ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.
යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්ත්වයකට පැමිණුනහොත් අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළා ගත නොහැකි වීම එයට හේතුවේ. එවිට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්ත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුªළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්ත්වයන් උදාකරගනු ලබයි. ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උදුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.
තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනපුද්ගලයෙකුට ලැබෙන විට හා තමාට නොවිඳි දෙයක් කවුරුන් හෝ පුද්ගලයෙකු විඳිනවාය යන මානසික තත්ත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයෙකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී. එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින පුද්ගලයන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින පිරිස් පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන්, තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පලතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුලු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න, දැවෙන්න, පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි පුමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි. ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට, අධ්‍යාත්මයට විශාලම හානිය, ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොදුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයාට සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත. තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව, ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැගෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත්, වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.
තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි. තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම, ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබඳව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.
ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ, සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙයි. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත. “සන්තුට්ඨ්ි පරමං ධනං” යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලයෙකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්ත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි. අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව කරනු ලබන දේ අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්ත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහෝත් අද වුවද එයින් මිදිය හැකිවේ.
ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්ත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි
ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට, නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත. සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්ත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්ත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කමට හේතුවක් විය හැකි බව දුප්පතකුට සිතිය හැකියි. මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයෙකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව, තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුදු පුහුණු කරන ලද යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි, අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ. සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හඳුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයක් නොමැතිකම එයට අදාළ වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්මය කෙලෙස සිදුවන්නේද ?


ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති, 
ශාස්‌ත්‍රපති 
අරම ධම්මතිලක නාහිමි

බුද්ධකාලීන සමාජයේ කර්මය නැතිනම් කර්මවාදය පිළිබඳව විවිධ මත පළවිය. විවිධ ශාස්‌තෘවරුන් කර්මය සම්බන්ධයෙන් මති මතාන්තර පහළ වූ යුගයක ඒ අපැහැදිලි නිශ්චිත නිර්වචනයක්‌ දිය නොහැකි සංකල්ප රාශිය විමසුමට බඳුන්කොට සැබෑ කර්මය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද යන්න බුදුරදුන් පෙන්වා දුන්නේය.

එදවස කර්මය හා අකර්මය වශයෙන් කොටස්‌ දෙකකට බෙදා දක්‌වන ලදී. "සියල්ල සිදුවන්නේ කර්මය නිසාය" යනුවෙන් සමහරු පැවැසූ අතර, තවත් සමහරු කියා සිටියේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා නොවන බවය. "සියල්ලම කර්මයටම භාරදිය යුතු නැත" යන අදහසේද එල්බ ගෙන සිටියහ. බුදුරදුන් මේ අන්ත දෙකම බැහැර කළේය. බුදුරදුන් වදාළ කර්මවාදය නැතිනම් කර්ම සංකල්පය වෙනත් ආගමික සංකල්වලට වඩා ඉඳුරාම වෙනස්‌වූවකි. මනෝ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක, ඥන විමංසාත්මක පාර ලෞකික ඉගැන්වීම් පාදකකොටගෙන නිර්මිත වූවකි, එම කර්ම සංකල්පය.

සූත්‍ර සාහිත්‍යය 

බෞද්ධ සූත්‍ර සාහිත්‍යය දෙසට නැඹුරු වන විට කර්මය පිළිබඳ විවරණ රාශියක්‌ දක්‌නට ලැබේ. මේවා අතර යම රජු හා ඔහුගේ දූතයන් උදෙසා දේශනා කළ මඡ්ධිම නිකායේ "දේවදූත" සූත්‍රයෙහි අන්තර්ගත කර්ම විවරණයද මඡ්ජිම නිකායේ "චුල්ල කම්ම විභංග" සූත්‍රයේ ඇතුළත් සුබ මානවකයාට දෙසූ කර්ම විවරණයද කර්මය පිළිබඳ කරන ලද ඉතා වටිනා විවරණයකි.

එමෙන්ම අංගුත්තර නිකායේ එන "නිබ්බෝධිත පරියාය" සූත්‍රය ද මඡ්ධිම නිකායේ "අම්බලට්‌ඨිකා රාහුලෝවාද" සූත්‍රයද කර්මය පිළිබඳ කරන දාර්ශනික විවරණයකි. කර්මයේ විපාක ගෙනදීම අරබයා දේශණා කරන ලද සූත්‍රයක්‌ ලෙස මඡ්Cධිම මහා කම්ම විභංග සූත්‍රය සඳහන් කළ හැකිය.

තිදොරින් සිදුවන ක්‍රියා

සිත, කය, වචනය යන තිදොරින් සිදුවන ක්‍රියාවන්ගේ අවසාන ඵලය වන්නේ කර්මයයි. "චේතනාහං භික්‌ඛවේ කම්මං වදාමි" යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ සියලුම කර්මයන්ට බලපාන්නේ ෙච්තනාව බවයි. මිනිස්‌ සිතක පවත්නා පැහැදිලි, සුපිරිසිදු ස්‌වභාවය පුද්ගලයාගේ කර්ම බලවේගයන්ට බලපාන්නකි. කිලිටි නොවූ සිතක නියත වශයෙන්ම පහළවන්නේ කුසල් සිතිවිලිය. මේ කුසල් සිතුවිලි සමුදාය කර්මයට අතිශයින්ම බලපාන්නකි. ඊළඟ භවය තීරණය වන්නේද මේ කර්ම බලවේගයන්ගේ හේතුවෙනි. චේනාවේ ඵල වශයෙනි. කුහක ගති ලක්‌ෂණවලින් දුරස්‌ථව ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මද-මාන දුරුකොට පාරිශුද්ධ වූ සිතුවිලි සමුදායක්‌ මත පුද්ගල දිවිපෙවෙත සරු කරගන්නේ නම් මිනිසාගේ ජීවිතයේ පැවැත්ම පවතින්නේ එතැනය.

කාර්යයන් තුනක්‌

බුදුසමය මිනිස්‌ සිත නැත්නම් චෛතසිකය හා බැඳුණු කාර්යයන් තුනක්‌ පෙන්නුම් කරනු ලැබේ. ඒව එනම් සංවේදනය, සංජානනය හා සංෙච්තනයයි. සංවේදනය යනු හැඟීම් පද්ධතියයි. සංජානනය යනු සියලුම දැනුම් සමූහයයි. සංෙච්තනය යනු උත්සාහයයි.

පුද්ගලයා කෙරෙහි හැඟීම් පද්ධතියක්‌ ඇතිකර ගත යුතුයි. මේ හැඟීම් කවරේද? ප්‍රඥව මෙහෙයවා සම්මා දිට්‌ඨිය හෙවත් යහපත් දැකීම පදනම්කොටගෙන මුල් කරගෙන සුබදායක හැඟීම් ගොන්නක ගැලී සිටිය යුතුය. කුසලා-කුසල කර්මයන්ගේ හැඟීම් සමූහයකට දෝලනය විය යුතුය. සංජානනය හෙවත් දැනුම් සමූහයක්‌ ලබාගත යුතුය. මේ දැනුම සමූහය කවරේද? චතුරාර්ය සත්‍ය ධර්මය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධයයි. ධර්මකාමී දිවි පෙවෙතකට නැඹුරුවන පුද්ගලයාගේ දැනුම් සම්භාරය අර්ථවත් වේ. අනර්කාරී සිතුවිලිවලින් බැහැරව අර්ථදායි සිතුවිලි ගොන්නක්‌ ඇති කර ගැනීම මත කුසල් සිත තවදුරටත් වර්ධනය වේ.

බුදුරදුන් නිබ්බේදක පරියාය සූත්‍රයෙන් කර්මය තවදුරටත් පැහැදිලි කරයි. පුද්ගලයා යම් යම් ඇලීම්-බැඳීම් හේතුකොටගෙන සංසාරික ජීවිතය වඩාත් චිරස්‌ථායී කරගනී. අහේතුක කර්ම රැස්‌ කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙනය. අවිද්‍යාව යනු මෝඩකමයි. අනුවණකමයි. මෝහයයි. මිනිස්‌ සමාජය දෙසට නැඹුරුවන විට සමහරු ධනවත් අයයි. ඇතැමුන් දිළින්දන්ය. උගත්, නූගත් වශයෙන් ද ලස්‌සන හා අවලස්‌සන ලෙසද සිටින්නේ ඇයි? මෙය ද කර්මානුරූපවල ඵලයකි. සමහර අය පදික වේදිකාවට පමණක්‌ ජීවිතය උරුම කරගෙන ඇත. ගතට නිසි වස්‌ත්‍ර නැතිව, කයට ආහාර නොමැතිව, හිසට නිවහනක්‌ නොමැතිව ගත කරන අය සමාජයේ එමටය. මෙය හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය මත සිදුවූවකි. කුලීන, කුලහීන තත්ත්වයට පත්ව ඇත්තේ ඇයි?

මෙබඳු පුද්ගලයා ඉදිරි භවයන් ගැන නොසිතා යම් යම් දේ කෙරෙහි ඇල්ම උපදවා බැඳීම් ඇති කරගෙන සෙස්‌සන්ට නිග්‍රහ කොට තමන් පමණක්‌ ජීවත්විය යුතුය යන නියතයෙන් විසූ නිසයි ජීවිතයට මෙවන් ශෝචනීය තත්ත්වයක්‌ උදාවූයේ. පුද්ගල චෛතසිකය නිරන්තරයෙන්ම පැහැදිලි ස්‌වරූපයක්‌ ගත යුතුයි. හරියට බොරලුවලින් උපයුක්‌ත ගලා බසින පිරිසිදු ජල දහරාවකින් තමන්ගේ මුහුණ බලන්නට හැකිවන්නේ යම් සේද ඒ ආකාරයෙන් පුද්ගල චෛතසිකය ද පාරිශුද්ධ විය යුතුය. නිතරම කිලිsටි වේතනාවෙන් සමන්විත නම් උපයුක්‌ත නම් එතැන පැහැදිලි මනසක්‌ ඇති නොවේ. ජීවිතය විරණය කරන්නේ පුද්ගලයාගේ චිත්ත චෛතසිකයයි. චෛතසිකය ධර්තා මත පිරිපුන් දිවිපෙවෙත නිතරම පැහැදිලි ගමන් මඟක්‌ තෝරා ගනී. යා යුතු අන්තයක්‌ ඇති බව මැනවින් අවබෝධකොට ගනී. ඒ අන්තය කවරේද? ඒ පැහැදිලි ෙච්තනාවයි. කර්මය ආචාර විද්‍යාත්මක අයුරින් යෙදිය යුතු හැටි යුතුකම් හා වගකීම් වශයෙන් අම්බලට්‌ඨික රාහුලෝවාද සූත්‍රයේද පෙන්වාදී ඇත.

කර්මය හා පුනර්භවය 

පුද්ගලයාගේ කය බිඳී යැමෙන්, වෙන්ව යැමෙන් පසු මරණින් පසුව අගතියේ හා සුගතියේ උපත ලබයි. යළි මනුෂ්‍යත්වයක්‌ ලබන්නට ද පුළුවන. මෙලොවදී ජනිත කරගත්තා වූ කර්මානුරූප ධර්මතා මත පුද්ගලයාගේ ඊළඟභාවය නැතිනම් මතුභවය තීරණය වේ.

