ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

සක්විති රජකමටත් ඉහළ පදවියක්!

සෝවාන් ඵල ලාභයේ මහාර්ඝත්වය පහදන මේ ලිපියේ පළමු භාගය ‘කුලියට බණ අහපු පුතෙක්’ යන හිසින් යුතුව ඉකුත් කලබෙහි පළ විය. පූජ්‍ය හෙණ්ඩියගල ශ්‍රී සීලරතන නා හිමිපාණන් වහන්සේ ගුවන්විදුලිය ඔස්සේ පැවැත්වූ දම් දෙසුමක් ඇසුරෙනි. මඩවල සීලවිමල, හේනේගෙදර සිද්ධාර්ථ හිමිවරු මේ දෙසුම් සුරකින පින් කමට උරදුන්හ.
පථව්‍යා ඒකරජ්ජේන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපත්ති ඵලංවරං
මේ පෘථිවියෙහි අසහාය රාජ්‍යය කියන්නෙ සක්විති රජකම. මේ සක්විති රජකම කියන-එක පරම්පරාවෙන් ලැබෙන්නෙ නෑ පැරණි ක්‍රමයට රටේ රජ්ජුරුවන්ගෙ පුතාට ඒ රටේ රජකම ලැබෙනව වගේ. මේ මුළු මහපොළොවෙ කොච්චර හරි රාජ පරම්පරා ඇත් නම්, රාජ්‍යයන් ඇත් නම්, ඒ සියලු රාජ්‍යයන්ට, ඒ සියලු රාජ පරම්පරාවලට නායකයා වීම තමයි සක්විති රාජ්‍යය ලබනව කියල කියන්නෙ. හැම රජ කෙනෙකුටම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස් ලොව උපදිනව වගේ ප්‍රතිසන්ධියක්ම තමයි සක්විති රජ කෙනකුත් ලබන්නට ඕන. ඒක නොවැ සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ දෙස බැලූ බමුණෝ, ඒ නැකැත් පාඨකයො කිව්වෙ මේ කුමාරය ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනව, මහණ වුණොත් ලොවුතුරා බුදු වෙනව කියල.
සක්විති රජ්ජුරුවොත් ස්ථූපාර්හයි. ඒ කියන්නෙ චෛත්‍යය හදල වැඳුම්-පිදුම් කරන්නට සුදුසු කෙනෙක්. ස්ථූපාර්හ පුද්ගලයො හතර දෙනෙක් ගැන බුදුහාමුදුරුවො මහා පරිනිර්වාණ සූත්‍රයෙදි වදාළ. ඒ මහ රහතන් වහන්සෙ, පසේ බුදුහාමුදුරුවො, ලොවුතුරා බුදුහාමුදුරුවො, සක්විති රජ්ජුරුවො කියන හතර දෙනයි. ඒ සක්විති රජ්ජුරුවන්ට බණ පොතේ කියන්නෙ ‘ධම්මිකෝ ධම්මරාජ’. ධර්ම රාජ්ජය, සප්තවිධ රත්නයක්, චතුර්විධ ඍද්ධියක් ඇතිව අහසින් යන්නට පුළුවන් ආනුභාව සම්පන්න මහා උත්තම තත්ත්වයක් සක්විති රජකම කියන-එක.
අනෙක් එක මේ කාම ලෝකයේ ඉපදෙන කෙනෙකුට ලබන්නට පුළුවන් උතුම් සම්පත්තියක් තමයි ඔය දෙදෙවිලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර පදවිය. දෙදෙව් ලොවට අධිපති දිව්‍යරාජ පදවිය. ‘සග්ගස්ස සමනේනවා’ කියන-එකෙන් කීවේ. ඊටත් ඉහළ එක ‘සබ්බ ලෝකාධිපච්චෙන’ මුළු කාම ලෝකයටම අධිපති පදවිය. ඒක තමයි පරනිර්මිත වසවර්ති කියන සවැනි දිව්‍ය ලෝකෙ දිව්‍යරාජ පදවිය. ඒ පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකෙ අධිපති දෙවියො වෙන කෙනෙක්. ඒකෙ ඉන්නව වසවර්ති මාරය කියල දිව්‍ය පුත්‍රයෙක්. එයා ගැන නොවෙයි මේ කියන්නෙ. ඒ වසවර්ති මාරය බුදු රජාණන් වහන්සේට එහෙම, නොයෙක් අවස්ථාවල බාධා කරන්නට, බුදු වන අවස්ථාවෙ යුද්ධ කරන්නට ආව දිව්‍ය පුත්‍රය.
