ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බුදු දහම හා මාර සංකල්පය

ශාස්ත්‍රපති, 
රාජකීය පණ්ඩිත 
මහරැඹෑවැවේ පාලිත හිමි

බුදු දහම තුළ මාරයාට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. බුදුසිරිතේ විවිධ අවස්ථාවන් වල මාරයා සම්බන්ධ වූ සිද්ධීන් බොහොමයක් ත්‍රිපිටක සාහිත්‍ය තුළ මෙන්ම අට්ඨකතා සාහිත්‍ය තුළ ද විස්තරව ඇත. බුදුදහමේ විස්තර වන මාරයා පිළිබඳ සංකල්පය මෑත කාලයේ උගතුන් අතර ද විවාදයට තුඩු දුන් කරුණකි.
ඒ පිළිබඳ වූ විස්තරයන් 1935 වර්ෂයේ, එවකට ප්‍රධාන පුවත්පතක් වූ ‘ලක්මිණි පහන’ පුවත්පතෙහි දීර්ඝ වශයෙන් විවාදයට බඳුන් වී ඇත. ඒ විවාදයට පූජ්‍යපාද පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පරවාහැර සද්ධාජීව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායක වී ඇත.
එබැවින් මේ ලිපි පෙළෙන් අප බලාපොරොත්තු වන්නේ බුදුදහමේ එන මාර සංකල්පය පිළිබඳ විවාදයකට හෝ ශාස්ත්‍රීය නිබන්ධයකට කරුණු සැපයීම නොව සාමාන්‍ය ජනයාට බුදු දහමේ සඳහන් මාර සංකල්පය පිළිබඳ යම් අවබෝධයක් හා දැනුවත් භාවයක් ලබා දීම පමණි. එහිලා අප විසින් ඉදිරිපත් කරන කරුණු සඳහා මූලාශ්‍ර කරගනු ලබන්නේ ත්‍රිපිටක සාහිත්‍ය හා අට්ඨකතා සාහිත්‍ය යන්නද සැලකුව මැනව. ලිපි පෙළක් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මාරයා පිළිබඳ වන මෙම දහම් කතිකාව කොටස් විස්සකින් පමණ සමන්විත වනු ඇත. මෙම ලිපිපෙළ අවසානයේ බුදුදහමේ සඳහන් මාර සංකල්පය පිළිබඳ යම් තීරණයක් ගැනීම හෝ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යනයක් කිරීම පාඨක ඔබට බාරවනු ඇත.

බුදුදහම හා මාර සංකල්පය නමින් පළවන මේ ලිපි පෙළේ පළමුවැන්න අප නම් කොට ඇත්තේ මාරයා යනු කවරෙක්ද? යන්න විස්තර කිරීම සඳහා ය. එබැවින් මාරයා යනු කවරෙක් ද? යන්න අප මෙතැන් සිට විමසා බලමු.
මාර යන වචනයෙන් අපව අවසන් කරන හෙවත් අපගේ දිවි කෙළවර කරන යම් බලවේගයක් හෝ කෙනෙක් පිළිබඳ නිතැතින්ම අපේ සිහියට එයි. එය තරමක් බියමුසු ස්වභාවයකි. එය මරණය වශයෙන්ද අර්ථවත් කළ හැක. මෙලොව උපන් සියලු දෙනාට උරුම වූ ධර්මතාවය මරණය යන්න සනාතන වූවකි. එය සිදුකරන්නේ යම් ධර්මතාවයක් ද? යම් බලවේගයක් ද? නැතහොත් යම් පුද්ගලයෙක් ද යන්න බොහෝ දෙනාගේ සිත්තුළ පවතින කුතුහලයකි. කෙසේ වුවත් මරණයට හෙවත් මාරයාට පුහුදුන් සියලු දෙනා තුළම බියක් ඇති බව ‘සබ්බේ භායන්ති මච්චුනො’ යන බුදුවදනින් අර්ථවත් වෙයි. එමෙන්ම මෙලොව උපන් කිසිවෙකුට මාරයාගෙන් හෙවත් මරණයෙන් මිදිය නොහැකි බව ‘න කෝචි මුඤ්චෙය්‍ය මච්චුනෝ’ යන්නෙන් පැහැදිලි වෙයි. එබැවින් මෙහි දී අප බලාපොරොත්තු වන්නේ මාර යන මේ ධර්මතාව, මේ බලවේගය හෝ මේ තැනැත්තා කවරෙක් ද? යන්න විස්තර කර ගැනීමටය. ත්‍රිපිටකයෙහි එන බොහෝ ඇතැම් සූත්‍ර වල මාරයන් පස් දෙනෙක් ගැන ද සමහර දේශනාවල මාරයන් සතර දෙනෙක් ගැන ද තවත් සමහර සූත්‍රවල මාරයන් තුන් දෙනෙක් ගැන ද විස්තර වෙයි. මාරයන්ගේ ස්වභාවයන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ත්‍රිපිටකයේ හා අටුවාවල විවිධ අර්ථකථනයන් ඇත. ඒ අනුව පළමුව මේ මාරයන් පස්දෙනා අර්ථ ගැන් වී ඇත්තේ කෙසේදැයි විමසා බලමු.
පඤ්ච මාරයන්
1. දේවපුත්තමාර - මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්තී’ නම් දෙව් ලොව පෙදෙසක අධිපතිකම් කරන අයෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නන්ට හෙවත් මරණය ජය ගැනීම සඳහා වෙහෙස වන උතුමනට සතුරුකම් කරන්නෙකි. බුදුරජාණන් වහන්සේ මොහුගේ සතුරෙක් වූයේ උන්වහන්සේ ඔහුගේ විෂය වූ මරණය ඉක්මවීම සඳහා උත්සාහ ගත් උතුමෙකු නිසාය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතෙහි මහත් මාර පිරිසක් සමඟ යුදයට පැමිණ ඇත්තේ ද මොහුය. බුදුරදුන් වසඟ කිරීම සඳහා පැමිණි තණ්හා, රතී, රගා යන මාර දූතියන් මොහුගේ දියණියන්ය. බුදුරජාණන් වහන්සේ මැරීමට අවස්ථාවක් සොයමින් සත් වසක් උන්වහන්සේ ලුහුබැඳ ඇත්තේ ද මොහුය. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි මූලයේ වජ්‍රාසනාසීනව වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මොහු උන්වහන්සේ වැඩ සිටි එම අසුන තමාගේ බව පවසමින් එයින් ඉවත්වන ලෙස බුදුරජාණන් වහන්සේට අණ කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා එන මට මේ වජ්‍රාසනය අයිතිය. එය ඔබට අයිති නැත යනුවෙන් පවසා ඒ බවට මේ මහා පෘථුවිය සාක්ෂි දරනු ඇතැයි තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය පෘථිවිය දෙසට දිගු කළේ ය. එයින් මහ පොළොව කම්පාවට පත් වූ අතර පරාජයට පත් වූ මාරයා දුර්මුඛව පළාගොස් ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයත් සමඟ මේ මාරයා පරාජය කොට ඇති බැවින් උන්වහන්සේ මාරජි, මාරාභිභු යන අන්වර්ථ නම්වලින්ද හඳුන්වයි.
2. කිලේසමාර – කිලේසමාර යන්නෙන් අර්ථවත් වන්නේ පුද්ගලයෙකු නොව සිතෙහි වන එක්දහස් පන්සියයක් පමණ වන පහත් ලාමක අකුශලයන් හෙවත් සිත කිළිටි කරන ධර්මයන් ය. සත්වයන් මැරෙමින් ඉපිදෙමින් සංසාරයේ විවිධ දුක්ඛයන්ට භාජනය වෙමින් සැරිසරන්නේ සසරට ඇලුම් කරන මේ ක්ලේෂ ධර්මයන් නිසා ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්ව ක්ලේෂයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේ ක්ලේෂ නමැති මාරයා පරාජයට පත් කොට ඇත.
3. (අහිසංකාරමාර) අහිසංකාරමාර – අහිසංකාර යනු වචනෙහි තේරුම රැස් කිරීම යන්නයි. එබැවින් සසර අප රැස් කරන කුශලාකුශල කර්මයන් අහිසංකාර යන වචනයෙන් අර්ථවත් කළ හැක. ඉපදීම සඳහා සෘජුවම බලපාන්නේ අප රැස්කරන දේවල්ය. කර්මය වශයෙන් ද එය අර්ථවත් කළ හැක. කර්ම රැස් කරන තෙක් අප මේ මරණයට යන ධර්මතාවයට යටත් ය. එබැවින් අහිසංකාර මාර යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙක් නොව නැවත ඉපදීම සඳහා අප රැස් කරන කුශලාකුශල කර්මයන් බව පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ යන මේ තුන් පිරිස නැවත ඉපදීමට හේතුවන සියලු අභිසංකාරයන් ප්‍රහීණ කළ නිසා උන්වහන්සේලාට නැවතී ඉපදීමක් නැත. ඒ බව බුදුවදනෙහි මෙසේ සඳහන් වෙයි. ‘පුඤ්ඤ පාප පහීණස්ස - නත්ථී ජාගරතෝ භයං” (පින් පව් ප්‍රහීණ කළ උතුමන්ට කෙලෙස් නින්දෙන් කිසි කළෙකත් බියක් නැත.)
4. (ඛන්ධමාර) ඛන්ධමාර – ඛන්ධ යන්නෙන් අදහස් කරන්නේ පඤ්චස් ඛන්ධයයි. එයින් අපගේ ශරීරය අර්ථවත් වෙයි. මරණය ඇති වන්නේ උප්පත්තියක් සිදුවුවහොත් පමණි. එබැවින් මේ පඤ්චස්කන්ධයන්ගේ නැවැත්ම සිදු කළ යුතු ය. පඤ්චස් ඛන්ධයන්ගේ නැවැත්ම යනු නැවත ඉපදීමක් නැතිවනු අයුරින් කටයුතු කිරීමයි. එය ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය. “ඛීණාජාති වුසිනං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථක්ථායාති පජානාති” (නැවත ඉපදීම නැති කළෙමි. බඹසර වැස නිම කළෙමි. කළයුතු සියල්ල කළෙමි. නැවත මෙහි පැමිණීමත් හෙවත් ඉපදීමක් නැත්තෙමි.) බෝසත් කුමරුවන් උපන් අවස්ථාවේ ප්‍රකාශකළ උදන් වාක්‍යයේ සඳහන් ‘අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ” යන්නෙන් ද අර්ථවත් වන්නේ එයයි.
බුද්ධත්වයෙන් පසුව කළ පළමු උදන් වාක්‍යයෙන්ද අර්ථවත් වන්නේ එයයි. “අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි - පුනාගෙහං නකාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකුඨං විසංඛීතං විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා” (මේ ආත්මභාවය නමැති ගෙය සදන වඩුවා සොයමින් මම සංසාරේ නොයෙක් ජාතිවල දිව අවිද්දෙමි. ඒ නැවත නැවත ඉපදීම දුකක් වන හෙයිනි. තෘෂ්ණා නමැති වඩුවා ඔබව දැන් මා විසින් දක්නා ලද්දේ ය. මේ ආත්මභාව නමැති ගෙය ඔබ විසින් මා උදෙසා නැවත කළ නොහැක්කේ ය. මාගේ නැවත ඉපදීම සඳහා හේතුවන ඒ පරාල නමැති ආශාවන් බිඳින ලදී. කැණි මඩල පළන ලදී. මාගේ සිත නිවනට පැමිණියේ ය.)
5. මච්චුමාර – මච්චු යන දිවි කෙළවර සිදුවන මරණයයි. එය උපන් සියලු දෙනාට පොදු වූ ධර්මතාවකි. මෙම ස්වභාවයෙන් මිදීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් බුදු, බුදු පසේ මහරහත් නික්ලේශී උතුමන් මෙන්ම පෘථග්ජන සියලු දෙනාත් මෙම ස්වභාවයට යටත් වෙති. මෙම ස්වභාවයෙන් මිදිය හැක්කේ නූපදින අයට පමණි. උපන් සියලු දෙනාම මෙම ධර්මතාවට යටත් වූවෝ වෙති.

‘මාරයා ’ දෙවියෙක්ද ?

පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත් වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත් එසේ සිදුරක් සොයා ගත නොහැකි වූ තැන බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය බුදුරදුන්ට සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම හා අවසානයේ පරාජයට පත්වී දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර සංයුත්තයට අයත් සත්තාවස්ස සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බලමු.
බුදුසරණ සහෘද පාඨකයන්ගේ දහම් දැනුම දියුණු කරනු වස් පසුගිය පසළොස්වක පොහොයෙන් ආරම්භ වුණ අපගේ නවතම ධර්ම සාකච්ඡාව බුදුදහම හා මාර සංකල්පය යන්නයි. එහි පළමුවැන්න මාරයා යනු කවරෙක්ද ? යනුවෙන් එහි පළ විය. අද නවම් අවඅටවක පොහෝ දිනයේ අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ මාරයා දෙවියෙක්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි. ඒ අනුව මේ සඳහා ත්‍රිපිටක පෙළ මෙන් අටුවා අර්ථකථනයන් ද මූලාශ්‍ර කරගනු ලැබේ.
ගියවර අපගේ දහම් සාකච්ඡාවේදී පස්මරුන් පිළිබඳ විස්තර සාකච්ඡා කළෙමු. එහිදී දේවපුත්තමාර ක්ලේශ්මාර,අහිසංස්කාරමාර, ස්කන්ධමාර හා මෘත්‍යුමාර යන මාරයන් පිළිබඳව සටහන් කළෙමු.
මේ පස්මරුන් අතුරින් දේවපුත්තමාර හැර සෙසු සිව් දෙනා පුද්ගලයන් නොවන බව ඒ ඒ වචන වලින්ම පැහැදිලි වෙයි. දේවපුත්ත යන වචනයෙන් මාරයා දිව්‍ය පුත්‍රයෙක් බව අටුවාවවල සඳහන් වෙයි. එහෙත් පෙළ දහමෙහි බොහෝ සූත්‍රවල මාරයා හඳුන්වා ඇත්තේ “මාරො පාපිමා’ යන වචනයෙනි. එයින් මාරයා යන්නට පාපිමා යන විශේෂ පදය ද යොදා ඇති බව පෙනේ. එහි අදහස පවිටු හෙවත් පවට බර යන්නයි. එහිදී මාරයා දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් හඳුන්වා ඇති බවක් පෙනෙන්නට නැත. අනිත් කාරණය නම් පෙළ දහමෙහි මාරයා හැඳින්වීම සඳහා යොදා ඇති වචනය මාරො ‘පාපිමා’ යනුවෙන් ඒක වචනයෙන් පමණක් යෙදී තිබීමයි. එය පෙළෙහි බහු වචනයෙන් යෙදී නැත. එහෙත් අටුවාවල ‘මාරා’ යනුවෙන් බහු වචනයෙන් යෙදුන අවස්ථා බොහෝමයක් දක්නට ඇත.
අටුවාවල සඳහන් අනිත් කාරණය නම් මාරයන්ගේ ප්‍රමාණයන්ද විවිධත්වයකින් දක්වා තිබීමයි. දීඝනිකායෙහි එන මහාගෝවින්ද සූත්‍ර වර්ණනාවෙහි එනම් සුමංගල විලාසිනියෙහි මාරයන් තිදෙනෙක් ඇති බවත් ඒ මාරයන් තිදෙනා බෝ මැඩ දී පරාජය කරමින් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බව විස්තර කරයි. (බෝධිපල්ලංකේ තිණ්නං මාරානං භින්දිත්වා පටිවිද්ධි අසාධාරණ ඤාණෝ) නිද්දේසයෙහි එන ගුහට්ඨක සූත්‍ර වර්ණනාවේදී මාරයන් සිව් දෙනෙක් ගැන සඳහන් වන්නේ මෙසේය. (චතුත්ªතං මාරානං මත්ථකං මද්දිත්වා ) යනුවෙනි.
අප ගියවර සාකච්ඡාවෙන් පැවසූ පරිදි දේවපුත්තමාර නමින් හඳුන්වන මොහු සදෙව් ලෝකයන් අතර එන ‘වසවර්ති’ නම් දෙව් ලොව පෙදෙසක අධිපති කම කරන අයෙකි. එහෙත් පෙළ සාහිත්‍යයෙහි ඔහු වාසය කරන ස්ථානයක් ගැන හෝ ඔහු දෙව් ලොව වැසියෙක් ලෙස හෝ අර්ථවත් නොවේ. එහෙත් ඔහුගෙන් බුදුරදුන්ට මෙන්ම තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ද විවිධ අභියෝග, හිරිහැර, කරදර සිදුවු අවස්ථාවන් සංයුත්ත නිකායෙහි එන සත්තවස්ස සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ එන මාරකජ්ජනීය සූත්‍රය හා සංයුත්ත නිකායෙහිම එන භික්ඛුණි සංයුත්තයට අයත් වජිරා සූත්‍රයෙන්ද පැහැදිලි වෙයි.
පාපි වූ මාරයා බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සිදුරක් සොයා සත් වසක්ම උන්වහන්සේ පසුපස ලුහුබැඳි බවත් එසේ සිදුරක් සොයා ගත නොහැකි වූ තැන බුදුරජාණන් වහන්සේ හමුවී උන්වහන්සේට අභියෝග කළ ආකාරය බුදුරදුන්ට සෙසු සත්වයන්ගේ විමුක්තිය උදෙසා දහම් නොදෙසන්න යැයි පැවසීම හා අවසානයේ පරාජයට පත්වී දුර්මුඛව ගිය ආකාරය ඉහතින් සදහන් කළ සංයුත්ත නිකායේ මාර සංයුත්තයට අයත් සත්තාවස්ස සූත්‍රයේ සඳහන් වන අයුරු විමසා බලමු.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර අජපල් නුගරුක මුල වසන සේක. එකල වනාහි පාපී වූ මාරයා සිදුරක් දක්නා කැමැත්තේ එහෙත් සිදුරක් දක්නට නොලැබනුයේ සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැන්දේය. ඉක්බිති දිනක් ඒ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ බුදුරජාණන් වහන්සේට මෙසේ කීය.
පවිටු මාරයා 
ඔබ ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතයිද? ධනයෙන් පැරදුණෙහිද? නැතහොත් ඒ පරදින දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද ?