පුනරුප්පත්තිය නොව පුනර්භවය මේ කර්මයට අතිශයින්ම බලපාන්නකි. මෙලොවදී පුද්ගලයා සිදුකළ කුසලා-කුසල කර්ම බලවේගයන්ය ඊළඟ භවය තීරණය කරනු ලබන්නේ. පුද්ගලයා මිය ගියාට පසු යළි උපත ලබන්නේ පුද්ගලයා නොව ඔහු සිදුකළ හොඳ නරකයි. පුද්ගලයාගේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක්‌ ඇති වේ. මරණින් මතු භවය තීරණය කරන්නේ චෛතසිකයයි. යහපත් ෙච්තනාවෙන් පුද්ගලයා දිවි ගෙව්වා නම් ඊළඟ ආත්මය ගැන අපට බියක්‌, කුහුලක්‌, ගැටලුවක්‌ ඇති නොවේ.

අනාත්ම තත්ත්වය

ජීවිතය ආත්මයකින් කෙළවර වන්නේ නැත. අනාත්ම ලක්‌ෂණවලින් පිරිපුන් ජීවිතය දිගු සසර ගමනකට මුල පුරන්නේය. අපට අවශ්‍ය වන්නේ මේ දිගු මුලක්‌-මැදක්‌-අගක්‌ නොදකින මේ සංසාර කෙටි කරගන්නටය. අන් අය දුකට හෙළා තමන් පමණක්‌ යහතින් දිවි ගෙවන්නට තැත් දරන අය සමාජයේ එමටය. ඒ අයගේ ඉදිරි භවය ගැන අපට තීරණයකට එළැඹිය හැකිය. පුද්ගල ෙච්තනාවේ පවත්නා කිsලිටි ගති ලක්‌ෂණ හේතුකොටගෙන අකුසල සිතක්‌ ඔහු කෙරෙහි ජනිත කරයි. ඊළඟ භවය ගැන ඔහු නොසිතයි. 

තැන්පත් නුවණ මත පුද්ගලයාගේ චර්යා ධර්ම යහමඟට නැඹුරු කරයි. යමක හොඳ - නරක, යුක්‌තිය-අයුක්‌තිය, සාධාරණය-අසාධාරණය කුමක්‌ද යන්න කිරා මැන බලන්නට තැන්පත් නුවණක්‌a නිරන්තරයෙන්ම අවශ්‍ය වේ. නුවණ වියවුල් නම් සසලකාරී ස්‌වරූපයක්‌ ගන්නේ නම් එතැන පැහැදිලි චෛතසිකයක්‌ රෝපණය නොවේ. කර්මයට තුඩු දෙන කරුණු රාශියක්‌ මතු වී අයහපත් භවයකට මුල පුරයි. බුදුරදුන් ෙච්තනාවට ප්‍රමුඛතාව දුන්නේ ඒ හේතුව නිසයි.

කුසල කර්ම හා අකුසල කර්ම

පුද්ගලයා කෙරෙහි කුසලතාවක්‌ ඇතිකර ගත යුතුය. කුසල යන්නට හැකියාව, කෞශල්‍යය, දක්‌ෂතාව ආදී වශයෙන් පර්යාය නාම භාවිත කරනු ලැබේ. පින් සිත හා පව් සිත යනුවෙන් වර්ගීකරණයක යෙදෙන පුද්ගල චෛතසිකය ප්‍රඥවන්තයා මෙහෙයවන්නේ පින් සිතක්‌ කරාය.

යථාර්ථය තේරුම් නොගැනීම

සමාජයේ බොහෝ දෙනෙක්‌ ජීවිතයේ යථාර්ථය හා බුදුසමයේ යථාර්ථය තේරුම් නොගෙන ජීවත්වීම අතිශය ෙ€දයකි. නිතරම මරණය ගැන මෙනෙහි කරන්නේ නම් පුද්ගල චෛතසික පිරිසිදු වී ෙච්තනාව යහපතටම නැඹුරු වේ. වෛරය පසුපස අප හඹා යනවාද එසේ නැතිනම් ආදරය කරන්නට පෙළඹෙනවාද? මෙතැන ආදරය යනුවෙන් හඳුන්වන්නේ රාගාධි හැඟීම් නොව මිනිසාට දක්‌වන මානුෂික දයාවයි. පුද්ගලයා තවත් පුද්ගලයකුට මානව දයාව දැක්‌විය යුතුය. බුදුරදුන් සිදුකළේත් සියලු සත්ත්වයා කෙරෙහි මහා කරුණාව, මහා ප්‍රඥව, මහා දයාව දක්‌වා සුගතියට යොමු කිරීමයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

විරිය සම්බොජ්ඣංගය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක ධුරන්දර 
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති 
මකුලෑවේ විමල නාහිමි

සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.
ප්‍රධාන වශයෙන් ද වීර්ය සිව් වැදෑරුම් ලෙස දක්වා ඇත. එනම් 1. සංවරප්පධාන 2.පහානප්පධාන 3. භාවනාප්පධාන 4.ආරක්ඛණකප්පධාන වශයෙනි. මෙහි පධාන යන වචනය ද විරිය යන ශබ්දයට සමාන අරුත් ඇත්තකි. පඤ්චේන්ද්‍රියයන්ට පඤ්චකාම වස්තුන් ගෝචර වූ විට ක්ලේශ කාමයන් උපදී නම් එයට ඉඩ නොදී හික්මීමට ගන්නා වීර්යය සංවරප්පධානයයි. සිතේ ඇතිවන කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් දුරු කිරීමට ගන්නා උත්සාහය පහානප්පධානයයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වන බොජ්ඣංග විෂයෙහි වන අප්‍රමාද පැවැත්ම භාවනාප්පධානනයි. සිතේ පිරිසුදුකම හා සංවරකම ඇති කර ගැනීමෙහිලා පහළ වන වීර්යය අනුරක්ඛණප්පධානයයි.

වීර්යය නොයෙක් ලක්ෂණයන්ගෙන් යුක්තය. ඒ සඳහා භාවිත වන සමානාර්ථවාචී පද කීපයක් මෙසේය. උස්සාහ,පග්ගහ, ආතප්ප, වායාම, පරක්කම , පධාන, උය්‍යාම මේ සෑම පදයක්ම විරිය යන පදයට සමානාර්ථවාචී වෙයි. වීර්යය දස පාරමිතාවන් අතර විරිය පාරමිතා නමින්ද ආර්ය මාර්ගාංගයන් අතර සම්මා වායාම නමින්ද ,ඉන්ද්‍රිය ධර්මයන් අතර විරියින්ද්‍රීය නමින්ද , බල අතර විරිය බල නමින්ද ඍද්ධිපාදයන් අතර විරියිද්ධිපාද නමින්ද සත්ත බොජ්ඣංගයන් අතර විරිය සම්බෝජ්ඣංග නමින්ද ව්‍යවහාරයට පැමිණ ඇත.
1.නූපන් අකුසල් නූපදීමට ගන්නා වීර්යය. 2.උපන් අකුසල් යටපත් කොට දැමීමට ගන්නා වීර්යය 3.නූපන් කුසල් උපදවා ගැනීමට ගන්නා වීර්යය. එනම් ධ්‍යාන මාර්ගඵල ආදිය උපදවා ගැනීමට ගන්නා වීර්යය. 4.උපන් කුසල් එනම් තම සිතින් උපදවා ගෙන ඇති ධ්‍යාන මාර්ග ඵල ආදිය වැඩි දියුණු කර ගැනීමට ගන්නා වීර්යය වශයෙන්ද වර්ග කර ඇත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වෙන සම්මා වායාමයයි.
වීර්ය කළ යුත්තේ තම තමා විසිනි. බුදුරජාණන් වහන්සේගෙන් සිදු වී ඇත්තේ එවැන්නවුන්ට යා යුතු නිසි මග පෙන්වා දීමයි. උන්වහන්සේ “මා නිවත්ත අභික්කම” තමා උතුම් අරමුණු ඉටු කර ගනිමින් ඉදිරියට යන්නැ”යි උපදෙස් දුන්හ. අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගෙහි අරි අටගි මඟ දැන එමගෙහි නො සැලී ඉදිරියට යාමයි. එවිට බුදුරජුන් අප ළඟම වැඩ සිටින සෙයක් අපටම වැටහෙනු ඇත. යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී (යො ධම්මං පස්සති, සො මං පස්සති) යි වදාරා ඇත්තේ එයයි.
වීරිය සම්බෝජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසකි. ඒ මෙසේය.
“ඒකාදස ධම්මා විරිය සම්බෝජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති
1.අපායභය පච්චවෙක්ඛණතා (අපා බිය නුවණින් සලකන බව)
සැපයෙන් තොර වූ තැන අපාය නමින් සැලකේ. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යනුවෙන් අපාය හතරක් ඇත. ඒ හතර අපායන්හි උපන් සත්වයන් විඳින දුක් නුවණින් සලකා බලන්නකුට සිව්මඟ නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
2.ආනිසංස දස්සාවිතා (ආනිශංස දන්නා බව)
කම්මැලියන්ට සතරමඟ, සතර පල නිවන් ලබන්නට නොහැකිය. එය ලැබිය හැක්කේ ආරම්භක ධාතු, පරක්කම ධාතු ,නික්කම ධාතු යන වීර්යයෙන් යුතු පුද්ගලයන්ටය. මෙසේ ආනිසංස සලකන්නන්ට වීර්ය උපදවා ගෙන සසර කතරින් එතෙර විය හැකිය.
3.ගමන විථි පච්චවෙක්ඛණතා (රහතුන් වැඩි මග සැලකිල්ලට ගැනීම)
බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා ලෞකික සැප සම්පත් අතහැර දමා නිවන් සැප පසක් කර ගත් අයුරු උන්වහන්සේලාගේ චරිත හදාරන විට පැහැදිලි වෙයි. ඒ අනුව කටයුතු කරන විට සිව්මග නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
4.පිණ්ඩපාත පච්චවෙක්ඛණතා (පිණ්ඩපාතයට ප්‍රති පූජා කිරීම)
තමන්ට සිව්පසයෙන් සලකන ලද සැලකිලි කරන පුද්ගලයින් එසේ කරන්නේ ඇයි දැයි මෙනෙහි කරන භික්ෂුව තුළ ඔවුන්ට ප්‍රතිපූජා කළ හැක්කේ තමන් නිවන් පසක් කර ගැනීමෙනැයි යන වීර්යය ඇති වෙයි.
5.දායජ්ජ මහන්ත පච්චවෙක්ඛණතා (දායාද මනත්වය ප්‍රත්‍යවේක්ෂා කරන බව)
දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ඉඩකඩම්, වතුපිටි, ගේදොර ආදි ලෞකික සම්පත් ද දායාද නමින් සැලකේ. එහෙත් මෙහිලා දායාද නමින් සැලකෙන්නේ එවැනි ලෞකික සම්පත් නොවේ. තෙරුවන් සරණ යන බෞද්ධයා සප්තාර්ය ධනය දායාද කොට ඇත්තෙකි. ඒ ශ්‍රද්ධා, ශීල, හිරි, ඔත්තප්පිය, ශ්‍රැත ,ත්‍යාග, ප්‍රඥා යන සප්තාර්ය ධනයයි. තමාට බුදු පසේ බුදු , මහරහත් පරපුරෙන් ලැබිය හැකි ඒ උතුම් දායාද ගැන සිතන්නෙකුට ඒවා තම උත්සාහයෙන්ම ලැබිය යුතු බව වැටහෙන විට වීර්ය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන පසක් කරගත හැකිය.
6.සත්ථු මහන්ත පච්චවෙක්ඛණතා (ශාස්තෘවරයාගේ නුවණින් කරන ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරන බවය)
බුදුවරයෙකුගේ පහළ වීම, මිනිසත් බව ලැබීම, සද්ධර්ම ශ්‍රවණය, ආදි දුර්ලභ කරුණු සැලකීමෙන්ද, බුදුරදුන්ගේ චරිතය, දහම් හැදෑරීමෙන්ද බුදු ගුණ සිහිකිරීමෙන්ද ආදී වශයෙන් ශාස්තෘවරයාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කිරීමෙන් මෙබඳු සමයක උපන් මා උදාසීන නොවී වීර්ය වැඩිය යුතු යැයි විරිය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන් අවබෝධ කර ගනී.
7.ජාති මහන්ත පච්චවෙක්ඛණතා (ජාති මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
බුදුරජුන් සරණ ගිය තැන් පටන් මම දැන් හීන ජාතිකයෙකු නොවෙමි. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශයට අයත් වූවෙක්මි. සුදොවුන් මහරජුන්ගේත්, මහාමායා දේවියගේත්, මුණුපුරෙක්මි,යි එබඳු වූ මා කුසීතයෙකු කම්මැලියකු සේ කල් යැවීම සුදුසු නොවේ.’ යනාදී වශයෙන් ජාති මහත්වය නුවණින් මෙනෙහි කරමින් මා සම්බොඣංගය වඩා නිවන් අවබෝධ කර ගනී.
.සබ්‍රහ්මචාරි මහන්ත පච්චවෙක්ඛණතා (සබ්‍රහ්මචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
‘සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාත්, අසූ මහ සව් මහරහතන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාත් සිව්වැදෑරුම් වීර්ය වඩාගෙන ලොව්තුරු දහම අවබෝධකර ගත්හ. සබ්‍රහ්මචාරි වූ මම ද උන්වහන්සේලා වැඩි මග අනුගමනය කරන්නේද? “ඒ අයුරින් සබ්‍රමචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය වඩා නිවන් පසක් කර ගනී.
9.කුසීත පුද්ගල පරිවජ්ජනතා (කම්මැලි කුසීත පුද්ගලයන් දුරු කරන බව)
කුසීත පුද්ගලයෝ අගාරික, අනගාරික වශයෙන් කොටස් දෙකකි. ඒ අය ගොදුරු ගිල කුස පුරවාගෙන සිටින පිඹුරන් මෙනි. එවැනි කායික, මානසික අකර්මණ්‍ය පුද්ගලයන් ඇසුරු නොකළ යුතුය.
ගිහියකු වශයෙන් තමන්ගේ වගකීම් ඉටු නොකර ඈලි මෑලි දුබල ගතියෙන් යුතුව, වාසනාව ඇතොත් හැම දෙයක්ම ඉටු වෙතැ’යි කියමින් කල් මරන පුද්ගලයා අගාරික කුසීත පුද්ගල ගණයට වැටේ. අනගාරික කුසීත පුද්ගල ගණයට වැටෙන්නේ, පසිඳුරන් පිනවමින්, ජීවත්වන, අහාරයෙහි පමණ නොදන්නා ඉන්ද්‍රීය සංවරයක් නැති, බණ භාවනා වත් පිළිවෙත් නොකරන පැවිදි පිරිසය. අගාරික වුත් අනගාරකි වූත් ඒ කුසීත පුද්ගලයින් ඇසුරු නොකොට, වීරිය සම්පන්න පුද්ගලයින්, ඇසුරු කරමින් යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය උපදවා ගත යුතුය.
10.ආරද්ධ විරිය පුග්ගල සේවනතා (ආරබ්ධ වීර්යයෙන් යුතු පුද්ගලයා සේවනය කරන බව)
පටන් ගත් වීර්යය ඇති ආරම්භ කළ කටයුතු නිමාවන තෙක් අතරමඟ නතර නොකොට අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු ක්‍රියා කරන වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරමින් විරිය සම්බොජ්ඣංගය උපදවාගෙන නිවන් පසක් කරගත යුතුය.
11.තදධිමුත්තතාව
සිව් ඉරියව්වේදීම විරිය සම්බොජ්ඣංගය කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම මෙහිලා තදධිමුත්තාව ලෙස සැලකෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආර්යඵල ලාභිත්වය සඳහා