එයා පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකෙ කොටසක පමණක් අධිපතිය. එහි අධිපති දිව්‍ය රාජයට වත් යටත් නැතිව දාමරිකකම් කරමින් පිනෙන් ඉපදිලා ඉන්නෙ. ඔහු දාමරික කම්වලටයි පවටයි අනුබල දෙන්නෙ; පව් කරන අයටයි අනුබල දෙන්නෙ. එයාගෙ අධිපතිකම තියෙන්නෙ එයාගෙ වසමෙහි පවත්නා සතර අපායට කියල තියනව. ඒ නිසා සතර අපාය පිරෙන හැටියට මිනිසුන්ගෙ හිත් හරවන-එකයි ඒ වසවර්ති මාරය කරන්නෙ. ඔය භාවනා කරන අයටත් බොහොම බාධා පැමිණෙන්නෙ ඒ වසවර්ති මාරයගෙ පැත්තෙ භූතයින්ගෙන්. ඒ අය මිනිස්සු හොඳ අදහස් පහළ කරගන්නවට විරුද්ධ අය. ඒ පහත් භූතයො, අකුසල්වලට කැමති භූතයො බොහොම කැමැතියි, බොහොම පක්ෂයි පව් කරන මිනිස්සුන්ට. එහෙම භූතයො පව් කරන මිනිස්සු ආරක්ෂා කරනව. පින් කරන අයට පක්ෂ සම්‍යක්දෘෂ්ටික දේවතාවො. ඒ සම්‍යක්දෘෂ්ටික දේවතාවො ඔය එක්කම හැප්පිලා කලබල කරගන්න එන්නෙ නෑනෙ.
දැන් මිනිස්සු අතර වුණත් එහෙමනෙ. අපි දන්නවනෙ ගමක ඉන්නව නම්, පළාතක ඉන්නව නම් හැදිච්ච හොඳ මිනිස්සු, අර නරක දාමරික මිනිස්සු ඇහෙන්න බැන්නත් ඕවට කථා කරන්න හැප්පෙන්න යන්නෙ නෑ. බයට කියල ඒ ඇත්තො හිතනව. බයට නොවේ, සදාචාර සම්පන්න හැදිච්ච හොඳ මිනිස්සු අනුන් එක්ක ගහ-බැණගන්ට ගුටි-බැට ගහගන්ට, පොලිසි ගානේ ලගින්ට සතුටු නැති නිසයි නිශ්ශබ්දව ඉන්නෙ. ඔය අනෙක් ඇත්තො මහ ලොකු වැදගත් හැටියට සලකන ඒව මේ හැදිච්ච මිනිස්සු බොහොම නින්දා කටයුතු වැඩ හැටියටයි සලකන්නෙ. දේවතාවො අතරෙ වුණත් එහෙම තමයි හැටි. ඉතින් මේ වසවර්ති දිව්‍ය පුත්‍රය කියන්නෙ, ඔය වසවර්ති මාරය කියන්නෙ අප කියන කාම ලෝකයට අධිපති දේවතාව නොවෙයි. ඒ කාම ලෝකයට අධිපති දේවතාව, ඒ පරනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ අධිපති දෙවියො, වෙනත් කෙනෙක්. එහෙත් ලොක්ක මෙයා. මෙයා ඒකෙ පින් කරල තමයි ඉපදිලා තියෙන්නෙ ඒත් පවටයි අධිපති. එයා වෙනම කෙනෙක්.
ඉතින් මේ කියාපු ලබන්නට පුළුවන් උසස්ම තත්ත්ව ඔක්කොටම වඩා ලොකුයි කීව මේ සෝවාන් ඵලය.