භාග්‍යවතුන් වහන්සේ 
පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා නිවැරදිව ශෝක නොකෙරෙමින් , ධ්‍යානයෙහි යෙදී ඉඳිමි, භවලෝකයයි කියනලද සියලු තෘෂ්ණාව සිඳ දමා , ආශාව නැත්තේ ධ්‍යානයෙහි යෙදී සිටිමි.

පවිටු මාරයා 
මෙය මගේයැයි යමක් ගැන කියන්නම්,මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියන්නම්, මෙකී තන්හි ඒකාන්තයෙන් ඔබගේ සිත බැදී ඇත. එබැවින් මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.

භාග්‍යවතුන් වහන්සේ 
යමෙක් මගේයැයි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් ඔබ නොදක්නෙහිය.

පවිටු මාරයා 
ඉදින් ඔබ බියක් නැති, නිවනට යන මග අවබෝධ කළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න,අන් අයහට කුමට අනුශාසනා කෙරෙහිද?

භාග්‍යවතුන් වහන්සේ 
පරතෙර යනු කැමැති නිවන් දකිනු කැමැති, යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා අතින් විචාරත්, ඔවුන් විසින් චීවාරනු ලැබූ මම , යමක් සියලු කෙලෙස් රහිතනම් ඒ නිවන ඔවුන්ට කියමි.

පවිටු මාරයා 
ස්වාමීනි, ගමෙක හා නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හී ඒ නියම් ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනකෙද එතැනට පැමිණෙන්නාහුනම්, එසේ පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම්යම් අඬුවක් ඉදිරියට යොමු කරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම් සේ සිඳ දමන්නාහුද. යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණූ බිඳුණූ, කැබැලිවී ගිය අඬුවලින් යළිත් ඒ පොකුණට පෙර මෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. සුණුවිසුණූ කරන ලදී. ස්වාමීනි, සිදුරු සොයන අපේක්ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන්නට දැන් මම නොහැකියෙක්මි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීය.

ඉක්බිති පාපි මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි තම කළකිරීම හඟවමින් මෙසේ කීය.
කවුඩෙක් මේද, තෙල් පාට ඇති ගලක් දැක, මෙහි මොළොක් බවද විඳ ගන්නෙමි නම් ඉතා මැනවි. රස විඳ ගන්නෙමි නම් ඉතා මැනවියැයි සිතා ඒ හාත් පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිදු රස විඳීමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැනීමක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ, යනුවෙන් පැවසීය”
ඉනික්බිති ඒ පාපි මාරයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරීම හඟවන ප්‍රකාශය කරමින් එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව තෙද නැතිව. කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින් කිසිත් වටහාගත නොහැකිව ලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.

සුභාසිතා ච යා වාචා එතං මංගල මුත්තමං

බුදුරජාණන් වහන්සේ නිබඳව ම ලොවට ඉගැන්වූයේ දුර්භාෂණයෙන් වැළකීමට ය. සුභාෂණයෙහි යෙදීමටය. මේ වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි තෙවැනි අංගය ලෙස දක්වන ලද සම්‍යග් වචනයයි. නිවැරදි යහපත් කතාබහයි. එසේම සතර සංග්‍රහ වස්තුවෙහි දෙවැනි ව දක්වන ලද පි‍්‍රය වචනයයි. ප්‍රියවාදී බවයි. එය මංගල කරුණක් ද වේ. සම්මා වාචා යන්න පැහැදිලි කරන බුදුදහම මුසාවාදයෙන් වැළකීම, පිසුණු බසින් ( කේලාම් කීමෙන්) වැළකීම, පරුස වචනයෙන් (රළු වදනින්) වැළකීම හා අරුත් සුන් (හිස් වචනයෙන්) වැළකීම එයින් අදහස් වන බව උගන්වයි. ඉපැරණි සූත්‍රාන්තයන් රැසක ම මෙකී සාවද්‍ය භාෂණයන්ගෙන් වැළකීමත් නිරවද්‍ය වූ සුභාෂණයත් ඉතා පැහැදිලි ලෙස විස්තර කොට තිබේ.
බොරු කීම දුරලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියන සුළු ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු ව පිහිටි කතා ඇත්තේ ය. ඇදහිය යුතු කතා ඇත්තේ ය. ලොව නොරවටන්නේ ය. කේලාම් කීම් දුරලා, කේලාම් කීමෙන් වැළැක්කේ වෙයි. මෙතැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතැන්හි නොකියයි. එතැනින් අසා ඔවුන් ( මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතැන නොකියයි. රළු කථා බස් දුරලා, රළු බස් දෙඩීමෙන් වැළැක්කේ වෙයි. නිදොස් වූ ද, කනට මිහිරි වූ ද, පෙම් වඩනසුලු වූ ද, සිත් ඇදගන්නා වූ ද, ග්‍රාම්‍ය බවින් තොර (දියුණු) බොහෝ කොට පි‍්‍රය, මන වඩන යම් වදනෙක් වේ ද එබඳු වූ වදන් කියන්නේ ය. හිස් බොල් දෙඩවිලි හැර දමා, බොල් (නිසරු) දෙඩවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කල්හි කතා කරන්නේ ය. සත්‍යය ම කියන්නේ ය. වැඩ සලසන බස් ම කියයි. දැහැමි වචන ම කියයි. හික්මීමට තුඩු දෙන, සිත්හි තබාගන්නට සුදුසු, සකාරණ වූ, ඉමක් කොණක් ඇති, දෙලෝ වැඩදායක වචන ම කල් දැන කියයි. මෙසේ වාග් සංචරය, සම්මා භාෂණය යනු තුණ්හීභාවය (නිහඬව සිටීම) ද නොවේ. බහු භාෂණය (බොහෝ කොට කතා කිරීම) ද නොවේ. දුර්භාෂණයෙන් (අපි‍්‍රය වූ අවැඩදායක වූ කතා කිරීමෙන්) වැළකීමයි. සුභාෂණයයි. බුදුරජාණන් වහන්සේ වූ කලී නිබඳව ම පි‍්‍රයවාදී ව, මිහිරි වදනින් කථාබස් කළ උතුමෙකි. වතක් මෙන් නිහඬකම පිරූ ශාස්තෘවරයෙක් නොවේ. කවරෙකු සමඟ වුව ද සිත් ඇදගන්නා පරිදි පිළිසඳරෙහි යෙදීම උන්වහන්සේගේ ප්‍රසන්න පැවැත්මෙහි ලකුණක් විය. හමුවට එන්නවුන් හා සතුටින් කතා බස් කිරීම (සම්මෝදනීයං කථං) සිහි කටයුතු කතා බහ (සාරාණීයං කථං) නොවේ නම් ප්‍රසන්න පිළිසඳර පැවැත්වීම බුදුරදුන්ගේ සාමාන්‍ය පිළිවෙත වූ බව සූත්‍රාන්තයන්හි නිතර සඳහන් වේ. ධර්ම සාකච්ඡාව ඇරඹෙනුයේ ඉන් පසුවයි. වාදයෙන් වාදයට ශ්‍රමණ භවත් ගෞතමයන් වෙහෙසට පත්කර පරදවමු’යි කල් ඇති ව සකසා ගත් ප්‍රශ්න ද ඇති ව ඇතැම් පඬිවරු බුදුරදුන් හමුවූහ. එහෙත් එබන්දන් සමඟ ද උන්වහන්සේ තුටු පහටු වදනින් කතා බස් කළහ. දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටට පත් කළහ. ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට අසමත්වූහ. සෝණ දණ්ඩ නම් උගත් වයෝවෘද්ධ බමුණු තෙමේ සිය පිරිසට බුදුරදුන් ගැන කියමින් වෙසෙසින් ම උන්වහන්සේගේ පි‍්‍රයවාදීත්වය, මිතභාණී බව වර්ණනා කළේ ය. ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ, ‘එන්න මෙහි එන්නැ’යි හමුවට එන්නවුන් ඉතා සතුටින් උණුසුම් ව පිළිගනිති. කනට සුව දෙන මිහිරි වදන් ඇත්තේ ය. පි‍්‍රයමනාප ව පිළිසඳරෙහි සතුටු සාමිචියෙහි යෙදීමට දක්ෂ ය. රළු වු බැම හකුළුවන (ගොරෝසු) මුහුණු නැත්තේ ය. කරුණු සහිතව සවිස්තරව කතා කරති. හමුවට එන්නවුන් හා තෙමේ පළමු ව කතා කරන සුලු ය. තව ද, ඒ බුදුරජාණන් වහන්සේ මිහිරි යහපත් වචන ඇතියහ. මනා ව කරුණු පැහැදිලි කරන සුළු ය. නොගැමි වූ දියුණු වචන ඇත්තෝ ය. පිළිගත හැකි දෙය ම පවසති. කෙලතොලු නොවෙති. මැනවින් අරුත් හෙළි කරන මටසිලිටි වදන් ඇත්තේ ය. බුදුරදුන්ගේ මේ මිහිරි පැහැදිලි සවිස්තර භාෂණ සංයුත්ත නිකායේ සුදත්ත සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ චූල ගොසිංහ සූත්‍රය ආදී තවත් බොහෝ තැන්වල ද දැකගත හැකිය.
‘තථාගත තෙමේ අනුනට අපි‍්‍රය අමනාප බස් තපලන්නේ දැයි විටෙක නිඝණ්ඨනාථ පුත්තයන්ගේ ශ්‍රාවකයකු වූ අභයරාජ කුමරු විසින් බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. කුමරුවෙනි. එය ඒකාන්ත කොට (එක එල්ලේ) කිව නොහැකි යැයි බුදුහු පිළිතුරු දුන්හ. මේ අවස්ථාවේ දී කුඩා බිලිඳෙකු අභයරාජ කුමරුගේ ඇකයෙහි විය. බුදුහු මෙසේ ඇසූහ. කුමරුනි, ඔබ ඇකයෙහි සිටින කුමරු යම් විටෙක ඔබගේ හෝ කිරි මවගේ ප්‍රමාදයකින්, කෝටුවක්, කැට කැබිලිත්තක් මුවෙහි දමා උගුරේ හිරකර ගතහොත් කුමක් කරන්නේද?
ස්වාමීනි, මම එය ඉවතට ඇද දමමි. එකවර ඇද දැමිය නොහැකි නම් දරුවාගේ හිස වමතින් තදින් අල්ලාගෙන දකුණත ඇඟිල්ලක් ඔහුගේ මුවට දමා ලේ සහිතව හෝ එය ඉවතට ඇද දමමි. (දරුවාට වේදනා ඇති වෙද්දීම, ඔහු නොකැමැත්තෙන් ම එසේ කරමි) එසේ කරන්නේ දරුවා ගැන අනුකම්පාවෙනි. ඔහුට සිදුවන යහපත සලකා ගෙනයැ’යි අභයරාජ පිළිතුරු දුන්නේ ය.
කුමරුනි, මැනවි, ඔබ එසේ බිලිඳා කෙරෙහි අනුකම්පාවෙන් ආදර කරුණාවෙන් කටයුතු කරන්නාක් මෙන් ම තථාගතයන් වහන්සේ ද සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව සැලසෙන පරිදි වචන භාවිත කරන්නාහ. මේ අනුව සත්‍ය වුව ද, අර්ථවත් වුව ද, පි‍්‍රයමනාප වුව ද බුදුරජාණන් වහන්සේ අනුනට අනර්ථදායක වූ වචන ප්‍රකාශ කරන්නේ නැත. එසේ ම අනුනට අපි‍්‍රය අමනාප වුව ද වැඩදායක වන්නේනම් උන්වහන්සේ සත්‍ය වූ අර්ථවත් වූ එබඳු වචන ප්‍රකාශ කරන්නාහ. මෙසේ බුදුරදුන් දුන් ආදර්ශය හා අවවාදය වූයේ අර්ථශූන්‍ය තුණ්හිභාවය හෝ බහු භාෂණය නොවේ. දුර්භාෂණයෙන් වැළකීමයි. සුභාෂණයෙහි යෙදීමයි.
භාෂණය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව එය පස් ආකාර වෙයි. හෙවත් වචන පථයෝ පඤ්චවිධ වෙති. කාලෙන – අකාලෙන, භුතෙන, සණ්හෙන – ඵරුසෙන, අත්ථසංහිතෙන – අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන දෙසන්තරෙන යනුවෙනි. වඩාත් පැහැදිලි ව එම ආකාර පස මෙසේ දැක්විය හැකි ය.
1. අවස්ථාවට, කාලයට සුදුසු පරිදි කරනු ලබන භාෂණය හා නුසුදුසු ලෙස කරන භාෂණය.
2. ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ වන භාෂණය හා එසේ නොවන භාෂණය.
3. මොලොක්, මටසිලිටි භාෂණය හා රළු ගොරෝසු භාෂණය.
4. අර්ථවත් ලෙස කරන භාෂණය හා අනර්ථකාරී භාෂණය.
5. මෙත් සිතින් කරනු ලබන භාෂණය හා ද්වේශයෙන් කරන භාෂණය. කෙනෙකු මින් කවරාකාරයකින් හෝ කථා බස් කරන කල්හි සිත පෙරළා නොගත යුතු ය. ලාමක වූ ප්‍රතිවචන නොකිව යුතු ය. මෙත් සිතින් ම ක්‍රියා කළ යුතු යැයි අවවාද කෙරේ. මෙහි දී අසන්නාට පලදායක වන පරිදි කතා බස් කළ යුතු බව ද, කලට නොගැළපෙන, අසත්‍ය වූ, රළු වූ, අනර්ථකාරී වූ අන්දමින් කතා බස් නොකළ යුතු බව ද සැළකිය යුතු ය. භාෂාව නිසි ලෙස භාවිත කිරීමට, එමඟින් වඩාත් පැහැදිලි ව අර්ථ ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේ වෙත පැවතියේ අපූර්ව හැකියාවකි. උපාලි ගෘහපති ජෛන ශ්‍රාවකයෙකි. බුදුරදුන් හමු වූ හෙතෙම කර්ම විපාක පිළිබඳ ව දිගින් දිගට ම උන්වහන්සේගෙන් කරුණු විමසුවේ ය. උන්වහන්සේ ද නැවත නැවතත් උපමා උදාහරණ දෙමින් දහම් දෙසූහ. ඔබ නැවත නැවතත් විමසන්නේ ඇයි දැයි අවසානයේ දී බුදුරදුන් උපාලි ගෘහපති වෙතින් ඇසූ විට ඔහු දුන් පිළිතුර, “වහන්ස, මම පළමු උපමාවෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණයෙහි සතුටු සිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණයන් අසනු කැමති වැ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කිව යුතු යැයි සිතීමි” යන්නයි.

