ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

දෑස් අන්ධ කරවන විකසිත බවට අතරමං වනු එපා

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්, වයස අවුරුදු පනස් පහේදී වයස අවුරුදු අසූවක පමණ පුද්ගලයෙකු මියැදී ගොස් මෙම තාත්තා ළඟ ඉපදුනා විය හැකියි. අප කුඩා දරුවන්ට ලස්සන ල ස්සන නම් යොදයි. අප කුඩා අවධියෙහි එම දරුවන් කුමන වයසක සිටියා විය හැකිද?එම ශරීරයට වෙනත් නමක් . නම යොදා තිබෙන්නේ ශරීරයට පමණයි. ශරීරය මළා නම්,නැවත වෙනත් ශරීරයක් ගත් විට වෙනත් නමක් ලැබෙයි.

හැඩය වෙනස් වීම

අපි කල්පනාකර බලමු. අවුරුදු විසිපහක තිහක දරුවන් සිටින තාත්තා කෙනෙකු ලෙස සිතමු.දරුවාට අවුරුදු විසිපහ වන විට තාත්තාගේ වයස අවුරුදු හැටපහක් නම්,තාත්තා තව අවුරුදු විස්සක් ජිවත් වූවිට තාත්තාගේ වයස අවුරුදු අසූපහක් වෙයි.
තාත්තා අවුරුදු අසූපහ වන විට මිය ගියා නම්, අවුරුදු විසිපහක පුතා තාත්තා මිය යන විට අවුරුදු හතළිස් පහක් වෙයි. පුතාට වයස අවුරුදු පනහ වන විට තාත්තාගේ වයස කීයක් වී ඇතිද?අවුරුදු හතරක වයසක් සම්පූර්ණ කරයි. පුතා අවුරුදු හතළිස් පහ වන විට තාත්තා නැවත පුතෙක් වශයෙන් ඉපදී වෙනත් නමක් ලබාගනී. සැම තැනකම, සැම දෙයකම, සැම ශරීරයකම, සෑම ගොඩනැඟිල්ලකම, සෑම ද්‍රව්‍යයකම ඇත්තේ එයයි. හැඩ පමණක් වෙනස් වෙයි. මේ ලෝකයේ තිබෙන සැම දෙයක්ම ඒ වගේ බව තේරුම් ගත යුතුයි. හැඩයෙන් හැඩය වෙනස් වන නිසා යොදා ඇති නම් වෙනස් වුවත්,සැම දෙයකම පොදු ගුණාකාරයක් වෙයි. එය නම්, උප්පාද වයධම්මිනෝ . උප්පාද වයධම්මිනෝ යනු පුද්ගලයෙකු මරණයට පත්වූ විට බැනරයක දමන වාක්‍යයක් පමණක් නොවෙයි. උප්පාද වයධම්මිනෝ යනු සුදුපාට රෙද්දක කලු අකුරින් ලියන්න පමණක් තිබෙන වාක්‍යයක් නොවෙයි. එහි සත්‍යය තේරුම් ගත යුතුයි. උප්පාද වනවා නම්, ක්ෂයවීම ධර්මතාවයක්. මේ ලෝකය තුළ අවබෝධකර ගැනීමට ඇත්තේ කුඩා කාරණාවක් පමණයි.
ඔබ රත්තරන්වලින් සාදන ලද භාණ්ඩ ඕනෑ තරම් පරිහරණය කර ඇති.රත්තරන් පත්‍රිකාවල ධර්මය පවා ලේඛන ගත කරයි. චෛත්‍ය රාජයාණන් වහන්සේට පලදවන කොත රත්තරන් වලින් සාදයි. රත්තරන් තුළින් කර්ණාභරණයක් නිර්මාණය කළ හැකියි. මුදුවක් සෑදිය හැකියි. මුදුවක හැඩය කරාබුවට වඩා වෙනස් වෙයි. රත්තරනින් පෙණ්ඩනයක් සෑදිය හැකියි. එහි හැඩය අනෙක් සියල්ලටම වඩා වෙනස් . ඇතැමෙක් රත්තරනින් නාසය අලංකාර කරයි. එය සියල්ලටම වඩා වෙනස්.රත්තරනින් කුඩා පිළිමයක් සෑදූ වට සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් ගනී. සියල්ලෙහිම හැඩය වෙනස් වන අතර එකිනෙකට දමා තිබෙන නම්ද, වෙනස් වෙයි. සියල්ලටම පොදු එකම දෙය නම් රත්තරන්ය.වෙනස් වන්නේ හැඩය සහ නම පමණයි. ඒ සියල්ලම එකම ආකාරයට දිය කළ විට රත්තරන් ලැබෙයි. එකින් එකට වෙනස් නම් දැම්මාට සියල්ලම එකක් වෙයි. සෑම ශරීරයකම කායේ ලෝමා නඛා දන්තා තචෝ පමණක්මයි. ලෝකයෙහි සෑම දෙයකම තිබෙන්නේ පරමාණු පමණයි. පරමාණුවල සංයුතිය වෙනස් . පරමාණුවල සංයුතියේ ඝනත්වය වෙනස්. පරමාණු සංයුති ඝනත්වයට පත්ව අපට පෙන්වන වර්ණය වෙනස්. හැඩය ද වෙනස් වෙයි.
මැටිවලින් වළඳක් සාදා තිබෙනවා යැයි සිතමු. වළඳට වඩා මුට්ටිය වෙනස්. මුට්ටියට වඩා හට්ටිය වෙනස්. හට්ටියට වඩා පෙට්ටිය වෙනස්. ඇතිලියට වඩා නෑඹිලිය වෙනස්. මැටියෙන් නිර්මාණය කර තිබෙන සත්තු ඊට වඩා වෙනස්.හැඩය වෙනස් වුවත්, එකම ඇත්තක් පවතී. බුදුපියාණන් වහන්සේ ලෝකය දෙස බලා එයින් විස්මයට පත්වන්නට එපා කියාද,බලන බැල්මෙන් ආස්වාදයේ උපරිමයෙහි රඳාපවතින්නට එපා යනුවෙන් ද දේශනා කරනු ලැබුවේ එම කාරණාව නිසයි. මේ සැම දෙයක් ඇතුළතින්ම ඇත්ත දකින්න තරම් අපේ ඥානය ගලාගෙන යන තීක්ෂණ භාවයට අප නිදසුන් සෙවිය යුතුයි.

ලෞකික සිතිවිලි

අප ළඟ කඩදාසියක් තිබෙනවා යැයි සිතා එම කඩදාසියට අපගේ චින්තනය ගලාගෙන යාමට ඉඩහැර යම්කිසි ස්ථානයක රඳවා නවතා ගත හැකියි. මේ කඩදාසිය දෙස බලන විට සිතිවිලි ගලාගෙන එයි . කඩදාසිය ලස්සනයි, එය සුදුය, මිල අධිකය, එය ප්‍රයෝජනවත්ය,අලෙවිද කළහැක, යන තැන දක්වා පැමිණ එතෙක් දක්වා ඇවිත් නැවතුන හොත් කඩදාසි කොළය පිළිබඳ පැමිණි සිතිවිල්ලෙහි ලෞකිකත්වයයි. ඉන් එහාටත් ඇතුළට කිඳා බස්නා සිතිවිලි ඇතිකර ගත හැකියි. මෙය කොළයක්ය. එය නාම මාත්‍රිකය. මෙය සාදා ඇත්තේ පිදුරු ආදී ද්‍රව්‍ය වලින්ය. එය අවසානයේදී නැති වන්නේය. අවසානයෙහිදී ඉරීගිය විට ඉවතට වීසි කරයි. අවසානයේදී එම කොළය නැති වන්නේය. එම කොළය පිළිබඳ හටගත් සිතිවිල්ල එතැනින් නැවැත්වූ විට ලෞකික සිතිවිල්ලක් පමණක් ඇතිවෙයි. ලෞකික සිතිවිල්ල දක්වා පැමිණ එම සිතිවිලි ධාරාව නවතනවාට වඩා එම සිතිවිල්ල පතුළට කිඳාබැස නිරායාසීව ගලාගෙන යාමට සැලැස්සුව හොත් ලෝකෝත්තරය දක්වා සිත ගමන් කළ හැකියි.
කිසියම් ධර්මාසනයක් දෙස බලා එය ඉතාම මනස්කාන්තයි.සිත් ඇදගන්නා සුළුයි. මැනවින් කැටයම් කොට තිබෙයි. ඉතාමත් මිල අධික විය හැකියි. එම ධර්මාසනය පිළිබඳ ලෞකික සිතිවිලි ගලාගෙන යන්නේ කෙසේද? එය වටිනා ලීවලින් නිම කර ඇත. මෙහි කැටයම් කැපීමට මාස ගණන් ගත වනු ඇති. එය දක්ෂ කැටයම් ශිල්පියෙකුගේ නිර්මාණයකි. ඒ ලෞකික සිතිවිලි ධාරාව ගලාවිත් නැවතෙන තැනයි. එම ලෞකික සිතිවිල්ලෙහි සිත රඳා තබන්නේ නැතිව යටට කිඳා බස්නා ලෙස සිතිය යුතුයි.ධර්මාසනයක් බව සෑබෑය එය ලීවලින් නිර්මාණය කර ඇති බව සත්‍යයි. එය ගුල්ලන් ගසා ක්‍රමයෙන් දිරාපත් වන බව සැබෑය. ඉන් අනතුරුව ධර්මාසනය නැත. එසේ වන්නේ ධර්මාසනයට පමණක් නොවෙයි. එය නිදසුනක් පමණි. නිදසුනින් එහා ගිය ඇත්ත ධර්මාසනයට පමණක් පොදු නොවන සෑම තැනම තිබෙන පොදු ඇත්තක් වෙයි.

ලෝකෝත්තරභාවය ස්පර්ෂකිරීම

ලෞකික සිතිවිලි ධාරාව කිසියම් ස්ථානයක රඳවන්නේ නැතිව ගැඹුරට කිඳාබස්නා සේ ගමන් කරලීම ලෝකෝත්තරභාවය ස්පර්ෂකර ලෝකෝත්තරභාවය සාක්ෂාත් කරන සිතිවිල්ලයි. කැටයම ඉදිරියේ රැවටුණ හොත් , කැටයම ඉදිරියේ සිත මන්මත් වී ගිය හොත් ලෝකෝත්තරයට නොයා ලෞකික සිතිවිලිවල සිත අතරමං වෙයි.
අතීතයේ කරත්ත පිළිබඳව සිතුවත් වර්තමානය වන විට අලුත් වාහන දෙස බලාගෙන එය විශාල වටිනාකමක් ඇත. අසවල් රටෙන් ආනයනය කර ඇත. මෙහි වර්ණය බොහොම පැහැපත්ය. ආසන ඉතාම සුවපහසුය. එය බොහෝ මිල අධිකය. එහෙයින් කල් නොයවා මිලදී ගත යුතුයි. මේ වාහනය වටින්නේ කුමක් නිසාද ? එය අපේ ගෙදරට එහා ගෙදර නැති හෙයිනි. අපේ ගමට එම වාහනය තවමත් නොපැමිණි නිසා පැමිණීමට පෙර මා මිලදී ගත යුතුයි. යනුවෙන් ලෞකිකයෙහි සිත අතරමං වී ගිය ආකාරයයි.
වාහනයේ මිල අධික බව සැබෑය. එය සාදා ඇත්තේ ලෝහවලිනි. ලෝහ දිරාපත්වීම ස්වභාවිකය. තවත් අවුරුදු ගණනාවක් ගිය විට භාවිතයෙහි නැති වනු ඇති. දිරාපත් වනු ඇති. ප්‍රතිසංස්කරණය කරනු ඇති.නැවත නැවත හදනු ඇති.එය ලෝකෝත්තරයෙහි සිත අතරමං නොකර ලෞකිකයට සිත කිඳා බස්සවන ස්ථානයක් වෙයි.
කිසියම් අයෙකුගේ අතක් දෙස බලාගෙන මේ අත හරිම ලස්සනයි නියපොතු හරිම සුදුයි. වටකුරුයි විල්ලුද සමක් සහිතයි. වර්ණවත්. අල්ල හරිම පියකරුයි. කියා යමෙක් අතක් දෙස බලාගෙන අතට වශී වුවහොත් එය සිතිවිල්ලක් සේ ලෞකිකයෙහි අතරමං වීමක්. කළ යුත්තේ කුමක්ද? එය සමය.සම මතුපිට ඇත්තේ ලොම්ය. එයට යට ඇත්තේ කුඩා සමය . එයටත් යට ඇත්තේ සමය. සමට යට ඇත්තේ මසය. මසට යට ඇත්තේ ඇටය. ඇට අතර ඇත්තේ ඇට මිඳුලුය. එය අතර ඇත්තේ නහරය .ඒවායෙහි ඇත්තේ ලේය.එයටත් යට සිරා හා ධමනිය.එය සැම එකක් සඳහාම වෛද්‍යවරු ඇත්තේය. වෛද්‍යවරු එය ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රතිකර්ම කරමින් සුවපත් කිරීමට වෑයම් කරනු ඇත්තේ එම සියල්ලම ලෙඩ වන නිසාය. මෙහි මනස්කාන්ත භාවය ඉදිරියෙහි ඇස් රවටාගනු වෙනුවට කිදා බස්නා ඇත්තකින් ලෝකෝත්තර සිතිවිල්ලකට අත හරහා සිත ගමන් කරවිය හැකියි. එසේ වූ විට පෙනෙන්නට තිබෙන ඔපමට්ටම් විල්ලුද සමෙහි සිත රඳවා ලෞකිකයෙහි අතරමං නොවී ලෝකෝත්තරය දක්වා ගමන් කළ හැකිය. ඇල්ම නැති වන්නේ එවිටයි. ඒ ආකාරයට කල්පනා කරන විට මේ ශරීරය පිළිබඳ ඇලීමක් ද ගැටීමක් නැහැ. ඇලීමෙන්ද තොර ගැටීමෙන්ද තොර අවස්ථාව නිවන පහසු කරවන තැනක්.
එම නිසා නාම මාත්‍රික දේ පිළිබඳව නාම මාත්‍රිකව කල්පනා කරමු. එය සඳහා විභාග සමත් වීමට අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමට විභාග සමත් වීම අවශ්‍ය නැහැ. ඔබ දන්නා ප්‍රමාණය හොදටම ප්‍රමාණවත්. වයස අවුරුදු අෙටි චුල්ල පන්ථක කුඩා දරුවාට තේරුනා නම්, වයස අවුරුදු අෙටි හතේ සෝපාක දරුවාට තේරුණා නම්, කසළ සෝදක සුනීතට තේරුණා නම්. දෑස් අන්ධ මන්ද කරවන විකසිත බව ඉදිරියේ අතරමං වනු එපා.කිඳා බස්නා සිතිවිල්ලෙන් ලෝකයේ සත්‍ය සත්‍යයේක්ෂණය කරන්නට වෑයම් කළ යුතුයි. මේ ශරීරයත් ඒ වගෙයි.අනෙක් ශරීරත් ඒ වගෙයි. ශරීර නොවන වෙනත් ද්‍රව්‍යද ඒ වගෙයි. සියල්ලේම ඇත්තේ පරම අණු හෝ අණුක පමණයි. ඇත්තේ වෙනස නම්න් පමණයි. එම සත්‍ය තේරුම් ගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පරම දුර්ලභ ක්ෂණ සම්පත්තිය

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

වටිනා මනුෂ්‍ය ජීවිතයකට උරුමකම් ලද අපට මහත් වූ දුර්ලභ අවස්ථාවක් දැන් උදාවී තිබෙනවා. බොහෝ දෙනෙකුට මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි කියා තේරෙන්නේ නැහැ. ඔවුන් සිිතාගෙන ඉන්නේ නැවත නැවතත් මේ මනුෂ්‍ය ජීවිතයම අපට ලැබේවි කියා කෙසේවත් එය එසේ වන්නේ නැහැ.

