" ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි."
උමතු බව, සිහි විකල් බව, සිහි මුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචන ය. මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතා මෙන්ම උග්‍ර මානසික විකෘතිතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ.
එසේම, සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝන්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ.
මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි. එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම්, ලෝකය යනු කුමක් දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන හෙයිනි.
සබ්බෙ පුථුජ්ජනා උම්මත්තකා
යන ප්‍රකාශය බෞද්ධ අපට ඉතා හුරු පුරුදු ය. එහි ගැඹුරු හා පළල් අදහසක් ඇත. මානසික උමතුව පිළිබඳව බුදුදහමෙහි ගැඹුරු සාකච්ඡාවක් පවතින අතර, උන්මාදය අප අත්විඳීන විවිධ මානසික විකෘතිතා අතර එක් පැතිකඩක් පමණකි.
මෙහි සාකච්ඡා වනුයේ එම පෘථුල කතාවේ ඒකදේශයකි. ඉතා කෙටියෙන් කිවහොත් බුදුදහමෙහි උන්මාද අටක වර්ගීකරණයක් හමුවේ. කාම උන්මාදය, ක්‍රෝධ උන්මාදය, දර්ශන උන්මාදය, මෝහ උන්මාදය, යක්ෂ උන්මාදය, පිත්ත උන්මාදය, සුරා උන්මාදය හා ව්‍යසන උන්මාදය යනුවෙනි. බටහිර මනෝ විද්‍යාවෙහි විවිධ වර්ගීකරණයන් යටතේ විස්තර වන සියලු මානසික රෝග ඉහත දැක්වූ උන්මාද අට තුළ අන්තර්ගත වන බව නූතන මනෝ විශ්ලේශකයන්ගේ අදහසයි.
එබැවින් බුදු දහමෙහි සඳහන් මෙකී අට උමතුව පිළිබඳ අවබෝධය අපගේ මනස පිළිබඳ අවබෝධය සඳහා මෙන්ම මැනවින් පවත්වා ගෙන යෑමට උපකාරී වනු ඇත.
කාම උන්මාදය
කාම උන්මාදය යනු කාමය නිසා ඇති වන මානසික උමතුවයි. බුදුදහම ගිහියන් සඳහා නිසි කාම සේවනයක් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුට ම මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.
පාලනය කොට ගත නොහැකි තරම් අධික ආශාවට හා තෘෂ්ණාවට යමෙකු වසඟ වුවහොත් ඔහුට හෝ ඇයට අතෘප්තිකර කාමාශාවකින් කල් ගෙවීමට සිදුවේ. අධික හා අතෘප්තිකර කාම ආශාව නිසා භයානක ප්‍රතිඵල අත් විඳීමට සිදුවිය හැකි ය.
අතෘප්තිකර කාමාශාව නිසා සියලු පිරිමින් මරාගෙන ගිය තරුණයකු පිළිබඳ සඳහන් වන අසනඝ ජාතකය මීට කදිම නිදසුනකි. පාලුව, තනිකම, මානසික අවපීඩනය, ඉච්ඡාභංගත්වය නැතහොත් බලාපොරොත්තු කඩවීම් වැනි තත්වයන්ට එවැනි අයට මුහුණ දීමට සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි හානිකර ගැනීමට තරම් උග්‍ර තත්වයකට තමා පත්වීමයි.
අනෙක් අතින් මෙබඳු පුද්ගලයන් ලිංගික අපචාරවලට පෙළඹේ. අස්වාභාවික ලිංගික ක්‍රියා, ලිංගික වධහිංසා කිරීම්, කුඩා ළමුන් දූෂණය කිරීම්, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම් වැනි ක්‍රියා මඟිින් තෘප්තියක් සෙවීමට පෙළඹෙන්නේ මෙබඳු පුද්ගලයෝ ය. කාමුකයකු තුළ පවතින මෙය උන්මාදයකි. එබැවින් කාමය පිළිබඳ අවබෝධය සෑම කෙනෙකුට ම තිබීම අවශ්‍යය.
