ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

අෂ්ට ලෝක ධර්මය


ලාභො අලාභො
අයසො යසොච
නින්දා පසංසාච
සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා
මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාමධම්මා

එතෙ ච ඤත්වා සතිමා සුමෙධො
ආවෙක්ඛතී විපරිනාමධම්මෙ
ඉට්ඨස්ස ධම්මා නමථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
(අංගුත්තර නිකාය)

අටලෝ දහම නමින් හඳුන්වනු ලබන්නේ ලෝකයෙහි හැමදාම පවත්නා වූ ස්වභාව ධර්ම අටෙකි. ලාභ අලාභාදී ඒ අට ලෝ වැසියා අනුව ලෝ වැසියා අත් නොහැර පවත්නේ ය. ලෝ වැසියා ද අට ලෝ දහම අනුව - අට ලෝ දහම අත් නො හැර සිටින්නේ ය. ලෝ වැසි කිසිවකුට මේ අට ලෝ දහමට මුව නොදී විසීමට හැකියාවක් නොමැත. තුන් ලෝ වැස්සන්ගේ මුදුන් මල්කඩ වන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව්තුරා වූ සේක් නමුදු, (ලෝක තත්ත්වය ඉක්මවැ වූ සේක් නමුදු) ලෝකයෙහි වෙසෙන හෙයින් උන්වහන්සේ වෙත ද අට ලෝ දහම ඒකාන්තයෙන් ම පැමිණෙන්නේ ය. 

ඉන් මෙපිට සත්වයන් හට අට ලෝ දහම පැමිණෙනවා යයි අමුතුවෙන් කිවමනා නැත. නිසැකවැම පැමිණෙන හෙයිනි. 

--------------------------------------------

ලාභ අලාභ 

ලො වැසියාගේ සැමදාම බලාපොරොත්තුව ලාභ ලැබීමට ය. අලාභයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කිසිවෙක් නැත. කවර හෝ ලාභයක් බලාපොරොත්තු වීම සිරිත ය. ලාභයයි ගත් කල ඥාති ලාභ - භොග ලාභාදී නොයෙක් ආකාර ලාභ ඇත. දූ දරුවන් ලැබීම ය, නෑ මිතුරන් ලැබීම ය, පිරිවර ලැබීම ය, ගව මහිෂාදී සතුන් ලැබීම ය, කෙත්වත් ධන ධාන්‍යාදිය ලැබීම ය යන මේ ආදිය බලාපොරොත්තු වන්නා වූ නානා ප‍්‍රකාර ලාභයන් අතුරින් කීපයෙකි. 

ආරෝග්‍යය, යෞවන භාවය යනාදියත් එකී ලාභ ගණයෙහිම වැටෙති. සම්පත් ගණයෙහි වැටෙන ඒ හැම ලාභයෝ විපතින් අවසන් වෙති. විපත් පැමිණෙත්ම ඒවා ගිය මඟවත් සොයා ගත නො හැකි ය. ඥාති ලාභ - භොග ලාභාදී වූ හැම ලාභයක් ම ලැබෙතොත් යෙහෙකැයි නිතොර පතමින් සිටීම සාමාන්‍ය මිනිස් ගතියෙකි. කොතෙක් ලාභ ලැබුණත් එයින් සෑහීමකට පත් නොවී තව තව ලාභ ලබමියි ලාභාපේක්‍ෂාවම ඇතිව වාසය කෙරෙයි. කොතෙක් දර බහාලුවත් ඒ සියල්ල පිළිගෙන, ගිනිබත් කරන්නා වූ ගිනි ගොඩක් මෙන් ද, නොහිම් දිය කඳ වැටීමෙනුදු සෑහීමට පත් නොවී තව කොතරම් දිය ලැබුණත් ඒ සියල්ල පිළිගෙන තවත් ලැබෙන ඕනෑ තරමක් ගන්නට සැරැසී සිටින මහ සයුරක් සේ ද, මහත් බලාපොරොත්තු ඇති පුද්ගලයා තම බලාපොරොත්තු කිසි විටෙක අඩු කරන්නේ නැත. 

සමහරෙක් කවර අපරාධයක් හෝ කොට තම ලාභය පමණක් සලසා ගනිති. කොතරම් දුසිරිතෙකැ යෙදී හෝ, යම් කිසිවක් බලාපොරොත්තු වෙති. ඕනෑම නීච – පහත් කි‍්‍රයාවක් කිරීමට ලාභාපේක්‍ෂකයෝ පසුබට නොවෙති. ඔවුනට විළිබිය නොමැත. ආත්ම ගෞරවයක් නොමැත. ලාභය පමණක් ම එකම එක වශයෙන් සලකති. ලාභ නො ලැබිය යුතු සැටි ප‍්‍රකාශිත කොතරම් ධර්ම නීති හා ලෝක නීති ඇතත් ඒ දෙස බැලීමකුදු නොමැත. ඒ සියල්ල එසේ වනුයේ තම ලාභය පමණක් ම බලාපොරොත්තු වන හෙයිනි. ලාභ ලබන අය ඊට අනතුරුව ‘අලාභයක් තම පසුපස එලවා එන්නේය” යි බොහෝ විට නිකමට වත් නොසිතති. සැමදාම මේ ලාභ මෙසේම යයි උදම් වී කි‍්‍රයා කරති. 

සමහර විට ලාභ ලබා පොහොසත්ව එයින් ඉදිමී ගිය ඇතැමෙක් දුප්පත් නෑදෑයන් පමණක් නොව, දිවි පුදා මුළු දියුණුව සලසා දුන් අහිංසක දුප්පත් මහලු මවුපියන් ද පහත් කොට සලකති. ඔවුන් තම මවුපියන් බව කීමට පවා මැලි වෙති. සහෝදරාදී සෙසු ඥාතීන් ගැන ද එසේ ම ය. තමන් ආ ගිය සැටි – කෑ බිව් සැටි – හැඳි පැළැඳි සැටි - ගෙදර දොරේ සැටි ඈ සියල්ලම (මුල) අමතක කොට සුරපුරෙන් බට කෙනකු සේ සිතති. අනුන්ටත් අඟවති. ඔහුට සහජයෙන් ලත් නෑයෝ මිතුරෝ මදි ය. තම පරපුර මදි ය. නම ගම නො ගැළපේ. ඔහු අලුත් නෑයන් සොයයි. අලුත් මිතුරන් සොයයි. අලුත් වාසගමක් ගනියි. විසීමට අන් රටක් පවා සොයයි. පාරම්පරික සිරිත් -විරිත් නොගැළපී විළිබිය නසන සංකර ගති සිරිත් කරපින්නා ගනියි. ලාභයෙන් උදම්වීම නිසා මේ ඈ මහ විකාර කාරයෝ වෙති. ඔහුගේ ගමන බිමන ද, ඉඳුම් සිටුම් ද, කතා බස් ද, රැවුම් පිප්පුම් ද, මවා ගත් තෙද ඔද ද ඔහු බොහොම ඉහළින් සිතා පවත්වතත්, ඔහු දෙස බලන නුවණැත්තෝ මොහු ලෝක ස්වභාවය - ලෝ දහම අමතක කොට ඉදිමී ඇතැයි අවඥ කොට සිනාසෙති. 

----------------------------------------------------------

යස - අයස

බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති. 

ආත්ම ගෞරවය

ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප‍්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත‍්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය. 
තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය.

කල්‍යාණ මිත්‍රයා

නින්දා ප‍්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත‍්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප‍්‍රශංසා කිරීමත්, ප‍්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ.

“යො නින්දියං පසංසති
තංචා නින්දති යො පසංසියො
විචිනාති මුඛෙන සො කලිං
කලිනා තෙන සුඛං න වින්දති”
යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි.
නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත‍්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත‍්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත.

------------------------------------------------------------

නින්දා - ප‍්‍රශංසා

මෙබඳු ගති ලාභ ලබන පුහුදුන් බොහෝ දෙනෙකුන් කෙරෙහි දක්නට ලැබෙන්නේ “ලාභෙන උන්නතො ලොකො අලාභෙන ච ඔනතො” පුහුදුන් ලෝ වැසියා ලාභයෙන් උඩඟු වී හිස උදුම්වා ගැනීමත්, අලාභයෙන් පසුබට වී – දීන වී කනස්සලු වන ගතියත්, පුහුදුන් ස්වභාවය නිසාය. පුහුදුන් ගතිය මෙසේ වුවද කලාතුරෙකින් කෙනෙක් තමන්ගේ මුල මතක තබාගෙන උඩඟු නොවී, කා සමඟත් ඇයි හොඳයි කියමින්, නිහඬව ගලා බස්නා මහා ගංඟාවක මෙන් කලබල නැතිව වාසය කරති. “ගැඹුරු තන්හි ජලය කලබල නැත” යන කීම සනාථ කරමින් වෙසෙන ඔහු”දැන් සම්පත් ලැබුණත් මේ සියලු සම්පත් විනාශ විය හැකි ලෙස අලාභ ද පැමිණිය හැකි බව නිති සිහි කෙරෙති. එසේ සිහිකොට ලාභයෙන් උදම් නොවන්නාහුට ලොකු අලාභයක් පැමිණිය ද එයට කලබල නොවී දරාගත හැකිය.

අර්ථාන්විත නමකින්

අනේපිඬු සිටුතුමා පමණ කළ නො හැකි මහ සම්පත් ඇති ව විසූ කෙනෙකි. දෙව්රම් වෙහෙර උදෙසා ම සූපණස් කෙළක් ධනය වියදම් කෙළේය. දිනපතා පන් සියයක් මහ සඟනට රසමසවුලෙන් දන් දුන්නේය. හේ අසරණයන් ගේ දුක බලා ඔවුන් ගේ කැමැත්ත ලෙස ඔවුන්ට සංග‍්‍රහ කොට ඔවුනට පිහිට වූ හෙයින් ම, අනාථ පිණ්ඩික අනේපිඬුයි අර්ථාන්විත නමකින් පතළ විය. මේ වැඩවලට කොතරම් වස්තුවක් අවශ්‍ය වන්නට ඇද්දැයි නුවණින් සලකන්නෙකුට එය අපහසුවක් නොමැතිව තේරුම් ගත හැකිය. එතුමාට ඒ අනුව අපමණ වස්තුවක් තිබෙන්නට ඇතැයි වැටහේමැය. 
එහෙත් කල් යත්ම අනේපිඬු සිටුතෙමේ ඒ මහ සම්පතින් පිරිහී දුප්පත් වූයෙන් මහ සඟන පිදීමට දනට නිවුඩු හාලේ බතත් කාඩි හොද්දත් පවා අමාරුවෙන් සපයා ගත් බව පෙනේ. ඒ තත්ත්වයට වැටුණත් හේ දුක්මුසු නො වීය. කොසොල් මහ රජ මුළු කොසොල් රටෙහි පමණක් නොව, කසී රටෙහිද ඒකාධිපති මහ රජ වූව ද, අසූ වියෙහි දී අනාථව මැරෙන්නට සිදුවූයේ මහ ම අම්බලමකයි. බරණැස විසූ මහ ධන සිටු පුත්තෙම අසූ කෝටි දෙකක් ධනය ඇතිව වූසූ කෙනෙකි. 

පරම ධනය

පසු කාලයෙහි ඒ සියලු ධනයෙන් පිරිහී හිඟමනේ ගිය සැටි ද සිහි කළ මනාය. හේ කෑම ටිකක් සොයා විහාරස්ථානයට ද පැමිණියේය. ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චය්‍ය¡යෙන් යුක්තව වාසය කළත්, ජීවිතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යයි පළවැ ඇත. ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගනී යුද්ධයෙන් පැරැද ගොස්, කුස සයින් පෙළෙන කල්හි සිවු දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණය. එයත් තිස්ස නම් මහ රහතන් වහන්සේට පූජා කෙළේය. 
මෑත අතීතයෙහි විසූ තෙර නමක් පිඬු සිඟා වැඩම කළ කල්හි ලැබුණේ ඉඳුණු කෙසෙල් ගෙඩියක් පමණක්ලු. එය විහාරස්ථානයට ගෙනවුත් විහාරස්ථානයේ වුසූ කුඩා ශිෂ්‍ය නමට කෙසෙල් මදය දී උන්වහන්සේ කෙසෙල් ලෙල්ල වැළදූ සේක්ල. ලද දැයකින් සතුටු වීම පරම ධනය කොට සලකන එවැනි උතුමන්හට කොතරම් අඩුපාඩු වුවද, ලාභයෙන් පිරිහුණ ද, එය කිසි ගණකට නො ගන්නා හෙයින් පහසුවෙන් ජීවත් විය හැකි බව “සදා සන්තුට්ඨ චිත්තානං සක්කා සබ්බත්ථ ජීවතුං” යන්නෙන් පැහැදිලියැ. ලාභාසාවේ කොනක් මිම්මක් නැති අයට ලැබෙන තාක් ලාභ ලබමින්, තව තවත්, නොයෙක් වීදියේ ලාභ බලාපොරොත්තු වෙති. එයම සමහරකුට මහත් පිරිහිම පිණිස වන්නේ ය. 

කීර්ති ඝෝෂාව

බුදුරජාණන්වහන්සේ ගැන දසත විහිදී ගිය කීර්ති ඝෝෂාවක් “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” යි ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් බඹ මිනිස් සත් වගට තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට දැන ගන්නා ලද්දාවූ, තමන් වහන්සේ විසින්ම ප‍්‍රත්‍යක්ෂ කරන ලද්දාවු නව ලොව්තුරා දහම අවබෝධ කරවන සේක. උන්වහන්සේ මුල-මැද-අග යන හැම තන්හි යහපත් වූ, අර්ථ සම්පත් ව්‍යඤ්ජනසම්පත් වලින් අනූනව හැම පසින්ම පිරිපුන් ධර්මය දේශනා කරන සේක.
එබඳු රහතන්ගේ දැක්ම පවා මහා භාග්‍යයෙ කැයි සලකා ගුණ වණා බුදුරජාණන්වහන්සේ දක්නට යති. එසේම සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගේ ආචාරශීලීභාවය ගැන පතළ වී තිබෙන කීර්ති රාවය අසා පහන්වැ, තම පැහැදීම පළ කෙරෙමින් ගුණ වැණුහ. “සමනො චලු හො ගොතමො කල්‍යාණ වාචො, එහි ස්වාගතවාදී, සඛිලො, සම්මොදකො, අබ්භාකුටිකො, උත්තානමුකො, මිහිතපුබ්බංගමො, පුබ්බහාසි” යනාදී වශයෙන් ශ‍්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කන පිනවන්නාවු මිහිරි කතා ඇති සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන්ට එන්න එන්න ආවා ඉතා යහපතැයි පවසා ආසිරි පෙරටු කොට පිළිගන්නා සේක.

ප‍්‍රිය ඇසින්

උන්වහන්සේ ගේ වචනය අසන තාක් දෙනා සමගි සම්පන්න වන ස්වභාවය ඇති කරන සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන් ගේ සිත් පිනවන්නාවු පිළිසඳර කතා පවත්වන සේක. බැම වකුටු කොට හෝ අවමන් කොට හෝ නො බලා පි‍්‍රය ඇසින් සියල්ලන් දෙස බලන සේක. උඩුකුරු කොට ගත් මුව පියුම ඇති සේක හෙවත් තමන් වහන්සේ වෙත පැමිණෙන්නන් දෙස මැනැවින් බලන සේක. මඳ සිනා පෙරදැරිව අමුත්තන් පිළිගන්නා සේක. තමන් වහන්සේම පළමු කොට කථා කරන සේක. මේ ආදී විසින් පැතිර ගිය ගුණඝෝෂය අසීමිතය.
මුගලන් මාහිමියන්ගේ ඍද්ධි මහිමය නිසා බුදු සසුන දීප්තිමත් වන්නේ යයි සැලකූ ඊර්ෂ්‍යා පරවශ තීර්ථයකයෝ උන්වහන්සේ මරන්නට සිතා පහර දුන්හ. 

