ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

කඨින සිවුරේ කතාව

 

දඩල්ල වාලුකාරාම විහාරවාසී

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කාලයේ කොසොල් රට පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ ද, පාංශුකුලික වූ ද, ආරණ්‍යවාසී වූ ද ධූතාංගධාරී භික්ෂූන් වහන්සේ තිස් නමක් සාකේත නුවර වස්විසූහ. අවසානයේ වස් පවාරණය කොට මහ වැසි වසිද්දීම සැවත් නුවර බලා පිටත්වූහ.

මාස කිහිපයක් පුරා ඇදහැලුණු ධාරානිපාත වැසි නිසා මාර්ගය වලවල්හැරී මඩගොහොරු බවට පත්ව තිබුණි. තබන තබන පියවර ලිස්සනසුලු විය. මඩෙහි වැටෙමින් ද, වැස්සට තෙමෙමින් ද දිය බේරෙන සිවුරුවලින් යුතුව ක්ලාන්තව ශීතලෙන් වෙව්ලමින් දෙව්රමට වැඩම කොට බුදුරජාණන් වහන්සේ වන්දනා කළහ. මෙම භික්ෂු පිරිසට අනමතග්ග සංයුක්තයෙන් දහම් වදාරා සසරේ ඇති බියකරු බව පෙන්වා වදාළහ. මෙම ශ්‍රාවක පිරිස අරමුණු කරගෙන

මහණෙනි වස් වැස නිම කළ භික්ෂුන් වහන්සේගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමි’යි කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

කඨිනයක් ඇතිරීමට සුදුසු කවර වස්ත්‍රයකින් වුව ද සිවුරක් කිරීමට හැකි ය. මහා වග්ග පාලියේ වස්ත්‍ර වර්ග දහ හතක් (17) පෙන්වා දී තිබේ.

අලුත්ම වස්ත්‍රයක්, අලුත් වස්ත්‍රයකට සමාන වූ රෙදි කඩක්, රෙදි කැබැලිවලින් කළ සිවුරක්, පාංශුකූල වස්ත්‍රයක්, වෙළෙඳසල් දොරටුවෙහි අතහැර දමා තිබී අහුලාගත් වස්ත්‍රයක්, කලින් ඇඟවීමක් නැතිව ලැබුණ වස්ත්‍රයක්, කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රයක්, තාවකාලික නොවූ වස්ත්‍රයක්, කලින් තැන්පත් කොට නොතැබූ වස්ත්‍රයක්, නිසඟි නොවූ වස්ත්‍රයක්, කප් බිංදු තැබූ වස්ත්‍රයක්, තනිපට සිවුරක්, අඳනයක්, එදිනම කඩ කපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති සිවුරක්, පුද්ගලයකුට අයිති වීම් වශයෙන් ඇතිරීමෙන් ලද සිවුරක්, මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්ෂුන් විසින් අනුමෝදන් වන ලද කඨිනය, මනා කොට අතුරන ලද කඨිනය ලෙස දක්වා තිබේ.

වස් විසීමෙන් පසු තෙමීගත් සිවුරුවලින් යුතුව බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩිය තිස්නමක් පාව්‍යෙයක නුවර භික්ෂූන් මුල් කොටගෙන කඨිනය පනවන ලදි. එය කඨිනයේ නිදානය නම් වේ. කඨිනය කුමක් පිණිස වේද? වස් විසූ භික්ෂුන් වහන්සේට පහසු විහරණය පිණිස තුන්සිවුරට අතිරේකව කඨින සිවුර ලබා ගැනීමට අනුදැන වදාරා ඇත.

කඨිනය යැයි කියන්නේ කුමක් නිසාද? නොසෙල්වෙන, නොබිඳිය හැකි, කම්පා නොවන, ස්ථාවර ආනිසංස ගෙන දෙන බැවින් එයට කඨිනය යැයි කියනු ලැබේ.

වස් විසීමට ආරාධනා කළ පින්වතුන් හෝ කවර සැදැහැවතකුට වුවද වස් වසා නිම කළ භික්ෂුවකට පූජා කළ හැකි ය.

පෙර වස් පවාරණය කළ භික්ෂුවකට පමණක් කඨින චීවරය ලබා ගත හැකි ය. මෙය සංඝරත්නයට පූජා කළ පසු සංඝරත්නය විසින් එබඳු සුදුසු භික්ෂුවකට කඨින චීවරය පැවරිය හැක.

ඉහත සඳහන් කළ වස්ත්‍රවලට අයත් වස්ත්‍රයකින් සිවුරක් මැසීමට ප්‍රමාණවත් රෙද්දක් ලබා දී එම වස්ත්‍රයෙන් දෙපට සිවුරක්, තනිපට සිවුරක් අඳන සිවුරක් වශයෙන් මසා නිම කර දීමට ද පිළිවන.

කඨින චීවරයක් හැමදාම පූජා කළ නොහැකි ය. වස් වසා අවසානයේ පවාරණයෙන් පසු චීවර මාසයේ එනම් වප් පොහෝ දා දින සිට ඉල් පුර පසළොස්වක පොහෝ දින දක්වා කාලය ඇතුළත පූජා කළ හැකි ය.

කඨින චීවරයක් පූජා කළ යුත්තේ භික්ෂුන් වස් විසූ විහාර සීමාව තුළදී ය. ඇතැම් විටක ගෘහ මන්දිරවලද සැදැහැවතුන් විසින් ඒ ඒ භික්ෂුන් වහන්සේ වස් වසවා ගනු ලැබේ. එවිට එම ස්ථානයේ දී කඨිනය දිය යුතු යි. ඉහත දැක්වූ කරුණු නවය පැරැණි ආචාර්යයන් වහන්සේ කඨිනය සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු ය. ඒ බව,

ලොව පවත්නා සියලු සියලු වර්ගයේ දානයන් නිරන්තරයෙන් අවුරුදු සියයක් දුන්නේ වී නමුත් එහි ආනිසංසය එක් කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම් පමණ වේ. කඨින දානය ම උතුම් වේ.

මෙම පෘථිවි මණ්ඩලයෙහි ම සියලු දන්දීම් අතර සංඝරත්නයට පුදන ලද කඨිනය ම උතුම් වේ. මිනිස් ලොව උසස් මිනිස් සම්පත් ද, දෙව්ලොව උසස් දිව්‍ය සම්පත් ද, කෙලෙස් දුරු කිරීමෙන් ලබන අජර වූ ද අමර වූ ද නිවන් සම්පත් දක්වා සියලු සම්පත් කඨිනානිසංසයෙන් ලැබෙන්නේ යැයි නාගිතාපදානයේ ස්වකීය කඨින වර්ණනාව දේශනා කොට තිබේ.

කඨිනය ලබන පින්වත් ස්වාමීන් වහන්සේට ද ආනිසංස පහක් ලැබෙන බව දක්වා තිබේ.

1. ආරාමයෙහි භික්ෂුවකට නොදන්වා කුල ගෙවල්වල හැසිරිය හැකි ය.

2. අධිෂ්ඨාන කළ තුන් සිවුරෙන් තොරව රාත්‍රිය ගත කළ හැකි ය.

3. ගෞරවනීය ආරාධනාවකින් තොරව කරන ඉල්ලීමකට අනුව ගොදුරුගමෙහි දී ආහාරපාන ලබාගෙන වැළඳිය හැකි ය.

4. ආරාමයට ලැබෙන සිවුරු පිරිකර ළඟ තබා ගත හැකි ය.

5. කඨින චීවරය සමඟ ලැබෙන සියලු පූජා භාණ්ඩ තමාට ලබා ගත හැකිය.

මෙම වරප්‍රසාද පහ වප් පොහෝ දින සිට මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දකවා ලබා ගත හැකි ය.

මෙසේ සෑම අයුරකින්ම කඨිනයේ ආනිසංස උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත්තේ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කොට කුසලයට නැඹුරු කරවීමට ගත් උදාර ප්‍රයත්නයක් ලෙස බව සැලකිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැනසීමෙන් ජීවත්වන්න සැලකිල්ලෙන් ආහාර ගන්න

 කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම
මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි

බෞද්ධ ඉගැන්වීමට අනුව ආහාරය සිවු වැදෑරුම් වන බව සංයුත්ත නිකායේ ආහාර සූත්‍රය පෙන්වා දෙයි.

කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනික ආහාර හා විඤ්ඤාණ ආහාර යනු එම සතර ආහාරයයි. උපන් සත්වයාගේ කායිකා හා මානසික පැවැත්ම පිණිසත්, අනුග්‍රහය පිණිසත් ඉවහල් වන මෙම සතර ආහාරයෙන් අපගේ අවධානය යොමු කරන්නේ කබලිංකාර ආහාර හෙවත් මුඛයෙන් ගනු ලබන ආහාර පාන භාවිතය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුදැයි විමසා බැලීමටයි.

ආහාර ගන්නා ආකාරය අනුව බුද්ධකාලීනව විසූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල දක්නට ලැබේ.

ආහාර හත්ථක යනු ආහාර ගත් පසු තවකකු විසින් අතින් අල්ලා එසවීමට තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

කාක මංසක යනු කුස පිරී තිබියදීත් කපුටකුට ඔහුගේ මුඛයේ ඇති ආහාර ගැනීමට හැකි තරම් ආහාර ගන්නා පුද්ගලයායි.

ආහාර ගත් පසු ආහාර ගත් තැනම වැටි සිටින්නා තත්‍ර වට්ටක නම් වේ.

සිය කුස පිරෙන තරම් ආහාර ගෙන ඉතිරිවන ආහාර තම සලුවෙහි ඔතාගෙන ගොස් අනුභව කරන්නා අලං සාටක නම් වෙයි.

භුත්තවමික නම් ආහාරයට ගිජු වී කුස පිරෙන තුරු ආහාර ගෙන ගිජුකම නිසා එකී ආහාර වමනය කොට නැවත අනුභව කරන්නායි.

මෙම පස් දෙනාගේ ස්වභාවය ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක් වන්නේ නමුත් බුද්ධ කාලයේ පමණක් නොව අදටත් මෙවන් අය සිටින බව අප මතක තබා ගත යුතු ය.

ආහාරයට ගිජු වී පමණ ඉක්මවා ආහාර ගැනීම කායික අපහසුතාවන්ට ඉවහල් වන බව සංයුත්ත නිකායේ එන දෝණපාක සූත්‍රය පෙන්වා දෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් මහ රජු මහත් කායික අපහසුතාවකින් පෙළෙන බව දුටු බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ විමසීමේ දී තමන් ආහාර ගත් ගමන් ම බුදුන් වහන්සේ බැලීමට පැමිණි බවත්, ආහාර ගත් ගමන් ම නිසා අපහසු බවත් රජු ප්‍රකාශ කළේ ය.

එහිදී කොපමණ ආහාර ගන්නේ දැයි රජුගෙන් විමසූ බුදුන් වහන්සේට දැන ගන්නට ලැබුනේ හාල් නැලි දහසයක බත් රජු ආහාරයට ගන්නා බවයි. සාමාන්‍ය මිනිසකුට ඔරොත්තු නොදෙන මෙම ආහාර ප්‍රමාණය රෝගී වීමටත්, ඉතා ඉක්මනින් මරුවා කැන්දා ගැනීමටත් හේතු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ හැම කල්හි සිහි ඇතිව, භෝජනයෙහි පමණ දැන, ආහාර ගැනීමෙන් දුක් වේදනාවන් පහ වන බවත්, අනුභව කළ ආහාරය සෙමෙන් දිරවා, ආයුෂය රකින බවත්

මනුජස්ස සදා සතිමතෝ - මත්තං ජානතෝ ලද්ධ භොජනෙ
තනු තස්ස භවන්ති වේදනා - සනිකං ජිරති ආයු පාලනන්ති

යන ගාථාවෙන් පෙන්වා දුන්හ. එම උපදේශය පිළිබඳ අවධානය යොමු කළ රජු තමන් සමීපයෙහි සිටි සුදස්සන මානවකය අමතා එම ගාථාව ඉගෙන ගන්නා ලෙසත්, තමන් උදේ සවස ආහාර ගන්නා විට කියවන ලෙසත් පැවසී ය. ඒ අනුව ඔහු දිනපතා රජු ආහාර ගන්නා විට බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුව ප්‍රකාශ කළේ ය. එම උපදේශය නම් මේ ගාථාව නැට්ටුවකු මෙන් ගිය ගිය තැන නොකිය යුතු බවත්, රජතුමා ආහාර ගන්නා විට මුල් බත් පිඬුවලදී නොකිය යුතු බවත්, අවසන් බත් පිඩුව ගන්නා කල්හිම කිව යුතු බවත් ය. එසේ ගාථාව කී විට රජු එය නොකා එම බත් පිඩෙහි බත් ඇට ප්‍රමාණය ගණන් කොට පසු දින එම ප්‍රමාණයට සහල් ඉවත් කළ යුතු බවත් මෙලෙස දිනපතා බත් පිඩෙහි පමණට සහල් ඉවත් කරමින් සහල් නැලියක ප්‍රමාණය වැඩිම ආහාරය ලෙස අනුභව කරන තෙක් ක්‍රියා කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. මෙලෙස ක්‍රියා කිරීමෙන් කල්ගත වන විට රජුගේ සිරුර සැහැල්ලු විය. පැවති ශාරීරික අපහසුතා පහ වුණි. දිනක් සිය සැහැල්ලු සිරුර පිරිමදිමින් රජු ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ තමන්ට මෙලොව අභිවෘද්ධියෙන් හා පරලොව අභිවෘද්ධියෙන් ද අනුකම්පා කළ බවයි.