දුර්ලභ මිනිසත් බව ලැබීම

බුදුරජාණන් වහන්සේ “මනුෂ්‍ය චුති” සුත්‍රයේ දී වදාළා මහණෙනි, මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අය අතරින් බොහෝම ස්වල්ප දෙනයි මිය ගියාට පසු නැවත මනුෂ්‍ය ලෝකයේ උපදින්නේ. උපමාවක් ලෙස එකරුණ පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ නියසිලට පස් ස්වල්පයක් ගෙන අසනවා “මහණෙනි, මේ තථාගතයන් වහන්සේගේ නියසිල මත පිහිටි පස්ද වැඩි. නැතිනම් මහපොළොවේ තිබෙන පස්ද වැඩි” කියලා. ඉතින් ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නියසිල මත කෙතරම් ස්වල්පයක්ද පස් තිබෙන්නේ. සංසන්දනය කළ විට මහපොළොවේ තිබෙන පස්මයි වැඩි. මහපොළොවේ තිබෙන පස් ප්‍රමාණය තථාගතයන් වහන්සේගේ නියසිලේ තිබෙන පස් ප්‍රමාණය මෙන් සිය ගුණයක්, දහස් ගුණයක් ලක්ෂ කෝටි ගුණයක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ. මහපොළොවේ තිබෙන පස්මයි වැඩි. ඉතින් ඒ වෙලාවේ සියල්ල දන්නා,දක්නා වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළා “එසේනම් මහණෙනි දැනගන්න. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන මිනිසුන් අතරින් මැරුණාට පස්සේ නැවත මනුලොව උපත ලබන්නේ මේ නියසිලට ගත් පස් ස්වල්පය වගේ බොහෝම ටික දෙනයි. සංසන්දනය කළ විට මහපොළොවේ ඇති පස් ප්‍රමාණය මෙන් මිනිසුන් ප්‍රමාණයක් මනුලොවින් චුත වූ විට නැවත උපදින්නේ සතර අපායේ. මෙකරුණ අප කැමැති වුණත්, අකැමැති වුණත් පිළිගත්තත් නො පිළිගත්තත් එය තමයි මනුලොව වෙසෙන බොහෝ දෙනෙකුගේ සැබෑම ඉරණම.

නිතර යන එන – මහගෙදර

ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා බොහෝ දෙනෙක් උපදින මේ සතර අපාය සංසාර ගත සත්ත්වයාගේ මහගෙදර වගේ කියලා. ඒක උපමාවක්. මහගෙදර කියන්නේ අප ඉපදුන, බොහෝ කාලයක් ජීවත්වන ස්ථානය. පුංචි කාලයේ අප පාසල් ගියත් පාසල අවසන් වූ පසු නැවත එන්නේ ගෙදරට. සෙල්ලමට ගියත්, රැකියාවට ගියත්, විනෝද ගමන් ගියත්, පිටරටකට ගියත් ආපසු එන්නේ අප බොහෝ කාලයක් ගත කළ මහගෙදරට. සාමාන්‍ය ජීවිතයේදී මහගෙදරට එනවා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා සංසාරගත සත්ත්වයාටත් මහ ගෙදරක් තිබෙනවා. සංසාරගත සත්ත්වයාගේ මහගෙදර වන්නේ සතර අපාය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අප සුළු කලකටයි මනුස්ස ලෝකයක දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක උපතක් කරා යන්නේ. එතැනින් ආයුෂ ගෙවී චුත වූ විගස බොහෝ දෙනෙකු උපදින්නේ සතර අපායේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සතර අපාය සංසාරගත සත්ත්වයාගේ මහගෙදර වශයෙන් වදාළේ.

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම

දැන හෝ නොදැන කෙනෙක් සතර අපායේ වැටුණොත් එයින් නිදහස් වෙලා නැවත සුගතියකට ඒ කියන්නේ නැවත මනුෂ්‍ය ලෝකයක, දිව්‍ය ලෝකයක උපත ලබනවා යන කාරණය ඉතාමත් දුර්ලභයි. “ජිග්ගල සූත්‍රයේ” දී සුගතියේ ඉපදීමේ දුර්ලභ බව ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, මේ මහා පෘථිවියෙහි පොළොවක් නොමැතිව සාගරය පමණක් තිබෙනවා කියා සිතන්න. මේ මහා සාගරයෙහි එක සිදුරක් ඇති වියගහක් පාවෙනවා. වියගහ කියන්නේ නගුලෙහි පාවිච්චි කරන ලී කඳකට. ඔබ වියගහ දැක නැත්නම් හිතන්න සිදුරක් තිබෙන ලී කෑල්ලක් සාගරයෙහි පාවෙනවා කියලා. ඉතින් මේ වියගස උතුරින් හමන සුළඟට දකුණට ගසාගෙන යනවා. ඔය අතර නැඟෙනහිරින් සුළඟක් හැමුවොත් බටහිරට ගසාගෙන යනවා. එකතැන තියෙන්නේ නැහැ. පොළොවක් නොමැති නිසා වෙරළකට ගොඩ ගසන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මහෙණිනි සාගරයෙහිම පත්ලෙහි එක ඇසක් නොපෙනෙන කණ කැස්බෑවෙක් වාසය කරනව. මේ කණ කැස්බෑවා දිය මතුපිටට පැමිණෙන්නේ අවුරුදු සියයකට වතාවක් . දිය මතුපිටට එනවිට අහඹු ලෙස සාගරයේ පාවෙන වියගහත්, කණ කැස්බෑවත් එකට මුණ ගැසී ඒ වියගසේ විය සිදුර තුළින් කැස්බෑවා අහස බලනවා කියන සිද්ධිය සිදුවෙන්න පුළුවන් දෙයක්ද? භාග්‍යවතුන් වහන්ස, බොහෝ කාලයක් ගතවී වුවද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා යන කරුණ සිදුවන්නට පුළුවනි. නමුත් මහණෙනි, සතර අපායේ වැටුණා වූ සත්ත්වයෙක් නැවත සුගතියකට පැමිණෙනවා යන කාරණය ඒ තරම් ඉක්මනට සිදු නොවන්නකි.

ක්ෂණ සම්පත්තිය මුණ ගැසීම

ඔබ කල්පනා කර බලන්න මේ මොහොතේ අප කෙතරම් වාසනාවන්ත පිරිසක්ද කියලා. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ අවස්ථාවක් ලෙස මනුෂ්‍ය ජීවිතයක් අපට උරුමවෙලා තිබෙනවා. ඒ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අප තේරුම් ගත යුතුයි.
ඒ විතරක් නොවෙයි සසරට වැටුණ සත්ත්වයෙක් හට සුලභව මුණ නොගැසෙන ඉතාමත් දුර්ලභ තවත් වාසනාවක්, භාග්‍යයක් අපට මුණගැසී තිබෙනවා. ඒ බුදුරජානන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ඇති හැකියාව. මේ ලෝකයේ ශ්‍රී සද්ධර්මය ඇසූ අයට වඩා නොඇසූ අයමයි වැඩි. භාග්‍යවතුන් වහන්සේ අක්ඛණ සූත්‍රයේදී වදාළා
* මහණෙනි, ථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් නිරයේ ඉපදී ඇත්නම් ඔහුට ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් තිරිසන් ලෝකයේ ඉපදී සිටීනම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් පේ‍්‍රත ලෝකයේ ඉපදී සිටීනම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් දීර්ඝ ආයුෂ ඇති අසඤ්ඤී ලෝකයේ ඉපදී සිටීනම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හී යම් පුද්ගලයෙක් ඈත අතිශයින්ම අඥාන මිලේච්ඡ මිනිසුන් වසන ප්‍රත්‍යන්ත ජනපදයක ඉපදී සිටීනම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
*තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගලයෙක් නියත මිත්‍යා දෘෂ්ඨික බැසගෙන සිටීනම් මධ්‍යස්ථ සිතින් ධර්මයට ඇහුම්කම් නොදෙයි නම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දහම් දෙසන කල්හි යම් පුද්ගයෙක් මන්ද බුද්ධිකව, ප්‍රඥාවෙන් තොරව ඉපිද සිටීනම් ඔහුටද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
* යම් පුද්ගලයෙක් අතිශය ප්‍රඥා සම්පන්නව වහා වැටහෙන සුළු නුවණ ඇතිව උපදින්නේ වුවද ඔහු ජීවිත්වන කාලය අබුද්ධෝත්පාද කාලයක් නම් ඔහුට ද ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව අහිමියි.
එසේ නම් බලන්න අප මේ මොහොතේ නිරයෙන්, තිරිසන් ලෝකයෙන්, පේ‍්‍රත ලෝකයේ, අසඤ්ඤී තලයෙන්, ම්ලෙච්ඡ දේශයෙන්, නියත මිථ්‍යා දෘෂ්ඨියෙන් අංගවික ල බවින්, අබුද්ධෝත්පාද කාලයෙන් මිදී මනුෂ්‍ය ජීවිතයක් ලබලා බුද්ධ ශාසනය මුණගැහිලා (බුදුරජානන් වහන්සේගේ අනුශාසනාවන් අසන්න ලැබිලා) ධර්මය අවබෝධ කළහැකි අය ලෙස ඉපදී සිටිනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් ධර්මය අවබෝධ කළහැකි අවස්ථාවත් යන දෙක එකට මුණගැසීම බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂණ සම්පත්තිය ලෙසයි. මේ ක්ෂණ සම්පත්තිය සංසාරගත පුද්ගලයෙකුට මුණගැසෙන්නේ පරම දුර්ලභවයි. නමුත් ලෝකය දෙස බලන විට අපට පෙනීයන්නේ මේ පරම දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නා පිරිස ඉතාමත් අල්ප බවයි.
ඒ නිසා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් මුණගැසුණු අවස්ථාවේ නිමක් නැති ආසාවන් පසුපස දිවයන්නේ නැතිව ගෞතම ශාසනයේ සැබෑම පිළිසරණ ලබන්නට අදිටන් කර ගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රවේසමෙන් පිට කළ යුතු වචන

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

ධර්මය යනු මේ ලෝකය සැමදාමත් ගමන් කරනු ලබන රිද්මය සහ විලාසයයි. එය ලෝක ස්වභාවය වෙයි.යම් යම් පුද්ගලයන් තමාගේ මනස තුළ ප්‍රශ්න වැඩි වශයෙන් තබාගෙන සිටීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට හේතු වෙලා තිබෙනවා. මනස තුළ පවතින ප්‍රශ්න ගැටලු අඩු පිරිස් සාමාන්‍ය ලෙස අසනීප වුවත් , මනස තුළ ප්‍රශ්න වැඩි පිරිස් වැඩි වශයෙන් අසනීප වෙයි. මනස තුළ ප්‍රශ්න තැන්පත් නොකර සිත සැහැල්ලු කරගත යුතුයි. තමාගේ ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක් නම් එම ගැටලු සහගත බව මනස තුළ රඳවාගෙන සිටීම නිසා තමාට අකුසල් සිද්ධ වෙයි. තමාට මතුවන ගැටලුවට නිවැරැදි නිශ්චිත නිරවුල් විසඳුම් සොයාගත යුතුයි. ඇතැම් වැඩිහිටියන් පුරුද්දක් ලෙස ප්‍රශ්න මනස තුළ රදවාගෙන සිටීයි. ඇතැම් අම්මාවරුන් ඇතැම් ආච්චි අම්මාවරුන් ඉතාම තරහෙන් යුතුව පිපිරී පිපිරී විවිධ ප්‍රශ්න මනස තුළ තබාගෙන සිටියි. මුහුණ දැක්කත් තරහෙන් අහක බලන ගති සිරිත් ඇතැම් කෙනෙක් තුළ දක්නට ලැබෙයි.
තමාගේ වචන පරිහරණය කළයුතු ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුෙවි කටින් වුවත්, එම කට ශ්‍රී මුඛය ලෙස හඳුන්වයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටතට දැමූ කාරණා ලෝකයටම ශාන්තියක් වූ නිසාත් සමාජයට අර්ථයක් වූ නිසාත් ,ශ්‍රී මුඛය ලෙස ගෞරවයෙන් යුක්තව හඳුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් ධර්මය දේශනා කළ අතර අප කටින් වචන පිටකරයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රි මුඛයෙන් එළියට දැමු වචන තුළින් සැමදාමත් ලෝකයට අර්ථයක් වන ආකාරයෙන් යුක්තව දේශනා කළ වචන ශ්‍රී සද්ධර්මය ලෙස හඳුන්වයි. තමාගේ කට තමාට පමණක් වැදගත් නොවන අතර තමාගේ නිවස තුළ තවත් පුද්ගලයන් සිටින බව දැන ගත යුතුයි. වචන තුළ පවතින කරුණාව සහ ප්‍රඥාාව එකකට එකක් වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කිරීෙමිදී උන්වහන්සේගේ මනස තුළ මහා කරුණාව මහා ප්‍රඥාව පැවතුණා.බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථනයන්හි ධර්මය දේශනා කරන විට මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ අතර ඇතැම් අවස්ථාවල මහා ප්‍රඥාවෙන් ධර්මය දේශනා කරනු ලැබුවා. ඇතැම් අවස්ථා තුළ ධර්මය දේශනා කරන විට කරුණාවත් ප්‍රඥාාවත් සමසේ තබා ගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ සුනීතට, සෝපාකට ධර්මය දේශනා කරන අවස්ථාවෙහි මහා කරුණාවෙන් යුක්තව ධර්මය දේශනා කළා.ආලවක වැනි පුද්ගලයන්ට ධර්මය දේශනා කරන්නට යෙදුණේ මහා ප්‍රඥාාවෙන් යුක්තවයි. වචනයට පුද්ගලයෙකු දමනය කිරීමේ හැකියාව පවතී.මිනිසුන් මෙල්ල කිරීම සඳහා ලෝකය තුළ කෙතරම් අවි අයුධ පැවතියත් ප්‍රඥාගෝචර වචන තුළින්ද මිනිසුන් දමනය කළ හැකිය.අප එදිනෙදා කතාකරන විට හිතා බලා ප්‍රඥාාවෙන් යුක්තව වචන පිට කළ යුතුයි. ප්‍රඥාාව නැති වචන සියයකට වැඩිය ප්‍රඥාසම්පන්නව කටින් පිටතට දමන වචනය වැදගත් වෙයි. ශරීරය තුළ තිබෙන්නාවූ සෑම අවයවයක්ම වැදගත් වුවත්, එම සියලු අවයවයන්ට වඩා කට වැදගත් වෙයි.දැනුමක් සහිත පුද්ගලයා කනෙන් ශබ්ද ලබාගන්නා විට මනසට වැදගත් ශබ්ද පමණක් ලබාගන්නා අතර නොදැමුණු පුද්ගලයා අවුල්කාරී ශබ්ද කනෙන් අසමින් මනස තුළට අවුල් දමාගනී.

