සිල්, අටසිල් රැකීමේ ශක්තිය ලැබුවා. ගුණයට අප පුළුවන් තරම් ශීල කථාව ඇතිකරන්න ඕන. එය ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට සමාධි කථා, බුදු ගුණ. මෛත්‍රී, අසුභ, ආනාපානසති වැනි භාවනා පිළිබඳව කථා කළ යුත්තේ සමාධිය පිණිසයි. සමාධිය යනු සිතේ තැන්පත්කමයි. සිතේ තැන්පත්කම ලබන්න නිකම් බැහැ. පොත පත කියවීමෙන්, දේශනාවන්නට සවන් යොමු කිරීමෙන්, භාවනාවක් කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියනු ලබන සමාධි අවස්ථාවන්ට පත්වෙන්නට. ඒකට තමයි ධ්‍යාන අවස්ථාව කියන්නේ. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ත ධ්‍යානය කියන්නේ ඒ සමාධි අවස්ථාවන්ටයි. එහෙම දියුණු කර ගත්තහම රූපාවචර තත්ත්වයන්ට පත් වෙනවා. එහෙමනම් මේ සිතේ සමාධිය, සිතේ තැන්පත්කම දියුණු කරගන්න අය තමයි විපස්සනාවට හැරිලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකෝතර දියුණුවට සිත මුල් කරගන්නේ. එහෙමනම්, සමාධිය පිළිබඳව කතා කිරීම බොහොම වැදගත්.
පඤ්ඤා කථා – නුවණ ගැන කථා කරන්නට ඕන. නුවණ ලැබෙන්නෙ කොහොමද, නුවණ දියුණුවෙන්නේ කොහොමද කියලා සිතන්න ඕන. ඒ ගැන කථා කරන්න ඕන. ඒකෙනුත් කෙලෙස් යටපත් වෙනවා. නිවනට සමීප වෙනවා. වැදගත් ධර්මතා කරුණු බොහෝ රාශියක් දියුණු තියුණු වෙලා යනවා. ඒකත් වැදගත් පාඩමක්. ප්‍රඥාව දියුණුව පිණිස කටයුතු කරන්නට ඕන. බණ ඇසීමෙන් ප්‍රඥාව වැඩෙනවා. භාවනාවෙන්, පොත පත කියවීමෙන් ධර්ම සාකච්ඡාවෙන් ඒ ඒ දේවල් සිතීමෙන් නුවණ හොඳට දියුණු වෙනවා. ලෝභ, දෝස, මෝහ නැත්නම් ඒ සෑම අවස්ථාවකම හොඳට ප්‍රඥාව දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරනවානම් ඒක තමයි නුවණ දියුණු කරන පළමුවන ක්‍රමය. විදසුන් භාවනාව. මේ ශරීරය අනිත්‍ය, දුක්ඛය , අනාත්මයි කියලා නිතර නිතර මෙනෙහි කරන්න. එය ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. එහෙමනම් ප්‍රඥාව ගැන හොඳට සිතලා කථා කරද්දී ප්‍රඥාව හොඳට දියුණු වෙනවා. ලෝකෝතර පැත්තට දියුණු වෙනවා.
ඊළඟට විමුක්ති කථා, නිවන ගැන කථා කරන්නට ඕන. නිර්වාණය යනු තණ්හාවේ නිවීමයි. කෙලෙසුන්ගේ නිවීම නිර්වාණයයි. එහෙනම් තථාගත බුදු කෙනෙකු පමණයි මේ නිර්වාණය ගැන විස්තර කරන්නේ. සංසාරය එතෙරවීම ගැන කියල දෙන්නේ. වෙන කාටවත් බැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන ගැන කථා කරන්න ඕන. ඒක නිරෝධ සත්‍යයයි. එය නිවනට හේතුවන ලෝකෝත්තර දියුණුව පිණිසයි.
ඊළඟට විමුක්ති ඥාන දස්සන කථා– නිවනට පත් වුණහම ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා. ඒවා ගැන කථා කරන්න ඕන. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි. ඉතුරු ක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රහීණ ක්ලේෂ ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් මාර්ග ප්‍රත්‍යවේක්ෂාව, සෝවාන් ඵල ප්‍රත්‍යවේක්ෂාව , නිර්වාණ ප්‍රත්‍යවේක්ෂාව ආදී පස්වැදෑරුම් වෙනවා. සකෘදාගාමීතුමාටත් පහයි. අනාගාමීතුමාටත් පහයි. එසේනම්, ඔක්කොම පහළොවයි. රහතන් වහන්සේට හතරයි. ඉතුරු කෙලෙස් නැහැ. ශේෂ ක්ලේෂ නැහැ. එහෙමනම් දහනවයයි. ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ධර්ම දහනවයම තියෙනවා. විමුක්ති ඥාන දස්සන කථා කියලා. එහෙමනම්, අප නිවන ගැන කථා කරන්න වගේ මාර්ග ඵල ධර්ම ගැන කථාකරන්නට ඕන. ඉතුරු ක්ලේශ ගැන, ප්‍රහාණය වූ ක්ලේශ ගැන, මාර්ග ඵල ගැන, නිවන ගැන සාකච්ඡා කරනවිට කථාකරන විට එය සම්පූර්ණ වෙනවා. ලෝකෝත්තර පැත්තට සිතදියුණු වෙනවා.