මෙම කතාව ආශි‍්‍රත දේශනයෙන් මතු කර ගත හැකි කරුණු කිහිපයක් පවතී. ඉන් එකක් නම් ආහාරයෙහි පමණ නොදැන රසයට ගිජුව ආහාර ගැනීම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට ද හානිකර බවයි. ශාරීරික අපහසුතාවන්, වේදනාවන්, නිද්‍රාශීලිත්වය හා ඒ සමඟම පැන නඟින අපහසුතා මෙසේ කායික හා මානසික ව්‍යාකූලත්වයට හේතු වෙයි.

ආහාර පාලනය කළ යුතු බවට වෛද්‍ය උපදේශයක් ලද විගස බොහෝ දෙනා කරන්නේ කලක් පුරුදු වී සිටි ආහාර රටාව ඉතා සීඝ්‍රයෙන් බැහැර කරමින් ආහාර පාලනය කිරීමයි. එය ටික දිනක් කිරීමේ දී මානසික බලපෑම මත හෝ කායික හේතූන් මත ශාරීරික දුර්වලත්වයන් ඇතිවීමටත්, ආහාර පාලනය පිළිබඳ මානසික පසුබෑමක් ඇතිවීමටත් හැකි ය. එවන් අවස්ථාවක දී පියවරින් පියවර තමන්ගේ සිතටත් කයටත් නොදැනෙන අයුරින් ආහාර පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික බව සහල් නැලි දහසයක බත් කලක් මුළුල්ලේ ආහාරයට ගෙන පුරුදුව සිටි රජු සහල් නැලියක බත් ආහාරයට ගැනීමට පියවරෙන් පියවර තමන්ටත් නොදැනීම පුරුදු වීමෙන් පෙනේ.

ආහාර ගත යුත්තේ කවර අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ද යන්න භික්ෂූන් වහන්සේ දානය වැළඳීමේ දී සිදු කරන ප්‍රත්‍යවේක්ෂාවෙන් මැනවින් පැහැදිලි වේ. ජවය පිණිස, මදය පිණිස, සැරසීම පිණිස, අලංකාරය පිණිස නොව කයෙහි පැවැත්ම පිණිසත්, යැපීම පිණිසත්, බඹසර රැකීම පිණිසත්, පැරණි වේදනා දුරු කිරීමට හා නව වේදනා ඇති නොවීම පිණිස දානය වළඳන බව සිහියෙන් මෙනෙහි කරයි. එසේ දානය වැළඳීමේ දී රසයට ගිජු වීමකින් තොරව කුසගින්න නිවා ගැනීම ම පරමාර්ථ කොට ගෙන දානය වැළඳීමෙන් මනස සකස් වෙයි. මෙහි ඇති යම් යම් කරුණු ගිහියාගේ ස්වභාවය අනුව වෙනස් වුවත් ගිහි පැවිදි භේදයකින් තොරව කවුරුත් ආහාර ගන්නේ ශරීරයේ පැවැත්ම පිණිසත්, කුසගින්නෙන් ඇතිවන අලුත් හා පැරැණි අපහසුතාවන් මඟ හරවා ගැනීම පිණිසත් ය.

එබැවින් ආහාර පරිභෝජනයේ දී ශරීරයට හිතකර හා ප්‍රමාණය හැඳින ආහාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

දියවැඩියා රෝගය තවත් බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන රෝගයකි. මෙම දියවැඩියා රෝගයට හේතු වන සාධක අතර මූලික වන්නේ ආහාර පරිභෝජනයෙහි පවතින වැරදි සහගත තත්ත්වයයි. එමෙන්ම මෙම රෝගය පාලනය කර ගැනීමට හැකි වන්නේ හෝ නොහැකි වන්නේ ආහාර ගැනීමේ පිළිවෙළ අනුව ය.

එසේම වත්මන් ලෝකය මුහුණ දෙන තවත් ප්‍රබල රෝගී තත්ත්වයක් වන්නේ පිළිකාවයි. දිව පිනවීමේ නොතිත් ආශාවෙන් ගනු ලබන ක්ෂණික හා කෘත්‍රිම ආහාර නිසා අද පිළිකාව දැඩි ලෙස හිස ඔසවමින් සිටියි. ධනය ඉපයීම එකම පරමාර්ථය කර ගත් තරගකාරී ව්‍යාපාරික ලෝකය මානව වර්ගයාගේ යහ පැවැත්ම හෝ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු නොකොට නිෂ්පාදනය කරනු ලබන රස කාරක මිනිසාට මාරයාගේ සෙවනැලි සමීප කරවීමට සමත්ව සිටියි. ඇස දිව පිනවන, එහෙත් තම ජීවිතය බිලි ගැනීමට සමත් වන කෘත්‍රිම හා ක්ෂණික ආහාරයන්ගෙන් බැහැර වී සිටීමට තරම් ස්වයං ශික්ෂණයක් තමන්ට තිබිය යුතු ය.

ලෝකයේ එක පසෙකින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රජාවක් නිර්මාණය වෙද්දී තවත් පසකින් අධිපෝෂණය නිසා පීඩා විඳින ප්‍රජාවක් ද වාසය කරති. අධි පෝෂණයට ලක් වූවන් ඉක්මනින් මරුවා සමීපයට යෑමට මඟ පාදා ගනු ලබයි. තම පමණ ඉක්මවා රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත. මව්පියන්ගේ වටිනාම සම්පත දරුවන් වන අතර එම දරුවන්ට දිගු කලක් නිරෝගීව හා දීර්ඝායුෂ්කව විසීමට නිවැරැදි ආහාර රටාවන් හුරු කරවීම මවුපියන්ගේ වැදගත් යුතුකමකි.

ජීවිතයට මොන තරම් සම්පත් තිබුණත් නිරෝගී බව අහිමි නම් එය මහත් අවාසනාවකි. මිනිසකුට ඇති උතුම්ම ලාභය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා යන්නයි. එනම් නිරෝගිබව උතුම්ම ලාභය බවයි. මෙම උතුම්ම ලාභය වන නිරෝගී බව ඇති කර ගැනීම පිණිස ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වී සැනසිලිමත් ජීවිතයකට මඟ පාදා ගැනීමට අදිටන් කර ගනිමු.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධර්මය හදවතින් ම පිළිගන්න

 බළංගොඩ ශ්‍රී ධර්මානන්ද

පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි

මේඝිය හිමියෝ තම සිත් ගත් අඹ උයනට වැඩමකර භාවනාව සඳහා ගසක් මුල වැඩ සිටියහ. මෙහිදී මොන තරම් උත්සාහ කළ ද සිත එකඟ කර ගැනීමට නොහැකි විය. විවිධ අරමුණු කරා සිත දුවන්නට විය.

මෙම අඹ උයන සංසාර ගමනෙහි ආත්ම පන්සියයක් උද්‍යාන ක්‍රීඩාවේ යෙදුණු හොඳට හුරු පුරුදු තැනකි. රජ සැප විඳිමින් නලඟනන් පිරිවරා නටමින්, විනෝදවෙමින් සැප වින්දනය කළ ස්ථානයකි. මේඝිය හිමිට මේ අඹ උයන දකින විට සිත් ගන්නා සුලු ස්ථානයක් බවට පත්වීමට හේතු වූයේ ඒ අතීත ආත්ම ගණනක වින්දනය කළ හුරු පුරුද්දයි.

මේඝිය හිමිට මෙහිදී සිත එකඟ කර ගැනීමට නොහැකි වී සිත අලවන විවිධ අරමුණු කරා ඉඳුරන් යොමුවූයේ ඒ අතීත අත්දැකීම් සම්භාරය නැවැතත් මතුවීමෙනි. මොන තරම් උත්සාහ කළ ද සිත එක්තැන් කර ගැනීමට නොහැකි විය. කෙලෙස් වර්ධනය කරන විවිධ දර්ශන හා සිතිවිලි තම සිතට ගලාගෙන ඒම වළක්වා ගැනීමට මේඝිය හිමි අසමත් විය.

තොරතෝංචියක් නොමැතිව තම සිතට ගලා ආයේ කාම සිතිවිලිය, ව්‍යාපාද සිතිවිලි ය, විහිංසා සිතිවිලි ය. තම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි බව තේරුම් ගත් මේඝිය හිමියෝ බුදුරදුන් හමුවට ගොස් අඹ උයනෙහි දී තම සිත තුළ ඇතිවූ ඒ වික්ෂිප්ත භාවය පැහැදිලි කළහ. බුදුරදුහු මේ ගමනට කැමැත්තක් ප්‍රකාශ නොකළේත්, මේඝිය හිමිගේ බලවත් ඉල්ලීමට නිහඬව සිට ඔබේ කැමැත්තක් කරන්නැයි පිළිතුරු දුන්නේත්, මේඝිය තෙරුනට මෙබඳු මානසික මට්ටමක් උදාවන බව කල් ඇතිවම දුටු නිසා ය.

අරමුණෙන් අරමුණට පැන පැන යන මේ සිතේ ස්වභාවයත්, සිතේ ඇතිවන සැලෙන ස්වභාවයත්, එක අරමුණක රඳවා තබා ගැනීමට අපහසුවන චපල ස්වභාවයත්, විවිධ අරමුණු කරා දුවන සිත එක අරමුණක තබා ගැනීමේ දුෂ්කරතාවත් පෙන්නුම් කරමින් මේඝිය හිමියනට බුදුරදුහු පහත දැක්වෙන ගාථාව දේශනා කළහ.

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝච තේජනං

කරුණාවෙන් හා මෛත්‍රියෙන් තෙත් වූ හදවතක් ඇති බුදුහාමුදුරුවන් ධර්ම දේශනා කළේ මිනිසුන්ගේ හදවතට ය. ඒ ධර්මය මිනිස්සු හදවතින් ම පිළිගත්හ. බුදුරදුන් ධර්මය දේශනා කරන විට අසා සිටි හැම දෙනාම කීවේ” මේ කරුණූ කියන්නේ මට ම ය, මේ කියන්නේ මා ගැන ම ය” කියා ය. හැම කෙනකුගේ ම මනස විනිවිද දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබිණි.

මිනිසා යනු සිතේත්, කයේත් එකතුවකි. සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනා තම ශාරීරික සෞඛ්‍යය ගැන, ශරීරයේ පවිත්‍රත්වය ගැන සිතති. එය අලංකාර කර ගැනීම සඳහා අවශ්‍ය දෑ කරති. නමුත් මානසික සෞඛ්‍යය ගැන, මානසික පවිත්‍රත්වය ගැන උනන්දුවන අය ඉතා අඩු ය.

සිත යනු පුදුමාකාර බලවේගයකි. මුළු බුදුදහම පදනම් වී ඇත්තේ සිත මත ය. බුදුදහමේ මූලික අරමුණ හිත හදා ගැනීමයි. සංයත සංවර සිත සැප ගෙන දෙයි. අසංවර අසංයත සිත දුක ගෙන දෙයි.

බුදුදහමෙහි දක්වා ඇති ආකාරයට ‘සිත’ පිළිබඳ නිවැරැදි දැක්මක් වෙතත් කිසිදු ආගමක හෝ දර්ශනයක දක්නට නැත. බෞද්ධයින් වන අපගේ මූලික ම අවධානය යොමු විය. යුත්තේ මුළු ජීවිතය ම මෙහෙයවන මේ සිත ඵලදායි අයුරින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

අපිරිසුදු සිත යනු කුමක්ද? එය පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලින් යුක්ත එකකි. අසීමිත ආශාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා භීතිය මේ පාපකාරි සිතිවිලිවලට අයත් ය. අසීමිත ආශාව මොන ක්‍රමයකින්වත් තෘප්තිමත් කළ නොහැකි ය. එක ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් පැන නඟියි. සිතේ ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් හඳුනා ගැනීම මෙහිදී ඉතා වැදගත්වනු ඇත.

