ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සිත මැරුවොත් දුක ඉවරයි


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය - කන්නිමහර-වතුරුගම.

මන, විඤ්ඤාණය කියන්නේ සිතට බව සාමාන්‍ය. මතයයි. නමුත් එය වැරදි අර්ථකථනයකි. මන යනු අධ්‍යාත්මික ආයතනයකි. මනස කියන්නේද මනට මය. ඇස, කණ, නාසය, දිව, කය සහ මන ලෙස ආයතන හයකි. මේවා සළායතන, ආධ්‍යාත්මික රූප, ආධ්‍යාත්මික ආයතන, ද්වාර යන වචනවලින්ද හඳුන්වයි. ආධ්‍යාත්මික රූප වල ප්‍රසාද ස්‌වරූපයක්‌ හෙවත් පැහැපත් ස්‌වහාවයක්‌ පවතී. ඇසේ-චක්‌ඛු ප්‍රසාදය (කළුපාට කොටස), කණේ-සෝත ප්‍රසාදය (කණ්‌ බෙරය), නාසයේ-ඝාණප්‍රසාදය (එළුකුර හැඩති කොටසක්‌), දිව-ජිව්හා ප්‍රසාදය (රස දැනෙන ස්‌ථාන), කයේ-කාය ප්‍රසාදය (ස්‌පර්ශය දැනෙන තැන්) සහ මනේ-මනෝ ප්‍රසාදය. ආධ්‍යාත්මික රූපවල පවතින ප්‍රසාද ස්‌වරූපය හෙවත් පැහැපත් ස්‌වහාවය නිසා බාහිර රූප, ආධ්‍යාත්මික රූපවලට ඇදගැනීමක්‌ හෙවත් යොමුවීමක්‌ සිදුවේ. ඇසට-වර්ණ රූප, කණට-ශබ්ද රූප, නාසයට-ගන්ධ රූප, දිවට-රස රූප, කයට-ඵොට්‌ඨබ්බ රූප සහ මනට-ධම්ම රූප යොමුවීමක්‌ සිදුවේ.

මන සුවිශේෂ වන්නේ අනෙකුත් ආයතන පහ සමඟ එකටම ක්‍රියාත්මක වන නිසාය. ඒ වගේම බාහිර රූප ස්‌පර්ශයේ දී මන මූලික වී සිත් සකස්‌ කරයි. එනම් මන පූර්වාංගම ලෙස කටයුතු කරයි. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප සහ ඵොට්‌ඨබ්බ රූප මනායතනය තුළින්ම යොමු කරවයි. මෙසේ මනේ ක්‍රියාත්මකභාවය මනසිකාරය ලෙස හඳුන්වයි. මන අදෘෂ්‍යමානයි. මනත් රූපයක්‌ නිසා එයද පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතරෙන් සෑදුන දෙයකි. එමෙන්ම මන බැසගෙන ඇත්තේද මෙම ශරීරය තුළයි. මනෝ කාය (asඑර්ක ඉදාහ) ලෙස නූතන යුගයේ හදුන්වනුයේ මන මය. ශල්‍ය කර්ම කළ සමහර රෝගීන් සිහිය ආ පසු සිදුකළ සියල්ල විස්‌තර කරනුයේ මෙම මනෝ කායෙන් දැකපු ඇහුන දේවල්ය. එනම් මනෝකායට තියුණු ඇස කණ ආදිය ඇතත් ඒවා අපගේ ඝණ කය සමග පවතින විට ක්‍රියාත්මක නොවේ. භාවනා කර දියුණු අයෙකුට එම තියුණු ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කළ හැකිය. මරණයත් සමග මන අපගේ කයෙන් ඉවත් වේ.