එහෙමනම්, ලෝකෝත්තර දියුණුව ලබන්න දස කථා වස්තු බොහොම ප්‍රයෝජනවත්. දස කථා වස්තු අප සිතට අරගෙන තවත් පින්වතුන් සමඟ සාකච්ඡාකරන විට තමන්ම සිතනවිට අඩුපාඩුකම් නැති වෙනවා. ගුණ, නුවණ හොඳට දියුණුකර ගන්න පුළුවන්. කායික, මානසික සුවය හොඳට සලසාගන්න පුළුවන්. කායික මානසික සුවපත් භාවයෝ මෙලොව ජීවිතය, සලසාගෙන අපට යහපත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. මෙලොව පරලොව ජීවිත සකස්කරගන්න බොහෝම සැපවත්කමක් අපට උදාකරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සෑම දෙයක්ම අපට ලැබුණේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය නිසයි. රත්නත්‍රය නැත්නම් මේ කියන කිසිම දෙයක් නැහැ. එහෙමනම්, මේ තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්. නැත්නම් කොහොමත්ම බැහැ. ඉන්ද්‍රිය පහ ප්‍රධානයි.
ඒ මඟින් අපට මාර්ගඵල අවස්ථාව, චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ලෝකෝත්තර ධර්මතාවයන්ට සමීප වෙන්න. ඒනිසා ඔබ ,අප සෑමදෙනාම මේ දියුණුව කියන දොරටුව විවෘත කරගත යුතුයි. එහි යතුර තිබෙන්නේ තමා අතෙයි. අනුන්ට මේක ඇරගෙන යන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමා යන නිවන් ගමන තමා විසින්ම යා යුතුයි. ඒකට අවශ්‍යවන්නේ ඉහත සඳහන් කළ ධර්ම කරුණුයි. ඒනිසා ලොවුතුරු බුදු දහම යනු දෙවියන් සහිත ලෝකයාගේම මහා ශක්තියක්. මහා බලයක් ගොඩනංවන තැනක්. කල්ප ගණනාවකින් නොලැබෙන දෙයක් අද අපට ලැබී තිබෙනවා. බොහෝ දෙනා මේ ගැන නොසිතන නිසා දියුණුවක් ලබාගන්නට බැහැ.
මරණෙන් පසුව දුකට පත්වෙනවා. මේ ගැන සිතන බොහොම ටික දෙනා මරණින් පසුව සුගතියට පත් වෙනවා. බොහෝ දෙනෙක් නිවනට පත් වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් පතාගෙන ආපු ,දියුණුව පතාගෙන ආපු සූවිසි අසංඛ්‍යයක් දෙනා නිවනට පත් වුණා. බුදු සසුන පිහිටපතාගෙන ආපු නැති කෙනාට නිවනට පත්වෙන්නට බැරි වුණා. දැන් කොසොල් රජතුමාටවත් , මල්ලිකා දේවියටවත් මේ ලෝකෝත්තර දියුණුව ලැබුණේ නැහැ. හේතුව ඒ අය නිවන් සම්බන්ධව ප්‍රාර්ථනාවක් නැතිව ඇති. නිවන් සම්පත් පතාගෙන ආ බිම්බිසාර රජතුමා මාර්ගඵලවලින් නිවනට පත් වුණා. සුද්ධෝදන රජතුමා රාජ්‍ය කරන කාලයේදීම රහත් බවට පත්වුණා. රජකෙනෙක් ලෙසම පිරිනිවන් පෑවා. එහෙමනම්, එතුමා ඉහළම දියුණුවට පත් වුණා. මේවා ගැන සිතලා අපත් පුළුවන්තරම් සිත, කය, වචනය සංවරකරගෙන , බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන පාරමිතා සපුරාගෙන මොලොව ,පරලොව සකසාගෙන ඉතා ඉක්මනින්ම ලෝකෝත්තර දියුණුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.

