යම් අයෙක් මේ භයානක සංසාර ගමනෙන් මිදීමට නම්, ඔහු දුක අවබෝධ කරගත යුතුය. එමෙන්ම දුකට හේතුව වන තණ්හාව ප්‍රහානය කළ යුතුය. එමෙන්ම නිර්වාණය සාක්ෂාත් කළ යුතු අතර, මේ සදහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවිත කළ යුතුය. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුය. මේ බව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත.
දුක්ඛ ආර්ය සත්‍යය හෙවත් දුක බුදුපියාණන් වහන්සේ පහත තුන් ආකාරයට පෙන්වා දී ඇත.
- ජාති-ඉපදීම, ජරා-වයසට යැම, ව්‍යාධි-ලෙඩ වීම, මරණ-මරණයට පත්වීම, සෝක-සෝක කිරීම, පරිදේව-හැඩීම් වැළපීම්, දුක්ඛ-කායික වේදනා දුක, දෝමනස්ස-මානසික වේදනා දුක, උපායාස-වෙහෙසකර බව, පියෙහි විප්පයෝග ප්‍රිය දේ අහිමි වීම, අප්පියෙහි සම්පයෝග-අප්‍රිය දේ එක්වීම, යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං- සිතන දේ නොලැබීම.
- සංත්තේන පඤ්ච උපාදානක්ඛන්ධා දුක්ඛා. සැකෙවින්ම පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහු ය. එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ වේ.
- දුක්ඛ දුක්ඛතා-ශාරීරික හා මානසික දුක්, විපරිණාම දුක්ඛතා- සුඛ වේදනාව නැතිවීමෙන් සහ දුක්ඛ වේදනාව ඇත්වීමෙන් වන දුක, සංඛාර දුක්ඛතා-කැමැත්තෙන් ගොඩනැඟූ චිත්ත සංස්කාර හටගත්ත මොහොතේදීම බිඳීයැමෙන් ඇතිවන දුක.
සිතක් තුළ පඤ්ච උපාදානස්කන්ධයම පවතිනවා
'ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භෝති' - ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් එකතුවීමෙන් විඤ්ඤාණය හටගනී. 'තිණ්නං සංගති ඵස්සෝ'- ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඤ්ඤාණයත් ස්පර්ශ වීම 'ඵස්ස් වේ. විඤ්ඤාණය හටගැනීමත් සමග නාම ධර්ම පහක් හටගනී. එනම් 'ඵස්ස, වේදනා, සඤ්ඤා, ෙච්තනා, මනසිකාර'. මේ අනුව සිතක් ලෙස විද්‍යමාන වන්නේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප, විඤ්ඤාණය සහ නාම ධර්ම ක්‍රියාකාරිත්වයයි. එනම් විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරිත්වයයි. එමෙන්ම සිතක් තුළ පඤ්ච උපාදානස්කන්ධයම පවතිනවා.
පඤ්ච උපාදානස්කන්ධයෝ මාව කනවා - ඛඡ්ජනීය සූත්‍රයෙන්
දුක අවබෝධ කර ගැනීමට නම් පඤ්ච උපාදානස්කන්ධය අවබෝධ කර ගත යුතුය. සංයුක්ත නිකායේ එන ඛ-ජනීය සූත්‍රයේ පඤ්ච උපාදානස්කන්ධය පහත ලෙස විස්තර කරයි.
- රූප - මහණෙනි, 'බිඳේ' නුයි එයින් රූපයයි කියනු ලැබේ. ශීතයෙන්, උෂ්ණයෙන්, සා පිපාසායෙන් ද, මැසි මදුරු සර්පයන් ආදී සතුන්ගේ ස්පර්ශයන්ගෙන් 'බිඳෙන දේ' වේ. සතිපට්ඨාන සූත්‍රයේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතරක සංකලනය ලෙස ද පෙන්වා දෙයි. එනම් ආධ්‍යාත්මික රූප- ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන සහ බාහිර රූප- වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ්බ රූප, ධම්ම රූප.
- වේදනා - මහණෙනි, 'වළඳ කෙරේ' නුයි එයින් වේදනා යි කියනු ලැබේ. එනම් පරිභෝජනය කරන විඳීම් හෙවත් වේදනාවන්ය. එනම් සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ අදුක්ඛම සුඛ හෙවත් උපේක්ඛා වේදනාවෝය.