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, 
ප්‍රධාන අනුශාසක, යටියන, මිනුවන්ගොඩ


භවය බුද්ධියෙන් අවබෝධ කර භව නිරෝධය සඳහා ප්‍රතිපත්ති පුරන්නා බෞද්ධයායි. නැතහොත් අවබෝධයෙන් අර්ථ සම්පන්න ජීවිතයක්‌ ගතකර ජීවිතයෙන් වැඩ ගන්නා උත්තමයා බෞද්ධයායි. ජීවිතයේ වැඩ + ගත් = වැදගත් උතුමෝ රහතන් 

වහන්සේය. උතුම් මිනිස්‌ දිවියෙහි කරන ලද 'කිස්‌ ඇති 'කතකිච්ච' උතුමෝ රහතන් වහන්සේය. එසේ හෙයින් අනූපමේය කරුණාවෙන්, මෛත්‍රියෙන් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දායාද කළ ධර්ම දානය ලැබගෙන ධර්ම දායාදය ලැබගෙන ලොව්තුරු ඵල මේ භවයේදී ලබාගැනීමට අදිටන් කරගත යුතුය. ලැබී ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව නොසලකා හැරියොත් මගහැරී ගියහොත් කවදා කෙසේ නම් කුමන දවසක ලැබේදැයි සිතීම පවා අසීරුය.

සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, මුල්බැස ගැනීමට, දායාද ලැබීමට, සතර අපායෙන් සදහමට අත්මිදීමට, භව හතක්‌ තුළ නිවන් දැකීමට අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවක භාවය ලැබිය යුතුය. ඒ සඳහා වැඩිය යුතු මගක්‌, කළ යුතු කෘත්‍යයක්‌ ඇත. එය පළමුවන ආර්ය මාර්ග වැඩීමයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමයි. සේක ප්‍රතිපදාව නම්වූ ආර්ය ප්‍රතිපදාව නම්වූ සෝවාන් මාර්ගය වැඩීමේදී සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩිය යුතුය. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව ඒ සඳහා නිර්දේශිතයි.

බෝධිපාක්‌ෂික ධර්ම ඉගෙනගැනීම, පොතපතේ සටහන් තැබීම, කටපාඩම් කිරීම, මතකයේ රඳවා ගැනීම පමණකින් ධර්මය වැඩි මාර්ගස්‌ථයෙක්‌ බවට පත් නොවේ. ඒ ගුණ ධර්ම තමා තුළ ක්‍රියාත්මක භාවයෙන් වැඩිදියුණු වීමක්‌, ගුණාත්මක සංවර්ධනයක්‌ සිදුවෙනවා දැයි ආත්ම ප්‍රත්‍යවේක්‌ෂණය තුළින් හෙවත් තම චරිතය වෙත තීක්‌ෂණ බැල්මක්‌ හෙලා සැබවින්ම ප්‍රගතියක්‌ කරා යන වර්ධනයක්‌ ඇද්දැයි විමසිය යුතුය.

ලෝකයේ උපත ලබන සත්වයන් භව්‍ය හා අභව්‍ය යනුවෙන් දෙකොටසකි. භවය යනු යමක්‌ හරිහැටි අවබෝධ කරගත හැකි, හොඳ - නරක, සත්‍ය - අසත්‍ය වටහා ගත හැකි කොටස වේ. අභව්‍ය යන්නෙන් අදහස්‌ කරනුයේ ඒ හැකියාව නැති සතර අපාගත සත්ත්වයන් හා සමහර අමනුෂ්‍ය කොටස්‌ය. භව්‍ය සත්ත්වයන් අතර ඉහළින්ම සිටින්නේ මනුෂ්‍යයන්ය. මනුසතාය. ඉතිරි දේව - බ්‍රහ්මාදීන්ය.

සතර සතිපට්‌ඨානයෙන් ආරම්භවී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අවසන් වන සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මවලින් මෙම ධර්ම පත්‍රිකාවෙන් ඉදිරිපත් කරනුයේ පංච ඉන්ද්‍රිය ධර්ම ගැන විස්‌තරයයි.

සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය යනු ඒ ඉන්ද්‍රිය ධර්ම පහයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ හෝ කීපයක්‌ තමා තුළ විද්‍යාමන වේ නම් හේ ආර්ය ශ්‍රාවකයෙකි. එසේ නොවේ නම් හේ පුහුදුන් බවේ සිටින්නෙකි. ඒ බව මෙසේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරති.

'යස්‌සඛො භික්‌ඛවේ, ඉමානි පංච ඉන්ද්‍රියා සබ්බෙන

සබ්බං සබ්බතා සම්බං නත්ථි, තමහං බාහිරො ප්‍රථුඡ්ජන පෙජධ තිඨොති වදාමි'. ඉහත අදහස මේ දේශනා පාඨයෙන් ප්‍රකාශ වේ. මේ ඉන්ද්‍රිය ධර්ම කෙසේදැයි විමසාබලමු.

සංයුත්ත නිකායේ සාලා සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

'මහණෙනි, සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්‌, බෝධි පාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මහණෙනි, විරිය ඉන්ද්‍රිය ධර්මයක්‌ බෝධිපාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මෙසේ ඉතිරි සියලුම ඉන්ද්‍රිය ධර්ම නිවන සඳහාම පාදකවේ.

පළමු ඉන්ද්‍රිය ධර්මය විවරණය වන්නේ 

මෙසේය

'මහණෙනි, ශ්‍රද්ධාවේ බලය, ශක්‌තිය මොනයම් කරුණකදී පැහැදිලිව දැකිය හැකිද?

සතර සෝතාපත්ති අංගවලදී දැකිය හැක.

සතර සෝතාපත්ති අංග මෙසේයි.

1. බුද්ෙ අවෙච්ච ප්‍රසාදය

2. ධම්මේ අවෙච්ච ප්‍රසාදය

3. සංඝෙ අවෙච්ච ප්‍රසාදය

4. අරිය කාන්ත සීලයයි

මේ අංග හතරෙන් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ තමා තුළ ඇතිකරගෙන වඩවා ගැනීමේදී දැන පැහැදීම ඇතිවේ. මෙහි විශේෂත්වය වනුයේ බුදුගුණ වැඩීමේදී දහම් ගුණ, සඟගුණද ඇතිවනු ඇත. වැඩෙනු ඇත. බුදුගුණ වැඩීම කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැක. 

1. බුදුගුණ ගායනය

2. බුදුගුණ සිහිකිරීම

3. බුදුගුණ ඇතිකර ගෙන වඩවා ගැනීමයි. 

