ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

පූජනීය සදහම් මාවතකට සතර සංග්‍රහ වස්තු

මිනිසා විසින් සමාජයට ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳව බුද්ධ දේ්ශනාවේ විවිධ ඉගැන්වීම් අන්තර්ගතව තිබේ. ලෝකයාගේ සිත් අවනත කරගෙන ජනපි‍්‍රය පුද්ගල පෞරුෂයක් ගොඩනඟා ගත හැකි ක්‍රමවේද හතරක් ඒ අතර ඇත. සතර සංග්‍රහ වස්තු නමින් ඒවා හඳුන්වයි.

දානය, පි‍්‍රයවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය යනු ඒ හතරයි.

දානය

තමා සතු වස්තුවක් පූජා බුද්ධියෙන් හෝ අනුකම්පා බුද්ධියෙන් හෝ දීම දානයයි. තුණුරුවන් විෂයෙහි යමක් පූජා කිරීම පූජා බුද්ධියෙන් දීමක් ලෙසටත් දුගී මඟී යාචකාදී අසරණයන් උදෙසා යමක් පරිත්‍යාග කිරීම අනුකම්පා බුද්ධියෙන් දීමක් ලෙසටත් හැඳින්වේ.
අපේ සිත යටපත් කරගත් අකුසල මූලයන් තුනක් ඇත. ලෝභ, දෝස, මෝහ යනුවෙන් එය හඳුන්වයි. අප සතු සියලු වස්තු කෙරෙහි පවතින බැඳීම හේතුකොටගෙන ලෝභය පහළ වෙයි. ඒවා ආරක්‍ෂා කර ගැනීම සඳහා බාධක ලෙස සැලකෙන කරුණාව මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී උතුම් මානව ධර්මවලට සිතේ ඉඩක් ඉතිරි නොවන ලෙසට සන්තානය දූෂණයට ලක් කරන්නේ දෝස හෙවත් ද්වේෂයයි.
ලෝක යථාර්ථය සගවා තබන්නේ මෝහයයි. එය අඳුරකි. සියලු දේ දැකිය හැක්කේ ආලෝකයෙනි. ලෝකයේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවයන් තුනට යටත් ය. එය දකින බුද්ධිමත් සත්වයෝ බැඳීමෙන් තොරව මිඳීමක් සොයා යති. ඒ තත්ත්වය වළකා ලෞකිකත්වය තුළ සත්ව සංහතිය රඳවා ගන්නා ස්වභාවික වූ අන්ධකාරය මෝහයයි. මෙසේ අර්ථ දැක්වූ අකුසල මූලයන් යටපත් කොට අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් සිතට සම්බන්ධ කරන්නේ දානයයි.

පි‍්‍රය වචනය

අසන්නාගේ සිත සතුටට පත් කරන වචනය පි‍්‍රය වචනයයි. පි‍්‍රය වචන ඇසීමෙන් චිත්ත පී‍්‍රතිය ඇති වෙයි. පි‍්‍රය වචන සඳහා යොදා ගත යුත්තේ නිවැරැදි වචනයයි.
සම්මා වාචා යනු නිවැරැදි වචනයයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, (මුසාවාදා, පිසුනාවාචා, පරුසා වාචා, සම්පප්පලාපා) යනුවෙන් දැක්වෙන්නේ වචනයෙන් සිදුවන අකුසල ක්‍රියාවන් ය. ඉන් අතමිඳී මුවින් වහරන පි‍්‍රයකරු වදන පි‍්‍රයවචන ලෙස හැඳින්වේ. යම් වචනයක් තුළ ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී මානව, දයාව බැඳුණු ගුණාංග ඇතුළත් වේ නම් එය නොඅනුමානවම පි‍්‍රය වචනයක් වේ. පි‍්‍රය වූ ඇසීමට පි‍්‍රය හෙයින් කනට මිහිරිය, සිත් ඇදගන්නා හෙයින් මනහරය, සිත නිවන බැවින් සිසිල්ය, සිත සංසිඳෙන බැවින් ශාන්තය.
අනුන්ගේ සිත් දිනා ගැනීමටත් සමාජයේ ජනපි‍්‍රය පුද්ගලයෙකු බවට පත් වීමත් පි‍්‍රය වචනය යහපත් වශීකරණයකි. මිනිසා පමණක් නොව තිරිසන් සතුන් පවා පි‍්‍රය වචන පි‍්‍රය කරති. යක්‍ෂයන්, රාක්‍ෂයන් පවා පි‍්‍රය වචන වලට අවනත වූ අවස්ථා දක්නට ලැබේ. යහපත් වූ අවවාදයක් වූවත් අපි‍්‍රය වූ සැර පරුෂ වචනයෙන් ලබාදීම පලක් නොවේ. මිනිසෙකුගේ ශීලාචාරකම ඔහුගේ කතාවෙන් පෙන්නුම් කරයි.
ඒ ඒ පුද්ගලයන්ගේ තත්ත්වය අනුව ගරුසරු සහිතව ඔවුන් ඇමැතීම වංචාවක් හෝ රැවටීමක් නොව කථා කරන්නාගේ හැදියාව ප්‍රකාශ කරන්නකි. කිසිදු භෞතික වැය කිරීමකින් තොරව වචනයෙන් පමණක් කළ හැකි සමාජ සත්කාරයක් ලෙස පි‍්‍රය වචනය සැලකේ.

අර්ථ චරියාව

අනුන්ගේ දියුණුව වෙනුවෙන් තම චරියාවන් පැවැත්වීම අර්ථ චර්යාවයි. යම් පුද්ගලයෙකුට දියුණුවේ මාර්ගය කියාදීමත් ඒ සඳහා කළ හැකි උපකාර සිදු කිරීමත් අර්ථ චර්යාවයි.
කළයුතු දේ හෝ නොකළ යුතු දේ මනා ලෙස පෙන්වා දීම යහපත දකින්නාගේ වගකීමකි. අන්ධයෙකු පාරේ ගමන් කරන්නේ අපහසුවෙනි. ඔහුගේ අත අල්ලාගෙන යා යුතු තැනට යාමට උපකාර කරන අයුරින් කරුණු නොදන්නා තැනැත්තාට කරුණු පැහැදිලි කර දී අරමුණට ළඟාවීමට අතදීම උදාරතර මානව ධර්මයකි.
බෞද්ධ ඉගැන්වීම්වල ත්‍රිවිධ අර්ථ චර්යාවක් ගැන සඳහන් වේ. එනම්,
1.ඥාත්‍යාර්ථ චර්යාව (ඤාතත්ථ චරියා)
2. ලෝකාර්ථ චර්යාව (ලෝකත්ථ චරියා)
3. බුද්ධි චර්යාව (බුද්ධි චරියා)

ඥාත්‍යාර්ථ චර්යාව 
සිය ඥාතීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම ඥාත්‍යාර්ථ චර්යාවයි. ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් පවා සිය වර්ග පරම්පරාවේ ඥාතීන් උදෙසා දිවි පරදුවට තබා කටයුතු කළ අවස්ථා ඇත. සිය රට, දැය, සමය විපතකට පත් කල්හී ඒ වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කිරීමද ඥාත්‍යර්ථ චර්යාවට අයත් වේ.

ලෝකාර්ථ චර්යාව

ලෝකයට වැඩ කිරීම යන අරුතින් ලෝකාර්ථ චර්යාව අර්ථවත් වේ. තම ඥාතීන්ට වර්ගයාට හෝ ජාතියට පමණක් සීමා නොවී සමස්ත ලෝක සත්ත්වයා වෙත යහපත සැලැසීම මෙයින් අදහස් කරයි. එක් පුද්ගලයෙකුට මුළු ලෝක සත්වයාට යහපත උදාකරදීමක් කළ නොහැකි බවට විවාද නැත. එහෙත් ඔහු වටා ඇති ලෝකයට, ඔහු ඇසුරු කරන සමාජයට යහපතක් සලසාදීම යම් සීමා, වපසරියක් තුළ සිදු කළ හැකි ය.

බුද්ධි චර්යාව

බුද්ධිය හෙවත් ප්‍රඥාව දියුණු කර ගැනීම හා එම දියුණුව උපයෝගී කරගෙන සමාජයට සේවය සැලැසීම බුද්ධි චර්යාවට අයත් වේ. මෙය බෝසත්වරුන් ප්‍රඥා පාරමිතාව ලෙස පූරණය කළහ. සෑම දියුණුවක් සඳහාම සෑම යහපතක් සඳහාම හේතුවන්නේ බුද්ධියයි. මෙලොව දියුණුවත්, පරලොව යහපතත් සලසා ගැනීමට බුද්ධි වර්ධනය අනිවාර්ය වූ සාධකයකි.
මුළු ලෝකය පුරාම ඇත්තේ සත්‍ය යටපත් කොට මුළාව පිණිස හේතු වන මායාවකි. සුන්දරත්වයකි. මායාවේ සුන්දරත්වය අප විඳිය යුතු ය. එහෙත් එම සුන්දරත්වය විනිවිද මතුවන කටුකත්වයේ යථාර්ථය ද හඳුනාගත යුතුව ඇත. මෝහය නම් වූ අඳුර තුළ අප දකින සොඳුරු බවට අභියෝග කළ හැක්කේ ප්‍රඥාලෝකයට පමණි. බුද්ධි චර්යාව නම් වූ අඳුරෙන් ආලෝකයට යන මඟ ගමන් කරන මිනිසා ලෝකයට අර්ථවත් වූ මෙහෙවරක යෙදෙන්නෙකි.

සමානාත්මතාවය

ජාති, කුල, ආගම්, ගෝත්‍ර භේදයකින් තොරව සමස්ත මානව වර්ගයා එකසේ ගෙන ක්‍රියා කළ හැකි වීම සමානාත්මතා ගුණය නම් වේ. තමන් මෙන්ම අනුන් ද එක සේ ගෙන සැලකීම ද සමාන වූ ආත්මතාවයකි. මිනිස් සමාජයේ ජීවත් වන හැම පුද්ගලයෙක්ම සමානකොට සලකා එකම සහෝදර පිරිසක් ලෙස ක්‍රියා කරත් නම් ලෝකය ඉතා යහපත් ස්ථානයක් වනු ඇත. පැරැණි සමාජයේ විවිධ වූ ගෝත්‍රවාද පැවති බවට ඉතිහාසය කියයි. බුද්ධ කාලීන භාරතය විවිධ කුලගෝත්‍ර වලට කැඩී බිඳී තිබිණි. එයින් පීඩා වින්දෝ අපමණ ය. නමුදු බුදුපියාණන් වහන්සේගේ යථාර්ථවාදී සදහම් පණිවිඩය තුළ පැවැති මානව දයාවේ අපරිමිත බලමහිමය මඟින් කුල ගොත් වාද දෙදරා ගියේ ය. උසස් යැයි සම්මත බ්‍රාහ්මණ වංශිකයෝ ද පාලක පන්තිය නියෝජනය කළ ක්‍ෂත්‍රීය වංශිකයෝ ද දාබිඳු හෙළා ධනය ඉපයූ වෛශ්‍ය කුල පුත්‍රයෝ ද සූනීත වැනි ශුද්‍ර වංශිකයෝ ද එකම බුදු සසුනේ බුද්ධ පුත්‍රයෝ වූහ. සාමානාත්මතා ගුණයට දිය හැකි පරම සුපූජිත ආදර්ශය සම්බුදු සසුනමය.
කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය, 
ශාස්ත්‍රපති වික්‍රමසිංහ අතපත්තු

