ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

නිරුද්ධ වීමේ සැබෑ අරුත

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

ලෝකය පිළිබඳව සැබෑ ලෙසම තේරුම් කරදුන් අසහාය ශාස්‌තෲන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ අපට 'උප්පාද' සූත්‍රයේදී ඉපදීම පිළිබඳව ඉතා මැනවින් දේශනා කරනවා. සංයුක්‌ත නිකායේ සලායතන සංයුක්‌තයේ තමයි, මේ දේශනාව මුණගැහෙන්නේ. එහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෙසින් දේශනා කරනවා.

'යෝ භික්‌ඛවේ චක්‌ඛුස්‌ස උප්පාදොa ඨිති අභිනිබ්බන්ති පාතුභාවෝ' දුක්‌ඛස්‌සේසෝ උප්පාදො රෝගානං ඨිති ජරා මරණස්‌ස පාතුභාවෝ පින්වත් මහණෙනි, ඇසෙහි යම් ඉපදීමක්‌ තියෙනවාද, යම් පැවැත්මක්‌ තියෙනවාද, යම් විශේෂ උපතක්‌ තියෙනවාද, යම් පහළවීමක්‌ තිබෙනවාද, ඒක තමයි දුකේ හට ගැනීම කියන්නේ. රෝගයන්ගේ පැවැතීම, ජරා මරණයේ පහළවීම. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා කනෙහි යම් ඉපදීමක්‌ තියෙනවාද (යෝ සෝතස්‌ස උප්පාදොa), යම් පැවැත්මක්‌ තියෙනවාද (ඨිති), යම්කිසි විශේෂ උපතක්‌ තියෙනවාද (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවාද (පාතුභාවො) ඒක තමයි දුකේ හට ගැනීම කියන්නේ. (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො), රෝගවල පැවැත්ම (රෝගානං ඨිති). වයසට යැම හා ලෙඩවීමේ පහළවීම (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසයෙහි යම් ඉපදීමක්‌ තිබෙනවා නම් (යෝ ඝාණස්‌ස උප්පාදොa) යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ), ඒක තමයි දුකේ හට ගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගයන්ගේ පැවැත්ම (රෝගානං ඨිති). වයසට යැම හා මරණයේ පහළවීම (ජරා මරණස්‌ස පාතුභාවෝ) කියල.

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිවේ යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ ජිව්හාය උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති) යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) එය දුකේ හට ගැනීම ලෙස (දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගවල පැවැත්ව කියල (රෝග ඨිති). වයසට යැම හා මරණයේ පහළවීම කියල (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කය පිළිබඳව. කයෙහි යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ කායස්‌ස උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උප්පත්තියක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) එය දුකේ හට ගැනීම (දුක්‌ඛස්‌සේසෝ උප්පාදොa). රෝගවල පැවැත්ම (රෝගානං ඨිති). ජරා මරණස්‌ස පාතුභාවෝ (ජරා මරණයන්ගේ පහළවීම).

ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනසෙහි යම් ඉපදීමක්‌ තියෙනවා නම් (යෝ මනස්‌ස උප්පාදො), යම් පැවැත්මක්‌ තියෙනවා නම් (ඨිති), යම් විශේෂ උපතක්‌ තියෙනවා නම් (අභිනිබ්බන්ති), යම් විශේෂ පහළවීමක්‌ තියෙනවා නම් (පාතුභාවෝ) ඒක දුකේ හටගැනීම කියල දුක්‌ඛස්‌සේසෝ උප්පාදො). රෝගයන්ගේ පැවැත්ම කියල (රෝගානං ඨිති). වයසට යැම හා මරණයේ පහළ වීම (ජරා මරණස්‌ස පාතුභාවෝ).

ඉන්පසුව මේ ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය පිළිබඳවත් අපේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා, එහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇසෙහි යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම් (යෝ ච ඛෝ භික්‌ඛවේ චක්‌ඛුස්‌ස නිරෝධෝ) සංසිඳීමක්‌ තියෙනවා නම් (වූපසමෝ), නැතිවී යැමක්‌ තිබේ නම් (අත්ථගමෝ), එයයි දුකෙහි නිරෝධය (දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ). රෝගවල සංසිඳීම (රෝගානං වූපසමෝ). වයසට යැමේත්, මරණයේත් නැතිවී යාම (ජරා මරණස්‌ස අථගමෝ).

එමෙන්ම කනෙහි යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම් නැතිවී යැමත් තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම, රෝගයන්ගේ සංසිඳීම, වයසට යැමේ හා මරණයේ නැතිවී යැම. ඒ වගේම නාසයේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම් නැතිවී යැමක්‌ තියෙනවා නම් ඒ තමයි දුකේ නිරුද්ධවීම, රෝගවල සංසිඳීම. වයසට යාමේත් මරණයේත් නැතිවී යැම. ඒ වගේම දිවේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම්, නැතිවී යාමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම. රෝගවල සංසිඳීම, ජරා මරණවල නැතිවීම. ඒ වගේම කයේ යම් නිරුද්ධ වීමක්‌ තියෙනවා නම්, සංසිඳීමක්‌ තියෙනවා නම්, නැතිවී යාමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධවීම. රෝගවල සංසිඳීම. ජරා මරණවල නැතිවී යාම. ඒ වගේම මනසෙහි යම් නිරුද්ධවීමක්‌ තියෙනවා නම්, නැතිවී යැමක්‌ තියෙනවා නම් ඒක තමයි දුකේ නිරුද්ධ වීම, රෝගවල සංසිඳීම, ජරා මරණවල නැතිවී යැම, දුකෙන් සදහටම නිදහස්‌ වීමට සැමට භාග්‍යය උදාවේවා.