ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

තථාගතයන් වහන්සේ වදාළ ගම්භීර දේශනාව

අභ්‍යන්තර හෝ සංසාර ගමනේ කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් කඳුළින්,දුකින්, සුසුමින් ගලාගෙන යන මේ දිවි සසර ගමනේ මුලාව දකින්න අප හැම කෙනෙක්ම යම් කැමැත්තක් උපදවාගෙන තිබෙනවා. මේ සසර ගමනේ මුලාව දකින ලොව්තුරු බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මහ ප්‍රඥාවෙන් යුතුව අවශ්‍ය කරන ධර්ම උපදේශනයක් නො අඩුව ලෝකයට දේශනා කොට තිබෙනවා. ඒ දේශනා ධර්මය සද්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවට අනුව පිළිපැදිමෙන් අනුගමනය කිරීමෙන් අප බලාපොරොත්තු වන දුක කෙළවර කොට ඇති අමා ශාන්තියට පැමිණෙන්ට පුළුවන්.
ඒ සඳහා අවශ්‍ය කරන ගමන්මඟ උපදවා ගැනීමට උපකාරක ධර්ම දෙකක් දේශනාවේ කියවෙනවා. ඒ මඟ උපදවා ගැනීමට හේතු දෙකක් ප්‍රත්‍ය දෙකක් ලෙස යෝනිසෝමනසිකාරය හා සද්පුරුෂය ආශ්‍රය ගැන දක්වා තිබෙනවා. තමා විශේෂ කර කල්පනා කරලා කුමක්ද? කළයුත්තේ කියා හඳුනා ගන්න ඕන. මේ කියන වැඩපිළිවෙල අනුගමනය කිරීමෙන් අප හැමට සසර කතර තරණය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් අතරින් සුවිශේෂ දේශනාවක් ලෙසටයි සතිපට්ඨාන දේශනාව අප සලකන්නේ. අදත් අප සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව අපේ ගමන්මඟ පිළියෙල කර ගන්නේ කොහොමද? කියා බලමු.

තථාගතයන් වහන්සේ මේ උතුම් ගම්භීර දේශනාව සිදුකළේ කුරු රටේ කම්මාසධම්ම නම් වූ ගමේදීයි. ඒ ප්‍රදේශයේ සිටි සියලුම දෙනා වෙර වීරිය වඩන පිනත්, ප්‍රඥාවත් දියුණු කිරීමට දක්ෂ පිරිසක්. දැසි දස්සන්, කම්කරුවන් පවා සතිපට්ඨාන භාවනාවේ යෙදී සිටියා. ඔවුන් අතරේ හැදී වැඩුන සුරතල් සතුන් පවා ඒ කමටහන් පාඩම් කරගෙන නිතර නිතර කියවමින් භාවිතා කළ බව එක්තරා ගිරවෙකු පිළිබඳව කියවෙන ප්‍රවෘත්තියක සඳහන් වෙනවා. වණ අරණක හැඳුන ගිරා පෝතකයා දිනක් වෙනත් කුරුල්ලෙකු විසින් ග්‍රහණය කරගෙන ගොදුරු කරගන්නට නියපොතුවල පටලවාගෙන අරගෙන යන වේලාවේ සාමණේර භික්ෂූන් වහන්සේ කෑගසා ශබ්දකරලා ඒ සතාගෙන් ගිරවා බේරාගෙන ඇසුවා "අනතුරට පත් වූ වෙලාවේ ඔබට සිතුණේ කුමක්ද?" කියා. "ඇටසැකිල්ලක් තවත් ඇටසැකිල්ලක් විසින් ග්‍රහණය කරගෙන යන්නේ ය. තව නොබෝ වේලාවකින් මේ ඇටකටු ටික විසිර යන්නේය" යැයි මට කල්පනා වුණබව ගිරවා කියා සිටියා.
