ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක හදන - සැප නසන උපක්‌ලේශ දුරු කරමු


අපේ හිත පීඩාවට පත්කරන, අපිට තෝර බේරගන්න අසීරු අකුසලයන් බොහෝමයක්‌ අපේ සිත්වල පවතිනව. ඒ අකුසලයන් තෝර බේරගෙන ඒ ඒ අවස්‌ථාවන්වල ඒ අකුසලයන් බැහැර කරගන්ට අපට බැරිවුණොත් අපේ මේ ජීවිතය නීරස දෙයක්‌ බවට පත්වෙලා යනවා. ඒ වගේ ම තමයි ඒ අකුසලයන් හඳුනාගෙන බැහැර කරන්න අපට බැරි වුණොත්, අපේ සිත සම්පූර්ණයෙන් ම කෙලෙසී නැහැ. වත පිරිසිදු කරගන්න බැරිවෙන මට්‌ටම දක්‌වා ම සිත අපිරිසිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒ අකුසල් හඳුනාගන්න මහන්සිවෙන්න නැහැ. ඒ වගේ ම මේ හිත කෙලෙසන ඒ අකුසල් දුරුකරන්න මහන්සිවෙන්නේ.

මේ සඳහා අපට උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අකුසල් පිළිබඳව අපට කියාදුන් ධර්මයයි. ඒ ස්‌වක්‌ඛාත වූ ධර්මයෙන් බැහැර දෙයකින් අපට හිත කෙලෙසන අකුසල් ගැන, ඒවායේ ස්‌වභාවය ගැන, ඒ අකුසල් දුරුකරන ආකාර ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ධර්මය ඉගෙන ගෙන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ආකාරයට ම කටයුතු කරන්නෙ. ඒ විදිහට අපි කටයුතු කරද්දී මේ සිත ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු දෙයක්‌ බවට පත්කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෙස අපිව පීඩාවට පත්කරන, අපිට දුක්‌ උපද්දා දෙන දෙයක්‌ තමයි 'උපක්‌ලේශ' කියන්නේ. ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්න යැමෙන් හටගන්නා පාපී අකුසල්වලටයි 'උපක්‌ලේශ' කියන්නේ මඡ්ජිම නිකායේ 'අනංගණ සූත්‍රයේ' දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපක්‌ලේශ පිළිබඳව අපට පෙන්වා දුන්නා.

ඒ සූත්‍රයේ මේ ලෙසින් පෙන්වා දෙනවා, 'මා හට අසන්න ලැබුණේ මේ ලෙසටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ඡේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ 'ප්‍රිය ආයුෂ්මත් මහණෙනි' කියල භික්‌ෂු සංඝයා ඇමතුවා. 'ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස්‌ කියල ඒ භික්‌ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදීයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වර්ළේ. ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෙසින් පෙන්වා දෙනවා. 

'ප්‍රිය ආයුෂ්මත්වරුනි, මේ ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක්‌ දකින්නට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා? එක්‌තරා පුද්ගලයෙක්‌ ඉන්නවා. මේ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා නමුත් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නේ නැහැ. තව පුද්ගලයෙක්‌ ඉන්නවා ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ තිබෙනවා, ඒ වගේ ම ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නවා. තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලය තුළ උපක්‌ලේශ නැහැ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැහැ. මේ ලෝකයේ තවත් පුද්ගලයෙක්‌ ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්‌ලේශ නැහැ. ඒ වගේ ම තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම දන්නවා. 'ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුද්ගලයන් හතර දෙනාගෙන් දුර්වල පුද්ගලයන් වන්නේ කවුද යන්නත්, උසස්‌ පුද්ගලයන් වන්නේ කවුද යන්නත් අපට කියා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, 'යම් පුද්ගලයෙක්‌ තමා තුළ උපක්‌ලේශ තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන් ම දන්නේ නැත්නම් උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනා අතරින් අන්න ඒ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයන්ගේ ගණයටයි' කියල. ඒ වගේ ම යම් පුද්ගලයෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී ඒ පුද්ගලයා අවබෝධයෙන් ම දන්නවා නම් තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව, ඒ උපක්‌ලේශ තිබෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි එයා වැටෙන්නේ. 

