ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දුක, පහන් දැල්ලෙනුත්, පහන් දැල්ල දුකෙනුත් වෙන් කළ නොහැකි ය


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

මේ චතුරාර්ය සත්‍යය, නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම, බුදුරජාණන් වහන්සේ ගෙ වත් දෙයක්‌ නො වෙයි. අදහසක්‌ නො වෙයි. ලෝකය තුළ පවතින ඇත්තක්‌. එහෙනම් අපට චතුරාර්ය සත්‍යය කියලා හම්බ වෙන්න ඕන වෙන මොකවත් නො වෙයි, අපට නො පෙනුණ, අපේ ම ජීවිතයක ඇත්ත අපට හම්බ වෙන්න ඕන. අප ඒ ගැන බලමු. ඊට ඉස්‌සෙල්ලා මම උපමාවක්‌ කියන්නම්. උපමාවත් ගැඹුරුයි. උපමාව අනුසාරයෙන් උපමේය මම පෙන්නන්නම්. මේ උපමාව දිහා හොඳට දක්‍ෂව බලන්න. 

උපමාව තමයි මං හැම දා ම දේශනාවල දී මතක්‌ කරන පළඟැටියෙක්‌. අහලා ඇති නේ ද?

පළඟැටියා වගේ සතෙක්‌ ගත්තහ ම, පළඟැටියා පහන් දැල්ලට ගොඩක්‌ කැමැතියි නේ ද? දැන් පහනක්‌ පත්තු කෙරුවොත්, මේ පහන් දැල්ලට පළඟැටියා වගේ සත්තු කැමැති නැද්ද? කැමැතියි. මොකද පහන් දැල්ල හරි ම ලස්‌සනට ආලෝකවත්ව දීප්තිමත්ව බබළනවා. හරි ලස්‌සන රූපයක්‌ මෙයාට ඇහැට, දැන් මේ පෙනෙන ලස්‌සන දේ ලබාගන්න තමයි මේ සතා ගේ කැමැත්ත. 

හැබැයි හොඳට මතක තබාගන්න ඕන පළඟැටියා පහන් දැල්ලට කැමැතියි, නමුත් පළඟැටියා ද දුකට කැමැති නෑ. කිසි කෙනෙක්‌ දුකට කැමැති නෑ. හැබැයි සියලු දෙනා ම සැපට කැමැතියි. "මෙච්චර දීප්තිමත් හොඳ ආලෝකවත් දේ ලබා ගත්තොත් සැපයි"Êකියන දේ ගැන තමයි එයා ගේ අදහස තියෙන්නේ. 

ඔන්න දැන් පළඟැටියා දිහා බලන්න හොඳට( පළඟැටියා කැමැති නෑ දුකට. නමුත් පළඟැටියා කැමැතියි සැපට. දැන් කැමැතියි පහන් දැල්ලට. ඔන්න දැන් තමන් කැමැති දේ, ආස දේ ලබා නො ගෙන හිටියොත් ඒකත් දුකක්‌ නේ. ඒ දුකෙන් මිදෙන්න, තමන් කැමැති දේ, ආස දේ ලබාගන්න යනවා. පහන් දැල්ලට තමන් කැමැතියි. පහන් දැල්ලට පනිනවා. පැන්නහම මොකද වෙන්නේ පිච්චෙනවා. පිච්චුණහ ම සැප ද, දුක ද? දුකයි. දැන් පළඟැටියාට පිච්චෙන්න ඕනෑකමක්‌ තියෙනව ද? දුක්‌ වෙන්න ඕනෑකමක්‌ තියෙනව ද? එයා පිච්චෙන්න කැමැතිත් නෑ. දුක්‌ වෙන්න කැමැතිත් නෑ. හැබැයි පහන් දැල්ලට කැමැතියි. දැන් එතන හරි ප්‍රශ්නයක්‌ තියෙන්නේ. එයාට පිච්චෙන්ඩත් බෑ, දුක එන්ඩත් බෑ. පිච්චෙන්න නැති වෙන්නත් ඕන. දුක එන්නෙ නැති වෙන්නත් ඕන. හැබැයි පහන් දැල්ලත් ඕන. තමන් කැමැතියි පහන් දැල්ලට. හැබැයි පිච්චෙනනවට, දුක එනවට කැමැතිත් නෑ. 

දැන් ක්‍රමයක්‌ තියනව ද මෙතන? තමන් කැමති දේ ලබා ගන්නත් ඕන( පහන් දැල්ලට පනින්නත් ඕන. පහන් දැල්ලත් ඕන. පිච්චෙන්නෙ නැති වෙන්ඩත් ඕන. පුළුවන් ද මේක? බැහැ.

දැන් මේ දෙක වෙන් කරගන්න පුළුවන් ද කියලා පොඩ්ඩක්‌ බලන්න. ඒ කියන්නේ පහන් දැන්ලට පැනලා පහන් දැල්ල ගන්නවා. පිච්චෙන්න දුක්‌ වෙන්න නැතුවන් ඉන්නවා කියලා යමක්‌ කරන්න පුළුවන් ද? කවදා වත් ඒක කරන්න බැහැ. කවදා වත් වෙන්නෙ නැහැ. ඒක පහනට පනින කොට අනිවාර්යයෙන් ම පිච්චෙනවා නො පිච්චුණොත් තමයි පුදුම. පිච්චුණොත් පුදුම නෑ. නො පිච්චුණොත් පුදුමයි. නමුත් ලෝකයේ හැම වෙලාවෙ ම ඇත්තට ම සිද්ධ වෙන දේ තමයි මේ. දැන් පිච්චෙන දෙයින් නො පිච්චි ඉන්න තමයි කැමැත්ත. පහන් දැල්ලත් ඕන. නමුත් පිච්චෙන්නත් බැහැ. දුක එන්ඩත් බැහැ. දුක එන්නෙත්, පිච්චෙන්නෙත් නැති ව ඉන්ඩ පහන් දැල්ලත් ගන්න කියලා ක්‍රම දෙකක්‌ නැහැ. ක්‍රම දෙකක්‌ තියනවා එකක්‌ තමයි මේ පිච්චෙනවට දුක එනවට කැමැති නැතිනම් පහන් දැල්ලට පනිනේනෙ නැතුව ම ඉන්න ඕනෑ. පහන් දැල්ලට නො පැන හිටියොත් පිච්චෙන එකේ දුක එන එකෙන් නතර වෙන්න පුළුවන් ඕනෑ නම්. 

තව ක්‍රමයක්‌ තියනවා. පහන් දැල්ල ඕන නම් ගත හැකියි. හැබැයි පිච්චෙන බවට, දුක එන බවට කැමැති වෙන්න ඕනෑ. හැබැයි එතකොටත් පිච්චෙන්න වෙනවා. දුක්‌ වෙන්න වෙනවා. පහන් දැල්ල තබාගෙන පිචිච් පිච්චි දුක්‌ වෙ වී ඉන්නව ද, නැත්නම් පිච්චිලා දුක එන එකෙන්a වෙන් වීම සඳහා පහන් දැල්ල ම අයින් කරනව ද කියන ක්‍රම දෙක මිසක පහන් දැල්ලත් අරගෙන, පිච්චෙන්නෙත් නැති ව, දුක්‌ වෙන්නේත් නැතිව ඉන්නවා කියන කාරණයක්‌ නෑ. එහෙම වෙන්න හේතු නෑ නේ ද?

මේ අම්මලා ඔක්‌කොම මතක තියාගන්න ඕන ඔය උපමාව. මම අම්මලා ගෙන් ඒ වචනය ම අහනවා. මොකද ඔය පළඟැටියා කරපු දේ ම කරනවා නේ ද දැන්, ඒ නිසා පළ`ගැටියා ගැන නම් චණ්‌ඩිකමෙන් වගේ උත්තර දෙනවා. දන්නෙ නෑ අපිත් ඒ ටික ම දැන් කරනවා නේ ද කියලා. 

ඔන්න දැන් මේ කාරණාව තේරුම්ගන්න ඕන. පළඟැටියාට තියෙන්නේ දුක්‌ඛෙ අඥානං. එයා දන්නේ නැහැ මේ දිළිසි දිළිසි ආලෝකවත් ව තියන මේ පහන් දැල්ල නේ ද දුක කියන එක. එයාට තේරෙන්නෙ නැහැ. මේ පෙනෙන දේ ගන්ඩ ගියොත් දුක එනවා නේ ද, දුක්‌ විඳින්නට වෙනවා නේ ද, දුක නේ ද මේ මෙතන පෙනෙන්නට තියෙන්නේ කියන එක එයා දන්නේ නැහැ. එයා දුක හැටියට නො වෙයි දකින්නේ. එයා මේක පහන් දැල්ලක්‌ හැටියටයි දකින්නේ. දුක කියන එක වක්‍රවයි තියෙන්න- සෘජුව නෑ. පෙනෙන්නේ පහන් දැල්ල - ඒක ගන්ඩ ගියහ ම විඳින්න වෙන්නේ දුකයි. 

එහෙනම් මං කැමැති වෙලා තියෙන්නේ දුකට නේ ද කියන කාරණාව හිතන්න ඕන නුවණින්. නුවණ නැති වුණොත් පෙනෙන දේ ගන්ඩ ගිහිල්ලා ආයෙත් වැටෙන්නේ දුකේ. පෙනෙන දේට ඔබ්බෙන් තියෙන දුක, නුවණින් දැකලා මිදෙන්න වෙන්නෙ නුවණින්. නුවණින් මිදෙනව ද, පේන දේට අහු වෙලා දුකේ බැඳෙනව ද? විඤ්ඤාණයෙන් පරිහරණය කරන්නට ගිහිල්ලා දුකේ බැඳෙනව ද, ප්‍රඥාවෙන් දුකෙන් මිදෙනව ද කියන එක තමන් ගාවයි තියෙන්නේ. 

අපි මේ ටික බලමු. දැන් පළඟැටියා පහන් දැල්ලට කැමැතියි. නමුත් දුකට කමැති නෑ. පහන් දැල්ල ගන්න කියල පැන්නාත් දුක ලැබෙන්නේ ඉබේ මයි. ක්‍රම දෙකයි තියෙන්නේ පළඟැටියා බලාපොරොත්තු වෙන ක්‍රමය ලැබෙන්නේ නැහැ. පළඟැටියා බලාපොරාත්තු වෙන ක්‍රමය මොකක්‌ ද? පහන් දැල්ලත් ඕන පිච්චෙන්නේ බෑ. දුක එන්නත් බෑ. එහෙම ක්‍රමයක්‌ නෑ. 

ඔන්න දැන් ඒ උපමාව පැත්තකින් තබමු. 

දැන් පළගැටියා කැමැති නෑ නේ පිච්චෙන්න, දුක එන්න, එහෙම නේ ද?

ඔයගොල්ලන් කැමැති ද ලෙඩ වෙන්න? මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න, අප්‍රියයන් හා එක්‌ වන්න, ප්‍රියයන් ගෙන් වෙන් වෙන්න? මේවට කැමැති නෑ නේ ද?

ඔයගොල්ලන් කැමැති ද දරුවන්ට? තමන් ගෙ දරුවන්ට කැමැතිද නැද්ද? කැමැතියි මුණුපුරන්ට? කැමැතියි. ගෙවල් දොරවලට? කැමැතියි. ඉඩකඩම් මිල මුදල් කණ කර බඩුවලට කැමැතියි. 

දැන් ඔන්න පළ`ගැටිය ගෙ වැඩේ මේ අපි කරන්නෙ. හොඳට බලන්න. දැන් අපි දරුවාට කැමැතියි. අපි කැමැති නෑ ලෙඩ වීමට, මහලු බවට, මැරෙන බවට, නැසෙන බවට. දරුවා කියන තැන රූපය දිරනව ද, නැද්ද? දිරනවා. ලෙඩ වෙනව ද නැද්ද? ලෙඩ වෙනවා, මහලු වෙනවද නැද්ද? මහලු වෙනවා. මැරෙනව ද නැද්ද? මැරෙනවා, විනාශ වෙනව ද නැද්ද? විනාස වෙනවා. නැති වෙනව ද නැද්ද? විනාස වෙනවා. දැන් ඒ දරුවට ඇසුරු කරන්නත්, දරුවා කියපු තැන ඒ තියෙන රූපය ලෙඩ වෙන්න මහලු වෙන්න, මැරෙන්න, නැසෙන්න, විනාස වෙන්න නැතිව ඉන්නත් ඕන. දරුවා කියන එක අපට ලැබෙන්නත් ඕන. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. පිච්චෙන්නත් බෑ. වගේ දැන අපට රන්මසු මිල මුදල් ඕනේ. ඒවා දිරන්නත් බෑ, විනාශ වෙන්නත් බෑ. මේ කය මම, මේ කය මගේ, මමත් ඕනේ. හැබැයි මේ කය ලෙඩ වෙන්න හෙම බෑ. මේක දිරන්න හෙම බෑ. මේක මැරෙන්ඩ බෑ. මේක නැසෙන්න හෙම බෑ. මේක විනාස වෙන්නත් බැහැ. 

දැන් පළඟැටියා වගේ නේ අපි. පළඟැටියාට පහන් දැල්ලත් ඕනේ. හැබැයි පිච්චෙන්න, දුක එන්නත් බෑ. දැන් බලන්න පළඟැටියට මේ දේ කරන්න පුළුවන් ද කියලා. දැන් ඕයගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකක්‌ ද? ඔය පළඟැටිය වගේ චුට්‌ටක්‌ වත් එහාට මෙහාට නැතුව ම කරලා තියෙනව නේ ද? හරියට ම කරලා තියෙනවා වැඩේ. ඒ කියන්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්වලටත් අපි කැමැතියි. හැබැයි අපි මේ දේවල් දිරනවට ලෙඩ වෙනවාට, මැරෙනවට, නැසෙනවට, විනාස වෙනවට කැමැතිත් නෑ. 

දැන් බලන්න මේ ධර්මතා පහට පත් නො වී, මේවා ඇසුරු කරන්ඩ පුළුවන් ක්‍රමයක්‌ තියනව ද කියලා. ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් ඇසුරු කරන්නත් ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැති ව, ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති නැසෙන්නේ නැති විනාසවෙන්නේ නැති විදියට තබා ගන්නත් ඕන. එහෙම පුළුවන් ක්‍රමයක්‌ තියනවද? නෑ. 

ක්‍රම දෙකක්‌ තියනවා.

එකක්‌ තමයි, දැන් ලෙඩ වෙන මහලු වෙන, මැරෙන, නැසෙන, විනාස වෙන - තව පැත්තකින් බැලුවොත්, ජාති ජරා මරණ - කියන ධර්මතාවන් ඕන නම් ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටිකත් එක්‌ක ඉන්න. නැත්නම් ජාති ජරා මරණ කියන ධර්මතාවනුත් එක්‌ක ම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවන් කියන ටික ගන්න. 

තව ක්‍රමයක්‌ තියනවා, ජාති ජරා මරණ එපා නම් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවන් එක්‌ක අතහරින්න. 

හැබැයි මේ දෙක කලවමේ බැහැ. පහන් දැල්ල ගන්නයි, පිච්චෙන්නෙ දුක එන්නෙ නැතුව ඉන්නයි කියල ක්‍රම දෙකක්‌ නැහැ. 

වෙනත් ක්‍රම දෙකක්‌ නම් තියෙනවා. පහන් දැල්ල අතහරින්න, එතකොට පිච්චිලා එන දුක අතහැරිය හැකියි. ඕන නම් පහන් දැල්ල ගන්ඩ, හැබැයි කැමැති වෙන්ඩ මේ දුකට ඉබේ ම. දැන් පහන් දැල්ලත් අරගෙන පහන් දැල්ල ගත්ත කියන්නේ දුක අරගත්තා - දැන් දුකත් අරගෙන ඉවරවෙලා මේ දුක එපා, එපා කියලා බොරුවට කෑගහන්න නම් එපා. ඉස්‌සෙල්ලා දැනගන්ඩ වෙනවා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්, මුල මුදල්, දූ දරුවන් කියන ටික ගත්තොත්, ඉබේමයි මේ දුක්‌ ටික ගත්තේ. දැන් ඊට පස්‌සේ ප්‍රාර්ථනා කරන්න එපා ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා. මැරෙන්ඩ එපා, කියලා ප්‍රාර්ථනා කරලා දුක්‌ විඳිනවා නම් එය අතුරු විපාකයි. තණ්‌හාව නිසා දුක්‌ විඳින එකක්‌, මෝඩකම නිසා දුක්‌ විඳින එකක්‌ ඔය තියෙන්නේ. 

ඒ නිසා අපට දැන් වෙනවා තෝරාගන්න මේ ක්‍රම දෙකෙන් එකක්‌. මොකක්‌ ද, මේ දෙකෙන් හොඳ පහන් දැල්ල අතහැරලා පිච්චිලා දුක්‌ විඳින එක අත්හරිනව ද? ඕන එකක්‌ වෙන්න කිලයා පහන් දැල්ල අරගන්නව ද? ඔන්න ඔහේ පිච්චුනාවේ. ඔන්න ඔහේ දුක ආවේවේ කියලා ගන්නව ද? ඒකක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "යෝ කාමං කාමේති, සෝ දුක්‌ඛං කාමෙති, යො දුක්‌ඛං කාමෙති, සො කාමං කාමේති"Êකියලා යමෙක්‌ කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක්‌ යමෙක්‌ දුකට කැමැති වේ නම් එය කාමයට කැමැති කෙනෙක්‌.