මෙයින් ලබාදෙන අදහස නම් මේ ප්‍රදේශයේ ජීවත් වූ හැමෝම සතිපට්ඨාන භාවනාවට යොමු වී සිටි බව. උන්වහන්සේ මෙබඳු දේශනාවක් ඒ ප්‍රදේශයේදී සිදුකළේත් "එබඳු නුවණින් යුක්ත වූ නිසාම යි. ඒ ප්‍රදේශයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සිව්වනක් වූ පිරිස අමතා ඒ දේශනාව සිදු කරන්නේ ‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ’ ඒකායන මාර්ගය කුමක්දැයි පැහැදිලි කරමින්. එහිදී උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව,වඩන කෙනෙකුට ලැබෙන්නා වූ ප්‍රතිලාභ පිළිබඳව පළමුව පැහැදිලි කළා. වෙනත් සූත්‍රවල දක්නට නො ලැබෙන තරමේ මේ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනකුට ලැබිය හැකි ප්‍රතිඵලය කුමක් ද? කියන අදහස පළමුව විස්තර කළා. විවරණය කළා. එහිදී කියවෙනවා ලෝක සත්ත්වයා තුළ පවතින අවිද්‍යා, තෘෂ්ණා, කෙලෙස්, ආශ්‍රව ධර්මයන්ගෙන් විසුද්ධියට පැමිණීම පිණිස ශෝක කිරීම් ගුණ කියමින් නම කියමින් හඬා වැළපීම්වලින්ද ශෝක පරිදේවයන්ගෙන් අත මිදීමටත්, කායික දුකින්, මානසික දුකින්, පීඩාවෙන් එතෙරව ඤාණය උපදවාගෙන මගඵල ලබන්නත්, ඒ මාර්ගඵල කෙළවර සෝවාන් ආදී මඟ පිළිවෙලින් ඇවිත් නිර්වාන ධර්මය සාක්ෂාත් කරන්නත්, මේ සතිපට්ඨාන දේශනාව උපයෝගි වන බව. මේ ලෝකයේ යම් කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න වුවමනානම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සපුරා සෝතාපන්න මාර්ගයට පැමිණ ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවා ගන්නවා. සම්මා දිට්ඨිය වඩනවා. සම්මා දිට්ඨිය වැඩීමේදී දියුණු කිරීමේදී ඒ දක්වා වැඩෙන ගමන්මඟ උපදවාගන්න අවබෝධ කර ගන්න මේ සතිපට්ඨානයමයි බොහෝ උපකාර වෙන්නේ. එහිදී එන ඕනෑම කායික මානසික වූද දුකක් වේදනාවක්, පීඩාවක් විඳ දරා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. සමහර ආශ්‍රවයන් තිබෙනවා ඉවසීමෙන් දුරු කරන්න ඕන. ඉවසන්නේ නැතුව ශාන්ත නැතුව ක්ලේශ ප්‍රහාණය කරන්න බැහැ. ඒ සඳහා අපට ධර්මයේ කියවෙන විට යම් යම් ස්වාමින් වහන්සේලා අතීතයේදී කෙබඳු දුකක් දරාගෙන මේ සතිපට්ඨානය වැඩියාද ඒ වැඩීමෙන් මගඵල නිවන්සුව සාක්ෂාත් කර ගත්තාද? කියා හමුවෙනවා.
අතීතයේදී එක්තරා සහෝදර දෙපළක් බොහෝම සමඟියෙන් වෙළහෙළදාම් කරගෙන සතුටින් වාසය කළා. දිනක් බුදුරජාණන් වහන්සේ මුණගැසුන වැඩිමහල් සහෝදරයා මේ ශාසනයේ පැවිදි වෙමියි කියා සහෝදරයාගෙන්ද කැමැත්ත අරගෙන තමන් සතු සියලු දේපල සහෝදරයාට බාර දී පැවිදි වෙලා භාවනා වඩන්න වනාන්තරයට ගියා. සහෝදරයාගේ බිරිඳ සිතනවා මේ හිමියන් ශාසනයේ කලකිරිලා සිවුරු ඇරලා නැවත ගෙදර ආවොත් මේ දේපල දෙන්න වෙනවා. ඒ නිසා ශ්‍රමණ සහෝදරයා මරා දැම්මොත් අපට සුවසේ සැපසේ දිවි ඇතිතාක් මේ ධනය භුක්ති විඳින්න පුළුවන් යැයි සිතා එක්තරා සොර කණ්ඩායමයකට මුදල් දී ඒ හිමියෝ මැරීමට පිටත්කළා. උන්වහන්සේ සක්මන් කරමින් සිටියදී සක්මන් මළුව සොරුන් වටකළා. උන්වහන්සේ අහනවා උපාසකවරුනි, ඇයි මේ? සොරුන් කියනවා අප ආවේ ඔබවහන්සේ මරාදාන්න. මාව මැරුවම ඔබලාට සෙතක් අත්වෙනවා ද? අපට විශාල ධනයක් ලැබෙනවා. එහෙනම් මාව මැරුවට