ඒ වගේ ම උපක්‌ලේශ නැති පුද්ගලයින් දෙන්නෙක්‌ ඉන්නවා. ඒ දෙදෙනාගෙන් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී උපක්‌ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන් ම දන්නේ නැති කෙනා වැටෙන්නේ දුර්වල උදවියගෙ ගණයටයි. නමුත් උපක්‌ලේශ තමන් තුළ නැතිව තිබෙද්දී තමන් තුළ උපක්‌ලේශ නැහැ යෑයි අවබෝධයෙන් ම දන්න කෙනා වැටෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි වැටෙන්නේ. එහෙම නම් තේරුම් ගන්න යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී 'තමන් තුළ උපක්‌ලේශ තිබෙනවා' කියල දන්නේ නැත්නම්, ඊළඟට යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැතිව තිබෙද්දී, 'තමන් තුළ උපක්‌ලේශ නැහැ' කියල දන්නේ නැත්නම් ඒ දෙදෙනා ම දුර්වල අය ලෙසටයි ධර්මයේ පෙන්වා දෙන්නේ. නමුත් යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ තිබෙද්දී එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ තිබෙන' බව ඒ වගේ ම යම් කෙනෙක්‌ තුළ උපක්‌ලේශ නැති විට, එයා දන්නවා නම් 'උපක්‌ලේශ තමා තුළ නැහැ' කියල එවිට ඒ දෙදෙනා දුර්වල නැහැ. ඒ අය අයිති වෙන්නේ උසස්‌ පුද්ගලයන්ගේ ගණයටයි. 

ඒ ආකාරයට උපක්‌ලේශ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙද්දි එතන මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසා සිටිනවා 'ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය උපක්‌ලේශ සහිත පුද්ගලයන් දෙදෙනා අතරින් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද? ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස ඔය උපක්‌ලේශ නැති පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌ වඩාත් දුර්වල කෙනෙක්‌ කියලත්, අනිත් කෙනා වඩාත් උසස්‌ ය කියලත් කියන්න හේතුව මොකක්‌ද? කාරණය මොකක්‌ද?' යෑයි අසා සිටියා.

ඊටපස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්‌තර කරනවා, 'ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්‌ලේශ තිබෙද්දී, තමන් තුළ උපක්‌ලේශ තිබෙන' බව අවබෝධයක්‌ නැති පුද්ගලයෙක්‌ ගැන මා පැවැසුවා. ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමැති විය යුත්තේ. 'ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌ වෙන්නෙ නැහැ' කියල එයා තුළ හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරිය ඇතිවෙන්නෙත් නැහැ. අන්තිමේදී ඒ තැනැත්තාට මැරෙන්න සිද්ධවෙන්නේ රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි, මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි. කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි' කියල.

එවිට කිළිටි වුණු සිතක්‌ එක්‌ක මැරුණොත් මොකද වෙන්නේ එයාට? සතර අපායෙන් එයා නිදහස්‌ නැහැ. සුගතිගාමී ද? ඒත් නැහැ. ඒ ආකාරයෙන් කිළිටි වුණු සිතක්‌ එක්‌ක ක්‍රියා කරන්න වෙන්නෙ කාටද? උපක්‌ලේශ තිබෙනවා, උපක්‌ලේශ තිබෙනවා කියල එයා දන්නෙ නැහැ. එයාටයි එහෙම වෙන්නෙ. එවිට උපක්‌ලේශ තිබෙනවා බව දන්නේ නැති කෙනාට මොකද වෙන්නෙ? ඒ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන්න නැහැ කියල කැමැත්තක්‌ එයාට ඇතිවෙන්නේ නැහැ. එවිට කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැතිs නිසා ඒ උපක්‌ලේශ දුරු කරගන්න උත්සාහයක්‌ ගන්නේ නැහැ. උත්සාහයක්‌ ගන්නේ නැති නිසා වීරිය ඉපදෙන්නේ නැහැහැ. වීරිය ඉපදෙන්නෙ නැත්නම්, වීරිය කරන්නේ නැත්නම් එයාට උපක්‌ලේශවලින් නිදහස්‌ වෙන්න බැහැ. එවිට එයාට උපක්‌ලේශ සහිතව ම තමයි ක්‍රියා කරන්න සිද්ද වෙන්නේ. රාග, ද්වේෂ, මෝහ සහිතව ම උපක්‌ලේශ සහිතව ම කළිටි සහිත සිතකින් ම තමයි එයාට මැරෙන්න වෙන්නෙ.

ඊට පස්‌සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණය අපිට උපමාවකින් පෙන්වා දෙනවා. 'ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්‌. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක්‌ ගේනවා කියල හිතමු. හැබැයි ඒ තඹ භාජනය දූවිලි බැඳිච්ච මළකඩ හැදුණු එකක්‌. ඉතින් ඒ අයිතිකාර උදවිය ඒ භාජනය පාවිච්චි කරන්නේ නැත්නම්, පිරිසිදු කරන්නේ නැත්නම්, දූවිලි තිබෙන තැනක විසිකර තිබෙනවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, ඒ තඹ භාජනය කලක්‌ යද්දී තවත් කිළිටි වී මළකඩ බැඳෙනව නේද? 'ඒ විදිහමයි උපක්‌ලේශ තිබෙන පුද්ගලය තමන් තුළ උපක්‌ලේශ තිබෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් ඒ පුද්ගලයා මෙන්න මේකයි කැමති විය යුත්තේ, ඒ පුද්ගලයාට තමන්ගේ උපක්‌ලේශවලින් නිදහස්‌වෙන් නැහැ, කැමැත්තක්‌ ඇතිවෙන්නේ නැහැහැ. උත්සාහයක්‌ ඇතිවෙන්නේ නැහැ. වීරීයක්‌ පටන්ගන්නේ නැහැ. අන්තිමේදී උන්නැහෙට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයක්‌ එක්‌කමයි ද්වේෂයත් එක්‌කමයි උපක්‌ලේශත් එක්‌කමයි. කිලිටි වෙච්ච සිතත් එක්‌කමයි' කියල සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නා.

