" අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය."
ජලචර සතුන් වන මත්ස්‍යයන් ඇළ දොළ ගංගාවන්හි නිදහසේ ප්‍රීතියෙන් ඔබ මොබ පීනා යනු ඔබ දැක ඇත. එහෙත් ජලයෙන් ඉවත්කොට ගොඩ බිම තැබූ විට ඔවුහු අපමණ දුක් විඳ මරණයට පත්වෙති.
ඉහත කරුණ එනම්, තමාට අයත් සීමාව දැන එහි ජීවත්වීම අප විසින් කළයුත්තක් බව අපගේ මයටි හිත විසින් අපට කියාදෙන බව ඔබ දන්නා කරුණකි. කුමක් නිසාද යත් ජීවත්වන සෑම කෙනෙකුට ම ස්වභාව ධර්මය විසින් එම කරුණ පසක් කරවන හෙයිනි. තමාට හිමි සීමාව අපට දඩාවතේ යන සුනඛයන්ගෙන් වුව ද තේරුම් ගත හැකි ය. නිවසක හැදෙන සුනඛයෙකු තම සීමාව දනී. ගමක මහ පාරේ හැදෙන සුනඛයා ද තමන්ගේ සීමාව සලකුණු කොට ගෙන ඇත. මොවුන් ගේ භූමිකාව ඇත්තේ එකී සීමාව තුළ ය. එනම් දුව පැන දඟලන්නේ ද, බුරන්නේ ද, හපන්නේ ද එකී සීමාව තුළ දී පමණ ය. එම සීමාව ඉක්ම වූ විට අනේක විධ උපද්‍රවයන්ට ම මුහුණදීමට සිදුවන බව සුනඛයා දනී. අනෙක් සෑම සත්ත්වයකුගේ ම ස්වභාවය මෙයයි. ඇතැම් ගස් වැල් පවා සෑදෙන්නේ ඊට ම ආවේණික භූමි භාගයන්හි බව ඔබ දන්නා කරුණකි. එකී ගෝචර ස්ථාන හෝ සුදුසු භූමි භාගයන්ගෙන් තොරව ඒවායේ පැවැත්මක් නැත.
දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි බුදුන් වහන්සේ වරක් තම ශ්‍රාවකයන් අමතා මෙබඳු ප්‍රකාශයක් කළහ. “මහණෙනි, තම පියාට අයත් ගොදුරු බිම තුළ හැසිරෙන්න. මහණෙනි, එසේ හැසිරෙන අය තුළට ඇතුළුවීමට මාරයා හිඩැසක්, කරුණක් නො ලබන්නේ ය. මහණෙනි, මෙය (තමාට අදාළ සීමාව තුළ විසීම) කුසල ධර්මයන් ආරක්ෂා කිරීමට හේතුවකි . මෙසේ පින් වැඩේ. ශ්‍රාවකයන් අමතා කරනු ලබන මෙම ප්‍රකාශයෙහි තම පියාට අයත් භූමි භාගය යන්නෙන් අදහස් වන්නේ තථාගතයන ් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ධර්මය භූමි සීමාව හෙවත් ගෝචර ස්ථානය නැතහොත් චර්යාමය වපසරියයි. කෙටියෙන් කිවහොත් එම ගෝචර භූමිය, නැතහොත් බුද්ධ ශ්‍රාවකයන් විසිය යුතු, ජීවත්විය යුතු සහ ක්‍රියාත්මක විය යුතු බල ප්‍රදේශය නම් සතර සතිපට්ඨානයයි. වෙනත් විධියකින් කිවහොත් සිහිය පවත්වාගෙන විසිය යුතු බවයි. එනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාවයි .
බුදුන් වහන්සේගේ ඉහත ප්‍රකාශය වර්තමාන ශාසනික හා සමාජ ගැටලු මුළුමණින් ම පාහේ විසඳා ගැනීමට ඉවහල් වන තරම් වැදගත් ප්‍රකාශනයක් වේ. බුදුරජාණන් වහන්සේගේ ඉහත දේශනාව අනුව බුද්ධ ශ්‍රාවකයන්ට ජීවත්වීමට අයත් භූමියක් හා භූමිකාවක් ඇත. මෙය වෙනත් විධියකින් කිවහොත් මත්ස්‍යයෙකුට ඇළක, දොළක, ගංගාවක ජලයෙහි මිස ගොඩබිමක ජීවත්වීමට නො හැකි ය. එමෙන්ම ශාසනය නමැති විලෙන් පිට භික්ෂූන් නමැති මින් කැළට පැවැත්මක් නැත. එයින් පිට ජීවත්වීමට වෑයම් කළ හොත් උන්වහන්සේලා විනාශයට පත්වෙති. එබැවින් ගිහි වුවත්, පැවිදි වුවත්, ස්ත්‍රී වුවත්, යමෙක් බුද්ධ ශ්‍රාවකයෙක් නම් ඔවුහු බුදුන් වහන්සේ විසින් දේශිත සතිපට්ඨානය මූලික කොට ඇති ධර්ම ය භූමිය තුළ ජීවත්විය යුත්තෝ ය. ඔවුන්ගේ භූමිකාව හෝ වැඩ පිළිවෙළ වන්නේ සතර සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවීම හා ලෝකාර්ථ චරියාවත් ය.
පුද්ගලයාගේ සිට රටක් දක්වා පමණක් නොව ලෝකයක පැවැත්මක් දක්වාම මහා පරිමාණයේ අර්බුද සම්බන්ධයෙන් මෙය බලපාන කරුණකි. අතීතයේ සිටම පැරැන්නෝ මෙම යථාර්ථය විවිධ අයුරින් පෙන්වා දුන්හ. නව නිවසකට පතිනියක වශයෙන් පිවිසෙන ස්ත්‍රියට බුදුන් වහන්සේ දුන් උපදේශයක් වන්නේ ඇතුළත ගිනි පිටතට නො දෙන ලෙසයි. එයින් අදහස් වන්නේ නිවසක් ඇතුළත ඇති වන අර්බුද, ගැටලු හෝ හැළහැප්පීම් බාහිර සමාජයට නො යැවිය යුතු බවයි. මෙය ඇයගේ සීමාව පිළිබඳ සිහිපත් කිරීමකි. එසේම නිවසක ස්වාමියා, භාර්යාව, මව, පියා හෝ දරුවන් සම්බන්ධ ගැටලුවල සීමාව පවුල නමැති ඒකකයයි. වෘත්තීය ජීවිතයේ දී තමාගේ වපසරිය තේරුම් ගෙන කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වේ.
එක්තරා නිවසක බල්ලෙක් සහ බූරුවෙක් ඉතා කුළුපඟ ව වාසය කළහ. දිනක් රාත්‍රියේ නිවසට සොරෙක් පැමිණියේ ය. බූරුවා බල්ලා දැඩි නින්දක සිටිනු දැක මිත්‍රත්වය නිසා බල්ලා අවදි නොකොට බල්ලා මෙන් බිරුවේ ය. බිරීම බල්ලා සතු කාර්යයකි. එහෙත් මෙහි දී නිවස සොරුන්ගෙන් බේරා ගැනීම සඳහා බූරුවා බල්ලාගේ වෘත්තිය භාරගෙන ක්‍රියා කළේ ය. බූරුවාගේ කෑගැසීමෙන් කුපිත වූ නිවසේ ස්වාමියා මහ රෑ අවදිවී මුගුරක් ගෙනවුත් බූරුවාට දරුණු ලෙස තැළුවේ ය. එයින් බූරුවා මිය ගිය බව ඉතා ප්‍රකට පුවතකි. මෙබඳු කතාන්තර අපට උගන්වන්නේ සීමාව හඳුනාගෙන ජීවත් විය යුතු බවයි.
