ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

තෘෂ්ණාව දුරු කිරීම


දුදහමේ උගන්වන පොදු හා ප‍්‍රථමික සීලය පංචශීලයයි. සමාජයක් රටක් යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කිරීමට අදාළ සියලු කාරණා ඊට අන්තර්ගතය.
සසර අවුලට මෙහා ඇති බොහෝ අවුල් මගහරවා ගැනීමට පංචශීලය සාම්ප‍්‍රදායික වතාවතක් පමණක් බවට පත් වී ඇත. තම පැවැත්ම උදෙසා පරපණ නැසීම, සොරකම, පරපුරුෂ සේවනය, බොරු කීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන මේ කරුණු අද මුළු මහත් ලෝකයටම සාපයක් වී තිබේ.
ලොව කොතනක හෝ අසාධාරණ, කලකෝලාහල මෙන්ම යුද්ධ ආදිය තිබේනම් ඒ සෑම තැනම එකී නරක සිරිත් ඊට මුල් වී ඇත. මේ අනුව බලන කළ මේ පැණවීම් පසෙහි වටිනාකම කෙතෙක්ද යන්න මනාව අවබෝධ වේ. කිසියම් සමාජයක් මෙම ධර්මතා පසට ගරුකරමින් තමා ගැන සේම අනුන් ගැනද සිතයි නම් එය ශ්‍රේෂ්ඨ වූ සංකල්පයකි.
සීලයන් අතර වඩාත් වැදගත් සීලයක් ලෙස ඉන්ද්‍රීය සංවර සීලය පෙන්වා දිය හැකිය. ගැඹුරින් සළකා බැලුවහොත් ඉඳුරන් සංව කර ගැනීම ලෞකික ;ල¤කෝත්තර දෙපක්ෂයේම සුභසිද්ධියට හේතු වේ. භික්ෂූන් වහන්සේලාට වැදගත් වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගැනීමට පවා ඉන්ද්‍රීය සංවර සීලය පිටිවහල් වේ. මෙහිදී ඉන්ද්‍රීය යනුවෙන් සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසයි.
එම ඉඳුරන් සමග ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු නිසා බොහෝ විට සිත කිලිටිවේ. ඇසට ලැබෙන පි‍්‍රය අපි‍්‍රය රූප මගින් රාගය හෝ ක්‍රෝධය පහළ වී වර්ධනය වේ. කනට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද නිසා සිතෙහි ආශාව හෝ තරහව ඇතිවේ. මේ අයුරින් පසිඳුරන් හරහා ලබන අරමුණු වල එල්බ ගැනීම නිසා කෙළෙස් දහම් වර්ධනය වේ.
මෙලෙස වර්ධනය වන කෙළෙස් වල කි‍්‍රයාකාරකම් කලඑළි දක්වන්නේ කය වචන මගිනි. කය වචන මගින් කරනු ලබන කි‍්‍රයාකාරකම් තුළින් ඉඳුරන් තුළින් ලබාගත් අරමුණු වල වර්ධනය කෙතෙක්ද යන්න දත හැකිය. විවිධ වර්ගීකරණයන් යටතේ විවිධාකාර වූ ශික්ෂාපද බුදුරදුන් පණවා තිබුණද ඒවායින් බලාපොරොත්තු වූයේ ප‍්‍රධාන වූ එක් අරමුණකි.

එනම් සිත ආරක්ෂා කර ගැනීමයි. එක් අවස්ථාවක කෝටියක් සංවර ශීලය පිළිබඳව විමසූ භික්ෂුවක් එහි සංඛ්‍යාත්මක විශාලත්වය දැක උපසම්පදා ශීලය රැකීමට නොහැකි දෙයක් යැයි සිතීය.
එම අවස්ථාවේ බුදුරදුන් වදාළේ කෝටියක් සංවර සීලය පසෙකින් තබා එකක් රැක ගන්නා ලෙසයි. එම එක නම් සිතයි. බුදුදහම සිත මුල් කරගත් දහමකි. පුද්ගලයාගේ සසර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරනු ලබන්නේ කිසියම් නිර්මාපකයෙකු දෙවියෙකු විසින් නොව තමාගේ සිත විසිනි. එනිසා පුද්ගලයාව සසර දුක් නිවාලන මාර්ගයට යොමු කරන්නේද උත්සාහයෙන් හික්මවා ගන්නා මනස පමණි.
