ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

බෞද්ධ අනාත්මවාදය

බුදුදහමේ උගන්වන ප්‍රධාන ඉගැන්වීමක් ලෙසට අනාත්මවාදයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එයට හේතුව මේ ඉගැන්වීම දැනීමක් ලෙසටත් (ම්දධඹතඥඤඨඥ) , ප්‍රගුණ කළ යුතු දෙයක් ලෙසටත් (ර්‍ථපචජබඪජඥ) දහමේ උගන්වන නිසාය. සමහරක් සම්ප්‍රදායන් පුද්ගලයා දේව නිර්මාණයකටත් තවත් සම්ප්‍රදායන් අහේතුවාදයකටත්, සමහරක් ස්වභාව නිත්‍යවාදයකටත්, හේතුඵලවාදයකටත් ඇතුළත් කර විග්‍රහ කිරීමට උත්සාහවත් වූ බව පෙනේ.අහේතුවාදින් සහ හේතුඵලවාදය පිළිගත් බෞද්ධ සම්ප්‍රදායන් ආත්මවාදයක් තුළ සත්වයා සහ ලෝකය විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවුණු බව පෙනේ.
බෞද්ධ ඉගැන්වීම්වල එන අනාත්ම සංකල්පය තේරුම් ගැනීම සඳහා ආත්ම සංකල්පය සහ එහි ස්වභාවය වටහාගැනීම වැදගත් වේ. අත්ත (ආත්මය) යන වචනය පාලි සාහිත්‍යයේ අර්ථ තුනක් සඳහා යෙදී ඇත. පළමුවැන්න තමා යන අදහස හැඟවීම සඳහා ය. (අත්තහිතාය පටිපන්නො. තමාගේ යහපත සඳහා පිළිපන්) දෙවැන්න කය සහ සිත ඇතුළත් පුද්ගලයා හැඟවීම සඳහාය . (අත්තපටිලාභ,ජීවි උප්පත්තියක් ලැබීම) මෙම ලිපියෙන් ආත්මවාදය ලෙසට සාකච්ඡා කරනු ලබන්නේ තුන් වන අර්ථය වන සියුම් පාරභෞතික අස්ථිත්වය පිළිබඳව ය.

ආත්මවාදයේ ආරම්භය කවදා, කොතැනක දී සිදු වී ද යන්න කිව නොහැකි ය. ඉන්දු ආර්ය යුගයේ පවා ආත්මවාදි අදහස් දැරු බවට උද්ධෘත ඍග්වේදිය සුක්තයන්ගෙන් හමුවේ. සෑම පුද්ගලයෙකු තුළම ආත්මයක් පවතින බවත් එය සත්‍ය වූ පදාර්ථයක් බවත් උපනිෂද් චින්තකයෝ සිතූහ. එම ආත්මය ඔවුන් විවිධාකාරයට විස්තර කර ඇත. ශරීරය තුළ ඇති සහල් ඇටයක් බදු අතිශයින් කුඩා ද්‍රව්‍යයක් බවත් එය හදවතේ තැන්පත්ව ඇති බවත් සමහරුන් දැක්වූ අතර එය මහපොළොව, අහස බදු ඉතා විශාල දෙයක් ලෙසට ද විස්තර කර ඇත. එසේම එය තථ්‍යය සැබෑ දෙයක් බව පෙන්වයි. සෑම දෙයක් කෙරෙහිම කෙනෙකු තුළ ආශාවක් ඇතිකර ගනු ලබන්නේ ඔහු තම ආත්මයට ඇති කැමැත්ත නිසා බව උපනිෂද් චින්තකයන්ගේ අදහස විය. එය නූපදින ,නොමියෙන, හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් දෙයක් ලෙසට දක්වයි. ආත්මය අභ්‍යන්තර මමෝභාව පාලනය කරන ඒකකය (අන්තර්යාමින්) ලෙසට ද විස්තර කරයි.
මීට අමතරව ජෛනාගම ද ආත්මවාදයක් ගැන කරුණු දක්වයි. ආත්මය අයිතිවන සත්වයාගේ ප්‍රමාණය මත ආත්මයේ ප්‍රමාණය ගන්නා බව පෙන්වයි. නිගොධ යනුවෙන් හඳුන්වන පරමානු පුඤ්ජ අවකාශයේ පවතින අතර ඒ සෑම පරමාණුවකම ආත්මයක් පවතින බව පෙන්වයි. නූතනයේ ඇති සෑම දේවවාදි ආගමකම ආත්මවාදි ඉගැන්වීම් දැකිය හැකි ය.
ආත්මයක් ඇතැයි ද , එය ශාශ්වත අවිපරිණාමි සර්ව ව්‍යාපී සත්‍යයක් ලෙසට පිළිගැනීම බුදුසමය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දෘෂ්ටිවාදයක් ලෙසට ය. මේ ගැඹූරු විවේචනය අනුභූතිය ඇසුරින් කරන ලද විමර්ශනයකි.ආත්මයක් හෝ ආත්ම දර්ශනයක් නැතැයි ප්‍රතික්ෂේප කරන බුද්ධ වචනය අනාත්මයක් ඇතැ’යි ප්‍රකාශ නොකරයි. එසේ වුව හොත් එය ද දෘෂ්ටියක් බවට පත්වේ. වච්චගොත්ත පරිබ්‍රාජකයා වරක් බුදුරජාණන් වහන්සේ හමුවේ දී ආත්මයක් තිබේද? ආත්මයක් නැද්ද? යනුවෙන් ප්‍රශ්න කළ විට බුදුරජාණන් වහන්සේ එයට නිශ්ශබ්දතාවයෙන් පිළිතුරු දුන්හ. පසුව තම ස්ථාවරය විස්තර කරමින් ඇත හෝ නැත යන්නෙන් පිළිතුරු දුන්නේ නම්, ශාශ්වතවාදයට හෝ උච්ඡේදවාදයට වැටෙන බව ආනන්ද හිමියන්ට පැහැදිලි කර ඇත. මේ නිසා අනාත්ම යන්නේ අදහස් වන්නේ මතවාදයක් නොව ආත්මයක් නැත යන අදහස පමණි.
ආත්මවාදි අදහස්වලින් ජනතාව මුදා ගැනීම පහසු දෙයක් නොවන බව බුද්ධ චරිතයෙන් පෙනේ. බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනාව සංසාරයත් , එහි හේතුවත්, නිර්වාණය සහ නිර්වාණ මාර්ගය පෙන්වමින් බුදුදහමේ සාරය ප්‍රකාශ කිරීම වුවද ආත්මවාදි අදහස් පස්වග තවුසන් තුළ මුල් බැසගෙන තිබුණ නිසා ම ඒ දෘෂ්ටිවාදි පරිකල්පනා බැහැර කිරීමට සුදුසු දේශනයක් ලෙසට අනාත්ම ලක්ඛණ සූත්‍රයෙන් කරුණු ගෙනහැර දක්වන්නට උන්වහන්සේ දෙවන හමුවීමේ දී ම සිදු විය. පස්වග තවුසන් රහත් භාවයට පත්වූයේ අනාත්ම ස්වභාවය අවබෝධකර ගැනීමෙනි. එසේ ම උරුවෙල කාශ්‍යප ආදි ජටිලයන් දමනය කිරීමෙන් පසුව ඔවුන් පිළිගත් ආත්මවාදි අදහස් දුරුකිරීමට ආදිත්තපරියාය සූත්‍රයේ එන අනාත්මවාදී කරුණු ප්‍රකාශ කිරීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේගේ උත්සාහය වූයේ සත්ත්වයා ආත්මවාදී දෘෂ්ටියෙන් මුදා ගැනීම බව පෙනේ. උපනිෂද් චින්තකයින් හෝ ජෛන ,සාංඛ්‍ය චින්තකයින් හෝ ආත්මයක් ඇතැයි සලකා ඇත්තේ කුමක් පදනම් කරගෙන ද යන්න සමනුපස්සනා සූත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. “මහණෙනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් ආකාරයෙන් ආත්මය දකින්නේ නම් , ඒ සියල්ල පඤ්ච උපාදානස්කන්ධය හෝ ඉන් එක්තරා ස්කන්ධයක් සේ අනුසාරයෙන් ම දකී. “ඍග්වේදයේ සිට උපනිෂද් යුගය දක්වාත් බටහිර ලෝකයේ ප්ලේටෝ සිට දේකාත් දක්වාත් , ආත්මවාදි අදහසක් ප්‍රකාශ කර ඇත්නම් ඒ සියල්ලක් පුද්ගලයා සම්බන්ධව ඔහු ඇසුරු කරමින් හෝ ඔහුගේ මනස හදවත, ප්‍රාණය , හුස්ම සහ නොපෙනෙන සිරුර සමඟ ආබද්ධ ශක්තියක් සම්බන්ධ කරමින් විග්‍රහ කර ඇත. මේ නිසාම බුදුරජාණන් වහන්සේ ආත්මය පඤ්චස්කන්ධය අනුසාරයෙන්ම දකින බව පැහැදිලි කර ඇත. පඤ්ච ස්කන්ධය යනු පුද්ගල සම්මුති නාමය ඇති කරන අවයව පසයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර , විඤ්ඤාණ යනුවෙන් එවා හඳුන්වා ඇත. මේ එකක් එකක් අවයව හෝ පුද්ගලයා යන එහි සමස්තය හෝ වෙනස් නොවන, සදාකල්හි පවතින අවිච්ඡින්න දෙයක් ලෙසට නො ගත යුතු බව අනාත්ම ලක්ඛණ සූත්‍රයෙහි පෙන්වා දී ඇත. “මහණෙනි, රූපය ආත්මය නොවේ. යම් හෙයකින් මේ රූපය ආත්මය වී නම් රූපය ආබාධ පිණිස නොවන්නේ ය. මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නොවේවා යනුවෙන් අපේක්ෂා කළ හැකි වෙයි. මහණෙනි යම් හෙයකින් රූපය ආත්මය නොවේද, ඒ හේතුවෙන් රූපය ආබාධ පිණිස පවතියි. මාගේ රූපය මෙසේ වේවා, මෙසේ නොවේවා යනු රූපයෙන් අපේක්ෂා කළ නොහැකි ය.” මේ ආකාරයට අනෙකුත් ස්කන්ධයන් ද ආත්මයක් ලෙසට ගත නොහැකි බව පෙන්වයි. මින් අදහස් වන්නේ යමක් තමාට පාලනය කළ නොහැකි නම්, විවිධ පීඩාවන්ට සහ අපහසුතාවයන්ට තමාගේ අකැමැත්තෙන් පත්වේ නම් , ස්වකීය අභිමතය ඉක්මවා යයි නම් එය ආත්මීය වශයෙන් ගත නොහැකි බව අවධාරණය කරයි. අනාත්ම ලක්ඛණ සුත්‍රයෙන් පඤ්චස්කන්ධය ම තමාට අයත් දෙයක් නොවන බව පෙන්වයි. “මහණෙනි, යමක් අනිත්‍ය ද , දුකද , පෙරළෙන ස්වභාවය ඇත්තේ ද , එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මය වේ යනුවෙන් ගැනීම සුදුසු වේද? නැත ස්වාමීනි” යනුවෙන් භික්ෂූන්ගේ පිළිතුර විය. මෙහි පෙන්වන හරය නම් පුද්ගලයා යැයි සලකන ස්කන්ධ පහම තමාට පාලනය කළ නොහැකි නිසාත් ආබාධ මෙන්ම දිරාපත් වීම් වලට නිරතුරුවම ලක් වන නිසාත්, නිත්‍ය ශක්තියක් නොවන නිසාත් බලයක් ලෙසට සාරයක් ලෙසට ගත නොහැකි නිසාත් ආත්මයක් නැති ස්වභාවයක් ගන්නා බව අවධාරණය කරයි.
සච්චක සූත්‍රය ද අනාත්මවාදී අදහස් ප්‍රකට කරන සූත්‍රයකි. පඤ්චස්කන්ධයම ආත්මය බව සච්චක ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ පෙරළා ප්‍රශ්න කරමින් පඤ්චස්කන්ධය තම ආධිපත්‍යය තුළ ක්‍රියාත්මක වන දෙයක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේම පඤ්චස්කන්ධයම එකිනෙක ගනිමින් මහාභූත නියෝජනය වන රූප එනම්,ඔලාරික කය නොවෙනස්ව තබා ගත හැකි ද යන්න ප්‍රශ්න කරන ලදී. දෙවන ප්‍රශ්නය ලෙසට එම වෙනස සුවදායක ද ? දුක්ඛදායක ද? යන්න ප්‍රශ්න කරන ලදී. තුන්වන ප්‍රශ්නය ලෙසට වෙනස් වන, දුක්ඛ වශයෙන් පවතින යමක් මගේය, මම වෙමි, මේ මාගේ ආත්මයයි සැලකිය හැකිද යන්න ප්‍රශ්න කරන ලදී. එහි දී සච්චක තැන යනුවෙන් පිළිතුරු දී ඇත. මේ ප්‍රශ්න තුන ආත්මවාදි පිළිගැනීම නැති කරයි. යමක් වෙනස් වේ නම්, තිබුණු දෙයින් අන්‍ය බවට පත්වේ නම් ඒ තුළ ආත්මීය ලක්ෂණයක් නො මැති බවයි. එසේම වෙනස් වීම කරණකොටගෙන තම පාලනය ඉක්මවා ගිය දුක්ඛා දි අත්දැකීමක් ලබා දෙයි නම් ඒ තුළද ආත්මීය ලක්ෂණයක් ප්‍රකට නොවන බවයි. උදාන පාලියේ මේඝිය සුත්‍රයේ දක්වන අන්දමට අනාත්මවාදය ඇති වන්නේ අනිත්‍යතාවාදය මත බව දක්වා ඇත. සකස් වූ වස්තුන්ගේ ලක්ෂණය වෙනස් වීමයි. එහිදී වෙනස් නොවන අස්තිත්වයක් දැකිය නොහැකි හැකි ය. ආදිත්තපරියාය සූත්‍රයේ හි මනෝ ධර්ම සියල්ලක් දැවෙන දේවල් ලෙසට අර්ථ ගන්වා ඇත. දැවීම යනු විනාශ යයි. තිබුණු දෙයින් වෙනස් තත්වයකට පත්වීමයි. මේ මනෝ භාවයන්ගේ නිත්‍ය ස්වභාවයක් නැත. මේ නිසාම ආත්මීය තත්ත්වයකින් සැලකිය නොහැකි බව පෙන්වයි.
සත්ත්වයා තුළ ආත්මයක් ඇතැයි යන හැඟීම තිබෙන තුරු කෙනෙකුට නිවන් ලැබීමට නොහැකි ය. එයට හේතුව පඤ්චස්කන්ධය නිත්‍ය සදාතනික සදාචාරාත්මක පිරිසුදු දෙයක් ලෙසට විශ්වාස කරමින් මුළාවට පත්ව ඇති නිසා ය. ආත්මය පිරිසිදු නම් එයින් අපිරිසුදු ක්‍රියා සිදුවන්නේ කෙසේද යන තර්ක ඇති වීම වැළැක්විය නොහැකිය. මේ නිසා ආත්මවාදියාට නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදාව හඳුනා ගැනීමට අපහසු වේ. මේ සඳහා අනාත්ම සංකල්පය ප්‍රතිපදාවක් ලෙසට ප්‍රගුණ කළ යුතුව ඇත. ත්‍රි ශික්ෂණයක් හඳුන්වා දී ඇත්තේ මේ සඳහා ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය

සංසාරයෙන් එතෙරවීම පිණිස ඇසුරු කළ යුතු සීල විසුද්ධියේ සිට කංඛා විතරණ විසුද්ධිය දක්වා ඉදිරියට පැමිණ සිටිමු. අපි දැන් මුහුණ දී තිබෙන්නේ ලෝකය හා සත්වයා ගැන නියම තතු දැනගෙන, සසර දුකින් එතෙර වී යාමට කළ යුතු වැඩ පිළිවෙළ ඇරඹීමට යා යුතු මග විමසා බැලීමට යි. එහෙත් තවමත් යා යුතු මග, නොයා යුතු මඟ කුමක් දැයි නොදනී. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය ගැන විමසීමෙන් වැඩිදුරටත් ඒ ගැන දැනීමක් ලබාගත හැකි යි. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යනු මේ මඟ ය. මේ නොමග යැයි දැනගෙන නොමගින් වෙන් වී, නොරැවටී ඤාණය ලැබ පිරිසිදුවීමයි. එය වඩාත් පැහැදිලි ව තේරුම් ගැනීමට පාඨකයාට පහසු වන අයුරින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් මෙම ලිපිය ආරම්භ කරනු ලැබේ.
01.පරමාර්ථ වශයෙන් සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් යයි ගත හැකි කිසිවක් තිබේ ද? නැත.
02.එසේ නම් ඇත්තේ කුමක්ද? නාමය හා රූප මාත්‍රය පමණි.
03.නාමය හා රූපය කෙබඳු දෙයක්ද? දුක් රැසකි.
04.එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහි ද? දුක්ඛ සත්‍යයෙහිය
05.එසේ අවබෝධ කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ව්ිට්ඨී විසුද්ධි වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් පිරිසුදු වීමයි.
06.දුක් රැසක් වන නාම රූප ඇති කරන්නේ කවරෙක්ද? ඒවා දෙවියකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ඇති කරනු ලබන්නක් නොවේ. ඉබේ ඇති වන්නක්ද නොවේ. ඒවා ඇති වන්නේ හේතු ප්‍රත්‍යය වශයෙනි.
07. එසේ නම් ඒවා සංග්‍රහ විය යුත්තේ කොහිද? දුක්ඛ සමුදය සත්‍යයෙහි ය.
08.එසේ අවබෝධ වීමෙන් ලැබෙන විසුද්ධිය කුමක්ද? කංඛා විතරණ විසුද්ධියයි.
09.කාම – රූප – අරූප යන භවත්‍රයෙ ඇති පොදු ලක්ෂණය කුමක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්‍රිලක්ෂණයයි.
10. සියලු සංස්කාරයන් සදාකාලික නොවී, ඇතිව නැති වී යාම නිසා ඇතිවන ප්‍රතිඵල මොනවාද? බිය හා දුක ඇති වෙයි.
11.සියලු සංස්කාරයන් අනාත්ම වශයෙන් සැලකීමට ඇති හේතු මොනවාද? (අ) තමන්ගේ වසඟයෙහි පවත්වා ගත නො හැකිවීම (ආ) ආත්මය වශයෙන් ගත හැකි කිසිවක් නැතිවීම
12.රූප ස්කන්ධය ඇතිවන්නේ කුමක් හේතු කොටගෙන ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් හේතු කොට ගෙන ය.
13.රූපස්කන්ධය නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආහාර යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි
14.වේදනා , සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් ඇතිවන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම හා ස්පර්ශ හේතු කොට ගෙන ය.
15.වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් නිරුද්ධ වන්නේ කෙසේද? අවිද්‍යා, තෘෂ්ණා කර්ම හා ස්පර්ශ යන ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙනි.
16.අවිද්‍යා, තෘෂ්ණා කර්ම , නාමරූප යන ප්‍රත්‍යයන් හේතු කොටගෙන ඇති වන්නේ කුමක් ද? විඤ්ඤාණ ස්කන්ධය ඇති වෙයි.
17.විඤ්ඤාණ ස්කන්ධය නැති වන්නේ කෙසේ ද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නාමරූප යන මේවා නිරුද්ධ වීමෙනි.
18.සියලු සංස්කාර ධර්මයන් විදර්ශනා කරන යෝගාවචරයාට ප්‍රතීත්‍ය සමුප්පාද ලක්ෂණයන් ප්‍රකට ව වැටහීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?
“මේ සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යය බලයෙන් ඉපිද නිරුද්ධ වෙතැයි සියලු සංස්කාර ධර්මයන් නිතරම අලුතින් උපදින්නවුන් සේ වැටහෙයි. එසේම මේ සංස්කාර හිරු උදාවෙහි පිනිබිදු මෙන්ද, දිය බුබුලක් මෙන්ද, දියෙහි ඇඳී ඉරක් මෙන්ද, මිරිගු දියක් මෙන්ද, සිහිනෙන් දුටු දෙයක් මෙන්ද, ගිනි පෙනෙලි චක්‍රයක් මෙන්ද, පෙණ පිඩක් මෙන්ද, කෙසෙල් කඳක් මෙන්ද නිස්සාර වශයෙන් වැටහෙයි. මෙසේ ඇතිවීම නැතිවීම ප්‍රතිවේධ කොටගත් තැනැත්තාට උදය ව්‍යය ඤාණය නමැති ප්‍රථම තරුණ විදර්ශනා ඤාණය ඇති වෙයි. මේ උදය ව්‍යය ඥානය උපන් තැන් පටන් ඒ යෝගාවචරයා පටන් ගත් විදර්ශනා භාවනා ඇත්තෙකැයි කියනු ලැබේ.
19.විදර්ශනා උපක්ලේශ උපදින්නේ කවරකුට ද?
උදය ව්‍යය අනුපස්සනා වශයෙන් පටන්ගත් විදර්ශනා භාවනා ඇති තරුණ විදර්ශකයාටය.
20. විදර්ශනෝපක්ලේශ කොපමණ තිබේද? 10 කි.
21.ඒ විදර්ශනෝපක්ලේශ 10 මොනවාද?
ඕභාසෝ පීති පස්සද්ධි
අධි මෝක්ඛෝ ච පග්ගහෝ
සුඛං ඤාණඋපට්ඨාන
උපෙක්ඛාච නිකන්තිච
22. ඒ එක් එක් කරුණ කෙටියෙන් හඳුන්වන්න
1.ඕභාස – විදර්ශකයාගේ ශරීරයෙන් නිකුත්වන ආලෝකය
2.පීති – ඛුද්දික, ඛණික, ඔක්කන්තික.උබ්බේග, ඵරණ යන පස්වණක් පී‍්‍රතීන් වශයෙන් හැඳින්වෙන යෝගාවචරයාගේ ශරීරය පිනවමින් උපදින පී‍්‍රතිය
3.පස්සද්ධි – යෝගාවචරයාගේ චිත්ත චෛතසිකයන් සන්සිඳුවමින් ඇතිවන සැහැල්ලු බව
4.අධිමොක්ඛ – චිත්ත චෛතසිකයන් තුළ ඇතිවන බලවත් ශ්‍රද්ධාව
5.පග්ගහය :– පටන් ගන්නා ලද බලවත් වීර්යය
6.සුඛය – යෝගාවචරයාගේ සියළඟ උල්පවමින් උපදින විදර්ශනා සැපය
7.ඤාණය – ප්‍රඥාව, ඒ ඒ පදාර්ථයන් තියුණුව වැටහෙන ශක්තිය
8.උපට්ඨානය – සිහිය, සර්වාකාරයෙන් දිවැසින් බලන්නකුට මෙන් ඉතා පිරිසිදුව වැටහීම .
9.නිකන්තිය – ඕභාසය ආදි කොට ඇති නවය කෙරෙහි දස වැනිව උපදින ආලය එය අකුසල සහගත ය. එබැවින් උපක්ලේශයකි.
පෙර ලක්දිව තලගුරු නම් වෙහෙරෙහි ධම්මදින්න නම් සිව් පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේගේ ගුරු හිමියෝ උච්චවාලික විහාරවාසි මහා නාග නම් මහ තෙරණුවෝ ය. උන්වහන්සේ චිත්ත විසුද්ධිය ලෞකික ධ්‍යාන සමාපත්ති උපදවාගෙන, විදර්ශනා භාවනා කොට ඕභාසාදිය උපන් කල්හි එයින් පමණක් තෘප්තියට පැමිණ වාසය කළහ. ශිෂ්‍ය ධම්ම දින්න මහරහතන් වහන්සේ ඒ බව දැන, එක් දවසක් අහසට පැන නැගී තම ගුරුවරයා වෙසෙන උච්චාවාලික විහාරයට වැඩම කොට වත් පිළිවෙත් කොට, වැද අවසර ගෙන ප්‍රශ්න විමසූහ. ගුරු හිමියෝ ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්හ. ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේ” ස්වාමීනි, ඔබ වහන්සේගේ ප්‍රඥාව අතිශයින් .තියුණු ය. ඔබ වහන්සේට ඍද්ධි ප්‍රතිහාර්ය දැක්විය හැකි දැයි ඇසූහ.” බැරි නැතැයි ගුරුවරයාගේ පිළිතුරු විය,”ස්වාමීනි, එසේ නම් එක් ඇතෙකු මවනු මැනවැයි ඇරයුම් කළහ. ගුරු හිමියෝද සුදු ඇතකු මැවූහ. “ස්වාමීනි මේ ඇතා කන් දෙක කෙලින් කරගෙන, නගුට ඔසවා ගෙන හොඬය හකුළා ගෙන, බිහිසුණුූ කුඤ්ච නාද කරමින් තමන් වහන්සේ වෙත දිවගෙන එන්නැ’යි අධිෂ්ඨාන කරන ලෙස ආරාධනා කළහ. ගුරු හිමියෝ එසේ අධිෂ්ඨාන කොට, තමන් වහන්සේ වෙත වේගයෙන් දිව එන සුදු ඇත් රුව දැක, බිය වී දුවන්නට පටන් ගත්හ. එවිට ධම්මදින්න රහතන් වහ්සේ”ස්වාමීනි, ඇයි දුවන්නේ? රහතුන්ට බිය කොයින් දැයි කියා නතර කළහ. මහානාග මහ තෙරුණුවෝ එම සිද්ධියෙන් තමන් වහන්සේ පුහුදුන් බව දැනගෙන තම ශිෂ්‍ය ධම්මදින්න රහතන් වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කොට පසුව රහතන් වූහ.
මේ අන්දමින් යෝගාවචරයා රැවටී අමාර්ගගාමි වන නිසා ඕභාස පීති ආදිය උපක්ලේශ ගණයට වැටේ. එහෙත් දක්ෂ බුද්ධිමත් යෝගාවචරයා, දස වැනි නිකන්තියද උපදා ගෙන, මාර්ගය ද වරදවා නොගෙන, නිකන්තිය ස්වභාවයෙන්ම අන්තරායකර ධර්මයක් බවත්, ඕභාස ආදිය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම ලක්ෂණයෙන් යුත් පටිච්ච සමුප්පන්න ධර්ම බවත් මැනවින් තේරුම්ගෙන නියම මඟ නම් විදර්ශනා වීථියට පිළිපන් විදර්ශනා ඥානය ම වේ යයි අවබෝධ කරගනී.
මෙසේ මාර්ගයත්, අමාර්ගයත් තේරුම් ගෙන අමාර්ගයෙන් වෙන් වී මාර්ගයට යොමු වී සිටි ඤාණය පිරිසිදු වූ හෙයින් මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නමින් සැලකෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කිසිවෙකු හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂ
ත්‍රිපිටක විශාරද, 
ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි

" යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි."
බුදුරජාණන් වහන්සේට පමණක් ඇති අන් කිසිම සත්වයෙකුට නොමැති, අන්‍ය සියලු ශ්‍රාවකයන්ගේ ඤාණයන් හා සාධාරණ නොවූ ඤාණ හයක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඒවා ෂඩ් අසාධාරණ ඤාණ නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිම කෙනෙකුට නොමැති මේ නුවණ සය, කිසිවෙකුට සාධාරණ නොවූ ඤාණ හයක් වූ බව වෑත්තෑවේ හිමියන් ද,
“කිසිවෙකු හටත් නැති 
මුනිඳුට සනුවණෙක් ඇති 
මෙලොව සැමටම ඇති 
වාසනා ගුණ කිසිවෙකුත් නැති”

යැයි දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ තුළ ඇති ඤාණ ශක්තිය අනෙක් සියලුම ඤාණයන් පරදවා ජය ගැනීමට සමත් ය. උන්වහන්සේගේ නුවණ සංඛත අසංඛත සියලු ධර්මයන් විෂයෙහි විනිවිද ගෙන පැතිර පවතී. එබඳු ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ඤාණයන් ස්වල්ප වශයෙන් නමුත් සිහි කිරීම බෞද්ධ අප කාහට වුවද ප්‍රයෝජනවත් වේ. බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ ය.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය 
ආසයානුසය ඤාණය 
යමක පටිහාරිය ඤාණය 
මහා කරුණා සමාපත්ති ඤාණය 
සබ්බඤ්ඤුත ඤාණය 
අනාවරණ ඤාණය යනුයි.

