ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බලවත් අකුසල කර්ම විපාකයක් දුබල කරන්නට පුළුවන්ද?

 කර්ම යනු ක්‍රියාවයි. කර්ම යනු පව් පින් දෙකටම සාධාරණ නමකි. ‘කුක්කුරවත’ නමින් මජ්ක්‍ධිම නිකායේ එන එක් සූත්‍රයක් ඇත. එහි පුණ්ණ හා සේනිය නම් වූ මිතුරන් දෙදෙනෙක් වෙති. දිගු කාලයක සිට ඔවුහු ගෝව්‍රත හා සුනඛ ව්‍රත රකින නිගණ්ඨනාථ ශ්‍රාවක දෙපළකි. දිනක් මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ.


උන්වහන්සේට තමන් හඳුන්වා දී, ඔවුන්ගේ මතු භවය කෙසේ වන්නේ දැයි විමසූහ. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් එය කියන ලෙස ඔවුහු නැවත නැවත ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ.

“පුණ්ණ, යම් පුද්ගලයෙක් මෙලොව සුනඛවත්, සුනඛසිල්, සුනඛසිත්, සුනඛ වෙස් අඩු නොකොට, නිරතුරුව වඩන්නේ ද? හේ මරණින් මතු සුනඛයන්ගේ ම සහාවයට පැමිණෙයි. යම් කෙනෙක් මෙම ව්‍රත ශීලයක්, ව්‍රතයක්, තපසක් බඹසරක් වශයෙන් ඉතා දිගු කලක් රැක ගත් හෙයින් තමන්ගේ මරණින් මතු දෙවියන් හෝ බ්‍රාහ්මණයන් හෝ අතර සහවාසයට යන්නේ යැයි සිතයි නම් පුණ්ණ එය මිථ්‍යා දෘෂ්ඨියකි.

පුණ්ණ මම මිථ්‍යාදෘෂ්ඨිකයාහට මරණින් මතු ගති දෙකක් කියමි. එනම්, නරකය හෝ තිරිසන් යෝනියයි. මේ දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් හිමි වේ.

මෙසේ වැරැදි දෘෂ්ඨී ගෙන රකින සුනඛවත ඇත්තේ සුනඛයන්ගේ ස්වභාවයටම යයි. ගවයකු මෙන් හැසිරීමේ වත (ගෝව්‍රත) ගත්තෝ ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ කල දෙදෙනාම හැඬූහ.

මේ ගෝව්‍රතය, කුක්කුරව්‍රතය අපි බොහෝ කල් සිට රකිමු. මම (පුණ්ණ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. මමත්, සේනියත් මේ ව්‍රත හැර දමන්නෙමු. අපට ගැළපෙන දහමක් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හයි කීහ. ඒ අවස්ථාව මුල් කොට මේ කර්ම දේශනාව තථාගතයන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළහ.

පුණ්ණ, මා විසින් මගේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ ලෙස දැනගෙන ඇති සතර කර්ම කෙනෙක් වෙති.

එනම්, අකුසල් වූ අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් දුක් සහිත වූ කයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ වචනයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ සිතෙන් කරන අකුසල් රැස් කරයි ද? ඔහු දුක් සහිත ලෝකයට එළඹෙයි. එහි ඇත්තා වූ දුක් සහිත ස්පර්ශ ලබමින් දුක් වේදනා විඳියි. අකුසල් කරන්නෝ නිරයේ ම උපදිති. මේ නිසා සත්වයා කර්මය දායාද කොට ඇතැයි කියමි.

කුසල් වූ, කුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් නිදුක් වූ කාය සංස්කාර රැස් කරයි. නිදුක් වූ වචී සංස්කාර රැස් කරයි. නිදුක් වූ මනක්සංස්කාර රැස්කරයි. එහෙයින් ම ඔහු නිදුක් ලොවට එළඹෙයි. මෙසේ හෙයින් සත්ත්වයා කර්ම දායාද කොට ඇතැයි කියමි.

කුසල් අකුසල් වූ කුසල් අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව කෙනෙක් දුක් සහිත වූ අකුසල් ද, සැප සහිත වූ කුසල් ද මිශ්‍රව කයින් ද, වචනයෙන් ද, මනසින් ද සිදු කරයි. ඔහු දුක් සහිතවූත්, සැප සහිත වූත් මිශ්‍ර විපාක දෙන ලෝකයට එළඹෙයි. එහි වූ ඒ ඒ ස්පර්ශයෝ සහිත වේදනා විඳී. ඒ මිනිසුන් සෙයින් ය. එසේම ඇතැම් දෙවියන් සෙයින් ය. ඇතැම් විනිපාතිකයින් සෙයින් ය. සමහර මිනිසුන් එකම ජීවිතය තුළ, දුක් විඳී. සැප ද ලබයි. දෙවියන් අතර පිනෙන් උපත ලද මූත් භූමාටු දෙවියන් සේ දුක් ද විඳී. විනිපාතකයන් අතර පේතවස්තු කතාවල දක්නට ලැබෙන ලෙස ප්‍රේත ලොව උපත ලද මුත් කලින් කළ පුණ්‍ය විපාක ලෙස විමාන ප්‍රේතයන් ව සැප ද ලබයි. කරන ලද පව් අනුව තිරිසන් ලොව උපත ලැබුව ද මංගල හස්තියකු සේ, මංගල අසකු සේ, අජානීය ගවයකු සේ සැප ද ලබයි.

අකුසල් ද නොවූ, කුසල් ද නොවූ අකුසල් කුසල් නොවූ විපාක ද ඇති කර්මය ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් ඇත. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද, ඒ කර්මය කර්මක්ෂය පිණිස පවතියි.

යම් කෙනෙක් රහත් ඵලය පිණිස දස සංයෝජන නසන්නේ ක්‍රියා සිත් පමණක් ඇත්තේ ද, ඔහු කර්මක්ෂය පුද්ගලයා වන්නේ ය. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද ඒ කර්මය, කර්මක්ෂය පිණිස පවතියි යැයි වදාළ සේක.

මෙසේ වූ සතර කර්මයෝ දායාද කොට ප්‍රතිසන්ධි ස්ථානය වන්නේ විපාක වශයෙනි. මෙහිදී විපාක දෙන්නේ කර්මයයි. මෙසේ ප්‍රතිසන්ධිය ලබා දෙන කර්ම පිළිබඳ විනිශ්චය මෙසේ ය. කර්ම කෘත්‍ය වශයෙන් සතර වැදෑරුම් ය.

ජනක කර්මය

අනාගත ප්‍රතිසන්ධිය ගෙන දීමට ප්‍රබල වූ, බලවත් වූ කර්මය මෙ නම් වේ. දුර්වල කර්ම වේ නම්, බලවත් ජනක කර්මයකින් ලැබූ ප්‍රතිසන්ධිය තුළ වරින්වර විපාක වශයෙන් සැප දුක් ලබා දෙයි. මෙය චුති චිත්තය හා බැඳේ. කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත වශයෙනි.

උපස්ථම්භක කර්මය

උපන් සත්වයාට පව් පින් වශයෙන් විඳීමට හේතුවන කර්ම මෙ නම් වේ. ජීවිත කාලය පුරා පමණක් නොව අකුසල වශයෙන් ගත්විට තව තවත් දුක් විඳීම සඳහා ජීවත් කරවීම ද, නැවත නැවත යහපත (කුසල්) කරවීමට ජිවත් කරවීම ද මෙසේ වේ. එසේ වන්නේ තමා කරන යහපත් ක්‍රියාවෙන් ඇතිවන සතුට හා පී‍්‍රතිය මත ය. කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය මෙ නම් වේ. ලැබූ ජීවිතය තුළ විශේෂ සැප හෝ දුක් විශේෂ කොට ලැබෙන්නේ මෙයින් ය.

උප පීඩක කර්මය

ඉපදුණ සත්වයාට බලවත් පීඩා කරන්නේ මෙ නම් කර්මයයි. උපත ධනවත් පවුලක වුවත් අංගවිකල බව, හදිසියේ මතුවන බලවත් රෝග, තනතුරු පහකිරීම, ධන හානිය, ගින්නෙන්, ගං වතුරෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් වන හානි මෙසේ ය. ඒ තාක් අකුසල විපාක විඳින්නේ බලවත් සේ කුසල් කරන්නේ නම් ඒ කුසල් බලයෙන් බලවත් අකුසලය දුබල වේ. උදා - ලෙඩරෝග සඳහා බෝධි පූජා, දන්දීම්, ධර්මයට නැඹුරුවීම් ආදිය සැලකිය හැකි ය.

උපඝාතක කර්මය

උපච්ඡේදක කර්මය ද මෙය ම ය. චුති චිත්තයට මතුව ආ ජනක කර්මයකින් ප්‍රතිසන්ධි වශයෙන් යම් උප්පත්තියක් ලැබූවත්, ඒ ජනක කර්ම ශක්තිය බිඳලන කර්මය මෙ නම් වේ. උපන් ආත්මයක ආයුෂ විඳීමට අවකාශ නොදී උපඝාතක කර්මයෙන් ඔහු එයින් චුත කරන්නේ ය. අකාල මරණ යැයි අපි කියන්නේ මෙවැනි අවස්ථාවකයි.

බුදු දහමේ එන කල්පය පිළිබඳ සංකල්පය

කාලය දැක්වීමේ දී වර්තමානයේ දී තත්පර, මිනිත්තු, පැය, දින, සති, පක්‍ෂ, මාස, අවුරුදු, දසක, විංශති, ෂස්ටි, ශත වර්‍ෂ, සහස්‍ර වර්‍ෂ, … ආදී ඒකක භාවිතා කරයි. සහස්‍ර වර්‍ෂයක් යනු අවුරුදු 1000 ක කාල පරාසයක් වේ. ඊටත් වඩා වැඩී විශාල කාලයන් මැනීම සඳහා වර්‍ෂ ආදිය භාවිතා කිරීම දුෂ්කර වේ. එබැවින් ඉතා දීර්ඝ කාල පරාස දැක්වීමට යුග, කල්ප ආදිය භාවිතා කරයි.