සියුම් දෘෂ්ටියකින් සමාජයේ දුක්විඳින ප‍්‍රජාව දෙස බලන විට පෙනී යන කරුණ වන්නේ බොහෝ දෙනෙකු දුක්විඳින්නේ මානසිකව බවයි. ඇතැමෙක් ලබා ගැනීමට නොහැකි වූ අරමුණු මුල්කරගෙන පසු තැවෙති.
තවත් අයෙක් තවත් අරමුණු අපේක්ෂාවෙන් දුක් විඳිති. ලද දෙයින් තෘප්තිමත් වීමට මිනිස් සිත සූදානම් නැත. කහවණු වැස්සක් වැස්සද මිනිස් සිත තෘප්තිමත් නොවන බව බුදුරදුන් වදාළේ එහෙයිනි.
අපි කෙතරම් අරමුණු මගින් ඉඳුරන් පිනවීම සිදුකළත් ඉන් සෑහීමකට පත් නොවෙයි නම් නිමා නොවන අතෘප්තිකර ආශාවන් පසුපස හඹායාමෙන් පලක් ඇතිදැයි සිතා බැලිය යුතුය.
මෙම විෂම ලෝකය තුළ ඉඳුරන් සංවර කරගෙන ජීවත්වීම අසීරු බව ඇතැමෙකුගේ මතයයි. එය සැබෑවකි. නමුත් ආශාව, වෛරය ආදී කෙළෙස් පවතින්නේ සිත තුළ මිස අරමුණු තුළ නොවන බව පිළිගත යුතුය.
එනිසා අරමුණු නිසා සිත අපිරිසිදු වේයැයි බියෙන් ඇස් කන් වසා සිටීම සිල්රැකීමක් නොවේ. ඉඳුරන් වසා සිටීම සිල්වත් කමක් නම් බුදුන්වහන්සේ දේශනා කළ ආකාරයට ලොව උසස්ම සිල්වතුන් වන්නේ ඳයගිය අයයි.
මෘත ශරීරවල සියලු ඉඳුරන් පවතී. නමුත් අරමුණු ලබා ගැනීමක් නැත. එහෙයින් ඉඳුරන් සංවර කර ගැනීම කරගත යුත්තේ විවිධ අරමුණු සහිත මේ ලෝකයේ සිිටිමින්මය. බෞද්ධ විමුක්ති මාර්ගය තුළ පළමු පියවර වශයෙන් සීලය හඳුන්වා දී ඇත්තේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන පුද්ගලයා සන්සුන් කරවන නිසාය. මනස සන්සුන් වීමට තිදොර සංවරය ඉතා වැදගත්ය.
තමන් රකින පන්සිල් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම දෙකක් ද බුදුදහම තුළ දැක්වේ. ඉන් එකක් නම් සිල් බිඳීමෙහි දොස් දැකීමයි. සිල් බිඳුණු විට ලෝකයාගෙනුත් ධර්මයෙනුත් පමණක් නොව තම හදවතෙනුත් තමන්ට නැගෙන අපවාද ගැන සිහි කොට සිල් ආරක්ෂා කොට ගැනීම පළමුවැන්නයි. දෙවැන්න නම් සිල් රැකීමේ ආනිසංශ දැක සිල් රක්ෂා කිරීමයි.
සිල්වත් පුද්ගලයා මෙලොවදීම ඊට විපාක වශයෙන් දෙව් මිනිසුන්ගෙන් බුහුමන් ලබයි. සීලය මගින් තිදොර සංවර කරගත් පුද්ගලයාට ඊළඟට සිත සමාධිගත කර ගැනීම පහසුය.
සසර අවුල ලිහාදමන්නා එළඹෙන දෙවන පියවර සමාධියයි. චිත්තං භාවයං යනුවෙන් ගාථාව තුළ දැක්වූයේ එයයි. තුන්දොර සංවර කරගත් පුද්ගලයා අනතුරුව සමාධිය වඩයි. කුසල සිත්හි එකඟතාවය සමාධියයි. එනම් සිත තුළ ඇති චෛතසික එක් අරමුණක පවත්වා ගැනීමයි. සමාධිගත වූ සිත විසිර නොයයි. සිත සමාධි ගත කිරීම අසීරු කටයුත්තකි.
දියෙන් ගොඩගත් මසෙකු සේ නිතර සැලෙන සිත එක් අරමුණක තබා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන් සිත දමනය කර ගැනීම සඳහා එක් අරමුණකට ගැනීම වඩාත් අසීරුය. උදාහරණයක් ලෙස නෙත් සිත් පිනවන දසුනක් නරඹන විට එකම ඉරියව්වකින් එක් මනසකින් එය නැරඹීමට අපහසු නැත. එහෙත් කුශල අරමුණක සිත යෙදවීම තත්පර කීපයකට පවා අසීරු වෙයි.