මෙයින් පළමු බුදුගුණ ගායනය සාමාන්‍ය ජනතාව ආගමික කටයුතුවලදී නිතර සිදුකරයි. එය ආමිෂ පූජාවකි. දෙවනුව බුදුගුණ සිහිකිරීමයි. බුද්ධානුස්‌සති භාවනාවයි. එමගින් ධ්‍යාන බල ඇතිකරගත හැක. එයද ආමිෂ පූජාවටඅයත්ය. ගායනයෙන් සිහිකිරීමෙන් නිවන් දැකිය නොහැක. එයට හේතුව ආමිෂ පූජාවකින් ලෝකෝත්තර ඵල නොලැබෙන නිසාය. ලෝකෝත්තර හෙවත් මාර්ගඵල ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවකින් පමණි.

තෙවනුව සඳහන් බුදුගුණ ඇතිකරගෙන වඩවාගන්න. සෝතාපත්ති අංග හතරෙන් තුනක්‌ම වැඩෙනු ඇත. ඒ මෙසේයි. බුදුගුණ අනන්තය, අප්‍රමාණය. ගණනය කළ නොහැක. බුදුගුණවලින් අපට පහසුවෙන් වැඩිය හැකි ගුණය වන්නේ ලෝකවිදූ ගුණයයි. ලෝකය යනු සිතයි, කයයි දෙකේ එකතුවයි. සිත හා කය ගැන දැනගැනීමට සතර සතිපට්‌ඨානය වැඩිය යුතුය. යමෙක්‌ සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් වඩන්නේ නම් හේ සෝතාපත්ති අංග වඩන්නෙක්‌ වේ. ආර්ය ශ්‍රාවකයෙක්‌ වේ. නිවනට නියත වූ බුද්ධ ශ්‍රාවකයෙක්‌ වේ. බෞද්ධයෙක්‌ වේ. අරියකාන්ත සීලය යනු සියලු පව් අතහැර කුසල් දියුණු කිරීමයි.

දෙවැනි ඉන්ද්‍රිය ධර්මය මෙසේ දැක්‌වේ. 'ක‍ෙථච භික්‌ඛවේ විරියිවද්‍රියං දට්‌ඨබ්බං' චතුසු සම්මප්පධානෙසු' මහණෙනි, විරිය ඉන්ද්‍රිය කිනම් ධර්මතාවක දැකිය හැකිද? සතර සම්පධානයෙහිය.

සතර සම්ප්පධානයන් කවරේද?

1. සො අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

යෝගාවචරයා නූපන් අකුසල ධර්ම නොඉපදීම සඳහා කැමැත්ත ඇතිකරගනී. වෑයම් කරයි. විර්ය ඇතිකරයි. එක සිතින්ම පිහිටා සිටී. ස්‌ථිරව පිහිටයි. බලවත් උත්සාහය ඇතිව වෙසේ.

2. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පාහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති  චිත්තං පග්ගන්හාති පදහති.

උපන් පාපක අකුසල ප්‍රහානය සඳහා කැමැත්ත ඇති වේ. ඒ සඳහා වෑයම් කරයි. වීර්යය උත්සාහය ඇතිවේ. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨානයෙන් යුක්‌තවේ. 

3. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති. වායාමති. විරියං ආරභති. චිත්තං පග්ගන්හාති. පදහති.

නූපන් කුසල් සිත් (සෝවාන් ආදී මාර්ග සිත් 04 හා ඵලසිත් 04) වැඩීම, ඉපදවීම සඳහා වෑයම් කරයි. වීර්යය ඇතිකර ගනී. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨාන ඇති කර ගනී.

4. උපප්නානානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භියේ‍යා භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

උපන් (මාර්ගඵල සිත්) ස්‌ථිර කිරීම සඳහා නොපිහිරීම සඳහා බොහෝ සේ දියුණු කිරීම සඳහා විපුලභාවයට පත්කිරීම සඳහා භාවනාත්මකව වඩා ගැනීම සඳහා පරිපූර්ණ කැමැත්ත ඇතිකර ගනී. ඒ සඳහා වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. උත්සාහවත් වේ. ස්‌ථිරව පිහිටා සිටී. තුන්වැනි ඉන්ද්‍රිය ධර්ම මෙසේ දැක්‌වේ. 

කෆථච භික්‌ඛවේ, සති ඉන්ද්‍රියං දිට්‌ඨබ්බං? චතුසුසති පට්‌ඨානේසු

මහණෙනි, සති ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය කිනම් තැනකදී දැකිය හැකිද? සතර සති පට්‌ඨානයෙහිය.

1. කායානුපස්‌සනා

2. වේදනාපස්‌සනා

3. චිත්තානුපස්‌සනා

4. ධම්මානුපස්‌සනා වේ.

සිවුවන ඉන්ද්‍රිය ධර්ම කෙසේද?

ක‍ෙථච භික්‌ඛවේ සමාධි ඉන්ද්‍රියං දට්‌ඨබ්බං? චතුසු ඣධානේසු.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය දැකිය හැක්‌කේ කිනම් ස්‌ථානය තුළද? ධ්‍යාන හතරෙහිය.

1. පළමු ධ්‍යානය 2. දෙවැනි ධ්‍යානය

3. තෙවන ධ්‍යානය 4. සතරවන ධ්‍යානය වේ.

ඊළඟට පස්‌වන ඉන්ද්‍රිය ධර්ම පඤ්ඤ ඉන්ද්‍රියයි. 

'කෆථච භික්‌ඛවේ පඤ්ඤේන්ද්‍රියං දට්‌ඨබ්බං?' චතුසු අරිය සච්ෙච්සු ඤාණං'

මහණෙනි, පඤ්ඤා ඉන්ද්‍රිය බලය ශක්‌තිය, දැකිය හැක්‌කේ කිනම් ධර්මතාවක්‌ තුළද? චතුරාර්ය සත්‍ය ධර්මය තුළය.

චතුරාර්ය සත්‍ය ධර්මය

1. දුක්‌ඛ සත්‍යය 2. සමුදය සත්‍යය 3. නිරෝධ සත්‍යය 4. මාර්ග සත්‍යය 

මෙසේ මෙම ඉන්ද්‍රිය ධර්මවල කාර්යභාරය පැහැදිලිව සඳහන් වීමෙන් ආර්ය ශ්‍රාවකයාට තමා තුළ ඒ ධර්මතා වඩා ගැනීමටත්, වැඩි දියුණු කර ගැනීමටත් ඉමහත් පිටිවහලක්‌ සිදුවේ.

- සද්ධා ඉන්ද්‍රියෙන් සතර සෝතාපත්ති අංගද

- විරිය ඉන්ද්‍රියෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්යයද

- සති ඉන්ද්‍රියෙන් සතර සතිපට්‌ඨානයද

- සමාධි ඉන්ද්‍රියෙන් සතර ධ්‍යානංගද

පඤ්ඤා ඉන්ද්‍රියෙන් - සතර ආර්ය සත්‍යයද

ප්‍රකාශ වේ. සසරෙන් එතෙරවීමට ඉදිරියට යන ඔබට මේ ධර්මතා වැඩි තිබේදැයි විමසිලිමත් වන්න.

සත්‍ය අවබෝධ කළ උත්තමයාට වඩා සුත, මුදිත සැනසුන පුද්ගලයෙක්‌ මේ තුන් ලෝකයේ කොතනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහළවූ සියලු ආගම් දර්ශනවලින් මිනිසාගේ සදාකාලික විමුක්‌තිය සැනසිල්ල ළංකර ගත හැක්‌කේ මරණින් මතුවටය. එහෙත් සතර මග, සතර ඵල නිවන මේ භවයේදී මේ ජීවිතයේදී ලැබිය හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්‌ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. දිට්‌ඨධම්මවේදනීය ආර්ය ඵලලාභීත්වය සඳහා උත්සාහ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දිවා රැය වැඩිය යුතු සදාචාරය

මල්වතු විහාරීය විංශත් වර්ගික කාරක සංඝ සභික 
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය 
දර්ශනපති 
වැලිවිට සෝරත හිමි

නියම බෞද්ධයා කවුරුන්ද? යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදුකරන ලද ක්‍රියාවන් මුල් කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන්ආකාරයකින් විය යුතුය. කයින් සංවර වීම ,වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි.

කායෙන සංවරො සාධු – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො

යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වන්නේ උප්පත්තියෙන්ම නොවේ. ඉපදෙන දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්ව නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාරයේ පෙළඹීම්වලට යොමු වෙයි. එබඳු පෙළඹීම් ඇතැම්විට හොඳ දෙයකට හෝ නරක දෙයකට විය හැකිය. නරක ක්‍රියාවන්ට යොමු නොවී හොඳ ක්‍රියාවන්වලට යොමුවීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. ඒ අනුව නිවැරදි ප්‍රතිපත්තිවලට යොමුවී ක්‍රියා කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය. ඒ සඳහාම වෙන් වූ සූත්‍ර කිහිපයක් පෙළ දහම තුළින් සොයා ගත හැකිය. සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය , පරාභව සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය හා මහා මංගල සූත්‍රය ඉන් සමහරකි. මෙකී සූත්‍රවලින් පෙන්වා දෙන්නේ අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් සිදුවන හානිය හා ඒවායින් අත්මිදී යහපත් ක්‍රියාවන් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ඉගැන්වීමයි. ඡන්දා, දොීසා,භයා, මෝහා යන සතර අගතියෙන් තොරව කටයුතු සිදු කිරීමට උපදෙස් දෙන බුදුදහම වැඩෙන දරුවාගේ පටන් වැඩිමහළු පුද්ගලයා දක්වා ක්‍රමයෙන් ගොඩනඟා ගතයුතු දහම් මොනවාද? යන්න පෙන්වා දෙයි.

සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන සදිසා නමස්කාරය ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න අංග සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමේදී බෙහෙවින් ඉවහල් වේ. නූතන සමාජය දෙස බලන කළ මව්පිය දූ දරුවන්, ගුරු සිසුන්, අඹුසැමියන් , රජුන් හා රටවැසියන්, කම්කරුවන් හා ස්වාමියන්, ගිහියන් හා පැවිද්දන් අතර විවිධ වාද විවාද, තර්ක, විතර්ක, ගැටුම්, නොසන්සුන්තාවයන් ඇති වී ඇත්තේ ඔවුනොවුන් අතර නිසියාකාර අවබෝධයක් නොමැතිකම නිසාය. සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයෙකු හැඩ ගැසෙන්නේ නම් මෙවැනි අකටයුතුකම් සිදුවීම වළක්වාලිය හැකිය.
වසල සූත්‍රයේ ඉගැන්වෙන “න ඡච්චා වසලෝ හෝති න ජච්චා හොති බ්‍රාහ්මණො” ආදි ගාථාවෙන් කියවෙන පරිදි මිනිසෙකු උප්පත්තියෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ නැත. “කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො” යන දේශනාවට අනුව එසේ වන්නේ තමන් සිදු කරන කර්මයන්ට අනුවය. යමෙක් මේ පිළිබඳ දැනගෙන, යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නේ නම් සමාජය තුළ සිදුවන බොහෝ අකටයුතු ක්‍රියාවන් පහව යයි.