අපි පළඟැටිය ගෙ උපමාවෙන් මෙහෙම කිව්වොත්, කාමය කියල කියන්නේ පහන් දැල්ල කියලා හිතන්න කෝ. පළඟැටියා පහන් දැල්ලට කැමැති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්‌. එයා ඒක දන්නේ නැති වුණාට පිච්චෙන එයා දුක එන එකට කැමැතියි. යමෙක්‌ දුකට කැමැති කෙනෙක්‌ නම්, එයා පහන් දැල්ලට කැමැති කෙනෙක්‌. 

පිච්චෙනවා, දුක එනවා, කිය කියා, ඉන්න ඕන කියලා කියනව ද යමෙක්‌, එයා පිච්චෙන දුක එන විදියට ඉන්නවා කියන්නේ "පහන් දැල්ලේ ඉන්නවා" කියන එකයි. යමෙක්‌ පහන් දැල්ලේ ඉන්නවා කියලා කියන්නේ එයා දුකේ ඉන්නවා කියන එකයි. දුක කියන එක පහන් දැල්ලෙනුත් පහන් දැල්ල කියන එක දුකෙනුත් වෙන් කරන්ඩ බැහැ. 

ඒ වගේ යමෙක්‌ කාමයට කැමැති වේ නම්, එයා දුකට කැමැති කෙනෙක්‌. ඒ වාගේ යමෙක්‌ ගෙවල් දොරවල් යාන වාහන, ඉඩකඩම් මිල මුදල්වලට කැමැතියි නම් එයා දුකට කැමැති කෙනෙක්‌. යමෙක්‌ දුකට කැමැති නම් එයා ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහනවලට කැමැති කෙනෙක්‌. යමෙක්‌ කාමයට කැමති වෙනවා නම් එයා දුකට කැමැති කෙනෙක්‌, යමෙක්‌ දුකට කැමැති වෙනවා නම් එයා කාමයට කැමැති කෙනෙක්‌. 

මනසේ අරමුණු නිරුද්ධ කර දුකෙන් නිදහස්‌ වෙමු


පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

අප තථාගත තිලෝගුරු ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපට ඉතාම මැනවින් ආයතන පිළිබඳව විග්‍රහ කර දුන් බව පින්වතුන් ඉතා මැනවින් දන්නවා. අද දවසෙ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ දුතිය උප්පාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරදී දේශනා කළ මේ සූත්‍රයෙන් බාහිර ආයතන මුල්කරගෙන ඉතා ලස්‌සන දේශනාවක්‌ කරනවා.

උන්වහන්සේ දේශනා කරනවා රූපවල යම් ඉපදීමක්‌ තිබෙනවා නම් (යෝ භික්‌ඛවේ රූපානං උප්පාදො), යම් පැවැත්මක්‌ තිබෙනවා නම් (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළ වීමක්‌ තිබෙනවා නම් (පාතු භාවෝ), ඒක දුකේ හටගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa) බව. රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති). වයසට යාමේ සහ මරණයේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඒ වගේම ශබ්දවල යම් ඉපදීමක්‌ තිබේද (යෝ සද්දානං උප්පාදොa), යම් පැවැත්මක්‌ තිබෙනවාද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අභිනිබ්බන්ති), යම්කිසි පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ) උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරා මරණයන්ගේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඊළඟට දේශනා කරනවා ගඳ - සුවඳ පිළිබඳව. ගඳසුවඳවල යම් ඉපදීමක්‌ තිබේද (යෝ ගන්ධානං උප්පාදොa), යම් පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේස උපතක්‌ තිබේද (අභිනිබන්ති), යම් පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරාමරණයන්ගේ පහළවීම බව (ජරා මරණස්‌ස පාතුභාවෝ).

රසය පිළිබඳව අප බුදුපියාණන් වහන්සේ ඉන්පසුව මැනවින් දේශනා කරනවා. රසයෙහි යම්කිසි ඉපදීමක්‌ තිබේ නම් (යෝ රසානං උප්පාදොa), පැවැත්මක්‌ තිබේ නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තිබේ නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තිබේ නම් (පාතුභාවෝ), ඒක දුකෙහි හට ගැනීම (දුක්‌ඛස්‌සසේසෝ උප්පාදො), රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති), ජරාමරණයන්ගේ පහළවීම (ජරාමරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පහස පිළිබඳව. පහසෙහි යම් ඉපදීමක්‌ තිබේද (යෝ වොට්‌ඨබ්බානං උප්පාදො), යම් පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අනිනිබ්බන්ති), යම්කිසි පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකෙහි හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති), වයසට යැම සහ මරණයේ පහළවීම කියල (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඊළඟට සිතට අරමුණු වන දේ ගැන. සිතට අරමුණුවන දේවල්වල් යම් ඉපදීමක්‌ තිබේද (යෝ ධම්මානං උප්පාදො), යම්කිසි පැවැත්මක්‌ තිබේද (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තිබේද (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තිබේද (පාතුභාවෝ), ඒක දුකේ හටගැනීම බව (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa), රෝගයන්ගේ පැවැත්ම බව (රෝගානං ඨිති), වයසට යැමේ සහ මරණයේ පහළවීම (ජරාමරණස්‌ස පාතුභාවෝ) බව.

දුකේ හටගැනීම පිළිබඳව ඒ ආකාරයෙන් දේශනා කරන ලද භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පෙන්වා දෙන්නේ දුක්‌ඛ නිරෝධය පිළිබඳව. උන්වහන්සේ දේශනා කරනවා රූපවල යම් නිරුද්ධවීමක්‌ තිබේ නම් (යෝ ච ඛෝ භික්‌ඛවේ රූපානං නිරෝධෝ) සංසිඳීමක්‌ තිබේ නම් (වූපසමෝ), නැතිවී යාමක්‌ තිබේ නම් (අත්ථගමෝ), ඒක දුකෙහි නිරුද්ධවීම බව (දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ). රෝගවල සංසිඳීම කියල (රෝගානං වූපසමෝ). ජරා මරණයේ නැතිවී යාම බව (ජරාමරනස්‌ස අථගමෝ).

ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ශබ්දවල යම් නිරුද්ධ වීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම්, ඒක තමයි දුකේ නිරුද්ධවීම කියල. රෝගවල සංසිඳීම කියලා. ජරා මරණයේ නැතිවී යාම කියල.

ඒ වගේම රසයෙහි යම් නිරුද්ධවීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් එය දුකෙහි නිරුද්ධ වීම බව. රෝගයන්ගේ සංසිඳීම බව. ජරා මරණයේ නැතිවීම බව.

පහයෙහි යම් නිරුද්ධවීමක, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් එය දුකෙහි නිරුද්ධවීම බව. රෝගයන්ගේ සංසිඳීම බව. ජරා මරණයේ නැතිවීම බව.

ඒ වගේම පහසෙහි යම් නිරුද්ධවීමක්‌ තිබේ නම්, සංසිඳීමක්‌ තිබේ නම්, නැතිවී යාමක්‌ තිබේ නම් ඒක තමයි දුකේ නිරුද්ධවීම කියල. රෝගයන්ගේ සංසිඳීම කියල. ජරා මරණයේ නැතිවීම යාම කියල.

ඒ වගේම අවසාන වශයෙන් මේ උතුම් සූත්‍ර දේශනාවේදී එනම් දුතිය උප්පාද සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ මනසට අරමුණු වන දේ පිළිබඳව දේශනා කරනවා. මනසට අරමුණු වන දේවල යම් නිරුද්ධවීමක්‌ තිබේ න,ම් සංසිඳීමක්‌ ඒක දුකේ නිරුද්ධවීම කියල. රෝගයන්ගේ සංසිඳීම කියල. ජරා මරණයේ නැතිවී යාම බව. සියලු දෙනාට සියලු දුකින් නිදහස්‌වීමේ භාග්‍යය උදාවේවා!

නුවණින් විමසිය යුතු ධාතු මනසිකාරය

වල්පොල 
ගෝතම හිමි

තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළවෙලා දුක්විඳින සත්ත්වයාට එයින් මිදෙන මාර්ගය කියා දෙනවා. උන්වහන්සේ වදාළ ඒ දහම දකින්න අවශ්‍ය කරන කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු.
ධාතු මනසිකාරය මුල්කරගෙන කථාකරන විට ‘ධාතු’ කියන වචනය ඔබට හුරුපුරුදු ඇති. බොහෝ විට ධාතු මනසිකාරය වඩනවා කියා අප මේ ශරීරයේ කොටස් ටික ධාතු වශයෙන් විමසනවා. නමුත් මේ තුළ සියුම් වශයෙන් වරදින තැන් බොහෝ විට තිබෙනවා.
ඇයි? අප ධාතු මනසිකාරය වඩන්න ඕන කියන එක මුලින් කථා කරමු. අපට කන්න අවශ්‍ය නම් බඩගින්න ආවිට, බඩගින්න දැනුන විට ආහාර ගන්නවා. ඔබගේ සිතට ආශාවක් ආවොත් මොනවා හරි කරන්න තිබුණානම් හොඳයි කියා සිතුණොත් පමණයි කෑම කන්නේ. අවශ්‍යතාව දැනුණොත් තමා කරන්නේ. නිදාගන්න අවශ්‍යතාව ආවිට අප නිදියනවා. ඒ වගේ ධාතු මනසිකාරය කියන මේ භාවනාව කොතරම් වටිනාකමක් තිබෙනවාද? කියන දේ පිළිබඳව අද සිට ඉදිරි ලිපිවලින් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
’ධාතු’ ලෙස අප නිතර කථා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳවයි. පඨවි කියන ධාතුව තමන්ගේ ශරීරයේ තිබෙන පොළොවට පස්වන තද ගතියෙන් යුක්ත කෙස් ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදි දේයි. ‘ආපෝ’ ධාතුව කියන්නේ වැගිරෙන ස්වභාවයෙන් තිබෙන දේ. වැගිරෙන ස්වභාවයෙන් යුතු  දේ රූපයට වුව-මනා කරන්නේ අර ‘පඨවි’ ධාතුව හෙවත් තද ගතියෙන් යුතු දේ යම්කිසි අවශ්‍ය හැඩවලට යම් මට්ටමක දියාරු වීමක් කරන්නයි. ඒ සඳහා ‘ආපෝ’ ධාතුව උදව් කරනවා.පඨවි, ආපෝ ධාතුව උදව් කරද්දී මේ ධාතු දෙක සඳහා දිගින් දිගටම ඒ ධාතුන්ගේ වැනසීමක් තිබෙන නිසා ඒ වැනසීම අභියස ඒවා දිරා යාමට වුවමනාක් වෙනවා. අප ආහාර වුවත් කයට ලබාදෙද්දී ඒ ආහාර දිරවීමක් අවශ්‍ය කරනවා. ඒ දිරවීම අවශ්‍ය වුණේ නැත්නම් ආමාශයේ ආහාර පැසවලා එහි අවශ්‍ය දේ උරාගෙන අනවශ්‍ය දේ බැහැර කළේ නැත්නම් ආමාශයට තව තව ආහාර දාගන්න බැරි වෙනවා. මේ දේ ආහාරයට පමණක් නොවේ, කයේ සෑම තැනකටම සිදුවෙනවා. එහෙනම් මේ කය දිරවීම සඳහා ‘තේජෝ’ ධාතුව උපකාරි වෙනවා. මෙසේ වෙනවිට මේ ධාතු හසුරුවන්න කයේ හැඩ එහාට මෙහාට ගෙනයන්න, හැරවීම ආදී සියලු දෙයට ‘වායෝ’ ධාතුව උපකාරි වෙනවා. මේ වාතය එසේ උපකාරි වනවිට මේ වාතයටත් තේජෝටත්, අපෝටත්, පඨවියටත් ඉඩක් ඕන. ඒ ඉඩ ලබා දෙන්නේ තවත් ධාතුවක් විසින්. අප කන මුල්කරගෙන විමසුවොත්, මේ ධාතු හතරට වුවමනා කරනවා ඉඩක්. ඒ ඉඩ නැත්නම් ධාතුන්ට පවතින්න රැඳෙන්න, වැඩෙන්න හා ක්ෂය වෙන්න, වැනසෙන්නත් තැනක් නැහැ. ඒ ඉඩ ලබාදෙන්නේ ‘ආකාස’ ධාතුව විසින්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ට ආකාස ධාතුව ඉඩ ලබාදෙන විට මේ ධාතුන්ගෙන් ගමනට උදව් කරනවා ‘විඤ්ඤාණ’ ධාතුව කියා තවත් සිත මුල්කරගත් ධාතුවක් තිබෙනවා. මේ විඤ්ඤාණ ධාතුවත් මේ ධාතුන්ට උපකාර කරනවා.
මේ කය තුළ සතර මහ ධාතුන්වලට අදාළ එක් එක් කොටස් වෙන වෙනම තිබෙනවා. මේ දේ එකින් එක ඉවත් කළොත් ඉතිරිවෙන කිසි දෙයක් නැහැ. අප කය කියා කථා කරන යමක් ඇද්ද ඒ සියල්ලම ධාතුන්ගෙන් සකස් වූ දෙයක්ම පමණයි. ධාතුන්ගෙන් සකස් වූ මේ කය හසුරු වන බාහිර ලෝකය ගත්තාම ඒ බාහිර ලෝක-යෙන් හැම තැනකම දකින්න ලැබෙන්නේ මේ ධාතුම තමා. ආකාස ධාතුවේ ඉඩක් අරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායේ කියන ටික තමා අපට හැම තැනකම දකින්න ලැබෙන්නේ. අපට මේ සියලුම දේ ධාතුවල එකක්,එකක් ලෙස විමසන්න පුරුදු වුණොත් එය භාවනා ලෙස වඩන්න පුළුවන.
බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ දේශනාවලට එකඟව අප මේ ධාතු මනසිකාරය පුරුදු වුණොත් එය අපට බොහෝ ප්‍රයෝජන වෙනවා. මේ සඳහා ඔබට ‘මහාහත්ථිපදෝපම’ සූත්‍රය, ‘ධාතු විභංග‘ සූත්‍රය හා ‘මහාරාහුලෝවාද’ සූත්‍රය උපකාරි කර ගන්නවා.
සතර සතිපට්ඨාන දෙසුමේදී බුදුරජාණන් වහන්සේ මොකක්ද ධාතු මනසිකාරයෙන් කෙරෙන්නේ කියන හැඟීම මේ උපමාවෙන් අපට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ වදාළ ගවයෝ මරන මිනිසෙක් ගවයෙක් මරා ඒ ගවයාගේ ශරීරයේ කොටස් වෙන වෙනම වෙන් කර මේවා වෙළෙඳපොලේ අලෙවි කරනවා. මේ ගවයාගේ මස්වල කොටස් අලෙවි කරනවිට ඔහුට ගවයා කියන සංඥාව ඇතිවෙන්නේ නැහැ. ඒ කොටස් දකින විට ඇත්වෙන්නේ මස් කියන හැඟීම. මස් හැඟීමෙන් මිසක් ගවයා කියන හැඟීමෙන් මොහු බැහැර වෙලා ඉන්නවා වගේ දෙයක්ම තමා ධාතු මනසිකාරයෙන් සිදුවෙන්නේ. අප තමාගේ කය දැක්කාම මම කියන සංඥාත්, බාහිර කයක් දැක්කාම අසවලා කියන සංඥාවත් ඇතිවෙනවා. මේ සංඥාව සම්මුතිය තුළ සිදුවන දේ. අවබෝධයක් කරා යන්න අවශ්‍ය කෙනාට සම්මුතිය තුළින් පරමාර්ථය කරා යොමු වෙන්න වෙනවා. පරමාර්ථ පැත්ත විමසා බලනවා කියන එකේ තේරුම සම්මුතිය අතහරිනවා කියන දේ නොවේ. අප තමා කෙරෙහි තිබෙන පුද්ගල සංඥාව හා තමාගෙන් බැහැරව කයක් දකින විට ඒ ශරීරය කෙරෙහි ඇතිවන පුද්ගල සංඥාව පැත්තකට ගිහින් මේ සියල්ල තුළ ධාතු සංඥාවක් අපට ගොඩ නැඟෙනවා නම් ඒ සංඥා ඔස්සේ මනසිකාරය කරන්න, මනස පවත්වන්නට පුළුවන්නම් එයයි ධාතු මනසිකාරය.
අප සිතමු අප ළඟ තිබෙන බෑග් එකේ අමතක වූ බත් මුලක් කුණු වී තිබෙනවා කියා. මේ බත්මුල තියාගෙන ඉන්න ඉන්න මේක තුළින් දුකක් සිදුවෙනවා. අප මේ බත්මුල බෑගයෙන් වීසිකර දානවා. බත්මුල වීසිකළා කියා බෑග් එක පිරිසුදු නැහැ. ඒ බත් මුල ගඳ ගැසුවා වගේම ඒ බත් මුලට පුළුවන්කමක් තිබුණා මුළු බෑග් එකම ගඳ ගස්වන්න. අප බත්මුල වීසි කළා කියා බත් මුලේ ගඳ එක පාරටම යන්නේ නැහැ. බෑග් එකේ තාමත් ගඳ ඉතිරි වෙලා තිබෙනවා. එසේනම් බෑග් එකේ ගඳ යන්න අවශ්‍ය කරන දේත් කළයුතු වෙනවා. සක්කාය දිට්ඨිය කියන මේ ගඳ බත් මුල වීසි කළාට තවදුරටත් ‘මම වෙමි කියන අස්මිමාන්නය’ ඉතිරි වෙනවා. අස්මිමාන්නය අරහත්වය දක්වාම තිබෙනවා. ඒ අස්මිමාන්නය නිසා ඒ ශ්‍රාවකයා තුළ තණ්හාව ඉතුරු වෙනවා. සෝවාන් ඵලයට පත්වුවත්, ගඳගහන බත්මුල වූ සක්කාය දිට්ඨිය විසිකර දැම්මත්, ඒ සක්කාය දිට්ඨිය නිසා අර බෑග් එකේ රැඳුන ගඳ වගේ අර අස්මිමාන්නය ඉතිරි වෙනවා. එය හරියට බත් මුල විසිකර ගත්තා, නමුත් බෑග් එකේ තවම ගඳ ඉතුරුයි වගේ. එසේනම් මේ අස්මිමාන්නයත් නැති කරන්න ධාතු මනසිකාරයම උපකාරි කර ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් අපට කියා දෙනවා සංඥාව වෙනස් කරන ක්‍රමයක්. මේ ලෝකය කෙරෙහි ධාතු ගැන අවබෝධයක් ඇතිවන තාක්කල් සංඥා විපල්යාසයක් තිබෙනවා. (විපල්යාසය කියන්නේ වෙනස් වූ දෙයක් පිළිබඳවයි. බුලත් කොළයක් තිබෙනවා. හිතන්නේ ගම්මිරිස් කොළය කියා. නැත්නම් ගම්මිරිස් කොළයට සිතනවා බුලත් කියා. නමුත් ගම්මිරිස් කොළයට බුලත් කොළය කියා සිතුවානම් ඔහුට තිබෙනවා බුලත් කොළ විපල්යාසයක්). ඒ වගේ මේ ලෝකයේ ධාතු ගැන අවබෝධයක් නැති නිසා අපට තිබෙනවා ප්‍රශ්නයක්. ඒ අනිත්‍ය වූ ධාතු අප දකිනවා නිත්‍ය වශයෙන්. නිත්‍ය සංඥාව මතු කර යථා තත්ත්වය ඇතිකර ගන්න පුළුවන් ධාතු නිසිලෙස අවබෝධ කර ගැනීමෙන්.
මේ ධාතු සම්බන්ධව අප පැහැදිලිව අත්විඳින දුකක් තිබෙනවා. ඒ ධාතු සමඟ එන්නේ සැප කියන සංඥාව. මෙතැනින් වෙන්නේ වරදවා ගත් සංඥාවක් නිසා වැරුදුණු සංඥාවෙන් කරන කියන දේ වරදින නිසා එය අප නිවැරැදි කරගත යුතුයි. ඒ සංඥාව නිවැරැදි කර ගන්නත් දුක්ඛ සංඥාව ඇති වෙන්නත් මේ සංඥාව ඇතිකරගන්න පුළුවන්. ඒ වගේම අපට මේ ධාතු සම්බන්ධව තිබෙනවා මම, මගේ, මා තුළ තිබෙන දෙයක්. මම ඒ තුළ සිටිනවා කියන වැරැදුන ආත්ම සංඥාවක්. ඒ වැරැදුන ආත්ම සංඥාව අපට ධාතු මනසිකාරය ඔස්සේ නැතිකර අනාත්ම මනසිකාරය ඇතිකර ගන්නත් පුළුවන්.
ඊළඟට ධාතුන් තුළ තිබෙනවා අසුභ වූ පිළිකුල් වූ ස්වභායක්. අසුභ පිළිකුල් ස්වභාවය ධාතු ගැන හරියට තේරුම් ගත් දාට ඔහු අවබෝධ කර සුභ සංඥාවෙන් අසුභ සංඥාවට යනවා. ඒ සුභ සංඥාව නිසා ඇති වූ ප්‍රශ්නයක් එවිට ඔහු තුළ මඟහැරිලා අසුභ සංඥාවට සිත දියුණු කර ගන්න පුළුවන්. මේ සියලු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ කියන සංඥාව ඇතිකර ගත්විට එම සංඥාව නිවැරැදි කර ගන්නවා. අප ධාතු මනසිකාරය ගැන ඔබට තේරුම් කර දෙන ගමන්ම තමා තමා තුළින් අනවබෝධයෙන් අවබෝධයට එන ආකාරයටත් දහම දකින්න කියාදෙන්න ඉදිරියේදී අප බලාපෙරොත්තු වෙනවා.
ඔබ සියලු දෙනාටම බුදුරජාණානන් වහන්සේ වදාළ සද්ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය ධෛර්ය ලැබේවා කියා ආශිර්වාද කරනවා.