සදහම් සරණ යමු


ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවී තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මැනවින් මෙනෙහි කළ සේක. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සසර තනන දුක පිළිබඳ මැනවින් අවබෝධය ලබාගත්හ. දුක දුකට හේතු, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. ලෝකයේ හා සත්ත්වයාගේ ඇතිවීම හා නැතිවීම හේතු ප්‍රත්‍ය අනුව සිදුවන බව පටිච්ච සමුප්පාදය මගින් අබෝධ කළහ. මුල සිට අගටත් අග සිට මුලටත් මෙය මෙනෙහි කරමින් ලෝකය හාසත්ත්වයා පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. සංසාරයේ අනන්තවත් කාලයක්‌ දුක්‌ විඳ විඳ ඇවිද සොයාගත් ලෝක සත්‍ය තමන් වහන්සේගේ අවබෝධ ඥනයයි. අවබෝධ ඥනය සද්ධර්මයයි. තමන්ම අවබොධ කරගත් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවඋන්වහන්සේ සිතූහ. එම නිසා උතුම් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවට පත්කරගනනේ බුද්ධත්වයට පත්වී පස්‌වැනි සතියේදීය. එසේ නම් අප මේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයාය. තුන්ලොවටම අග්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ගුරුවූ සද්ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ද? අං.නි. අග්ගපද සූත්‍රයට අනුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම හෙවත් ධර්මයම ශ්‍රේෂ්ඨය. ධර්මයේ පැහැදීම අග්‍රස්‌ථානයේ පැහැදීමකි. අඝ්‍රස්‌ථානයේ පැහැදීමෙන් අග්‍රවිපාක ලැබේ. ධම්මං සරණං ගච්ඡාමි කියා අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය සිදුකරන්නේ බරණැස ඉසිපතනාරාමයේදීය. දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනාව පවත්වමින් මහණෙනි, අන්ත දෙකට නොපැමිණ ප්‍රඥ ඇස පිරිසිදු කරන්නාවූ නුවණැස ඇතිකරන්නාවූ, කෙලෙසුන් දුරුකරන්නා වූ,සත්‍ය ප්‍රතිවේධයට අවබෝධයට ප්‍රත්‍යක්‍ෂ වූ මධ්‍යම ප්‍රතිපදාව හොඳින් අවබෝධ කරන ලදී. මෙසේ තථාගතයන් වහන්සේ පෙර නොඇසූ ධර්මයක්‌ ලෙස චතුරාර්ය සත්‍යය දේශනාව දක්‌වා එම දැනීමෙන් චක්‌ඛුං උදපාදි දහම් ඇස පහළ විය. ඤාණං උදපාදී ඥනය පහල විය. පඤ්Æ උදපාදී ප්‍රඥව පහළවිය. විඡ්ජා උදපාදී විද්‍යාව පහලවිය. ආලෝකෝ උදපාදී ආලෝකය පහලවිය ආදී ලෙස උදම් ඇනූහ. එසේ ධර්ම දේශනාකොට මහණෙනි, ඒතාක්‌ කල් දෙවියන් සහිත වූ බමුන් සහිතවූ සත්ව ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාවෙහිද මම අනුත්තරවූ සම්‍යක්‌ සම්බෝධිය පසක්‌ කළෙමි. මට ප්‍රත්‍යක්‍ෂ ඥනය පහල විය ආදී වශයෙන් දැක්‌වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් චතුරාර්ය සත්‍ය දේශනාවයි. උතුම් ධර්මයයි. මේ ධර්ම දේශනාව ඇසු බූමාටු දෙවියො, චාතුම්මහාරාජික දෙවියෝ ආදී කොටැති දේවබ්‍රහ්මාදීන් සාදු සාදු හඬින් තුන් ලෝකය ගිගුම් දුන්හ. අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්ම රත්නය සරණ යමු.

දැන් ඔබට තේරෙනවා ඇති ධම්මං සරණං ගච්ඡාමි කියල කොයිතරම් කියල ඇත්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවාට වඩා වැඩියෙන් ධර්මරත්නයට ගරු කළ යුතුයි කියල දැන්වත් වැටෙහනවාද? 