විඤ්ඤාණය යනු දැනුවත්වීමේ ශක්‌තියයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ ලෙස ධාතු හයකි. එනම් විඤ්ඤාණය ද ධාතුවකි. ස්‌වභාවික ශක්‌තියකි. එය ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් එකතු වන තැන හට ගනී. 'ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භෝති'. විඤ්ඤාණ හයක්‌ පිළිබද කථා කළත් ඇත්තේ එක්‌ විඤ්ඤාණයකි. හටගැනීමට උපකාර කරන ආයතනය මත ඊට නම යොදා ඇත. 'චක්‌ඛුං ච පටිච්ච රූපේ ච උප්පඡ්ජති චක්‌ඛු විඤ්ඤාණං' - ඇසත් රූපයත් ගැටීමෙන් චක්‌ඛු විඤ්ඤාණයද, මෙලෙස කණ ත් ශබ්දය ත් ගැටීමෙන් සෝත විඤ්ඤාණයද, නාසය ත් ගන්ධය ත් ගැටීමෙන් ඝාණ විඤ්ඤාණයද, දිවත් රස ත් ගැටීමෙන් ජිව්හා විඤ්ඤාණයද, කය ත් ඵොට්‌ඨබ්බයත් ගැටීමෙන් කාය විඤ්ඤාණයද, මනත් ධම්මය ත් ගැටීමෙන් මනෝ විඤ්ඤාණයද, හට ගනී. එනම් විඤ්ඤාණයෙන් සිදුවන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ඵොට්‌ඨබ්බ රූප සහ ධම්ම රූප දැනුවත්වීමයි. විඤ්ඤාණය සකස්‌වන්නේ සත්වයා තුළ පමණි. ගස්‌ ගල් පර්වත ආදී භෞතික දේ තුළ විඤ්ඤාණය නොමැත. විඤ්ඤාණය දෘශ්‍ය මාන නොවන ශක්‌තියකි. 'විඤ්ඤාණං අනිදස්‌සනං'. විඤ්ඤාණය තනිවම පැවැත්විය නොහැක. එයට නාම-රූප අවශ්‍ය වේ. එමෙන්ම නාම-රූප වලටද විඤ්ඤාණය අවශ්‍ය වේ. හරියට දරමිටි දෙකක්‌ කෙලින් අතට එකිනෙකට හේත්තු කර තැබීමට එම මිටි දෙකම එකිනෙකට උපකාර කරගන්නා සේ. 'විඤ්ඤාණ පච්චයා නාමරූපං,නාමරූප පච්චයා විඤ්ඤාණං'.

සිත කියන්නේ කුමක්‌ද?. සිත යනු විඤ්ඤාණ-නාම-රූපයාගේ ක්‍රියාකාරීත්වයකි. එමෙන්ම සිත යනු සකස්‌ වූ ක්‍රියාකාරීත්වයකි. සිත ස්‌පර්ශ කළ නොහැක. දෘෂ්‍යමාන නොවේ. සිත තිබෙන තැනක්‌ සොයාගත නොහැක. සිත සකස්‌වීම සිදුවන්නේ සත්වයා තුළ පමණි. අප ජීවත් වෙනවා කියලා කියන්නේ කුමක්‌ද? ඇහෙන් රූප බලනවා, කණෙන් ශබ්ද අසනවා, නාසයෙන් ගන්ධ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් ස්‌පර්ෂ විඳිනවා, මනෙන් මෙනෙහි කරනවා. තව කනවා, බොනවා, නානවා, ඇවිදිනවා, ඉඳගන්නවා, හටගන්නවා, නිදාගන්නවා, අතපය නවනවා දිගහරිනවා, එහෙ බලනවා මෙහෙ බලනවා. මෙහෙම කරන්න නිකන්ම පුලුවන්ද? සිතක්‌ නැතිව. එනම් මෙම සෑම ක්‍රියාකාරීත්වයක්‌ම සිදුවන්නේ සිතක්‌ සකස්‌ වුනොත් පමණි. මේ අනුව අපට නිගමනය කළ හැක්‌කේ, බාහිරට විද්‍යමාන වන්නේ ක්‍රියාකාරීත්වයක්‌, නමුත් ඒ තුළ සකස්‌ වී ඇත්තේ සිතක්‌ බවයි. එනම් මෙම ක්‍රියාකාරීත්වයන් විග්‍රහ කර බැලීමේ දී සිතක ව්‍යුහය හඳුනාගත හැකිය.