සසුනට පාරාජිකා සිල්පද එකතු වූ හැටි

බුදු සසුන ඇරැඹී විසි වසරකට පසු ඇතැම් භික්ෂූන් සිල්වත් බවෙන් පිරිහී ගිය අයුරු ද, ඒ නිසා ම පාරාජිකා පිළිබඳ නීති පැනවීමට බුදු හිමියන්ට සිදු වූ අයුරු ද මේ ලිපියෙන් හෙළි වේ.

අපගේ සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු දොළොස් වන අවුරුද්දෙහි විශාලා නුවර මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වැඩවසන කල්හි, විශාලා පුරය අසල ‘කලන්ද’ නම් වූ ග්‍රාමයෙහි කෝටිපති සිටු කුලයක උපන් ‘සුදින්න’ නම් විවාහක කුල පුත්‍රයෙක් තථාගතයන් වහන්සේ කරා ගොස් ධර්ම ශ්‍රවණය කොට සසුන් පැවිද්දෙහි ඇල්ම ඇතිකොට සත් දිනක් නිරාහාරව සිට දෙමව්පියන්ගෙන් පැවිද්දට අවසර ලබාගෙන පැවිදි උපසපන් වී, ධුත ගුණ ද සමාදන් වී බලවත් සැලකිල්ලකින් හා භක්තියකින් මහණදම් පුරන්ට විය.
සුදින්න තෙරණුවන්ගේ පැවිදි උපසපන් බවෙන් අට වසරක් ගත විය. මේ කාලයෙහි දුර්භික්ෂයක් ඇති විය. බොහෝ මනුෂ්‍යයෝ ආහාරක්ලාන්තයෙන් පීඩාවට පැමිණියහ. සුදින්න තෙරණුවෝ ක්ලාන්ත නොවීම පිණිස ද ඤාතීන්ට වැඩ පිණිස ද කලන්ද ගමට වැඩ එහි සෙනසුනක වසන්ට වූ හ. තෙරුන් පැමිණි බව ඤාතීන්ට සැල වූයෙන් එක් දිනක ම සැටක් පමණ සැලිබත් පිසගෙන ඤාතීහු තෙරුන් දැකීමට සෙනසුන කරා ගියහ. තෙරණුවෝ සැළිබත් සැට ම භික්ෂූන්ට පරිත්‍යාග කොට තමන් වහන්සේ පා සිවුරු ගෙන පියාගේ නිවෙස කරා ගියහ.
පිය සිටු තෙමේ පරපුරේ ධනය රැකගන්ට කෙනෙකු නැති බව දන්වා එහෙයින් සිවුරු හැර ගිහි වන ලෙස ද ඉල්ලා සිටියහ. ඒ නොපිළිගත් හෙයින් තෙරුන්ගේ පුරාණදූතියිකා තොමෝ තෙරුන් ඉදිරියට දෙවඟනක ලෙසින් සැරසී පැමිණ “ස්වාමීනි, මහණ දම් රකිමින් ඔබ බලාපොරොත්තු වන දෙවඟනන් මට වඩා ලස්සන දැ?” යි ඇසුවා ය. “නැගණියනි, මා බඹසර රකින්නේ දෙවඟනන් පතා නො වෙයි” යනුවෙන් තෙරුන් කී කල්හි ඕ විසඥ ව බිම වැටුණා ය.
දෙමව්පියෝ උන්-වහන්සේ අමතා ගිහි වනු මැනැවැ යි තෙවරක් ම යළිත් අයැද සිටියහ. තෙරුන් ඒ තෙවාරයේ දී ම ඉල්ලීම ප්‍රතික්ෂේප 
කළ හෙයින් නැවත මෑණියෝ කථා කොට “පුතණුවනි, අපගේ කුලයෙහි මේ රැස් කර තිබෙන මහා ධන සම්භාරයට එක ම හිමියා ඔබ යි. අප නැති කල මේ ධනය ලෝකයාට හිමි වනු ඇත. එහෙයින් කුල සන්තක ධනය රැකගනු පිණිස ද, පරපුර නොනැසෙනු පිණිස ද සුදුසු දාරක බීජයක් දුන මැනවැ” යි ඉල්ලා සිටියා ය.
මේ කාලය වනාහී සම්බුදු රදුන්ගේ බුද්ධත්වයෙන් විසිවන වසර ය. මේ වන තුරු මෙවැන්නක් ගැන ශික්ෂාපද පැනවීමක් නො වූ හෙයින් ද වරද ගැන වැටහීමක් නැති හෙයින් දෝ සුදින්නතෙරණුවෝ මෑණියන්ගේ ඉල්ලීම පිළිගෙන පුරාණ දුතියිකාවගේ අත අල්වාගෙන මහ වනයට වැද තෙයළක් මෙවුන්දම්හි හැසුරුණා හ. ඕ තොමෝ ද මේ හේතුවෙන් ගැබ් ගත්තා ය.
මහ වනයෙහි දී සිදු වූ මේ සිද්්ධිය එක්තරා බූමාටු දේවතාවෙක් දැක්කේ ය. හේ කෑගසන්ට විය.“අහෝ තථාගත සම්බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ නොකැළැල් ය හ. නිදොස් ය හ. භික්ඛුසංඝ තෙමේ පිරිසිදුයහ. එහෙත් මේ සුදින්න භික්ෂු තෙමේ මහ සඟන අතර කැළලක් ඉපදවී ය. බුදු සස්නෙහි බඹසරවස් රැක්කා වූ සුදින්න තෙමේ කෙසේ නම් පුරාණදූතියිකාව සමඟ තෙවරක් මෙවුන්දම්හි හැසිරුණේ ද?” යන්නෙන් ඒ දෙවියා උද්ඝෝෂණය කළේ ය. අවට සිටි බූමාටු දෙවියන් අතර ද මේ ඝෝෂාව ඇති විය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. ක්‍රමයෙන් මේ අර්බුදය බඹලොව දක්වා පැතිර ගියේ ය.
නිසි කල් ගත වීමෙන් පසු පුරාණදූතියිකා තොමෝ පින්වත් පුතකු ලැබුවා ය. සුදින්නගේ යහළුවෝ දරුවාට ‘බීජක’ ය යි නම් කළාහු ය; සුදින්නගේ පුරාණදූතියිකාවට ‘බීජක මාතා’ ය යි නම් තැබූ හ. මේ මවුපිය දෙදෙනා ම පසු කල බුදු සස්නෙහි පැවිදි ව රහත් බව ලැබූ හ.
යට කී අයුරින් බඹසරවස බිඳගත් සුදින්න තෙරුන්ට පසු ව ඒ පිළිබඳ මහත් විපිළිසර බවක්, කුකුසක් ඇති විය: ‘ස්වාක්ඛාත වූ ශාසනයේ මට දිවි තෙක් බඹසර වස රකින්නට නොහැකි විය’ යි තැවෙන්නට වී, මේ නිසා ශරීරය වැහැරී යන්නට වී. එහෙයින් ම දුර්වර්ණ ද වී, පඬුවන් සිරුර ඇත්තේ විය. සෙසු භික්ෂූහු සුදින්න තෙරුන් අමතා, “කිම ඇවැත්නි, කලකිරුණු ස්වභාවයක් පෙනේ. ඔබ ඉතා ආදරයෙන් නො වේ ද පැවිදි වුණේ? දැන් මොක ද? පැවිදිකම එපා වෙලා දැ? ”යි කියන්නට වූ හ. සුදින්න තෙරණුවෝ තමාට වූ දෙය භික්ෂූන්ට දැන්නූ හ.
ඒ භික්ෂූහු ද සුදින්න තෙරුන්ට බොහෝ සේ නිඟා කොට බුදුරදුන් වෙත එළඹ පුවත සැල කළාහු ය. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරවා සුදින්න තෙරුන්ගෙන් විස්තරය අසා, “මෝඝ පුරුෂය, හිස් පුරුෂය, නුසුදුසු; නීච වූ වසල ධර්මයක් වූ, නොකැප වූ, මහණකුට අයත් නොවූ මේ මෙවුන්දම්හි කුමට හැසුරුණෙහි දැ?” යි නිග්‍රහ කොට, ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය මෙසේ වදාළ සේක:
“යෝ පන භික්ඛු! මේථුනං ධම්මං පතිසේචෙය්‍ය පාරාජිකෝ හෝති අසංවාසෝ.”
“යම් මහණෙක් මෙවුන්දම්හි හැසුරුණේ නම් පාරාජිකා වේ. සංඝයාගේ සංවාසට නුසුදුසු වේ,” යනු එහි අර්ථය යි. මෙසේ මෛථුන ධර්ම පාරාජිකාපත්තිය සුදින්න තෙරුන් අරභයා වදාළ සේක. සුදින්න භික්ෂුව ආදිකර්මිකයා (ප්‍රථමයෙන් ම ඒ වරද කළ තැනැත්තා) නිසා ඒ භික්ෂුවට ඇවතක් නැත. එහෙත් සුදින්න තෙරුන්ට මාර්ග ඵල–ධ්‍යාන සමාපත්ති ආදි වශයෙන් විශේෂ ගුණයක් ලැබුණේ නැත.
මේථුන ධම්ම පාරාජිකාව මෙසේ පනවා වදාළ පසු නමින් අප්‍රකට වූ එක්තරා භික්ෂුවක් විශාලා මහනුවර මහ වනයෙහි වාසය කරනුයේ වැඳිරියක ආමිෂයෙන් (ආහාර–පාන දීමෙන්) අවනත කොටගෙන ඈ සමඟ මෙවුන්දම්හි හැසිරෙයි. දිනක් ඒ අරමට ගිය භික්ෂූහු මෙය දැක ඒ භික්ෂුව වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ මේථුන ධම්ම පාරාජිකාව පනවා ඇති බව කී හ. එවිට ඒ භික්ෂුව කථා කරමින් “ඇවැත්නි, ශික්ෂාපද පැනවූ බව මම දනිමි. එහෙත් මනුෂ්‍ය ස්ත්‍රීන් පිළිබඳ ව විනා තිරිසන්ගත ස්ත්‍රීන් හා මෙවුන්දම් හැසිරීම පිළිබඳ ව ශික්ෂාපද නොපනවන ලදැ” යි තමාගේ නිර්දෝෂිකම කී ය.

