ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

මරණ සතියෙන් උතුම් නිවනට


අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සූත්‍ර දේශනාවක්‌ තමයි "අරක" සූත්‍රය. (භූතපුබ්බං භික්‌ඛවේ) "මහණෙනි පෙර සිදුවීමක්‌ මම නුඹලාට කියලා දෙනවා" යනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ එය ආරම්භ කරන්නේ. බොහෝ දීර්ඝ කලකට පෙර ගෝලයින් සිය ගණනක්‌ සිටි (අරකො නාම සත්ථා අහොසි) 'අරක' නම් ශාස්‌තෲවරයෙක්‌ හිටියා. මහණෙනි මේ ශාස්‌තෲවරයා තම ගෝලයන්ට නිතර නිතර මේ විදියට අනුශාසනා කළා. 'බ්‍රාහ්මණයෙනි මනුෂ්‍යයන්ගේ ජීවිතය (අප්පකං) ස්‌වල්පය. (පරිත්තං ලහුකං) පරිත්තය, ඉතා ලඝූය. කෙටිය. (බහු දුක්‌ඛං බොද්ධබ්බං) බොහෝ දුක්‌ උපායාස ඇත. (මන්තාය බෞද්ධ බබං) ප්‍රඥවෙන් ඒ බව දැනගෙන (කත්තබ්බං කුසලං) කුසල් කරන්න. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. (නත්ථි ජාතස්‌ස අමරණං) උපන්කෙනාට අමරණීයත්වයක්‌ නැත· යනුවෙන්.

මේ විදියට ජීවිතය, අල්පයි, කෙටියි යනුවෙන් නිතර නිතර පවසමින් තම ගෝලයන් බ්‍රහ්මචරියාව කෙරෙහි උනන්දු කරවූ අරක ශාස්‌තෲවරයා ජීවිතයේ කෙටි බව වඩාත් දැනෙන ලෙස ගෝලයන්ට හැඟවීම සඳහා උපමා හතක්‌ යොදාගත් බවද බුදුරජාණන් වහන්සේ වදාළහ. එනම් 'බ්‍රාහ්මණයෙනි (තිණග්ගෙ උස්‌සාව බින්දු) තණ අග තියෙන පිනිබිඳ යම්සේ හිරු උදාවෙත්ම (චිප්පමෙව) වහා විනාශ වන්නේය. චිරස්‌ථායී නොවන්නේය. (උස්‌සාවබින්දූපමං ජීවිතං) එසේ තණ අග පිනිබිඳ සේ මිනිසුන්ගේ ජීවිතයද අල්පය. කෙටිය. බොහෝ දුක්‌ උපායාසයෙන් යුතුය. මේ බව ප්‍රඥවෙන් දැනගෙන කුසල් කළ යුතුය. බඹසර හැසිරිය යුතුය. උපන්නහුට අමරණයක්‌ නැත. බ්‍රාහ්මණයෙනි වැසි වස්‌නා කල්හි (උදක බුබ්බුලං) දිය බුබුළු හටගෙන වහා විනාශ වන්නේද මිනිසුන්ගේ ජීවිතයද එසේ අල්පය. කෙටිය. වහා විනාශ වන්නේය. තුන් වැනියට පවසනවා, දණ්‌ඩක්‌ ගෙන දියෙහි ඉරක්‌ ඇන්ද විට වහාම ඉර නොපෙනී යන්නේද චිරස්‌ථායි නොවන්නේද, එසේ (උදකෙ දණ්‌ඩ රාජූපමං ජීවිතං) දියෙහි ඇඳි ඉරක්‌ වගේ සීග්‍රයෙන් ජීවිතයත් කෙළවර වෙනවා. ඊළඟට කියනවා පර්වතයකින් ගලා බසින නදිය ක්‍ෂණයක්‌ ලයක්‌ මොහොතක්‌ නොනැවතී ගලන්නේ යම්සේද. (නදී පබ්බ තෙය්‍යුපමං ජීවිතං) ඒ නදිය මෙන් මනුෂ්‍ය ජීවිතයත් ක්‍ෂණයක්‌ ලයක්‌ නොනැවතී මරණය කරා ගමන් කරන්නේය. පස්‌ වැනියට කියනවා (බලවා පුරිසො) බලවත් පුරුෂයෙක්‌ දිව අගට කෙළ පිඬක්‌ ගෙන එය වහා බැහැරට දමන්නා සේ (චෙලපිණ්‌ඬුපමං ජීවිතං) මනුෂ්‍ය ජීවිතයත් ඒ බැහැරට හෙළන කෙළ පිඬු වගේ අල්පයි. කෙටියි කියලා. ඊළඟට කියනවා දවසක්‌ තිස්‌සේ රත් වෙච්ච යකඩ කබලකට මස්‌ කැබැල්ලක්‌ දැම්මොත් ඒක වහා දැවී නොපෙනී යන්නා වගේ ජීවිතයත් වහා විනාශ වී යන බව. අර ශෘස්‌තෲවරයා හත්වැනියට ගත්ත උපමාව තමයි වධයට ගෙනයන දෙනක්‌ පාදයක්‌ ඔසවන ගානේ මරණයටම ළං වෙන්නා සේ මනුෂ්‍ය ජීවිතයත් මොහොතින් මොහොත මරණයට ළං වෙනවාය කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මේ ලෙසින් උපමා කිය කිය එදා අර ශාස්‌තෘවරයා තම ගෝලයන් කුසලයට උනන්දු කළ බව.