දැන් ඉතින් අප තෙරුම් ගන්නට ඕනෑ මේ සෝවාන් ඵලය කියන්නෙ මොකක්ද? ඒක මේ ලෝකෙ එච්චර උසස් පදවියක් කීවේ මොකද? කියල. උසස් තත්ත්වයක් කියන්නෙ මේ තනතුරක් නෙමෙයි. සෝවාන් වෙනව කියන්නෙ ඉස්සර වෙලාම නිවන් දකින-එක. නිවන් දකිනව කියන-එක අවස්ථා හතරක්. මුලින්ම සෝවාන් වෙන්නට ඕනැ. ඊළඟට සකෘදගාමී වෙන්නට ඕනැ. ඊළඟට අනාගාමි වෙන්නට ඕනෑ. අවසානයෙ රහත් වෙන්නට ඕනෑ. යම් කෙනෙක් සෝවාන් වුණොත් ඔහුට අනෙක් ඒව ලැබෙනවමයි. මේ ජාතියෙ නොලැබුණත් කවද හරි ලැබෙනව. සෝවාන් වෙනකං තමයි මේ අමාරුව තියෙන්නෙ. සෝවාන් ඵලය ලබාගත්තොත් ඒක තමයි මේ ලෝකෙ බෞද්ධයෙක් වෙලා බුද්ධ ශාසනයක් ඇති කාලෙක ඉපදිලා, ලබන්නට තියෙන ඉහළම තත්ත්වය; ඉහළම සම්පත්තිය. ජීවිතයේ සාර්ථකත්වය ලැබුව කියල සතුටු වෙන්නට පුළුවනි සෝවාන් මඟපල ලබාගත්තොත්. ඇයි සෝවාන් මඟපල නොලැබුවොත් අප කොච්චර ඔය කාමාවචර රූපවචර පින් කරල බඹලොව ඉපදුණත්, අපි පෘථග්ජනයි. ඒ පෘථග්ජන ඇත්තො කොච්චර පින් කරල තිබුණත් ඒ ඇත්තන්ගෙ ගතිය නියත නෑ.
ගතිය කියන්නේ ඉපදීම. ඒ ඉපදෙන තැන නියත නෑ. ගති පහක් තියෙනව. ඉපදෙන තැන්, නිරය ගති, අපාය, ප්‍රේත ගති - ප්‍රේත ලෝකය, තිරච්ඡාන ගති – තිරිසන් ලෝකය, මනුෂ්‍ය ගති – මිනිස් ලොව, දිව්‍ය බ්‍රහ්ම ගති – දිව්‍ය බ්‍රහ්ම ලෝක. මේ ගති පහෙන් කොතනක ඉපදෙයිද කියල කියන්නට බෑ. සෝවාන් නූණ ඇත්තො කොච්චර පින් කළත් මැරුණම පින්වල විපාක දෙන්න ආයෙ නොයෙක් තැන්වල ඉපදෙන්න පුළුවනි. එහෙත් අහවල් තැනම ඉපදෙනව කියල කියන්නට බෑ. ඒ වගේම අපි මේ සංසාරෙදි කළ කර්මවල මේ එක ජාතියෙ වුවත් කළ හොඳ කර්මවල, නරක කර්මවල ශක්තිය තියෙනව කල්ප කෝටි ගණනක්, ආත්ම භාව කෙළ කෝටි ගණනක් මේ සංසාරෙ, මේ භවයෙ, සැපවත් තැන්වලත්, අපායවල උපදින්නට මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් හැටියට ආත්ම භාව ලක්ෂයක් උපදවන්නට ඕන තරම් ඒකට ඕන කරන කර්ම ශක්තිය අප ළඟ තියෙනව.