ඒ භික්ෂූහු මේ පුවත තථාගතයන් වහන්සේට සැල කළාහු ය. සම්බුදුහු ඒ භික්ෂුව ගෙන්වා නිගා කොට ඒ භික්ෂුව ද බඹසරවස කඩාගත් බව දක්වා මහ සඟන රැස් කරවා කරුණ විස්තර කොට ඉහත කී ශික්ෂාපදයට ‘අනුප්‍රඥප්තියක්’ එකතු කොට “යෝ පන භික්ඛු මේථුනං ධම්මං පති සේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති” යන්නෙන් තිරිසන්ගත ස්ත්‍රියක සමග වුව මෙවුන්දම්හි හැසිරුණේ නම් පාරාජිකා වේ ය යි වදාළ සේක.
යම් උපසම්පදා භික්ෂුවක් තමාට ගිහි වීමට කැමති නම් බඹසරවස රකින්නට අපහසු නම් ඔහු තමා ගිහි වන බව පවසා උපසම්පදාව හැරදමා පැවිදි උපසපන් බවෙන් වෙන් ව යා හැකි ය. උපසම්පදාව හැර දැමීමේ දී හොඳ සිහිබුද්ධිය ඇති කෙනකු ඉදිරිපිට තමා ගිහි වන බව හෝ පැවිදි උපසපන් බව හරින බව හෝ සිතට එකඟ ව කීවේ නම්, අසන්නා ද එය සිතට එකඟ ව මේ භික්ෂුව ඒකාන්තයෙන් ගිහි වන්නේ ය යි නිශ්චයට පැමිණ වචනය පිළිගත්තේ නම් යට කී උපසම්පදා භික්ෂුව පැවිදි උපසපන් බවින් වෙන් වේ. මේ ප්‍රකාශනයට කියන්නේ ‘ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය’ කියා යි.
විසල් පුර වැසි භික්ෂූන් සමූහයක් ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය නොකොට තමන් ගිහි වන බව හෝ සිල් රැකීම අපහසු බව හෝ සස්නෙන් බැහැර වන බව හෝ නොකියා ප්‍රකාශයක් නොකොට මෙවුන්දම්හි හැසිර, ඉන් පසු ගිිහි බවට පැමිණ ගිහිගෙයි විසූ හ. ඉන් මෑත භාගයෙහි ඔවුහු ආනන්ද හිමියන් කරා එළඹ තමන් කළ වැරදි කියා නැවත බුදුරදුන් වෙතින් උපසම්පදාව ලබාදෙන සේ අයැද සිටියාහු ය. ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් මේ කරුණ පිළිබඳ ව විචාළහ. එවිට තථාගතයන් වහන්සේ මේ කරුණ අරභයා භික්ෂූන් වහන්සේ රැස් කරවා භික්ෂූන් අමතා: “මහණෙනි, යම් කිසි භික්ෂුවක් ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය නොකොට මෙවුන්දම්හි හැසිරුණේ නම් ඒ භික්ෂුව එකල්හි දුශ්ශීල වේ. ඔහු ඉන් පසු කලක් ගිහි ව සිට නැවත උපසම්පදාව ලබනු රිසියෙන් සංඝයා වෙත එළඹ සිටියේ නම් ඔහුට උපසම්පදාව නොදිය යුතු යි. යම්කිසි භික්ෂුවක් ශික්ෂාප්‍රත්‍යාක්ඛ්‍යානය කොට ඉන් පසු ගිහි ව කලක් වැස (ගිහි ව සිටිය දී මෙවුන්දම් සේවනය දොසක් නැත) නැවත පැවිදි උපසපන් බව ඉල්ලා සිටියේ නම් ඔහුට උපසම්පදාව දිය යුතු ය” වදාරා ප්‍රථම පාරාජිකා ශික්ෂාපදයට තවත් අනුප්‍රඥප්තියක් එකතු කොට:
“යෝ පන භික්ඛු භික්ඛුනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.” යන්නෙන් ශික්ෂාපදය සම්පූර්ණ කොට වදාළ සේක. සෙසු පාරාජිකාපත්ති තුන ද පනවන ලද්දේ විසිවන හවුරුද්දෙන් පසු ව ය යි සිතිය හැකි ය. දොළොස්වන වසරෙහි දී සැරියුත් හිමියන් විසින් ශික්ෂාපද පැනවීමට කළ ඉල්ලීම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළ හෙයිනි.
ආචාර්ය මුනිදාස වීරකෝන්

නිරුද්ධ වීමේ සැබෑ අරුත

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

ලෝකය පිළිබඳව සැබෑ ලෙසම තේරුම් කරදුන් අසහාය ශාස්‌තෲන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ අපට 'උප්පාද' සූත්‍රයේදී ඉපදීම පිළිබඳව ඉතා මැනවින් දේශනා කරනවා. සංයුක්‌ත නිකායේ සලායතන සංයුක්‌තයේ තමයි, මේ දේශනාව මුණගැහෙන්නේ. එහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෙසින් දේශනා කරනවා.

'යෝ භික්‌ඛවේ චක්‌ඛුස්‌ස උප්පාදොa ඨිති අභිනිබ්බන්ති පාතුභාවෝ' දුක්‌ඛස්‌සේසෝ උප්පාදො රෝගානං ඨිති ජරා මරණස්‌ස පාතුභාවෝ පින්වත් මහණෙනි, ඇසෙහි යම් ඉපදීමක්‌ තියෙනවාද, යම් පැවැත්මක්‌ තියෙනවාද, යම් විශේෂ උපතක්‌ තියෙනවාද, යම් පහළවීමක්‌ තිබෙනවාද, ඒක තමයි දුකේ හට ගැනීම කියන්නේ. රෝගයන්ගේ පැවැතීම, ජරා මරණයේ පහළවීම. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා කනෙහි යම් ඉපදීමක්‌ තියෙනවාද (යෝ සෝතස්‌ස උප්පාදොa), යම් පැවැත්මක්‌ තියෙනවාද (ඨිති), යම්කිසි විශේෂ උපතක්‌ තියෙනවාද (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවාද (පාතුභාවො) ඒක තමයි දුකේ හට ගැනීම කියන්නේ. (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො), රෝගවල පැවැත්ම (රෝගානං ඨිති). වයසට යැම හා ලෙඩවීමේ පහළවීම (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසයෙහි යම් ඉපදීමක්‌ තිබෙනවා නම් (යෝ ඝාණස්‌ස උප්පාදොa) යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ), ඒක තමයි දුකේ හට ගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති). වයසට යැම හා මරණයේ පහළවීම (ජරා මරණස්‌ස පාතුභාවෝ) කියල.

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිවේ යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ ජිව්හාය උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති) යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) එය දුකේ හට ගැනීම ලෙස (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගවල පැවැත්ව කියල (රෝග ඨිති). වයසට යැම හා මරණයේ පහළවීම කියල (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කය පිළිබඳව. කයෙහි යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ කායස්‌ස උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) එය දුකේ හට ගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa). රෝගවල පැවැත්ම (රෝගානං ඨිති). ජරා මරණස්‌ස පාතුභාවෝ (ජරා මරණයන්ගේ පහළවීම).

ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනසෙහි යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ මනස්‌ස උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් විශේෂ පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) ඒක දුකේ හටගැනීම කියල දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගයන්ගේ පැවැත්ම කියල (රෝගානං ඨිති). වයසට යැම හා මරණයේ පහළ වීම (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව මේ ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය පිළිබඳවත් අපේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා, එහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇසෙහි යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම් (යෝ ච ඛෝ භික්‌ඛවේ චක්‌ඛුස්‌ස නිරෝධෝ) සංසිඳීමක්‌ තියෙනවා නම් (වූපසමෝ), නැතිවී යැමක්‌ තිබේ නම් (අත්ථගමෝ), එයයි දුකෙහි නිරෝධය (දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ). රෝගවල සංසිඳීම (රෝගානං වූපසමෝ). වයසට යැමේත්, මරණයේත් නැතිවී යාම (ජරා මරණස්‌ස අථගමෝ).

එමෙන්ම කනෙහි යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම් නැතිවී යැමත් තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම, රෝගයන්ගේ සංසිඳීම, වයසට යැමේ හා මරණයේ නැතිවී යැම. ඒ වගේම නාසයේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම් නැතිවී යැමක්‌ තියෙනවා නම් ඒ තමයි දුකේ නිරුද්ධවීම, රෝගවල සංසිඳීම. වයසට යාමේත් මරණයේත් නැතිවී යැම. ඒ වගේම දිවේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම්, නැතිවී යාමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම. රෝගවල සංසිඳීම, ජරා මරණවල නැතිවීම. ඒ වගේම කයේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම්, නැතිවී යාමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධවීම. රෝගවල සංසිඳීම. ජරා මරණවල නැතිවී යාම. ඒ වගේම මනසෙහි යම් නිරුද්ධවීමක්‌ තියෙනවා නම්, නැතිවී යැමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම, රෝගවල සංසිඳීම, ජරා මරණවල නැතිවී යැම, දුකෙන් සදහටම නිදහස්‌ වීමට සැමට භාග්‍යය උදාවේවා.

බෞද්ධකම පිරිහෙන කරුණු හතක්

දස්සනං භාවිතත්තානං – යො හාපෙති උපාසකො 
සවණංච අරිය ධම්මානං – අධි සීලෙ න සික්ඛති 
අප්පසාදො ච භික්ඛුසු – භිය්‍යො භිය්‍යො පවඩ්ඪති 
උපාරම්භ චිත්තොච – සද්ධම්මං සොතු මිච්චති 
ඉතොච බහිද්ධා අඤ්ඤං – දක්ඛිණෙය්‍යාං ගවෙසති 
තත්ථෙවච පුබ්බකාරං – යො කරොති උපාසකො 
එතෙඛො පරිහානියෙ – සත්ත ධම්මෙ සුදෙසිතො 
උපාසකො සෙවමානො – සද්ධම්මා පරිහායති”

බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන පළමු කරුණ ලෙස එහි දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි – පැවිදි කා අතරත් ගුණවත් – නුගුණවත් , සිල්වත් –දුසිල්වත් අය සිටිති. ඇතැම් කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.
එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම, ආශ්‍රය කිරීම, බෞද්ධයෙකුට ඉතාම අවශ්‍ය කාරණයෙකි. “සමණානඤ්ච දස්සනං” “දස්සන කාමො සීලවතං” යනාදි දේශනා පාඨ තුළින් සිල්වත්, ගුණවත් ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා – ශීල – ත්‍යාග – ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක , ධර්මාශෝක කෙනෙක් බවට පත් වීමට හේතු විය. පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට සැලැස්සූහ. දුටුගැමුණු, සද්ධාතිස්ස, සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින් පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම නිසා භික්ෂුවකගේ දැකීම, ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්, සිල්වත්, ගුණවත් භික්ෂූන් දැකීම, ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා ගැනීමට මහන්සි ගත යුතුය.
දෙවන පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම සිදුවේ. ධර්මය අහන අය, දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය, නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්මඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත් රැකගෙන මෙලොව, පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.
තුන්වන කරුණ ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු නොකිරීමයි. “අධි සීලෙ නසික්ඛති” බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය. වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලයක පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව ශ්‍රද්ධාවත්, සැලකිල්ලත්, ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුරපසළොස්වක පොහොය දවසටවත් ඊට ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද? හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්‍රිය සංවරය හා චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ මග හරවා ගැනීමට අටසිල්, දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.
බෞද්ධයාගේ සිව්වැනි පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්, තරුණවූත්, මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත් වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද සමාජයේ ජීවත්වන බොහෝදෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද? අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය කෙතරම් විහිළුවක්ද? අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද? ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි. භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි. එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු ප්‍රසාදය, ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට ගැනීම වැදගත් වේ.
පස්වන පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති, රන්ද ගවේසි) ඇතැම් අය ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම සඳහා වරදක් අල්ලාගන්නේ කෙසේද? තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත්කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින් කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වාදීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි. මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය කිරීම පිළිබඳ සලකා ගෙනයි.
බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත් භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක් එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත් ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු වන්නේ.
හයවෙනි පිරිහීමේ කරුණ ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන් පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන්හිද පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක් පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන් සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම, සිතීම අන්ධ විශ්වාසය ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.
හත්වන කාරණය ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර කිරීම, ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම ගරු කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට, පිරිහීමට ඉඩ නො තබා දෙලොව දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.

