ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.
යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්ත්වයකට පැමිණුනහොත් අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළා ගත නොහැකි වීම එයට හේතුවේ. එවිට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්ත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුªළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්ත්වයන් උදාකරගනු ලබයි. ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උදුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.
තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනපුද්ගලයෙකුට ලැබෙන විට හා තමාට නොවිඳි දෙයක් කවුරුන් හෝ පුද්ගලයෙකු විඳිනවාය යන මානසික තත්ත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයෙකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී. එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින පුද්ගලයන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින පිරිස් පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන්, තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පලතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුලු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න, දැවෙන්න, පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි පුමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි. ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට, අධ්‍යාත්මයට විශාලම හානිය, ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොදුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයාට සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත. තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව, ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැගෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත්, වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.
තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි. තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම, ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබඳව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.
ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ, සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙයි. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත. “සන්තුට්ඨ්ි පරමං ධනං” යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලයෙකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්ත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි. අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව කරනු ලබන දේ අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්ත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහෝත් අද වුවද එයින් මිදිය හැකිවේ.
ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්ත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි
ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට, නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත. සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්ත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්ත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කමට හේතුවක් විය හැකි බව දුප්පතකුට සිතිය හැකියි. මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයෙකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව, තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුදු පුහුණු කරන ලද යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි, අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ. සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හඳුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයක් නොමැතිකම එයට අදාළ වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