සියල්ල කර්මයෙන් සිදු නොවේ

සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි.
ලෝකය හා සත්වයාගේ පැවැත්ම, නිර්මාණය හා විනාශය පිළිබඳ මතවාදී ඉතිහාසය මානව සමාජය තරම්ම පැරැණිය. මේ සඳහා පිළිතුරු වශයෙන් ඊශ්වර නිර්මාණවාදය (දේවනිර්මාණය) අහේතු අප්පච්චය වාදය, පුබ්බෙකත හේතු වාදය, නියතිවාදය වැනි අර්ථ දැක්වීම් රැසක් ඉදිරිපත් වී ඇත. මේ සියලු මතවාද බැහැර කළ බුදුසමයෙන් ඉදිරිපත් කෙරෙනුයේ ප්‍රතීත්‍යසමුත්පන්න (පටිච්ච සමුප්පන්න) දර්ශනයයි. ලෝකය හා සත්ත්වයා පිළිබඳව කරන ලද ආර්ය පර්යේෂණයකින් අනතුරුව ඉදිරිපත් කෙරුණු මෙම දර්ශනයේ එක් පැතිකඩක් ලෙස පංචනියාම ධර්ම විස්තරය දැක්වේ.
ධම්මසංගණී ප්‍රකරණයට ලියූ අක්ථසාලිනී අටුවාවේ ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන නියාම ධර්ම පහ මෙසේ නම් කර ඇත.
1. බීජ නියාමය
2. උතු නියාමය
3. කම්ම නියාමය
4. ධම්ම නියාමය
5. චිත්ත නියාමය
තනිවම මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගයෙන් ද ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම නියාම ධර්මයන්ට ඇත. බීජ, උතු හා ධම්ම යන නියාමයන් ස්වභාව ධර්මයෙහි ඇතුළත් භෞතික නියමයන් වේ. කම්ම හා චිත්ත යන නියාම දෙක පුද්ගල අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක මානසික නියමයන් වේ. භෞතික නියමයන්ගේ බලපෑම පුද්ගලයාටත් පුද්ගල මානසික නියමයන්ගේ බලපෑම භෞතික පරිසරයටත් නොමදව ලැබේ. බීජ නියාමයට අනුව ශාක හා සත්ව බීජයන්ගේ ඵලෝත්පාදනය සිදුවූවත්, එය නිසි අයුරින් සිදුවීමට උතුනියාමයේ සහයෝගය අවශ්‍ය ය. සාරවත් පොල් ගසක් බිහි කිරීමේ ශක්තිය පිරි පොල් ගෙඩියක් පැළවන මොහොතේ වියළි කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් බීජයේ පැවති ශක්තීන් ක්‍ෂයවී ගොස් කේඩෑරි වී ගිය පොල්ගසක් නිර්මාණය විය හැකි ය. දානාදී පින්කම් කළ පුණ්‍යවන්තයන්ට පවා දුර්භික්‍ෂ කාලයන්හි ආහාරපාන නොලැබී යෑම් සිදුවිය හැකි ය. උණුසුම් පරිසරයක් තිබූ හෙයින් රහත්වීමේ හේතු සම්පත් (පුණ්‍යබීජ මුහුකුරා ගොස්) ඇතිව සිටි තෙරවරුන් රැසක් රහත් නොවූ අයුරු ථෙරගාථාට්ඨකථාවේ කියැවේ. වර්ෂාව ලැබ කාය දාහය සන් සිඳී ගිය මොහොතෙහිම උන්වහන්සේලා රහත්වූහ. මෙසේ නුවණැස මෙහෙයවා කරුණු විමසීමේ දී පංචනියාම ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සහයෝගී පැවැත්මෙහි අවශ්‍යතාව වඩාත් තේරුම් ගත හැකි ය.
01. බීජ නියාමය
ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.
බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.
සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්‍ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි.
2. උතු නියාමය
වෛදික ජනයා පර්ජන්‍ය, මරුත් අග්නි ආදී දෙවියන් ලෙස සැලකූ තත්ත්වයන් උතු නියාමය නිසා සිදුවන බව බුද්ධිමත්ව විමසා බැලූ විට පැහැදිලි වේ. සෘතූන්ගේ විකාශනය වීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ මුල සිට කරුණු දැක්වේ. මතු සිදුවන සෘතු විපර්යාස පිළිබඳව සප්ත සුරියුග්ගමන සූත්‍රයේ දැක්වේ. සෘතූන්ගේ පැවැත්මට මුල්වනුයේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නොව හිරු හා සඳු බව මිලින්දපඤ්හයේ කියැවේ. වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම උතුනියාමයෙන් සිදුවන ;ද් ය. පෘථිවියේ ජීව අජීව වස්තූන්ගේ නිර්මාණයට සෘතු නියාමය නිරන්තයෙන් බලපායි. රූප උපදවන හේතු සතරින් එකක් ලෙස අභිධර්මයේ ‘සෘතුජ’ හේතුව දැක්වේ. රූපයේ ලහුබව, මෘදු බව හා කර්මණ්‍ය බවද වර්ෂාව, බීජ ප්‍රරෝහණය, පෘථිවියේ ගන්ධය, කඳු, ශිඛර පර්වත, පැළෑටි නිල්වන් වීම, සමුද්‍රය ජලයෙන් පිරී තිබීම උතු නියාමයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවේ. උතුපරිණාමයෙන් ඇතිවන ආබාධ ද ඇති බව ගිරිමානන්ද සූත්‍රයේ කියැවේ. (උතු පරිණාමජා ආබාධ)
3. කම්ම නියාමය
සත්ත්වයාගේ හොඳ නරක හැසිරීම් අනුව ක්‍රියාත්මක වන නිෂ්පුද්ගල ධර්මතාවක් වන ‘සෘතය’ පිළිබඳ අදහස් වෛදික සාහිත්‍යයේ ඇත. ඊට වඩා වෙනස් වූ මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීමක් ලෙස බෞද්ධ කම්ම නියාමය විග්‍රහ වේ. චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු ලෙස ද කර්ම නියාමය දැක්වේ. බීජ නියාම, උතු නියාම සම්පූර්ණ වූත් කර්මානුරූපව පැමිණි ගන්ධබ්බයකු නැතිනම් කලලය විනාශය වී යන බව මහා තණ්හා සංඛය සූත්‍ර විග්‍රහයේ දැක්වේ. කර්මය පුනර්භවයට හේතු වේ. කර්ම නියාමයේ පැවැත්ම සිතට පමණක් ගෝචර වේ. සත්වයන් අතර විවිධත්වයක් ඇති කරනුයේ කර්මයෙනි. එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි. උස් මහත් ලොකු පොඩි භේද සමාජයේ පවතිනුයේ කර්මය හේතුවෙනි. රහතන් වහන්සේ කර්මක්‍ෂය කොට සසර ගමන නවතන සේක. ඇතැම් ආබාධ පූර්ව කර්මයෙන් ඇතිවේ. (කම්ම විපාකජා ආබාධා)
4. ධම්ම නියාමය
සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ.
ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්‍රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ යද ධම්ම නියාමට අයත් වේ.
ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.
5. චිත්ත නියාමය
මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක් ලෙස චිත්ත නියාමය දැක්වේ. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්‍රහයේ කියැවේ. (ආරම්මණං චිත්තෙති චිත්තං) වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ උපමාවක් පවා පැවසීම දුෂ්කර බව බුද්ධදේශනාවේ එයි. ඉතා දුරගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. (චිත්තානු පරිවත්තිනො ධම්මා) යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත තම සතුරාටත් වඩා විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි.සත්ව උපතට ද චිත්තයක පැවැත්ම අවශ්‍ය වේ. සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපගේ භෞතික ශරීරය පවතී. තරහ සිතක් ඇති වූ විට අපේ ශරීරය ද විපර්යාසයට පත් වේ. (මනොපුබ්බංගමා ධම්මා) සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ජීව අජීව පරිසරයේ පැවැත්මට සෘජුවම බලපානු ලැබේ. එනිසා ලෝකය සිතින් පැවැත්වෙන බවත්, සිතින් පරිකර්ෂණය වන බවත් බුදුහු දෙසූහ. (චිතෙන නීයතී ලොකෝ චිත්තේන පරිකස්සතී.)
මේඅනුව සියල්ල කර්මයෙන් සිදුවේය යන පුබ්බේකත හේතුවාදී මතය අනාථ වේ. පංචනියාම ධර්ම විවරණයේ කර්මය එක් නියාම ධර්මයක් පමණකි.
මෙම නියාම ධර්ම පහ මැනවින් තේරුම් ගැනීම, ලෝකය පිළිබඳ යථාර්ථය දැකීමයි. නියාම ධර්ම අවබෝධයෙන් ලෝකය හඳුනා ගත්විට ආත්මීය හැඟීම් (මමත්වය) දුරුකොට සියලු බැඳීම් හා දෘෂ්ටි වලින් මිදුණු මනසක් අපට ඇති කර ගත හැකි ය. (සචිත්ත පරියොදපනං - එතං බුද්ධානුසාසනං) ඒ ශක්තිය ඔබ සැමට ලැබේවා!
ත්‍රිපිටකාචාර්ය, රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති
හත්තොටුවේ ඉන්දරතන හිමි

වෙනස් වන දේ නො වෙනස් වේවායි ප්‍රාර්ථනා කුමට. . .

පිටිගල 
ගුණරතන හිමි

ධර්මතාවය කියන්නේ වෙනස් කිරීමට පුළුවන් දෙයක් නොවේ. අප ලෝකය ධර්මතාව වෙනස් කරන්නයි ප්‍රාර්ථනා කරන්නේ. ක්ෂයවන දෙය වෙනස් නොවේවා, වෙනස්වන දෙයට මම, මගේ, මගේ ආත්මය කියාගෙන, හිතාගෙන එය එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. වෙනස්වන ධර්මයක්, නැසෙන ධර්මයක් වහා වෙනස් වෙනවා. එය නො වෙනස් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ වැරැදි තැනක පිහිටා සිටින මේ වැරැදි ප්‍රාර්ථනා කවදාවත්ම ඉටු කර ගන්නට ලැබෙන්නේ නැහැ. මේවාට කියනවා ‘අලබ්බනීය ධර්ම’ කියා. නො ලැබෙන ධර්ම.
දිරන දෙයක් නො දිරාවා කියා ලෙඩවන දෙයක් ලෙඩ නොවේවා, මැරෙන දෙයක් නොමැරේවා, ක්ෂයවන දෙයක් ක්ෂය නොවේවා, වෙනස් වන දෙයක් වෙනස් නොවේවා කියා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නමුත් එය කවදාවත් ඉටු නොවන ධර්මතාවයක්. ඔය ක්ෂයවීමෙන,් වෙනස්වීමෙන් පැමිණි ශෝක පරිදේවදුක්ඛදෝමනස්ස උපායාස ආදී වශයෙන් යම් දුකක් අත් වින්ඳානම්, අත් විඳිනවානම් ඔබ අත් විඳින්නේ ඒ වැරැදි තැනක කළ වැරැදි ප්‍රාර්ථනාව නිසායි. අප වැරැදි තැනක වැරැදි ප්‍රාර්ථනාවක් කළේ වැරැදි තැන නො දන්නා නිසා. ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය ධර්මය, වය ධර්මය කියන මේ ධර්මතාවය නොදන්නා නිසා. අප දුක පිළිසිඳ දකිනවා කියන විට මෙතැනටයි එන්නේ. එතැන අපේ අවබෝධය නොවේ. අප අම්මාට, තාත්තාට කැමැතියි. දුව, පුතා, ස්වාමියා, බිරිඳට අප කැමැතියි. ඒ අය අපට සොඳුරු පි‍්‍රයමනාප වස්තු. සැප ගෙනදෙන වස්තු. හැබැයි අප මොන මොන සොඳුරු බවකින්, පි‍්‍රය මනාප ලෙස ඒ දෙස බැලුවත්, එය බාර ගත්තත්, වෙනස් කරන්න බැරි ධර්මතා ටිකක් ඒ සමඟ යෙදී තිබෙනවා. අප දුව, පුතා, අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ රන්, රිදි, මුතු , මැණික් වලට සොඳුරු නමක් යොදාගෙන තිබුණත් සොඳුරුව අපට පෙනුනත් එම දේ තුළ නො පෙනෙන අර ධර්මතා පහ රැඳිලා තිබෙනවා. හරියට කිවුවොත් ජරා, ව්‍යාධි, මරණ, කය, වය ධර්යට තමා අප අම්මා, තාත්තා කියා කියන්නේ. ස්වාමියා, බිිරිඳ, දුව, පුතා කියා නම් කර තිබෙන්නේ. තව තවත් ලෝකයේ සොඳුරු නාම ඇත්නම් ඒ හැම නමකින්ම හඳුන්වා තිබෙන්නේ මේි ධර්මතා පහයි. එහෙනම් මේ ධර්මතා පහ මොන මොන නම් වලින් නම් කළත්, මොන මොන සොඳුරුවලට දැක්කත් ධර්මතාවයක් කියන්නේ වෙනස් කරන්නට බැරි එකක්. ඒක ඒකාන්තයෙන්ම දුකක්. මේ ධර්මතා පහට සොඳුරු නමකින් නම් කළාට සොඳුරු බවකින් දැක්කාට අර ධර්මතා පහ වෙනස් කරන්න බැහැ.
මේ කොයි දේ ගත්තත් අරගෙන තිබෙන්නේ අර ධර්මතා ටික නම්, ඒ සොඳුරු ලෙස ගත් දේ තුළ කලින් කල වරින් වර ධර්මතා මතුවෙන්න පටන් ගන්නවා. ඒ ධර්මතා ප්‍රකට වෙන්න ගන්නවා. එවිට ධර්මතාවයක් නොවේ අපට ලැබෙන්නේ. පුතා ලෙඩවෙලා, අම්ම තාත්තා ලෙඩවෙලා. මම ලෙඩ වෙලා. ලෙඩවීම මම, ලෙඩවීම මගේ. අම්මා, තාත්තා, දුව, පුතා දිරනවා. මම දිරීමකට ලක්වෙනවා. දිරවීම මම වෙලා. දිරීම මගේ වෙලා. අර ලෝක ධර්මතාවයේ මගේ කර ගත්තා. මරණය ධර්මතාවයක්. නමුත් මැරෙන්නේ අම්මා, තාත්තා, බිරිඳ, දුව, පුතා. මරණය මම වෙනවා. මගේ වෙනවා. ක්ෂයවීම වෙනස්වීම මම හෝ මගේ. එවිට දිරීම මම, මගේ, වනවිට ලෙඩවීම මරණය වෙනස්වීම මම, මගේ වෙනවානම් මම දුක් විඳින්න ඕන. ඒ දුකටයි මම, මගේ කියා කියන්නේ. දුකයි මගේ කියා අරගෙන තිබෙන්නේ. ඒ දුක මට උරුමයි. එය ස්වභාවිකයි.
හැබැයි මේ දුක අපට ඇවිත් තිබෙන්නේ දුකේ යථාර්ථය නො දන්නාකම නිසා. මේ සනාතනික ධර්මතාවය වෙනස්කළ නොහැකි වෙනස් නොවෙන ධර්මතාවයන්ගෙන් යුක්තයි කියා නුවණින් යම් කෙනෙකුට දැනුණොත් ඔහු දුක දන්නවා. දුක දකිනවා. දුක දන්න නිසා, දුක දකින නිසා දුක මම, මගේ කරගන්නේ නැහැ. ඔහුට පුළුවන්කම තිබෙනවා මේ ලෝකය තුළ දුකෙන් මිදිලා ඉන්න. අර ජරා, ව්‍යධි, මරණ, කය, වය ධර්මයන් තියෙයි. බුදු සිරුරත් දිරාපත් වුණා. ලෙඩ වුණා. හැබැයි උන්වහන්සේලා ජරාව, ව්‍යාධිය, මරණය, කය, වය කියන ධර්මතා ,ධර්මතා ලෙසම දැක තිබුණ නිසා දුක මගේ කරගෙන වින්ඳේ නැහැ. උන්වහන්සේලා දුකෙන් මිදිලා හිටියා. අපටත් උන්වහන්සේ පෙන්වා දුන් ඒ දුකෙන්, කඳුළු හලන දුකෙන් මේ ජීවිතයේදීම මිදෙන්න පුළුවන්. අපට දැක ගන්න, දැන ගන්න වෙනවා අප සොඳුරුයි කියන හැම දෙයක් තුළම නො පෙනෙන ධර්මතා පහක් සැඟව සොඳුරු බවින් වැසී ඇති බව.
අප දන්නවා පළැගැටියා කියන සතා ගිනි දැල්ලට හරි ආදරෙයි. ගිනි දැල්ලේ සැප ඇතැයි කියා හිතන සතෙක්. ගිනි දැල්ලේ සැප ලබන්න ගිනි දැල්ලට පියාඹාගෙන එන සතෙක්. අප බොහෝ වාරවල මේ අත්දැකීම ලබල තිබෙනවා. පළගැටියාට පහන් දැල්ල සොඳුරුයි. ඒ පහන් දැල්ල පෙනෙන්නේ සැප ඇති තැනක් ලෙසයි. දුකට අකැමැති සැපයට කැමැති පළගැටියාට තේරෙන්නේ නැහැ ගිනි දැල්ල නපුරුයි, රළුයි ළංවුණොත් දැවෙනවා කියා. පිළිස්සෙනවා, දුක උපදිනවා කියන ඇත්ත දන්නවානම්, පළගැටියා කවදාවත් පහන් දැල්ලට ළඟට එන්නේ නැහැ. පහන් දැල්ලේ ඇත්ත තමා ළංවුණොත් දවන තවන පුළුස්සන බව. සැප කැමැති පළගැටියා සැපත හොයාගෙනයි පහන් දැල්ලට ළංවෙන්නේ. එවිට අත්වන ඉරණම අප දැක තිබෙනවා. අකැමැතිම අමිහිරි මරණයේ දුක පැළගැටියාට අත්විඳින්න වුණා. දැන් පළගැටියා පහන් දැල්ල දැක්කේ යම්සේද ඔබ, මම මේ ලෝකය සොඳුරුයැයි මධුර, පි‍්‍රයමනාප බවකින් සජීවි අජීවි යමක් දකිනම් ඒ දැක්ක දෙයද ඒ හා සමාන වෙනවා. පළගැටියා ගිනි දැල්ල දකින්නේ යම් සේද, ඔබ දකින ලෝකයත් එබඳුයි. සැපත සොයාගෙන යන පළගැටියාට අත්වන ඉරණම යම්සේද මේ ලෝකයේ සොඳුරු දේ සැප සොයාගෙන යන අපටත් ජරා, ව්‍යාධි, මරණ, වෙනස්වීම්, දුක, සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාස අත්විඳින්න වන බව ඇත්තක්ම යි. ඒ නිසා අපට මේ ධර්මතා ටික නිවැරැදිව සතිපට්ඨාන භාවනාවේදී හඳුනා ගන්න වෙනවා. මේ වෙනස බුදුරජාණන් වහන්සේ පද හතරකින් අපට වදාළා. එයට කියනවා ‘සතර විපල්යාස’ කියා. පළගැටියා ගිනිදැල්ල දැක්කේ සැප තැනක් ලෙස. සැප ගෙනෙන තැනක් ලෙස. නමුත් ඇත්ත නම් දුක ඇතිවන, දුක උපදවන තැනක් ය කියන දේ යි. ඒ ඇති දේට වඩා වැරැදි ප්‍රතිවිරුද්ධ ආකාරයකින් දකින දැක්මට දන්න දැනීමට කියනවා ‘විපල්යාස’ කියා. විපරිතව වෙනස් ආකාරයකට ගැනීමයි ඒ. ගිනි දැල්ලේ යථාර්ථය යම් බඳුද පළගැටියා ගත්තේ ඊට හාත්පස වෙනස් දෙයක්. සොඳුරු තැනක් ලෙස. විපල්යාසයක් ලෙස. මේ ලෝකයේ විපල්යාස හතරක් තිබෙනවා. ඒ තමා අනිත්‍ය දේ නිත්‍ය ලෙස, නිත්‍ය දේ සැපයි ලෙස, අනාත්ම දේ ආත්මය ලෙස, අසුබ දේ සුබ ලෙස විපල්යාස ලෙස වරදවා ගැනීම. මේ වැරැදුන හැම තැනකම අපට හසුවෙලා තිබෙන්නේ ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය ධර්මය හා වය ධර්මය යි. එතකොට ගිනි දැල්ල සොඳුරුයි කියා පළගැටියා දැක්කට, කිව්වට ගිනි දැල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක සිසිල් වෙන්නේ නැහැ. ඒක යථාර්ථයට වෙනසක් කරන්න බැහැ. අප ජරාව, ව්‍යාධිය, මරණය, කය හා වය ධර්මය මොන මොන සොඳුරු නමකින් ළංකර ගත්තත් ළංකර ගත්තේ මේ පහයි. එය මම, මගේ, මගේ ආත්මය වශයෙන් නම් ගත්තේ එයයි අප විඳින දුක. ඒ නිසා මේ ධර්මතාවයන් තේරුම් ගත්විට අපට මෙලොවම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා.
මේ වැරැදි ක්‍රමය අපට අවබෝධ කරවලා ලෝකය ආත්ම නොවේ අනාත්මයි කියායි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ්. ඒ විදිහට අප වරදවාගත් හැම තැනකම අපට හසුවෙලා තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ කය හා වය ධර්මයන්. ගිනිදැල්ල සොඳුරුයි කියා පළගැටියා දැක්කාට ගිනි දැල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක සොඳුරු, සිසිල් වෙන්නේ නැහැ. ඒක යථාර්ථය වෙනසක් වෙන්නේ නැහැ. ඉහත ධර්මතා පහ ගැන මොන මොන සොඳුරු නමකින් සොඳුරු ධර්මයකින් දැක්කත්, ගත්තත්, බැලුවත් ඒ ධර්මතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ඇත්ත නොදැක ඒවා මම, මගේ, මගේ ආත්මය වශයෙන් නම් දැක්කේ, ළංකර ගත්තේ එහෙනම් ඒ ධර්මතාවය තමන්ට අයිති එකක් තමන්ගේ එකක් වෙනවා. ඒකයි අපි දුක් විඳින්නේ. ඒ නිසා මේ ධර්මතා තේරැම් ගත්විට මෙලොවදීම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. දුක පිළිසිඳ දකිනවා කියනවිට ඒ ධර්මතාවය අප ප්‍රකට වෙනවා. ඊළඟට ඒ ධර්මතාවය අපව ගලවලා දුකට යොමුකරන ප්‍රධානම සංදිය තමා ආත්ම දෘෂ්ඨිය. ආත්ම දෘෂ්ඨියට සාපේක්ෂවයි මේ සියලු දුක් අපට ඉපදී තිබෙන්නේ.
ඒ නිසා අපට ආත්ම දෘෂ්ඨිය ගෙවෙන ආකාරයට ආත්ම සංකල්පය ගෙවෙන ආකාරයට මේ කර්මස්ථාන භාවිතා කරන්න වෙනවා. ඒ නුවණ, ඒ අවබෝධය ඇතිකරගෙන ඒ අවශ්‍යතාවය පිරෙන ආකාරයට ඒ වැටහීම දැනගෙන මේ කරුණත් තව තවත් හිතලා විමසලා වැඩිදියුණු කරගෙන ඒ කියන අවබෝධයත් සමඟයි අප සතිපට්ඨාන භාවනාවට යොමුවිය යුත්තේ.