සුගති දුගති ලොව උපත සකස් කරන චේතනාව

අපට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ තමා තුළින් දකින උතුම් ධර්මයක් ඉගෙන ගන්නට ලැබී තිබෙනවා. පසුගිය සතියේදී ඔබ ඉගෙන ගත්තා විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයේ එක්තරා පැතිකඩක් පිළිබඳව උපමා උදාහරණ සමඟ සාකච්ඡා කළා. අදත් ඔබට කියා දෙන්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු ට තේරුම් කර දුන් තවත් එක්තරා කරුණක්. ඒ චේතනාව පිළිබඳව යි.
"චේතනා" කියන වචනය අපට හරි හුරුයි. මොකක්ද චේතනාව කියන්නේ කියා අප ටිකක් බලමු. නාගසේන මහරහතන් වහන්සේ වදාළා චේතනාවේ ස්වභාවය චේතනා පහළ කරන එකයි. චේතනාව කියන්නේ යම්කිසි දෙයක් සකස් කරන ස්වභාවයක්. මේ කාරණය කෙටියෙන් කිව්වට එය කෙනෙකුට හිතාගන්න අමාරුයි. ඒ නිසා මිළිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අසනවා, ස්වාමිනි චේතනාව සකස් කරනවා කීම උපමාවකින් පෙන්වා දෙන්න කියා. චේතනාව කියන්නේ සිතිවිල්ලක් කියා සමහර අය වැරැදියට තේරුම් ගෙන ඉන්නවා. චේතනාව කියන්නේ සිතිවිල්ලේ ස්වභාවයක් තිබෙනවා. නමුත් සිතිවිල්ල නොවේ.
ඔබ රෙදි කඩයකට ගිහින් ඇඳුමක් තෝරා මේ ඇඳුම මම ගන්නවා කියා සිතනවා. ඉන්පස්සේ එය මිලදී ගන්නවා. ඉන්පසු ඒ ඇඳුමේ හැඩවැඩ බලනවා. ඒ අනුව ඔබ කය හසුරුවනවා ඒ ඇඳුම උදෙසා. ඒ වගේම එම ඇඳුම වෙනුවෙන් වචන හසුරුවනවා. ඒ වගේම හිත හසුරුවනවා මේක හොඳයි මට ගැලපෙනවා ආදී ලෙස. මේ ඇඳුම ගන්න ඕන කියන චේතනාව නිසා කය, වචනය සිත හැසිරුවා. මේ කය, වචනය, සිත සියල්ල සකස් කළේ චේතනාව යි. චේතනාව පහළ කරලා තමා කය වචනය මනස සියල්ලම ක්‍රියා කරන්නේ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනා ඇසුරෙන් අපට විමසා බලන්න පුලුවන් චේතනාවත් සිතිවිල්ලත් එකක්ද? දෙකක්ද? කියා.
ඔබ දන්නවා චේතනාවක් ඉබේ හට ගන්නේ නැහැ. ඒ සඳහා කරුණු තුනක් එකට එකතු වෙනවා. අප රෙදි කඩයට ගියාම රෙදි හෝ ඇඳුම් ඇසින් දැක සිතුනා මේක මට ගන්න ඕන කියා. එතැන චේතනාවක් පහළ වුණේ කරුණු තුනක් එකතු වූ නිසා. ඒ ඇසක් තිබෙනවා. ඇසට පෙනෙන රෙදි වූ රූපයක් තිබෙනවා. ඒ රූපය අසේ විඤ්ඤාණයෙන් දැනගත් නිසා ඇසේ විඤ්ඤාණය තිබෙනවා. මේ කරුණු තුන එකතු වූ නිසා එයට ස්පර්ෂය කියනවා. ස්පර්ෂයක් හට ගත්තා කියන්නේ කරුණු තුනක් එකට එකතු වුණා. රෙදි කඩයේ ඇඳුම් ටික දැකීමත් සමඟ එහිදී ස්පර්ෂයක් හට ගත්තා. ස්පර්ෂ නිසයි සංකාරත් හට ගත්තේ. සංකාර කියන්නේ චේතනාවට යි. චේතනා පහළ වන්නේ ස්පර්ෂ ඇතිවීම නිසා කියා දැන් ඔබට පැහැදිලි යි.
අප සිතමු මුලින් කී කරුණු තුන එකට එකතු වීම නිසා චේතනාව හට ගත්තානම් ඇස මුල් කරගෙන රූප පිළිබඳව චේතනා එන්නේ මොන කරුණු මුල් කරගෙන ද? රූප පිළිබඳ චේතනා එන්නේ ඇසත්, රූපයත් ඇසේ විඤ්ඤාණයත් කියන කරුණු තුන නිසා. ශබ්ද පිළිබඳව චේතනා හට ගන්නේ කනත් ශබ්දයත්, කනේ විඤ්ඤාණයත් කියන කරුණු තුන නිසා.
මේ ආකාරයට ගඳ සුවඳත්, රසත්, පහසත්, මනසත් පිළිබඳව ගලපා බලන්න. ඔබ සිතන්න ඇස කියන්නේ චේතනා ද? නැහැ. ඇසේ විඤ්ඤාණය කියන්නේ චේතනාද නැහැ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා හට ගන්නා තවත් එක්තරා දෙයක් පමණයි චේතනා කියා කියන්නේ. මේ විදියට කන කියන්නේත්, ශබ්ද කියන්නෙත්, විඤ්ඤාණය කියන්නෙත් චේතනා නොවේ. නාසය, දිව, කයත් මේ ආකාරයටයි. මනස කියන්නෙත් චේතනා නොවේ. සිතිවිලි කියන්නේ සිතිවිලි දැනගන්නා විඤ්ඤාණය කියන්නේත් චේතනා නොවේ. සිතිවිලිත් චේතනා නොවේ. සිතත්, සිතිවිලිත්, සිතේ විඤ්ඤානයත් කියන තුනේ එකතුව නිසා හට ගන්නා දෙයක් පමණයි චේතනා කියන්නේ. එසේනම් ස්පර්ෂය නිසා හට ගන්නා චේතනාවේ ස්වභාවය මොකක්ද එහි සකස් කරන ස්වභාවයක් තිබෙන නිසා චේතනාවට සංස්කාර කියා කියන්නේ. මොනවද සකස් කරන්නේ.
අපට බුදුරජාණන් වහන්සේ වදාළ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව තමා කර්මය වන්නේ. කර්මය කියන්නේ චේතනාවට කියන තවත් නමක්. එසේනම් කර්මයකින් කරන්නේ මොකක්ද? විපාක පිණිස භවය සකස් කරන එක. විපාක පිණිස කර්ම සකස් වෙලා ඉපදෙනවා උපතක් සකස් වුණා කියන්නේ කර්මය නිසා ඇහැක් හට ගන්නවා ඇහැක් සකස් කළ හැකි වන්නේ චේතනාවට යි. කනක් හට ගන්නේ කර්මය නිසා. කන හටගන්නේ චේතනාව නිසා. නාසය හට ගන්නෙත් කර්මය නිසා. නාසය සකස් කළේත් චේතනාව. මේ ආකාරයට චේතනාව කියන්නේත් කර්මය. කර්මය විසින් තමා නැවතත් ඉපදිලා ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් උපදින්නේ. නැවත උපතකදී ඇසක් උපදින්නේ කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් ඉපදෙන්නේ කර්මය නිසා. කර්ම සකස්වෙලා තිබූ නිසා ඉපදෙනවා. කර්ම ක්ෂය වෙලානම් ඉපදෙන්නේ නැහැ. එසේනම් තේරෙනවා චේතනාව විසින් කරන්නේ නැවත නැවත ඇසක් , කණක්, සකස් කිරීමයි. ඒවා සකස් කළවිට ඒවා මුල්කරගෙන නැවත නැවත චේතනා පහළ වෙනවා. හරි ලස්සන සිදුවීමෙක් මෙහි වෙන්නේ. ඇසෙන් රූප බල බල චේතනා පහළ කරනවා. ඒ චේතනාව කර්මය යි. කර්මය සකස් වීමයි භවය කියන්නේ. ඇසෙන් චේතනා පහළ කිරීම තුළින් භවය හට ගන්නවා. චේතනා පහළ වනවිට මේ හැම චේතනාවක්ම කර්මය නම් එහි සකස්වීම නැවතත් ඇසක් ලැබෙනවා. ඇසෙන් රූප බලල චේතනා පහළ කිරීම නිසා නැවත වතාවක් ඇසක් ලැබෙනවා.
මෙයට ඔබට උපමාවක් කියන්නම්. වාහනයක තිබෙනවා බැටරියක්. හොඳ පණ ගන්වන තත්ත්වයෙන් ක්‍රියාකාරි බැටරියක් නම් ඒ වාහනය ක්‍රියාකාරියි. බැටරියේ බලයෙන් තමයි වාහනය පණ ගන්වන්න පුලුවන් වෙන්නේ. වාහනය පණ ගැන්වුවොත් පමණයි වාහනයෙන් ගමනක් තිබෙන්නේ. වාහනයේ ගමනක් තිබෙන්නේ බැටරියේ ක්‍රියාකාරිත්වයක් තිබුණ නිසයි. එහි ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් වාහනය පණ ගන්වන්න බැහැ. ගමනකුත් නැහැ. ඒ වගේම වාහනයෙන් ගමනක් යනවිට ඒ ගමන නිසා නැවතත් ඒ වාහනයේ බැටරිය ක්‍රියාත්මක වී බලවත් වෙනවා. එහෙමනම් බැටරිය උදව් කරනවා වාහනයේ ගමනට. ගමන උදව් කරනවා බැටරියට. චේතනාවත් වාහනයක බැටරිය වගේ. කවදාවත් අවසන් කළ නොහැකි හැමදාම පාවිච්චි කළ හැකි බැටරියක් තමා මේ චේතනාව කියන බැටරිය. මේ බැටරියේ ක්‍රියාකාරීත්වය නැතිවෙලා යන්නේ අවිද්‍යාව නැතිකළ විටයි. වාහනයේ බැටරිය වගේ තිබෙන මේ චේතනාවෙන් මොකද වෙන්නේ. ඇහැ පණ ගන්වල ඇසක් උපද්දුවා. ඇස ඉපද්දුව නිසා ඇසෙන් රූප බලනවා. ඇසෙන් රූප බලන්න බලන්න නැවත නැවත චේතනා පහළ වෙනවා. ඇහැක් තිබුණ නිසයි චේතනා පහළ කරන්න පුලුවන් වුණේ. චේතනා පහළ වූ නිසා තමා නැවත කර්මයක් ලෙස සකස් වෙලා අලුතින් ඇහැක් ලැබෙන්නේ මේ චේතනාවේ ක්‍රියාකාරීත්වය තුළ සකස් කිරීමක් තිබෙනවා. මේ ජීවිතය තුළත් සකස් කිරීමක් තමා තිබෙන්නේ. එසේ සකස් කරන්නේ කොහොමද? සිත, කය, වචන හසුරුවන්නේ චේතනා. චේතනා මෙතැනින් සකස් කරනවා. පරලොවත් සකස් කරනවා. ඒ නිසයි චේතනාවට සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ සකස් කරනවා කියන එකයි.
නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු ඇසුවා ස්වාමිනි, චේතනාවට උපමාවක් කියන්න කියා. එහිදී නාගසේන මහරහතන් වහන්සේ අපූරූ උපමවාක් වදාළා. කෙනෙක් මාරාන්තික විසක් අරගෙන යම්කිසි බීමක් හදනවා. මේ විස උපකාරි කරගෙන හදපු පානය ඒ පුද්ගලයා පාවිච්චි කරනවා. අනෙක් අයටත් පාවිච්චි කරන්න දෙනවා. මේ විස පානය හදාගත් කෙනෙක් මරණයට පත්වෙනවා. නැත්නම් මාරාන්තික දුකකට වැටෙනවා. එය පානය කරන අනෙක් අයත් එක්කෝ මැරෙනවා නැත්නම් මරණාසන්න දුකකට පත්වෙනවා.
මේ විස පානය සකස්කළ පුද්ගලයා නිසා ඔහුත් තවත් බොහෝ දෙනෙක් දුකකට පත්වුණා වගේ නාගසේන ස්වාමින් වහන්සේ වදාළා චේතනාව සකස් කරන්නේ ඔය විදිහටයි. චේතනාව සකස් වුණේ පාපි චේතනාව වශයෙන්. ඒ පාපි චේතනාව නිසා ඒක මාරාන්තික විස සහිත පානයක්. ඒ විස සහිත පානය ඒ පුද්ගලයාටත් මරණය හෝ මාරාන්තික දුකකට පත්කළා වගේ තවත් බොහෝ දෙනෙකුට පීඩා ගෙන දෙනවා. මේ පාපි චේතනා නමැති විස පානය ඔහුටත් තවත් අයටත් දුකක් කරදරයක්මයි ගෙන දෙන්නේ.
ඒ වගේම තමා පුණ්‍ය චේතනාව නිතරම ගෙන දෙන්නේ සැපක්. යම් චේතනාවක් පහළ කරගෙන ඇස, කන. නාසය, දිව, කය, මනස සුගති රැකවරණයට යොමුකළ හැකියි. පුණ්‍ය චේතනාව නිතරම තමන්ටත් අනුන්ටත් සැප පිණිස පවතිනවා. ඒ චේතනාවන් ගැන පෙන්වා වදාළ නාගසේනයන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විස්තර ඇතුව විසඳා වදාළා. ඔබටත් මේ උතුම් ධර්මය අවබෝධ කර ගන්නට ශක්තිය ලැබේවා!
නයනා නිල්මිණි