සමාධිය පිණිස බුදුදහම විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. කසිණ නම් වූ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන වස්තුන් මුල් කරගත් භාවනා ක‍්‍රමය, මළසිරුරක් මුල් කරගත් අසුභ භාවනාව, අනුස්සති භාවනාව ආදිය උදාහරණ වේ.
මෙහි දක්නට ඇති විශේෂත්වය නම් විවිධ අරමුණුවලට ඇස හුරු කොට ඒ තුළින් සිත සමාධිගත කිරීමයි. මෙම භාවනා රූපවචර භාවනා නම් වේ. ඉන් ලබන ධ්‍යාන නම් වේ. අනතුරුව ඔහුට අරූපාවචර ධ්‍යාන වැඩිය හැකිය. එහි විශේෂත්වය වන්නේ කිසිදු රූපයක් අරමුණු නොකිරීමයි. එසේ අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචරධ්‍යාන හතරක් ලබාගත හැකිය.
සමාධි භාවනාව තුළින් බලාපොරොත්තු වන ඒකායන අරමුණ නම් සිත සමාධිගත කිරීමයි. නමුත් මෙයින් විවිධ ඥාන මට්ටම වලට පත්විය හැකිය. ඒ සමෘද්ධි ප‍්‍රාතිහාර්ය කළ හැකි සෘද්ධිවිධ ඥානය, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත ආදී ඥානයන්ය. බුදුරදුන් ධරමාන අවදියේ ඇතැම් අන්‍යාගමිකයෝ පවා සිත සමාධිගත කිරීම මගින් ඉහත කී ධ්‍යාන මට්ටම්වලට පැමිණ සිටියහ. ඔවුන් ඒවා ඛ්ැඳින්වූයේ නිවන ලෙසය. තවත් විමුක්තියක් පිළිබඳව විශ්වාසයක් නොතිබීය.
එහෙත් එම ධ්‍යානයන්හි ස්වභාවය වන්නේ කාමය රාගය ආදී සිතුවිලි පහළ වූ විට ධ්‍යාන ශක්තීන් නැති වී යාමයි. මෙම අස්ථාවභාවය බුදුරදුන් පෙන්වා දුන්හ. එම සමාධි වැඩිම මගින් සිත එක් අරමුණකට පත්වීම පමණක් නොව ඇතැම් කෙළෙස්වල බලය හීනවීමද සිදුවේ. සිත සමාධිගත කිරීමේ වැදගත්කම වන්නේ එය ප‍්‍රඥාව වැඩීමට මග පෑදීමයි.
බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.
උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.
විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.
එමෙන්ම එය හිටිවනම අවබෝධ කර ගැනීමද කළ නොහැක. ඒ සඳහා පූව¢කෘත කුසල බලයක්ද කෙළෙස් තැවීමේ වීර්යයක්ද සසර දුක අවබෝධවීමේ නුවණක්ද අවශ්‍යය. සත්වයා සසරට බැඳ තබන අවුලෙන් අවුලට පත්කරන මේ තෘෂ්ණාජාලය බිඳ දැමිය හැක්කේ කවරෙකුටද යන්න එදා දේවතාවා ඇසූ ප‍්‍රශ්නයට බුදුරදුන් දුන් පිළිතුර ඉතා සැකෙවින් මෙසේ විස්තර විය.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් අවුල් විසඳීමට උත්සාහ කරති. නමුත් ඒ සත්ත්වයා සසරට බැඳ තබන අවුල් නොව එදිනෙදා ජීවිතයේ ඇති අවුල්ය. මෙලොව ජීවතයත් සංසාර ගමනත් අවුල් ජාලාවක් බවට පත් කරන්නේ ආශාවන් පසුපස ලුහුබඳුන අපේ සිත බව අප සිහිතබා ගත යුතුය. එය හික්මවා ගන්නා පුද්ගලයා මෙලොම අවුල්ද සසර බැඳුම්ද සිඳ දමා සියලු අවුල් ලිහා සසර ගමන කෙළවර කරන්නේය.
කැළණිය විශ්ව විද්‍යාලයේ 
ගෞරව උපාධි අපේක්ෂක, උණලීයේ සිරිනන්ද හිමි