සදාචාරසම්පන්න ක්‍රියා

මුළු මහත් සමාජයේ වාසය කරන සෑම පුද්ගලයෙකු තුළම ගොඩ නගා ගත යුතු සදාචාර සම්පන්න ක්‍රියාවන් පිළිබඳ විස්තරයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. එහි ඉගැන්වෙන අධර්ම කරුණු අතරින් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම, මත්පැන් පානය, සූදුව, නරක මිතුරන් ආශ්‍රය කිරීම යන කරුණු සදාචාර සම්පන්න ගති පැවතුම් යටපත් කරන හේතු කාරණා බව පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම මෙකී කාරණාවන් තරුණ පරම්පරාවට අතිශයින් වැදගත් වෙයි. තරුණ අවධියේදී නොයෙක් වැරදි ක්‍රියාවන්වලට පෙළඹීමක් ඇති කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඔවුන් එම වැරදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම සඳහා බුදු දහම පෙන්වා දෙන මාර්ගය අනුගමනය කළ යුතුය.
තරුණ කාලය හුදෙක් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි පමණක් යොමු නොවී යහපත් ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා පෙළඹවීම තිබිය යුතුය. කුඩා කාලයේ දී ඇතැම් දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජය විසින් ඔහු ග්‍රහණයට ගෙන ඇති නිසාය. මැදිවියට යන විට මේ සෑම දෙයක් පිළිබඳව ම තේරුම් ගැනීමේ නුවණ පහළ වෙයි. එහෙත් ඒ වනවිට කාලය බොහෝ දුරට ගෙවී අවසානය.

මිනිසා පහතට හෙළන කරුණු

මිනිසා පහතට හෙළන කරුණු පිළිබඳ ඉගැන්වීම් ඇති සූත්‍රයක් ලෙස පරාභව සූත්‍රය ද වැදගත් තැනක් ගනී. තමන් සිදු කරන කාර්යයන් තුළින්ම තමාගේ පිරිහීම ඇති වන බව පෙන්වා දීම මෙම සූත්‍රයේ අරමුණ වේ. ධර්මානුකූලව යමක් සිදු නොකොට හුදෙක් කාමභෝගි ජීවිතයක් ගත කරන්නා දවසින් දවස පිරිහීමට පත් වේ. එසේ නොවී ධර්මානුකූලව කෙනෙක් වාසය කරන්නේ නම් ඔහු ධර්මය විසින්ම ආරක්ෂා කරන බව “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන බුදු වදනින් කියවේ.
නිතර කම්මැලිකමින් සිටීම, අනවශ්‍ය දෑ කථාකරන පිරිස් ඇසුරෙන් සිටීම, උත්සාහවන්ත කම නොමැතිවීම, ස්ත්‍රී ලෝලිත්වය , සුරාව, සූදුව වැනිදේ කෙරෙහි ඇලීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කාරණා ලෙස පෙන්වා දිය හැකිය. පවුලක ප්‍රධානියා පිරිහෙන්නේ නම් එකී පවුලේ අනිත් උදවිය ද පිරිහීමට පත් වේ.
ඉන්පසු ක්‍රමයෙන් එය සමාජ ගත වී සමාජයද පිරිහෙයි. මෙම න්‍යාය ක්‍රමයෙන් උත්සන්න වී පුද්ගලයා තුළ ඇතිවෙන සදාචාරය ද පිරිහී ආචාර සම්පන්න නොවු සමාජයක් බිහි වේ.

අටතිසක් මංගල

සමාජයක සදාචාරය දියුණු වීම උදෙසා කරුණු කියවෙන සූත්‍රයක් වශයෙන් මහා මංගල සූත්‍රය පෙන්වා දිය හැකිය. එහි අඩංගු වන දියුණුවීමේ දොරටු තිස් අට අනුගමනය කරන යම් කෙනෙක් වේනම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. අසේවනාච බාලානං යන ගාථාවෙන් පටන්ගෙන පුට්ඨස්ස ලෝක ධම්මේහි යන ගාථාව තෙක් කියවෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහිවීම සිදු වන්නේ කෙසේද? ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියාවන් මොනවාද? යන්න පිළිබඳවය. මෙහි අඩංගු ක්‍රියාවන් හුදෙක් දැනගැනීම පිණිස පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු දෙයක්ද වන්නේය.
මංගල සම්මත යැයි ගැනෙන දියුණුවට හේතු වන කරුණු පිළිබඳව දැන ගැනීම දෙවියන් හා මිනිසුන්ට තිබුණු ලොකුම ගැටලුව විය. ඒ සඳහා බුදුරජුන් පෙන්වා දුන් කරුණු අතිශයින්ම වැදගත් වෙයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැළකීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, මව්පියන්ට සැලකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, දන්දීම දැහැමිව කටයුතු කිරිම ආදි නොයෙක් කරුණු ඉදිරිපත් කර ඇත්තේ සමාජය සදාචාර සම්පන්න එකක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි.

මෙත් සිත පැතිරවීම

මීට අමතරව බොහෝ දෙනෙක් දන්නා කරණීය මෙත්ත සූත්‍රයෙන්ද සදාචාරවත් සමාජයක් බිහි කරලීම සඳහා කරුණු ඉදිරිපත් කෙරී ඇත. ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතිරවීම සදාචාර ක්‍රියාවකි. මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණූූ කාරණාවන් බොහෝමයක් මෙම සූත්‍රය තුලින් පෙන්වා දී ඇත.
දකින, නොදකින, ලඟ සිටින, දුර සිටින සෑම සත්වයෙක්ම සුවපත් වෙත්වා යැයි යමෙකුට ප්‍රාර්ථනා කළ හැකිනම් ඒ පුද්ගලයා සදාචාරවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙයි. එපමණක් නොව සෑම සත්වයෙක්ම කල්පනා කළ යුත්තේ තමන්ගේ සැපත මෙන්ම අනුන්ගේ ද සැපතයි. තමන්ගේ දුක මෙන්ම අනුන්ගේ දුක පිළිබඳවද සලකා බැලිය යුතුය. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ චාරිත්‍ර වශයෙන් ගැනේ.එසේ නොමැති වූ විට පුද්ගලයා පමණක් නොව සමාජය ද පිරිහී විසමාචාර සමාජයක් බිහිවීමට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ බුදුදහම සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා නොයෙක් සූත්‍ර දේශනා කර ඇති බවය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බොජ්ඣංග ධර්ම හැදෑරීමට පෙරවදනක්

මීරිගම, මිණීඔලුව,
විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති 

මකුලෑවේ විමල නා හිමි

මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි.
මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සූත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී. පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි බොජ්ඣංග පරිත්ත වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි. එහි ගිලාන සුත්තං, දුතිය ගිලාන සුත්තං, තතිය ගිලාන සුත්තං ලෙස නම් කර ඇති එම සූත්‍ර තුන චතුභාණවාර පාලියට හෙවත් පිරිත් පොතට ගෙන ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.

සංයුක්ත නිකාය චතුභාණවාර පාලිය

ගිලාන සුත්තං මහා කස්සපත්ථෙර බොජ්ඣංග පරිත්තං , දුතිය ගිලාන සුත්තං මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තං , තතිය ගිලාන සුත්තං මහා චුන්ද ත්ථෙර බොජ්ඣංග පරිත්තං
සංයුක්ත නිකායේ සූත්‍රය නම් කර ඇත්තේ එය දේශනා කිරීමට හේතු වූ සිද්ධිය මුල්කරගෙනය. පිරිත් පොතේ නම් කර ඇත්තේ පුද්ගලයා මුල් කරගෙනය. කෙසේ වුවද මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි. එහි බොජ්ඣංග හත ප්‍රකාශ කරන්නේ බොජ්ඣංග හත.
“........ සම්බොජ්ඣංගො ඛො (මොග්ගල්ලාන) මයා සම්මදක්ඛාතෝ භාවිතො බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.” යන වැකියෙනි. මුලින් ඇති හිස් තැනට අනුපිළිවෙලින් 1. සති, 2. ධම්ම විචය, 3. විරිය 4. පීති 5. පස්සද්ධි 6. සමාධි 7. උපේක්ඛා යන වචන යොදනු ලැබේ. ඒ වැකියෙහි යොදා ඇති සම්බොජ්ඣංග, සම්ම දක්ඛාත, භාවිත, බහුලීකත, අභිඤ්ඤාය ,සම්බෝධාය, නිබ්බාණාය යන වචන ගැන අට්ඨ කථාවෙන් හා ගුරු ඇසුරින් දැනීමක් ඇති කර ගැනීම අවශ්‍ය ය. එසේම බොජ්ඣංග, සම්මා සම්බොජ්ඣංග යන දෙවන අර්ථ වශයෙන් වෙනස් වන අයුරු ද වටහා ගැනීම මැනවි. (බොධාය සංවත්තන් තිතී - බොජඣංගා අනුබුජ්ඣන්තීනි..... පටිබුජඣන්තිනි....... සම්බුජකථන්තීති බොජඣංගා - පසත්ථො සුන්දරො බොජ්ඣංගා සම්බොඣජංගා)