ඉතාමත් ම දීර්ඝ කාල මැනීමේ දී කල්පය ඉතා වැදගත් වේ. කල්ප වනාහි සතර වැදෑරුම්‌ වේ.
මහාකල්පය
අසංඛ්‍යකල්පය
අන්තර්කල්පය
ආයුකල්පය
.
▬▬▬▬ 1. මහාකල්පය: ▬▬▬▬
.
මහාකල්පය ඉතා දීර්ඝ කාලයකි. එය සිතා ගැනීමටත් දුෂ්කර ය. ලොව නිර්‍මාණය වීම හා නැවත විනාශ වීම චක්‍රයක් ලෙස සිදු වේ. මෙසේ ලෝකය විනාශ වී නැවත ඇතිවී විනාශ වීමට ගත වන කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මහාකල්පය විවිධ උපමාවලින් දක්වා ඇත. දිනක් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේ ය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේ ය.
.
භික්‍ෂුව : ස්වාමීනි, කල්පය වනාහි කෙතරම් දීර්ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකියි.”, “මහණ යම්සේ වනාහි දිගින්‌ යොදුනක්‌ ඇති පළලින්‌ යොදුනක්‌ ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒක ඝන වූ මහා ගල්‌ පර්‍වතයක්‌ වේද ඒ ගල්‌ පර්‍වතය පුරුෂයෙක්‌ අවුරුදු සීයකට වරක්‌ කසී සළුවකින්‌ පිරිමදින්නේ වේ ද මහණ මේ ආකාරයෙන්‌ ඒ මහා ගල්‌ පර්‍වතය ගෙවීමට කෙළවර වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\5.පබ්බතසුත්තං)
.
භික්‍ෂූන් වහන්සේ නමක් විසින් තවත් අවස්ථාවක දී කල්පය පිළිබඳ කරන ලද විමසීමක දී දෙන ලද පිළිතුර මෙසේ ය.
භික්‍ෂුව : ස්වාමීනි කල්පය වනාහි කෙතරම් දීර්‍ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය හෝ කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකිය.” මහණ යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\6.සාසපසුත්තං)
.
මේ අනුව සලකා බැලීමේ දී මහාකල්පය යනු ඉතා දීර්‍ඝ කාලයක් වේ.
.
▬▬▬▬ 2. අසංඛ්‍යකල්පය: ▬▬▬▬
.
මහා කල්පය සමාන කොටස් සතරකට බෙදූ විට එක් කොටසක් 'අසංඛ්‍යකල්පයක්' ලෙස හැඳින්වේ. මෙලොව සෑම දින ම මෙසේ නො පවතින්නාහ. මන්ද යත් අනිත්‍යය හෙයිනි. යම් කලක දී මේ ලෝකය වැනසෙන්නේ ය. එහිදී සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත්, ප්‍රථම ධ්‍යාන තලයේ බ්‍රහ්ම ලෝකත් නැසෙන්නේ ය. ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් මෙසේ ලෝක ධාතුව නැසෙන්නේ ය. ගින්නෙන් වැනසෙන විට එය තේජෝ සංවට්ටය ලෙසත්, ජලයෙන් වැනසෙන විට ආපෝ සංවට්ටය ලෙසත්, සුළඟින් වැනසෙන විට වායෝ සංවට්ටය ලෙසත් හැඳින්වේ. මෙම ක්‍රම තුනෙන් එක් ක්‍රමයකින් ලෝකය විනාශ වීමට ගත වන කාලය අසංඛ්‍යකල්පයකි.
මෙසේ ලෝකය විනාශ වෙමින් පවතිනා කාලය සංවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව හිස් අවකාශයක් ලෙස තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙය සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව නැවත ගොඩනැගේ. එසේ නැවත ලොව ගොඩනැගීමට ද තවත් අසංඛ්‍යකල්පයක් ම ගත වේ. මෙසේ ලොව ගොඩනැගෙමින් පවතිනා කාලය විවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
එලෙස සම්පූර්‍ණ ලෙස ගොඩනැගුණු ලොව තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙම කාලය තුල දී සත්වයා විද්‍යාමාන වේ. මෙසේ ලොව පවතිනා කාලය විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍ය සතරක් වෙත්. කවර සතරක් ද යත්. මහණෙනි, යම් කාලයක දී කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය නැසී සිටී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇති වේ ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇතිවී පවතී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයයෝ ය.”
(අ.නි.\4.චතුක්කනිපාත\4.චතුත්ථපණ්ණාසකං\1.ඉන්ද්‍රියවග්ගො\6.අසංඛ්‍යෙසුත්තං)
.
මේ අනුව අසංඛ්‍ය කල්ප 4ක් ඇත. එනම්;
සංවට්ට අසංඛ්‍යකල්පය (ලොව විනාශ වෙමින් පවතිනා කාලය.)
සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව විනාශ වී පවතිනා කාලය.)
විවට්ට අසංඛ්‍යකල්පය (ලොව නැවත ඇතිවෙමින් පවතිනා කාලය.)
විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව ඇතිවී පවතිනා කාලය.)
මෙම අසංඛ්‍යකල්ප සතර ම එක් වූ විට මහාකල්පය ලෙස හැඳින්වේ.
.
▬▬▬▬ 3. අන්තර කල්පය (අතුරු කප): ▬▬▬▬
.
අසංඛ්‍යකල්පයක් සමාන කොටස් 64කට (ඇතමෙක් 20කට යැයි ද කියනු ලැබේ) බෙදූ විට එක් කොටසක් අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. සංවට්ට කල්පයට නො පැමිණ (ලෝකය විනාශ නො වී), අතරතුර ලෝක විනාශය හෙවත් සත්ව විනාශ වීම් සිදු වේ. මෙසේ එක් සත්ව විනාශයක සිට ඊළඟ සත්ව විනාශයට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ.
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ දස වර්‍ෂයට අඩු වන්නේ ය. එහි දී සත්වයන්ගේ විනාශයක් වන්නේ ය. එහිදී සත්ව විනාශ ආකාර තුනකින් සිදු වේ. එහි ලෝභය උත්සන්න වූ ප්‍රජාව දුර්භීක්ෂයෙන් විනාශවේ. එය දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උත්සන්න වූ ප්‍රජාව රෝග හේතුවෙන් විනාශවේ. එය රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආයුධ හේතුවෙන් විනාශවේ. එය ශස්ත්‍ර (ආයුධ) අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයයෙහි උපදිති. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර් කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නො වේවායි මෙත් සිත උපදී. ආයුධ අන්තර කල්පයේ නැසුණෝ බොහෝ සෙයින් නිරයේ උපදිත් කුමක් නිසා ද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
(දීඝනිකායට්ඨකථා\චක්කවත්තිසුත්තවණ්ණනා)
අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. නමුත් මාන ආදී අකුසල් දහම් නැවත බෝවීම නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය සිට පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩු වන්නේ ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ දස වර්‍ෂයේ සිට අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්‍ෂය දක්වා පිරිහීමට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. (සංවට්ට විවට්ට ආදී) එක් අසංඛ්‍යය කල්පයකට අන්තර කල්ප 64ක් ඇත. ඇතමෙක් 20ක් යැයි ද කියනු ලැබේ. මේ අනුව;
අන්තර කල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්ප 01
.
මෙම අන්තර කල්ප තුල වුව ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වැඩෙන කාල වල දී බුදුවරු පහළ නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්‍ෂ ලක්ෂයකින් වැඩි වූ විට බුදුවරු පහල වන කාලය නම් නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නො වෙයි. බුදුවරුන්ගේ ධර්‍මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේ දැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නො හඟිති. එසේ ඇති කල සසුන අනෛර්‍යාණික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද බුදුවරු පහල වන කාලය නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. වර්‍ෂ සියයත් ලක්‍ෂයත් අතර ආයු කාලය තුළ පමණක් බුදුවරු පහල වේ. එසේ ම මනුෂ්‍ය ආයුෂ වර්‍ෂ සියයත් ලක්ෂයත් අතර කාලවල දී පමණක් බුදු පසේබුදු අග්‍රශ්‍රාවකයෝ පහළ වෙති.
.
▬▬▬▬ 4. ආයුකල්පය: ▬▬▬▬
.
ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය ආයුකල්පය යි. කලක දී අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. මෙකල මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ 100ක් යැයි සැලකුව හොත් ආයුකල්පය වර්‍ෂ 100ක් වේ.
මේ නයින් මහාකල්පය, අසංඛ්‍යකල්පය, අන්තර කල්පය හා ආයුකල්පය දතයුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමුතු දේ හිතන උමතු මනස

කැලණිය විශ්වවිද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

" ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි."

උමතු බව, සිහි විකල් බව, සිහි මුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචන ය. මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතා මෙන්ම උග්‍ර මානසික විකෘතිතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ.

මෙම උමතු බව නිසා අමුතු අමුතු බොහෝ දේ අපගේ මනසට නැඟේ. ඒවා බොහොමයක් අපට අහිතකර වේ. බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැදින්වෙන මානසික පීඩනය, කාංසාව හෙවත් කාන්සිය තනිකම, පාලුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ.

එසේම, සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝන්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ.

මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි. එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම්, ලෝකය යනු කුමක් දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන හෙයිනි.

සබ්බෙ පුථුජ්ජනා උම්මත්තකා

යන ප්‍රකාශය බෞද්ධ අපට ඉතා හුරු පුරුදු ය. එහි ගැඹුරු හා පළල් අදහසක් ඇත. මානසික උමතුව පිළිබඳව බුදුදහමෙහි ගැඹුරු සාකච්ඡාවක් පවතින අතර, උන්මාදය අප අත්විඳීන විවිධ මානසික විකෘතිතා අතර එක් පැතිකඩක් පමණකි.

මෙහි සාකච්ඡා වනුයේ එම පෘථුල කතාවේ ඒකදේශයකි. ඉතා කෙටියෙන් කිවහොත් බුදුදහමෙහි උන්මාද අටක වර්ගීකරණයක් හමුවේ. කාම උන්මාදය, ක්‍රෝධ උන්මාදය, දර්ශන උන්මාදය, මෝහ උන්මාදය, යක්ෂ උන්මාදය, පිත්ත උන්මාදය, සුරා උන්මාදය හා ව්‍යසන උන්මාදය යනුවෙනි. බටහිර මනෝ විද්‍යාවෙහි විවිධ වර්ගීකරණයන් යටතේ විස්තර වන සියලු මානසික රෝග ඉහත දැක්වූ උන්මාද අට තුළ අන්තර්ගත වන බව නූතන මනෝ විශ්ලේශකයන්ගේ අදහසයි.

එබැවින් බුදු දහමෙහි සඳහන් මෙකී අට උමතුව පිළිබඳ අවබෝධය අපගේ මනස පිළිබඳ අවබෝධය සඳහා මෙන්ම මැනවින් පවත්වා ගෙන යෑමට උපකාරී වනු ඇත.

කාම උන්මාදය

කාම උන්මාදය යනු කාමය නිසා ඇති වන මානසික උමතුවයි. බුදුදහම ගිහියන් සඳහා නිසි කාම සේවනයක් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුට ම මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

පාලනය කොට ගත නොහැකි තරම් අධික ආශාවට හා තෘෂ්ණාවට යමෙකු වසඟ වුවහොත් ඔහුට හෝ ඇයට අතෘප්තිකර කාමාශාවකින් කල් ගෙවීමට සිදුවේ. අධික හා අතෘප්තිකර කාම ආශාව නිසා භයානක ප්‍රතිඵල අත් විඳීමට සිදුවිය හැකි ය.

අතෘප්තිකර කාමාශාව නිසා සියලු පිරිමින් මරාගෙන ගිය තරුණයකු පිළිබඳ සඳහන් වන අසනඝ ජාතකය මීට කදිම නිදසුනකි. පාලුව, තනිකම, මානසික අවපීඩනය, ඉච්ඡාභංගත්වය නැතහොත් බලාපොරොත්තු කඩවීම් වැනි තත්වයන්ට එවැනි අයට මුහුණ දීමට සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි හානිකර ගැනීමට තරම් උග්‍ර තත්වයකට තමා පත්වීමයි.

අනෙක් අතින් මෙබඳු පුද්ගලයන් ලිංගික අපචාරවලට පෙළඹේ. අස්වාභාවික ලිංගික ක්‍රියා, ලිංගික වධහිංසා කිරීම්, කුඩා ළමුන් දූෂණය කිරීම්, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම් වැනි ක්‍රියා මඟිින් තෘප්තියක් සෙවීමට පෙළඹෙන්නේ මෙබඳු පුද්ගලයෝ ය. කාමුකයකු තුළ පවතින මෙය උන්මාදයකි. එබැවින් කාමය පිළිබඳ අවබෝධය සෑම කෙනෙකුට ම තිබීම අවශ්‍යය.

බුදු දහම අනුව කාම වස්තූන් සමඟ කැරනු ලබන ගණදෙනුව හුදෙක් ස්වල්ප මාත්‍ර වූ ආස්වාදය ගෙන දෙන්නකි. යථාර්ථයක් වශයෙන් එයින් ලබන තෘප්තිය සිහිනයකින් ලබන ආස්වාදයක් වැනි ය. එබැවින් ආස්වාදය, ආදීනව තේරුම් ගැනීම හා නිස්සරණය හෙවත් ඒ සම්බන්ධ මානසික පාලනයක් ඇතිකර ගැනීම යහපත් පවුල් ජීවිතයකට සහ යහපත් පුරවැසියකු වීමට හේතු වේ.

කාමයෙහි ආදීනව මෙනෙහි කිරීමත්, අශූභ සංඥාව වැඩීමත් කාම උන්මාදයෙන් වැළකීමට ඉවහල් වේ.

ක්‍රෝධ උන්මාදය

දෙවන උන්මාදය වන්නේ ක්‍රෝධ උන්මාදයයි. අධික කෝපය හේතුකොට ගෙන යම් යම් අය තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාව මෙයින් අදහස් වේ. කෝපය හෝ ක්‍රෝධය වූකලි සිතිවිල්ලකි. එය ගින්නක් හා සමාන ය. බොහෝ කාලයක් කෝපය පාලනය කර ගැනීමට අසමත් පුද්ගලයාට මෙකී ක්‍රෝධ උන්මාදය ඇතිවේ. ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැති, ආගම ධර්මය පිළිබඳ පිළිගැනීමක් නැති, යතාර්ථය පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩි ය.

බුදුදහමේ පෙන්වා දෙන පරිදි

ක්‍රෝධ උන්මාදයෙන් පෙළෙන තැනැත්තාට ඉන් සිදුවන යහපත හෝ අයහපත නො වැටහේ. හරි වැරදි නොසලකයි. ධර්මය ගැන නො සිතයි. ඔහු අන්ධකාරෙය් සිටින කෙනෙකු වැනි ය. ඔහු නිතර දැවෙන්නෙකි. ලජ්ජා බිය නැත්තෙකි. ගෞරවාන්විත ව කතා නො කරන්නෙකි.

අඩුවෙන් කතා කිරීම සහ පැහැපත් නොවන මුහුණක් තිබීම ඔහුගේ ශාරීරික හා චරිත ලක්ෂණ වේ.