විශාල ගෙවල් දොරවල් හදාගෙන, ලස්සනට ඇඳ පැළඳ ගෙන, යාන වාහන පාවිච්චි කරමින් සිටියත්, ඔහු කරන ක්‍රියාවෙන් ඔහුගේ තත්ත්වය පැහැදිලි වෙයි. එම සියල්ලම සිත විසින් මෙහෙවනු ලබයි.දැමුණු පුද්ගලයා තමාගේ ජීවිතයට වගේම සමාජයට යහපත වන ආකාරයේ යහපත් රූප ඇසෙන් ලබාගනී.නොදැමුණු පුද්ගලයා අවුල් සහගත අපිළිවෙළ රූප ඇසෙන් ලබාගනී.ඇසට විලාසිතා කරමින් කෙතරම් ලස්සන කළද වඩාත් වැදගත් වන්නේ ඇසෙහි යථාර්ථයයි. සියලු දෙනාටම ඇස් තිබුණත් ඒ ඒ පුද්ගලයන් ඇසෙන් ලබාගන්නාවූ ප්‍රයෝජන සහ අවබෝධය වෙනස් වෙයි.ඇස්, කන් දෙකක් වශයෙන් ලබාදී තිබුණත් එක කටක් පමණක් ලබාදී ඇත.බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම නායක්වය සැපයූයේද ශ්‍රී මුඛයෙන් නිසා අපටත් කට ඉතාම වැදගත් වෙයි. දේවදත්ත හාමුදුරුවන් අපායගාමී වීමට බලපෑවේද එම කටමයි.
බුදුරජාණන් වහන්සේ කට සඳහා නීති දමා ඇති බවට සිතුනත් එම නිතී බොහොමයක් සිතට දමා ඇත.මනස තුළ පවතින අදහස් වචන ලෙස කටින් පිටතට පැමිණෙයි. සිතෙහි කේන්තිය පවතින අවස්ථාවක කටින් වචන පිට කිරීම තහනම් වෙයි. අම්මාවරුන්ගේ කොණ්ඩය සුදුපැහැ ගැන්වී ශරීරය රැලි වැටෙන්නේ දරුවන් වෙනුවෙන් වෙහෙස වීම නිසා වුවත්, ඇතැම් අම්මාවරුන්ගේ කට නිසා ඇතැම් දරුවන්ට අම්මා එපා වන අවස්ථා නැතිවා නොවෙයි. මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචන කතා කිරීම තහනම් බව ඇතැම් අම්මාවරුන් දන්නේ නැහැ.මනස තුළ කේන්තිය පවතින අවස්ථාවල තමන් කතා කරන වචන තුළ පාලනයක් නැත. සිහිකල්පනාව ඇති විට කතාකිරීමට සිතුනත් තැන නොතැන බලා සිතා බලා කතා කරනවා මිස එසේ නොමැතිව කතාකිරීමට පෙළඹෙන්නේ නැහැ. කේන්ති ගිය ප්‍රද්ගලයාගේ සිත පාලනය කරගැනීමට නොහැකි නිසා සිතට එන එන දේ කියා දමයි.කේන්තිය බරපතල ගැටලුවක් නිසා කේන්ති පවතින අවස්ථාවක වචනය කටින් පිට කිරීම තහනම් බවට බුදුරජාණන් වහන්සේ නීතියක් ද පනවා තිබෙනවා. ඇතැම් වචන තොල සමීපයට පැමිණියත් පිටතට නොදැමිය යුතුයි.අප වචනයක් එලියට දමන විට එම වචනය පිට කරන්නේ කුමක් සඳහාද ? යන්න තුන් වතාවක් සිතිය යුතුයි මනස දැනුමෙන් හිස් නම්, ජීවිත අත්දැකීම් අඩු නම්, සමාජ අත්දැකීම් අඩුනම්, එම අඩුවීමත් සමඟ කටවල්වල ශබ්දය වැඩිවෙයි. මෝඩ මිනිසුන් ගැහැනුන් කෙතරම් කතාකරනවාද? සොයාබලන්න. ඔවුන් කේන්තියෙන් , වෛරයෙන් යුක්තව කතා කරයි. අප වචනයක් කතා කරනු ලබන්නේ තවත් පුද්ගලයෙකුගේ ශ්‍රවණය සඳහා බව අවබෝධ කරගත යුතුයි.තමා වචනයක් කතා කරන විට එම එලියට දැමීමට යන වචනය එලියට දැමීමට පෙර තුන් වතාවක් සිතා පිට කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.අපේ හඬ වායුගෝලයට මුදාහරින විට එම හඬ ඇසෙන පිරිස් සිටී. එම හඬ අසම්න් දැනුම අවබෝධය ලබාගන්නා පිරිස් සිටින බව සිතිය යුතුයි.

ඇතැම් පුද්ගලයන් තකා කරන හඬ අසාගෙන සිටින විට නොතිබුණ කේන්තියක් මනසට ඇතිවෙයි. වෙනත් පුද්ගලයෙක් කතා කරන වචන නිසා අපගේ මනස කේන්තියෙන් ඇළලී යන අවස්ථා නැතිවා නොවෙයි. ඇතැම් පුද්ගලයන් කතා කරන වචන අසන විට අපගේ මනස තුළ පවතින කේන්තිය ක්‍රමයෙන් අඩුවෙලා යයි. මනස තුළ පැවැති මහා ප්‍රශ්න ගොඩ ලිහිල් වී ප්‍රශ්නයක් නොමැති තත්ත්වයට පත්වෙයි.
මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචන කතා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ නීතියක් පනවා ඇත. කේන්ති මනසින් යුතුව නුසුදුසු වචන කතා කළ විට තමාට හානියක් වනවා මිස,ලාභයක් වන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ තරහෙන් කේන්ති ගන්නා පුද්ගලයන් වැඩි පුර දක්නට ලැබෙන අතර එය මානසික රෝගයක් වෙයි.වැඩිපුර කේන්ති ගන්නා පුද්ගලයන් මානසික රෝගියෙකු විය හැකිය. ඇතැම් අම්මාවරුන් නිතරම තරහෙන් කේන්තියෙන් වෛරයෙන් සිටින අවස්ථා දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවල අපගේ චර්යාවන් වෙනස් වීමට භාජනය වන්නේ අපටත් නොදැනීමයි. තමාගේ කේන්තිය සඳහා තමාට වාසි වන ආකාරයේ හේතුවක් ප්‍රකාශ කරයි. කේන්ති යාමට පවතින විසඳුම කේන්ති නොගැනීම මිස වෙන සාධාරණ හේතුවක් නැහැ. තමා වැඩ කරනු ලබන්නේ කේන්තියෙන්ද යන්න සැම විටම සිතිය යුතුයි. එසේ නොසිතීමෙන් තමාගෙන් විශාල අකුසල් ප්‍රමාණයක් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා කිසියම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවුවහොත්,තමා කතා කළ වචනය නිසා එම අසාධාරණය තිබෙන කම් තමන්ට අකුසල් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා වෙන අයෙකුගේ විවාහයක් කැඩී ගියහොත් එම විවාහය පිරිද්දෙන තුරු තමා කරගත් අකුසල් ඉවත් වන්නේ නැහැ. මල් වට්ටියක් පුජා කළාට එවැනි අකුසල් ගෙවන්න බැරි තරම් බරපතල වෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වචනය වැදගත් බව දේශනා කර ඇත. මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචනය පිට කිරීම තහනම් වන අතරම තමාගේ කටට එන වචන හොඳට සිතා බලා සමාජයට ප්‍රියශීලි වන ආකාරයට පමණක් පිට කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. අප්‍රිය ජනක අප්‍රියශීලී වචන එලියට දැමීම තහනම් වෙයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සත්ත්වයා යනු සසරට ඇලුම් කරන්නායි

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඉතාම ගම්භීරවූත්, සුන්දරවූත් සූත්‍ර දේශනාවකි. මෙම සම්මා දිට්ඨි සූත්‍රය වාර දහසයකට බෙදා ඇත. එහි ජරා මරණ වාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු
ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ජරා මරණ මනාලෙස දැනගනීද, ජරා මරණ සමුදය මනා ලෙස දැන ගනීද, ජරා මරණ නිරෝධය මනා ලෙස දැන ගනීද, එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. දහම දැන පැහැදුනේ වෙයි. ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, ජරා මරණ යනු කවරේද? ජරා මරණ සමුදය යනු කවරේද? ජරා මරණ නිරෝධය යනු කවරේද? ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව යනු කවරේද?
ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොටස්වල යම් දිරීමක්, දිරන බවක්, කැඩුණු බවක්, කෙස් ආදියෙහි පැසුණු බවක් රැළි ගැසුණු බවක්, ආයුෂ පිරිහීමක් ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එය ජරාවයි.
මරණය යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වලින් යම් චුතවීමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරය බහා තැබීමක් වේද, එය මරණය වෙයි. මෙසේ ජරාවත් මේ මරණයත් දෙක එක්වීමෙන් ජරා මරණ නමින් නම් වේ. ඉපදීම හේතුවෙන් ජරා මරණ දෙක ඇතිවේ. ඉපදීම නැති කිරීමෙන් ජරා මරණ දෙක නැති වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ජරා මරණ නැති කිරීමේ මාර්ගය වේ.
ජරාව සහ මරණය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරා මරණ දනීද, ජරා මරණ සමුදය දනීද, ජරා මරණ නිරෝධය දනීද, ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව දනීද හෙතෙම රාගය අත්හැර ද්වේශය අත්හැර මානය අත්හැර, අවිද්‍යාව අත්හැර විද්‍යාව උපදවා මේ ආත්මභවයෙහිදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි.
දහම පිළිබඳව ව වන ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමකින් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි. මේ සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවෙහි ජරා මරණ ගැන දක්වා ඇති ආකාරයයි.
මෙහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ජරා සහ මරණ යන ධර්මතා දෙක පදනම්ව චතුරාර්ය සත්‍යය වටහා ගන්නා ආකාරය පැහැදිලි කර දීමක්. මෙහිදී ජරාව සහ මරණය අයත් වන්නේ දුක්ඛ සත්‍යයටයි. ජරා, මරණ සමුදය ජාතිය ලෙසත්, ඉපදීම දුක්ඛ සමුදය ලෙසත්, ඉපදීම නැතිකිරීම හෙවත් ජාති නිරෝධය වූ කල්හි එය දුක්ඛ නිරෝධය ලෙසත්, ජරා මරණය නිරෝධය සිදුවන්නේ ජාති නිරෝධය සිදු වන විට බවත් ජාති නිරෝධය සිදු කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළයුතු බවත්, එය දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව ලෙස වදාළ සේක.
හේතුව සහ ඵලය
පටිච්චසමුප්පාද ධර්මයට අනුව දුක ඇතිවීමට හේතුවන කාරණාව විටෙක ඵලයක් ලෙසින්ද, ක්‍රියාත්මක වන බැවින් හේතුවද, ඵලයද යන දෙකම නැතිකිරීම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව ලෙස දැකිය යුතුයි. ජරා මරණ නම් වූ කාරණය දුකක් නම් ඒ දුකට මුල් වූයේ ඉපදීමයි. ඒ අනුව ඉපදීම හෙවත් ජාතිය යනු ජරා මරණ සමුදය යි. දුක්ඛ සමුදයයි. කිසිවෙකුත් හෝ කිසිවක් ඉපදුනේ නැතිනම් හට ගත්තේ නැතිනම් ජරා මරණයන්ට ගොදුරුවීමක් ද සිදුවන්නේ නැහැ. ජරා මරණ දුකට පත්වීමක් වන්නේ නැහැ. එතැන ඇත්තේ ජරා මරණ නිරෝධය යි. නැත්නම් දුක්ඛ නිරෝධය යි. ඒ ජරා මරණ දුකින් මිදෙන්නට නම් ඉපදීම නවතාලිය යුතු වෙනවා. ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගය වන්නේ ඉපදීම නිරුද්ධ කරන මාර්ගය යි. ඉපදීම නැතිකරන ලෙසින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ නම් එය ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව සේම ජාති නිරෝධගාමිනි ප්‍රතිපදාව හෙවත් දුක්ඛ නිරෝගාමිනි ප්‍රතිපදාවයි.
ඒ වගේම සම්මා දිට්ඨි සූත්‍රයෙහි සඳහන් වෙනවා සත්ත්වයා යනු භවයෙහි ඇලුන තැනැත්තායි. පංචස්කන්ධය උපාදානය කර ගත් සත්ත්වයන්ට පැවැතිය හැකි ප්‍රධාන ස්ථාන තුනක් තිබෙනවා. ඒ ත්‍රිවිධ භවය යි. කාම භව, රූප භව හා අරූප භවය යන ත්‍රිවිධ භවයනුයි. මේ භවත්‍රයෙහි ඒ ඒ සත්ත්වයන්ට පැවැතිය හැකි අනු කොටස් තිබෙනවා. ඒවා නිකාය නමින් හඳුන්වයි. මිනිසුන් ජීවත් වන කොටස මනුෂ්‍ය නිකාය, දෙවියන් ජීවත්වන කොටස දේව නිකාය වශයෙන් දක්වා තිබේ. මරණයකදී සිදු වන්නේ මේ විවිධ කොටස්වල ජීවත්වන සත්ත්වයන් ඒ තමන් ජීවත්වන කොටසින් ඉවත් ව යාමයි. මේ ජරා මරණ තුළින් මරණය පිළිබඳව මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කෙරේ.
ඉපදීම කොටස් හතරකි
මරණය සිදුවන්නේ මේ ලෝකයෙහි සත්ත්වයන් පහළවන ස්වභාවයට සාපේක්ෂවයි. පහළවීමේ ස්වභාවය අනුව ඒ ලොව සිටින සත්ත්වයන් ප්‍රධාන කොටස් හතරකට බෙදෙයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනු ඒ වර්ග හතරයි. අණ්ඩජ යනු, බිත්තර වලින් උපදින සත්ත්වයන්, ජලාබුජ යනු මව්කුස ඇසුරෙහි උපදින සත්ත්වයන්, සන්සේදජ යනු කුණු වූ පලතුරු, මඩ මිශ්‍ර තෙත් පරිසරයේ උපදින සත්ත්වයනුයි. ඕපපාතික යනු දෙවියන් බඹුන් වැනි ඉබේ පහළ වන සත්ත්වයන්ය.
ජීවිතය බිඳී යාම මරණයයි
මරණය විස්තර කිරීමේදී 'චුති' යන වචනය දක්වා ඇත්තේ ඕපපාතික සත්ත්වයන්ගේ මරණයයි. චුතවෙනවා යනු රූප කාය ඉතිරි කරන්නේ නැතිව අතුරුදහන් වීමයි. දෙවියන් බඹුන් ආදීන් චුත වන විට ඔවුන්ගේ සිරුර එම ලෝකයේ ඉතිරි වන්නේ නැහැ. එයද අතුරුදහන් වෙනවා. චවනතා යනු ඉතිරි කොට යාමයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ යන ක්‍රමවලින් උපදින සත්ත්වයන් සියල්ලන්ම මරණයේදී තම රූපකායයන් මේ ලොව ඉතිරි කර යනවා. එය චවනතා වශයෙන් දක්වා තිබෙනවා. සර්පයෙක් හැව අතහැර යන්නා සේ මරණයට පත්වීමේදී සිරුර ඉතිරි කොට මැරෙන සත්ත්වයන් ගැන මෙහි දක්වා තිබෙනවා. භේදෝ යනු ජීවිතින්ද්‍රියෙහි බිඳී යාම හෝ සිඳීයාමයි. ජීවිතය බිඳීයාමෙන් සිදු වන්නේ ද මරණයයි. සත්ත්වයෙකුට ජීවත්වීමට නියමිත වයස් සීමාවක් ඒ ඒ සත්ත්ව නිකායවල සම්ප්‍රාප්තියක් ලෙසින් පවතිනවා. එහෙත් ඒ ඒ නිකායවල පහළ වෙන සෑම සත්ත්වයෙකු ම ඒ වයස් සීමාව පසුකොට මැරෙනවා යැයි නියමයක් නැහැ. කර්මානුරූපීව එය වෙනස්විය හැකිය. සම්මත ලෝකයෙහි ආයුෂ අවසන්වීමෙන් සිදුවෙන මරණය ආයුක්ඛය මරණය වශයෙන් දක්වා තිබෙනවා. එසේ ආයුක්ඛය මරණයට පත්වීම මෙහිදී කාලකිරියා වශයෙන් දක්වනවා. සත්ත්වයෙක් බිහිවන්නට හේතුවෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ එක්වීම, බිඳවැටීම, කොටස් නම් රූපස්කන්ධය ඇසුරේ පවතින වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර ඒ රූපස්කන්ධයෙන් බිඳීයාම බන්ධානං භේදෝ යනුවෙන් දක්වනවා.
එසේ රූපයෙන් නාමයන් ඉවත් වූ විට එම රූපය තුළ ජීවයක්, ජීවිතින්ද්‍රියක්, ප්‍රාණයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. එම රූපය සත්ත්ව පුද්ගල සඤ්ඤාවෙන් හඳුන්වන්නේ නැහැ. ඉන් පසු රූපය මෘත දේහය හෝ මළ සිරුර යන නාමයන්ගෙන් හඳුන්වයි. නාම ධර්ම රූපයෙන් නික්ම යාම තුළ මළ සිරුරක් බවට පත්වෙන රූපය පසුව පොළොවට පස්කර දමනවා. නිවසින් ඉවත්කර දමනවා.
තවද මරණය ක්ෂණික මරණය හා සංවෘත මරණය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන නාමරූප ධර්මයන්ගේ බිඳීම ක්ෂණික මරණය යි. සත්ත්වයන්ගේ ජීවිතය සිඳීයාම සංවෘත මරණය හෙවත් සම්මුති මරණය යි.
මරණයේ ක්‍රම හතරකි
එසේම මරණ ක්‍රම හතරක් ගැන ධර්මයෙහි සඳහන්.
1. ආයුක්ඛය මරණය – ලෝකයෙහි සම්මත ආයු ප්‍ර‍්‍රමාණය අවසන් වී සිදුවන මරණය
2. කම්මක්ඛය මරණය – ජනක කර්මයට අනුව මෙලොවට එන විට ගෙනා කර්ම ශක්තිය ගෙවීමෙන් සිදු වන මරණය
3. උභයක්ඛය මරණය – ආයුෂ හා කර්මය යන දෙකම එකවර අවසන් වන මරණය
4. උපච්ඡේදක මරණ – ආයුෂත්, උපත ලබා දුන් ජනක කර්ම ශක්තියත් තිබියදී සංසාරගත වෙනත් කර්මයක් බලවත්ව නැඟී ඒමෙන් සිදුවන මරණය ලෙස මරණය කොටස් කර ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කෝප ගින්න සිත දවයි