තථාගතයන් වහන්සේ වදාළ වෙනස් නොවන ධර්මතා

අප හැම දෙනාම උත්සාහ කරන්නේ මේ දුක් ඇති සසර ගමන නිමා කරන සොඳුරු ධර්ම ඥානය පහළ කරගෙන ඒ තුළින් මේ ජීවිතය තුළදීම මේ ගෞතම බුදු සසුනේදීම සසර මඟ නිමාකර ගන්නට ලැබේවා කියලයි.
අප කථාකළා සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟින් දුක පිළිසිඳ දැන ගැනීමයි සිදුවෙන්නේ. දුක කියන විට ඒ හා බැඳුන තවත් වචනයක් තිබෙනවා. පංච උපාධානස්්ඛන්ධය කියා. පංච උපාධානස්ඛන්ධය යම් තැනකද එතැන තමා දුක. දුක කියන්නේ යම් තැනකද? එතැන පංච උපාධානස්ඛන්ධය යි. ඒ නිසා අප පංච උපාධානස්ඛන්ධය පිළිසිඳ දන්නවා. දුක පිළිසිඳ දකිනවා කියා වචන දෙකක් භාවිතා කළත් අර්ථ වශයෙන් එකක්ම යි. ඒ නිසා දුක පිළිසිඳ දකිනවා කියන විට අප දැනගත යුතු ගැඹුරු අර්ථයක් තිබෙනවා.
දුක කියනවිට මේ ලෝකයේ අප කවුරුත් දන්න දුකක් තිබෙනවා. කායිකව, මානසිකව දැනෙන අප අකැමැති ස්වභාවයෙන් එන දුක තමා මේ ලෝකයේ කවුරුත් දුක ලෙස දකින්නේ. මේ ලෝකයා දන්න, අපට වැටහෙන, තේරෙන, හඳුනන, මේ දුකෙන් මිදෙන ආකාරයට දුක පිළිසිඳ දකින්න තිබෙනවා. අප නොදන්න යමක් දුක කියන අර්ථයේ තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අර්ථය දැනගන්න විට, ඒ අර්ථය දැකගන්න විට මේ දුකින් මිදීමයි මිදීම. මේ ශාසනයේ තිබෙනවා සෝපදිශේෂ, අනුපාදිශ්ෂ කියා පරිනිර්වාණ අවස්ථා දෙකක්. සෝපදිශේෂ පරිනිබ්බාන කියනවා රහත් ඵලයට පිවිසීමට. ඒ අරහත් ඵලයට පිවිසෙන විට මෙලොවදීම ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකින්, මරණයෙන් මිදෙනවා. නමුත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් මිදුනට එතැන ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය තවම තිබෙනවා. මේ සියල්ලෙන් මිදෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයේදී. නිර්වාණය දෙකොටසකට දක්වා දැක්වූයේ පළමුව ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින් මිදෙනවා. දෙවනුව ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් මිදෙනවා. බුදුසිරිත, මහරහතන් වහන්සේගේ චරිත දෙස බැලුවොත් දිරීම, ලෙඩවීම, මරණය වැනි ධර්මතාවයන් ඒ උතුම් ජීවිත සමඟ සමීපව පැවැති බව අප දන්නවා. නමුත් උන්වහන්සේලා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදිලයි වැඩ සිටියේ. ජාතිය එකක් ජාති දුක තව එකක්. ජරාව එකක්, ජරා, දුක තව එකක්. ව්‍යාධිය එකක්, ව්‍යාධි දුක තව එකක්, මරණය එකක්, මරණ දුක තව එකක්, අපට ජාති, ජරා, ව්‍යාධි, මරණයයි, ජාති , ජරා, ව්‍යාධි, මරණ දුකේ වෙනස එතරම් පෙනෙන්නේ නැහැ. ඒ ධර්මතාව දෙකක් හැටියට වෙන්කර ගන්න වැඩපිළිවෙල සතිපට්ඨානයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව මනැස මෙහෙයවා අල්ප හෝ අවබෝධයක් ලබාගන්න ඕන.
සතිපට්ඨානය කියන්නේ මනැස නුවණ මෙහෙවයන වැඩපිළිවෙලක්. ඒ නුවණ කෙසේද මෙහෙයවන්නේ කියා අපට සන්නද්ධ වෙන්න පුළුවන් වෙන්නේ මේ කියන කාරණය තුළින්. ශ්‍රැතවත්වීම මූලික වෙනවා. මේ ලෝකයේ තිබෙනවා වෙනස් නොවන ධර්මතා පහක්. ඒ ජාති ධර්මය, ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය, ධර්මය, වය ධර්මය. මේක ධර්මතාවයක්. ධර්මතාවයක් කියන විට පුද්ගලයකුට හෝ කෙනෙකුට හෝ අයිති වූවක් නොවේ. එය ස්වභාව ධර්මතාවයක්. දිරීම ලෝකයේ ස්වභාවය. ලෙඩවීම, මරණය, ක්ෂය වීම, වෙනස්වීම, වැනසීම ලෝකයේ ස්වභාවය. නමුත් මේ ස්වභාව ධර්මතාවය නොවේ අපේ ජීවිතවලට සමීපවෙලා තිබෙන්නේ. දිරීම මම හෝ මගේ වෙලා. ලෙඩවීම, මරණය මම හෝ මට අයිති දෙයක් වෙලා. ක්ෂයවීම වෙනස්වීම මම හෝ මගේ වෙලා. ඒ නිසයි අප මේ ලෝකය තුළ ඔය කථාකරන, දන්න, හඳුනන, තේරෙන දුක අපට ලැබිලා තිබෙන්නේ. ඒ දුක ලෝකයේ පවතින ධර්මතාවයක් නොවේ. ඒ දුක අප හදාගෙන විඳින එකක්. අප උපදවාගෙන විඳින එකක්. එහෙනම් තේරුම්ගන්න ඕන ලෝකයේ ධර්මතාවයක් ලෙස යමක් තිබෙනවා. ධර්මතාවයක් නොවන අප විසින් හදාගෙන විඳින දුකක් තිබෙනවා. මේ දෙපැත්ත වෙන් වෙන්ව හඳුනාගන්න වෙනවා. අපට මේ ලෝකයේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ක්ෂයවීම වෙනස්වීම නිසා ඇතිවන ශෝක පරිදේව දුක්ඛදෝමනස්සඋපායාසා ආපු විදියක්, ක්‍රමයක් තිබෙනවා. ඒ විදිහ අපට හොයාගන්න වෙනවා. දුකට හේතුව ලෙස කථා කරන විට ඔබ දන්නවා ධර්මතා තුනක්. තෘෂ්ණා, දෘෂ්ඨී, මාන. තෘෂ්ණාව කියනවිට මගේ. මාන කියන විට මම. දෘෂ්ඨි කියනවිට මගේ ආත්මය. මේ වචන තුනෙන් කියවෙන්නේ මම, මගේ, මගේ ආත්මය යි. මේ ධර්මතා තුනෙන් මුලින්ම නිදහස් වෙන්න ඕන මගේ ආත්මය කියන දෘෂ්ඨියෙන්. දෘෂ්ඨියෙන් මිඳුන කෙනෙකුට විතරයි සියලු දුකෙන් නිදහස් වීම දක්වා ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ.
මේ කරුණ ගැන අප හොඳින් විමසා බැලුවොත් සියලුම දුක අද අප අත් විඳිනවා. යම් දුකක් ඇත්නම් ඒ සියල්ල ඉපදිලා තිබෙන්නේ සත්ව, පුද්ගල, ආත්ම, යමක්, කෙනෙක්, දෙයක්, තැනක් කියන සංකල්පයට සාපේක්ෂව යි. ඒ තුළ තමයි අර සංකල්පය වන දිරීමේ, ලෙඩවීමේ, මරණයේ, ක්ෂයවීමේ වෙනස්වීමේ, ඉපදීමේ ශෝක –පරිදේවයේ, දුක්ඛදෝමනස්සඋපායාසයන් ලැබිලා තිබෙන්නේ. ඒ ගැන අප තේරෙන විදියෙන් විමසා බලමු.
අප මේ ලෝකයේ කවුරුත් දුකට අකැමැතියි. අප කවුරුත් සැපට කැමැතියි. එය ලෝක ධර්මතාවයක්. දුකට කැමැති කෙනෙක් සැපට අකැමැති කෙනෙක් නැහැ. හැබැයි ආර්යයන් වහන්සේලා හැරුණු කොට ලෝකයේ වෙන කවුරුවත් දුක,සැප හරියට හඳුනන්නේ නැහැ. දුක, සැප පිළිබඳව නො දන්නාකමක් තිබෙනවා. සාමාන්‍ය ලෝකයෙහි සැප කියන්නෙත් දුකටමයි කියා දන්නේ නැහැ. අප මේ ලෝකයේ සැප කියා යමක් දන්නවානම්, දකිනවානම් එයද දුකමයි. අප තේරෙන ආකාරයට දුකට අකැමැති වෙනවා. සැප කැමැති දෙයක්. අප කැමැති දේ බොහෝම යි. අප තෝරාබේරා විමසා බැලුවොත් අප කැමැති සැප මෙනවා ද? අපට මේ ලෝකයේ අම්මා, තාත්තා කියන්නේ සොඳුරුතම වස්තුන්. ස්වාමියාට බිරිඳ, බිරිඳට ස්වාමියා සොඳුරු වස්තුවක්. ප්‍රියමනාප වස්තුවක්. ඒ වගේ දුවල පුතාලා සොඳුරු වස්තු. සැප ගෙන දෙනවා. සහෝදර, සහෝදරිය, ඥාති, හිතවතුන් හැටියට ඒ වගේම අලි, ඇතුන්, ගවයන්, ගේදොර, වතුපිටි, යාන වාහන, රන්, රිදී, මුතු, මැණික් ආදි සියලු දේ අපට පි‍්‍රයමනාප සොඳුරු වස්තු. සැප ගෙන දෙන වස්තු ලෙසයි අප මේ දේවල් තෝරාගෙන තිබෙන්නේ. සැප පිණිස තමයි මේ හැම දෙයක්ම ළං කරගෙන සමීප කරගෙන තිබෙන්නේ. දැන් අප මේ සොඳුරු දේවල් වලින් බලාපොරොත්තු වන්නේ සැප මිස දුකනම් නොවේ. හැබැයි අප නුවණින් කල්පනා කළොත් හඬා වැළපෙන වෙලාවන් සිහිකර බැලුවොත් කොහෙන්ද අප සැපයි කියා ගත් දෙයින්මයි දුක අපට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සොඳුරු යැයි පි‍්‍රය යැයි ගන්නා වස්තු දහයක් ඔබට දුක උපදින හේතු දහයක් වෙනවා. ඔබ සොඳුරු යැයි, මනාපයැයි සැප ගෙනදෙන්නේ යැයි ගන්නා වස්තු සියයක් ඔබට දුක් උපදින හේතු සියයක් ඇති වෙනවා. ඔබට සොඳුරු මනාප වස්තුන් දහයක්ද ඔබට දුක උපදින හේතු දහක්ද ඒ සමඟ ඇතිවන බව දැනගත යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොළ වදාළා.
එසේනම් අපට ලෝකයේ දුක, සැප කියන දෙකම කාසියක දෙපැත්ත වගේ. උන්වහන්සේ වදාළා අප දිරන ස්වභාවයක් ඇති ධර්මයන් මම හෝ මගේ කියා අරගෙන ප්‍රාර්ථනා කරනවා නො දිරාවා කියා. දිරන දෙයකට මම, මගේ, මගේ ආත්මය කියා දැනගෙන ඒ ධර්මතාවය වෙනස් වේවා. නො දිරාවා කියා ප්‍රාර්ථනාවක් කරනවා. ලෙඩ වන ධර්මතාවට මම, මගේ, මගේ ආත්ම කියා වරදවාගෙන වැරැදි ප්‍රාර්ථනාවන් කරනවා. වැරැදි ධර්මයකට මම මගේ ආත්මය කියාගෙන නො මැරීමක්. මරණ ධර්යට ප්‍රාර්ථනාවක් කරනවා නොමැරේවා කියා. එහෙනම් ධර්මතාවය කියන්නේ වෙනස් කිරීමට පුළුවන් දෙයක් නොවේ. අප ලෝක ධර්මතාවය වෙනස් කරන්නයි මේ ප්‍රාර්ථනාව.