ක්‍රෝධ උන්මාදයේ පදනම වන්නේ මෝහය, මුළාව නැතහොත් අඥානකම වේ. මෙබඳු පුද්ගලයන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩිය. මෙය පාලනය කර ගැනීම කුඩා කල සිටම කළ යුත්තක් වේ. තමා තුළ පවතින ක්‍රෝධය මානසික රෝගී තත්වයක් බව අවබෝධය වැඩි කර ගැනීම, ධර්මයට යොමුවීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම මෙම උන්මාදයෙන් වැළකී සිටීමේ පිළියම වේ.

දර්ශන උන්මාදය

තෙවන උන්මාදය වන්නේ දර්ශන උන්මාදයයි. බෞද්ධ ග්‍රන්ථවල මෙය දැක්වෙන්නේ දිට්ඨිවිපල්ලාස යනුවෙනි. මායා රූප පෙනීම මෙහි ලක්ෂණයයි.

ඇතැම් අය තමන් අසවල් අසවල් දෙවියන් දුටු බව හා තමන් සමඟ කතා කළ බව, අසවල් මිය ගිය තැනැත්තා හෝ ජීවත්වන තැනැත්තා තමන් දුටුබව හා කතා කළ බව කියමින් උමතුවෙන් සිටිනු ඔබ දැක ඇත. මෙය ද උන්මාදයකි. මෙය භින්නෝන්මාදය නමින් දක්වන බටහිර මනෝවිද්‍යාවෙහි එය දරුණු මානසික තත්වයක් ලෙස විග්‍රහ කෙරේ. එබඳු මායාවන් සොයා තනියම තැන්තැන්වල යන අවස්ථා ඇත. හුදෙකලාව කතා කරමින් සිටීමත් මෙහි ලක්ෂණයකි. සමථ හා විදර්ශනා භාවනාවෙන් මෙයින් වැළකී සිටිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මා හදාගත් ලෝකයක දුක් විඳිනවා විනා තිබෙන ලෝකයක දුක් විඳිනවා නො වේ

     
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
අනුශාසක,  පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි


මේ ලෝකය, අපි දුක් විඳින ලෝකය තියෙන එකක් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් කිව්වොත් පිළිගන්නෙ නෑ. ඒක විවර කරල පෙන්නන්න තමයි, පිළිගන්න පුළුවන් මට්ටමට පෙන්නන්න තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නෙ. නිකමට හිතන්න, ඔබට අම්ම, තාත්ත දුවා පුතා කියල ඔබට වටිනාකමට තේරෙන අය ඉන්නව ගොඩක්. ඒ අය ලෙඩ වුණොත් මැරුණොත් ඔබ දුක් වෙනව මහන්සි වෙනව. හැබැයි ඔබට වටිනාකමින් පේන ඒ වස්තු අනික් අයටත් ඒ වටිනාකමින් පේනව ද? නෑ. ඉතින් මේ ලෝකෙ වටිනාකමක් තියෙන දේවල් තියෙනව නම් ඒ වටිනාකම දැනෙනව නම් අනික් මනස්වලටත් දැනෙන්න ඕන. ඔබට විතරක් නෙමෙයි ද ඔබේ ලෝකෙ වටිනාකම දැනෙන්නෙ? මගේ අම්ම මට අම්ම වුණාට ඔබගෙ අම්ම නෙමෙයි නෙ. ඒ රූපෙ වෙනස් වන කොට මං මව මළ දුක විඳිනව. මේ මගේ ලෝකෙ. මගේ අම්ම තාත්ත මගේ සහෝදර සහෝදරියො ඔබ දන්නෙ වත් නැහැ. එහෙනම් මම හදාගත් ලෝකයක දුක් විඳිනව විනා තියෙන ලෝකයක දුක් විඳිනව නෙමෙයි. දුක්ඛ නිරෝධය සඳහා ඉස්සර වෙලා දුක තේරුම් ගන්න. මේ ලෝකෙ දුක. දුක ඇති කරපු හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් දුක නැති වෙනව. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියල ඉගෙනගත්තහම ඒ දර්ශනය තියෙන කෙනාට, පටිච්ච සමුප්පාදය දන් නකෙනාට සක්කාය දිට්ඨි විචිකිච්චා දෙක නෑ. 

මේ දර්ශනය අපි දැනගෙන ඊළඟට භාවනා කරන්න ඉගෙන ගනිමු. සමථය වඩන්නෙ කොහොම ද? විදර්ශනාව වඩන්නේ කොහොම ද? ශී ලයක පි හි ටන් නෙ කොහොම ද කියල ශීලයක පිහිටල සමථ විදර්ශනා වඩන හැටි අපි ඉගෙන ගනිමු. එතකොට අපි දන්නව අපි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි පුරන්නෙ. මොකට ද? මේ ලෝක නිරෝධයට. මේකෙ අවසානය මම ඉපදෙනව ලෙඩ වෙනව මහලු වෙනව මරණයට පත ් වෙනව කියන ජාති ජරා මරණයන් ගෙන් මම මිදිල. මේ ජරා මරණයට පත් වෙන මේ කය මම කියල පෙන්වන දර්ශනයෙන් මම මිදිල. මම දුව පුතා අම්ම තාත්ත සහෝදර සහෝදරියො ගෙවල් දොරවල් කියන බැමිවලින් මම නිදහස් වෙලා. ඒවයින් මිදිල. ඒවයෙ අවශ්‍යතාව නෑ. ඒවයෙ පිපාසය නෑ. ගෙවල් දොරවල් දුවා පුතා යාන වාහන කියන සංයෝජනයන් තිබුණ නම් ඒව ගෙවිල. ඒව නිසා එන දුකින් නිදහස් වෙලා මනස, මේ දර්ශනය නිසා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙන්නෙ. මේ වගේ දර්ශනයක් දැනගෙන භාවනා නො කරන කෙනා වටිනවා මේ වගේ දර්ශනයක් නැති ව භාවනා කරන කෙනාට වඩා. අද යමක් නො කළත් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මොකක් ද? මට උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකක්. 


මේ මම කියල උපාදාන වශයෙන් හසු වෙච්ච ස්කන්ධය මට දුකක් ගෙන දෙනවමයි කියල දන්නව. මේ මගේ දරුව මේ මගේ ගෙදර කියල මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධය වෙනස් වෙන දවසට මට දුක එනවා මයි කියල දන්නව. මේ රත්තරන් මේ මුතු මැණික් මේ රිදී කියල මේව වටිනව කියල මට දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මගේ කාම උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටිකට කියනව උපාදානස්කන්ධය කියල. උපාදානක්ඛන්ධා දුක්ඛා...මගේ උපාදානයට හමු වෙච්ච ස්කන්ධ ටික දුකක්. ඒ කියන්නෙ මේ කෝප්පෙ ගොඩක් වටිනව කියල මට දැනෙනව. වටිනාකම දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මට දැනෙනව. මේ රූපෙට කියනව උපාදනෙට හිත ස්කන්ධය කියල. ගොඩාක් වටිනව කියල පෙනෙනකම තියෙන්නෙ කා ගාව ද? මං ගාව. ඒකට කියනව කාම උපාදානය කියල. මගේ උපාදානය පවත්වන්න පවතින්න උපකාරක වස්තූන් මොනව ද? මේ රූපය (කෝප්පය). මේ රූපෙට කියනව මොකක් ද? උපාදානස්කන්ධය. උපාදානයට හිත ස්කන්ධය. මම මේ රූපය වටිනවා කියල හිතාගෙන ඉන්නව. දැන් මගේ උපාදානයට හිත ස්කන්ධ ටිකෙන් මට දුක එනව. ඒ කියන්නෙ මම උපාදානය වශයෙන් මේ රූපය අල්ලගෙන ඉන්නව කෝප්පෙ හොඳයි කියල. මේක කැඩුණු ගමන් ම මට දුක එනව. ඒ හින්ද එයා දන්නව උපාදානක්ඛන්ධා දුක්ඛා. පුද්ගලයො හැටියට සත්ත්වයො හැටියට වටිනාකම හැටියට මගේ මේ උපාදානයට හසු වෙච්ච මේ ස්කන්ධ ටික දුකමයි කියල දන්නව. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. දුකට හේතුව තණ්හා උපාදානයයි කියල මේව වටිනාකමට සත්ත්වභාවයට ඇති කරගෙන තියෙන අදහස් ටිකකුයි කියල හැඟීම් ටිකකුයි කියල දන්නව. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මේ ස්කන්ධ ටික වටිනාකමක් හැටියට සත්ත්ව පුද්ගලභාවයට පෙනෙනකම නැති කළොත් දුක නැති කළ හැකියි කියල නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. ශීලයක පිහිටල සමාධිය වඩල ඇත්ත ඇති හැටියෙන් බලල මේ සමුදය ප්‍රහානය කළ හැකියි කියල, නිරෝධය සාක්ෂාත් කළ හැකියි, මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකිය හැකියි කියල නුවණ තියෙනව. ඒකට කියනව මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය කියල. ඔය ටික තේරෙනකොට දිට්ඨි සම්පන්නයි. ඒ කියන්නෙ සත්‍ය ඥානය පහළ වෙලා. ඊට පස්සෙ කෘත්‍ය ඥානය. ඊට පස්සෙයි භාවනා කරන්න හම්බ වෙන්නෙ අපිට. මොකක්ද ඒ? මේ දුක එන ස්කන්ධ ටික පිරිසිඳ දකිනව. 


මෙතන රූපය සතර මහා ධාතුයි නේ ද? සමුදය ප්‍රහානය කරනව. කෝප්පෙ වටිනව කියන අදහස ගෙවනව ටික ටික. මෙතන ඇත්ත පෙන්න පෙන්න සමුදය ප්‍රහානය කරනව, ගෙවනව. මේක ගෙවෙන්න ගෙවෙන්න මේක වටිනව කියල බලනකම පෙනෙනකම නිරුද්ධ වෙනව. එතකොට මාර්ගය වඩල ඉවර වෙනකොට කෝප්පය කැඩුණම එන්න තියෙන දුකින් නිදහස්. කෘත ඥානය එනකොට මේ විදියට ලෝකයේ ජරා මරණ දුක එන සිද්ධාන්තයෙන් මිදිල. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ස්කන්ධ ටික පිරිසිඳ දැකල. මේව සත්ත්වයෝ පුද්ගලයෝ වටිනවා කියල පෙන්නපු ක්ලේශය ගෙවිල. මාර්ගය වඩල ඉවරයි. සමුදය ප්‍රහානය වෙලා. නිරෝධය සාක්ෂාත් වෙලා. ස්කන්ධ පිරිසිඳ දැකලා. ඕකට කියනවා රහත් වුණා කියල. පින්වතුනි, ඉවුරක් අද්දර ඉඳල එක පාරට වතුරට පනිනව වගේ අපි එක පාරට නිවනට වැටෙන්නෙ නෑ. අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ශිකෂාවක් තියෙන්නෙ. ආශ්‍රව ක්ෂය වෙනව කියල කියන්නෙ. ගානකොට එක පාරට ම නැති වෙනව ද? නෑ. ටික ටික නේ ද උරච්චි කරනකොට ගෙවෙන්නෙ. ඒ වගේ මේ ඇත්ත බලන්න බලන්න පුද්ගලභාවයේ වටිනාකම ටික ටික ගෙවෙනව. ක්ෂය වෙනව. 

දිවයින බොදුමඟ 2020.මැයි 7

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සීමාව දැන ජීවත්වීම වැදගත් වන්නේ ඇයි?

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

" අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය."

ජලචර සතුන් වන මත්ස්‍යයන් ඇළ දොළ ගංගාවන්හි නිදහසේ ප්‍රීතියෙන් ඔබ මොබ පීනා යනු ඔබ දැක ඇත. එහෙත් ජලයෙන් ඉවත්කොට ගොඩ බිම තැබූ විට ඔවුහු අපමණ දුක් විඳ මරණයට පත්වෙති.

ගොඩබිම වසන ජලජ ජීවීන් නොවන මිනිසුන් ඇතුළු ගව, සුනඛ ආදී සතුන් ජලාශවලට වැටී ඉන් ගොඩ ඒමට නොහැකි ව මිය යන අවස්ථා ද බොහෝ ය. එමෙන් ම වනයෙහි විසිය යුතු සිංහයන්, කොටියන්, ඇතුන් වැනි වන සතුන් ද ගම් වැදුණු විට සිදු වන්නේ මහා විනාශයක් වන අතර” ගමෙහි ජීවත් වන සත්ත්වයෝ ද කැලෑවේ දී නොයෙක් කරදරවලට මුහුණ දෙති. මෙසේ සිදු වන්නේ කුමක් නිසා දැයි තීරණය කිරීම ඔබට අපහසු නැත. ඒ අන් කිසි කරුණක් නිසා නොව තමාට හිමි භූමිය, ගෝචර ස්ථානය නැතහොත් ගොදුරු බිම තුළ ජීවත් නොවීම හේතුවෙනි. එම නිසා ජීවත්වීමේ දී තමාට හිමි ගෝචර භූමිය හා භූමිකාව තේරුම් ගැනීම බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමේ මාර්ගයයි.