ධම්මං සරණං ගච්ඡාමි කියල දහම් සරණ යනවිට පිරිසිදු කරගත් දැත් හිස මත තබා හදවත පතුලෙන් නැගෙන මහත්වූ ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්මය සරණ යා යුතුය. ත්‍රිපිටකයේ නොයෙක්‌ සූත්‍රයන්හි දැක්‌වෙන්නේ බොහෝදෙනකු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා එයින් ප්‍රසාදයට පත්වී සතුටු සිතින් බුදුන් හමුවෙහි සාදු කිය කියා තෙරුවන් සරණ ගිය ආකාරයකි. ජෛනාගමියකු වූ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ අභියස සිට තුන් වරක්‌ම තෙරුවන් සරණ යන්නේ බලවත් ප්‍රසාදය නිසාය. ඇත්තටම අප දහම්සරණ යා යුත්තේ මනාවූ අවබෝධයෙනි. එසේ නොවනු විට මෙය වාක්‍යයක්‌ කීම පමණක්‌ වේ. අත්තදීප සූත්‍රයට අනුව තමාම තමාට පිහිට කොට ගත්හ. උතුම් ධර්මයම පිහිටකොට ගන්න (ධම්මදීපානං ධම්ම සරණානං අනඤ්ඤසරණානං) ධර්මයට වඩා ආලෝකයක්‌ පිහිටක්‌ නොමැති බවම සිහි තබාගෙන කටයුතු කිරීමමයි හොඳ. පුඤ්Æභිසන්ද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශිත (ස්‌වාක්‌ඛාත) තමන් විසින් මෙලොවදීම දැකිය හැකි (සන්දිට්‌ඨික), කල් නොයවා විපාක දෙන (අකාලික), එව බලය යෑයි පෙන්විය හැකි (ඒහි පස්‌සික), එළඹීමටසුදුසු (ඕපනයික), නුවණැසයන් විසින් තම ඥනයෙන් දැනිය යුතු (පච්චත්තං වේදිතබ්බෝ විඤ්­හීති) යන ධර්මය පින් ගඟකි. කුසල ගඟකි. ධර්මය අචල ප්‍රසාදයෙන් යුතුව සරණ යැම සැප පිණිස (සුඛස්‌සහාරා) ස්‌වර්ග සම්පත් දෙන (සොවග්ගිකා) සැප විපාක ඇති (සුඛ විපාකා), ස්‌වර්ගය පිණිස පවත්නා (සග්ගසංවත්තනිකා) ඉෂ්ට බව පිණිස (ඉට්‌ඨා) කාන්තබව පිණිස (කන්තා), මනවඩන පිණිස (මනාපා), හිත සුව පිණිස පවත්නා (හිතාය සුඛාය සංවත්තති) දෙයක්‌ බව පෙන්වා දී ඇත. එබැවින් උතුම් සද්ධර්මය නමැති පින් ගඟට බැස සසරින් එතෙර වෙමියි යන සිතින් සාදු සාදු කියා සදහම් සරණ යමු.

අං.නි. ධම්මරාජ සූත්‍රයේ දැක්‌වෙන පරිදි ධර්ම රාජයාණන් වන තථාගත අර්හත් සම්‍යක්‌ සම්බුදුරජාණන් වහන්සේ ධර්මයට ගරුකරන්නේය. ධර්මයට සත්කාර කරන්නේය. ධර්මයට බුහුමන් කරන්නේය. ධර්මය කොඩියක්‌ කොට ගන්නේය. ධර්ම හේතුවක්‌ කොට ගන්නේය. ධර්මය අධිපත්කොට ගන්නේය. භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසටම ධාර්මික රැකවරණය සලසන්නේය. අයහපත් කාය කර්ම අයහපත් වචී කර්ම අයහපත් මනෝකර්ම නොකරන්නැයි අවවාද කරන්නේය. යහපත් ක්‍රියා යහපත් වචන, යහපත් සිතිවිලි සිදුකරන ලෙස අවවාද දෙන්නේය. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ කෙතරම් ධර්මයට ගරුකරනවාද යන්න සිතන්න. තථාගතයන් වහන්සේගේ ප්‍රධානතම මාර්ඝෝපදේශකයා උතුම් සද්ධර්මය බව අප දැන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ම.නි. ධම්මදායාද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්මය දායාද කොට ගන්නා ආමිස දායාදකොට නොගන්න යනුවෙනි. ආමිසයට දායාද වෙනවා නම් හෙතෙම ගැරහිය යුත්තෙක්‌ වෙනවා. ගැරහීමට ලක්‌වෙනවා. ධර්මය දායාද කොට ගැනීමෙන් ගැරහීමට ලක්‌නොවන බව පෙන්වා දෙනවා. එමෙන්ම උතුම් ධර්මය දායාද කොට ගැනීමෙන් සිතෙහි ඇති කෙලෙස්‌ සිඳ දමා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළින් සසර දුක කෙලවර කිරීමටද හැකිවන බව පෙන්වා දුන්නා. තවද ම.නි. කින්ති සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ චීවර සඳහාවත්, පිණ්‌ඩපාතය සඳහාවත්, සේනාසන සඳහාවත්, පින් රැස්‌කිරීම සඳහාවත්, දහම් නොදෙසූ සේක. ලොවට අනුකම්පා පිණිස, හිත සුව පිණිස දහම් දෙසූ බැවින් සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම අනුගමනය කොට නිවන් මඟ සාදාගන්නැයි මහා කරුණාවෙන්ම සිහිපත් කළහ.