- සංඥා - මහණෙනි, 'හඳුනාගනී' නුයි එයින් සංඥා යි කියනු ලැබේ. එනම් නිල්, කහ, රතු, සුදු ආදී ලෙස හඳුනාගැනීමයි. එනම් වර්ණය, හැඩය ආදිය හඳුනාගැනීමයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ්බ රූප, ධම්ම රූප හඳුනා ගැනීමයි.
- සංස්කාර - මහණෙනි, 'සංඛත කොට අභිසංස්කරණ කෙරෙත්' - (සංඛතං අභිසංඛරොන්ති) නු යි එයින් සංස්කාර යි කියනු ලැබේ. එනම් සකස් කරන ලද රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ යළි යළිත් සකස් කිරීමයි.
- විඤ්ඤාණ - මහණෙනි, 'විජානනය කෙරේ' නුයි එයින් විඤ්Æනය යි කියනු ලැබේ. එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර පිළිබඳ දැනුවත් වීමයි.
ඛඡ්ජනීය සූත්‍රයේ, යම් අයෙක් පුබ්බේනිවාසානුස්සති ඥානය උපදවාගෙන පු_ව නිවාස සිහිකරයි නම් හෙතෙම සිහිකරනුයේ අතීත රූප, වේදනා ,සංඥා, සංස්කාර සහ විඤ්ඤාණම බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙසේ සිහිකිරීමෙන් අතීත භවවල සත්ත්ව, ප්‍රේත, නිරය යනාදී ස්ථානවල දුක් විඳි ආකාරය අවබෝධ වේ. මේ අනුව අතීත භවයන් සිහිකිරීමෙන් අතීත ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනාදී දුක්ඛ අවබෝධ කරගෙන තණ්හාව දුරු කරගත හැකිය.
ඛ-ජනීය යන වචනයේ තේරුම කනවා යන්නයි. මේ අනුව අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණය මාව කෑවානම්, වර්තමාන රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ මාව කනවනම්, අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ මාව නොකා සිටීද? යන්න අවධාරණය කර රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ නැවත නොපැතීම කළ යුතු බව දක්වා ඇත. තමන් අතීතයේදීත් මෙම පඤ්ච උපාදානස්කන්ධය නිසා දුක් වින්දා. වර්තමානයේත් දුක් විඳිනවා. අනාගතයේත් මේ දුක විඳිය යුතුද? යන ප්‍රශ්නයට පිළිතුර දීමට තමන් ම බුද්ධිමත් විය යුතුය.
උදාහරණයක් ලෙස යම් කිසි කෑමක් අනුභව කිරීමට කැමැති නිසා විඳින දුක බලන්න. මුලින්ම එම කෑම වෙළෙඳපොළෙන් හෝ වෙනයම් ස්ථානයකින් රැගෙන ආ යුතුයි. ඊට මුදල් නොමැතිනම් මුදල් සොයාගත යුතුයි. ඉවුම් පිහුම් සඳහා තුනපහ හට්ටිමුට්ටි සොයාගත යුතුය. ඉවීමට කෙනෙක් සොයාගත යුතුය. මෙහිදී විවාහ වීමට පවා සිදු වේ. පසුව පවුල් ජීවිතය තුළ ගෙවල් දොරවල් හදාගැනීම, යාන වාහන මිලදී ගැනීම, අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ කටයුතු ආදි සියල්ල කිරීමට සිදු වේ. එනම් තමන් රූපය කන්නට ගියද සිදුව ඇත්තේ රූපය විසින් තමන්ව කා දැමීමකි. අවසානයේ රූපය පැතීම නිසා සිදුවී ඇත්තේ මහා දුක්ඛයක් අත්පත් වීමය. මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණය පැතීම හේතුවෙන් ඒවා විසින් තමන්ව කා දැමීමක් සිදු වේ. එම හේතුවෙන් අනාගත පඤ්ච උපාදානස්කන්ධයෝ නො පැතීමෙන් මෙම ආත්මභාවයේදී සංසාරයේ දරන අවසාන කය දැරීමට වාසනාව උදාවනු ඇත.