දිව්‍ය ලෝකෙ දිව්‍ය රාජ සම්පත්තිය ආත්මභාව ලක්ෂයක් ලබන්නට ඕන තරම් ඒ ඕන කරන කර්ම ශක්තිය බලය අප ළඟ තියෙනව. ඒ වගේම අවිචි මහා නරකෙ ආත්මභාව ලක්ෂයක් උපදවන්නට ඕන නම් අනෙක් අපායවල්වලත් ආත්ම භාව ලක්ෂ ගාණක් උපදවන්නට ඕන නම් අනෙක් අපායවල්වලත් ආත්ම භාව ලක්ෂ ගානක් උපදවන්නට ඕන නම් ඒ තරමට අපේ පව් කරපු කර්ම ශක්තියක් තියෙනවා. මහා ලොකු පෙරේතයො වෙලා කල්ප ගණන් බත් පැන් නැතිව පෙරේත ආත්මවල ඉපදිලා දුක් විඳින්නට ඕනෑකම්, ඒ ප්‍රේත ආත්මවල උපදවන්නට පුළුවන් කර්ම ශක්තීන් ආත්මභාව කෝටි ගණනක් උපදවන්නට අප ළඟ තියෙනව එකතු වෙලා. ඒ වගේම තිරිසන්නු වෙලා, නයි-පොලොංගු වෙලා, පිඹුරො වෙලා, සිංහයො-ව්‍යාඝ්‍රයො වෙලා, බල්ලො-බළල්ලු වෙලා, අලි-ඇත්තු වෙලා ඉපදෙන්නට ඕන කරන කර්ම අපි ළඟ තියෙනව.
මෙන්න මෙහෙමයි පෘථග්ජන මිනිහෙකුගේ හැටි, එක කර්මයක් කළාම ඒ කර්මයෙ එන එක අවස්ථාවක පහළ වන චිත්ත විථීයෙ, පහළ වන ජවන සිත් හතෙන් පහක්ම ඉතුරු වෙනව ආත්ම භාව පහක් සසර උපදවන්නට. අපි හිතමු එක සතෙක් මැරුව කියල. ඒ සතා මරණ වෙලාවෙ චිත්ත විථී කීයක් ගෙවුණද කියල කියන්න බැහැ. එක සතෙකු මරණ විට චිත්ත විථීයක ජවන සිත් හතක් පහළ වෙනව. ප්‍රාණඝාත අකුසලයක, ඒ එක චිත්ත විථීයක පහළ වන ජවන සිත්වල බලයතියෙනව ලබන ආත්මයත් එක්ක, ආත්මභාව හයක් අපායෙ උපදවන්නට. උදේ හිටන් රෑ වෙනකං වැවකට බැහැල මාළු අල්ලපුවම ආත්මභාව කෝටි ගණනක් සතර අපායෙ උපදින්නට පුළුවන් අකුසල කර්ම ශක්තිය තියෙනව. එක දවසක් රා අරක්කු බීල පැය ගණනක් වෙරි වෙලා කෑගැහුවම ආත්මභාව ලක්ෂ ගණනක් ලෝකුඹු නිරයෙ උපදවන්නට පුළුවන් අකුසල කර්ම විපාක අපට එකතු වෙනව. මෙන්න මෙහෙමයි මේ කර්මවල හැටි.
මේ කර්ම කියන ඒව මහ පුදුම ජාතියක්. ඔය ආත්මභාව කෝටි ගාණක් සුගති-දුගති දෙකේ උපදවන්නට පුළුවන්කම තියෙන කර්මවලට මේ සෝවාන් වෙනව කියන උදාර තත්ත්වයට පත් වෙන කොට මහ පුදුම වැඩක් වෙනව. ‘සෝතාපත්ති ඵලං වරං’ කිව්වෙ මොකද? ආත්මභාව හතක පමණක් මේ ලෝකයේ උපදවන්නට පුළුවන් කර්මවල ශක්තියක් ඉතිරි කරල අර කෙළකෝටි ගණනක් සංසාරෙ උදා වන්නට පුළුවන්කම තිබිච්ච කර්ම ඔක්කොම විනාශ කරල පුච්චල දානව. ආත්මභාව හතයි සෝවාන් වෙච්ච පුද්ගලයා ආයෙ මේ ලෝකෙ උපදින්නෙ. ඒ හතක් සුගතියෙ, දිව්‍ය ලෝකෙ, නැත් නම් මනුෂ්‍ය ලෝකෙ. අනාගාමි වුණොත් බ්‍රහ්ම ලෝකෙ. කවදාවත් ආයෙ සතර අපායට යන්නෙ නෑ නිවන් යනව මිසක්. බලන්න මේක මොන තරම් සම්පත්තියක්ද කියල! මේ තත්ත්වය ලබාගන්නට පුළුවන් නම් අප සතු ඔය ධන-ධාන්‍ය ඉඩ-කඩම් විහාර-පන්සල් ගෙවල්-දොරවල් ඔක්කොම පරිත්‍යාග කරල මෙය අප විසින් මේ ජීවිතය තුළම ලැබිය යුතුයි නේද? ආයෙත් මේ ජාතියෙ ලබන්නට බැරි වුණොත් මේ බුද්ධෝත්පාද කාලය තුළ ලබන්නට බැරි වුණොත්, මෛත්‍රී බුදු රජාණන් වහන්සෙ බුදු වන කාලයට අප මහා පෙරේත දණ්ඩෙක් වෙලා අපායක හෝ පෙරේත ලෝකයක හෝ තිරිසන් ආත්මයක ඉපදිල ඉන්න ඉඩ තියෙනව. පාරිලෙය්‍ය ඇතාට බුදුහාමුදුරුවො හම්බ වුණත් නිවන් ලැබුවෙ නෑ නෙ. එහෙම ආත්මෙක ඉපදිලා හිටියත් මෛත්‍රී බුදු රජාණන් වහන්සෙගෙ බුදු වීමෙනුත් අපට වැඩක් නැහැ නේද?