පඤ්ච උපාදානස්‌කන්ධයෝ දුක්‌ වන්නාහු ය

යම් අයෙක්‌ මේ භයානක සංසාර ගමනෙන් මිදීමට නම්, ඔහු දුක අවබෝධ කරගත යුතුය. එමෙන්ම දුකට හේතුව වන තණ්‌හාව ප්‍රහානය කළ යුතුය. එමෙන්ම නිර්වාණය සාක්‌ෂාත් කළ යුතු අතර, මේ සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවිත කළ යුතුය. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුය. මේ බව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත.
දුක්‌ඛ ආර්ය සත්‍යය හෙවත් දුක බුදුපියාණන් වහන්සේ පහත තුන් ආකාරයට පෙන්වා දී ඇත.
- ජාති-ඉපදීම, ජරා-වයසට යැම, ව්‍යාධි-ලෙඩ වීම, මරණ-මරණයට පත්වීම, සෝක-සෝක කිරීම, පරිදේව-හැඩීම් වැළපීම්, දුක්‌ඛ-කායික වේදනා දුක, දෝමනස්‌ස-මානසික වේදනා දුක, උපායාස-වෙහෙසකර බව, පියෙහි විප්පයෝග ප්‍රිය දේ අහිමි වීම, අප්පියෙහි සම්පයෝග-අප්‍රිය දේ එක්‌වීම, යම් පිච්ඡං න ලබති තම්පි දුක්‌ඛං- සිතන දේ නොලැබීම.
- සංත්තේන පඤ්ච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා. සැකෙවින්ම පඤ්ච උපාදානස්‌කන්ධයෝම දුක්‌ වන්නාහු ය. එනම් රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ වේ.
- දුක්‌ඛ දුක්‌ඛතා-ශාරීරික හා මානසික දුක්‌, විපරිණාම දුක්‌ඛතා- සුඛ වේදනාව නැතිවීමෙන් සහ දුක්‌ඛ වේදනාව ඇත්වීමෙන් වන දුක, සංඛාර දුක්‌ඛතා-කැමැත්තෙන් ගොඩනැඟූ චිත්ත සංස්‌කාර හටගත්ත මොහොතේදීම බිඳීයැමෙන් ඇතිවන දුක.
සිතක්‌ තුළ පඤ්ච උපාදානස්‌කන්ධයම පවතිනවා
'ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භෝති' - ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් එකතුවීමෙන් විඤ්ඤාණය හටගනී. 'තිණ්‌නං සංගති ඵස්‌සෝ'- ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඤ්ඤාණයත් ස්‌පර්ශ වීම 'ඵස්‌ස්‌ වේ. විඤ්ඤාණය හටගැනීමත් සමග නාම ධර්ම පහක්‌ හටගනී. එනම් 'ඵස්‌ස, වේදනා, සඤ්ඤා, ෙච්තනා, මනසිකාර'. මේ අනුව සිතක්‌ ලෙස විද්‍යමාන වන්නේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප, විඤ්ඤාණය සහ නාම ධර්ම ක්‍රියාකාරිත්වයයි. එනම් විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයයි. එමෙන්ම සිතක්‌ තුළ පඤ්ච උපාදානස්‌කන්ධයම පවතිනවා. 
පඤ්ච උපාදානස්‌කන්ධයෝ මාව කනවා - ඛඡ්ජනීය සූත්‍රයෙන්
දුක අවබෝධ කර ගැනීමට නම් පඤ්ච උපාදානස්‌කන්ධය අවබෝධ කර ගත යුතුය. සංයුක්‌ත නිකායේ එන ඛ-ජනීය සූත්‍රයේ පඤ්ච උපාදානස්‌කන්ධය පහත ලෙස විස්‌තර කරයි.
- රූප - මහණෙනි, 'බිඳේ' නුයි එයින් රූපයයි කියනු ලැබේ. ශීතයෙන්, උෂ්ණයෙන්, සා පිපාසායෙන් ද, මැසි මදුරු සර්පයන් ආදී සතුන්ගේ ස්‌පර්ශයන්ගෙන් 'බිඳෙන දේ' වේ. සතිපට්‌ඨාන සූත්‍රයේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරක සංකලනය ලෙස ද පෙන්වා දෙයි. එනම් ආධ්‍යාත්මික රූප- ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ බාහිර රූප- වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප.
- වේදනා - මහණෙනි, 'වළඳ කෙරේ' නුයි එයින් වේදනා යි කියනු ලැබේ. එනම් පරිභෝජනය කරන විඳීම් හෙවත් වේදනාවන්ය. එනම් සුඛ වේදනා, දුක්‌ඛ වේදනා සහ අදුක්‌ඛම සුඛ හෙවත් උපේක්‌ඛා වේදනාවෝය.
- සංඥා - මහණෙනි, 'හඳුනාගනී' නුයි එයින් සංඥා යි කියනු ලැබේ. එනම් නිල්, කහ, රතු, සුදු ආදී ලෙස හඳුනාගැනීමයි. එනම් වර්ණය, හැඩය ආදිය හඳුනාගැනීමයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප හඳුනා ගැනීමයි.
- සංස්‌කාර - මහණෙනි, 'සංඛත කොට අභිසංස්‌කරණ කෙරෙත්' - (සංඛතං අභිසංඛරොන්ති) නු යි එයින් සංස්‌කාර යි කියනු ලැබේ. එනම් සකස්‌ කරන ලද රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ යළි යළිත් සකස්‌ කිරීමයි.
- විඤ්ඤාණ - මහණෙනි, 'විජානනය කෙරේ' නුයි එයින් විඤ්Æනය යි කියනු ලැබේ. එනම් රූප, වේදනා, සංඥා, සංස්‌කාර පිළිබඳ දැනුවත් වීමයි.
ඛඡ්ජනීය සූත්‍රයේ, යම් අයෙක්‌ පුබ්බේනිවාසානුස්‌සති ඥානය උපදවාගෙන පු_ව නිවාස සිහිකරයි නම් හෙතෙම සිහිකරනුයේ අතීත රූප, වේදනා ,සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණම බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙසේ සිහිකිරීමෙන් අතීත භවවල සත්ත්ව, ප්‍රේත, නිරය යනාදී ස්‌ථානවල දුක්‌ විඳි ආකාරය අවබෝධ වේ. මේ අනුව අතීත භවයන් සිහිකිරීමෙන් අතීත ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාස යනාදී දුක්‌ඛ අවබෝධ කරගෙන තණ්‌හාව දුරු කරගත හැකිය. 
ඛ-ජනීය යන වචනයේ තේරුම කනවා යන්නයි. මේ අනුව අතීත රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණය මාව කෑවානම්, වර්තමාන රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ මාව කනවනම්, අනාගත රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ මාව නොකා සිටීද? යන්න අවධාරණය කර රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ නැවත නොපැතීම කළ යුතු බව දක්‌වා ඇත. තමන් අතීතයේදීත් මෙම පඤ්ච උපාදානස්‌කන්ධය නිසා දුක්‌ වින්දා. වර්තමානයේත් දුක්‌ විඳිනවා. අනාගතයේත් මේ දුක විඳිය යුතුද? යන ප්‍රශ්නයට පිළිතුර දීමට තමන් ම බුද්ධිමත් විය යුතුය.
උදාහරණයක්‌ ලෙස යම් කිසි කෑමක්‌ අනුභව කිරීමට කැමැති නිසා විඳින දුක බලන්න. මුලින්ම එම කෑම වෙළෙඳපොළෙන් හෝ වෙනයම් ස්‌ථානයකින් රැගෙන ආ යුතුයි. ඊට මුදල් නොමැතිනම් මුදල් සොයාගත යුතුයි. ඉවුම් පිහුම් සඳහා තුනපහ හට්‌ටිමුට්‌ටි සොයාගත යුතුය. ඉවීමට කෙනෙක්‌ සොයාගත යුතුය. මෙහිදී විවාහ වීමට පවා සිදු වේ. පසුව පවුල් ජීවිතය තුළ ගෙවල් දොරවල් හදාගැනීම, යාන වාහන මිලදී ගැනීම, අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ කටයුතු ආදි සියල්ල කිරීමට සිදු වේ. එනම් තමන් රූපය කන්නට ගියද සිදුව ඇත්තේ රූපය විසින් තමන්ව කා දැමීමකි. අවසානයේ රූපය පැතීම නිසා සිදුවී ඇත්තේ මහා දුක්‌ඛයක්‌ අත්පත් වීමය. මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණය පැතීම හේතුවෙන් ඒවා විසින් තමන්ව කා දැමීමක්‌ සිදු වේ. එම හේතුවෙන් අනාගත පඤ්ච උපාදානස්‌කන්ධයෝ නො පැතීමෙන් මෙම ආත්මභාවයේදී සංසාරයේ දරන අවසාන කය දැරීමට වාසනාව උදාවනු ඇත.
ඊළඟ නිවස සාදා ගැනීමේ ගිණුම - සමාධි භාවනා සූත්‍රයෙන්
උපාදානය යනු භවය අල්ලා ගැනීමයි. එනම් තවත් උප්පත්තියක්‌ සඳහා කැමැත්තෙන්ම සකස්‌කර ගැනීමයි. කාමයට කැමැතිනම් කාම ලෝකයේද, රූපාවචර ධ්‍යාන අල්ලා ගත්තා නම් රූපාවචර බ්‍රහ්ම ලෝකද, අරූපාවචර ධ්‍යාන අල්ලා ගත්තා නම් අරූපාවචර බ්‍රහ්මලෝකවලද උප්පත්තිය ලබයි. සරලවම ප්‍රකාශ කරනවා නම් උපාදානය කිරීම යනු සංසාරයේ ඊළඟ නිවස සාදා ගැනීමට ගිණුමකට මුදල් රැස්‌කිරීමක්‌ වැනිය.
බුදුපියාණන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ උපාදානයට යන ආකාරයත්, උපාදානය නොකර ගන්නා ආකාරයත් සංයුක්‌ත නිකායේ සමාධි භාවනා සූත්‍රයේ පැහැදිලිව පෙන්වා දී ඇත.
උපාදානයට යන ආකාරය
'ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/ විඤ්ඤාණං) අභිනන්දති අභිවදති අජෙCධාසාය තිට්‌ඨති. තස්‌ස (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/ විඤ්ඤාණං) අභිනන්දතො අභිවදතො අජෙ_Cධාසාය තිට්‌ඨතො උප්පඡ්ජති නන්දි. යා (රූපෙ/වේදනාය/සඤ්ඤාය/සංඛාරේසු/ විඤ්ඤාණෙ) නන්දි තදුපාදානං තස්‌සුපාදානපච්චයා භවො, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදෙව දුක්‌ඛ දොමනස්‌සුපායාසා සම්භවන්ති. ඒවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්ධස්‌ස සමුදයො හෝති.'
'මහණෙනි. මෙ සස්‌නෙහි මහණ (රූපය/වේදනාව/සංඥාව/සංස්‌කාරය/විඤ්ඤාණය) නො පතයි. මැනවැ යි කියයි. එහි බැසගෙන සිටී. (රූපය/වේදනාව/සංඥාව/සංස්‌කාරය/විඤ්ඤාණය) පතන මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. 
(රූපයේ/වේදනාවේ/සංඥාවේ/සංස්‌කාරයේ/ විඤ්ඤාණයේ) යම් තෘෂ්ණාවක්‌ වේ නම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන්a ජරා-මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක්‌ රැසෙහි හටගැනීම වේ.' 
උදාහරණයක්‌ ලෙස රූපය පිළිබදව සිතා බැලුවහොත් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්‌පර්ශ රූප ආදිය කෙරෙහි කැමැත්තක්‌ පවතීනම් එය උපාදානයෙන් භවය සකස්‌කර උප්පත්තිය ලබයි. යම් අයෙක්‌ යම් කෑමක්‌ සඳහා කැමැත්තක්‌ පවතී නම් එය අනුභව කිරීම සඳහා නැවත සත්ත්වයා/පුද්ගලයා නමැති නිවස සාදයි. මෙම නිවස කුමන තැන සාදනවාද යන්න තීරණය වනුයේ උපාදානය වූ ගිණුමේ ඇති මුදල් අනුවය. ගිණුමේ ඇති කුසල් අකුසල් අනුව කාම ලෝකයේ දිව්‍ය නිවසක්‌, මනුෂ්‍ය නිවසක්‌, තිරිසන් නිවසක්‌ හෝ ප්‍රේත නිවසක්‌ ආදිය සාදා ගනී. එනම් කෙනෙකු උපාදානය කළා නම් නිවස සාදා ගෙන දුක විඳින්නට සිදු වේ.
උපාදානය නොකර ගන්නා ආකාරය 
'ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු (රූපං/වේදනං/සඤ්ඤං/ සංඛාරේ/ විඤ්ඤාණං) නාභිනන්දති නාභිවදති නා-Cධාසාය තිට්‌ඨති. තස්‌ස (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/විඤ්ඤාණං) අනභිනන්දතො අනභිවදතො අන-Cධාසාය තිට්‌ඨතො යා (රූපෙය/වේදනාය/සඤ්ඤාය/සංඛාරේසු/විඤ්ඤාණෙ) නන්දි සා නිරු-Cධති. තස්‌ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්‌ඛ දොමනස්‌සුපායාසා නිරු-Cධන්ති. ඒවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්ධස්‌ස නිරෝධෝ හෝති.'
'මහණෙනි. මෙ සස්‌නෙහි මහණ (රූපය/වේදනාව/සංඥාව/සංස්‌කාරය/විඤ්ඤාණය) නො පතයි. මැනවැ යි නො කියයි. එහි බැසගෙන නො සිටී. (රූපය/වේදනාව/සංඥාව/සංස්‌කාරය/විඤ්ඤාණය) නො පතන මැනවැ යි නො කියන එහි බැසගෙන නො සිටින ඔහුගේ (රූපයේ/වේදනාවේ/ සංඥාවේ/ සංස්‌කාරයේ/ විඤ්ඤාණයේ) යම් තෘෂ්ණාවක්‌ වේ නම් එය නිරුද්ධ වේ. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්‌ඛ දෝමනස්‌ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්‌ රැසෙහි නිරෝධය වේ'. 
උදාහරණයක්‌ ලෙස යම් අයෙක්‌ රූපය,වේදනාව, සංඥාව,සංස්‌කාරය, විඤ්ඤාණය සඳහා ඇලීමක්‌ නො පවතී නම් නැවත සත්ත්වයා/පුද්ගලයා නමැති නිවස අවශ්‍ය නැත. රූප ආදිය කෙරෙහි කැමැත්තක්‌ නො පවතී නම් එහි උපාදානයක්‌ නොමැති වී භවය සකස්‌කර උප්පත්තිය නො ලබයි. මෙහිදී නිවසක්‌ සෑදීමට උපාදානය වූ ගිණුමක්‌ නොමැත. ඔහු සසර දුක කෙළවර කර ගන්නේය.
පඤ්ච උපාදානස්‌කන්ධයන්ට උපමා පහක්‌ - ඵෙනපිණ්‌ඩූපම සූත්‍රයෙන්
පංච උපාදානස්‌කන්ධය හිස්‌ වූවක්‌ ලෙස සලකා එහි නොඇලී සිටීමට මෙම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වයි.
'ඵෙනපිණ්‌ඩූපමං රූපං වේදනා බුබ්බුළු පමා-මචිකූපමා සඤ්ඤා සංඛාර කදලූපමා,මායුපමඤ්ච විඤ්ඤාණං "පිතා දිච්චබන්දුනා'.
- රූපය පෙණපහරක්‌ වැන්න - පෙනගොඩක ඇත්තේ හිස්‌බවකි. ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් තුළ හරයක්‌ නොමැත. 
- වේදනාව දියබුබුළක්‌ වැන්න - සුඛ, දුක්‌ඛ, අදුක්‌ඛම සුඛ වේදනා හටගත් මොහොතේම éය වී බුබුළක්‌ මෙන් වැනසී යයි.
- සංඥාව මිරිඟුවක්‌ වැන්න - දුරදී මිරිඟුව දිස්‌වුවද සමීප වූ විට එවැනි දෙයක්‌ නොමැත. සංඥාව ද එසේය.
- සංස්‌කාර කෙසෙල් කඳක්‌ වැන්න - කෙසෙල් කඳක අරටුවක්‌ නොමැත. සෑදු විදියේ කොලයක්‌ම නැවත සාදා ඇත. 
- විඥානය මායාවක්‌ වැන්න - ඇස්‌බැන්දුමක්‌ යනු නැති දෙයක්‌ ඇතිකර පෙන්වීමකි. රූප,වේදනා, සංඥා, සංඛාර නැවත නැවත මැවීම කරනුයේ විඤ්ඤාණයයි.
මාර්ගඵල ලබාගැනීමට මෙසේ මෙනෙහි කරන්න - සීල සූත්‍රයෙන්
සීල සූත්‍රයේ සඳහන් පරිදි මහාකොටිත මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගෙන් පහත ප්‍රශ්න පහ විචාරනු ලබයි. 
1. සීලවතා ආයුසෝ සාරිපුත්ත, භික්‌ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ? 
2. සෝතාපන්නේන පනායුසෝ සාරිපුත්ත, භික්‌ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
3. සකදාගාමිනා පනායුසෝ සාරිපුත්ත, භික්‌ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
4. අනාගාමිනා පනායුසෝ සාරිපුත්ත, භික්‌ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
5. අරහතා පනායුසෝ සාරිපුත්ත, භික්‌ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
මින් අසා ඇත්තේ යම් මහණෙක්‌ සෝවාන්,සකදාගාමි, අනාගාමි සහ අර්හත්වය පිණිස කුමන ධර්මයක්‌ නුවණින් මෙනෙහි කළ යුතුද? යන්නයි. 
පළමු ප්‍රශ්න හතරටම පිළිතුරු වශයෙන් ලබාදී ඇත්තේ පංච උපාදානස්‌කන්ධයම අනිච්චිතෝ, දුක්‌ඛතෝ, රෝගතෝ, ගණ්‌ඩතෝ, සල්ලතෝ, අඝතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ වශයෙන් මෙනෙහි කරන ලෙසයි. පස්‌වැනි ප්‍රශ්නය අර්හත්වය පිණිස කුමන ධ_මයක්‌ නුවණින් මෙනෙහි කළ යුතුද? යන්නයි. පිළිතුර වශයෙන් රහත්හට කළ යුත්තක්‌ නැත, නමුත් දිට්‌ඨ ධම්ම සුඛ විහරණය සඳහාත්, සිහිය පවත්වාගෙන යාම පිණිසත් පංච උපාදානස්‌කන්ධයම ඉහත ආකාරයටම නුවණින් මෙනෙහි කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
පංච උපාදානස්‌කන්ධය ලෙස සරලවම සැලකිය හැක්‌කේ තමන්ගේ කයත් සමග ගෙන යන ජීවන පැවැත්මයි. රූප, වේදනා,සංඥා,සංස්‌කාර සහ විඤ්ඤාණ හෙවත් මෙම තමාගේ පැවැත්ම පහත වශයෙන් නිරතුරුවම මෙනෙහි කළ යුතුය.
- අනිච්චිතෝ (Impermanent) - වෙනස්‌ වන බව. රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණයාගේ ඇතිවීම-නැතිවීම හෙවත් සිතේ සමුදය-අස්‌තංගමය නුවණින් මෙනෙහි කළ යුතුය.
- දුක්‌ඛතෝ (Suffering) - මෙම පැවැත්ම තුළ කායික මානසික දුක්‌ ඇති බව මෙනෙහි කළ යුතුය. කායික ඉරියව් මාරුකරනුයේ දුක නිසා බවත්, චිත්ත පීඩා ආදියද දුක්‌ බව මෙනෙහි කළ යුතුය. 
- රෝගතෝ (A disease) - මෙම ජීවන පැවැත්ම ම ලෙඩක්‌ බව අවබෝධ කරගත යුතුය. වෙන කිසිදු රෝගයක්‌ නොමැතිනම් බඩගින්න, පිපාසය, මළපහ කිරීම, මුත්‍රා පිටකිරීම යන රෝග හතර නිසැකවම තමන්ට ඇතිබව මෙනෙහි කළ යුතුය.
- ගණ්‌ඩතෝ (Tumour) - මෙම පැවැත්ම ගෙඩියක්‌ (ගඩුවක්‌) බව අවබෝධ කරගත යුතුය. සැරව ගෙඩියක්‌ ගැන කල්පනා කරන්න. කුඩාවට හටගෙන මහා වේදනාවෙන් යුක්‌ත තුවාලයක්‌ බවට පත් වන්නා සේම කුඩා ලෙස ඇතිවන කායික මානසික වේදනා විපුල බවට පත්වන අයුරුත්, ඒවායින් දුක්‌ ගෙනදෙන අයුරුත් නිතර මෙනෙහි කළ යුතුය.
- සල්ලතෝ (A dart) - මෙම පැවැත්ම දුක්‌ ගෙනදෙන උලක්‌ (හුලක්‌) බව අවබෝධ කරගත යුතුය. මනබඳනා රූප වේදනා සංඥා පසුපස උපායාසයෙන් හඹායැමෙන් ඒවා විස උල් වශයෙන් තමන්ට එල්ලවී දුක්‌ ඇතිවන අයුරු මෙහිදී මෙනෙහි කළ යුතුය. 
- අඝතෝ (ඵසිeරහ) - තම පැවැත්ම තමන්ට නිරතුරුවම පීඩා ගෙන දෙන බව අවබෝධ කරගත යුතුය. උදේ සිටන් රෑ වෙනකම්, රෑ සිට එළිවෙනකම් මෙම පැවැත්ම ගෙනයැමට කෙතරම් දුකක්‌ විඳිනවාද යන්න නිතර මෙනෙහි කළ යුතුය.
- ආබාධතෝ (Affliction) - තම ශරීරයට ආබාධයක්‌ (තුවාලයක්‌ ලෙස සිතමු) සෑදුන විට එය කොතරම් පරිස්‌සම් කරනවාද, ඒ ආකාරයට තමන් කැමැත්තෙන් සාදාගත් කය සහ චිත්ත සංස්‌කාර ආරක්‌ෂා කර ගැනීමට කොතරම් දුකක්‌ විඳිනවාද, යන්න නිතර සිහිපත් කළ යුතුය.
- පරතෝ (Alien) - මෙම ජීවන පැවැත්ම අන්‍යයන් මත යෑපෙන බව අවබෝධ කළ යුතුය. කිසිවෙකුට ස්‌වාධීනව ජීවත් විය නොහැක. අනෙක්‌ පුද්ගලයන්, සතුන් හා ස්‌වභාව ධර්මය මත යෑපීමට සිදු වේ. තමන් ඒ ආකාරයේ අසරණ ස්‌වභාවයකට පත්ව ඇති බව නිරතුරුව නුවණින් මෙනෙහි කළ යුතුය.
- පලෝකතෝ (Disintegrating) - මෙම පැවැත්ම බිඳෙන බව නුවණින් මෙනෙහි කළ යුතුය. ඇස, කණ ආදී ඉන්ද්‍රියයන් බිඳෙන බවත් වෙනස්‌වන බවත් නිරතුරු මෙනෙහි කළ යුතුය. 
- සුඤ්ඤතෝ (Empty) - සංස්‌කාරයෝ හටගත් මොහොතේම බිඳී යන බැවින් කිසිවක්‌ නැති කිසිවෙක්‌ නැති ශූන්‍යතාවක්‌ පමණක්‌ ඇති බවත් එයද දුකක්‌ බව අවබෝධ කළ යුතුය. 
- අනත්තතෝ (Non self) - මෙම පැවැත්ම මම මගේ කියා නොගතයුතු බවත්, තමන්ගේ පාලනයෙන් තොර බවත්, ආත්මීය පැවැත්මක්‌ නොමැති බවත් නිතර නුවණින් මෙනෙහි කළ යුතුය.
ඉහත ආකාර එකොළහ ත්‍රිලක්‌ෂණයට අන්තර්ගත කළ විට පහත ආකාර වේ. 
- අනිච්චානුපස්‌සනාවට - අනිච්චිතෝ, පලෝකතෝ 
- දුක්‌ඛානුපස්‌සනාවට - දුක්‌ඛතෝ, රෝගතෝ, ගණ්‌ඩතෝ, සල්ලතෝ, අඝතෝ, ආබාධතෝ
- අනත්තානුපස්‌සනාවට - පරතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ
සීල සූත්‍රයට අනුව සාරාංශව පවසා ඇත්තේ මෙම පංච උපාදානස්‌කන්ධය 'අනිත්‍යයි, දුකයි, අනාත්මයි' ලෙස නිරතුරු නුවණින් මෙනෙහි කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගත හැකි බවයි.
පංච උපාදානස්‌කන්ධයේ උදයව්‍යය දකින්න - මහා සුඤ්ඤත සූත්‍රයෙන්
මෙම සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙසේ වදාළයි. 
'පඤ්ච ඛෝ ඉමේ ආනන්ද, උපාදානක්‌ඛන්ධා, යත්ථ භික්‌ඛුනා උදයබ්බයානුපස්‌සිනා විහාතබ්බං, ඉති (රූපං/වේදනා/සඤ්ඤා/සංඛාරා/විඤ්ඤාණං). ඉති (රූපස්‌ස/වේදනාය/සඤ්ඤාය/සංඛාරස්‌ස/විඤ්ඤාණස්‌ස) සමුදයෝ. ඉති (රූපස්‌ස/වේදනාය/සඤ්ඤාය/සංඛාරස්‌ස/විඤ්ඤාණස්‌ස) අත්ථංගමෝ. තස්‌ස ඉමේසු පඤ්චසුපාදානක්‌ඛන්ධෙසු උදයබ්බයානුපස්‌සිනෝ විහරතෝ, යො පඤ්චසුපාදානක්‌ඛන්ධෙසු අස්‌මිමානො, සෝ පහීයති. ඒවං සන්තමේතං ආනන්ද, භික්‌ඛු ඒවං පජානාති( යො බෝ ඉමේසු පඤ්චසුපාදානක්‌ඛන්ධෙසු අස්‌මිමානෝ, සෝ මේ පහීනෝති. ඉතිහ තත්ථ සම්පජානෝ හෝති. ඉමේ ඛෝ ආනන්ද, ධම්මා ඒකන්ත කුසලායතිකා දියා ලෝකුත්තරා අනවක්‌කන්තා පාපිමතා'. 
'ආනන්දය, යම් මහණෙක්‌ උදයව්‍යය නුවණින් මෙනෙහි කළ යුතු උපාදානස්‌ඛන්ධයෝ පහකි. එනම් රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණ වේ. එම රූප, වේදනා, සංඥා, සංස්‌කාර සහ විඤ්ඤාණයන්ගේ ඇතිවීම සහ නැතිවීම අවබෝධ කරගෙන, එහි අස්‌මිමානය නැති බව නුවණින් ප්‍රත්‍යක්‍ෂකර ගන්නා භික්‌ෂුව ඒකාන්තයෙන්ම මාරයා පැරද වු නිකෙළෙස්‌ ධර්මය අවබෝධ කර ගන්නේය'.
මේ අනුව පංච උපාදානස්‌කන්ධයේ උදයව්‍යයනය (එනම් ඇතිවීම සහ නැතිවීම) නුවණින් අවබෝධ කරගෙන උත්තම සැපත වන අර්හත්වය ලබාගත හැකි බව පැහැදිලිs වේ.
මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර, වතුරුගම.

