ශ්‍රද්ධා බලය පුද්ගලයන්ට අමා මහ නිවනට මග පාදා දෙන්නට තරම් පුදුම බලයක් ශක්‌තියක්‌ දරන බව දන්නේද...? දුර්මුඛ නොවී නියම ශ්‍රද්ධාව ඔබ තුළත් ඇති කර ගතහොත් නිසැකයෙන්ම ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ නිවන් සුව දෙසට ම බව අමතක නො කළ යුතුය. කවර බලවේගයකින්වත් ඔබේ ගමන් මඟ වෙනස්‌ කරන්නටද පිළිවන්කමක්‌ නැත.

දහම් නුවන සෑම දෙනාටම පහල වේවා !

වෙනස්‌ ලෙස ලොව දකින මොහොතක්‌ මොහොතක්‌ පාසා නීවරණ දුර්වල වේ...

පූජනීය මාන්කඩවල සුදස්සන හිමි
පින්වතුනි, වෙනදාට අපට යන්න දෙපැත්තක්‌ තිබුණේ නැහැ. ලෝකය ගැන විතරමයි හිතන්ඩ කල්පනා කළේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවන් ගැනමයි දැක්‌කේ. ඕවා ගැනමයි කල්පනා කළේ. ඕවා ලැබීම ගැනමයි හිතුවේ. වෙන හිතන්න, කල්පනා කරන්න තැනක්‌, පැත්තක්‌ තිබුණේ නැහැ. දැන් අපට පොඩි වාසියක්‌ තියෙනවා ඉඳලා හිටලා හරි, වැරදිලා හරි, හිතන්න තව පැත්තකුත් තියනවා. දැන් අපි හැම වේලාවෙ ම උත්සහවත් වෙන්න වෙනවා.
හැම වේලාවෙ ම මේ ගෙවල් දොරවල්, දූදරුවන් මේවා ලැබීම සැපයි, නො ලැබීම දුකයි, කියන මට්‌ටමේ ඉන්න අපේ දැන් උත්සාහය මාරු වෙන්නයි. දූ දරුවන් ලැබීම දුකයි. මේවායින් මිදීම සැපයි, මේවායින් මිදීම දුකෙන් මිඳිමයි කියන තැනට මනස ගන්න උත්සාහ කරනවා. මෙතන ඉදන් එතෙරට පාරක්‌ දැන් හදන්නේ ඒ සඳහා තමයි, ඒ ඥාන දර්ශනය ඇති කරගන්න උපකාර පිණිස සම්මා දිට්‌ඨියට අනුව නුවණින් සිතිය යුතුයි. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ ද? දුක ඇති වීම, ඊට හේතුව, දුක නැති වීම, දුක නැති කරන මඟ කියන ඇත්ත. අපි ජීවත් වන ලෝකය හම්බවෙන කොට ඒ හම්බ වෙන දේ තුළ පවතින ඇත්ත නිතර ම සම්මා දිට්‌ඨියට අනුව හිතන්න ඕන. සම්මා දිට්‌ඨියට අනුව හිතීම තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් ම ප්‍රඥාවයි වැඩෙන්නේ.
අපි නිකමට කියමු. ගෙදර දොරේ දී වෙන දා වගේ කතා කරද්දී කටයුතු කරද්දී මේ "දරුවා" කියන තැන ද?, මේ රූපය දිරනවා නේ ද?, ලෙඩ වෙනවා නේ ද?, කියලා නිකමට හිතන්න.
වළඳක්‌ ගත්තා. අනේ මේකත් කවදා හරි කැඩෙනවා නේ ද? මේකත් ජරා ධර්මයක්‌ නේ ද? ව්‍යාධි ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?
වතුර කේතලයක්‌ ලිපේ තිබ්බත් එක පාරට ම පැහෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ. ඒකටත් ක්‍රමානුකූල ව ගින්දර දමන්න ඕනෑ. එක පාරට ම නීවරණ ධර්ම දුරු වෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ පැනලා යැමත් නො වෙයි. හැංගිලා ඉන්න එකත් නො වෙයි. එදිනෙදා ජීවත් වන ජීවිතය තුළින් මයි යථාර්ථය අල්ලා ගන්න තියන්නේ.
ඉතින් වෙන දා වගේ ගෙවල් දොරවල්, යාන වාහන කියලා දැකපු තැන ම, "අනේ ඉතින් මේ තියෙන්නේ ව්‍යාධි ධර්මයක්‌ නේ ද? ජරා ධර්මයක්‌ නේ ද? මරණ ධර්මයක්‌ නේ ද?" කියලා බලන්න.
ඔබ දන්නව ද ඔය බලන වාරයක්‌ ගානේ ඔබ ගේ නීවරණ ධර්ම අඩු වෙනවා කියලා. ඔහොම හිතන මොහොතක්‌ ගානේ වෙන දා තිබිච්ච ආකල්ප සංකල්ප ගොඩඟැහිලා යන ගතිය ටික ටික අඩු වෙනවා, දන්නවා ද? ඒක මොහොතක්‌ ගානේ වෙනවා. මෙහෙම හිතන්න හිතන්න නීවර්ණ ධර්ම අඩු වෙනවා. එක තැනක ඉන්න කොට අපට සමථ කමටහනකිනුත් හිත එකතැන් කරන්න පුළුවන්. නීවරණ ධර්ම අඩු කරන්න පුළුවන්.
