ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ


අද සමාජය තුළ දැකිය හැකි ලක්‍ෂණයක් ලෙස සුලු දෙයකට පවා කම්පා වීමේ ලක්‍ෂණය පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ අපට අභියෝග බාධක ජය අරගෙන ජීවිතයක් පිළිවෙලට ඔපවත් කර ගන්නා ආකාරය ධර්මය තුළින් උගන්වා ඇත. ඒ අනුව එම අභියෝග පැමිණෙන විටදී එයට නොසැළී මුහුණ දී ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳ මෙම මාතෘකාවෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකයට අයත් පඨමලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍ර දෙක පෙන්වා දීමට පුළුවන. එම සූත්‍රයන්ට අනුව ලොව ජීවත්වන සියලු සත්වයන්ට පොදුවේ බලපාන අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත්වන කෙනෙකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර තිබේ. එම සියලු කරුණු අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.

“ ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජේසු ධම්මා
අස සසතා විපරිනාම ධම්මා”

ලාභය,අලාභය, අයසය, යසස, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛය වන අනිත්‍ය වූ අසාස්වත වූ මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය.
මෙම ධර්ම අට හරියට චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය. එයින් පැන යෑමට කිසිවෙකුටත් පුළුවන්කම නැත. ලාභයක් ලැබෙන තැන අලාභයද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුක ද යස ලඟ අයස ද ප්‍රසංසාව ලඟ නින්දාව ද පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසු වීම නිමිතිකොට ගෙන ජීවිතය කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න ගැටලු පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.

“එතෙ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්‍ඛති විපරිනාමධමෙම,
ඉට ඨස්ස ධම්මා න මථෙනති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති”

සිහිනුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නො කැළඹෙන අතර සුබවාදීව දැක ඒ කෙරෙහි ඇලීමටද පත් නොවේ.
සියලු දෙනාටම කම්පා නොවී සිටීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි නියම ස්වභාවය වන්නේ, මොහොතකට පසුගිය කාල වකවානුවල අප රටේ සිදු වූ විපත් සිහියට නගා ගැනීම වැදගත් වනු ඇත. ගංවතුර තුළින් කෝටිපතියන්, ලක්‍ෂපතියන් මොහොතකින් සිඟන්නන් බවට පත්වූහ. සුනාමිය තුළින්ද එලෙසම සිදුවිය. තව ද සුළි සුළං මහ වැසි, නියගය ආදී ස්වභාවික විපත් තුළින් ලාභ ලබපු අය අලාභ ලබන තත්ත්වයට පත් විය.සැප ලබපු අය දුකට පත් විය. සිනා නගන අය කඳුළු සලන තත්ත්වයට පත් විය.
එක වෙලාවක කීර්ති ප්‍රශංසා ලබන අය තව මොහොතක අපහාස අපකීර්ති ලබයි. මේ ආදී වශයෙන් මෙම දහම් අට චක්‍රීයව ලෝක සත්වයා වෙත ලඟා වෙනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් හිතන්නේ ධන පැත්ත පමණය. ඍණ පැත්ත ගැන හිතන්නේ සීමිත පිරිසකි. ලාභයක්, කීර්තියක්, සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට මිනිසුන් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි ඍණ පැත්තත් එන්නට පුළුවන් බව සිතන්නේ පණ්ඩිතයින්ය. කන්දක් නැග්ගොත් පල්ලමක්ද ඇත කියා ව්‍යවහාරයේ කියමනක් තිබේ. නමුත් කඳු නැගීම කෙසේ වුවද පල්ලන් බැසීම අනිවාර්ය වී තිබේ.

තස සානුරොධා අථවා විරොධා
විධූපිතා අත්‍ථගතා න සන ති
පදඤච ඤත්වා විරජං අසොකං
සම මපපජානානි භවස්ස පාරගුති