එහි දී සිදුවන්නේ ආධ්‍යාත්මික රූපවල පවතින ප්‍රසාද ස්‌වරූපය හෙවත් පැහැපත් ස්‌වහාවය නිසා බාහිර රූප, ආධ්‍යාත්මික රූපවලට ඇදගැනීමක්‌ හෙවත් යොමුවීමක්‌ සිදුවේ. එනම් ඇසට-වර්ණ රූප, කණට-ශබ්ද රූප, නාසයට-ගන්ධ රූප, දිවට-රස රූප, කයට-ඵොට්‌ඨබ්බ රූප සහ මනට-ධම්ම රූප යොමු වේ. එවිට විඤ්ඤාණය හටගනී. දැන් තුනක්‌ එකතු වී ඇත. එම තුනේ එකතුවීම ඵස්‌ස 'තින්නං සංගති ඵස්‌සෝ' හෙවත් ස්‌පර්ශය ලෙස හඳුන්වයි. ඵස්‌ස යනු නාම ධර්මයකි. එනම් නාමධර්ම ද හටගෙන ඇත. නාම යනු අරමුණ කරා නැමෙන ස්‌වභාවයයි. මෙසේ නාමධර්ම පහක්‌ සූත්‍ර පිටකයේ පෙන්වයි. එනම් ඵස්‌ස, වේදනා, සංඥා, ෙච්තනා සහ මනසිකාරයි. අභිධර්මයේ මීට අමතරව ජීවේන්ද්‍රිය (ජීවත්වීම) සහ ඒකාග්‍රතාව (එකඟවීම) ලෙස තවත් දෙකක්‌ ඇත.

එස්‌ස යනු තුනක ස්‌පර්ෂයයි. එනම් ආධ්‍යාත්මික රූප බාහිර රූප සහ විඤ්ඤාණයයි. වේදනා යනු ස්‌පර්ෂවුන රූපයට ඇති මනාප අමනාප ස්‌වභාවයයි. මනාප නම් සුඛ වේදනාවත්, අමනාපනම් දුක්‌ඛ වේදනාවත්, මනාපත් අමනාපත් නැතිනම් අදුක්‌ඛම සුඛ වේදනාවත් ඇතිවේ. සංඥා යනු හඳුනාගැනීමයි. වර්ණ, ශබ්ද පාට හැඩය ආදී වශයෙන් හඳුනා ගැනීමයි. ෙච්තනා යනු වේදනා සහ සංඥාවන්ට ඇලෙමින් හා ගැටෙමින් සිතුවිලි පහළ කිරීමයි. එනම් කර්ම හෙවත් සංස්‌කාර සකස්‌ කිරීමයි. zෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි'. මනසිකාරය යනු මනෙහි ක්‍රියාකාරීත්වයයි. ස්‌පර්ෂ වන විට මූලිකව ම මනසිකාරය ක්‍රියාත්මක වී අනෙකුත් නාම ධර්ම තුනට යොමු කරමින් ක්‍රියාකාරීත්වය ගෙන යයි'

යමක්‌ දෙස බලන ක්‍රියාකාරීත්වය (බලන සිත) තුළ ඇසට වර්ණ රූප ගැටීමත් සමගම චක්‌ඛු විඤ්ඤාණය හටගනී. දැන් තුනක්‌ ස්‌පර්ශ (ඵස්‌ස) වී ඇත. එනම් ඇස, වර්ණ රූපය සහ චක්‌ඛු විඤ්ඤාණයයි. එනම් නාම ධර්ම ද හටගෙනය. මෙහි වේදනා යනු ස්‌පර්ෂවුන රූපයට ඇති මනාප අමනාප ස්‌වභාවයයි. මනාප රූපයක්‌ නම් සුඛ වේදනාවත්, අමනාප රූපයක්‌ නම් දුක්‌ඛ වේදනාවත්, මනාපත් අමනාපත් නැති රූපයක්‌ නම් අදුක්‌ඛමසුඛ වේදනාවත් ඇතිවේ. සංඥා යනු එම රූපය හඳුනාගැනීමයි. පාට හැඩය ආදී වශයෙන් හඳුනා ගැනීමයි. චේතනා යනු වේදනා සහ සංඥාවන්ට ඇලෙමින් හා ගැටෙමින් එම රූපය දෙස බලාගෙන සිතුවිලි පහළකිරීමයි. මනසිකාරය තුළින් මේ සියල්ල සම්බන්ධ කිරීම සිදු කරයි.