අපි ඇසින් රූප දකිමු. කනින් ශබ්ද අසමු. නාසයෙන් ගඳ සුවඳ විඳිමු. දිවෙන් රස බලමු. කයෙන් ස්පර්ශය ලබමු. මේ සියල්ලම සම්බන්ධ වන්නේ සිතටයි.

ප්‍රභාෂ්වර සිත ප්‍රසන්න සිත බාහිරින් එන කෙලෙස් දූවිලිවලින් කිලිටි වන අයුරු ධර්මයෙහි පෙන්නුම් කර ඇත. පිරිසුදු වතුර වීදුරුවකට දූවිලි ටිකක්, මඩ ටිකක් එකතු වූ විට එය මඩ වතුරක් බවට පත්වෙයි. අපේ සිතත් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි. කෙලෙස්වලින් තොර සිත පිරිසුදු ය. සිත අපිරිසුදු කරන කිලිටි කරන දූවිලි වර්ග පහක් බුදු දහමෙහි පෙන්වා දී ඇත. ඒවා පංචනීවරණ ලෙස අපි හඳුන්වමු.

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය හා චිකිච්ඡාවයි.

මේ පංචනීවරණ සිතේ ඇති ප්‍රභාෂ්වර ගතිය නැති කරයි.

කාමච්ඡන්දය යනු කම් සැපයට ඇති කැමැත්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලින් අප ව පිනවීම මෙයින් අදහස් කරයි.

විවිධ පාට වර්ග මිශ්‍ර වතුර බේසමක් තුළින් ඔබගේ මුහුණෙහි නියම ස්වරූපය දැක ගත නොහැකි ය. හේතුව පිරිසුදු ජලයට විවිධ පාට මිශ්‍රවී තිබීමයි.

මේ අයුරින්ම කාමච්ඡන්දයෙන් යුක්ත සිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි ය. කුසල් – අකුසල් , පින් – පව් කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ නොවනු ඇත. මේ අනුව කාමච්ඡන්දය මිනිසා අතරමං කරයි. විනාශකාරි මං පෙතකට මිනිසා ඇද දමයි. මාරයාගේ ග්‍රහණයට ඔහු අසුවනු ඇත.

ව්‍යාපාදය – යනු වෛරී සහගත සිතිවිලි ය. කිසියම් පුද්ගලයකු ගැන හෝ කිසියම් වස්තුවක් ගැන හෝ කිසියම් ක්‍රියාවක් ගැන ඇතිවන අපි‍්‍රය ස්වභාවය, විරුද්ධ ස්වභාවය, ව්‍යාපාදයේ මූලික ලක්ෂණයයි.

පෙර සිතිවිලිවලින් වන්නේ අප වඩාත් අයහපත්, අසහනකාරි මට්ටමට පත්වීමයි. තමාටත් , ගෙදරටත්, ගමටත්, රටටත් මෙයින් සිදුවන්නේ, වේදනාත්මක ප්‍රතිඵලයන් ය. නටන වතුර ඇති භාජනයක් තුළින් මුහුණෙහි නියම තත්ත්වය දැකීම දුෂ්කරයි. මේ අයුරින් ම වෛරී ද්වේෂ සහගත සිතින් බලන්නාට කිසිම දෙයක හරි වැරැදි නොපෙනේ.

ථීන යනු සිතේ ඇති අලස බවයි. මිද්ධ යනු සිතිවිලිවල ඇති රෝගී ගිලන් ස්වභාවයයි. එනම් අකර්මණ්‍ය බවයි. මෙම නීවරණය ඇති තැනැත්තා කම්මැලි ය, අලස ය, උදාසීන ය, උදේ කළ යුත්ත හවසට කල්දමයි. කිසියම් පොකුණක හෝ ජල බඳුනක පෙඳ පාසි ඇත්නම්, එයින් අප මුහුණ බැලුව ද නියම ස්වරූපය දැක ගත නොහැකි ය. ඒ අයුරින්ම ථීන මිද්ධ නීවරණය ඇති තැනැත්තාට ජීවිතයේ නියම ස්වභාවය වටහා ගැනීමට නොහැකි වනු ඇත. ගිහි ජීවිතයක් ගත්තත් පැවිදි ජීවිතයක් ගත්තත්, මේ නීවරණයෙන් යුක්ත නම් ඔහුගේ අරමුණ සිහිනයක් පමණි. දියුණුවක් නැත. විමුක්තියක් නැත.

උද්ධච්ච කුක්කුච්ච, උද්ධච්ච යනු සිතේ පවතින නොසන්සුන් බව යි. කුක්කුච්ච යනු පසුතැවීමයි. එනම් කළ වරද ගැන, නොකළ යහපත් දේ ගැන පසුතැවීමයි. මේ දෙකම සිත නොසන්සුන් කරයි. රැලි නැඟෙන සෙලවෙන වතුර බේසමකින් මුහුණ බැලීමට සමාන ය.

හරි වැරැද්ද – කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගත නොහැකි ය. කරන කියන සියලු දේ බිඳ වැටේ. මොහුගේ ජීවන ගමන අවුලකි. සිත එක්තැන් කිරීම දුෂ්කරයි.

විචිකිච්ඡාව යනු සැකයයි. කිසියම් කරුණක් පිළිබඳ නිවැරැදි අවබෝධය අඩුකමයි. විමුක්තියට , නිවනට බාධාවන ඵලක අටකි.

බුදුරදුන් පිළිබඳ, ධර්මය පිළිබඳ, සංඝයා පිළිබඳ, ත්‍රිශික්ෂාවන් පිළිබඳ, පෙරභවය පිළිබඳ, පසුභවය පිළිබඳ, පෙර පසුභවයන් පිළිබඳ, පටිච්චසමුප්පාදය පිළිබඳ යනුවෙන් මේ සැක කරන ස්ථාන අට දක්වා ඇත.

මෙය බොරවූ මඩ සහිත ජල බඳුනකින් මුහුණ බැලීමට සමාන ය. සත්‍ය දැක ගත නොහැකි ය. විචිකිච්ඡාව තියෙන තාක්කල් ඔහුට නිවන වැසී ඇත.

මේ නීවරණ තුළින් සිතේ මතකය අඩු කරයි. සතිය නැති කරයි. සිත අපවිත්‍ර කරයි. අප කළ යුත්තේ පංච නීවරණවලින් සිත රැක ගැනීමයි. එවිට අප තුළ ඇති වන්නේ නිදහස් සිතක්. නිදහස් සිත සංසාර චක්‍රයට ගමන් නොකරයි. පුනර්භවයක් ලබා නොදෙයි. සියල්ලෙන් නිදහස් වූ සිත අපට උතුම්ම සුවය ලබාදෙනු ඇත.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බලවත් අකුසල කර්ම විපාකයක් දුබල කරන්නට පුළුවන්ද?

 කර්ම යනු ක්‍රියාවයි. කර්ම යනු පව් පින් දෙකටම සාධාරණ නමකි. ‘කුක්කුරවත’ නමින් මජ්ක්‍ධිම නිකායේ එන එක් සූත්‍රයක් ඇත. එහි පුණ්ණ හා සේනිය නම් වූ මිතුරන් දෙදෙනෙක් වෙති. දිගු කාලයක සිට ඔවුහු ගෝව්‍රත හා සුනඛ ව්‍රත රකින නිගණ්ඨනාථ ශ්‍රාවක දෙපළකි. දිනක් මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ.


උන්වහන්සේට තමන් හඳුන්වා දී, ඔවුන්ගේ මතු භවය කෙසේ වන්නේ දැයි විමසූහ. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් එය කියන ලෙස ඔවුහු නැවත නැවත ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ.

“පුණ්ණ, යම් පුද්ගලයෙක් මෙලොව සුනඛවත්, සුනඛසිල්, සුනඛසිත්, සුනඛ වෙස් අඩු නොකොට, නිරතුරුව වඩන්නේ ද? හේ මරණින් මතු සුනඛයන්ගේ ම සහාවයට පැමිණෙයි. යම් කෙනෙක් මෙම ව්‍රත ශීලයක්, ව්‍රතයක්, තපසක් බඹසරක් වශයෙන් ඉතා දිගු කලක් රැක ගත් හෙයින් තමන්ගේ මරණින් මතු දෙවියන් හෝ බ්‍රාහ්මණයන් හෝ අතර සහවාසයට යන්නේ යැයි සිතයි නම් පුණ්ණ එය මිථ්‍යා දෘෂ්ඨියකි.

පුණ්ණ මම මිථ්‍යාදෘෂ්ඨිකයාහට මරණින් මතු ගති දෙකක් කියමි. එනම්, නරකය හෝ තිරිසන් යෝනියයි. මේ දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් හිමි වේ.

මෙසේ වැරැදි දෘෂ්ඨී ගෙන රකින සුනඛවත ඇත්තේ සුනඛයන්ගේ ස්වභාවයටම යයි. ගවයකු මෙන් හැසිරීමේ වත (ගෝව්‍රත) ගත්තෝ ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ කල දෙදෙනාම හැඬූහ.

මේ ගෝව්‍රතය, කුක්කුරව්‍රතය අපි බොහෝ කල් සිට රකිමු. මම (පුණ්ණ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. මමත්, සේනියත් මේ ව්‍රත හැර දමන්නෙමු. අපට ගැළපෙන දහමක් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හයි කීහ. ඒ අවස්ථාව මුල් කොට මේ කර්ම දේශනාව තථාගතයන් වහන්සේ මේ අයුරින් දේශනා කොට වදාළහ.

පුණ්ණ, මා විසින් මගේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ ලෙස දැනගෙන ඇති සතර කර්ම කෙනෙක් වෙති.

එනම්, අකුසල් වූ අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් දුක් සහිත වූ කයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ වචනයෙන් කෙරෙන අකුසල් රැස් කරයි ද? දුක් සහිත වූ සිතෙන් කරන අකුසල් රැස් කරයි ද? ඔහු දුක් සහිත ලෝකයට එළඹෙයි. එහි ඇත්තා වූ දුක් සහිත ස්පර්ශ ලබමින් දුක් වේදනා විඳියි. අකුසල් කරන්නෝ නිරයේ ම උපදිති. මේ නිසා සත්වයා කර්මය දායාද කොට ඇතැයි කියමි.

කුසල් වූ, කුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව යම් පුද්ගලයෙක් නිදුක් වූ කාය සංස්කාර රැස් කරයි. නිදුක් වූ වචී සංස්කාර රැස් කරයි. නිදුක් වූ මනක්සංස්කාර රැස්කරයි. එහෙයින් ම ඔහු නිදුක් ලොවට එළඹෙයි. මෙසේ හෙයින් සත්ත්වයා කර්ම දායාද කොට ඇතැයි කියමි.

කුසල් අකුසල් වූ කුසල් අකුසල් විපාක ඇති කර්මයක් ඇත. මෙලොව කෙනෙක් දුක් සහිත වූ අකුසල් ද, සැප සහිත වූ කුසල් ද මිශ්‍රව කයින් ද, වචනයෙන් ද, මනසින් ද සිදු කරයි. ඔහු දුක් සහිතවූත්, සැප සහිත වූත් මිශ්‍ර විපාක දෙන ලෝකයට එළඹෙයි. එහි වූ ඒ ඒ ස්පර්ශයෝ සහිත වේදනා විඳී. ඒ මිනිසුන් සෙයින් ය. එසේම ඇතැම් දෙවියන් සෙයින් ය. ඇතැම් විනිපාතිකයින් සෙයින් ය. සමහර මිනිසුන් එකම ජීවිතය තුළ, දුක් විඳී. සැප ද ලබයි. දෙවියන් අතර පිනෙන් උපත ලද මූත් භූමාටු දෙවියන් සේ දුක් ද විඳී. විනිපාතකයන් අතර පේතවස්තු කතාවල දක්නට ලැබෙන ලෙස ප්‍රේත ලොව උපත ලද මුත් කලින් කළ පුණ්‍ය විපාක ලෙස විමාන ප්‍රේතයන් ව සැප ද ලබයි. කරන ලද පව් අනුව තිරිසන් ලොව උපත ලැබුව ද මංගල හස්තියකු සේ, මංගල අසකු සේ, අජානීය ගවයකු සේ සැප ද ලබයි.

අකුසල් ද නොවූ, කුසල් ද නොවූ අකුසල් කුසල් නොවූ විපාක ද ඇති කර්මය ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් ඇත. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද, ඒ කර්මය කර්මක්ෂය පිණිස පවතියි.