ඕනැකම තියෙනව නම් සෝවාන් වෙන්න අවශ්‍යයෙන්ම කෙනෙකුට ඕනෑ වෙන්නෙ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ අංග හතරයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නෙ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් ලැබීම. එහෙම ආර්යයන් වහන්සේලා නොමැති නම් නිවන් දැකීමට සුදුසු අවවාද අනුශාසනා දෙන්නට පුළුවන් ගුරුවරයකු ලැබීම. සද්ධර්ම ශ්‍රවණය කියන්නෙ ඒ නිවන් දැකීමට වුවමනා වෙන අන්දමට බෝධි පාක්ෂික ධර්මවලින් යුක්ත ධර්මයන් ශ්‍රවණය කරන්නට ලැබීම. යෝනිසෝමනිසිකාරය කියන්නෙ, ඒ අනුව සතිසම්ජ්ඤ්ඤයෙන් යුක්තව කල්පනා කිරීම, සිහිය පිහිටුවාගෙන ඒ අනුව සිතීම. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නෙ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ඒ නිවන් මඟ ඒ අරී අටැඟි මඟ වැඩීම. මේ අංග හතර තමයි සෝවාන් වීමට කෙනෙකුට අවශ්‍ය වෙන්නෙ. ඒ වගේම සෝවාන් වීමට බලාපොරොත්තු වන එක්කෙනාට ඒ ආත්මභාවයේදී කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ කියන ආවරණ තුනම නොතිබෙන්නට ඕන. කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ කියන මේ ආවරණ තුනෙන් යුක්ත නම් යම් කෙනෙක් ඒ පුද්ගලයාට මේ ජාතියේදි නිවන් ලැබෙන්නෙ නෑ. කම්මාවරණ කියන්නෙ ආනන්තරිය පව්. යම් කිසි කෙනෙක් මේ ජීවිත කාලය තුළ මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුදුන්ගේ ඇඟෙන් ලේ සෙලවීම, සංඝ භේදය කිරීම කියන මේ ආනන්තරිය පව් පහෙන් එකක් හෝ කරගෙන තිබුණොත්, දේවදත්තට මෙන්, අජාසත්ත රජ්ජුරුවන්ට මෙන්, ලැබෙන්නට තියෙන නිවන ඒ ජාතියෙදි නැතිව යනව. කම්මාවරණ වශයෙන් කරපු භයානක අකුශල කර්මය නිසා නිවන් මඟ ඇහිරී ගියා. අනෙක් ඕනැම පවක් තිබුණට නිවන් දැකීමට බාධාවක් නොවන බව අංගුලිමාලගෙ කථාවෙන්, පටාචාරාවගෙ කථාවෙන් පේනව.