---------------------------------------------------------------

සැප - දුක

බුදුරජාණන් වහන්සේට කායික සුව පහසු උසස් ලෙස ලැබුණ බව ද සත්‍යයෙකි. ගිහි කල දෙව් සැප පරයන සැප පහසුකම් ඇතිව වැස, පැවිදිව දුෂ්කර කි‍්‍රයාවෙන් අපමණ දුක් වින්ද බවද ප‍්‍රකටය. බුදුව දෙව්රම් වෙහෙර වැනි විහාරස්ථානයන්හි විසුවාක් මෙන් ම තද ශීතල රාති‍්‍රයෙහි ඇට්ටේරිය වනයෙහි ගහක් මුල විසීම වැනි පුවත් ද නොයෙක් තැන දක්නට ඇත. බුදුරජාණන් වහන්සේට දුක සැප දෙකට ම මූණ දෙන්නට සිදුවී නම්, සෙසු අය ගැන කවර කථාද? සාමාන්‍ය ලෝකයාගේ සැප වැනසීයාමෙන් ඔවුන්ට මහත් දුකක් ඇතිවේ. බුද්ධාදී ආය¸යන් වහන්සේ ඒ සියල්ලට ම මධ්‍යස්ථ වන සේක. ලෝ වැසි බොහෝ දෙනෙකුන්ට සැප විඳින කල්හි දුක අමතක වීම ස්වභාවයකි. එහෙයින් ම සම්පත්තියෙන් සැපයෙන් මත්ව නොයෙක් නො කටයුතු කෙරෙති. ලොවැ සැපයයි ගණන් ගෙන ඇති සියල්ලකම මොහොතින් මොහොත වෙනස්වන බව සිහිකළ මනාය. ඉරියව් මාරුකිරීම නිසා සැපයයි සැලකෙන්නක්ම මොහොතක් ගතව ගිය කල දුකට පෙරැළේ. තුරුණු බව (තරුණ කාලය) සැපයෙකි. සම්පතෙකි. එය ජරා දුකින් වැනැසෙන්නේය. තුරුණු වියෙහි දී තුරුණු මදයෙන් මත්ව ගත් බොහෝ අය තම තාරුණ්‍යය මෙරමා පෙළීමට අවියක් කොට ගනිති. සමහර විට මහල්ලන්ට කල කොලොප්පන් කරමින් මහලු බව උපහාසයටත් ලක් කෙරෙති. තුමූ මහලු වන බව නිකමට වත් නො සිතති. ඒ මතු ද නොව, තුරුණුමඳයෙන් මත්ව නොයෙක් අපරාධ කොට පව් රැස්කැර ගනිති. එසේම ආරෝග්‍යය - ලෙඩ නොමැතිබව සැපතෙකි. 

තැනට සුදුසු නුවණ

එය ලෙඩ හටගන්මෙන් දුකට පෙරළේ. ලෙඩ හට ගත් කල කිසිවක් කරකියා ගත නොහී, ළතැවෙන්නට සිදු වේ. යම් කිසිවකු නීරෝගිව වෙසෙන කල්හි මා මොන මොහොතේ ඉතා දරුණු රෝගයකට භාජන වේදැයි සිතිය නො හැකි හෙයින් මගෙ නීරෝගිභාවය ලෝ සසුන් මෙහෙය පිණිස යොදවමියි අධිෂ්ඨාන කරගත යුතුව තිබියදී ලෙඩට භාජනය වන බව මෙනෙහි කිරීම ලෝ දහම අමතක කිරීමක් වන්නේය. යම්කිසි රෝගයකට භාජනය වුවද, එහි දී දුක් දොම්නස් නොවී, මේ සිරුර දරණ තාක් කල් ලෙඩවීමෙන් වළකින්නට නොපිළිවනැයි සිතා, දුක් දොම්නස් නො වියයුතුය. එසේම මහත් සම්පත්තියක් වූ ජීවත්වීම මරණ විපත්තියෙන් කෙළවර වන බව තේරුම් ගත් නුවණැත්තා මරණය කවර මොහොතෙකැ කෙලෙස සිදුවේදැයි නොදත හැකි හෙයින්, හිස ගිනිගත්තකු ඒ ගින්න නිවා ගන්නට යම් තාක් උනන්දුව තිබේ නම්, සත්කි‍්‍රයාවන්හි යෙදීමට එවැනි උනන්දුවක් තිබිය යුතු බව සිතා කි‍්‍රයා කරන්හු කරා මරණය ළංවුවත් තුටු, සිතින් ඊට මූණදිය හැකිය. ජීවිත සම්පත්තියෙන් මත්වූවන්ටහට මරණ දුක අමතක වන්නේය. මැරෙනවායයි හඩ හඬා වැලැපි වැලැපි නො සිට, එයම අරමුණු කොට කළමනා වැඩෙහි යෙදීම නුවණැත්තන් ගේ ස්වභාවයයි. 

පි‍්‍රය මනාප බව ඇති සවිඤ්ඤාණක වුවද අවිඤ්ඤණක වූ ද වස්තූ හා එක්ව වසන්නට ලැබීම මහත් සැපතක් වශයෙන් සලකති. යම් ලෙසකින් ඒ වස්තූන් ගෙන් වෙන්වන්නට සිදුවුවොත් එය මහත් දුකෙක් වන්නේය. මේ පි‍්‍රය සම්පයෝග පි‍්‍රය විප‍්‍රයෝග යන සැප දුක් දෙකටම විටින් විට මූණ පාන්නට සිදුවීම ද වළක්වන්නට සමත් කිසිවෙක නැත. ධෛර්ය සම්පන්න අය පි‍්‍රය විප‍්‍රයෝගයෙන් ද කල බලයට පත් නොවී, ස්ථානෝචිත ප‍්‍රඥායෙන් - තැනට සුදුසු නුවණින් යුතුව කි‍්‍රයා කරති. බුද්ධ කාලයේ විසූ බන්දුල මල්ලිකාව දිනක් මහා සංඝරත්නට දන් දෙමින් සිටින විට තම දරුවන් තිස්දෙනාත් සැමියාත් යුද්ධයේ දී මරුමුවට පත් වූ බව සටහන් කොට ඇති හසුන් පතක් ලැබිණි. එය බලා කලබල නොවී, එය ඉණෙහි ගසා ගෙන දන් බෙදමින් සිටියාය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් කලයක් බිම වැටී බිඳී ගියේය.

ඒ දුටු සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. එබස් ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා ගෙන තිබුණු ලියුම අතට ගෙන “ස්වාමිනි, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම දෑස්ස අතින් ගිලිහීබිඳී ගිය ගිතෙල් කලය ගැන ශෝක කරම්දැ’යි කීහ. බන්ධුල මල්ලිකාව ගැහැනියක වුවත්, පි‍්‍රය විප‍්‍රයෝග දුක පැමිණෙන බව කලින් ම තේරුම් ගෙන සිටීම නිසා ඒසා මහත් විපතෙදී නො සැලී සිටියාය. උරග ජාතකයෙහි දැක්වෙන පරිදි තම එකම පුතු මළ කල්හි මාපියන් දුක් නොවූ සැටි ද මෙහිලා සිහි කළ යුතුය. පි‍්‍රය ජනක අවිඥානක වස්තූ හා එක්වීම සැපයක් සේම, එයින් වෙන්වීම දුකෙකි. තමන් සීතල නොකැමැති විට සීතල ඇතිවීමත්, උෂ්ණය නො කැමැති විට උෂ්ණය ඇතිවීමත් දුක්ය. නොරුසනා කඳු හෙල් ගල් මුල් ආදිය ඇසුරට ලැබීමත් දුක්ය. එසේම පි‍්‍රය ජනක රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බයන් කැමැතිවීමත් ඒ පි‍්‍රය අරමුණු ලක් විට සැපයක් ලබන ලදැයි සොම්නස් වීමත් ස්වභාවයෙකි. තමන් රුචි නො කරන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බයන් ලත් කල දුකට පත් වීමත් ස්වභාවයෙකි. 
අට ලෝ දහමින් කෝකත් පැමිණියත් වෙනස් ගතියක් නොපා, මැදහත් ලෙස පවතින්නට හැකි තත්ත්වයක් උදාකර ගන්නට පිළිවන් පුද්ගලයාහට ඉවසා දරා ගත නො හැකි කිසිවක් නැත. ඔහුට හැමදාම හැම විටම සුව සේ විසිය හැකිය. ඔහුට සපුරාලිය නො හැකි ගුණ දහමක් ද නො මැත. හේ ඇතිතාක් ගුණදම් මත සැනැසිලිමත් ජීවිතයක් ගෙවා පරලොවේහි ද සුවපත්ව, නිවන් දක්නට ද සමත් වන්නේය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මිනිස් සිරුරේ ස්වරූපය

රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි

බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන සිත සහ එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමයි. ඉර, හඳ, තාරකා, ග්‍රහ පෘථවි සප්තමහා සාගරය සහ එහි දිග පළල සෙවීමට වඩා උන්වහන්සේට අවශ්‍ය වූයේ මිනිස් සිත පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. සිත ගැන සෙවීම ම දුකින් මිදීමට මාර්ගය බව අවබෝධ කරගත් උන්වහන්සේ සියලු දුක් ගැහැට විඳිමින් එම උත්කෘෂ්ට ක්‍රියාදාමය වෙසක් පොහෝ දින ගයාවේ බෝසමිඳුන් අබියස දී පසන්කොට ගත්හ. එම ආත්මාවබෝධය විමුක්තිකාමී ලෝකයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය විය. දුක්ඛ වූ පසමනයට මාර්ගය ද එම විජයග්‍රහණයයි. ඒ සඳහා බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනාකොට වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වනුයේ ආත්ම ගවේෂණයෙහි යෙදෙන ලෙසත් ඒ සඳහා චිත්ත දමනය කළ යුතු බවත්ය. ‘අත්තානං ගවේසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ’ යන බුද්ධ වචනයෙන් එය අවධාරණය කොට ඇත.
මිනිසාගේ වටිනාකම ඉන්ද්‍රිය වූ මනස හෙවත් සිත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පෘථුල ජීවිතාවබෝධයක් ඇතිකර ගැනීමට හැකි බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ සිතත් සිතෙහි ඇතිවන සිතිවිලිවල ස්වභාවයත් තේරුම් ගැනීම සුඛිත මුදිත ජීවිතයකට මාර්ගය බව දේශනා කර ඇත. ඒ අනුව සෑම පෘථග්ජන සිතකම ඇතිවන සිතුවිලි ආදානග්‍රාහීය. ඇලීම්, බැඳීම් සහ ගැටීම් ඇතිකරවන සුළුය. එවැනි සිතිවිලි කුඹුරක හටගත් වල් පැළෑටි බඳුය. වල් පැළෑටි උදුරා දමා කෙත ආරක්ෂා කර නොගතහොත් කෙතක සමෘද්ධිය ඇති නොවේ. සිත තුළ වල් පැළෑටි බඳු කෙලෙස් උදුරා නොදැමුවහොත් චිත්ත සංවර්ධනය ඇති නොවේ.
ඒ නිසා කෙලෙස් සිඳීමට සිතෙහි ස්වභාවය වටහා ගත යුතු ය. අභිධර්ම විභාවිනි නම් ටීකාවේ සඳහන් වන මෙම ගාථා ධර්මයෙන් සිතෙහි මූලික ස්වරූපය කෙබඳු ද යන්න ප්‍රකට වෙයි.