ඊළඟ නිවස සාදා ගැනීමේ ගිණුම - සමාධි භාවනා සූත්‍රයෙන්
උපාදානය යනු භවය අල්ලා ගැනීමයි. එනම් තවත් උප්පත්තියක් සඳහා කැමැත්තෙන්ම සකස්කර ගැනීමයි. කාමයට කැමැතිනම් කාම ලෝකයේද, රූපාවචර ධ්‍යාන අල්ලා ගත්තා නම් රූපාවචර බ්‍රහ්ම ලෝකද, අරූපාවචර ධ්‍යාන අල්ලා ගත්තා නම් අරූපාවචර බ්රහ්මලෝකවලද උප්පත්තිය ලබයි. සරලවම ප්‍රකාශ කරනවා නම් උපාදානය කිරීම යනු සංසාරයේ ඊළඟ නිවස සාදා ගැනීමට ගිණුමකට මුදල් රැස්කිරීමක් වැනිය.
බුදුපියාණන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ උපාදානයට යන ආකාරයත්, උපාදානය නොකර ගන්නා ආකාරයත් සංයුක්ත නිකායේ සමාධි භාවනා සූත්‍රයේ පැහැදිලිව පෙන්වා දී ඇත.
උපාදානයට යන ආකාරය
'ඉධ භික්ඛවෙ, භික්ඛු (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/ විඤ්ඤාණං) අභිනන්දති අභිවදති අජෙCධාසාය තිට්ඨති. තස්ස (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/ විඤ්ඤාණං) අභිනන්දතො අභිවදතො අජෙ_Cධාසාය තිට්ඨතො උප්පඡ්ජති නන්දි. යා (රූපෙ/වේදනාය/සඤ්ඤාය/සංඛාරේසු/ විඤ්ඤාණෙ) නන්දි තදුපාදානං තස්සුපාදානපච්චයා භවො, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හෝති.'
'මහණෙනි. මෙ සස්නෙහි මහණ (රූපය/වේදනාව/සංඥාව/සංස්කාරය/විඤ්ඤාණය) නො පතයි. මැනවැ යි කියයි. එහි බැසගෙන සිටී. (රූපය/වේදනාව/සංඥාව/සංස්කාරය/විඤ්ඤාණය) පතන මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී.
(රූපයේ/වේදනාවේ/සංඥාවේ/සංස්කාරයේ/ විඤ්ඤාණයේ) යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන්a ජරා-මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි හටගැනීම වේ.'
උදාහරණයක් ලෙස රූපය පිළිබදව සිතා බැලුවහොත් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ආදිය කෙරෙහි කැමැත්තක් පවතීනම් එය උපාදානයෙන් භවය සකස්කර උප්පත්තිය ලබයි. යම් අයෙක් යම් කෑමක් සඳහා කැමැත්තක් පවතී නම් එය අනුභව කිරීම සඳහා නැවත සත්ත්වයා/පුද්ගලයා නමැති නිවස සාදයි. මෙම නිවස කුමන තැන සාදනවාද යන්න තීරණය වනුයේ උපාදානය වූ ගිණුමේ ඇති මුදල් අනුවය. ගිණුමේ ඇති කුසල් අකුසල් අනුව කාම ලෝකයේ දිව්‍ය නිවසක්, මනුෂ්‍ය නිවසක්, තිරිසන් නිවසක් හෝ ප්‍රේත නිවසක් ආදිය සාදා ගනී. එනම් කෙනෙකු උපාදානය කළා නම් නිවස සාදා ගෙන දුක විඳින්නට සිදු වේ.
උපාදානය නොකර ගන්නා ආකාරය
'ඉධ භික්ඛවෙ, භික්ඛු (රූපං/වේදනං/සඤ්ඤං/ සංඛාරේ/ විඤ්ඤාණං) නාභිනන්දති නාභිවදති නා-Cධාසාය තිට්ඨති. තස්ස (රූපං/වේදනං/සඤ්ඤං/සංඛාරේ/විඤ්ඤාණං) අනභිනන්දතො අනභිවදතො අන-Cධාසාය තිට්ඨතො යා (රූපෙය/වේදනාය/සඤ්ඤාය/සංඛාරේසු/විඤ්ඤාණෙ) නන්දි සා නිරු-Cධති. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරු-Cධන්ති. ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති.'