ඉහත කරුණ එනම්, තමාට අයත් සීමාව දැන එහි ජීවත්වීම අප විසින් කළයුත්තක් බව අපගේ මයටි හිත විසින් අපට කියාදෙන බව ඔබ දන්නා කරුණකි. කුමක් නිසාද යත් ජීවත්වන සෑම කෙනෙකුට ම ස්වභාව ධර්මය විසින් එම කරුණ පසක් කරවන හෙයිනි. තමාට හිමි සීමාව අපට දඩාවතේ යන සුනඛයන්ගෙන් වුව ද තේරුම් ගත හැකි ය. නිවසක හැදෙන සුනඛයෙකු තම සීමාව දනී. ගමක මහ පාරේ හැදෙන සුනඛයා ද තමන්ගේ සීමාව සලකුණු කොට ගෙන ඇත. මොවුන් ගේ භූමිකාව ඇත්තේ එකී සීමාව තුළ ය. එනම් දුව පැන දඟලන්නේ ද, බුරන්නේ ද, හපන්නේ ද එකී සීමාව තුළ දී පමණ ය. එම සීමාව ඉක්ම වූ විට අනේක විධ උපද්‍රවයන්ට ම මුහුණදීමට සිදුවන බව සුනඛයා දනී. අනෙක් සෑම සත්ත්වයකුගේ ම ස්වභාවය මෙයයි. ඇතැම් ගස් වැල් පවා සෑදෙන්නේ ඊට ම ආවේණික භූමි භාගයන්හි බව ඔබ දන්නා කරුණකි. එකී ගෝචර ස්ථාන හෝ සුදුසු භූමි භාගයන්ගෙන් තොරව ඒවායේ පැවැත්මක් නැත.

දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි බුදුන් වහන්සේ වරක් තම ශ්‍රාවකයන් අමතා මෙබඳු ප්‍රකාශයක් කළහ. “මහණෙනි, තම පියාට අයත් ගොදුරු බිම තුළ හැසිරෙන්න. මහණෙනි, එසේ හැසිරෙන අය තුළට ඇතුළුවීමට මාරයා හිඩැසක්, කරුණක් නො ලබන්නේ ය. මහණෙනි, මෙය (තමාට අදාළ සීමාව තුළ විසීම) කුසල ධර්මයන් ආරක්ෂා කිරීමට හේතුවකි . මෙසේ පින් වැඩේ. ශ්‍රාවකයන් අමතා කරනු ලබන මෙම ප්‍රකාශයෙහි තම පියාට අයත් භූමි භාගය යන්නෙන් අදහස් වන්නේ තථාගතයන ් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ධර්මය භූමි සීමාව හෙවත් ගෝචර ස්ථානය නැතහොත් චර්යාමය වපසරියයි. කෙටියෙන් කිවහොත් එම ගෝචර භූමිය, නැතහොත් බුද්ධ ශ්‍රාවකයන් විසිය යුතු, ජීවත්විය යුතු සහ ක්‍රියාත්මක විය යුතු බල ප්‍රදේශය නම් සතර සතිපට්ඨානයයි. වෙනත් විධියකින් කිවහොත් සිහිය පවත්වාගෙන විසිය යුතු බවයි. එනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාවයි .

බුදුන් වහන්සේගේ ඉහත ප්‍රකාශය වර්තමාන ශාසනික හා සමාජ ගැටලු මුළුමණින් ම පාහේ විසඳා ගැනීමට ඉවහල් වන තරම් වැදගත් ප්‍රකාශනයක් වේ. බුදුරජාණන් වහන්සේගේ ඉහත දේශනාව අනුව බුද්ධ ශ්‍රාවකයන්ට ජීවත්වීමට අයත් භූමියක් හා භූමිකාවක් ඇත. මෙය වෙනත් විධියකින් කිවහොත් මත්ස්‍යයෙකුට ඇළක, දොළක, ගංගාවක ජලයෙහි මිස ගොඩබිමක ජීවත්වීමට නො හැකි ය. එමෙන්ම ශාසනය නමැති විලෙන් පිට භික්ෂූන් නමැති මින් කැළට පැවැත්මක් නැත. එයින් පිට ජීවත්වීමට වෑයම් කළ හොත් උන්වහන්සේලා විනාශයට පත්වෙති. එබැවින් ගිහි වුවත්, පැවිදි වුවත්, ස්ත්‍රී වුවත්, යමෙක් බුද්ධ ශ්‍රාවකයෙක් නම් ඔවුහු බුදුන් වහන්සේ විසින් දේශිත සතිපට්ඨානය මූලික කොට ඇති ධර්ම ය භූමිය තුළ ජීවත්විය යුත්තෝ ය. ඔවුන්ගේ භූමිකාව හෝ වැඩ පිළිවෙළ වන්නේ සතර සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවීම හා ලෝකාර්ථ චරියාවත් ය.

පුද්ගලයාගේ සිට රටක් දක්වා පමණක් නොව ලෝකයක පැවැත්මක් දක්වාම මහා පරිමාණයේ අර්බුද සම්බන්ධයෙන් මෙය බලපාන කරුණකි. අතීතයේ සිටම පැරැන්නෝ මෙම යථාර්ථය විවිධ අයුරින් පෙන්වා දුන්හ. නව නිවසකට පතිනියක වශයෙන් පිවිසෙන ස්ත්‍රියට බුදුන් වහන්සේ දුන් උපදේශයක් වන්නේ ඇතුළත ගිනි පිටතට නො දෙන ලෙසයි. එයින් අදහස් වන්නේ නිවසක් ඇතුළත ඇති වන අර්බුද, ගැටලු හෝ හැළහැප්පීම් බාහිර සමාජයට නො යැවිය යුතු බවයි. මෙය ඇයගේ සීමාව පිළිබඳ සිහිපත් කිරීමකි. එසේම නිවසක ස්වාමියා, භාර්යාව, මව, පියා හෝ දරුවන් සම්බන්ධ ගැටලුවල සීමාව පවුල නමැති ඒකකයයි. වෘත්තීය ජීවිතයේ දී තමාගේ වපසරිය තේරුම් ගෙන කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

එක්තරා නිවසක බල්ලෙක් සහ බූරුවෙක් ඉතා කුළුපඟ ව වාසය කළහ. දිනක් රාත්‍රියේ නිවසට සොරෙක් පැමිණියේ ය. බූරුවා බල්ලා දැඩි නින්දක සිටිනු දැක මිත්‍රත්වය නිසා බල්ලා අවදි නොකොට බල්ලා මෙන් බිරුවේ ය. බිරීම බල්ලා සතු කාර්යයකි. එහෙත් මෙහි දී නිවස සොරුන්ගෙන් බේරා ගැනීම සඳහා බූරුවා බල්ලාගේ වෘත්තිය භාරගෙන ක්‍රියා කළේ ය. බූරුවාගේ කෑගැසීමෙන් කුපිත වූ නිවසේ ස්වාමියා මහ රෑ අවදිවී මුගුරක් ගෙනවුත් බූරුවාට දරුණු ලෙස තැළුවේ ය. එයින් බූරුවා මිය ගිය බව ඉතා ප්‍රකට පුවතකි. මෙබඳු කතාන්තර අපට උගන්වන්නේ සීමාව හඳුනාගෙන ජීවත් විය යුතු බවයි.

පුහුදුන් මිනිසුන් වශයෙන් ජීවත්වන අප විසින් තේරුම් ගතයුතු වැදගත් කරුණක් ඇත. එනම්, ගෝචරස්ථානයෙන් පිට අපට විකුම් පෑ නොහැකි බව ය. බුදු දහම අනුව අප සියල්ලන් ම ජීවත් වන්නේ මාරයාට හිමි විෂය ක්ෂේත්‍රයක ් තුළ ය. පුහුදුන් කෙනකු නම් කාමරාග, රූපරාග,අරූපරාග යන මේවා සමඟ නිරන්තර අරගලයක අපට යෙදීමට සිදුවේ. එය මාරයාගේ විෂය ක්ෂේත්‍රයයි. එහෙයින් ඒවා සමඟ ඇති ගනුදෙනුව ටිකෙන් ටික හෝ අත්හළ යුතු ය. රහතන් වහන්සේලා යනු මාරයාගේ මෙම විෂය සීමාව ඉක්මවා ඇති හෙයින් උන්වහන්සේලාට 'සීමාතිගො' යනුවෙන් තවත් නමක් වේ. එයින් අදහස් වන්නේ ‘සීමාව ඉක්මවූ උතුමන් වහන්සේ’ යන්නයි. එහෙයින් මෙම විශ්වය තුළ රහතන් වහන්සේලාට ඇලීම් බැඳීම් හා ගැටීම් ආශ්‍රිත හිරිහැර, සම්බාධක, හිංසා පීඩා නැත. බෞද්ධයන් වන අපගේ වෑයම විය යුත්තේ එබඳු තත්වයකට ළඟාවීමයි.

බුදු දහම අනුව පුද්ගල අධ්‍යාත්මය තුළ පවතින ගැටලුව තේරුම් ගෙන අප එකිනෙකා විසින් එය සමතික්‍රමණය කිරීමට උත්සාහ කරන්නේ නම් එය සමස්ත විශ්වයේ ගැටලු නිරාකරණය කිරීමට දායකවීමකි. පුහුදුන් පුද්ගලයන් විසින් අප සියල්ලෝ ම මාරයාගේ විෂය ක්ෂේත්‍රය තුළ හැසිරෙන්නෝ වෙමු . එබැවින් අපට කෙලෙසුන් සමඟ නිබඳ ව ගැටීමට සිදුවේ. යම් හෙයකින් මෙය තේරුම් ගෙන අපට අදාළ ධර්මය භූමිය හා භූමිකාව පෞද්ගලික අත්දැකීමක් බවට පත් කරන්නේ නම් එයින් ස්වාර්ථය හා පරාර්ථය සපුරාලිය හැකි ය. තථාගතයන් වහන්සේ විසින් වදාළ ගොදුරුබිම පිළිබඳ දේශනාව වැදගත් වන්නේ ඒ අයුරිනි.අපගේ ගොදුරුබිම හෙවත් අපට හිමි වාසභූමිය නැතහොත් සීමා මායිම බුදුන් වහන්සේ පැහැදිලි කොට දුන් ඉහත කී චක්කවත්තිසීහනාද සූත්‍රයේ තවත් වැදගත් කරුණක් පැහැදිලි කොට දී ඇත. එනම් “තමාට තමා පහනක් වී, තමා ම තමාට සරණක් වී, වෙනත් කෙනකුගේ පිහිටක් අපේක්ෂා නොකොට ජීවත් වන්න යන්නයි. අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය.

ඔබ බණ පොත් කියවන, බණ අසන, දැහැමි සත්පුරුෂයන් සේවනය කරන කෙනකු නම් නොහික්මුණු අනම්‍ය හා දරදඬු මනසකින් ලැබෙන කායික මානසික හානිය සිහියට නැඟීම අපහසු නැත. එසේම භාවනා කිරීමෙන්, ගමන් බිමන්, ඉඳුම් හිටුම් ආදියේ දී මැනවින් සිහිය පිහිටුවා ගැනීමෙන් අත්විඳීය හැකි මානසික සහනය ද තේරුම් ගැනීම පහසු ය. එබැවින් රූමත් යැයි සිතන සිරුර ඇතුළත ඇති ජුගුප්සාජනක දේ පිළිබඳව සිතා කායානුපස්සනාව වඩන්න. අප විඳීන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන්ගේ ක්ෂණික බව, අනිත්‍ය බව තේරුම් ගැනීමෙන් වේදනානුපස්සනාව වඩන්න. සිතෙහි ඇතිවන සිතිවිලවල ස්වභාවය හා ක්ෂණභංගුර බව වටහා ගැනීමෙන් චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තිරිසන් අපායේ ප්‍රභේද හා තිරිසන් අපායේ උපදින්නෝ කවරහුද?


තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.

අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.

තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං,
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව

එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.

ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.

ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වෙස්වලාගත් ලෝභය

මහනුවර අස්ගිරි මහාවිහාරයේ කාරක සංඝ සභික, 
උපාධ්‍යාය ධුරීන, 
වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක 
මහාචාර්ය තුඹුල්ලේ සිලක්ඛන්ධ හිමි 

 බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි දේශනා කරන වැදගත් දේශනාවක් ලෙස වත්ථූපම සුත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ මෙහි දී හොඳ සරල උපමාවක් යොදා ගන්නවා. ඒ කුමකට ද? මේ සිත ක්‍රියා කරන ආකාරය හා සිත විවිධ වෙස් අරගෙන අප ඉදිරියේ පෙන්වන මායාව දක්වන්නට යි. කිළිටි ස්වභාවයට පත් වුණු වස්ත්‍රයක් ගැන සඳහන් කරන උන්වහන්සේ යම් රෙදි පිරිසුදු කරන අයෙක් ඒ වස්ත්‍රය විවිධ වර්ණ ගන්වන්නට ඒ ඒ වර්ණ යොදා ගෙන මහත් වූ උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒ කොපමණ උත්සාහ කළත් ඒ වස්ත්‍රයට ඔහු බලාපොරොත්තු වන ඒ වර්ණය ගැන්විමට සමත් වන්නේ නැහැ. ඒ මොක ද? වස්ත්‍රය මුලික වශයෙන් ම කිළිටි වී ඇති නිස යි. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ සිතේ තත්ත්වය. ඉතින් මේ නොයෙක් අපිරිසුදු සිතිවිලි නිසා කිළිටි භාවයට පත්ව අපේ සිත පවතිනවා නම් ඒ සිතට පැහැදිලි කුසල් සිත් ඇතුළත් කරන්නට කොපමණ උත්සාහ කළත් සිත ඒවා අල්ලා ගන්නේ නැහැ. එහි අනික් පැත්තත් එහෙමතමා කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා. ඒ විදිහට බලන කොට ඉතාමත් පැහැදිලිව පිරිසුදු වස්ත්‍රයක් අරගෙන ඊට අවශ්‍යය යි සිතන වර්ණයක් ගැන්විමට යම් රෙදි සෝදන අයෙක් උත්සාහවත් වෙනකොට ඒ පිරිසුදු වස්ත්‍රයට තමන් අපේක්ෂා කරන වර්ණ පැහැදිලිව ම ගැල්විමට හැකියාව ලැබෙනවා. ඒ වගේ තමා සිත පිරිසුදුව පවතිනවා නම් පැහැදිලි දූෂ්‍යභාවයට පත් නො වූ කුසල සිතිවිලි මැනවින් ග්‍රහණය කර ගැනීමට පුද්ගලයා සමත් වෙනවා. ඉතින් සිත අපිරිසුදු නම් ඒ පුද්ගලයාට දුගතියේ දොර විවර වනවා. එය කෙසේවත් වෙනස් කරන්නට බැරි බව තමා බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ මුලින් ම එන ගාථා පාඨ දෙකෙන් පැහැදිලි කරන්නෙත් මේ කාරණය ම යි. ඒ අනුව අපිරිසුදු සිතින් යම් දෙයක් කරනවා හෝ කියනවා නම් එය පුද්ගලයාගේ දුක පිණිස ම පවතිනවා. එයට පෙන්වා දෙන උපමාවත් හරි අපූරුයි. කරත්තයේ බඳීන ගොනාගේ පිටුපසින් කරත්තය ඉදිරියට ඇදි ඇදී එනවා වගේ අපිරිසුදු සිතේ ස්වභාවය නිසා දුකත් ඔහු පිටුපස්සේ අත් නො හැර ම ලුහු බඳීමින් එනවා, කරත්තයේ බරත් කරත්තයේ පටවා ගෙන බඩුවල බරත් ගත්තහම එය දරා ගෙන ඉදිරියට යන ගොණුට මහ දුකක්. අනික් අතින් බලන කොට පිරිසුදු සිත මුල් වී ඇති වන සිතිවිලි නිසා ක්‍රියාත්මක වන ක්‍රියාවන් හෝ භාවිත කෙරෙන වචන හැම විට ම යහපතට හේතු වන නිසා එය සැප ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ එය උපමා කරන්නේ තමන් පසු පස නො කඩවා දිවෙන හෙවණැල්ලට යි. හෙවණැල්ල හැම විට ම තමන්ට ලබා දෙන්නේ සුවයක්. සැනසිමක්. සෙවණත්. ඒ වගේම යි ඒ කරන ක්‍රියා හා කතාබහ නිසා හැමවිට ම වැඩක් අර්ථයක් සිද්ධ වෙනවා. එය සුගතිය පිණිස ම හේතු වෙනවා. ඉතින් මේ සිත දුෂ්‍ය වෙන ආකාරයත් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සිත දූෂ්‍ය කරන ප්‍රධාන කොටස් 16 ක් පිළිබඳව උන්වහන්සේ මෙම වත්ථූපම සූත්‍රයෙන් අපට උගන්වනවා. 
 ඒ අනුව අභිජ්ඣාව හා විසම ලෝභය පළමුවන සිත දූෂ්‍ය කරන උපක්ලේෂය ලෙස මෙහි දී පෙන්වා දී තිබෙනවා. මේ කියන අභිජ්ඣා හා විසමලෝභය මෙහි එකක් වශයෙන් පෙන්වා දී තිබුණත් ඇත්තෙන් ම බැලූ බැල්මට දෙකක් වශයෙන් අපේ සිත දූෂ්‍ය කරනවා. අභිජ්ඣා යන්නෙන් අදහස් වන්නේ අපට පුහුදුන් ගතිය නිසා ස්වභාවයෙන් ම හුරු වෙලා තිබෙන එක්රැස් කරගන්නා වස්තුව දේපොළ පිළිබඳ අපේ සිතේ නලියන ආශාව යි. අපි හැමවිටම මේ එකතු කරන දේ පිළිබඳ මමායනයකින් ක්‍රියා කරනවා. මෙම ස්වභාවයේ ම තවත් වර්ධනය වූ අවස්ථාවක් තමා විෂම වූ ලෝභය. මෙහි දී ඇති විශේෂ ලක්ෂණය වන්නේ තමන් විසින් එකතු කරගෙන ගොඩ ගහගෙන ඉන්න වස්තුව, මිල මුදල්, මුතු මැණික්, ආභරණ, යාන වාහන ආදිය ඉක්මවා පිටස්තර අය විසින් රැස්කරගෙන තිබෙන එවැනි දේ පිළිබද, ඇති කරගන්නා ආශාව, එහෙම නැතිනම් බැඳීම. එපමණක් නොව මෙහි තවත් වර්ධනිය අවස්ථාවක් තමා පුරුෂයෙක් නම් ඔහු විෂම ලෝභයෙන් තෙරපෙමින් ක්‍රියා කරන කොට තමන්ගේ භාර්යාව පිළිබඳ ඇති කරගෙන තිබෙන ආශාව හෙවත් ලෝභය ඉක්මවා අනිකුත් පුරුෂයන්ගේ භාර්යාවරුන් ගැන පවා ආශාවක් බැඳීමක් ඇති කරගෙන තවදුරටත් ක්‍රියාත්මක වී පර ස්ත්‍රී සේවනයට පවා යොමු විම. ඒවගේ ම තමා ස්ත්‍රියක් නම් පරපුරුෂ සේවනයට යොමු විම. මෙම සමාජ ධර්මතාවන්ට පවා පටහැනි වූ නිතියට පවා විරුද්ධ වූ ක්‍රියාවකි. මේ ආකාරයෙන් බලන විට මෙම විසම ලෝභයේ දී පුද්ගලයා එක පැත්තකින් අනුන්ගේ වස්තුව පිළිබඳ වූ ආශාව ක්‍රියාත්මක වනවා වගේම තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් පිනවිමේ ආශාව වශයෙන් ද මේ විෂම ලෝභය ක්‍රියාත්මක වනවා. වස්තුව දේපොළ රැස්කරගෙන ඒ පිළිබඳ ආශාවෙන් පෙළෙන පුද්ගලයාගේ ලක්ෂණයක් වන්නේ ඔහු තමා රැස්කරගත් ධනය වස්තුව ඒ ආකාරයෙන් ම පවත්වා ගැනිමට දරන්නා වූ උත්සාහය යි. එහි දී ඔහු ඒ ධනය වස්තුව තමන්වත් ප්‍රයෝජනයට නො ගන්නවා පමණක් නොව වෙනත් අයෙක් පරිභෝග කරනවාට හරි, පාවිච්චි කරනවාට හරි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහුට අවශ්‍ය කරන්නේ එය ගොඩ ගසා ගෙන කාලය ගෙවීමට යි. මේ අතර අනුන්ගේ සැප සම්පත් දිහා බලා තමන්ටත් එවැනි සැප සම්පත් ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනවා හරි අනුන්ගේ සැප සම්පත්වලට ඊර්ෂ්‍යා කරමින් ඒවාට ලොල් බවක් ද ඇති කර ගන්නවා. දැන් අදින්නපුබ්බක, මච්ඡරිය කෝසිය සිටාණන් වැනි අය පිළිබඳ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කථා පුවත් මෙයට නිදසුන් වශයෙන් අපට යොදා ගත හැකියි. අදින්නපුබ්බක සිටුවරයා තමන්ගේ එක ම පුතු රෝගාබාධිතව දැඩිව ගිල්නව සිටිය දී පවා බේත්හේත් කිරීමට ධනය යෙදෙව්වේ නැත්තේ ද, පුතණුවන් මිය ගියොත් සිටුවරයාගේ මෙම ධනය රැස්කොට ඒවා ඒ ආකාරයෙන් වැය නොකර තබා ගැනීමේ පරම ආශාව දැඩිවීම නිස යි, මෙම ලෝභ සිතිවිල්ලේ තවත් භයාතක පැත්තක් තිබෙනවා, එය තමා තමාට ම තමන් වංචාකාරි ලෙස ලෝභය ක්‍රියා කිරිම. මේ පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ වංචකධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම නමැති ධර්මග්‍රන්ථයේ පැහැදිලිව පෙන්වා දෙනවා. 
ඒ අනුව තවදුරටත් මේ ලෝභ චෛතසිකයේ ස්වභාවය විමසා බැලුවොත් නිදසුනක් විදිහට සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ ගුණධර්ම නිසා කිර්ති ප්‍රශංසා ලබන අය ප්‍රසිද්ධ වෙනවා. අපි සිතුවොත් දුගී මගි අසරණ පිරිස්වලට විවිධ පරිත්‍යාග කරමින් ඔවුන් නගා සිටුවිමට ඇතැම් උදවිය මහත් උනන්දුවකින් ක්‍රියා කරන ආකාරය. මේ ගැන බලන යම් කෙනෙක් තමන්ටත් එවැනි කීර්තියක් ප්‍රසිද්ධියක් අපේක්ෂා කරන අයෙක් ඒ විදියට ම අසරණ පිරිස් සඳහා එසේ පරිත්‍යාගශීලි ව ක්‍රියා කරනවා නම් ඒ තුළින් ලෝභය යටපත් වූවා යයි කියන්නට බැහැ. සත්‍ය වශයෙන් ම සිදු වී තිබෙන්නේ කිර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරන ලද එම පරිත්‍යාගයන් ඔහුගේ ආශාව, තෘෂ්ණාව හෝ එසේත් නැතිනම් ලෝභය තවදුරටත් වර්ධනය වීම යි. මේ ආකාරයෙන් ලෝභය නමැති චෛතසිකය වංචක ලෙස ඉදිරිපත් වී ක්‍රියා කරන්නට හැකියාව පවතිනවා. ඒ අනුව බාහිර පෙනුම තුළින් කුසල සිතිවිල්ලකි. යථාර්ථ වශයෙන් පැවතී ඇත්තේ අකුසල සිතිවිල්ලකි. මෙපමණක් ම නොවේ මේ ලෝභය නම් වන චෛතසිකය මේ ආකාරයෙන් තවත් විවිධ පැති කඩ ඔස්සේ ලෝභය අඩු කරගන්නට යයි අප විසින් සිතා ක්‍රියාත්මක කරන ඇතැම් ක්‍රියාවන් අපේ තෘෂ්ණාව වෙනත් ආකාරයෙන් වැඩි වන ලෙස ක්‍රියාත්මක වෙනවා. ලෝභයට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල අත්හැරීම යි. හෙවත් දානය යයි. අපි සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේට දානය දෙන්නේ මේ අත්හැරීම කියන සිතිවිල්ල මත සිට යි. යම් දායක මහත්මයෙක් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට විවිධාංගයෙන් සම්පුර්ණ වූ මහාදානයක් දෙනවා. එහි දී ඔහු බලාපොරොත්තු වෙනවා නම් එම ප්‍රතිග්‍රාහක භික්ෂූන් වහන්සේ ලවා මහජනකායක් මැද තමන්ගේ දානය ගැන හෝ තමන් ගැන නර්ණනාවක් කර ප්‍රසිද්ධියක් ලබා ගැනිමට. එයිනුත් සිදු වී තිබෙන්නේ ලෝභය හෙවත් ගුණවර්ණනා පිළිබඳ ආශාව තියුණු වීම යි. මෙය බරපතළ කෙලෙස් සහිත තත්වයක්. මෙයිනුත් සිදු වී තිබෙන්නේ වංචනික තත්වයක්. මේ අනුව ඉතා නිවැරැදි වදැනගෙන ම ලෝභය යටපත් කර ගැනිමට පරිත්‍යාගය හෙවත් දානය සිදු කළ යුතු වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකෝත්තර පාරිශුද්ධිය ලබන මග ...