විචිත්ත කරණ චිත්තං 
අත්තනො චිත්ත තායවා 
චිතං කම්ම කිලෙයෙහි 
චිතං කායති වා තථා

විනෝති අත්ත සන්ථානං විචිත්තාරම්මණන්ති චාති (අභිධර්ම විභාවිනි ටීකාව)
1. විචිත්ත කරණං චිත්ත – විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
2. අත්තනො චිත්ත කාර වා - සිත තමා විසින්ම විසිතුරු වෙයි.
3. චිතං කම්ම කිලොසෙහි – කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැඟුණේ සිතයි.
4. චිතං තායති වා කථා - ආත්මය රකින්නේ සිතයි.
5. විනෝනි අත්ත සත්ථානං - ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
6. විචිත්තාරම්මණන්ති චිත්තං - විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
බුදු දහමේ ඉගැන්වීම් අතර මිනිස් සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අන්තර්ගත වන්නේ අභිධර්ම පිටකයෙහිය. එහිදී සිතෙහි ස්වභාවය හා ක්‍රියාකාරීත්වය මැනවින් ඉදිරිපත් කොට තිබේ. අභිධර්ම පිටකය අයත් අභිධර්ම විහාවිනී ටිකාවෙහි සඳහන් වන ඉහත සඳහන් ගාථාව සිත පිළිබඳ ඉගැන්වෙන විශිෂ්ට ඉගැන්වීමක් වශයෙන් සැලකිය හැකිය. එහි ඉගැන්වෙන කරුණු 06ක් පිළිබඳ සංක්ෂිප්ත ඉගැන්වීමක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
1. විචිත්ත කරණං චිත්තං විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
සමස්ත ලෝකය ම ඒකාකාරී වූ ඒකාත්මික පැවැත්මට නතු වුවක් නොවේ. සියලු තතු විවිධත්වය සහ විචිත්‍රත්වය පැවැතීම විශ්ව ධර්මතාවයකි. සජිවී සත්වයන් සහ අජීවී ද්‍රව්‍යාත්මක දේවල් තුළින් පැහැදිලිව පෙනෙනුයේ විවිධත්වයයි. සත්‍ය වශයෙන් ලෝකයේ පැවැත්ම ද ඒ විවිධත්වය සහ විචිත්‍රත්වය නිසා ඇති වේ. මෙම තත්ත්වය දිව්‍යමය බලවේගයක් අනුහසින් නොව මනස පදනම් වූ චෛතසික රටාවක් හේතුවෙන් ම ඇතිවන්නකි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන බුද්ධ වචනයට අනුව මනස සියලු දෙයට පූර්වාංගම සාධකය වේ. මෙම ධර්ම පාඨයට අනුව විශ්වගත සත්ත්වයන්, මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් හා යක්ෂ, භූත, ප්‍රේතයන් බවට හා තිරිසනුන් බවටත් බුදු, පසේ බුදු මහරහතන් සහ බෝසත් උත්තමයන් බවටත් පරිවර්තනය වන්නේ සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසිනි. එනිසා සත්ත්වයන් විවිධ විචිත්‍ර ජීවිත බවට පත් කරන්නේ සිතයි. එපමණක් නොව රමණීය මාළිගා, උද්‍යාන, පරිගණක, ගුවන් යානා ආදී සියල්ලමත් මිනිසුන්ට දෛනිකව නෙත ගැටෙන සියලු ලොකු කුඩා මෙවලම් ආදියත් සිතේ ක්‍රියාකාරිත්වයේ විවිධත්වය අනුව නිෂ්පාදනය වූ ඒවාය. නිවසක් තවත් නිවසක් සමඟත් සිතුවමක් තවත් සිතුවමක් සමඟත් සන්සන්දනය කර බැලීමේ දී ඒකාකාරී නොවී විවිධත්වයක් ප්‍රදර්ශනය කරන්නේ ඒ ඒ සිත්වල හැඟීම් දැනීම් අපේක්ෂාවෙන් අනුව ඒවා නිෂ්පාදනය වූ හෙයිනි. එනිසා සිත වූ කලී මෙලොව විචිත්‍රත්වය හඳුන්වා දුන් මූලායතනය වේ.
2. අත්තනො චිත්ත තායවා
සිත තමා විසින්ම විසිතුරු වෙයි.
මෙම ධර්ම පාඨය අනුව මිනිස් සිත තමා විසින් විසිතුරු වූවකි. වරෙක සතුටින් ප්‍රමෝදයෙන් සිටින පුද්ගලයෙක් තවත් වරෙක ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා වෛරයෙන් යුත් කෙනෙකු බවට පත්වෙති. තවත් වරෙක ඒ පුද්ගලයා ම ශ්‍රද්ධාවෙන් යුත් ශාන්තුවරයෙකු උපාසකයෙකු මෙන් හැසිරෙයි. තවත් විටෙක පරිත්‍යාගශීලී නොමසුරු අයෙකු වන ඔහු කුරිරු අයෙකු මෙන්ද හැසිරෙයි. කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා ආදී උසස් ගුණධර්ම ද දරමින් කටයුතු කරන ඔහු හොඳ නරක දෙකින් ම මිශ්‍ර චරිතයක් බවට ද පත්වෙයි. මේ නිසා දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ මානසිකත්වයන් ඇති කෙනෙකු වශයෙන් කටයුතු කරන මිනිසාට මෙවන් වෙනස්කම් පැතිරවීමට ඉඩ සලසන්නේ සිතයි.
3. චිතං කම්ම කිලෙසෙහි
කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැගුණේ සිතයි.
කර්මය සහ කෙලෙසුන්ගේ බලපෑම මත කෙනෙකු තිරිසනෙකු, ප්‍රේතයෙකු, අසුරයෙකු බවට පත්වන්නේ ද සිත අනුවය. පාපකාරී අකුසල කර්මයන් සහ අකුසලකාරී සිතිවිලි පදනම් කොටගෙන දුක්ඛිත ආත්මභාව වෙත පුද්ගලයා මෙහෙයවන්නේ සිත නමැති බලවේගය විසිනි. යහපත් කුසල කර්ම පදනම් කොටගත් කුසල චෛතසික ධර්ම හේතුකොටගෙන කෙනෙකු උපාසකයෙකු සත් පුරුෂයෙකු බවට පත්වන අතර දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල සැපවත් ජීවිත වෙත ද අනතුරුව සෝවාන් ආදී මාර්ගඵල ලබා රහත් බවට පත්වීමට ද එය ඉවහල් වේ. මිනිසෙකුට ලැබිය හැකි උසස් ම පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට ද කෙනෙකුට ළඟා විය හැකි වන්නේ නිවැරැදි චින්තනයේ සහ ඒ හා බද්ධ වූ චර්යාවේ ප්‍රසන්න බව හේතුකොට ගෙනය. මේ නිසා කෙලෙස්වලින් යුතු සිතත් චර්යාවත් පුද්ගලයෙකු පහත් ආත්මභාව කරා යොමු කරවන අතර කෙලෙස්වලින් මිදුණු චර්යාව සැපවත් ආත්මභාව වෙතත් අනතුරුව නිවන වෙතත් මෙහෙයවයි. මෙය ද සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසින් සිදුවන්නකි.
4. චිතං තායති වා තථා
ආත්මය රකින්නේ සිතයි
සිත ජීවිතයේ ආරක්ෂකයාය. නඩත්තු කරන්නාය. ලබාගත් ආත්ම භාවය සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සිත විසින් ම සිතට අනුව සිදුවේ. හුස්ම ගැනීමේ ක්‍රියාවේ සිට ආහාර ගැනීම, නිදීම, ඇවිදීම, ගමන් යාම, අතපය නැවීම සිරුර නැහැවීම ආදී කුදු මහත් කටයුතු සියල්ලම සිතේ මෙහෙයවීමකින් තොරව සිදු නොවේ. මිනිස් ජීවිතයක් මෙන්ම කවර හෝ සත්ත්ව ජීවිතයක පැවැත්ම, සංරක්ෂණය සහ ලබාගත් ආත්මභාවය මියෙන තෙක් උපරිම අයුරින් පවත්වා ගැනීම සිත විසින් ක්‍රියාත්මක කරයි. මේ නිසා ලබාගත් ආත්මභාවය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ද සිතට චිත්ත යන ව්‍යවහාරය ලැබේ.
5. විනෝති අත්ත සථානං
ස්වකීය ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
සංසාරයේ කෙදිනක හෝ ලබාගත් මේ ජීවිතය භවයෙන් භවයට කර්ම රැස්කරමින් භවගාමී සසර දීර්ඝ ගමනකට අවශ්‍ය මාර්ගය සලසා ඇත්තේ සිතයි. සිතෙහි වයස සහ එම ආත්මභාව ගණන් කළ නොහැකි තරමින් ඉදිරියට පැමිණ ඇත්තේ ඒ චිත්ත පරම්පරාවේ බලවේගය හේතුවෙනි. එනිසා පස්පව් දස අකුසල් කරමින් අපායගාමී භාවයටත්, දස පුණ්‍යක්‍රියා, දස කුසල කර්මපථ, පාරමි පුරමින් මිනිස් ලොව, දෙව්ලොව බඹලොව ආදී ස්ථානවල රැඳෙමින් නිවන වෙත යොමු කරන්නේත් සිත නැමැති බලවේගයයි. ඇතැම් විට සසර වැරැදි පුරුදු සහ යහපත් පුරුදුතාවයන් භවයෙන් භවයට බලපාන්නේද මේ චිත්ත බලවේගය නිසාවෙනි. එනිසා ආත්මභාව පරම්පරාව රකින අදහසින් ද සිතට චිත්ත යයි කියනු ලැබේ.
6. විචිත්තාරම්මණන්ති චිත්තං -
විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
සත්වයෙකුගේ සියලුම ඉන්ද්‍රියයන් මනස නමැති ඉන්ද්‍රිය සමඟ බද්ධව පවතී. එනිසා ඇසින් දකින රූපයක් කනින් අසන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳත් ශරීරයට දැනෙන ස්පර්ශ සහ දිවට දැනෙන රසයන් පිළිබඳ සුඛ, දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අරමුණු ගන්නේ සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ සිතයි. මෙනිසා සිතට අරමුණ නොවන හෝ ග්‍රහණය කළ නොහැකි කිසිවක් විශ්වය තුළ නොමැති මේ අනුව සිත විසිතුරු අරමුණු ලබා ගනිමින් මුළු විශ්වය ම ග්‍රහණය කරගනී. සිතට ආවේණික ධර්මතාවය වනුයේ ද විචිත්‍ර වුත් විවිධ වූත් අරමුණ කරා සිත මෙහෙය වීමයි. එබැවින් සිත නමැති ආයතනය විශ්වයට විචිත්‍රත්වය සහ විවිධත්වය ප්‍රදානය කළ මූලායතනය වශයෙන් සැලකිය හැකි ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බියකරු සසර තවත් බියකරු කරවන ඇලීම සහ බැඳීම

දර්ශනපති 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

ගෞරවණීය ස්වාමින් වහන්ස, ගිහිගෙදර සිටින අප දැඩිලෙස ඇලීම් බැඳීම් වලට ලක්වෙලා. මෙයින් සිත මුදා ගන්නේ කෙසේද?
තථාගතයන් වහන්සේ වදාළා 
දීඝා ජාගරතෝ රත්ති 
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ 
සද්ධම්මං අවිජානතං

නිදිවරන පුද්ගලයාට රාත්‍රිය බොහෝම දිගයි. පයින් ගමන් කරන පුද්ගලයාට යොදුන දිගයි. මේ වගේ ධර්මය නොදන්න,ධර්මයෙන් බාල බවට පත් වූ පුද්ගලයාට බියකරු සසර තව තවත් බියකරු වෙලා සසර ගමන දිගුවෙන බව. ධර්මය සහ අධර්මය අතර වෙනස අහස පොළොව වගේ. ධර්මය අපව සුවපත් කරමින් නිවීම, ශාන්තිය ඇති කරනවා. අධර්මවාදීව ක්‍රියාකිරීමෙන් ධර්මයෙන් පිටනම් ආලෝකය නැති වී බියකරු ලොවකට යන බව බුදුරජාණන් වහන්සේ වදාළා.
උන්වහන්සේ අරියපර්යේෂණ සූත්‍රයේදී වදාළා මැරෙන මිනිසුන් මරණයම සොයනවා. දුකට පත්වෙන මිනිසුන් දුකම සොයනවා. දිරන මිනිසුන් දිරන දේම සොයනවා. ආලෝකය නැති තැන සාමාන්‍ය ප්‍රවාහයෙන් දුරස්ව අඳුරු මාර්ගයේ ගමන් කරනවා. මරණය ගැන නො දන්න පුද්ගලයා මරණය ගැන නැවත නැවත වටහා නොගත් නිසා මරණයම උරුම කර ගන්නවා.
මේ ධර්මය අවබෝධ වන්නේ කඳු මුදුන්වලට නොවේ. මංමාවත්වල හෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතුවල නොවේ. මේ ධර්මය හට ගන්නේ, දරන්නේ ධර්මය මෝදුවන්නේ චිත්ත සන්තානය තුළයි. වැරැදි අවබෝධයෙන් ඈත්වෙලා අඳුරෙන් අප මුදවන්නේ සිත දමනය කර ගැනීමෙනුයි. ධර්මය බලවත් කර ගැනීමෙනුයි. රාග, ද්වේෂ,මෝහ යනු සැඬ සුළං තුනක්. එයට සිත ගසාගෙන යනවා. අඳුරට, හෙළට අප තල්ලු කරනවා. එය ජීවිතවලට කුණාටුවක්. ඒ නිසා හික්මුණ සිතක් භාවිත සිතක් තුළනම් වැරැදි චින්තා ඉවත්විය යුතුය. ඒ වැරැදි චින්තා නිසා ප්‍රධාන ආර්ය මාර්ගය අපට ආවරණය වෙනවා. ආවරණය වන ඒ ආර්ය මාර්ගය නිරාවරණය කරගෙන මෙලොව පරලොව ජීවිතය සුවපත් කරගෙන නිවන් මඟ සොයාගත යුතු බව තථාගතයන් වහන්සේ වදාළා.

ඇලීමේ සහ බැඳීමේ ආදීනව මොනවාද?

බුදුරජාණන් වහන්සේ වදාළා මේ ධර්මය ශ්‍රවණය කරන්නේ නැති, ධර්මය සාකච්ඡා කරන්නේ නැති ධර්මයට සවනත යොමන්නේ නැති පුද්ගලයාගේ ප්‍රඥාව නො වැඩෙන බව. නුවණ වැඩෙන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරය යි වැඩෙන්නේ. ඔහු මසසින් වැඩුනත් මනසින් නොවැඩේ. එසේ වන්නේ ඔහු ධර්මයෙන් පිටත නිසායි. ධර්මය පිහිට නොමැති නිසා ගැටුම් ඇතිවෙනවා. ඇලීමේ විරුද්ධ පැත්ත ගැටීම යි. ගැටීමේ විරුද්ධ පැත්ත ඇලීමයි. එකම කාසියේ දෙපැත්ත වගේ. මේ ඇලීම ගැටීම නිසා සසර අඳුරු කරනවා. අප මංමුලා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුස්ස සන්තානයේ ඇතිවන විවිධ ආවේග ස්වරූප පාලනය කරන්න අපට සූත්‍ර ධර්මයක් වදාළා. ඒ විතක්ක සන්තාන සුත්‍රයයි. එහි සුන්දර කරුණු පහක් සඳහන්. අපේ සිත තුළ එන භයානක විතක්කයන්, සිතිවිලි, අදහස් වලින් සමාජයට හානිකර සමාජයේ විසිරී පැතිරි සිටින හැම කෙනෙකුටම හානිවන දේ එක් සිතක් තුළ පවතින්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ සිත විටෙක තුඹසකට උපමා කොට වදාළා. මේ තුඹසේ විසකුරු සර්පයන් සිටින්නට පුළුවන්. නමුත් තුඹස යම් දෙයකින් ආවරණය කර තිබේනම්, තුඹස පිළිබඳව සෝදිසියෙන් සිටිනවානම් ඒ විසකුරු සර්පයන්ගෙන් සමාජයට හානියක් නැහැ. අපේ සිත තුළත් විසකුරු සර්පයන් සිටිනවා. ඒ ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියයි. මේ විසකුරු සර්පයන් තමන්ටත් හානිකරයි. මෙලොවත් පරලොවත් අඳුරු කරනවා.
මේ නිසා අප සිතේ හරය, ගැඹුර දකින්න ඕන. මගේ සිත තුළ හට ගන්නේ භයානක සිතිවිලිද? මගේ සිතේ මෝදු වන්නේ විසකුරු සර්ප විසද? ඒ වගේ විසකින් බේරීමටයි මේ විතක්ක සන්තාන සූත්‍රය තුළින් අපට මඟ පෙන්වන්නේ. ඒ මඟ පෙන්වීම අප ක්‍රියාත්මක කරනවානම් අපේ ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට යනවා. හැම පියවරකදී ම මේ සිත බලවත් වෙනවා. ඒ කරුණු පහනම්,
1. අංඥා නිමිත්ත – අපේ සිතට වැරැදි අදහසක් ආවිට අප දකිනවානම් මේ සිතිවිල්ල මට හානිකරයි. භයානකයි කියා වහාම ඒ සිතුවිල්ල වෙනත් අරමුණකට යොමුකළ යුතු වෙනවා. එවිට වැරැදි දේ පෝෂණය වීම නවතිනවා. සිතේ නිමිත්ත වෙනස්කළ විට පුද්ගලයා සුවපත් වෙනවා.
2. ආදීනව නිමිත්ත – මෙහිදී වදාළා කෙනෙකුගේ සිත පාලනය කර ගන්න බැරි අවස්ථාවකදී කයින් ක්‍රියා කරනවා. එයට පෙර සිතේ නපුරු භයානක සිතිවිල්ලක් ආවිට එහි ආදීනව සිහිකළ යුතු වෙනවා. මේ සිතිවිල්ල ක්‍රියාත්මක වුණොත් මම සමාජයෙන් ගැරහුම් අවමන් ලබයි කියා සිහි කිරීමෙන් වරදින් මිදෙනවා.
3). අසතිඅමනුස්සති නිමිත්ත – සිහි කල්පනාව නැතිව වැඩ කිරීමේදී යෝනිසෝමනසිකාරය නැති අවස්ථාවේදී මේ වැරැදි විතර්කවලට හසුවෙන්න පුළුවන්.
4) විතක්කමූලභේද නිමිත්ත – යම් ගැටුමක දී ප්‍රශ්නයකදී සිත නැවත නැවත ඒ කරාම දුවන්නේ ඇයි කියා එහි මුල සොයා බැලිය යුතුයි. මේ මනුස්සයාට මම මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? කොහේද වැරදුනේ කියා එහි මුල සොයා බැලුවොත් වැරැදි සිතිවිල්ල ඉවත් කර ගත හැකිය. ඒ ආකාරයටත් මේ සිත මුදා ගන්න පුළුවන්.
5) අභිනික්ගාම – අකුසල සිත් එනවිට කුසල සිතක් නොමැතිනම් තමා කළ පින්කමක්, හෝ කරන්න යන පින්කමක් ගැන සිහිපත් කරන්න පුළුවන්. එවිට අකුසල විතර්කය කුසල විතර්කයෙන් යට කරනවා. මේ ආකාරයට තම සිත ජය ගෙන ජීවිතය ආලෝකමත් කර ගැනීමට අපූරුවට අපට මඟ කියා දෙනවා.