ජීවය හා ශරීරය පිළිබඳ ගැටලුව


‘ජීවයත් ශරීරයත් එකක් ම ද? ජීවය එකක් හා ශරීරය තව එකක් ද?” “තං ජීවං තං ශරීරං? අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං?” යනුවෙන් නගන ප්‍රශ්න දෙකෙන් අදහස් කැරන්නේ කුමක් ද යන්න විමසීමකි මේ.
ජීවය හා ශරීරය අතර පවත්නේ අන්‍යතර වූ සම්බන්ධයක් ද නැති නම් අනන්‍ය සම්බන්ධයක් ද? යන ප්‍රශ්න දෙක යි මෙයින් හැඟෙන්නේ. දර්ශනයේ මූලික ම ගැටලුව වන්නේ ද්‍රව්‍ය හා මනස සම්බන්ධ ව බව මාක්ස්වාදය අදහස් කරයි. ද්‍රව්‍යයෙහි පරිණාමයෙන් මනස බිහි වූ බව ඔවුන්ගේ පිළිගැනීම යි. ආත්මය, ජීවය, සිත, මනස, විඤ්ඤාණය යනුවෙන් සියලු වචනවලින් දැක්වෙන්
නේ ද්‍රව්‍යය නොවන දෙය යි. විඤ්ඤාණවාදීහු මනසේ ප්‍රමුඛත්වයත්, මනසේ ප්‍රාථමිකත්වයත් පිළිගනිමින් ද්‍රව්‍යයට, රූපයට ද්විතීයික බව හිමි කරති. සිතෙන් සියල්ල හටගත් බවත්, විඥානය, නැත හොත් පරම ආත්මයකින් ඒත් නැති නම් දෙවියන් වහන්සේගෙන් ද්‍රව්‍ය ලෝකය බිහි වූ බවත් පිළිගන්නා අය විඤ්ඤාණවාදීන් ලෙස සලකනු ලැබේ.
මෙහි ලා භෞතිකවාදීහු ජීවය ම ශරීරය ලෙසත් ශරීරයෙන් බැහැර ව ජීවය හෙවත් මනස නොපවතින බවත් පිළිගනිති. විඤ්ඤාණවාදීහු සිතට ප්‍රමුඛත්වය දෙමින් සිත ද්‍රව්‍යයෙන් නැත හොත් ශරීරයෙන් බැහැර ව පවතින බවත් ජීවය එකකි ශරීරය තව එකකි ය යි කියාත් පිළිගනිති. ශරීරය අතහැර විඤ්ඤාණය ගමන් කරන බව ද පිළිගනිති.
‘ත ජීවං තං ශරීරං’ යන ප්‍රශ්නයෙන් හැඟෙන්නේ ජීවය හා ශරීරය දෙක ම එකක් යන භෞතිකවාදී මතය යි. ‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ යනු දෙවැනුව කී විඤ්ඤාණවාදී මතය යි.
ජීවය හා ශරීරය එකක් ද දෙකක් ද යන ප්‍රශ්නවලින් හැඟෙන්නේ ද ආත්මය හා ශරීරය එක ම ද නැත හොත් එකිනෙකින් වෙනස් වූ දෙකක් ද යන්න හා සම්බන්ධ වූ ගැටලුවකි.
ජීවිතයත්, ශරීරයත් එකක් ම ය යනුවෙන් පිළිගත් භෞතිකවාදීහු සනාතන ආත්මවාදයට විරුද්ධ ව අදහස් දැක්වූ හ. මේ භෞතිකවාදීන්ගෙන් ඇතැමෙක් උප්පත්තියේ සිට මරණය දක්වා පමණක් පවතින ආත්මයක් පිළිගත්හ. භෞතික ශරීරය ම ආත්මය වශයෙන් සිතන්නට පුරුදු වූ අයගේ අදහස් උපනිෂද්වල ද දක්නට ලැබේ. මෙසේ ආත්ම හා ශරීරය පිළිබඳ ව පරීක්‍ෂා කළ ඔවුන්ගෙන් ඇතැමෙක් තුරිය අවස්ථාව ආත්ම ලෙස පිළිගත්හ. කේ. ඇන්. ජයතිලක මහතා සූත්‍රකෘතාංගයෙහි එබඳු ගුරුකුල සතරක් දක්වා “තච්ජීවිත තච්ශරීරවාද’ ඉන් එක් පිරිසක් බව සඳහන් කරයි. දීඝ නිකායේ ‘අත්තරූපී චාතුම්මහාභූතිකෝ’ යනුවෙන් සඳහන් කළ කරුණට මෙය සමාන වේ. අජිත කේසකම්බල ද මෙම අදහස දරා ඇත.
සුමංගලවිලාසිනියෙහි ‘තේන ඛෝ වාදෝති උච්ඡේදවාදෝ’ යනුවෙන් ජීවය හා ශරීරය එකක් ම ය සලකන පිරිස උච්ඡේදවාදීන් ලෙස හඳුන්වා තිබේ. ධම්මපාල හිමියන් උදාන අට්ඨකථාවෙහි ‘ජීවං ච ශරීරං ච අද්වයං අසංවාදෝ’ ජීවය, ශරීරය දෙකක් නො වේ යන අදහස ආජීවකයන් දැරූ බව සඳහන් කර ඇත. කේ. ඇන්. ජයතිලක මහතා, බෂාම්ගේ ඩ්ඪඵබධපර ධට ඒණඪමචඬච කෘතියෙහි ද මේ මතය ආජීවකයන් දැරූ බව සඳහන් ව ඇතැ යි කියයි. ජෛන ස්්ථානංග සූත්‍රය හා බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි ව ම ජීවයත් ශරීරයත් එකක් මැ යි දැරුවේ භෞතිකවාදීන් ය යි පිළිගනී.
‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ ශරීරය හා ආත්මය දෙකක් හැටියට අන්‍යතර වශයෙන් පිළිගන්නෝ ආත්මවාදීහු ය. ශරීරය හා මනස අතර අසංස්කෘත අසම්බන්ධ පැවැත්මක් මෙයින් අදහස් වන බව මූර්ති මහතාගේ ද පිළිගැනීම යි. පළල් අර්ථයෙන් එය විඤ්ඤාණවාදය යි. ජගත් ආත්මය හා ප්‍රත්‍යගාත්මය දෙක එයින් කියැවෙන බවත්, සංඛ්‍ය දර්ශනයේ පුරුෂ පිළිබඳ සංකල්පය එහි ඇති බවට බුදුන් වහන්සේට අදහසක් තිබෙන්නට ඇතැයි ද ටී. ආර්. වී. මූර්ති කියයි. ‘අඤ්ඤෝ ජීවෝ අඤ්ඤෝ ශරීරෝ’ යනුවෙන් ආත්මයත්, ශරීරයත්, දෙකක් යන අදහස භෞතිකවාදීන් විවේචනය කළ බව පෙනේ. ශරීරයෙන් පිට ආත්මයක්, ජීවයක් තිබේ නම්, එය පෙන්විය හැකි විය යුතු ය යි ඔවුහු තර්ක කළහ.
නටුව හා කොස්ස, කෙඳි ඔවුන්ට වෙන් කොට දැක්විය නොහැක්කා සේ ජීවය හා ශරීරය වෙන් කර දැක්වීමට නොහැකි ය. මේ භෞතිකවාදීන්ගේ මතය යි. කඨෝපනිෂදයෙහි ද මේ අදහස දැක්වේ. බුදුසමයට අනුව භෞතිකවාදීන්ගේ මේ තර්කය ප්‍රතික්ෂේප කැරේ. යෝගී අභ්‍යාසයෙහි නියුක්ත කෙනකුට ‘තණ පඳුරෙන් ගොබය ඇද දක්වන්නා සේ, හියොවුරෙන් ඊතලය ඇද දක්වන්නා සේ’ ශරීරයෙන් මනස වෙන් කිරීමට හැකි බව පාළි සූත්‍රයෙහි දැක්වේ. මෙම හැකියාව යෝගී අභ්‍යාසිකයකුට තිබුණ ද, ජීවය හා ශරීරය අන්‍යතර ය යි යන නිගමනයට බුදුසමය එළඹී ඇතැ යි නොසිතිය යුතු ය. ජීවය එකකි, ශරීරය අනෙකකි යන මතය දැක්වූවාහු පැහැදිලි ව ම ආත්මය පිළිගත් ශාශ්වතවාදීහු ය.
ශරීරය අනිත්‍ය වන අතර, ඒ අනිත්‍ය ශරීරය අතහැර ආත්මය සදාකාලික ගමනක යෙදේ යනු මොවුන්ගේ මතය යි. පැරණි වස්ත්‍ර ඉවත ලා අලුත් වස්තු හැඳගන්නාක් මෙන් ආත්මය එක කයක් අතහැර තවත් කයකට ඇතුළු වේ. චරකසංහිතාවෙන් කරුණු දක්වන මහාචාර්ය කේ. ඇන්. ජයතිලක මේ ජීවයත්, ශරීරයත් දෙකක් ය මතයට සමාන අදහස් දැරූ පිරිසක් ගැන සඳහන් කරයි. ආත්මය ශරීරයේ තිබෙන විට ජීවිතයේ ලක්‍ෂණ හඳුනාගත හැකි නමුත්, ආත්මය ශරීරයෙන් බැහැර වූ විට එසේ හඳුනාගත නොහැකි ය. මේ අනුව සදාකාලික ආත්මය (ජීවය) ශරීරයෙන් වෙනස් වේ. ‘යථා නිත්‍යාන්මානී ශරීරසේත ජීවලිංගාන්‍යුපළඛ්භ්‍යනේති තස්ස වාපකමානේත උපලභ්‍යන්තේ තස්මාද් අන්‍යඞ සරීරාත් ආත්මා නිත්‍යශේවති (3,8,6,52 චරකසංහිතා). ශරීරය ආත්මයෙන් හෙවත් ජීවයෙන් වෙනස් වේ යන අදහස මෙහි ගැබ් ව ඇති බව කේ. ඇන්. ජයතිලක දක්වයි.
ජීවයත් ශරීරයත් එකක් ම ද? එසේ නැත් නම් ජීවය ශරීරයෙන් බැහැර වූ දෙයක් ද? යන මෙම ප්‍රශ්න දෙක අව්‍යාකත වශයෙන් බුදුසමය සලකන්නේ කවර හේතූන් නිසා ද? ඉහත දැක්වූ පරිදි මේ ප්‍රශ්න දෙක පිළිබඳ ව එකංශික වශයෙන් දෙන පිළිතුරු හේතු කොටගෙන ශාශ්වත හා උච්ඡේද දෘෂ්ටි දෙකට වැටෙන බව පැහැදිලි කරුණකි. ජීවයත් ශරීරයත් එකක් ම ය යි සලකන්නා ශරීරය විනාශ වීමෙන් පැවැත්මත් අවසන් වන බව පිළිගනී. ශරීරය එකකි, ජීවය තව එකෙකැ යි කියන්නා ශරීරයේ විනාශ වීමෙන් ජීවය විනාශ නොවී පවතින බව පිළිගනී. එම පිළිගැනීම ශාශ්වතවාදී අන්තයට නිතැතින් ම වැටේ. එසේ නම් බුදු දහම මේ පිළිබඳ ව දෙන පිළිතුර නිශ්ශබ්දතාව ම පමණක් ද? යන්න විමසිය යුතු ය.
ජීවය, ආත්මය, චිත්ත, මනෝ, විඤ්ඤාණ යන මේ සියල්ල එක අර්ථයෙන් අප මෙහි දී දක්වමු. එසේ නම්, බුදුදහම ජීව හා අජීව, එනම් මානසික හා භෞතික අංශ දෙක ම අවිවාදයෙන් පිළිගනී. ‘නාම රූප’ යනුවෙන් මෙය දැක්වේ. ජීවයත් ශරීරයත් දෙක ගැටලු වශයෙන් නොගෙන, ඒවා පවත්නා දේ ලෙස බුදුදහම පිළිගනී. මෙහි දී ගැටලුව වී ඇත්තේ මේ දෙකෙහි පැවැත්ම හුදෙකලා ව ද, සංයුක්ත ව ද, එකක් ද, දෙකක් වශයෙන් පවතී ද ආදි ප්‍රශ්න යි. විඤ්ඤාණය යන බෞද්ධ වචනයෙන් දක්වනවා නම්, ජීවය හා ශරීරය වෙන් ව හෝ එකක් ලෙස හෝ ගත නොහැකි ය. මේ දෙක පවත්නේ එකිනෙකට සාපේක්‍ෂ ව යි: ‘අඤ්ඤත්‍ර පච්චයා නÀථි විඤ්ඤාණස්ස සමාභවෝ’ හේතු ප්‍රත්‍යයෙන් තොර ව සිතක් නො පවතී, විඤ්ඤාණය හෙවත් ජීවය ශරීරය හා බැඳී පවතී යන නිගමනයෙහි පිහිටා සිටින බුදුදහම ශරීරය හෙවත් රූපය ජීවය යි කියා හෝ රූපයෙන් බැහැර ව ජීවය පවතී කියා හෝ නො කියයි. මේ පිළිබඳ ව පැහැදිලි වන අවස්ථාවක් ලෙස සංයුක්ත නිකායේ යක්ඛ සංයුක්තයේ ඉÁදක සූත්‍රය දැක්විය හැකි ය. බුදුන් වහන්සේ රූපය, ජීවය යි නොදෙසන බවත් එසේ නම්, සත්ත්වතෙමේ එනම් ජීවය සිරුර කෙසේ ලබයි ද? එම ජීවියාට ඇටකටු, අක්මා ආදි ශරීරාංග කොයින් ලැබේ ද? කෙසේ මේ ජීවියා (සත්ත්වයා) මවුකුසට පැමිණෙයි ද යි මෙහි දී ඉන්දක බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරයි.
‘ප්‍රථමයෙන් (මාපිය සංසර්ගයෙන්) කළලයක් ඇති වේ. කළලයෙන් ඉදිමුණු අබ්බුදය වේ. එයින් පේසිය හටගනී. පේසියෙන් ගන මස්පිඬ ගනී. එම ඝනයෙන් පිලක පහක් (පසිඳුරන්) හටගනී. පසු ව කෙස්, ලොම් හටගනී. ඉන් පසු ඔහුගේ මව යම් ආහාර වළඳා ද මව්කුසට පැමිණි ඒ සත්ත්වතෙමේ ඉන් යැපේ. මව්කුස තුළ හේතු ප්‍රත්‍යයන් බිහි වූ කළ සත්ත්වයා හටගනී.’ මෙම බෞද්ධ විග්‍රහයෙන් රූපය ම ජීවයය කියා හෝ ජීවය රූපයෙන් බැහැර වේ ය යන අදහස ඉන් මතු නො වේ. මෙම ප්‍රශ්නය පැහැදිලි කැරෙන්නේ බුදු දහමේ පට්ටිච්චසමුප්පාද විග්‍රහයෙනි.
ශරීරය ම ජීවය ය යි සැලකීමේ දී පුද්ගලයා ග්‍රාම්‍ය භෞතිකවාදියකු තත්ත්වයට වැටේ. ශරීරයේ විනාශයෙන් පසු ව ජීවයේ අවසානය ද සිදු වෙයි. එයින් උච්ඡේදවාදය තහවුරු වෙයි. ශරීරයෙන් ජීවය බැහැර වේ ය යි සැලකීම නිසා ශරීරය විනාශ වූ කල්හි ජීවය සකාදාලික ගමනේ නිරත වේ යන්න නිතැතින් ම ශාශ්වත වාදයට හේතු වේ. බුදු දහම මේ අන්ත දෙක බැහැර කරන්නේ යථා තත්ත්වය මේ අන්ත දෙක ම නොවන හේතුවෙනි. ජීවය හා ශරීරය අනන්‍ය වශයෙන් සාපේක්‍ෂක ව පවත්නා විට, ඉහත සඳහන් අන්තවාදී නිගමනවලට එළඹීම සාවද්‍ය වේ. අප මේ ‘ජීවය’ යන වචනයට විඤ්ඤාණය යන අර්ථය දක්වා, එම විඤ්ඤාණය හා භෞතික ශරීරය අතර පවත්නේ කෙබඳු සම්බන්ධයක් ද යන්න පරීක්‍ෂා කර බලමු.
මේ පිළිබඳ ව විශේෂයෙන් මාක්ස්වාදී භෞතිකවාදීහු පැහැදිලි මතයක සිටිති. විඤ්ඤාණය භෞතික හා සාර්වසමානත්වයෙන් සැලකීම ග්‍රාම්‍ය භෞතිකවාදීන්ගේ අදහසක් බව ඔවුහු කියති. චින්තනය ද්‍රව්‍යමය වශයෙන් හැඳින්වීම භෞතිකවාදය හා විඤ්ඤාණවාදය මිශ්‍ර කිරීමේ ව්‍යාකුලත්වයට මග පාදන බව ලෙනින් කියා ඇත. විඤ්ඤාණය භෞතිකයෙන් පරිබාහිර ව පවතින බව පිළිගැනීම අතිශය විඤ්ඤාණවාදී අදහසක් බැවින් හෙතෙම එම මතය ද ප්‍රතික්‍ෂේප කරයි. ද්‍රව්‍ය හා විඤ්ඤාණය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේ වශයෙන් පෙන්වාදීම ද වැරදි බව ලෙනින්ගේ අදහස යි. ඔවුහු ජීවයේ පරිණාමය ගැන කථා කරති; විඤ්ඤාණය මේ පරිණාමයේ ඉහළ ප්‍රතිඵලයක් සේ දකිති. කෙසේ නමුත් ඔවුහු ජීවය හා ශරීරය පිළිබඳ ව දකින්නේ දයලෙක්තික අපෝහක සම්බන්ධයකි. එහෙත් ද්‍රව්‍යය ප්‍රථමික ය යි සලකති. මේ පිළිබඳ බෞද්ධයා ජීවයේ හෝ ශරීරයේ ආරම්භයක් නොපිළිගන්නා අතර, එසේ ආරම්භය පිළිබඳ ව විවිධ ගැටලු ඇති වන හේතුවෙන් ජීවය හා ශරීරයේ සාපේක්‍ෂක පැවැත්ම අවිවාදයෙන් පිළිගන්නා බව කිව හැකි ය.
ජීවය හා ශරීරය එකක් ද දෙකක් ද? යන ප්‍රශ්න යථාස්වභාවය නොදන්නා පුද්ගලයා තුළ පැනනගින ගැටලුවක් සේ සලකන බුදු දහම යථාස්වභාවය ප්‍රත්‍යක්‍ෂ කළ පුද්ගලයාට එබඳු ගැටලුවක් පැන නොනගින බව බොහෝ අවස්ථාවල දී දක්වා ඇත. සිත සමාධිගත කොට ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන්ට සමවැදුණු භික්‍ෂුවකට වුව මේ ප්‍රශ්න දෙක පැන නැගෙන බවත් විදර්ශනා ඥානය ලැබූ පුද්ගලයාට එබඳු ප්‍රශ්න පැනනොනගින බවත් දීඝ නිකායේ මහාලී සූත්‍රයේ සඳහන් වේ. චිත්ත සංවර්ධනය තිබුණ ද ප්‍රඥාව ලබන තුරු මෙබඳු ප්‍රශ්න පැනනගී. සමාධිගත පුද්ගලයා ලෞකික ක්‍ෂේත්‍රයක වෙසෙන අතර, ප්‍රඥා විමුක්තිය ලැබූ තැනැත්තා ලෝකෝත්තර ක්‍ෂේත්‍රයට පත් වේ. බුදුන් වහන්සේ මෙම ප්‍රශ්න දෙකට පිළිතුර නොදෙන්නේ වැරදි දෘෂ්ටිකයන්ට අනුබල ලැබෙන නිසාත්, යථාස්වභාවය අනුව මේ ප්‍රශ්න වැරදි ප්‍රශ්න වූ නිසාත් බව පෙනේ.
සංයුක්ත නිකායේ සෝතාපත්ති වග්ගයේ ‘තං ජීවං තං ශරීරං’ සූත්‍රය හා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං’ සූත්‍රය යන සූත්‍ර දෙකෙහි මෙබඳු දෘෂ්ටි ඇති වන්නේ කවර හේතුවක් නිසා දැ යි බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදි ස්කන්ධ
පංචකයෙහි අනිත්‍ය ස්වභාවය දුක හා අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්‍ෂ නොවූ විට රූපයේ නිත්‍යත්වය, වේදනාවේ නිත්‍යත්වය ආදිය පිළිගන්නා පුද්ගලයා ජීවය හා ශරීරය දෙකක් ද එකක් ද ආදි ප්‍රශ්න නගන බව විස්තර වේ. මෙබඳු දෘෂ්ටීන්ට එළඹෙන්නේ මිනිසා වැරදි පදනමක පිහිටා යථාර්ථය දෙස බලන නිසා බව පැහැදිලි වේ. අනිත්‍ය ස්වභාවය හරිහැටි වටහාගන්නා පුද්ගලයාට ජීවයේ හා ශරීරයේ යථාස්වභාවය දැකගත හැකි හෙයින් එබඳු ගැටලු පැන නොනගී.
විදර්ශනා ඥානයෙන් යුතු පුද්ගලයා මෙසේ දැනගනී:
‘මගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්ත ය; සතර මහා භූතයන්ගෙන් හට ගත්තේ ය; මව්පියන්ගෙන් හට ගත්තේ ය; ආහාරයෙන් මඬනා ලද්දේය. අනිත්‍යත්වයය, ඇඟ ඉලීම ය, පිරිමැදීම ය. බිඳීම ය, විනාශය ය යන දේ ස්වභාව කොට ඇත්තේ ය.’ ‘ඉදංච පන මේ විඤ්ඤාණං එන්‍ථසිතං එන්‍ථ බද්ධන්ති.’ මෙම පිළිතුරෙන් විඤ්ඤාණය හෙවත් ජීවය හා ශරීරය එක ම දෙයක් කියා හෝ වෙනත් දෙයක් කියා හෝ අදහස් නො වේ. හේතු ප්‍රත්‍ය ස්වභාවයෙන් ජීවයත්, ශරීරයත් හටගනී. එය ද වෙනස් වනසුලු ය.
එසේ නම්, ඉහත නැඟූ ප්‍රශ්න ඊට අදාළ නො වේ. බුදුන් වහන්සේ මේ ප්‍රශ්න දෙකට ම එකංශික වශයෙන් පිළිතුරක් නොදුන්නේ අඥෙයවාදී පදනමක පිහිටා නො වේ. උන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරත් එහි යථාස්වභාවයත් දැන සිටියහ. ආශ්‍රව ධර්මයන් ප්‍රහීණ කොට ආශ්‍රවක්‍ෂයකරඥානය ලැබූ පුද්ගලයා එසේ තමා මිදුණු බව දැනගැනීමෙන් මේ ගැටලුවලින් මිදෙන බව බුදුදහමින් පැහැදිලි කැරේ.