බුදුරජාණන් වහන්සේ සං.නි. සුභාසිත කියන සූත්‍රයෙන් දේශනා කළා සුබාසිත කියන්නේ මොකක්‌ද කියල. බුද්ධාදී සත්පුරුෂයෝ උතුම් යහපත් වචනම දෙසති. දැහැමි වචනම කියන්නේය. අදැහැමි වචන නොදෙසන්නේය. ප්‍රියවූ වචනම කියන අතර අප්‍රිය වචන නොදෙසන්නේය. සත්‍ය වචනයම දෙසන්නේය. අසත්‍ය නොදෙසන්නේය. එහිදී වංගිස තෙරුන්ට දේශනාකරන්නේ යම් වචනයක්‌ නිසා තමාත් නොතැවේ නම් අනුනුත් නොතැබේ නම් අන්න ඒ වචන ඒකාන්තයෙන් සුභාසිතයි ඒවා කියන්න කියාය. තවද එහිදී පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීම පිණිසද දුක්‌ කෙළවර කිරීම පිණිසද නිර්භයවූ යම් වචනයක්‌ දේශනා කළේද එම වචනයම උතුම් කියාය. මෙයින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය සුභාෂිතයක්‌ බවම දැන ඒ උත්තරීතර දහම මැනවින් අවබොධ කරගැනීම සඳහාම උත්සාහ කරමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

සද්ධම්මපතිරූපක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ කාශ්‍යපය මෙලොව යම් තැනෙක සද්ධර්ම නැති වූවක්‌ හටගත්තේද, එකල්හි සද්ධර්මය අතුරුදන් වන බවය. යම් කලෙක සද්ධර්මය වැනි වූවෙක්‌ ලොව නොවන්නේද ඒ තාක්‌ සද්ධර්මය අතුරුදන් නොවේ. යම් තාක්‌ රන් වැනි දෙයක්‌ ලොව නොහට ගන්නේද ඒ තාක්‌ රන් අතුරුදන් නොවේ. රන් වලට සමාන දෙයක්‌ ලොව ඇතිවූ විට රන් අතුරුදන් වේ. එමෙන්ම එහිදී පෙන්වා දෙන්නේ මෙසස්‌නෙහි භික්‌ෂු භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසෙහි ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝරත්නය කෙරෙහි, සීලය කෙරෙහි, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේද යටහත් පැවතුම් නැත්තේද එවිට සද්ධර්මයේ අතුරුදන් වීම, ධර්මයේ විනාශවීම බලාපොරොත්තු විය යුතුය. තවද ඉහත කරුණු පහ කෙරෙහි ගෞරව ඇත්තේද යටහත් පැවතුම් ඇත්තේද එවිට ධර්මය අතුරුදන් නොවේ. විනාශ නොවේ යනුවෙනි. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව මැනවින් විමසා බලනවිට පෙනෙන්නේ ධර්මයේ අතුරුදන්වීමට සිවුපිරිසම වගකිව යුතු බවය. අනෙක ඉහත කරුණු කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්‌තව යටහත් පැවතුම් සහිතව කටයුතු කළ යුතු බවය. 

එසේ කොට උතුම් ධර්මය තව තවත් බබුළුවමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ධමම්වාදී සූත්‍රයට අනුව රාගය ප්‍රහාණය පිණිස ද්වේෂය ප්‍රහාණය පිණිස, මෝහය ප්‍රහාණය පිණිස දහම් දෙසා නම් හෙතෙම ධම්මවාදී වන බවයි. ධම්ම කථික සූත්‍රයේදී පෙන්වා දෙන්නේ ජරා මරණ පිළිබඳව කළකිරීම පිණිස නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස දහම් දෙසනවා නම් ඔහු ධර්ම කථිකයෙක්‌ බවයි. එමෙන්ම ජරා මරණ පිsළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස කටයුතු කරනවා නම් එය ධර්මානුධම්ම ප්‍රතිපන්නවන බවයි. ඉදින් ජාති, ජරා, ව්‍යාධි වගේම භවය උපාදාන, තණ්‌හා, ෂඩායතන, නාම, රූප, විඤ්Æණ, සංස්‌කාර, අවිද්‍යාව ගැන කළකිරීමෙන් නොඇලීමෙන්, නැතිකිරීමෙන් කිසිදු ධර්මයක්‌ දැඩිව නොගෙන මිදෙන්නට හැකි නම් ඒ නිවන් මඟ සඳහාම වෙහෙසෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධමම් රත්නය සරණ යමු.

අං.නි. සුගතවිනය සූත්‍රයට අනුව සුගතවිනය නම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ මුල, මැද, අග කල්‍යාණ වූ ධර්මයයි. එමෙන්ම ධර්මය පද ව්‍යඤ්ජන වශයෙන් නිවැරැදිව පාඩම් නොකිරීමෙන් වරදවා හැදැරීමෙන් ධර්මය අතුරුන්වීම පිණිස පවතී. එම ධර්මය මනාව හැදැරීමෙන් නිවැරැදිව පද ව්‍යඤ්ජන නිවැරැදි වීමෙන් අර්ථයද පහසුවන අතර ධර්මයේ පැවැත්ම පිණිස , ධර්මයේ අතුරුදන් නොවීම පිණිස පවතී. එමෙන්ම ධර්මය හදාරා ධර්ම ධරව අන්‍යයන්ට පාඩම් කරවීමෙන් ඔවුන්ගේ ඇවෑමෙන් ධර්මයට පිළිසරණක්‌ වේ. එබැවින් තථාගත ශ්‍රාවකයන්ගේ අගනා යුතුකම වන්නේ මෙම උතුම් ධර්මය මනාව හැදැරීම හා එය ඉගෙනීමට සලසාදීම හා මනාව ධර්මය අනාගත පරම්පරාවට පුහුණු කිරීමයි.