දෝෂය කොතැන ද?


ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු. 

මම තව එක සිද්ධියක්‌ පෙන්නන්නම්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්‌පර්ශ ආයතන හය නිසා ම ධාතු නානත්වය නිසා සංඥා පහළ වන මට්‌ටමක්‌ තමයි අපට තියෙන්නෙ. ඒ කියන්නෙ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, දැනෙන ආ, දේ. මේ ටික තමයි "ඉන්කමින්" කියල අපි පහසුවට හඳුන්වපු, එළියෙ ඉඳන් ඇතුළට එන ටික. මේ සිද්ධියෙ දෝෂයක්‌ නැහැ.

මෙහෙම සිද්ධියකින් පස්‌සෙ ආපහු ඇහැ අහකට ගන්නකොට ම ඇහැත් නිරුද්ධයි, පෙනෙන රූපයත් ඉතිරි නැති ව ම නිරුද්ධයි කියන එක නො දැක තියෙන දෙයක්‌ හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නෙ? අවිද්‍යා කර්ම ඉතිරි වෙනව. කාම ධාතුවෙ ස්‌වභාවය තමයි ආයතන හයෙන් ම කර්ම රැස්‌ වෙනව කාමාවචර මට්‌ටමින්. ඒ කිව්වෙ ආපහු එයාට සිහි කරල යන්න හය පොළක්‌ ම හැදෙනව. රූප තියෙනව කියල බලන්න යන්නත් පුළුවන්. ශබ්ද තියෙනව කියල අහන්න යන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්‌පර්ශ, සිතිවිලි තියෙනව කියල විඳින්න යන්නත් පුළුවන්. එයාට කාම ධාතුවෙ ආයතන දොළහකුයි, අටළොස්‌ ධාතුවකුයි ස්‌කන්ධ පංචකයකුයි හම්බ වෙනව. මේ තමයි "අවුටිගොයින්" කොටස.

ස්‌පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධය නො දන්නාකම නිසා ස්‌පර්ශ ආයතන හය ම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්‌පර්ශ ආයතන හයක්‌ ඒ කියන්නෙ ආයතන 12ක්‌ ධාතු අටළෙසක්‌ ඉතිරියි. ඒ මට්‌ටම තමයි කාමාවචර මට්‌ටම. නිමිති උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නෙ ඒ වගේ ධාතුවක්‌ ආශ්‍රිත ව මයි.

ඒ තමයි කාම භවය. අනෙක්‌ අතට රූප භවය කියල කියන්නෙ ආයතන හයට ම අරමුණු ආවට නිමිති තියෙන්නෙ ඇහෙන් දකින එකෙයි, ශබ්ද අහන එකෙයි, හිතින් හිතන එකෙයි විතරයි. ගන්ධය, රස, ස්‌පර්ශය කියන නිමිති එහේ නැහැ. ඒ හින්ද එයා ආපහු යන්නෙ ("දුරකථන ඇමතුම ගන්නෙ" කියල අපි හිතමු) තුන් පොළකට විතරයි. ඒ කියන්නෙ රූපය සිහි කරන්න පුළුවන්, ශබ්දය සිහි කරන්න පුළුවන්, සිතිවිලි සිහි කරන්න පුළුවන් විතරයි. ආයතන හයට ම අරමුණු ආවත් රූප ශබ්ද සිතිවිලි අරභයා විතරක්‌ ඒවා ඇති දේවල් බවට අදහස ඉතිරි වෙනව. ඒ හින්ද ඒව හොයාගෙන යනව.

කෙනකු ගාව තියෙන්නෙ රූපාවචර මට්‌මේ සංයෝජනයක්‌ නම් එයාට ආපහු යන්න නිමිති හිටින්නෙ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන හය විතරයි. ධාතු 9 විතරමයි. එයාට අවිඡ්ජා පච්චයා සංඛාර වෙලා තියෙන්නෙ රූපාවචර මට්‌ටම. සංඛාර පච්චයා විඤ්ඤාණං කියනකොට චක්‌ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ විතරයි. ඒ මට්‌ටමේ තණ්‌හා උපාදානයක්‌ යෙදුණොත් ඒ මට්‌ටමේ තමයි භවයත්.

අරූප භවයෙ දි වෙන්නෙ මොකක්‌ ද? එහෙත් "ඉන්කමින්" හය ම තියෙනව. "අවුට්‌ගොයින්" 1ක්‌ විතරයි. මනායතනයයි ධම්මාරම්මණයි හැර අනෙක්‌ අරමුණු අරභයා, මෙතන තියෙන්නෙ සෙසු දේවල් හටගෙන නැති වීමක්‌, අවකාශයක්‌ විතර නෙ කියන අදහස බලපවත්වනව. එතකොට ඒ මට්‌ටමේ (අවකාශයක්‌ විතරයි තියෙන්නෙ කියන මට්‌ටමේ) තණ්‌හා උපාදානයක්‌ ඇතිවයි එයා ඊළ`ග භවයට යන්නෙ.

මෙහෙම බලනකොටත් පැහැදිලි වෙනව ස්‌පර්ශ ආයතන හයේ ("ඉන්කමින්වල") නෙමෙයි දෝෂය තියෙන්නෙ කියන එක. 

දැකීමෙන් පස්‌සෙ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් සංඛාර නිරුද්ධ වෙනව. සංඛාර හිටින්නෙ නෑ. පෙනෙන දේ හටගෙන නැති වෙනව කියන එක නො දන්නා අවිද්‍යාව තිබුණොත් සංඛාරය ද නිරුද්ධ වෙන්නෙ නැහැ. 

ස්‌පර්ශ ආයතන හයට ම යමක්‌ එනව. පෙනෙන ඇහෙන හැම දේකට ම යමක්‌ කරනව හිතනව. හැබැයි ස්‌පර්ශ ආයතන හය ම නිරවශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියන නුවණ කෙනකුට තියෙනව නම් ඒ තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්‌ වත් එතන නැහැ. එහෙම කෙනාට යන්න තියෙන තුන් භූමියෙ ම (කාම, රූප, අරූප භව) අටළොස්‌ ධාතුව ම නිරුද්ධයි. ආයතන 12 ම නිරුද්ධයි. පංච උපාදාන ස්‌කන්ධය ම නිරුද්ධයි. ඒ මට්‌ටමට කියනව රහතන්වහන්සේ කියල.

"ඉන්කමින්" කියල කිව්ව ස්‌කන්ධ ටික අවිද්‍යා පච්චයා කියන චක්‍රයට ඇතුළු කරන්න එපා. ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ආදි වශයෙන් කියන මේ ටික අවිද්‍යාව හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බැහැ.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට මෙතන තියෙන්නෙ ස්‌කන්ධ ටික. ස්‌පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නව ස්‌පර්ශය නැති වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනව කියන තැනක මනස තියාගන්න. කණ්‌ණාඩියට එබුණොත් එබුණ හින්ද ඡායාව හටගත්ත, එබෙන්න පෙර එහෙම ඡායාවක්‌ තිබුණෙ නැහැ. එබුණ හින්දමයි හටගත්තෙ. හිස අහකට ගත්තම ඒ ඡායාව ද නැති වෙනව කියන තැන හිත තියාගෙන කණ්‌ණාඩියෙ තියෙන ඡායාව ගැන ඕන දෙයක්‌ හිතන්න. කරන්න බනින්න ගහන්න. ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ.

අන්න ඒ වගේ මේ පෙනෙන දේ අරභයා දකින්න පෙර තිබුණ නෙමෙයි, දැක්‌කයින් පස්‌සෙ තියෙනව නෙමෙයි, ආයතනයන් ගෙන් උපද්දවපු දෙයක්‌ විතරමයි පෙනෙන්නෙ කියන තැනක නම් මනස තියෙන්නෙ මේ අරමුණු අරභයා මොන දේ කිව්වත් කෙරුවත් හිතුවත් සංඛාර නිරුද්ධයි.

මේ කිසි කෙනකුට ස්‌පර්ශ ආයතන හයේ ම පෙනෙන්නෙ පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනවා කියන දේ නම් ඒ මනසට කියනව අපරියාපන්නයි කියල. 

ස්‌පර්ශ ආයතන හය ම හටගෙන නිරුද්ධ වෙද්දි හය ම ඇති බවට නිමිති හදාගෙන ඒ හය ම හොයාගෙන යන මට්‌ටමට කාමාවචර කියල කියනව.

ස්‌පර්ශ ආයතන හයට ම අරමුණු ආවත් ආයතන තුනක්‌ විතරක්‌ ග්‍රහණය කරගෙන ඒ තුන විතරක්‌ (ඇති බව සිතා) ආපහු හොයාගෙන යන මට්‌ටමට රූපාවචර කියල කියනව. 

ආයතන හයෙන් ම අරමුණු එද්දි හයේ ම අනිත්‍ය දකිනව අවකාශය විතරයි තියෙන්නෙ කියන මට්‌ටම නම් තියෙන්නෙ ඒ මට්‌ටමට අරූපාවචරයි කියනව.

ස්‌පර්ශ ආයතන හයේ ම නිරෝධය දකිනව එකකට වත් නිමිති ඇති කරගන්නෙ නැහැ වුණොත් ඒ මට්‌ටමට කියනව සෝපදිශේෂ නිබ්බාණ කියල. 

ඇහැ උපාදාන කරන්නෙ (අති බවට අල්ලගන්නෙ) නැති ව, රූපය උපාදාන කරන්නෙ නැති ව, චක්‌ඛු විඤ්ඤාණය උපාදාන කරන්නේ නැති ව, චක්‌ඛු සම්පස්‌සය උපාදාන කරන්නෙ නැති ව විඳිනව. එහෙම ජීවත් වීමෙ දි ඇති බවට කිසිවක්‌ හිටින්නෙ නැහැ. අවිද්‍යාව ශේෂයක්‌ වත් නැහැ. ස්‌කන්ධ පරිහරණයක්‌ පමණයි තියෙන්නෙ. ආයතන ටික නිසා ඇති පැවැත්ම පමණක්‌ තියෙනව. කර්ම කෙළෙස්‌ ඔක්‌කොම අතහැරල.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුණයින් පස්‌සෙත් තමන් ගෙ මනසෙ දෙපැත්තෙ යෙදෙන්න නිමිති නැත්නම් කෙලෙස්‌ නැත්නම් ඉබේ ම දට්‌ඨෙ දිට්‌ඨ මත්ථං වෙනව.

එහෙම කෙනාට ප්‍රත්‍යක්‌ෂ ඥානයක්‌ උපදිනව ශාසනයට ආවෙ යමකට ද ඒ අරභයා මතුවට කළ යුත්තක්‌ නැහැ කළ යුත්ත කළා කියල. ආයෙ උපදින්නෙ නැහැ කියල තමන්ට ම වැටහෙනව. 

මෙතන දි එක කාරණාවක්‌ දකින්න. හේතුඵල දහම කැටි කරල ගත්තොත් බුදුරජාණන්වහන්සෙ පෙන්නන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්‌කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නෙ කාම උපාදානය. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ය, රත්තරන් ය, රිදී ය, මුතු මැණික්‌ ය, ගෙවල් දොරවල් ය කියල කාම උපාදාන. රූපය ආත්මයක්‌ රූපය ඇසුරු කරගෙන සත්ත්වයෙක්‌ ඉන්නව කියල උපාදානය. මේ රූපය ඒ කියන්නෙ කන බොන ආහාරයෙන් හැදුණු ස්‌කන්ධ ටික දකිනකොට ම අපේ මනසෙ මේ උපාදානය යෙදෙනව. 

මේකට කිව්ව උපාදාන ස්‌කන්ධය කියල. රූපය උපදින කොට කෙනකු ගෙ මනසෙ පවතින්නෙ උපාදානයක්‌ නම් මේ රූපය විපරිනාම වෙනකොට ඒ කෙනා විඳින්නෙ පංච උපාදානස්‌කන්ධ දුකක්‌. 

ඒ කියන්නෙ රූපය අනාත්ම වූ ස්‌කන්ධයක්‌. කෙනා තුළයි සත්ත්වයා පුද්ගලයා කියන උපාදානය තියෙන්නෙ. ඒ කෙනා ස්‌කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ඒ කියන්නෙ රූපය ආහාරයෙන් හැදුණ දෙයක්‌ කියල දන්නෙත් නෑ. එහෙව් රූපය දකිනකොට තමා තුළ පුද්ගල සංඥාව උපදින බව දන්නෙත් නැත්නම් ඒ කෙනාට පෙනෙන්නෙ රූපය පුද්ගලයකු හැටියටයි. විඳින්නෙ පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ලෙඩ වුණා. මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌ එන්නෙ. ඒ දුකට හේතුව ස්‌කන්ධ ටික නෙමෙයි උපාදානය. උපාදානය කැති කළොත් මේ දුකෙන් මිදෙනව.

දුක හදන - සැප නසන උපක්‌ලේශ දුරු කරමු


අපේ හිත පීඩාවට පත්කරන, අපිට තෝර බේරගන්න අසීරු අකුසලයන් බොහෝමයක්‌ අපේ සිත්වල පවතිනව. ඒ අකුසලයන් තෝර බේරගෙන ඒ ඒ අවස්‌ථාවන්වල ඒ අකුසලයන් බැහැර කරගන්ට අපට බැරිවුණොත් අපේ මේ ජීවිතය නීරස දෙයක්‌ බවට පත්වෙලා යනවා. ඒ වගේ ම තමයි ඒ අකුසලයන් හඳුනාගෙන බැහැර කරන්න අපට බැරි වුණොත්, අපේ සිත සම්පූර්ණයෙන් ම කෙලෙසී නැහැ. වත පිරිසිදු කරගන්න බැරිවෙන මට්‌ටම දක්‌වා ම සිත අපිරිසිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒ අකුසල් හඳුනාගන්න මහන්සිවෙන්න නැහැ. ඒ වගේ ම මේ හිත කෙලෙසන ඒ අකුසල් දුරුකරන්න මහන්සිවෙන්නේ.

මේ සඳහා අපට උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අකුසල් පිළිබඳව අපට කියාදුන් ධර්මයයි. ඒ ස්‌වක්‌ඛාත වූ ධර්මයෙන් බැහැර දෙයකින් අපට හිත කෙලෙසන අකුසල් ගැන, ඒවායේ ස්‌වභාවය ගැන, ඒ අකුසල් දුරුකරන ආකාර ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ධර්මය ඉගෙන ගෙන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ආකාරයට ම කටයුතු කරන්නෙ. ඒ විදිහට අපි කටයුතු කරද්දී මේ සිත ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු දෙයක්‌ බවට පත්කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෙස අපිව පීඩාවට පත්කරන, අපිට දුක්‌ උපද්දා දෙන දෙයක්‌ තමයි 'උපක්‌ලේශ' කියන්නේ. ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්න යැමෙන් හටගන්නා පාපී අකුසල්වලටයි 'උපක්‌ලේශ' කියන්නේ මඡ්ජිම නිකායේ 'අනංගණ සූත්‍රයේ' දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපක්‌ලේශ පිළිබඳව අපට පෙන්වා දුන්නා.

ඒ සූත්‍රයේ මේ ලෙසින් පෙන්වා දෙනවා, 'මා හට අසන්න ලැබුණේ මේ ලෙසටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ඡේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ 'ප්‍රිය ආයුෂ්මත් මහණෙනි' කියල භික්‌ෂු සංඝයා ඇමතුවා. 'ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස්‌ කියල ඒ භික්‌ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදීයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වර්ළේ. ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෙසින් පෙන්වා දෙනවා. 

'ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක්‌ දකින්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා? එක්‌තරා පුද්ගලයෙක්‌ ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා නමුත් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නේ නැහැ. තව පුද්ගලයෙක්‌ ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා, ඒ වගේ ම ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නවා. තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලය තුළ උපක්‌ලේශ නැහැ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැහැ. මේ ලෝකයේ තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ නැහැ. ඒ වගේ ම තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා. 'ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුද්ගලයන් හතර දෙනාගෙන් දුර්වල පුද්ගලයන් වන්නේ කවුද යන්නත්, උසස්‌ පුද්ගලයන් වන්නේ කවුද යන්නත් අපට කියා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, 'යම් පුද්ගලයෙක්‌ තමා තුළ උපක්‌ලේශ තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නේ නැත්නම් උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනා අතරින් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි' කියල. ඒ වගේ ම යම් පුද්ගලයෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව, ඒ උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි එයා වැටෙන්නේ. 

ඒ වගේ ම උපක්‌ලේශ නැති පුද්ගලයින් දෙන්නෙක්‌ ඉන්නවා. ඒ දෙදෙනාගෙන් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී උපක්‌ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැති කෙනා වැටෙන්නේ දුර්වල උදවියගෙ ගණයටයි. නමුත් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ නැහැ යෑයි අවබෝධයෙන් ම දන්න කෙනා වැටෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි වැටෙන්නේ. එහෙම නම් තේරුම් ගන්න යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී 'තමන් තුළ උපක්‌ලේශ තිබෙනවා' කියල දන්නේ නැත්නම්, ඊළඟට යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැතිව තිබෙද්දී, 'තමන් තුළ උපක්‌ලේශ නැහැ' කියල දන්නේ නැත්නම් ඒ දෙදෙනා ම දුර්වල අය ලෙසටයි ධර්මයේ පෙන්වා දෙන්නේ. නමුත් යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ තිබෙන' බව ඒ වගේ ම යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැති විට, එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ නැහැ' කියල එවිට ඒ දෙදෙනා දුර්වල නැහැ. ඒ අය අයිති වෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි. 

ඒ ආකාරයට උපක්‌ලේශ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙද්දි එතන මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසා සිටිනවා 'ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය උපක්‌ලේශ සහිත පුද්ගලයන් දෙදෙනා අතරින් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද? ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස ඔය උපක්‌ලේශ නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද?' යෑයි අසා සිටියා.

ඊටපස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්‌තර කරනවා, 'ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්‌ලේශ තිබෙද්දී, තමන් තුළ උපක්‌ලේශ තිබෙන' බව අවබෝධයක්‌ නැති පුද්ගලයෙක්‌ ගැන මා පැවැසුවා. ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. 'ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌ වෙන්නෙ නැහැ' කියල එයා තුළ හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරිය ඇතිවෙන්නෙත් නැහැ. අන්තිමේදී ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධවෙන්නේ රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි, මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි. කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි' කියල.

එවිට කිළිටි වුණු සිතක්‌ එක්‌ක මැරුණොත් මොකද වෙන්නේ එයාට? සතර අපායෙන් එයා නිදහස්‌ නැහැ. සුගතිගාමී ද? ඒත් නැහැ. ඒ ආකාරයෙන් කිළිටි වුණු සිතක්‌ එක්‌ක ක්‍රියා කරන්න වෙන්නෙ කාටද? උපක්‌ලේශ තිබෙනවා, උපක්‌ලේශ තිබෙනවා කියල එයා දන්නෙ නැහැ. එයාටයි එහෙම වෙන්නෙ. එවිට උපක්‌ලේශ තිබෙනවා බව දන්නේ නැති කෙනාට මොකද වෙන්නෙ? ඒ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන්න නැහැ කියල කැමැත්තක්‌ එයාට ඇතිවෙන්නේ නැහැ. එවිට කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැතිs නිසා ඒ උපක්‌ලේශ දුරු කරගන්න උත්සාහයක්‌ ගන්නේ නැහැ. උත්සාහයක්‌ ගන්නේ නැති නිසා වීරිය ඉපදෙන්නේ නැහැහැ. වීරිය ඉපදෙන්නෙ නැත්නම්, වීරිය කරන්නේ නැත්නම් එයාට උපක්‌ලේශවලින් නිදහස්‌ වෙන්න බැහැ. එවිට එයාට උපක්‌ලේශ සහිතව ම තමයි ක්‍රියා කරන්න සිද්ද වෙන්නේ. රාග, ද්වේෂ, මෝහ සහිතව ම උපක්‌ලේශ සහිතව ම කළිටි සහිත සිතකින් ම තමයි එයාට මැරෙන්න වෙන්නෙ.

ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණය අපිට උපමාවකින් පෙන්වා දෙනවා. 'ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්‌. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක්‌ ගේනවා කියල හිතමු. හැබැයි ඒ තඹ භාජනය දූවිලි බැඳිච්ච මළකඩ හැදුණු එකක්‌. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනය පාවිච්චි කරන්නේ නැත්නම්, පිරිසිදු කරන්නේ නැත්නම්, දූවිලි තිබෙන තැනක විසිකර තිබෙනවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනය කලක්‌ යද්දී තවත් කිළිටි වී මළකඩ බැඳෙනව නේද? 'ඒ විදිහමයි උපක්‌ලේශ තිබෙන පුද්ගලය තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ, ඒ පුද්ගලයාට තමන්ගේ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන් නැහැ, කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැහැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරීයක්‌ පටන්ගන්නේ නැහැ. අන්තිමේදී උන්නැහෙට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයක්‌ එක්‌කමයි ද්වේෂයත් එක්‌කමයි උපක්‌ලේශත් එක්‌කමයි. කිලිටි වෙච්ච සිතත් එක්‌කමයි' කියල සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නා.

නමුත් උපක්‌ලේශ තිබෙද්දී උපක්‌ලේශ තිබෙන බව දන්නවා නම් එයාට මොකක්‌ද වෙන්න? ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌වෙන්න එයාට කැමැත්තක්‌ ඇති වෙනවා, උත්සාහයක්‌ ඇති වෙනවා, වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව උපක්‌ලේශවලින් තොරව කිළිටි සිතින් තොරව මරණයට පත් වෙන්න අවස්‌ථාව ලැබෙනවා. එවිට උපක්‌ලේශ තිබෙන එකද දෝසෙ? නැහැ. මොකක්‌ද දොaසය? උපක්‌ලේශ තිබෙන බව නොදන්නාකමයි. අපි උපක්‌ලේශ තිබෙන අය ගැන මේ පැවැසුවේ. උපක්‌ලේශ නැති පුද්ගලයෝ දෙන්නෙක්‌ ඉන්නවා. 

එක්‌කෙනෙක්‌ උපක්‌ලේශ නැති බව දන්නේ නැහැ. එයාට වෙන්නේ මෙන්න මේකයි. ඒ පුද්ගලය උපක්‌ලේශ නැතිව සිටියත් තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම නොදන්න නිසා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙනවා. සුභ වශයෙන් අරමුණු සිහිකරන්න පුරුදුවෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ පුද්ගලයාට රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි,මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි මැරෙන්න සිද්ධවෙන්නෙ.