කෙනෙකු මියයාමෙන් පසු මිනිස් මවු කුසකත්, තව අයෙක් තිරිසන් මව් කුසකත්, අයෙක් යක්ෂ,පේ‍්‍රත,භූත ආත්මවලත්, තව අයෙක් ඕපපාතිකව දිව්‍ය ලෝකවල ඉපදෙනවා. මේ උප්පත්තිවලට ඇලීම බැඳීම බලපාන්නේ කෙසේද?

මනුස්ස ලෝකයේ ඉපදුන බොහෝ අය හිතන්නේ ඊළඟ ජීවිතයේදීත් මිනිස් භවයක්ම ලැබෙයි කියා. ගඟ ළඟට විශාල පිරිසක් ගියාට ගඟෙන් එතෙර වන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණයි. බොහෝ පිරිසක් ගඟේ ජලයට, රැල්ලට බියෙන් ආපසු හැරෙනවා. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලබාගත් අයගෙන් බොහෝම අල්ප දෙනෙක් පමණයි නැවත මනුස්ස ලෝකයට එන්නේ.
සමහර අය මිනිස් මව් කුසකට, දිව්‍ය ලෝකයට ඇදෙනවා. සමහර අය පහළට හෙළට වැටෙනවා. තවත් අල්ප දෙනෙක් මේ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්ති කරා ගමන් කරනවා. අපගේ ඇලීම බැඳීම කෙතරම් බලවත්ද කියනවානම් නිතරම උත්සාහ කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, පිනවන්නයි. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට වැටෙන තුරු පොරකමින් දඟලන්නේ ඇලීමටයි. බැඳීමටයි. මේ ඇලෙන නිසාමයි ගැටීම එන්නේ. ඇලීම, බැඳීම, ගැටීම හැම මොහොතකම අපේ සිත තුළ සැරිසරනවා. දවාලයේ අප ගත් අරමුණු සමඟ රාත්‍රියේදී අප ගැටෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත තුඹසක් වගේ කියා. දවාලට ගිනි ගන්නවා. දුම් දමන්නේ රාත්‍රියටයි. දුම් දමනවා කියන්නේ නින්දට ගිහිල්ලත් කල්පනා කරනවා අර පුද්ගලයා මට අවමන් කළා. මම නොකළ දේ කළා කිව්වා, මට බැන්නා, මගේ දේ පැහැර ගත්තා යැයි සිතනවා. ඒකයි රාත්‍රියට දුම් දැමීම. එලෙසම දුම් දැමු දේ ගිනි ගන්නවා කියන්නේ දවාලට එය ක්‍රියාත්මක කිරීමයි.
එනිසා ඇලීම් බැඳීම් වලින් නිදහස් වූ සුන්දර සිතක් ඇතිකරගෙන මේ ඝෝර වූ සසරින් එතෙර වීමට අපට ශක්තිය ධෛර්ය ලැබේවා.

වෙනස්‌ ලෙස ලොව දකින මොහොතක්‌ මොහොතක්‌ පාසා නීවරණ දුර්වල වේ...

පූජනීය මාන්කඩවල සුදස්සන හිමි
පින්වතුනි, වෙනදාට අපට යන්න දෙපැත්තක්‌ තිබුණේ නැහැ. ලෝකය ගැන විතරමයි හිතන්ඩ කල්පනා කළේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන් ගැනමයි දැක්‌කේ. ඕවා ගැනමයි කල්පනා කළේ. ඕවා ලැබීම ගැනමයි හිතුවේ. වෙන හිතන්න, කල්පනා කරන්න තැනක්‌, පැත්තක්‌ තිබුණේ නැහැ. දැන් අපට පොඩි වාසියක්‌ තියෙනවා ඉඳලා හිටලා හරි, වැරදිලා හරි, හිතන්න තව පැත්තකුත් තියනවා. දැන් අපි හැම වේලාවෙ ම උත්සහවත් වෙන්න වෙනවා.
හැම වේලාවෙ ම මේ ගෙවල් දොරවල්, දූදරුවන් මේවා ලැබීම සැපයි, නො ලැබීම දුකයි, කියන මට්‌ටමේ ඉන්න අපේ දැන් උත්සාහය මාරු වෙන්නයි. දූ දරුවන් ලැබීම දුකයි. මේවායින් මිදීම සැපයි, මේවායින් මිදීම දුකෙන් මිඳිමයි කියන තැනට මනස ගන්න උත්සාහ කරනවා. මෙතන ඉදන් එතෙරට පාරක්‌ දැන් හදන්නේ ඒ සඳහා තමයි, ඒ ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර පිණිස සම්මා දිට්‌ඨියට අනුව නුවණින් සිතිය යුතුයි. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ ද? දුක ඇති වීම, ඊට හේතුව, දුක නැති වීම, දුක නැති කරන මඟ කියන ඇත්ත. අපි ජීවත් වන ලෝකය හම්බවෙන කොට ඒ හම්බ වෙන දේ තුළ පවතින ඇත්ත නිතර ම සම්මා දිට්‌ඨියට අනුව හිතන්න ඕන. සම්මා දිට්‌ඨියට අනුව හිතීම තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් ම ප්‍රඥාවයි වැඩෙන්නේ.
අපි නිකමට කියමු. ගෙදර දොරේ දී වෙන දා වගේ කතා කරද්දී කටයුතු කරද්දී මේ "දරුවා" කියන තැන ද?, මේ රූපය දිරනවා නේ ද?, ලෙඩ වෙනවා නේ ද?, කියලා නිකමට හිතන්න.
වළඳක්‌ ගත්තා. අනේ මේකත් කවදා හරි කැඩෙනවා නේ ද? මේකත් ජරා ධර්මයක්‌ නේ ද? ව්‍යාධි ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?
වතුර කේතලයක්‌ ලිපේ තිබ්බත් එක පාරට ම පැහෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. ඒකටත් ක්‍රමානුකූල ව ගින්දර දමන්න ඕනෑ. එක පාරට ම නීවරණ ධර්ම දුරු වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ පැනලා යැමත් නො වෙයි. හැංගිලා ඉන්න එකත් නො වෙයි. එදිනෙදා ජීවත් වන ජීවිතය තුළින් මයි යථාර්ථය අල්ලා ගන්න තියන්නේ.
ඉතින් වෙන දා වගේ ගෙවල් දොරවල්, යාන වාහන කියලා දැකපු තැන ම, "අනේ ඉතින් මේ තියෙන්නේ ව්‍යාධි ධර්මයක්‌ නේ ද? ජරා ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?" කියලා බලන්න.
ඔබ දන්නව ද ඔය බලන වාරයක්‌ ගානේ ඔබ ගේ නීවරණ ධර්ම අඩු වෙනවා කියලා. ඔහොම හිතන මොහොතක්‌ ගානේ වෙන දා තිබිච්ච ආකල්ප සංකල්ප ගොඩඟැහිලා යන ගතිය ටික ටික අඩු වෙනවා, දන්නවා ද? ඒක මොහොතක්‌ ගානේ වෙනවා. මෙහෙම හිතන්න හිතන්න නීවර්ණ ධර්ම අඩු වෙනවා. එක තැනක ඉන්න කොට අපට සමථ කමටහනකිනුත් හිත එකතැන් කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු කරන්න පුළුවන්.
හිත හදාගැනීමට උපකාර පිණිස නිත්‍ය පංචශීලය, පෝය අට සීලය රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න යම් සමථ භාවනාවක්‌ කරන්න ඕන. කය, වචනය දෙක සංවර කරගන්න, හිත සංවර කරගන්න, උපකාර පිණිස සීලයක පිහිටුවනවා. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස හිත සංවර කර ගන්නවා. එක්‌තැන් කරගන්නවා. ඇත්ත ඇති හැටියේ දකින්න නීවරණ ධර්ම අඩු කරගන්නවා. මොකක්‌ ද ඇත්ත ඇති සැටියේ දකින්නේ? දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දකින්න පටන් ගන්නවා. නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිමත් වෙච්ච දවසට මේ ගෙවල් දොරවල් නො වෙයි, මේ දුක නේ ද කියන එක පෙනෙන්නේ ඉබේමයි. මේ දේවල ලැබීම දුකේ ලැබීමයි කියන එක පෙනෙනවා.
එදාට දුකේ කලකිරිලා නො ඇලිලා, මිදෙනවා. එදාටයි ඔබ දුකෙන් මිදුණේ. දුකෙන් මිදුණහම දුකෙන් මිදුණා කියන නුවණ එනවා. වෙන කළ යුත්තක්‌ නැහැ. යමක්‌ කළ යුතු නම් ඒ දේ කළා කියන ප්‍රත්‍යවේක්‌ෂා නුවණ ද එනවා. "සීල සමාධි, ප්‍රඥා, විමුක්‌ති, විමුක්‌ති ඥාන දර්ශන" කියලා තියෙනවා ධර්මතා පහක්‌. මෙන්න මේ පහ ඉලක්‌ක කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. දුකේ ඇලිලා, දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදෙන්නේ නැහැ. දුකේ කලකිරිලා නො ඇලිච්ච කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. ඉතිං දුකේ කලකිරිලා නො ඇලෙන්න නම්, දුක, දුක හැටියට දකින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න නම් දුක දකින විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න නම් සද්ධර්මය අහලා කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්‌ඨිය ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම ලබාගෙන තියන කෙනාට නීවරණ ධර්ම අඩු වුණොත්, අඩු කරගත්ත හැටියෙ මේ දර්ශනය පෙනෙනවා.
දැන් ඔන්න චතුරාර්ය සත්‍යයේ හතර ම මා දේශනා කළා. මාර්ග සත්‍යය විතරක්‌ වැඩිපුර දේශනා කළේ නැහැ.
ඉතා දීර්ඝ වශයෙන් නො වෙයි, කෙටියෙනුත් නො වෙයි, මම මාර්ගය ගැන ටිකක්‌ විස්‌තර කරන්නම්.
ඉස්‌සෙල්ලා අපි පොඩි උපමාවක්‌ කිව්වොත් එක්‌තරා මනුෂ්‍යයෙක්‌ ඉන්නවා. මේ මනුෂ්‍යයා අව්වේ ඇවිල්ලා ග්‍රීස්ම වේලාවේ ඉතා ම පිපාසිත තත්ත්වයට පත් වෙලා, දැන් මෙයාට ඕනේ මේ පිපාසිත බවෙන් මිදෙන්න වතුර ටිකක්‌ බොන්න. ඉතින් වතුර ටිකක්‌ හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා ළිඳක්‌. හැබැයි ඒ ළිඳේ කුණු රොඩු, මඩ, ජරාව එක්‌ක වැටිලා බොහොම පල් වෙච්චි, පල් වතුරක්‌ තියෙන්නේ. ඒ විතරක්‌ නෙමෙයි. මේ ළිඳට තවත් කුණු කාණු හයකින් ජල පාරවල් හයක්‌ ඇවිල්ලා, වැටෙනවා.
දැන් මෙයාට පිපාසය දුරු කරගන්න වතුර ටික බොන්න ඕන. දැන් මෙහෙම වතුර බොන්න බෑ නේ. වතුර බොන්නත් ඕන. පිපාසය සංසිඳෙන්නත් ඕන. ලෙඩ රෝග හැදෙන්නෙ නැති වෙන්න ඕන. එහෙම නම් දැන් මෙයාට වතුර ටිකක්‌ බොන්න නම් මේ ළිඳ පිරිසිදු කරන්න ඕන වෙනවා. දැන් ළිඳ පිරිසිදු කරන්න බැහැ. තියන වතුර රොඩුත් එක්‌ක ම අයින් කෙරුවත් පලක්‌ නැහැ. අර පිටින් කුණු කාණු හයකින් වතුර ඇවිල්ලා ළිඳට වටෙනවා නම්. දැන් වතුර බොන්න ඕන වුණාට, ඉස්‌සරවෙලා ම මෙයාට කරන්න වෙන්නේ උදැල්ලක්‌ පැසක්‌ අරගෙන ගිහිල්ලා ළිඳට කිසි ම සම්බන්ධයක්‌ වත් නැති අර පිටතින් ගලාගෙන එය කාණු හය වහන්න. ගලාගෙන එය කුණු මඩ සහිත ජරාව සහිත වතුර පාර වෙන පැත්තකට හරවලා දාන්න. ඒවා හරස්‌ කරලා බැමි දාන්න ඕන.
ඔන්න දැන් කාණු හයට බැමි දාලා අලුතෙන් මඩ ජරාව සහිත වතුර ළිඳට වැටෙන එක නැවැත්වුවා. නතර කළා කියලා කලින් ඇවිල්ලා මඩ සහිත ජරාව වැටුණු වතුර අස්‌ වුණේ හිඳුණේ නැහැ. ඒකට දැන් ළිඳ ඉහින්නයි තියන්නේ.
ළිඳේ තියෙන මඩ ජරාව සහිත වතුර ටික අයින් කරන්න ඕන. හැබැයි මෙතැන දී දැන් මඩ අදින භාජනයේ ප්‍රමාණය තීරණය කරන්නත් අවශ්‍යයි. ඉක්‌මනට මඩ ටික ඉවර වෙනවා ද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ හුණ්‌ඩුවක්‌ විතර චූටි භාජනයකින් ද, මහා ලොකු බාල්දියකින් ද අදින්නේ කියන කාරණාව මතයි. භාජනය සහ කාලය මතයි, කොච්චර වෙලාවක්‌ මේකට යොදනවා ද කියන එක මතයි.
ඉතින් මෙයා ලොකු භාජනයක්‌ අරගෙන වැඩි වේලාවක්‌ ළිඳ ඉහිනවා. ඉහිනකොට ඔන්න ළිඳේ තියෙන මඩ සහිත ජරාව සහිත ජලය අයින් කරනවා. අයින් කරන කොට ළිඳ ඇතුළෙ ම තියෙන මඩවලට වැහිලා හිර වෙලා තිබුණු උල්පත් පෑදිලා ළිඳ ඇතුළෙන් ම පිරිසිදු ජලය එනවා. ජලය පිරිසිදු වුණාට අපිරිසිදු මඩ තිබුණු ළිඳේ සියුම් මඩ සහ මඩ ගඳ තාම තියෙනවා. ළිඳෙන් ම උපන්න වතුර ටික අරගෙන ඒ ළිඳ ම හෝදනවා. හෝදලා ඒ වතුර ද ඉහිනවා. ඒ වතුර ඉස්‌සහම මඩ ගඳ ද නැති පිරිසිදු වතුර ටිකක්‌ හම්බ වෙනවා. දැන් ඔන්න ඒ වතුර ටික බිලා මුහුණ කට සෝදාගෙන ඇඟපතත් හෝදගෙන තමන් ගේ විඩාව සංසිඳවා ගන්නවා. පිපාසය සංසිදවා ගන්නවා.
ඒ උපමාවෙන් මා මතක්‌ කළේ, ඒ විඩාවට පත් වෙච්ච පුද්ගලයා වගේ තමයි මේ සසර ඇවිදින සත්ත්වයා දුකට පත් වෙලා, වෙහෙසට පත් වෙලා පීඩාවට පත් වෙලා අමෘතය නමැති මේ පානය, දුකේ නිරෝධය නිවන නමැති සිහිල් ජලය, පානය කරන අවශ්‍යතාවෙන් ඉන්නේ. ග්‍රීස්මේන් තැවුණු පිපාසිත පුද්ගලයෙක්‌ වගේ තමයි. එහෙම එනකොට එයාට හම්බ වෙනවා මඩ සහිත, ජරාව සහිත පිරුණු ළිඳක්‌ වගේ තමන් ගේ ම කිළිටි මනස. හැබැයි නිකං නො වෙයි. ඒකට කුණු කාණු හයකින් කුණු වතුර ගලාගෙන එනවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ම, රාග ද්වේශ, මෝහ සහගත මේ නොයෙක්‌ කෙළෙස්‌ අකුසල ධර්ම විතක්‌ක පහළ වෙනවා.
දැන් මුලින් ම ළිඳ ඉහින්න ඉස්‌සර වෙලා බැමි දාලා කාණු ටික වහන්න වෙනවා වගේ මෙන්න මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික හදාගන්න ඕන. සංවර කරගන්න ඕන. බැමි දාගන්න ඕන. රැකගන්න ඕන..   Ananya Kumarasinghe
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

යොනිසො මනසිකාර යනු කුමක්ද?

පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
රාජකීය පණ්ඩිත 
ශාස්ත්‍රපති 

අයගම සුසීල හිමි

බුදුන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ඥාන මාර්ගයකි. සිතීමෙන් හා විමසීමෙන් තොරව හුදු විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ යුතු ඉගැන්වීමක් නොවන බුද්ධ දේශනාව සියලු තැන සියල්ලන්ටම (විවෘතව) පවතින සර්වව්‍යාපී ඉගැන්වීමකි. මිනිස් මනසට මුල් තැන දෙමින් අන්ධ විශ්වාසයනට මං අහුරා ඇති තථාගත දේශනය ,ප්‍රඥාව හා වීය¸ය පදනම් කරගත් මනා සිහියෙන් අනුගමනය කළ යුතු ඍජු ජීවන මාර්ගයක් සහ විමුක්ති මාර්ගයක් වශයෙන්ද හඳුන්වා දිය හැකිය. “පඤ්ඤාවන්තස්සායං ධර්‍මමා නායං ධම්මා දුප්පඤ්ඤස්ස යන බුද්ධ වචනයට අනුව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම සිතීමේ හා විමසීමේ හැකියාවෙන් යුත් ඥානගවේෂී ප්‍රඥාවන්තයන්ටය.අන්ධ විශ්වාසයන් සහ දෘෂ්ටින් තුළ හිර වූ ආවෘත මනසක් ඇති අනුවණයන්ට එම ඉගැන්වීම විෂය නොවේ.
යොනිසො මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බුදු දහමේ එන උසස් සංකල්පයකි. පුද්ගලයෙකුගේ සන්තානයෙහි සැඟවී ඇති ආධ්‍යාත්ම බලය ඉස්මතු කරගැනීමෙහිලා උපනිශ්‍රය වන යොනිසො මනසිකාරය පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් බව අංගුත්තර නිකායේ එකක නිපාතයෙහි සඳහන් වේ. කාමච්ඡන්ද ,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච ,කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයෝ ප්‍රඥාලෝකය මුවහ කරන ධර්මයෝය. ඒ අතුරින් ප්‍රධාන සංයෝජනයක් වන විචිකිච්ඡාව දුරලීම පිණිස කටයුතු කිරීම සත්‍යාවබෝධය පිණිස අනිවාර්යය වූවකි.
පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.
වරක් බුදුරජාණන් වහන්සේ කේසපුත්ත කාලාමයන් හමු වූ අවස්ථාවේදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණ කාලාමයන් මුළාවන අයුරින් සහ ඔවුන්ගේ සැකය ඉස්මතු වන අයුරින් ඔවුන් නොවුන්ගේ දර්ශන ඉදිරිපත් කිරීම නිසා මහත් මානසික වියවුලට පත්ව සිටි කාලාමයන්ට පිළිගත හැකි ඥාන මාර්ගයක් දේශනා කළහ. ඒ අනුව යමක් පිළිගැනීමේදී ඒ සඳහා අනුගමනය කළයුතු විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දුන් බුදුන් වහන්සේ නුවණින් විමසා බලා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් යථාර්ථාවබෝධය පිණිස හේතු නොවන සම්ප්‍රදායිකව සමාජගතව තිබූ ක්‍රමවේද 10 ක් ප්‍රතික්ෂේප කළහ. එසේ ප්‍රතික්ෂේප කරන ලද දස විවිධ මාර්ගයන් කාලාම සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
1.යමක් වේද ග්‍රන්ථවල සඳහන්ව ඇති නිසා නොපිළිගන්න.
2.පරම්පරාවෙන් එන නිසා නොපිළිගන්න.
3. එසේ වන්නට ඇතැයි අනුමානයෙන් නොපිළිගන්න.
4.තමන්ගේ පිටකයනට හා සම්ප්‍රදායනට සමාන යැයි නොපිළිගන්න.
5.තර්කයට ගැලපේයැයි සිතා පිළිනොගන්න.
6. තමන් දන්නා න්‍යායන්ට ගැලපේ යැයි පිළිනොගන්න.
7. මතු පිටින් හොඳ යැයි පෙනුනත් පිළි නොගන්න.
8.තමන් බැසගත් දෘෂ්ඨීන්ට ගැළපේ යැයි පිළි නොගන්න.
9.පුද්ගල ගෞරවයෙන් පිළිනොගන්න.
10. මේ ශ්‍රමණයා (පූජකයා) අපගේ ගුරුවරයා යැයි පිළිනොගන්න.
මේ අනුව යමක් සාවද්‍ය හෝ නිරවද්‍යදැයි නිශ්චය කරගත යුත්තේ පදනම්වල හිරවීමෙන් තොරව නිදහස් මනසින් විමර්ශනය කිරීමෙන් බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ යමක් යහපත සමාධිය හා ශාන්තිය පිණිස පවතී නම් එසේම එය යහපත් යැයි තම නුවණින් වටහා ගත හැකිනම් එය අනුගමනය කළ යුතු බවත් එසේ යහපත, පිණිස හේතු නොවන දෙය ප්‍රතික්ෂේප කළ යුතු බවටත් ඔවුනට උපදෙස් දුන්හ. මෙබඳු විශිෂ්ඨ ඉගැන්වීමක් ලොව බිහි වූ කිසිදු ආගමික දර්ශනයක දැකගත නොහැකිය. බුදු දහමේ පදනම නිදහස් මනස පදනම කරගත් නිදහස් චින්තනයයි. එය යොනිසෝ මනසිකාරය තුළින්ම ඇති කරගත යුතු වූවකි.
අංගුත්තර නිකායයේ චතුක්ක නිපාතයේ මහාපදේස සූත්‍රයේදීද යමක් පිළිගැනීමට භාවිත කළ යුතු ක්‍රම 4 ක් පිළිබඳව උගන්වා ඇත. එම සතරාකාර මහාපදේස 4 මෙසේය.
1.යමක් තමා බුදුරදුන්ගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යම් ඉගැන්වීමක් ඉදිරිපත් කලත් (බුද්ධාපදේස)
2. යමෙකු අසවල් විහාරයේ සංඝයාගෙන් අසා පිළිගත් ධර්මයක් විනයක් යැයි යමක් ඉදිරිපත් කළත්. (සංඝාපදේස)
3.යමෙකු තමා අසවල් විහාරයේ බොහෝ භික්ෂූන්ගෙන්. අසා දැනගත් ධර්මයක් විනය කරුණක් යැයි යම්කාරණයක් ඉදිරිපත් කළත් (සම්බහුලා ථෙරාපදේස)
4.යමෙකු අසවල් විහාරයේ ධර්මධර විනයධර උගත් භික්ෂුවකගෙන් අසා දැන පිළිගත් දෙයක් ලෙස යම් ධර්ම විනය කාරණයක් ඉදිරිපත් කළත් (එකත්ථෙරාපදේස)
ඉහත දැක්වූ ක්‍රම හතරට අනුව යමක් එක්වරම පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර එය සූත්‍ර විනය දෙක හා සසඳා ගැළපේ නම් පමණක් පිළිගත යුතු බව දේශනා කළ බුදුන් වහන්සේ ධර්ම විනය සම්බන්ධයෙන් වුවද ඒකාන්ත නිගමනයට බැස ගත යුත්තේ සිහියෙන් සහ නුවණින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව අවධාරණය කළහ. මේ හා සමාන තවත් උපදේශ 04 ක් විශුද්ධි මාර්ගයේ දක්නට ලැබේ. එනම් සුත්ත, සුත්තානුලෝම,ආචරියවාද, අත්තනොමති යන සතරයි. යමෙකු යම් කරුණක් ඉදිරිපත් කළ විට එය සූත්‍රයක දක්නට ලැබේද? නො ලැබේද? සූත්‍රයන්ට අනුලෝම ද හෙවත් එකඟ ද නැද්ද ,ආචාර්ය වාදයනට ගුරු පරපුරේ අදහස්වලට එකඟ ද නැද්ද තමාගේ මතයට ගැළපේද නොගැළපේද යනුවෙන් විමසා බලා වරදක් නැති බව පෙනී ගියහොත් මතුවට විමතියක් ඇති නොවීමට හේතු වන්නේ යැයි ස්වයං තීරණයකට එළඹ පිළිගැනීම වරදක් නොවන බව බුදුන් වහන්සේගේ අවවාදයයි. මේ අනුව සත්‍ය ගවේෂණයෙහිලා කෙතරම් උසස් නිදහසක් බුදුසමය අනුගමනය කරන ශ්‍රාවකයනට ලබා දී ඇත්ද ? යන්න වටහා ගත හැකිය.
මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වීමංසක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ගැන පවා විමසා දැනගැනීමට අවකාශ ලබා දී ඇති බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හෝ තමන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව හෝ සැකයක් විමතියක් ඇති ඕනෑම අයෙකුට එම සැකය දුර කරගැනීම සඳහා ප්‍රශ්න කිරීමට හා විමසීමට තමන් වහන්සේ සහ තම ධර්මය විවෘත බව අවධාරණය කළහ. එනිසා බුදු දහෙමි සැඟවී ඇති අප්‍රකට කිසිවක් නොමැති බව විමංසක සූත්‍රය අනාවරණය කරයි.
මජ්ක්‍ධිම නිකායයෙහිම සඳහන් වන බ්‍රහ්මායු සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කිරීමේ අරමුණින් උත්තර නම් තරුණ බ්‍රාහ්මණයෙකු සත් මසක් බුදුන් වැඩි මග උන්වහන්සේ පසු පසින් ගමන් කළ බව සඳහන් වන පුවතින් බුදුරජාණන් වහන්සේගේ විවෘතභාවය සහ සත්‍යායගවේෂණය සඳහා ලබා දුන් ඉඩහසර කෙබඳු දැයි වටහා ගත හැකිය.
එනිසා ලෝකයේ යථාර්ථය දැකීමට විවෘත මනසක් ඇති කරගත යුතුමය. පටු සීමා මායිම් හා දෘෂ්ටීන්ට අනුගතව යමක යථා ස්වභාවය අවබෝධ කරගත නොහැකි බව තවදුරටත් බුදුසමය අවධාරණය කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පත්ත නික්කුජ්ජන කර්මය යනු

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවි පුත‍්‍රයාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
මහණෙනි, අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො පිවිසිට හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
6. බුදුන්ගේ අගුණ කියා ද,
7. ධර්මයේ අගුණ කියා ද,
8. සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත‍්‍රය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැුස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත‍්‍රය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන්පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටියහොත් නැවත සංඝයා රැුස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සව්පසය පිළිගැන්වීමට අනකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.
අවධානයට
අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පඤ්චසීල ප්‍රතිපදාව

කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

සීලය යනු හික්මීමයි. එනම් කය වචනයන්හි මනා වූ පාලනයයි. එය සාමාන්‍ය ජීවිතයේ දී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අරුත් ගැන්වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙනි. බෞද්ධ පඤ්චසීලය ගිහියාගේ නිත්‍ය ප්‍රතිපදාවයි. ඒ තුළ ජීව අජීව පරිසරයේ යහපැවැත්මට විශාල දායකත්වයක් සැපයේ. එනම් සමාජය යම් පාලනයකට නතු කිරීම තුළිනි. පාලනයකින් ශික්ෂණයකින් තොර යමක් හෝ යම් කණ්ඩායමක් ඇත්ද, එය විනාශයට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙයින් සීලය තුළින් සිදුකරනුයේ මිනිස් පාලනය තුළින් සමස්ත ජීව අජීව පරිසරය පාලනය කොට යම් ක්‍රමික රටාවකට හැඩගැස්වීමය.

ආධ්‍යාත්මික දියුණුව මෙන් ම බාහිර හෙවත් ලෞකික ජීවිතය වඩාත් අර්ථ සම්පන්නවීමට ශීලය අවශ්‍යය. සංයුත්ත නිකායේ ජටා සූත්‍රය තුළ “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ”...... ලෙස සීලයෙහි පිහිටා ප්‍රඥාව ළඟාකරගත යුතු බව දක්වන්නේ එහෙයිනි. ‘එසේම සීලගන්ධසමෝ ගන්ධෝ’ ලෙස දක්වන්නේ ද සීල සුවඳ අන් සියලු සුවඳ ඉක්මවා යන බවයි. සීලය පුද්ගලයෙකුට ආභරණයකි. මන්දයත්? ඔහු ඉන් බැබළීමට පත්වන බැවිනි. ආර්ය මාර්ගයේ පදනම වන්නේ ද සීලයයි. මේ සියල්ලෙන් ම ගම්‍ය වන කාරණය වන්නේ කායික වාචසික පාලනය දෙලොව දියුණුව ඇතිවීමට ඉවහල් වන බවයි. කායික වාචසික සංවරය හෙවත් පාලනය වැදගත් වනුයේ ආධ්‍යාත්මික දියුණුවට පමණක් නොවේ. භෞතික ජීවිතයට ද අවශ්‍යය. පාලනයකින් තොර ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් නොවේ. සාමාන්‍ය ජීවිත පඤ්චසීල ප්‍රතිපදාවෙන් යුක්ත විය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ නිවන් ලැබීමේ අර්ථයෙන් ම නොවේ. සමාජය සමතුලිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතය. අසමතුලිත බව වටිනාකම් නැතිවී සමස්තය අගාධයට පත්වීමට හේතුවේ.
සාමාන්‍ය ජීවිතයේදී සීලය සම්පූර්ණවීමට අවශ්‍ය කාරණා කිහිපයක් ඇත. එම අවශ්‍යතා ඉටුනොවන්නේ නම් ලෝකමානයට සිල්පද සමාදන් වූවාට එය වැදගත් නොවේ. කෙතෙක් සිල් සමාදන් වූව ද සීලයෙන් වන්නේ කරුණු දෙකකි. එනම්
1. කය සංවර වීම
2. වචනය සංවර වීම

ඉහත අවශ්‍යතා ඉටු නොවන්නේ නම් එතන සීලයක් නැත. සීලය ප්‍රඥාව සමඟ මිශ්‍රව පවතින්නකි. සීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන සීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. යනුවෙන් සෝණදණ්ඩ බමුණා ප්‍රකාශ කළේ ද එහෙයිනි. සීලය සම්පූර්ණවීමට අදාළ කරුණු මෙසේ පෙළගැස්විය හැකිය.
1. වතාවත් (කළයුතු දෑ එදිනෙදා කිරීම)
2. සිල් රැකීමේ අනුසස් දැකීම
3. සිල් බිඳගැනීමේ විපාක දැකීම, ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් සීලය යොදා නොගැනීම
4. කායික ක්‍රියා තමන්ටත් අනුන්ටත් හානි නොවීම
5. සමාදන්වූ සීලය අවංකව රැකීම

මෙහිදී සාමාන්‍ය ජීවිතයේ දී වත් සිදුකිරීම සීලය සම්පූර්ණවීමට හේතුවකි. "වත්" යනු කළ යුතු ක්‍රියාවන් වගකීම්ය. භික්ෂුවගේ වගකීම ගිහියාගේ වගකීම දෙමාපියන්, දරුවන්, ආයතන මට්ටමින් තම වගකීම මනාව ඉටුකිරීමයි. තම වගකීම යුතුකම ජාතියක් ලෙස රටක් ලෙස ඉටුනොකර අයිතිවාසිකම් පමණක් ඉල්ලීම යුතු නොවේ. තම ‘වත්’ නිසිලෙස ඉටුනොවන්නේ නම් එය ඍජුව, වක්‍රව තමන්ටත් රටටත් බලපෑම් ඇති කරයි. එදිනෙදා ජීවිතයේ දී මිනිසාට මෙන් ම සතා සිව්පාවට සේම ගහකොළට ද සංවේදී වෙමින් තමා විසින් කළ යුතු දෑ නිවැරදිව කළ යුතුය. එවිට සුළු සුළු පාපකර්මයන් ද පිරිසුදු බවට පත්වේ. බුදු දහම ‘වත්තං නපරිපූරෙන්ති න සීලං පරිපූරති’ ලෙස දක්වන්නේ ද එයයි. එනම් වත් නොපුරන්නාට සිල් නොපිරෙන බවයි.