යම් කෙනෙක් රහත් ඵලය පිණිස දස සංයෝජන නසන්නේ ක්‍රියා සිත් පමණක් ඇත්තේ ද, ඔහු කර්මක්ෂය පුද්ගලයා වන්නේ ය. පළමු කී ත්‍රිවිධ කර්ම දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේ ද ඒ කර්මය, කර්මක්ෂය පිණිස පවතියි යැයි වදාළ සේක.

මෙසේ වූ සතර කර්මයෝ දායාද කොට ප්‍රතිසන්ධි ස්ථානය වන්නේ විපාක වශයෙනි. මෙහිදී විපාක දෙන්නේ කර්මයයි. මෙසේ ප්‍රතිසන්ධිය ලබා දෙන කර්ම පිළිබඳ විනිශ්චය මෙසේ ය. කර්ම කෘත්‍ය වශයෙන් සතර වැදෑරුම් ය.

ජනක කර්මය

අනාගත ප්‍රතිසන්ධිය ගෙන දීමට ප්‍රබල වූ, බලවත් වූ කර්මය මෙ නම් වේ. දුර්වල කර්ම වේ නම්, බලවත් ජනක කර්මයකින් ලැබූ ප්‍රතිසන්ධිය තුළ වරින්වර විපාක වශයෙන් සැප දුක් ලබා දෙයි. මෙය චුති චිත්තය හා බැඳේ. කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත වශයෙනි.

උපස්ථම්භක කර්මය

උපන් සත්වයාට පව් පින් වශයෙන් විඳීමට හේතුවන කර්ම මෙ නම් වේ. ජීවිත කාලය පුරා පමණක් නොව අකුසල වශයෙන් ගත්විට තව තවත් දුක් විඳීම සඳහා ජීවත් කරවීම ද, නැවත නැවත යහපත (කුසල්) කරවීමට ජිවත් කරවීම ද මෙසේ වේ. එසේ වන්නේ තමා කරන යහපත් ක්‍රියාවෙන් ඇතිවන සතුට හා පී‍්‍රතිය මත ය. කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය මෙ නම් වේ. ලැබූ ජීවිතය තුළ විශේෂ සැප හෝ දුක් විශේෂ කොට ලැබෙන්නේ මෙයින් ය.

උප පීඩක කර්මය

ඉපදුණ සත්වයාට බලවත් පීඩා කරන්නේ මෙ නම් කර්මයයි. උපත ධනවත් පවුලක වුවත් අංගවිකල බව, හදිසියේ මතුවන බලවත් රෝග, තනතුරු පහකිරීම, ධන හානිය, ගින්නෙන්, ගං වතුරෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් වන හානි මෙසේ ය. ඒ තාක් අකුසල විපාක විඳින්නේ බලවත් සේ කුසල් කරන්නේ නම් ඒ කුසල් බලයෙන් බලවත් අකුසලය දුබල වේ. උදා - ලෙඩරෝග සඳහා බෝධි පූජා, දන්දීම්, ධර්මයට නැඹුරුවීම් ආදිය සැලකිය හැකි ය.

උපඝාතක කර්මය

උපච්ඡේදක කර්මය ද මෙය ම ය. චුති චිත්තයට මතුව ආ ජනක කර්මයකින් ප්‍රතිසන්ධි වශයෙන් යම් උප්පත්තියක් ලැබූවත්, ඒ ජනක කර්ම ශක්තිය බිඳලන කර්මය මෙ නම් වේ. උපන් ආත්මයක ආයුෂ විඳීමට අවකාශ නොදී උපඝාතක කර්මයෙන් ඔහු එයින් චුත කරන්නේ ය. අකාල මරණ යැයි අපි කියන්නේ මෙවැනි අවස්ථාවකයි.

බුදු දහමේ එන කල්පය පිළිබඳ සංකල්පය

කාලය දැක්වීමේ දී වර්තමානයේ දී තත්පර, මිනිත්තු, පැය, දින, සති, පක්‍ෂ, මාස, අවුරුදු, දසක, විංශති, ෂස්ටි, ශත වර්‍ෂ, සහස්‍ර වර්‍ෂ, … ආදී ඒකක භාවිතා කරයි. සහස්‍ර වර්‍ෂයක් යනු අවුරුදු 1000 ක කාල පරාසයක් වේ. ඊටත් වඩා වැඩී විශාල කාලයන් මැනීම සඳහා වර්‍ෂ ආදිය භාවිතා කිරීම දුෂ්කර වේ. එබැවින් ඉතා දීර්ඝ කාල පරාස දැක්වීමට යුග, කල්ප ආදිය භාවිතා කරයි.


ඉතාමත් ම දීර්ඝ කාල මැනීමේ දී කල්පය ඉතා වැදගත් වේ. කල්ප වනාහි සතර වැදෑරුම්‌ වේ.
මහාකල්පය
අසංඛ්‍යකල්පය
අන්තර්කල්පය
ආයුකල්පය
.
▬▬▬▬ 1. මහාකල්පය: ▬▬▬▬
.
මහාකල්පය ඉතා දීර්ඝ කාලයකි. එය සිතා ගැනීමටත් දුෂ්කර ය. ලොව නිර්‍මාණය වීම හා නැවත විනාශ වීම චක්‍රයක් ලෙස සිදු වේ. මෙසේ ලෝකය විනාශ වී නැවත ඇතිවී විනාශ වීමට ගත වන කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මහාකල්පය විවිධ උපමාවලින් දක්වා ඇත. දිනක් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේ ය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේ ය.
.
භික්‍ෂුව : ස්වාමීනි, කල්පය වනාහි කෙතරම් දීර්ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකියි.”, “මහණ යම්සේ වනාහි දිගින්‌ යොදුනක්‌ ඇති පළලින්‌ යොදුනක්‌ ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒක ඝන වූ මහා ගල්‌ පර්‍වතයක්‌ වේද ඒ ගල්‌ පර්‍වතය පුරුෂයෙක්‌ අවුරුදු සීයකට වරක්‌ කසී සළුවකින්‌ පිරිමදින්නේ වේ ද මහණ මේ ආකාරයෙන්‌ ඒ මහා ගල්‌ පර්‍වතය ගෙවීමට කෙළවර වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\5.පබ්බතසුත්තං)
.
භික්‍ෂූන් වහන්සේ නමක් විසින් තවත් අවස්ථාවක දී කල්පය පිළිබඳ කරන ලද විමසීමක දී දෙන ලද පිළිතුර මෙසේ ය.
භික්‍ෂුව : ස්වාමීනි කල්පය වනාහි කෙතරම් දීර්‍ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය හෝ කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකිය.” මහණ යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය.
(සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\6.සාසපසුත්තං)
.
මේ අනුව සලකා බැලීමේ දී මහාකල්පය යනු ඉතා දීර්‍ඝ කාලයක් වේ.
.
▬▬▬▬ 2. අසංඛ්‍යකල්පය: ▬▬▬▬
.
මහා කල්පය සමාන කොටස් සතරකට බෙදූ විට එක් කොටසක් 'අසංඛ්‍යකල්පයක්' ලෙස හැඳින්වේ. මෙලොව සෑම දින ම මෙසේ නො පවතින්නාහ. මන්ද යත් අනිත්‍යය හෙයිනි. යම් කලක දී මේ ලෝකය වැනසෙන්නේ ය. එහිදී සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත්, ප්‍රථම ධ්‍යාන තලයේ බ්‍රහ්ම ලෝකත් නැසෙන්නේ ය. ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් මෙසේ ලෝක ධාතුව නැසෙන්නේ ය. ගින්නෙන් වැනසෙන විට එය තේජෝ සංවට්ටය ලෙසත්, ජලයෙන් වැනසෙන විට ආපෝ සංවට්ටය ලෙසත්, සුළඟින් වැනසෙන විට වායෝ සංවට්ටය ලෙසත් හැඳින්වේ. මෙම ක්‍රම තුනෙන් එක් ක්‍රමයකින් ලෝකය විනාශ වීමට ගත වන කාලය අසංඛ්‍යකල්පයකි.
මෙසේ ලෝකය විනාශ වෙමින් පවතිනා කාලය සංවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව හිස් අවකාශයක් ලෙස තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙය සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව නැවත ගොඩනැගේ. එසේ නැවත ලොව ගොඩනැගීමට ද තවත් අසංඛ්‍යකල්පයක් ම ගත වේ. මෙසේ ලොව ගොඩනැගෙමින් පවතිනා කාලය විවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
එලෙස සම්පූර්‍ණ ලෙස ගොඩනැගුණු ලොව තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙම කාලය තුල දී සත්වයා විද්‍යාමාන වේ. මෙසේ ලොව පවතිනා කාලය විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍ය සතරක් වෙත්. කවර සතරක් ද යත්. මහණෙනි, යම් කාලයක දී කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය නැසී සිටී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇති වේ ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය ඇතිවී පවතී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයයෝ ය.”
(අ.නි.\4.චතුක්කනිපාත\4.චතුත්ථපණ්ණාසකං\1.ඉන්ද්‍රියවග්ගො\6.අසංඛ්‍යෙසුත්තං)
.
මේ අනුව අසංඛ්‍ය කල්ප 4ක් ඇත. එනම්;
සංවට්ට අසංඛ්‍යකල්පය (ලොව විනාශ වෙමින් පවතිනා කාලය.)
සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව විනාශ වී පවතිනා කාලය.)
විවට්ට අසංඛ්‍යකල්පය (ලොව නැවත ඇතිවෙමින් පවතිනා කාලය.)
විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව ඇතිවී පවතිනා කාලය.)
මෙම අසංඛ්‍යකල්ප සතර ම එක් වූ විට මහාකල්පය ලෙස හැඳින්වේ.
.
▬▬▬▬ 3. අන්තර කල්පය (අතුරු කප): ▬▬▬▬
.
අසංඛ්‍යකල්පයක් සමාන කොටස් 64කට (ඇතමෙක් 20කට යැයි ද කියනු ලැබේ) බෙදූ විට එක් කොටසක් අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. සංවට්ට කල්පයට නො පැමිණ (ලෝකය විනාශ නො වී), අතරතුර ලෝක විනාශය හෙවත් සත්ව විනාශ වීම් සිදු වේ. මෙසේ එක් සත්ව විනාශයක සිට ඊළඟ සත්ව විනාශයට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ.
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ දස වර්‍ෂයට අඩු වන්නේ ය. එහි දී සත්වයන්ගේ විනාශයක් වන්නේ ය. එහිදී සත්ව විනාශ ආකාර තුනකින් සිදු වේ. එහි ලෝභය උත්සන්න වූ ප්‍රජාව දුර්භීක්ෂයෙන් විනාශවේ. එය දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උත්සන්න වූ ප්‍රජාව රෝග හේතුවෙන් විනාශවේ. එය රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආයුධ හේතුවෙන් විනාශවේ. එය ශස්ත්‍ර (ආයුධ) අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයයෙහි උපදිති. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර් කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නො වේවායි මෙත් සිත උපදී. ආයුධ අන්තර කල්පයේ නැසුණෝ බොහෝ සෙයින් නිරයේ උපදිත් කුමක් නිසා ද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
(දීඝනිකායට්ඨකථා\චක්කවත්තිසුත්තවණ්ණනා)
අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. නමුත් මාන ආදී අකුසල් දහම් නැවත බෝවීම නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය සිට පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩු වන්නේ ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ දස වර්‍ෂයේ සිට අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්‍ෂය දක්වා පිරිහීමට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. (සංවට්ට විවට්ට ආදී) එක් අසංඛ්‍යය කල්පයකට අන්තර කල්ප 64ක් ඇත. ඇතමෙක් 20ක් යැයි ද කියනු ලැබේ. මේ අනුව;
අන්තර කල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්ප 01
.
මෙම අන්තර කල්ප තුල වුව ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වැඩෙන කාල වල දී බුදුවරු පහළ නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්‍ෂ ලක්ෂයකින් වැඩි වූ විට බුදුවරු පහල වන කාලය නම් නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නො වෙයි. බුදුවරුන්ගේ ධර්‍මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේ දැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නො හඟිති. එසේ ඇති කල සසුන අනෛර්‍යාණික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද බුදුවරු පහල වන කාලය නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. වර්‍ෂ සියයත් ලක්‍ෂයත් අතර ආයු කාලය තුළ පමණක් බුදුවරු පහල වේ. එසේ ම මනුෂ්‍ය ආයුෂ වර්‍ෂ සියයත් ලක්ෂයත් අතර කාලවල දී පමණක් බුදු පසේබුදු අග්‍රශ්‍රාවකයෝ පහළ වෙති.
.
▬▬▬▬ 4. ආයුකල්පය: ▬▬▬▬
.
ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය ආයුකල්පය යි. කලක දී අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. මෙකල මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ 100ක් යැයි සැලකුව හොත් ආයුකල්පය වර්‍ෂ 100ක් වේ.
මේ නයින් මහාකල්පය, අසංඛ්‍යකල්පය, අන්තර කල්පය හා ආයුකල්පය දතයුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමුතු දේ හිතන උමතු මනස

කැලණිය විශ්වවිද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

" ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි."