පණ්ඩිතයාගේ කිසිම මොහොතක අටලෝදම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරදි ලෙස එහි ඇති ස්වභාවය දැකීමට සමර්ථයහ. කෙලෙස් නැතිකොට,ශෝක නැතිකොට නිර්වාණය පිළිබඳවද අවබෝධයෙන් ජීවත්වීමට ඔහු උත්සාහ කරයි.මේ ආකාරයෙන් බලන කල අටලෝ දහම ලෝක ධර්මතාවයක් බවත් අපි කැමති වුව ද,අකමැති වුව ද එයට මුහුණ දීමට සිදු වන බවත් පැහැදිලිය.
එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද එක සමාන අයුරින් බලපාන ලදී. වේරංජාවේ වස් විසීම, චිංචිමානවිකාව දරමිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම,දේවදත්තගේ තර්ජන, ගර්ජන තාඩන පීඩන ආදි නොයකේ දේ තුළින් බුදුරඳුන්ට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදුරදුන් කම්පා වූ බවක් දක්නට හෝ උදම් වූ බවක් දක්නට නොලැබේ.
එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහ රහතුන් ඇතුලු ශ්‍රාවකයින් තුළද දක්නට ලැබේ.
දුතියලෝක ධම්ම සූත්‍රය තුළින් සුවිශේෂි කරුණු සමුදායක් දැක ගන්නට ලැබේ. ඒ අනුව එම සූත්‍රය තුළ “අසසුතවතො භික්ඛවේ. පුථූජ ජනස්ස උපපජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසසොජි සුඛම්පි, දුක්ඛම්පි” (මහණෙනි, ශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත්, උපදියි. අලාභයත්, උපදියි, අයසත් උපදියි. යසස උපදි යි. නින්දාත්, උපදි යි. ප්‍රසංසාත් උපදි යි. සුඛත් උපදි යි, දුක්ඛත් උපදි යි)
මේ ආකාරයෙන් ශ්‍රැතවත් පුද්ගලයාට ද මෙම දහමට මුහුණ දීමට සිදුවේ. එහි දී වෙනසකට පවතින්නේ හොඳින් අහපු කෙනා බුද්ධිමතෙකු වශයෙන් තීරණය කිරීමට පුලුවන් අතරම ඔහු හිතන පතන හා දකින ආකාරය ඉතා උසස් ය. දුතියලෝකධම්ම සූත්‍රය තුළින් ඒ බව පැහැදිලි කොට ඇත්තේ මෙසේය.
“භගවමමූලකා නො භනෙත ධම්මා, භගවනෙත තතිකා භගවමපටිසරණා සාධු වත භනෙත, භගවනතංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්‍ථ, භගවතො සුත්වා ධාරෙස්සන්තීති” (වහන්ස, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ නේක්තෘ කොට ගෙන පවත්නාහ.
භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙන පවත්නාහ. එකැතින් තෙල භාෂිතයාගේ අත්‍ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් මැනවි)
මේ ආකාරයෙන් දැකීමට පුළුවන්නම් ඔහු බුද්ධිමතෙකි. පණ්ඩිතයෙකි. ඔවුනට අටලෝ දහම ජීවිතයට සවියක් මිස අවියක් නොවනු ඇත.
කම්පා නොවී ජීවිතයක් ජය ගත හැක්කේ කෙසේ ද? අපට මුහුණ දීමට සිදු වන්නේ අටලෝ දහම ට ය. ඉන් එහා කිසිවක් නැත. බුදුරජාණන් වහන්සේ ජීවිතයකට හසුවන සියලුදේම (සුබ අසුබ දෙඅංශයම) සම්පිණ්ඩය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. එහිදී අපට දෙඅංශයටම මුහුණ දීමට සිදුවේ. එක පැත්තක් පමණක් නො සිතිය යුතුය. එවිට වැල්පාලමක යන්නා සේ කුමන පැත්තකට හෝ වැටී එතුළින් විනාශය නොහොත් කම්පාව ඇතිවේ. එබැවින් අටලෝ දහමට සමානව මුහුණ දී දෙපැත්තටම නොවැටී සමබරව සිටිය යුතුය.

“කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ”

ඒ ආකාරයෙන් ජීවිතය වෙත ද එළඹෙන සියලු ප්‍රශ්න ගැටලු බාධක, දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජයගත යුතුය. “ ඉවසීමෙන් සැනසීම ලැබේ” යන්න තුළ ද විශාල අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිතය අතැහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම පුද්ගලයෙකුගේ ස්වභාවය නොවේ. බුද්ධිමතාගේ පණ්ඩිතයාගේ ස්වභාවය වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය. “ මා නිවත්ත අභික්කම “ නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදනද සිත් දරාගෙන අලුත් වර්ෂය තුළ ජීවිතය ජය ගැනීමට අපි කවුරුත් අධිෂ්ඨාන කර ගනිමු.

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි 
ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි