ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

ප්‍රාතිමෝක්‌ෂ සංවරයේ සිට සියලු අර්ථ සලසන භාවනාව දක්‌වා...


ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ 
ධර්මාචාර්ය 
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ප්‍රාතිමොක්‌ෂ සංවර සීලය රැකෙන්නේ අනිවාර්යයෙන් ඉන්ද්‍රිය සංවර සීලය තියන කෙනාටයි. මොකද, මේ සීලය රැකෙන්නේ, ඊට උඩ සීලය රැකුණොත් තමයි. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ, ඉන්ද්‍රිය සංවර සීලය කියන එක, මේ සීලය සමාදන් වෙච්චි කෙනාට, ඒකේ හේතුවත් ඒක නැති වෙන හේතුවත් වළක්‌වලා ඇති වන හේතුව තියන තැනින් අල්ලලා දීලා තමයි, මේ තියෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය කියන කොට, කෙටියෙන් ගත්තොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ දෙකට බෙදාගන්න, කණ දෙකට බෙදාගන්න, නාසය, දිව, ශරීරය, මනස දෙකට බෙදාගන්න. කොහොම ද දෙකට බෙදාගන්නේ? සේවනය කළ යුතු සහ නො කළ යුතු ලෙස.

ඇහැ සංවර කරගෙන ඉන්නවා කියන්නේ ඇස්‌ දෙක වහගෙන ඉන්නවා හෙම නො වෙයි. එහෙම වුණොත් දහමේ පෙන්නනවා ඇස්‌ පෙනෙන්නේ නැති කෙනාත් හොඳ ඉන්ද්‍රිය සංවරයක්‌ තියෙන කෙනෙක්‌ කියලා. නමුත් මෙතන දී ඇස්‌ දෙක වහගෙන ඉඳීම ඉන්ද්‍රිය සංවරය නො වෙයි. රාග, ද්වේෂ, මෝහ අකුසල ධර්ම ඇහෙන් රූප බලලා නිමිති අනු නිමිති ගන්නේ නැති විදිහට ඇහැ රැකෙන්ඩ ඕන. ඒ හින්දා ඇහැ සේවනය කරන්නේ නැහැ. ඇහැ ඇසුරු කරන්නේ නැහැ. යමක්‌ බලලා රාග, ද්වේෂ, මෝහ ඇති වන පැත්තට ඇහැ පරිවර්තනය කරන්නේ නැහැ. යම් රූපයක්‌, යම් දෙයක්‌ බලන කොට ලාමක අකුසල ධර්ම දුරු වෙන්න නම් සතර සම්‍යක්‌ ප්‍රධාන වීර්ය අවශ්‍යයි. අකුසල ධර්ම දුරු වෙලා කුසල ධර්ම උපදින විදිහට යමක්‌, බණ පොතක්‌ බලන්න. ඉන්ද්‍රිය අසංවර වුණොත් කැඩෙන්නෙ සිල් පදෙයි කියලා දන්නවා. ඉන්ද්‍රිය සංවර උණොත් සීලය රැකෙනවා කියලා දන්නවා.

මේ ඇහෙන් බලනවා. බලන කොට රත්රන් ගොඩක්‌, මැණික්‌ ගොඩක්‌ තියෙනවා. "හරි ම වටිනවා, රත්තරං ගොඩක්‌ තියනවා. මේ වගේ වස්‌තුවක හිමිකාරයෙක්‌ වෙන්න තියනවා නම් කොච්චර දෙයක්‌ ද? අනේ අපිට නෑ නේ. නමුත් මේක කොහොම හරි ලබාගන්න ඕන" කියලා ඇහෙන් දැකපු දේ නිමිති වශයෙන්, අනු නිමිති වශයෙන් ගන්න ගියොත් නතර වෙන්නේ අනුන් ගේ දේ හොරකම් කරලයි. අනුන් ගේ දේ හොරකම් කරන්නේ නෑ කියන සිල්පදේ කඩලයි.

තමන් ගේ මට්‌ටමින් හිතන්න. "අනේ ඉතිං අනුන් ගේ දෙයක්‌ ගන්න හොඳ නැහැ නේ, කවුරු වුණත් දුක්‌ මහන්සියෙන් නේ හම්බ කරන්න ඇත්තේ. අසාධාරණයෙන් යමක්‌ ඕන නෑ නේ" කියලා ඒක නුවණින් බලලා රාග, ද්වේශ, මෝහ ඇති වෙන්නේ නැති විදිහට ඇහැ පරිස්‌සම් කළහම රැකිලා තියන්නේ මොකද්ද? සීලය.

ඔය වගේ මේ ආයතන හය හරහා ම ඉන්ද්‍රිය අසංවර වුණොත් කැඩිලා ඇති මේ පැත්තෙන් ප්‍රාතිමොක්‌ෂ සීලය. ඉන්ද්‍රිය සංවර වුණාම රැකිලා ඇති, ප්‍රතිමෝක්‌ෂ සීලය. ඒ හින්දා ඉන්ද්‍රිය සංවරය කියන තැනින් උත්සාහවත් වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය රකින කෙනාට මේ සීලය ගැන බයක්‌ නැති ව කටයුතු කරන්න පුළුවන්කම තියන්නේ, සීලය රැකෙන්නේ ඉබේ මයි.

අපි කියමු රාගාදී අරමුණක්‌ (අශුභය) ශුභ නිමිත්තක්‌ විදියට බලලා, අයෝනිසෝ මනසිකාරය කරලා ඉන්ද්‍රිය අසංවර විදිහට හැදුවම කාමයේ වරදවා හැසිරෙන්නේ නෑ කියන සිල්පදය කැඩෙන්න පුළුවන්. දැන් අශුභ වශයෙන් බලලා, නුවණින් මෙනෙහි කරලා, රාග, දේවේශ, මෝහ ඇති නො වන විදිහට බැලුවොත් මේ සිල් පදය කැඩෙයි ද? කැඩෙන්නේ නෑ. හැම වේලාවෙ ම ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්නේ ප්‍රතිමොක්‌ෂ සංවර සීලය
රැකෙන්නයි.

ඊට පස්‌සේ මේ ඉන්ද්‍රිය සංවර සීලය රැකෙනවා. මොකෙන් ද? ආජීව පාරිශුද්ධි සීලයෙන්. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකද්ද? එතැන දී ආජීව පාරිශුද්ධ සීලය කෙනා කෙනා ගෙ මට්‌ටම දක්‌වා වැඩි වෙනවා. මෙතැන දී තමන් වැරැදි, මිච්ඡා ආජීවය අතහැරලා සම්මා ආජීවය, නිවැරැදි ජීවිකාවෙන් ජීවත් වෙනවා කියන තැන දක්‌වා ඊට පස්‌සේ වැරැදි ජිවිකාව සහ නිවැරැදි ජිවිකාව කියන කාරණාව, වැරැදි නිවැරැදි කර්මාන්තය දක්‌වා තීරණය කරනවා. යටත් පිරිසෙන් ගත්තහම සම්මා කම්මන්තය කියලා නො කටයුතු වෙළෙඳාම් පහක්‌ තියනව නේ. මෙන්න මේ පහ ම අත්හැරියහ ම සම්මා ආජීවය කියන තැනට එනවා. මොකද රළු වූ දැඩි වූ කර්කෂ වූ සිත් ඇති ව, ලේ වැකුණ අත් ඇති ව, ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා එකක්‌ බැහැ. ඉන්ද්‍රිය සංවර කරගන්නා කෙනෙක්‌ අඩු ම ගණනේ මේ වගේ තැනක රළු කර්මාන්තයක්‌ නො කර නිවැරැදි ජීවිකාවෙන් ජීවත් වනවා කියන තැන ඉන්නවා. ඒකයි කර්මාන්ත ආජීව කියන දෙක ම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. නිවැරැදි ජීවිකාවෙන් ජීවත් වෙන්න කියන තැන, තමන්ට පුළුවන් තරම් රාග, ද්වේශ, මෝහ ඇති නො වන විදිහට ජීවිතය පවත්වාගෙන යන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය අල්ලගන්න. එයාට ඒකෙන් පහසුයි.

ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය තියෙන කෙනාට තමන්ට ලැබෙන දේකින් දැහැමි ව සොයාගෙන, නිවැරැදි ජීවිකාවෙන්, තමන්ටත් අනුන්ටත් කරදරයක්‌ අවැඩක්‌ අහිතක්‌ නැති වෙන විදියේ

රැකියාවක්‌ කරගෙන ජීවත් වන එක පහසුවෙන් කරන්න පුළුවන්. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය කියලා කිව්වේ ස්‌වාමීන් වහන්සේලාට නම් චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස කියන කාරණා හතර නුවණින් පමණ දැනගෙන ඇසුරු කරන්න ඕන. ඔය හතරමයි ගිහි අයටත්.

බොහෝ කාරණා හැටියට පෙන්වලා තිබුණත් ගිහි අයටත් ඔය හතරමයි.

ස්‌වාමීන් වහන්සේලා සිවුරු අඳින කොට කියනවා "සීතස්‌ස පටිඝාතාය, උන්හස්‌ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්‌සානං පටිඝාතාය" ආදී වශයෙන් මේ කාරණාව දැනගන්න. සීත නැති වීම පිණිස, උෂ්ණය නැති වීම පිණිස, මැසි මදුරු අවු සුළං ආදී ස්‌පර්ශයන් ගෙන් බේරෙන්න, ශරීරය වසා නො ගත්තොත් ලැඡ්ජා හිතෙන තැන් වසා ගැනීම පිණිස -එතකොට ඒක රළු එකක්‌ වෙන්නත් පුළුවන් සියුම් එකක්‌ වෙන්නත් පුළුවන්. මේක කෘත්‍ය බලල කෙරුවා නම් තමන්ට අදාළ දේ කෙරෙනවා මිසක ඊට එහා යන්නේ නෑ.

ගිහි අය වුණත් ඇඳුමක්‌ අ`දිනවා කියන කොට මෙන්න මේ ටික නේ ද කියලා දැන ගත්තහම "අර කෙනා මෙහෙම සාරියක්‌ ගෙනාවා, මමත් මෙහෙම එකක්‌ ගේන්ඩ ඕන" කියන තැනින් එන ක්‌ලේශය එන්නේ නැහැ. එහෙම කෙනෙක්‌ මේ ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය කියන තැනින් වඩනවා නම්, මේ නුවණින් ප්‍රත්‍යවේක්‌ෂා නො කරන කෙනාට ඇති වන යම් ක්‌ලේශයක්‌ තියෙනවා නම්, ඒ ක්‌ලේශය උත්සන්න වීමෙන් ආජීවය අපිරිසිදු කරගෙන හෝ මුදලක්‌ සොයනවා නම්, ඒ මුදල් හොයන්න යැමේ දී ඉන්ද්‍රිය අසංවර වෙනවා නම්, ඒ අසංවර වීමෙන් මේ සිල්පදේ කැඩෙනවා නම්, කියන මේ ටික ඔක්‌කොම වෙන්නේ නෑ.

ඒ වගේ හම්බ වෙන භව භෝග සම්පත්වල ආදීනව දකිමින් නිස්‌සරණාධ්‍යාශයෙන්, ඒකේ ඇලෙන්නේ නැතුව කටයුතු කරන්න කියන එක තමයි ගිහි අයටත් පෙන්වන්නේ.

ඔය සිල් හතර ඔවුනොවුන්ට පටිබද්ධව මෙන්න මේ විදිහට හරියට රැක්‌කොත් සීලය රකින්න ගියහමත්, එහෙ මෙහේ ගසා දාලා රකින විදිහට නතුව, හරියට පිරිසිදුව රකිනවා නම් - ඔන්න ඔය හතර එකට ම බැඳිලා තියන්නේ, එකට බන්දලා තියෙන්නේ. හතර රැකුණහම ඔන්න ඔය සීලයට කියනවා සමාධි සංවත්තනික සීලය කියලා.

මේ සීලය රකින්න යැම නිසා ම සිත සමාධි වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනවා කියන තැනට එනවා. ඔන්න ඔය විදිහට කෙරුවහම අලුතෙන් රාග, ද්වේශ, මෝහ ඇති වෙන්න තියෙන ඉඩ නෑ.

රක්‌ෂාවක්‌ කෙරුවත්, හම්බ වෙච්ච භව භෝග සම්පත් පරිභෝග කරන තැන දී ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලයෙන් දුස්‌සීල වෙන්න තියෙන ඉඩ වළක්‌වනවා.

ආජීව පාරිශූද්ධ සීලයෙන් රක්‌ෂාවක්‌ කරන්න ගියා ම ඇති වෙන්න තියෙන කෙළෙස්‌ ටික හැදීම වළක්‌වනවා.

සීලයෙන් හාත්පස ම එයාව ආරක්‌ෂා කරලා ආයතන හයට ම බැමි දාලා තියෙන්නේ.

දැන් ඔන්න ඔය ටික වුණා කියලා තාම අතීතය අනුව ගියා වූ රාග, ද්වේශ, මෝහ අත්දැකීම් නැති වෙන්නේ නැහැ. විතර්ක අඩු වෙන්නේ නැහැ. ඒවා සිහි වෙනවා. පහළ වෙනවා. බැමි දැම්මට මේ ළිඳ ඇතුළේ තියන මඩ ජලය තාම තියනවා. ඒවායේ දැන් අකුසල සංඥ, අකුසල විතර්ක පහළ වෙනවා.

දැන් මෙයා ඉඩ ලැබෙන හැම වෙලාවක ම නීවරණ ධර්ම, විතර්ක සංසිඳුවාගැනීම සඳහා සමථ කමටහනක්‌ හුරු කරනවා. ඒක මෙයා දෙකට බෙදා ගන්නවා. සබ්බත්ථික භාවනාව කියලා කියන්නේ බොඡ්ධංග භාවනාව නැත්නම් සියලු අර්ථ සිද්ධ කරලා දෙන භාවනාවයි. ඒ කියන්නේ තමන්ට අවේනික වේච්චි, තමන් ගේ ජීවිතයට හුරු කරගන්න, එක කමටහනක්‌ හුරු පුරුදු කර ගන්න ඒන. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න කොට, ඉඩ ලැබෙන හැම වේලාවක ම, ඇසුරු කරන, ආසේවනය කරන, හිත සමාධිගත කරන, එක කමටහනක්‌ හුරු පුරුදු කරනවා.

අපි කියමු ආනාපාන සතිය, (ඒක විතරක්‌ නො වෙයි, එයාට අවේතික වෙච්ච ඕන ම දෙයක්‌). ආනාපාන සතිය මට එක තැනක ඉඳගෙන පැය ගානක්‌ වුණත් ඉන්ඩ පුළුවන් විදිහට මම ගන්නවා හුරු කරනවා කියන්න කෝ. ඕකට කියනවා සබ්බත්ථික භාවනාව කියලා. හිත හරි වේගෙන් සමාධිගත වෙන්නේ ඕකටයි. නීවරණ ධර්ම අඩු වෙන්නේ, බොඡ්ධංග ධර්ම වැඩෙන්නේ මෙතැනිනුයි.