උමතු බව, සිහි විකල් බව, සිහි මුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචන ය. මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතා මෙන්ම උග්‍ර මානසික විකෘතිතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ.

මෙම උමතු බව නිසා අමුතු අමුතු බොහෝ දේ අපගේ මනසට නැඟේ. ඒවා බොහොමයක් අපට අහිතකර වේ. බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැදින්වෙන මානසික පීඩනය, කාංසාව හෙවත් කාන්සිය තනිකම, පාලුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ.

එසේම, සියදිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝන්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ.

මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි. එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම්, ලෝකය යනු කුමක් දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන හෙයිනි.

සබ්බෙ පුථුජ්ජනා උම්මත්තකා

යන ප්‍රකාශය බෞද්ධ අපට ඉතා හුරු පුරුදු ය. එහි ගැඹුරු හා පළල් අදහසක් ඇත. මානසික උමතුව පිළිබඳව බුදුදහමෙහි ගැඹුරු සාකච්ඡාවක් පවතින අතර, උන්මාදය අප අත්විඳීන විවිධ මානසික විකෘතිතා අතර එක් පැතිකඩක් පමණකි.

මෙහි සාකච්ඡා වනුයේ එම පෘථුල කතාවේ ඒකදේශයකි. ඉතා කෙටියෙන් කිවහොත් බුදුදහමෙහි උන්මාද අටක වර්ගීකරණයක් හමුවේ. කාම උන්මාදය, ක්‍රෝධ උන්මාදය, දර්ශන උන්මාදය, මෝහ උන්මාදය, යක්ෂ උන්මාදය, පිත්ත උන්මාදය, සුරා උන්මාදය හා ව්‍යසන උන්මාදය යනුවෙනි. බටහිර මනෝ විද්‍යාවෙහි විවිධ වර්ගීකරණයන් යටතේ විස්තර වන සියලු මානසික රෝග ඉහත දැක්වූ උන්මාද අට තුළ අන්තර්ගත වන බව නූතන මනෝ විශ්ලේශකයන්ගේ අදහසයි.

එබැවින් බුදු දහමෙහි සඳහන් මෙකී අට උමතුව පිළිබඳ අවබෝධය අපගේ මනස පිළිබඳ අවබෝධය සඳහා මෙන්ම මැනවින් පවත්වා ගෙන යෑමට උපකාරී වනු ඇත.

කාම උන්මාදය

කාම උන්මාදය යනු කාමය නිසා ඇති වන මානසික උමතුවයි. බුදුදහම ගිහියන් සඳහා නිසි කාම සේවනයක් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුට ම මනා අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

පාලනය කොට ගත නොහැකි තරම් අධික ආශාවට හා තෘෂ්ණාවට යමෙකු වසඟ වුවහොත් ඔහුට හෝ ඇයට අතෘප්තිකර කාමාශාවකින් කල් ගෙවීමට සිදුවේ. අධික හා අතෘප්තිකර කාම ආශාව නිසා භයානක ප්‍රතිඵල අත් විඳීමට සිදුවිය හැකි ය.

අතෘප්තිකර කාමාශාව නිසා සියලු පිරිමින් මරාගෙන ගිය තරුණයකු පිළිබඳ සඳහන් වන අසනඝ ජාතකය මීට කදිම නිදසුනකි. පාලුව, තනිකම, මානසික අවපීඩනය, ඉච්ඡාභංගත්වය නැතහොත් බලාපොරොත්තු කඩවීම් වැනි තත්වයන්ට එවැනි අයට මුහුණ දීමට සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියදිවි හානිකර ගැනීමට තරම් උග්‍ර තත්වයකට තමා පත්වීමයි.

අනෙක් අතින් මෙබඳු පුද්ගලයන් ලිංගික අපචාරවලට පෙළඹේ. අස්වාභාවික ලිංගික ක්‍රියා, ලිංගික වධහිංසා කිරීම්, කුඩා ළමුන් දූෂණය කිරීම්, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම් වැනි ක්‍රියා මඟිින් තෘප්තියක් සෙවීමට පෙළඹෙන්නේ මෙබඳු පුද්ගලයෝ ය. කාමුකයකු තුළ පවතින මෙය උන්මාදයකි. එබැවින් කාමය පිළිබඳ අවබෝධය සෑම කෙනෙකුට ම තිබීම අවශ්‍යය.

බුදු දහම අනුව කාම වස්තූන් සමඟ කැරනු ලබන ගණදෙනුව හුදෙක් ස්වල්ප මාත්‍ර වූ ආස්වාදය ගෙන දෙන්නකි. යථාර්ථයක් වශයෙන් එයින් ලබන තෘප්තිය සිහිනයකින් ලබන ආස්වාදයක් වැනි ය. එබැවින් ආස්වාදය, ආදීනව තේරුම් ගැනීම හා නිස්සරණය හෙවත් ඒ සම්බන්ධ මානසික පාලනයක් ඇතිකර ගැනීම යහපත් පවුල් ජීවිතයකට සහ යහපත් පුරවැසියකු වීමට හේතු වේ.

කාමයෙහි ආදීනව මෙනෙහි කිරීමත්, අශූභ සංඥාව වැඩීමත් කාම උන්මාදයෙන් වැළකීමට ඉවහල් වේ.

ක්‍රෝධ උන්මාදය

දෙවන උන්මාදය වන්නේ ක්‍රෝධ උන්මාදයයි. අධික කෝපය හේතුකොට ගෙන යම් යම් අය තුළ ඇතිවන මානසික ව්‍යාකූලතාව මෙයින් අදහස් වේ. කෝපය හෝ ක්‍රෝධය වූකලි සිතිවිල්ලකි. එය ගින්නක් හා සමාන ය. බොහෝ කාලයක් කෝපය පාලනය කර ගැනීමට අසමත් පුද්ගලයාට මෙකී ක්‍රෝධ උන්මාදය ඇතිවේ. ඇතැම් අය තමා තුළ පවතින කෝපය ආභරණයක් මෙන් සලකන අවස්ථා ද ඇත. එහෙත් එය ආභරණයක් නොව උග්‍ර රෝගයකි. සමාජ විරෝධී පෞරුෂයක් වන එය විකෘති මානසික තත්වයකි. තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැති, ආගම ධර්මය පිළිබඳ පිළිගැනීමක් නැති, යතාර්ථය පිළිබඳ අවබෝධය අඩු පුද්ගලයන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩි ය.

බුදුදහමේ පෙන්වා දෙන පරිදි

ක්‍රෝධ උන්මාදයෙන් පෙළෙන තැනැත්තාට ඉන් සිදුවන යහපත හෝ අයහපත නො වැටහේ. හරි වැරදි නොසලකයි. ධර්මය ගැන නො සිතයි. ඔහු අන්ධකාරෙය් සිටින කෙනෙකු වැනි ය. ඔහු නිතර දැවෙන්නෙකි. ලජ්ජා බිය නැත්තෙකි. ගෞරවාන්විත ව කතා නො කරන්නෙකි.

අඩුවෙන් කතා කිරීම සහ පැහැපත් නොවන මුහුණක් තිබීම ඔහුගේ ශාරීරික හා චරිත ලක්ෂණ වේ.

ක්‍රෝධ උන්මාදයේ පදනම වන්නේ මෝහය, මුළාව නැතහොත් අඥානකම වේ. මෙබඳු පුද්ගලයන්ට අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩිය. මෙය පාලනය කර ගැනීම කුඩා කල සිටම කළ යුත්තක් වේ. තමා තුළ පවතින ක්‍රෝධය මානසික රෝගී තත්වයක් බව අවබෝධය වැඩි කර ගැනීම, ධර්මයට යොමුවීම, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම මෙම උන්මාදයෙන් වැළකී සිටීමේ පිළියම වේ.

දර්ශන උන්මාදය

තෙවන උන්මාදය වන්නේ දර්ශන උන්මාදයයි. බෞද්ධ ග්‍රන්ථවල මෙය දැක්වෙන්නේ දිට්ඨිවිපල්ලාස යනුවෙනි. මායා රූප පෙනීම මෙහි ලක්ෂණයයි.

ඇතැම් අය තමන් අසවල් අසවල් දෙවියන් දුටු බව හා තමන් සමඟ කතා කළ බව, අසවල් මිය ගිය තැනැත්තා හෝ ජීවත්වන තැනැත්තා තමන් දුටුබව හා කතා කළ බව කියමින් උමතුවෙන් සිටිනු ඔබ දැක ඇත. මෙය ද උන්මාදයකි. මෙය භින්නෝන්මාදය නමින් දක්වන බටහිර මනෝවිද්‍යාවෙහි එය දරුණු මානසික තත්වයක් ලෙස විග්‍රහ කෙරේ. එබඳු මායාවන් සොයා තනියම තැන්තැන්වල යන අවස්ථා ඇත. හුදෙකලාව කතා කරමින් සිටීමත් මෙහි ලක්ෂණයකි. සමථ හා විදර්ශනා භාවනාවෙන් මෙයින් වැළකී සිටිය හැකි ය.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මා හදාගත් ලෝකයක දුක් විඳිනවා විනා තිබෙන ලෝකයක දුක් විඳිනවා නො වේ

     
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
අනුශාසක,  පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි


මේ ලෝකය, අපි දුක් විඳින ලෝකය තියෙන එකක් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් කිව්වොත් පිළිගන්නෙ නෑ. ඒක විවර කරල පෙන්නන්න තමයි, පිළිගන්න පුළුවන් මට්ටමට පෙන්නන්න තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නෙ. නිකමට හිතන්න, ඔබට අම්ම, තාත්ත දුවා පුතා කියල ඔබට වටිනාකමට තේරෙන අය ඉන්නව ගොඩක්. ඒ අය ලෙඩ වුණොත් මැරුණොත් ඔබ දුක් වෙනව මහන්සි වෙනව. හැබැයි ඔබට වටිනාකමින් පේන ඒ වස්තු අනික් අයටත් ඒ වටිනාකමින් පේනව ද? නෑ. ඉතින් මේ ලෝකෙ වටිනාකමක් තියෙන දේවල් තියෙනව නම් ඒ වටිනාකම දැනෙනව නම් අනික් මනස්වලටත් දැනෙන්න ඕන. ඔබට විතරක් නෙමෙයි ද ඔබේ ලෝකෙ වටිනාකම දැනෙන්නෙ? මගේ අම්ම මට අම්ම වුණාට ඔබගෙ අම්ම නෙමෙයි නෙ. ඒ රූපෙ වෙනස් වන කොට මං මව මළ දුක විඳිනව. මේ මගේ ලෝකෙ. මගේ අම්ම තාත්ත මගේ සහෝදර සහෝදරියො ඔබ දන්නෙ වත් නැහැ. එහෙනම් මම හදාගත් ලෝකයක දුක් විඳිනව විනා තියෙන ලෝකයක දුක් විඳිනව නෙමෙයි. දුක්ඛ නිරෝධය සඳහා ඉස්සර වෙලා දුක තේරුම් ගන්න. මේ ලෝකෙ දුක. දුක ඇති කරපු හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් දුක නැති වෙනව. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියල ඉගෙනගත්තහම ඒ දර්ශනය තියෙන කෙනාට, පටිච්ච සමුප්පාදය දන් නකෙනාට සක්කාය දිට්ඨි විචිකිච්චා දෙක නෑ. 

මේ දර්ශනය අපි දැනගෙන ඊළඟට භාවනා කරන්න ඉගෙන ගනිමු. සමථය වඩන්නෙ කොහොම ද? විදර්ශනාව වඩන්නේ කොහොම ද? ශී ලයක පි හි ටන් නෙ කොහොම ද කියල ශීලයක පිහිටල සමථ විදර්ශනා වඩන හැටි අපි ඉගෙන ගනිමු. එතකොට අපි දන්නව අපි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි පුරන්නෙ. මොකට ද? මේ ලෝක නිරෝධයට. මේකෙ අවසානය මම ඉපදෙනව ලෙඩ වෙනව මහලු වෙනව මරණයට පත ් වෙනව කියන ජාති ජරා මරණයන් ගෙන් මම මිදිල. මේ ජරා මරණයට පත් වෙන මේ කය මම කියල පෙන්වන දර්ශනයෙන් මම මිදිල. මම දුව පුතා අම්ම තාත්ත සහෝදර සහෝදරියො ගෙවල් දොරවල් කියන බැමිවලින් මම නිදහස් වෙලා. ඒවයින් මිදිල. ඒවයෙ අවශ්‍යතාව නෑ. ඒවයෙ පිපාසය නෑ. ගෙවල් දොරවල් දුවා පුතා යාන වාහන කියන සංයෝජනයන් තිබුණ නම් ඒව ගෙවිල. ඒව නිසා එන දුකින් නිදහස් වෙලා මනස, මේ දර්ශනය නිසා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙන්නෙ. මේ වගේ දර්ශනයක් දැනගෙන භාවනා නො කරන කෙනා වටිනවා මේ වගේ දර්ශනයක් නැති ව භාවනා කරන කෙනාට වඩා. අද යමක් නො කළත් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මොකක් ද? මට උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකක්. 