උපක්‌ලේශ නැති බව දන්නේ නැත්නම් එයාටත් සිද්ධවෙන්නෙ කිළිටි සහිත සිතක්‌ එක්‌ක මැරෙන්න. ඇයි එහෙම සිද්ධවෙන්නෙ? එයා අරමුණු සුභ විදිහට පිළිඅරගෙන, ඒව සුභ විදිහට සිහිකරනවා. එතකොට රාගය ඇතිවෙනවා. ඇහැට දකින ප්‍රිය රූප, කණට ඇහෙන ප්‍රිය ශබ්ද මේ ආදී ප්‍රිය දේවල නිමිති, අරමුණු එයා මතක තියාගෙන ආස්‌වාදයෙන් ඒවා සිහිකර කර ඉන්න පටන්ගන්නවා. එවිට රාගය ඉපදෙනවා. ඒ රාගයෙන් සිත යටවෙලා සිත කෙළෙසෙන්න පටන්ගන්නවා ඒ නිසා එයාට රාග ද්වේෂ මෝහ වලින් නිදහස්‌වෙන්න පුළුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. නමුත් උපක්‌ලේශ නැති බව අවබෝධයෙන්ම දන්න කෙනා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙන්නේ නැහැ. අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදු නොවන නිසා එයාගේ සිතේ රාගය ඇතිවෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ දුරුකරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසයි එයාට උපක්‌ලේශ නැතිව පිරිසිදු සිතින් මරණයට පත්වෙන්ට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා උපක්‌ලේශ නැතිව වාසය කරන්න කැමති වෙන්නෙ. ඒ සඳහා මේ ධර්මය හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ජීවිතයට ගළපා බලමින් වාසය කරන්න පුරුදු වෙන්න. එවිට ඉතාම ප්‍රියශීලී ජීවිතයක්‌ උපදවගන්ට පුළුවන්කම ලැබේවි.

සිය දෙනාට ම තෙරුවන් සරණයි...!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්‌වාමීන් වහන්සේ

මරණ සතියෙන් උතුම් නිවනට


අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සූත්‍ර දේශනාවක්‌ තමයි "අරක" සූත්‍රය. (භූතපුබ්බං භික්‌ඛවේ) "මහණෙනි පෙර සිදුවීමක්‌ මම නුඹලාට කියලා දෙනවා" යනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ එය ආරම්භ කරන්නේ. බොහෝ දීර්ඝ කලකට පෙර ගෝලයින් සිය ගණනක්‌ සිටි (අරකො නාම සත්ථා අහොසි) 'අරක' නම් ශාස්‌තෲවරයෙක්‌ හිටියා. මහණෙනි මේ ශාස්‌තෲවරයා තම ගෝලයන්ට නිතර නිතර මේ විදියට අනුශාසනා කළා. 'බ්‍රාහ්මණයෙනි මනුෂ්‍යයන්ගේ ජීවිතය (අප්පකං) ස්‌වල්පය. (පරිත්තං ලහුකං) පරිත්තය, ඉතා ලඝූය. කෙටිය. (බහු දුක්‌ඛං බොද්ධබ්බං) බොහෝ දුක්‌ උපායාස ඇත. (මන්තාය බෞද්ධ බබං) ප්‍රඥවෙන් ඒ බව දැනගෙන (කත්තබ්බං කුසලං) කුසල් කරන්න. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. (නත්ථි ජාතස්‌ස අමරණං) උපන්කෙනාට අමරණීයත්වයක්‌ නැත· යනුවෙන්.

මේ විදියට ජීවිතය, අල්පයි, කෙටියි යනුවෙන් නිතර නිතර පවසමින් තම ගෝලයන් බ්‍රහ්මචරියාව කෙරෙහි උනන්දු කරවූ අරක ශාස්‌තෲවරයා ජීවිතයේ කෙටි බව වඩාත් දැනෙන ලෙස ගෝලයන්ට හැඟවීම සඳහා උපමා හතක්‌ යොදාගත් බවද බුදුරජාණන් වහන්සේ වදාළහ. එනම් 'බ්‍රාහ්මණයෙනි (තිණග්ගෙ උස්‌සාව බින්දු) තණ අග තියෙන පිනිබිඳ යම්සේ හිරු උදාවෙත්ම (චිප්පමෙව) වහා විනාශ වන්නේය. චිරස්‌ථායී නොවන්නේය. (උස්‌සාවබින්දූපමං ජීවිතං) එසේ තණ අග පිනිබිඳ සේ මිනිසුන්ගේ ජීවිතයද අල්පය. කෙටිය. බොහෝ දුක්‌ උපායාසයෙන් යුතුය. මේ බව ප්‍රඥවෙන් දැනගෙන කුසල් කළ යුතුය. බඹසර හැසිරිය යුතුය. උපන්නහුට අමරණයක්‌ නැත. බ්‍රාහ්මණයෙනි වැසි වස්‌නා කල්හි (උදක බුබ්බුලං) දිය බුබුළු හටගෙන වහා විනාශ වන්නේද මිනිසුන්ගේ ජීවිතයද එසේ අල්පය. කෙටිය. වහා විනාශ වන්නේය. තුන් වැනියට පවසනවා, දණ්‌ඩක්‌ ගෙන දියෙහි ඉරක්‌ ඇන්ද විට වහාම ඉර නොපෙනී යන්නේද චිරස්‌ථායි නොවන්නේද, එසේ (උදකෙ දණ්‌ඩ රාජූපමං ජීවිතං) දියෙහි ඇඳි ඉරක්‌ වගේ සීග්‍රයෙන් ජීවිතයත් කෙළවර වෙනවා. ඊළඟට කියනවා පර්වතයකින් ගලා බසින නදිය ක්‍ෂණයක්‌ ලයක්‌ මොහොතක්‌ නොනැවතී ගලන්නේ යම්සේද. (නදී පබ්බ තෙය්‍යුපමං ජීවිතං) ඒ නදිය මෙන් මනුෂ්‍ය ජීවිතයත් ක්‍ෂණයක්‌ ලයක්‌ නොනැවතී මරණය කරා ගමන් කරන්නේය. පස්‌ වැනියට කියනවා (බලවා පුරිසො) බලවත් පුරුෂයෙක්‌ දිව අගට කෙළ පිඬක්‌ ගෙන එය වහා බැහැරට දමන්නා සේ (චෙලපිණ්‌ඬුපමං ජීවිතං) මනුෂ්‍ය ජීවිතයත් ඒ බැහැරට හෙළන කෙළ පිඬු වගේ අල්පයි. කෙටියි කියලා. ඊළඟට කියනවා දවසක්‌ තිස්‌සේ රත් වෙච්ච යකඩ කබලකට මස්‌ කැබැල්ලක්‌ දැම්මොත් ඒක වහා දැවී නොපෙනී යන්නා වගේ ජීවිතයත් වහා විනාශ වී යන බව. අර ශෘස්‌තෲවරයා හත්වැනියට ගත්ත උපමාව තමයි වධයට ගෙනයන දෙනක්‌ පාදයක්‌ ඔසවන ගානේ මරණයටම ළං වෙන්නා සේ මනුෂ්‍ය ජීවිතයත් මොහොතින් මොහොත මරණයට ළං වෙනවාය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මේ ලෙසින් උපමා කිය කිය එදා අර ශාස්‌තෘවරයා තම ගෝලයන් කුසලයට උනන්දු කළ බව.

ඊළඟට දේශනා කරනවා 'මහණෙනි' අරක ශාස්‌තෲවරයා අර විදියට තම ගෝලයන් බ්‍රහ්මචරියාවට යොමු කළ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු හැට දහසක්‌ බව. (සට්‌ඨිවස්‌ස සහස්‌සානි ආයුප්පමාණං අහොසි) ඒ කාලේ ආයුෂය වසර හැට දහසක්‌ලු. ඒ කාලේ ගැහැනු ළමයෙක්‌ පතිකුලයට ගියේ අවුරුදු පන්සීයෙදී කීවා. 'මහණෙනි ඒ සමයෙහි මිනිසුන්ට ආබාධයෝ සයක්‌ පමණක්‌ම ඇතිවූහ. මිනිසුන්ට හැදුණේ ලෙඩ හයයි බව පැවසුවා. (සීතං, උණ්‌හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරො, පස්‌සාවො) ශීතල, උණ්‌ෂ, කුසගින්න, පිපාසය හා මළ මුත්‍රා බැහැර කිරීමයි. ඒ ලෙඩ හය. අර ශාස්‌තෘවරයා හැට දහසක්‌ අවුරුදු ආයුෂ තිබ්බ ලෙඩ හයක්‌ විතරක්‌ තිබ්බ කාලෙක තමයි ජීවිතය කෙටියි, කුසල් කරන්න යනුවෙන් තම ගෝලයන් උනන්දු කළේ. 

උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි, එකල වගේ නොවෙයි මෙකල මිනිසුන්ගේ ජීවිතය (අප්පකං ලහුකං) අල්පයි, ලඝූයි, කෙටියි කීවා. එකලට වඩා මෙකල (බහු දුක්‌ඛං) දුක්‌ උපායාස බහුලයි කීවා. ප්‍රඥවෙන් මේ බව දැන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න යෑයි පැවසූහ. (නත්ථි ජාතස්‌ස අමරණන්ති) ඉපදුණා නම් නොමැරී සිටිය නොහැකි බව වදාළා. මහණෙනි මේ කාලේ යමක්‌ (චිරං ජීවති) බොහෝ කලක්‌ ජීවත් වෙනවාය යනු නැත්නම් මිනිසුන්ගේ පරමායුෂය (වස්‌සසතං අප්පං වා භීය්‍යොවා) අවුරුදු සීයක්‌ හෝ ඕනනම් ඊට ටිකක්‌ වැඩිවෙයි. නැත්නම් ඊට ටිකක්‌ අඩු යෑයි පැවසුවා. ඉන් පස්‌සේ ජීවිතය කෙළවර වෙනවාමයි. එම බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මීට අවුරුදු දෙදහස්‌ හයසීයකට විතර කලින්. ඒ කාලයේ තිබ්බ ආයුෂ ප්‍රමාණය තමයි ඔය අවුරුදු සීයක්‌ කියලා වදාළේ. අද වෙනකොට ඒක අවුරුදු හැට හැත්තෑවට බැහැලා. අද තිබෙන ලෙඩ රෝග ප්‍රමාණය, වසංගත රෝග ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්. දවසින් දවස අලුත් අලුත් රෝග. ඒ අතරිනුත් බොහෝ ඒවා හඳුනා නොගත් රෝග. අද කොච්චර අනතුරු සිදු වෙනවද? යුද කෝලාහල, විවිධ සාමාජීය අර්බුද මේවායිනුත් කීදෙනෙක්‌ මරණයට පත් වෙනවාද? හිතල බලන්න එහෙනම් අපි ඉන්නේ කොයිතරම් අවිනිශ්චිත තැනකද කියලා. එහෙම හිතලා කුමක්‌ද කළ යුත්තේ? ලැබී තිබෙන කෙටි කාලය ප්‍රයෝජනයට ගෙන (කත්තබ්බං කුසලං) කුසල් කිරීමයි. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි අවුරුදු සීයක්‌ ජීවත් වෙන කෙනෙක්‌ අවුරුද්දට සෘතු තුන ගානේ ගත්තොත් ජීවත් වෙන්නේ සෘතු තුන්සීයක්‌ බව. අවුරුදු සීයක්‌ ජීවත්වන අයකු මාස වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ මාස එක්‌ දහස්‌ දෙසීයයි. අර්ධ මාස දෙදහස්‌ හාරසීයයි. වසර සීයක්‌ ජීවත් වන අයෙක්‌ රාත්‍රි වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ රාත්‍රි තිස්‌ හය දාහයි. දවසකට බත් වේල් දෙක ගානේ ගත්තොත් අවුරුදු සීයක්‌ ජීවත් වන කෙනෙක්‌ (ද්වෙ සත්තකිං එවං භත්ත සහස්‌සානි භුඤ්ඡති) බත් වේල් හැත්තෑ දෙදහක්‌ ගන්නවා. ඒ බත්වේල් හැත්තෑ දෙදහෙන් අඩු කරන්න, මවුකිරි බිව්ව කාලෙට වේල් ගණනක්‌. ඒ වගේම මෙතනදී දක්‌වනවා කෙනකුට බත්වේල් වරදින අවස්‌ථා පහක්‌ ගැන. එයින් එකක්‌ තමයි කෝපය. කෝප වුණාම ඔන්න කෑම කන්නේ නැතිව නිදියනවා. ලොකු දුකක්‌ ඇති වුණාම, දරුණු ලෙඩක්‌ හැදුණාමත් කන්නේ නැහැ. සිල් ගත්තාම, අලාභයක්‌ වුණාම බත් කන්නේ නැහැ. දැන් බත් වේල් හැත්තෑ දෙදාහෙන් මේ බත්වේල් වැරදුණු අවස්‌ථා අඩු කරන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදියට බුදුරජාණන් වහන්සේ අවුරුදු සීයක්‌ ජීවත් වන අයකු සම්බන්ධයෙන් තමයි, මේ විස්‌තරය කරන්නේ. මේ සංඛ්‍යා ලේඛනය අද පවතින ආයුෂ ප්‍රමාණයට සම්බන්ධ කර බැලුවොත් පෙනෙයි, අපි ජීවත් වන්නේ මාස, අර්ධ මාස කීයද? රාත්‍රින් කීයද? කන්නේ ආහාර වේල් කීයද? දැන් එයින් කොච්චරක්‌ ඉවරද? තව ඉතිරි වෙලා තියෙන්නේ කීයද? කියලා. නුවණැති ඔබ ඒ ටික කාලය කළ යුත්තේ කුසල් කිරීමයි. බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මම නුඹලාට අවුරුදු සීයක්‌ ආයු ඇති මනුෂ්‍යයකු ගත කරන සෘතු ගණන කීවා. මාස, අර්ධ මාස රාත්‍රීන් ගණන පැවසුවා. බත්වේල් ගණන, බත් වරදින අවස්‌ථා පහ පැවසුවා. (සාවකානං හිතෙසිනා අනුකම්පකෙන) ශ්‍රාවකයන්ට හිතෛෂී භාවයෙන් අනුකම්පාවෙන් යුතු ශාස්‌තෲවරයකු වශයෙන් නුඹලාට යම් අනුශාසනාවක්‌ කළ යුතුද, නුඹලා වෙනුවෙන් මා එය කර තියෙනවා. (රුක්‌ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි) ගස්‌ මුල සෙනසුන් තිබෙනවා. (ක්‌ධායථ භික්‌ඛවේ) සමථ විදර්ශනා භාවනා කරන්න. ධ්‍යාන වඩන්න (මා පමාදත්ථ) ප්‍රමාද වෙන්න එපා. (මා පච්ඡා විප්පටි සාරිනො) පස්‌සේ විපිළිසර වෙන්න දුක්‌ වෙන්න එපා. (අයං වො අම්හාකං අනුසාසන්තී) මේ තොපට අපගේ අනුශාසනය වන්නේය.

මනුෂ්‍ය ජීවිතයේ ඇති අල්ප බව කෙටි බව, කරදරකාරී බව නුවණින් දැන ලද ක්‍ෂණ සම්පත්තිය තුළ කුසල් කරමින් බ්‍රහ්මචරියාවේ හැසිරී වහ වහා සසර දුකින් මිදීම සඳහා ඔබ සැමට මෙම දහම් කරුණු උපකාරයක්‌ම වේවා.