පුහුදුන් මිනිසුන් වශයෙන් ජීවත්වන අප විසින් තේරුම් ගතයුතු වැදගත් කරුණක් ඇත. එනම්, ගෝචරස්ථානයෙන් පිට අපට විකුම් පෑ නොහැකි බව ය. බුදු දහම අනුව අප සියල්ලන් ම ජීවත් වන්නේ මාරයාට හිමි විෂය ක්ෂේත්‍රයක ් තුළ ය. පුහුදුන් කෙනකු නම් කාමරාග, රූපරාග,අරූපරාග යන මේවා සමඟ නිරන්තර අරගලයක අපට යෙදීමට සිදුවේ. එය මාරයාගේ විෂය ක්ෂේත්‍රයයි. එහෙයින් ඒවා සමඟ ඇති ගනුදෙනුව ටිකෙන් ටික හෝ අත්හළ යුතු ය. රහතන් වහන්සේලා යනු මාරයාගේ මෙම විෂය සීමාව ඉක්මවා ඇති හෙයින් උන්වහන්සේලාට 'සීමාතිගො' යනුවෙන් තවත් නමක් වේ. එයින් අදහස් වන්නේ ‘සීමාව ඉක්මවූ උතුමන් වහන්සේ’ යන්නයි. එහෙයින් මෙම විශ්වය තුළ රහතන් වහන්සේලාට ඇලීම් බැඳීම් හා ගැටීම් ආශ්‍රිත හිරිහැර, සම්බාධක, හිංසා පීඩා නැත. බෞද්ධයන් වන අපගේ වෑයම විය යුත්තේ එබඳු තත්වයකට ළඟාවීමයි.
බුදු දහම අනුව පුද්ගල අධ්‍යාත්මය තුළ පවතින ගැටලුව තේරුම් ගෙන අප එකිනෙකා විසින් එය සමතික්‍රමණය කිරීමට උත්සාහ කරන්නේ නම් එය සමස්ත විශ්වයේ ගැටලු නිරාකරණය කිරීමට දායකවීමකි. පුහුදුන් පුද්ගලයන් විසින් අප සියල්ලෝ ම මාරයාගේ විෂය ක්ෂේත්‍රය තුළ හැසිරෙන්නෝ වෙමු . එබැවින් අපට කෙලෙසුන් සමඟ නිබඳ ව ගැටීමට සිදුවේ. යම් හෙයකින් මෙය තේරුම් ගෙන අපට අදාළ ධර්මය භූමිය හා භූමිකාව පෞද්ගලික අත්දැකීමක් බවට පත් කරන්නේ නම් එයින් ස්වාර්ථය හා පරාර්ථය සපුරාලිය හැකි ය. තථාගතයන් වහන්සේ විසින් වදාළ ගොදුරුබිම පිළිබඳ දේශනාව වැදගත් වන්නේ ඒ අයුරිනි.අපගේ ගොදුරුබිම හෙවත් අපට හිමි වාසභූමිය නැතහොත් සීමා මායිම බුදුන් වහන්සේ පැහැදිලි කොට දුන් ඉහත කී චක්කවත්තිසීහනාද සූත්‍රයේ තවත් වැදගත් කරුණක් පැහැදිලි කොට දී ඇත. එනම් “තමාට තමා පහනක් වී, තමා ම තමාට සරණක් වී, වෙනත් කෙනකුගේ පිහිටක් අපේක්ෂා නොකොට ජීවත් වන්න යන්නයි. අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය.
ඔබ බණ පොත් කියවන, බණ අසන, දැහැමි සත්පුරුෂයන් සේවනය කරන කෙනකු නම් නොහික්මුණු අනම්‍ය හා දරදඬු මනසකින් ලැබෙන කායික මානසික හානිය සිහියට නැඟීම අපහසු නැත. එසේම භාවනා කිරීමෙන්, ගමන් බිමන්, ඉඳුම් හිටුම් ආදියේ දී මැනවින් සිහිය පිහිටුවා ගැනීමෙන් අත්විඳීය හැකි මානසික සහනය ද තේරුම් ගැනීම පහසු ය. එබැවින් රූමත් යැයි සිතන සිරුර ඇතුළත ඇති ජුගුප්සාජනක දේ පිළිබඳව සිතා කායානුපස්සනාව වඩන්න. අප විඳීන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන්ගේ ක්ෂණික බව, අනිත්‍ය බව තේරුම් ගැනීමෙන් වේදනානුපස්සනාව වඩන්න. සිතෙහි ඇතිවන සිතිවිලවල ස්වභාවය හා ක්ෂණභංගුර බව වටහා ගැනීමෙන් චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්න.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