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන 
අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

ඉකුත් පෝය දිනයන්හි සිට සාකච්ඡා කරමින් පැමිණි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි, තථාගත බුදුරජාණන් වහන්සේ ඵග්ගුන භික්ෂුවට සඳහන් කළ දහම් කරුණු කිහිපයක් නැවත සිහිපත් කරමු.
ඵග්ගුන ඔබ ඉදිරියේ යම් කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල්වලින්, පොළුවලින් ගැසුවොත් ආයුධයකින් පහර දුන්නොත් ඔබ තුළ ඒ භික්ෂුණීන් කෙරෙහි යම් බැඳීමක් ඇතිවුණොත් ඒ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්නට ඕනෙ. එවිට ඵග්ගුන ඔබට මේ ආකාරයෙන් හික්මෙන්න පුළුවනි, කෙසේද? මම මගේ සිත වෙනස් කර ගන්නෙ නැහැ. නපුරු වචන කියන්නෙ නැහැ. හිතානුකම්පීව වැඩ සිටිනවා. ද්වේශයෙන් තොරව මෛත්‍රීයෙන් සිටිනවා කියලයි. ඔබ මාගේ ඒ අනුශාසනාව අනුව හික්මෙන්නට ඕනෙ.
මේ දහම් කතාව ඇසෙන විට, කියන විට, කියවන විට, ඔබට කුමක් ද සිතෙන්නෙ. ඇලීම් ගැටීම් පවතින, කෙලෙස් සහිත සිත්වලට නම් මෙය ප්‍රායෝගික වදන් පෙළක් බවට පත්වෙන එකක් නැහැ. එයට හේතුව තමන්ගේ ප්‍රියවන්ත කෙනෙකුට කවුරු හරි ගහනවා නම්, බනිනවා නම්, මගේ සිත වෙනස් කර ගන්නෙ නැතිව සිටින්නෙ කොහොමද? කියා සිතිවිලි පහළවෙන්නට පුළුවනි. මෙය කියවන ඔබ අම්මා කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම් දරුවෙකුට සිදුවන විපතක් කෙරෙහි ඔබේ සිතෙහි සකස්වෙන සිතිවිලි පිළිබඳව ඔබට ම සිතා ගන්න පුළුවනි.
ස්වාමි පුත්‍රයෙකුටත් ස්වාමි දියණියකටත් මෙම දහම් කතාව සම්බන්ධ කරගෙනම දකින්න පුළුවනි. එනම් තමන්ගේ ස්වාමියාට යම් කෙනෙකුගෙන් වරදක්, විපතක් වෙනවා නම් මගේ සිතෙහි සිතිවිලි මොන ආකාරයට සකස්වෙයි ද? තමන්ගේ ස්වාමිදියණියට යම් විපතක් වේ නම් හෝ අන් අය කරන කරදරයකට මුහුණ දෙයි නම් තමන්ගේ සිතේ සකස්වෙන සිතිවිලි කුමන ආකාරයකට පත්වෙයිද? තමන්ගේ කියන ඕනෑම අයකුට තමන්ට සම්බන්ධයක් ඇති පිරිසකට යම් වරදක් වේ නම් එය තමන්ගේ දෑස ඉදිරියේ ම සිදුවෙයිනම් තමන්ගෙ සිතේ සකස්වෙන සිතිවිලි කවර ආකාරයක් දැයි ඔබට සිතා ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේගේ දහම මෙවැනි දහමකුයි එනම්,
“අඤ්ඤාභි ලාභු පනිස
අඤ්ඤා නිබ්බාණ ගාමිනී”

ලෞකික ජීවිත පැවැත් ම එක ආකාරයක්, නමුත් නිවන් මාර්ගය තවත් ආකාරයකුයි. තවත් ලෙසකින් සඳහන් කළොත් බොහෝවිට ලෞකික ලෝකය හා පැවැත්ම සිදුවෙන්නෙ 'අනුසෝතගාමී' මාර්ගයකයි. එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් පිරිපුන් ලෝකයා ඒ ලෝභ දෝෂ, මෝහ හා සමගින් ම ජීවිත පවත්වාගෙන යනවා. එය තමයි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර පවතින අදහසක් වන්නේ, එනම් යම් අයෙක් පහර දුන්නොත්, බැන්නොත්, වරදක් කළොත් තමනුත් ඒ ආකාරයෙන් පෙරලා ක්‍රියා කිරීම 'අනුසෝතගාමී' මාර්ගයයි.

එහෙත් තුන්ලොවක් සැනසූ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය ඊට වඩා හාත්පසින් ම වෙනස්, එනම් එය 'පටිසෝතගාමී' මාර්ගයයි. මෙය ධර්ම කතාවට අනුව ගහන අයට, බනින අයට, පරුෂ වචන කියන අයට, ගහන්න, බනින්න, පරුෂ වචනයෙන් පිළිතුරු දෙන්න නෙමෙයි. මේ සෑම කෙනෙක් කෙරෙහි ම මෛත්‍රිය කිරීමට තරම් වූ සිතක් සකස් කර ගැනීමයි. ධර්ම මාර්ග තුළ සකස් කරගෙන තිබෙන තමන්ගේ සිතේ පවත්වාගෙන ආ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ සතර බ්‍රහ්ම විහරණයන්ට හානියක් නොවී එම සිත, එම සමාධිය ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීමයි. මෙය තවත් ආකාරයකින් ආර්යකාන්ත සීලයක් බවට පත්වෙනවා. සෝතාපන්න මාර්ගයේ දී ආර්යකාන්ත සීලය අවශ්‍යමයි.
එහෙම නම් මෙය කියවන විට අහන විට ඔබේ සිත ව්‍යාකූල වේවි. වර්තමාන පරිසරය තුළ ජීවිත පවත්වන්නට ඕනෙ. ධර්මයත් දකින්නට ඕනෙ. මේ දෙකම තරමක හෝ සමානත්වයකින් අපට අනුගමනය කළ හැකිද? කියලයි. අපට පුළුවනි ඒ කොහොමද? ඔබගෙ අපගේ සිත සමාධිය තුළ පවත්වාගත යුතුමයි. දුර්ලබව ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අතීත සංසාර ගමනේ වැඩිපුරම ඉපදී සිටි සතර අපායේ තැනකට නැවතත් යන්නට ඉඩ නොදී අවුරුදු සීයකකටත් වඩා අඩු කාලයක් ජීවත්වන මේ ජීවිත කතාව, බොහෝම පරිස්සමෙන් ධර්මයට ම නතු කොටගෙන ගත කළ යුතු බවයි.
ලෞකික ජීවිතයට බැඳුණු ඔබ ලෞකික සිතිවිලිවලින් ම සිත් පුරවාගෙන එනම් ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් යුක්තව කටයුතු කරන විට කෙලෙස්වලින් ආවරණයක් වීම අවශ්‍යයයි. නැතිනම් නැවතත් දුර්ලබව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් ගිලිහී සතර අපායේ තැනක උපදින්නට පුළුවනි. කෙලෙස්වලින් ඇති කර ගන්නා වූ, සිතෙහි පවත්නා ආවරණය තමයි ඉහත සඳහන් කළ සේ සිහියෙන් යුක්තව සිතෙහි ඇති කර ගන්නා වූ මෛත්‍රී සහගත සිතිවිලි. මෙය කරුණා ගුණය හැටියටත්, ඔබට තව කොටසක් එකතු කර ගන්නට පුළුවනි.
සම්මුතිය තුළ එනම් පැවැත්ම තුළ ඔබේ ප්‍රියයන් සේම ඔබත් ආරක්ෂා වෙන්නට ඕනෙ. ඒ පිළිබඳව ස්ථානෝචිත ප්‍රඥාවක් තිබෙන්නට ඕනෙ. එබඳු අය තමන් කායික මානසික සංවරයෙන් යුක්තව අන් අයට කරදරයක් ලෙස ජීවිත පවත්වන්නේ නැහැ. එතකොට අන් අයගෙන් සිදුවෙන කරදර අඩු වෙනවා. එසේ ජීවිත පවත්වමින් සතිය හෙවත් සිහිය මනාකොට පුරුදු කරන්න ඕනෙ. එය සතර සතිපට්ඨානයේ මනාකොට පෙන්වා දී තිබෙනවා. ඉදිරියට ගමන් කළත් පිටු පසට ගමන් කළත්, ඉදිරිය බැලුවත්, පිටුපස බැලුවත් දෑත දෙපය හැකිලුවත් දිගුකලත් මනා පරීක්ෂාකාරී නුවණින් සිහිය පවත්වන ඇත්තො කිසිවිටකවත් තමන්ගෙ කිසිඳු ඉරියව්වක් හෝ ඇඟිල්ලකින් හෝ හුස්ම පොදකින් තරම්වත් අන් අයට කරදරයක් වන ආකාරයට ජීවිතය පවත්වන්නෙ නැහැ. එය පුරුදු කරන්න පුළුවන් මාර්ගකුයි. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක් භාග්‍යවතුන් වහන්සේ අපට කරන්නට යැයි දේශනා කළේ නැහැ.
මනා වූ සිහියෙන් සිත පුරුදු වෙනකොට තමන්ට තිබෙන කරදර, බාධක බොහොමයක් දුරට අඩුවෙනවා. එනමුත් අපි අමතක කරන්නේ නැහැ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේටත්, රහතුන් වහන්සේලාටත් අප්‍රමාණ කරදර කළ මේ පෘතග්ජන ලෝකය තුළ මොනතරම් සද්පුරුෂ ජීවිත පැවැත්වූවත් අසත්පුරුෂ අයගෙන් බාධා පැමිණීමේ අවස්ථා තිබෙන්නට පුළුවනි. එවැනි අවස්ථාවක සිත වෙනස් කර ගන්නෙ නැතුව තමන්ට තමන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න පුළුවනි. සොර සතුරු කරදරවලින් බේරෙන්න කල්පනාකාරීව තමා රැකෙන්න පුළුවනි. ගේදොර ආරක්ෂා කරගන්න පුළුවනි. එහෙත් සොර සතුරන් හා සමගින් සණ්ඩු දබර වෙන්නවත්, නපුරුකම් කරගන්න යන්නෙවත් නැහැ. එපමණක් නොවෙයි, එදා භාග්‍යවතුන් වහන්සේගේ දවස රජතුමා නඩු විසඳුවා. තමාගේ ගැටලු රජතුමාට පවසා විසඳුමක් ඉල්ලන එක දහමෙ වැරැදියි කියා පෙන්වා දෙන්නෙ නැහැ. එය කරන්න ඕනෙ. වර්තමානයේත් නීතියක් තියෙනවා. ධර්මානුකූලව ජීවත්වන ඇත්තන්ට බොහෝදුක් කරදර බාධක පැමිණෙනකොට නීතියේ පිහිට පතන්නට පුළුවනි. එහෙත් ඒ නීතියේ පිහිට පතන්නේ තමන්ට වැරැදි කරන අය සමඟ සිතේ වෛරය, තරහව, ක්‍රෝධය, පළිගැනීම ඇති කරගෙන නෙමෙයි තමන්ට සිදුවෙන වරදින් වළක්වා දෙන්නට කියා ය.
ඒ අතර අපේ සිත මෛත්‍රීයට යොමු කර ගන්නත් පුළුවනි. ඒ අයගේ වැරැදි දැක්ම වැරැදි සිතිවිලි නිසා අපට කරදරවෙනවා. ඒ අය සිතින් යහපත් වූ පුද්ගලයන් බවට පත්වෙලා අපටත් පහසුවෙන් ජීවිතය පවත්වන්න ලැබෙන්න ඕනෙ. ඒ අයත් සත්පුරුෂ මනුෂ්‍යයෝ හැටියට ජීවිතය පවත්වා ගනිත්වා කියන අදහසයි. එසේ නොමැති වුණොත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය වැඩිකාලයක් තරහව, වෛරය, නපුරුකම්වලින් සිත පුරවාගෙන නිසි ආහාරයක් පවා කුසට නොගෙන, කුසට ආහාරයක් ගත්තත් ආහාරය කුසට නොදැනේ. නිදි වරාගෙන කාලය ගත කරන්න පුළුවනි. මේ ගැන ඔබට බොහෝම අද්දැකීම් ඇති බව විශ්වාසයි.
භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ පෙන්වාදෙන 'පටිසෝතගාමී' මාර්ගය දැන් ඔබට පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙන්වා දෙන මේ දහම් පෙළ අපි කියවන්නෙ, අහන්නේ, අන්න ඒ ඉහත සඳහන් කළ ධර්මානු ධම්ම පිළිවෙත් මගට එකතු වෙන්නයි. එසේ නොවුණොත් මේ දහම් පෙළ අවුරුදු දහස් ගණනක් තිස්සේ කට පාඩමින්, මතකයෙන් රැගෙන ආවා. වර්තමානයේ පොත්පත්වල ලියල තියෙනවා. නිතරම අහන්න ලැබෙනවා. නමුත් අප තවමත් සිටින්නේ 'අනුසෝතගාමී' මාර්ගය තුළ නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පටිසෝතගාමී මඟට එකතුවෙලා නැති බව දැනෙනවා.
මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේට පවසන දහම් පෙළ මේ අනුශාසනා කරන්නේ මටත් සමඟ නේද කියා තමන්ගේ ම සිතින් මෙනෙහි කර බලන්න ඕනෙ. එලෙසම ඔබේ පවුල් පරිසරය තුළ හෝ ඔබගේ කල්‍යාණවන්ත යැයි, හිතවන්ත යැයි පවසන යම් පිරිසක් සිටිනවා නම් ඒ අය සමගත් මේ උතුම් සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන දෙය සාකච්ඡා කරන්නට ඕනෙ. දැවෙන ගිනිගත් සිත් නිවන්න අපටත් කළ හැකි ආකාරයකින් අප උදව් වෙන්න ඕනෙ. එක ද සිතක් හරි මෛත්‍රීයට යොමු කර ඒ සිත නිවන්න පුළුවනි නම් තමා මොනතරම් සද්පුරුෂයෙක් දැයි හැබෑවටම බුද්ධ ශ්‍රාවකයෙක් නේද? කියා ඔබටම සිතේවි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