ඊළඟට විපාකාවරණ කියන්නෙ මේ මිනිස් ලොව තියෙන මිනිසුන් අතර ප්‍රතිසන්ධි තුනක්. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය, ද්විහේතුක ප්‍රතිසන්ධිය, අහේතුක ප්‍රතිසන්ධිය කියල. අලෝභ, අදෝස, අමෝහ කියන කුසල් මුල් තුනෙන්ම උප්පත්තිය ලබන ඉහළම ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියයි. ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලබාපු අයට පමණයි උත්තරීතර මනුෂ්‍ය ධර්ම කියන ධ්‍යාන මාර්ගඵල මේ ජාතියෙ ලබන්න පුළුවන්. අහේතුක ප්‍රතිසන්ධිය ලැබූ කෙනෙකුට වත් ද්විහේතුක ප්‍රතිසන්ධිය ලැබූ කෙනෙකුට වත් මේ ජාතියෙදි නිවන් දකින්නට බැහැ.
ක්ලේශාවරණ කියන්නෙ නියත මිථ්‍යාදෘෂ්ටිය. සච්චකට බුදු රජාණන් වහන්සෙ මහා සූත්‍ර දෙකක් දේශනා කළා. සච්චක මහා පඬිවරයෙක්. ඒත් සච්චක යම් කිසි මිථ්‍යාදෘෂ්ටියක් ඇතිව සිටිය කෙනෙක්, නිසා එයාට ඒ ජාතියෙදි නිවන් දකින්නට බැරි වුණා. දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය කියල කරුණු දහයක් තියෙනව නෙ. වැරදි දැකීම් දහයක්. නත්ථීමාතා, නත්ථීපිතා, නත්ථී සුඛටදුක්ඛටානං කම්මානං ඵලංවිපාකෝ, නත්ථී ඉහෝලෝකෝ, නත්ථී පරෝලෝකෝ... ඔය ආදි වශයෙන් මෙලොවක් නැත, පරලොවක් නැත, ඕපපාතික සත්ත්වයන් නැත, අපායවල් නැත, දිව්‍යලෝක නැත, මව්ට පියාට සැලකුවට කුසලයක් හෝ නොසැලකුවට අමුතු අකුසලයක් හෝ නැත, ඒ වගේම කළා වූ කුශලයෙහි විපාක නැත. අකුසලයක් හෝ නැත. දන්දීමේ විපාක නැත... මේ ආදි වශයෙන් මිනිසුන් තුළ පවතින මිථ්‍යා දෘෂ්ටිවලින් යම් කෙනෙක් යුක්ත නම් ඒ මිථ්‍යා දෘෂ්ටිය අත්හැරදමන තුරු ඔහුට පුළුවන්කමක් නැහැ ඒ ජීවිතයේදී නිවන් දකින්නට. ආන්න ඒක තමයි ක්ලේශාවරණ කියල කීවෙ.
එතකොට යම් කෙනෙකුට කම්මාවරණ කියන ආනන්තරිය පව් ඔහුගෙන් කෙරී නැත් නම් ඒ වගේම විපාකාවරණ කියන අහේතුක, ද්විහේතුක, ප්‍රතිසන්ධි නැතිව ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබල තියෙනවා නම් මේ විදියේ නියත මිථ්‍යා දෘෂ්ටියකුත් නැත් නම්, ආර්ය උපවාද අකුසල කර්ම තිබුණත් නිවන් දකින්නට බැරි නිසා ඒ ආර්යයන් වහන්සේලා සමා කරගෙන විදර්ශනා භාවනාවට බැස්සම සත්‍ය වශයෙන් ඒ තැනැත්තාට මේ ජාතිය තුළදීම නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. විදර්ශනාභාවනාව තමයි නිවන් සාදා දෙන්නෙ. සමථභාවනාව බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වන කොටත් තිබුණ.
විදර්ශනා භාවනාව කියන්නෙ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාව. පණ ඇති, පණ නැති සියලු සංස්කාර ධර්ම ඇති වන නැති වන නිසා අනිත්‍යයි. යමක් ඒ විදියෙ අනිත්‍ය නම් එය දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් එහි ආත්මයයි ගත යුතු හරයක් ඇත්තෙ නැහැ. මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට බෙද-බෙදා මේ පංචස්ඛන්ධය පිළිබඳව ස්කන්ධ වශයෙන්, ධාතු ආයතන වශයෙන් බෙද-බෙදා බලාගෙන යන කොට ආත්මයක්, සදාකාලිකව පවත්නා ආත්මයක්, භවයෙන් භවයට සංක්‍රමණය වන ජීවයක් නැති බව පේනව.