හිත හදාගැනීමට උපකාර පිණිස නිත්‍ය පංචශීලය, පෝය අට සීලය රකින්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්න යම් සමථ භාවනාවක්‌ කරන්න ඕන. කය, වචනය දෙක සංවර කරගන්න, හිත සංවර කරගන්න, උපකාර පිණිස සීලයක පිහිටුවනවා. නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර පිණිස හිත සංවර කර ගන්නවා. එක්‌තැන් කරගන්නවා. ඇත්ත ඇති හැටියේ දකින්න නීවරණ ධර්ම අඩු කරගන්නවා. මොකක්‌ ද ඇත්ත ඇති සැටියේ දකින්නේ? දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යය දකින්න පටන් ගන්නවා. නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධිමත් වෙච්ච දවසට මේ ගෙවල් දොරවල් නො වෙයි, මේ දුක නේ ද කියන එක පෙනෙන්නේ ඉබේමයි. මේ දේවල ලැබීම දුකේ ලැබීමයි කියන එක පෙනෙනවා.
එදාට දුකේ කලකිරිලා නො ඇලිලා, මිදෙනවා. එදාටයි ඔබ දුකෙන් මිදුණේ. දුකෙන් මිදුණහම දුකෙන් මිදුණා කියන නුවණ එනවා. වෙන කළ යුත්තක්‌ නැහැ. යමක්‌ කළ යුතු නම් ඒ දේ කළා කියන ප්‍රත්‍යවේක්‌ෂා නුවණ ද එනවා. "සීල සමාධි, ප්‍රඥා, විමුක්‌ති, විමුක්‌ති ඥාන දර්ශන" කියලා තියෙනවා ධර්මතා පහක්‌. මෙන්න මේ පහ ඉලක්‌ක කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. දුකේ ඇලිලා, දුකේ බැඳිලා ඉන්න කෙනා දුකෙන් මිදෙන්නේ නැහැ. දුකේ කලකිරිලා නො ඇලිච්ච කෙනා තමයි දුකෙන් මිදෙන්නේ. ඉතිං දුකේ කලකිරිලා නො ඇලෙන්න නම්, දුක, දුක හැටියට දකින්න ඕනේ. දුක, දුක හැටියට දකින්න නම් දුක දකින විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න නම් සද්ධර්මය අහලා කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් සම්මා දිට්‌ඨිය ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම ලබාගෙන තියන කෙනාට නීවරණ ධර්ම අඩු වුණොත්, අඩු කරගත්ත හැටියෙ මේ දර්ශනය පෙනෙනවා.
දැන් ඔන්න චතුරාර්ය සත්‍යයේ හතර ම මා දේශනා කළා. මාර්ග සත්‍යය විතරක්‌ වැඩිපුර දේශනා කළේ නැහැ.
ඉතා දීර්ඝ වශයෙන් නො වෙයි, කෙටියෙනුත් නො වෙයි, මම මාර්ගය ගැන ටිකක්‌ විස්‌තර කරන්නම්.
ඉස්‌සෙල්ලා අපි පොඩි උපමාවක්‌ කිව්වොත් එක්‌තරා මනුෂ්‍යයෙක්‌ ඉන්නවා. මේ මනුෂ්‍යයා අව්වේ ඇවිල්ලා ග්‍රීස්ම වේලාවේ ඉතා ම පිපාසිත තත්ත්වයට පත් වෙලා, දැන් මෙයාට ඕනේ මේ පිපාසිත බවෙන් මිදෙන්න වතුර ටිකක්‌ බොන්න. ඉතින් වතුර ටිකක්‌ හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා ළිඳක්‌. හැබැයි ඒ ළිඳේ කුණු රොඩු, මඩ, ජරාව එක්‌ක වැටිලා බොහොම පල් වෙච්චි, පල් වතුරක්‌ තියෙන්නේ. ඒ විතරක්‌ නෙමෙයි. මේ ළිඳට තවත් කුණු කාණු හයකින් ජල පාරවල් හයක්‌ ඇවිල්ලා, වැටෙනවා.
