ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

පැමිණි සියලු දේ ආපසු යනු ඇත...

ජීව අජීවවූ ලෝකය අනේක විධ වූ රූපවලින් පිරී ඉතිරී තිබේ. මේ වූ රූප ලස්‌සන හා අවලසන්න රූප යනුවෙන් මිනිස්‌සුබෙදා වෙන්කරගෙන සිටිති. සැබවින්ම මේ වූ කලී ලෝකයාගේ ප්‍රඥප්තියක්‌ පමණකි. ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වන්නේ ඔවුනොවුන් විසින් පනවා ගනු ලැබූ දෙයක්‌ය. ඒ හැර ඒ හැම දේහිම ඇත්තේ නිරන්තරයෙන් සිදුවන්නාවූ වෙනස්‌වන ස්‌වරූපය හෙවත් අනිත්‍ය බවයි. අනිත්‍යවූ දෙය දුකින්ද පිරී තිබේ. ඉන් ඉක්‌බිතිව ආත්ම වශයෙන් ගත හැකි සදාකාලික කිසිවක්‌ නැති මේ රූපයෝ නැත්තටම නැතිවී යති. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රූපවලට්‌රූප' යෑයි දේශනා කළේ ඒවා මොහොතින් මොහොත කලින් කල අමුතු අමුතු ස්‌වරූප ගන්නා හෙයිනි. ලෝකයා රූපත් හෝ විරූපත් යනු විසින් සලකනු ලබන කවරවූ හෝ රූප ස්‌කන්ධයක්‌ ගැන මොහොතකට මෙනෙහි කරන්න. 

නිදසුනක්‌ ලෙස මිනිස්‌ රූපයක්‌ ගනිමු. එය ජරා ගින්නට මොහොතින් මොහොත බිලිවෙමින් අවසානයේදී බැලීමටත් අප්‍රසන්න වූ අප්‍රිය වූ රූප කායක්‌ බවට පත්වන්නේය. ඉන් පසුව තවත් ටික කාලයකින් එය මළ කුණක්‌ බවට පත්වන්නේ ගෙදරක තබා ගම්මානයකවත් තබාගැනීමට නොහැකිවන ලෙසිනි. ඒ තවත් නොබෝ කාලයකින්ම එය ඇට ගොඩක්‌ බවටත් මේ මහා පොළොවේම පස්‌ගොඩක්‌ බවටත් පත්වන්නේය. සැබවින්ම මෙයින් පෙනෙන මේ මහා විශ්වයේ කවර තැනෙකටත් කවර දෙයකටත් පොදුවූද, අකාලික වූද, සනාථන දහම කුමක්‌ද?' සියල්ල පැමිණී යළි ආපසු යන බව නොවේද?

අනේක ප්‍රකාර වූ කෙලෙස්‌ නිසා ඔබ තුළ පරිදාහය නැතහොත් දුක හා මිශ්‍රවූ වෙහෙස ඇතිවන්නේ මේ උත්තරීතර සත්‍යය කිසිදාකවත් ඔබ තේරුම් නොගන්නා නිසාය. මේ තාක්‌ ඔබගේ විඤ්ඤාණය දහස්‌ සුවහස්‌ වූ ආශාවන් සමඟ බැඳී සිටී. තවත් සරලවම පැහැදිලි කරන්නේ නම් ඔබේ විඤ්ඤාණය, නැතහොත් සිත නොයෙකුත් ආරම්මණයන් (සිතුවිලි) අල්ලාගෙන නැවතීමක්‌ නොමැතිව දිගින් දිගටම ගලාගෙන යයි. ඔබ මව් කුසයෙහි පිළිසිඳුණු දිනය ඔබට දැන් මතක නැත. එමෙන්ම ඒ තුළ ජරා ගින්නට බිලිවෙමින් මේරීමට ලක්‌වී ඔබ ලෝකයට බිහිවුණු දිනයේ ඇතිවුණු හැඟීම්ද ඔබට හරිහැටි දැන් මතක නැත. එහෙත් එදා පටන්ම ඔබේ විඤ්ඤාණය ලෝකයේ අනේකවිධ වූ ආරම්මණයන් අල්ලා ගනිමින් කෙළවරක්‌ නොමැතිව නැගී සිටියේය.