'මහණෙනි. මෙ සස්නෙහි මහණ (රූපය/වේදනාව/සංඥාව/සංස්කාරය/විඤ්ඤාණය) නො පතයි. මැනවැ යි නො කියයි. එහි බැසගෙන නො සිටී. (රූපය/වේදනාව/සංඥාව/සංස්කාරය/විඤ්ඤාණය) නො පතන මැනවැ යි නො කියන එහි බැසගෙන නො සිටින ඔහුගේ (රූපයේ/වේදනාවේ/ සංඥාවේ/ සංස්කාරයේ/ විඤ්ඤාණයේ) යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වේ. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි නිරෝධය වේ'.
උදාහරණයක් ලෙස යම් අයෙක් රූපය,වේදනාව, සංඥාව,සංස්කාරය, විඤ්ඤාණය සඳහා ඇලීමක් නො පවතී නම් නැවත සත්ත්වයා/පුද්ගලයා නමැති නිවස අවශ්‍ය නැත. රූප ආදිය කෙරෙහි කැමැත්තක් නො පවතී නම් එහි උපාදානයක් නොමැති වී භවය සකස්කර උප්පත්තිය නො ලබයි. මෙහිදී නිවසක් සෑදීමට උපාදානය වූ ගිණුමක් නොමැත. ඔහු සසර දුක කෙළවර කර ගන්නේය.
පඤ්ච උපාදානස්කන්ධයන්ට උපමා පහක් - ඵෙනපිණ්ඩූපම සූත්‍රයෙන්
පංච උපාදානස්කන්ධය හිස් වූවක් ලෙස සලකා එහි නොඇලී සිටීමට මෙම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වයි.
'ඵෙනපිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුළු පමා-මචිකූපමා සඤ්ඤා සංඛාර කදලූපමා,මායුපමඤ්ච විඤ්ඤාණං "පිතා දිච්චබන්දුනා'.
- රූපය පෙණපහරක් වැන්න - පෙනගොඩක ඇත්තේ හිස්බවකි. ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් තුළ හරයක් නොමැත.
- වේදනාව දියබුබුළක් වැන්න - සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ වේදනා හටගත් මොහොතේම éය වී බුබුළක් මෙන් වැනසී යයි.
- සංඥාව මිරිඟුවක් වැන්න - දුරදී මිරිඟුව දිස්වුවද සමීප වූ විට එවැනි දෙයක් නොමැත. සංඥාව ද එසේය.
- සංස්කාර කෙසෙල් කඳක් වැන්න - කෙසෙල් කඳක අරටුවක් නොමැත. සෑදු විදියේ කොලයක්ම නැවත සාදා ඇත.
- විඥානය මායාවක් වැන්න - ඇස්බැන්දුමක් යනු නැති දෙයක් ඇතිකර පෙන්වීමකි. රූප,වේදනා, සංඥා, සංඛාර නැවත නැවත මැවීම කරනුයේ විඤ්ඤාණයයි.
මාර්ගඵල ලබාගැනීමට මෙසේ මෙනෙහි කරන්න - සීල සූත්‍රයෙන්
සීල සූත්‍රයේ සඳහන් පරිදි මහාකොටිත මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගෙන් පහත ප්‍රශ්න පහ විචාරනු ලබයි.
1. සීලවතා ආයුසෝ සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
2. සෝතාපන්නේන පනායුසෝ සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
3. සකදාගාමිනා පනායුසෝ සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
4. අනාගාමිනා පනායුසෝ සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
5. අරහතා පනායුසෝ සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති ?
මින් අසා ඇත්තේ යම් මහණෙක් සෝවාන්,සකදාගාමි, අනාගාමි සහ අර්හත්වය පිණිස කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කළ යුතුද? යන්නයි.
පළමු ප්‍රශ්න හතරටම පිළිතුරු වශයෙන් ලබාදී ඇත්තේ පංච උපාදානස්කන්ධයම අනිච්චිතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අඝතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ වශයෙන් මෙනෙහි කරන ලෙසයි. පස්වැනි ප්රශ්නය අර්හත්වය පිණිස කුමන ධ_මයක් නුවණින් මෙනෙහි කළ යුතුද? යන්නයි. පිළිතුර වශයෙන් රහත්හට කළ යුත්තක් නැත, නමුත් දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහාත්, සිහිය පවත්වාගෙන යාම පිණිසත් පංච උපාදානස්කන්ධයම ඉහත ආකාරයටම නුවණින් මෙනෙහි කළ යුතු බව ප්‍රකාශ කර ඇත.