කෝට්ටේ කොටුබැම්ම පාරේ 
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති 
කොළඹ කළුතර දෙදිසාවේ 
ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නා හිමි

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති. ඒ විමුක්තිය සඳහා අනුගමනය කළ යුතු ධර්මයෝ මෙන්ම පහ කළ යුතු ධර්මයෝද වෙති. ඒ පහ කළ යුතු ධර්මයන් මෙන්ම අනුගමනය කළ යුතු ධර්මයන් පිළිබඳ තථාගත බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකංක වග්ගයේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. “තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවජ්ජේය්‍යුං න තථාගතෝ ලොකෝ උප්පජ්ජෙය්‍ය, අරහං සම්මා සම්බුද්ධෝ, න තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ, ලෝකේ දිප්පෙය්‍ය, කථමෝ තයෝ, ජාතිච, ජරාව, මරණඤ්ච” මහණෙනි මේ ධර්ම තුනක් ලෝකයෙහි විද්‍යමාන නොවේ නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදිති.
තථාගත ප්‍රවිදිත ධර්ම විනය ලොව දිප්ත නොවන්නේය. කවර තුනක්ද, යත් ජාතිය, ජරාව හා මරණයයි. මේ දහම් තුන ලොව යම්තාක් පවතීද ඒ තාක් බුදුවරයන්ගේ ලොව පහළවීම සිදුවෙයි. ඒ තථාගත බුදුවරුන්ගේ පහළවීම නිසා නිර්මල ධර්ම විනය ලොව බබළයි යනු ඉහත පාඨයේ අරුතයි. මෙයින් පැහැදිලි කරන්නේ උපත සදාකාලික නම් එහි ජරාවක් හෝ මරණයක් ඇති නොවන බවයි. එවැනි උපත දුකක් නොව සැපතකි. ජරාවක් හෙවත් දිරීමක් නොමැති බැවින් එය සැපතකි. මරණය නොමැති වීමෙන් එය සැපතකි. එවැනි අයෙකුට උපතේ ආදීනව කියන්නට, ජරාවේ ආදීනව කියන්නට, මරණයේ ආදීනව කියන්නට කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැත. නමුදු ලෝක ස්වභාවය නම් නිවන් අවබෝධ වන තෙක් සත්ත්වයාගේ උපත සිදුවන බවයි. ඒ උපන් සත්ත්වයා ජරාවට පත්වෙන බවයි. මරණයට පත් වෙන බවයි. තථාගත බුදුවරුන්ගේ පහළ වීමෙන් සිදු කරන්නේ ජාතියට හේතු කියා දී ඒ හේතු නැති කිරීමෙන් ජාතිය නැති කරන ආකාරයයි. ඒ ජාතිය නැති කළ විට ජරාව, මරණයද නැති වේ.
එය තවදුරටත් පැහැදිලි කරමින් මහණෙනි, ධර්ම කරුණු තුනක් ප්‍රහාණය නොකරනතාක් ජාතියෙන් මිදීමක් ජරාවෙන් මිදීමක්, මරණයෙන් මිදීමක් කිසි කලෙක සිදු නොවෙයි. ඒ ජාතියෙන් මිදීමට නම් ජරාවෙන් මිදීමට නම් මරණයෙන් මිදීමට නම් රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය .මේවා ප්‍රහීණ නොකරන තාක් ජාතියෙන් මිදීමක් නැත. ජරාවෙන් මිදීමක් නැත. මෝහයෙන් මිදීමක් නැත.
ස්කන්ධයන්ගේ පහළවීම,ඇතිවීම හට ගැනීම භවයෙහි උපත ලැබීම, ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ උත්පාද ලක්ෂණය ආදිය මෙයින් අදහස් කරයි. ජරාව යනු දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වු සන්තතියෙහි හෙවත් රූපාරූප ධර්ම පරම්පරාවෙහි එක් භවයක ඇතුළත් ස්කන්ධයන්ගේ පුරාණ බවයි.
මරණය යනු කර්මයෙන් උපන් රූපාදී ස්කන්ධ පහළ වී මෝරා අවසානයේ නැති වී යාමයි. එබැවින් ජාතියෙන් මිදීමට ජරාවෙන් මිදීමට , මරණයෙන් මිදීමට රාගය ප්‍රහීණය කළ යුතුය. ද්වේශය ප්‍රහීණය කළ යුතුය. මෝහය ප්‍රහීණය කළ යුතුය . මේ ධර්ම තුන ප්‍රහීණ නොකරතාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව හා සීලබ්බත පරාමාසයයි. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය ආත්මීය වශයෙන් ගැනීම සක්කාය දිට්ඨියයි. සැකය හෙවත් කුකුස හේතු කොට ඇතිවන නිර්මාණ බාධකයද, බුද්ධාදී අට තැනෙක්හි ඇති කරගන්නා සැකය හේතුකොට ගත් නීවරණය විචිකිච්ඡාවයි. සසර දුකින් මිදෙනු පිණිස ගන්නා වැරදි මාර්ගවූ ගෝසිල ගෝ වෘත ආදිය සීලබ්බත පරාමාස නම් වේ.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒවා නම් අයෝනිසෝ මනසිකාරය, කුම්මග්ග සේවනය, හා සිතේ අලසකමයි. අයෝනිසෝ මනසිකාරය යනු නුනුවණින් මෙනෙහි කිරීමයි. යම් කරුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීමයි. වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි. මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ආර්යන් වහන්සේලා දැකීමට ඇති අකැමත්ත, ඒ ආර්යයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය ඇසීමට ඇති අකැමත්ත හා දෝෂාරෝපණයට ලැදිවීමයි. මේ කියන ධර්ම තුන ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ධර්ම තුනක් වැඩෙයි. ඒ ධර්ම තුන නම් උද්ධච්චය, අසංවර භාවය හා දුස්සීල භාවයයි.
මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරන තාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් වැඩෙයි. ඒ ධර්ම කරුණු තුන නම් ශ්‍රද්ධාවෙන් තොරවීම, මෛත්‍රිය හා කරුණාවෙන් තොරවීමයි. අලස කමින් යුක්ත වීමයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ තවත් ධර්ම කරුණු තුනක් පහළ වෙයි. ඒ ධර්ම කරුණු තුන නම් අන් අයට ගරු නොකිරීම,අකීකරුකම, පාප මිත්‍ර සේවනය වැඩෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු තුළ ගරු කිරීම, කීකරුකම, කල්‍යාණ මිත්‍ර සේවනය ඇති නොවෙයි. ඒවා ඇති නොවු විට ඔහු තුළ අහිරිය,අනොත්තප්පය, හා ප්‍රමාදය ඇති වෙයි.එවිට ඔහු තුළ පවට ලජ්ජාව, බිය හා අප්‍රමාදී බව නැති වෙයි. මේවා ප්‍රහීණය නොකරනතාක් ඔහු ජාති, ජරා, මරණය කරාම ගමන් කරයි.
එබැවින් හෙතෙම හිරි ඔතප් හා අප්‍රමාදී බවින් කටයුතු කරන්නෙකු විය යුතුය. එසේ වූ විට අගෞරවය පහවී ගෞරවය ඔහු තුළ උපදියි. අකීකරුකම පහවී කීකරුකම ඇති වෙයි. පාප මිත්‍ර සේවනය පහකළ විට කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇසුරට පි‍්‍රය කරන්නෙක් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඔහු තුළ අසද්ධාව ප්‍රහීණය වී සද්ධාව පහළවෙයි. සද්ධාව පහළවන විට මෛත්‍රිය හා කරුණාව උපදියි.අලසකම ප්‍රහීණය වී ආරද්ධ වීර්ය ඇතිවෙයි. ආරද්ධ වීර්ය හෙවත් නොපසුබට උත්සාහය නිසා සිතේ ඇති නොසන්සුන්කම වෙනුවට සන්සුන්කම පහළ වෙයි.
සිතේ සන්සුන්කම වැඩෙන විට අසංවරය වෙනුවට සංවරය පහළ වෙයි. සංවර බව වැඩෙන විට දුසිල්බව ප්‍රහීණය වී සිල්වත් බව වැඩෙයි. සිල්වත් බව ඇතිවෙන විට ආර්යයන් වහන්සේලා හමුවීමේ කැමැත්ත පහළ වෙයි. ආර්යයන් වහන්සේලා දැකීමේ කැමැත්ත වැඩෙන විට ඒ ආර්යයන් වහන්සේලාගේ දහම ඇසීමට පි‍්‍රය කරයි. ආර්යයන් වහන්සේලාගේ දහම අසන විට දෝෂාරෝපණයට ඇති කැමැත්ත පහවී මුලාවූ සිහිය වෙනුවට සම්මා සතිය වැඩෙයි. සම්මා සතිය පහළවීමත් සමඟම ප්‍රඥාව හෙවත් නුවණ ඇති කෙනෙක් බවට පත්වෙයි. ප්‍රඥාව කරණකොට ගෙන සිතේ විසිරෙන ස්වභාවය වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය හෙවත් සිත එක අරමුණක තබා ගැනීමට හැකිවෙයි.
චිත්ත ඒකග්‍රතාවයෙන් යුත් සිතට අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහළ වෙයි. ඒ යෝනිසෝ මනසිකාරය හේතු කොට ගෙන නිවැරදි මග හෙවත් සම්මා දිට්ඨියට පිවිසෙයි.
නිවැරදි මගට පිවිසීම නිසා සිතේ විවෘත භාවය ඇතිවෙයි. සිතේ විවෘත භාවය කරණකොට ගෙන මමය මාගේය යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහීණය වෙයි.
සැකය හෙවත් විචිකිච්ඡාව ප්‍රහීණය වෙයි. සීලබ්බත පරාමාස ප්‍රහීණය වෙයි. එසේවූ සිතට රාගය සහමුලින් පහ කළ හැකිය . ද්වේශය සහමුලින් පහ කළ හැකිය. මෝහය සහමුලින් පහ කළ හැකිය. ඒ රාගය පහ කළ දෝෂය පහ කළ මෝහය පහ කළ තැනැත්තාට ජාතිය ප්‍රහීණය කළ හැකිය.
ජරාව ප්‍රහීණය කළ හැකිය. මරණය ප්‍රහීණය කළ හැකිය. ඒ ජාතිය ජරාව, මරණය ප්‍රහීණය කිරීම යනු නිවන් අවබෝධ කරගත් අයෙක් බවට පත්වීමය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උතුම් ම මොහොත


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස...
''ලාභා වො භික්‌ඛවෙ, සුලද්ධං වො භික්‌ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්‍රහ්මචරියවාසාය''
''මහණෙනි, නුඹලාට ලාභයෙකි. මහණෙනි නුඹලාට යහපත් ලැබීමකි. බඹසර විසුමට සුදුසු අවස්‌ථාව නුඹලා විසින් ලබන ලද්දේය''.

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුත්තයට අයත් ඛණ සූත්‍රයෙහි අඩංගු ආරම්භක ධර්ම කොට්‌ඨාසයයි. මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මේ උතුම් සූත්‍ර දේශනාවෙන් අපි උතුම්වූ ම මොහොත දැන ආර්ය මාර්ගය අරමුණු කරගත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වෙමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. මහණෙනි, මා විසින් ස්‌පර්හ ආයතන සය නම් නිරයෝ දක්‌නා ලදහ. ඒ නිරයේ ඇසින් යම්කිසි රූපයක්‌ දකී නම් අයහපත් රූපයක්‌ම දකී. යහපත් රූපයක්‌ නොදකී. අකමැති රූපයක්‌ම දකී. කැමැති රූපයක්‌ නොදකී. අමනාප රූපයක්‌ම දකී. මනාප රූපයක්‌ නොදකී.

කනින් යම්කිසි ශබ්දයක්‌ අසා නම් අයහපත් ශබ්දයක්‌ම අසයි. යහපත් ශබ්දයක්‌ නොඅසයි. අකැමැති ශබ්දයක්‌ම අසයි. කැමැති ශබ්දයක්‌ නොඅසයි. අමනාප ශබ්දයක්‌ම අසයි. මනාප ශබ්දයක්‌ නොඅසයි.

නාසයෙන් යම් ආඝ්‍රාණයක්‌ ලබනවා නම් අයහපත් ආඝ්‍රාණයක්‌ ලබයි. යහපත් ආඝ්‍රාණයක්‌ නොලබයි. අකමැති ආඝ්‍රාණයක්‌ ලබයි. කැමති ආඝ්‍රාණයක්‌ නොලබයි. අමනාප ආඝ්‍රහණයක්‌ ලබයි. මනාප ආඝ්‍රාණයක්‌ නොලබයි.

දිවෙන් යම්කිසි රසයක්‌ විඳිනවා නම් අයහපත් රසයක්‌ම විඳියි. කැමැති රසයක්‌ නොවිඳියි. අකැමැති රසයක්‌ම විඳියි. කැමැති රසයක්‌ නොවිඳියි. අමනාප 

රසයක්‌ම විඳියි. මනාප රසයක්‌ නොවිඳියි.

කයින් යම්කිසි පහසක්‌ ලබනවා නම් අයහපත් පහසක්‌ම ලබයි. යහපත් පහසක්‌ නොලබයි. අකැමැති පහසක්‌ම ලබයි. කැමැති පහසක්‌ නොලබයි. අමනාප පහසක්‌ම ලබයි. මනාප පහසක්‌ නොලබයි.

සිතින් යම් සිතුවිල්ලක්‌ දනී නම් අයහපත් සිතුවිල්ලක්‌ දනී. යහපත් 

සිත-විල්ලක්‌ නොදනී. අකැමැති සිතුවිල්ලක්‌ම දනී. කැමැති සිතුවිල්ලක්‌ නොදනී. අමනාප සිතුවිල්ලක්‌ම දනී. මනාප සිතුවිල්ලක්‌ නොදනී.

මෙහි ඇති ධර්ම විවරණය අප පරීක්‌ෂාකොට බලමු. මෙහි දක්‌වා ඇති නිරයන් නම් ස්‌පර්ශ ආයතන හයයි. ඇලීම්, ගැටීම්, රැස්‌කිරීම් නම්වූ කෙළෙස්‌ මාර්ගය සකස්‌ වන්නේ මෙසේය. ඇස නිදසුනක්‌ ගත්විට, 'චක්‌ඛුංච පටිච්ච රූපේච උප්පඡ්ජති චක්‌ඛු විඤ්ඤාණං, තිණීණං සංගති ඵස්‌සෝ, ඵස්‌ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්‌හා''. 

'ඇසෙහි රූපය පහළවීමෙන් චක්‌ඛු විඤ්ඤාණය උපදියි. රූපය චක්‌ඛු විඤ්ඤාණය නම්වූ තුනෙහි එකතුවීමෙන් ස්‌පර්ශය සකස්‌වෙයි. ස්‌පර්ශයෙන් සැප,දුක්‌ මධ්‍යස්‌ථ නම් වූ වේදනා පහළ වෙයි. වේදනාවෙන් තෘෂ්ණාව හටගනියි. මෙහිදී ඵස්‌ස නම්වූ ස්‌පර්ශය සැප හෝ දුක්‌ වූ හෝ මධ්‍යස්‌ථ නම් විඳීම තීරණය කරයි. එකම ආරම්මණයකට නමුත් පුද්ගලයන් කීප දෙනෙක්‌ විසින් ස්‌පර්ශයෙන් ලබාදෙන්නාවූ විඳීම විවිධ විය හැකිය. එම ආරම්මණයට එක්‌ පුද්ගලයෙක්‌ විසින් ස්‌පර්ශයක්‌ ලබන්නා වූ විඳීම සැපක්‌ විය හැකිය. අනෙක්‌ පුද්ගලයාට එම අරමුණම ස්‌පර්ශයෙන් ලබාදෙන්නේ දුකක්‌ විය හැකිය. අනෙක්‌ පුද්ගලයාට එම ආරම්මණය දුකක්‌ හෝ සැපක්‌ නොවන මධ්‍යස්‌ථ හෙවත් අදුක්‌ඛම සුඛ විඳීමක්‌ විය හැකිය.