දෙවිවරු ඇසූ ප්‍රශ්න ඇතුළත් දේවතා සංයුත්තය

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ ස්වාමි වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළේ ශ්‍රී සද්ධර්ම යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහ රහතන් වහන්සේලා විසින් ලෝසතුන් ගේ යහපත පිණිස ධර්මය හා විනය වශයෙන් එය සංගායනා කරන ලදී. එහිදී සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය නිකාය වශයෙන් කොටස් කරන ලද්දේ ද ඒ රහතුන් විසින් ම ය. අපගේ බුදු සමිඳුන් වදාළ දීර්ඝ දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය නම් විය. මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස මජ්ක්‍ධිම නිකාය නම් විය. අංක වශයෙන් පිළිවෙළින් ධර්ම කරුණු වැඩීගෙන යන දේශනා ඇතුළත් කොටස අංගුත්තර නිකාය නම් විය. කුඩා දේශනා ඇතුළත් කොටස බුද්දක නිකාය නම් විය.
එයට ඇතුළත් නොවන සුවිශේෂි දේශනා සියල්ල එකතු වන සේ මහ රහතුන් විසින් සකස් කොට වදාළ සංයුත්ත නිකාය නම් වේ. ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රධානත්වය දැරෑ පරම පූජනීය මහ කස්සප මහ රහතන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට පැවරුණේ මෙම සංයුත්ත නිකාය ආරක්ෂා කර ගැනීමට ය. සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිර වූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබා දෙන ආශ්චර්යවත් දෙසුම් වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.සංයුත්ත නිකාය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ. ඒවා හඳුන්වන්නේ ‘වර්ග‘ නමිනි. එනම් සගාථ වර්ගය, නිදාන වර්ගය, බන්ධක වර්ගය, සළායතන වර්ගය, මහා වර්ගය වශයෙනි. මෙහි සගාථ වර්ගයේ සූත්‍ර 271 ක් ඇතුළත්ය. නිිදාන වර්ගයේ සූත්‍ර 406 ක් ඇතුළත් ය. එහි බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ පටිච්ච සමුප්පාදය ගැන යි. ඛන්ධක වර්ගයේ සූත්‍ර 716 ක් ඇතුළත් ය. එහි බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. සළායතන වර්ගයේ සූත්‍ර 2286 ක් ඇතුළත් ය. එහි බොහෝ සූත්‍ර වල දැක්වෙන්නේ ආයතන හය ගැනයි. මහා වර්ගයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඇතුළත් සූත්‍ර දේශනා 3977 ක් ඇතුළත් ය. ඒ අනුව සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා 7656 ක් ඇතුළත් ව තිබේ.සංයුත්ත නිකායේ පළමු කොටස වන සගාථ වර්ගයේ ඉතා ගැඹුරු ධර්ම කරුණු සංක්සේපයෙන් සඳහන් වෙනවා. එහෙත් නුවණින් විමසා තේරුම් ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට ඒ තුළින් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය. සංයුත්ත නිකායේ මුල් කොටස වන සගාථ වර්ගයේ සංයුත්ත නමින් කොටස් එකොළහක් ඇතුළත් වෙනවා. එනම්, දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය, මාර සංයුත්තය, භික්ඛුනී සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, බ්‍රාහ්මණ සංයුත්තය, මංගීස සංයුත්තය, වන සංයුත්තය, යක්ඛ සංයුත්තය, සක්ක සංයුත්තය වශයෙනි.
දේවතා සංයුත්තයේ නොයෙක් අප්‍රකට දෙවිවරුන් ගැනත්, දෙව් පිරිසක් ගැනත් සඳහන් වෙනවා. ඔවුන් බුදු සමිඳුන් ළඟට පැමිණ නොයෙක් ප්‍රශ්න අසන අයුරුත්, ඒ ප්‍රශ්න වලට බුදුසමිඳුන් වදාරණ පිළිතුරුත් මෙහි සඳහන් වෙනවා. ඇතැම් දෙවිවරුන් ගේ ගාථාවන් අපගේ බුදු සමිඳුන් විසින් අනුමත කරන අවස්ථා ද දක්නට ලැබෙනවා. දෙවිවරුන්ගේත්, මිනිසුන්ගේත් අදහස් අතර ලොකු වෙනසක් නැති බව මේ “දේවතා සංයුත්තය” කියවීමෙන් පැහැදිලි ව දක්නට පුළුවන. දේවතා සංයුත්තයේ සූත්‍ර 81 ක් තිබෙනවා. ඊළඟට හමු වන්නේ දේවපුත්ත සංයුත්තය යි. නොයෙක් නම් සඳහන් දිව්‍ය පුත්‍රයන් රාශියක ගේ අදහස් හා ඔවුන්ට අපගේ ශාස්තෘන් වහන්සේ දුන් පිළිතුරුත් මෙම සංයුත්තයෙන් දැනගත හැකියි. මෙහි සූත්‍ර 30 ක් දක්නට ලැබෙනවා.
අනතුරුව කෝසල සංයුත්තයෙහි කොසොල් රජතුමා මුල් කොට ගෙන අපගේ බුදු සමිඳුන් වදාළ රමණීය දෙසුම් හමුවේ. මාර පරාජය කළ අපගේ ධර්ම ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ විසින් තම ශ්‍රාවක ජනතාවට මාරයා මෙන්ම මාරයාට බැඳී යන ආකාරයත්, මාරයාගෙන් නිදහස් වන ආකාරයත් මැනවින් පෙන්වා දෙන ලදී. මාරයා ගැන වැදගත් තොරතුරු රැසක් මාර සංයුත්තය තුළින් අපට ඉගෙන ගත හැකිය. අපගේ බුදු සමිඳුන් ගේ පැවිදි ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් වහන්සේලාගේ නුවණැස නැසීමට මාරයා පැමිණෙන අයුරුත්, එයට නිර්භීතව මුහුණ දෙන භික්ෂූණීන් ගේ ප්‍රඥාවන්ත පිළිතුරුත්, භික්ඛුනී සංයුත්තයේ සඳහන් වේ.
මිනිසුන්ට මෙන් ම දෙවි බඹුන් හට ද ශාස්තෘ වූ අපගේ බුදු සමිඳුන් බඹලොව බඹුන් හා දහම් සංවාදයේ යෙදෙන අයුරු බ්‍රහ්ම සංයුත්තයේ සඳහන් වේ. බ්‍රහ්මාරාධනාවෙන් පසු දහම දෙසන්නට පළමු බුදු ඇසින් ලොව බලා වදාරණ අයුරුත් බ්‍රහ්ම සංයුත්තයෙන් දැනගත හැකිය.
ඊළඟට හමුවන්නේ බ්‍රාහ්මණ සංයුත්ත ය යි. නොයෙක් යාගහෝම පුදපූජා වල ඇලී සිටින කුල මාන්නයෙන් ඉදිමී ගිය බ්‍රාහ්මණයින් බුදු සමිඳුන් ගේ කාරුණික දහම් මගින් දමනය වෙනවා. ඒ මිසදිටු පිළිවෙත් අත්හැරලා බුදු සමිඳුන් ගේ කීකරු ශ්‍රාවකයා බවට පත්වෙන ආකාරය මේ තුළින් දැන ගන්නට පුළුවන.
අතිවිශිෂ්ට කාව්‍ය නිර්මාණ ප්‍රතිභානයෙන් යුතු අපූරු රහතුන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු අපට ඊළඟ සංයුත්තයෙන් හමු වේ. එනම් වංගීස සංයුත්තය යි. වංගීස මහ රහතන් වහන්සේ බලවත් උත්සාහයකින් යුක්ත ව ජීවිතය ජයගත් ආකාරයත්, උන්වහන්සේ ගේ කාව්‍යමය ප්‍රතිහාරයන් ඉතා සුන්දර ලෙස දැන ගනිමින් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගත හැකිය. ඊළඟට හමු වන්නේ වන සංයුත්තය යි. වනයේ හුදකලාවේ වසන භික්ෂූන් සමඟ කථාබස් කරන දෙවිවරුන් ඒ භික්ෂූන් වහන්සේලාව ධර්ම මාර්ගයේ උනන්දු කරවන ආකාරය මෙහි දැක්ක හැකිය. අනතුරුව දැක්වෙන යක්ක සංයුත්තයේ බලසම්පන්න අමනුෂ්‍යයන් ගැන සඳහන් වේ. ඇතැම් විට දෙවිවරුන් ගැන ප්‍රචණ්ඩ ගති ඇති යක්ෂයින් ගැනත් තොරතුරු මෙහි ඇත. ඒ අමනුෂ්‍යයන් තිසරණයේ පිහිට ලබන අයුරු මෙහි දී ඉගෙන ගත හැකිය. සගාථ වර්ගයේ අවසානයට හමුවන්නේ සක්ක සංයුත්තය යි. ශක්‍ර දෙවියන් ගේ අප්‍රකට තොරතුරු රාශියක් මෙම සංයුත්තයෙන් ඉගෙන ගත හැකිය.
ඉතින් ඔබට මෙතැන් සිට “දෙවියනට වදාළ සම්බුදු බණ” නමින් එම සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයේ සහ දේවපුත්ත සංයුත්තයේ ඇතුළත් සූත්‍ර මූලික කරගෙන ලියැවුණු ලිපි පෙළක් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. උදා– ලෙස මෙම ලිපියෙහි අවසානයේ දේවතා සංයුත්තයේ පළමු සූත්‍රය වන ‘සසර සැඩ පහර තරණය කිරීම ගැන වදාළ දෙසුම’ (ඕඝතරණ සූත්‍රය) මේ අයුරින් සටහන් තබමු.ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඩු සිටුතුමාගේ අසපුවේ. එදා රැය පහන් වෙද්දී එක්තරා දෙවි කෙනෙක් මුළුමහත් ජේතවනය ම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් සිට ගත්තා. පැත්තකින් හිටගත් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. පින්වත් නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ මේ සසර සැඩ පහර තරණය කළේ කොහොමද?
(භාග්‍යවතුන් වහන්සේ) පි‍්‍රය ආයුෂ්මත, මම පිහිටල හිටියෙත් නැහැ. මම උත්සාහ කළෙත් නැහැ. අන්න ඒ විදිහට යි සසර සැඬපහර තරණය කළේ.
(දෙවියා) පින්වත් නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ පිහිටා සිටින්තේ නැතුව, උත්සාහ කරන්නේත් නැතුව, සසර සැඬපහර තරණය කළේ කොහොමද?
(භාග්‍යවතුන වහන්සේ) පි‍්‍රය ආයුෂ්මත, යම් විටෙක මම පිහිටා සිටින්නට හැදුවොත් එවිට මාව ගිලෙනවා. (මෙහි තේරුම කාමසුඛල්ලිකානු යෝගයේ පිහිටා නොසිටිය යුතු බවයි) ඒ වගේ ම පි‍්‍රය ආයුෂ්මත, මම යම් වෙලාවක උත්සාහ කරන්නට ගියොත් එවිට මාව උඩට මතුවෙනව විතරයි. (මෙහි තේරුම අත්තකිලමථානුයෝගය අත්හල යුතු බවයි) ඔය ආකාරයට පි‍්‍රය ආයුෂ්මත මම පිහිටන්නේත් නැතිව, උත්සාහ කරන්නේත් නැතුව සසර සැඬපහර තරණය කළා.
(දෙවියා) හා! පිහිටන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ ලෝකයේ විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙන් එතෙර වුණ පිරිනිවුන ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් කලාතුරකින් මට දැකගන්නට ලැබුණේ.ඒ දෙවියා ඔය විදිහට කිව්වා. ශාස්තෘන් වහන්සේ එය අනුමත කොට වදාළා. එවිට ඒ දෙවියා ශාස්තෘන් වහන්සේ මාගේ අදහස අනුමත කොට වදාළ සේකැයි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැදකුණු කළා. එතැනම නො පෙනී ගියා. බුදුදහම යනු මේ දුර්ලභ මිනිස් ජීවිතයට ලැබුන මහා ප්‍රඥා නිධානය යි. ඒ නිසා ඔබත් ඒ උතුම් බුද්ධ දේශනා ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉගෙන ගන්න. එම ධර්මය අවබෝධ කර ගැනීමට මහන්සි ගන්න. මේ ගෞතම බුදු සසුන තුළදීම ඔබටත් තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥා ලෝකය උදාකරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා.

පැමිණි සියලු දේ ආපසු යනු ඇත...

ජීව අජීවවූ ලෝකය අනේක විධ වූ රූපවලින් පිරී ඉතිරී තිබේ. මේ වූ රූප ලස්‌සන හා අවලසන්න රූප යනුවෙන් මිනිස්‌සුබෙදා වෙන්කරගෙන සිටිති. සැබවින්ම මේ වූ කලී ලෝකයාගේ ප්‍රඥප්තියක්‌ පමණකි. ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වන්නේ ඔවුනොවුන් විසින් පනවා ගනු ලැබූ දෙයක්‌ය. ඒ හැර ඒ හැම දේහිම ඇත්තේ නිරන්තරයෙන් සිදුවන්නාවූ වෙනස්‌වන ස්‌වරූපය හෙවත් අනිත්‍ය බවයි. අනිත්‍යවූ දෙය දුකින්ද පිරී තිබේ. ඉන් ඉක්‌බිතිව ආත්ම වශයෙන් ගත හැකි සදාකාලික කිසිවක්‌ නැති මේ රූපයෝ නැත්තටම නැතිවී යති. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රූපවලට්‌රූප' යෑයි දේශනා කළේ ඒවා මොහොතින් මොහොත කලින් කල අමුතු අමුතු ස්‌වරූප ගන්නා හෙයිනි. ලෝකයා රූපත් හෝ විරූපත් යනු විසින් සලකනු ලබන කවරවූ හෝ රූප ස්‌කන්ධයක්‌ ගැන මොහොතකට මෙනෙහි කරන්න. 

නිදසුනක්‌ ලෙස මිනිස්‌ රූපයක්‌ ගනිමු. එය ජරා ගින්නට මොහොතින් මොහොත බිලිවෙමින් අවසානයේදී බැලීමටත් අප්‍රසන්න වූ අප්‍රිය වූ රූප කායක්‌ බවට පත්වන්නේය. ඉන් පසුව තවත් ටික කාලයකින් එය මළ කුණක්‌ බවට පත්වන්නේ ගෙදරක තබා ගම්මානයකවත් තබාගැනීමට නොහැකිවන ලෙසිනි. ඒ තවත් නොබෝ කාලයකින්ම එය ඇට ගොඩක්‌ බවටත් මේ මහා පොළොවේම පස්‌ගොඩක්‌ බවටත් පත්වන්නේය. සැබවින්ම මෙයින් පෙනෙන මේ මහා විශ්වයේ කවර තැනෙකටත් කවර දෙයකටත් පොදුවූද, අකාලික වූද, සනාථන දහම කුමක්‌ද?' සියල්ල පැමිණී යළි ආපසු යන බව නොවේද?

අනේක ප්‍රකාර වූ කෙලෙස්‌ නිසා ඔබ තුළ පරිදාහය නැතහොත් දුක හා මිශ්‍රවූ වෙහෙස ඇතිවන්නේ මේ උත්තරීතර සත්‍යය කිසිදාකවත් ඔබ තේරුම් නොගන්නා නිසාය. මේ තාක්‌ ඔබගේ විඤ්ඤාණය දහස්‌ සුවහස්‌ වූ ආශාවන් සමඟ බැඳී සිටී. තවත් සරලවම පැහැදිලි කරන්නේ නම් ඔබේ විඤ්ඤාණය, නැතහොත් සිත නොයෙකුත් ආරම්මණයන් (සිතුවිලි) අල්ලාගෙන නැවතීමක්‌ නොමැතිව දිගින් දිගටම ගලාගෙන යයි. ඔබ මව් කුසයෙහි පිළිසිඳුණු දිනය ඔබට දැන් මතක නැත. එමෙන්ම ඒ තුළ ජරා ගින්නට බිලිවෙමින් මේරීමට ලක්‌වී ඔබ ලෝකයට බිහිවුණු දිනයේ ඇතිවුණු හැඟීම්ද ඔබට හරිහැටි දැන් මතක නැත. එහෙත් එදා පටන්ම ඔබේ විඤ්ඤාණය ලෝකයේ අනේකවිධ වූ ආරම්මණයන් අල්ලා ගනිමින් කෙළවරක්‌ නොමැතිව නැගී සිටියේය.

මේ පිළිබඳව ඔබ මොහොතකටවත් ගැඹුරින් සිතා සිටියේද? ඇත්තෙන්ම ලෝකයේ නොයෙක්‌වූ මේ නිසරු අහුකොන් අල්ලාගනිමින් ඔබේ විඤ්ඤාණය නිමාවක්‌ නැතිව මෙලෙසින් අසුරු සැණෙක්‌ පාසා නැගී සිටින්නේ ඔබ උපන් දා පටන් නොවේ. අදින් එහා අවුරුදු කෝටි ගණනක තරම් ඈත අතීතයක පටන්ය. ඔබේ ඔය සිත මෙලෙසින් නැගිනැගී පැමිණෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙ දක්‌වා වදාළේ සත්ව සංතානයේ නොනැසී පවත්නා නාමරූප පරම්පරාව හැටියටය. ලෝකයේ ඇති අනේක ප්‍රකාර රූපවල ඇලෙමින්, බැඳෙමින්, රැඳෙමින් සිත සීමාවක්‌ නොමැතිව සිතුවිලි ඉපදවීම මෙහි ඉතා සරල අර්ථය ලෙස පැහැදිලිකර දිය හැකිය. පුද්ගලයා නැතිනම් සත්වයා සංසාරයේ අනන්ත ඈතින් ඈතට ගෙන යන්නේ මේ නොබිඳී, නොනැසී පවත්නා වූ චිත්ත පරම්පරාවයි. යමෙකුගේ මේ නාමරූප ධර්ම සමූහය ඒ අමානිවන ළඟ සදාතනිකවම නතරවී සංසාර දුකින් අතමිදෙන්නේ උතුම් චතුරාර්යය සත්‍යය අවබෝධ ඥනයෙන් ප්‍රත්‍යක්‍ෂකොටගත් කල පමණි. එනම් අර අසීමාන්තිකවූ සිතුම් හෙවත් කෙලෙස්‌ කල්පනාකිරීම සදහටම නවතා දැමූ කලදීය. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විෂයෙහි සිදුවන ක්‌ලේෂ පරිනිර්වාණය යනුද මෙයම ලෙස පෙන්වාදිය හැකිය. මේ උතුම් වූ සංහිඳියාවේ පටන් මාරයා යළිත් ඔබේ විඤ්ඤාණයට එබිකම්කරන්නේ නැත. තවත් පැවසුවොත් ඔබේ විඤ්ඤාණයේ අනුත්පාද නිරෝධය මාරයාට සොයාගත නොහැකිය.