ෂඩ් අසාධාරණ ඤාණයන්ගෙන් පළමුවැන්න ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයයි. මෙහි ඉන්ද්‍රියෝ නම් ලෝකවාසී සත්වයන් තුළ පවතින ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන මේ ධර්ම පහයි. (වෙනත් ස්ථාන වලදී ඉන්ද්‍රිය නාමයෙන් චක්ඛු, සොතාදිය දක්වා ඇතත් මෙහි ඉන්ද්‍රිය වශයෙන් ගෙන ඇත්තේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ය.) මේ ඉඳුරන් කොතෙක් දුරට මෝරා තිබේද? ශ්‍රද්ධාදී මේ ඉන්ද්‍රිය ධර්ම මොහුට මෙතෙක් වැඩිය. මෙතෙක් අඩුය. යනාදී වශයෙන් හැම සතුන්ගේ උස් මිටිකම් දැන ගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය මෙහෙයවා බැලීමෙනි. මේ ඤාණය මගින් මඳ කෙලෙස් ඇතියන් ද, බහුල කෙලෙස් ඇතියන් ද මාර්ග ඵලාවබෝධය කළ හැකි පුද්ගලයන් ද නොකළ හැකි පුද්ගලයන් ද, විවිධ දෘෂ්ටීන්හි වෙළුණු ඒ ඒ සත්ත්වයන්ගේ කර්ම විපාක, ක්ලේෂාවරණයන්ගේ තත්ත්වය යනාදිය ද මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය මෙහෙයවා උන්වහන්සේ දැන වදාරති.
ආසයානුසය ඤාණය නම් නිවන් අවබෝධයට සුදුසු සත්ත්වයන්ගෙන් ආසය, අනුසය පවත්නා හැටි විමසා බලන නුවණයි. මෙහි ආසය නම් සිත් සතන්හි නිතර එක්රැස්ව පවතින, නවතින තැනයි. ශාස්වත උචේඡදාදී විවිධ දෘෂ්ටීන් ද, කාම, ව්‍යාපාද, ථීන මිද්ධාදියද, සම්‍යග් දෘෂ්ටික අදහස් වූ නෙක්ඛම්මාදී අදහස් ද, සත්ත්වයන්ගේ සිත් සතන්හි බෙහෙවින් ඇලුන, ලැගුණ අදහස්ය යන තේරුමෙන් ආශය යයි කියනු ලැබේ.
අනුසය නම් අනුරූප කාරණයක් ලැබ ඉපිද මතු මත්තෙහි ලුහු බඳිමින් ශක්තිමත් බවට පැමිණ, අවස්ථා පැමිණි කල්හි, සුදුසු අරමුණක් ලත් කල්හි නැවත නැවත ඉපදීමට සුදුසු අකුසල ධර්මයෝයි. අනුසය ධර්ම හතෙකි. කාමරාග, භවරාග, පටිඝ මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා වශයෙනි. සත්වයන් තුළ පවතින ආශය චරිත ගතිගුණ අධිමුක්ති ආදියත් මේ අනුසය අවස්ථාවනුත් බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිවෙකුට තත්ත්වාකාරයෙන් විමසා බැලිය නොහැකිය. බුදු ඇසින් මේ ආසය, අනුසය විමසා දැනගන්නා නුවණ අන් අයට නැති නිසා අසායානුසය ඤාණය අසාධාරණ ඤාණයක් වේ.
යමක පාටිහාරිය ඤාණය නම් යමාමහ පෙළහර පෑමේදී උදව් කරගන්නා නුවණයි. ප්‍රාතිහාර්යයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධ වේ. නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි පාටිහාරයයි. සිත් සතන් පවතින හැටි මේ යැයි කියා පෑම ආදේශනා ප්‍රාතිහාර්යය යි. අවවාද අනුශාසනා ස්වරූප වූ ධර්ම දේශනා පැවැත්වීමෙන් හා සීල, සමාධි, ප්‍රඥා යන පිරිසුදු ප්‍රතිපත්තීන් ආදර්ශයෙන් ද පෙන්වා උපදෙස් දීම අනුශාසනා ප්‍රාතිහාර්ය යයි. යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි. මෙසේ යමක පාටිහාරිය දැක්වීමේදී එක්වර ස්ථාන දෙකකින් ක්‍රියා දෙකක් කිරීමේ නුවණ ශ්‍රාවකයින්ට අසාධාරණ බුදුරජාණන් වහන්සේට ම සාධාරණ වූ නිසා අසාධාරණ ඤාණයක් වේ.
මහා කරුණා සමාපත්ති ඤාණය නම් දුකට පත් සත්වයන් ගැන මහා කරුණාව උපදවා ඒ දුකින් මුදවා ගන්නා නුවණයි. බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියට සමවැද, සැම සතුන් දුකින් මුදාලන්නට සිතා බලන සේක. එසේ බලන විට සත්ත්වයා රාගාදී ගිනි වලින් ද, පීඩා ලබමින් දුක්වලට භාජනය වී ඇතැයි දකින බුදුරජාණන් වහන්සේට ඒ සත්වයින් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. එවිට උන්වහන්සේට මම මේ සියලු දුකින් මිදුනෙමි. ඒ නිසා මම මේ සත්ත්වයින් සියලු සසර දුකින් මුදවාලන්නට සමර්ථ වෙමියි දකින බුදුරජාණන් වහන්සේට සත්වයින් කෙරෙහි මහා කරුණාව ඇති වෙයි. මෙසේ සත්වයින් කෙරෙහි තත්වය දැන ඇතිවන මහා කරුණාව මහා කරුණා සමාපත්ති ඤාණය නම් වේ.
සබ්බඤ්ඤුත ඤාණය නම් සංඛත – අසංඛත, සම්මුති – පරමාර්ථාදී දත යුතුතාක් සියලු දේ දැනගන්නා නුවණයි. බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබ අධිෂ්ඨාන කෙළේ ද, සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරවමි යන අධිෂ්ඨානයයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දසපාරමී සම්පූර්ණ කෙළේ ද මේ සබ්බඤ්ඤුත ඤාණය ලැබීම සඳහායි. පිරූ පාරමී බලයෙන් අර්හත් මාර්ග ඤාණය සමඟම සවාසනා සකල ක්ලේශයන් දුරුකොට සව්නේ දත් නුවණ හෙවත් සර්වඥතා ඤාණය අවබෝධ කරගත් සේක. ලෝකයේ දතයුතු යම් පමණ දෙයක් ඇත්නම් එපමණටම බුදු නුවණ ද ඇත. බුදු නුවණ යම් පමණ ද දත යුතු දෙය ද එපමණය. බුදු නුවණ දත යුතු දෙය කෙළවර කොට ඇත්තේ ය. දත යුතු දෙය බුදු නුවණ කෙළවරකොට ඇත්තේ ය. මෙයට සබ්බඤ්ඤුත ඤාණයයි කියනු ලැබේ. නව අරහාදී බුදු ගුණයන් අතරෙහි සම්මා සම්බුද්ධ පදයෙන් දැක්වූයේ ද මේ සර්වඥතා ඤාණයමයි. සියල්ල දන්නා බව සබ්බඤ්ඤුතායි. ඒ සඳහා පහළවන නුවණ සබ්බඤ්ඤුත ඤාණයයි.
මේ සර්වඥතා ඤාණය හා අනාවරණ ඤාණය ද නම් වශයෙන් දෙකක් වුවද, අවස්ථා වශයෙන් බලන විට එකක් කොට සලකනු ලැබේ. සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන් නිරවශේෂයෙන් අවබෝධ කිරීම සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණය ඤාණයයි. අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය පිළිබඳ සියල්ල දැනීම සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණ ඤාණයයි.
මේ කරුණු අනුව බුදුරජාණන් වහන්සේගේ නුවණ සැම දෙයක් ම, සෑම අයුරකින්ම විනිවිද දකින්නට බලන්නට කොතරම් හැකියාවක් ඇද්දැයි පැහැදිලි වෙයි. මේ දැක්වූ බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ අන්‍යයන්ට සාධාරණ නොවූ ෂඩ් අසාධාරණ ඤාණයන් පිළිබඳ තොරතුරු විමසා දැනගැනීම අපේ ශ්‍රද්ධා ගෞරවය ආරක්ෂා වීමට මෙන්ම, බුදුගුණ හඳුනාගැනීමටත් බෙහෙවින් ඉවහල් වේ. බුදුගුණ නිසි සේ දැන හඳුනා ගැනීම බුද්ධානුස්සති භාවනාව දියුණු කරගැනීමට ද බෙහෙවින් ඉවහල් වේ. එම නිසා බොදුනුවන් විසින් තව තවත් මෙබඳු බුද්ධ ඥාණයන් පිළිබඳව දැන, ඉගෙන තම ධර්ම ඥාණය වඩ වඩාත් දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස කරුණාවෙන් මතක් කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපද්‍රව උපදින්නේ කාටද?

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

"මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි."
බට දඬුවලින් හෝ තණ කරලින් කරන ලද ගෙයක් ගිනි ඇවිළෙන්නේ ද එය බිය ගෙන දෙන්නේය. ඇතුළත හා පිටත හුනු පිරියම් කරන ලද, වැළක් වූ සුළඟ ඇති, අගුල් දැමූ, වැසූ කවුළුදොර ඇති කූඨාගාරයක් යම් සේ දැවෙන්නේ ද එය බිය ගෙන දෙන්නේ ය.
ඒ ආකාරයෙන් යම් බියක් උපදින්නේ නම් ඒ භිතීන් සියල්ල බාලයා නිසා ම උපදින්නේය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය. යම් උපද්‍රවයක් වේ නම් ඒ හැම උපද්‍රවයක් ම බාලයා නිසා උපදින්නේ ය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය.” යැයි තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගයේ දී දේශනා කොට වදාළහ.

“යානි කානි චි භික්ඛවේ භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතො යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති. සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝ යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති. සබ්බේතේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝති”.
මේ අනුව බාල පුද්ගලයාගේ ස්වභාවය, ඔහු හෝ ඇය නිසා සිදුවන විපත්තීන් පිළිබඳ මෙහි විස්තර කෙරෙයි. එහි පණ්ඩිතයා එනම් නුවණ ඇති තැනැත්තාගේ යහපත් බව මතු කරයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් බියක්, උපද්‍රවයක්, විපතක් වේ නම් ඒ හැම බාලයා නිසාම හට ගන්නා බවයි. බාල, අඥාන අසද්පුරුෂයන් සමාජයට කෙතරම් හානි ගෙන දෙන්නේ ද යන්න ඉන් පැහැදිලි වෙයි.
තථාගත බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල ස්වභාවය තවදුරටත් විස්තර කර පෙන්වා දෙන්නේ බාලයා බිය සහිත බවය. පණ්ඩිතයා බිය සහිත නොවන බවය. බාලයා උපද්‍රව සහිත බවය. පණ්ඩිතයා උපද්‍රව සහිත නොවන බවය. බාලයා විපත් සහිත බවය. පණ්ඩිතයා උපද්‍රවයක් සහිත නොවන බවය.
මුලින් දැක් වූ උපමාව ගළපා බලන්න. බට දඬුවලින් හෝ තෘණවලින් කරන ලද ගෙයක් ගිනි ඇවිල ගත්තේ නම් එහි දොරගුළු වසා ඇත්තේ නම් කුමක් සිදුවන්නේද? ගෙය පමණක් නොව එහි ඇති සියලු වස්තූන් ද, ඇතුළත සිටින්නා වූ පිරිස ද ගින්නට හසුවනු ඇත. එය මහත් වූ බියකි. මහත් වූ උපද්‍රවයකි. මහත් වූ විපතකි. එමෙන් ම බාල හෙවත් අඥාන පුද්ගලයා නිසා ස්ථානය, පරිසරය පමණක් නොව ඇසුරු කරන ලද පිරිසද මහත් වූ බියට උපද්‍රවයන්ට හා විපත්වලට මුහුණ දෙන්නට සිදුවේ. ගෘහස්ථ පරිසරයක අඥාන පුද්ගලයන් නිසා අපමණ විපත් සිදුවේ. මවුපියන්ට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, හිත මිතුරන්ට ආදී හැමට විපත්තිකරය. පැවිදි පරිසරයක ද අඥාන පැවිද්දෙක් මුළු ශාසනයට ම මහත් වූ විපත් ගෙනදෙනු ඇත. එහෙයින් බාලයාත්, පණ්ඩිතයාත් හඳුනා ගැනීම ඉතා වැදගත්ය.
තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ
“ කම්මලක්ඛනෝ භික්ඛවේ බාලෝ, කම්මලක්ඛනෝ පණ්ඩිතෝ, අපදානසොභිනී පඤ්ඤාති”
බාලතෙමේ කර්මය ලකුණු කොට ඇතිසේය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනීය.
මෙහි දී බාලයාගේ සහ පණ්ඩිත තැනැත්තාගේ කර්ම ලක්ෂණ ලෙස දැක්වූයේ කුමක් ද? බාලයා කර්ම තුනකින් සමන්විතය. එනම් කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය. මනෝ දුශ්චරිතය පණ්ඩිතයා ද ධර්ම තුනකින් සමන්විතය. එනම් කාය සුචරිතයෙන් ද, වාග් සුචරිතයෙන් ද, මනෝ සුචරිතයෙන් ද යුතු වන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඉහත දේශනා කළ ධර්ම කොට්ඨාසයේ ඉතාමත් අගනා දහම් පෙළක් ඇත. “අපදාන සෝහිනී පඤ්ඤා” යනුවෙනි. එනම් ප්‍රඥාව චරිතාපදානයෙන් පෙන්වන්නේය යන්නයි. බාල පුද්ගලයා යනු හොඳ නරක හෝ කුසල් අකුසල් තේරුම් ගන්නට තරම් නුවණක් නැත්තාය. එසේ නොමැති නම් පාපී සිතිවිලි නිසා යහපත මඟහැර සිටින්නාය. අයහපතට ම, පාපයට ම, අකුසලයට ම, යොමුවන තැනැත්තාය.
බාලයාගේ ලක්ෂණ ලෙස දැක් වූ ත්‍රිවිධ දුශ්චරිතය තරමක් විමසා බලමු. තථාගත බුදුරජාණන් වහන්සේ බාලයාගේ තුන් ආකාර ස්වභාවයක් පෙන්වා දෙති. බාලා භිඥානනෝ, බාල නිමිත්තෝ, බාල චරිතයෝ තුන්දෙනෙකි. ඒ තුන්දෙනා කවරෙක් ද? මේ ලෝකයෙහි බාල පුද්ගලයා නපුරු සිතිවිලිවලින් යුතුවේ.
“බාලෝ දුච්චින්තිත චින්ති ච හෝති – නපුරු වචන කතා කරනුයේ වෙයි. දුබ්භාසිතහාසි - නපුරු ක්‍රියා කරනුයේ ද වෙයි. දුක්කතකම්මකාරි – බාලයා නපුරු සිතිවිලි සිතන්නේ. නපුරු දේවල් කතා කරන්නේ, නපුරුකම් කරන්නේද, පණ්ඩිතයන් විසින් මේ බාලයෙක්ය අසද්පුරුෂයෙක් යනුවෙන් ඒ පිරිස හඳුනාගන්නාහ. මෙම ලක්ෂණ බාලයාගේ බාල ලක්ෂණ වෙති. බාල නිමිති වෙති. බාලාපදාන වෙති.
පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණ පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුන් ආකාරය. පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි සිතන්නේ වෙයි. “පණ්ඩිතෝ සුචින්තිත චින්තී ව හෝති – යහපත් දේ පවසන්නේ වෙයි. සුභාසිතභාසි - යහපත් දේම කරන්නේවෙයි. සුඛතකම්මකාරි – යම් හෙයින් පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි නොසිතන්නේ නම්, මනා වූ වචන නොපවසන්නේ නම් මනා වූ කර්ම නොකරන්නේ නම්, පණ්ඩිතයන් විසින් මම පණ්ඩිතයෙක්ය. සද්පුරුෂයෙක්ය යනුවෙන් කෙසේ හඳුනා ගනීද? යහපත් සිතිවිලි සිතන නිසාම, කර්ම කරන නිසාම, පණ්ඩිතයෝ මේ සද්පුරුෂයකැයි පණ්ඩිතයෙකැයි හඳුනා ගනිති. මේ පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණයෝ ය. පණ්ඩිත නිමිත්තයෝය. පණ්ඩිතාපදානයෝය.
එහෙයින් නුඹලා විසින් ම මේ බව දැන මෙසේ හික්මිය යුතුය. බාලයාගේ සහ පණ්ඩිත පුද්ගලයාගේ ගති ලක්ෂණ මැනවින් අවබෝධ කොටගෙන පණ්ඩිත ලක්ෂණම, පණ්ඩිත නිමිත්තම, පණ්ඩිත චරිතයම පුරුදු කිරීම පණ්ඩිත ලක්ෂණවල සද්පුරුෂ ලක්ෂණවල හික්මීම යනුවෙන් අදහස් කෙරේ.
බාල සහ පණ්ඩිත ලක්ෂණ අප විසින් අවබෝධ කොටගත යුත්තේය. පිරිස් අතර පටිඝයක් ලෙස ගැටීමට, බෙදීමට, අමනාපකම් ඇති කර ගැනීම හේතුවක් කර ගැනීමට නොවේ. තම චරිතයෙහි බාල ලක්ෂණ වෙත්නම් ඒවා බැහැර කරමින් පණ්ඩිත ලක්ෂණ පුරුදු කර ගැනීමටය. සද්පුරුෂයෙක් ලෙස අන් අය කෙරේ බාල ලක්ෂණ වෙත්නම් කාරුණිකව පෙන්වා දිය හැකිය. එනම් අවමන් කිරීමේ හෝ නිග්‍රහ කිරීමේ අදහසින් නොවේ. අවට ලෝකයාට ද කියමින් නුගුණ ලෙස පතුරවමින් විපත් කරන අදහසකින් නොවේ. ගුණබර අම්මා කෙනෙක් රටට ලෝකයට නොකියාම තම දරුවාගේ වරද, නිවැරදි කරන ආකාරයෙනි. එමෙන් ම තමා කෙරේ පණ්ඩිත ගති පවතින්නේ යැයි පවසමින් මද මානයන්ට ද පත්නොවිය යුතුය.
බාල ලක්ෂණ ඇති අය, අවංකව ඒවා තේරුම් ගෙන, තවදුරටත් ඒවා තම චරිතයෙහි පවත්වා නොගෙන පණ්ඩිත සහ සද්පුරුෂයන්ගේ ආශ්‍රය ද ඇතුව තමා නිවැරදි කරගත යුතුය. යම් බාලයෝ තම බාල ගති ලක්ෂණ, බාල ගති ලක්ෂණ ලෙස තේරුම් නොගන්නා අතර, වරෙක එම බාල ගති හා නිමිති නිවැරදි ලක්ෂණ ලෙස සිතන්න සහ පවසන්නට ද පුරුදු වී සිටිති. මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි.

කළ යුත්ත ගැන විමසා බලනු... චුල්ලහත්ථි පදෝපම සූත්‍රය.

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති, ධර්මවේදී,
නාලන්දේ විමලවංශ නාහිමි

'සමනා මයං මහා රාජ - ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගත ' 

ක්‍රි. පු. 253 දී දඹදිව ධර්මාශෝක පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ ලක්‌දිව 'මිහින්තලාවට ' වැඩම කළ බව 

ඉතිහාසයෙහි සඳහන් වෙයි. මිහින්තලය පුරාණයේ හඳුන්වා ඇත්තේ 'මිස්‌සක පරීබත ' යන නමිනි. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස මෙහි වැඩම කර කාලයක්‌ තිස්‌සේ වැඩ විසූ නිසා' මිහින්ද් - තලා ' ' මිහිඳු තලාව , මිහින් තලාව බවට පත්වී , වර්තමානයේ ' මිහින්තලේ ' යනුවෙන් භාවිත වන බව දැකිය හැක. මෙය ' ෙච්තිය පබ්බත ' යනුවෙන් ද හඳුන්වා ඇත. 'සුමන' සාමණේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සහ පාත්‍රා ධාතුව වැඩමවා ගෙන වුත් , මිහින්තලා පර්වතයේ තැන්පත් කළ බැවින් 'සෙයිගිරි', 'සෑගිරි' යන නම් ද භාවිතවී තිබෙන බව ,

'ඨපේසි ධාතුයෝ සබ්බා - ථෙරෝ තත්ථේව පබ්බතේ

මිස්‌සක පබ්බතං තස්‌මා - ආහු ෙච්තිය පබ්බතං' යනුවෙන් මහාවංසයේ ඒ බැව් සඳහන් වෙයි. මිහිඳු රහතන් වහන්සේගේ උපන් බිම වන්නේ උදේන රාජ්‍යයේ වර්තමානයේ සාංචිය නමින් හඳුන්වන ෙච්තියගිරි ප්‍රදේශයෙන් ය. ඒ අනුව මිහික්‌තලාව ෙච්තියගිරිය නමින් හැඳින් වූවා විය හැකි ය. ඇතැම් විට චෛත්‍යය කීපයක්‌ ගොඩ නංවා තිබෙන (ගිරි) 

කන්දක්‌ නිසා ෙච්තියගිරි නාමය ව්‍යවහාර වන්නට ද ඇත. මහාචාර්ය පරණවිතාන ශූරීන් විසින් සොයා ගත් , ක්‍රි. පූ. පළමු වන ශත වර්ෂයට අයත් , මිහින්තලා සෙල් ලිපියකින් මිහිඳු හිමියන් මිහින්තලාවට වැඩිය බව සනාථ වෙයි.

එදින පොසොන් පොහොය දිනයක්‌ විය. පෙර දිග රට වල රජවරුන්ගේ සිරිතට අනුව , ලක්‌දිව දෙවනපෑතිස්‌ රජ තුමා සතළිස්‌ දහසක්‌ සෙනඟ පිsරිවරා මිහින්තලා පව්ව ප්‍රදේශයට මුව දඩයම් කිරීම පිණිස ගියේය. සිදුවූ බලාපොරොත්තු රහිත සිදුවීමක්‌ නිසා රජ තුමාට දඩ ක්‍රීඩාව නතර කිරීමට සිඳු විය . පර්වතය මුදුනෙන් ' තිස්‌ස තිස්‌ස ' යන හඬ ඇසීමෙන් රජ තුමා මොහොතකට තිගැස්‌සී ගියේ ය. එය නම් මිනිසකුගේ හඬක්‌ නොවිය හැකියි. රජුගේ නම කියා ආමන්ත්‍රණය කළ හැකි කිසිවකුත් තම රාජ්‍යය තුළ නොමැති බව රජ තුමා හොඳින් දැනගෙන සිටියේය. පර්වතින් මුදුනෙහි කසාවතින් බැබලුන , තේජාන්විත , මෙයට පෙර දැක නොමැති පුද්ගලයකු දැකීමෙන් පසු , ඔබ දෙවියෙක්‌ ද? යක්‌ෂයෙක්‌ද'යි විමසූ රජ තුමාට මිහිඳු මහ රහතන් වහන්සේ ඉහත සඳහන් ගාථාව දේශනා කරමින් තමන් වහන්සේ ඇතුළු පිරිස හඳුන්වා දුන්හ.

එදා මිහිඳු හිමියන් දෙවන පෑතිස්‌ රජ තුමාට දේශනා කරන ලද චුල්ලහත්ථි 

පදෝපම සූත්‍රයට අන්තර් ගත කරුණු වර්තමානයට පමණක්‌ නොව , අනාගතයට ද එකසේ වැදගත් වෙයි.

ත්‍රිපිටකයට අයත් සූත්‍ර බොහෝ ගණනක්‌ තිබුණත් මෙම සූත්‍රයෙන්ම දහම් දෙසුවේ අද මෙන් නොව, එදා ලංකාව් වනාන්තර වල සුලභව ඇතුන් සිටිය නිසා විය හැකි ය. රජ තුමාට මංගල හස්‌ථි රාජයෙක්‌ සහ ඇත් හමුදාවක්‌ ද ඇත. ඇතා ජනතාවගේ ද ගෞරවය ආදරයට ලක්‌ වූ සතෙකි. එසේම අනෙක්‌ සතුන්ට වඩා විශාල පාසටහන් ඇතාට තිබෙයි. මෙම සියලු කරුණු සලකා ඇතකුගේ පාසටහන් උපමා කරමින් මිහිඳු හිමියන් දහම් දෙසන්නට ඇත. මෙම සූත්‍රයට අයත් වන්නේ ත්‍රිවිධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කරුණු රැසකි. බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජතුමාට ජානුස්‌සෝනි නම් පුරෝහිත බමුණෙක්‌ සිටියේ ය. මෙම බමුණා දිනක්‌ පෙරහරින් නරයේ සැරිසරන විට බුදුරදුන් හමුවට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටි 'පිලෝතික' පරිබ්‍රාජකයා මුණගැසී ආගිය තොරතුe විචාළේ ය. එවිට පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ බුදු ගුණයන් වර්ණනා කළේ ය. එලෙස අනන්ත බුදු ගුණ වර්ණනා කරන්නේ කුමක්‌නිසාදැයි ජානුස්‌සෝනි බමුණා ඇසූ විට පිලෝතික කරුණු පැහැදිළි කරමින් මෙසේ ප්‍රකාශ කළේ ය. 

ඇතුන් අල්ලන දක්‌ෂ පුද්ගලයකු වනාන්තරයකට ගොස්‌ , ඇතුන්ගේ විශාල පාද සටහන් දැක එම පාසටහන් විශාල හස්‌ථි රාජයාගේ ය'යි වටහා ගන්නාක්‌ මෙන් ' මම බුදුරජාණන් වහන්සේගේ ඤාණ පද හතරක්‌ දැක ගත්තෙමි. එනම් ඉතා ප්‍රසිද්ධ ක්‌ෂත්‍රිය පණ්‌ඩිතයෝත්, බ්‍රාහ්මණ පණ්‌ඩිතයෝත්, ගෘහපති පණ්‌ඩිතයෝත්, ශ්‍රමණ පණ්‌ඩිතයෝත් බුදුරදුන් හමුවී ප්‍රශ්න විචාරා, ඒවාට පිළිතුරු දීමට නොහැකි වුවහොත් ලඡ්ජාවට පත් කරමු'යි කථිකා කර ගෙන බුදුරදුන් හමුවට ගියත්, ප්‍රථම පිළිසඳර කථාවෙන්ම ඔවුන්ගේ පණ්‌ඩිතකම් සහ මාන්‍යය දුරුවී සිංහ රාජයෙක්‌ අබියස මුව පැටවුන්ගේ තත්ත්වයට පත්ව, තෙරුවන් සරණ ගොස්‌ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූහ. මෙම පුදුමය දැක මම ද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ධර්මය ස්‌වාක්‌ඛාත වන සේක. සුපටිපන්න වන සේක යනුවෙන් වටහා ගත්තෙමි.

මෙම කථාව ඇසූ ජානුස්‌සෝනි බමුණා ද දින කිහිපයකට පසු බුදුරජාණන් වහන්සේ හමුවට ගොස්‌ පිලෝතික පරිබ්‍රාජකයා සමග ඇති වූ කථාබහ පළිබඳ සඳහන් කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ පිලෝතිකගේ ඇත්පා උපමාව සම්පූර්ණ නොවන බව වදාරා ඒ ගැන මෙසේ විස්‌තර කළ සේක. ' බමුණ, දක්‌ෂ හත්ථි ශිල්පියෙක්‌ විශාල ඇත් පා සටහන් දුටු පමණින් ඒවා මහා හස්‌ථියාගේ පා සටහන් කියා නිගමනය නොකරයි. ඇතැම් විට විශාල පාසටහන් තබෙන 'වාමනිකා' නමැති ඇතින්නගේ පා සටහන් වියහැකි නිසා, තවදුරටත් වනාන්නතරය තුළට යන ඔහු විශාල පාසටහන් සහ උස්‌ ගස්‌වල කඩා බිඳ දැමූ තැනුත්, පිට ඇතිල්ලු තැනුත් දකියි. එසේ වුව ද ඒවා මහා හස්‌ථියාගේ පාසටහන්ය'යි තීරණය නොකරයි. කුමක්‌ නිසාද යත්? 'උච්ඡාකාලාරික' නම් විශාල පාසටහන් ඇති ඇතින්නක්‌ ද වනයේ සිටින බැවිනි. තවදුරටත් වනාන්තරය තුළ ගවේෂණය කරන ඔහු විශාල පාසටහන් ද, උස්‌ ගස්‌වල කඩා බිඳ දැමූ අතු ද, දළ පහරින් තුවාල වූ තැන් ද දකියි. එහෙත් ඒවා මහා හස්‌ථියාගේය'යි නිගමනය නොකරයි. මක්‌ නිසා ද යත්? 'උච්ඡාකණේරිකා' නම් මහා ඇතින්නගේ පාසටහන් විය හැකි බැවිනි. තවදුරටත් විමසමින් ඉදිරියට යන දක්‌ෂ හස්‌ථි ශිල්පියා උස්‌ ගස්‌වල කඩා දැමූ අතු ද , උස්‌ ගස්‌ වල වැදුන දළ පහරවල් ද, විශාල 

පා සටහන් ද දකිනු ලබයි. විමසිලිමත්ව බලන විට ගසක්‌ මුල වැතිර සිටින හෝ ඇවිදිමින් සිටින මහා හස්‌ථියා දක්‌නට ලැබෙයි. එවිට ඔහු මේ සිටින්නේ මහා හස්‌ථියා යනුවෙන් තීරණය කරනු ලබයි. බ්‍රාහ්මණය මේ දක්‌ෂ හස්‌ථි ශිල්පියා ක්‍රමානුකූල බුද්ධිමත් ගවේෂණයක්‌ කර කරුණු හොඳින් සොයා බලා, මහා හස්‌ථියා තෝරා ගන්නාක්‌ මෙන් බුද්ධිමත් පුද්ගලයා ද බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුඳු ගුණ වලින් යුක්‌ත බව වටහා ගනියි. බුද්ධ රත්නය ගැනත් , ධම්මරත්නය ගැනත්, සංඝ රත්නය ගැනත් ප්‍රසාදය ඇති කර ගන්නා හෙතෙම ගිහි ගෙයි විසීම කරදර සහිතයි. කෙළෙසුන් සහිතයි. පැවිදි බව ආකාශය මෙන් නිදහස්‌ය. ගිහියකු වශයෙන් සිට නිවන ලබා ගැනීම දුෂ්කර ය. යන කරුණු වටහා ගෙන සියලු දෙය අත හැර පැවිදි බව ලබයි. පැවිදි වූ හෙතෙම සිල් සමාදන්වී, කාය, වාග් දුශ්චරිතයන් ගෙන් මිදෙනු ලබයි. අකැප දේවලින් වළකියි. අල්පේච්ඡ තාවයෙන් යුක්‌තයි. පංච ඉන්ද්‍රියයන් සංවර කර ගෙන ආධ්‍යාත්මික සුවයක්‌ ලබමින් සතිසම්පඡ්ජ ඤාණයෙන් යුක්‌තව කටයුතු කරයි. 

එයින්ද නොනවතින හෙතෙම සිත සමාධි ගත කරනු ලබයි. පංච නීවරණයන් දුරු කොට , විතක්‌ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදියෙන් යුක්‌ත ප්‍රථම ධ්‍යානය උපදවා ගනියි. ප්‍රථම ධ්‍යානය උපදවා ගත් පමණින් එම ශ්‍රාවකයා බුදුගුණ , දම් ගුණ, සඟ ගුණ පිළිබඳ නිශ්චිත තත්ත්වයට පත් වන්නේ නැත. මේ අයුරින් ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන් ද, පුබ්බේනිවාසනුස්‌මෘති, චුතූපපාතික ආදී ධ්‍යානය උපදවා ගත්ත ද තුණුරුවන් පිළිබඳ නිශ්චිත නිගමනයකට පත් වීමට අසමත් වෙති. අනතුරුව එම ශ්‍රාවකයන් වහන්සේ සියලු කෙලෙසුන් දුරුකිරීමේ නුවණ හෙවත් ආසවක්‍යඤාණය උපදවා ගැනීමට සිත යොමු කරයි. එවිට දුක්‌ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යය යථා භූත ඤාණයෙන් අවබෝධ කර ගත හැනි වෙයි.

එවිට ඔහුගේ සිත කාම, භව, දිට්‌ඨි , අවිඡ්ජා කියන සතර ඕඝයන් ගෙන් මිදෙයි. එපමණකින් ද හෙතෙම තුණුරුවන් පිළිබඳ නිගමනයකට නොපෙළඹෙයිs. දැන් උන් වහන්සේට මම කාම ආදී ආශ්‍රවයන් ගෙන් මිදුනෙමි'යි කියන නුවණ පහළ වෙයි. ' මම නැවත ඉපදීම නැති කළෙමි. බ්‍රහ්මචරියාවෙහි හැසිරෙමින් තවදුරටත් නිවන පිණිස කළ යුතු දෙයක්‌ ඉතිරිව නැත්තෙමි' යන කරුණු වටහා ගනු ලබයි. බ්‍රාහ්මණය, නිවන අවබෝධ කර ගැනීම මගින් පමණක්‌ හස්‌ථිපදෝපමාව සම්පූර්ණ වන්නේ ය. මේ අයුරින් එදා පොසොන් පුර පසළොස්‌වක පොහොය දින මිහින්තලාවේ දී මිහිඳු මහ රහතන් වහන්සේ චුග්ග හස්‌ථිපදෝපම සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේගේ සම්‍යක්‌ සම්බුද්ධ භාවයත්, ධර්මයේ සත්‍යය භාවයත්, සංඝ රත්නයේ අප්‍රමාණ ගුණයන් වර්ණනා කරමින් දේශනා කළ ධර්මය ඇසූ දෙවනපෑතිස්‌ රජ තුමා ඇතුළු පිරිවර සේනාව තිසරණ පංච ශීලයෙහි පිහිටා බෞද්ධයෝ බවට පත් වූහ. මිහිඳු හිමියන් එදා දේශනා කළ මෙම ධර්මය වත්මන් සමාජයට ද බෙහෙවින් වැදගත් ය. රටක පාලකයන්ට මෙන්ම ජනතාවට ද මෙය ඇසුරෙන් ඉගෙන ගත හැකිදෑ බොහෝ ය. 

යම් කිසි කාර්යයක්‌ කරන විට හොඳින් විමසා බලා කළ යුතු බව මෙයින් අවධාරණය කරයි. ඉක්‌මන් තීරණවලට එළඹීම නිසා බොහෝ තරුණ ජීවිත අකාලයේ විනාශ වන අවස්‌ථා දැකිය හැක. වැරදි තීරණ නිසා රටවල් විනාශ වන අවස්‌ථා ඇත. එදා පාලකයන් මෙවන් දහම් කරුණු අනුගමනය කරමින් රාජ්‍යය පාලනය කළහ. රට වැසියන් ද මෙම දහම් අනුව කටයුතු කරමින් යහපත් පුර වැසියෝ බවට පත් වූහ.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැහැල්ලු බවේ සුවය

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි


කෙනෙකු සන්තකයේ මහා ඉහළින් උපභෝග පරිභෝග සම්පත් පිටාර ගලමින් තිබුණ ද සමහරක් අය විශේෂයෙන් තමන් දන්නා හඳුනන අනෙකා ළඟ පවතින කුඩා දෙයට ආශා කරති. කෙසේ හෝ තමන් සතු කර ගැනීමට රෑ දවල් කල්පනා කරති. පංචකාම සම්පත්තීන් නිරතුරුවම ලැබූවද අනෙකාගේ කුඩා දෙය පතමින් සිත ව්‍යාකූල කර ගනිති.
මහින්දාගමනය තුළින් ලාංකේය ජනතාවට ලැබුණු එක් උත්තුංග ජීවන ඵලයකි, අල්පේච්ඡතා දර්ශනය. තරගකාරී පාරිභෝගික රටාවෙන් ඉවත්ව ස්වභාවික, ප්‍රතිසංස්කරණය කළ නොහැකි සම්පත් සුරකිමින් අත්‍යවශ්‍ය මූලික සම්පත් පරිහරණය බුද්ධිමත්ව සිදුකරන ආකාරය අවබෝධයට අල්පේච්ඡතා ධර්මයෙන් ලැබෙන පිටිවහල අමිලය. අවුරුදු දෙදහස් තුන්සියයකටත් වඩා ඈත කාලයේ දී අපට ලැබුණු ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳ නැවත අප අවධානය යොමු කිරීම පෙර දිනට වඩා අද දවස ඉතා වැදගත් බව පැහැදිලි වෙයි.
බුදුදහමෙහි සාකච්ඡා වන ආකාරයට ‘ඉච්ඡාව‘ හෙවත් ආශාව සතරාකාරයකි.උදාහරණයක් වශයෙන් ‘පරමත්ථජොතිකා නාම බුද්දකපාඨට්ඨකථා’ හි
අත්‍රිච්ඡතා 
පාපිච්ඡතා 
මහිච්ඡතා සහ 
අප්පිච්ඡතා යනුවෙන් මෙත්තසුත්ත වණ්නාවෙහි සඳහන් කර ඇත.

මෙහි මුලින් දක්වා ඇති ඉච්ඡතා තුනම අප්පිච්ඡතාවට ප්‍රතිවිරුද්ධ වෙයි. තමන්ට කොතරම් දේ ලැබුණත් අනෙකාට ලැබෙන කුඩා දේ පිළිබඳත් කෙනෙකු ආශා ඇති කර ගැනීම අත්‍රිච්ඡතාවයි. කෙනෙකු සන්තකයේ මහා ඉහළින් උපභෝග පරිභෝග සම්පත් පිටාර ගලමින් තිබුණ ද සමහරක් අය විශේෂයෙන් තමන් දන්නා හඳුනන අනෙකා ළඟ පවතින කුඩා දෙයට ආශා කරයි. කෙසේ හෝ තමන් සතු කර ගැනීමට රෑ දවල් කල්පනා කරයි. ඔහු පංචකාම සම්පත්තීන් නිරතුරුවම ලැබූවද අනෙකාගේ කුඩා දෙය පතමින් සිත ව්‍යාකූල කර ගනියි. ඔහුගේ අතෘප්තිය දින දින වැඩීමෙන් අසහනයට පත් වෙයි. පාපිච්ඡතා ගතිගුණ ඇති තැනැත්තා අල්පේච්ඡතා ඇති තැනැත්තාට ඉඳුරාම වෙනස් චරිතයකි. කෙනෙකු තුළ නැති ගුණ ධර්ම ප්‍රදර්ශනය කරමින් නැති හැකියාවන් තුළින් යම් ලාභයක් හෝ කීර්තියක් ප්‍රශංසාවක් අත් කර ගැනීමට උත්සාහ කරන්නකි.
මහිච්ඡතාව යනු බහුල ආශාවයි. ඕනෑම පරිභෝජනයක දී එයට ඉමහත් ගිජු බවකින් ඇලෙයි. අන්‍යයන් පරයා කැපී පෙනීමේ ආශාවකින් පෙළේ. වාහනයක් ගත්තද, ගෙදර පරිභෝජනය සඳහා යමක් ගත්තද වෙනත් කෙනෙකුගේ එකකට වඩා උසස් යයි පිළිගැනීමක් ඔහුට අවශ්‍ය වෙයි. එම තරඟකාරී ආශාවට මැදිහත් වූ ඔහුට විවේකයක් නැත. තෘප්තිය ද නැත. ඉච්ඡාභංගත්වයට අසහනකාරී මානසිකත්වයකට මුහුණ පෑමට සිදුවෙයි.
අත්‍රිච්ඡතා පාපිච්ඡතා සහ මහිච්ඡතා වෙන් පෙළෙන මනුෂ්‍යයා කිසිවිටෙක තම ආශාවන් යම් පමණකට හෝ තෘප්තිමත් කර නොගනියි. ඔහු ආශාවන් තෘප්තිකරණයේ දී සාධාරණය අසාධාරණය, යුක්තිය අයුක්තිය, ධර්මය අධර්මය නොසළකා හරියි. ඔහු එම තෘෂ්ණාවෙහි ම වහළෙක් බවට පත් වේ.
අප්පිච්ඡතා හෙවත් අල්පේච්ඡතා යනු අල්ප ඉච්ඡතාව හෙවත් මද ආශාවයි. සිංහල භාෂාවෙන් අපිස්බව යැයි දැක්වෙන්නේ ද මෙයමැයි. අප්පිච්ඡතා සංකල්පය තුළ සරල හා චාම් ජීවන ප්‍රතිපදාව ගොඩනඟා ගත හැකිය. ඒ තුළින් අප්පිච්ඡතා සන්තුට්ඨිය ඇති කර ගත හැකිය. අල්පේච්ඡතා ධර්මයෙහි පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ වශයෙන් මඳක් ආශා ඇති බව, පහසුවෙන් තෘප්තිමත්වීම, ලද දෙයින් සතුටුවීම, නිහතමානීබව ආදිය දැක්විය හැකියි. සංයුක්ත නිකායේ අරඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට අපිස්බවින් යුතු පුද්ගලයා ඉකුත් වූ අතීතය පිළිබඳ ශෝක නොකරයි. නොපැමිණි අනාගතය පිළිබඳ අනවශ්‍ය අපේක්ෂා නොමැත. වර්තමානයේ සතුටින් දිවි ගෙවයි.
ආර්ය මාර්ගයේ ගමන් කරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කවරෙකුට වුව මෙම අපිස්බව අනුගමනය කළ යුතුම සුචරිත ධර්මයකි. අපිස්බවින් තොර ජීවිතය ජීවන ගැටලු රැසකට මඟ පාදයි. එබැවින් බුදුරජාණන් වහන්සේ සංඝ සංස්ථාව ගොඩනැගීමේ දී පළමුවෙන්ම මූලික අවශ්‍යතා සපයා ගැනීමේදී එහි අරමුණු අපිස්බව සමඟ මුසු කොට හඳුන්වා දෙන ලදහ. භික්ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කරන්නේ විලිවසා ගැනීම, අව්වැසි සුළං ආදියෙන් සහ ශීතෝෂ්ණාදියෙන් සිදුවන අවහිරතාවලින් ආරක්ෂාවීම ආදිය පිණිසයි. ශරීරයට හෝ පුද්ගලයාට අමුතු වටිනාකමක් දීමට නොවේ. පුද්ගලයාගේ වත්කම් කියාපෑමට නොවේ. සමාජ තත්ත්වයක් ඇති කරලීමට නොවේ. භික්ෂුව ආහාර පරිභෝජනය කරනුයේ බඩගිනි පීඩාදියෙන් වැළකී ශරීරයේ පැවැත්ම සහතික කර ගැනීම පිණිසයි. ශරීරය පැහැපත් වීමට නොවේ. ශරීරය අලංකාර කර ගැනීමට නොවේ. ශරීරය පිනවීමට ශක්තිමත් කර ගැනීමට නොවේ. භික්ෂුව වඩා හොඳ ආහාර සොයා නොයයි. ගෙපිළිවෙළින් සිඟා යන ඔහුගේ පාත්‍රයට ලුණු ඇතිව හෝ නැතිව හෝ වැටෙනුයේ කවරක් ද එය වැළඳීම සිරිතයි. එය අපිස්බවේ සළකුණයි. භික්ෂුව අව්වැසි සුළං ආදී දේශගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වී සත්‍යෙක්ෂණය සඳහා බවුන් වැඩීමට සුදුසු ආරාමීය පරිසරයක් ගොඩනඟා ගැනීම සෙනසුන් ඇති කරගැනීමෙන් බලාපොරොත්තු වෙයි. ඉන් එහා ගිය වෙහෙස කර නඩත්තු කටයුතු ඇති සුඛෝපභෝගී නිවහන් ආරාම වශයෙන් ගොඩනඟා ගැනීම කිසිදු විටෙක අදහස් නොකළහ.
සංඝ සමාජයට අදාළ කරගත් මෙම අපිස්බව ගිහි සමාජයට ද අදාළ කර ගැනීමට බාධාවක් නොමැත. දේපළ පරිහරණ යේ හෝ වේවා ආහාර පරිභෝජනයේ හෝ වේවා තරඟකාරී බවකින් තොරව අවශ්‍යතාව පදනම් කරගෙන පරිභෝජනයට හුරුවන්නේ නම් අපිස්බව ඇති කර ගත හැකියි. අපිස්බව තහවුරු කර ගැනීමට තවදුරටත් කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකි බව, කාර්ය බහුල නොවීම, සැහැල්ලු දිවිපැවැත්ම සහ දමනය වූ ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වීම යන ගුණාංග ජීවිතයට ළංකර ගත හැකිය.
නමුත් අද සමාජය තුළ ලිය ලා වැඩෙමින් පවතිනුයේ මහිච්ඡතාවයෙහි මල්ඵලයි. නිෂ්පාදන ක්‍රමය තුළ බැඳී ඇති සමාජය මිල ක්‍රමය තුළින් සංතුෂ්ඨිය වැළඳ ගැනීමට තණ්හාධික මිනිසා උත්සාහ කරයි. එහෙත් පොරොත්තු ඉලක්ක කරා ළංවීමට නොහැකිව කාංසාව විෂාදය වැනි විවිධ මනෝව්‍යාධීන්හි ගොදුරු බවට මිනිසා පත්ව ඇත. අධාර්මිකත්වයෙන් යුතුව ඊර්ෂ්‍යාකාරීව ඔවුහු විවිධ පීඩා විඳිති. අපිස්බවේ සහනශීලීතාව භුක්තිවිඳීමට ඔවුහු හිමිකම් නොකියති. තණ්හාව සුවකළ නොහැකි ව්‍යාධියක් බව තේරුම් ගත යුතුය. සුප්‍රසිද්ධ සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයෙකු වන සොරෙන් කියකේගාඩ් පවසනුයේ මිනිසා යනු කැරට් අලය පසු පස හඹා යන අශ්වයෙකු බඳුය. කිසි දිනෙක ඌට කැරට් අලය අල්වා ගත නොහැකි වෙයි. ඉතිරි වනුයේ වෙහෙසවීම පමණකි. එසේම ආශා පසු පස හඹා යන මහිච්ඡතා මිනිසාට ද ඉතිරි වනුයේ අතෘප්තිමත් වූ ආශා සමග වෙහෙස පමණි. එබැවින් අල්පේච්ඡතාව සමඟ ඇති සහනශීලීතාව සැනසීම භුක්තිවිඳීමට මෙම පොසොන් සමයේ සිට අදිටන් කර ගැනීම මිහිඳු හිමියන් දෙසූ දහමට නැවත අනුගතවීමකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආමිෂයෙන් භවය ප්‍රතිපත්තියෙන් නිවන


පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරි සීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, යටියන, මිනුවන්ගොඩ

හැම මොහොතකම ගෙවී යන්නේ ඔබගේ මනුෂ්‍යාත්ම භාවයේ ජීවන කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ කවදා කෙසේ නම් පහළ වේ යයි සිතාගත නොහැකි උතුම් බුද්ධොත්පාද කාලයයි. හැම මොහොතකම ගෙවී යන්නේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ඇති ඔබගේ මානසික ශක්‌තියයි. ඔබට ඔබේ පිළිසරණවත් නැතිවන මොහොත ඉතා ළඟය. 

උතුම් මනුෂ්‍යාත්ම භාවය ජීවමානයි. උතුම් 

ශ්‍රී සද්ධර්මය ජීවමානයි. උතුම් ක්‍ෂණ සම්පත්තිය ජීවමානයි. ගෞතම බුද්ධ ශාසනය ජීවමානයි. මහා කුසල සම්භාරයක්‌ පුරා පාරමිතා පුරා උපත ලැබූ ඔබට ආර්ය භූමියේ ස්‌ථාවර වී සෝවාන් ආදී මාර්ගඵල ආනන්තර්ය කුසල් සිත් වඩා නිවන් දැකීමේ හැකියාව ඇත. ඒ සඳහා අද අදම, දැන් දැන්ම ධර්මය තුළට පැමිණ රැකවරණය ලබාගත යුතුය. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයේ රැකවරණය ලැබෙනු ඇත. 

"ධම්මෝ භවේ රක්‌ඛති - ධම්මචාරි" 

සත්‍යාවබෝධය සඳහා යන ගමනේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ වැඩිය යුතු මාර්ගය පැහැදිලිව තේරුම්ගත යුතුය. ප්‍රඥව යනු මානසික සංවර්ධනයේ ඉහළම අවස්‌ථාවයි. 

අති පාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ අවස්‌ථාව උදාවනුයේ ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයකිනි. ඒ සඳහා තථාගතයාණන් වහන්සේ මාර්ග උපදේශකත්වය දෙනු ඇත.

"තුම්හෙහි කිච්චං ආතප්පං

අක්‌ඛාතාරෝ තථාගතා"

ඔබ මඟ වඩන්න. තථාගතයාණන් වහන්සේ මඟ කියති. විශ්වාසයෙන් සත්‍ය අවබෝධ නොවනු ඇත. එහෙත් සත්‍යාවබෝධයට විශ්වාසය ඉතා වැදගත්. ඇදහීමෙන් සත්‍යය අවබෝධ නොවේ. පොතපතින් සත්‍යාවබෝධ නොවේ. ත්‍රිපිටකය කටපාඩම් වූ පමණින් සත්‍යය අවබෝධ නොවේ. ත්‍රිපිටකයේ සඳහන් වනුයේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවකි. එය ඇසීමෙන් ප්‍රතිවේධය නොවනු ඇත. සම්බුද්ධ දේශනාව ග්‍රන්ථ ධුර - විදර්ශනා ධුර වශයෙන් දෙකොටසකි. ග්‍රන්ථ ධූරයෙන් උපදේශනයත්, විදර්ශනා ධූරයෙන් ප්‍රතිවේධයත් ලැබෙනු ඇත. ග්‍රන්ථ ධූරයෙන් "මන" අවදිමත් කර විදර්ශනාවෙන් "නිවීම" ඇති කරයි.

මනසින් අවබෝධ කරගත් දර්ශනය තවත් මනසකට සම්ප්‍රේෂණය කළ නොහැක. දහම් දෙසනුයේ ශ්‍රාවකයා සත්‍ය දෙසට නැඹුරු කිරීමටයි. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ මන අවදිමත් කිරීමටයි. පුබුදාලීමටයි. ඒ සම්මා දිට්‌ඨ§ය ඇති කරදීම සඳහා අනුබල දීමකි. උපාය මාර්ගයක්‌ පමණි. ඒ නිසා ශාන්ති නායකයාණන් වහන්සේට "Æණය ප්‍රදානය" කිරීමට නොහැකිය. තුන් පිටකයේ අන්තර්ගත වන්නේ වාර්තාකරණයන්ය. ප්‍රකාශනයි. උපමා උපමේය සංකේත මගින් ධර්මය විවරණය කරදීමයි. එමගින් කෙරෙනුයේ උපක්‍රම භාවිතාව සඳහා සම්‍යග් ප්‍රයෝගය දියුණු කිරීම සඳහා ශ්‍රාවකයා යොමු කිරීමයි. තුන් පිටකය කටපාඩම් කළත් ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකවේදී වුණත් ප්‍රතිවේධයක්‌ නොමැත. උපාය මාර්ගය මගින් ලබන ප්‍රතිපදාවකින්මයි. Æණ සම්භවය සිදු වන්නේ. මේ බව වඩාත් පැහැදිලි කරදෙන ධර්ම විවරණයකි ම.නි. චන්කි සූත්‍රය. සත්‍ය ගවේෂී ආර්ය ශ්‍රාවකයා චිත්ත පාරිශුද්ධිය බලාපොරොත්තුවෙන් ශාස්‌තෘන් වහන්සේ වෙත පැමිණේ. 

* සද්ධා ජාතෝ උපසංකමති ( උපන් සද්ධාවෙන් සමීපයට පැමිණේ.

* උපසංකමන්තෝ පයිරුපාසති ( එළඹ ඇසුරු කරයි.

* පයිරු පාසන්තෝ සෝතං ඕදහති ( ඇසුරු කරමින් සවනත යොමු කරයි.

* ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි.

* සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී.

* ධතානං ධම්මානං අත්ථං උප පරික්‌ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්‍ෂා කර බලයි. විමසා බලයි.

* අත්ථං උප පරික්‌ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්‌සීමෙන් ධර්මය වටහාගනී.

* ධම්ම නිඡ්ජධානක්‌ඛන්තියා සති ඡන්දො ජායති ( උස්‌සහති( ධර්මය වැටහෙන්න, වැටහෙන්න දහමේ කැමැත්ත ඇති වේ. උත්සාහවත් වේ. ප්‍රමුදිත වේ. 

* උස්‌සහිත්වා තුලෙති ( ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන්, අධ්‍යාත්මික ගුණාත්මක භාවයේ ප්‍රගතිය කිරා මැන බලයි. සමාලෝචනය කරයි.

ඉහත දැක්‌වූ සූත්‍ර පාඨයෙන් "දහම් ඇස ලැබීමේදී යෝගාවචරයාගේ පූර්ව කෘත්තිය පරිපූර්ණ වේ. ප්‍රතිවේධය සඳහා පසුබිම සැකසේ.

* තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන මේව පරම සච්චං සච්ජිකරොති, පඤ්ත්‍රය චනං අතිවිජධ පස්‌සති ( ප්‍රතිවේදයෙන් සත් තිස්‌ බෝධි පාක්‍ෂික ධර්ම වැඩියාමෙන් පධන් වීර්යයෙන් සමන්විත වූයේ නිවනට යොමුවූ සිත් ඇත්තේ සත්‍ය අවබෝධය කරගනී. ප්‍රඥව පහළ වේ. 

* එත්තාවතා ඛෝ භාරද්ඡ්වාජ, සච්චානු බොධොහොති. භාරද්ඡ්වාජයෙනි, මෙ පමණකින්ම ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගනී. දහම් ඇස ලැබුවේ වේ. 

* එත්තාවතා සච්චානූ මනුබුඡ්ජධති ( මෙතකින්ම සත්‍ය අවබෝධ කරයි කියනු ලැබේ. 

* එත්තාවතා ච මයං සච්චානූ බොධං පඤ්ඤාපේමි. මෙපමණකින්ම මම ඔහුට සත්‍ය අවබෝධය ඇති වූ බවට ප්‍රතිඥ දෙමි. 

* නෙ‍ෙව කාච සච්චානුපත්ති හොති "ති" මේ ක්‍රමවේදයෙන් පරිපූර්ණ නොවූයේ නම් මම ඔහුට සත්‍ය අවබෝධ වූයේ යයි නොපවසමි.

මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරදෙන ධර්ම මාර්ගය වෙත වහ වහා සපැමිණිය යුතුය. අප සසර ගමන තව තවත් දික්‌ කරන දුර දිග යැමට හේතු කාරක වන ආමිෂයට මුල්තැන දීමෙන් පිං දහම් කරමින් වටිනා කාලය නිකරුණේ කා දමනවා. එසේ කරමින් මේ දානාදි පිංකම්වලින් නිවන් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම මතු මනාවූ අනාගතයේ පහළ වන්නා වූ සැමටම මෛත්‍රි වූ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ සියෑසින් දැක උන්වහන්සේ විසින් දේශිත මධුර මනෝහර ශ්‍රී සද්ධර්ම දේශනාව අසා දේශනාව අවසානයේ සෝවාන් ආදි මාර්ගඵල ලබා නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරයි.

දැන් පහළ වී සිටින ගෞතම ශාක්‍යසිංහ බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ධම්මචක්‌ක සූත්‍රයමයි මතු අනාගතයේ පහළ වන මෛත්‍රි ශාඛ්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේත් දේශනා කරන්නේ ගෞතම ශාක්‍ය මුනි දේශනාව තවමත් ජීවමානයි. ඒ පිවිතුරු දහම අද ද අවබෝධ කළ හැකිය. අද අවබෝධ කරගත නොහැකි දහමක්‌ මතු අනාගතයේ අවබෝධ කර ගැනීමට අමුතු හැකියාවක්‌ අමුතු දක්‌ෂතාවක්‌ කෙසේ නම් ඇතිවේද? ඔබ ඔබේ හැකියාව අවතක්‌සේරු කරගෙන නැවත මේ වගේ උත්තම බුද්ධොත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක්‌ කෙසේ නම් ලැබේදැයි කිසිවකුට කෙසේ නම් කිව හැකිද? නොහැකිමය. කිසිම දෙයක්‌ ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන්නේ නැත. ධර්මය නම්වූ පහුරට ඔබ තවම නැඟ නැත. කර තියාගෙන ඇත. එයට පුද පූජා පවත්වමින් සිටී. වැඳ වැටෙමින් දහම් පද ගීතවත්ව ගායනා කරමින් සිටී. ආමිෂ පූජාවෙන් චිත්ත පාරිශුද්ධිය ඇතිවී සත්‍යාවබෝධය නොවනු ඇත. "මම" නමැත්තා පෙරටුවේ තබාගෙන ඔහුට සුත මුදිත අනාගතයක්‌ සලසාදීමේ අභිලාෂයෙන් භව තණ්‌හාවෙන් පිං දහම් කරයි. සසර ගමන සැපවත් කිරීමට පින අවශ්‍යයි. බුදු දහමේ බුද්ධිමත් ප්‍රතිපදාව වනුයේ සසර ගමන නතර කිරීමේ ප්‍රතිපත්ති පූජාවයි. ආමිෂය තමාට පුදා ගැනීමකි. ප්‍රතිපත්තියෙන් පමණි බුදුන්ට පිදිය හැක්‌කේ.

