ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ආර්යඵල ලාභිත්වය සඳහා

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, 
ප්‍රධාන අනුශාසක, යටියන, මිනුවන්ගොඩ


භවය බුද්ධියෙන් අවබෝධ කර භව නිරෝධය සඳහා ප්‍රතිපත්ති පුරන්නා බෞද්ධයායි. නැතහොත් අවබෝධයෙන් අර්ථ සම්පන්න ජීවිතයක්‌ ගතකර ජීවිතයෙන් වැඩ ගන්නා උත්තමයා බෞද්ධයායි. ජීවිතයේ වැඩ + ගත් = වැදගත් උතුමෝ රහතන් 

වහන්සේය. උතුම් මිනිස්‌ දිවියෙහි කරන ලද 'කිස්‌ ඇති 'කතකිච්ච' උතුමෝ රහතන් වහන්සේය. එසේ හෙයින් අනූපමේය කරුණාවෙන්, මෛත්‍රියෙන් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දායාද කළ ධර්ම දානය ලැබගෙන ධර්ම දායාදය ලැබගෙන ලොව්තුරු ඵල මේ භවයේදී ලබාගැනීමට අදිටන් කරගත යුතුය. ලැබී ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව නොසලකා හැරියොත් මගහැරී ගියහොත් කවදා කෙසේ නම් කුමන දවසක ලැබේදැයි සිතීම පවා අසීරුය.

සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, මුල්බැස ගැනීමට, දායාද ලැබීමට, සතර අපායෙන් සදහමට අත්මිදීමට, භව හතක්‌ තුළ නිවන් දැකීමට අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවක භාවය ලැබිය යුතුය. ඒ සඳහා වැඩිය යුතු මගක්‌, කළ යුතු කෘත්‍යයක්‌ ඇත. එය පළමුවන ආර්ය මාර්ග වැඩීමයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමයි. සේක ප්‍රතිපදාව නම්වූ ආර්ය ප්‍රතිපදාව නම්වූ සෝවාන් මාර්ගය වැඩීමේදී සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩිය යුතුය. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව ඒ සඳහා නිර්දේශිතයි.

බෝධිපාක්‌ෂික ධර්ම ඉගෙනගැනීම, පොතපතේ සටහන් තැබීම, කටපාඩම් කිරීම, මතකයේ රඳවා ගැනීම පමණකින් ධර්මය වැඩි මාර්ගස්‌ථයෙක්‌ බවට පත් නොවේ. ඒ ගුණ ධර්ම තමා තුළ ක්‍රියාත්මක භාවයෙන් වැඩිදියුණු වීමක්‌, ගුණාත්මක සංවර්ධනයක්‌ සිදුවෙනවා දැයි ආත්ම ප්‍රත්‍යවේක්‌ෂණය තුළින් හෙවත් තම චරිතය වෙත තීක්‌ෂණ බැල්මක්‌ හෙලා සැබවින්ම ප්‍රගතියක්‌ කරා යන වර්ධනයක්‌ ඇද්දැයි විමසිය යුතුය.

ලෝකයේ උපත ලබන සත්වයන් භව්‍ය හා අභව්‍ය යනුවෙන් දෙකොටසකි. භවය යනු යමක්‌ හරිහැටි අවබෝධ කරගත හැකි, හොඳ - නරක, සත්‍ය - අසත්‍ය වටහා ගත හැකි කොටස වේ. අභව්‍ය යන්නෙන් අදහස්‌ කරනුයේ ඒ හැකියාව නැති සතර අපාගත සත්ත්වයන් හා සමහර අමනුෂ්‍ය කොටස්‌ය. භව්‍ය සත්ත්වයන් අතර ඉහළින්ම සිටින්නේ මනුෂ්‍යයන්ය. මනුසතාය. ඉතිරි දේව - බ්‍රහ්මාදීන්ය.

සතර සතිපට්‌ඨානයෙන් ආරම්භවී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අවසන් වන සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මවලින් මෙම ධර්ම පත්‍රිකාවෙන් ඉදිරිපත් කරනුයේ පංච ඉන්ද්‍රිය ධර්ම ගැන විස්‌තරයයි.

සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය යනු ඒ ඉන්ද්‍රිය ධර්ම පහයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ හෝ කීපයක්‌ තමා තුළ විද්‍යාමන වේ නම් හේ ආර්ය ශ්‍රාවකයෙකි. එසේ නොවේ නම් හේ පුහුදුන් බවේ සිටින්නෙකි. ඒ බව මෙසේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරති.

'යස්‌සඛො භික්‌ඛවේ, ඉමානි පංච ඉන්ද්‍රියා සබ්බෙන

සබ්බං සබ්බතා සම්බං නත්ථි, තමහං බාහිරො ප්‍රථුඡ්ජන පෙජධ තිඨොති වදාමි'. ඉහත අදහස මේ දේශනා පාඨයෙන් ප්‍රකාශ වේ. මේ ඉන්ද්‍රිය ධර්ම කෙසේදැයි විමසාබලමු.