මෙසේ අමා නිවන් පසක්‌කොට ගැනීම තුළින් මාර විජිතය හෙවත් මේ ලෝකය ඉක්‌මවා සංසාර සාගරයෙන් එතෙරවීමට නම් ඔබ හැම මේ කමටහන නිබඳව වැඩිය යුතුය. මෙනෙහි කළ යුතුය. ඒ උතුම් කමටහන නම් අන්කිසිවක්‌ නොවේ, ඔබේ ජීවිතයද ඇතුළු ලෝකයට අයත් සියල්ල පැමිණ යළි ආපසු යන බවයි. සංසාරික වූ ජීවිතයේදී ගතකරන සෑම මොහොතක්‌ පාසාම ඔබ මෙය නිරතුරුවම ප්‍රත්‍යවේක්‌ෂා කරන්නේ නම් (සිහිපත් කරන්නේ නම්) ඔබට මුළුමනින්ම වෙනස්‌ විඤ්ඤාණයක්‌ ලැබෙන්නට පටන් ගනී. සංසාර ජීවිතයේදී සෑම මොහොතකම ඔබට අවශ්‍ය වී ඇත්තේ කුමක්‌ද? බොහෝ විට තමන් ළඟ නැතැයි සිතෙන යමක්‌ කෙසේ හෝ ළඟාකර ගැනීමටයි. ඊළඟට තමන් සන්තකයේ ඇති තමන් අකමැති දෙයක්‌ කෙසේ හෝ බැහැර කර ගැනීමට ඇති අවශ්‍යතාවද ඔබට නිතර වද දෙයි. මේ තුළින් කවරදාකවත් ඔබට සම්පූර්ණයෙන්ම නිවී සැනසුණු අමා නිවන ස්‌පර්ශ කළ හැකි අභ්‍යන්තර හැඟීමක්‌ ඇති නොවේ. මෙහි බියකරුම ප්‍රතිඵලය බොහෝ විට ඔබේ ජීවිත සතර අපායේ කල්ප ගණන් පැහෙන්නට වැටෙන එකයි.

'සියල්ල පැමිණ, ආපසු යන්නේ නැත. ඒවා සදාකාලිකවම ලොව තුළ තිබේ' යන අපායසහායී කල්පනාවෙන් ජීවිතය ගෙවීම තුළින් ඔබ රැස්‌කරගන්නා,සකස්‌කර ගන්නා මේ භයානක අකුසලයේ අස්‌වැන්න කෙතරම් භයංකාර වී තිබේද?

තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ජීවත්වූ ආනන්ද සිටුවරයාගේ කතාවෙන්ද පිළිබිඹුවන්නේත් තෘෂ්ණාව නමැති කොටු පවුරේ එලෙසින් රැඳී සිටීමේ මහා සංසාරික අනාත බව නොවේද? ආනන්ද සිටුවරයා ජීවත්වූයේ බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ඡේතවනාරාමය පිහිටා තිබුණු සැවැත් නුවරමය. එහෙත් ඔහු තුළ උතුම් ශ්‍රද්ධාවේ අංශු මාත්‍රයකුදු නොතිබුණේය. එනිසාම ඔහුගේ එවන් විඤ්ඤාණයට දන්දීමේ හෝ කුසල් කිරීමේ උත්තරීතර ආරම්මණය කිසි දිනෙකවත් පැමිණියේ නැත. එහෙයින්ම ආනන්ද සිටුවරයාගේ සිත තද මසුරු මළින් කෙලෙසිණි. කවදාවත්, කාටවත්, කිසිවක්‌ නොදුන් ඔහු ජීවිත කාලය තුළදීම කළේ ධනය රැස්‌කරන එකය.

ඒ ධනය හා මසුරු මළ සහිත ජීවිතය හැමදාමත් එසේම පවතින එකක්‌ ලෙස සිතූ ඔහු ලොව සියල්ල ලොව හමුවටපැමිණ ඉවරවී යළි ආපසු යන බව කිසිවිටෙකවත් සිහිපත් කළේ නැත. අන්තිමට ඔහුගේ ජීවිතයද ඉවර විය. 

ඔහු සතුව තිබූ කෝටි ගණනක්‌ වූ ධනයද වෙනත් අයකු වූ මූලසිරි සිටු පුත්‍රයාට අයිති විය. ආනන්ද සිටුවරයා දැඩි මසුරු මළ සහිතව මියගිය නිසා චුති සිත අනුව අන්ත දුගී තැනෙක ඉතා විරූපී ශරීරයක්‌ ඇතිව උපත ලැබුවේය. එමෙන්ම එක්‌ ජීවිතයක්‌ නිමාකොට ව්‍යාධි දුඃඛයෙන් පහරදෙනු ලැබ, ජරා ගින්නෙන්ද දැවී අවසානයේදී මරණයට පත්වන බොහෝ අය අද දෙව් විමන්වල උපත ලබන බවක්‌ අසන්නට නොලැබේ. එසේ වුවත් ප්‍රේත ලෝකයේ ඉපදී කල්ප ගණන් දුක්‌ විඳීමින් ඔවුන් ගතකරන ජීවිත පිළිබඳව සිල්වත් යතිවරුන්ගේ සමාධිමත් සිතට නිරන්තරයෙන්ම දක්‌නට ලැබේ. අලංකාර සෞන්දර්යයෙන් යුත් රූපයකට, තමන් දැඩි සේ ආශාකරන වස්‌තුවකට හෝ පුද්ගලයකුට ඇල්ම ඇතිව ඔබ මේ ජීවිතය පුරා ගතකරනු ඇති. 

එහෙත් ඔබ මතක තබා ගත යුත්තක්‌ තිබේ. ඔබ නොදැනුවත් වුවද මේ සිදුවන්නේ ඔබේ විඤ්ඤාණය, ලෝකයේ එක්‌ එක්‌ මායාවන්වල පැටලෙමින් යළි යළිදු නැගී සිටීමයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයාගේ දුක කොටස්‌ කිහිපයකට බෙදා දැක්‌වූහ. ඒ දුඃඛ දුක, විපරිණාම දුක හා සංසාර දුක යනාදී වශයෙනි. මෙයින් අතිශය භයංකාරතම දුක වන්නේ සංසාර දුකයි. එනම් ඒ දුක අසීමාන්තිකය. නැත්නම් අනවරාග්‍රය. ඒ දුකට වැටෙමින් ඔබ කලෙක රජකු වන්නට ඇත. ඇමැතියකු වන්නට ඇත. මවක වන්නට ඇත. පියෙකු වන්නට ඇත. දරුවකු හෝ දැරියක වන්නට ඇත. බල්ලකුගේ බැල්ලක වන්නට ඇත. ගොනකු, සාවකු, මුවෙකු, වඳුරෙකු, සර්පයෙකු, මැඩියෙකු, ප්‍රේතයෙකු, ප්‍රේතියක හා අසුරයකු ආදී වශයෙන් මේ නොයෙක්‌ ආත්ම නැත්නම් භවවලට අනන්ත අප්‍රමාණ වාර ගණන් පිවිසෙන්නට ඇත. මේ සෑම භවයමදීම ඔබ ලැබූ සුව සහන නම් අවමය. ඔබ හැඬූ කඳුළු සතර මහා සාගරයේ ජලය තරම්ම වනු ඇත. ඔබ ඒ භවවලදී කොතෙක්‌ නින්දා පරිභව හා පහරකෑම් ලබන්නට ඇත්ද? එහිදීම ඔබ විවිධෝපක්‍රම මගින් මරණයට, ව්‍යාධියට පත්වූ අවස්‌ථා කොතෙක්‌ විය හැකිද? ඒවා මෙතෙකැයි ගණන් මිනුම්වලින් දැක්‌වීමට පවා නොහැකිය. සංසාරය පුරාවටම මේ සෑම දුකක්‌ම ඔබට උරුමකර දුන්නේ එක අරමුණකින් තොරවනවිට තවත් අරමුණක්‌ අල්ලාගෙන නැගී සිටින්නාවූ ඔබේ පාපිවූ විඤ්ඤාණයමය. සම්මා සම්බුද්ධ ධර්මයේ වීතරාගී හරයට, නිරාමිස දර්ශනයට ඔබේ හදවත විවර නොවන තාක්‌ කල් ඔබගේ අනවරාග්‍ර සංසාරික ජීවිතයේ මේ අනන්ත දුක්‌ පිරිපත අවුරුදු කෝටි ගණනක්‌ ගෙවී ගියත් ඔබ කෙරෙන් ගිලිහී නම් නොයනු ඇත. මේ තාක්‌ ඇතැම් විට ඔබ ආශාවන් ප්‍රහීන කිරීම, දන්දීම, කෙලෙස්‌ තැවීම ආදිය ගැන අප්‍රමාණව කතා කරනුද ඇත්තේය. අනිස බව හා අස්‌ථිරතාවය පිළිබඳව දහස්‌ ගණන් වූ පිටු සහිත නිබන්ධයන්ද රචනා කරනු ඇත්තේය. එතෙකුදු වුවත් ඔබේ අසාර ජීවයද ඇතුළු ලොව සියලු දේ ලොව හමුවට පැමිණ යළි ආපසු යන බව ඔබ සිතන්නවත් නැතිව ඇත. එහෙත් ඒ උපාදානමය වූ විඤ්ඤාණ විසින් කර්මානුරූපීව ඔබ අනේකප්‍රකාර වූ යෝනීන් වෙත පමුණුවනු ඇත්තේය. ඒ අතරින් ඔබට වැඩිපුරම දායාද වශයෙන් ලැබෙනු ඇත්තේ නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර ආදිවූ සතර අපායට අයත් යෝනීන්ය. හුදෙක්‌ම ඒ අනුත්පාද නිරෝධයෙන් තොරවූ විඤ්ඤාණයෙන් ඔබ අල්ලා ගන්නා ක්‌ලේෂාරම්මණන් නිසාය.

මේ දුක නැවැත්වීම සඳහා කළ යුතු ආර්ය පර්යේෂණය කුමක්‌ද? සංසාර ජීවිතය ඇති අපෞද්ගලිකත්වයේ කෙළවරම සොයා වෙහෙසීමයි. තවත් අයුරෙකින් දේශනා කරන්නේ නම් ලෝකයට අයත් අරමුණු සියල්ල අතහැර දමන තැනට පැමිණීමයි. සිත යනු අරමුණු නැත්නම් කෙලෙස්‌වල මූලස්‌ථානයයි. එය මහා ඉනද්‍රජාලකයෙකි. එය සෑම අවස්‌ථාවකම මේ මායාමය සංදර්ශන සත්වයා වෙත පෙන්වීමට සැරසී සැදි පැහැදී සිටී. සත්වයා ඒවා වෙන්කොට හඳුනාගන්නට ගිය වහාම ඒ සංදර්ශන සමග නිමාවක්‌ නැතිව එකතු වේ. බුදුරජාණන් වහන්සේ වරෙක පාපී මාරයා ලෙස දක්‌වා වදාළේද සිතෙහි මේ වූ ක්‌ලේශබරිත පෙළඹවීමේ ස්‌වභාවයමය යෑයි කල්පනා කළ හැකිය.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තථාගතයන් වහන්සේ වදාළ ගම්භීර දේශනාව

අභ්‍යන්තර හෝ සංසාර ගමනේ කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් කඳුළින්,දුකින්, සුසුමින් ගලාගෙන යන මේ දිවි සසර ගමනේ මුලාව දකින්න අප හැම කෙනෙක්ම යම් කැමැත්තක් උපදවාගෙන තිබෙනවා. මේ සසර ගමනේ මුලාව දකින ලොව්තුරු බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මහ ප්‍රඥාවෙන් යුතුව අවශ්‍ය කරන ධර්ම උපදේශනයක් නො අඩුව ලෝකයට දේශනා කොට තිබෙනවා. ඒ දේශනා ධර්මය සද්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවට අනුව පිළිපැදිමෙන් අනුගමනය කිරීමෙන් අප බලාපොරොත්තු වන දුක කෙළවර කොට ඇති අමා ශාන්තියට පැමිණෙන්ට පුළුවන්.
ඒ සඳහා අවශ්‍ය කරන ගමන්මඟ උපදවා ගැනීමට උපකාරක ධර්ම දෙකක් දේශනාවේ කියවෙනවා. ඒ මඟ උපදවා ගැනීමට හේතු දෙකක් ප්‍රත්‍ය දෙකක් ලෙස යෝනිසෝමනසිකාරය හා සද්පුරුෂය ආශ්‍රය ගැන දක්වා තිබෙනවා. තමා විශේෂ කර කල්පනා කරලා කුමක්ද? කළයුත්තේ කියා හඳුනා ගන්න ඕන. මේ කියන වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් අප හැමට සසර කතර තරණය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් අතරින් සුවිශේෂ දේශනාවක් ලෙසටයි සතිපට්ඨාන දේශනාව අප සලකන්නේ. අදත් අප සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව අපේ ගමන්මඟ පිළියෙල කර ගන්නේ කොහොමද? කියා බලමු.