දැන් මෙයාට පිපාසය දුරු කරගන්න වතුර ටික බොන්න ඕන. දැන් මෙහෙම වතුර බොන්න බෑ නේ. වතුර බොන්නත් ඕන. පිපාසය සංසිඳෙන්නත් ඕන. ලෙඩ රෝග හැදෙන්නෙ නැති වෙන්න ඕන. එහෙම නම් දැන් මෙයාට වතුර ටිකක්‌ බොන්න නම් මේ ළිඳ පිරිසිදු කරන්න ඕන වෙනවා. දැන් ළිඳ පිරිසිදු කරන්න බැහැ. තියන වතුර රොඩුත් එක්‌ක ම අයින් කෙරුවත් පලක්‌ නැහැ. අර පිටින් කුණු කාණු හයකින් වතුර ඇවිල්ලා ළිඳට වටෙනවා නම්. දැන් වතුර බොන්න ඕන වුණාට, ඉස්‌සරවෙලා ම මෙයාට කරන්න වෙන්නේ උදැල්ලක්‌ පැසක්‌ අරගෙන ගිහිල්ලා ළිඳට කිසි ම සම්බන්ධයක්‌ වත් නැති අර පිටතින් ගලාගෙන එය කාණු හය වහන්න. ගලාගෙන එය කුණු මඩ සහිත ජරාව සහිත වතුර පාර වෙන පැත්තකට හරවලා දාන්න. ඒවා හරස්‌ කරලා බැමි දාන්න ඕන.
ඔන්න දැන් කාණු හයට බැමි දාලා අලුතෙන් මඩ ජරාව සහිත වතුර ළිඳට වැටෙන එක නැවැත්වුවා. නතර කළා කියලා කලින් ඇවිල්ලා මඩ සහිත ජරාව වැටුණු වතුර අස්‌ වුණේ හිඳුණේ නැහැ. ඒකට දැන් ළිඳ ඉහින්නයි තියන්නේ.
ළිඳේ තියෙන මඩ ජරාව සහිත වතුර ටික අයින් කරන්න ඕන. හැබැයි මෙතැන දී දැන් මඩ අදින භාජනයේ ප්‍රමාණය තීරණය කරන්නත් අවශ්‍යයි. ඉක්‌මනට මඩ ටික ඉවර වෙනවා ද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ හුණ්‌ඩුවක්‌ විතර චූටි භාජනයකින් ද, මහා ලොකු බාල්දියකින් ද අදින්නේ කියන කාරණාව මතයි. භාජනය සහ කාලය මතයි, කොච්චර වෙලාවක්‌ මේකට යොදනවා ද කියන එක මතයි.
ඉතින් මෙයා ලොකු භාජනයක්‌ අරගෙන වැඩි වේලාවක්‌ ළිඳ ඉහිනවා. ඉහිනකොට ඔන්න ළිඳේ තියෙන මඩ සහිත ජරාව සහිත ජලය අයින් කරනවා. අයින් කරන කොට ළිඳ ඇතුළෙ ම තියෙන මඩවලට වැහිලා හිර වෙලා තිබුණු උල්පත් පෑදිලා ළිඳ ඇතුළෙන් ම පිරිසිදු ජලය එනවා. ජලය පිරිසිදු වුණාට අපිරිසිදු මඩ තිබුණු ළිඳේ සියුම් මඩ සහ මඩ ගඳ තාම තියෙනවා. ළිඳෙන් ම උපන්න වතුර ටික අරගෙන ඒ ළිඳ ම හෝදනවා. හෝදලා ඒ වතුර ද ඉහිනවා. ඒ වතුර ඉස්‌සහම මඩ ගඳ ද නැති පිරිසිදු වතුර ටිකක්‌ හම්බ වෙනවා. දැන් ඔන්න ඒ වතුර ටික බිලා මුහුණ කට සෝදාගෙන ඇඟපතත් හෝදගෙන තමන් ගේ විඩාව සංසිඳවා ගන්නවා. පිපාසය සංසිදවා ගන්නවා.
ඒ උපමාවෙන් මා මතක්‌ කළේ, ඒ විඩාවට පත් වෙච්ච පුද්ගලයා වගේ තමයි මේ සසර ඇවිදින සත්ත්වයා දුකට පත් වෙලා, වෙහෙසට පත් වෙලා පීඩාවට පත් වෙලා අමෘතය නමැති මේ පානය, දුකේ නිරෝධය නිවන නමැති සිහිල් ජලය, පානය කරන අවශ්‍යතාවෙන් ඉන්නේ. ග්‍රීස්මේන් තැවුණු පිපාසිත පුද්ගලයෙක්‌ වගේ තමයි. එහෙම එනකොට එයාට හම්බ වෙනවා මඩ සහිත, ජරාව සහිත පිරුණු ළිඳක්‌ වගේ තමන් ගේ ම කිළිටි මනස. හැබැයි නිකං නො වෙයි. ඒකට කුණු කාණු හයකින් කුණු වතුර ගලාගෙන එනවා වගේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ම, රාග ද්වේශ, මෝහ සහගත මේ නොයෙක්‌ කෙළෙස්‌ අකුසල ධර්ම විතක්‌ක පහළ වෙනවා.
දැන් මුලින් ම ළිඳ ඉහින්න ඉස්‌සර වෙලා බැමි දාලා කාණු ටික වහන්න වෙනවා වගේ මෙන්න මේ ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික හදාගන්න ඕන. සංවර කරගන්න ඕන. බැමි දාගන්න ඕන. රැකගන්න ඕන..   Ananya Kumarasinghe
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