බිබිල යල්කුඹුර, 
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, 
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි

අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය.
ලෝකෝත්තර පාරිශුද්ධිය අග්‍රතර සැපතකි. එය ලබන ආකාරය පිළිබඳ සම්බුදු හිමියන් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සමණ වර්ගයෙහි අන්තර්ගත න්හාතක සූත්‍රයේ විස්තර දක්වා ඇත. න්හාතක පුද්ගලයා වශයෙන් අර්ථ දක්වා ඇත්තේ ලෝකෝත්තර විමුක්තිය පිණිස යොමු වූ පුද්ගලයා ය. ඔහුගේ විශේෂ ලක්ෂණ සතක් ඇති බව පෙන්වා දී ඇත.
ස්වකීය ආත්ම දෘෂ්ඨිය ප්‍රහීණ කිරීම, බුද්ධාදි අටතැන කෙරෙහි සැකය ප්‍රහීණ කිරීම, විවිධ ව්‍රත සමාදානයෙන් තොර වීම, රාගයෙන් තොරවීම, ද්වේශයෙන් තොර වීම, මෝහයෙන් තොර වීම, මානයෙන් තොර වීම, ආදී ලක්ෂණයන් ය. මේ කරුණු එකින් එක පිළිබඳ විමසා බලමු.
ආත්ම දෘෂ්ඨිය අප බොහෝ දෙනා සන්තකයේ ඇති මනෝ මූලික කරුණකි. අප එදිනෙදා කරන බොහෝ දේ සඳහා බලපා ඇති ප්‍රබල සාධකය නම් ආත්ම දෘෂ්ඨිය යි. මම ය, මාගේ ය, මගේ ආත්මය ය ආදි ලෙස තමා පිළිබඳව ඇති කරගන්නා වූ මනෝභාවයන් නිසා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගැනීම උගහට ය. එබැවින් පළමුව කළ යුතු මෙම මනෝභාවයෙන් මිදීමයි. සැම විටෙක ම අනිත්‍යතාව මෙනෙහි කරමින් ඕනෑම විටෙක සියලු දේ බැහැර කිරීම පිළිබඳව සිත වැඩීමට හැකි නම් එම හැඟීම යටපත් කර ගත හැකි ය. කෙසේ වුව ද සක්කාය දිට්ඨිය බැහැර කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. සෝවාන් නම් ආර්ය තත්ත්වයට පත්වීම සඳහා ප්‍රබලව ම බලපානු ලබන්නේ මෙ කරුණයි. මෙම සාධකය යි. ඉතින් එම උත්තරීතර මාවත කරා ගමන් කරන අපත් සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ඨිය බිඳ හෙළීම සඳහා කටයුතු කළ යුතු ය.
දෙවැන්න නම් විචිකිච්ඡාවයි. විචිකිච්ඡාව කරුණු අටක් මුල් කරගෙන පවතී. එදිනෙදා දිවියේ ඇති කරගන්නා වූ සැකසංකාවලට වඩා වෙනස් විදියේ සැකසංකා පිළිබඳව මින් කියවේ. මෙය ගැඹුරු වුවකි. ලෝකෝත්තර විමුක්තිය සඳහා පිළිවෙත් පුරන අප වෙසෙසින් ම විචිකිච්ඡාව දුරලිය යුතු ය. එය අට ආකාර බව ඉහතින් දැක්විණි. මේ අට නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය, ධර්ම රත්නය කෙරෙහි සැකය, සංඝ රත්නය කෙරෙහි සැකය, තමාගේ පෙර ආත්මය ගැන ඇති සැකය, තමාගේ අනාගත ආත්ම භාවය ගැන ඇති සැකය, තමාගේ අතීත හා අනාගත ආත්ම කෙරෙහි ඇති සැකය, සද්ධර්මය කෙරෙහි ඇති සැකය, පටිච්චසමුප්පාදය කෙරෙහි ඇති සැකයයි.
මෙම අටවිධාකාර සැකයෙන් යුතු තැනැත්තාට කිසිම දිනෙක මාර්ගඵල නිවන් සම්පත්තිය කරා ළඟා විය නොහැකි ය. මන්ද නිවන අවුරාලන එක් දොරටුවක් ලෙස විචිකිච්ඡාව නම් කර තිබීම නිසා ය.
තෙවැන්න නම් සීලබ්බතපරාමාස හෙවත් විවිධ ව්‍රත සමාදන් වීමයි. බුද්ධ කාලීනව ද විවිධ ව්‍රත සමාදම් වූ අය සිටි බව පෙනේ. විටෙක බුදුන් වහන්සේ අභිමුඛයට පැමිණි බමුණන් දෙදෙනෙක් තමන් සුනඛයෙකු මෙන් කටයුතු කරන බවත්, අනාගත ආත්ම භාවය කෙසේ වේදැයි විමසා සිටි විට අනාගතයේ සුනඛයෙකු ලෙස උප්පත්තිය සිදුවිය හැකි බව පෙන්වා දුන් සේක. එසේම තවෙකෙක් වෘෂභ ව්‍රතය අනුගමනය කළ අතර, ඔහු වෘෂභයෙකු ලෙස උප්පත්තිය ලබා ගන්නා බව පෙන්වා දුන් සේක. මීට අමතරව කිසිම ප්‍රතිඵලයක් ළඟා කරගත නො හැකි දුෂ්කර සීල ව්‍රත ඕනෑ තරම් තිබේ. ඒවා පිළිපැදීමෙන් ඇතිවන යහපතක් නැත. ශරීරයට දැඩි දුක් දෙමින් ගෙන යන එම ප්‍රතිපදාවෙන් කිසිම ඵලයක් නොමැති ය. එපමණක් ද නොව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආර්ය මාර්ගය මෙයයැයි සාවද්‍ය මාර්ගවල ගමන් කරමින් නිවන සෙවීමට උත්සාහ කරන පිරිස් වර්තමානයේ ද දැකිය හැකි ය. ඔවුන් ද වැරැදි ශීල ව්‍රත අනුගමනය කරන බැවින් නිවන සාධනය කර ගැනීමට ඇති බාධක තවත් වර්ධනය කර ගනී.
සිව්වැන්න රාගය ප්‍රහීණ කිරීම යි. අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය. ඇස - රූප, කන - ශබ්ද, නාසය - සුවඳ, දිව - රස, ශරීරය - ස්පර්ශය ආදියයි. පඤ්ච ඉන්ද්‍රියයන්ට අරමුණු වන දෑ නිසා අප කෙරෙහි ඇති වන්නේ ආශාව යි. ඇල්ම යි. ලෝභකම යි. ඉතින් මේ මනෝභාවය ප්‍රහීණ නො කරන තාක්කල් අප සංසාරයේ ඇවිද යෑමට කරුණු වැඩිදියුණු කරගනී.
ඊළඟ කරුණ නම් පටිඝයයි. නැතිනම් ද්වේෂය යි. ද්වේෂය නම් මනෝමූලික හැඟීම අපගේ සිත මහත් පීඩාවට පත් කරන්නකි. එපමණක් නොව අනෙකාට විපත් පැමිණවීම සඳහා කටයුතු සිදු වන්නේ ය. අනුන් මැඩීමට, පාගා දැමීමට, යන මඟ අවුරා දැමීමට ඇති කරගන්නා වූ ද්වේශ පටිඝය යනුවෙන් හැඳින්වේ. එය කරුණු නවයක් මුල්කරගෙන ඇති වේ. එනම්, මට අනර්ථයක් කළේ ය, මට අනර්ථයක් කරන්නේ ය, මගේ හිතවතාට අනර්ථයක් කළේ ය, මගේ හිතවතාට අනර්ථයක් කරයි, මගේ හිතවතාට අනර්ථයක් කරන්නේ ය, මගේ සතුරාට යහපතක් කළේ ය. මගේ සතුරාට යහපත් කරයි, මගේ සතුරාට යහපතක් කරන්නේ ය, ආදී ලෙස ඇති කරගන්නා වූ මානසික හැඟීම යි. මේ හැඟීමත් සමඟ විවිධ වූ ව්‍යසනශීලී හැඟීම් සිතට කා වදී. එය ඔහුගේ ජීවිතය පමණක් නොව සාමාජීය ජීවිත ද මහත් පරිහානියට පත් කරන්නකි. එබැවින් ද්වේෂශීලීත්වයෙන් මිදිය යුතු ය.
සයවැනි කරුණ නම් මෝහයයි. මුලින් සඳහන් කළ කරුණු රැස කෙරෙහි ම බලපාන්නේ මෝහය යැයි කීම වරදක් නොවේ. මුලාව ඇති කරගැනීම නිසා ඉහත සියලුම අනර්ථයන් සිදු වන බැවිනි. මෝහය ඇති කල කිසිම දෙයක් නිවැරැදිව වටහා ගත නො හැකි ය. හරි දේ වැරැදි දේ ලෙස පෙනේ. වැරැදි දේ හරි දේ ලෙස පෙනේ. එවිට සංසාර ගමන දීර්ඝ වේ. එබැවින් මෝහයෙන් තොරවීම සඳහා අවශ්‍ය කරුණු පෝෂණය කරගත යුතු ය. දහම විමසීම මගින් එය උදාකරගත හැකි ය.
අවසාන කරුණ නම් මානය යි. මානය යනු ආකාර කිහිපයකින් ඇති කරගන්නා වූ මානසික හැඟීමයි. ජාති මානය, ධන මානය, ගෝත්‍ර මානය ආදී දෑ නිසා ලෞකිකත්වය පරිහානියට පත්වන බව පරාභව සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ලෝකෝත්තර විමුක්තියට මඟ අවුරාලන සාධකය වන්නේ ද එයම ය. මානයෙන් යුතු වූයේ නම් ගැළවීමක් නැත. එය ආකාර තුනක් පාදක කරගෙන ඇති වේ. සෙය්‍ය මාන – තමාට වඩා අනුන් පහත් යැයි සිතීම, සදිස මාන – තමා හා අනුන් සමාන යැයි සිතීම, හීන මාන – තමාට වඩා අනුන් උසස් යැයි සිතීම ආදී ලෙස ඇතිවන මානසික හැඟීම බොහෝ දේ යටපත් කිරීමට සමත් වේ. එබැවින් මානයෙන් යුතු වීම බොහෝ දේ පමා කරන සාධකයක් බැවින් ත්‍රිවිධ මානයෙන් දුරුවිය යුතු ය.
ඉහතින් සඳහන් කළ කරුණු සත පිළිපදින තැනැත්තාට න්හාතක නමින් වූ පාරිශුද්ධ භාවයට පත් විය හැකි ය. එය ලෝකෝත්තර විමුක්තියට පැමිණීම යි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෞද්ධ අනාත්මවාදය

බුදුදහමේ උගන්වන ප්‍රධාන ඉගැන්වීමක් ලෙසට අනාත්මවාදයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එයට හේතුව මේ ඉගැන්වීම දැනීමක් ලෙසටත් (ම්දධඹතඥඤඨඥ) , ප්‍රගුණ කළ යුතු දෙයක් ලෙසටත් (ර්‍ථපචජබඪජඥ) දහමේ උගන්වන නිසාය. සමහරක් සම්ප්‍රදායන් පුද්ගලයා දේව නිර්මාණයකටත් තවත් සම්ප්‍රදායන් අහේතුවාදයකටත්, සමහරක් ස්වභාව නිත්‍යවාදයකටත්, හේතුඵලවාදයකටත් ඇතුළත් කර විග්‍රහ කිරීමට උත්සාහවත් වූ බව පෙනේ.අහේතුවාදින් සහ හේතුඵලවාදය පිළිගත් බෞද්ධ සම්ප්‍රදායන් ආත්මවාදයක් තුළ සත්වයා සහ ලෝකය විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවුණු බව පෙනේ.
බෞද්ධ ඉගැන්වීම්වල එන අනාත්ම සංකල්පය තේරුම් ගැනීම සඳහා ආත්ම සංකල්පය සහ එහි ස්වභාවය වටහාගැනීම වැදගත් වේ. අත්ත (ආත්මය) යන වචනය පාලි සාහිත්‍යයේ අර්ථ තුනක් සඳහා යෙදී ඇත. පළමුවැන්න තමා යන අදහස හැඟවීම සඳහා ය. (අත්තහිතාය පටිපන්නො. තමාගේ යහපත සඳහා පිළිපන්) දෙවැන්න කය සහ සිත ඇතුළත් පුද්ගලයා හැඟවීම සඳහාය . (අත්තපටිලාභ,ජීවි උප්පත්තියක් ලැබීම) මෙම ලිපියෙන් ආත්මවාදය ලෙසට සාකච්ඡා කරනු ලබන්නේ තුන් වන අර්ථය වන සියුම් පාරභෞතික අස්ථිත්වය පිළිබඳව ය.