මේ පිළිබඳව ඔබ මොහොතකටවත් ගැඹුරින් සිතා සිටියේද? ඇත්තෙන්ම ලෝකයේ නොයෙක්‌වූ මේ නිසරු අහුකොන් අල්ලාගනිමින් ඔබේ විඤ්ඤාණය නිමාවක්‌ නැතිව මෙලෙසින් අසුරු සැණෙක්‌ පාසා නැගී සිටින්නේ ඔබ උපන් දා පටන් නොවේ. අදින් එහා අවුරුදු කෝටි ගණනක තරම් ඈත අතීතයක පටන්ය. ඔබේ ඔය සිත මෙලෙසින් නැගිනැගී පැමිණෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙ දක්‌වා වදාළේ සත්ව සංතානයේ නොනැසී පවත්නා නාමරූප පරම්පරාව හැටියටය. ලෝකයේ ඇති අනේක ප්‍රකාර රූපවල ඇලෙමින්, බැඳෙමින්, රැඳෙමින් සිත සීමාවක්‌ නොමැතිව සිතුවිලි ඉපදවීම මෙහි ඉතා සරල අර්ථය ලෙස පැහැදිලිකර දිය හැකිය. පුද්ගලයා නැතිනම් සත්වයා සංසාරයේ අනන්ත ඈතින් ඈතට ගෙන යන්නේ මේ නොබිඳී, නොනැසී පවත්නා වූ චිත්ත පරම්පරාවයි. යමෙකුගේ මේ නාමරූප ධර්ම සමූහය ඒ අමානිවන ළඟ සදාතනිකවම නතරවී සංසාර දුකින් අතමිදෙන්නේ උතුම් චතුරාර්යය සත්‍යය අවබෝධ ඥනයෙන් ප්‍රත්‍යක්‍ෂකොටගත් කල පමණි. එනම් අර අසීමාන්තිකවූ සිතුම් හෙවත් කෙලෙස්‌ කල්පනාකිරීම සදහටම නවතා දැමූ කලදීය. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විෂයෙහි සිදුවන ක්‌ලේෂ පරිනිර්වාණය යනුද මෙයම ලෙස පෙන්වාදිය හැකිය. මේ උතුම් වූ සංහිඳියාවේ පටන් මාරයා යළිත් ඔබේ විඤ්ඤාණයට එබිකම්කරන්නේ නැත. තවත් පැවසුවොත් ඔබේ විඤ්ඤාණයේ අනුත්පාද නිරෝධය මාරයාට සොයාගත නොහැකිය.

මෙසේ අමා නිවන් පසක්‌කොට ගැනීම තුළින් මාර විජිතය හෙවත් මේ ලෝකය ඉක්‌මවා සංසාර සාගරයෙන් එතෙරවීමට නම් ඔබ හැම මේ කමටහන නිබඳව වැඩිය යුතුය. මෙනෙහි කළ යුතුය. ඒ උතුම් කමටහන නම් අන්කිසිවක්‌ නොවේ, ඔබේ ජීවිතයද ඇතුළු ලෝකයට අයත් සියල්ල පැමිණ යළි ආපසු යන බවයි. සංසාරික වූ ජීවිතයේදී ගතකරන සෑම මොහොතක්‌ පාසාම ඔබ මෙය නිරතුරුවම ප්‍රත්‍යවේක්‌ෂා කරන්නේ නම් (සිහිපත් කරන්නේ නම්) ඔබට මුළුමනින්ම වෙනස්‌ විඤ්ඤාණයක්‌ ලැබෙන්නට පටන් ගනී. සංසාර ජීවිතයේදී සෑම මොහොතකම ඔබට අවශ්‍ය වී ඇත්තේ කුමක්‌ද? බොහෝ විට තමන් ළඟ නැතැයි සිතෙන යමක්‌ කෙසේ හෝ ළඟාකර ගැනීමටයි. ඊළඟට තමන් සන්තකයේ ඇති තමන් අකමැති දෙයක්‌ කෙසේ හෝ බැහැර කර ගැනීමට ඇති අවශ්‍යතාවද ඔබට නිතර වද දෙයි. මේ තුළින් කවරදාකවත් ඔබට සම්පූර්ණයෙන්ම නිවී සැනසුණු අමා නිවන ස්‌පර්ශ කළ හැකි අභ්‍යන්තර හැඟීමක්‌ ඇති නොවේ. මෙහි බියකරුම ප්‍රතිඵලය බොහෝ විට ඔබේ ජීවිත සතර අපායේ කල්ප ගණන් පැහෙන්නට වැටෙන එකයි.

'සියල්ල පැමිණ, ආපසු යන්නේ නැත. ඒවා සදාකාලිකවම ලොව තුළ තිබේ' යන අපායසහායී කල්පනාවෙන් ජීවිතය ගෙවීම තුළින් ඔබ රැස්‌කරගන්නා,සකස්‌කර ගන්නා මේ භයානක අකුසලයේ අස්‌වැන්න කෙතරම් භයංකාර වී තිබේද?

තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ජීවත්වූ ආනන්ද සිටුවරයාගේ කතාවෙන්ද පිළිබිඹුවන්නේත් තෘෂ්ණාව නමැති කොටු පවුරේ එලෙසින් රැඳී සිටීමේ මහා සංසාරික අනාත බව නොවේද? ආනන්ද සිටුවරයා ජීවත්වූයේ බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ඡේතවනාරාමය පිහිටා තිබුණු සැවැත් නුවරමය. එහෙත් ඔහු තුළ උතුම් ශ්‍රද්ධාවේ අංශු මාත්‍රයකුදු නොතිබුණේය. එනිසාම ඔහුගේ එවන් විඤ්ඤාණයට දන්දීමේ හෝ කුසල් කිරීමේ උත්තරීතර ආරම්මණය කිසි දිනෙකවත් පැමිණියේ නැත. එහෙයින්ම ආනන්ද සිටුවරයාගේ සිත තද මසුරු මළින් කෙලෙසිණි. කවදාවත්, කාටවත්, කිසිවක්‌ නොදුන් ඔහු ජීවිත කාලය තුළදීම කළේ ධනය රැස්‌කරන එකය.

ඒ ධනය හා මසුරු මළ සහිත ජීවිතය හැමදාමත් එසේම පවතින එකක්‌ ලෙස සිතූ ඔහු ලොව සියල්ල ලොව හමුවටපැමිණ ඉවරවී යළි ආපසු යන බව කිසිවිටෙකවත් සිහිපත් කළේ නැත. අන්තිමට ඔහුගේ ජීවිතයද ඉවර විය. 

ඔහු සතුව තිබූ කෝටි ගණනක්‌ වූ ධනයද වෙනත් අයකු වූ මූලසිරි සිටු පුත්‍රයාට අයිති විය. ආනන්ද සිටුවරයා දැඩි මසුරු මළ සහිතව මියගිය නිසා චුති සිත අනුව අන්ත දුගී තැනෙක ඉතා විරූපී ශරීරයක්‌ ඇතිව උපත ලැබුවේය. එමෙන්ම එක්‌ ජීවිතයක්‌ නිමාකොට ව්‍යාධි දුඃඛයෙන් පහරදෙනු ලැබ, ජරා ගින්නෙන්ද දැවී අවසානයේදී මරණයට පත්වන බොහෝ අය අද දෙව් විමන්වල උපත ලබන බවක්‌ අසන්නට නොලැබේ. එසේ වුවත් ප්‍රේත ලෝකයේ ඉපදී කල්ප ගණන් දුක්‌ විඳීමින් ඔවුන් ගතකරන ජීවිත පිළිබඳව සිල්වත් යතිවරුන්ගේ සමාධිමත් සිතට නිරන්තරයෙන්ම දක්‌නට ලැබේ. අලංකාර සෞන්දර්යයෙන් යුත් රූපයකට, තමන් දැඩි සේ ආශාකරන වස්‌තුවකට හෝ පුද්ගලයකුට ඇල්ම ඇතිව ඔබ මේ ජීවිතය පුරා ගතකරනු ඇති. 