ඊළඟට දේශනා කරනවා 'මහණෙනි' අරක ශාස්‌තෲවරයා අර විදියට තම ගෝලයන් බ්‍රහ්මචරියාවට යොමු කළ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු හැට දහසක්‌ බව. (සට්‌ඨිවස්‌ස සහස්‌සානි ආයුප්පමාණං අහොසි) ඒ කාලේ ආයුෂය වසර හැට දහසක්‌ලු. ඒ කාලේ ගැහැනු ළමයෙක්‌ පතිකුලයට ගියේ අවුරුදු පන්සීයෙදී කීවා. 'මහණෙනි ඒ සමයෙහි මිනිසුන්ට ආබාධයෝ සයක්‌ පමණක්‌ම ඇතිවූහ. මිනිසුන්ට හැදුණේ ලෙඩ හයයි බව පැවසුවා. (සීතං, උණ්‌හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරො, පස්‌සාවො) ශීතල, උණ්‌ෂ, කුසගින්න, පිපාසය හා මළ මුත්‍රා බැහැර කිරීමයි. ඒ ලෙඩ හය. අර ශාස්‌තෘවරයා හැට දහසක්‌ අවුරුදු ආයුෂ තිබ්බ ලෙඩ හයක්‌ විතරක්‌ තිබ්බ කාලෙක තමයි ජීවිතය කෙටියි, කුසල් කරන්න යනුවෙන් තම ගෝලයන් උනන්දු කළේ. 

උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි, එකල වගේ නොවෙයි මෙකල මිනිසුන්ගේ ජීවිතය (අප්පකං ලහුකං) අල්පයි, ලඝූයි, කෙටියි කීවා. එකලට වඩා මෙකල (බහු දුක්‌ඛං) දුක්‌ උපායාස බහුලයි කීවා. ප්‍රඥවෙන් මේ බව දැන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න යෑයි පැවසූහ. (නත්ථි ජාතස්‌ස අමරණන්ති) ඉපදුණා නම් නොමැරී සිටිය නොහැකි බව වදාළා. මහණෙනි මේ කාලේ යමක්‌ (චිරං ජීවති) බොහෝ කලක්‌ ජීවත් වෙනවාය යනු නැත්නම් මිනිසුන්ගේ පරමායුෂය (වස්‌සසතං අප්පං වා භීය්‍යොවා) අවුරුදු සීයක්‌ හෝ ඕනනම් ඊට ටිකක්‌ වැඩිවෙයි. නැත්නම් ඊට ටිකක්‌ අඩු යෑයි පැවසුවා. ඉන් පස්‌සේ ජීවිතය කෙළවර වෙනවාමයි. එම බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මීට අවුරුදු දෙදහස්‌ හයසීයකට විතර කලින්. ඒ කාලයේ තිබ්බ ආයුෂ ප්‍රමාණය තමයි ඔය අවුරුදු සීයක්‌ කියලා වදාළේ. අද වෙනකොට ඒක අවුරුදු හැට හැත්තෑවට බැහැලා. අද තිබෙන ලෙඩ රෝග ප්‍රමාණය, වසංගත රෝග ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්. දවසින් දවස අලුත් අලුත් රෝග. ඒ අතරිනුත් බොහෝ ඒවා හඳුනා නොගත් රෝග. අද කොච්චර අනතුරු සිදු වෙනවද? යුද කෝලාහල, විවිධ සාමාජීය අර්බුද මේවායිනුත් කීදෙනෙක්‌ මරණයට පත් වෙනවාද? හිතල බලන්න එහෙනම් අපි ඉන්නේ කොයිතරම් අවිනිශ්චිත තැනකද කියලා. එහෙම හිතලා කුමක්‌ද කළ යුත්තේ? ලැබී තිබෙන කෙටි කාලය ප්‍රයෝජනයට ගෙන (කත්තබ්බං කුසලං) කුසල් කිරීමයි. (චරිතබ්බං බ්‍රහ්මචරියං) බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි අවුරුදු සීයක්‌ ජීවත් වෙන කෙනෙක්‌ අවුරුද්දට සෘතු තුන ගානේ ගත්තොත් ජීවත් වෙන්නේ සෘතු තුන්සීයක්‌ බව. අවුරුදු සීයක්‌ ජීවත්වන අයකු මාස වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ මාස එක්‌ දහස්‌ දෙසීයයි. අර්ධ මාස දෙදහස්‌ හාරසීයයි. වසර සීයක්‌ ජීවත් වන අයෙක්‌ රාත්‍රි වශයෙන් ගත්තොත් ජීවත් වන්නේ රාත්‍රි තිස්‌ හය දාහයි. දවසකට බත් වේල් දෙක ගානේ ගත්තොත් අවුරුදු සීයක්‌ ජීවත් වන කෙනෙක්‌ (ද්වෙ සත්තකිං එවං භත්ත සහස්‌සානි භුඤ්ඡති) බත් වේල් හැත්තෑ දෙදහක්‌ ගන්නවා. ඒ බත්වේල් හැත්තෑ දෙදහෙන් අඩු කරන්න, මවුකිරි බිව්ව කාලෙට වේල් ගණනක්‌. ඒ වගේම මෙතනදී දක්‌වනවා කෙනකුට බත්වේල් වරදින අවස්‌ථා පහක්‌ ගැන. එයින් එකක්‌ තමයි කෝපය. කෝප වුණාම ඔන්න කෑම කන්නේ නැතිව නිදියනවා. ලොකු දුකක්‌ ඇති වුණාම, දරුණු ලෙඩක්‌ හැදුණාමත් කන්නේ නැහැ. සිල් ගත්තාම, අලාභයක්‌ වුණාම බත් කන්නේ නැහැ. දැන් බත් වේල් හැත්තෑ දෙදාහෙන් මේ බත්වේල් වැරදුණු අවස්‌ථා අඩු කරන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදියට බුදුරජාණන් වහන්සේ අවුරුදු සීයක්‌ ජීවත් වන අයකු සම්බන්ධයෙන් තමයි, මේ විස්‌තරය කරන්නේ. මේ සංඛ්‍යා ලේඛනය අද පවතින ආයුෂ ප්‍රමාණයට සම්බන්ධ කර බැලුවොත් පෙනෙයි, අපි ජීවත් වන්නේ මාස, අර්ධ මාස කීයද? රාත්‍රින් කීයද? කන්නේ ආහාර වේල් කීයද? දැන් එයින් කොච්චරක්‌ ඉවරද? තව ඉතිරි වෙලා තියෙන්නේ කීයද? කියලා. නුවණැති ඔබ ඒ ටික කාලය කළ යුත්තේ කුසල් කිරීමයි. බ්‍රහ්මචරියාවේ හැසිරීමයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'මහණෙනි මම නුඹලාට අවුරුදු සීයක්‌ ආයු ඇති මනුෂ්‍යයකු ගත කරන සෘතු ගණන කීවා. මාස, අර්ධ මාස රාත්‍රීන් ගණන පැවසුවා. බත්වේල් ගණන, බත් වරදින අවස්‌ථා පහ පැවසුවා. (සාවකානං හිතෙසිනා අනුකම්පකෙන) ශ්‍රාවකයන්ට හිතෛෂී භාවයෙන් අනුකම්පාවෙන් යුතු ශාස්‌තෲවරයකු වශයෙන් නුඹලාට යම් අනුශාසනාවක්‌ කළ යුතුද, නුඹලා වෙනුවෙන් මා එය කර තියෙනවා. (රුක්‌ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි) ගස්‌ මුල සෙනසුන් තිබෙනවා. (ක්‌ධායථ භික්‌ඛවේ) සමථ විදර්ශනා භාවනා කරන්න. ධ්‍යාන වඩන්න (මා පමාදත්ථ) ප්‍රමාද වෙන්න එපා. (මා පච්ඡා විප්පටි සාරිනො) පස්‌සේ විපිළිසර වෙන්න දුක්‌ වෙන්න එපා. (අයං වො අම්හාකං අනුසාසන්තී) මේ තොපට අපගේ අනුශාසනය වන්නේය.

මනුෂ්‍ය ජීවිතයේ ඇති අල්ප බව කෙටි බව, කරදරකාරී බව නුවණින් දැන ලද ක්‍ෂණ සම්පත්තිය තුළ කුසල් කරමින් බ්‍රහ්මචරියාවේ හැසිරී වහ වහා සසර දුකින් මිදීම සඳහා ඔබ සැමට මෙම දහම් කරුණු උපකාරයක්‌ම වේවා.

ආර්. තිලකධර්ම හිමි,
සිරි/නිකේතාරාමය, හලාදිවෙල, පිළිමතලාව