කාය සුචරිතය

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය 

බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ තුනයි. ඒ තුන්තරා කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි. බවදුක් නසන්නට නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව මිච්ඡා කම්මන්තය පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි එකක්දැයි ගැඹුරින් සිතා බැලිය යුතු ය.
බුදුදහමේ සාරය කේන්ද්‍ර කොට ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහිය. එහි සතරවැන්න දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරියසච්ච නමින් ප්‍රකටය. එයම ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යන නම්වලින් ද ප්‍රකාශිතය. නමින්ම අර්ථ කථනය වන පරිදි මෙය ඓහලෞකික, පාරලෞකික වශයෙන් විද්‍යාමාන සකලවිධ ලෝක දුක් සංසිඳුවීමට ඇති එකම මාර්ගයයි. සසර පරතෙරට පමුණුවන නිසාත්, ඒ සඳහා මෙයට වෙනස් අන් මගක් නොවන නිසාත් ඒකායන මාර්ගය වශයෙන්ද හඳුන්වා දී ඇත. එසේම එය බෞද්ධයන්ගේ හෝ අනෙකුත් කිසියම් ජන කොටසකගේ සංවෘත මාර්ගයක් ද නොවේ. විවෘත සාර්වජනිත ප්‍රතිඥා මාර්ගයකි. කිං සච්චගවේසි සියල්ලවුන් සඳහා විවෘත වූවකි. දුක් පීඩා අස්තංගත කිරීමට ශාන්තිපද ලාභයටත් අවශ්‍යතාවය ඇති කොයි කවුරුන් නමුත් මෙයට අන්තර්ගත අට වැදෑරුම් සාර ධර්මය සාක්ෂාත් කළ යුතු ය. අෂ්ටාංග සමන්නාගත මාර්ග ප්‍රතිපදාවේ කරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවක් පවත්නා හෙයින් එකකට පසුව අනෙක වශයෙන් ලැබිය යුතුය යන හැඟීමකට ඉඩක් නැත. ප්‍රතිපදාව අනුගමනයේ දී ගෙය ධර්ම ප්‍රතික්ෂේප කිරීමත් උපදේශය ධර්ම සමාදානයත් එක හා සමාන වගකීමකින් සපුරාලිය යුතු ය.
මේ අෂ්ටාංගික මාර්ගයෙහි සතරවැන්න සම්මා කම්මන්ත නමින් දැක්වෙයි. කම්මන්ත නමින් අදහස් කොට ඇත්තේ අපගේ කායසමාචාරයයි. එනම් කායික ක්‍රියාවලියයි. මෙහිදී දෙපැත්තක් තිබේ. එය ගෙය ද උපාදේය ද වෙයි. ගෙය වන්නේ මිච්ඡා කම්මන්තයයි. උපාදේය වන්නේ සම්මා කම්මන්තයයි. බැහැර කළ යුතු මිච්ඡා කම්මන්ත හෙවත් කායසමාචාර එසේත් නැත්නම් කායික ක්‍රියාවලියට කරුණු තුනක් අයත් වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය ඒ තුනයි. ඒ තුන්තරා කාය කර්මයන්ගෙන් බැහැර වීමම සම්මාකම්මන්ත සමාදානයයි. බවදුක් නසන්නට නිවන් දකින්නට තරම් ප්‍රබල සම්මා කම්මන්තය අනිකක් නොව මිච්ඡා කම්මන්තය පිටුදැකීම නම් මිච්ඡා කම්මන්තය කෙතරම් ප්‍රබල සාපරාධි එකක්දැයි ගැඹුරින් සිතා බැලිය යුතු ය.
සාවද්‍ය කායසමාචාරයේ මුල් තැනට එන්නේ හිංසාවයි. තමන් ගැන පමණක් සිතා තම අභිමතාර්ථයන් සපුරා ගැනීමට සිතන මිනිසා අනුන් ගැන නොසිතයි. නොතකයි. අනුන්ගේ සුවය, පහසුව, අයිතිය, නිදහස අගය නොකරයි. අවශ්‍ය වන්නේ හොඳින් හෝ නරකින් සිතැඟි ඉටුකර ගැනීමයි. අනුන් හා ගැටෙයි. වෛර බඳියි. රිදවීම්, බියවැද්දවීම්, තර්ජනය කිරීම්, ම්ලේච්ඡවූත් සාහසික වූත් වද හිරිහැර ආදියෙන් හිංසකව හැසිරෙයි. ආත්මකාමයෙන් හා වෛරයෙන් පිරුණ මිනිසා කෙතරම් අන්ධදැයි කියතොත් අන්තරික්ෂයක් හෝ සමුද්‍රයක් හෝ නොමැති බව නොසිතයි. ඔහු ද කිසිදාක කිසි ලෙසකින් කුරිරු ගොරබිමේ වද වේදනා වලට හසුව මරණයට හෝ මරණමාත්‍ර දුකට පත්වීම නියත බව නොසලකයි.
හිංසාව නිසා පුද්ගලයා ලබන විනාශයටත් වඩා භයානක වන්නේ සමාජයට වන මහත් අනර්ථයයි. හිංසාව පිරි සමාජයක සාමය, සමගිය, නිදහස හා සංවරය පිහිරී යයි. ගැටුම්, අරගල වලින් පිරීයයි. මෙය ඉතා ගැඹුරින් පුළුල්ව අප තේරුම් ගත යුත්තකි. තමන් හිංසාව අකැමැති තරමින්ම අනුන් හිංසාවට අකැමැති බවත්, තමන් සැප කැමැතිවන තරමින්ම අනුන් සැප කැමැති බවත් තේරුම් ගැනීමෙන් අපට අවිහිංසක විය හැකි ය. උනුනුන් දෙස සිනාසී බැලිය හැක්කේ අහිංසකයනට පමණය. දණ්ඩනය, බන්ධනය පසෙකලා දයානුකම්පා සහිතව ජීවත්වීම සම්මාකම්මන්තයේ ලක්ෂණයකි. වාද භේද, ගැටුම්, සටන් නැති මිහිරි ලොවක සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත්වීමට මිනිසා ඔසවා තබන සාරධර්මයක් ලෙසත් සම්මාකම්මන්තය හඳුන්වා දිය හැකි ය.
සාවද්‍ය කාය සමාචාරයෙහි ඊළඟ අංගය අදත්තාදානයයි. එනම් සොරකමයි. අතෘප්තිකර ආශාවලින් පිරුණු මිනිසා තාවකාලික ආත්මීය තෘප්තිය පිණිස සොරකමකට පෙළඹෙයි. ගෙවල්බිඳීම, කොල්ලකෑම, මංපැහැරීම, අල්ලස් ගැනීම, බොරුවෙන්, වංචාවෙන්, සටකපටකම් වලින් ආදී විවිධ ක්‍රමෝපායයන් මගින් අනුන් සතු දේ සොරකම් කිරීම පුද්ගල දූෂණයක් මෙන්ම බරපතළ සමාජ දූෂණයක් ද වෙයි. මෙයින් සමාජයක සුරක්ෂිත විය යුතු විශ්වාසය, ගරුත්වය, පිළිගැනීම තහවුරු වෙනවා වෙනුවට අවිශ්වාසය, නිගරුව, පිළිකුල පැතිර යයි. “අසල් ගෙයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක”යි කියැවෙන පරිදි මිනිසුන්ට නිස්කලංකව ජීවත්වීමට ඇති අයිතිය පවා වනසාලන සමාජ දූෂණයකි. හොරකම්වල යෙදෙන්නා කුමන බල මහිමයකින් රැකී වැසී සිටියත් සාරධර්ම අගයන මිනිසුන්ගේ සිත් තුළ හොරකු වශයෙන් මිස මහත්මයකු වශයෙන් තැනක් කිසිදා නොලබයි. කවර නමකින් හඳුන්වනු ලැබුවත් පරස්වහරණය වන්දි ගෙවිය යුතු සාපරාධී ක්ෂය සමාචාරයක්ම වෙයි.
අත්ථිසුඛය, භෝගසුඛය, ලෞකික සැපතකි. එය අපට අවශ්‍යය. එය ලබාගත යුතු ය. නමුත් එය ලබාගත යුත්තේ සොරකමෙන්, ගසාකෑමෙන් නොවේ. මිනිසා දහඩිය මහන්සියෙන් ගතේ සිතේ වීර්යයෙන් අවශ්‍යතා සපුරාගත යුතු ය. එයින් තෘප්තියක් ඇතිවෙයි. සමාජයත් චාම්බවට, සරලබවට පත්කොට සන්තෘප්තියෙන් ජීවත් කරවීම සඳහා සම්මා කම්මන්තය මොනතරම් පිහිටක්දැයි මෙයින් වටහා ගත හැකි ය.
සම්මා කම්මන්ත සමාදානයට ප්‍රතික්ෂේප කළ යුතු තුන්වන කරුණ කාමමිථ්‍යාචාරයයි. පරස්ත්‍රීන් පරපුරුෂයන් වෙත යාමේ පටන් නානා තරාතිරමින් ඇති ස්ත්‍රී දූෂණ, කාමාපරාධ, බලහත්කාරකම්, සියල්ල එහිම අංගෝපාංග කොට සැළකිය හැකිය. මේ විෂමාචාරයේ බිහිසුණුකම සිතා ගැනීමට හුඟක් කරුණු නොකිවත්, පිළියම් රහිත රෝගකාරකයන්ගෙන් ලොවම වනසාලන සද්දන්ත උවදුරක් ඇති වූයේත් මේ නිසා බව සිතිය යුතු ය. අනාචාරයෙහි යෙදෙන්නා, පිළිකුලට ද්වේෂයට ලක්වෙයි. අන්‍යයන්ගේ තබා මව්පිය, සොහොයුරන්ගේ පිළිකුලට ද පත්වෙයි. මේ තත්ත්වය සවිස්තරව ඇඟවීම සඳහා පැරැන්නන් ප්‍රකාශ කළේ කාමාතුරයන් ඔවුන්ගේ සාවද්‍ය කායසමාචාරය හේතුවෙන් ධිග්දණ්ඩ, ධකදණ්ඩ, වටදණ්ඩ යන තුන් වැදෑරුම් දණ්ඩනයටම ගොදුරුවන බවයි. එහි තේරුම ඔහු තමාත්, දේපලත්, ජීවිතයත් නැතිකර ගන්නා අයකු වන බවයි.
කාමාතුරයන්ගේ අධම චර්යාවන් නිසා සමාජය මුහුණ පාන්නේ මහත්ම අනතුරකටය. මෙයින් පවුල් ඒකකය තුළ තහවුරු විය යුතු විශ්වාසය සමගිය සහ සහජීවනය බිඳවැටෙන අතර ගැටුම්, අඬදබර, භේදභින්නතා වර්ධනය වෙයි. සමාජ සීමාවන් ඉක්ම ගොස් එහි සංවරය හා සදාචාරය පිරිහී මනුෂ්‍යත්වයේ උත්තරීතර භාවය වසං වෙයි. ලෙඩ රෝග මෙන්ම දරිද්‍රතාව පැතිරීමට පවා විෂමාචාරය මුල් වෙයි. ඒ අනුව සංවරයෙන් හා සදාචාරයෙන් බැහැරව ආත්මාර්ථකාමී අයුරින් පුද්ගල මනෝරථයන් සපුරා ගැනීමේ අභිප්‍රායෙන් මිච්ඡාකම්මන්තයෙහි යෙදෙන මිනිසා තමාත් විපතට පත්වී සමාජය අපායක් බවට පත් කරයි.
එබැවින් දයානුකම්පා පිරි අහිංසක ලෝකයක් තැනීමට, සරල චාම් අල්පේච්ඡ සමාජයක් බිහිකිරීමට, බෙහෙතුත් නැති කාමරෝගයන් පවා නිවාරණය කරන සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට හොඳම සාධකය සම්මා කම්මන්තයයි.