කෝධගරු සූත්‍රයට අනුව මිනිසුන් ධර්මයට ගරු නොකරන අතර ක්‍රෝධයට, මක්‌ඛයට (අන්‍යයන්ගේ ගුණ මැකීම), ලාබ සත්කාරවලට ගරු කරයි. එසේ වූ විට ධර්මය අතුරුදන්වීම වැළැක්‌විය නොහැක. මේ කරුණු මැනවින් දැන උතුම් ධර්මයට ලැදියාවෙන් ගරු කිරීමෙන් චිරාත් කාලයක්‌ ධර්මයද ආරක්‌ෂාකොට අපද ධර්මාවබෝධය ලබා දුක්‌ සහිත සසරින් මිදෙන්නට වහ වහා වෙර දරමු යන සිතින් නිරතුරුව ධර්මය දේශනා කරන අවස්‌ථාවන්ට සහභාගිවීම හොඳ ධර්මය තරම් ඇසීමට සුදුසු තවත් යමක්‌ ලොව නැත. හද පිරි මහා ශ්‍රද්ධාවෙන් එම උතුම් ධර්මය ශ්‍රවණයකොට සසරින් මිදෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

 එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
ලෞකික ජීවිතය ධර්මානුකූලව ගතකරන අපට ලෝකෝත්තර ජීවිතය ජය ගැනීමට හැකිබව ධර්මයේ සඳහන්. ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය වඩාත් යහපත් කර ගන්නට අවශ්‍ය කරුණු මෙසේ ගෙනහැර දක්වමු.
ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිත වලාකුළු හතරකට උපමා කර තිබෙනවා. එය පහදා දෙන්න.

දිනක් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ පිරිවරා සවස් වරුවක එළිමහනේ වැඩ සිටි සේක. අහස දෙස බැලු තථාගතයන් වහන්සේ අහස විවිධ විචිත්‍රව නිල්පාට, කළුපාට වලාකුළු, වේගයෙන් යන වලාකුළු, සෙමින් යන වලාකුළු, පොකුරු වලාකුළු දුටුවා. මහණෙනි, අද අහස විචිත්‍රයි, වලාකුළු අහසේ පිරී තිබෙනවා. මෙතරම් විවිධ වලාකුළු තිබුණාට අවකාශයේ එතරම් වලාකුළු නැහැ. මේ සියලුම වලාකුළු වර්ග හතරකට බෙදිය හැකියි කියමින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ “වලාහක” සූත්‍රය වදාළා.
ඒ වලාකුළු හතර නම් 1. ගොරවනවා වහින්නේ නැහැ, 2. වහිනවා ගොරවන්නේ නැහැ, 3. ගොරවන්නේත් නැහැ වහින්නේත් නැහැ, 4. හොඳට ගොරවනවා. ඒ තරමටම වහිනවා. උන්වහන්සේ වදාළා පෙර පිනකට මේ මනුස්ස ආත්මභාවයට පය තැබූ අපත් මේ වලාකුළු හතර මෙන් බෙදිය හැකි බව.
පළමු වලාව මෙන් මිනිසුන් ඉන්නවා. හඬ තිබෙනවා. වැඩ නැහැ. සමහර මිනිසුන් ධර්මය ගැන කථා කරනවා. හොඳ වැඩ ගැන කියනවා. ධර්මයේ හැසිරීමක් නැහැ. එවැනි අය අඳුරේමයි සිටින්නේ.
දෙවැනි වලාකුළ මෙන් මිනිසුන්ගේ හඬ නැහැ නමුත් වහිනවා. සමහර අය ශබ්දබද්ධ නො කළාට කැපී නො පෙනුනාට ඒ අය සිතින් ඒ කටයුත්තේ යෙදෙනවා. පළමු පුද්ගලයාට වඩා මොහු හොඳයි.
තුන්වැනි වලාකුළ මෙන් මිනිසුනුත් අද සමාජයේ බහුලයි. හඬත් නැහැ වැඩත් නැහැ. ධර්මය ගැන කථාවක් නැහැ. ධර්මයේ හැසිරීමකුත් නැහැ. ඉපදුනා. මැරුණා. ඇටකටු ගොඩට තවත් ඇටකටු ටිකක් එකතු කිරීමයි සිදුවී තිබෙන්නේ.