එහෙත් ඔබ මතක තබා ගත යුත්තක්‌ තිබේ. ඔබ නොදැනුවත් වුවද මේ සිදුවන්නේ ඔබේ විඤ්ඤාණය, ලෝකයේ එක්‌ එක්‌ මායාවන්වල පැටලෙමින් යළි යළිදු නැගී සිටීමයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයාගේ දුක කොටස්‌ කිහිපයකට බෙදා දැක්‌වූහ. ඒ දුඃඛ දුක, විපරිණාම දුක හා සංසාර දුක යනාදී වශයෙනි. මෙයින් අතිශය භයංකාරතම දුක වන්නේ සංසාර දුකයි. එනම් ඒ දුක අසීමාන්තිකය. නැත්නම් අනවරාග්‍රය. ඒ දුකට වැටෙමින් ඔබ කලෙක රජකු වන්නට ඇත. ඇමැතියකු වන්නට ඇත. මවක වන්නට ඇත. පියෙකු වන්නට ඇත. දරුවකු හෝ දැරියක වන්නට ඇත. බල්ලකුගේ බැල්ලක වන්නට ඇත. ගොනකු, සාවකු, මුවෙකු, වඳුරෙකු, සර්පයෙකු, මැඩියෙකු, ප්‍රේතයෙකු, ප්‍රේතියක හා අසුරයකු ආදී වශයෙන් මේ නොයෙක්‌ ආත්ම නැත්නම් භවවලට අනන්ත අප්‍රමාණ වාර ගණන් පිවිසෙන්නට ඇත. මේ සෑම භවයමදීම ඔබ ලැබූ සුව සහන නම් අවමය. ඔබ හැඬූ කඳුළු සතර මහා සාගරයේ ජලය තරම්ම වනු ඇත. ඔබ ඒ භවවලදී කොතෙක්‌ නින්දා පරිභව හා පහරකෑම් ලබන්නට ඇත්ද? එහිදීම ඔබ විවිධෝපක්‍රම මගින් මරණයට, ව්‍යාධියට පත්වූ අවස්‌ථා කොතෙක්‌ විය හැකිද? ඒවා මෙතෙකැයි ගණන් මිනුම්වලින් දැක්‌වීමට පවා නොහැකිය. සංසාරය පුරාවටම මේ සෑම දුකක්‌ම ඔබට උරුමකර දුන්නේ එක අරමුණකින් තොරවනවිට තවත් අරමුණක්‌ අල්ලාගෙන නැගී සිටින්නාවූ ඔබේ පාපිවූ විඤ්ඤාණයමය. සම්මා සම්බුද්ධ ධර්මයේ වීතරාගී හරයට, නිරාමිස දර්ශනයට ඔබේ හදවත විවර නොවන තාක්‌ කල් ඔබගේ අනවරාග්‍ර සංසාරික ජීවිතයේ මේ අනන්ත දුක්‌ පිරිපත අවුරුදු කෝටි ගණනක්‌ ගෙවී ගියත් ඔබ කෙරෙන් ගිලිහී නම් නොයනු ඇත. මේ තාක්‌ ඇතැම් විට ඔබ ආශාවන් ප්‍රහීන කිරීම, දන්දීම, කෙලෙස්‌ තැවීම ආදිය ගැන අප්‍රමාණව කතා කරනුද ඇත්තේය. අනිස බව හා අස්‌ථිරතාවය පිළිබඳව දහස්‌ ගණන් වූ පිටු සහිත නිබන්ධයන්ද රචනා කරනු ඇත්තේය. එතෙකුදු වුවත් ඔබේ අසාර ජීවයද ඇතුළු ලොව සියලු දේ ලොව හමුවට පැමිණ යළි ආපසු යන බව ඔබ සිතන්නවත් නැතිව ඇත. එහෙත් ඒ උපාදානමය වූ විඤ්ඤාණ විසින් කර්මානුරූපීව ඔබ අනේකප්‍රකාර වූ යෝනීන් වෙත පමුණුවනු ඇත්තේය. ඒ අතරින් ඔබට වැඩිපුරම දායාද වශයෙන් ලැබෙනු ඇත්තේ නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර ආදිවූ සතර අපායට අයත් යෝනීන්ය. හුදෙක්‌ම ඒ අනුත්පාද නිරෝධයෙන් තොරවූ විඤ්ඤාණයෙන් ඔබ අල්ලා ගන්නා ක්‌ලේෂාරම්මණන් නිසාය.

මේ දුක නැවැත්වීම සඳහා කළ යුතු ආර්ය පර්යේෂණය කුමක්‌ද? සංසාර ජීවිතය ඇති අපෞද්ගලිකත්වයේ කෙළවරම සොයා වෙහෙසීමයි. තවත් අයුරෙකින් දේශනා කරන්නේ නම් ලෝකයට අයත් අරමුණු සියල්ල අතහැර දමන තැනට පැමිණීමයි. සිත යනු අරමුණු නැත්නම් කෙලෙස්‌වල මූලස්‌ථානයයි. එය මහා ඉනද්‍රජාලකයෙකි. එය සෑම අවස්‌ථාවකම මේ මායාමය සංදර්ශන සත්වයා වෙත පෙන්වීමට සැරසී සැදි පැහැදී සිටී. සත්වයා ඒවා වෙන්කොට හඳුනාගන්නට ගිය වහාම ඒ සංදර්ශන සමග නිමාවක්‌ නැතිව එකතු වේ. බුදුරජාණන් වහන්සේ වරෙක පාපී මාරයා ලෙස දක්‌වා වදාළේද සිතෙහි මේ වූ ක්‌ලේශබරිත පෙළඹවීමේ ස්‌වභාවයමය යෑයි කල්පනා කළ හැකිය.

සංවාද සටහන - සුගත් වීරසූරිය