මෙලෙස අනෙකුත් සෑම ක්‍රියාකාරීත්වයක්‌ හෙවත් සිතක්‌ තුළම ඇත්තේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප, විඤ්ඤාණයේ සහ නාමධර්මවල ක්‍රියාකාරීත්වයකි. එනම් විඤ්ඤාණ-නාම-රූපයාගේ ක්‍රියාකාරීත්වයකි. එනම් ඇහෙන් රූප බලන සිතේ, කණෙන් ශබ්ද අසන සිතේ, නාසයෙන් ගන්ධ විඳින සිතේ, දිවෙන් රස විඳින සිතේ, කයෙන් ස්‌පර්ෂ විදින සිතේ , මනෙන් මෙනෙහි කරන සිතේ කන සිතේ, බොන සිතේ, ඇවිදින සිතේ යනාදී සියලු ම සිත් තුළ තියෙන්නේ මෙම විඤ්ඤාණ-නාම-රූපයාගේ ක්‍රීයාකාරීත්වයමයි.

යම් පුද්ගලයෙකුගේ අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වන සෑම සිතකම ඇලීම හා ගැටීම පවතින නිසා එම සිතේ තෘෂ්ණාව පවතී. තෘෂ්ණාව පවතී නම් උපාදානය වී භවය වේ. භවය වූ විට ජාති වේ. එනම් ඔහුට ජරා-මරණ උරුමය. සසරේ යාමට අලුතින් කිසිවක්‌ කළ යුතු නැත. පෙර කළ අයුරින්ම කාලා බීලා විවාහ වෙලා රස්‌සාවක්‌ කරගෙන ජීවත්වීම ඊට ප්‍රමාණවත්ය. මෙසේ සංස්‌කාර සකස්‌ කරමින් සංසාරයේ දුකට පත්වන තමන් ගලවාගත යුතුය. එය කළ හැක්‌කේ තමන්ටමය. වෙන අයෙකු පිහිටට නොමැත.

සංසාර දුක යම් ප්‍රමාණයකින් හෝ අවබෝධ කළ බුද්ධිමත් පුද්ගලයා පෙර නොකළ දේ කිරීමට තම මනසිකාරය යොමු කරයි. ඔහු සිතේ ව්‍යුහය නුවණින් දැක එය මරා දමයි. එනම් ආධ්‍යාත්මික බාහිර රූප සියල්ල ධාතු හතරෙන් සෑදුන වේගයෙන් වෙනස්‌වන, ඇතිවීමක්‌ නැතිවීමක්‌ පවතින, ඒවා නිත්‍ය වශයෙන් ගැනීම නිසා දුකක්‌ ඇතිවන, තමාගේ වසඟයේ තබාගත නොහැකි, තමාට පාලනය කළ නොහැකි, මම මගේ කියා ගත නොහැකි, දේවල් බව අවබෝධකර ගනී. විඤ්ඤාණය මායාවක්‌ බව අවබෝධකර ගනී. රූප එකතුවන තැන විඤ්ඤාණයේ ඇතිවීමත්, එම රූප වෙනස්‌වන නිසා එම විඤ්ඤාණයේ නැතිවීමත් අවබෝධයෙන්, මැරී මැරී උපදින විඤ්ඤාණයක්‌ නැවත සකස්‌ නොකළ යුතු බව නුවණින් දකී. එම විඤ්ඤාණයෙත් මමෙක්‌ නැතිබව අවබෝධ වේ. එමෙන්ම නාම ධර්ම යනු චෛතසික සමුහයක්‌ පමණක්‌ බවත්, ඒවාත් වෙනස්‌ වන්නක්‌ බව අවබෝධකර ගනී. දැන් ඔහුට සිත යනු වෙනස්‌ වන විඤ්ඤාණ-නාම-රූප ක්‍රියාකාරීත්වයෙන් සකස්‌ වූවක්‌ බවත්, එහි සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නොමැති බවත් අවබෝධය. එනම් ස්‌වභාවික ක්‍රියාකාරීත්වයක්‌ තිබුණට කරන්න කෙනෙක්‌ නොමැති බව අවබෝධ වේ. එවිට සිත මැරී යයි. නැවත උප්පත්තියක්‌ නොමැත. කළයුත්ත එයයි. දුක අවසානය. නිර්වානය සාක්‌ෂාත් කරගැනීමට, ඔබත් සිතේ ක්‍රියාකාරීත්වය නුවණින් දකින්න. 'චිත්තේ චිත්තානුපස්‌සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙයය ලෝකේ අභිඡ්ජධා දෝමනස්‌සං'