කුසල කර්ම හෝ අකුසල කර්ම භව නිරෝධය සඳහා කිසිසේත් පාදක නොවේ. භව ගමන එමගින් දික්‌ කරයි. මුළු ජීවිත කාලයම දානාදි පිංකම් කළ ඡේතවනාරාමය ආරාම පූජා කළ අනේපිඬු සිටුවරයාට සෝවාන් ඵලය ලැබීමට හැකියාව ඇතිවී නමුත් මහ රහත් වීමට හේතු කාරක නොවීය. අසූහාරදහසක්‌ වෙහෙර විහාර කළ තෙවැනි ධර්ම සංගායනාව කළ තම එකම දුව පුතා සසුනට පූජා කළ ධර්මාශෝක මහරජ තුමාට ඒ පිංකම් භව නිරෝධය සඳහා උපනිශ්‍රය නොවුණි. අසදෘෂ මහ දන් දුන් පසේනධී කොසොල් මහ රජතුමාටත් කෝසල මල්ලිකා දේවියටත් පිනෙන් අඩුවක්‌ තිබුණේද? භව නිරෝධය සඳහා ඒ සා මහත් කුසල සම්භාරය හේතු කාරක නොවීය. අංගුලිමාල නම් මහ සොරු දහස්‌ ගණන් මිනිසුන් මැරුවත් ඒ සා පාප කර්මය මහ රහත් භාව ලැබීමට බාධාවක්‌ නොවුණි. පිංකම් කාමාවචරයි. භවගාමී බවට අදාළයි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය සඳහා පෙර සූදානමක්‌ සඳහා පමණක්‌ උපනිශ්‍රය වේ.

කිසියම් හෝ ප්‍රාර්ථනාවක්‌ වේ නම් කෙලෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. කිසියම් හෝ අනාගත අපේක්‍ෂාවක්‌ වේ නම් ඒ කෙළෙස්‌ ලෙඩ හදන විෂබීජ වේ. මේ කෙළෙස්‌ ලෙඩ සසර භයානක දුකකට උරුමකම් ඇතිකර දෙයි. මනසින් ලෙඩ වුණාම ධර්මය හැර ඖෂධයක්‌ නැත. කායික ලෙඩ මෙලොවට පමණි. බෙහෙතකින් නිට්‌ටාවට සුවකර ගත හැක. රාගයෙන් ආතුර වීම, ද්වේශයෙන් ආතුරවීම, මෝහයෙන් ආතුර වීම, භවයේ කල්ප ගණන් දුක විඳීම සඳහාම හේතු වේ. 

* නිදහස්‌ විය යුත්තේ කොතැනින්ද? ලෝකයෙන්

* නිදහස්‌ විය යුත්තේ කාගෙන්ද? මගෙන්

* නිදහස්‌ විය හැක්‌කේ කෙසේද? ප්‍රතිපදාවෙන්

* නිදහස්‌ වීම සඳහා යා යුතු මාර්ගය - අරි අට මඟ

* නිදහස්‌ විය යුත්තේ කුමකින්ද? අවිද්‍යාවෙන්

* නිදහස්‌ වීමට නොකළ යුත්තේ කුමක්‌ද? කර්ම රැස්‌ කිරීමයි

"යෝ පන භික්‌ඛු ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචිපටිපන්නෝ විහරති. අනුධම්මචාරි, සො තථාගතා නං සක්‌කරොති. ගරු කරොති, මානේති පූජෙති පරමාය පූජාය - පටිපත්ති පූජාය..."

යම් භික්‍ෂුවක්‌ සද්ධර්මයට අනුගතව ජීවත් වන්නේ නම් දැහැමි කතාබහෙන් යුක්‌ත නම් බුද්ධාදි උතුමන්ගේ දෝෂ දර්ශනයට ලක්‌ නොවනා සියලු දුෂ්චරිතයන් ගෙන් මිදුනේ වේ නම් තථාගතයාණන් වහන්සේට ගරු කරන්නෙක්‌ වේ. තථාගතයාණන් වහන්සේට සත්කාර කරන්නෙක්‌ වේ. මානනය කරන්නෙක්‌ වේ. උතුම්ම පූජාව වන්නේ ප්‍රතිපත්ති පූජාවමයි. 

ඉහත දැක්‌වූ ධාර්මික ප්‍රතිපදාවට අනුගතව ඔබ ජීවත් වන්නේ නම් මුළු දවසම තථාගතයාණන් වහන්සේට පූජෝපහාර පවත්වන උතුමෙක්‌ වේ. මෙහිදී උන්වහන්සේ ආමිෂ පූජාව ගැන කිසිදු සඳහනක්‌ කරන්නේ නැත. කර්ම රැස්‌ කිරීම ආමිෂයයි. කර්මය ක්‍ෂය කිරීම ප්‍රතිපත්තියයි. 

"නහී මයිහං මාලා ගන්ධාදී හී පූජං කරොන්තා. මම පූජං කරොන්ති නාම ධම්මානු ධම්මං පටිපඡ්ජන්තා එවපන මං පූජෙන්ති නාම" (ධම්මපදට්‌ඨ කථා) මල් ගඳ විලවුන් මගින් කෙරෙන පිදීම බුද්ධ පූජාවක්‌ නොවේ. ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මානුකූලව හැසිරීමට බුදුපියාණන් වහන්සේට කරන බුද්ධ පූජාව වන්නේය.

මිනිස්‌සු මුළු ජීවිත කාලයම දිවා රාත්‍රී නොමැතිව කති, බොති, නටති, ගී කියති, ප්‍රීති වෙති, රැස්‌ කරති, රකිති, බෙදා ගනිති, රැකියා කරති, හම්බ කරති, වෙහෙසෙති, පොහොසත් වෙති. දුප්පත් වෙති, ඇන කොටා ගනිති. මරා ගනිති. නඩු කියති. පසු තැවෙති. අතෘප්තිකරව ජීවත් වෙති. මරණයේ දොරටුව ළඟට පැමිණි විට පෙර සූදානම් නොවීම නිසා හඬති. වැළපෙති. ශෝක කරති. භීතියට පත්වෙති. අසරණ වෙති. මහා ධන සම්පත් භෞතික ගේදොර ඉඩකඩම් ස්‌වාමි, භාර්යා, දූ දරුවන් බොහෝ මනාප දෑ "බෑ" කියද්දී අතහැර දමා මහත් සේ අසරණ වෙලා අහිමිකම් කියාගෙන නොපෙනෙන නොදැකපු සිහිනයකින් වත් නොසිතූ මහා භයානක ව්‍යසනයෙන් යුත් ප්‍රපාතයකට වැටෙනු ඇත. මේ සියලු ව්‍යසනයට වගකිව යුත්තේ නොදැමුණු තම සිතයි. එනිසාම ආමිෂයෙන් මිදී ප්‍රතිපත්තිය කරා පියමං කිරීම ප්‍රඥා ගෝචරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෞද්ධ ප්‍රතිපදාගත සීල ශික්‍ෂණයෙහි සුවිශේෂතාව


රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති, 
කොළඹ 08, විවේකාරාම විහාරවාසී,
පූජ්‍ය තිස්‌සමහාරාමයේ 
ධම්මසාර හිමි 

පුරුද්ද, චරිතය, හැසිරීම, යනාදී අර්ථ මෙන්ම ස්‌වභාවය, ශික්‍ෂණය කායික හා වාචසික සංවරය යනාදි අර්ථයන්ද සීලයට ඉදිරිපත් වී ඇති ආකාරය කෝෂ ග්‍රන්ථ පිරික්‌සීමේදි විද්‍යාමාන වේ. ඒ අනුව සීලය යනු, හැදිච්චකම, සංවර බව, හික්‌මුණු ස්‌වභාවය, තැන්පත්කම, කායික හා වාචසික සංවරය (කාය වාචානං සමොධානං සීලං) සීලය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල චර්යාවන් ප්‍රකාශයට පත්වනුයේ කය හා වචනය පදනම් කරගෙනය. අකුසල සහගත පාපී පක්‌ෂයෙහි නොඇලී කය වචනය ක්‍රියාත්මක කිරීම ශීලයයි. 'වේරමණී' යන වචනය ශික්‍ෂාපදවල භාවිත වනුයේ, එබැවිනි. අකුසලයෙහි නොඇලී සිටින අතරම කුසලයෙහි සමාදානය ද සීලය වෙයි. 

පුද්ගලයා තුළ සීලය පුබුදිනුයේ අභිඡ්Cධා, ව්‍යාපාද හා විහිංසා යන සංකල්ප වලින් මිදුණු පමණටය. මේ සීල සංකල්පය කවර අර්ථයක යෙදෙන්නේ ද, යන්න විමසීමේ දී (සීලනට්‌ඨෙන සීලං) එනම්, සීලනාර්ථයෙන් සීලය නම් වේ. එහිදී කාය කර්ම ආදීන්ගේ සුසිල්වත් බව හෙවත් නො විසිරුණු බව යන අර්ථ ගම්‍යමාන වේ. තවද කය, වචනය හා සිත යන තිදොරින් සිදුවන අකුසල් වලින් ව්‍යqක්‌තව පවත්නා සූසීල භාවය සහ නාම, රූප, අරූප, ලෝකෝත්තර යන කුසලයන්ට මූලාධාර වන්නේය යන අර්ථයෙන් සීලය යෑයි වාච්‍යය වෙයි. කාය කර්මාදියෙහි පිරිසිදු කම හා කුසල කර්මයන්ට පිහිට වන බව සීලයෙහි ලක්‍ෂණය වේ. පව් කිරීම පිළිබඳව ඇතිවන විළිබිය ද්විත්වය සීලයෙහි ආසන්නතම කාරණය යෑයි සැලකේ.

බෞද්ධ සීල ප්‍රතිපදාවන්ට අනුව සීලය නම් ප්‍රාණඝාතා දී දුෂ්චරිතයන් ගෙන් මුක්‌තව වත්පිළිවෙත් පුරණ අයගේ චිත්තයන් හි ජනිත වන චෛතසිකයෝ ය යන්න පහත නිදර්ශනයෙන් පළ වන අදහසයි. 

''කිං සීලන්ති පාණාතිපාතාදීහි වා 

විරමන්තස්‌ස වත්ත 

පටිවත්තං වා පූරෙන්තස්‌ස 

චෙතනාදයො ධම්මා

(විසුද්ධිමග්ග - සීලනිද්දෙසය)

ප්‍රඥාවන්ත මිනිස්‌ වර්ගයා සීලයෙහි පිහිටා චිත්තයත්, ප්‍රඥාවත්, වර්ධනය කරන බව බෞද්ධ දේශනාවයි. 

''සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං''

(විසුද්ධිමග්ග - සීලනිද්දෙසය)

යන්නෙන් ඒ බව තව දුරටත් සනාථ වේ. එයින් අවධාරණය කෙරෙන්නේ සීලයම ප්‍රතිඥා මාර්ගයෙහි පදනම වන බවයි. යම් ලෙසකින් කය, වචන දෙකෙහි සංවරය නොවන්නේ නම්, සිත එකඟ නොවේ. බාහිර වස්‌තු හෝ අරමුණු සමග ආයතනයන් ගැටීමට පත්වේ. එයින් ම චිත්තාභ්‍යන්තරයෙහි ක්‌ලේෂකර ධර්ම උපදී. එයම නැවත ශාරීරික වශයෙන් ප්‍රකට වන්නේය. 

සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ සීලය දෙවැදෑරුම් වේ. එනම් ගෘහස්‌ත සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්‌ථ සීලය යනු ගෘහ ජීවිතයක්‌ ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංචසීලය, බ්‍රහ්මචරිය පංච සීලය, උපෝසථ අෂ්ඨාංග සීලය, ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු, ගෘහස්‌තයන් නිරතුරුවම සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්‍ෂු, භික්‍ෂුණී යන උභය පාර්ශවයම සමාදන් වන සීලය සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් හැඳින්වේ. 

සීලයෙහි ආනිසංස පිළිබඳව බුදු සමය නොයෙක්‌ අවස්‌ථාවලදී සාකච්ඡා කරයි. ඒ අනුව අවිපටිසාරාදි නොයෙක්‌ ගුණ ලැබීම එක්‌ ආනිසංසයක්‌ ලෙස දක්‌වා ඇත. 'අවිප්පටිසාරී' නම් 'විපිළිසර' නොවීමය. මෙහි ආදී ශබ්දයෙන් තවත්, ආනිසංස පංචකයක්‌ ඇති බව විසුද්ධි මාර්ගය ප්‍රකට කරයි. 

1. මහත් වූ භෝගස්‌කන්ධ ලැබීම

2. කල්‍යාණ කීර්ති ශබ්ද නැගීම

3. ක්‍ෂත්‍රියාදී පිරිස්‌ කරා විශාරදව එළැඹීම

4. නො මුලාව කාල ක්‍රියා කිරීම

5. මරණින් මතුව දෙව් ලොව ඉපදීම 

යනාදියයි. 

(විසුද්ධි මාර්ගය - සීල නිද්දේසය)

මෙහි ආනිසංස මෙලොව හා පරලොව දී ද ලැබෙයි. මෙලොව ජීවත්වන දෛනික ජීවිතය සැපවත් කරවීම මෙහි දක්‌නට ලැබෙන ප්‍රධාන පරමාර්ථය වන අතරම මෙම භවය සැපවත් වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පරලොව ද සැපවත් භාවයට පත්වීම සිදුවේ. 