මේ මම කියල උපාදාන වශයෙන් හසු වෙච්ච ස්කන්ධය මට දුකක් ගෙන දෙනවමයි කියල දන්නව. මේ මගේ දරුව මේ මගේ ගෙදර කියල මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධය වෙනස් වෙන දවසට මට දුක එනවා මයි කියල දන්නව. මේ රත්තරන් මේ මුතු මැණික් මේ රිදී කියල මේව වටිනව කියල මට දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මගේ කාම උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටිකට කියනව උපාදානස්කන්ධය කියල. උපාදානක්ඛන්ධා දුක්ඛා...මගේ උපාදානයට හමු වෙච්ච ස්කන්ධ ටික දුකක්. ඒ කියන්නෙ මේ කෝප්පෙ ගොඩක් වටිනව කියල මට දැනෙනව. වටිනාකම දැනෙනකමට කියනව කාම උපාදානය කියල. මට දැනෙනව. මේ රූපෙට කියනව උපාදනෙට හිත ස්කන්ධය කියල. ගොඩාක් වටිනව කියල පෙනෙනකම තියෙන්නෙ කා ගාව ද? මං ගාව. ඒකට කියනව කාම උපාදානය කියල. මගේ උපාදානය පවත්වන්න පවතින්න උපකාරක වස්තූන් මොනව ද? මේ රූපය (කෝප්පය). මේ රූපෙට කියනව මොකක් ද? උපාදානස්කන්ධය. උපාදානයට හිත ස්කන්ධය. මම මේ රූපය වටිනවා කියල හිතාගෙන ඉන්නව. දැන් මගේ උපාදානයට හිත ස්කන්ධ ටිකෙන් මට දුක එනව. ඒ කියන්නෙ මම උපාදානය වශයෙන් මේ රූපය අල්ලගෙන ඉන්නව කෝප්පෙ හොඳයි කියල. මේක කැඩුණු ගමන් ම මට දුක එනව. ඒ හින්ද එයා දන්නව උපාදානක්ඛන්ධා දුක්ඛා. පුද්ගලයො හැටියට සත්ත්වයො හැටියට වටිනාකම හැටියට මගේ මේ උපාදානයට හසු වෙච්ච මේ ස්කන්ධ ටික දුකමයි කියල දන්නව. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. දුකට හේතුව තණ්හා උපාදානයයි කියල මේව වටිනාකමට සත්ත්වභාවයට ඇති කරගෙන තියෙන අදහස් ටිකකුයි කියල හැඟීම් ටිකකුයි කියල දන්නව. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. මේ ස්කන්ධ ටික වටිනාකමක් හැටියට සත්ත්ව පුද්ගලභාවයට පෙනෙනකම නැති කළොත් දුක නැති කළ හැකියි කියල නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය තියෙනව. ශීලයක පිහිටල සමාධිය වඩල ඇත්ත ඇති හැටියෙන් බලල මේ සමුදය ප්‍රහානය කළ හැකියි කියල, නිරෝධය සාක්ෂාත් කළ හැකියි, මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකිය හැකියි කියල නුවණ තියෙනව. ඒකට කියනව මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය කියල. ඔය ටික තේරෙනකොට දිට්ඨි සම්පන්නයි. ඒ කියන්නෙ සත්‍ය ඥානය පහළ වෙලා. ඊට පස්සෙ කෘත්‍ය ඥානය. ඊට පස්සෙයි භාවනා කරන්න හම්බ වෙන්නෙ අපිට. මොකක්ද ඒ? මේ දුක එන ස්කන්ධ ටික පිරිසිඳ දකිනව. 


මෙතන රූපය සතර මහා ධාතුයි නේ ද? සමුදය ප්‍රහානය කරනව. කෝප්පෙ වටිනව කියන අදහස ගෙවනව ටික ටික. මෙතන ඇත්ත පෙන්න පෙන්න සමුදය ප්‍රහානය කරනව, ගෙවනව. මේක ගෙවෙන්න ගෙවෙන්න මේක වටිනව කියල බලනකම පෙනෙනකම නිරුද්ධ වෙනව. එතකොට මාර්ගය වඩල ඉවර වෙනකොට කෝප්පය කැඩුණම එන්න තියෙන දුකින් නිදහස්. කෘත ඥානය එනකොට මේ විදියට ලෝකයේ ජරා මරණ දුක එන සිද්ධාන්තයෙන් මිදිල. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ස්කන්ධ ටික පිරිසිඳ දැකල. මේව සත්ත්වයෝ පුද්ගලයෝ වටිනවා කියල පෙන්නපු ක්ලේශය ගෙවිල. මාර්ගය වඩල ඉවරයි. සමුදය ප්‍රහානය වෙලා. නිරෝධය සාක්ෂාත් වෙලා. ස්කන්ධ පිරිසිඳ දැකලා. ඕකට කියනවා රහත් වුණා කියල. පින්වතුනි, ඉවුරක් අද්දර ඉඳල එක පාරට වතුරට පනිනව වගේ අපි එක පාරට නිවනට වැටෙන්නෙ නෑ. අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ශිකෂාවක් තියෙන්නෙ. ආශ්‍රව ක්ෂය වෙනව කියල කියන්නෙ. ගානකොට එක පාරට ම නැති වෙනව ද? නෑ. ටික ටික නේ ද උරච්චි කරනකොට ගෙවෙන්නෙ. ඒ වගේ මේ ඇත්ත බලන්න බලන්න පුද්ගලභාවයේ වටිනාකම ටික ටික ගෙවෙනව. ක්ෂය වෙනව. 

දිවයින බොදුමඟ 2020.මැයි 7

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සීමාව දැන ජීවත්වීම වැදගත් වන්නේ ඇයි?

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

" අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය."

ජලචර සතුන් වන මත්ස්‍යයන් ඇළ දොළ ගංගාවන්හි නිදහසේ ප්‍රීතියෙන් ඔබ මොබ පීනා යනු ඔබ දැක ඇත. එහෙත් ජලයෙන් ඉවත්කොට ගොඩ බිම තැබූ විට ඔවුහු අපමණ දුක් විඳ මරණයට පත්වෙති.

ගොඩබිම වසන ජලජ ජීවීන් නොවන මිනිසුන් ඇතුළු ගව, සුනඛ ආදී සතුන් ජලාශවලට වැටී ඉන් ගොඩ ඒමට නොහැකි ව මිය යන අවස්ථා ද බොහෝ ය. එමෙන් ම වනයෙහි විසිය යුතු සිංහයන්, කොටියන්, ඇතුන් වැනි වන සතුන් ද ගම් වැදුණු විට සිදු වන්නේ මහා විනාශයක් වන අතර” ගමෙහි ජීවත් වන සත්ත්වයෝ ද කැලෑවේ දී නොයෙක් කරදරවලට මුහුණ දෙති. මෙසේ සිදු වන්නේ කුමක් නිසා දැයි තීරණය කිරීම ඔබට අපහසු නැත. ඒ අන් කිසි කරුණක් නිසා නොව තමාට හිමි භූමිය, ගෝචර ස්ථානය නැතහොත් ගොදුරු බිම තුළ ජීවත් නොවීම හේතුවෙනි. එම නිසා ජීවත්වීමේ දී තමාට හිමි ගෝචර භූමිය හා භූමිකාව තේරුම් ගැනීම බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමේ මාර්ගයයි.

ඉහත කරුණ එනම්, තමාට අයත් සීමාව දැන එහි ජීවත්වීම අප විසින් කළයුත්තක් බව අපගේ මයටි හිත විසින් අපට කියාදෙන බව ඔබ දන්නා කරුණකි. කුමක් නිසාද යත් ජීවත්වන සෑම කෙනෙකුට ම ස්වභාව ධර්මය විසින් එම කරුණ පසක් කරවන හෙයිනි. තමාට හිමි සීමාව අපට දඩාවතේ යන සුනඛයන්ගෙන් වුව ද තේරුම් ගත හැකි ය. නිවසක හැදෙන සුනඛයෙකු තම සීමාව දනී. ගමක මහ පාරේ හැදෙන සුනඛයා ද තමන්ගේ සීමාව සලකුණු කොට ගෙන ඇත. මොවුන් ගේ භූමිකාව ඇත්තේ එකී සීමාව තුළ ය. එනම් දුව පැන දඟලන්නේ ද, බුරන්නේ ද, හපන්නේ ද එකී සීමාව තුළ දී පමණ ය. එම සීමාව ඉක්ම වූ විට අනේක විධ උපද්‍රවයන්ට ම මුහුණදීමට සිදුවන බව සුනඛයා දනී. අනෙක් සෑම සත්ත්වයකුගේ ම ස්වභාවය මෙයයි. ඇතැම් ගස් වැල් පවා සෑදෙන්නේ ඊට ම ආවේණික භූමි භාගයන්හි බව ඔබ දන්නා කරුණකි. එකී ගෝචර ස්ථාන හෝ සුදුසු භූමි භාගයන්ගෙන් තොරව ඒවායේ පැවැත්මක් නැත.

දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි බුදුන් වහන්සේ වරක් තම ශ්‍රාවකයන් අමතා මෙබඳු ප්‍රකාශයක් කළහ. “මහණෙනි, තම පියාට අයත් ගොදුරු බිම තුළ හැසිරෙන්න. මහණෙනි, එසේ හැසිරෙන අය තුළට ඇතුළුවීමට මාරයා හිඩැසක්, කරුණක් නො ලබන්නේ ය. මහණෙනි, මෙය (තමාට අදාළ සීමාව තුළ විසීම) කුසල ධර්මයන් ආරක්ෂා කිරීමට හේතුවකි . මෙසේ පින් වැඩේ. ශ්‍රාවකයන් අමතා කරනු ලබන මෙම ප්‍රකාශයෙහි තම පියාට අයත් භූමි භාගය යන්නෙන් අදහස් වන්නේ තථාගතයන ් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ධර්මය භූමි සීමාව හෙවත් ගෝචර ස්ථානය නැතහොත් චර්යාමය වපසරියයි. කෙටියෙන් කිවහොත් එම ගෝචර භූමිය, නැතහොත් බුද්ධ ශ්‍රාවකයන් විසිය යුතු, ජීවත්විය යුතු සහ ක්‍රියාත්මක විය යුතු බල ප්‍රදේශය නම් සතර සතිපට්ඨානයයි. වෙනත් විධියකින් කිවහොත් සිහිය පවත්වාගෙන විසිය යුතු බවයි. එනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාවයි .

බුදුන් වහන්සේගේ ඉහත ප්‍රකාශය වර්තමාන ශාසනික හා සමාජ ගැටලු මුළුමණින් ම පාහේ විසඳා ගැනීමට ඉවහල් වන තරම් වැදගත් ප්‍රකාශනයක් වේ. බුදුරජාණන් වහන්සේගේ ඉහත දේශනාව අනුව බුද්ධ ශ්‍රාවකයන්ට ජීවත්වීමට අයත් භූමියක් හා භූමිකාවක් ඇත. මෙය වෙනත් විධියකින් කිවහොත් මත්ස්‍යයෙකුට ඇළක, දොළක, ගංගාවක ජලයෙහි මිස ගොඩබිමක ජීවත්වීමට නො හැකි ය. එමෙන්ම ශාසනය නමැති විලෙන් පිට භික්ෂූන් නමැති මින් කැළට පැවැත්මක් නැත. එයින් පිට ජීවත්වීමට වෑයම් කළ හොත් උන්වහන්සේලා විනාශයට පත්වෙති. එබැවින් ගිහි වුවත්, පැවිදි වුවත්, ස්ත්‍රී වුවත්, යමෙක් බුද්ධ ශ්‍රාවකයෙක් නම් ඔවුහු බුදුන් වහන්සේ විසින් දේශිත සතිපට්ඨානය මූලික කොට ඇති ධර්ම ය භූමිය තුළ ජීවත්විය යුත්තෝ ය. ඔවුන්ගේ භූමිකාව හෝ වැඩ පිළිවෙළ වන්නේ සතර සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවීම හා ලෝකාර්ථ චරියාවත් ය.