ඇස පමණක්‌ පැවැති පමණින් රාගාදී කෙලෙස්‌ හටගන්නේ නැත. රූපයක්‌ පැවැති පමණින්ම කෙළෙස්‌ හටගන්නේ නැත. එමෙන්ම විඤ්ඤාණයට ද කෙළෙස්‌ හටගන්නට නම් ඇස ආදී ඉන්ද්‍රියයන් ඔස්‌සේ රූප, ශබ්ද ආදී ආරම්මණයන් අවශ්‍ය වන්නේය. මෙම තුනම එකතුවීමෙන් ස්‌පර්ශය සකස්‌ වෙයි. මෙහිදී වස්‌තු තුනක පටිච්ච සමුප්පන්න බව හෙවත් ඔවුනොවුන්ට උපකාරවීමෙන් සකස්‌වූ ස්‌වභාවයම ස්‌පර්ශ වෙයි. ස්‌පර්ශය විසින් සැප, දුක හෝ මධ්‍යස්‌ථ විඳීමක්‌ බවට එම ආරම්මණය පත්කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ නම් පඤ්ච ආරම්මණයන්හි රාග, දොaස තිබුණේ නැත. අභාවිත සිත විසින් එම ආරම්මණය රාගනිස්‌සිතකර ගත්තේය. දොaස සිත විසින් එම ආරම්මණය දොaස නිස්‌සිත කරගත්තේය. මෝහ සිත විසින් එම ආරම්මණය මෝහ නිස්‌සිත කරගත්තේය. එය එසේ වූයේ කවර හේතුවක්‌ නිසාද? පරමාර්ථ ධර්මය නුවනින් මෙනෙහි නොකළ බැවිනි. විදර්ශනාව සිතට පුරුදු පුහුණු නොකළ බැවිනි. එනම් සියලු සංඛත සංඛාර වස්‌තු- අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් කොට සම්මසනය නොකිරීමයි මෙහිදී ධර්ම කරුණාව අනුව, ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. චක්‌ඛු විඤ්ඤාණය අනිත්‍යයි. ඇස, රූපය, චකඛු විඤ්ඤාණය නම්වූ තුනෙහි එකතුවීමෙන් හටගන්නා වූ ස්‌පර්ශය ද අනිත්‍යයි. ස්‌පර්ශයෙන් හටගන්නා වූ සැප, දුක්‌ මධ්‍යස්‌ථ නම් වූ ත්‍රිවිධ වේදනාවෝ අනිත්‍යයි. දුක්‌ඛයි. අනාත්මයි. 

මෙය පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් ධාතු වශයෙන් බැලිය හැකිය. රූප, වේදනා,සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණ වශයෙන් ස්‌කන්ධ පඤ්චකය ගෙන බැලිය හැකිය. ඇස, කන, නාසය දිව, ශරීරය, මන ආදී ආයතන වශයෙන් ගෙන බැලිය හැකිය. චක්‌ඛු සම්ඵස්‌සජා, සෝත සම්ඵස්‌සජා, ඝාණ සම්ඵස්‌සජා, ජිව්හා සම්ඵස්‌සජා, කාය සම්ඵස්‌සජා, මනෝ සම්ඵස්‌සජා වශයෙන් බැලිය හැකිය. සැප, දුක්‌ මධ්‍යස්‌ථ විඳීම් වශයෙන් ගෙන බැලිය හැකිය. රූප තණ්‌හා, ශබ්ද තණ්‌හා, ගන්ධ තණ්‌හා, රස තණ්‌හා, ඵොට්‌ඨබ්භ තණ්‌හා, ධම්ම (සිතුවිලි) තණ්‌හා වශයෙන් ගෙන බැලිය හැකිය. අවසානයේ සමස්‌තයක්‌ වශයෙන් නාම රූප ධර්ම සහ සංඛත සංඛාර ලෙස අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්කොට බැලිය හැකිය. මෙසේ මෙනෙහි කිරීම නිසා අනිච්චානුපස්‌සනාව, විරාගානුපස්‌සනාව, නිරෝධානුපස්‌සනාව, පටිනිස්‌සග්ගානුපස්‌සනාව සකස්‌වීම අවශ්‍යයි. එසේ නොවූ විට රාග, දොaස, මෝහ සමගින් ආරම්මණ උපාදාන කර ගැනීමට යොමුවීමෙන් රූපය අයහපත්ම වෙයි. යහපත් නොවෙයි. රූපය අකැමැති වෙයි. කැමැති නොවෙයි. රූපය අමනාපම වෙයි. මනාප නොවෙයි. කයින් අසන ශබ්දයක්‌ නාසයෙන් ලබන ආඝ්‍රණයත්, දිවෙන් ලබන රසයත්, කයින් ලබන ස්‌පර්ශයත්, මනසින් ලබන සිතුවිලිත් අයහපත්ම වෙයි. යහපත් නොවෙයි. අකමැති වෙයි. කැමැති නොවෙයි. අමනාප වෙයි. මනාප නොවෙයි. මේ සය ආකාරයක ස්‌පර්ශ ආයතන නම්වූ නිරයේ කතාවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. නුඹලාට ලාභයකි. බඹසර විසුමට නුඹලා විසින් සුදුසු අවස්‌ථාව ලබන ලද්දේය. මා විසින් සය ආකාරයක ස්‌පර්ශ ආයතන නම් සුගති දක්‌නා ලදහ. ඒ සුගතියේ ඇසින් යම් රූපයක්‌ දකිනවා නම් යහපත්ම රූපයක්‌ම දකී. අයහපත් රූපයක්‌ නොදකී. කැමැති රූපයක්‌ම දකී. අකමැති රූපයක්‌ නොදකී. මනාප රූපයක්‌ම දකී. අමනාප රූපයක්‌ නොදකී.

කණින් යම් ශබ්දයක්‌ අසා නම් යහපත් ශබ්දයක්‌ම අසයි. අයහපත් ශබ්දයක්‌ නොඅසයි. කැමැති ශබ්දයක්‌ අසයි. අකැමැති ශබ්දයක්‌ නොඅසයි. මනාප ශබ්දයක්‌ අසයි. අමනාප ශබ්දයක්‌ නොඅසයි. නාසයෙන් යම් ආඝ්‍රාණයක්‌ ලබයි නම් යහපත් ආඝ්‍රාණයක්‌ම ලබයි. අයහපත් ආඝ්‍රහණයක්‌ නොලබයි. කැමැති ආඝ්‍රාණයක්‌ ලබයි. අකමැති ආඝ්‍රාණයක්‌ නොලබයි. මනාන ආඝ්‍රාණයක්‌ම ලබයි. අමනාප ආඝ්‍රාණයක්‌ නොලබයි. දිවෙන් යම් රසයක්‌ ලබයි නම් යහපත්වූ රසයක්‌ම ලබයි. අයහපත්වූ රසයක්‌ නොලබයි. කැමැති රසයක්‌ම ලබයි. අකමැති රසයක්‌ නොලබයි. මනාප රූපයක්‌ම ලබයි. අමනාප රූපයක්‌ නොලබයි. යම් ස්‌පර්ශයක්‌ ලබන්නේ නම් යහපත් වූ ස්‌පර්ශයක්‌ම ලබයි. අයහපත් ස්‌පර්ශයක්‌ නොලබයි. කැමැති පහසක්‌ ලබයි. අමනාප පහසක්‌ නොලබයි. යම් අරමුණක්‌ ලබන්නේ නම් යහපත් සිතුවිල්ලක්‌ම දනියි. අයහපත් සිතුවිල්ලක්‌ නොදනියි. මනාප සිතුවිල්ලක්‌ම දනියි. අමනාප සිතුවිල්ලක්‌ නොදනියි. ඉහත පළමු ධර්ම විවරණයේදී සඳහන් කළ අයුරින් විදසුන් නුවණින් ධාතු ස්‌කන්ධ, ආයතන සම්මනය කරන්නේ සය ආකාරයක ඵස්‌සායතනයන්ද සුගතියක්‌ සේ සකස්‌ වෙයි. විදසුන් නුවණින් නොවී ලෞකික නුවණින්ම උපදානයට හසුවීමෙන් සය ආකාරයක ඵස්‌සායතන දුගතියක්‌ සේ සකස්‌ විය හැකිය. ලැබුණු උතුම් මොහොතින් ලාභයක්‌ සේ සිතා බඹසර හැසිරීමෙන් නිර්වාණාවබෝධය පිණිස ප්‍රධන් වීර්ය වඩමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පන්සිල් යනු පරමාදර්ශී සමාජයක ප්‍රඥප්ති