තථාගතයන් වහන්සේ මේ උතුම් ගම්භීර දේශනාව සිදුකළේ කුරු රටේ කම්මාසධම්ම නම් වූ ගමේදීයි. ඒ ප්‍රදේශයේ සිටි සියලුම දෙනා වෙර වීරිය වඩන පිනත්, ප්‍රඥාවත් දියුණු කිරීමට දක්ෂ පිරිසක්. දැසි දස්සන්, කම්කරුවන් පවා සතිපට්ඨාන භාවනාවේ යෙදී සිටියා. ඔවුන් අතරේ හැදී වැඩුන සුරතල් සතුන් පවා ඒ කමටහන් පාඩම් කරගෙන නිතර නිතර කියවමින් භාවිතා කළ බව එක්තරා ගිරවෙකු පිළිබඳව කියවෙන ප්‍රවෘත්තියක සඳහන් වෙනවා. වණ අරණක හැඳුන ගිරා පෝතකයා දිනක් වෙනත් කුරුල්ලෙකු විසින් ග්‍රහණය කරගෙන ගොදුරු කරගන්නට නියපොතුවල පටලවාගෙන අරගෙන යන වේලාවේ සාමණේර භික්ෂූන් වහන්සේ කෑගසා ශබ්දකරලා ඒ සතාගෙන් ගිරවා බේරාගෙන ඇසුවා "අනතුරට පත් වූ වෙලාවේ ඔබට සිතුණේ කුමක්ද?" කියා. "ඇටසැකිල්ලක් තවත් ඇටසැකිල්ලක් විසින් ග්‍රහණය කරගෙන යන්නේ ය. තව නොබෝ වේලාවකින් මේ ඇටකටු ටික විසිර යන්නේය" යැයි මට කල්පනා වුණබව ගිරවා කියා සිටියා.
මෙයින් ලබාදෙන අදහස නම් මේ ප්‍රදේශයේ ජීවත් වූ හැමෝම සතිපට්ඨාන භාවනාවට යොමු වී සිටි බව. උන්වහන්සේ මෙබඳු දේශනාවක් ඒ ප්‍රදේශයේදී සිදුකළේත් "එබඳු නුවණින් යුක්ත වූ නිසාම යි. ඒ ප්‍රදේශයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සිව්වනක් වූ පිරිස අමතා ඒ දේශනාව සිදු කරන්නේ ‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ’ ඒකායන මාර්ගය කුමක්දැයි පැහැදිලි කරමින්. එහිදී උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව,වඩන කෙනෙකුට ලැබෙන්නා වූ ප්‍රතිලාභ පිළිබඳව පළමුව පැහැදිලි කළා. වෙනත් සූත්‍රවල දක්නට නො ලැබෙන තරමේ මේ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනකුට ලැබිය හැකි ප්‍රතිඵලය කුමක් ද? කියන අදහස පළමුව විස්තර කළා. විවරණය කළා. එහිදී කියවෙනවා ලෝක සත්ත්වයා තුළ පවතින අවිද්‍යා, තෘෂ්ණා, කෙලෙස්, ආශ්‍රව ධර්මයන්ගෙන් විසුද්ධියට පැමිණීම පිණිස ශෝක කිරීම් ගුණ කියමින් නම කියමින් හඬා වැළපීම්වලින්ද ශෝක පරිදේවයන්ගෙන් අත මිදීමටත්, කායික දුකින්, මානසික දුකින්, පීඩාවෙන් එතෙරව ඤාණය උපදවාගෙන මගඵල ලබන්නත්, ඒ මාර්ගඵල කෙළවර සෝවාන් ආදී මඟ පිළිවෙලින් ඇවිත් නිර්වාන ධර්මය සාක්ෂාත් කරන්නත්, මේ සතිපට්ඨාන දේශනාව උපයෝගි වන බව. මේ ලෝකයේ යම් කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න වුවමනානම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සපුරා සෝතාපන්න මාර්ගයට පැමිණ ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවා ගන්නවා. සම්මා දිට්ඨිය වඩනවා. සම්මා දිට්ඨිය වැඩීමේදී දියුණු කිරීමේදී ඒ දක්වා වැඩෙන ගමන්මඟ උපදවාගන්න අවබෝධ කර ගන්න මේ සතිපට්ඨානයමයි බොහෝ උපකාර වෙන්නේ. එහිදී එන ඕනෑම කායික මානසික වූද දුකක් වේදනාවක්, පීඩාවක් විඳ දරා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. සමහර ආශ්‍රවයන් තිබෙනවා ඉවසීමෙන් දුරු කරන්න ඕන. ඉවසන්නේ නැතුව ශාන්ත නැතුව ක්ලේශ ප්‍රහාණය කරන්න බැහැ. ඒ සඳහා අපට ධර්මයේ කියවෙන විට යම් යම් ස්වාමින් වහන්සේලා අතීතයේදී කෙබඳු දුකක් දරාගෙන මේ සතිපට්ඨානය වැඩියාද ඒ වැඩීමෙන් මගඵල නිවන්සුව සාක්ෂාත් කර ගත්තාද? කියා හමුවෙනවා.
අතීතයේදී එක්තරා සහෝදර දෙපළක් බොහෝම සමඟියෙන් වෙළහෙළදාම් කරගෙන සතුටින් වාසය කළා. දිනක් බුදුරජාණන් වහන්සේ මුණගැසුන වැඩිමහල් සහෝදරයා මේ ශාසනයේ පැවිදි වෙමියි කියා සහෝදරයාගෙන්ද කැමැත්ත අරගෙන තමන් සතු සියලු දේපල සහෝදරයාට බාර දී පැවිදි වෙලා භාවනා වඩන්න වනාන්තරයට ගියා. සහෝදරයාගේ බිරිඳ සිතනවා මේ හිමියන් ශාසනයේ කලකිරිලා සිවුරු ඇරලා නැවත ගෙදර ආවොත් මේ දේපල දෙන්න වෙනවා. ඒ නිසා ශ්‍රමණ සහෝදරයා මරා දැම්මොත් අපට සුවසේ සැපසේ දිවි ඇතිතාක් මේ ධනය භුක්ති විඳින්න පුළුවන් යැයි සිතා එක්තරා සොර කණ්ඩායමයකට මුදල් දී ඒ හිමියෝ මැරීමට පිටත්කළා. උන්වහන්සේ සක්මන් කරමින් සිටියදී සක්මන් මළුව සොරුන් වටකළා. උන්වහන්සේ අහනවා උපාසකවරුනි, ඇයි මේ? සොරුන් කියනවා අප ආවේ ඔබවහන්සේ මරාදාන්න. මාව මැරුවම ඔබලාට සෙතක් අත්වෙනවා ද? අපට විශාල ධනයක් ලැබෙනවා. එහෙනම් මාව මැරුවට කමක් නැහැ. ඒත් උපාසකවරුනි, මට හෙට උදෑසන වෙනකම් ඉඩක් දෙන්න. සොරු එය පිළිගත්තේ නැති නිසා උන්වහන්සේ ඇපයක් වශයෙන් විශාල ගලක් අරගෙන තමාගේ කකුළේ ඇට බිඳ ගන්නවා. ඊට පස්සේ අසනවා උපාසකවරුනි, මේ ඇපය ඇද්ද? ඒ සොරු උදේ වෙනතුරු අවස්ථාව ලබාදුන්නා. මේ තෙරුණුවෝ දරුණු වද වේදනා විඳිමින් කල්පනා කරනවා මේ සංසාරේ ඇවිදින තාක් කොතරම් සොර සතුරු පහරින් මිය යන්න ඇද්ද? මේ අත් පා බිඳිලා අසරණව, අනාථව ඇවිදින්න බැරි වූ කී වාරයක් මිය යන්න ඇද්ද? ඒ නිසා මේ දුක සංසාරයේ විඳින්න තිබෙන දුකත් සමඟ සංසන්දනය කළොත් දුකක් නොවේ. සංසාරයේ ගමන් කරන්න වුණොත් එය විශාල දුකක්. ඒ මහ දුකින් මිදෙන්න මම මේ ස්වල්ප දුක විඳ දරා ගන්නවා යැයි අධිෂ්ඨාන කරමින් උන්වහන්සේ ඉදිරියේ විඳින්න තිබෙන සසරේ මහ දුකෙන් මිදෙන්න සිතට වීර්ය උපදවාගෙන පසුදින උදෑසන වනවිට සව්කෙලෙසුන් නසා මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
තවත් ස්වාමින් වහන්සේ නමක් ව්‍යාඝ්‍රයකුට හසුවෙලා කෑලි කඩමින් ශරීරය කන වෙලාවේදී ඒ දුක යටපත් කරමින් සතිපට්ඨාන භාවනාව වඩලා සව්කෙලෙසුන් නසා රහත්බව ලැබුවා. ඒ ශක්තිය උපදවා ගත්තේ සතර සතිපට්ඨානය තුළින්. ඒ තරම් කායික දුකක් වුවත් දරාගන්න, පාලනය කරගන්න පුළුවන් හැකියාව මේ සතිපට්ඨානය තුළ තිබෙනවා. මානසික මහ දෝමනස්සයක් වුවත් විඳ දරාගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා.
නමුත් අද අපට පොඩි කැක්කුමක්, වේදනාවක් එනකොට ඒවාට යට වෙනවා. එවිට නූපන් මඟ උපදවා ගන්න බැහැ. එවිට ඒ හැකියාව මේ සතිපට්ඨානය තුළින් වැඩෙන්නේ නැහැ. ඒ වගේම "පටාචාරා" නම් අසරණ අම්මා මරණය ඉදිරියේ දුකට වේදනාවට පත් වූ අයෙක්. උම්මත්තිකයට පත් වූ ඇයට පවා මේ ධර්මය තුළින් මේ ශෝක පරිදේවයන් සංසිඳුවා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මේ ධර්මය කියන්නේ අප ළඟ තිබෙන සියලු දේ ඉක්මවා යන්න පුළුවන් හැකියාවක් තිබෙන දෙයක්. ඒ හැකියාව තිබෙන කෙනෙකුට කායික මානසික සියලු දුක් යටපත් කරන්න පුළුවන්. නුපන් මඟ උපදවා ගන්න පුළුවන්. නිවන් මඟ වඩන්න පුළුවන්. ඒ තුළින් නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ සිතේ නික්ලේශි බව මතයි. අශුද්ධ කෙනෙකුට ඒ අශුද්ධි බවින් මිදිලා විශුද්ධියට පමුණුවන මඟ පිළිවෙල දැනගන්න ඕන. විශුද්ධිය ගැන ධර්මයේ සඳහන් වෙනවා සීල, චිත්ත, දිට්ඨි, කංකාවිතරණ, මග්ගාමග්ග ඤාණ දස්සන, පටිපදා ඤණ දස්සන, ඤාණ දස්සන කියා හතක්. මෙය සප්ත විශුද්ධිය යි.
සාකේතනුවර ඉඳලා සැවැත්නුවරට පිටත්වන රජෙකු ඒ ගමන වේගයෙන් ඉක්මණින් යන්න අශ්ව රථ හතක් භාවිතා කරනවා. පළමු අශ්වයාගේ වේගය අඩුවෙන විට දෙවැනි අශ්ව රථයටත්, දෙවැනි අශ්වයාගේ වේගය අඩුවෙනවිට තෙවන අශ්ව රථයටත්, ආදී රථ හතටම ගොඩවෙලා වේගයෙන් සැවැත්නුවරට එනවා. මේ උපමාව සම්බන්ධ කරගෙන සප්ත විශුද්ධිය පිළිබඳ කළ දේශනාවක් ධර්මයේ තිබෙනවා. සීල විශුද්ධියෙන් චිත්ත විශුද්ධියටත්, චිත්ත විශුද්ධියෙන්, දිට්ඨි විශුද්ධියටත් ආදි පිළිවෙළින් යන අනුපිළිවෙලක් තමා මෙහි තිබෙන්නේ.
එනිසා ඔබත් මේ අනුපිළිවෙල හුරු කරමින් මෙම දහම ජීවිතයට ගලපා ගන්නට වීර්ය කරන්න.
නයනා නිල්මිණි

විමසීමත් සමඟ ඇතිවිය යුතු නුවණ

වල්පොල ගෝතම හිමි

අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා කියන්නේ එය මනැසින්ම සිදුවිය යුතු දෙයක්. ඇසෙන් දකින දැකීමට වඩා මනැසින් දැකීම ඉතා තියුණුයි. එයට හේතුව මනැසින් දකින දැක්මට තමා අවබෝධය කියන්නේ. සමහරවිට ඇසින් දකින දේ තුළ අප යම් සංඥාවක් ගොඩනගා ගන්නවා. ඒ දැකීම ඒකාන්තයෙන්ම නිවැරැදි වෙන්නත් පුළුවන්. නැතිනම් වැරැදි වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධව ඒකාන්ත කරන්න බැහැ. අප ඇසින් දැක තීරණය කළ දේ පසු කලෙක ඇසුරු කිරීමේදී එය වැරැදි බව වැටහෙනවා. දැකල සිතපු දේ ඒ ඇතුළේ තිබෙන්නේ වෙන දෙයක්. රත්තරං වගේම පෙනුනත් සමහර භාණ්ඩ ඇත්තටම රත්තරං නොවේ. එවැනි දේ ඇසින් දැක්කාට තීරණය කර ගන්න බැහැ.
අප ඇසෙන් දකින දේ හෝ ඇසෙන් දැක හිතලා ලබාගන්නා අරමුණු මනැසින් විමස විමසා තේරුම් ගැනීම තමා අවබෝධයෙන් දකිනවා කියන්නේ. ඒක ඇසෙන් දකිනවාට වඩා ඉතා පුළුල්. එය විමසීමක් සමඟ සිදුවූ දෙයක්. පැහැදිලි පරීක්ෂාවකට භාවිතය කළ දෙයක්. ඇසින් දකින බොහෝ දේ විමසීමත් සමඟ නොවේ දකින්නේ.
පසුගිය කලාපයෙන් ආහාර ගනිද්දී ධාතු වශයෙන් විමසන ආකාරය ඉගෙන ගත්තා. අද ආහාර පිට කිරීමේදී ඒ පිළිබඳව ධාතු වශයෙන් විමසන්න ධාතු මනසිකාරය කළයුතු ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය ඉගෙන ගනිමු. ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය ධර්මය තුළ කථා කරන්නේ ලෝකයේ පවතින යථාර්ථය යි. එය තම නුවණින් විමසීම බුද්ධිමතාගේ ලක්ෂණයක්.
ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය අවබෝධයෙන් හිතන්න පුළුවන්. යම්කිසි ධාතුවකින් සකස් වූ දෙයක් මේ ශරීරයට ඇතුලු කරද්දී එතැන වන විපර්සායස හා පිට කරනවිට වන විපර්යාසයන් නුවණින් විමසන්න පුළුවන්. ඒ සඳහා අපට ‘සම්පජාන’ කියන නුවණ උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ දී සම්පජානය වඩද්දී නුවණින් වාසය කරන ශ්‍රාවකයා වැසිකිලි කැසිකිළි කරද්දී පවා එතැනත් සිහිය පවත්වන්න පුළුවන් බව වදාළා. ඒ අවස්ථාවෙත් ධාතු මනසිකාරය ඔස්සේ නුවණ මෙහෙයවන්න පුළුවන්කම තිබෙන්න ඕන. යම් තැනක කෙලෙස් හටගන්නවානම්, ඒතැනත් භාවනාව දියුණු කරන්න පුළුවන්. වැසිකිළියට කැසිකිළියට ගිය අවස්ථාවේදීත් අපේ මනැසේ කෙලෙස් පවතිනවාද? නැද්ද? මනැසේ කෙලෙස් පවතිනවානම් ඒ අවස්ථාවේ කෙලෙස් දුරු කිරීම සඳහා හරවා ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයට අනුව විමසන විට සම්පජාන භාවනාවක් ලෙස හෝ ධාතු මනසිකාරයක් ඔස්සේ යම්කිසි විදිහකට ධර්මයට අනුව විමසනවානම් වැසිකිළියේදීත් තමාගේ කටයුතු සිදුකරන අතරේ මනැස ධර්මයට අනුව පවත්වනවානම් එහිදීත් ඔබේ මනැස ධර්මාවබෝධය සඳහා පුළුල් කරගන්න පුළුවන්. තමාගේ මුත්‍රා හෝ මළපහ දැක්කට පස්සේ අපේ සිතේ ඇති වෙන්නේ ප්‍රධානම සිතුවිල්ල පිළිකුල් ගඳ දෙයක් ලෙසයි. මනස සාමාන්‍යයෙන් පවත්වන්නේ අර දේ සමඟ ගැටෙමින්. එහිදී පිළිකුල් කිරීම ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමක් කියා හිතන්න එපා. ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමේදී එය පිළිකුල් කරලා එතැනින් ඈත්වෙලා ගැටීමේ සිතක් ඇතිකර ගන්නේ නැහැ. ඒ වගේම ඇලීමකින් එයට ළංවෙලා එය තමන් ඇසුරු කරන්න අතපත ගාන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ එය යථාර්ථය තේරුම් ගැනීමයි. ඒ යථාර්ථය යම්කිසි කෙනෙකුට නුවණින් විමසන්න පුළුවන්නම් එතැනත් තමාගේ අවබෝධය පුළුල් කර ගන්න පුළුවන්.
ඕනෑම කෙනෙකුට මේ භාවනා මනසිකාරයත් සමඟ සිත වශී කරගන්න පුළුවන්. එහෙම වුණාම ඔහුට නිතර තමාට වුවමනා විට සමාධිමත් සිත ඇතිකර ගන්න පුළුවන්. සිතට යමක් වශී කරගන්නට ඒක තමන්ට ඕන ආකාරයට ලබා ගන්න පුළුවන් බව අප දන්නවා. ඔබ හිතන්න දැන් අප ඉන්න තැන. අප යමක් දුටුවිට සිතින් වශී කරන අවස්ථා නැද්ද? රාගය, ද්වේෂය ආදි දේවල් අපේ හිතේ නිතර නිතර සිහිකරමින් ඉන්නවානම් අප ඒකට සිත වශී කිරීමක් කරන්නේ. එහෙම සිත වශී වුණාම වන්නේ යම්තැන අපට ද්වේෂයක් ඇතිවිය යුතු තැනක් නොවුණත් ඒ ඕනෑම තැනක ද්වේෂයක් ඇතිකර ගෙන ගැටිලා ලොකු අරගලයක් බවට පත්කර ගන්න පුළුවන්. ඒ තත්ත්වයට පත්වෙන්නේ මනැස අපව වශීකරගත් නිසා. නිතර නිතර ද්වේෂයන් වශී කරගෙන නිසා අපට ඒ ද්වේෂය ඕන ඕන වෙලාවට සිතට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ කාලයක් තිස්සේ මෙත්සිත වඩලා මෙත්සිත පුරුදු කරගත් කෙනෙකුට ද්වේෂය කියන්නේ මොකක්ද කියා දන්නේ නැතිවෙන්නත් පුළුවන්. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියා අප දන්නවා. කෙනෙක් නිතරම ඉන්නේ ද්වේෂයෙන් නම් ඔහු මෛත්‍රිය කුමක්ද කියා දන්නේ නැහැ. ඔහුගේ හිතේ අන්අය කෙරෙහි මෙත් සිතක් ඇතිවෙන්නේ නැහැ. ඔහු ද්වේෂය වශීකරලා ඔහුගේ සිත ද්වේෂයත් සමඟ එකතුවෙලා ඔහුට වශිවෙලා තිබෙන්නේ. එසේනම් ද්වේෂයට වගේම මෛත්‍රියටත් එය කරන්න පුළුවන්. මෛත්‍රියට සිත වශී කරනවා කියන්නේ භාවිතා, බහුලිකතා යානකථා, වත්ථුකථා ආදි ඔබ අසල තිබෙනවා. හොඳට බහුල වශයෙන් පුරුදු පුහුණු කරගන්න කියනවා. ඒක බහුල ලෙස පුරුදු පුහුණු වූ විට ඔහුට ඕනම තැනක කෙනෙක්ව දැක්කත් යම් තැනක යමක් සිතයිද, ඒ ආකාරයට හුරුවනවානම් ඔහු පුරුදුකරන වශී කරන, නිතර මෙනෙහි කරන, මෛත්‍රී සිතුවිලිවලට සිත ගන්න පුළුවන්. එහෙනම් ද්වේෂය වගේම මෛත්‍රීයටත් සිත කැමැතියි. රාග මෙන්ම විරාගි සිතක් පුරුදු කර ගන්නත් අවශ්‍ය කෙනාට පුළුවන්. දකින දකින කෙනා කෙරෙහි රාගි අරමුණ ඇතිකරගෙන ඒ ඔස්සේ විමසන්න පුළුවන්නම් ඒ ආකාරයට අනෙක් පැත්තටත් සිත හසුරුවන්න පුළුවන්.
බොහෝම අතීත කාලයක අසුචි ටිකක් දැකලා එක්තරා දියණියකට ‘පොළොවක සංඥාව‘ කියා අසුචි පිළිබඳව සංඥාවක් ඇතිවුණා. ඒ දෙස බලාගෙන ඉඳළා මේ පොළොවක සංඥාව කියන භාවනා මනසිකාරයෙන් ඇය කෙතරම් දුරදිග ගියාද යත් සිත විසිරෙන්නේ නැතිව භාවනා මනසිකාරයේම පැවතියා. ඇය ඒ මනසිකාරයෙන්ම 1, 2, 3, 4 ධ්‍යානවලට සමවැදී ඒ ධ්‍යානවලට සිත පුරුදුවුණාට පස්සේ ඒක වශී කරගත්තා. අර දියණිය අසුචි දැකලා ඒවා පිළිබඳව භාවනා මනසිකාරය තුළින් ධ්‍යානය සිත් පුරුදු කළා. ඒ කාලයේ බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණයන්ගෙන් ඉගෙනගත් වේද ශාස්ත්‍රයක් සමඟ භාවනා පුරුද්ද ඇතිවුණා. ධ්‍යාන සිත් නිතර වඩපු නිසා මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න අසුචි ටිකක් උපකාර කර ගන්න ඒ දියණියට හැකිවුණා. එහෙනම් මනුස්ස ලෝකයේ සමාධියක් උපදවා ගැනීම සඳහා අසුචි ටිකක් සාධනයක් කර ගත්තනම් අපටත් මේ මළපහ කියන තැන ඇතිවන කෙලෙස් සිත කපල දාල ඒ මළපහ උපකාරි කරගෙන ඒ සාධකයක් කරගෙන ධර්මාවබෝධයට සුගතියට සමාධිමත් සිතක් පවත්වන්න භාවනා මනසිකාරයත් පවත්වන්න පුළුවන්. මෙහිදී කියන්නේ එදානෙදා තමන් ඒ ශරීර කෘත්‍ය කරනකොට විමසන්න කියන එකයි.
හැම දවසකම ධාතු මනසිකාරයට පුරුදු වූ කෙනෙකුට මළපහ කරන මොහොත්දී සිත ඉන් ඈත් කරන්න ඕන වෙන්නේ නැහැ. අප කෑම ගන්නකොට, එය හපනකොට, ගිලිනකොට, ආහාරයේ සීතල උණුසුම දැනෙනවිට අපට නුවණින් විමසිය හැකිබව අප දන්නවා. ඒ ආහාරය පැසවලා හොඳට දිරවලා ඒ ආහාරය කුඩා බඩවැල් මහා බඩවැල් ඔස්සේ ගුද මාර්ගයට පැමිණීමත් සමඟ ඒ ආහාරයේ තිබෙනවා බර ගතියක්. ඒ ආහාරයේ අවශේෂ කොටස් බැහැර කිරීමේ අවශ්‍යතාවයක් එනවිට එය බරක් ලෙස දැනෙනවා. මුත්‍රා කිරීමේදීත් එසේමයි. ඔබට ඒ බර දැනෙනවිට එය පිට කිරීමට කාලය වෙන්කර ගන්නවා. එහිදී ඔබ භාවනාකරන මනැසක් පුරුදු කරන්න උත්සාහ කළොත් ඒ අවස්ථාව භාවනා මනසිකාරයෙන් පිටතට ගෙනියන්න එපා. ඔබ දන්නවා තද දෙයක් පඨවි ධාතුවට අයත්, ආපෝ ධාතුව දියවෙනවා. මුත්‍රා කියන දේ. මේ පඨවි, ආපෝ ධාතු ඇසුරු කරලා අනෙක් ධාතු සමඟ පිටවෙන මේ මළපහ හා මුත්‍රා ධාතු වශයෙන් ඔබ විමසද්දී තේරුම් ගන්න ඕන ධාතු ගොඩක් බැහැර වෙනවා කියා.
අප දන්නවා සමහර නවීන වැසිකිලිවට ගියාම ඒවායේ පුවත්පත් රූපවාහිනි ආදිය තිබෙනවා. ඒවා නරඹමින් තමා වැසිකිලි කටයුතු කරන්නේ. ඒ දේ කරන්නේ එතැන ගැටීමක් තිබෙන නිසයි. මේ ක්‍රියාවලිය කිරීමේදී තමන්ට තිබෙන ගැටීම තිබෙන නිසයි වෙන දෙයකට මනැස යොමු කරන්නේ. නමුත් ධර්මය තුළ ඉන්න ශ්‍රාවකයාට එහෙම ගැටීමක් නැහැ. ඇලීමකුත් නැහැ. මනස සැහැල්ලුවෙන් ඇත්ත දකිමින් වාසය කිරීමකුයි තිබෙන්නේ.
නයනා නිල්මිණි

