ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ලෝකෝත්තර පාරිශුද්ධිය ලබන මග ...

බිබිල යල්කුඹුර, 
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, 
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි

අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය.
ලෝකෝත්තර පාරිශුද්ධිය අග්‍රතර සැපතකි. එය ලබන ආකාරය පිළිබඳ සම්බුදු හිමියන් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සමණ වර්ගයෙහි අන්තර්ගත න්හාතක සූත්‍රයේ විස්තර දක්වා ඇත. න්හාතක පුද්ගලයා වශයෙන් අර්ථ දක්වා ඇත්තේ ලෝකෝත්තර විමුක්තිය පිණිස යොමු වූ පුද්ගලයා ය. ඔහුගේ විශේෂ ලක්ෂණ සතක් ඇති බව පෙන්වා දී ඇත.
ස්වකීය ආත්ම දෘෂ්ඨිය ප්‍රහීණ කිරීම, බුද්ධාදි අටතැන කෙරෙහි සැකය ප්‍රහීණ කිරීම, විවිධ ව්‍රත සමාදානයෙන් තොර වීම, රාගයෙන් තොරවීම, ද්වේශයෙන් තොර වීම, මෝහයෙන් තොර වීම, මානයෙන් තොර වීම, ආදී ලක්ෂණයන් ය. මේ කරුණු එකින් එක පිළිබඳ විමසා බලමු.
ආත්ම දෘෂ්ඨිය අප බොහෝ දෙනා සන්තකයේ ඇති මනෝ මූලික කරුණකි. අප එදිනෙදා කරන බොහෝ දේ සඳහා බලපා ඇති ප්‍රබල සාධකය නම් ආත්ම දෘෂ්ඨිය යි. මම ය, මාගේ ය, මගේ ආත්මය ය ආදි ලෙස තමා පිළිබඳව ඇති කරගන්නා වූ මනෝභාවයන් නිසා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගැනීම උගහට ය. එබැවින් පළමුව කළ යුතු මෙම මනෝභාවයෙන් මිදීමයි. සැම විටෙක ම අනිත්‍යතාව මෙනෙහි කරමින් ඕනෑම විටෙක සියලු දේ බැහැර කිරීම පිළිබඳව සිත වැඩීමට හැකි නම් එම හැඟීම යටපත් කර ගත හැකි ය. කෙසේ වුව ද සක්කාය දිට්ඨිය බැහැර කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. සෝවාන් නම් ආර්ය තත්ත්වයට පත්වීම සඳහා ප්‍රබලව ම බලපානු ලබන්නේ මෙ කරුණයි. මෙම සාධකය යි. ඉතින් එම උත්තරීතර මාවත කරා ගමන් කරන අපත් සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ඨිය බිඳ හෙළීම සඳහා කටයුතු කළ යුතු ය.
දෙවැන්න නම් විචිකිච්ඡාවයි. විචිකිච්ඡාව කරුණු අටක් මුල් කරගෙන පවතී. එදිනෙදා දිවියේ ඇති කරගන්නා වූ සැකසංකාවලට වඩා වෙනස් විදියේ සැකසංකා පිළිබඳව මින් කියවේ. මෙය ගැඹුරු වුවකි. ලෝකෝත්තර විමුක්තිය සඳහා පිළිවෙත් පුරන අප වෙසෙසින් ම විචිකිච්ඡාව දුරලිය යුතු ය. එය අට ආකාර බව ඉහතින් දැක්විණි. මේ අට නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය, ධර්ම රත්නය කෙරෙහි සැකය, සංඝ රත්නය කෙරෙහි සැකය, තමාගේ පෙර ආත්මය ගැන ඇති සැකය, තමාගේ අනාගත ආත්ම භාවය ගැන ඇති සැකය, තමාගේ අතීත හා අනාගත ආත්ම කෙරෙහි ඇති සැකය, සද්ධර්මය කෙරෙහි ඇති සැකය, පටිච්චසමුප්පාදය කෙරෙහි ඇති සැකයයි.
මෙම අටවිධාකාර සැකයෙන් යුතු තැනැත්තාට කිසිම දිනෙක මාර්ගඵල නිවන් සම්පත්තිය කරා ළඟා විය නොහැකි ය. මන්ද නිවන අවුරාලන එක් දොරටුවක් ලෙස විචිකිච්ඡාව නම් කර තිබීම නිසා ය.
තෙවැන්න නම් සීලබ්බතපරාමාස හෙවත් විවිධ ව්‍රත සමාදන් වීමයි. බුද්ධ කාලීනව ද විවිධ ව්‍රත සමාදම් වූ අය සිටි බව පෙනේ. විටෙක බුදුන් වහන්සේ අභිමුඛයට පැමිණි බමුණන් දෙදෙනෙක් තමන් සුනඛයෙකු මෙන් කටයුතු කරන බවත්, අනාගත ආත්ම භාවය කෙසේ වේදැයි විමසා සිටි විට අනාගතයේ සුනඛයෙකු ලෙස උප්පත්තිය සිදුවිය හැකි බව පෙන්වා දුන් සේක. එසේම තවෙකෙක් වෘෂභ ව්‍රතය අනුගමනය කළ අතර, ඔහු වෘෂභයෙකු ලෙස උප්පත්තිය ලබා ගන්නා බව පෙන්වා දුන් සේක. මීට අමතරව කිසිම ප්‍රතිඵලයක් ළඟා කරගත නො හැකි දුෂ්කර සීල ව්‍රත ඕනෑ තරම් තිබේ. ඒවා පිළිපැදීමෙන් ඇතිවන යහපතක් නැත. ශරීරයට දැඩි දුක් දෙමින් ගෙන යන එම ප්‍රතිපදාවෙන් කිසිම ඵලයක් නොමැති ය. එපමණක් ද නොව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආර්ය මාර්ගය මෙයයැයි සාවද්‍ය මාර්ගවල ගමන් කරමින් නිවන සෙවීමට උත්සාහ කරන පිරිස් වර්තමානයේ ද දැකිය හැකි ය. ඔවුන් ද වැරැදි ශීල ව්‍රත අනුගමනය කරන බැවින් නිවන සාධනය කර ගැනීමට ඇති බාධක තවත් වර්ධනය කර ගනී.