තම පෞද්ගලික වාසි සලකමින් බොහෝ දෑ පරිහානියට හෙලීම සිල් නොවේ. එවැනි සීලය අර්ථවත් නොවේ. පොදු අරමුණු සාධනය කිරීමට යාමේ දී යම් යම් අලාභහානි පවා සිදුවිය හැක. ඇතැම්විට නිවැරදි කළ නොහැකි අලාභ මෙලොව වශයෙන් සිදුවිය හැකිය. නමුත් තමාට තමා පිළිබඳව ආඩම්බර විය හැකි සීල ප්‍රතිපදාව සහිත ජීවිතයක් ඇති කරගත හැකි නම් එය දෙලොව වාසනාවකි. තම දිවි දෙවැනි කොට සිල් රැකිය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ එහෙයිනි. බිත්තර රකින කිරලෙකු මෙන් ද වලිගය රකින සෙමර මුවකු මෙන් ද එකම පුතු රකින මවක මෙන් ද, එකම ඇස රකින පුද්ගලයෙකු මෙන් සිල් රැකිය යුතුය.
කය වචන දෙක සංවර වූ පුද්ගලයාගෙන් සමස්ත පරිසරයට ම ඇත්තේ ආශිර්වාදයකි. මේ ජීවිතයේදී සතුට, අල්පේච්ඡ බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව නැතිවන්නේ, කය, වචන දෙකෙහි අසංවර බවයි. සිල්වතාගෙන් මානවයාට පරිසරයට ස්වභාවදහමට, ස්වභාවික සම්පත්තීන්වලට කිසිදු හානියක් නැත. පඤ්චශීල ප්‍රතිපදාව අනුදැන වදාරන්නේ ද මෙම අරමුණ සාධනය කරගැනීමටය. මිනිසාගේ මූලික අයිතිවාසිකම වූ ජීවත්වීමේ සිට සියල්ල මෙම සීලයෙන් ආරක්ෂා වේ. ජීව අජීව පරිසරයට අහිතකර බලපෑම් බොහොමයක් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එය පාලනය වන්නේ නම් අයහපත පාලනය කරගත හැක. බොහෝ අණ පනත් පැනවීමේ අවශ්‍යතාවය පැනනගින්නේ ද කය වචන දෙකේ අසංවරයයි. මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය බොහෝ විට පැනනැගුණේ ‘පාණාතිපාතා’ ශික්ෂාපදය ආරක්ෂා නොකිරීම නිසාවෙනි. යමෙකු මෙම ශික්ෂාපදයෙන් යුක්ත වන්නේ නම් ඔහුගෙන් අනෙකාට පමණක් නොව, ගහකොළට පවා හානි නොපැමිණේ. මානවයා මානවයාට ගරු කරමින් මනසින් ලෝකය දකින්නේ මෙවන් පසුබිමකය. අනෙකාගේ ගෞරවය අභිමානය රැකීමට පුද්ගලයා පෙළඹෙන්නේ නම් පළමු ශික්ෂාපදය ආරක්ෂා වේ. අවිශ්වාසයෙන් තරහෙන් වෛරයෙන් සිටිය යුතු නොවේ. කෙසේ හෝ කොහොම හෝ පවතිනවා යනුවෙන් මිනිස් සිත සැකසෙන්නේ පුද්ගල හෝ සම්පත් වටිනාකම් හඳුනානොගැනීම තුළය. පළමු ශික්ෂාව නිසිලෙස රැකෙන්නේ නම් එවන් පරිසරයක් නිර්මාණය නොවේ. තමාට ජීවත්වීමට අයිතියක් නිදහසක් ඇතිවාක් මෙන් ම සමස්ත පරිසරයට ම එසේ පැවතීමට ඉඩහසර සකසාදිය යුතුය. අවු. 60/70 ක ජීවිතයක් නිසා සියගණන් මිනිස් ජීවිත විනාශකිරීම සම්පත් නාස්ති කිරීම අපාගතවන පාපයකි. ගහක අත්තක් හෝ නොකැපිය යුතුය ලෙස උපසම්පදා භික්ෂූන්ට උපදෙස් දෙනුයේ එහෙයිනි.
අන්‍යයන් සතු දේ පැහැර ගැනීම, ඒ සඳහා අලාභ ඇති කිරීම දෙවන ශික්ෂාපදය උල්ලංඝනය කිරීමකි. මිනිසුන් සතු දේ මෙන් ම ස්වභාවදහම සතු දෑ අනවශ්‍ය ලෙස ගැනීම මේ යටතට ගැනේ. පාරාජිකා පාලියෙහි භික්ෂුවක් කුරුල්ලන්ගෙන් පිහාටු ඉල්ලීම පවා පවක් ලෙස බුදුරදුන් දේශනා කරන්නේ එහෙයිනි. ජීවත්වීම සඳහා විවිධ අවශ්‍යතා ඇතිමුත් තවත් පාර්ශවයක් පෙළා එය අත්පත් කරගැනීම උචිත නොවේ. දායක පිරිසට පවා බරක් නොවෙන ලෙස භික්ෂු ඇවතුම් පැවතුම් සකසාගත යුතු බව අවධාරණය කරයි.
මල නොතලා රොන් ගන්නාසේ භික්ෂුව සිව්පස ලබාගත යුතුය. දැඩි තෘෂ්ණාව පදනම් කරගනිමින් යහමින් තිබූ පමණින් සම්පත් නාස්ති කිරීම නොවැදගත්ය. සියල්ලෝම පරිභෝජනයේ සීමාවන් හඳුනාගන්නේ නම් අන්‍ය වස්තුවට ආශාවක් ඇතිකර නොගනී. ධනය හෝ සම්පත් නිර්මාණය වන්නේ ආත්මාර්ථකාමීව තමා සතු කරගැනීමට නොවේ. අද උපන් පරපුරට මෙන්ම මතු උපදින පරපුර සඳහාය. ඒ බව අවබෝධ කර ගනිමින් අන් සතු දේ පැහැර ගැනීමෙන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය.
සදාචාර සීමාවන් උල්ලංඝනය නොකරමින් පඤ්චකාම සම්පත් විඳීම ගිහියාට වරදක් නොවේ. එහෙත් කාම ගින්න පදනම් කර ගනිමින් සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම යහපත් නොවේ. තාවකාලික තෘප්තියක් මත දීර්ඝ කාලීන අවාසි අලාභ ඇතිවීම අනුමත කළ නොහැකිය. ගින්නට හොඳ සහ නරක මෙන් ම වැදගත් අවැදගත් සියල්ල විනාශ කළ හැකිය. ශාරීරික එක් ඉන්ද්‍රියක් නිසා සමස්තය හානියට පත්වීම නුසුදුසුය. වැරදි ලෙස ඇස කන නාසය දිව ශරීරය පිනවීම නිසා පරිහානිය ඇතිවේ. ඉන් අත්මිදීමට මනස මෙහෙය විය යුතුය. ඇත්ත ඇති සැටියෙන් හඳුනාගත යුතුය.
සමාජය දූෂණය වීම හා හොඳ හිත පළුදුවන ක්‍රියාකරකම් සමූහයක් ඇත. මුසාවාදා ශික්ෂාවෙන් එය පාලනය වේ. වැරදි සංකල්ප අදහස් සමාජගත කිරීම ගැරහිය යුතුය. දෙලොව වැඩදායී ආකල්ප ඇති කළ යුතුය. වචනය අයහපත් ලෙස යෙදවීම නිසා ඇතිවන්නේ මහා විපතකි. එය අසත්පුරුෂයන්ගේ ලක්ෂණයක් බැවින් ඒ සඳහා වටිනාකම් ලබාදිය යුතු නැත. බුදුරදුන් පවා සසර නොකළ වරදක් වූයේ ද බොරුකීමයි. ආර්ථික වාසි හෝ වෙනයම් ලාභයක් මත අසත්‍යය, බොරුව, පාවිච්චි නොකළ යුතුය. ආත්මාර්ථය සඳහා වචන භාවිතයෙන් ඉවත්වීම මුසාවාද ශික්ෂාවෙන් යුක්ත වීමයි.
මත්වීම ප්‍රමාදයට පත්වීම නිසා යහපත අයහපත හඳුනාගැනීමට නොහැකිවේ. එසේ සිදුවීම පුද්ගලයෙක් ලෙසත් රටක් ලෙසත් සමස්ත ක්‍රියාවලියට ම බාධාවකි. එසේ නොවී පියවි සිහියෙන් ලෝකය දැකීමට නම් මත්ද්‍රව්‍යයන්ගෙන් ඉවත්විය යුතුය. එය පස්වන ශික්ෂාවයි. මත්වීම නිසා ඕනෑම දෙයක වටිනාකම හඳුනාගැනීමට නොහැකිවේ. එය අවාසනාවන්ත තත්ත්වයකි. තමා තුළ ඇති ශක්තිය හීන වනවා පමණක් නොව ඔහුගෙන් රටට ඇවැසි ශක්තිය දැනුම ලබාගැනීමට නොහැකිවේ. එය පැසසිය යුත්තක් නොවේ.
සීලය සමස්ත පරිසරයම පාලනය කරනවා පමණක් නොව එය ධනයකි. ‘ශීලධනං’ ලෙස පංචධන සූත්‍රයේ දී දක්වන්නේ එහෙයිනි. සාමාන්‍ය මිල මුදල්වලට එහා ගිය වටිනාකමක් ශීලය තුළ ඇත. සීලයට ඇත්තේ වටිනාකමකි. එය අමිලය. සිල්වත් සමාජයක් නිර්මාණය වීම තුළ ජීව අජීව සියලු සම්පත් ආරක්ෂා වී සෙතක් ශාන්තියක් යහපතක් ඇතිවේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පස්‌වග භික්‌ෂුහු රහත්භාවයට පත් කළ අනත්ත ලක්‌ඛණ සූත්‍රය


භාවය

1) මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ''මහණෙනි'' කියා පස්‌වග භික්‌ෂූන්ට කථා කළ සේක. ඒ භික්‌ෂුහූ ''ස්‌වාමිනි''යි භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2) මහණෙනි, රූපය ආත්මය නොවේ. අනාත්මය, මහණෙනි, ඉදින් මේ රූපය ආත්මය වූයේ නම් මේ රූපය ආබාද පිණිස නොපවත්නේය. මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා''යි කියා තමා කැමති ආකාරයක්‌ ලැබෙන්නේය. එහෙත් මහණෙනි රූපය ආත්මය නොවන හෙයින් ආත්මය ආබාද පිණිස පවතී. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා යි කියා තමා කැමති ආකාරයක්‌ නොලැබෙන්නේය.

3) මහණෙනි, වේදනාව ආත්මය නොවේ..........

මහණෙනි, සංඥාව ආත්මය නොවේ.

මහණෙනි, සංස්‌කාර ආත්මය නොවේ.

මහණෙනි, විඥානය ආත්මය නොවේ. 

මගේ විඥානය මෙසේ වේවා, මගේ විඥානය මෙසේ නොවේවායි කියා තමා කැමති ආකාරයක්‌ නොලබන්නේය.

4) බුදුහූ - මහණෙනි, රූපය නිත්‍ය වෙයිද? නැතහොත් අනිත්‍ය වෙයිද? ඒ ගැන යුෂ්මතුන් කුමක්‌ සිතන්නාහුද? 

භික්‌ෂූහූ - ස්‌වාමිනි අනිත්‍යයි.

බුදුහූ - මහණෙනි යමක්‌ වනාහී අනිත්‍යද? එය දුක්‌ හෝ සැප හෝ වෙයිද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි, දුකය.

බුදුහූ- යමක්‌ අනිත්‍යය ද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි,එය මාගේ ආත්මයයි කීමට සුදුසු ද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

බුදුහූ - යමක්‌ අනිතයද දුක්‌ සහිත ද පෙරළෙන සුලු ද එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි කීමට සුදුසුද?

භික්‌ෂූහූ - ස්‌වාමිනි එසේ කීමට නුසුදුසු ය.

මහණෙනි, වේදනාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංඥාව නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? - පෙ -

මහණෙනි, සංස්‌කාර නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

මහණෙනි, විඥානය නියත වෙයිද නැතහොත් අනියත වෙයිද? -පෙ-

5) මහණෙනි, එසේ හෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ දුර වූ හෝ සමීප වූ හෝ අතීත වූ ද, අනාගත චූද වර්තමාන වූද, යම්කිසි රූපයක්‌ වේද ඒ සියලු රූපය ''එය මාගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි'' කියා තත්ත්වූ පරිදි මනාවූ ප්‍රඥාවෙන් දත යුතුයි.

6) දීමහණෙනි, මෙසේ දක්‌නාවූ බුද්ධිමත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය කෙරෙහිද කලකිරෙයි. වේදනාව - සංඥාව - සංස්‌කාර - විඥාන කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි, නොඇලීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, මිදුනු කල්හී මිදුනේය යන නුවණ පහළ වෙයි. ඔහුගේ ජාතිය ක්‌ෂය වෙයි. එකල්හී බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකුත් නැත්තේ යයි දනියි.

7) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති පස්‌වග භික්‌ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ. මේ ධර්මය දේශනා කළ කල්හී පස්‌වග භික්‌ෂූන්ගේ සිත් කෙලෙස්‌වලින් මිදුනාහ. (රහත් ඵලයට පැමිණියහ)

භාවාර්තය

උප සරනාමර ලෝකස්‌වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ දස පාරමී ධර්මයන් සම්පූර්ණ කොට අනතුරුව වෙසක්‌ මස පුර පසළොස්‌වක දිනයක බුද්ධගයාවෙහි ජයශ්‍රීබෝධිරාජයාණන් වහන්සේගේ සෙවන යට වැඩ හිඳිමින් සකල ක්‌ලේශ මාර රාජය කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණ සත්සති ගෙවා බරණැස ඉසිපතනාරාමයේදී පස්‌වග මහණුන් ප්‍රධාන බොහෝ දෙවි බඹුන්ට දම්සක්‌ පැවතුම් සූත්‍රය වදාළ සේක. ඒ ධර්මය ඇසූ පස්‌වග තවුසන්ගේ ප්‍රධාන අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්ව පසුව එහි භික්‌ෂූ භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීය ඊට පසු දින වප්ප තවුසා ද ඊළ`ග දින භද්දිය තවුසාද, පිළිවෙලින් දිනයන්හී මහනාම, අස්‌සථියන තවුසෝද සෝවාන්ව ඒහි භික්‌ෂූභවයෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. පස්‌වන දින බුදුරජාණන් වහන්සේ පස්‌වග බමුණන් අමතා මෙම අනන්ත ලක්‌ඛණ සූත්‍රය වදාරා සියලු දෙනාම රහත්භාවයට පත්කළ සේක.