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

" පන්සිල් තිබෙන්නේ ලෝකයටම බලපානු ලබන තෝරාගත් වැරැදි පහක් නොකර සිටීමට පොරෙන්දු වීම හෙවත් වැළකී සිටීමයි. එම වැරැදි පහ නොකර සිටීමට අප පන්සිල් තුළ පොරොන්දු වෙයි. තර්කානුකූලව සිතා බලන විට වැරැද්ක් නොකර සිටි විට වැරැද්දක් නොකළා මිස, හොඳක් කළා වෙන්නේ නැහැ. වරදක් නොකර සිටීමයි, යහපතක් කිරීමයි, දෙකක් මිස එකක් වන්නේ නැහැ."
ලොව ජීවත් වූ විශිෂ්ටතම චින්තකයා නම් ගෞතම ගෝත්‍රයේ ඔක්කාක රජ පරපුරේ ශාක්‍ය වංශයේ උපන් සිද්ධාර්ථ නමින් ගිහිකල හඳුන්වනු ලැබූ විශිෂ්ටතම මිනිසා වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේගේ දේශනා බොහොම දිග වුවද,උන්වහන්සේගේ ප්‍රකාශන ඉතාම කෙටියි. ප්‍රකාශන කෙතරම් කෙටිද , යත් බොහෝ දෙනා විසින් අගය කරනු ලබන යම් යම් විද්‍යාත්මක ප්‍රකාශයන්හි ස්වභාවයම තථාගතයන් වහන්සේගේ ස්වභාවයම වෙයි. වචන දෙක තුනකින් විශාල ගැඹුරු අර්ථයක් දේශනා කරනු ලැබ ඇත.
ඒ පිළිබඳව අටුවා ටීකා ටිප්පනි ගැටපද සන්න ව්‍යාඛ්‍යාන ලියවී තිබෙන අතර වර්තමානය තුළ ද එම කෙටි වාක්‍ය විග්‍රහ කෙරෙයි.උප්පාද වයධම්මිනෝ යන ප්‍රකාශය වැදගත් ප්‍රකාශයක් වෙයි. අනිච්චාවත සංඛාරා යන ගාථාව අප විසින් තරමක අවභාවිතයෙහි යොදවන ගාථාවක් වෙයි. අනිච්චාවත සංඛාරා යන ගාථාව අප සංස්කෘතික වශයෙන් සිතා සිටිනු ලබන්නේ මළ ගෙවල් තුළ භාවිත කිරීම සඳහා පමණක් භාවිත කරන ගාථාවක් ලෙසයි.
අප බුද්ධ වන්දනා කරන විට, දෙවියන්ට පින් දෙන විට, බෝධිවන්දනා කරන විට ,භාවිත කරන ගාථා වගේ මෙම ගාථාවත් මළගෙදරකදී පමණක් භාවිත කරන ගාථාවක් බවට සිතාගෙන සිටී. මළ ගෙදරකදී බැනරයක ලිවීමට තිබෙන ගාථාවක් ලෙස අනිච්චාවත සංඛාරා ගාථා පාඨය අප හඳුනා ගෙන සිටියත් එය එසේ නොවිය යුතුයි. එය ලෝකයෙහි පරම සත්‍ය ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන්ගෙන් සමන්විත වෙයි. එකිනෙකට පැහැදිලි ලෙස වෙන්කර ගත හැකි වාක්‍ය හතරක් මෙම ගාථාවෙහි ඇතුළත් වෙයි. අනිච්චා වත සංඛාරා යනු එක වාක්‍යය වෙයි. උප්පාද වයධම්මිනෝ එය සම්බන්ධ නොවන එක වාක්‍යයක් වෙයි. උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී. යනු දෙකටම සම්බන්ධ නොමැති තුන්වෙනි වාක්‍යයක් වෙයි. තේසං රූප සමෝ සුඛෝ යනු හතර වන වාක්‍ය වෙයි.පෙර සඳහන් කළ පරිදි ප්‍රකාශ හතරක් වෙයි. එක එක වාක්‍ය පිළිබඳව විශාල ගැඹුරු අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කළ හැකියි.මෙම ගාථාව බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් නොවෙයි. මෙම ගාථාව දේශනා කරනු ලබන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් බුදුපියාණන් වහන්සේගේ පරිනිිර්වාණ අවස්ථාව තුළ මිස බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් නොවෙයි.එය දීඝ නිකායෙහි පරිනිර්වාණ සූත්‍රයෙහි සඳහන් වෙයි. එම ගාථාව අපගේ ජීවිත තුළට නිවන කැන්දාගෙන එන ගාථාවක් වෙයි. වර්තමානය තුළ ද නිවන නොදැකිය හැක්කක් නොවෙයි. ලංකාවේ අවසාන මහ රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ බව අප වැරැදි අදහසක සිටී. ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ බවට බුදුපියාණන් වහන්සේ දේශනා කර නැත. එම කාරණය මිහිඳු හාමුදුරුවන් ද, සංඝමිත්තා මහ රහත්තෙරණියද දේශනා කර නැත. අඩුම වශයෙන් මලියදේව මහරහතන් වහන්සේවත් එසේ දේශනා කර නැත. එසේ දේශනා කර තිබුණා නම්, වර්තමානය තුළ කාටවත් නිවන් දැකිය හැකි බව පිළිගැනීමට නොහැකී. අවසාන මහරහතන් වහන්සේත් බිහිවෙලා අවසන් නම්, තවදුරටත් රහතන් වහන්සේ නමක් බිහිවන්නේ කෙසේද? අවසානයාගෙන් පසුව තවදුරටත් කෙනෙකු සිටිය නොහැකිය. එම ප්‍රකාශය පිළිගනු ලැබුව හොත් වර්තමානය තුළ නිවන් සාක්ෂාත් කරගත නොහැකිය. අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ බවට පිළිගන්නවා නමි,නිවන අකාලිකවුත් සැමදාම නිවන් දැකිය හැකි බවට බුදුපියාණන් වහන්සේ දේශනා කළා වූ තර්කය වලංගුවන්නේ නැත.එම නිසා වර්තමානයටත් නිවන් දැකිය හැකිය. එම නිවන් දැකීම සඳහා මෙවැනි කුඩා වාක්‍යයක් ප්‍රමාණවත් වෙයි. නිවන පිළිබඳව සිතාගෙන සිටින ආකාරය , පන්සිල් පිළිබඳව සිතාගෙන සිටින ආකාරය,බුදුපියාණන් වහන්සේ පිළිබඳව සිතාගෙන සිටින ආකාරය , යන සියල්ලම නිවැරැදිම නැහැ. අප සිතාගෙන සිටින තරම් පන්සිල් සරලම නැහැ. පන්සිල් සමාදන් වූවිට පින්සිදු වෙනවා නම්, පන්සිල් ආරක්ෂා කළ විට වන්නේ කුමක්ද? පන්සිල් තිබෙන්නේ ලෝකයටම බලපානු ලබන තෝරාගත් වැරැදි පහක් නොකර සිටීමට පොරෙන්දු වීම හෙවත් වැළකී සිටීමයි. එම වැරැදි පහ නොකර සිටීමට අප පන්සිල් තුළ පොරොන්දු වෙයි. තර්කානුකූලව සිතා බලන විට වැරැද්දක් නොකර සිටි විට වැරැද්දක් නොකළා මිස, හොඳක් කළා වෙන්නේ නැහැ. වරදක් නොකර සිටීමයි, යහපතක් කිරීමයි, දෙකක් මිස එකක් වන්නේ නැහැ.
පාණාතිපාතා ෙවිරමණී ශික්ෂා පදය සම්පූර්ණ වීමට සත්ත්ව ඝාතනයන් නොකර සිටීම පමණක් ප්‍රමාණවත් බවට අප සිතා සිටී. සත්ත්ව ඝාතනය කළහොත් පව් නොකළොත් පින්ද? දන් දුන්නොත් පින් නම් නොදුන්නොත් පව්ද?දන් දුන්නොත් පින් නොදුන්නොත් පව් නොවෙයි. ක්‍රියාව නැති විට ප්‍රතික්‍රියාවක් නැහැ.සිල් පද පහම කැඩුවොත් පව් නොකැඩුවත් පව්නොවෙයි. රකිනවා යනු නොකැඩීමයි. සිල් රැකීම තුළ පින් සිදුවෙනවා නොවෙයි,පව්සිදු වෙන්නේ නැහැ.එක්තරා වර්ෂයක් තුළ එම වසරෙහි යම් කිසි පන්තියක සිටින දරුවෙක් වැරැදි ක්‍රියාවක් නොකළා නම්, එම දරුවා යහපත් දරුවෙකුද? අයහපත් දරුවෙකුද?අයහපත් ක්‍රියාවන්ම පමණක් කරනු ලබන දරුවෙකු සිටිනවා යැයි සිතුවහොත් ඔහුට සෘණ දැමිය යුතුයි. පසු වසර දෙක තුළදීම එම ළමයා වැරැදි කරනවා නම්,ඔහුට දැමිය යුත්තේ සෘණ වුවත් ඊළඟ වසරේදි ඔහු නිවැරැදිව යහපත් ක්‍රියාවන් කළා නම්, ඔහුට දැමිය යුත්තේ ඔහු අයහපත් නැති දරුවෙක් ලෙසයි. නරක නැති වෙලා පමණක් මදී. හොඳවීමත් අවශ්‍යයි. එම නිසා සැම අවස්ථාවකම නෙගටිව් සහ පොසිටිව් යන කාරණා දෙකක් පවතී.
සොරකම් කිරීමෙන් පව් සිදුවෙයි. සොරකම් නොකර සිටීමෙන් පව් සිදුවන්නේ නැහැ. සොරකම් කිරීම යනු අන්සතු යමක් තමා සතු කරගැනීමයි. තමාසතු යමක් අනෙකා සතු කිරීම යන කාරණා දෙකටම පාරිභාෂිත වචන දෙකක් ඇත. අනෙකා සතු දෙයක් වෙයි නම් , එය තමා සතු කරගැනීම සොරකම්කිරීම වෙයි. තමා සතු යමක් අනෙකා සතුකිරීම දානය වෙයි. සීලයෙහි කොටස් දෙකක් තිබෙන බව පැහැදිලි වෙයි.අනෙකා සතු යමක් තමා සතු නොකර සිටිය යුතුවා සේම තමා සතු යමක් බවට පත්කිරීම කළ යුතු අතර එය තුළ වත් සහ සිල් පිරෙයි. වත්තංන පරිපූරෙන්තූ සීලංන පරිපූරතී. වත් කොටස නොකර සිටීම තුළ සිල් පිරීමක් සිදු නොවෙයි. එම නිසා සිල් රැකි පමණින් ප්‍රමාණවත් නැහැ. පන්සිල් යනු බණ දේශනා කරීමට පෙර හෝ උත්සව සභාව ආරම්භකිරීමට එම න්‍යාය පත්‍රයෙහි පළමුකොට ගනුලබන්නාවූ දෙයක් නොවෙයි.
පන්සිල් බෞද්ධයාට පමණක් අදාළ වන කාරණාවක් නොවෙයි. පන්සිල් මනුෂ්‍යයාට අදාළ යන කාරණාවක් වෙයි. සොරකම් නොකළ යුත්තේ බෞද්ධයන් පමණක්ද? බොරු නොකිය යුත්තේ බෞද්ධයන් පමණක්ද? සත්ත්වඝාතනය නොකළ යුත්තේ බෞද්ධයන් පමණක්ද?එය සමස්ත මිනිස් සංහතියටම අදාළ වන කාරණාවක් වෙයි.පන්සිල් සමාදන් විය යුත්තේ මනුෂ්‍යයෙකු වීමට මිස බෞද්ධයෙකු වීමට නොවෙයි. පන්සිල් හොඳට ආරක්ෂා කළහොත් මනුෂයෙකු වෙයි. පන්සිල් රකිනා අබෞද්ධයන්ද සිටිය හැකිය. සතුන් නොමරන, සොරකම් නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, බොරු නොකියන, රහමෙර පානය නොකරන අබෞද්ධයන් සිටිය නොහැකිද?ඒ බෞද්ධ නොවන මනුෂ්‍ය වන පිරිසයි. බෞද්ධ වීමට පෙර මනුෂ්‍ය වීමට පන්සිල් ගත යුතුයි. පන්සිල් රකින පරමාදර්ශී මිනිස් සමාජයක ප්‍රඥප්ති පහ පන්සිල් වෙයි.
පරමාදර්ශී මිනිස් සමාජයක ප්‍රඥප්ති පහ පිළිබඳව අවබෝධ යක් ලබාගත යුතුයි.පන්සිල් තුළ කෙතරම් ගැඹුරක් තිබෙනවාද?
පන්සිල් රැකීමෙන් අපට වාසි අත්වන බවට වැරැදි මතයක් අප තුළ පවතී. එය එසේ නොවන බව අවබෝධ කර ගත යුතුයි. මම පන්සිල් ආරක්ෂා කළාට මට වාසියක් අත්වන්නේ නැහැ. වාසියක් නැහැ යනු අවාසියක් වන බවට ප්‍රකාශ නොවෙයි. කිසියම් ස්ථානයක පුද්ගලයන් තිහක් හතළිහක් එකට ජීවත් වනවා යැයි සිතනවා නම්, මම සොරකම් නොකරමී, යන පොරොන්දුව ආරක්ෂා කරනවා නම්, මම සොරකම් නොකරන තරමට භාණ්ඩ ආරක්ෂා වන්නේ සෙසු පිරිසගෙයි.
සැම දෙනාටම ජීවත්වීම සඳහා අයිතියක් ඇති බවට මම පිළිගන්නා නිසා සත්ත්ව ඝාතනයෙන් වැළකෙනවා නම්, සෙසු පිරිසගේ ජීවිත ආරක්ෂාවෙයි. මම බොරු නොකියනවා නම් නොරැවටෙන්නේ සෙසු පිරිසයි. පන්සිල් රැකීමේ වාසිය සෙසු පිරිසටයි. පන්සිල් තුළ ඇති බර තේරුම් ගත යුතුයි. එසේ බලාගෙන ගිය විට බුදුපියාණන් වහන්සේ දේශනා කළ වාක්‍ය කෙටි වුවද, ඉතාම ගැඹුරු ඉතාම අර්ථවත් ඉතාමත්ම තාර්කික ප්‍රකාශන වෙයි.
ස්වභාවය
උප්පාද වයධම්මිනෝ හි ධම්මිනෝ යනු ධර්මී වෙයි. මෙහි සඳහන් ධර්මී යන්නෙහි අර්ථය ස්වභාවයයි. ස්වභාව ධර්මය යනුවෙන් ප්‍රකාශ වන්නේද එයයි. ලෝකයෙහි ස්වභාවයක් පවතිනවා. උදයට ඉර නැගෙනවා සේම සවසට ඉර බැසයාම ස්වභාවයක්.උඩ පැන්නොත් බිම වැටීම ස්වභාවයක්. එවැනි ආකාරයන් ධර්්මී නම් වෙයි.වය යනු නිවැරැදිය යන්නයි. සිංහලෙන් වැය යන වචනය ඔබ අසා ඇති. වැය යනු ටික ටික අඩුවීම හෙවත් ක්ෂය වීමයි.ටික ටික අඩුවීම යනු ටික ටික වැය වීමයි. ධම්මිනෝ යනු ස්වභාවයයි ටික ටික වැය වීමයි. වයධම්මී යනු ටික ටික නැතිවීම හෙවත් ක්ෂය වීමයි. එය එහි හැටි හෙවත් ස්වභාවයයි.ටික ටික නැතිවීමේ හැටිය උත්පාද වෙයි. යමක් උත්පාද නම්, වයධම්මී වෙයි. සැම දෙයක්ම වයධම්මී වෙයි. අනිවාර්යෙන්ම තිබෙනවා යනු අනිවාර්යෙන්ම නැතිවීමයි. එය ඒතරමට ප්‍රබල වෙයි.
එදා සිටි කෝලිත උපතිස්ස දෙපළ වැනි ඥනය ඇති පිරිස් වර්තමානය තුළත් නැතිවා නොවෙයි. ඔබ පැය දෙක තුනක් විෙවිකීව සිටින අවස්ථාවක නැති නොවන යමක් තිබෙනවාදයන්න කල්පනා කර සොයා බලන්න. සොයලා සොයලා හම්බ නොවුණොත් ඔබට යමක් වැටහේවි. සොයා බලන විට ඔබ තේරුම් ගන්නාවූ කරුණු ඉතාම වැදගත් වෙයි.එවැනි ආකාරයට සොයපු පිරිස් බුදුපියාණන් වහන්සේගේ කාලය තුළත් සිටි බව සිහිපත් කළ යුතුයි. කිසා ගෝතමී , සුභා, චුල්ලපන්තක පිළිබඳව මතකයට නගා ගන්න.
අභාවය
ක්‍රි.ව. 5ත් ක්‍රි.ව.8ත් අතර කාලය තුළ ලංකාවේ තිරියාය ප්‍රදේශයෙහි සංස්කෘත භාෂාවෙන් ලියා ඇති පල්ලව ග්‍රන්තාක්ෂර වලින් කොටා ඇති සෙල්ලිපියෙහි සඳහන් වන ශ්ලෝක හයෙන් අවසාන වාක්‍ය අපට ඉතාම වැදගත් වෙයි.තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන් කරවූ බවට සැළකෙන චෛත්‍යයෙහි මෙය සඳහන් වෙයි.“අභාවං ස්වභාවාහං සර්ව ධර්මාං” යන එහි සඳහන් ප්‍රකාශය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කර ඇත.“අභාවං ස්වභාවාහං සර්වධර්මාං” යන්න සර්වධර්මාං යනු සිංහල අර්ථයෙන් සියලු දේවල් යන්නයි. අභාවං ස්වභාවාං යනු අභාවය ස්වභාවයයි. ස්වභාවය අභාවයයි. ස්වභාවය තිබීම නම්, අභාවය යනු නැතිවීමයි. නැති වීම ස්වභාවයයි. ඕනෑම දෙයක ස්වභාවය අභාවයයි. අභාවය ස්වභාවයයි. මෙය නිතර දැකීම සඳහා බ්ත්තියක ලියා තැබිය හැකිය.
බුදුපියාණන්වහන්සේ “උප්පාද වයධම්මිනෝ” යනුවෙන් අනුමත කොට වදාළේ ශක්‍ර දෙව්යන්ගේ වාක්‍යය වෙයි.ඇති වෙනවා යනු නැතිවීමේ ආරම්භයයි.යමක් තිබෙනවා යනු නැතිවෙමින් තිබෙන එක විතරමයි. වෙන දෙයකට නොවෙයි.එය ඔරලෝසුවෙහි වෙලාව පරිදි වෙනස් කළ හැකි වෙයි. පෙරවරු 6 පටන් ගත්ත වෙලාවේ සිට තත්පරෙන් තත්පරය සිදුවන්නේම අවසන් වීමයි. නැති වන එක පමණයි. 6 යි පහ යනු හෝ 6යි විස්ස යනු හය පසුවී විනාඩි පහක් හො විස්සක් අවසන් බවයි.පෙරවරු 6 ආරම්භ වීමත් සමඟ සිදුවන්නේම හය ටික ටික අවසන් වීමයි. දවස පටන් ගන්නවා යනු දවස ඉවර වීමට ආරම්භවීමයි.
වයස කාන්දු වීම
ඉපදෙනවා යනු වයස ටික ටික ඉවරවීමට පටන් ගැනීමයි. ඉපදෙනවා යනු කුඩා සිදුරක් සහිත කළයකට වතුර පුරවා ගෙනත් තබනවා වගෙයි. වතුර කළය තැබූ අවස්ථාවේ පටන් ජල බිංඳු කාන්දු වෙනවා සේම ශරීරයෙන් වයස ද කාන්දු වී යයි. අද උදේ 7 සිට රාත්‍රී 7 වන විට පැය 12ක් කාන්දු වී අවසන් වෙයි.රාත්‍රී නින්දට ගොස් එලිවන විට සැලකිය යුතු කාලය ප්‍රමාණයක් කාන්දු වී අවසන් වෙයි. සැම විටම ශරීරය තුළ තිබෙන්නාවු වයස කාන්දුවෙමින් පවති. එය ක්ෂය ධම්මී වෙයි. තිබෙන වයස කොයි වෙලාවෙත් නැතිවීම ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්දනිවැරැදිව සිතනවා නම් ,ජීවිතයෙන් වයස ඉවර වන විට සතුටක් නොව දුකක් දැනිය යුතුයි.උපන්දින සාද සමරනු ලබන්නේ ඒ දුක සඳහාද මේ වන විට ජීවිත කාලයෙන් 20ක් අවසානයි . ජීවත් වීම සඳහා ඉතිරිව ඇත්තේ තව අවුරුදු 60කි. ජීවත් වීම සඳහා අවුරුදු අසූවක් තිබෙන පුද්ගලයා වයස අවුරුදු 50 සම්පූර්ණ වූ විට තව අවුරුදු 30 ඇති බවට සතුටෙන් සමරනු ලබන්නේ ඉවර වුණ සතුටද
අවසන් වූ සතුට
වැය වුණ සතුට හෙවත් මරණයට ලංවීම අප කෙතරම් සතුටෙන් සමරනු ලබනවාද ආසාවෙන් සමරනවා පමණක් නොවෙයි තමා සමීපව සිටින අවට පිරිසටද එය සැමරීම සඳහා බොහොම සතුටෙන් ආරාධනා කරනු ලබන්නේ දැන් මගේ වයස ඉවර වීමට යන බවත් එම නිසා අද අපි හොඳට කාල බීලා නටලා සන්තෝෂ වෙමු. මේ වන විට මගේ වයස සෑහෙන දුරට අවසානයි. ඉතිරිව ඇත්තේ බොහොම ටික කලයි. උපන්දින සාද සැමරිය යුත්තේ උපන්දිනට සාදන කේක් එකට හෝ පිසින ලද කිරිබත් සඳහා උප්පාද වයධම්මිනෝ යනුවෙන් අයිසින් අකුරු ලියා තැබීමෙනි. එම කේක් එක එයට පසුව කැපිය හැකියි. එයටත් වඩා නිවැරැදි විය යුත්තේ අනිච්චාවත සංඛාරා යනුවෙන් කේක් ගෙඩිය සැදීමයි. ඒ තරම් වටිනා වාක්‍යයක් පිළිබඳව අප සිතා සිටිනුයේ මළ ගෙදරකදී පමණක් සුදු පැහැ බැනරයක කළු අකුරෙන් ලියා තබන වාක්‍යයක් පමණක් බවයි.එසේ නොවිය යුතුයි. එය සත්‍යයි. මේ තරම් ඇත්තක් තවත් තිබෙයිද කැමැති වුවත් , අකැමැති වුවත් මුහුණ දිය යුත්තේ එකම එක දෙයකට පමණයි. ඒ නම් ඇත්තයි . කැමැත්තෙන් හෝ අකැමැත්තේන් මුහුණ දෙන්නේත් ඇත්තටයි. ඇතිවෙලා නැතිවීම වරදක්දවරදක් නම් දඬුවම් දිය හැකියි. ලෙඩක් නම්, බෙහෙත් දිය හැකියි. වරදක් නොවන, ලෙඩකුත් නොවන එය හැටියක් වෙයි. එසේ නම් අප කළ යුත්තේ එම හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගැනීම මිස අන්කිසිවක් නොවෙයි.
නිවන් දැකීම
බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අප සියලු දෙනාටම වදාළේ එම හැටි හෙවත් ස්වභාවයයි. අන් කිසිවක් දේශනා කොට නැත. දේශනා කළ සැම දෙයක්ම ලෝකය තුළත්, සංසාරය තුළත් මනුෂ්‍යයා තුළත්, සත්ත්වයා තුළත් යන සියලු දෙයකම හැටි හෙවත් ස්වභාවය දේශනා කළා මිස අන්කිසිවක් දේශනා කළේද නැත.විග්‍රහ කර තිබෙන තරම් ප්‍රමාණයක් විග්‍රහ කර තිබෙන්නේම එකම දෙයක් ලෙස හැටි විතරයි. එම හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගැනීම නිවනයි. එම හැටිය තේරුම් ගැනීම සඳහා අපගේ රැකියාව හෝ විරැකියාව, තනතුරු, යාන වාහන, මිල මුදල් බාධාවක්ද හැටිය තේරුම් ගැනීමට බෞද්ධ විය යුතුමද හැටිය තේරුම් ගැනීමට පැවිදි විය යුතුමද එය තේරුම් ගැනිමට ගිහි ඇඳුමකට බැරිද හැටිය තේරුම් ගැනීමට වයසට යා යුතුමද හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගන්නවා යනු නිවන් දැකීමයි. එම හැටිය තේරුම් ගැනීමට ඔබට හැකියාව ලැෙබිවා .