ලෝකය යනු යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟුණු මානසික මට්‌ටමක්‌ පමණි

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා "යෝ රූපං කාමේති, සෝ දුක්‌ඛං කාමේති, යො දුක්‌ඛං කාමේති, සෝ රූපං කාමේති," යමෙක්‌ රූපයට කැමැති වේ නම්, එයා දුකට කැමැතියි. යමෙක්‌ දුකට කැමැති වේ නම්, එයා රූපයට කැමැතියි කියලා. මොකද මේවා වෙන් කරන්න බැහැ. සංඛත ධාතුව තුළ. අනිත්‍ය වන බව ම දුක. අපි කැමැති වෙන්නේ දුකටයි අන්තිමට.

තාම මෙතන චතුරාර්ය සත්‍යය පෙන්නුවේ නැහැ. චතුරාර්ය සත්‍යය පෙන්නන්නම්. මං පළ`ගැටියා ගේ උපමාවම අරගෙන යන්නම්. ඒ පළ`ගැටියා ගේ උපමාවෙන් තමයි අපට මේක ටිකක්‌ තේරුම් කරගන්න වෙන්නෙ.

ඔන්න දැන් අපි හිතමු ඈත ලාම්පුවක්‌ පත්තු වෙනවා. පළඟැටියාට නුවණ නෑ නේ. බලාගෙන ඉන්නේ පහන් දැල්ල දිහායි. පළඟැටියට පෙනෙනව ද දුක කියලා? නෑ. මොකද, ඒක ඇහැට පෙනෙන්නෙ නැහැ. නුවණට නේ පෙනෙන්න ඕන. දැන් පළඟැටියට නුවණ නැහැ. ඔන්න පළ`ගැටියා, ඉන්නවා. මොකක්‌ දිහා ද? පහන් දැල්ල දිහා. 

පළඟැටියා ගේ අදහස තමයි, මේ පහන් දැල්ල ටික ටික ළඟට ආවොත්, කැමැති දේ ළඟට එනකොට, මොකක්‌ ද ලැබෙන්නෙ? සතුට. මේ පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුකයි. ඇයි ඒ? තමන් කැමැති දේ ඈතට, ඈතට යන කොට දුක එනවා. සතුටු වෙන්න තියන මාර්ගය තමයි පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළ`ගට ගන්න එක, නේ ද?

ඕක තමයි, පළගැටියාගේ මට්‌ටමේ ලෝකයේ කෙනා ගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ දැක්‌ම. ඒ කියන්නේ ලෝකයේ කෙනා දකින්නේ අර, පළ`ගැටියාට පහන් දැල්ල වගේ, දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ කියලයි.

පහන් දැල්ල ළඟට එන්න, එන්න, සතුට නේ. ඒ වගේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, ළඟට එන්න එන්න, ගොඩගහගන්න ගොඩගහගන්න, දුක නැතුව ඉන්න පුළුවන් කියලයි දකින්නෙ. ඇත්ත නේ ද ඒක? පළ`ගැටියා පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුක්‌ වෙනවා, මොකද කැමැති දේ අහකට යනවා නේ. ඒ වගේ ම ලෝකයා දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් නැති වුණොත්, අර පහන් දැල්ල ඈතට යනවා වගේ( මොකද වෙන්නේ? දුක්‌ විඳින්න වෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළඟට ගන්න එක තමයි තියන මාර්ගය කියලා තමයි දකින්නේ. ලෝකයා දකින්නේ. පුළුqවන් තරම් ඉක්‌මනට ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් එකතු කරන එක තමයි, දුක නැතුව ඉන්නවා කියන්නේ කියලයි දකින්නේ. 

ඔන්න ඔය මට්‌ටමේ දැනුමක්‌ තියන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. "දුක්‌ඛේ අඥනං, දුක්‌ඛ සමුදයෙ අඥනං, දුක්‌ඛ නිරොධ අඥනං, දුක්‌ඛ නිරෝධ ගාමිණි පටිපදාය අඥනං," කියල. ඇයි ඒ? ඔන්න මෙන්න මේ කාරණාව හින්දයි එහෙම කියන්නේ. 

අර උපමාව ම බලන්න. දැන් මෙතන හැම දා ම පවතින හැම දා ම පෙනුණ ඇත්තක්‌ තියනවා. මොකක්‌ ද මේ ඇත්ත? අර උපමාවට ම යන්න මෙතන දි හොඳට දක්‌ෂ වෙන්න ඒ උපමාවේ දි, පළ`ගැටියා පහන දිහා බලාගෙන හිටියේ. එයා ගේ අදහස තිබුණේ, පහන් දැල්ල ළඟට ආවොත් සැපයි කියලා, ඈතට ගියොත් දුකයි කියලා. මේක ගන්න එක තමයි මාර්ගය කියලා. ඔන්න ඔය තැන තියන, හැම දා ම පවතින, ඇත්ත ම ඇත්ත. 

ඒත් පළ`ගැටියාට නෙ පෙනෙන ඇත්ත අපි පළ`ගැටියාට අපි කියන්න ගියොත්, අපට මොකක්‌ ද කියන්න වෙන්නේ? "ඔතන දිළිසි දිළිසි තියන්නේ පහන් දැල්ල නො වෙයි, ඔතන තියන්නේ දුක. ඕකට කියන්න තියන්නේ පහන් දැල්ල කියලා නෙවෙයි. දුක කියලා. ඔය පහන් දැල්ල ටිකෙන් ටික ටිකෙන් ටික, එන්න එන්න, ඇඟේ හැප්පෙන තරමට ළගට එනකොට, මේකෙ දුක ළඟට එනව ද? දුක ළඟට එනවා. 

මේකෙ තියන යථාර්ථය මොකක්‌ ද? ඇත්ත ම ඇත්ත මොකක්‌ ද? දැන් යථාර්ථය බලන්න. දැන් ඒ පහනට ගෑවුණොත් හරි අත දැම්මොත් හරි පිච්චෙනවා නම් ඒක පහන් දැල්ල නො වෙයි දුක නේ ද? ඒ නිසා ඒ දුක ළඟට එන්න එන්න පහන් දැල්ල ටිකෙන් ටික පළ`ගැටියා ගාවට ආවොත් මේ පිච්චෙන බව නො වෙයි ද ළඟට එන්නෙ? දුක නො වෙයි ද මේ ළඟට එන්නෙ? එහෙනම් අපට කියන්න ම වුණොත් ඇත්ත ම ඇත්ත, පළ`ගැටියාට කියන්න වෙනවා, "ඔය පහන් දැල්ල නො වෙයි, ඕක තමයි දුක. ඔය පහන් දැල්ල ළඟට එන්න එන්න ඔය ළඟට එන්නේ සැප නො වෙයි. දුකයි ළඟට එන්නේ" කියලා කියන්න වෙනවා නේ ද? ඒ කියන්නේ ඇත්ත ම ඇත්ත තමයි. ළඟට ඇවිත් හැප්පුණොත් හෙම මොක ද වෙන්නේ? අනිවාර්යයෙන් ම පිච්චෙනවා. ඔය පහන ටික ටික ඔබෙන් ඈත් වුණොත් දුක එනවා නො වෙයි, දුක නැති වෙන්නේ එතකොටයි කියලා කියන්න වෙනවා නේ ද? 

දැන් පහන් දැල්ල පළ`ගැටියා ගෙන් ටික ටික ඈතට යනවා නම් පිච්චීම නේ ද ඈතට යන්නෙ? පුළුවන් තරම් ඉක්‌මනින්, පුළුවන් තරම් වේගයෙන් පහනට පනින එක නතර කරන්නයි තියන්නෙ. පහන ඉවත් කරන්න කියන එකයි අපට මාර්ගය හැටියට කියන්ඩ වෙන්නෙ. 

පළ`ගැටියා හැම දා ම නො දැක්‌කා, හැම දා ම නො පෙනුණා, හැම දා ම නො තේරුණා, ඒත් ඇත්ත ඇති හැටියේ පැවතුණා. හැම දා මත්, උපන්න දවසේත්, දැක්‌කෙ පහන් දැල්ල කියල මයි. ඉපදුණේ, හැදුණේ වැඩුණේ පහන් දැල්ල කියලමයි. මැරෙන්නෙත් පහන් දැල්ල කියලමයි. ආයෙ ඉපදෙන්නෙත් ඔය පහන් දැල්ල ලැබුණොත් හොඳයි කියන තැනකින් මයි. මැරෙන්නෙත් මේ පහන් දැල්ල ඈතට ගියොත් තමන්ට දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනින් මයි. 

නො දන්නාකම ඇතුළෙ ම ඉපදිලා, නො දන්නාකම ඇතුළෙ ම ජීවත් වෙලා, නො දන්නාකම ඇතුළෙමයි මැරෙන්නේ. කව දා වත් එයින් ඔබ්බක්‌ හම්බ වෙන්නේ ම නෑ. ආයිත් උපදින තැනක දීත් ඔහොම මයිs හම්බ වෙන්නෙ. 

ඒ වගේ, අප ඉපදෙන්නෙ ම අම්මා, තාත්ත, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් තියෙන තැනක මයි. දුක දකින්නෙ ම නැතුවයි. ඒ දේවල් ලැබුණොත් තමයි සැප, සතුට තියන්නේ කියන තැනකින් තමයි ජීවත් වුණෙත්, මැරෙන්නෙත්. මේ දේවල් නො ලැබුණොත්, මේවායින් අයින් වෙන්න වුණොත්, දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනකින් මයි ආයෙත් උපදින්නෙත්. 

ලෝකය කියන්නේ ඔන්න ඔය මානසික මට්‌ටමටයි. ලෝකය කිව්වම දකින්න එපා, සැපක්‌, සත්‍යයක්‌ හැටියට. මේ ලෝකය කියන එක මැවිලා තියන්නේ මේ මානසික මට්‌ටමට. ඊට පස්‌සේ ලෝකෝත්තරයි කියන්නෙ, එහෙම නැත්නම් මේ ලෝකයෙන් එතෙර වෙන්නෙ, දුකෙන් එතෙර වෙන්නෙ කියන තැන, වෙන මුකුත් ම නො වෙයි. සත්‍යවබෝධයක්‌ කළාමයි. ඇත්ත තත්ත්වයමයි. 

පළඟැටියාට අපේ අදහසක්‌ ද අපි කිව්වේ? පළ`ගැටියා ගැන ඇත්තක්‌ වත් බොරුවක්‌ වත්, අපේ අදහසක්‌ වත් අපි හදාගත්ත ඇත්තක්‌ වත් කිව්වා නො වෙයි. ස්‌වාභාවික සත්‍යයක්‌, සත්‍යය කිව්වේ ඒක වෙනස්‌ වෙන්නේ නැති එකක්‌.

ඒ වගේ මේ චතුරාර්ය සත්‍යය කියන එක බුදුරජාණන් වහන්සේ ගේ දෙයක්‌ කිව්වා නො වෙයි. ඔබ ගේ අපේ ජීවිතවලින් පරිබාහිර ව කිව්වත් නො වෙයි. 

ඒ වගේ තමයි. ලෝකයා යමක්‌ "සැපයි" කියයි ද, ආර්යයන් වහන්සේලා ඒක "දුකයි" කියනවා. ආර්යයන් වහන්සේ ලා යමක්‌ "සැපයි" කියයි ද? ලෝකයා ඒක "දුකයි" කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකෝත්තර කියන්නේ ලෝකයා කියන දේට හාත්පසින් ම අනිත් පැත්ත. යථාර්ථය. ආර්යයන් වහන්සේලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය කියන්නේ උතුම්( උතුම් වුණේ වෙන මුකුත් හින්දා නො වෙයි, ඇත්ත හින්ද. ලෝකයට අයිති නැති වුණේ, ලෝකය කියන එකට ද ඔබ්බෙන් පවතින "සත්‍යය" කියන එකට මනස ගිය හින්දා. ලෝකය කියන්නේ බොරුව. ලෝකය කියන්නේ යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟිච්ච මානසික මට්‌ටමටයි. 

දැන් පළ`ගැටිය ගෙ අරමුණේ දී පළ`ගැටියයි අපයි අතරේ තියන මානසික මට්‌ටම තේරුම් ගන්න පුළුවන් නේ. පළ`ගැටියාට පහන පෙනෙන කොට අපට පෙනෙනවා දුක. පහනේ ලැබීම සැප හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා දුක හැටියට. පහනේ නො ලැබීම දුක හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා සැප හැටියට. පහන ලබාගැනීම මාර්ගය හැටියට පළ`ගැටියාට පෙනෙන කොට පහන නො ලබා ගැනීම මාර්ගය හැටියට අපට පෙනෙනවා. 

ඒත් දැන් අපි පළ`ගැටියා ගේ මට්‌ටමට ඇවිල්ලා. දැන් අපිට දුක දුක හැටියට පෙනෙන්නේ නෑ( අපට පෙනෙන්නේ ඉඩ කඩම් යානවාහන ගෙවල් දොරවල් මිල මුදල් හැටියටයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒවා දකින්නේ දුක හැටියටයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ "ලක්‌ෂණ" ටිකක්‌ කියනවා. දුකට "ලක්‌ෂණ" ටිකක්‌ කියනවා. "ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛාථ ව්‍යාධිපි දුක්‌ඛා, මරණංපි දුක්‌ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්‌ඛෝ, පියෙහි විප්පයොගෝ දුක්‌ඛෝ, යම්පිච්ඡං න ලභති, තම්පි දුක්‌ඛං, - යම් තැනක ඉපදීමක්‌ තියෙනවා නම් යම් දෙයක්‌ තුළ, යම් වස්‌තුවක්‌ තුළ යම් තැනක ඉපදීමේ ලක්‌ෂණය තියෙනවා නම්, දිරන ලක්‌ෂණය තියෙනවා නම්, ලෙඩ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, මැරෙන ලක්‌ෂණය තියෙනවා නම්, අප්‍රියයන් හා එක්‌ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, ප්‍රියයන් ගෙන් වෙන් වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, කැමැති දේ නො ලැබිමේ ලක්‌ෂණය තියෙනවා නම්- මේ ආදී වශයෙන් දුක හඳුනාගැනීමේ ලක්‌ෂණ ටිකක්‌ දේශනා කළා. යම් වස්‌තුවක්‌ තුළ ඔය ලක්‌ෂණ ටික තියනවා නම් - ඉපදීමේ ගතිය, දිරන ගතිය, ලෙඩ වෙන ගතිය, මැරෙන ගතිය - දකින්න, මේ දුක කියලා. එතකොට දුක දකින්න මේ ලක්‌ෂණ ටික කිව්වා. අපි ඔය ලක්‌ෂණ වචනවලින් කිය, කිය, රත්තරං හැටියට දකිනවා නම්, අපි දුක දකින්නේ නැහැ. මේ දරුවා නො වෙයි රත්තරං නො වෙයි. මේ රිදී නො වෙයි. මේ මුතු මැණික්‌ නො වෙයි. මේ දුකයි. 

"ආනන්ද, සර්පයෙක්‌" කියලා කිව්වෙත් මේක ම තමයි.