පුද්ගලයාගේ සිට රටක් දක්වා පමණක් නොව ලෝකයක පැවැත්මක් දක්වාම මහා පරිමාණයේ අර්බුද සම්බන්ධයෙන් මෙය බලපාන කරුණකි. අතීතයේ සිටම පැරැන්නෝ මෙම යථාර්ථය විවිධ අයුරින් පෙන්වා දුන්හ. නව නිවසකට පතිනියක වශයෙන් පිවිසෙන ස්ත්‍රියට බුදුන් වහන්සේ දුන් උපදේශයක් වන්නේ ඇතුළත ගිනි පිටතට නො දෙන ලෙසයි. එයින් අදහස් වන්නේ නිවසක් ඇතුළත ඇති වන අර්බුද, ගැටලු හෝ හැළහැප්පීම් බාහිර සමාජයට නො යැවිය යුතු බවයි. මෙය ඇයගේ සීමාව පිළිබඳ සිහිපත් කිරීමකි. එසේම නිවසක ස්වාමියා, භාර්යාව, මව, පියා හෝ දරුවන් සම්බන්ධ ගැටලුවල සීමාව පවුල නමැති ඒකකයයි. වෘත්තීය ජීවිතයේ දී තමාගේ වපසරිය තේරුම් ගෙන කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

එක්තරා නිවසක බල්ලෙක් සහ බූරුවෙක් ඉතා කුළුපඟ ව වාසය කළහ. දිනක් රාත්‍රියේ නිවසට සොරෙක් පැමිණියේ ය. බූරුවා බල්ලා දැඩි නින්දක සිටිනු දැක මිත්‍රත්වය නිසා බල්ලා අවදි නොකොට බල්ලා මෙන් බිරුවේ ය. බිරීම බල්ලා සතු කාර්යයකි. එහෙත් මෙහි දී නිවස සොරුන්ගෙන් බේරා ගැනීම සඳහා බූරුවා බල්ලාගේ වෘත්තිය භාරගෙන ක්‍රියා කළේ ය. බූරුවාගේ කෑගැසීමෙන් කුපිත වූ නිවසේ ස්වාමියා මහ රෑ අවදිවී මුගුරක් ගෙනවුත් බූරුවාට දරුණු ලෙස තැළුවේ ය. එයින් බූරුවා මිය ගිය බව ඉතා ප්‍රකට පුවතකි. මෙබඳු කතාන්තර අපට උගන්වන්නේ සීමාව හඳුනාගෙන ජීවත් විය යුතු බවයි.

පුහුදුන් මිනිසුන් වශයෙන් ජීවත්වන අප විසින් තේරුම් ගතයුතු වැදගත් කරුණක් ඇත. එනම්, ගෝචරස්ථානයෙන් පිට අපට විකුම් පෑ නොහැකි බව ය. බුදු දහම අනුව අප සියල්ලන් ම ජීවත් වන්නේ මාරයාට හිමි විෂය ක්ෂේත්‍රයක ් තුළ ය. පුහුදුන් කෙනකු නම් කාමරාග, රූපරාග,අරූපරාග යන මේවා සමඟ නිරන්තර අරගලයක අපට යෙදීමට සිදුවේ. එය මාරයාගේ විෂය ක්ෂේත්‍රයයි. එහෙයින් ඒවා සමඟ ඇති ගනුදෙනුව ටිකෙන් ටික හෝ අත්හළ යුතු ය. රහතන් වහන්සේලා යනු මාරයාගේ මෙම විෂය සීමාව ඉක්මවා ඇති හෙයින් උන්වහන්සේලාට 'සීමාතිගො' යනුවෙන් තවත් නමක් වේ. එයින් අදහස් වන්නේ ‘සීමාව ඉක්මවූ උතුමන් වහන්සේ’ යන්නයි. එහෙයින් මෙම විශ්වය තුළ රහතන් වහන්සේලාට ඇලීම් බැඳීම් හා ගැටීම් ආශ්‍රිත හිරිහැර, සම්බාධක, හිංසා පීඩා නැත. බෞද්ධයන් වන අපගේ වෑයම විය යුත්තේ එබඳු තත්වයකට ළඟාවීමයි.

බුදු දහම අනුව පුද්ගල අධ්‍යාත්මය තුළ පවතින ගැටලුව තේරුම් ගෙන අප එකිනෙකා විසින් එය සමතික්‍රමණය කිරීමට උත්සාහ කරන්නේ නම් එය සමස්ත විශ්වයේ ගැටලු නිරාකරණය කිරීමට දායකවීමකි. පුහුදුන් පුද්ගලයන් විසින් අප සියල්ලෝ ම මාරයාගේ විෂය ක්ෂේත්‍රය තුළ හැසිරෙන්නෝ වෙමු . එබැවින් අපට කෙලෙසුන් සමඟ නිබඳ ව ගැටීමට සිදුවේ. යම් හෙයකින් මෙය තේරුම් ගෙන අපට අදාළ ධර්මය භූමිය හා භූමිකාව පෞද්ගලික අත්දැකීමක් බවට පත් කරන්නේ නම් එයින් ස්වාර්ථය හා පරාර්ථය සපුරාලිය හැකි ය. තථාගතයන් වහන්සේ විසින් වදාළ ගොදුරුබිම පිළිබඳ දේශනාව වැදගත් වන්නේ ඒ අයුරිනි.අපගේ ගොදුරුබිම හෙවත් අපට හිමි වාසභූමිය නැතහොත් සීමා මායිම බුදුන් වහන්සේ පැහැදිලි කොට දුන් ඉහත කී චක්කවත්තිසීහනාද සූත්‍රයේ තවත් වැදගත් කරුණක් පැහැදිලි කොට දී ඇත. එනම් “තමාට තමා පහනක් වී, තමා ම තමාට සරණක් වී, වෙනත් කෙනකුගේ පිහිටක් අපේක්ෂා නොකොට ජීවත් වන්න යන්නයි. අපගේ සීමාව අපටම වැටහේ නම්, සීමා මායිම් කඩා ජීවත්වන්නට අප උත්සාහ කරන්නේ කුමක් නිසාද? සැබැවින්ම ඒ අපගේ මනසේ පවතින දරදඬු බව, අවිනීත බව සහ නොහික්මුණු බව නිසා ය.

ඔබ බණ පොත් කියවන, බණ අසන, දැහැමි සත්පුරුෂයන් සේවනය කරන කෙනකු නම් නොහික්මුණු අනම්‍ය හා දරදඬු මනසකින් ලැබෙන කායික මානසික හානිය සිහියට නැඟීම අපහසු නැත. එසේම භාවනා කිරීමෙන්, ගමන් බිමන්, ඉඳුම් හිටුම් ආදියේ දී මැනවින් සිහිය පිහිටුවා ගැනීමෙන් අත්විඳීය හැකි මානසික සහනය ද තේරුම් ගැනීම පහසු ය. එබැවින් රූමත් යැයි සිතන සිරුර ඇතුළත ඇති ජුගුප්සාජනක දේ පිළිබඳව සිතා කායානුපස්සනාව වඩන්න. අප විඳීන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන්ගේ ක්ෂණික බව, අනිත්‍ය බව තේරුම් ගැනීමෙන් වේදනානුපස්සනාව වඩන්න. සිතෙහි ඇතිවන සිතිවිලවල ස්වභාවය හා ක්ෂණභංගුර බව වටහා ගැනීමෙන් චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තිරිසන් අපායේ ප්‍රභේද හා තිරිසන් අපායේ උපදින්නෝ කවරහුද?


තණකොළ කන තිරිසන්ගත සත්වයෝ ඇත. මොවුහු තෙත්වූ තණකොළද, වියළි තණකොළද, දත් වලින් උලා කති. තණ කොළ කන තිරිසන්ගත සත්තු කවරහුද? යත් අශ්වයෝද, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ කොළබුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ කොළ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්. එවන් සතුන්ව උපදියි.

අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම් සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසූචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්, මෙහිදී කන්නෙමු. මෙහිදී කන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුලන් හා ඌරන්, සුනකයන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරණ, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද, වෙති. මීට අමතරව අඳුරෙහි උපදින, දිරන අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තාෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද, අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන් ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන. දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ සහභාවයට පැමිණෙයි. එනම් එවන් සතුන් බවට පත්ව උපදියි.

තව ද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණුූ ආහාර පානාදියෙහි උපදින – දිරන – මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද , අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින – දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය – වාග් – මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කොට නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්‍යං වාවඤ්විදං,
භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනි.

කණ කැස්බෑ උපමාව

එක්කලක පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් මහ මුහුදෙහි දමන්නේය.ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට පමුණුවන්නේය.අපරදිග වාතයෙන් පෙරදිගට යන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුූ දිගට ගෙන යන්නේය. දකුණුදිග වාතයෙන් උතුරට ගෙන යන්නේය. ඒ මුහුදෙහි බොහෝ කාලයක් ජීවත්වන කණ කැස්බෑවෙක් වන්නේය. ඌ වර්ෂ සියයක්, වර්ෂ දහසක්, වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් වරක් උඩට එන්නේය. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේ නම් එය නිතර සිදුවන්නක්ද? ඒ ගැන කුමක් සිතන්නේද? එය ඒකාන්තයෙන් බොහෝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක සිදුවන දුර්ලභ අවස්ථාවකි.

ඒ කණකැස්බා මේ එක් සිදුරක් ඇති වියදඬු සිදුරෙන් බෙල්ල ඇතුල් කරන්නේ නම් එය දුර්ලභ සිදුවීමක් නොවේ. එහෙත් වරක් නිතර දුක් ඇති සතර අපායට පැමිණි බාලයා විසින් වරක් මිනිසත් බව ලැබීම ඊටත් වඩා වූ දුර්ලභ කාරණයකි. අතිශයින් දුර්ලභ කාරණයකි. ඊට හේතු නම් මේ සතර අපායෙහි ධර්මයට අනුව හැසිරීමක් සම හැසිරීමක් කුසල ක්‍රියාවක්, පින් කිරීමක් නැති බැවිනි. විශේෂයෙන් තිරිසන් අපායෙහි ස්වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලාගෙන කෑමයි. දුර්වලයන් බලවතුන් විසින් අල්ලාගෙන කති.

ඉදින් මෙසේ මේ අනුවණ පුද්ගලයා කිසියම් කාලයක බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේද, එකල්හි සමාජයේ සම්මත සැඩොල් කුලය ආදී යම් යම් කුලයෝ වෙත්ද, එබඳු දිළිඳු මද ආහාර පාන ඇති යම් කුලයක දුකසේ බඩගින්න නිවාගැනීම ලබයිද, එබඳු දුක් පැවතුම් ඇති කුලයක උපදී. එහි දී ඔහු දුර්වර්ණ වෙයි. යකුන් මෙන් දැකීමට දුෂ්කර වෙයි. මිටි වෙයි. බොහෝ ආබාධ ඇත්තේ වෙයි. කණෙක් හෝ කොරෙක් හෝ කුදෙක් හෝ පිලෙක් හෝ වෙයි. ආහාර, පැන්, රෙදි, යානා ,මල් ,ගඳ විලවුන්, විසීමට තැනක් සහ පහන් දල්වන උපකරණ නොලබන්නෙක් වෙයි. හෙතෙම කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මෙසේ ත්‍රිවිධ දුශ්චරිත කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති. අතරක් නැතිව දුක් පැතිර පවතින නරකයෙහි උපදී.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වෙස්වලාගත් ලෝභය

මහනුවර අස්ගිරි මහාවිහාරයේ කාරක සංඝ සභික, 
උපාධ්‍යාය ධුරීන, 
වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක 
මහාචාර්ය තුඹුල්ලේ සිලක්ඛන්ධ හිමි 

 බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි දේශනා කරන වැදගත් දේශනාවක් ලෙස වත්ථූපම සුත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ මෙහි දී හොඳ සරල උපමාවක් යොදා ගන්නවා. ඒ කුමකට ද? මේ සිත ක්‍රියා කරන ආකාරය හා සිත විවිධ වෙස් අරගෙන අප ඉදිරියේ පෙන්වන මායාව දක්වන්නට යි. කිළිටි ස්වභාවයට පත් වුණු වස්ත්‍රයක් ගැන සඳහන් කරන උන්වහන්සේ යම් රෙදි පිරිසුදු කරන අයෙක් ඒ වස්ත්‍රය විවිධ වර්ණ ගන්වන්නට ඒ ඒ වර්ණ යොදා ගෙන මහත් වූ උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒ කොපමණ උත්සාහ කළත් ඒ වස්ත්‍රයට ඔහු බලාපොරොත්තු වන ඒ වර්ණය ගැන්විමට සමත් වන්නේ නැහැ. ඒ මොක ද? වස්ත්‍රය මුලික වශයෙන් ම කිළිටි වී ඇති නිස යි. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ සිතේ තත්ත්වය. ඉතින් මේ නොයෙක් අපිරිසුදු සිතිවිලි නිසා කිළිටි භාවයට පත්ව අපේ සිත පවතිනවා නම් ඒ සිතට පැහැදිලි කුසල් සිත් ඇතුළත් කරන්නට කොපමණ උත්සාහ කළත් සිත ඒවා අල්ලා ගන්නේ නැහැ. එහි අනික් පැත්තත් එහෙමතමා කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා. ඒ විදිහට බලන කොට ඉතාමත් පැහැදිලිව පිරිසුදු වස්ත්‍රයක් අරගෙන ඊට අවශ්‍යය යි සිතන වර්ණයක් ගැන්විමට යම් රෙදි සෝදන අයෙක් උත්සාහවත් වෙනකොට ඒ පිරිසුදු වස්ත්‍රයට තමන් අපේක්ෂා කරන වර්ණ පැහැදිලිව ම ගැල්විමට හැකියාව ලැබෙනවා. ඒ වගේ තමා සිත පිරිසුදුව පවතිනවා නම් පැහැදිලි දූෂ්‍යභාවයට පත් නො වූ කුසල සිතිවිලි මැනවින් ග්‍රහණය කර ගැනීමට පුද්ගලයා සමත් වෙනවා. ඉතින් සිත අපිරිසුදු නම් ඒ පුද්ගලයාට දුගතියේ දොර විවර වනවා. එය කෙසේවත් වෙනස් කරන්නට බැරි බව තමා බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ධම්මපදයේ මුලින් ම එන ගාථා පාඨ දෙකෙන් පැහැදිලි කරන්නෙත් මේ කාරණය ම යි. ඒ අනුව අපිරිසුදු සිතින් යම් දෙයක් කරනවා හෝ කියනවා නම් එය පුද්ගලයාගේ දුක පිණිස ම පවතිනවා. එයට පෙන්වා දෙන උපමාවත් හරි අපූරුයි. කරත්තයේ බඳීන ගොනාගේ පිටුපසින් කරත්තය ඉදිරියට ඇදි ඇදී එනවා වගේ අපිරිසුදු සිතේ ස්වභාවය නිසා දුකත් ඔහු පිටුපස්සේ අත් නො හැර ම ලුහු බඳීමින් එනවා, කරත්තයේ බරත් කරත්තයේ පටවා ගෙන බඩුවල බරත් ගත්තහම එය දරා ගෙන ඉදිරියට යන ගොණුට මහ දුකක්. අනික් අතින් බලන කොට පිරිසුදු සිත මුල් වී ඇති වන සිතිවිලි නිසා ක්‍රියාත්මක වන ක්‍රියාවන් හෝ භාවිත කෙරෙන වචන හැම විට ම යහපතට හේතු වන නිසා එය සැප ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ එය උපමා කරන්නේ තමන් පසු පස නො කඩවා දිවෙන හෙවණැල්ලට යි. හෙවණැල්ල හැම විට ම තමන්ට ලබා දෙන්නේ සුවයක්. සැනසිමක්. සෙවණත්. ඒ වගේම යි ඒ කරන ක්‍රියා හා කතාබහ නිසා හැමවිට ම වැඩක් අර්ථයක් සිද්ධ වෙනවා. එය සුගතිය පිණිස ම හේතු වෙනවා. ඉතින් මේ සිත දුෂ්‍ය වෙන ආකාරයත් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සිත දූෂ්‍ය කරන ප්‍රධාන කොටස් 16 ක් පිළිබඳව උන්වහන්සේ මෙම වත්ථූපම සූත්‍රයෙන් අපට උගන්වනවා. 
 ඒ අනුව අභිජ්ඣාව හා විසම ලෝභය පළමුවන සිත දූෂ්‍ය කරන උපක්ලේෂය ලෙස මෙහි දී පෙන්වා දී තිබෙනවා. මේ කියන අභිජ්ඣා හා විසමලෝභය මෙහි එකක් වශයෙන් පෙන්වා දී තිබුණත් ඇත්තෙන් ම බැලූ බැල්මට දෙකක් වශයෙන් අපේ සිත දූෂ්‍ය කරනවා. අභිජ්ඣා යන්නෙන් අදහස් වන්නේ අපට පුහුදුන් ගතිය නිසා ස්වභාවයෙන් ම හුරු වෙලා තිබෙන එක්රැස් කරගන්නා වස්තුව දේපොළ පිළිබඳ අපේ සිතේ නලියන ආශාව යි. අපි හැමවිටම මේ එකතු කරන දේ පිළිබඳ මමායනයකින් ක්‍රියා කරනවා. මෙම ස්වභාවයේ ම තවත් වර්ධනය වූ අවස්ථාවක් තමා විෂම වූ ලෝභය. මෙහි දී ඇති විශේෂ ලක්ෂණය වන්නේ තමන් විසින් එකතු කරගෙන ගොඩ ගහගෙන ඉන්න වස්තුව, මිල මුදල්, මුතු මැණික්, ආභරණ, යාන වාහන ආදිය ඉක්මවා පිටස්තර අය විසින් රැස්කරගෙන තිබෙන එවැනි දේ පිළිබද, ඇති කරගන්නා ආශාව, එහෙම නැතිනම් බැඳීම. එපමණක් නොව මෙහි තවත් වර්ධනිය අවස්ථාවක් තමා පුරුෂයෙක් නම් ඔහු විෂම ලෝභයෙන් තෙරපෙමින් ක්‍රියා කරන කොට තමන්ගේ භාර්යාව පිළිබඳ ඇති කරගෙන තිබෙන ආශාව හෙවත් ලෝභය ඉක්මවා අනිකුත් පුරුෂයන්ගේ භාර්යාවරුන් ගැන පවා ආශාවක් බැඳීමක් ඇති කරගෙන තවදුරටත් ක්‍රියාත්මක වී පර ස්ත්‍රී සේවනයට පවා යොමු විම. ඒවගේ ම තමා ස්ත්‍රියක් නම් පරපුරුෂ සේවනයට යොමු විම. මෙම සමාජ ධර්මතාවන්ට පවා පටහැනි වූ නිතියට පවා විරුද්ධ වූ ක්‍රියාවකි. මේ ආකාරයෙන් බලන විට මෙම විසම ලෝභයේ දී පුද්ගලයා එක පැත්තකින් අනුන්ගේ වස්තුව පිළිබඳ වූ ආශාව ක්‍රියාත්මක වනවා වගේම තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් පිනවිමේ ආශාව වශයෙන් ද මේ විෂම ලෝභය ක්‍රියාත්මක වනවා. වස්තුව දේපොළ රැස්කරගෙන ඒ පිළිබඳ ආශාවෙන් පෙළෙන පුද්ගලයාගේ ලක්ෂණයක් වන්නේ ඔහු තමා රැස්කරගත් ධනය වස්තුව ඒ ආකාරයෙන් ම පවත්වා ගැනිමට දරන්නා වූ උත්සාහය යි. එහි දී ඔහු ඒ ධනය වස්තුව තමන්වත් ප්‍රයෝජනයට නො ගන්නවා පමණක් නොව වෙනත් අයෙක් පරිභෝග කරනවාට හරි, පාවිච්චි කරනවාට හරි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහුට අවශ්‍ය කරන්නේ එය ගොඩ ගසා ගෙන කාලය ගෙවීමට යි. මේ අතර අනුන්ගේ සැප සම්පත් දිහා බලා තමන්ටත් එවැනි සැප සම්පත් ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනවා හරි අනුන්ගේ සැප සම්පත්වලට ඊර්ෂ්‍යා කරමින් ඒවාට ලොල් බවක් ද ඇති කර ගන්නවා. දැන් අදින්නපුබ්බක, මච්ඡරිය කෝසිය සිටාණන් වැනි අය පිළිබඳ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කථා පුවත් මෙයට නිදසුන් වශයෙන් අපට යොදා ගත හැකියි. අදින්නපුබ්බක සිටුවරයා තමන්ගේ එක ම පුතු රෝගාබාධිතව දැඩිව ගිල්නව සිටිය දී පවා බේත්හේත් කිරීමට ධනය යෙදෙව්වේ නැත්තේ ද, පුතණුවන් මිය ගියොත් සිටුවරයාගේ මෙම ධනය රැස්කොට ඒවා ඒ ආකාරයෙන් වැය නොකර තබා ගැනීමේ පරම ආශාව දැඩිවීම නිස යි, මෙම ලෝභ සිතිවිල්ලේ තවත් භයාතක පැත්තක් තිබෙනවා, එය තමා තමාට ම තමන් වංචාකාරි ලෙස ලෝභය ක්‍රියා කිරිම. මේ පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ වංචකධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම නමැති ධර්මග්‍රන්ථයේ පැහැදිලිව පෙන්වා දෙනවා. 
ඒ අනුව තවදුරටත් මේ ලෝභ චෛතසිකයේ ස්වභාවය විමසා බැලුවොත් නිදසුනක් විදිහට සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ ගුණධර්ම නිසා කිර්ති ප්‍රශංසා ලබන අය ප්‍රසිද්ධ වෙනවා. අපි සිතුවොත් දුගී මගි අසරණ පිරිස්වලට විවිධ පරිත්‍යාග කරමින් ඔවුන් නගා සිටුවිමට ඇතැම් උදවිය මහත් උනන්දුවකින් ක්‍රියා කරන ආකාරය. මේ ගැන බලන යම් කෙනෙක් තමන්ටත් එවැනි කීර්තියක් ප්‍රසිද්ධියක් අපේක්ෂා කරන අයෙක් ඒ විදියට ම අසරණ පිරිස් සඳහා එසේ පරිත්‍යාගශීලි ව ක්‍රියා කරනවා නම් ඒ තුළින් ලෝභය යටපත් වූවා යයි කියන්නට බැහැ. සත්‍ය වශයෙන් ම සිදු වී තිබෙන්නේ කිර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරන ලද එම පරිත්‍යාගයන් ඔහුගේ ආශාව, තෘෂ්ණාව හෝ එසේත් නැතිනම් ලෝභය තවදුරටත් වර්ධනය වීම යි. මේ ආකාරයෙන් ලෝභය නමැති චෛතසිකය වංචක ලෙස ඉදිරිපත් වී ක්‍රියා කරන්නට හැකියාව පවතිනවා. ඒ අනුව බාහිර පෙනුම තුළින් කුසල සිතිවිල්ලකි. යථාර්ථ වශයෙන් පැවතී ඇත්තේ අකුසල සිතිවිල්ලකි. මෙපමණක් ම නොවේ මේ ලෝභය නම් වන චෛතසිකය මේ ආකාරයෙන් තවත් විවිධ පැති කඩ ඔස්සේ ලෝභය අඩු කරගන්නට යයි අප විසින් සිතා ක්‍රියාත්මක කරන ඇතැම් ක්‍රියාවන් අපේ තෘෂ්ණාව වෙනත් ආකාරයෙන් වැඩි වන ලෙස ක්‍රියාත්මක වෙනවා. ලෝභයට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල අත්හැරීම යි. හෙවත් දානය යයි. අපි සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේට දානය දෙන්නේ මේ අත්හැරීම කියන සිතිවිල්ල මත සිට යි. යම් දායක මහත්මයෙක් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට විවිධාංගයෙන් සම්පුර්ණ වූ මහාදානයක් දෙනවා. එහි දී ඔහු බලාපොරොත්තු වෙනවා නම් එම ප්‍රතිග්‍රාහක භික්ෂූන් වහන්සේ ලවා මහජනකායක් මැද තමන්ගේ දානය ගැන හෝ තමන් ගැන නර්ණනාවක් කර ප්‍රසිද්ධියක් ලබා ගැනිමට. එයිනුත් සිදු වී තිබෙන්නේ ලෝභය හෙවත් ගුණවර්ණනා පිළිබඳ ආශාව තියුණු වීම යි. මෙය බරපතළ කෙලෙස් සහිත තත්වයක්. මෙයිනුත් සිදු වී තිබෙන්නේ වංචනික තත්වයක්. මේ අනුව ඉතා නිවැරැදි වදැනගෙන ම ලෝභය යටපත් කර ගැනිමට පරිත්‍යාගය හෙවත් දානය සිදු කළ යුතු වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