හතර වැනි වලාකුළ මෙන් අය ඉතා දුර්ලභයි. හොඳට කථාකොට, සාකච්ඡා කොට, විමසා බලා වැඩ කරනවා. සද්ධර්මය කථා කරනවා. ශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්මය ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට එකතු කර ගන්නවා. ඒ පුද්ගලයායි හොඳින් ගොරවලා මහා ශබ්දයෙන් වහින ගැඹුරු වලාකුළක් වගේ වන්නේ.
“බීජ” සූත්‍රයේදීත් මේ කරුණු මතුවෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ ධ්‍යානයන්, මඟඵල ආදිය ඉක්මණින් එකවර අපට ලබාගන්න අපහසුයි. එහිදීත් උපමාවක් වදාළා. ගොවියෙකුට පුළුවන් කුඹුර මඩ කර, වේලි කපා , නියරවල් බැඳ ඉක්මණට කුඹුර සකසන්න. ඒ වගේම තැනූ පොළවට බීජ ඉක්මණින්ම ඉසින්නත් පුළුවන් වගේම කුඹුරට ජලය එන කාණු බැඳ
ජලය එන මාර්ගය සකසන්නත් පුළුවන්. නමුත් ගොවියා කෙතරම් ඉක්මන් වුවත් ගොයම ඵල දරන්නේ මාස තුනකින්නම් ගොවියාට ගොයම පූදින තුරු ඉවසා බලා සිටින්නට වෙනවා. ඒ වගේ අපේ ජීවිත තුළත් අන්තිම මොහොතේදී සිත ධර්මයට ගෙන එන්නට අපහසුයි. කල් තියා අපේ ජීවිත ගැටළු ධර්මයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. සාකච්ඡා කරනවා වගේම ඒ කරුණු මතක තබා ගත යුතුයි. ඊටත් වඩා වටින්නේ මතක තබා ගත් කරුණු ජීවන පටිපදාවක් ලෙස ජීවිතයට මෝදු කර ගැනීමයි. අප ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි වූවානම් ජීවිතය බලවත් කර ගත්තා නම් එතැනයි සැනසෙන මඟ තිබෙන්නේ. එය සාර්ථක බෞද්ධයකුගේ ලක්ෂණයක්.
කෙනෙකුට ධර්මය මතක තබා ගැනීමට, ගොනුකර ගැනීමට අපහසු නම් කළ යුත්තේ කුමක්ද?
ඇත්තටම ඇයි අපට කියාදෙන ධර්මය අමතක? දිනක් බ්‍රාහ්මණ පුත්‍රයෙක් පැමිණ තථාගතයන් වහන්සේට කියා සිටියා ස්වාමිනි, මම විවිධ යන්ත්‍ර, මන්ත්‍ර පොත්පත් කියවනවා. නමුත් මතකයේ තබාගන්න අපහසුයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා තමන් හදාරණ ශාස්ත්‍රය මතක තබා ගන්නට කරුණු පහක් උපකාර වන බව.
පළමුවැන්න සිතේ යම්කිසි තදබල ආශාවක් තිබෙනවා නම් මතක සිටින්නේ නැහැ. උන්වහන්සේ උපමාවක් වදාළා භාජනයක ඇති පිරිසුදු ජලයට යම්කිසි වර්ණයක් එක් කළවිට පතුළ පැහැදිලිව නො පෙනේ. ධර්මයේදී මෙයට “කාමච්ඡන්දය” කියා හඳුන්වනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු කෙරෙහි දැඩි ආශාවයි.
දෙවැන්න සිතේ නුරුස්සන ස්වභාවය. මෙය හරියට ජලයේ කැකෑරි තිබෙනවිට ජලය සෙලවෙන විට ලස්සන විලේ ලස්සන දකින්නට බැහැ වගේ සිතේ ව්‍යාපාදය බලවත් නම් මතක ශක්තිය අඩුවෙනවා. අනුන් නසන්න, අනුන්ට හිංසා කරන්න අනුන් පෙළන්න අරමුණු තිබෙනවා නම් ධර්මය පිහිටන්නේ නැහැ.
තෙවැන්න නිදිමත හෝ කම්මැලි ස්වභාවයක් ඇති නම් එය ධර්ම මාර්ගයට බාධාවක්. පොතක් කියවන විට නිදිමත වැඩිනම් මතක සිටින්නේ නැහැ. එය විලේ තිබෙන දියසෙවල වගේ. දියසෙවල බහුල විලක පතුලේ ලස්සන නො පෙනේ. ධර්මයේදී මෙය “ථීනමිද්ධය” ලෙස හඳුන්වනවා.
සිත නොසන්සුන් වීම හතරවැනි කාරණය යි. සිත නොසන්සුන් නම් විලේ ජලය කැළඹිලා. එහාට මෙහාට විසිරෙනවා. එවිටත් විලේ ලස්සන පෙනෙන්නේ නැහැ වගේම සිතේ ඒකාග්‍රභාවය රැඳෙන්නේ නැහැ. මෙය “උද්දච්ච කුක්කුච්චය” යි.