කමක් නැහැ. ඒත් උපාසකවරුනි, මට හෙට උදෑසන වෙනකම් ඉඩක් දෙන්න. සොරු එය පිළිගත්තේ නැති නිසා උන්වහන්සේ ඇපයක් වශයෙන් විශාල ගලක් අරගෙන තමාගේ කකුළේ ඇට බිඳ ගන්නවා. ඊට පස්සේ අසනවා උපාසකවරුනි, මේ ඇපය ඇද්ද? ඒ සොරු උදේ වෙනතුරු අවස්ථාව ලබාදුන්නා. මේ තෙරුණුවෝ දරුණු වද වේදනා විඳිමින් කල්පනා කරනවා මේ සංසාරේ ඇවිදින තාක් කොතරම් සොර සතුරු පහරින් මිය යන්න ඇද්ද? මේ අත් පා බිඳිලා අසරණව, අනාථව ඇවිදින්න බැරි වූ කී වාරයක් මිය යන්න ඇද්ද? ඒ නිසා මේ දුක සංසාරයේ විඳින්න තිබෙන දුකත් සමඟ සංසන්දනය කළොත් දුකක් නොවේ. සංසාරයේ ගමන් කරන්න වුණොත් එය විශාල දුකක්. ඒ මහ දුකින් මිදෙන්න මම මේ ස්වල්ප දුක විඳ දරා ගන්නවා යැයි අධිෂ්ඨාන කරමින් උන්වහන්සේ ඉදිරියේ විඳින්න තිබෙන සසරේ මහ දුකෙන් මිදෙන්න සිතට වීර්ය උපදවාගෙන පසුදින උදෑසන වනවිට සව්කෙලෙසුන් නසා මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
තවත් ස්වාමින් වහන්සේ නමක් ව්‍යාඝ්‍රයකුට හසුවෙලා කෑලි කඩමින් ශරීරය කන වෙලාවේදී ඒ දුක යටපත් කරමින් සතිපට්ඨාන භාවනාව වඩලා සව්කෙලෙසුන් නසා රහත්බව ලැබුවා. ඒ ශක්තිය උපදවා ගත්තේ සතර සතිපට්ඨානය තුළින්. ඒ තරම් කායික දුකක් වුවත් දරාගන්න, පාලනය කරගන්න පුළුවන් හැකියාව මේ සතිපට්ඨානය තුළ තිබෙනවා. මානසික මහ දෝමනස්සයක් වුවත් විඳ දරාගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා.
නමුත් අද අපට පොඩි කැක්කුමක්, වේදනාවක් එනකොට ඒවාට යට වෙනවා. එවිට නූපන් මඟ උපදවා ගන්න බැහැ. එවිට ඒ හැකියාව මේ සතිපට්ඨානය තුළින් වැඩෙන්නේ නැහැ. ඒ වගේම "පටාචාරා" නම් අසරණ අම්මා මරණය ඉදිරියේ දුකට වේදනාවට පත් වූ අයෙක්. උම්මත්තිකයට පත් වූ ඇයට පවා මේ ධර්මය තුළින් මේ ශෝක පරිදේවයන් සංසිඳුවා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මේ ධර්මය කියන්නේ අප ළඟ තිබෙන සියලු දේ ඉක්මවා යන්න පුළුවන් හැකියාවක් තිබෙන දෙයක්. ඒ හැකියාව තිබෙන කෙනෙකුට කායික මානසික සියලු දුක් යටපත් කරන්න පුළුවන්. නුපන් මඟ උපදවා ගන්න පුළුවන්. නිවන් මඟ වඩන්න පුළුවන්. ඒ තුළින් නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ සිතේ නික්ලේශි බව මතයි. අශුද්ධ කෙනෙකුට ඒ අශුද්ධි බවින් මිදිලා විශුද්ධියට පමුණුවන මඟ පිළිවෙල දැනගන්න ඕන. විශුද්ධිය ගැන ධර්මයේ සඳහන් වෙනවා සීල, චිත්ත, දිට්ඨි, කංකාවිතරණ, මග්ගාමග්ග ඤාණ දස්සන, පටිපදා ඤණ දස්සන, ඤාණ දස්සන කියා හතක්. මෙය සප්ත විශුද්ධිය යි.
සාකේතනුවර ඉඳලා සැවැත්නුවරට පිටත්වන රජෙකු ඒ ගමන වේගයෙන් ඉක්මණින් යන්න අශ්ව රථ හතක් භාවිතා කරනවා. පළමු අශ්වයාගේ වේගය අඩුවෙන විට දෙවැනි අශ්ව රථයටත්, දෙවැනි අශ්වයාගේ වේගය අඩුවෙනවිට තෙවන අශ්ව රථයටත්, ආදී රථ හතටම ගොඩවෙලා වේගයෙන් සැවැත්නුවරට එනවා. මේ උපමාව සම්බන්ධ කරගෙන සප්ත විශුද්ධිය පිළිබඳ කළ දේශනාවක් ධර්මයේ තිබෙනවා. සීල විශුද්ධියෙන් චිත්ත විශුද්ධියටත්, චිත්ත විශුද්ධියෙන්, දිට්ඨි විශුද්ධියටත් ආදි පිළිවෙළින් යන අනුපිළිවෙලක් තමා මෙහි තිබෙන්නේ.
එනිසා ඔබත් මේ අනුපිළිවෙල හුරු කරමින් මෙම දහම ජීවිතයට ගලපා ගන්නට වීර්ය කරන්න.
නයනා නිල්මිණි