ලෝකයේ එතෙක්‌ පැවති සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආත්මවාදී ආගම් වශයෙන්ද ආත්මයක්‌ නැතැයි පිළිගන්නා අනාත්මවාදී ආගම් වශයෙන්දැයි කොටස්‌ දෙකකට බෙදී ඇත. 

දඹදිව එකළ පැවති දෙසැට මිථ්‍යා දෘෂ්ඨිවලට අයත් ආගම් ඇතුලු සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි පිළිගන්නා ආගම් වෙයි. මරණින් පසු අනිත් භවයක්‌ කරා ගමන් ගන්නා ආත්මය නමින් හඳුන්වන බලයක්‌ ශක්‌ති විශේෂයක්‌ ඇතැයිද මිනිසා සත්වයා මවන නිර්මාණය කරන ඔවුන්ගේ දෛවය හැඩගන්වන දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ හෝ වෙනත් එබඳු අදෘෂ්‍යමාන බලවේගයක්‌ ඇතැයිද ආත්මවාදීහූ විශ්වාස කෙරෙති. ඔවුහූ පුද්ගලයා මරණින් පසු ඔහුගේ ශරීරය විනාශවී යන අතර ආත්මය කෙළවර පරමාත්මන් තත්ත්වයට පැමිණෙතැයි විශ්වාස කරති. ඇතෙමෙක්‌ දෙවියන් වහන්සේගේ ආත්මයට එක්‌වන බව පිළිගනිති. බුද්ධාගම හැර අනිත් සියලුම ආගම් මේ ආත්මවාදී ආගම් ගණයට වැටෙයි.

බුදුදහම වූ කලී එබඳු ලෝකය මවන මොනම බලවේගයක්‌ ගැන විශ්වාස නොකරන අතර නිත්‍ය වූ, ධ්‍රැව වූ සදාකාලික වූ කිසිවක්‌ ඇතැයි නොපිළිගනියි. බුදු සමයෙහි අනිත්‍ය සංකල්පය හා අනාත්ම සංකල්පය ගොඩනැඟී ඇත්තේ එකී මූලික පදනම මතය. අනිත්‍ය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ ලෝකයේ පවත්නා සියලුම සජීව අජීව යන සියලු වස්‌තු කිසිවක්‌ සදාකාලික පැවැත්මක්‌ නැති නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් වෙනස්‌වන ස්‌වභාවයටය. සියලු ධර්මයන් සංඛත අසංඛත වශයෙන් දෙකොටසකට බෙදේ. කිසියම් හේතු ප්‍රත්‍යයකින් හටගන්නා සියල්ල සංඛතය. එසේ නොවන එකම දෙය එනම් නිවණ අසංඛතය. සංඛත වූ සියල්ල වෙනස්‌වන ස්‌වභාව ඇත්තේය.

''අනිච්චා වත සංඛාරා 

අප්පාදවය ධම්මිනෝ

අප්පඡ්ජිත්වා 

නිරුඡ්ජන්ති තෙසංවපසමො සුඛො''

යන ගාථා දේශනාවෙහි අනිත්‍ය ස්‌වාභාවය මැනවින් විස්‌තර වෙයි සංඛාර නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සජීවී අජීවී සියලු වස්‌තු සමූහයයි. මෙම සංඛාර ශබ්දයට හසුනොවන කිසිවක්‌ ලෝකයෙහි නැත්තේය. මක්‌ නිසාදත් ඒ සියල්ල ඇති වීමය විනාශයය යන නියමයන්ට යටත් හෙයිනි.

''යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං'' යනුවෙන් දම්සක්‌ පැවතුම් සූත්‍රයෙහි ප්‍රකාශ කොට ඇත්තේ එකී නියාම ධර්මයයි ඇතිවන සියල්ල නැතිවන ස්‌වභාව කොට ඇති බව එයින් කියවෙයි. ඒ නියමයට අයත් නැති එකම ස්‌වභාවය නිවනයි මන්දයත් නිවණ අසංඛත ධර්මයට අයත්වූවකි.

බුදු සමය අනාත්මවාදී. ධර්මයකි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ගැඹුරුම දර්ශනය මේ අනාත්ම දර්ශනයයි. එතෙක්‌ ආත්මවාදයෙන් මුලා කොට අවිදු ගණ අඳුරෙහි ගිලී සිටි ශාස්‌තෘ ප්‍රතිරූපකයෝ බුදුරජාණන් වහන්සේගේ මේ නව දර්ශනය බලවත් සේ කිපියාහුය බුදුරජාණන් වහන්සේගේ නව අනාත්ම දර්ශනය සුන් බුන් කර දමනු පිණිස තර්ක විතර්ක නැමැති අවි අමෝරා ගෙන සටනට ආ මිථ්‍යාදෘෂ්ටික ශාස්‌ත්‍රවරු බුද්ධාගම විනාශ කර දැමීමට හැම උත්සහයක්‌ම ගෙන ක්‍රියා කළහුය. ඒ කිසි ආකාරයකින් නොසෙල්වී ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් තම අනාත්ම දර්ශනයෙහි ස්‌ථිරව පිහිටා සිටි උන්වහන්සේ ලෝකයාට යථාවබෝධය ලබා දෙනු පිණිස නියම දහම් මග දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් අමතා පංචස්‌කන්ධයම අනාත්ම වන කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අයුරු මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන පංචස්‌කන්ධ වෙන් වෙන්ව ගෙන ඒ පසම තමාගේ වස`ගයෙහි නොපිහිටන, තමාගේ යටතෙහි නොපවතින, තමන් කැමත් පරිදි නොහැසිරෙන හෙයින් ඒවා තමාගේ නොවන - තමන්ට අයත් නැති වස්‌තූන් බව තීරණය කොට ඇත. තමාට අයිති දෙය තමා කැමති ආකාරයට පැවතිය යුතුය රූප - වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන ස්‌කන්ධ පස එය අයිති පුද්ගලයාගේ කැමැත්තට අනුව ක්‍රියා නොකරයි රූපය තමා සතුනම් තමා ප්‍රාර්ථනා කරණ ආකාරයට ලෙඩ නොව ආබාධවලට භාජනය නොවී, ගිලන් බවට පත් නොවී සියලු කල්හීම මනා පැවැත්මකින් යුතුව පැවතිය යුතුය. එහෙත් රූපය එසේ නොවෙයි එය ක්‍රමයෙන් දිරාපත් වෙයි. ආබාධවලට භාජනය වීමෙන් විකෘති බවට පත්වෙයි. ඒ අනුව බලන කල්හී රූපය තමාට අයිති දෙයක්‌ ලෙස ගණන් ගත නොහැකිය. අනිකුත් ස්‌කන්ධ සියල්ලෝමද එසේමය. මේ අනුව රූපාදි ස්‌කන්ධ පසම අනාත්ම බව පස්‌වග භික්‌ෂූහූ පිළිගත්හ.

ඊළ`ගට බුදුරජාණන් වහන්සේ පස්‌වග භික්‌ෂූන්ගෙන් රූපය නිත්‍යය දැයි අනිත්‍ය දැයි විමසූහ රූපය නිත්‍යය නොවේ. අනිත්‍යයයි ඔවුහු පැවසූහ වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ ඇතුලු පංචස්‌කන්ධය අනිත්‍ය බව පිළිගත් පසු අනිත්‍යය වූ දෙය දුක්‌ බවත් පිළිගත්හ. මේ වනාහී ආත්මයක්‌ ඇතැයි දැඩිව අල්වා ගෙන සිටින මන්ද බුද්ධිකයන්ට එය එසේ නොවන බව හා එය සේ නොවන්නේ කුමක්‌ නිසා දැයි අවබෝධ කරවනු පිණිස වදාළ දේශනා ක්‍රමයයි. එසේ අවබෝධ කර ගැනීම ඕලාරික බුද්ධියකින් කළ හැකි තත්ත්වයක්‌ නොවේ. ඒ ස`දහා සම්‍යක්‌ ප්‍රඥාවක්‌ තිබිය යුතුය.

මෙහි සම්‍යක්‌ ප්‍රඥාව නම් විපස්‌සනා සම්මා දිට්‌ඨියයි. විපස්‌සනා සම්මා දිට්‌ඨිය යනු පංචස්‌කන්දය ඇතුලු ත්‍රෛයි භූමික සියලු ධර්මයන් අනිත්‍ය- දුක්‌ඛ-අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමේදී පහළවන නිවැරදි දැනීමයි.

අනිත්‍යය 

නිත්‍යය යන්නෙහි අර්ථය නිත්‍යය නොවන, වහා වෙනස්‌වන, පෙරළෙනසුලු ස්‌වභාවය යනුයි. මේ අනිත්‍ය ස්‌වභාවය සමස්‌ත ලෝකයෙහි පවත්න සජීව අජීව සියලු වස්‌තූන්ට පොදු සාධාරණ ධර්මයකි මව් කුස පිළිසි`ද ගන්නා මුල්ම කලලයේ ශෛයෝ ක්‌ෂණයකින් විනාශ භාවයට යති. ඒ වෙනුවට අලුතෙන් ශෛල හටගනියි. මේ ක්‍රියාදාමය මව්කුස තුළ වැඩෙන මුළුකාළය තුළදීත් අනතුරුව මවු කුසින් බිහිවී දරුවකු, තරුණයකු, වැඩිහිටියෙකු මහල්ලෙකු දක්‌වා අඛණ්‌ඩව සිදුවෙමින් මරණාසන්න මොහොත දක්‌වා ඇතිව නැති වීමේ ක්‍රියාවලිය අනවරතයෙන් සිදුවෙයි. මේ හැර සත්වයාගේ විඥානය අසුරුසනක්‌ ගසන කාලයටත් අඩු කාලයකදී ඇතිව නැතිව යයි. මේ නාම රූප දෙක්‌හී වෙනස්‌ වීමේ වේගය මැන බැලීමට උපමාවක්‌ පවා දැක්‌විය නොහැකි බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ සේක. ''මම'' යන අකුරු දෙක ප්‍රකාශ කිරීමේදී මුල් 'ම' යන්න කියන පුද්ගලයා එක්‌ කෙනෙකි. දෙවන 'ම' යන්න කියන පුද්ගලයා වෙනත් අයෙකි. මුල් 'ම' යන්න කියූ පුද්ගලයාගේ නාම රූප දෙකම අභාවයට ගොස්‌ සෑහෙන කාලයකට පසු කලින් සිටි පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙක්‌ දෙවන 'ම' යන්න කියයි. මෙහි දැක්‌වූයේ අනිත්‍ය ස්‌වභාවය වෙනස්‌වන ස්‌වභාවය හ`දුනා ගැනීමට ධමර්ධරයන් විසින් දක්‌වන ලද සරල උපමාවකි.

දුක්‌ඛය

යමක්‌ අනිත්‍ය නම් එය දුක්‌ සහිත වෙයි. ඇස අනිත්‍යනම්, වෙස්‌වන සුළු නම්, පෙරළෙන සුළු නමි කිසිවිටෙක එය තමන් කැමති ආකාරයකින් නො පවතිනු ඇත. ඇස ආබාධවලට ගොදුරු වෙයි නම්, ඇසේ පෙනීම දුර්වල වෙයි නම්, ඇස නොපෙනී යයි නම් එයින් ඇතිවන දුක බරපතලය ඇස අන්ධ වී ගිය කල්හී ඔහුට ඊට වඩා දුකක්‌ වේදනාවක්‌ අපහසුවක්‌ තවත් නැත. අනිත් හැම සැප සම්පතක්‌ම හිමිව ඇස අහිමිව ගිය කල්හී තමා ලැබූ කිසිම සම්පතකින් ඔහුට වැඩක්‌ නැත. වේදනා - සංඥ්ඥා - සංඛාර - විඤ්ඤාණ යන හැම පංචස්‌කන්ධයක්‌ම එපරිදි දුකට හේතු වෙයි. සියලු සත්වයෝම සැපට කැමති වෙති එහෙත් අනිත්‍ය වූ පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධයකින් යුක්‌ත පුද්ගලයාට කවර නම් සැපක්‌ද? කවර සැපතක්‌ හො ප්‍රාර්ථනා කොට පංචස්‌කන්ධය දැඩිව අල්ල ගන්නා පුද්ගලයා ඒ ම`ගින් දුකක්‌ මිස කිසි විටෙක සැපතක්‌ නම් නොලබයි. පුද්ගලයා සතු ඔහුගේ ලෝකය පංචස්‌කන්ධයයි. පංචස්‌කන්ධයම දුක්‌ ගොඩක්‌ වූ කල්හී ජීවිතයෙහි කවර නම් සැපක්‌ ද ''දුකෙඛ ලොකො පතිට්‌ඨිතො'' ලෝකය දුක මතුපිට පිහිටා ඇතැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ එහෙයිනි.

අනාත්මය

න ආත්ම යන්නෙන් අනාත්ම යන්න සිදුවෙයි. 'ආත්මයක්‌ නැත' යන්න එහි අර්ථයයි. ආත්ම (පාළි - අත්ත) ශබ්දය ප්‍රධාන අර්ථ දෙකක යෙදෙයි. එයින් එක්‌ අර්ථයක්‌ නම් 'තමා' යන්නය ''අත්ත ශබ්දයෙන් තමා යෑයි කියයි'' යනුවෙන් කියවෙන්නේ මේ තමා යන අර්ථයයි. අනික්‌ අර්ථය නම් මරණයෙන් පසු ඉතිරිවන, වෙනත් භවයකට ගමන් කරන, නිත්‍ය වූ, දුවවූ, නො නසින, සදාකාලික එක්‌තරා ධමර්තාවයකට කියන ආත්ම ශබ්දයයි. මේ අර්ථ දෙකටම පාළියෙන් 'අත්ත' වශයෙන්ද සිටියි. බුදුසමයෙහි තමා යන අර්ථයෙහි අත්ත ශබ්දය පිළිගනියි. ''අත්තාහි අත්තනො නාථො'', ''අත්තාන මෙව පඨමං'' ආදී තැන්වල එය තමා යන අර්ථයෙහි වැටෙයි. එහෙත් සදාකාලික, මරණයෙන් පසු ඉතිරිවන ආත්මයක්‌ ගැන බුදුසමය විශ්වාස නොකරයි. බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලද්දේ මේ කියන ආත්ම සංකල්පයයි. මේ අර්ත දෙක එක්‌ සලකන ඇතැම් නවීන බුද්ධිමත් හූ බුදුසමය ආත්මවාදී ආගමක්‌ සේ දකිsති. එය බුදුරජාණන් වහන්සේගේ ශේ්‍රෂ්ඨ ඉගැන්වීම්වලට කරන නිග්‍රහයකි. බුදුරජාණන් වහන්සේ මෙම අනත්ත ලක්‌ඛණ සූත්‍රයෙන් පැහැදිලි ලෙස විග්‍රහ කොට දක්‌වන්නේ ධූව වූ, නිත්‍ය වූ, විනාශ නොවන ආත්මයක්‌ ඒකාන්තයෙන්ම නැති බවය. 