පස්වැන්න තමන් ඉගෙන ගන්නා ධර්මය තුළ සැක ඇතිවීමයි. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේක හරිද? කියා සිතනවා. එය හරියට කළුවර දිනක විල දකිනවා වගේ. එදාට විලේ තිබෙන දේ අපට පැහැදිලිව නො පෙනේ. මෙයට ධර්මයේ විචිකිච්ඡාව ලෙස කියනවා. එහෙනම් කාමච්ඡන්ද, ඹව්‍යාපාද, ථීනමිද්ධ. උද්ධච්ච කුක්කුච්ච, විචිිකිච්ඡා කියන පංචනීවරණ අඩු කර නොගතහොත් ධර්මය මතක තබා ගැනීමට අපහසුයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගෙන ගන්න දේ මතක සිටින්නේ නැහැ. රැකියාව කරන කෙනෙකුට එය සාර්ථකව කරන්න බැහැ. අපේ ජීවිත අසාර්ථක වීමට මේ නීවරණ බලපානවා.
ස්වාමින් වහන්ස, කෙනෙකු ඉක්මනින් කෝපයට පත් වෙනවා. එහි විපාක දන්නමුත් කෝපය පාලනය කර ගැනීමට නොහැකිනම් කළ යුත්තේ කුමක්ද?
එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.
එහෙම නම් ජීවිතය දිනන්නට ජීවිතය ආලෝකමත් කර ගන්නට කැමැතිනම් අප යක්ෂයා සමඟ නොව දෙවියා සමඟ අත්වැල් බැඳගත යුතු වෙනවා. රාග, ද්වේෂ, මෝහය විසින් කරන්නේ අප පහළට ඇද දැමීමයි. විශේෂයෙන් ද්වේෂය නැත්නම් පටිඝය, ව්‍යාපාදය විසින් අපට හදිසි කෝපය, කේන්තිය, තරහව ඇති කරනවා. මෙවැනි හදිසි කෝපයක් ඇතිවූ විට අපට ඉතිරිවන්නේ පසුතැවීමයි. එනිසා වහාම එය පාලනය කළ යුතුයි. මේ කෝපය අඩුකර ගන්නට ධර්මානුකූලව පියවර කිහිපයක් තිබෙනවා.
1. කෙනෙකුට වාවා ගන්නට බැරි කේන්තියක් ආ විට දීර්ඝ හුස්මක් ගත යුතුයි. ඒ වගේම දීර්ඝ පහළට හුස්ම පිට කළ යුතුයි. කිහිපවරක් එසේ කරනවිට ඒ සුළු මොහොතට අපේ වේගවත් කේන්තිය ක්‍රමක්‍රමයෙන් පාලනය වෙනවා.
2. කෙනෙකු ගැන කේන්තියෙන් අප පසුවෙනවානම් ඒ අරමුණ ඉක්මනින් වෙනස් කළයුතු වෙනවා. ඇස ඒ අරමුණ වෙතින් ඉවත් කර ගන්න. එවිටත් තදබල කේන්තිය අඩුවෙනවා.
3. ඒ වගේම ගහන්න, බනින්න, මරන්න කියා සිතට එන සිතිවිලි ආදීනව සිහි කරන්න. මේ කෝපයෙන් යම් දෙයක් කළොත් කුමක් වේවිද කියා විපාක දකින්න ට ඕන.
4. සමහර අයට කේන්ති ආ විට කලබලයෙන් ඇවිදිනවා ඔබ දැක ඇති. එසේ නොකොට කේන්තිය පාලනය වනතුරුම සෙමින් සක්මනක යෙදෙන්න. එයත් කේන්තිය පාලනයට උපක්‍රමයක්.
5. තමාට තදබල කේන්තියක් ආ විට සිටගෙන ඉන්නවානම් ඉඳගන්න. ඉඳගෙන සිටිනවානම් සිටගන්න. ඇඳක නම් ඒ ඉරියව්ව වෙනස් කරන්න. ඉරියව්ව වෙනස් කිරීමත් සමඟ කේන්තියද පාලනය වෙයි.
ඒ වගේම බුර බුරා නගින කේන්තියට හොඳ විසඳුමක් තමා අසල ඇති බුද්ධ ප්‍රතිමාව දෙස එකම ඉරියව්වෙන් බලා සිටින්න. නිකෙලෙස් උතුම් ජීවිතය අපගේ කෝපය නිවා දමනවා. කෝපය මෙත් සිතින් දිනන්න පුළුවන්.
අසද්පුරුෂ බව සද්පුරුෂ බවින් දිනන්න පුළුවන්. මසුරුකම දානය පුරුදු කිරීමෙන් දිනන්න පුළුවන්. බොරු කියන අය දිනන්න පුළුවන් වන්නේ සත්‍ය කථා කිරීමෙන්.