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කඨින චීවර පූජාව මහානිශංස වන්නේ ඇයි?

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීමට නීතියක් පැනවූයේ ශාසන ආරම්භයෙන් අවුරුදු 20 කට පසුවය.බුදුරජාණන් වහන්සේ හැම දෙනාගේම හිත සුව පිණිස වැසි සාර මස භික්ෂූන් වහන්සේලා චාරිකාවෙන් තොරව එක තැනක වාසය කළ යුතු බවට ශික්ෂා පදයක් පැනවූහ.
කඨින චීවර මාසය වෙනුවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි.

ස්වාමීන් වහන්ස, වස් සමාදම් වීමට සුදුසුම කාලය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් මොනවාද?

වස් ශික්ෂා පදය පැනවීමෙන් පසු වස් එළඹෙන්නේ කවර දිනයකද? යන ප්‍රශ්නය භික්ෂූන්හට ඇති වුණා. ඒ අනුව වස් එළඹිය යුතු දිනයන් දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා.
"මහණෙනි, වස්සාන කාලයෙහි වස් වසන්නට අනු දනිමි. මහණෙනි, වස් එළඹීම් දෙකකි. එනම්"පෙරවස් විසීම" සහ "පසු වස් විසීම" යනුවෙනි"ලෙස බුදුරජාණන් වහන්සේ දන්වා සිටි බව පත පොතේ සඳහන් වනවා. පෙර වස් විසීම කියන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනට පසුදා ඇසළ අව පෑළවියදා වස් එළැඹීමය. ඇසළ පුර පොහොය දිනයෙන් මාසයක් ගිය පසු නිකිණි පුන් පොහෝ දිනට පසු දින නිකිණි අව පෑළවියදා පසු වස් සමාදම් වනවා. යම් හෙයකින් ඇසළ අව පෑළවියට වස් සමාදම් වීමට නොහැකි වුවහොත් ඊට මාසයකට පසු නිකිණි අව පෑළවියට පසුවස් සමාදම් විය හැකියි.

වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත් මොනවාද?

බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහොය දින ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කර ඔවුන්ට උපසම්පදාව ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ආරාධනාවකින් තොරව වස් සමාදන් වී මිගදායේ වැඩ වාසය කළ බවත් සඳහන් වනවා. වස් ආරාධනා කරන විට බුලත් කොළ කිහිපයක් ගෙන එය බුලත් හෙප්පුවක තබා ඊට උඩින් සුදු ලේන්සුවකින් වසා භික්ෂූන් වහන්සේට ආරධනා කරන සිරිත තමයි තිබෙන්නේ. වස් ආරාධනා කරන විට වස් ආරාධනා කරන සැදැහැවතුන් මෙහෙම කියන්න ඕන.”ස්වාමීන් වහන්ස, මෙතැන් පටන් ඉදිරි තුන් මාසය මුළුල්ලේ මේ විහාරස්ථානයේ රැඳී සිටිමින් එම කාලය තුළ දායකයන් වන අප ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන බවත්, එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා යනුවෙන් වස් ආරාධනා කරන්න ඕන. මේ ආරාධනාව සමග වැසිසළු පූජාවත් කරනවා.

වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

"ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි" යනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවා. මේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕන. ආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය. ඒ වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.

‘වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?

වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්‍රය වනවා. උපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවා. වරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවා. වස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවා. පසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.

කඨින චීවර පූජාව කියන්නේ කුමක්ද?

එකම චීවරය දෙපාරක් පූජා කිරීම නිසා කඨින පූජාව සුවිශේෂී පූජාවක් වනවා. ගිහි පැවිදි දෙපිරිසම එකට එකතු වී කඨින චීවරයක් සකස් කරන්නේ. එයත් විශේෂත්වයක්, කඨින චීවරය පළමුව පින්වතුන් විසින් මහා සංඝ රත්නයට පූජා කරනවා. ඉන් අනතුරුව එම කඨින චීවරයම සංඝ සම්මතයෙන් එක් භික්ෂුවකට පූජා කරනවා. දෙපට සිවුර , තනිපට සිවුර, අඳන සිවුර වශයෙන් දායක දායිකාවන් හට කැමති චීවරයක් පූජාකරන්න පුළුවන්. කඨින චීවරයක් හිමිදිරි පාන්දර ගරු ගාම්භීරව පෙරහරින් වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කරනවා. කඨින චීවරය සමඟ සිවුරු, පාත්‍ර, කුඩ,ආහාර පාත්‍ර, භාජන , දැළි පිහියා, පිහි, ඉදිකටු, නූල් බෝල, වටාපත්, තෙල් බෙහෙත් වර්ග, පෙරහන් කඩ, ඉන පටි, බෙහෙත් , සැරයටි, රෝද පුටු, පාවහන්, ඇඳ පුටු, පැදුරු, පහන්, ධාතු, කරඬු, සුවඳ දුම්, දැහැටි, ප්‍රණීත වූ ආහාර පුජා කරන්න පුළුවන්. එවිට පින් වැඩිවෙනවා. කඨින චීවරය සමඟ පූජා කරන එබඳු වූ පූජා භාණ්ඩ පරිවාර පරිස්කාර කියලා කියනවා.

හාමුදුරුවනේ කඨිනානිශංස ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්‍රධානියෙක් වනවා, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්‍ර වනවා. කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්‍රි සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්‍ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්‍රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්‍යයන්ට පමණයි. දිව්‍යලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්.
මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.
යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත ගේ දොර, ඉතාම සුඛෝපබෝගී පහසුකම් සහිත යාන වාහන පාවිච්ච් කරනවා දකින අපට ඔහුගේ සැපත උහුළාගැනීමට නොහැකි තත්ත්වයකට පැමිණුනහොත් අප වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. එම ජයග්‍රහණය අපගේ මනසට උහුළා ගත නොහැකි වීම එයට හේතුවේ. එවිට අප ඔහුට අස්ථානයේ චෝදනා කිරීමට පටන් ගනියි. ඒ තුළ ද්වේෂය ගැබිව පවති. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්ත්වයකට පත්වු බව සිතම්න් ද්වේෂ කරයි. මෙවැනි අවස්ථාවන් තුªළදී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ජා සහගත තත්ත්වයන් උදාකරගනු ලබයි. ගෘහ ජීවිතය තුළ වුවද තමා අත්විඳින යම් කිසි දෙයක් අනෙකා විසින් උදුරා ගනිවී යැයි සිතා තවකෙනකු එම සැපත අල්වා ගිනිවී යැයි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙනු ඇත.
තමාගේ සැපත ඉක්මවා වෙනකෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘතග්ජන මනසක් සතුටු වන්නේ නැහැ. තමන් විඳපු දෙය වෙනපුද්ගලයෙකුට ලැබෙන විට හා තමාට නොවිඳි දෙයක් කවුරුන් හෝ පුද්ගලයෙකු විඳිනවාය යන මානසික තත්ත්වයක් හටගනී. ඉතාම සම්පූර්ණ වූත් සාර්ථක වූත් පුද්ගලයෙකු මේ ලෝකය තුළ නොමැති වුවද, භෞතිකව යම් හෝ සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ වුවද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගනී. එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. ඉතාම ඉහළ තලයක පහසුකම් භුක්තිවිඳින පුද්ගලයන් තුළ වුවද ඉතාම පහළ තලයක පහසුකම් භුක්ති විඳින පිරිස් පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කරගනු ලබයි. මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳියි. යන බව ඇතැමකු ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔහු සතකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්තිවින්දා වුවද, එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන්, තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පලතුරු ටිකක් වත් සොයාගැනීමට නොහැකිව දහඳුක් විඳිනවා විය හැකි වුවද, කුරුලු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනු ලබයි.

ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න, දැවෙන්න, පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අතදමා අඟුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අඟුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි පුමාණයක් පිළිස්සෙනුයේ අඟුරු වළට අත දමා අඟුරු ප්‍රමාණයක් අතට ගත්ත පුද්ගලයා තුළ වන ගැටීම විශාල හානියක් වන අතරම එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ අතම පිළිස්සෙනු ලබයි. ඊර්ෂ්‍යාව මේ ලෝක වශයෙන් පුද්ගලයාට විශාල හානියක් කරනු ලබයි. ඔහුගේ පුද්ගලික ජීවිතයට, අධ්‍යාත්මයට විශාලම හානිය, ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යෙන්ම සිදුවනු ඇත. ඊර්ෂ්‍යාවට ගොදුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊර්ෂ්‍යාව කරන පුද්ගලයාට සිතුවා වුවද, ඊර්ෂ්‍යා කරන පුද්ගලයා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමඟම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත්නොවනු ඇත. තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමන්ගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව, ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ගොඩනැගෙන්නේ නැත. කාර්යක්ෂම භාවය ඇතිවීමටත්, වගකීම්සහගත බව ඇති විමටත් තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වනු ඇත.
තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. අතෘප්තිමත් පුද්ගලයා තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයා කිසිම දවසක වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳිනු ලබයි. ඔහු හෝ ඇය සැමවිටම තමා පිළිබඳව කළකිරීමකින්, ද්වේෂයකින් පසුවෙනු ලබයි. තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය අනෙක් පිරිසට ප්‍රක්ෂේපණය කිරීම, ඊර්ෂ්‍යාකිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම් ඔහු තමා පිළිබඳව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.
ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂයයි. ඔබ, සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාර්ක්ෂමභාවය අඩාල වේ. ඔබගේ වගකීම් සහගත බව අඩාල වෙයි. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යනවා යනු ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වනු ඇත. “සන්තුට්ඨ්ි පරමං ධනං” යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතාම අවශ්‍යයයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසාම පුද්ගලයෙකුගේ මේ ලෝක ජීවිතයේ අසාර්ථක භාවයට හානිකර තත්ත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යෙන් බලපානු ලබයි. අප තුළ ඊර්ෂ්‍යාව ඇති වුවාට පසුව කරනු ලබන දේ අපටම නොතේරෙයි. පූද්ගලයකුගේ සාර්ථකත්වය උහුළාගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නගන තත්ත්වයක් කරා ගමන් කරනු ලබයි. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහෝත් අද වුවද එයින් මිදිය හැකිවේ.
ඔබ ඉතාම අයහපත් හැසිරීම්වල ට පෙළඹිය හැකියි. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්ත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකටම තමා වගකීම්ගත යුතු වෙයි
ඊර්ෂ්‍යා සහගත මනෝභාවයන්ගෙන් පීඩා විඳින තැනැත්තකු මෙලොවදීම අසාර්ථක වනු ඇත. භෞතික ජීවිත තුළ ඊර්ෂ්‍යා කරන පුද්ගලයන් සෑම විටම භෞතික ජයග්‍රහණයන් තුළදී ද පහළට වැටෙනු ඇත. ඊර්ෂ්‍යාව විසින් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව නිවැරැදිව වටහාගැනීමට, නිවැරැදිව දැකීමක් කරා යැමට ඉඩ තබන්නේ නැත. සේරි වාණිජ ජාතකය තුළදී සේරි වෙළෙන්දාට බෝධිසත්ත්ව වෙළෙන්දාගේ වාණිජමය හැකියාව උහුළාගත නොහැකි තත්ත්වයක් උදාවිය. ඔහුගේ අසාර්ථක තත්ත්වයක් ලෙස ඔහුට එය පෙනෙන්නට පටන් ගනී. ඊර්ෂ්‍යාව යන මනෝභාවය ඇති පුද්ගලයා තමාගේ අසාර්ථකත්වයට හේතු වනුයේ අනෙකාගේ තත්වයක් ලෙස දකියි. අපගේ අසතුට නිර්මාණය වීම සඳහා හේතුවක් ලෙස වෙනම පිරිසක් හේතු කරගනී.අනෙකාගේ පොහොසත්කම තමාගේ දුප්පත්කමට හේතුවක් විය හැකි බව දුප්පතකුට සිතිය හැකියි. මනෝභාවයන් තුළ යම් පුද්ගලයකු අඛණ්ඩව සිටිය හොත් ඔහු එයට හුරු පුරුදු කරගෙන ඊළඟ භවය කරා ගමන් කරනු ලබයි. ඊළඟ භවය තුළත් ඔහු යම්කිසි කුසලතාවයන් ඇතිකර ගන්නේ නැතිව ඉතාම දුර්වලයෙකු ආකාරයට නොසිතා තමන්ට ලැබුණ දෙයින් තමා තෘප්තිමත්ව, තමා සාර්ථක නොවී කුසල් උපදවා නොගෙන ඊළඟ භවය කරා ගමන් කළ හොත් ඊළඟ භවය තුළ ඔහු අල්පේශාක්‍ය වීම අනිවාර්ය වේ. පුරුදු පුහුණු කරන ලද යම් කිසි කුසල් ප්‍රමාණයක් සමඟ අප මේ භවය නිමාකළ හොත් පමණි, අපට ඊළග භවය තුළ සාර්ථකත්වතය කරා ගමන් කළ හැකි වන්නේ. සාර්ථක ස්ථානයකින් ආරම්භ කෙරුවකු මහේශාක්‍ය ලෙස හදුන්වනු ලබයි. අසාර්ථකත්වයේ සිටින පිරිස අල්පේශාක්‍ය ලෙස හඳුන්වනු ලබයි. මේ ආත්මය තුළ ඇතිකර ගනු ලබන ඊර්ෂ්‍යාව නිසා අපේ සිත කරනු ලබන හැසීරීම් අප තුළ ඇතිවන අකාර්යක්ෂම කම වගකීම් විරහිත කම සිල්වත්භාවයක් නොමැතිකම එයට අදාළ වන ප්‍රතිපත්ති නොරැකීම තුළ ඊළඟ ආත්මභවය ඉතාම දුක්ඛිත පරිසරයකට වැටීමට තිබෙන ඉඩකඩ වැඩිෙවියි. අප පුහුණුකරනු ලබන දෙය අනුව ඊළඟ භවය නිර්මාණය වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