සංයුත්ත නිකායේ සාලා සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

'මහණෙනි, සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්‌, බෝධි පාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මහණෙනි, විරිය ඉන්ද්‍රිය ධර්මයක්‌ බෝධිපාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මෙසේ ඉතිරි සියලුම ඉන්ද්‍රිය ධර්ම නිවන සඳහාම පාදකවේ.

පළමු ඉන්ද්‍රිය ධර්මය විවරණය වන්නේ 

මෙසේය

'මහණෙනි, ශ්‍රද්ධාවේ බලය, ශක්‌තිය මොනයම් කරුණකදී පැහැදිලිව දැකිය හැකිද?

සතර සෝතාපත්ති අංගවලදී දැකිය හැක.

සතර සෝතාපත්ති අංග මෙසේයි.

1. බුද්ෙ අවෙච්ච ප්‍රසාදය

2. ධම්මේ අවෙච්ච ප්‍රසාදය

3. සංඝෙ අවෙච්ච ප්‍රසාදය

4. අරිය කාන්ත සීලයයි

මේ අංග හතරෙන් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ තමා තුළ ඇතිකරගෙන වඩවා ගැනීමේදී දැන පැහැදීම ඇතිවේ. මෙහි විශේෂත්වය වනුයේ බුදුගුණ වැඩීමේදී දහම් ගුණ, සඟගුණද ඇතිවනු ඇත. වැඩෙනු ඇත. බුදුගුණ වැඩීම කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැක. 

1. බුදුගුණ ගායනය

2. බුදුගුණ සිහිකිරීම

3. බුදුගුණ ඇතිකර ගෙන වඩවා ගැනීමයි. 

මෙයින් පළමු බුදුගුණ ගායනය සාමාන්‍ය ජනතාව ආගමික කටයුතුවලදී නිතර සිදුකරයි. එය ආමිෂ පූජාවකි. දෙවනුව බුදුගුණ සිහිකිරීමයි. බුද්ධානුස්‌සති භාවනාවයි. එමගින් ධ්‍යාන බල ඇතිකරගත හැක. එයද ආමිෂ පූජාවටඅයත්ය. ගායනයෙන් සිහිකිරීමෙන් නිවන් දැකිය නොහැක. එයට හේතුව ආමිෂ පූජාවකින් ලෝකෝත්තර ඵල නොලැබෙන නිසාය. ලෝකෝත්තර හෙවත් මාර්ගඵල ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවකින් පමණි.

තෙවනුව සඳහන් බුදුගුණ ඇතිකරගෙන වඩවාගන්න. සෝතාපත්ති අංග හතරෙන් තුනක්‌ම වැඩෙනු ඇත. ඒ මෙසේයි. බුදුගුණ අනන්තය, අප්‍රමාණය. ගණනය කළ නොහැක. බුදුගුණවලින් අපට පහසුවෙන් වැඩිය හැකි ගුණය වන්නේ ලෝකවිදූ ගුණයයි. ලෝකය යනු සිතයි, කයයි දෙකේ එකතුවයි. සිත හා කය ගැන දැනගැනීමට සතර සතිපට්‌ඨානය වැඩිය යුතුය. යමෙක්‌ සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් වඩන්නේ නම් හේ සෝතාපත්ති අංග වඩන්නෙක්‌ වේ. ආර්ය ශ්‍රාවකයෙක්‌ වේ. නිවනට නියත වූ බුද්ධ ශ්‍රාවකයෙක්‌ වේ. බෞද්ධයෙක්‌ වේ. අරියකාන්ත සීලය යනු සියලු පව් අතහැර කුසල් දියුණු කිරීමයි.

දෙවැනි ඉන්ද්‍රිය ධර්මය මෙසේ දැක්‌වේ. 'ක‍ෙථච භික්‌ඛවේ විරියිවද්‍රියං දට්‌ඨබ්බං' චතුසු සම්මප්පධානෙසු' මහණෙනි, විරිය ඉන්ද්‍රිය කිනම් ධර්මතාවක දැකිය හැකිද? සතර සම්පධානයෙහිය.

සතර සම්ප්පධානයන් කවරේද?

1. සො අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

යෝගාවචරයා නූපන් අකුසල ධර්ම නොඉපදීම සඳහා කැමැත්ත ඇතිකරගනී. වෑයම් කරයි. විර්ය ඇතිකරයි. එක සිතින්ම පිහිටා සිටී. ස්‌ථිරව පිහිටයි. බලවත් උත්සාහය ඇතිව වෙසේ.

2. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පාහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති  චිත්තං පග්ගන්හාති පදහති.

උපන් පාපක අකුසල ප්‍රහානය සඳහා කැමැත්ත ඇති වේ. ඒ සඳහා වෑයම් කරයි. වීර්යය උත්සාහය ඇතිවේ. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨානයෙන් යුක්‌තවේ. 

3. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති. වායාමති. විරියං ආරභති. චිත්තං පග්ගන්හාති. පදහති.

නූපන් කුසල් සිත් (සෝවාන් ආදී මාර්ග සිත් 04 හා ඵලසිත් 04) වැඩීම, ඉපදවීම සඳහා වෑයම් කරයි. වීර්යය ඇතිකර ගනී. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨාන ඇති කර ගනී.

4. උපප්නානානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භියේ‍යා භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

උපන් (මාර්ගඵල සිත්) ස්‌ථිර කිරීම සඳහා නොපිහිරීම සඳහා බොහෝ සේ දියුණු කිරීම සඳහා විපුලභාවයට පත්කිරීම සඳහා භාවනාත්මකව වඩා ගැනීම සඳහා පරිපූර්ණ කැමැත්ත ඇතිකර ගනී. ඒ සඳහා වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. උත්සාහවත් වේ. ස්‌ථිරව පිහිටා සිටී. තුන්වැනි ඉන්ද්‍රිය ධර්ම මෙසේ දැක්‌වේ. 

කෆථච භික්‌ඛවේ, සති ඉන්ද්‍රියං දිට්‌ඨබ්බං? චතුසුසති පට්‌ඨානේසු

මහණෙනි, සති ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය කිනම් තැනකදී දැකිය හැකිද? සතර සති පට්‌ඨානයෙහිය.

1. කායානුපස්‌සනා

2. වේදනාපස්‌සනා

3. චිත්තානුපස්‌සනා

4. ධම්මානුපස්‌සනා වේ.

සිවුවන ඉන්ද්‍රිය ධර්ම කෙසේද?

ක‍ෙථච භික්‌ඛවේ සමාධි ඉන්ද්‍රියං දට්‌ඨබ්බං? චතුසු ඣධානේසු.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය දැකිය හැක්‌කේ කිනම් ස්‌ථානය තුළද? ධ්‍යාන හතරෙහිය.

1. පළමු ධ්‍යානය 2. දෙවැනි ධ්‍යානය

3. තෙවන ධ්‍යානය 4. සතරවන ධ්‍යානය වේ.

ඊළඟට පස්‌වන ඉන්ද්‍රිය ධර්ම පඤ්ඤ ඉන්ද්‍රියයි. 

'කෆථච භික්‌ඛවේ පඤ්ඤේන්ද්‍රියං දට්‌ඨබ්බං?' චතුසු අරිය සච්ෙච්සු ඤාණං'

මහණෙනි, පඤ්ඤා ඉන්ද්‍රිය බලය ශක්‌තිය, දැකිය හැක්‌කේ කිනම් ධර්මතාවක්‌ තුළද? චතුරාර්ය සත්‍ය ධර්මය තුළය.

චතුරාර්ය සත්‍ය ධර්මය

1. දුක්‌ඛ සත්‍යය 2. සමුදය සත්‍යය 3. නිරෝධ සත්‍යය 4. මාර්ග සත්‍යය 

මෙසේ මෙම ඉන්ද්‍රිය ධර්මවල කාර්යභාරය පැහැදිලිව සඳහන් වීමෙන් ආර්ය ශ්‍රාවකයාට තමා තුළ ඒ ධර්මතා වඩා ගැනීමටත්, වැඩි දියුණු කර ගැනීමටත් ඉමහත් පිටිවහලක්‌ සිදුවේ.

- සද්ධා ඉන්ද්‍රියෙන් සතර සෝතාපත්ති අංගද

- විරිය ඉන්ද්‍රියෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්යයද

- සති ඉන්ද්‍රියෙන් සතර සතිපට්‌ඨානයද

- සමාධි ඉන්ද්‍රියෙන් සතර ධ්‍යානංගද

පඤ්ඤා ඉන්ද්‍රියෙන් - සතර ආර්ය සත්‍යයද

ප්‍රකාශ වේ. සසරෙන් එතෙරවීමට ඉදිරියට යන ඔබට මේ ධර්මතා වැඩි තිබේදැයි විමසිලිමත් වන්න.

සත්‍ය අවබෝධ කළ උත්තමයාට වඩා සුත, මුදිත සැනසුන පුද්ගලයෙක්‌ මේ තුන් ලෝකයේ කොතනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහළවූ සියලු ආගම් දර්ශනවලින් මිනිසාගේ සදාකාලික විමුක්‌තිය සැනසිල්ල ළංකර ගත හැක්‌කේ මරණින් මතුවටය. එහෙත් සතර මග, සතර ඵල නිවන මේ භවයේදී මේ ජීවිතයේදී ලැබිය හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්‌ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. දිට්‌ඨධම්මවේදනීය ආර්ය ඵලලාභීත්වය සඳහා උත්සාහ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