හරියටම දිට්ඨි විසුද්ධිය ඇති වෙනව. දැකීම පිරිසිදු වෙනව. දිට්ඨී විසුද්ධිය ළඟට කංඛාවිතරණ විශුද්ධිය, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියත් ලැබුවට පස්සෙ නව මහා විදර්ශනාඥානයෙන් යුත් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය අවසානයේදී ඥාන දස්සන විසුද්ධිය කියන මේ හත්වෙනි විසුද්ධියෙන් සෝතාපත්ති මග්ගඤාණය ලබනව. ඒ සෝවාන් වෙන අවස්ථාවෙදි ඒ පුද්ගලයගෙ හිතේ අවසාන මොහොතකට ඇති වන චිත්ත වීථිය තමයි ඒ සෝතාපත්ති මග්ග ඤාණය ලබා දෙන්නෙ. පරිකර්ම, උපචාර අනුලෝම වශයෙන් ඒ ජවන හිත් හතෙන් මුල් ජවන හිත් තුනට නම් දෙනව. ඒ විදියට භාවනා කරගෙන යන කොට ලැබෙන තත්ත්වය අනුව ඊළඟට ඇති වෙනව ගෝත්‍රභූ හිත කියල මේ පෘථග්ජන ගෝත්‍රය කඩමින්, ආර්ය ගෝත්‍රය වඩමින් ඇති වෙන සිත. ඒ ගොත්‍රභූ හිත ළඟටම පහළ වන ජවන හිත තමයි සෝතාපත්ති මග්ගඤාණ හිත. ඊට පස්සෙ සෝතාපත්ති ඵල සිත් දෙකක් විතර ඇති වෙලා හිත භවාංගයට බසිනව.
මේ අවස්ථාව තේරුම් ගන්නට ඕන නම් ඒ විදියට පෙන්නුම් කරපු උදාහරණ අපේ බණ පොත්වල බොහොම තියෙනව. අපි කල්පනා කරමු ගලන මහ ගඟක් තියෙනව. ඒ ගඟේ සැඩ පහර බොහොම දරුණුයි. ඒ ගඟේ මෙහා ගොඩේ වනාන්තරය තියෙන්නෙ. ඒ වනාන්තරයෙ බොහොම භයානක නයි, පොලොංගු, සිංහයො, කොටි, ව්‍යාඝයො වැනි හිංසාකාරී සත්ත්වයෝ ඉන්නව. ඒ වගේම අමනුෂ්‍යයෝ අධිගෘහිතයි. බොහොම කැතයි, බොහොම පිළිකුල්, මේ වනය, යම් කෙනෙකුට පුළුවන් නම් ඒ ගඟෙන් එගොඩ වෙලා එහා පැත්තට යාගන්න, එහා පැත්ත බොහොම සනීපයි, ඉතා ශාන්තයි, සුවදායකයි. මේ මෙහා පැත්තෙයි කියල කිව්වෙ මේ සංසාරය. ඒ නිසා යම්කිසි තරුණ ශක්තිමත් පුරුෂයෙක් බොහොම වේගයෙන් දුවගෙන ඇවිදින් උඩ පැනල මෙහා පැත්තෙ ගහක ගඟ මැද්දට දික් වෙච්ච අත්තක එල්ලෙමින් තිබුණ ශක්ති සම්පන්න වැලක එල්ලෙනව.
ඒ වැල අල්ලගත්තම දැන් ඔහු ඉන්නෙ ගඟ මැද්දෙ. හයියෙන් වේගය දනවල වැල පැද්දෙව්වා. දෙපැත්තට දෙතුන් සැරයක් පද්දවනකොට එක වරක් මෙහා ගොඩට එනව. එක්වරක් එහා ගොඩට යනව. එහා ගොඩට යන වෙලාව බලාගෙන ඉඳල එක පාරටම වැල අතහරිනව. ඒ අතහරින කොට එහා ගොඩේ වැල්ලෙ ඇදගෙන වැටෙනව. ඒ වැටුණට පස්සෙ එයා නැවත නැගිටල වැලි පිහදාගෙන තමා මෙතෙක් කල් හිටිය ගඟෙන් මෙගොඩ තියෙන බිය ජනක වනය දෙස බලනව. මෙන්න මේ උපමාවෙන් අපි තේරුම් ගන්ඩ ඕනෑ. අර මෙගොඩ කියල කීවෙ සංසාරය භවාග්‍රය, ඒ වගේම මේ පුරුෂය තමයිභාවනානුයෝගී යෝගාවචරයා.