ආත්මවාදයේ ආරම්භය කවදා, කොතැනක දී සිදු වී ද යන්න කිව නොහැකි ය. ඉන්දු ආර්ය යුගයේ පවා ආත්මවාදි අදහස් දැරු බවට උද්ධෘත ඍග්වේදිය සුක්තයන්ගෙන් හමුවේ. සෑම පුද්ගලයෙකු තුළම ආත්මයක් පවතින බවත් එය සත්‍ය වූ පදාර්ථයක් බවත් උපනිෂද් චින්තකයෝ සිතූහ. එම ආත්මය ඔවුන් විවිධාකාරයට විස්තර කර ඇත. ශරීරය තුළ ඇති සහල් ඇටයක් බදු අතිශයින් කුඩා ද්‍රව්‍යයක් බවත් එය හදවතේ තැන්පත්ව ඇති බවත් සමහරුන් දැක්වූ අතර එය මහපොළොව, අහස බදු ඉතා විශාල දෙයක් ලෙසට ද විස්තර කර ඇත. එසේම එය තථ්‍යය සැබෑ දෙයක් බව පෙන්වයි. සෑම දෙයක් කෙරෙහිම කෙනෙකු තුළ ආශාවක් ඇතිකර ගනු ලබන්නේ ඔහු තම ආත්මයට ඇති කැමැත්ත නිසා බව උපනිෂද් චින්තකයන්ගේ අදහස විය. එය නූපදින ,නොමියෙන, හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් දෙයක් ලෙසට දක්වයි. ආත්මය අභ්‍යන්තර මමෝභාව පාලනය කරන ඒකකය (අන්තර්යාමින්) ලෙසට ද විස්තර කරයි.
මීට අමතරව ජෛනාගම ද ආත්මවාදයක් ගැන කරුණු දක්වයි. ආත්මය අයිතිවන සත්වයාගේ ප්‍රමාණය මත ආත්මයේ ප්‍රමාණය ගන්නා බව පෙන්වයි. නිගොධ යනුවෙන් හඳුන්වන පරමානු පුඤ්ජ අවකාශයේ පවතින අතර ඒ සෑම පරමාණුවකම ආත්මයක් පවතින බව පෙන්වයි. නූතනයේ ඇති සෑම දේවවාදි ආගමකම ආත්මවාදි ඉගැන්වීම් දැකිය හැකි ය.
ආත්මයක් ඇතැයි ද , එය ශාශ්වත අවිපරිණාමි සර්ව ව්‍යාපී සත්‍යයක් ලෙසට පිළිගැනීම බුදුසමය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දෘෂ්ටිවාදයක් ලෙසට ය. මේ ගැඹූරු විවේචනය අනුභූතිය ඇසුරින් කරන ලද විමර්ශනයකි.ආත්මයක් හෝ ආත්ම දර්ශනයක් නැතැයි ප්‍රතික්ෂේප කරන බුද්ධ වචනය අනාත්මයක් ඇතැ’යි ප්‍රකාශ නොකරයි. එසේ වුව හොත් එය ද දෘෂ්ටියක් බවට පත්වේ. වච්චගොත්ත පරිබ්‍රාජකයා වරක් බුදුරජාණන් වහන්සේ හමුවේ දී ආත්මයක් තිබේද? ආත්මයක් නැද්ද? යනුවෙන් ප්‍රශ්න කළ විට බුදුරජාණන් වහන්සේ එයට නිශ්ශබ්දතාවයෙන් පිළිතුරු දුන්හ. පසුව තම ස්ථාවරය විස්තර කරමින් ඇත හෝ නැත යන්නෙන් පිළිතුරු දුන්නේ නම්, ශාශ්වතවාදයට හෝ උච්ඡේදවාදයට වැටෙන බව ආනන්ද හිමියන්ට පැහැදිලි කර ඇත. මේ නිසා අනාත්ම යන්නේ අදහස් වන්නේ මතවාදයක් නොව ආත්මයක් නැත යන අදහස පමණි.
ආත්මවාදි අදහස්වලින් ජනතාව මුදා ගැනීම පහසු දෙයක් නොවන බව බුද්ධ චරිතයෙන් පෙනේ. බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාව සංසාරයත් , එහි හේතුවත්, නිර්වාණය සහ නිර්වාණ මාර්ගය පෙන්වමින් බුදුදහමේ සාරය ප්‍රකාශ කිරීම වුවද ආත්මවාදි අදහස් පස්වග තවුසන් තුළ මුල් බැසගෙන තිබුණ නිසා ම ඒ දෘෂ්ටිවාදි පරිකල්පනා බැහැර කිරීමට සුදුසු දේශනයක් ලෙසට අනාත්ම ලක්ඛණ සූත්‍රයෙන් කරුණු ගෙනහැර දක්වන්නට උන්වහන්සේ දෙවන හමුවීමේ දී ම සිදු විය. පස්වග තවුසන් රහත් භාවයට පත්වූයේ අනාත්ම ස්වභාවය අවබෝධකර ගැනීමෙනි. එසේ ම උරුවෙල කාශ්‍යප ආදි ජටිලයන් දමනය කිරීමෙන් පසුව ඔවුන් පිළිගත් ආත්මවාදි අදහස් දුරුකිරීමට ආදිත්තපරියාය සූත්‍රයේ එන අනාත්මවාදී කරුණු ප්‍රකාශ කිරීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේගේ උත්සාහය වූයේ සත්ත්වයා ආත්මවාදී දෘෂ්ටියෙන් මුදා ගැනීම බව පෙනේ. උපනිෂද් චින්තකයින් හෝ ජෛන ,සාංඛ්‍ය චින්තකයින් හෝ ආත්මයක් ඇතැයි සලකා ඇත්තේ කුමක් පදනම් කරගෙන ද යන්න සමනුපස්සනා සූත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. “මහණෙනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් ආකාරයෙන් ආත්මය දකින්නේ නම් , ඒ සියල්ල පඤ්ච උපාදානස්කන්ධය හෝ ඉන් එක්තරා ස්කන්ධයක් සේ අනුසාරයෙන් ම දකී. “ඍග්වේදයේ සිට උපනිෂද් යුගය දක්වාත් බටහිර ලෝකයේ ප්ලේටෝ සිට දේකාත් දක්වාත් , ආත්මවාදි අදහසක් ප්‍රකාශ කර ඇත්නම් ඒ සියල්ලක් පුද්ගලයා සම්බන්ධව ඔහු ඇසුරු කරමින් හෝ ඔහුගේ මනස හදවත, ප්‍රාණය , හුස්ම සහ නොපෙනෙන සිරුර සමඟ ආබද්ධ ශක්තියක් සම්බන්ධ කරමින් විග්‍රහ කර ඇත. මේ නිසාම බුදුරජාණන් වහන්සේ ආත්මය පඤ්චස්කන්ධය අනුසාරයෙන්ම දකින බව පැහැදිලි කර ඇත. පඤ්ච ස්කන්ධය යනු පුද්ගල සම්මුති නාමය ඇති කරන අවයව පසයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ යනුවෙන් එවා හඳුන්වා ඇත. මේ එකක් එකක් අවයව හෝ පුද්ගලයා යන එහි සමස්තය හෝ වෙනස් නොවන, සදාකල්හි පවතින අවිච්ඡින්න දෙයක් ලෙසට නො ගත යුතු බව අනාත්ම ලක්ඛණ සූත්‍රයෙහි පෙන්වා දී ඇත. “මහණෙනි, රූපය ආත්මය නොවේ. යම් හෙයකින් මේ රූපය ආත්මය වී නම් රූපය ආබාධ පිණිස නොවන්නේ ය. මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නොවේවා යනුවෙන් අපේක්ෂා කළ හැකි වෙයි. මහණෙනි යම් හෙයකින් රූපය ආත්මය නොවේද, ඒ හේතුවෙන් රූපය ආබාධ පිණිස පවතියි. මාගේ රූපය මෙසේ වේවා, මෙසේ නොවේවා යනු රූපයෙන් අපේක්ෂා කළ නොහැකි ය.” මේ ආකාරයට අනෙකුත් ස්කන්ධයන් ද ආත්මයක් ලෙසට ගත නොහැකි බව පෙන්වයි. මින් අදහස් වන්නේ යමක් තමාට පාලනය කළ නොහැකි නම්, විවිධ පීඩාවන්ට සහ අපහසුතාවයන්ට තමාගේ අකැමැත්තෙන් පත්වේ නම් , ස්වකීය අභිමතය ඉක්මවා යයි නම් එය ආත්මීය වශයෙන් ගත නොහැකි බව අවධාරණය කරයි. අනාත්ම ලක්ඛණ සුත්‍රයෙන් පඤ්චස්කන්ධය ම තමාට අයත් දෙයක් නොවන බව පෙන්වයි. “මහණෙනි, යමක් අනිත්‍ය ද , දුකද , පෙරළෙන ස්වභාවය ඇත්තේ ද , එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මය වේ යනුවෙන් ගැනීම සුදුසු වේද? නැත ස්වාමීනි” යනුවෙන් භික්ෂූන්ගේ පිළිතුර විය. මෙහි පෙන්වන හරය නම් පුද්ගලයා යැයි සලකන ස්කන්ධ පහම තමාට පාලනය කළ නොහැකි නිසාත් ආබාධ මෙන්ම දිරාපත් වීම් වලට නිරතුරුවම ලක් වන නිසාත්, නිත්‍ය ශක්තියක් නොවන නිසාත් බලයක් ලෙසට සාරයක් ලෙසට ගත නොහැකි නිසාත් ආත්මයක් නැති ස්වභාවයක් ගන්නා බව අවධාරණය කරයි.
සච්චක සූත්‍රය ද අනාත්මවාදී අදහස් ප්‍රකට කරන සූත්‍රයකි. පඤ්චස්කන්ධයම ආත්මය බව සච්චක ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ පෙරළා ප්‍රශ්න කරමින් පඤ්චස්කන්ධය තම ආධිපත්‍යය තුළ ක්‍රියාත්මක වන දෙයක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේම පඤ්චස්කන්ධයම එකිනෙක ගනිමින් මහාභූත නියෝජනය වන රූප එනම්,ඔලාරික කය නොවෙනස්ව තබා ගත හැකි ද යන්න ප්‍රශ්න කරන ලදී. දෙවන ප්‍රශ්නය ලෙසට එම වෙනස සුවදායක ද ? දුක්ඛදායක ද? යන්න ප්‍රශ්න කරන ලදී. තුන්වන ප්‍රශ්නය ලෙසට වෙනස් වන, දුක්ඛ වශයෙන් පවතින යමක් මගේය, මම වෙමි, මේ මාගේ ආත්මයයි සැලකිය හැකිද යන්න ප්‍රශ්න කරන ලදී. එහි දී සච්චක තැන යනුවෙන් පිළිතුරු දී ඇත. මේ ප්‍රශ්න තුන ආත්මවාදි පිළිගැනීම නැති කරයි. යමක් වෙනස් වේ නම්, තිබුණු දෙයින් අන්‍ය බවට පත්වේ නම් ඒ තුළ ආත්මීය ලක්ෂණයක් නො මැති බවයි. එසේම වෙනස් වීම කරණකොටගෙන තම පාලනය ඉක්මවා ගිය දුක්ඛා දි අත්දැකීමක් ලබා දෙයි නම් ඒ තුළද ආත්මීය ලක්ෂණයක් ප්‍රකට නොවන බවයි. උදාන පාලියේ මේඝිය සුත්‍රයේ දක්වන අන්දමට අනාත්මවාදය ඇති වන්නේ අනිත්‍යතාවාදය මත බව දක්වා ඇත. සකස් වූ වස්තුන්ගේ ලක්ෂණය වෙනස් වීමයි. එහිදී වෙනස් නොවන අස්තිත්වයක් දැකිය නොහැකි හැකි ය. ආදිත්තපරියාය සූත්‍රයේ හි මනෝ ධර්ම සියල්ලක් දැවෙන දේවල් ලෙසට අර්ථ ගන්වා ඇත. දැවීම යනු විනාශ යයි. තිබුණු දෙයින් වෙනස් තත්වයකට පත්වීමයි. මේ මනෝ භාවයන්ගේ නිත්‍ය ස්වභාවයක් නැත. මේ නිසාම ආත්මීය තත්ත්වයකින් සැලකිය නොහැකි බව පෙන්වයි.
සත්ත්වයා තුළ ආත්මයක් ඇතැයි යන හැඟීම තිබෙන තුරු කෙනෙකුට නිවන් ලැබීමට නොහැකි ය. එයට හේතුව පඤ්චස්කන්ධය නිත්‍ය සදාතනික සදාචාරාත්මක පිරිසුදු දෙයක් ලෙසට විශ්වාස කරමින් මුළාවට පත්ව ඇති නිසා ය. ආත්මය පිරිසිදු නම් එයින් අපිරිසුදු ක්‍රියා සිදුවන්නේ කෙසේද යන තර්ක ඇති වීම වැළැක්විය නොහැකිය. මේ නිසා ආත්මවාදියාට නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදාව හඳුනා ගැනීමට අපහසු වේ. මේ සඳහා අනාත්ම සංකල්පය ප්‍රතිපදාවක් ලෙසට ප්‍රගුණ කළ යුතුව ඇත. ත්‍රි ශික්ෂණයක් හඳුන්වා දී ඇත්තේ මේ සඳහා ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය

සංසාරයෙන් එතෙරවීම පිණිස ඇසුරු කළ යුතු සීල විසුද්ධියේ සිට කංඛා විතරණ විසුද්ධිය දක්වා ඉදිරියට පැමිණ සිටිමු. අපි දැන් මුහුණ දී තිබෙන්නේ ලෝකය හා සත්වයා ගැන නියම තතු දැනගෙන, සසර දුකින් එතෙර වී යාමට කළ යුතු වැඩ පිළිවෙළ ඇරඹීමට යා යුතු මග විමසා බැලීමට යි. එහෙත් තවමත් යා යුතු මග, නොයා යුතු මඟ කුමක් දැයි නොදනී. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය ගැන විමසීමෙන් වැඩිදුරටත් ඒ ගැන දැනීමක් ලබාගත හැකි යි. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යනු මේ මඟ ය. මේ නොමග යැයි දැනගෙන නොමගින් වෙන් වී, නොරැවටී ඤාණය ලැබ පිරිසිදුවීමයි. එය වඩාත් පැහැදිලි ව තේරුම් ගැනීමට පාඨකයාට පහසු වන අයුරින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් මෙම ලිපිය ආරම්භ කරනු ලැබේ.
01.පරමාර්ථ වශයෙන් සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් යයි ගත හැකි කිසිවක් තිබේ ද? නැත.
02.එසේ නම් ඇත්තේ කුමක්ද? නාමය හා රූප මාත්‍රය පමණි.
03.නාමය හා රූපය කෙබඳු දෙයක්ද? දුක් රැසකි.
04.එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහි ද? දුක්ඛ සත්‍යයෙහිය
05.එසේ අවබෝධ කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ව්ිට්ඨී විසුද්ධි වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් පිරිසුදු වීමයි.
06.දුක් රැසක් වන නාම රූප ඇති කරන්නේ කවරෙක්ද? ඒවා දෙවියකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ඇති කරනු ලබන්නක් නොවේ. ඉබේ ඇති වන්නක්ද නොවේ. ඒවා ඇති වන්නේ හේතු ප්‍රත්‍යය වශයෙනි.
07. එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහිද? දුක්ඛ සමුදය සත්‍යයෙහි ය.
08.එසේ අවබෝධ වීමෙන් ලැබෙන විසුද්ධිය කුමක්ද? කංඛා විතරණ විසුද්ධියයි.
09.කාම – රූප – අරූප යන භවත්‍රයෙ ඇති පොදු ලක්ෂණය කුමක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්‍රිලක්ෂණයයි.
10. සියලු සංස්කාරයන් සදාකාලික නොවී, ඇතිව නැති වී යාම නිසා ඇතිවන ප්‍රතිඵල මොනවාද? බිය හා දුක ඇති වෙයි.
11.සියලු සංස්කාරයන් අනාත්ම වශයෙන් සැලකීමට ඇති හේතු මොනවාද? (අ) තමන්ගේ වසඟයෙහි පවත්වා ගත නො හැකිවීම (ආ) ආත්මය වශයෙන් ගත හැකි කිසිවක් නැතිවීම
12.රූප ස්කන්ධය ඇතිවන්නේ කුමක් හේතු කොටගෙන ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් හේතු කොට ගෙන ය.
13.රූපස්කන්ධය නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි
14.වේදනා , සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් ඇතිවන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම හා ස්පර්ශ හේතු කොට ගෙන ය.
15.වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා කර්ම හා ස්පර්ශ යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි.
16.අවිද්‍යා, තෘෂ්ණා කර්ම , නාමරූප යන ප්‍රත්‍යයන් හේතු කොටගෙන ඇති වන්නේ කුමක් ද? විඤ්ඤාණ ස්කන්ධය ඇති වෙයි.
17.විඤ්ඤාණ ස්කන්ධය නැති වන්නේ කෙසේ ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාමරූප යන මේවා නිරුද්ධ වීමෙනි.
18.සියලු සංස්කාර ධර්මයන් විදර්ශනා කරන යෝගාවචරයාට ප්‍රතීත්‍ය සමුප්පාද ලක්ෂණයන් ප්‍රකට ව වැටහීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?
“මේ සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යය බලයෙන් ඉපිද නිරුද්ධ වෙතැයි සියලු සංස්කාර ධර්මයන් නිතරම අලුතින් උපදින්නවුන් සේ වැටහෙයි. එසේම මේ සංස්කාර හිරු උදාවෙහි පිනිබිදු මෙන්ද, දිය බුබුලක් මෙන්ද, දියෙහි ඇඳී ඉරක් මෙන්ද, මිරිගු දියක් මෙන්ද, සිහිනෙන් දුටු දෙයක් මෙන්ද, ගිනි පෙනෙලි චක්‍රයක් මෙන්ද, පෙණ පිඩක් මෙන්ද, කෙසෙල් කඳක් මෙන්ද නිස්සාර වශයෙන් වැටහෙයි. මෙසේ ඇතිවීම නැතිවීම ප්‍රතිවේධ කොටගත් තැනැත්තාට උදය ව්‍යය ඤාණය නමැති ප්‍රථම තරුණ විදර්ශනා ඤාණය ඇති වෙයි. මේ උදය ව්‍යය ඥානය උපන් තැන් පටන් ඒ යෝගාවචරයා පටන් ගත් විදර්ශනා භාවනා ඇත්තෙකැයි කියනු ලැබේ.
19.විදර්ශනා උපක්ලේශ උපදින්නේ කවරකුට ද?
උදය ව්‍යය අනුපස්සනා වශයෙන් පටන්ගත් විදර්ශනා භාවනා ඇති තරුණ විදර්ශකයාටය.
20. විදර්ශනෝපක්ලේශ කොපමණ තිබේද? 10 කි.
21.ඒ විදර්ශනෝපක්ලේශ 10 මොනවාද?
ඕභාසෝ පීති පස්සද්ධි
අධි මෝක්ඛෝ ච පග්ගහෝ
සුඛං ඤාණඋපට්ඨාන
උපෙක්ඛාච නිකන්තිච
22. ඒ එක් එක් කරුණ කෙටියෙන් හඳුන්වන්න
1.ඕභාස – විදර්ශකයාගේ ශරීරයෙන් නිකුත්වන ආලෝකය
2.පීති – ඛුද්දික, ඛණික, ඔක්කන්තික.උබ්බේග, ඵරණ යන පස්වණක් පී‍්‍රතීන් වශයෙන් හැඳින්වෙන යෝගාවචරයාගේ ශරීරය පිනවමින් උපදින පී‍්‍රතිය
3.පස්සද්ධි – යෝගාවචරයාගේ චිත්ත චෛතසිකයන් සන්සිඳුවමින් ඇතිවන සැහැල්ලු බව
4.අධිමොක්ඛ – චිත්ත චෛතසිකයන් තුළ ඇතිවන බලවත් ශ්‍රද්ධාව
5.පග්ගහය :– පටන් ගන්නා ලද බලවත් වීර්යය
6.සුඛය – යෝගාවචරයාගේ සියළඟ උල්පවමින් උපදින විදර්ශනා සැපය
7.ඤාණය – ප්‍රඥාව, ඒ ඒ පදාර්ථයන් තියුණුව වැටහෙන ශක්තිය
8.උපට්ඨානය – සිහිය, සර්වාකාරයෙන් දිවැසින් බලන්නකුට මෙන් ඉතා පිරිසිදුව වැටහීම .
9.නිකන්තිය – ඕභාසය ආදි කොට ඇති නවය කෙරෙහි දස වැනිව උපදින ආලය එය අකුසල සහගත ය. එබැවින් උපක්ලේශයකි.
පෙර ලක්දිව තලගුරු නම් වෙහෙරෙහි ධම්මදින්න නම් සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේගේ ගුරු හිමියෝ උච්චවාලික විහාරවාසි මහා නාග නම් මහ තෙරණුවෝ ය. උන්වහන්සේ චිත්ත විසුද්ධිය ලෞකික ධ්‍යාන සමාපත්ති උපදවාගෙන, විදර්ශනා භාවනා කොට ඕභාසාදිය උපන් කල්හි එයින් පමණක් තෘප්තියට පැමිණ වාසය කළහ. ශිෂ්‍ය ධම්ම දින්න මහරහතන් වහන්සේ ඒ බව දැන, එක් දවසක් අහසට පැන නැගී තම ගුරුවරයා වෙසෙන උච්චාවාලික විහාරයට වැඩම කොට වත් පිළිවෙත් කොට, වැද අවසර ගෙන ප්‍රශ්න විමසූහ. ගුරු හිමියෝ ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්හ. ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේ” ස්වාමීනි, ඔබ වහන්සේගේ ප්‍රඥාව අතිශයින් .තියුණු ය. ඔබ වහන්සේට ඍද්ධි ප්‍රතිහාර්ය දැක්විය හැකි දැයි ඇසූහ.” බැරි නැතැයි ගුරුවරයාගේ පිළිතුරු විය,”ස්වාමීනි, එසේ නම් එක් ඇතෙකු මවනු මැනවැයි ඇරයුම් කළහ. ගුරු හිමියෝද සුදු ඇතකු මැවූහ. “ස්වාමීනි මේ ඇතා කන් දෙක කෙලින් කරගෙන, නගුට ඔසවා ගෙන හොඬය හකුළා ගෙන, බිහිසුණුූ කුඤ්ච නාද කරමින් තමන් වහන්සේ වෙත දිවගෙන එන්නැ’යි අධිෂ්ඨාන කරන ලෙස ආරාධනා කළහ. ගුරු හිමියෝ එසේ අධිෂ්ඨාන කොට, තමන් වහන්සේ වෙත වේගයෙන් දිව එන සුදු ඇත් රුව දැක, බිය වී දුවන්නට පටන් ගත්හ. එවිට ධම්මදින්න රහතන් වහ්සේ”ස්වාමීනි, ඇයි දුවන්නේ? රහතුන්ට බිය කොයින් දැයි කියා නතර කළහ. මහානාග මහ තෙරුණුවෝ එම සිද්ධියෙන් තමන් වහන්සේ පුහුදුන් බව දැනගෙන තම ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කොට පසුව රහතන් වූහ.
මේ අන්දමින් යෝගාවචරයා රැවටී අමාර්ගගාමි වන නිසා ඕභාස පීති ආදිය උපක්ලේශ ගණයට වැටේ. එහෙත් දක්ෂ බුද්ධිමත් යෝගාවචරයා, දස වැනි නිකන්තියද උපදා ගෙන, මාර්ගය ද වරදවා නොගෙන, නිකන්තිය ස්වභාවයෙන්ම අන්තරායකර ධර්මයක් බවත්, ඕභාස ආදිය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම ලක්ෂණයෙන් යුත් පටිච්ච සමුප්පන්න ධර්ම බවත් මැනවින් තේරුම්ගෙන නියම මඟ නම් විදර්ශනා වීථියට පිළිපන් විදර්ශනා ඥානය ම වේ යයි අවබෝධ කරගනී.
මෙසේ මාර්ගයත්, අමාර්ගයත් තේරුම් ගෙන අමාර්ගයෙන් වෙන් වී මාර්ගයට යොමු වී සිටි ඤාණය පිරිසිදු වූ හෙයින් මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නමින් සැලකෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