නමුත් උපක්‌ලේශ තිබෙද්දී උපක්‌ලේශ තිබෙන බව දන්නවා නම් එයාට මොකක්‌ද වෙන්න? ඒ උපක්‌ලේශයන්ගෙන් නිදහස්‌වෙන්න එයාට කැමැත්තක්‌ ඇති වෙනවා, උත්සාහයක්‌ ඇති වෙනවා, වීරිය පටන් ගන්නවා. ඒ තැනැත්තාට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව උපක්‌ලේශවලින් තොරව කිළිටි සිතින් තොරව මරණයට පත් වෙන්න අවස්‌ථාව ලැබෙනවා. එවිට උපක්‌ලේශ තිබෙන එකද දෝසෙ? නැහැ. මොකක්‌ද දොaසය? උපක්‌ලේශ තිබෙන බව නොදන්නාකමයි. අපි උපක්‌ලේශ තිබෙන අය ගැන මේ පැවැසුවේ. උපක්‌ලේශ නැති පුද්ගලයෝ දෙන්නෙක්‌ ඉන්නවා. 

එක්‌කෙනෙක්‌ උපක්‌ලේශ නැති බව දන්නේ නැහැ. එයාට වෙන්නේ මෙන්න මේකයි. ඒ පුද්ගලය උපක්‌ලේශ නැතිව සිටියත් තමන් තුළ උපක්‌ලේශ නැති බව අවබෝධයෙන් ම නොදන්න නිසා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙනවා. සුභ වශයෙන් අරමුණු සිහිකරන්න පුරුදුවෙච්ච නිසා රාගය විසින් ඔහුගේ සිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ පුද්ගලයාට රාගයත් එක්‌කමයි, ද්වේෂයත් එක්‌කමයි,මෝහයත් එක්‌කමයි, උපක්‌ලේශත් එක්‌කමයි කිළිටි වෙච්ච සිතක්‌ එක්‌කමයි මැරෙන්න සිද්ධවෙන්නෙ.

උපක්‌ලේශ නැති බව දන්නේ නැත්නම් එයාටත් සිද්ධවෙන්නෙ කිළිටි සහිත සිතක්‌ එක්‌ක මැරෙන්න. ඇයි එහෙම සිද්ධවෙන්නෙ? එයා අරමුණු සුභ විදිහට පිළිඅරගෙන, ඒව සුභ විදිහට සිහිකරනවා. එතකොට රාගය ඇතිවෙනවා. ඇහැට දකින ප්‍රිය රූප, කණට ඇහෙන ප්‍රිය ශබ්ද මේ ආදී ප්‍රිය දේවල නිමිති, අරමුණු එයා මතක තියාගෙන ආස්‌වාදයෙන් ඒවා සිහිකර කර ඉන්න පටන්ගන්නවා. එවිට රාගය ඉපදෙනවා. ඒ රාගයෙන් සිත යටවෙලා සිත කෙළෙසෙන්න පටන්ගන්නවා ඒ නිසා එයාට රාග ද්වේෂ මෝහ වලින් නිදහස්‌වෙන්න පුළුවන් කමක්‌ ලැබෙන්නේ නැහැ. නමුත් උපක්‌ලේශ නැති බව අවබෝධයෙන්ම දන්න කෙනා අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදුවෙන්නේ නැහැ. අරමුණු සුභ වශයෙන් සිහිකරන්න පුරුදු නොවන නිසා එයාගේ සිතේ රාගය ඇතිවෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ දුරුකරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසයි එයාට උපක්‌ලේශ නැතිව පිරිසිදු සිතින් මරණයට පත්වෙන්ට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා උපක්‌ලේශ නැතිව වාසය කරන්න කැමති වෙන්නෙ. ඒ සඳහා මේ ධර්මය හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ජීවිතයට ගළපා බලමින් වාසය කරන්න පුරුදු වෙන්න. එවිට ඉතාම ප්‍රියශීලී ජීවිතයක්‌ උපදවගන්ට පුළුවන්කම ලැබේවි.

සිය දෙනාට ම තෙරුවන් සරණයි...!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්‌වාමීන් වහන්සේ