සිව්වැන්න රාගය ප්‍රහීණ කිරීම යි. අප මෙතෙක් කලක් මේ සංසාරයේ ඇදබැඳ තබා ගන්නා ලද්දා වූ ප්‍රධාන සාධකය නම් රාගය යි. රාගය සිතෙහි ඇති තාක්කල් අපට සංසාරයෙන් මිඳිය නොහැකි ය. ඇස - රූප, කන - ශබ්ද, නාසය - සුවඳ, දිව - රස, ශරීරය - ස්පර්ශය ආදියයි. පඤ්ච ඉන්ද්‍රියයන්ට අරමුණු වන දෑ නිසා අප කෙරෙහි ඇති වන්නේ ආශාව යි. ඇල්ම යි. ලෝභකම යි. ඉතින් මේ මනෝභාවය ප්‍රහීණ නො කරන තාක්කල් අප සංසාරයේ ඇවිද යෑමට කරුණු වැඩිදියුණු කරගනී.
ඊළඟ කරුණ නම් පටිඝයයි. නැතිනම් ද්වේෂය යි. ද්වේෂය නම් මනෝමූලික හැඟීම අපගේ සිත මහත් පීඩාවට පත් කරන්නකි. එපමණක් නොව අනෙකාට විපත් පැමිණවීම සඳහා කටයුතු සිදු වන්නේ ය. අනුන් මැඩීමට, පාගා දැමීමට, යන මඟ අවුරා දැමීමට ඇති කරගන්නා වූ ද්වේශ පටිඝය යනුවෙන් හැඳින්වේ. එය කරුණු නවයක් මුල්කරගෙන ඇති වේ. එනම්, මට අනර්ථයක් කළේ ය, මට අනර්ථයක් කරන්නේ ය, මගේ හිතවතාට අනර්ථයක් කළේ ය, මගේ හිතවතාට අනර්ථයක් කරයි, මගේ හිතවතාට අනර්ථයක් කරන්නේ ය, මගේ සතුරාට යහපතක් කළේ ය. මගේ සතුරාට යහපත් කරයි, මගේ සතුරාට යහපතක් කරන්නේ ය, ආදී ලෙස ඇති කරගන්නා වූ මානසික හැඟීම යි. මේ හැඟීමත් සමඟ විවිධ වූ ව්‍යසනශීලී හැඟීම් සිතට කා වදී. එය ඔහුගේ ජීවිතය පමණක් නොව සාමාජීය ජීවිත ද මහත් පරිහානියට පත් කරන්නකි. එබැවින් ද්වේෂශීලීත්වයෙන් මිදිය යුතු ය.
සයවැනි කරුණ නම් මෝහයයි. මුලින් සඳහන් කළ කරුණු රැස කෙරෙහි ම බලපාන්නේ මෝහය යැයි කීම වරදක් නොවේ. මුලාව ඇති කරගැනීම නිසා ඉහත සියලුම අනර්ථයන් සිදු වන බැවිනි. මෝහය ඇති කල කිසිම දෙයක් නිවැරැදිව වටහා ගත නො හැකි ය. හරි දේ වැරැදි දේ ලෙස පෙනේ. වැරැදි දේ හරි දේ ලෙස පෙනේ. එවිට සංසාර ගමන දීර්ඝ වේ. එබැවින් මෝහයෙන් තොරවීම සඳහා අවශ්‍ය කරුණු පෝෂණය කරගත යුතු ය. දහම විමසීම මගින් එය උදාකරගත හැකි ය.
අවසාන කරුණ නම් මානය යි. මානය යනු ආකාර කිහිපයකින් ඇති කරගන්නා වූ මානසික හැඟීමයි. ජාති මානය, ධන මානය, ගෝත්‍ර මානය ආදී දෑ නිසා ලෞකිකත්වය පරිහානියට පත්වන බව පරාභව සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ලෝකෝත්තර විමුක්තියට මඟ අවුරාලන සාධකය වන්නේ ද එයම ය. මානයෙන් යුතු වූයේ නම් ගැළවීමක් නැත. එය ආකාර තුනක් පාදක කරගෙන ඇති වේ. සෙය්‍ය මාන – තමාට වඩා අනුන් පහත් යැයි සිතීම, සදිස මාන – තමා හා අනුන් සමාන යැයි සිතීම, හීන මාන – තමාට වඩා අනුන් උසස් යැයි සිතීම ආදී ලෙස ඇතිවන මානසික හැඟීම බොහෝ දේ යටපත් කිරීමට සමත් වේ. එබැවින් මානයෙන් යුතු වීම බොහෝ දේ පමා කරන සාධකයක් බැවින් ත්‍රිවිධ මානයෙන් දුරුවිය යුතු ය.
ඉහතින් සඳහන් කළ කරුණු සත පිළිපදින තැනැත්තාට න්හාතක නමින් වූ පාරිශුද්ධ භාවයට පත් විය හැකි ය. එය ලෝකෝත්තර විමුක්තියට පැමිණීම යි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