බුදු දහම අනුව කාම වස්තූන් සමඟ කැරනු ලබන ගණදෙනුව හුදෙක් ස්වල්ප මාත්‍ර වූ ආස්වාදය ගෙන දෙන්නකි. යථාර්ථයක් වශයෙන් එයින් ලබන තෘප්තිය සිහිනයකින් ලබන ආස්වාදයක් වැනි ය. එබැවින් ආස්වාදය, ආදීනව තේරුම් ගැනීම හා නිස්සරණය හෙවත් ඒ සම්බන්ධ මානසික පාලනයක් ඇතිකර ගැනීම යහපත් පවුල් ජීවිතයකට සහ යහපත් පුරවැසියකු වීමට හේතු වේ.
කාමයෙහි ආදීනව මෙනෙහි කිරීමත්, අශූභ සංඥාව වැඩීමත් කාම උන්මාදයෙන් වැළකීමට ඉවහල් වේ.
ක්‍රෝධ උන්මාදය
දෙවන උන්මාදය වන්නේ ක්‍රෝධ උන්මාදයයි. අධික කෝපය හේතුකොට ගෙන යම් යම් අය තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාව මෙයින් අදහස් වේ. කෝපය හෝ ක්‍රෝධය වූකලි සිතිවිල්ලකි. එය ගින්නක් හා සමාන ය. බොහෝ කාලයක් කෝපය පාලනය කර ගැනීමට අසමත් පුද්ගලයාට මෙකී ක්‍රෝධ උන්මාදය ඇතිවේ. ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැති, ආගම ධර්මය පිළිබඳ පිළිගැනීමක් නැති, යතාර්ථය පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩි ය.
බුදුදහමේ පෙන්වා දෙන පරිදි
ක්‍රෝධ උන්මාදයෙන් පෙළෙන තැනැත්තාට ඉන් සිදුවන යහපත හෝ අයහපත නො වැටහේ. හරි වැරදි නොසලකයි. ධර්මය ගැන නො සිතයි. ඔහු අන්ධකාරෙය් සිටින කෙනෙකු වැනි ය. ඔහු නිතර දැවෙන්නෙකි. ලජ්ජා බිය නැත්තෙකි. ගෞරවාන්විත ව කතා නො කරන්නෙකි.
අඩුවෙන් කතා කිරීම සහ පැහැපත් නොවන මුහුණක් තිබීම ඔහුගේ ශාරීරික හා චරිත ලක්ෂණ වේ.
ක්‍රෝධ උන්මාදයේ පදනම වන්නේ මෝහය, මුළාව නැතහොත් අඥානකම වේ. මෙබඳු පුද්ගලයන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩිය. මෙය පාලනය කර ගැනීම කුඩා කල සිටම කළ යුත්තක් වේ. තමා තුළ පවතින ක්‍රෝධය මානසික රෝගී තත්වයක් බව අවබෝධය වැඩි කර ගැනීම, ධර්මයට යොමුවීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම මෙම උන්මාදයෙන් වැළකී සිටීමේ පිළියම වේ.
දර්ශන උන්මාදය
තෙවන උන්මාදය වන්නේ දර්ශන උන්මාදයයි. බෞද්ධ ග්‍රන්ථවල මෙය දැක්වෙන්නේ දිට්ඨිවිපල්ලාස යනුවෙනි. මායා රූප පෙනීම මෙහි ලක්ෂණයයි.
ඇතැම් අය තමන් අසවල් අසවල් දෙවියන් දුටු බව හා තමන් සමඟ කතා කළ බව, අසවල් මිය ගිය තැනැත්තා හෝ ජීවත්වන තැනැත්තා තමන් දුටුබව හා කතා කළ බව කියමින් උමතුවෙන් සිටිනු ඔබ දැක ඇත. මෙය ද උන්මාදයකි. මෙය භින්නෝන්මාදය නමින් දක්වන බටහිර මනෝවිද්‍යාවෙහි එය දරුණු මානසික තත්වයක් ලෙස විග්‍රහ කෙරේ. එබඳු මායාවන් සොයා තනියම තැන්තැන්වල යන අවස්ථා ඇත. හුදෙකලාව කතා කරමින් සිටීමත් මෙහි ලක්ෂණයකි. සමථ හා විදර්ශනා භාවනාවෙන් මෙයින් වැළකී සිටිය හැකි ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