සීලය මගින් අවබෝධයෙන් යුතු සංවරය මිස, ඉන්ද්‍රිය අකර්මණ්‍යතාව හෝ දුබලතාව මත බාහිර ලෝකය සමඟ නොගැටීම නො අගයයි. නිරතුරුවම ධර්මානුකූල ප්‍රතිපත්ති මගින් සීලයෙහි ශික්‌ෂණය තුළින් පමණක්‌ මානසික වශයෙන් බුද්ධි ප්‍රබෝධය ගොඩනඟා ගත හැකි වේ. එවැනි සීලයක්‌ තුළින් ම දුස්‌සීල භාවය නැතිකොට නිවැරදි භාවය නම් වූ සම්පත්තිය උදාකරගත හැකි වන්නේය යන්න පහත නිදර්ශනයෙන් පැහැදිළි වේ. 

''දුස්‌සීල්‍ය විද්ධංසනතා අනවඡ්ජ ගුණා කථා'' 

(විසුද්ධි මාර්ගය, සීල නිද්දේසය)

තවද සීලය ප්‍රධාන වශයෙන් ම බාහිර සංවරය උදෙසා ක්‍රියාත්මක කළ යුත්තක්‌ වුවද, එම බාහිර සංවරය ඇති කර ගැනීමට නම්, ආධ්‍යාත්මික සංයමයද තිබිය යුතුමය. එබැවින් විශුද්ධිමග්ගයේදී කුහනා (කුහකම), ලපනා (දෙඩවීම), නෙමිත්ති කථා (සුභ අසුභ නිමිති කීම) ආදිය සම්මා ආජීවය කෙලෙසෙන කරුණු වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ, එම කරුණුවලින් ඈත්වීම ආධ්‍යාත්මික සංවරය සඳහා ද පදනම සපයන හෙයිනි. 

සීලය සමාධියෙහි පදනම වේ. එනම්, සිල්වත් බවින් තොර තැනැත්තාට සමාධියක්‌ ඇතිකර ගත නොහැකිය. දුසිල්වත් බව නැති කිරීම සීලයෙහි කෘත්‍යය හෙවත් කාර්යය බව දැක්‌වෙනුයේ, එහෙයිනි. එසේම සමාධිය ඇති කරගැනීමේ පදනම වන්නේ ද සීලයයි. ඒ බව අංගුත්තර නිකායෙහි සති සම්පජඤ්ඤ සූත්‍රයෙහි ද දෘශ්‍යමාන වේ. එබැවින් සීල සම්පන්නයාට සම්මා සමාධිය උපනිශ්‍රය සම්පත්තියකි. 

සීලය වනාහී ධනයක්‌ බව සප්ත ආර්ය ධන විභජනයේදී බුදුහු වදාළහ. ළමා වියේ සිට මහලු වී මරණයට පැමිණෙන තෙක්‌ සිල් රැකීම සුඛය ගෙන දෙන්නේය. සීල සංරක්‍ෂණය පිරිසිදු ආත්ම භාවයක්‌ ඇතිව, පරලොව උසස්‌ සුව ළඟාකර ගැනීමට හැකි වන්නේය. සීලය වනාහී උභය ලෝකසුව සාදන්නේය. සිල් සුවඳ හා සමාන සුගන්ධයක්‌ ෙත්‍රෙලෝක්‍යයෙහිම ප්‍රතීයමාන නොවන්නේය. සූසැට අභරණ වලින් සමලංකෘත වූ රජු වුවද සීලය නැමැති ආභරණ වලින් සෝභමානිත වූ යතිවරුනට කිසිසේත්ම සමාන කළ නොහැකිය. 

අශිෂ්ට පුද්ගලයා සමාජයට කරදරයක්‌, හානියක්‌, පිළිලයක්‌ වන්නා සේම ඔහුට ද සෘජුව හෝ වක්‍රව හානි සිදුකර ගනී. එම තත්ත්වයෙන් මුදා ගෙන ශිෂ්ට පුද්ගලයන් බිහිකීරීම ම සීලයෙහි මුඛ්‍යය අභිලාෂය වේ. බුදුදහමට අනුව, ආගමික අර්ථයෙන් බලන කල්හි ලෞකික වශයෙන් සමාජ ආචාර ධර්ම සනාථ කරන්නට මෙන්ම ලෝකෝත්තර වශයෙන් විමුක්‌ති සාධනය පිණිස ද සීලය උපයෝගී වේ. ඒ නිසාම සාමාන්‍යය වශයෙන් පුද්ගලයාට අධ්‍යාපනය මගින් උගත්කම ලබාදේ. උගත්කම තුළ නිසි හික්‌මීම ලබා නොදෙන්නේ නම්, එයින් ද ඵලයක්‌ නොමැති බව බුදු දහමේ පිළිගැනීමයි. (සීලමෙව සුතාසෙය්‍ය) යන්නෙන් එය මනාව ස්‌ඵුට වන්නේය. 

මේ අනුව බුදු දහමේ ත්‍රිවිධ ශික්‍ෂා මාර්ගයේ පදනම සීලයම වේ. එය ධර්මානුකූලව පුද්ගල කය - වචන ද්විත්වයෙහි සංවරය අර්ථවත් කරන්නකි. සසර දුක නිවන්නට හේතුවන පිළිවෙතකින් සංවර වීම ගිහි පැවිදි උභය පාර්ශවයටම ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනය පිණිස ම ඉවහල් වන්නේය. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෘථග්ජනයාගේ ස්වභාවය

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

බෞද්ධ සමාජයේ ඇතැමෙක් බොහෝ කලක සිට නිවැරැදි අර්ථය නොසළකා “පෘථග්ජන” යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කර ගැනීමට “අප ඉතින් තාම පෘථග්ජනයෝ නොවැ” යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත්නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමැති නොවනු ඇත.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයා හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී අස්සුතවා පෘථජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා) යන පද යුගලයම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි
1. අරියානං අදස්සාවි - සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි

2. අරියධම්මස්ස අකෝවිදෝ - ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
3. අරියධම්මේ අවිනීතෝ - ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.
4. සප්පුරිසානං අදස්සාවී – සැබෑ සද්පුරුෂයන් නොහඳුනයි.
5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ - සද්්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
6. සප්පුරිසධම්මේ අවිනීතෝ - සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.
අශ්‍රැතවත් පෘථග්ජනයා තුළ ඉහත කී ලක්ෂණ හය නිරතුරුව විද්‍යාමානව පවතී. මෙකී ලක්ෂණයන් තිබීම හේතුවෙන්ම ඔහු අනේකවිධ මතිමතාන්තරයන්ට ද, දෘෂ්ටි සංකල්පයන්ටද, පුද්ගලයන්ටද අන්ධානුකරණයෙන් ප්‍රතිබද්ධව වාසය කරයි. ඒ පිළිබඳව සංයුත්ත නිකායෙහි “අත්තදීප සූත්‍රයෙහි” විස්තර වන්නේ මේ අයුරිනි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්මයක් වශයෙන් මුලාවෙන් දකියි. ආත්මය රූපයෙන් හැදුනු දෙයක් ලෙස මුළාවෙන් දකියි.
මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයා ආත්මීය හැඟීම කේන්ද්‍ර කරගත් තැනැත්තෙක් බවයි. ඔහුට ආත්මයක් අවශ්‍ය ය. එමෙන්ම ආත්මයකට අයත් දෙයක් අවශ්‍යය. එවිට ඔහු නොදැනීම සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආත්ම වශයෙන් ගනියි. එමෙන්ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයත් ආත්ම වශයෙන් ගනියි. මෙසේ ආත්ම වශයෙන් ගැනීම නිසා සිය කය පිළිබඳව මෙන්ම තමා විඳින සැප දුක් පිළිබඳවද තමා දන්නා හඳුනන දේ පිළිබඳවද, තමන් කරන්නා වූ ක්‍රියාකාරකම් පිළිබඳවද, තමාගේ සිත පිළිබඳවද, මහත් වූ මුලාවකට පත්වෙයි. මෙබඳු තැනැත්තා දැඩි ලෙස බැඳී සිටින්නේ ඒ සියල්ල ම තමා හෝ තමාට අයත් දෙයක් වශයෙනි. මේ මතයෙන් නිදහස් වීම මොහුට කළ නොහැකිය. මොහු ආත්මය කුමක්දැයි හෝ අනාත්මය කුමක්දැයි නො දනියි. නිවන ද නොදනියි. මොහුට ඒ සියල්ලම තමා අයත් දෙයකි. සක්කාය දිට්ඨිය යනු මෙයයි. මේ සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සරණ ගියද, ධර්මය සරණ ගියද, ශ්‍රාවක සංඝයා සරණ ගියද ඒ සරණෙහි ස්ථිරව පිහිටා සිටින්නට අසමත් වෙයි. ඔහුගේ සරණ ද ඔහුගේ සීලයද ඔහුගේ ශ්‍රද්ධාව ද පහසුවෙන් ම විලාසිතාවක් බවට පත්වේ. ඔහු වෙනත් මති මතාන්තර සුවසේ වැළඳ ගනියි. මේ නිසා මොහු සෝතාපත්ති අංගයන්ගෙන් තොර කෙනෙකි.
භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන කල්හි නන්දිය නමැති ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසා සිටින්නේ “ස්වාමිනි, යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද මෙවන් ශ්‍රාවකයා ප්‍රමාදී පුද්ගලයා වශයෙන් කිවයුතු නොවේද?
නන්දියෙනි, යමෙකු තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම හැම අයුරින්ම දකින්නට නැද්ද, මා ඔහු ගැන කියන්නේ බුද්ධ ශාසනයට අයිතිි නැති පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු වශයෙනි යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මෙයින් පැහැදිලිව පෙනෙන්නේ පෘථග්ජනයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් තොර බවයි. සතර සෝතාපත්ති අංග යනු මොනවාද? සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයෙකු තුළ අනිවාර්යෙන්ම පිහිටන ගති ලක්ෂණ සතර මොනවාද එනම් ආර්ය ශ්‍රාවකයා
බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුත්ක වූයේ වෙයි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මගඵලලාභී ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි කිනම් කරුණක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වෙයි, ආර්ය වූ සද්පුරුෂ උතුමන්ගේ පැහැදීම ඇතිවන සීලයෙහි අඛණ්ඩව පිහිටා සිටින ගුණයෙන් යුක්ත වෙයි.
මෙකී සෝතාපත්ති අංගයන් ස්ථිරව පිහිටන්නේ මඟඵලලාභීන්ට පමණි. පෘථග්ජන පක්ෂයේ සිටින අන්‍යයෝ කලකට සැදැහැයෙන් ඉපිළ යන සෙයක් පෙන්වමින් භක්තිභාව ගුණෝපේතව වාසය කරති. තවත් කලකට ඔවුන් එයම සැක කොට තිසරණය පවා අත්හැර වෙනත් ඇදහීම්වලට ගොස් ඒ අයුරින්ම භක්තිභායෙන් වසති. ඔවුහු කලකදී සීලයෙන් සුසෝභිත වූ සෙයක් පෙන්වති. තවත් කලකදී මෙකල සිල් රැකීම නොකළ හැක්කකි. යයි සිතයි. ඔවුන්ට සත්‍යයෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. කෘතගුණයෙන් කම් නැත.
මේනිසා අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළේ නම්, ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ඔහු පෘථග්ජනයෙක් නොවේ. ආර්ය පුද්ගලයෙකි. ආර්ය ධර්මයෙහි හික්මුණෙකි. සද්්පුරුෂයෙකි. සද්පුරිස ධර්මයෙහි හික්මුණෙකි. ඔහු තුළ ශ්‍රද්ධා,සති, වීරිය, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් තමන්ගේ අවබෝධයෙහි ප්‍රමාණයට පිහිටා ඇත්තේය. ඔහු සතර අපායෙන් මුදවා සුගතිය කරා ගෙන යන්නේ තමන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලයෙන් විනා වෙනකක් නිසා නොවේ. පෘථග්ජනයා තුළ එබඳු ඉන්ද්‍රියයන් පිහිටා නැත්තේය.
බුදුරජාණන් වහන්සේ නමක් ලොවෙහි පහළ වන්නේ දෙව් මිනිස් ලෝකයා මේ පෘථග්ජන භාවයෙන් මුදවාලීම පිණිසය. සද්පුරුෂ ධර්මයෙහි හික්මවාලීම පිණිසය. ඒ හේතුවෙන් සසර ගමනෙහි නිමග්නව සිටින පුහුදුන් සත්ත්වයෝ සත්‍යාවබෝධය නිසාවෙන් ම ඒ පුහුදුන් ගතියෙන් නිදහස් වෙති. ඔවුහු හේතුඵල දහම පසක් කළාහු වෙති.
පෘථග්ජනයා මමය, මාගේය, මාගේ ආත්මය කියා තමා කේන්ද්‍ර කොට සියල්ලට මුළාවෙන් බැඳී සිටිද්දී එයින් නිදහස් වූවන් සිතන්නේ එයට හාත්පසින්ම වෙනස් අයුරිනි. ලෝකයෙහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ලම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයෙන් යුක්තය යන අවබෝධයයි. මෙය “ධම්මචක්ඛු” හෙවත් “දහම් ඇස” කියා හඳුන්වයි. මේ දහම් ඇස පෘථග්ජනයාට නැත්තේය. එය භාග්‍යවතුªන් වහන්සේ වදාළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝක ස්වභාවයට අයත් හේතුඵල දහම අවබෝධ වීමෙන්ම උපදින්නා වූ ඇසකි. එම ඇස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් උපදින භාග්‍යවතුන් වහන්සේටම අයත් දෙයක් මිස වෙන කිසිවෙකුට අයත් දෙයක් නොවේ. ඒ ඇස උපදින තුරු ලොවෙහි සියල්ලෝ පෘථග්ජනයෝය. සතර අපායෙහි වැටී වැටී දුක් විඳින්නෝ ය. අර්යයන් වහන්සේ නො හඳුනන්නෝය. ආර්ය ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. ආර්ය ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. සද්පුරුෂයන් නො හඳුනන්නෝය. සද්පුරුෂ ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝය. සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝය. මේ පුහුදුන් බව යනු කෙතරම් බිහිසුණු ස්වභාවයක්ද?