ගිලන් වූ විට සුවපත් භාවය

මහා කස්සප මහ රහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක බුදුරජාණන් වහන්සේ පිප්ඵලි ගුහාවට වැඩම කොට පැවැත් වූ දේශනාව (ගිලාන සුත්තං) මහා කස්සප ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක ගිජ්ඣකූට පර්වතයට වැඩම කොට පැවැත් වූ දේශනාව (දුතිය ගිලාන සුත්ත) මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත් පිරිත් පොතේ දැක්වෙයි. එම සූත්‍ර දෙක්හිම වචන මාලාවේ වෙනසක් නැත. සුලු වෙනසකට ඇත්තේ ස්ථාන හා පුද්ගල නාමය පමණි. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් මෙසේ අසති.
“කච්චි තෙ කස්සප ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වේදනා? පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්ක මෝසානං පඤ්ඤායති. නො අභික්කමෝති කාශ්‍යප, ඔබ වහන්සේ ට ඉවසන්නට පුළුවන්ද? යැපෙන්නට පුළුවන් ද? දුක් වේදනාවන්, කැක්කුම් කොහොමද? අඩු ද? වැඩි නැද්ද? අඩු වන බවක් පෙනේ ද? වැඩි වන බවක් නො පෙනේද?
මහා කසුප් මහ රහතන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දෙති. “ න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්ක මෝසානං පඤ්ඤායති, නෝ පටික්කමොති (භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට ඉවසන්නට නොහැකියි. හතර ඉරියව්වලින් එක ඉරියව්වකවත් ශරීරය පවත්වා ගන්නට බැරිය. මගේ දුක් වේදනා ඉතා බලවත්ය. ඒවා වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. අඩුවක් වන බවක්වත් පෙනෙන්නේ නැත. ඒ තොරතුරු විමසීම මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ දැක්වෙන්නේ ද ඒ ආකාරයෙන්මයි. මේ නිදසුනක් පමණි. වෙනසකට ඇත්තේ නම් ගම්වල පමණි. සසඳා බලන්න.
එහෙත් මහා චුන්දර ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ ඊට වඩා වෙනස්කම් ඇත. බුදුරජාණන් වහන්සේ අසනීප ව රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැනගත් මහා චුන්ද තෙරුන් වහන්සේ එහි වැඩම කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ ‘පටිභන්තුං තං චුන්ද බොජ්ඣංගා (චුන්ද ඔබට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා) යි වදාරති. ‘සත්තිමේ භන්තේ බොජ්ඣංගා භගවතා සම්ම දක්ඛාතා, භාවිතා බහුලීකතා අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තන්ති (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත බොජ්ඣංග ධර්ම මනා කොට වදාරන ලද්දේ ය. වඩන ලද්දේ ය. නැවත නැවතත් වඩන ලද්දේය. පුරුදු කරන ලද්දේ ය. ඒවා මනා කොට දැනීම පිණිස, සම්මා සම්බෝධිය පිණිස, පවතින්නේ) යි පවසා, චුන්ද තෙරණුවන් බුදුරජාණන් වහන්සේට ඇසෙන සේ කියා පෑහ.
මහා කස්සප, මහා මොග්ගල්ලාන යන දෙනමත්, බුදුරජාණන් වහන්සේත් දැඩි සේ ගිලන් බවට පත් වූ අවස්ථා තුනක දී සත්ත බොජ්ඣංග ධර්මයන්ට සවන් දීමෙන් සුවපත් වූ බව ‘වුට්ඨාභි ච තම්හා ආබාධා තථා පහීනොච...... සෝ ආබාධෝ යි’ ඒ ඒ සූත්‍ර අවසානයෙහි දැක්වෙයි.
ඉහත දැක් වූ බොජ්ඣංග සූත්‍රවලට අමතරව පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථයෙහි ද බොජ්ඣංග පිරිතක් දැක්වෙයි. පාලි භාෂාවෙන් රචිත ගාථා එකොළොසකින් යුත් ඒ පිරිත පශ්චාත් කාලීනයකු විසින් අක්ෂර පිහිටුවා ප්‍රබන්ධ කරන ලද්දකැයි, සැලකෙතත් ඒ බොජ්ඣංග පිරිත අවසානයේ ‘රෝග සුවය සඳහා රෝගීන්ට කියන පිරිතකැ’ යි විශේෂයෙන් සටහන් කර ඇත. ඒ බොජ්ඣංග පිරිත මෙසේය.
01. “සංසාරේ සංඝරන්තානං - සබ්බ දුක්ඛ විනාසකේ 
සත්ත ධම්මේ ච බොජ්ඣංගේ – මාර සේනප්පමද්දිනෝ

02. බුජ්ක්‍ධිත්වා යේ පි මේ සත්තා - තිභවා මුත්තාහි උත්තමා 
අජාතිං අජරංව්‍යාධිං - අමතං නිබ්භයං ගතා

03. ඒවමාදි ගුණෝපේතං - අනේක ගුණ සංගහං 
ඕසධංව ඉමං මන්තං - බොජ්ඣංගාච තතෝ පරේ

04. බොජ්ඣංගෝ සති සංඛාතෝ 
ධම්මානං විචයෝ තථා 
විරියං පීති පස්සද්ධි 
බොජ්ඣංගා ච තතෝ පරේ

05. සමාධිපෙක්ඛා බොජ්ඣංගා 
සත්තේ තේ සම්ම දස්සිනා 
මුනිනා සම්ම දක්ඛාතා 
භාවිතා බහුලීකතා

06. සංවත්තන්ති අභිඤ්ඤාය 
නිබ්බානාය ච බෝධියා 
ඒතේන සච්ච වජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා

07. ඒකස්මිං සමසේ නාථෝ 
මොග්ගල්ලානඤ්ච කස්සපං 
ගිලානෝ දුක්ඛිතෝ දිස්වා 
බොජ්ඣංගෝ සත්ත දේසයී

08. තේ ච තං අභිනන්දිත්වා 
රෝගා මුචිචිංසු තං ඛණේ 
ඒතේන සච්චවජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා

09. ඒරදා ධම්ම රාජාපි 
ගේළඤ්ඤෙනාභි පිළිතෝ 
චුන්දත්ථෙරෙන තංයේව 
භණා පෙත්වාන සාදරං

10. සම්මෝදිත්වා ච ආබාධා 
තම්හා වුට්ඨාසි ඨානසෝ 
ඒතෙන සච්ච වජ්ජේන 
 සබ්බදා

11. පහීණා තේ ච ආබාධා 
තිණ්ණන්නම්පි මහේසිනං 
මග්ගාහත කිලේසාච 
පත්තානුපත්ති ධම්මතං 
ඒතේන සච්ච වජ්ජේන 
සොත්ථි තේ හෝතු සබ්බදා” 
ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක්

මෙම බොජ්ඣංග පිරිත එකසිය අටවරක් හෝ ඊට අඩු වැඩි වාර ගණනක් කියා පැරණි තෙරවරු, වෙදවරු, වැඩිහිටියෝ රෝගීන්ට ආශිර්වාද කළහ. මෑතක් වනතුරු රජයේ රෝහල් කරා වැඩම කර පැවැත් වූ භික්ෂූන්ගේ ආරෝග ශාලා සේවයේ දී උන්වහන්සේලා මෙම බොජ්ඣංග පිරිත භාවිතා කළහ. තම නිවසේ නැතහොත් රජයේ රෝහලක, ඇඳක පැදුරක වැතිරී දුකින් කල් ගෙවන රෝගියාට පන්සලේ හාමුදුරුවන්ගේ මුවින් පිටවන ඒ කාරුණික වදන්වලින් ලැබුණේ මහත් සැනසීමකි. එම සේවය සැලසූ භික්ෂුව ද ‘යො ගිලානං උපටිඨහති සෝ මං උපට්ඨහති” යන බුදු වදන අනුව ක්‍රියා කරන කුසල් රැස් කර ගත්තේ ය.
මෙසේ බුදුරජාණන් වහන්සේගේ පටන් සියල්ලන්ටම රෝගාතුර වූ අවස්ථාවලදී ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක් ගෙන දුන් ‘බොජ්ඣංග‘ යන වචනයේ අර්ථය තේරුම් ගැනීම අප කාටත් ප්‍රයෝජනවත්ය. මෙය විවිධ නයින් අටුවාටිකා ග්‍රන්ථයන්හි විස්තර කර ඇත. මුලදී සරලව තේරුම් ගැනීම වඩා පහසුය. ඒ සඳහා සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ඇතුළත් භික්ෂු සූත්‍රයේ මේ සරල අනුවාදය කියවන්න. “භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කොට පසෙක හිඳ මෙසේ ඇසුවේ ය.” ස්වාමීනි, බෝධි අංග, බොජ්ඣංග කියා කියනු අසන්නට ලැබේ. ස්වාමිනී, කොපමණකින් මේ බෝධි අංග කියා කියනු ලැබෙද්ද?” මහණ, අවබෝධය පිණිස පවතීයි යි බෝධි අංග (බොජ්ඣංග) කියනු ලැබේ. මහණ, මෙහි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මේ සත් බෝධි අංග වඩන ඔහුගේ සිත කාමාසවයෙනුත් මිදෙයි. භවාසවයෙනුත් මිදෙයි. දිට්ඨාසවයෙනුත් මිදෙයි. අවිජ්ජාසවයෙනුත් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය කියා ඤාණය වෙයි. ජාතිය අවසන් විය.....” මේ වෙනුවෙන් තව අනෙකක් නැහැ කියා දැන ගනී. මහණ, අවබෝධය පිණිස පවතී යයි බෝධි අංග කියා කියනු ලැබේ.” (සිංහල සංයුක්ත නිකාය 2. 892 පි)
එක් එක් බොජ්ඣංගයන් අනුපිළිවෙළට හැදෑරීමෙන් ද සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තය කියවීමෙන් ද සත්ත බොජ්ඣංගය පිළිබඳ දැනීමක් ලබා ගැනීමට මග පාදා ගත හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මාර වසඟයට අසුවුණාද?

මාකඳුර ශ්‍රී සරණංකරාරාම විහාරවාසී 
ශාස්ත්‍රවේදී
හීනටිපනේ සීලරතන හිමි

මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් දුක්විඳින දෙව් මිනිසුන් සහිත ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන් මේ සසර දුකින් මුදවා ලීමට මග පෙන්වද්දී සත්වයා සසර තුළම රඳවා ගැනීමට වෑයම්කළ මාරයකු පිළිබඳව බුදුසමයෙහි නිතර අසන්නට ලැබේ.

ක්ලේශ මාර, මෘත්‍යුමාර අභිසංඛාර මාර, ස්ඛන්ධ මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයින් පස් දෙනෙකු ගැන සඳහන් වී ඇතත්, දේවපුත්‍ර මාර හැර ඉක්බිති සිව් දෙන සංකල්පීය මාරයෝය. දේවපුත්‍ර මාර යනු දෙවියෙකි. ඔහු පරනිර්මිත වසවර්ති නම් දිව්‍ය ලෝකයෙහි වාසය කරයි. දෙවියන් අතර වැඩිම ආයුෂ වින්දනය කරන්නේත් ලෞකික ජීවිතයේ වැඩිම කාම සම්පත් විඳින්නාත් වසවර්ති මාරයාය. ඉතා දීර්ඝ ආයුෂයක් කම් සැප විඳිමින් ගත කරන නිසා ඔහුට එම දිව්‍යාත්ම භාවයෙන් චුතව යන බවක් කල්පනා නොවෙනවා විය හැකිය. සදාකාලිකවම පංචකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කෙරෙතැයි සිතෙන නිසා පස්කම් සුවය පිටුදකින සසරින් මිදීමට ක්‍රියාකරන පැවිද්දන් කෙරෙහි ඔහු මනාපයක් නොදක්වයි.

මාරයාගෙන් බාධා

බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කිරීමත් බුද්ධත්වයට පත්වීමත් ධර්ම දේශනා කිරීමට තීරණය කිරීමත් වැළැක්වීමට වෑයම් කළ මාරයා බුදුරදුන් සත්සතිය ගතකරමින් අජපල් නුගරුක් මූල වැඩ වෙසෙද්දී නොපමාව පිරිනිවන් පෑමටද ආරාධනා කළේය. ඉන් පසුවත් නොයෙක් අවස්ථාවලදි බුදුරදුන්ට බාධා කළ බව සංයුත්ත නිකායේ මාර සංයුත්තය ඇතුලු ත්‍රිපිටක දේශනාවන්හි දැක්වේ. උරුවේලාහි නේරංජරා නදී තෙර අජපාල නිග්‍රෝධ මුලයෙහි බුදුරදුන් වැඩ වසද්දී බුදුරදුන්ගේ විසුද්ධිමාර්ගය ගැන ඔහු චෝදනා කළේය. තවත් අවස්ථාවක මහ ඇතෙකුගේ වෙස් ගෙන බුදුරදුන් තැති ගැන්වීමට පැමිණි බව සඳහන් වේ. බරණැස ඉසිපතනයේදී බුදුරදුන් තමන්ගේ මාර පාශයට හසුවී ඇතැයි කියා පෑවේය. මගධයෙහි ‘පංචශාලා’ නම් බමුණුගමට බුදුරදුන් පිඬු සිඟා වැඩිය කල්හි මාරයා එගම නිවැසියන්ට ආවේශව පිණ්ඩපාතය දීමෙන් වැළැක්වූ බව පිණ්ඩ සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරදුන් කල්පයක් වැඩ සිටීමට හැකි බව අනඳ හිමියන්ට පවසද්දී ඒ සඳහා ආරාධනා කිරීමෙන් අනඳහිමියන් වළක්වාලීමට මාරයා ක්‍රියා කළ බව මහා පරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් වෙයි. මෙබඳු සිදුවීම් රාශියක් ත්‍රිපිටකයේ ඇතුළත්ව තිබේ.
බුදුරජාණන් වහන්සේට මෙන්ම භික්ෂු භික්ෂුණීන්ටත් මාරයා විවිධ අවස්ථාවන්හි බාධා පැමිණවීය. මාර සංයුත්තයේ සම්බුල සූත්‍රයේ එන තොරතුරකට අනුව ශාක්‍ය ජනපදයෙහි සිලාවති ගමෙහි බවුන් වඩිමින් සිටි භික්ෂූන් වෙත බමුණු වෙසක් මවාගෙන එළැඹ “ඔබලා තරුණය, ඉතාකලු වූ කෙස් ඇත්තෝය. මානුෂික කාම සම්පත් පරිභෝග කරන්න, මේ ආත්මභාවයෙහි වින්ද යුතු සුව හැර කල්ගෙවා වින්ද යුතු සුව කරා නොදුවන්න”යි පැවසීය. අඹවනයෙහි විසූ “ආළවිකා” නම් භික්ෂුණිය වෙත එළඹ
නත්ථි නිස්සරණං ලොකෙ – කිං විවේකෙන කාහසි 
භුඤ්ජස්සු කාමරතියො – මාහු පච්ඡානුතාපීනී’ති

මාරයාගේ උපකාරය කාටද?