ආර්. තිලකධර්ම හිමි,
සිරි/නිකේතාරාමය, හලාදිවෙල, පිළිමතලාව

බුද්ධ පූජාවේ ආනිසංස


ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් කරනු ලබන පූජාවන්ගෙන් උසස්‌ම පූජාව බුද්ධ පූජාවය. බුදු දහම අනුව බුද්ධ පූජාව ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙන් කොටස්‌ දෙකකින් යුක්‌තය. මේ කොටස්‌ දෙකකින් යුක්‌ත බුද්ධ පූජාවේදී බොහෝ දෙනකු පවසන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බවය. බුද්ධ දේශනාවේද එය සඳහන් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ආමිෂ පූජාව ප්‍රතික්‌ෂේප කර නැත. එහිදී යම් වැදගත්කමක්‌ ඇත. එහි ඇති වැදගත්කම අප මැනවින් වටහාගත යුතුය.

පූජාවක්‌ පැවැත්වීම නිර්වාණ මාර්ගයේ අංගයක්‌ නොවේ. එහෙත් මෙලොව යහපත හා පරලොව සුගතිගාමී වීම සඳහා ආමිෂ පූජාව බෙහෙවින් උපකාරවේ. බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන මෙම බුද්ධ පූජාව විවිධ නාමයන් ලබා ඇත. විහාර පූජා, බෝධි පූජා හා දළදා පූජා යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ එකම බුද්ධ පූජාවක විවිධ වූ අංගයෝය.

"පූජා" යන වචනයෙන් ගෞරව දැක්‌වීම, සත්කාරය, වන්දනාව හා පරිත්‍යාගය අදහස්‌ කර ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේට කරනු ලබන වන්දනාව, ගෞරවය, සත්කාරය හා පරිත්‍යාගය "බුද්ධපූජා" යන්නෙන් අදහස්‌ කෙරේ. මෙසේ කරනු ලබන පූජාවන් බුදුන්වහන්සේ ජීවමාන සමයේ සිටම පවත්වා ඇති අතර ඒ පූජා විධීන් වඩා වර්ධනය වී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් පසුව බව ද පෙනෙන්නට තිබේ.
"පූජා" පිළිබඳව සොයා බැලීමේදී බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‌ෂු සංඝයාට කරන ලද ප්‍රථම පූජාවක්‌ ලෙස සඳහන් වන්නේ බිම්බිසාර රජතුමා විසින් කරනු ලැබූ වේළුවනාරාම පූජාවයි. මහාවග්ගපාලියෙහි සඳහන් වන එම පූජාව සඳහා "පූජා" යන වචනය සඳහන්ව ඇත. ඒ ගැන සඳහන්ව ඇත්තේ "මම වේළුවනොද්‍යානය බුදු පාමොක්‌ බික්‌සඟනට දෙන්නෙම් නම් යෙහෙකැයි ඉක්‌බිති මගධෙශ්වර වූ සේනා ඇති බිම්සර රජතෙමේ ස්‌වර්ණමය වූ කෙණ්‌ඩිය ගෙන ස්‌වාමීනි, මම වේළුවන නම් උයන බුදුපාමොක්‌ බික්‌සඟනට දෙමියි බුදුන් ඉදිරියෙහි පැන් වක්‌කළේය. මෙහි "පූජා කරමි" යන අදහස හඟවන වචනය ලෙස දක්‌වා ඇත්තේ "දෙමි" යන වචනයයි. "දීම" පූජාර්ථයෙන් සිදුවන විට එය පූජාවක්‌ වන බවට නිදසුනක්‌ ලෙස දක්‌ණ විභංග සූත්‍රයේ සඳහන් වන මහා ප්‍රජාපතී ගෞතමිය බුදුරදුන්ට පූජා කරන ලද සඟල සිවුර පිළිබඳ බුදුන්වහන්සේ කරන ලද ප්‍රකාශය උපුටා දැක්‌විය හැකිය.

"සංඝෙ ගෞතමී දෙහී, සංඝෙ දිනේන අහංෙච්ච පූජිතො හචිස්‌සාමී සංඝොවාති" (ගෞතමිය, සංඝයාට දෙන්න. සංඝයාට දුන් විට මටද පූජා කළා වන්නේය.) "දානය" හෙවත් දීම පූජා බුද්ධියෙන් හා "අනුග්‍රහ බුද්ධියෙන්" යන දෙආකාරව සිදුවිය හැකි බවට පසුකාලීනව කර ඇති බෙදීම අනුවද "දීම" එක්‌තරා අවස්‌ථාවකදී පූජාවක්‌ වන බව පෙන්වා ඇත. ශ්‍රී ලංකාවෙහිද සෙල්ලිපිවල සංඝයාට කරන ලද පූජාවලදී "සගස දිනෙ (දිති) යනුවෙන් "දිනෙ" යන වචනය යොදා ඇත.

උදාන පාලියෙහිදී හා ජාතක අට්‌ඨකථා විස්‌තරවලදී දක්‌නට ලැබෙන පරිදි බුදුන්වහන්සේ බැහැදැකීමට යන අය මල් සහ සුවඳ වර්ග රැගෙන ගිය බව සඳහන් වේ. එහෙත් ප්‍රධාන නිකාය ග්‍රන්ථවලදී එබන්දක්‌ ගැන සඳහන් නොවේ. දීඝ නිකායෙහි මහා පරිනිර්වාණ සූත්‍රයේ අම්බපාලී ගණිකාව බුදුන් වහන්සේ හමුවන්නට පැමිණි අවස්‌ථාවේදීත්, එසේම එම සූත්‍රයෙහිම ලිච්ඡවි රජවරුන් බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණිවිටදී ද මේ අය පැමිණ ඇත්තේ පසුවදා දානය සඳහා බුදුන් ප්‍රමුඛ සංඝයාට ආරාධනය කිරීම සඳහා වුවත්. මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. මඡ්ක්‌ධිම නිකායේ කන්දරක සූත්‍රයේ ඇත්ගොව්වාගේ පුත්‍රයා වන පෙස්‌ස, සෙඛ සූත්‍රයෙහි කිඹුල්වත්පුර ශාඛ්‍යයෝද බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්‌ථාවලදී මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. එහෙත් ජාතක කතාවල දී බුදුවහන්සේ හමුවීමට පැමිණෙන අය මල් රැගෙන පැමිණි බව සඳහන් වේ. 

එසේම බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් නිධන් කළ චෛත්‍යයට මල් සුවඳ වර්ග පුදන්නේ නම් එය බොහෝ දෙනාට හිතසුව පිණිස වන බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී සඳහන් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත්තේ ආනන්ද හිමියන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරයට කෙසේ පිළිපැදිය යුතු දැයි නගන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. මෙහිදී ද පූජා යන වචනය භාවිත කර නැත. "පටිපඡ්ජාම" යන වචනය එහිදී යොදා ඇත. එහෙත් අට්‌ඨ කතාවෙහි තථාගතයන් වහන්සේ ගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද චෛත්‍යයට වැඳීම "ෙච්තිය පූජා" යන නාමයෙන් හඳුන්වා ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ සඳහන් කර ඇති තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කරන ලද චෛත්‍යයනට වැඳීම වැදගත් බව සඳහන් කර ඇත. එයට හේතු වී ඇත්තේ එකල සමාජයේද චෛත්‍ය වන්දනාව තිබුණ නිසාය. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිම උදෙන ෙච්තිය, ගෞතමය ෙච්තිය, සත්තම්බක ෙච්තිය, බහුපුත්ත ෙච්තිය, සාරානන්ද ෙච්තිය සහ චාපාල ෙච්තිය ආදී වශයෙන් චෛත්‍යස්‌ථාන තිබුණ බව පෙනේ. මේ සඳහා වැදගත් සාධකයක්‌ ලෙස පෙන්නුම් කිරීමට හැකිවන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක්‌ ධර්මාශෝක රජු විසින් ප්‍රතිසංස්‌කරණය කොට එයට වන්දනා මාන කළ බව නිගලීසාගර් නම් ශිලා ලේඛනයෙහි සඳහන් වීමයි. අශෝක කාලය වන විටත් කෝණාගමන බුදුන්වහන්සේගේ චෙත්‍යයට වන්දනාමාන පැවැත්වීමේ සිරිත තිබුණා නම් ගෞතම බුදුන්වහන්සේගේ කාලයේදී එම චෛත්‍යය තිබුණේ යෑයි පිළිගැනීම යුක්‌ති යුක්‌තය.

බුද්ධ පූජාවට විශේෂයෙන්ම පාදක වන්නට ඇත්තේ මහාපරි නිර්වාණ සූත්‍රයේදී භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකාවන්ගේ සිත් පහදවා ගැනීමත්. සංවේගය උපදවා ගැනීමත් කළයුතු ස්‌ථාන හතරක්‌ ලෙස තථාගතයන් වහන්සේගේ උත්පත්ති ස්‌ථානය, බුද්ධත්වය ලැබූ ස්‌ථානය, ධම්මචක්‌කය පැවැත්වූ ස්‌ථානය සහ අනුප දිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ ස්‌ථානය යන ස්‌ථාන සතර ඉදිරිපත් කිරීම නිසා විය යුතුය. මෙම ස්‌ථාන සතර මෙසේ සිත් පහදවා ගත යුත්තේ, සංවේග කළ යුත්තේ කුමන කරුණක්‌ නිසාදැයි පෙන්වන අටුවාව මෙම ස්‌ථාන සතර බුදුගුණ අරමුණු කර ගැනීමට විශේෂයෙන් අදාළ වන ස්‌ථාන සතරක්‌ ලෙස දක්‌වා ඇත. මෙසේ බුදුගුණ අරමුණු කිරීම කුසල සහගත ෙච්තනා උපදවන එම කුසලයෙන් දෙව්ලොව උප්පත්තිය සඳහා හේතු වන බවත් වැඩිදුරටත් අට්‌ඨකතාවෙහි සඳහන් කර ඇත.

මහාපරිනිර්වාන සූත්‍රයෙහි, මෙම ස්‌ථානවල ඇවිද සිත් පසන් කරගෙන කලුරිය කරන තැනැත්තා ඒකාන්තයෙන්ම දෙව්ලොව උපදින බව සඳහන් කර ඇත. මේ නිසා බුද්ධ පූජාව විශේෂ වැදගත්කමක්‌ ඇති පූජාවක්‌ බවට පත්විය. මෙසේ වූ බව තවත් තහවුරු වන කාරණයක්‌ වන්නේ තථාගත ශරීරයට පිළිපැදිය යුතු අන්දම කෙසේදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසූ අවස්‌ථාවේදී "ආනන්දය ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම සඳහා උනන්දු නොවන්න" යනුවෙන් සඳහන් කර ඒ සඳහා ක්‍ෂත්‍රියත්. බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන්ද සිටින බව සඳහන් කිරීමෙන්ය. මෙයින් සඳහන් වන්නේ ප්‍රතිපත්තිය සඳහා කාලය යොමු කිරීමට අපහසු ගිහි ජනතාව සඳහා විශේෂයෙන් මෙවැනි ධාතු චෛත්‍යය වන්දනය අනුදැන වදාරා ඇති බවකි. ප්‍රතිපත්තිය සඳහා යොමුවූ ශ්‍රාවකයන් වහන්සේලා නිර්වාණ සම්පත්තිය ලැබීමට උත්සුක වූ අතර ගිහි ජනතාව මෙබඳු වන්දනාමාන ආදියෙන් හා පූජා පැවැත්වීමෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ස්‌වර්ග සම්පත්තිය ලබන බවකි. මේ බව විමානවත්ථුවෙහි "පූජෙථ නං පූජනීයස්‌ස ධාතුං

ඒවං කරා සග්ගම්තො ගම්ස්‌සථ" යනුවෙන් පූජනීය වූ ධාතුන්ට පූජා කරන්න මෙසේ කරන්නාවූ අය ස්‌වර්ගයට යන්නේය) සඳහන් වන්නේය.

බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසුකලෙක බුද්ධ පූජාව විශේෂයෙන්ම වර්ධනය වීම සඳහා මෙබඳු කරුණු හේතුවිය.

බුදුගුණ සිහිකිරීම ඉතාමත් වැගත් භාවනාවක්‌ බව පිළිගන්නා ලද්දකි. බුද්ධානුස්‌සතිය, අනුස්‌සති භාවනා කර්මස්‌ථාන සය අතුරෙන් එකක්‌ බව දීඝ නිකාය සංගීති සූත්‍රයේ දක්‌වා ඇත. 

"ඉතිපිසෝ භගවා අරහං" ආදී වශයෙන් බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්‌සතිය ලෙස විශුද්ධි මාර්ගයෙහි දක්‌වා ඇත. නව අරහාදී බුදුගුණ, දසබල, චතුර් වෛශරද්‍යාඥාන හා අට පිරිසෙහි අකම්ප්‍ය ඥාන යන බුදුගුණ පිළිබඳ විශාල විස්‌තරයක්‌ මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. මෙම බුද්ධානුස්‌සති ක්‍රියාදාමය අරමුණ කරගනිමින් චෛත්‍ය වන්දනය හෙවත් ෙච්තිය චාරිකාව " සිදුවන බව අට්‌ඨකතාවෙහි සඳහන් වේ.

බුදුගුණ සිහිකිරීම සඳහා ශාරීරික ධාතු අඩංගු චෛත්‍යයක්‌ වන්දනා කිරීමට අමතරව බෝධිය පූජ්‍යත්වයට පත්වූ ආකාරය "කාලිවග බෝධි ජාතක අට්‌ඨකතාවේ දැක්‌වේ" එහි සඳහන් වන ආකාරයට සැවැත් නුවර වැසියන් බුදුන් වහන්සේ පිදීම සඳහා සුවඳ වර්ග සහ මල්ද රැගෙන විහාරයට ගිය වේලෙහි උන්වහන්සේ ජනපද චාරිකාවේ නියුක්‌තව සිටි නිසා වෙනත් පූජනීය ස්‌ථානයක්‌ නොමැතිකමින් ගෙන ගිය දෑ ගන්ධකුටි ද්වාරයෙහි දමා ගිය බවක්‌ සඳහන් වේ. මේ නිසා බුදුන් වහන්සේ නොමැති අවස්‌ථාවල වැඳුම් පිදුම් කිරීම සඳහා යමක්‌ අනුමත කළ යුතු බව බුදුරජාණන් වහන්සේට දක්‌වා බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී ම චෛත්‍යයක්‌ අනුමත කළ හැකිදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විචාර ඇත. ඒ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ ශාරීරික, උද්දේසික හා පාරිභෝගික වශයෙන් චෛත්‍ය තුනක්‌ ඇති බවත් එයින් ශාරීරික චෛත්‍යය බුදුන් වහන්සේ පරිනිර්වානයට පත්වන තුරු ඇති නොවන බවත්, උද්දේසික යනුවෙන් කිසිවක්‌ දැකිවිය නොහැකි නිසාත්, පාරිභෝගික වශයෙන් බුදුන් වහන්සේ පරිභෝග කරන ලද බෝධිය චෛත්‍යයක්‌ වශයෙන් ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස ගත හැක්‌කේ ජාතක අටුවා ග්‍රන්ථ පිළියෙළ වන කාලය වන විට වර්තමානයෙහිද සඳහන් කරනු ලබන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් පිළිගෙන තිබුණ බව සඳහන් වීමයි. 

බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ආනන්ද හිමියන් මුගලන් මහ රහතන් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියෙන් ඵලයක්‌ ගෙන්වා අනේපිඬු සිටුතුමා ලවා ඡේතවනාරාම ද්වාරයෙහි සිටුවා බෝධියක්‌ රෝපණය කළ බව කාලිංග බෝධි ජාතක අටුවාවෙහි සඳහන් වේ. එය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. මෙම බෝධියට කරනු ලබන පූජාව බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක්‌ හා සමානත්වයෙන් සලකා ඇත. එය බුදුන් වහන්සේ ද අනුමත කර ඇත. මෙසේ සලකා බලන විට බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව වර්තමානයේ ඇතැමුන් නගන අදහස්‌ එතරම්ම සාධාරණ නොවන බව පෙනේ. බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව අතීතයේදී ද සාකච්ඡා වෙමින් තිබුණු බව මිලින්ද ප්‍රශ්නයේ "පූජා අප්‍රතිග්‍රහණ" ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් විමසා ඇති ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. එනම් ඉදින් සර්වඥයන් වහන්සේ ලෝකයා කරන පූජාව ඉවසන්නේ නම් උන්වහන්සේගේ කෙළෙස්‌ නිවී නැත. නික්‌ලේශී නොවූ පුද්ගලයකුට කරනු ලබන පූජාව නිශ්ඵලය. ඉදින් උන්වහන්සේ නිර්වාණය ලබා ඇත්නම් පිරිනිවන් පා වදාළ සර්වඥයන් වහන්සේ පූජාවන් නොඉවසන නිසා එබඳු පුද්ගලයකුට කරනු ලබන පූජාවද නිශ්ඵල වන්නේය" යනුයි.

මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියන් ප්‍රථම බෝධිමූලයෙහිම තථාගතයන් වහන්සේ ආසාවන් ප්‍රහීණකොට ඇත. අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ උන්වහන්සේ පූජාවන් නොඉවසන බව කියනුම කවරේද? එසේ වෙතත් උන්වහන්සේගේ ධාතුන් ප්‍රතිෂ්ඨාකොට ඤාණරත්නය අරමුණකොට මනාකොට ප්‍රතිපත්ති සේවනය කරන්නෝ කුසල රැස්‌කරති යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉහත සඳහන් කරුණුම නොව "පූජාච පූජානීයානං එතං මංගලමුත්තමං" යනුවෙන් මහා මංගල සූත්‍රයෙහි පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක්‌ බව පෙන්වා ඇත. එසේම මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ ධාතු තැන්පත්කර ඇති චෛත්‍යයනට වැඳීමෙන් සිත් පහදවා ගැනීමෙන් මරණින් මතු ස්‌වර්ගයෙහි උපදින බව දක්‌වා ඇත. මිලින්ද ප්‍රශ්නයෙහි දක්‌වන පරිදි තථාගත ධාතු රත්නයට පූජා කරන අය මනුෂ්‍ය දිව්‍ය හා නිර්වාණ යන ත්‍රිවග_ සම්පත්තිය ලබන බව දක්‌වා ඇත. එසේම මේ කරුණුවලට වඩා වැදගත් වන්නේ බුද්ධ පූජාව කරනු ලබන අවස්‌ථාවේදී බුද්ධානුස්‌සති භාවනාව සිදුවන නිසා එය භාවනාමය කුසල කර්මයක්‌ වීමෙන් එහි අනිසංස තවදුරටත් වර්ධනය වීමය.

ශාස්‌ත්‍රපති කොත්මලේ 
රංජිත් එස්‌. කේ. සූරියආරච්චි

තෘෂ්ණාව දුරු කිරීම


දුදහමේ උගන්වන පොදු හා ප‍්‍රථමික සීලය පංචශීලයයි. සමාජයක් රටක් යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කිරීමට අදාළ සියලු කාරණා ඊට අන්තර්ගතය.
සසර අවුලට මෙහා ඇති බොහෝ අවුල් මගහරවා ගැනීමට පංචශීලය සාම්ප‍්‍රදායික වතාවතක් පමණක් බවට පත් වී ඇත. තම පැවැත්ම උදෙසා පරපණ නැසීම, සොරකම, පරපුරුෂ සේවනය, බොරු කීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන මේ කරුණු අද මුළු මහත් ලෝකයටම සාපයක් වී තිබේ.
ලොව කොතනක හෝ අසාධාරණ, කලකෝලාහල මෙන්ම යුද්ධ ආදිය තිබේනම් ඒ සෑම තැනම එකී නරක සිරිත් ඊට මුල් වී ඇත. මේ අනුව බලන කළ මේ පැණවීම් පසෙහි වටිනාකම කෙතෙක්ද යන්න මනාව අවබෝධ වේ. කිසියම් සමාජයක් මෙම ධර්මතා පසට ගරුකරමින් තමා ගැන සේම අනුන් ගැනද සිතයි නම් එය ශ්‍රේෂ්ඨ වූ සංකල්පයකි.
සීලයන් අතර වඩාත් වැදගත් සීලයක් ලෙස ඉන්ද්‍රීය සංවර සීලය පෙන්වා දිය හැකිය. ගැඹුරින් සළකා බැලුවහොත් ඉඳුරන් සංව කර ගැනීම ලෞකික ;ල¤කෝත්තර දෙපක්ෂයේම සුභසිද්ධියට හේතු වේ. භික්ෂූන් වහන්සේලාට වැදගත් වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගැනීමට පවා ඉන්ද්‍රීය සංවර සීලය පිටිවහල් වේ. මෙහිදී ඉන්ද්‍රීය යනුවෙන් සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසයි.
එම ඉඳුරන් සමග ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු නිසා බොහෝ විට සිත කිලිටිවේ. ඇසට ලැබෙන පි‍්‍රය අපි‍්‍රය රූප මගින් රාගය හෝ ක්‍රෝධය පහළ වී වර්ධනය වේ. කනට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද නිසා සිතෙහි ආශාව හෝ තරහව ඇතිවේ. මේ අයුරින් පසිඳුරන් හරහා ලබන අරමුණු වල එල්බ ගැනීම නිසා කෙළෙස් දහම් වර්ධනය වේ.
මෙලෙස වර්ධනය වන කෙළෙස් වල කි‍්‍රයාකාරකම් කලඑළි දක්වන්නේ කය වචන මගිනි. කය වචන මගින් කරනු ලබන කි‍්‍රයාකාරකම් තුළින් ඉඳුරන් තුළින් ලබාගත් අරමුණු වල වර්ධනය කෙතෙක්ද යන්න දත හැකිය. විවිධ වර්ගීකරණයන් යටතේ විවිධාකාර වූ ශික්ෂාපද බුදුරදුන් පණවා තිබුණද ඒවායින් බලාපොරොත්තු වූයේ ප‍්‍රධාන වූ එක් අරමුණකි.

එනම් සිත ආරක්ෂා කර ගැනීමයි. එක් අවස්ථාවක කෝටියක් සංවර ශීලය පිළිබඳව විමසූ භික්ෂුවක් එහි සංඛ්‍යාත්මක විශාලත්වය දැක උපසම්පදා ශීලය රැකීමට නොහැකි දෙයක් යැයි සිතීය.
එම අවස්ථාවේ බුදුරදුන් වදාළේ කෝටියක් සංවර සීලය පසෙකින් තබා එකක් රැක ගන්නා ලෙසයි. එම එක නම් සිතයි. බුදුදහම සිත මුල් කරගත් දහමකි. පුද්ගලයාගේ සසර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරනු ලබන්නේ කිසියම් නිර්මාපකයෙකු දෙවියෙකු විසින් නොව තමාගේ සිත විසිනි. එනිසා පුද්ගලයාව සසර දුක් නිවාලන මාර්ගයට යොමු කරන්නේද උත්සාහයෙන් හික්මවා ගන්නා මනස පමණි.
සියුම් දෘෂ්ටියකින් සමාජයේ දුක්විඳින ප‍්‍රජාව දෙස බලන විට පෙනී යන කරුණ වන්නේ බොහෝ දෙනෙකු දුක්විඳින්නේ මානසිකව බවයි. ඇතැමෙක් ලබා ගැනීමට නොහැකි වූ අරමුණු මුල්කරගෙන පසු තැවෙති.
තවත් අයෙක් තවත් අරමුණු අපේක්ෂාවෙන් දුක් විඳිති. ලද දෙයින් තෘප්තිමත් වීමට මිනිස් සිත සූදානම් නැත. කහවණු වැස්සක් වැස්සද මිනිස් සිත තෘප්තිමත් නොවන බව බුදුරදුන් වදාළේ එහෙයිනි.
අපි කෙතරම් අරමුණු මගින් ඉඳුරන් පිනවීම සිදුකළත් ඉන් සෑහීමකට පත් නොවෙයි නම් නිමා නොවන අතෘප්තිකර ආශාවන් පසුපස හඹායාමෙන් පලක් ඇතිදැයි සිතා බැලිය යුතුය.
මෙම විෂම ලෝකය තුළ ඉඳුරන් සංවර කරගෙන ජීවත්වීම අසීරු බව ඇතැමෙකුගේ මතයයි. එය සැබෑවකි. නමුත් ආශාව, වෛරය ආදී කෙළෙස් පවතින්නේ සිත තුළ මිස අරමුණු තුළ නොවන බව පිළිගත යුතුය.
එනිසා අරමුණු නිසා සිත අපිරිසිදු වේයැයි බියෙන් ඇස් කන් වසා සිටීම සිල්රැකීමක් නොවේ. ඉඳුරන් වසා සිටීම සිල්වත් කමක් නම් බුදුන්වහන්සේ දේශනා කළ ආකාරයට ලොව උසස්ම සිල්වතුන් වන්නේ ඳයගිය අයයි.
මෘත ශරීරවල සියලු ඉඳුරන් පවතී. නමුත් අරමුණු ලබා ගැනීමක් නැත. එහෙයින් ඉඳුරන් සංවර කර ගැනීම කරගත යුත්තේ විවිධ අරමුණු සහිත මේ ලෝකයේ සිිටිමින්මය. බෞද්ධ විමුක්ති මාර්ගය තුළ පළමු පියවර වශයෙන් සීලය හඳුන්වා දී ඇත්තේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන පුද්ගලයා සන්සුන් කරවන නිසාය. මනස සන්සුන් වීමට තිදොර සංවරය ඉතා වැදගත්ය.
තමන් රකින පන්සිල් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම දෙකක් ද බුදුදහම තුළ දැක්වේ. ඉන් එකක් නම් සිල් බිඳීමෙහි දොස් දැකීමයි. සිල් බිඳුණු විට ලෝකයාගෙනුත් ධර්මයෙනුත් පමණක් නොව තම හදවතෙනුත් තමන්ට නැගෙන අපවාද ගැන සිහි කොට සිල් ආරක්ෂා කොට ගැනීම පළමුවැන්නයි. දෙවැන්න නම් සිල් රැකීමේ ආනිසංශ දැක සිල් රක්ෂා කිරීමයි.
සිල්වත් පුද්ගලයා මෙලොවදීම ඊට විපාක වශයෙන් දෙව් මිනිසුන්ගෙන් බුහුමන් ලබයි. සීලය මගින් තිදොර සංවර කරගත් පුද්ගලයාට ඊළඟට සිත සමාධිගත කර ගැනීම පහසුය.
සසර අවුල ලිහාදමන්නා එළඹෙන දෙවන පියවර සමාධියයි. චිත්තං භාවයං යනුවෙන් ගාථාව තුළ දැක්වූයේ එයයි. තුන්දොර සංවර කරගත් පුද්ගලයා අනතුරුව සමාධිය වඩයි. කුසල සිත්හි එකඟතාවය සමාධියයි. එනම් සිත තුළ ඇති චෛතසික එක් අරමුණක පවත්වා ගැනීමයි. සමාධිගත වූ සිත විසිර නොයයි. සිත සමාධි ගත කිරීම අසීරු කටයුත්තකි.
දියෙන් ගොඩගත් මසෙකු සේ නිතර සැලෙන සිත එක් අරමුණක තබා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන් සිත දමනය කර ගැනීම සඳහා එක් අරමුණකට ගැනීම වඩාත් අසීරුය. උදාහරණයක් ලෙස නෙත් සිත් පිනවන දසුනක් නරඹන විට එකම ඉරියව්වකින් එක් මනසකින් එය නැරඹීමට අපහසු නැත. එහෙත් කුශල අරමුණක සිත යෙදවීම තත්පර කීපයකට පවා අසීරු වෙයි.
සමාධිය පිණිස බුදුදහම විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. කසිණ නම් වූ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන වස්තුන් මුල් කරගත් භාවනා ක‍්‍රමය, මළසිරුරක් මුල් කරගත් අසුභ භාවනාව, අනුස්සති භාවනාව ආදිය උදාහරණ වේ.
මෙහි දක්නට ඇති විශේෂත්වය නම් විවිධ අරමුණුවලට ඇස හුරු කොට ඒ තුළින් සිත සමාධිගත කිරීමයි. මෙම භාවනා රූපවචර භාවනා නම් වේ. ඉන් ලබන ධ්‍යාන නම් වේ. අනතුරුව ඔහුට අරූපාවචර ධ්‍යාන වැඩිය හැකිය. එහි විශේෂත්වය වන්නේ කිසිදු රූපයක් අරමුණු නොකිරීමයි. එසේ අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචරධ්‍යාන හතරක් ලබාගත හැකිය.
සමාධි භාවනාව තුළින් බලාපොරොත්තු වන ඒකායන අරමුණ නම් සිත සමාධිගත කිරීමයි. නමුත් මෙයින් විවිධ ඥාන මට්ටම වලට පත්විය හැකිය. ඒ සමෘද්ධි ප‍්‍රාතිහාර්ය කළ හැකි සෘද්ධිවිධ ඥානය, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත ආදී ඥානයන්ය. බුදුරදුන් ධරමාන අවදියේ ඇතැම් අන්‍යාගමිකයෝ පවා සිත සමාධිගත කිරීම මගින් ඉහත කී ධ්‍යාන මට්ටම්වලට පැමිණ සිටියහ. ඔවුන් ඒවා ඛ්ැඳින්වූයේ නිවන ලෙසය. තවත් විමුක්තියක් පිළිබඳව විශ්වාසයක් නොතිබීය.
එහෙත් එම ධ්‍යානයන්හි ස්වභාවය වන්නේ කාමය රාගය ආදී සිතුවිලි පහළ වූ විට ධ්‍යාන ශක්තීන් නැති වී යාමයි. මෙම අස්ථාවභාවය බුදුරදුන් පෙන්වා දුන්හ. එම සමාධි වැඩිම මගින් සිත එක් අරමුණකට පත්වීම පමණක් නොව ඇතැම් කෙළෙස්වල බලය හීනවීමද සිදුවේ. සිත සමාධිගත කිරීමේ වැදගත්කම වන්නේ එය ප‍්‍රඥාව වැඩීමට මග පෑදීමයි.
බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.
උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.
විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.
එමෙන්ම එය හිටිවනම අවබෝධ කර ගැනීමද කළ නොහැක. ඒ සඳහා පූව¢කෘත කුසල බලයක්ද කෙළෙස් තැවීමේ වීර්යයක්ද සසර දුක අවබෝධවීමේ නුවණක්ද අවශ්‍යය. සත්වයා සසරට බැඳ තබන අවුලෙන් අවුලට පත්කරන මේ තෘෂ්ණාජාලය බිඳ දැමිය හැක්කේ කවරෙකුටද යන්න එදා දේවතාවා ඇසූ ප‍්‍රශ්නයට බුදුරදුන් දුන් පිළිතුර ඉතා සැකෙවින් මෙසේ විස්තර විය.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් අවුල් විසඳීමට උත්සාහ කරති. නමුත් ඒ සත්ත්වයා සසරට බැඳ තබන අවුල් නොව එදිනෙදා ජීවිතයේ ඇති අවුල්ය. මෙලොව ජීවතයත් සංසාර ගමනත් අවුල් ජාලාවක් බවට පත් කරන්නේ ආශාවන් පසුපස ලුහුබඳුන අපේ සිත බව අප සිහිතබා ගත යුතුය. එය හික්මවා ගන්නා පුද්ගලයා මෙලොම අවුල්ද සසර බැඳුම්ද සිඳ දමා සියලු අවුල් ලිහා සසර ගමන කෙළවර කරන්නේය.
කැළණිය විශ්ව විද්‍යාලයේ 
ගෞරව උපාධි අපේක්ෂක, උණලීයේ සිරිනන්ද හිමි

දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ


අද සමාජය තුළ දැකිය හැකි ලක්‍ෂණයක් ලෙස සුලු දෙයකට පවා කම්පා වීමේ ලක්‍ෂණය පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ අපට අභියෝග බාධක ජය අරගෙන ජීවිතයක් පිළිවෙලට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් උගන්වා ඇත. ඒ අනුව එම අභියෝග පැමිණෙන විටදී එයට නොසැළී මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ මෙම මාතෘකාවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකයට අයත් පඨමලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍ර දෙක පෙන්වා දීමට පුළුවන. එම සූත්‍රයන්ට අනුව ලොව ජීවත්වන සියලු සත්වයන්ට පොදුවේ බලපාන අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත්වන කෙනෙකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර තිබේ. එම සියලු කරුණු අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.

“ ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජේසු ධම්මා
අස සසතා විපරිනාම ධම්මා”

ලාභය,අලාභය, අයසය, යසස, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛය වන අනිත්‍ය වූ අසාස්වත වූ මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය.
මෙම ධර්ම අට හරියට චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය. එයින් පැන යෑමට කිසිවෙකුටත් පුළුවන්කම නැත. ලාභයක් ලැබෙන තැන අලාභයද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුක ද යස ලඟ අයස ද ප්‍රසංසාව ලඟ නින්දාව ද පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසු වීම නිමිතිකොට ගෙන ජීවිතය කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න ගැටලු පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.

“එතෙ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්‍ඛති විපරිනාමධමෙම,
ඉට ඨස්ස ධම්මා න මථෙනති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති”

සිහිනුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නො කැළඹෙන අතර සුබවාදීව දැක ඒ කෙරෙහි ඇලීමටද පත් නොවේ.
සියලු දෙනාටම කම්පා නොවී සිටීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි නියම ස්වභාවය වන්නේ, මොහොතකට පසුගිය කාල වකවානුවල අප රටේ සිදු වූ විපත් සිහියට නගා ගැනීම වැදගත් වනු ඇත. ගංවතුර තුළින් කෝටිපතියන්, ලක්‍ෂපතියන් මොහොතකින් සිඟන්නන් බවට පත්වූහ. සුනාමිය තුළින්ද එලෙසම සිදුවිය. තව ද සුළි සුළං මහ වැසි, නියගය ආදී ස්වභාවික විපත් තුළින් ලාභ ලබපු අය අලාභ ලබන තත්ත්වයට පත් විය.සැප ලබපු අය දුකට පත් විය. සිනා නගන අය කඳුළු සලන තත්ත්වයට පත් විය.
එක වෙලාවක කීර්ති ප්‍රශංසා ලබන අය තව මොහොතක අපහාස අපකීර්ති ලබයි. මේ ආදී වශයෙන් මෙම දහම් අට චක්‍රීයව ලෝක සත්වයා වෙත ලඟා වෙනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් හිතන්නේ ධන පැත්ත පමණය. ඍණ පැත්ත ගැන හිතන්නේ සීමිත පිරිසකි. ලාභයක්, කීර්තියක්, සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට මිනිසුන් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි ඍණ පැත්තත් එන්නට පුළුවන් බව සිතන්නේ පණ්ඩිතයින්ය. කන්දක් නැග්ගොත් පල්ලමක්ද ඇත කියා ව්‍යවහාරයේ කියමනක් තිබේ. නමුත් කඳු නැගීම කෙසේ වුවද පල්ලන් බැසීම අනිවාර්ය වී තිබේ.

තස සානුරොධා අථවා විරොධා
විධූපිතා අත්‍ථගතා න සන ති
පදඤච ඤත්වා විරජං අසොකං
සම මපපජානානි භවස්ස පාරගුති

පණ්ඩිතයාගේ කිසිම මොහොතක අටලෝදම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථයහ. කෙලෙස් නැතිකොට,ශෝක නැතිකොට නිර්වාණය පිළිබඳවද අවබෝධයෙන් ජීවත්වීමට ඔහු උත්සාහ කරයි.මේ ආකාරයෙන් බලන කල අටලෝ දහම ලෝක ධර්මතාවයක් බවත් අපි කැමති වුව ද,අකමැති වුව ද එයට මුහුණ දීමට සිදු වන බවත් පැහැදිලිය.
එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද එක සමාන අයුරින් බලපාන ලදී. වේරංජාවේ වස් විසීම, චිංචිමානවිකාව දරමිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම,දේවදත්තගේ තර්ජන, ගර්ජන තාඩන පීඩන ආදි නොයකේ දේ තුළින් බුදුරඳුන්ට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදුරදුන් කම්පා වූ බවක් දක්නට හෝ උදම් වූ බවක් දක්නට නොලැබේ.
එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහ රහතුන් ඇතුලු ශ්‍රාවකයින් තුළද දක්නට ලැබේ.
දුතියලෝක ධම්ම සූත්‍රය තුළින් සුවිශේෂි කරුණු සමුදායක් දැක ගන්නට ලැබේ. ඒ අනුව එම සූත්‍රය තුළ “අසසුතවතො භික්ඛවේ. පුථූජ ජනස්ස උපපජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසසොජි සුඛම්පි, දුක්ඛම්පි” (මහණෙනි, ශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත්, උපදියි. අලාභයත්, උපදියි, අයසත් උපදියි. යසස උපදි යි. නින්දාත්, උපදි යි. ප්‍රසංසාත් උපදි යි. සුඛත් උපදි යි, දුක්ඛත් උපදි යි)
මේ ආකාරයෙන් ශ්‍රැතවත් පුද්ගලයාට ද මෙම දහමට මුහුණ දීමට සිදුවේ. එහි දී වෙනසකට පවතින්නේ හොඳින් අහපු කෙනා බුද්ධිමතෙකු වශයෙන් තීරණය කිරීමට පුලුවන් අතරම ඔහු හිතන පතන හා දකින ආකාරය ඉතා උසස් ය. දුතියලෝකධම්ම සූත්‍රය තුළින් ඒ බව පැහැදිලි කොට ඇත්තේ මෙසේය.
“භගවමමූලකා නො භනෙත ධම්මා, භගවනෙත තතිකා භගවමපටිසරණා සාධු වත භනෙත, භගවනතංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්‍ථ, භගවතො සුත්වා ධාරෙස්සන්තීති” (වහන්ස, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ නේක්තෘ කොට ගෙන පවත්නාහ.
භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙන පවත්නාහ. එකැතින් තෙල භාෂිතයාගේ අත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනවි)
මේ ආකාරයෙන් දැකීමට පුළුවන්නම් ඔහු බුද්ධිමතෙකි. පණ්ඩිතයෙකි. ඔවුනට අටලෝ දහම ජීවිතයට සවියක් මිස අවියක් නොවනු ඇත.
කම්පා නොවී ජීවිතයක් ජය ගත හැක්කේ කෙසේ ද? අපට මුහුණ දීමට සිදු වන්නේ අටලෝ දහම ට ය. ඉන් එහා කිසිවක් නැත. බුදුරජාණන් වහන්සේ ජීවිතයකට හසුවන සියලුදේම (සුබ අසුබ දෙඅංශයම) සම්පිණ්ඩය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. එහිදී අපට දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එක පැත්තක් පමණක් නො සිතිය යුතුය. එවිට වැල්පාලමක යන්නා සේ කුමන පැත්තකට හෝ වැටී එතුළින් විනාශය නොහොත් කම්පාව ඇතිවේ. එබැවින් අටලෝ දහමට සමානව මුහුණ දී දෙපැත්තටම නොවැටී සමබරව සිටිය යුතුය.

“කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ”

ඒ ආකාරයෙන් ජීවිතය වෙත ද එළඹෙන සියලු ප්‍රශ්න ගැටලු බාධක, දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජයගත යුතුය. “ ඉවසීමෙන් සැනසීම ලැබේ” යන්න තුළ ද විශාල අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිතය අතැහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම පුද්ගලයෙකුගේ ස්වභාවය නොවේ. බුද්ධිමතාගේ පණ්ඩිතයාගේ ස්වභාවය වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය. “ මා නිවත්ත අභික්කම “ නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදනද සිත් දරාගෙන අලුත් වර්ෂය තුළ ජීවිතය ජය ගැනීමට අපි කවුරුත් අධිෂ්ඨාන කර ගනිමු.

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි 
ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි

මුළාවට පත් නොවී නිවන් මගට පිවිසෙමු

පොල්පිටිමූකලානේ 
පඤ්ඤාසිරි හිමි

මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම නිසා අපට යතාර්ථය අවබෝධ කර ගත හැකිවේ. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා නිරතුරුවම මුළාවෙන් මුළාවට පත් වූ ජීවිතයක් ගත කරයි .මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක් සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයට අයත් අන්ධභූත සූත්‍රයෙන් අපට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ. ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ( චක්ඛුං භික්ඛවේ අන්ධභූතං) රූප මුළාවෙන් මුළාවට පත් වී තිබේ .(රූපා අන්ධභූතා) ඇසේ විඤ්ඤාණය විඤ්ඤාණ අන්ධභූතං) එනම් ඇසේ පවතින සිතයි ඇසේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත්ව තිබේ. (චක්ඛු සම්ඵස්සෝ අන්ධභූතෝ) ඇසේ ස්පර්ශය යනු ඇසත්, රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීමයි.එමෙන්ම ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත යම් විඳීමක් තිබේ නම් එය මුළාවෙන් මුළාවට පත් වී තිබේ ( යම් පිදං චක්ඛු සම්ඵස්ස පච්චයා උප්ජ්ජති සුඛං දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම් පි අන්ධභූත) මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? (තේන අන්ධභූතං) ඉපදීමෙන් ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ.

(අන්ධභූතං ජාතියා, ජරා මරණේන) එමෙන්ම සෝකයෙන්, වැළැපීමෙන් දුක් දොම්නස්වලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. (සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි )
මේ ආකාරයෙන්ම කනෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනට ඇසෙන ශබ්දත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කනේ ස්පර්ශය, ඒ කනත් , ශබ්දත්, විඤ්ඤාණයත් එකට එකතුවීමත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. එමෙන්ම කනේ ස්පර්ශයෙන් උපදින සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත්වී තිබෙන්නේ මොන දෙයකින්ද? ඉපදීමෙන් , ජරා මරණයෙන් මුළාවට පත් වී තිබේ. ශෝක, වැළැපීම් වලින් දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඉන් අනතුරුව අප භාග්‍යවතුන් වහන්සේ නාසය මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය විස්තර කරයි. නාසයට දැනෙන ගඳ සුවඳ මුළාවෙන් මුළාවට පත්වී තිබේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයයි ගඳ සුවදයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් නාසයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හෝ දුක් සැප රහිත වේදනාවක් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ඉපදීමෙන්, ජරා ,මරණයෙන් මුළාවෙන් මුළාවට පත්වී තිබේ. ශෝක වළැපීම්වලින් දුක්, දොම්නස් වලින් සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන්ම දිව පිළිබඳව විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව දිවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවට දැනෙන රසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ඇතිවන ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. දිවේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනාවත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන් , මරණයෙන්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින් , වැළැපීම්වලින් දුක්, දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබෙන ආකාරය තවදුරටත් විස්තරවේ. කයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයට දැනෙන පහසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ඇතිවන විඤ්ඤාණයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් කයේ ස්පර්ශය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත විඳීම් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින්, මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
එමෙන්ම මේ මනසත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසට ඇතිවන අරමුණුත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ඇතිවන විඤ්ඤාණය මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනස අරමුණුයි. විඤ්ඤාණයයි එකට එකතුවීම මනසේ ස්පර්ශයත් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක් හා දුක් සැප රහිත වේදනා මුළාවෙන් මුළාවට පත් වී තිබේ. මුළාවෙන් මුළාවට පත් වී තිබෙන්නේ කුමකින්ද? ජරාවෙන්, මරණයෙන් මුළාවෙන් මුළාවට පත් වී තිබේ. ශෝකවලින්, වැළැපීම්වලින්, දුක් වේදනාවලින් , සුසුම් හෙළීම්වලින් මුළාවෙන් මුළාවට පත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයා ඇස , කන, නාසය, දිව, කය හා මනස මුල් කරගෙන මුළාවෙන් මුළාවට පත් වී සිටින ආකාරය අපට ඉතාමත් මැනවින් අවබෝධ කරගත හැකිවේ. මේ ආයතන දෙස පෘතග්ජන මනසකින් බැලූ විට මේ අවබෝධය ඇති නොවේ. මේ මුළාවෙන් මුළාවට පත්වීම නැති කරගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණි. සාමාන්‍ය මනස මුළාවීම දකින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේගේ තියුණූ ප්‍රඥාවට මේ මුළාව හසුවන ආකාරයත් කොතරම් වෙනස්ද? මුළාවීම සිදු වන්නේ ඉපදීමෙනුයි. එමෙන්ම වයසට යාම තුළිනුයි. මරණයට පත්වීමෙනුයි. ශෝක වැළැපීම්,දුක්, දොම්නස් හා සුසුම් හෙළීමෙනුයි. මේ මුළාවීම නම් ලෙහෙසි පහසු කෙනෙකුට හඳුනා ගන්නට නොහැකි බව දැන් අපට පසක් කරගත හැකි වනවාට කිසිදු සැකයක් නැත.
මේ අයුරින් මේ ආයතන හා තිබෙන මුළාවෙන් මුළාවට පත්වීම දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහි කලකිරීමට පත්වේ.රූප කෙරෙහිත් කලකිරීමට පත්වේ.ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරීමට පත්වේ. ඇසේ ස්පර්ශය නිසා උපදින සැප, දුක් හා දුක් සැප රහිත විඳීම ගැනත් කලකිරීමට පත්වේ. මේ අයුරින් කන සම්බන්ධයෙන්ද, නාසය සම්බන්ධයෙන්ද දිව සම්බන්ධයෙන්ද කය සම්බන්ධයෙන්ද මනස සම්බන්ධයෙන්ද කලකිරීමට පත්වේ. කලකිරීම නිසා ඒ ආයතනවලට ඇති ඇල්ම දුරු වී යයි.ඇල්ම නැති වීම නිසා ආයතන හයෙන් නිදහස් වී යයි. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇතිවේ. ඉපදීම නැති විය. බඹසර වාසය සම්පූර්ණ කරන ලදී. නිවන අවබෝධය පිණිස කළයුතු සියල්ල සිදු කරන ලදී. එවිට ඒ ආර්ය ශ්‍රාවකයාට නැවත ඉපදීමක් නැති බව අවබෝධ වේ. එබැවින් අප සියලු දෙනාද මේ ආයතන හයේ යථා ස්වභාවය තේරුම් ගෙන ආයතන ගැන කලකිරී උතුම් නිවන් මග සාක්ෂාත් කර ගනිමු.