එයා අර පරිකර්ම උපචාර අනුලෝම කියන මේ විදර්ශනා භාවනාවෙන් ලබාපු ජවන් හිත්වලින් ඥානවලින් උඩ පැනල අර වැල අල්ලගන්නව වගේ සංස්කාර ධර්මයන් අරමුණ කරගෙන භාවනා වඩනව. ත්‍රිලක්ෂණ වඩාගෙන ගිහින් නිවන් පැත්තට බර වීගෙන යනකොට එක පාරටම අර වැල අත්හරිනව වගේ එහා ගොඩට පාත් වෙන කොට ගෝත්‍රභූ ඤාණයෙන් අර පෘථග්ජන ගෝත්‍රය කඩල දානව. කඩල දාපු හැටියෙ ආයෙත් පෘථග්ජන බවට ඔහු එන්නෙ නැහැ. ඒ කඩන අවස්ථාවෙදි තමයි සක්කායදිට්ඨී, විචිකිච්චා, සිලබ්බතපරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන මුලසුන් වෙන්නෙ. එහා පැත්තට බර වෙලා අර වැල්ලෙ වැටෙනව. ඒ වැටෙන අවස්ථාව තමා සෝතාපත්ති මග්ග ඤාණය කියන්නෙ. එතකොට සෝතාපත්ති මග්ගඤාණයෙන් වැටිච්චම ඵල ඤාණයෙන් නැගී සිටිනව. වැල්ලෙ වැටිච්ච එක්කෙනා ස්ථීරව නැගී සිටිය වගේ, දැන් ඔහු නිර්වාණයට පැමිණියා, ඔහුගේ හිත. ඒ නිසා ඒ තැනැත්තා ඊළඟට පඤ්චවිධ ප්‍රත්‍යවේක්ෂා ඤාණ අරමුණු කරනව. නැති කළ කෙලෙස් මොනවද කියල බලනව.
නැති කළ කෙලෙස්, ඉතිරි කෙලෙස් බලන කොට ඔහුට පේනව තමන් මේ සංයෝජන ධර්ම තුනක් නැති කළ බව, ඒ වගේම මාර්ගය බලනව. ලබපු ඵලය බලනව. නිර්වාණය බලනව. මෙන්න මේ විදියට එක ඵල ඤාණයක් ලබපුවම ඒ මාර්ග ඵලස්ථ පුද්ගලයා මේ විදියෙ ප්‍රත්‍යවේක්ෂා ඤාණ පසකින් නැති කළ කෙලෙස් ගැනත්, ඉතිරි කෙලෙස් ගැනත් ලැබූ මාර්ග ඵල ගැනත් නිර්වාණය ගැනත් බලනව. එහෙම බලල තමයි ඉතිරි මාර්ගඥාන ලැබීමට නැවත භාවනානුයෝගීව සංස්කාර ධර්මයන් අරමුණු කරගන්නෙ. ඊළඟට බලන හිත සකෘදාගාමි මග්ගඤාණය කාමරාග ව්‍යාපාද කියන සංයෝජන ධර්ම දෙක තුනී කරමින් ඒ සංයෝජන ධර්ම දෙක සම්පූර්ණයෙන්ම නැති කරමින් ලබන්නෙ අනාගාමී මාර්ග ඥානය. එයාට තව ඉතිරි රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහක් පමණයි. ඒවාට කියනව උද්ධම්භාගි සංයෝජන කියල. ඒවා නැති කරමින් ලබන අර්හත් මාර්ග ඥාන ඵල ඥාන ලබපුවම එයා ඉතින් සංසාරයෙන් එගොඩ වෙච්ච, සදාකාලික සැපතට පත් වෙච්ච නිවන් දැකපු ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් බවට පත් වෙනව. ඉතින් ඔබ හැමටම ඒ උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!