(ලොව නිවනෙත් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහිද? කාමරතිය,විඳුව, පසුතැවිලි නොවව) යි පැවසීය. මෙපරිද්දෙන් සෝමා, විජයා, ගෝතමී ආදි බොහෝ භික්ෂුණීන් වෙතද පැමිණ ඔවුන් අධෛර්යමත් කිරීමට උත්සාහ කළ බව පෙනේ.
මාරයාගේ භූමිකාව කුමක්ද? යන්න යථෝක්ත විස්තරවලින් වටහා ගත හැකිය. අදද මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය. බෞද්ධ සමාජය තුළින් පවා නිතර ඇසෙන මැසිවිල්ලක් නම් ‘අසාධාරණව හා අධාර්මිකව විවිධ ජාවාරම්වල යෙදෙන අය යහමින් මුදල් උපයමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකරන නමුත් දැහැමින් ජීවත්වන අයට විවිධ දුක් කරදර මධ්‍යයේ ඉතා දුකසේ කාලය ගතකරන්නට සිදුව ඇති බවයි සතුන් දිවි තොරකරන , හොරකම් කරන, හෝ මත්ද්‍රව්‍ය නිපදවන හා අලෙවි කරන දුශ්චරිතවත් ජීවිත ගතකරන අය ගෙවල් දොරවල් යානවාහන ආදියෙන් පොහොසත්ව සමෘද්ධිමත් ජීවිත ගත කරන බව සැබෑවක් සේ පෙනේ. අධාර්මික ජීවිත ගතකරන මිනිසුන්ගේ දෙවියා මාරයාය. ඔවුන් මාරයා වෙනුවෙන් දේවාල ඉදිකොට පුද පූජා නොකළත් පව්කාර ජීවිත ගතකරමින් සසර දිගු කරගන්නා මිනිසුන්ට මාරයාගේ උපකාරය ඉඳුරාම ලැබේ. ඔවුන් මාරයාගේ අභිලාෂය අනුව ක්‍රියාකරන බැවිනි. ඔවුන් තමන් කරන පාපී කටයුතු හේතුවෙන් අපාගතවන නමුත් මාරයාට එය ප්‍රශ්නයක් නොවේ. ඔහුට වුවමනා කරන්නේ සත්ව ප්‍රජාව සසරෙහි ගැලී සිටීම පමණි.
අසාධාරණව හා අධාර්මිකව ධනය උපයන්නන්ට මාරයාගේ සහාය නොකඩවා ලැබෙන අතරම වැඩෙන සම්පත් නිසා වඩවඩා උද්දාමයට පත්වන ඔවුහු තව තවත් තම ව්‍යාපාර තරකරගනිමින් මාරයාගේ පාශයෙහි තවතවත් සිරවෙති. මේ රැවටිල්ලට ගොදුරු වී තාවකාලික වින්දනයක් ලැබීමට සිතන ඇතැම්හු සසරින් මිදීම පසෙක ලා තමනුත් එම මගටම පිවිසෙති. එයද මාරයාගේ අරමුණක් ඉටුවීමකි.
සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවය සමෘද්ධිමත් ජීවිත ගත කරන්නන් අන් අයගේ ඊර්ෂ්‍යාවට භාජනය වීමයි. එහෙත් අධාර්මිකව ධනය උපයන හා මිථ්‍යා කාමය සොයන්නන් කෙරෙහි අප තුළ ඇතිවිය යුත්තේ ‘අනේ මොවුන්ට සතර ආපායාදී දුගතිවලට වැටී දුක්විඳින්නට සිදුවෙනවා’ නොවේද? යනුවෙන් සිතා අනුකම්පාවක් මිස ඊර්ෂ්‍යාවක් නොවේ.

මාරයාගේ උපක්‍රම

මාරයා ඉතා උපක්‍රමසීලිය. ඔහු ඇතැම්විට තම අරමුණ උදෙසා මිනිසුන් යහපතෙහි යෙදවීමට පවා ඉඩ තිබෙන බව මාරතජ්ජනීය සූත්‍රයෙන් පෙනේ. මුගලන් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරදුන් දවස සිටි “දුසි” නම් මාරයකු ගැන එහිදී සඳහන් කරති. පළමුව ඔහු බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී භික්ෂු සංඝයාට පරුෂ වචනයෙන් ආක්‍රෝශ පරිභව කරවයි. එහිදී බුදුරදුන්ගේ උවදෙසින් භික්ෂූහු ඔවුන්ට මෙත් වඩති.ආක්‍රෝශ පරිභවයෙන් භික්ෂු සංඝයාගේ සිත් කැළඹීමට පත් කිරීමට නොහැකිවුණු තැන ඔහු බමුණු ගැහැවියන්ට ආවේශ වී සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කරවයි. සිව්පසයෙහි ලොල්ව මහා සංඝයා සිත් පෙරළියකට පත් වෙතැයි සිතුවද එසේ නොවන්නේ බුදුරදුන් අසුභ භාවනාව වඩන්නට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන නිසාය. දායකයෝ මරණින් මතුදෙව් ලොව උපදිති. දෙව්ලොව ඉපදීමද මාරයාගේ අරමුණ යම් තරමින් හෝ ඉටුවීමකි. දිව්‍යමය කාමසම්පත්තීන්ට ගිජුවන දෙවියන් බව දුකින් මිදීමට ප්‍රමාදවන බැවිනි. අවසානයේදී දුසී මාරයා මිනිසකුට ආවේශ වී බුදුරදුන්ගේ අගසව්වකු වන “විධුර” ශ්‍රාවකයන් වහන්සේගේ හිසට ගලකින් පහර දෙවයි. හිස පැලී ලේ වගුරවමින් එතුමෝ බුදුරදුන් පසුපස වඩිති. මාරයා ඒ සැණෙකින් දේවාත්මයෙන් චුතව නිරයේ උපදී. මහ රහතන් වහන්සේලාට පවා මෙසේ අකටයුතුකම් කරන මාරයා පුහුදුන් සත්වයනට කුමක් නොකල හැකිදැයි සිතීම වටී.
මාරයා තම සැබෑ වේෂයෙන් හෝ අන්‍යවේෂයකින් අප ඉදිරිපිටට නොපැමිණෙන නමුත් ඔහු අපගේ මනස විකෘතියට පත් කොට අප පාපයට නැඹුරු කරන්නට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එබැවින් ධර්මයෙහි පිළිසරණ ලබමින් දැහැමි ජීවිතයක් ගත කරමින් මාර උපක්‍රමයන්ට හසු නොවී සසර දුකින් අත්මිදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උනන්දු වීම සියල්ලන්ගේ අභිලාෂය විය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජීවිතයට දුක එකතු වුණේ කොහොමද?


ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

මොනවා හරි දෙයක්‌ කරන්නේ නැතුව මොකද්ද කළ යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගත යුතුයි කියන එකයි මම බොහෝ වේලාවට කියන්නේ. ඇත්තට ම මම බණ කියන එකෙන් කරන්නේ ලෝකයට හිතන්න උගන්වන එකක්‌. පෞද්ගලිකව දෘෂ්ටියක්‌ ඔළුවට දමන්න හදනවා නො වෙයි. 

නිවන් දකිනවා කියන කොට මහ මෝඩ ගතියක්‌ ඒ තුළ තියෙනවා නො වෙයි. හොඳ විචාරශීලී බුද්ධියක්‌ තමයි තියෙන්නේ. මිනිස්‌ වාසයේ, මිනිස්‌සුන්ගේ ඇඟේ හැපිලා එන සුළඟ වත් නැති, ශාන්ත සේනාසනයක හිටියත්, මහ ප්‍රාඥයෙක්‌ වෙලා එයා, මිනිසුන් දාහක්‌ ඉන්න ලෝකයට ආ විටක එක්‌ මිනිසකුට වත් එයාව අභිභවනය නො කළ හැකි මහත් ප්‍රඥවක්‌ ගොඩනැඟිලා තියෙන්නට ඕනේ. (කැළේ ඉන්න තුරු ඉන්න පුළුවන්. ලෝකයට ආපු ගමන් සමහරු කඩා වැටෙනවා). මොකුත් බැහැ කියන නිසරු වූ ජීවිතයක්‌ ගොඩනැෙ`ගන්නේ නැහැ. නියම අවබෝධය නම් ලෝකය තුළත්, ලෝකයෙන් අහක හිටියත් ඒ ජීවිතය හොලවන්න බැරි ජීවිතයක්‌ වෙන්න ඕනේ. ගිහි පැවිදි භේදයක්‌ නැහැ. 

ඒ ධර්මයේ හැටි පෙන්වන්නේ - යථිනද‚ලෝ පඨවිංසිතෝ සියා චතුබහි වාතෙහි අසමප කමපියෝ තථුපමං සපපුරිසං වදාමි යො අරියසචචානි අවෙචච පසසති - චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච අවෙච්චප්‍රසාදයෙන් යුක්‌ත සත්පුරුෂයා ගේ ගතියක්‌ තමයි හරියට කනුවක්‌, ඉන්ද්‍ර‚ලයක්‌ සතර දෙසින් එන සුළඟින් හොළවන්න බැහැ, කම්පා කරන්න බැහැ වගේ, චතුරාර්ය සත්‍යය අවබෝධ වෙච්ච කෙනා ගේ ලක්‌ෂණය තමයි සතර දිසාවෙන් කිසි ම වාදයකින් ඒ මනස හොලවන්න බැහැ. කම්පා කරන්න බැහැ. ඒ අකම්ප්‍ය ගතිය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ මේ පින්වතුන්ට මේ දර්ශනය හරි නම්.