කර්මය සහ විපාක

බිබිල යල්කුඹුර 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
ආචාර්ය 

පදියතලාවේ ඤාණවිමල හිමි
ලොව පහළ වූ විවිධ දර්ශන අතර බෞද්ධ දර්ශනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. මේ සඳහා එළඹුණු හේතු සාධක අතර වැදගත් වන්නේ ලොව පිළිබඳවත්, සත්ත්වයා පිළිබඳවත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් යුත් දේශනාවන්ය.මේ දේශනාවන්ගේ වැදගත්කම වන්නේ අන්‍ය දාර්ශනිකයින් ඉදිරිපත් කළ කරුණූ බුදු දහම සමඟ ගැළපීමට නොහැකි ලෙස දුරස්ථව තිබීමයි. භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ දර්ශනයන් මිථ්‍යා දර්ශනයන් බව පසක් වන්නට වූයේ බෞද්ධ දර්ශනය භාරතය පුරා හිස එසවීමත් සමඟය. ඊට පෙර සමාජීය වශයෙන් මහත් ප්‍රබලත්වයකින් නැඟී ආ මිථ්‍යා දර්ශනයන්ට නිසි මඟ වූයේ බුදු දහමයි.
ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු දහම මීට පෙර ලොව පැවති සනාතනවූ ධර්මය ම ය. කෙසේ නමුත් කාලයාගේ වැලිතලාවෙන් වැළලී ගිය ඒ ධර්මස්ඛන්ධය නැවත සුපුෂ්පිත වූයේ ගෞතම සම්බුදු හිමියන්ගේ පහළ වීමත් සමඟය. එනමුදු මෙතුවක් කල් ජීවත් වූ භාරතීය ජනතාව තුළ වූ එවකට වූ ධර්ම කුසලතාව වර්ධනය කරනු වස් බුදුන් වහන්සේට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බව නිසැකය. ඒ මේ සමය වන විට භාරතය පුරා මුල් බැස ගෙන තිබූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බ ගෙන සිටි පිරිසක් විද්‍යමාන වීමයි. ඔවුන් ලොවෙහි පවතින සත්‍ය කුමක්ද? අසත්‍ය කුමක්ද ? යන්න පිළිබඳ ව ඇති කරගෙන සිටි ආකල්පය හා දැක්ම විසම වූ ධර්මතාවක් විය. නමුදු ඔවුන්ගේ තිබූ ඥානය ව්‍යක්ත වූ නිසාම පසුකාලීනව ඔවුන් ඒ මිථ්‍යා දර්ශනවලින් බැහැරව බෞද්ධ දර්ශනය භාවිතයට ගැනීමට උත්සුක වීමෙන් පෙනී යයි.
කෙසේ නමුදු එවන් ආගමික සමාජ පසුතලයක බිහි වූ නව්‍ය දර්ශනය වූයේ බෞද්ධ දර්ශනය යි. මුලින් සඳහන් කළ පරිදි මෙය නව්‍ය වූයේ මේ සමාජ පසුතලයට පමණි. පෙර පහළ වූ සම්බුදු හිමියන්ගේ දර්ශනයම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසිනුදු අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට යෙදුණි. කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය දහම නැවත ලොවට හඳුන්වා දෙනු ලැබුයේ උන්වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ දර්ශනය අතිශයින්ම ගැඹුරු වූත්, නිර්මල වූත්, සත්‍ය වූත් ධර්මයකි. සම්මා සම්බුද්ධ,ලෝකවිදූ, විජ්ජාචරණ සම්පන්නාදි ගුණයන්ගෙන් විභූෂිත වන්නේ උන්වහන්සේ මෙලෙස ලෝ ඇති තතු ස්වයම්භූ ඥානයෙන් ම අවබෝධ කරගත් නිසාවෙනි. උන්වහන්සේ විසින් මේ අවබෝධ කරගැනීමත් සමඟ ඇති වූ නිරාමිස පී‍්‍රතිය ලොවට හෙළි කරනු වස් දේශිත උදානය බෞද්ධ දර්ශනයට ඇලුම් කරන හා ඒ දහම් මඟෙහි නියුක්ත අපට මෙහිදී අතිශය වැදගත් වනු ඇතැයි හඟිමි.
අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං 
ගහකාරකං ගවේසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං 
ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං න කාහසී 
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං 
විසංකාර ගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා’ති
මෙහිදී උන්වහන්සේ විවරණය කරන්නට යෙදුණේ අනේක ප්‍රකාර වූ සාංසාරික ජීවිතයන් ඔස්සේ සැරිසරවමින් තමා වෙහෙසට පත් කළ ජාතිය නමැති ගෙය සාදන වඩුවාණන් තමන් දුටු බවත් සංසාරය නමැති ගෙහි කැණිමඬල තමන් විසින් සිඳ බිඳ දැමූ බවත්ය. එනම් මේ ලෝ වැසි සියලු සත්ත්වයන්ට නැවත ඉපදීමක් ඇති කරන්නට යෙදෙන්නේ මේ කියන්නා වූ ජාතිය නමැති ගෙහි තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටීම නිසාවෙන්ය යන්න උන්වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණේ ඉහත කී අයුරිනි. ලෝ වැසි දනන් ලෝභ, ද්වේශ ,මෝහාදි අකුසල සිත්වලින් මදයට පත් වී දිවි ගෙවන අයුරුත් එවන් වූ අයගේ ජීවිත පිළිබඳ ව මීට වඩා සැළකිලිමත් ව කටයුතු කිරීමට සැලැස්වීමක් නොවන්නේ නම් සසර කතරින් එතෙර වීම අතිශය දුෂ්කර වූ කාරණාවක් බවත් උන්වහන්සේගේ සම්බුදු ඇස පෙණිනි. සම්‍යග් සම්බුද්ධත්වයට පත් බුද්ධාංකුරයක් තුළ ලෝ සතුන්ගේ ස්වභාවය අවබෝධ කිරීමේ ඥානය නිතැතින්ම ඇත්තේය. එනිසාවෙනි උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් දහම් දෙසා නිවන් මඟට පමුණුවන්නට යෙදුණේ.
බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ එක් ප්‍රශ්නයකින් මෙහි ස්වභාවය මනාව ප්‍රකට වේ. දිනක් එක් භික්ෂුවක විසින් බුදුන් වහන්සේගෙන් කර්මය යනු කුමක්ද? එහි ස්වභාවය කෙසේදැයි ප්‍රශ්නයක් යොමු කරන ලදින් බුදුන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්ිමං’ වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන මනසා “ යනුවෙනි. “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. මනසින් සිතා කරන දේ කර්ම වේ” යනුවෙන් එහි අරුත් ගැන්වේ. එසේ නම් අප අවබෝධ කර ගත යුත්තේ කර්මයක් වීමට නම් එය අප මනසින් සිතා ක්‍රියාවට නැංවීමක් අවශ්‍ය වන්නක් වන බවයි. මේ පිළිබඳ අප අවධානය යොමු කිරීමේදී කර්මයේ වුවද සුදු කළු භේදයක් ඇති බව පෙනී යයි. මේ පිළිබඳ විමසීමේදී අතිශය වැදගත් වන එක් බුද්ධ දේශනාවක් ලෙස ධම්මපදයේ අන්තර්ගත ගාථා යුගළයක් දෙස අවධානය යොමු කිරීමෙන් පෙනේ.
මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා 
මනසා චේ පදුට්ඨේ’න – භාසති වා කරෝතිවා 
තතො නං දුක්ඛ මන්චේති –චක්කං ‘ච වහතෝ පදං 
මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා 
තතෝ නංසුඛ මන්වේති ඡායාව අනුපායිනී
ඉහත ගාථා යුග්මය දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එනම් අප කරන සෑම ක්‍රියාවක් සඳහා ම මනස පූර්ව වන බවත්, මනස මුල්වන බවත්, මනස පෙරටුවේ තබාගෙන එවන් ක්‍රියාවන් බොහෝ දුරට සිදුවන බවත් පැනෙන්නට තිබීමයි. කෙසේ නමුත් මෙහිදීද යම් කාරණාවක් ගම්‍ය නොවන්නේ නොවේ. එනම් මුලින් සඳහන් කළ අන්දමට චේතනාව හෙවත් සිතිවිල්ල ප්‍රබලත්වයට පත්ව තිබීම සිදුවේ. අප එසේ සිත පෙරටුවේ තබා ගෙන යම් ක්‍රියාවක් පිළිබඳ අපැහැදිලි ,ද්වේෂ සහිත, අකුසලයට නැඹුරු සිතින් යුක්තව (පදුට්ඨෙ’න චිත්තේන) කියන්නේ නම් (භාසති) හෝ එනයින්ද යමක් එලෙසම කරන්නේ නම් (කරෝති) එයින් ලැබෙන ඵල විපාකයද අතිශය දුක් සහිතය (දුක්ඛ මන්වේති) ඒ පිළිබඳ මනුෂ්‍යයාට ඉතා හොඳින් අවබෝධ කරදෙනු වස් බුදුන් වහන්සේ වදාළ උපමාව වන්නේ ගැල උසුලන්නා වූ, ගොනුන් වෙහෙසට පත් කරමින් ගොනුගේ පිය අනුව යන්නා වූ ගැල් සක මෙනි යන්නයි. මෙහි දී කාය, වචී, මනෝ, යන දුෂ්චතරියන් වලින් යුක්ත වන්නේ යමෙක්ද ඔහුට මේ කියන්නා වූ දේ අත් විඳීමට සිදුවන බව මෙමඟින් වර්ණිතය. කෙසේ වුවද අප අකුසල කර්ම රැස් කිරීමට දක්වන ඇල්ම කුසල පක්ෂය විෂයයෙහි අඩංගු නොවන බැව් බුදුන්ගේ ඥාන දර්ශනයට පවා හසු විය. එනිසාවෙනි නිවන් අවබෝධ කරගත් පිරිස එසේ නොවූ අය හා සංසන්දනය කිරීමේදී අඩු අගයක් ගන්නේ. කෙසේ වුවද යමෙක් ඉහතින් පෙන්වා දුන් පරිදි සිතින් කයින් හෝ මනසින් අකෘතඥ ක්‍රියාවන් කරන්නේ නම් ලැබෙන විපාකය අති බිහිසුණුය. අප වැරදි ක්‍රියාවන් කරන්නට කෙතෙක් පි‍්‍රය වුවද එයින් ලැබෙන විපාකය විඳීමට වූ විට ඇති වන්නා වූ වේදනාව වීදාගම මෛත්‍රෙය හිමියන් විසින් ලෝවැඩ සඟරාවේ දී ඉතා හොඳින් පෙන්වා දෙනු ලැබේ.
ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ 
එපමණ තොප සිතතොත් නො හැකිළියේ 
සැපයක් නම් නැත කම්රස කෙළියේ
මෙහිදී ද පෙන්වා දෙන්නේ මුලින් සඳහන් කළ දේ මය. එනම් තමා වැරදි ක්‍රියාවක් කරන මොහොතේදී ඉතා සන්තෝෂයෙන් කරන්නේ වුවද විපාකය විඳින්නට ගිය විට ඇති වන වියෝගය, දුක් සහිත බව කඨෝර බව නිසා තමන් අතිශය පීඩාවට පත් වන බවයි. නමුත් අප මෙහි සිතිය යුත්තේ මේ ක්‍රියාව පමණක්ම නොවේ. මෙහි වැරදි ක්‍රියාවන්වල නිමග්න නොවී යා යුතු මාවත අපට බුදුන් වහන්සේ විසින් දේශිතය. දෙවනුව සඳහන් කළ ගාථා නයින් පෙන්වා දෙන්නේ මෙහි අති ශ්‍රේෂ්ඨ අංශය යි. එනම් අප කරන ක්‍රියාවන් යහපත් සිතින් යුතුව (පසන්නේන චිත්තේන) යමක් කියයි නම් හෝ කරයි නම් එයින් ලැබෙන ප්‍රතිඵලය අනුසස් සහිත බවයි. එයින් විඳින සුවය තමා පසුපස ගමන් කරන සෙවනැල්ල සේය යන උපමාවෙන් වර්ණිතය. එයින් පෙන්වා දෙන විශේෂිත වූ කාරණාව වන්නේ තමන් කරන හෝ ක්‍රියාවන් නිසා තමන්ට අයහපතක් නොවී යහපතක්ම වන බවයි. මෙහිදීද මුලින් සඳහන් කළ පරිදි කාය, වචී, මනෝ, යන ත්‍රිවිධ අංගයකින් කුසලය යුක්ත වන්නේය.
ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ කර්මය විපාක දීමේ මූලික අවස්ථාවයි. එනම් යම් ක්‍රියාවක විපාකයක් ද තිබෙන බවයි. නමුදු මෙහිද යම් ප්‍රභේදයන් රාශියක් දක්නට ලැබේ. විපාක දීම වශයෙන් ද විපාක දෙන කාල වශයෙන්ද විපාක දෙන ආකාර වශයෙන්ද මෙය ත්‍රිවිධ වනු ඒ අනුව පෙනේ. ලොවේහි ඇති පඤ්ච නියාම නම් ධර්ම නම් කොට්ඨාසයේ කම්ම නියාමයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. උතු නියාමයෙන් හේමන්ත ගිම්හාන වස්සානාදී ඍතු සම්බන්ධව බෙදීම පෙන්වන අතර බීජ නියාමය මගින් ගස්වැල් පුද්ගලයින් යම් සේ බීජ මුල් කරගෙන හටගැනෙන බව පෙන්වා දේ. චිත්ත නියාමය මඟින් සිතේ සිතිවිලි පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන අතර ධම්ම නියාමය මඟින් ලොවෙහි ඇති හේතුඵල ධර්මතාව අනුව සිදුවන කරණු මෙන්ම බුදුවරයෙකුගේ පහළවීම නිසා ලොවෙහි වන වෙනස්වීම් ආදි දේ පිළිබඳ ප්‍රකට කෙරේ. කම්ම නියාමයෙහි ලොවෙහි හුදි ජනන් කරන හොඳ නරක ක්‍රියාවන්වල ඇති විපාකයන් පිළිබඳ කරුණු දක්වනුයේ, ලෝකයේ පැවැත්ම සඳහා කර්මය මහත් පිටුවහලක් වන බවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සේක.
කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ 
තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති
යනුවෙන් විසුද්ධි මාර්ගයේ ද සඳහන් කොට ඇත්තේ එයයි.මේ අනුව කර්මයද ලොව සමඟ සබඳතාවක් දක්වයි. මේ නිසා මෙයද නියාම ධර්මයක් වන බව පැහැදිලි වේ. යම් විටෙක අප කරන ක්‍රියාවන්ගේ හොඳ නරක විපාක දීමේදී යම් යම් වෙනස්කම් ද ඇතිවිය හැකිය. ධර්මයේ මේ පිළිබඳව ද සඳහන් කර ඇති නිසාවෙන් කර්ම න්‍යාය පිළිබඳ බෞද්ධ ලෝකයාට දහම පිළිබඳ කුකුසක් ඇති කර ගත යුත්තේ නොවේ. මෙවන් වූ අවස්ථා 04 ක් බුද්ධ දේශනාවේ ඇති බව පෙනෙයි. ඒවා නම්
ගති සම්පත්ති /ගති විපත්ති – යම් කර්මයක් විපාක දීමට තිබියදී සුදුසු උපතක් නොවීම නිසා මඟ හැරී යෑම
කාල සම්පත්ති / කාල විපත්ති – දන් දී තිබුණ ද දුර්භික්ෂයක් නිසාවෙන් නිසි ඵල ලබන්නට නොහැකි වීම
උපධි සම්පත්ති / උපධී විපත්ති – ශාරීරික ආබාධයන් නිසා ඇති විය හැකි බාධාවන්ය. තමන් බහුශ්‍රැතයෙකු වුවද මේ ආබාධ නිසා ඵල ලබා ගැනීමට නොහැකි වීම.පයෝග සම්පත්ති / පයෝග විපත්ති – උත්සාහයෙන් ඵල ලබා ගැනීමට වෙහෙසීමයි. නුමුත් යම් අවස්ථාවල මෙහි දියුණුවක් ලබා ගත හැකිය. සමහර අවස්ථාවල කෙතෙක් උත්සාහ දැරුව ද තමන් අපේක්ෂා කරන ඵල ලබා ගැනීමට නොහැකි වේ. මීට හොඳම නිදසුනක් ලෙස අංගුලිමාල තෙරුන්ගේ චරිතය හැඳින්විය හැකිය. ඔහු ගිහි කල කෙතරම් අකුසල කර්ම කළද ඒ සියල්ල ප්‍රබල කුසලයක් මූලික වීමෙන් යටපත් විය.
මෙහි වැදගත්ම අවස්ථාව වන්නේ මෙය විපාක දෙන අයුරු හා සම්බන්ධ වන අවස්ථාවයි. විශේෂයෙන්ම නැවත උපතක් හෙවත් පුනර්භවයක් සඳහා බෙහෙවින්ම කර්මය මූලික වන බැව් පෙනේ. මෙහි කෘත්‍ය වශයෙන් සිව් ආකාර වේ. ජනක (උපතක් ලබා දෙන කර්ම) උපත්ථම්භක (උපන් කර්මයයට උපකාරිවන) උපපීඩක (උපන් කර්මයට බාධා කරන) උපඝාතක, (උපන් කර්මය නසන) යනුවෙන් එය හැඳින්වේ. ජනක කර්මය සඳහා ගැනෙන්නේ අතීතයේ කරන ලද කර්මයන්ය. දුක් සහිත ජීවිතයක් ලැබුමටත් සැප සහිත ජීවිතයක් ලැබුමටත් විශේෂයෙන් මුල් වන්නේ මේ කර්ම ගණයයි. උපත්ථම්භක කර්මයට උපතක් ලබා දීමට තරම් ශක්තියක් නොවුන ද ඊට උපකාර කිරීමේ හැකියාව පවතී. දුක් විඳීමේ දී දුක වැඩි කිරීමටත් සැප විඳීමේ දී සැප වැඩි කිරීමටත් හැකියාව එහි ඇත. ජනක කර්මයට නිසි පරිදි විපාක ලබා දීමට නොදී හිරිහැර කරන කර්මය ලෙස ගැනෙන්නේ උපපීඩක කර්මයයි. කුසල කර්මයක විපාක විඳීමට තිබුණද ඒ අතරට කර්මජ රෝගයක් මුල් වී ඒ සැප විපාකය අඩු කරනු ලැබේ. ධනය රැස් කරගෙන සුරාව සූදුව යනාදියෙන් ධනයත් තම ජීවිතයත් විනාශ මුඛයට පමුණුවා ගැනීම මෙහි හොඳම නිදසුනයි. උපඝාතක කර්මයේදී දුර්වල වූ කුසල කර්මය හෝ අකුසල කර්මය සහමුලින්ම නසා දැමීමක් මේ කර්මයේදී සිදුවේ. කුසල ජනක කර්මයකින් අංග ශරීර නිසි ලෙස ඇතිව ඉපදුණු ඇත්තෙක් සොරකමක් හෝ වෙනත් වංචාවක් කරන්නට යැමේ දී අංග විකල වීමකින් ජනක කර්මයෙන් ලැබිය හැකි සැප විඳීමට ඉඩකඩ ඇහිරී යෑම මෙහි එක් අවස්ථාවකි. තවත් අවස්ථාවක් නම් අකුසල ජනක කර්මයකින් අන්ධව ඉපදුණු අයෙකුට ඇස් බද්ධ කිරීමෙන් පියෙවි ඇස් ඇත්තෙක් බවට පත් කිරීම සිදු වන්නේය.
විපාක දෙන ආකාරය අනුවද බෙදීම් 04 ක් ඇත. එහි දී ගරුක කර්මය යනු බරපතළ කර්මයන් ය. ආසන්න කර්ම යනු මරණාසන්න මොහොතේදි සිදුකරන කර්මයන්ය. ආචින්න කර්ම නම් කලක් පුරුදු පුහුණු කළ කර්මයන්ය.කටත්තා යනු සුළු කර්මයන්ය. ගරුක කර්මය යනු දෙවන ආත්ම භාවයේදී ඒකාන්ත වශයෙන්ම විපාක දෙන කර්මයන්ය. එහි කර්මය වෙනත් ක්‍රමයකින් වැළැක්විය නොහැකිය (ගරුකන්ති මහා සාවජ්ජං මහානුභාවඤ්ච අඤ්ඤේන කම්මේන පටිබාහිතුං අසක්කුණෙය්‍ය කම්මං) කුසල පක්ෂයේදී රූපාවචර ධ්‍යාන ලබාගත්තෝ එයින් නොපිරිහී කලුරිය කරන්නේ නම් මරණින් මතු ඒකාන්තයෙන් බඹලොව උපදී. අකුසල කර්ම කරන්නවුන් ද මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ද පඤ්ච ආනන්තරිය පාප කර්ම කරන්නවුන්ද නියත වශයෙන්ම මරණින් මතු දෙවන භවයේදී දුගතිගාමී වන්නේමය.දෙවැනුව ඇත්තේ ආසන්න කර්මයයි. මරණාසන්න මොහොතේදී තමන් ජීවිත කාලය තුළ කෙතෙක් කුසල කර්ම කර තිබුණද අකුසල චේතනාවක් ඇති වුවහොත් මරණින් මතු දුගතියක ඉපදීමට ඉඩ ඇත. අකුසල කර්ම කර තිබුණද මරණාසන්න මොහොතේ කුසල චේතනාවක් ඇති වුව හොත් මරණින් මතු සුගතිගාමී වීමටද හැකිය. ආචින්න කර්ම යනු නිතර නිතර තමන් කරන කුසලාකුසල කර්මත් එක්වරක් සිදු කොට නිරන්තර සිහියට ගන්නා කුසලාකුසල කර්මත්ය. මරණාසන්න මොහොතේදී මුලින් සඳහන් කළ කර්මයන් යුගළයම ඉදිරිපත් නොවූ විට මෙය ඉදිරිපත් වේ. මෙයට යබ්බහුල කර්මය යනුවෙන් ද හැඳින්වේ. සැලකිල්ලකින් තොරව කරන කර්ම කටත්තා යනුවෙන් හැඳින්වේ. මෙහි එතරම් බලපෑමක් නැත. නමුදු සමහර විටෙක මුලින් ප්‍රකාශිත කර්මයන් ත්‍රිත්වය මුල් නොවූ විට කටත්තා කර්මය ඉදිරිපත් විය හැකිය. (කටත්තා කම්ිමං පන ලද්ධා සෙවනං පුරිමානං අභාවේන පටිසන්ධීං අකඩ්ඪති)
විපාක දීමේ දී කාල වශයෙන්ද ඉදිරිපත් වීම වැදගත් වේ. දිට්ඨධම්මවේදනීය. උපපජ්ජවේදනීය. අපරාපරියවේදනීය, අහෝසි යනුවෙන් අවස්ථා 04 ක් එහි ඇත. මෙලොව දීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්මයන්ය.මේවාද යහපත් හෝ අයහපත් විය හැකිය. තමන් කරන ක්‍රියාව අනුව තීරණය වේ. බුදුන් දවස විසූ සුමන මාලාකරුවාට, ඒකසාටක බමුණාට විපාක දුන්නේ එහි කුසල පක්ෂයයි. චිංචිමානවිකාව, ආදීන්ට විපාක දුන්නේ අකුසල විපාකයන්ය. උපපජ්ජ වේදනීය කර්ම යනු දෙවන භවයේදී විපාක දෙන කාර්යයන්ය. කෙසේ හෝ මේ භවයේදී විපාක දීමට සමත් නොවුවහොත් අහෝසි කර්ම බවට පත්වේ. අපරාපරිය වේදනීය කර්ම නමින් ගැනෙන්නේ කවදා හෝ විපාක දෙන්නා වූ කර්මයන්ය. නිවන් දකිනා කල් දක්වාම තමන් පසුපස ගමන් කර විපාක ලබා දෙන අතර අහෝසි වීමක් වන්නේ නැත. සුනීත,සෝපාක ආදීන් රහත් වූයේ මෙහි කුසල පක්ෂයේ මුල් වීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන් අනිසි විපාක වින්දේ මෙහි අකුසල පක්ෂය විපාක දීමෙනි. අහෝසි කර්ම යනු දිට්ඨධම්ම වේදනීය අවස්ථාවේ දී හෝ උපපජ්ජ වේදනීය අවස්ථාවේ හෝ විපාක නොදුන් හා රහත්වීම දක්වා සසර කවදාවත් විපාක දීමට සමත් නොවූ කර්මයන්ය.
සමහර විටෙක කර්මය ක්ෂය වීමට ද ලක්වන අවස්ථා ඇත. සෝවාන් ඵලයට පත්වීමෙන් පසු කිසිදින දුගතිගාමී වන්නේ නැත. අනාගාමී වීමෙන් කාම සුගතියෙහි ඉපදීම පවා අහෝසි කර දමනු ලැබේ. රහත් වීමෙන් සියලු කර්ම අහෝසි වේ. එහෙත්. අපරාපරිය වේදනීය කර්ම පමණක් විපාක දේ. මේ අනුව ඉහතින් සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනයෙන් පෙනෙන කර්ම විභාගය අතිශය විචාරශීලිය. කිසිවෙකුට මෙය වෙනස් යැයි සඳහන් කළ හැකි නොවේ.
යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං 
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ. මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේ දී ජීවිත සාධනයේ යෙදෙමු. තෙරුවන් සරණයි.