මේ සම්‍යක්‌ ප්‍රඥාවෙන් යුක්‌ත වූ පුද්ගලයා ඊළගට රූපය, වේදනාව, සංඥ්ඥාව,සංස්‌කාරය, විඥානය යන පංචස්‌කන්ධයෙහි කලකිරීමට පත් වෙයි. සියල්ල අනිත්‍ය වූ කල්හී, දුක්‌වූ කල්හී, අනාත්ම වූ කල්හී පුද්ගලයා ඒ වස්‌තූන් කෙරෙහි මහත් කලකිරීමක්‌ ඇති කොට ගනියි. එසේ කලකිරුණු හෙතෙම ඒවා පිළිබ`ද ආශාව ඇල්ම දුරුකරයි. ඇල්ම ආශාව දුරුකළ කල්හී ඔහුගේ සන්තාන ගත සියලු කෙලෙස්‌ ක්‍රමයෙන් පහවෙයි. නැවත උප්පත්තියක්‌ ගෙන දෙන භවගාමී සියලු කෙලෙස්‌ ප්‍රහීන වූ කල්හී එකී යෝගාවචරයා රහත් බවට පැමිණෙයි

පස්‌වග භික්‌ෂූහු මේ අනත්ත ලක්‌ඛණ සූත්‍රය අසා එතෙක්‌ ඔවුන් සතුව තිබූ කෙලෙස්‌ නැති කොට රහත්බවට පැමිණියාහුය.
දිනුල චන්දුල
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තර්කයට හසු නොවේමය ඔබ ක්‍රියාවට නංවනු මැනේ


මතුවෙලා මතුවෙලා දහම යළි මතුවෙලා. ගත සිතම සනසනා දහම යළි මතුවෙලා. අදත් සුළං හමාගෙන එනවා දඹදිව්තලයේ සිට. සුළඟ කියනවා ඔබ මුමුණන දේවල් නම් ඇත්තමයි. මතුවෙනවා, සැඟවෙනවා යළි පිබිදෙනවා. එහෙම තමයි බුදුදහම. තණ්‌හාවේ, වින්දනයේ තියෙන භයානක කමක මහත. සිතුවිලි වලින් හරිත විඳින හිතකට ඇත්ත නොපෙනෙන නිසානේ මේ සියල්ලම.

ඒහිපස්‌සිකෝ ගුණය ගැන මොනවද ඔබ කියන්නෙ? වෙන මොනවා කියන්නද, නිවෙන මඟ තියෙනවා. ඇත්ත සතර පෙනෙනවා. ඇවිල්ලා බලන්න. එහිපස්‌සිකෝ කියල කියනවා. හැර. ඒ ගුණය ඇයි ප්‍රතික්‌ෂේප කරන්නේ? ඔබ හිතන්න, සුළඟේ මේ ස්‌වාක්‌ඛාත වූ දහමක්‌ විනා කෙනකුට අවැසි ආකාරයට අවැසි දේවල් එකතු කරන්න ඉවත් කරන්න ඉඩක්‌ නැති බව. තේරුණා නේද?

අභාවිත සිතකින් ඇත්ත දැකගන්න බැහැ. සමාධිමත් සිතකින් සතරානුකූලව විමසන්න වෙයි. ඒ භාවිත සිතයි. කය අනුව බලන්න.

අද අපි අභිධර්මය ගැන ටිකක්‌ විමසුමද? හැබැයි මට හිතෙනවා අභිධර්ම දේශනා ඇසීමට කවුරුත් මැලිවෙනවා කියලා. ඇයි මැලි වෙන්නෙ? අභිධර්මය දන්නෙ නැතිව නිවෙන්න පුළුවන්ද? හිතන්නකෝ බුදුන්වහන්සේගේ ධර්මය තුළ තිබෙන විශිෂ්ට වූ ධර්මය තමයි අභිධර්මය. ඒ අභිධර්මය දකින ක්‍රමවේදය අතුරුදන්වෙලා. ඕකයි මැලිවන්න හේතුව. ඉතින් අභිධර්මය දකින්න බැහැ අවබෝධයකින් තොරව.

අපි නිතර අභිධර්ම පොත පත කියවනවා. දේශනා කරනවා. ශ්‍රවණය කරනවා. ඉතින් උගත්කම ලැබෙනවා තමයි, ඒත් බොඡ්ජන්ග පිරිලා නිවෙනවායෑ, ඉතින් නිබ්බාන පරමාර්ථය දැකගන්නේ කොහොමද? අභිධර්මය, හදාරන්න තියෙනවා සුවිශේෂී ක්‍රමවේදයක්‌ තේරුණාද? එලෙස අභිධර්මය දැකගත්තාම තමයි අවබෝධ වෙන්නෙ. බොඡ්ජධංග පිරිලා නිවෙන්නෙ.

අභිධර්මය ස්‌වභාවයන් සතරක්‌ වටා ගෙතී ඇති බව දන්නවානේ. ලෝකයේ තියෙන තාක්‌ දේවල් සියල්ලම මේ ස්‌වභාවයන් සතරෙහි අන්තර්ගත වේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම මේ සතරමත් අවබෝධ වෙන්නම ඕන නේද? ඒ පරමාර්ථයෝ සතරට චතුරාර්යය සත්‍යයත් ඇතුළත්. චතුරාර්ය සත්‍යය තුළට ඒ පරමාර්ථයෝද ඇතුළත්. එවැනි පිරිපුන් සිතකින් අභිධර්මය පරිශීලනය කළොත් සතුටු විය හැකියි නේද?

ඔබ දන්නවාද? බුදුපියාණෝ අඩුතරමින් සෝවාන් ඵලයටවත් පත්වූවන්ට හැර ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලි නුවුණු බව. ඒ පෘතග්ජන මනසින් මේවා භාරගැනීම අසීරු බැවිනි. බුදු ඇසට හසුවන ලෝකයේ ඇත්ත ස්‌වභාවය එලෙස සංකීර්ණ නම් වෙන කුමක්‌ කරන්නද?

රෞරවය, තාපය, අවීචිය ආදී අට මහා නරකයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතුළු කී ඈ නොකී ලෝකයේ විවිධ විෂම වූ ස්‌වභාවයන් පෘථග්ජන මනසින් පිළිගැනීම පහසු නොවේ. ඒ ගැන සෙවීමට මැළි වන්නේ එනිසයි. රාගමූල, ද්වේෂමූල සිත් වල සංඛ්‍යානුගත ස්‌වභාවික සැලැස්‌ම පුදුම එළවන සුළුයි. චෛතසිකයන්ගේ ස්‌වභාවික අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කාර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳෙන ආකාරය මහා පුදුමයක්‌. ඒත් ඉතින් ඇත්තම අත්තයි.

ඉතින් මගඵල ලැබීම සඳහා අභිධර්මයේ එන ඒ පුදුමාකාර සමස්‌ත විස්‌තරය වනපොත් කිරීම නම් කිසිසේත්ම අවශ්‍ය නොවන බව පවසමි. ඒකනේ බුදුපියාණෝ මිනිසුන්ට හැමවිටම මේ විස්‌තරය ගෙනහැර නොපෑවේ. සවිස්‌තරාත්මක විවිධ විෂම වූ ස්‌වභාවික ලෝක සැලැස්‌ම පිළිබඳව ප්‍රීතියෙන් සතුටින් ග්‍රහණයකළ හැක්‌කේ විශ්වාස කළ හැක්‌කේ ආර්යභාවයට පත්වූවන්ට පමණක්‌ බව ඔබ දන්නවාද?

අභිධර්මය හැදැරීම සඳහා එයටම ආවේණික වූ ක්‍රමවේදයක්‌ තියෙනවානේ. අසා, කියවා අභිධර්මය දැනගත්තාට පලක්‌ නොවේ. දැකගත යුතුම වේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථයන්ගේ යථා ස්‌වරූපය දැකගැනීමට හැකිවන්නේ කිය කියා හිඳීමෙන් නම් නොවෙයි. පිරිසිඳ දැක ගැනීමෙනි. සෝතාපන්න ඵලයට පත්වන අවස්‌ථාවේදී තමයි එසේ වන්නේ. ඒ ඇයි?

පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවන පිරිසිඳ දකින්නේ නිවිලමයි. ඉතින් අරමුණකින් තොරව සිතක්‌ සැකසෙනවද, නිවනේ අරමුණක්‌ තියෙනවද? සිතක්‌ සැකසෙන්න. මොකුත් නැහැනේ. එහෙම කියන්න එපා. ඔබ තවත් හිතන්නකො. ඒ සිත සැකසීමට අරමුණු වුණේ නිවනනේ. සිව්පාදී ශේසී ව නිවන දකින්නේ එහෙමයි. පිරිනිවීම යනු අනුපාදිශේසීව නිවන දැකීමයි. එවිට සියල්ලම නිමයි. පුදුමයි. පුදුමයි.

මගපල ලබමින් සත්‍ය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ලම අවබෝධ වෙනවා. කොහොමද ඒ? පරමාර්ථයෝ දකිනවා කියන්නේ පිරිසිඳ දකිනවා හැර වෙන කුමක්‌ද? නිවීම යනු ඇතිවූ දුකේ අවසානය හා දුකට හේතුවේ අවසානය නොවන්නේද? මගපල ලබමින් සත්‍යය පිරිසිඳ දකින මොහොතේ මේ සියල්ල පිළිබඳව අවබෝධය පූර්ණ වේ. 

සෝතාපන්නවීම සඳහා අභිධර්මයේ පෙන්වා දෙන පරිදි අන්තවාදී සිතෙහි මතුවන උපක්‌ලේශයෝ ගණනය කරමින් හිඳීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. විවිධ විෂම වූ ආශ්‍රවයන්ගෙන් පරිපූර්ණ වූ කෙලෙස්‌ බව පොදුවේ වටහා ගැනීම සෑහෙන්නේ චතුරාර්ය සත්‍යය පළමු වන වතාවට තිලක්‌ඛන සමාධිය තුළින් සරල ලෙස දැක ගන්නා බැවිනි. මෙතනදී ඒ ආශ්‍රවයෝ වර්ග කර ගණනය කිරීම අදාළ නොවේ. පොදුවේ ගත් කල ඒ ලෝක ස්‌වභාවය ඉක්‌මවා ගිය උපක්‌ලේශ ධර්මයෝ පමණි. 

ඵලය ලැබුණු පසුව නම් ඒ ශාස්‌ත්‍රය පිsළිබඳව මැලි නොවී දැන ගැනීමට ප්‍රිය කරයි. නමුත් සෝතාපන්න වීම සඳහා එම සමස්‌ත විග්‍රහයම අදාළ නොවේ. එනිසයි බුදුපියාණන් විජම් බණ හෙවත් අභිධර්මය මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන්ට පමණක්‌ පෙන්වා දුන්නේ.

නොවෙහෙසවා සත්වයා ගොඩකිරීම බුදු කෙනකුගේ පරමාර්ථය විය යුතු නොවන්නේද ? චතුරාර්යය සත්‍ය දුටු කල ඒ ලෝක සැලැස්‌ම සතුටින් දැකබලා ගැනීමට කැමති වෙනවා නොවන්නේද? රාග මූල සිත් මෙපමණයි. ද්වේශ මූල සිත් මෙපමණයි. මෝහ මූල සිත් මෙපමණයි යනුවෙන් උතුම් සංගණනානුගතව ශාස්‌ත්‍රානුකූලව සැලැස්‌ම කෙරෙහි සිත් මෙහෙයවීම මෙතනදී කිසිසේත්ම අදාළ නොවේ. ඒකයි අභිධර්මය මිනිසුන්ට දේශනා කිරීමට නොවෙහෙසුනේ.

ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි එක්‌වෙලා නිර්මාණය කරන චිත්තය හෙවත් සිතෙහි හට ගැනීම ඇති වෙමින් නැතිවෙමින් පැවැතීම හා නැතිවීම හෙවත් උප්පාද තිථි සහ භංග යන අභිධර්මානුකූල පරමාර්ථයෝ අවබෝධයෙන්ම දැක බලාගන්නා ශාස්‌ත්‍රය වන්නේ විදර්ශනා භාවනාව බව ඔබ දැනගන්න. ආශ්‍රවයන්ගෙන් කිලිටි වූ සිතේ අවසානයද විදර්ශනාවේ දී දැකගත හැකි වේ. ඒ නිවිලාමය. ඇති වූ පරමාර්ථ සතරෙමත් අවසානය වන්නේ නිවීමයි.

ඔබ දන්නවාද, බුදුපියාණන් අඩු තරමේ සෝවාන් ඵලයට පත් නොවූවන්ට ලෝකයේ ආරම්භය, විනාශය වැනි දේවල් කියාපෑමට මැලිවූ බව. අට මහා නරකයේ ක්‍රියාකාරීත්වය වැනි කියා නිම කළ නොහැකි ස්‌වභාවයන් පෘතග්ජන මනසට කා නොවදී. එතරම් විශ්වාසයක්‌ ඇති නොවේ. චෛතසිකයන්ගේ ස්‌වභාවය අනුව අන්ත ද්වයට වැටෙමින් අන්තගාමී සිත සිරුරෙන් සිරුරට කර්මානුරූපීව මාරු වෙමින් දුකෙහි ගැලෙමින් ලෝකයෙහිම රැඳේ.

විදසුන් වඩා චතුරාර්ය සත්‍ය අවබෝධයේ දී චිත්තය හදාරන්නේ විභේදනය කර විමසා බැලීමෙනි. ධ්‍යාන ශක්‌තිය ඇති සිතකින් කරන සරලත්වයෙන් ගැඹුර කරා යන විමර්ශනාත්මක ගමනකි. චිත්ත චෛතසික කියන පරමාර්ථයෝ ද්වයම මේ පර්යේෂණයට ලක්‌ වේ. ඒ සුවිශාල එහෙත් සරල විමර්ශනය නිමවන්නේ තිලකුණෙනි. ඒ ආර්ය පර්යේෂණයයි.

ඒ චිත්ත චෛතසිකයෝ නිර්මාණයවීමට මූලිකවන රූප, පරමාර්ථයෝ පුදුමාකාරය. රූප නිර්මාණය වන්නේ ස්‌වභාවයන් සතරක්‌ ඒකාබද්ධ වී ඝනීභවනය වීමෙනි. මායාව එතැනයි. වේගවත් ශක්‌ති විශේෂයක්‌ වන චිත්තවේගය හෙවත් විඤ්ඤාණය නාමරූප එකතු කරමින් නිර්මාණය කරන මායාමය ලෝකය කෙලවර වන්නේත් නිවනෙන්ය. අභිධර්මය පෙන්වා දෙන ඒ නිර්වාණ පරමාර්ථය විදසුන් වඩා අවබෝධ කරගන්නේ දැනුමෙන් පමණක්‌ නොව නිවී යාමෙන්මය. ඇයි නිවන එලෙස අවබෝධ වන්නේ? එය එසේ වන්නේ නිවන අරමුණු කරගෙන සිත සැකසුන නිසයි.

කියා නිම කළ නොහැකි අසා නිම කළ නොහැකි විවිධ වූ, විෂම වූ ලෝකය පිළිබඳව ලුඡ්ජතීති, පලුඡ්ජතීතී ලෝකෝ කියා කියනවා හැර වෙන මොනවා කියන්නද මම. එයයි ලෝකයේ සත්‍යය. 
කම්මට්‌ඨානාචාරිනී, 
පද්මාවෝ රාජපක්‌ෂ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