ඊට මෙහා මනෝමයෙන් සිතාගෙන තවත් එක්‌ මන:කල්පිත මාර්ගයක්‌ හෝ ඵලයක්‌ හෝ නො වන්නට ඕනේ. ජීවිතයේ දුක එහෙම මයි, නමුත් "සෝවන්" වෙලා. ජීවිතයේ දුක එහෙම මයි, නමුත් "සකදාගාමී" වෙලා. ජීවිතයේ දුක එහෙම මයි, "රහත්" වෙලා. නමුත් ඇලෙනවා, ගැටෙනවා. "අනාගාමි වෙලා", ගෙදර ගහගන්නවා. මම එවැනි ජීවිත දැකලා තියෙනවා. අසරණකම, නො දන්නාකම. "රහත් වෙලා" නමුත් සමහර කෙළෙස්‌ තියෙනවා. 

මම මේ කියන්නේ කාගෙ වත් අඩුපාඩුවක්‌ නො වෙයි, අපේ මනසට එහෙම රැවටෙන්නට ඉඩ තියාගන්න එපා. 

නො රැවටෙන බව හුරු කරන්න කියන කාරණාව ගැනයි මේ කියන්නේ. 

දැන් මම මේ පින්වතුන්ට භාවනාව ගැන ටිකක්‌ කියලා දෙන්නම්. ධර්මයේ අර්ථයයි මම පෙන්නුවේ. නිවන් ම`ග කියන එක මෙන්න මේ වගේ දර්ශනයක්‌ හරහායි, නිවන් දකිනවා කියන්නේ මෙන්න මේ වගේ අවබෝධයකට කියන වචනයක්‌ මිස "තව කෙනෙක්‌" නිවන් දකිනවාට නො වෙයි කියන කාරණාව මතක්‌ කළා. ඒ සම්මාදිට්‌ඨය කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්මශ්‍රවණයෙන් කියන දෙකෙන් ලැබුණු සෝතාපත්ති අංග දෙක අපේ අත්දැකීමක්‌, දර්ශනයක්‌ බවට පත් කරගන්නට අප තුළින් එකතු වෙන්න ඕනේ කාරණා දෙකක්‌ තියෙනවා කියලා මම මතක්‌ කළා - ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සහ යෝනිසෝමනසිකාරය. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සහ යෝනිසෝමනසිකාරය තව පැත්තකින් අර්ථ දක්‌වන්න පුළුවන් සීල, සමාධි, ප්‍රඥ කියලා.

සීල, සමාධි, ප්‍රඥා කියන ටිකේ දී - සීලය, දරාගෙන සිටින අර්ථයෙන්, පිහිටි අර්ථයෙන්, ජීවිතය වෙච්ච අර්ථයෙන් යම් සීලයක පිහිටන්නට ඕනේ. සමාධි, ප්‍රඥා කියන කාරණා දෙක උපදවාගන්නට ක්‍රම දෙකක්‌ තියෙනවා. ඒ තමයි සමථ, විපස්‌සනා කියලා. සමථ භාවනාවෙන් සමාධියත්, විපස්‌සනාවෙන් ප්‍රඥාවත් කියන ධර්මතාව අවදි කරනවා. 

එතැන දී සමාධිය ඇති කරන චිත්ත සමථයක්‌ අපි කොහොම ද ලබන්නේ? මොකක්‌ ද සමථය කියලා කියන්නේ? කොහොම ද සමථය වෙන්නේ? මෙන්න මේ කාරණා ටික තේරුම් කරගත යුතුයි. 

සමථය කියලා කියන්නේ සන්සිඳවන අර්ථයෙන්. විසිරුණු දෙයක්‌, ඇවිස්‌සුණු දෙයක්‌, ඒ විසිරුණුකම දුරු කරලා, නො විසිරුණුකමට පත් කරලා, ඇවිස්‌සුණු දෙය සන්සිඳුවාගන්න අර්ථයට සමථයයි කියනවා. ගමේ ගොඩේ ආරවුලක්‌ ඇති වුණොත් අපි මේක සමථ මණ්‌ඩලයට අරගෙන යනවා කියලා කියන්නේ. ආරවුල් සන්සිඳවන ගතියට කියනවා සමථයකට පත් කරනවා කියලා. හිතේ-හිතේ කථා කෙරෙන, හිතේ-හිතේ අරමුණු දුවන, එකතැනක හිත නො පවතින මේ ගතිය නතර කරන්න, තැන්පත් කරන්න, සන්සි`දුවන්න තියෙනකමට කිව්වා සමථ කියලා. ඒ හිතේ සමථ ගතියක්‌, සමාධියක්‌ ඇති කරන ක්‍රමයකට කියනවා සමථ භාවනා කියලා. සමථ භාවනා කියන එක, මම යෝනිසෝමනසිකරයට පෙන්නුවා වගේ, සමථය කියන එක වචනයකින් පෙන්වන්න පුළුවන් එකක්‌ නො වෙයි. සමථය කියන එක පෙන්වන්න පුළුවන් අර්ථයකින්. 

අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා වචන ටික හිතුවාට විදර්ශනා වෙන්නේ නැහැ. විදර්ශනාව ද, සමථය ද කියන වචන තියෙන්නේ හැම වේලාවෙ ම අර්ථය බලගෙන. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. 

සමථ කියන ධර්මතාවයේ අර්ථය දිහා බලන්න. හිතේ නො විසුරුණුකම, සන්සිඳුණුකම, නැත්පත්වේච්චකම, එකඟකම, නො දුවනකම කියක කාරණා නිර්මාණය කිරීමයි සමථයේ ලක්‌ෂණය. "හිතේ-හිතේ කථා කෙරෙනකම" නතර කරන එකයි සමථයේ ලක්‌ෂණය. ඔය හිතේ-හිතේ දුවන ගතිය නවත්වන්න අපි උපායක්‌ කරනවා. වර්තමාන ධර්මතාවකට හිත තබලා, වර්තමානය තුළ ඉන්න හිත හුරු කරන එකටයි තව පැත්තකින් ගත්තොත් සමථය කියලා කියන්නේ. ඇත්ත දකින එක නො වෙයි. වර්තමානයක ඉන්න හිත හුරු කරනකමටයි සමථය කියලා කියන්නේ. 

මේ හිත එක්‌කෝ මැරුණු අතීතයේ හෝ නූපන් අනාගතයේ හෝ කියන බොරුව අරභයා ම ඇතුළතින් හිත හිතා, හිත හිතා ඉන්නකම මයි හැම දා ම තියෙන්නේ. "ඔය මැරුණු අතීතය හෝ නූපන් අනාගතය හෝ කියන බොරුව තුළින් තමයි ජීවිතයට දුක එකතු වුණේa. ජීවිතයට දුක හදන හේතුව එකතු වුණේ. ආශ්‍රව කියන එක වැ=ඩුණේ. නූපන් ආශ්‍රව ඉපදුණේ මනෝ විඤ්ඤාණයෙන් 'නූපන්න' සහ 'මැරුණු' කියන අරමුණු ඔස්‌සේ දුවනකමටයි. සමථයකින් කරන්නේ වර්තමානයක්‌ තුළ ඉන්න හිත හුරු කිරීම. හිත සන්සිඳවනවා කියනකමේ ප්‍රධාන ලක්‌ෂණය.

මේ පින්වතුන් අනිත්‍යයි, අනිත්‍යයි කියලා අනිත්‍යය වචනය හෝ එක දිගට මෙනෙහි කළොත් ඒකෙන් වෙන්නේ චිත්ත සමථයක්‌. අනිත්‍යය දකිනවා නො වෙයි. අනිත්‍ය කියන වචනය උදව් කරගෙන ධම්මානුස්‌සති සමථයක ඉන්නවා. ඒකටයි මම කිව්වේ වචනය තුළ නො වෙයි විදර්ශනාව තියෙන්නේ කියලා. දුකයි, දුකයි කියලා මේ පින්වතුන් හිතුවොත් ඒ තුළ පෙර පසු මනසට වෙන කොහෙට වත් යන්න නො දී, වර්තමානයක ඉන්නවා කියනකම නිර්මාණය වෙනවා. එතකොට ඇති වන්නේ චිත්ත සමථයක්‌. වචනය තුළ නො වෙයි සමථය ද, විදර්ශනාව ද කියලා තියෙන්නේ, ඒක නිර්මාණය වෙන අර්ථය තුළයි. 

එතකොට සමථ භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ පෙර පසු මනසට අතීත, අනාගත දෙකට යන්න නො දී වර්තමානයක්‌ තුළ හිත පවත්වාගැනීමට හුරු කිරීමයි. වර්තමානයක්‌ තුළ හිත පවත්වාගැනීමටයි සමාධි වඩනවා, සමථ කමටහනක්‌ වඩනවා කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතියට, ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා කියලා කළොත් මේ පින්වතුන් කරලා තියෙන්නේ මොකද්ද? හිත ඇතුළෙන් අතීත දේවල් හිතන්න නො දී, අනාගත දේවල් හිතන්න නො දී, වර්තමානයක හිත තියාගන්න එක්‌තරා උපායක්‌ යොදාගෙන මේ තියෙන්නේ. වර්තමානයක හිත තියාගන්න, ඉන්න කිව්වොත් කාට වත් පුළුවන් ද? බැහැ. දැන් මේ පින්වතුන්ට මේ ආනාපාන සති භාවනාව නරන්න කිව්වහම ඉබේ ම වර්තමානයක ඉන්න මේ හිත හුරු වෙනවා. මේ වර්තමානයක හිත තබාගන්න හුරු කරන තව එක ක්‍රමයක්‌.

ඒ වගේ මේ හැම කමටහනකින් ම කරන්නේ, සමථ කියන එකෙන් කරන්නේ වර්තමානයක ඉන්න හිත හුරු කරන එක. මේ පින්තුන්ට පුළුවන් නම් ඉරියව් පරිහරණය කරන හැම මොහොතක ම වර්තමානයක මනස තියාගෙන කටයුතු කරන්න, මේ පින්වතුන් චින්ත සමථයක්‌ ඇසුරු කරනවා. සමථ කමටහනක්‌ වඩන අය, හුඟක්‌ කල් භාවනා කරන ඇත්තොත් මෙතැන ඇති නේ ද? මම මෙහෙම ඇහුවොත්... ඒ භාවනා කරන මේ පින්වතුන් හිතට එකඟ ව අහන්න තමන් ගෙන්, ඉතිපිසෝ ගාථාව සම්පූර්ණයෙන් කියලා ඒක අවසන් වෙන කල් ම ඒ කෙරෙහි ම යොමු වෙච්ච මනසකින් කවුද කිව්වේ කියලා. ඒaක කියද්දී "යටින් එක එක දේවල් හිත හිතා" කියන්නේ නැති ව කියලා තියෙන්නේ කවුද කියලා කියන්න මට. මේ පින්වතුන් දන්නවා ද ඔබ භාවනා කරලා නැහැ කියලා. ගොඩාක්‌ භාවනා එපා. දැන, දැක ම, දැනුම් සහිත ව ආරම්භ කළ ඉතිපිසෝ ගාථාව දැනුම් සහිත ව ම පවත්වාගෙන ගිහිල්ලා, දැනුම් සහිත ව ම අවසන් කරන්න. වන්දනා කරලා ඉවර වෙන කොට මේ පින්වතුන් භාවනාත් කරලා ඉවරයි. වර්තමානයක හිත තබාගන්න උපායක්‌.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