පංච උපාදානස්කන්ධය ලෙස සරලවම සැලකිය හැක්කේ තමන්ගේ කයත් සමග ගෙන යන ජීවන පැවැත්මයි. රූප, වේදනා,සංඥා,සංස්කාර සහ විඤ්ඤාණ හෙවත් මෙම තමාගේ පැවැත්ම පහත වශයෙන් නිරතුරුවම මෙනෙහි කළ යුතුය.
- අනිච්චිතෝ (Impermanent) - වෙනස් වන බව. රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණයාගේ ඇතිවීම-නැතිවීම හෙවත් සිතේ සමුදය-අස්තංගමය නුවණින් මෙනෙහි කළ යුතුය.
- දුක්ඛතෝ (Suffering) - මෙම පැවැත්ම තුළ කායික මානසික දුක් ඇති බව මෙනෙහි කළ යුතුය. කායික ඉරියව් මාරුකරනුයේ දුක නිසා බවත්, චිත්ත පීඩා ආදියද දුක් බව මෙනෙහි කළ යුතුය.
- රෝගතෝ (A disease) - මෙම ජීවන පැවැත්ම ම ලෙඩක් බව අවබෝධ කරගත යුතුය. වෙන කිසිදු රෝගයක් නොමැතිනම් බඩගින්න, පිපාසය, මළපහ කිරීම, මුත්‍රා පිටකිරීම යන රෝග හතර නිසැකවම තමන්ට ඇතිබව මෙනෙහි කළ යුතුය.
- ගණ්ඩතෝ (Tumour) - මෙම පැවැත්ම ගෙඩියක් (ගඩුවක්) බව අවබෝධ කරගත යුතුය. සැරව ගෙඩියක් ගැන කල්පනා කරන්න. කුඩාවට හටගෙන මහා වේදනාවෙන් යුක්ත තුවාලයක් බවට පත් වන්නා සේම කුඩා ලෙස ඇතිවන කායික මානසික වේදනා විපුල බවට පත්වන අයුරුත්, ඒවායින් දුක් ගෙනදෙන අයුරුත් නිතර මෙනෙහි කළ යුතුය.
- සල්ලතෝ (A dart) - මෙම පැවැත්ම දුක් ගෙනදෙන උලක් (හුලක්) බව අවබෝධ කරගත යුතුය. මනබඳනා රූප වේදනා සංඥා පසුපස උපායාසයෙන් හඹායැමෙන් ඒවා විස උල් වශයෙන් තමන්ට එල්ලවී දුක් ඇතිවන අයුරු මෙහිදී මෙනෙහි කළ යුතුය.
- අඝතෝ (ඵසිeරහ) - තම පැවැත්ම තමන්ට නිරතුරුවම පීඩා ගෙන දෙන බව අවබෝධ කරගත යුතුය. උදේ සිටන් රෑ වෙනකම්, රෑ සිට එළිවෙනකම් මෙම පැවැත්ම ගෙනයැමට කෙතරම් දුකක් විඳිනවාද යන්න නිතර මෙනෙහි කළ යුතුය.
- ආබාධතෝ (Affliction) - තම ශරීරයට ආබාධයක් (තුවාලයක් ලෙස සිතමු) සෑදුන විට එය කොතරම් පරිස්සම් කරනවාද, ඒ ආකාරයට තමන් කැමැත්තෙන් සාදාගත් කය සහ චිත්ත සංස්කාර ආරක්ෂා කර ගැනීමට කොතරම් දුකක් විඳිනවාද, යන්න නිතර සිහිපත් කළ යුතුය.
- පරතෝ (Alien) - මෙම ජීවන පැවැත්ම අන්‍යයන් මත යෑපෙන බව අවබෝධ කළ යුතුය. කිසිවෙකුට ස්වාධීනව ජීවත් විය නොහැක. අනෙක් පුද්ගලයන්, සතුන් හා ස්වභාව ධර්මය මත යෑපීමට සිදු වේ. තමන් ඒ ආකාරයේ අසරණ ස්වභාවයකට පත්ව ඇති බව නිරතුරුව නුවණින් මෙනෙහි කළ යුතුය.
- පලෝකතෝ (Disintegrating) - මෙම පැවැත්ම බිඳෙන බව නුවණින් මෙනෙහි කළ යුතුය. ඇස, කණ ආදී ඉන්ද්රියයන් බිඳෙන බවත් වෙනස්වන බවත් නිරතුරු මෙනෙහි කළ යුතුය.
- සුඤ්ඤතෝ (Empty) - සංස්කාරයෝ හටගත් මොහොතේම බිඳී යන බැවින් කිසිවක් නැති කිසිවෙක් නැති ශූන්‍යතාවක් පමණක් ඇති බවත් එයද දුකක් බව අවබෝධ කළ යුතුය.
- අනත්තතෝ (Non self) - මෙම පැවැත්ම මම මගේ කියා නොගතයුතු බවත්, තමන්ගේ පාලනයෙන් තොර බවත්, ආත්මීය පැවැත්මක් නොමැති බවත් නිතර නුවණින් මෙනෙහි කළ යුතුය.
ඉහත ආකාර එකොළහ ත්රිලක්ෂණයට අන්තර්ගත කළ විට පහත ආකාර වේ.
- අනිච්චානුපස්සනාවට - අනිච්චිතෝ, පලෝකතෝ
- දුක්ඛානුපස්සනාවට - දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අඝතෝ, ආබාධතෝ
- අනත්තානුපස්සනාවට - පරතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ
සීල සූත්‍රයට අනුව සාරාංශව පවසා ඇත්තේ මෙම පංච උපාදානස්කන්ධය 'අනිත්‍යයි, දුකයි, අනාත්මයි' ලෙස නිරතුරු නුවණින් මෙනෙහි කිරීමෙන් මාර්ගඵල අවබෝධ කරගත හැකි බවයි.
පංච උපාදානස්කන්ධයේ උදයව්‍යය දකින්න - මහා සුඤ්ඤත සූත්‍රයෙන්
මෙම සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙසේ වදාළයි.
'පඤ්ච ඛෝ ඉමේ ආනන්ද, උපාදානක්ඛන්ධා, යත්ථ භික්ඛුනා උදයබ්බයානුපස්සිනා විහාතබ්බං, ඉති (රූපං/වේදනා/සඤ්ඤා/සංඛාරා/විඤ්ඤාණං). ඉති (රූපස්ස/වේදනාය/සඤ්ඤාය/සංඛාරස්ස/විඤ්ඤාණස්ස) සමුදයෝ. ඉති (රූපස්ස/වේදනාය/සඤ්ඤාය/සංඛාරස්ස/විඤ්ඤාණස්ස) අත්ථංගමෝ. තස්ස ඉමේසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනෝ විහරතෝ, යො පඤ්චසුපාදානක්ඛන්ධෙසු අස්මිමානො, සෝ පහීයති. ඒවං සන්තමේතං ආනන්ද, භික්ඛු ඒවං පජානාති( යො බෝ ඉමේසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු අස්මිමානෝ, සෝ මේ පහීනෝති. ඉතිහ තත්ථ සම්පජානෝ හෝති. ඉමේ ඛෝ ආනන්ද, ධම්මා ඒකන්ත කුසලායතිකා දියා ලෝකුත්තරා අනවක්කන්තා පාපිමතා'.
'ආනන්දය, යම් මහණෙක් උදයව්‍යය නුවණින් මෙනෙහි කළ යුතු උපාදානස්ඛන්ධයෝ පහකි. එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ වේ. එම රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණයන්ගේ ඇතිවීම සහ නැතිවීම අවබෝධ කරගෙන, එහි අස්මිමානය නැති බව නුවණින් ප්රත්යක්ෂකර ගන්නා භික්ෂුව ඒකාන්තයෙන්ම මාරයා පැරද වු නිකෙළෙස් ධර්මය අවබෝධ කර ගන්නේය'.
මේ අනුව පංච උපාදානස්කන්ධයේ උදයව්යයනය (එනම් ඇතිවීම සහ නැතිවීම) නුවණින් අවබෝධ කරගෙන උත්තම සැපත වන අර්හත්වය ලබාගත හැකි බව පැහැදිලිs වේ.
මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර, වතුරුගම.